දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

නීල මාණික්‍යමය විමානයක් ලත් පින්බර දේවතාවිය

රජගහනුවර නගරාසන්නයේ එක්තරා දිළිඳු ස්ත්‍රියක් විසුවා ය. රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ ඇය තම ශක්ති ප්‍රමාණයෙන් අවස්ථානෝචිත ලෙස දානාදී පින්දහම් කරමින් දැහැමි දිවියක් ගත කළා ය. දිනක් එක්තරා රහතන් වහන්සේ නමක් ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙමින් එම කාන්තාවගේ නිවස අභියසට වැඩම කළ සේක. මෙම දසුනින් අපමණ පී‍්‍රතියට පත් වූ ඕ තොමෝ වහාම උන්වහන්සේට ආරාධනා කළහ. ඇය විසින් නීල වස්ත්‍රයක් අතුරන ලද ආසනයක් භික්‍ෂූන් වහන්සේට ඉඳ ගැනීමට සැලැස් වූවා ය. දන් පිළියෙළ කළ ඇය එය මහත් ශ්‍රද්ධාවෙන් භික්‍ෂූන් වහන්සේට පිළිගැන්වූවා ය.


කාලයාගේ ඇවෑමෙන් කිසියම් ව්‍යාධියකට පත් වුණු ඇය මිය පරලොව ගොස් තව්තිසා දෙව්ලොව උපත ලැබුවා ය. පෙර භවයේ භික්‍ෂූන් වහන්සේ නමකට අසුනක් පිදීමේ මහඟු පිනෙන් තව්තිසා දෙව්ලොව උපත ලැබූ ඇයට නීල මාණික්‍යමය දිව්‍ය විමානයක් පහළ වූවා ය. රූප සම්පත්තියෙන් ද යස ඉසුරින් ද සිතූ පැතූ සම්පත් ලැබීමෙන් ද භාග්‍යවන්ත වූ ඇය අනෙකුත් දෙවඟනන් අතර සුවිශේෂී වූවා ය.

සුපුුරුදු ලෙස දෙව්ලොවට වැඩම කළ මුගලන් මහ රහතන් වහන්සේට මේ දෙවඟන හමු විය. තෙරුන් වහන්සේ දුටු දෙවඟන වහා විමානයෙන් බැස උන්වහන්සේට වැඳ නමස්කාර කර එකත් පස්ව සිටියදී මුගලන් මහරහතන් වහන්සේ ඇයගෙන් මෙසේ ඇසූ සේක.

“වෛධූර්ය මාණික්‍යමය විමානයක් සහ මහානුභාව සම්පන්න අසුනක් ලබා සකලඓශ්වර්යයෙන් බබළමින් දෙව්ලොව පුරා මහත් උද්දාමයෙන් චාරිකා කරන්නා වූ පින්වත් දේවතාවිය, මෙබඳු මහත් වූ සම්පත්තියක් ලැබීමට මනුෂ්‍ය ලෝකයේ දී ඔබ විසින් කවර නම් පින්කමක් කරන ලද්දෙහි ද?” දිව්‍ය සැප ලැබීමෙන් මෙන්ම එබඳු සම්පත්තියක් ලැබීමට හේතු වූ කුසල කර්මය සිහිපත් වීමෙන් ද මහත් සතුටට පත් ඇය, ඊට පිළිතුරු දුන්නේ මේ අන්දමිනි.

“ස්වාමීනි, මහ රහතන් වහන්ස, මිනිස් ලොවෙහිදී මහත් වූ කුසල කර්මයක් කරන්නට තරම් ශක්තියක් මට නොතිබිණි. එහෙත් සැදැහැ සිතින් මගේ ශක්ති ප්‍රමාණයෙන් දන් පින් කිරීමෙහි නිරත වූයෙමි. ඒ අතර එක් දිනක් පිඬු සිඟා වැඩි රහතන් වහන්සේ නමකට නිල්වන් ඇතිරිල්ලක් යොදා අසුනක් පිළිගන්වා දන් පූජා කළෙමි. මේ දිව්‍ය ඓශ්චර්යය මට පහළ වූයේ ඒ පින් මහිමයෙනි. ”සුළු වූ ද පුණ්‍ය කර්මයකින් මහත් ඵල මහානිශංස ලැබිය හැකි බව මේ කථාව උපයෝගී කර ගනිමින් තව්තිසා දෙව් ලෝ වැසියන්ට වටහා දුන් මුගලන් මහ තෙරුන් වහන්සේ, මිනිස් ලොවට පැමිණ මේ කථා පුවත බුදුරජාණන් වහන්සේට ද සැල කළහ.

මේ පුවත අර්ථොත්පත්ති කර ගනිමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සිවුවනක් පිරිසට දානානිශංස දක්වා ධර්මදේශනා කළ සේක.

උණුවතුරබුබුලේ මහින්ද හිමි

කුණ්ඩධාන තෙරුන්ගේ කථා වස්තුව

"අයහපත ඇති වන දේ නොකරන්න"
පින්වතුනේ,පින්වත් දරුවනේ,සෙල්ලමටවත් වැරැද්දක් කරන්න එපා.අනුන්ගේ අයහපතට හේතු වෙන දේවල් අත් හදා බලන්න යන්නත් එපා.එහෙම කරන්න ගිහින් එක් දෙවි කෙනෙක් අමාරුවේ වැටුනා.ඔහුට නිවන් අවබෝධ කරන තුරු එහි කටුක විපාකය විඳින්නට සිද්ධ වුණා.

ඉස්සර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතාම සිල්වත්,ඉතාම යහපත් යහළු භික්ෂූන් වහන්සේලා දෙනමක් හිටියා.මේ දෙනම එක මව් කුසේ උපන් සහෝදරයන් වගේ පුදුම ලෙන්ගතුකමකින් හිටියා.ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු විසිදාහයි.භික්ෂූන් වහන්සේලා පොහොය කළෙත් අවුරුදු පහකට හෝ අටකට වතාවක්.ඉතින් මේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා දෙනම පොහොය කිරීම පිණිස සංඝයා වැඩ සිටින ඈත සෙනසුනක් බලා පිටත් වුණා.

තව්තිසා දෙව්ලොවට අයත් එක්තරා දේවතාවියක් මේ යහළු දමින් වෙලී සුවසේ සිල් රකින සුපින්වත් භික්ෂූන් දෙනම දෙස නිතර බැලුවා.දවසක් ඒ දේවතාවියට මෙහෙම හිතුණා.

'හරි පුදුම සමගියක්නේ...මේ ඇත්තන්ගේ සමගිය කවදාවත් කිසිවෙකුටවත් බිඳලන්න බැරි එකක්ද? කෝකටත් මං අත්හදා බලන්න ඕන' කියලා ඕ ඒ සඳහා ක්‍රමයක් කල්පනා කළා.

එදා පොහොය කිරීම පිණිස වඩිමින් සිටි එක් භික්ෂුවකට වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇති වුණා.ඉතින් අනෙක් භික්ෂුවට 'ඔහොම ඉන්න' කියා අර භික්ෂුව පහළ කැලෑව පැත්තට ගියා.එහෙම යද්දී එක් අතකින් කෙස් කළඹ කඩා ගත්තා.අනිත් අතින් ඇඳ සිටි වස්ත්‍රය බුරුල් කර ගත්තා.'මේ මොකද වෙන්නේ...?' කියලා පාරේ සිටි භික්ෂුව අදහා ගත නොහැකි පුදුමයකින් බලා සිටියා.වැසිකිළි ගිය භික්ෂුව නැවත එන්න ටිකක් වෙලා ගියා.ඒ දෙසම හොඳින් බලා සිටින අනිත් භික්ෂුවගේ සැකය බලවත්ව වැඩුණා.වැසිකිළි ගිය භික්ෂුව ආපසු වඩිද්දී නැවතත් අර ස්ත්‍රිය එතනින් එහාට මෙහාට ගියා.

"ඇවැත්නි,යසයි වැසිකිළි ගිය අපූරුව...පැවිදි ජීවිතයට කර ගන්න තියෙන විපත කර ගත්තා නේද?" 

වැසිකිළි ගිය අහිංසක භික්ෂුව මේ කිසිවක් දන්නේ නෑ.උන්වහන්සේ පුදුමයට පත්වුණා.

"ඇවැත්නි,මොකක්ද ඔබවහන්සේ මේ කියන්නේ? මං වැසිකිළියට ගියා විතරයි.මගේ මහණකමට හානියක් වුණේ නෑ."

"ආ...එහෙමද? ඒකද අර පිටිපස්සෙන් ආපු ගෑණි කොණ්ඩෙ කඩා ගෙන,රෙදි ගලවගෙන එහාට මෙහාට කලබලෙන් දිව්වේ...? ඒ මොකෝ...?"

ඔබවහන්සේ මොනවද මේ කියන්නේ...? එහෙම ගැහැණියක් මං දැක්කේ නෑ...!"

"මේ...ආයුෂ්මතුන්....ගහ දන්න මටද කොළ කඩාපාන්න එන්නේ...? මගේ ඇස් පනාපිට මං දැක්කෙ දේ ද කිසිවක් වුණේ නෑ කියල කියන්නේ...?"

"අනේ ආයුෂ්මතුන් වහන්ස,මෙතෙක් මං ඔබවහන්සේට බොරු කියලා නෑ.මගේ පැවිදි ජීවිතයට මං කිළුටක් කරගෙන නෑ...මේ අත් දෙකෙන් ස්ත්‍රියක් ස්පර්ෂ කරලා නෑ...මේ ශරීරයේ ස්ත්‍රියක් ගෑවිලාවත් නෑ...එහෙව් එකේ පාරිශුද්ධ බඹසර රකින මාවද ඔබවහන්සේට සැක...? ඔබවහන්සේට අමනුස්සයෙක්වත් වැහුණද?"

"හා....! ඇති ඇති.තමුන්නාන්සේගේ බඹසර ගැන මං දැන් දන්නවා....වැඩි කතා ඕනෙ නෑ...හැබැයි එකක් මතක තියා ගන්න.මේ මොහොතෙන් පසු තමුන්නාන්සේ සමග මගේ ගණුදෙනුවක් නෑ....මං යන පාරේ තමුන්නන්සේ එන්න එපා...!" කියලා ඒ භික්ෂුව අර භික්ෂුව පිළිකුල් කොට ගරහා පිටත්ව ගියා.

පින්වතුනේ,පින්වත් දරුවනේ,දෙවිවරුන් ගැනත් අපට හිතන්න දේවල් මේ කතාවලින් තේරෙනවා නේද? කේලාම් කියන,බොරු කියන,ඇත්ත කණපිට හරවන මෝඩ දෙවිවරු ඉන්න බව අපි තේරුම් අරගෙන සිටිය යුතුයි.නැත්නම් සාස්තර වලිනුත් මුලා වෙලා සණ්ඩු සරුවල් ඇතිවෙන අවස්ථා මොනතරම් තියෙනවද? යහපත් මිනිස්සුන්ට චෝදනා කරන අවස්ථා කොච්චර තියෙනවද?

ඉතින් අර භික්ෂුව කිසි වගක් නැතුව කරබාගෙන් පොහොය කරන තැනට පිටත් වුණා.පොහොය ගෙයි සංඝයා වාඩි වී සිටියා.මේ භික්ෂුව වඩිද්දිම අනිත් යහළු භික්ෂුව නැගිට්ටා.

"අද මට පොහොය කරන්න බැහැ.සංඝයා අපිරිසිදුයි!"

අනිත් භික්ෂූන් පුදුමයෙන් වගේ බලා සිටියා.

"ඔන්න දැන් ආපු තැනැත්තා භික්ෂුවක් නොවෙයි.සිවුරු පොරවාගෙන ඉන්න කෙනෙක්.මගේ දෑස් ඉදිරියේමයි කැලේ හිටපු ගෑණියෙක් එක්ක එකතුවෙලා සිල් බිඳගත්තේ..."

අනිත් භික්ෂුව හඬ වැටුනා.

"අනේ පින්වත් මහා සංඝයා වහන්ස,මේ සත්තමයි කියන්නේ.මං වැසිකිළි ගියා විතරයි.ඔය කියාපු එක ගැහැණියෙක්වත් මං නම් දැක්කේ නෑ...මගේ සීලයට අබමල් රේණුවක තරම්වත් හානියක් වෙලා නැහැ."

දැන් සංඝයා අතර කලබැගෑනියක් හට අරන්.පෝය කරන්න විදියක් නෑ.සීලය පිළිබඳ අර්බුදයක් පැනනැංගා.මේ ඔක්කොම දේවල් කරලා කුමක්ද වෙන්නේ කියලා නොපෙනී බලා සිටිය දෙව්දුව තැති ගත්තා.තමාගෙන් බරපතල හානියක් සංඝයාට සිදු වූ බව තේරුම් ගියා. සංඝයා ඉදිරියේ දෙව්දුව පෙනී සිටියා.

"ස්වාමීනි,මාගේ වචනයට සවන් දෙන්න.මං මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ මිත්‍රත්වය ස්ථිරද,අස්ථිරද කියලා පරීක්ෂා කරන්නයි ඒක කළේ.ගැහැණියකගේ වේශයෙන් එතන හැසිරුණේ මමයි.මේ භික්ෂූන් වහන්සේලා සිල්වත්.ඒ වගේම නිර්දෝෂී.එනිසා මුන්වහන්සේ සමග සංඝයා පොහොය කරන සේක්වා!"

එතකොට අර චෝදනා කළ භික්ෂුව නිශ්ශබ්ද වුණා.සංඝයා පොහොය කළා.හැබැයි පරණ මිත්‍රත්වය අවසන් වුණා.දේවතාවිය තම ආත්මභාවයෙන් චුත වෙනවාත් සමගම අවීචි මහා නිරයේ උපන්නා.එක් බුද්ධාන්තර කල්පයක්ම ඒ නිරයේ පැසුණා.කුමක්දෝ වාසනාවකට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සැවැත් නුවර කුමාරයෙකුව උපන්නා.තරුණ වියෙහිදී ගිහි ගෙය අත්හැරියා.ගෞතම සසුනෙහි පැවිදි වුණා.උපසම්පදා වුණා.පැවිදි වූ දා සිට එකතරා ස්ත්‍රියකගේ සෙවණැල්ලක් මේ භික්ෂුවගේ පිටිපස්සෙන් යනවා.හැබැයි පිට අයට විතරයි පේන්නේ.තමන්ට පේන්නේ නෑ.ඒ නිසාම උන්වහන්සේට 'කුණ්ඩධාන' යන නම ලැබුණා.

"සිටුතුමනි,මේ දුස්සීල පුද්ගලයා දෙව්රමින් බැහැරට දමන්න.මොහු නිසා සංඝයා මහත් අපකීර්තියට පත්වෙනවා." 

"ඇයි ස්වාමීනි,එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දෙව්රමෙහි වැඩ නොසිටින සේක්ද?"

"සිටුතුමනි,බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා."

"එසේ නම් ස්වාමීනි,කළ යුතු දේ ශාස්තෲන් වහන්සේ දන්නා සේක" කියලා සිටුතුමා නිශ්ශබ්ද වුණා.

ඒ ගමන භික්ෂූන් වහන්සේලා ගිහින් විශාඛාවගේ කණේ තිබ්බා.විශාඛාවගෙන් ලැබුණෙත් ඒ පිළිතුරමයි.මේ භික්ෂුව නෙරපනකම් අනිත් භික්ෂූන්ට නින්ද යන්නේ නෑ.බැරිම තැන කොසොල් රජ්ජුරුවෝ මුණගැහෙන්න ගියා.

"රජ්ජුරුවන් වහන්ස,කුණ්ඩධාන නමින් අපේ දෙව්රම් වෙහෙරේ දුස්සෙල භික්ෂුවක් ඉන්නවා.ගැහැණියක් එල්ලාගෙන හැමතැනම යන්නේ.අපට ලැජ්ජාවේ බෑ.සංඝයාට මහා අවනම්බුවක්...අනේ රජතුමනි,කොසොල් රටින් මේ භික්ෂුව නෙරපා හරින්න..."

"හරි! කියන්න ස්වාමීනි,කොහෙද ඔය පුද්ගලයා ඉන්නේ...?"

"ආන්න අසවල් තැනයි ඉන්නේ...."

"හරි! මම්ම ගිහිල්ලා අතට අල්ලා ගන්නම්" කියලා රජතුමා සවස ඒ භික්ෂුව සිටින තැනට ගියා.මිනිසුන් ලවා කුටිය වට කෙරෙව්වා.මේ ඝෝෂාව ඇහිලා භාවනා කරමින් සිටි කුණ්ඩධාන භික්ෂුව කුටියෙහි දොර ඇරගෙන ඉදිරියට ආවා.හරි පුදුමයි! දැන් රජතුමාටත් පේනවා.අසංවර ඉරියව්වෙන් ගැහැණියක් හැසිරෙන්වා නෙව.කුණ්ඩධාන තෙරුන් රජතුමාව හඳුනා ගත්තා.රජතුමා තෙරුන්ට වැන්ඳේ නෑ.කෙලින්ම කුටිය ඇතුළට ගියා.හැමතැනම බැලුවා.දොර අස්සේ,ඇඳ යට කොහේවත් නෑ.

"කෝ මෙතන හිටිය ගෑණි...?"

"අනේ රජතුමනි,මං නම් දැක්කේ නෑ..."

"එහෙනම් ස්වාමීනි,දැන් ආයෙත් ඇතුළට වඩින්න."

කුණ්ඩධාන තෙරුන් කුටිය ඇතුළට වැඩියා.ආයෙත් අර ස්ත්‍රිය පේන්න ගත්තා.රජතුමා පෙරට පැන්නා.ඒ ස්ත්‍රී රූපය නොපෙනී ගියා.ස්ත්‍රී රූපය පේනවා.නැතුව යනවා.

"ස්වාමීනි,කවුද එතකොට ඒ ගෑණි? දැන් මමත් දැක්කනේ..."

"අනේ රජතුමනි,මේ ස්වාමීන් වහන්සේලාත් කියනවා.මට පේන්නෙ නැහැනේ..."

"එහෙනම් ස්වාමීනි,ඔහොම හිටගන්න."

රජතුමා බලන් හිටියා.ආයෙමත් පිටිපස්සෙන් පේනවා,රජතුමා ඒ තෙරුන්ගේ පිටිපස්සට ගියා.එතකොට ඒ ස්ත්‍රී රූපය නෑ.

"ස්වාමීනි,දැක්කා නේද? ඔය කැරකෙන්නේ...?"

"අනේ රජතුමනි,මං දැක්කේ නෑ..."

මේ ඉන්නේ සැබෑ ස්ත්‍රියක් නොවන බව රජතුමා තේරුම් ගත්තා.රජතුමාගේ ඤාණවන්ත පරීක්ෂණය නිසා ඒ භික්ෂුවට ලොකු පහසුවක් ඇති වුණා.කිසිවක් හරියාකාර ලෙස නොවිමසූ භික්ෂූන් වහන්සේලා කළේ අර අහිංසක භික්ෂුවට විරුද්ධව නින්දා අපහාස කිරීම පමණයි.

රජතුමා අර භික්ෂුවට මෙහෙම කිව්වා.

"ස්වාමීනි,මේක ටිකක් බරපතල දෙයක් බව පේනවා.ඔබවහන්සේ පිණ්ඩපාතේ වඩින්න ඕන නෑ.ඔබවහන්සේට කරදර වෙන්නත් ඉඩ තියෙනවා.ඒ නිසා හෙට සිට ඔබවහන්සේ මාළිගයට වඩින්න.මා දානය සූදානම් කරන්නම්.මං සිව්පසයෙන් උපස්ථාන කරන්නම්" කියලා රජතුමා භික්ෂූන් වහන්සේලා ඇමතුවා. 

"පින්වත් ස්වාමීන් වහන්ස,කුණ්ඩධාන තෙරුන්ගේ පාඩුවේ බණ භාවනා කිරීමට ඉඩ හරින්න.සිව්පසයෙන් උපස්ථාන කරන එක මං කරන්නම්."

භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව හිටියා.රජතුමා ගිය විට රජතුමාටත් බනින්න පටන් ගත්තා.

"නුඹලයි දුස්සීල...නුඹලයි...නුඹලා වෙන්නැති ගෑණුත් එක්ක ලගින්නේ...," සිල්වතුන් වහන්සේලාට කුණ්ඩධාන තෙරුන් නින්දා කරනවා කියා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් ගියා.සියලු භික්ෂූන් කැඳවා කරුණු විමසූ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

"පින්වත් කුණ්ඩධාන,ඔබ මේ භික්ෂූන් පිටුපසින් ගැහැනුන් යනවා දැක්කාද?"

"නෑ...ස්වාමීනි"

"එසේනම් ඔබ ස්ත්‍රීවාදයෙන් මේ භික්ෂූන්ට චෝදනා කරන එක වැරදියි.ඔබ පිටුපසින් ස්ත්‍රියක් එනවාය කියන කරුණ සත්‍ය එකක්.ඔබට එය පේන්නෙ නැත්තේ කර්ම විපාකයක් නිසා.කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලයේදී ඔබ අතින් සිදු වූ වරදක් නිසයි එහෙම වෙන්නේ.ඉතින් මේ භික්ෂූන් වහන්සේලාට දොස් පවරන්න ගිහින් ආයෙමත් අවුලේ වැටෙන්න එපා!" කියලා අතීත ප්‍රවෘත්තිය විස්තර කරලා දුන්නා.අනිත් භික්ෂූන් වහන්සේලාටත් කරුණු පැහැදිළි කළා. 

"පින්වත් මහණෙනි,මේ භික්ෂුව සිල්වත්.නමුත් අර කර්ම විපාකයේ ඉතුරු කොටසයි ගෙවන්නේ.ඒ නිසා මේ භික්ෂුව කෙරෙහි අනුකම්පා කරන්න.නැවත ඔය ප්‍රශ්නය ඇදලා ගන්න එපා...

පින්වත් කුණ්ඩධාන,කවුරු මොනවා කිව්වත් නිශ්ශබ්දව ඉන්න.යකඩ බඳුනක කට කැඩුණා වගේ නිහඬව ඉන්න.ඕන දෙයක් කියන්න අරින්න.බණ භාවනා කිරීමට බාධාවක් කර ගන්න එපා...ඔබ ඉක්මනින්ම නිකෙලෙස් වෙන්න මේක හොඳ පාඩමක්..."

ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ ඉස්මතු කරමින් ඉතා ලස්සන ධර්මාවවාදයක් මේ ගාථා රත්නයන් තුළින් පෙන්වා වදාළා.

133.5. මා'වෝච ඵරුසං කඤ්චි - වුත්තා පටිවද්ය්‍යු තං
දුක්ඛා හි සරම්භකථා - පටිදණ්ඩා ඵුසෙය්‍යුං තං


කාටවත්ම නපුරු වදන් නොකියා ඉන්න - එහෙම වුණොත් ඒවි අනිත් අය බැණගන්න
කෝලාහල ඇතිවෙන තැන දුකමයි ඔන්න - කරදරයට වැටෙන්නෙ ඔබ බව දැන ගන්න


134.6. ස චේ නේරේසි අත්තානං - කංසෝ උපහතෝ යථා
ඒස පත්තෝ'සි නිබ්බාණං - සාරම්භෝ තේ න විජ්ජති


ලෝහ බඳුන කැඩුණ වගේ නිහඬව ඉන්න - තමන්ගෙ වචනය වරදින් මුදවාගන්න
අවුලක් හට නොගන්න ලෙස සංසුන් වෙන්න - සසරේ හැටි දැන ඔබ මෙහි නිවනට යන්න 


පින්වතුනේ,පින්වත් දරුවනේ,දැක්කා නේද අත්හදා බලන්න ගිහින් වෙච්ච දේ.අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න යන්න එපා! අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරට ගන්න එපා! ඒ කියන්නේ සමහරු බළල්ලු ලවා කොස් ඇට බාව ගන්නවා.තමන්ට කර ගන්න බැරි වැඩේ අනුන් ලවා කරවා ගන්නවා.තව කෙනෙක් කෙළින්ම බනින්නේ නෑ.අනිත් අය ලවා බන්නවනවා.එවැනි දේවල්වලට අහු වෙන්න යන්න එපා.මේ භයානක සසරේ කොයි විදියට විපාක දෙයිද කියලා කවුද දන්නේ.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 10
( පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ )



අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න 
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan


මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..

භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි (පළමු කොටස)


ඔබ ආවේ කොතනින්ද? ඔබ යන්නේ කොතනටද?
නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!…!!!.
බලන්නහු ගේ ඇසට සැබෑ සුවයක් වන, අසන්නහු ගේ කනට මහා මිහිරක් වන, සිතන්නහු ගේ සිතට අමා ගඟුලක් වන, වඳින්නහුගේ වන්දනාවට නොවරදින අරුතක් වන, පිහිට කොට ගත්තහුට නිවන් දොර විවර වන ගුණයෙන් අචින්ත්‍ය වූ අප්‍රමාණ වූ, අසම වූ, අසම සම වූ, අප්‍රමේය වූ මගේ ශාස්තෘ වූ දෙව් මිනිසුන්ට ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය බැවින්ම,  භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසන්නට පින් කල නිසාම අනන්ත වූ අසරණයන් අතරෙහි ඔබත් මමත් වාසනාවන්තයෝ වෙමු. මැරෙන උපදින අඳුරු සසරක ඝෝර වූ සතර අපා දුකට නිරන්තර උරුම කරුවන් වී එන්නේ කොහෙන්ද, යන්නේ කොහේදැයි නොදැන අසරණ ව සිටි සත්ත්ව වර්ගයාට මග කියූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව ලැබ සැනහෙන්නට ඔබට මට ඇති අති දුලභ වූ වාසනාව අතහැර අධර්මයේ මාර ධර්මයන්ට යටත්ව සසරෙහි අතරමං වන්නට සුදුසුද? දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මහා කල්ප ගණනින් ආයු ප්‍රභා බල ඇති මහා බ්‍රහ්මයන් සහිත  අනන්ත අප්‍රමාණ සක්වලයන්හි  ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් තමන් වහන්සේට වැඩි කෙනෙකුන් තබා තමන් වහන්සේට සම වූවකු හෝ නැති, තුන් ලොවට ජ්‍යෙෂ්ඨ වූ, ශ්‍රේෂ්ට වූ, අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප කෙරෙහි කරුණාවෙන් යම් ශීල සමාධි ප්‍රඥා සහිත ශික්ෂණයක් දේශනා කරන ලද්දේද, එමග අතහැර අන් මගක පිහිට ගන්නට ඔබ අප සිතන්නේද?  නැත. අපි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන්ද, වීර්ය සහිතව පිහිටුවා ගන්නා ලද ශීල ප්‍රතිපදාවෙන්ද, මහත් ධර්ම ගරුත්වයෙන්ද සවිමත්ව දහම් මග යමු.
පසුගිය පොහෝ දින කිහිපයක ලිපි වලින් අප අරමුණු කරන ලද්දේ තිසරණයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමට උපකාර වන කරුණු දැක්වීමයි. ශ්‍රද්ධාව ශාසන ප්‍රතිපදාවෙහි බීජයයි. ශ්‍රද්ධාව බෞද්ධයාගේ මූල ධනයයි. පසැස් ඇති දසබලධාරී වූ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ කෙරෙහි පැහැදීමෙන්, නොයෙක් අයුරින් ඒ අනන්ත ගුණයන් අසා කියවා ලියා සාකච්ඡා කිරීමෙන් ශ්‍රද්ධා ධනය දියුණු කරලීමට අපට හැකිය. භාග්‍යවතුන් වහන්සේ ගේ ස්වාක්ඛාත වූ ධර්ම රත්නය කෙරෙහි මහත් වූ ගෞරවයෙන්, කන්යොමා ඒ අසා ධරා වචනයෙන් පුරුදු පුහුණු කොට නුවණින් විමසා ප්‍රතිපත්තියට නැගීමට අපි උත්සුක විය යුතුය. මෙම ලිපියේ පටන් උතුම් වූ තිසරණයට පැමිණි ඔබ, තිසරණයෙහි පිහිටි ඔබ, ශ්‍රද්ධාව මතුකර ගත් ඔබ ඒ උතුම් වූ ශ්‍රද්ධාව සහිතවම, ශ්‍රද්ධාවන්ත වෙමින්ම ශීලයෙහිද  පිහිටීම පිළිබඳව, සිල්වත් වීම පිළිබඳව සාකච්ඡා කරමු.
මරණින් මතු ඔබේත් මගේත් භවය තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන් අපගේ ශීලයයි. කයින්, වචනයෙන්, මනසින් සුචරිතයෙහි හැසිරීමෙන් සුගතියෙහි ඉපදීමත්  දුශ්චරිතයෙහි හැසිරීමෙන් දුගතියෙහි වැටීමත් පිලිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද  අතිශය විශ්මයාවහ අතිශය මනරම් දේශනාවන් බොහෝ ගණනක් උතුම් වූ ත්‍රිපිටකය පුරා දකින්නට තිබේ.
භාග්‍යවතුන් වහන්සේ වනාහි ස්වකීය ඥානයෙන් භවයෙහි ඒ ඒ ගති උත්පත්ති දන්නා සේක. නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය,  මනුෂ්‍යයන්, දෙවියන් යන ගති පහක් භාග්‍යවතුන් වහන්සේ පණවන(දක්වන) සේක. මේ මේ ගති විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය දක්වන රමණීය උපමා පහක් උතුම් වූ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට කරන ලද මහා සීහනාද සූත්‍රයෙහි (මජ්ඣිම නිකායෙහි) දක්නට ලැබේ. පෙර ලිපියෙහිද සාකච්ඡා කරන ලද පරිදි මජ්ඣිම නිකාය මහා සීහනාද සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විෂයෙහි ශ්‍රද්ධාවට පැමිණීමට මහෝපකාරී වන, කියවීමෙන් දැරීමෙන් මහත් කුසල් සිදුකර ගත හැකි උත්තම සූත්‍ර දේශනාවකි.
මහා සීහනාද සූත්‍රය -මජ්ඣිම නිකාය, මූල පණ්නාසකය (සූත්‍රයෙහි සුගති දුගති පිලිබඳ දේශනා  කොටස මෙහි දක්වනු ලැබේ.)
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
සාරිපුත්තය, මේ ගති පසකි. කවර නම් පහක්ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍යයෝය, දෙවියෝය. සාරිපුත්තය, මම නිරයත් දනිමි. නිරය ගාමිණි මාර්ගයත් දනිමි. නිරය ගාමිණි ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සැපයෙන පහ වූ දුකටම ස්ථාන වූ නිරයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම තිරිසන් යෝනියත්  දනිමි. තිරිසන් යෝනියට යන මාර්ගයත් දනිමි. තිරිසන් යෝනියට යන ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ප්‍රේත විෂයයත් දනිමි. ප්‍රේත විෂයට යන මාර්ගයත් දනිමි. ප්‍රේත විෂයට යන ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු ප්‍රේතව උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම මනුෂ්‍යයන්  දනිමි. මිනිසත්බවට යන මාර්ගයත් දනිමි. මනුෂ්‍ය ලෝකයට යන  ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම දෙවියන්ද, දෙව්ලොවට  යන මාර්ගය දනිමි දෙව්ලොව උපදින ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සුගති වූ ස්වර්ගයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට  යන ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක්‌ ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, ගිනිගෙන දැවුණු, අළු නැති දුම් නැති ශරීර ප්‍රමාණයට වැඩි මහත් ගිනි අඟුරු වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අඟුරු වල උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අඟුරු වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ගිනි අඟුරු වලට වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක්‌ ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, අසූචියෙන් පිරුණු  ශරීර ප්‍රමාණයට වැඩි අසූචි වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අසූචි වල උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අසූචි වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ අසූචි වලට වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ  දුක් වේදනා විඳින  ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ විෂම භූමියක හටගත්, ඉතා තුනී පත්‍ර ඇති, සෙවන නැති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය  වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ වැටී හෝ සිටින  වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ  දුක් වේදනා විඳින  ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ  සැප වේදනා විඳින  මනුෂ්‍යව  උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ සම වූ සරුවූ  භූමියක හටගත්, මනාව වැඩුණු  පත්‍ර ඇති, මනා සෙවන ඇති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය  වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ නිදා හෝ සිටින සැප  වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ  සැප වේදනා විඳින  මනුෂ්‍යව  උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ  සැප වේදනා විඳින  ස්වර්ගයෙහි  උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ ප්‍රාසාදයක් වේද, එහි ඇතුලත පිටත මනාව වැසූ අගුලු දැමූ, සිහිල් වාතය ඇති, මෘදු පලසින් කරන ලද බුමුතුරුණු පලස් උඩු වියන් ඇති පළඟක් (ආසනයක් හෝ සයනයක්) ඇති  මහත් සුවපහසු කුටියක්ද‌ වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ ප්‍රාසාදය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ ප්‍රාසාදය  උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ ප්‍රාසාදය  වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ප්‍රාසාදය වෙත පැමිණ ඒ පළඟෙහි සැප  ඇතිව හිඳින හෝ නිදන ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ  සැප වේදනා විඳින  ස්වර්ගයෙහි  උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි.  මේ පුද්ගල තෙමේ යම සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, පහන් (පැහැදිලි) දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල දිය ඇති, සුදු වැලි තලා ඇති, මනාව පිහිටි තොට (දියට බැසීමට නිසි තොටුපල) ඇති සිත්කළු පොකුණක් වේද, ඊට නොදුරු ඝන වන ලැහැබක් වේද, එකල්හි  ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ පොකුණ වෙතම   වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ විල උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ පොකුණ  වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ පොකුණ වෙත පැමිණ, පොකුණට බැස, සිහිල් දිය ස්නානය කොට, පැන් බී, සියලු වෙහෙස පවසා නිවා, දාහය සංසිඳවා විඩාව දැවිලි සංසිඳවා, වන ලැහැබෙහි සුවසේ හිඳින හෝ නිදන ඒකාන්ත සුවයට පත් ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි.  යම් සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට  යන ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
 මෙසේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගති දන්නා දක්නා සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ඥානය නොවන්නට මේ විශ්වයෙහි, අනන්ත අප්‍රමාණ සක්වලයන්හි උපදිමින් මැරෙමින් ගමන් කරන අනේකවිධ සත්ත්වයන් සත්ත්ව ප්‍රජාවන් ගැන අපට දැන ගන්නට තබා සිතන්නට වත් අවස්ථාවක් නොලැබෙන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ “ලෝකවිදූ” ගුණයට ඒකාන්ත සාක්ෂි සපයන ලෝකය සහ සක්වල පිළිබඳවත් ලෝකධාතූන්හි හටගැනීම පැවැත්ම විනාශය පිළිබඳවත් කල්ප විනාශය ආදිය පිළිබඳවත් විශ්මය දනවන දේශනාවන් ශ්‍රී සද්ධර්මයෙහි එයි. ශීල ප්‍රතිපදාව පිළිබඳවත් දානමය පුණ්‍ය කර්මයන් පිළිබඳවත්  උනන්දු කරවීමේ අරමුණ සහිතව ඉදිරියට ලියවෙන ලිපි කිහිපය සඳහා පසුබිම සකස් කිරීමක් ලෙස ලෝක ධාතුන් පිළිබඳව, ලෝකධාතුවක ඒ ඒ සත්ත්ව භූමි, ආයුෂ සහ ස්වභාවය පිළිබඳව කරුණු දැක්වීමක් මෙහි සිදු කරනු ලැබේ. බොහෝ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කල හැකි සහ කල යුතු දහම් කරුණු ඇති විෂයක් වන නිසා මෙහි අපට අපේ ශක්ති පමණින් සැකෙවින් කල හැකි මග පෙන්වීමක් පමණක් කරනු ලැබේ.  උතුම් වූ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සහ උතුම් වූ සද්ධර්මයේ  අටුවාව කියවා වැඩි දුර කරුණු විමසා බැලීමට පින් කැමති සැඳැහැවත්හු උත්සුක වෙත්වා!!!

භාග්‍යවතුන් වහන්සේගේ සක්වල විභාගය

චූලනිකා සූත්‍රය
(සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, තික නිපාතය, දෙවන පණ්ණාසකය, ආනන්ද වර්ගය, දස වන සූත්‍රය
උතුම් වූ ධර්ම භාණ්ඩාගාරික වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘතිමතුන් අතරින් අග්‍ර වූද, භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසන සේක.
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් ඔබවහන්සේ හමුයෙහි මෙසේ අසා ඇත්තෙමි. කෙසේද යත්, භාග්‍යවත් අරහත් “සිඛී” සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ “අභිභූ” මහරහතන් වහන්සේ විසින් “සහශ්‍රී” ලෝක ධාතුවට ඇසෙන සේ සිංහනාද කරන ලද බවයි (අභිභූ මහවහන්සේ විසින් සහශ්‍රී ලෝක ධාතුවට ඇසෙන සේ “ආරභථ,යුඤජථ,නික්ඛමථ බුද්ධ ශසනෙ ” යන මහා දහම් ඝෝෂාව සිදු කරන ලදී.). වහන්ස, අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේට කොපමණ දුරට විශ්වයෙහි/ලෝක ධාතූන්හි දහම් ඝෝෂාව කල හැකි වේද?
 එවිට භාග්‍යවතුන් වහන්සේ,
ආනන්දය “අභිභූ” වනාහි ශ්‍රාවකයෙකි. තථාගතයෝ වනාහි අපරිමේය, ප්‍රමාණ රහිත වෙති.” යි දේශනා කරන සේක. දෙවනුවද ආනන්ද තෙරුන් විසින් විමසන ලදුව භාග්‍යවතුන් වහන්සේ පෙර පිළිතුරම දේශනා සේක.
තෙවන වරටත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙම පැනය විමසන කල්හි භාග්‍යවතුන් වහන්සේ,
“ආනන්දය, තොප  දහසක් සක්වලයන් සහිත “චූලනිකා ලෝක ධාතුව” අසා තිබේද? යි විමසන සේක.
ආනන්ද තෙරුන් වහන්සේ,
භාග්‍යවතුන් වහන්ස, යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක්ද, ඒ ලෙසින්ම භික්ෂූන් අසා දරන්නාහ. භාග්‍යවතුන් වහන්ස දේශනා කරනු මැනවි. භාග්‍යවතුන් වහන්ස සිංහනාද කරනු මැනවි. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සිංහහනාදයට කාලයයි.
භාග්‍යවතුන් වහන්සේ:
ආනන්දය එසේ වී නම් අසව,
හිරුද සඳුද, යම් තාක් දුර ගමන් කරමින් දිශාවන් බබලවයිද, ඒතාක් අවකාශය “සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. ඒ ලෝක ධාතුයෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. මහා මේරු පර්වත දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. අපර ගොයාන දහසක් ඇත. උතුරු කුරු දිවයින් දහසක් ඇත. පූර්ව විදේහ දහසක් ඇත. (මේ බෞද්ධ ක්‍රමය අනුව පෘථිවියේ ඇති මහාද්වීප  සතරයි- ඒ අනුව මින් දක්වන්නේ අප ලොව වැනි මිනිස් ලෝක දහසක් ඇති බවයි.) මහා සමුද්‍රයෝ හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), මහා රාජ්‍යයන් හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්),  චාතුම්මහාරාජික දහසක්, තව්තිසා දෙව්ලෝ දහසක්, යාම දෙව් ලෝ දහසක්, තුසිත දෙව් ලෝ දහසක්, නිම්මාණරති දහසක්, පරිනිම්මිත වසවත්ති දහසක්, බ්‍රහ්ම ලෝක දහසක් ඇත. ආනන්දය මේ “චූලනිකා සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ.
ආනන්දය,
මෙවන් චූලනිකා සහශ්‍රී ලෝකධාතුව  දහසින් ගෙන ගැනීමෙන් (එවන් ලෝක ධාතු දහසක් හෙවත් සක්වල මිලියනයක්/ දශ ලක්ෂයක්) “ද්වී සහශ්‍රී ලෝක ධාතුව ” හෙවත් “මධ්‍යම සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. තවද, මෙම මැදුම් සහශ්‍රී ලෝක ධාතුව “සහස්සධා” වශයෙන් ගණනය කිරීමෙන් “ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව” හෙවත් “මහා සහශ්‍රී ලෝක ධාතුව” ලැබේ. දශ ලක්ෂය දහසින් ගණනය කිරීමෙන් “සක්වල කෝටි සියයක්” සහිත ලෝක ධාතුව  ලැබිය යුතුය. නමුත් මහා සහශ්‍රී හෙවත් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට “කෝටි ලක්ෂයක් සක්වලයන්” අයත් බව ධර්ම සාහිත්‍යයේ එන මතයකි. උතුම් වූ අටුවාව මෙම ගැටලුව විසඳා තිබේ. බෞද්ධ සංඛ්‍යා ගණන ක්‍රමය අනුව “සහස්සධා” යනුවෙන් ගැනීමේදී අදාළ ගණනය කිරීම සිදු කරන්නේ ද්වී සහශ්‍රී ලෝක ධාතුවට අයත් දශ ලක්ෂයක් සක්වලයන් නැවත දශ ලක්ශයෙන්ම ගුණ කිරීමෙන් බව එහි දක්වා තිබේ. ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට කෝටි ලක්ෂයක් සක්වලයන් අයත් වන්නේ ඒ අනුවය. [බෞද්ධ සංඛ්‍යා ක්‍රමයෙහි වර්තමාන ගණිතයේ එන සංඛ්‍යා වල බල ගණනය කිරීම (උදාහරණ-:10000001000000) යෙදුනු බවට යම් යම් සාක්ෂි තිබේ.]
එක් සක්වලක හෙවත් එක් ලෝක ධාතුවක සත්ත්ව භූමි
චූලනිකා ලෝක ධාතුවෙහි සූර්යයන් දහසක් මගින් ආලෝකය පැතිරෙන ගමන් කරන ලෝක ධාතූන් දහසක් ඇති බව ඉහත සූත්‍ර දේශනාව අනුව ඔබට පැහැදිලි විය යුතුය. අපි දැන් ඒ එක් ලෝක ධාතුවක ඇති සත්ත්ව භූමි හෙවත් ලෝක ගැන විමසා බලමු. සැකෙවින් කියන්නේ නම් එවන් ලෝක ධාතුවක එක් මනුෂ්‍ය ලෝකයක්, ඊට ඉහලින් දිව්‍ය තල හයක්, ඊට ඉහලින් රූප සහිත බ්‍රහ්ම ලෝක දහසයක්, අරූප තල හෙවත් අරූප ලෝක සතරක් තිබේ. එම ලෝක 27 සුගති භූමි නොහොත් සැප ඇති සත්ත්ව භූමි වෙයි. මනුෂ්‍ය ලොවට පහලින් ඇත්තේ නිරය හෙවත් සතර අපායයි. අපගේ මනුෂ්‍ය ලෝකයට පහලින් එවන් නිරය භූමි 8ක් පිහිටා තිබේ. නිරය යනු සතර අපායෙන් එක් අපායකි. අනෙකුත් අපාය තුන වන්නේ “තිරිසන් යෝනිය”, “ප්‍රේත විෂය” සහ “අසුර නිකායයි” නමුත් මෙම සත්ත්ව නිකායයන් උදෙසා වෙනමම භූමි හෝ තලයන් පිහිටා නැත. මනුෂ්‍ය ලෝකය සහ ආසන්න දිවය තල ඇසුරෙහි තිරිසන්, අසුර සහ ප්‍රේත යෝනියේ සත්ත්වයන් කර්මානුරූපව පහල වී සිටින බව ධර්මයෙහි එන විස්තරයන්ගෙන් පැහැදිලි වෙයි. ප්‍රධාන නිරය භූමි 8 වටාම  සතර දිශාවෙහි සතරක් ලෙස අනු නිරය 16 බැගින් අනු නිරයන් 128ක් පිහිටා තිබේ. ඒ අනුව සියලු නිරය භූමි 136කි. මීට අමතරව සක්වලයන් තුනක් එක් වන තන්හි “ලෝකාන්තරික” නමින්ද තවත් නිරයක් පිහිටා තිබේ. මහා පොළවෙහි ගංගා ආදීය ඇසුරු කරගෙනද සමහර අපාය භූමි පිහිටා තිබෙන බවටද සූත්‍ර දේශනා ඇසුරෙන් මතුවන කරුණු තිබේ.
පළමුව කාම සුගතියට අයත් දිව්‍ය තල හය පිළිබඳව සැකෙවින් විස්තර කරනු ලැබේ.
දෙවියන් පිලිබඳ ඉතා දීර්ඝව සහ නිරවුල්ව බෞද්ධ විග්‍රහයක් සිදු කිරීම කල යුතු සහ කල හැකි කටයුත්තකි. සදෙව් ලෝකය පිලිබඳ එහි ඉපදීම, ඒ ඒ තලයන්හි සැපය, ඒ ඒ දේව නිකායන්ගේ ස්වභාවය විස්තර වශයෙන් සාකච්ඡා කල යුතුය. මෙහි ඉතාම සැකෙවින් හැඳින්වීමක් පමණක් කරනු ලැබේ.
පහත වගුව බලන්න. මෙම වගුව සකසා ඇත්තේ මනුෂ්‍ය ලොව සිට ඒ ඒ තලයන්හි පිහිටීම පහසුවෙන් තේරුම ගත හැකි ආකාරයටය. එනිසා කරුණාකර වගුව පහල සිට ඉහලට කියවන්න.


චාතුම්මහාරාජිකය
මිනිස් ලොවට යොදුන් 42000ක් (යොදුනක් යනු සැතපුම් දහසයකි) ඉහලින් පිහිටා ඇති මිනිස් ලොවට ආසන්නතම දිව්‍ය තලය වන මෙය උතුම් වූ සතර වරම් දිව්‍ය රජ වරුන් මගින් පාලනය වෙයි. එහි පෙරදිග පාලනය ගාන්ධර්වයන්ට අධිපති “ධෘතරාෂ්ඨ වරම් දෙව් රජු” විසින්ද, දකුණු දිශාව කුම්භාණ්ඩයන්ට අධිපති  “විරූල්හ” නොහොත් “වීරූඪ නම් වරම් දෙව් රජු” විසින්ද, පැසුණු දිග හෙවත් බටහිර දිශාව නාගයනට අධිපති වූ “විරූපාක්‍ෂ වරම් දෙව් රජ” විසින්ද, උතුරු දිශාව යක්ෂයන්ට අධිපති වූ කුවේර නොහොත් වෙසමුණි (වෙසවුණු යයිද කියනු ලැබේ.) වරම් දෙව් රජු විසින්ද පාලනය වෙයි. මනුෂ්‍ය ලෝකයෙහි වාසය කරන භූමාටු දෙවියෝද වෙනත් සියලු අමනුෂ්‍යයෝද චාතුර්මහාරාජිකය යටතේ පාලනය වෙත්. දෙවියන් භූම්‍යස්ථ සහ ආකාශස්ථ වශයෙන් බෙදා දක්වන කල්හි චාතුර්මහාරාජිකය ඇතුළු සියලු ඉහල දිව්‍ය තල වල දෙවියන් ආකාශස්ථ දෙවියන් ලෙස සලකනු ලැබේ. වෘක්ෂ දේවතාවන්, පොළොවෙහි ගංගා, ඇලදොළ, සමුද්‍ර වාසස්ථාන, සමහර මනුෂ්‍ය වාස, පින් සහිත සමහර මනුෂ්‍යයන්ගේ නිවාස සහ උපකරණ ආදිය ඇසුරෙහි වන “විමාන” නමින් හැඳින්වෙන මනුෂ්‍ය ඉන්ද්‍රීන්ට ගෝචර නොවන වාසස්ථාන ඇසුරෙහි මෙම භූමාටු දෙවියන් වාසය කරන බවට කරුණු තිබේ. සමහර භූමාටු දෙවියන්ට ධර්මය අසා මගපල ලැබීමට වුවද හැකියාව තිබේ. භූමාටු දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය ගැන නිශ්චිත නියමයක් දක්වා නැත. සමහර භූමාටු දෙවියන් දින සතක් වැනි ඉතා කුඩා කාලයක්ද තවත් භූමාටු දෙවියන් කල්පයක් තරම් අති දීර්ඝ කාලයක්ද ආයුෂ ලබන අතර ඒ ඒ කුසල කර්ම විපාකය අනුව ආයුෂ කාලය තීරණය වන බව දත යුතුය. භූමාටු දෙවියන්ගේ දිව්‍ය සැපත චාතුර්මහාරාජික දෙවියන්ට වඩා අඩු වන නමුත් මනුෂ්‍යයන්ට වැඩි කාම සම්පත්තියක් භුක්ති විඳියි. දෙවියන්ගේ උපත සකලාංග පරිපූර්ණය “ඕපපාතිකව” සිදුවන බව සාමාන්‍ය නියමය වන නමුත් භූමාටු දෙවියන් දරුවන් ලබන බවටත්, කුඩා ශරීර සහිතව පහල වන බවටත් ඔවුන් සමහරෙක් පවුල් වශයෙන් ජීවත් වන බවටත් “මෙත්ත සූත්‍ර(කරණීය-මෙත්ත සූත්‍ර)” නිධාන කථාව ආදී කථා අනුව පෙනී යයි.
සතර වරම් දෙව් රජුන් ප්‍රධාන වශයෙන් තවතිසා දෙව් ලොව ආරක්ෂාව පිණිස කටයුතු කරන ආරක්ෂක දෙවියන් ලෙසද කටයුතු කරයි. ඒ ඒ පරිදි සතර දිශාවෙහි සේනා සහිතව තව්තිසා දෙව් තලයට (අසුරයන් ගෙන් විය යුතුය: ධර්ම සාහිත්‍ය විමසා බලන්න) ආරක්ෂාව සැපයීමත්, මනුෂ්‍ය ලොව කටුයුතු, බුදු සසුන පිලිබඳ කටයුතු සහ සිල්වතුන් සහ පින්වතුන් පිලිබඳ ශක්‍ර දෙවියන්ට වාර්තා සැපයීම මොවුන් අතින් සිදු වෙයි. (ලිපිය දික් වන බැවින් විස්තර මෙතෙකින් නවත්වනු ලැබෙයි.) චතුර්මහාරජිකයෙහි දෙවියන්ගේ ආයුෂ මිනිස් ලොව අවුරුදු අනූ ලක්ෂයකි.
(එක් එක් දිව්‍ය තල පිළිබඳව විශේෂ විස්තර දීර්ධ වශයෙන් ලිවීමට එක් ලිපියක් ප්‍රමාණවත් නොවන බැවින් ඊළඟ දිවය තල පිළිබඳව හුදු නම් කිරීමක් පමණක් කරනු ලැබේ. දෙවියන් පිළිබඳව සවිස්තර විශේෂ ලිපි පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.)
තවතිසාව හෙවත් තාවතිංශය
ශක්‍ර දෙව් රජතුමන් සහ එතුමන් යටතේ සිටින දෙවි රජවරුන් තිස්තුන් දෙනෙකුන් මගින් පාලනය වන දෙව්තලයකි. සක් දෙවිඳුන් “දෙදෙව් ලොවට අධිපති” යයි කියන්නේ එතුමන් චාතුර්මහාරාජිකය සහ තව්තිසාව යන දිව්‍ය තල දෙකෙහිම අධිපති බව දරන බැවිනි.
යාමය
දුකින් පහ වූ ස්ථානය යන අරුතින් යාමය නම දරන මෙම දිව්‍ය තලය තුන්වන දිව්‍ය තලයයි.
තුසිතය
අතිශය ප්‍රමොදයෙන් ප්‍රීතියෙන් සතුටින් වාසය කරන දෙවියන්ගේ භූමිය යන අරුතින් “තුසිත” නාමය ඇති මේ දිව්‍ය තලය අප මහා බෝධිසත්වයන් වහන්සේ  සම්බුද්ධත්වය ලැබූ අවසන් භවයට පෙර භවයෙහි උපන් දිව්‍ය තලයයි. “සන්තුසිත” නම් දිව්‍ය රාජෝත්තමයාණන් අධිපති භාවය දරයි.
නිම්මාණරතිය
තමන් විසින් තමන් කැමති ආකාරයේ කාම වස්තුන් මවා ඒ කාම වස්තූන් මගින් කම් සුව ලද හැකි මහත් ආනුභාවයක් ඇති දෙවියන් පහල වන භූමියයි. බුදු සසුනෙහි අග්‍ර දායිකාවක වූ විශාකා මහෝපාසිකා තොමෝ මරණින් මතු උපත ලැබුවේ මෙම දෙව් තලයෙහිය.
පරිනිම්මිත වසවත්තිය
මහත් බල ඇති “මාර දිව්‍ය පුත්‍රයා” වාසය කරකරන මාර පිරිස වාසය කරන දෙව් තලයයි. කාම ලෝකයට අධිපති බව දරන්නේ මේ දෙවියන්ය. කාම ලෝකයට අයත් ඉහලම සහ ආයුෂයෙන්, සැපතින් බලවත්ම දිව්‍ය තලය මෙයයි. “අන්‍යයන්ගේ සම්පත්තිය තමන් විෂයෙහි පවත්වන” යන අරුතින් පරිනිම්මිත වසවත්ති යනුවෙන් කියනු ලැබේ.
මෙම දිව්‍ය තල සයෙහි විසිතුරු බවත්, සැපතත් විශ්මයාවහ වෙයි. දෙවියන් අතර උපදින නොවරදින මග භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර තිබේ. සම්මා දිට්ඨිය මත පිහිටා ශීලය ආරක්ෂා කිරීම සුගති මාර්ගයෙහි අනිවාර්ය අංගයන් වෙයි. ධර්මයෙහි සඳහන් දෙවියන් ගැන කථා කියවීමේදී පෙනී යන්නේ ඉහල ගනයේ බොහෝ දෙවියන් නොවැරදී පංච ශීලයත්, පොහොය අෂ්ටාංගික උපොසථ ශීලයත් සමාදන්ව ආරක්ෂා කර ඇති බවයි. උත්තම ගනයේ දානමය පුණ්‍ය කර්මයන් ඒ ඒ දෙවියන්ගේ මහේශාක්‍ය බවට හේතු වී ඇත.
අප මුලින් කියන ලද පරිදි මෙම ලිපියෙන් අපි ශීලය සහ දානමය පුණ්‍ය ක්‍රියා සිදුකිරීම පිලිබඳ සාකච්ඡාවක් ආරම්භ කරනු ලැබේ. දානය සහ ශීලය ගැන උනන්දුවක් ඇති කර ගැනීමට එහි අනුසස් දැන ගත යුතුය. දුශ්ශීල බවේ භයානක ආදීනව දැන ගත යුතුය. අනුසස් සහ ආදීනව පැහැදිලි  කර ගැනීමට නම් කර්ම විපාක වශයෙන් අත්වන සැප සහ දුක විපාක දන ගත යුතුය. ඒ ඒ විපාක වල ස්වභාවය අවබෝධ කර ගැනීමට නම් ඒ ඒ පින් පව් වලට අනුව සකස් වන භවය සහ උත්පත්ති ස්ථාන දැන ගත යුතුය. ඒ ගැන අවබෝධයක් ලබීමටනම් ලෝකධාතුව පිළිබඳව ඒ ඒ සුගති දුගති ස්ථාන පිළිබඳව කරුණු වටහා ගත යුතුය. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේගේ “ලෝක විදු” ගුණය කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව “ලෝක ධාතු” විස්තර, සුගතිය ගැන විස්තර, අපායෙහි දුක පිලිබඳ විස්තර ආදිය දැනගත යුතුය. මෙම ලිපියට හැකි පමණ එම කරුණු එකතු කරන ලද්දේත් සුදුසු පරිදි වගු සකස් කර ඉදිරිපත් කරන ලද්දේත් ඉදිරි ලිපි වලට සාකච්ඡා කිරීමේ පදනම සකස් කිරීම් අරමුණ ඇතිවය. ඒ කරුණු ඇසුරින් පින්වත් ඔබ තමන් විසින්මද දහම් කරුණු සොයා බලා ඉගෙනීමටත්, දන්නා කරුණු නිරවුල් කර ගැනීමටත් උත්සහ කර ගනිත්වා.
ධ්‍යාන සමාධි බලයෙන් කාම ලෝකය අභිභවා ඉහළින සිටින අතිශය බලවත් ආනුභාව ඇති බ්‍රහ්ම තලයන් පිලිබඳ විස්තර හඳුන්වාදෙන වගුවක්  පහතින් දැක්වෙයි. ධ්‍යාන භාවනා සහ සමාධිය පිළිබඳවත්, බ්‍රහ්ම ලෝකය පිළිබඳවත් පසු ලිපියකින් සාකච්ඡා කරමු.

නිරය
සතර අපාය අතරින්, අතිශය ඝෝර දුක් ඇති, නිරන්තර රළු වේදනා ගෙනදෙන දුක් ඇති, මහත් දීර්ඝ කාලයක් දුකෙහිම ගැලී හඬමින්, විලාප දෙමින් සත්ත්වයන් කර්ම විපාක වශයෙන්ම සකස් වූ මහත් දුක්ඛිත තත්වයට උරුම කරවන දුගතිය “නිරය” නම් වෙයි. පිහිටීම සහ ආයුෂ ගැන විස්තර සඳහා පහත වගුව බලන්න. සැබවින්ම “අපාය” යයි යයි කියන්නේ මෙම නිරය ලෝකයන්ටය. “අය” නම් සැපයට නමකි.  අය නම් සැප කිසිවක් නොවන බැවින්  “අපාය” යයි කියනු ලැබේ. ඇසිපිය හෙලන මොහොතකට වත් කටුක දුකින් තොර වීමක් වෙන් වීමක් නැති බැවින්, ඇසිපිය හෙලන මොහොතක තරම් වත් සැපයක් නොමැති බැවින් “නිරය” යයි කියනු ලැබේ. අප ලෝක ධාතුවෙහි “ප්‍රධාන නිරය හෙවත් මහා නිරය අටකි.”
සංජීවය
සත්වඝාතන, කාම මිත්‍යාචාර, සොරකම් ආදිය කළවුන් උපදින නිරයකි. මහා නිරය වටා අනූ නිරයන් දහසයක් ඇත.
කාල සූත්‍රය
මව්පියන්, ගුරුවර වැඩිහිටියන්, උපාධ්‍යායයන් ආදීන් කෙරෙහි වරදවා පිළිපදින ලද්දවුන් වැඩි වශයෙන් උපදින භූමියකි.
සංඝාතය
ගවයන්, එළුවන්, කුකුලන් ආදී සතුන් ඝාතනය කරමින් ජීවිකාව පවත්වන ලද සත්ත්වයන් වැඩි වශයෙන් උපදින භූමියකි.
රෞරවය
සත්ත්වයන්ට හිංසා පීඩාකාර වූ ක්‍රියා කරන ලද, මහත් අකුසල් කරන ලද, ඉන්ද්‍රජාලිකයන්, මායා කරුවන් ආදීන් අනුන් රවටා ජීවත් වන නායකකාරකාදී සත්ත්වයන් උපදින භූමියකි.
මහා රෞරවය
තෙරුවන් සතු වස්තුව පහර ගත්තාවූද, ජනයාගේ යහපත පිණිස ඇති පොදු දේපල විනාශ කරන ලද්දාවූද සත්ත්වයන් උපදින භූමියකි.
තාපය
හොඳ  නරක කර්මයෙහි විපාක නැත. සුගති දුගති නැත ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටි ගෙන සිටින නියත මිත්‍යා දෘෂ්ටිකයන් උපදින භූමියකි.
මහා තාපය (ප්‍රතාපය)
බුදුන් නැත, දහම් නැත, ආර්ය සංඝයා නැත ආදී වශයෙන් බලවත් දෘෂ්ටි ගන්නා ලද, බලවත් සේ ආර්යෝපවාද කරන ලද, සද්ධර්මයෙ පැවැත්ම විනාශ කිරීමට කටයුතු සංවිධානය කරන සත්ත්වයන් උපදින මහා නිරයකි.
අවීචිය
පන්චානන්තාර්ය පාප කර්ම කළා වූද, පන්සල්, බෝධිය, බෝමළු, බුදු පිළිම විනාශ කරන ලද්දාවූද, බුදු සසුනට වින කරන ලද්දවූද, තෙරුවන් විෂයෙහි බලවත් ද්වේශයෙන් කටයුතු කරන ලද්දාවූද, නියත වූද, බලවත් වූද මිතාදෘෂ්ටිය මත පදනම්ව දරුණු ක්‍රියා කරන ලද්දා වූද සත්ත්වයන් උපදින බලවත්ම දුක් සහිත මහා නිරයයි. දෙව්දත් ආදී ආනන්තර්ය කර්ම කල අවාසනාවන්ත සත්ත්වයන්ද බලවත් පාප ක්‍රම කරන ලද මව්පියන් ඝාතනය කරන ලද, රහතන් වහන්සේලා ඝාතනය කරන ලද, වෙහෙර විහාර විනාශ කරන ලද සත්ත්වයන්ට මෙහි ඉපිද අන්තඃ කල්පයක් තරම් ඇති දීර්ඝ කාලයක් දුක් විඳීමට සිදු වෙයි.


නිරය පිළිබඳව විස්තර කෙරෙන මූලික කරුණු ඇතුලත් වගුව ඉහතින් දක්වා තිබේ. (එම වගුව ඉහල සිට පහලට කියවන්න.)
මෙම සියලුම සත්ත්ව තලයන්, ඒවායේ දුක් සැප ගැන නිරවුල් විස්තර ඒවා ඇති බවට ශ්‍රද්ධාව පිහිටුවා ගන්නා ආකාරය, කල්ප විභංගය, කල්ප විනාශය ඇතුළු දහම් කරුණු සවිස්තරව ලියා තැබීම මාගේ අරමුණයි. නමුත් එය ලිපි ගණනාවකින් වත් පහසුවෙන් කල හැක්කක් නොවෙයි. එනිසා තම තමන්ද මේ කරුණුද උපකාර කරගෙන මේ ගැන ත්‍රිපිටක ධර්මය සහ අටුවා විග්‍රහය කියවා දරා ගැනීමට උත්සහ කරත්වා. කරුණු විස්තර වශයෙන් සඳහන් කිරීම ඉදිරි ලිපි වලින් ඉඩ ලැබෙන පරිදි සිදු කිරීමට උත්සහ ගනිමි. මසකට වරක් පලකෙරෙන නිසා ප්‍රමාදයෙන්  වන යම් අඩුපාඩුවක් වෙතොත් අප කෙරෙහි කරුණාවෙන් කමා කරත්වා. දහම් පිපාසය ඇත්තෝ නිරවුල්ව ඉවසීමෙන් අප්‍රමාදීව ධර්මය උගනිමින් දහමට යොමු වේවා.!!

ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි!!!

- සසිත් රාජසූරිය. 

April 25, 2013 at 12:01 am | lanka C news

තිස් වසක් සිරිපා අඩවියේ බවුන් වඩන යෝගී හාමුදුරුවෝ

සීත මීදුම් සළු දවටා ගත් සමනොළ අඩවියේ කඳු පන්තිය අපූර්ව සිත්තමකි. මීදුමින් හා වලාකුළින් බරවූ කඳු මුදුන් අපට නොපෙනේ. වන අඩවිය පිස හමන මඳ සුළඟ ගතට සිසිලක් ගෙනේ. මහ පොළොවේ සිට අහස සිපගත් කඳු පන්තිය දෙස අපි බොහෝ වේලා බලා සිටියෙමු. ඇති නොවන තරමේ දර්ශනයකි. කඳු පන්ති කිහිපයක් අතරේ පෙනෙන ශ්‍රී පාදය පූජනීය හැඟුම් ජනිත කරවයි. මළුවේ සිට පහතට විහිදෙන ලයිට් එලිය අලූයම නිසා තවම එළිය විහිදුවයි. සිරිපා කරුණා කරන බැතිමත්හු අප සිිටින මානයට පැහැදිලිව පෙනේ. ‘සිරිපා කරුණා කළ හැකිනම්’ යන හැඟීමක් සිත පහළ කළත් මේ ඊට අවස්ථාව නොවේ.
අද අපේ ගමන සිරිපා අඩවියේම වෙනත් කථාන්දරයකි. සිරිපා අඩවියේ වැඩ සිටින යෝගී හිමිනමක් පිළිබඳ ආරංචිය අපට අසන්නට ලැබුණේ කලකට පෙරදීය. අද උන්වහන්සේ මුණ ගැසෙන පින්වන්ත චාරිකාවයි.

1980 වර්ෂයේ පැවිදි වී 1982 වසරේ සිරිපා අඩවියේ වනගත වූ උන්වහන්සේ තවමත් මේ ගන කැලයේ බවුන් වඩති. ලාභ, ප‍්‍රසංශා, සැප සොයා දුවන ලෝකයෙන් මිදී උන්වහන්සේ මහා පාරමී දහමක් පුරති. මිනිස් වාසයෙන් කිලෝමීටර් හත අටකට එහා රූස්ස කැලයේ ගල් ලෙනක හුදෙකලාවී උන්වහන්සේ සසර විමුක්තිය සොයති. ධර්ම ඥානය අතින් ස්වාමින් වහන්සේ ස්ථිර වශයෙන්ම ඉහළ තැනෙක සිටින බව දෙවරක් නොසිතාම අපට හැඟේ.
අලි, කොටි, වලසුන් ගහන කැලයක අල, ගෙඩි, කොළ වළඳමින් තිස් වසක් තිස්සේ කරන මේ උත්තරීතර වෑයම අපට නම් පුදුමයකි. එහෙත් මේ ඇත්තකි. මාසයේ පෝදිනට පමණක් වනඅඩිවියට නුදුරු ගමේ පන්සලට පැමිණ ධර්ම දේශනයක් පැවැත්වීම උන්වහන්සේගේ සිරිතයි. යළි එදිනම වනගත වීමටද උන්වහන්සේ වග බලා ගනී.
සිරිපා අඩවියේ වෙසෙන යෝගී භික්ෂුව අප හමුවන්නේ ලොවුතුරු සද්ධර්මයෙන් බිඳක් ඔබට ලබාදීමේ බලාපොරොත්තුවෙනි. නම්, ගම්, ස්ථාන කිසිවක් සටහන් නොකිරීමේ වගකීමක් අපට පැවරී තිබේ. එසේ හෙළි කිරීම අපට බාධාවක් නොවුණත් මේ යෝගාවචර භික්ෂූන් වහන්සේට බාධාවකි. උන්වහන්සේ ඔබ උදෙසා දේශනා කරන ධර්මය පමණක් ඔබට ගෙන එමු. මේ කාර්යය වෙනුවෙන් අපට අවස්ථාව දුන් ගමේ විහාරාධිපති හිමියන්ට ගෞරවය පුද කරමු.

බණ අසන හෝ ඇසූ පමණට කෙනෙක් ධර්මය පිළිපදින බවක් නොපෙනේ. එසේ වී නම් ධර්මකාමී පරිසරයක් රටේ සාමාජයේ ස්ථාපිත වීම අරුමයක් නොවන්නකි. ධ්‍යාන, මාර්ගඵල බොහෝ දුරට සමාජයේ වැසී පවතී. අධර්මිකයන් මතුවී ධාර්මිකයන් යටපත්වී තිබේ. සමහරු තුළ ධර්ම මාර්ගයක් පිළිබඳ උනන්දුවක් තිබුණත් ඒවා වැඩිවශයෙන් ආමිසයට පමණක් සීමා වී තිබේ. ධර්ම මාර්ගයක් අපේක්‍ෂා කරන්නකු තුළ තිබිය යුතු ගුණාංග කවරේද, යන්න පිළිබඳව සිරිපා අඩවියේ යෝගී හිමියන් දක්වන්නේ මෙවැනි අදහසකි.
සද්ධර්ම මාර්ගයේ ඉදිරියටයන්න නම් මුලින්ම ඇති කර ගත යුතු දේ තමයි ශ‍්‍රද්ධාව. ශ‍්‍රද්ධාව ධනයක්. ධනය නැතිව මොකුත් කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ කෙරෙහි ඉතාමත් පැහැදීමෙන් යුතුව උන්වහන්සේ ගුරු උපදේශ රහිතව දේශනා කළ ධර්මය කෙරෙහි දැඩි විශ්වාසය ඇතිකර ගත යුතුයි.
ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න නම් ඒ ධර්මය කෙරෙහි මහත්වූ ශ‍්‍රද්ධාවක් ඇතිකර ගත යුතුයි.

ඒ ඇතිකරගත් ශ‍්‍රද්ධාවෙන් යුතුව ධර්මය ඉගෙන ගැනීමට විශාල කැමැත්තක් තිබිය යුතුයි.

ධර්මය කෙරෙහි කැමැත්තෙන් යුතුව අසා දැනගත යුතුයි. කියවා තේරුම් ගත යුතුයි.

අසා දැනගත් ධර්මය, කියවා තේරුම් ගත් ධර්මය පිළිබඳව නුවණින් විමසිය යුතුයි.
නුවණින් විමසන ධර්මය තමන්ට ගළපා ගෙන ප‍්‍රායෝගිකව අත්දැකීමට උත්සාහකළ යුතුයි.

ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න නම් මේ කාරණා මුලින්ම ඇතිකරගන්න  ඕනෑ. මේ සඳහා අවශ්‍ය කරන්නේ ප‍්‍රඥාවමයි. වීර්යයෙන් යුතුව සිහිය දියුණු කරගන්න  ඕනෑ. වීර්යයයි, නුවණයි, සිහියයි තියෙනවා නම් එයා දිගටම ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා.
ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට ප‍්‍රඥාව අවශ්‍ය බව උන්වහන්සේ පවසයි. ආර්ය මාර්ගයේ ප‍්‍රඥාව වර්ධනය වන ආකාරය යෝගී හිමියෝ මෙසේ සඳහන් කරති.

ආර්ය මාර්ගයට බැහැලා, ඒ අනුව ජීවිතය සකස් කර ගන්න කොට තමන්ට ඒ පිළිබඳව නිවැරදි දර්ශනය ගැන වැටහෙන ස්වභාවය, ඒකට තමයි ප‍්‍රඥාව වර්ධනය වෙනවා කියන්නේ. ප‍්‍රඥාව  ඕනෑම පුද්ගලයකුට තියෙනවා. තියෙන දේ දියුණු කර ගන්නයි  ඕනෑ. මූලික වශයෙන් දියුණු වන මාර්ගය තමයි,

යහපත් දේවල නිරත වෙමින් ඒ කුසල කටයුතු කිරීම තුළ වර්ධනය වෙනවා.
ධර්මය ඇසීම, ධර්මය කියවීම මගින් වර්ධනය වෙනවා.

මාර්ගය වැඞීම මගින් සම්පූර්ණ ප‍්‍රඥාව වර්ධනය වෙනවා.
කෙනෙක් ප‍්‍රඥාව ලැබෙන්නැයි ප‍්‍රාර්ථනා කරති. ප‍්‍රාර්ථනාවෙන් ලැබෙන ප‍්‍රඥාවක් ඇත්ද?

ප‍්‍රාර්ථනා කිරීම මත ප‍්‍රඥාව ලබන්න බෑ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා කියන්නෙ නිවන් අවබෝධ කිරීම. අරහත්වයට පත්වෙන්න නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරලා, අවිද්‍යාව, තණ්හාව දුරුකළ යුතුමයි. ප‍්‍රාර්ථනා කිරීම කියන්නේ ඉච්ඡුාව, ඉච්ඡුාවෙන් ලබන්න පුළුවන් දෙයක් නෑ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න නම් මාර්ගය වැඩිය යුතුයි.  මාර්ගය නොවඩා නම් කිසිවක් දකින්න ලැබෙන්නෙ නැහැ.
මේ මාර්ගය ඇත්තේ කොහිද?

මාර්ගය තියෙන්නේ විදර්ශනාවේ. විදර්ශනාවේ පළවැනි ඥානය උදයව්‍ය ඥානය. සම්මා දිට්ඨියට ආවට පස්සේ එයා ලෝකෝත්තර පැත්තට ගමන් කරනවා. ඔය විදිහට මාර්ගය වඩාගෙන යනකොට සංස්කාර සංසිඳෙනවා. නැවත නැවතත් වඩමින් යනකොට සංස්කාර සන්සිඳෙනකොට උදයව්‍ය ඥානය, භංග ඥානය, භයතු පච්ච ඥානය ආදී විදර්ශනා ඥාන ටික ඔතන ඇතිවෙනවා. වැඩි වැඩියෙන් බිදි බිඳී යන ස්වභාවය භංග ඥානය. මේ බිඳි බිඳී යන ස්වභාවය පේන කොට මේ බිඳී යන ස්වභාවය පවතීද කියල බියක් ඇතිවෙනවා. ඒක භයතුපච්ච ඥානය.



ඊළඟට සංස්කාර පිළිබඳව උපේක්ෂාවට පැමිණීම සංස්කාර උපේක්ඛා ඥානය. ඒ කියන්නේ දැන් ඔය දකින දර්ශනය නොපෙනී යනවා. සංස්කාරයන්ගේ දකින උදවිය නොපෙනී යනවා. එය නොපෙනී යෑම නිසා සංස්කාර පිළිබඳ උපේක්ෂාවට එනවා. සංස්කාර උපේක්ෂා ඥානයට පස්සේ ගෝත‍්‍ර භූ ඥානය. ඔය ඥාන ටික ඔතනදී වඩ වඩා යනවා. ගෝත‍්‍ර භූ ඥානය දියුණු කළාට පස්සේ මග්ගා මග්ග ඥානය. මග්ගා මග්ග ඥානයෙන් මාර්ගය අමාර්ගය දෙක තෝරාගෙන මාර්ගයේ ගමන් කළාට පස්සෙ ඥාන දස්සන විසුද්ධිය ඇතිවෙනවා.
ඔය ආකාරයට ඥාන ටික ඇතිවේගෙන ගිහිල්ලා ගෝත‍්‍ර භූ ඥානය ඇති කරගත්තට පස්සේ කිසි බියක් ඇති කර ගන්න දෙයක් නෑ. ගෝත‍්‍ර භූ ඥානය කියන්නේ මේ ගෝත‍්‍රයේ හිටියා, දැන් ආර්ය ගෝත‍්‍රයට පැමිණුනා. මේ පැත්තෙන් එහා පැත්තට තල්ලූවෙන එකයි තියෙන්නේ. පෘථග්ජන ගෝත‍්‍රයෙන් ආර්ය ගෝත‍්‍රයට පිවිසුනා කියන එක. ගෝත‍්‍ර භූ ඥානයට පස්සේ මග්ගා මග්ග ඥානය. ඒ වැඞීගෙන යන්නෙ ලෝකෝත්තර මාර්ගය. ඔය විස්තර කළේ බොහොම කෙටියෙන්. ප‍්‍රායෝගිකව අත්දකින දෙයක් මිස අසා දැනගෙන ප‍්‍රත්‍යක්ෂ අවබෝධයට එන්න බෑ. විදර්ශනා වැඞීමෙන්ම තමයි විදර්ශනා ඥාන ඇතිකරගත හැක්කේ. ඒක අවබෝධයක්. ඒ අවබෝධයට යන්න  ඕනේ ප‍්‍රායෝගිකව යෙදිලයි.


මතු සම්බන්ධයි.
(ප‍්‍රණාමය: විහාරාධිපති සුනන්ද හිමියන්ට, මහින්ද අමුගොඩ හා රංජනී මැතිනියට)
සටහන : අසංක ආටිගල
2013 මාර්තු මස 17 | ලංකාදීප කර්තෘ මණ්ඩලය