දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සුරාපානය මදයට ප්‍රමාදයට හේතුවෙයි

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 

තලල්ලේ චන්දකිත්ති හිමි

මදයට ප්‍රමාදයට හේතුවන්නා වූ රහමෙර හෙවත් මද්‍යසාර භාවිතා කිරීම සුරාපාන අකුසල කර්ම වෙයි. එය සිදුවන්නේ කය මුල්කර ගෙනයි. මෙය ප්‍රධාන වශයෙන්ම කාය මිථ්‍යාචාරයට උපකාරි වන අතර, එය ගිහි පැවිදි ඛේදයකින් තොරව සැමටම අහිත ක්‍රියාවක් සේ සළකා ඉන් වැළැක්වීමට කටයුතු කර ඇත.
ගිහියන්ට පන්සිල්, අටසිල් සහ ගිහි දස සිල්වලින්ද, සාමණේර ස්වාමින් වහන්සේට සාමණේර දසසිල් වලින්ද, උපසම්පදා භික්ෂූන්ට පනස් එක් වැනි පාචිත්තිය සිල් පදයෙන්ද සුරාපානය තහනම් කොට ඇත. පාචිත්තිය යනු ප්‍රබල සිල් පදයක් නොවූවත්, එවන් සිල්පදයකින් හෝ භික්ෂූන්ට සුරාපානය තහනම් වෙයි. මෙම තහනම බෞද්ධ සමාජයේ පමණක් ක්‍රියාත්මක වූවක් නොවේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළද සුරාපානය තහනම් ක්‍රියාවකි. බ්‍රාහ්මණ දහමට අනුව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය වෛශ්‍ය යන අයට සුරාපානය කළ නොහැකිය. එය ශුද්‍රයන්ට පමණක් සීමා වූ පහත් ක්‍රියාවක් ලෙස බමුණු දහම පවා සලකයි. එය සියලු ආගම්වලින් ප්‍රතික්ෂේප කර ඇත.
පන්සිල් අතර පස්වැනි සිල්පදය “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී” සිල්පදය යි. මෙහි මජ්ජපමාදට්ඨානා යනුවෙන් විශේෂ වචන දෙකක් එකතු වී ඇත. මජ්ජ නම් මදයයි. පමා නම් ප්‍රමාදයයි. ඨාන නම් එයට හේතු වන කාරණාවයි. මදයට හා ප්‍රමාදයට හේතුවන සකල විධ මද්‍යසාරයෙන් වැළැකෙමි යන්න එම සිල් පදයෙහි අරුතයි. ඒ වගේමයි තමන් මත්වතුර නොබොන්නා සේම අන් අයට එය නොදීම ද කළයුතු වෙයි. තමා සුරා පානයෙන් වැළැකී තම නිවසට පැමිණෙන හිතවතුන්ට මත්පැන් වලින් සංග්‍රහ කිරීම බොහෝ නිවෙස් තුළ සිදු වන්නෙකි. නමුත් සිදුවිය යුත්තේ තමා මත්පැන් පානය නොකරන්නා සේ අන් අයටත් නොදී සිටීමයි. එවිට ඒ සිල්පදය රැකේ. යම් විශේෂ දිනකදී සුරාව දීමෙන් තම නෑදෑ හිතවතුන් වෙරිමතින් විකාර නැටුම්, ගැයුම් ආදියෙන් යුතුව විකෘති වූ මානසිකත්වයකින් කරන ආශිර්වාදයෙහි ඵලය කුමක්ද? මෙසේ අන් අයට මත්වතුර දීමෙන් වන්නේ සංසාරයේ කෙදිනක හෝ තමාටත් ලෝදිය උගුර උගුර හෝ බීමට සිදුවීමයි. තමන් වැරැද්දක් නො කරන්නේ නම් මම නොකරන වැරැදි දේ අන් අය ලවා හෝ නොකරමි යන දැඩි ප්‍රතිපත්තියෙන් සිටීමට වගබලා ගතයුතු වන්නේ ඒ නිසාය. එයින් විදහා පාන්නේ ඔහුගේ පෞරුෂත්වයයි.
ඒ වගේම මේ සිල්පදය බිඳගන්නා තවත් අවස්ථාවක් තිබේ. ඒ වෙරිමතින් නටන පුද්ගලයන් දැක සිනාසෙමින් එය ඒ කි‍්‍රයාව ආශ්වාදයෙන් වැළඳ ගැනීමයි. ඒ වගේම සැබෑ ලෝකයේ පමණක් නොව මාධ්‍ය වලින් පෙන්වන බීමත් රැඟුම් දැක අපි එය සතුටින් වින්දනය කරමු. ඒ ආශ්වාදය තුළින් සිදුවන්නේ ද මෙම සිල්පදයට හානි වීමයි. මෙම සිල්පදය පරිපුර්ණත්වයට නො පැමිණීමයි. බීමතින් දොඩවන මිනිසුන්ගේ විකාර කථා ඇසීමට ඇති ආශාව නිසා ඔවුන් තවත් දිරි ගන්වන අයද සිටියි. එයින් සිදුවන්නේ ද අර පුද්ගලයන් තව තවත් මත්වතුර පානය කිරීමයි. මෙවැනි දේ දැක සිනාසෙමින් ආශ්වාදයෙන් ඉවසා සිටීමද හොඳ දෙයක් නොවේ. මත්වීමට එක් වචනයකින් හෝ සහයෝගය දෙන, අනුමත කරන හෝ ඒවා ආශ්වාදයෙන් වැළඳගන්නා අය කවුරුත් සිල්පදය පරිපූර්ණත්වයට පත් කර ගන්නෝ නොවති.
මද්‍යසාර භාවිතයෙන් වැළකිය යුත්තේ එය ප්‍රධාන වශයෙන් මදයට හා ප්‍රමාදයට හේතුවන නිසාය. සාමාන්‍යයෙන් පන්සිල් විස්තර කරන විට සිල්පද හතරකට එය කඩ කළහොත් එයින් සිදුවන හානිය සිල් පදය තුළින්ම විස්තර කර නැත. උදාහරණයක් ලෙස පාණාතිපාතා සිල්පදය කඩ කිරීමෙන් සිදුවන හානිය පිළිබඳව එම සිල්පදය තුළින් දක්වා නැත. නමුත් සුරාපානයෙන් වැළකීමට බුදුදහම මිනිසුන්ට උපදෙස් දෙනුයේ එය කඩ කළහොත් සිදුවන හානිය පිළිබඳව අවධාරණය කරමිනි.
මදය යනු කායික මත්වීම හෙවත් කායික දුර්වලතාවය යි. ප්‍රමාදය යනු මානසිකව ඇතිවන දුර්වලතාවයයි. මද්‍යසාර භාවිතයෙන් සිත සහ කය යන දෙකම දුර්වල වෙනවා පමණක් නොව මොළයේ ඇති ශෛල විශාල ලෙස අඩපණ කිරීමට හේතු වෙයි. සුරාපානය නොකර සිටීමෙන් මිතුරන් අතරේ කොන් වෙයි, එය තමන්ට මදිපුංචිකමක් යැයි සිතන අයද සිටී. බේබදු මිතුරන් අතරේ තමන් කලක් රැක ගත් අභිමානය, පෞරුෂය මෙලෙස පාවා දෙන්නට සිදුවන්නේ තමන් තුළ එයට විරුද්ධව නැඟී සිටීමේ දක්ෂතාවය නැති බැවිනි. එය කිසිම අයුරකින් සාධාරණීකරණය කළ නොහැක. සතිය යනු සිහිය යි. සිහිය විකෘති කරන, එය මැඬ පවත්වන, සිහිය දුර්වල කරන, ප්‍රධානම බලවේගය සුරාපානයයි. ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අවශ්‍ය ප්‍රධාන ධර්මතාවය වන්නේ සතිය නොහොත් සිහියයි. ධර්ම මාර්ගයේ ගමන් කර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට යමෙක් කැමැති නම් දියුණු කළ යුතු ප්‍රධාන ධර්මතාවය වන්නේ සතිය නොහොත් සති සම්බෝජ්ජඣංගයයි. සුරාපානය පහර එල්ල කරනුයේ එබඳු වූ සතියටයි. එවැන්නෝ නිවන් මාර්ගයෙන් බොහෝ ඈත් වූවෝ වෙති.
මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ අනෙක් අකුසල කර්ම කිරීමේදී සිහිය නො පිරිහෙන බවයි. ඒවා මනාව දියුණු කිරීමට සිහිය අවශ්‍ය වෙයි. මෙහිදී සිහිය යනු සම්මා සතිය නොව සාමාන්‍ය සිහිය බව අප දැනගත යුතුය. සතිය තිබීම සාමාන්‍ය දෙයකි. සම්මා සතිය නම් කුසලය පිළිබඳව ඇති සිහිය වන අතර, අකුසලය පිළිබඳ දියුණු වන සිහිය මිච්ඡා සතිය වෙයි. සතෙකු මරණ විටද, කාමයේ වරදවා හැසිරෙන විට හෝ බොරු කියන විටද සිහිය තිබිය යුතු වේ. අකුසල් කර්ම කරනවිට සිහිය පිරිහෙන්නේ නැත. ඒවා සිදු කිරීමට මිච්ඡා සතියයි අවශ්‍ය වන්නේ. සම්මා සතිය සම්පූර්ණයෙන් නැතිකර දමා එක් විටම සිත සහ කය සහමුලින්ම දුර්වල කරන එකම අකුසල කර්මය සුරාපානය යි. සුරා ලෝලීත්වය අවසන් වන්නේ උන්මත්තක භාවයෙන් බව දැන එම කාර්යයෙහි වැළකීමට උත්සාහ කළයුතු බව බුද්ධ දේශනාවලදී අපට ඉගැන්වෙයි.
සුරාපානය හෙළා දැකීමට බුදුදහම උත්සුක වන ප්‍රධාන හේතු දෙකකි. තථාගතයන් වහන්සේ විසින් සුරාපානයෙන් වළකින ලෙස දක්වා ඇත්තේ එයින් ලෙඩ රෝග වැළඳෙන නිසාම නොව එය නිවන් මඟට බාධාවන් වන බැවිනි. එය බුදුදහමේ ඉගැන්වෙන විමුක්ති මාර්ගයෙහි ගමන් කිරීමට බෙහෙවින් ඉවහල් වන ජාගරියානුයෝගය (සිහිය දියුණු වන පරිදි නිදිවරා කටයුතු කිරීම) ප්‍රතික්ෂේප වේ. ත්‍රිවිද්‍යාවන් උපදවා ගැනීමට පුහුණු කළ යුතු චර්යාවන්, අනුගමනය කළ යුතු ධර්ම පසළොස්චරණ ධර්ම ලෙස හැඳින්වේ. ඒ පසළොස්චරණ ධර්ම අතරින් ජාගරියානු යෝගයට සහ භෝජනේමත්තංඤ්ඤුතා (ආහාරයේ පමණ දැන ගැනීම) යන කරුණු දෙකම සුරාපානය මඟින් දුර්වල වෙයි.
සුරාපානය කරන්නා මෙලොවදී යම් යම් විපත් කරදර වලට මුහුණ දී මරණින් මතු නරකයෙහි ඉපිද අනේක විධ වර්ෂ කෝටි සහස්‍රාදියක් පැසී එයින් මිදී කලාතුරකින් මිනිසත් බවක් ලබා ගත්තද, ඒ තැනැත්තා උප්පත්තියෙන්ම මන්ද බුද්ධිකයෙකු වෙයි. ජන්මයෙන්ම මන්ද බුද්ධිකයෙක් වූ විවිධ හේතුන් නිසා උන්මත්තකයෙකුගේ තත්ත්වයට පත්වේ. ගුණ හීනයෙකු වෙයි. ලජ්ජා නැති මිනිසෙක් වෙයි. දිළින්දෙක් වෙයි. හැම විටම ඤාාති ව්‍යසනාදි දුක්වලට මුහුණ දෙන්නෙක් වෙයි. ඤාතීන් භේද වී රණ්ඩු සරුවල්වලට ලක්ව පවුලේ සමගිය විනාශ වෙන තත්ත්වයට පත්වෙයි. විරූපී ශරීරයක් ඇත්තෙක් බවට පත්වෙයි. මේවා සුරාපානයේ ආදීනව වෙයි.

සැපයට හේතුවන සීලය

බත්තරමුල්ල හීනැටිකුඹුර පුරාණ විහාරවාසී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
අඹගහවත්තේ සුධම්මවංශ හිමි

බුදු දහමේ ඉගැන්වෙන ධර්මානුකූල ප්‍රතිපදාවේ අවසන් බලාපොරොත්තුව නිවන් අවබෝධයයි. එහි දී අප ගමන් කළ යුතු ප්‍රතිපදාව නොහොත් මාර්ගය අනුපූර්ව ශික්ෂාවයි. පෘථග්ජන පුද්ගලයා අනුක්‍රමයෙන් සීලයෙන් යුක්තව නිර්වාණය උදෙසා ගමන් කරයි. එය ලෞකිකත්වයෙන් ලෝකෝත්තර අධිගමනයට පත්වීමක් ලෙස දැක්විය හැකිය.
මෙලොව සාර්ථක බවෙහි ප්‍රධාන අංගය සීලයයි. එනම් සීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥාවන්ත වී උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නා ආකාරය බුදුහිමියන් තමන් වහන්සේ අවබෝධ කරගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දී පියවරෙන් පියවර පෙන්වා දී ඇත. එහි දී සීලයෙන් තොර සමාධියත්, සමාධියෙන් තොර ප්‍රඥාවත් පිළිබඳව සාකච්ඡා කිරීමක් නොමැත. සීලය පළමුවෙන් ම සම්පූර්ණ කළ යුතු ප්‍රතිපදාවයි. සීලයෙහි නොපිහිටීම තුළ සත්ත්වයා අනේකවිධ දුක් කම්ටොලු, වේදනා පීඩාවන්ට මුහුණපාමින් සසර දීර්ඝ කාලයක් සැරිසරන බව බුදුහිමියන් වදාළ සේක.
සීලයෙන් තොරව ලෞකික හා ලෝකෝත්තර සුවයක් ද, මෙලොව හා පරලොව දියුණුවක් ද ලබාගත නොහැකි බවයි. උන්වහන්සේ දේශනා කොට වදාළේ යමෙකුගේ ජීවිතය සාර්ථක බවට හෝ අසාර්ථක බවට පත් කරන ප්‍රධාන මූල ධර්මය සීලයයි. සීලයෙන් තොරවීම දෙලොව අයහපතට හේතුවන අතර නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් ද ඈතට ගෙන යයි. සීලයෙන් තොරවීම අපරාධ රාශියකට දොරටු විවෘත කරන්නකි. එහි කෙළවර පුද්ගලයා හා සමාජය කායික හා මානසික, අධ්‍යාපනික, ආර්ථික, සාමාජික හා අධ්‍යාත්මික ආදි විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විනාශයෙන් විනාශයට ගොදුරුවීමයි. එදිනෙදා අපට ඇතිවන ගැටලු, ප්‍රශ්න විසඳාගැනීම සඳහා සීලය හේතුවන බව දිනක් බුදුහිමියන් වෙත පැමිණි දෙවියකු උන්වහන්සේගෙන් විමසා සිටිනුයේ සත්ත්වයා කරදර, ප්‍රශ්නවලින් පෙලෙමින් ජීවත්වන බවත් එම ගැටලු විසඳන්නේ කෙසේද? යනුවෙනි. එහි දී බුදුහිමියන් වදාළේ,

“සීලේ පතිට්ඨාය න රො සපඤ්ඤො” යනුවෙන් ප්‍රඥාවන්ත මිනිසා සීලයෙහි පිහිටා සීලයම ප්‍රගුණ කිරීමෙන් පුද්ගලයාට පැන නගින සියලු අභ්‍යන්තර හා බාහිර ගැටලුවලින් මිදීමට මගක් බව දක්වයි.
සීලය යන්නට විවිධ අර්ථ කථන දක්වා ඇත. ඒ අනුව සීලය යනු සීතල, සිසිල යන අර්ථයෙන් දක්වා ඇති අතර එහි දී සීලය නිසා පුද්ගලයා මෙලොව හා පරලොව මෙන් ම, තමා හා අනුන් යන දෙපිරිසට ම යහපතක්, සිසිලසක් ගෙන දෙන අර්ථයෙනි. පුද්ගලයා කය, වචනයෙන් යහපත්ව කටයුතු සිදු කිරීමයි. “කාය වාචානං සමෝදානං සීලං” යනුවෙන් දක්වනුයේ කය, වචනය දෙකෙහි සංවර භාවයයි. එහි දී කයෙන් සිදුවන
ප්‍රාණඝාතය, 
සොරකම් කිරීම, 
කාමය වරදවා හැසිරීම යන අකුසල් කර්මද, වචනයෙන් සිදුවන, 
මුසාවාදය හෙවත් බොරුව, 
කේලාම්කීම, 
හිස්වචන කතා කිරීම,

පරුස වචන කතා කිරීම යන වචනයෙන් සිදුවන අකුසල් යන මෙම කාය – වාග් අකුසල් දුරුකළ යුතුය. මේවා දුරුකළ යුතු වනුයේ දැඩි ආශාව, තරහව හා මිථ්‍යාදෘෂ්ටිය බැහැර කිරීමෙනි. මෙම අකුසල් දුරු කිරීම හා ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කර්ම කිරීම සීලය ලෙස හැඳින්විය හැකිය. ගිහි පින්වතුන් විසින් රැකිය යුතු සීලයන් ලෙස
පංචසීල ප්‍රතිපදාව, 
උපෝසථ අෂ්ඨාංගික සීලය, 
ආජීව අෂ්ඨමක සීලය, 
ගිහි දස සීලය ආදිය දැක්විය හැකිය.

පංචසීල ප්‍රතිපදාව පිළිබඳව සැලකීමේ දී ගිහි නිත්‍ය සීලය මෙයයි. සමාජයේ බහුල වශයෙන් සිදුවන සමාජයේ යහපැවැත්මට බාධා පමුණුවන පුද්ගල හා සමාජ ජීවිතයේ මුහුණ දෙන ගැටලු තත්ත්වයන් නම් මනුෂ්‍ය ඝාතන, සොරකම, ළමා අපචාර, කාන්තා හිංසන, මත්පැන් භාවිතයයි. මේවා සමාජයේ සිදුවන සාපරාධි ක්‍රියාවන්ය. බුදුහිමියන් වදාළේ මේ සියලු ගැටලු නිරාකරණය සඳහා පංචසීල ප්‍රතිපත්තිය සුදුසු බවයි. පංචසීල ප්‍රතිපදාව නම්
ප්‍රාණඝාතයෙන් වැළකීම, 
සොරකමින් වැළකීම, 
කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, 
බොරුකීමෙන් වැළකීම, 
මත්පැන්-මත්ද්‍රව්‍ය ආදියෙන් වැළකීම,

පංචසීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීම තුළ සියලු සත්ත්වයාට අවිහිංසාව පතුරවමින්, ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරකමින්, හිංසනය ප්‍රචණ්ඩත්වයෙන් මිදී දයානුකම්පාවෙන් හා කරුණාවෙන් යුතුව අනෙකාට ජීවත්වීමට අවස්ථාව සලසා දෙයි. එමෙන් ම අනෙක් ශික්ෂා පද තුළින් ද සොරකමින් වැළකී පරිත්‍යාගශීලි බව, පවුල් ජීවිත සාර්ථක කරගනිමින්, බොරුකීමෙන් වැළකී සත්‍යවාදිවීම, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් ඉවත්ව ජීවත්වීම තුළින් ප්‍රකට කරනුයේ යහපත් පුද්ගල හා සමාජ ප්‍රගමනයට අවශ්‍ය කරුණුය. පංචසීල ප්‍රතිපදාව තුළ ගමන් කිරීමෙන් පුද්ගල ජීවිතය කායික හා මානසිකව සතුටින් සැනසීමෙන්, සැහැල්ලුවෙන් හා යහපැවැත්මෙන් ගත කළ හැකිය.
වර්තමානයේ දී පංචසීල ප්‍රතිපදාව පමණක්වත් ආරක්ෂා නොකිරීම තුළ මුහුණපාන්නට සිදුවන විවිධ විපාක දැකගත හැකිය. විවිධ මනුෂ්‍ය ඝාතන, සොරකම් කිරීම් ආදිය සිදුකොට පසුව තැවෙමින් දීර්ඝකාලයක් බන්ධනාගාර ගත වූවන්, තම ජීවිතය විඳවන මිනිසුන් අප ඕනෑ තරම් දැක ඇත. එමෙන් ම වැරදි කාම සේවනය ආදිය නිසා විවිධ සමාජ රෝග, මානසික රෝගවලින් පීඩා විඳින උදවිය අනන්තය. සියදිවි නසා ගැනීම් ඉහළ ප්‍රතිශතයක් ගෙනෙනු ඇත. දුප්පත්කම ද ප්‍රබල සමාජ ගැටලුවකි. මෙම සියලු ප්‍රශ්න විෂයෙහි ප්‍රධාන හේතුව නම් පුද්ගලයා සීලවන්ත නොවීමයි.
එමෙන් ම පෝය දිනයන් තුළ පෙහෙවස් සමාදන්වීම බෞද්ධ අප සියලු දෙනාගේ චාරිත්‍රයක් වී ඇත. බුදුහිමියන් දිනක් විශාඛා උපාසිකාවට වදාළේ ඇතැම් උදවිය පෝය දිනය තුළ දී පෙහෙවස් සමාදන් වූව ද එදිනට පවා තම කටයුතු අත්හැරීමට බොහෝ දෙනාට අපහසුවන බවයි. උපෝසථ වර්ග තුනක් පවතින බව තථාගත බුදුහිමියන්ගේ දේශනාවයි.
ගෝපාලක උපෝසථය, 
නිගණ්ඨ උපෝසථය, 
ආර්ය උපෝසථය.

මෙලෙස පුද්ගලයා සීලය ආරක්ෂා කර ගැනීම තුළින් මෙලොව වශයෙන් ම තම ජීවිතයට ලද හැකි ප්‍රයෝජන පහ විශුද්ධි මාර්ගයේ දැක්වේ.
මහත් වූ භෝග සම්පත් ලැබීම
සීලවන්තයාගේ කීර්තිරාවය පැතිරයෑම
සිල්වත් පුද්ගලයා යම් තැනකට ගිය ද එහි විශාරදව කටයුතු කිරීම
සිහිවිකල් නොවී පහන් සිතින් මරණයට පත්වීම
මරණින් පසු දිව්‍යලෝකයේ ඉපදීම
බොහෝ දෙනාට තමා සමාදන් වූ සීලය ආරක්ෂා කර ගැනීමට නොහැකි වනුයේ අධිකතර ලාභ සත්කාර හා කීර්ති ප්‍රශංසා ආදිය ලැබීම නිසාය. මේ බව අවබෝධ කොටගෙන සීලය රැකීමට අපහසු වූවත් ඉතාමත් ඕනෑකමින් රැකිය යුතු බව මෙසේ විස්තර කරයි. එනම් “කිරිල්ලියක් ඇයගේ බිත්තර මහත් උත්සාහයෙන් රකින්නේ යම් සේද , කටු ලැහැබෙහි පැටලුනු වලිගය රකිනා සෙමෙර මුවා මෙන් ද, ප්‍රිය වූ තම එකම පුතු රකින මව මෙන් ද, එක් ඇසක් අන්ධ පුද්ගලයකු තම අනෙක් ඇස රැක ගැනීමට වෑයම් කරන්නාක් මෙන් ද සීලය ආරක්ෂා කරගත යුතුය.”

කිසිවක්‌ නොසොයන්න හමුවීමට කිසිවක්‌ නැත


පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරි සීවලී හිමි
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය, ප්‍රධාන අනුශාසක
යටියන, මිනුවන්ගොඩ

යථාභූත ඤාණ දර්ශනය යනු ඇත්ත ඇති සැටියෙන් ප්‍රඥාවෙන් දැකීමයි. යථා + භූත + ඤාණ + දර්ශනය "යථා" යනු ප්‍රකෘතියයි. ප්‍රකෘතිය යනු ඇත්තයි. එකම ඇත්ත අනිත්‍යයි. "භූත" යනු ප්‍රකට බවයි. විද්‍යමාන වන බවයි. හටගත් බවයි. "ඤාණ දර්ශනය යනු විදසුන් නුවණින් දැකීමයි. ප්‍රඥවෙන් දැකීමයි. නිරන්තරයෙන්ම අතොරක්‌ නැතිව පටිච්ච සමුප්පන්න බව හෙවත් ඉධප්පච්චයතාව, ධම්මට්‌ඨ§තිතාව, ධම්ම නියාමතාව, අනිත්‍යය තුළ විද්‍යමානයි. "ඇත" හෝ "නැත" නොපැනවිය හැකි බවයි. "ඇත" (අත්ථි) හෝ "නැත" (නත්ථි) හෝ පනවන්න හටගත් බවක්‌ හෝ නිරුද්ධ වීමක්‌ පෙන්නුම් කළ නොහැකිය. සියලුම ශක්‌ති (සුද්ධ ධර්මතා) වල ප්‍රකෘතිය මසැසට දැකිය නොහැක. ගෝචර වනුයේ නුවණැසටය. "යථාභූත" ස්‌වභාවයි ගෝචර වනුයේ ලෞකිකත්වයට නොව ලෝකෝත්තර විදසුන් නුවණටය. 

ලෝකෝත්තර ස්‌වභාවය යනු අසංකතයි. අසංකාරයි. ලෞකික ස්‌වභාවය සංකතයි. සංකාරයි. සංකාර යනු හටගන්නා වූ ශුද්ධ ධර්මයන්ගේ (පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඤ්ඤාණ) සාමූහික ප්‍රවර්තනයයි. මේ ස්‌වභාවය ඉතා ගැඹුරුයි. අතක්‌කාවචරයි. පණ්‌ඩිත වේදනීයයි. නිපුණයි. දුද්දසයි. දුරනුබෝධය. සුවිසුද්ධයි. පරිසුද්ධයි. ඉඳුරන්ට ගෝචර නොවන ප්‍රඥවෙන්ම දත යුතු ධර්මතාවකි.

මේ ධර්මතාව ආධ්‍යාත්මික, බාහිර බවද ඉක්‌මවා ගිය තත්ත්වයකි. නිර්මාණාත්මක සිතුවිලිවල අක්‍රීය තත්ත්වයකි. සිතුවිලි ලෝක ධර්මයකි. සංකතයි. භෞතිකත්වය පදනම්ව මොනයම් හෝ පනවා ගැනීමක්‌ අපේක්‍ෂාවක්‌ බලාපොරොත්තුවක්‌ වේ නම් ඒවා සීමා මායිම්ව වැටකොටු ගසා හිර කරගෙන මානසික ක්‍රියාකාරකමකට යටත්ය. එවිට "යථාර්ථය" - "ඇත්ත" වැසී යනු ඇත. ස්‌කන්ධ විරහිත යථාර්ථය යනු ශූන්‍ය හෙවත් හිස්‌ බවකි. සංඥ නිරෝධයයි. එයට අනිමිත්ත නමද යෙදේ. අනි + මිත්ත - නිමිති - සංඥ නොමැති බවයි. සුඤ්ඤත සමාධිය නම ද යෙදේ. "සුඤ්ඤත" යනු හිස්‌ බවයි. පරම + අනු + උත්තර පරමානුත්තර. සිතා ගැනීමටත් නොහැකි ඉතා සියුම් "අනු" හෙවත් සංඥ ඉක්‌මවා ගිය "අනු" ඉක්‌මවා ගිය ශක්‌තීන්, ඉක්‌මවා ගිය පරමානුත්තර ධර්මතාවකි. විඤ්ඤාණ විරහිත ප්‍රඥ විමුක්‌තියයි. ෙච්තනය නොවීමේ ධර්මතාවයි. දස අංගයන්ගෙන් සමන්විත අර්හත් ඵල චිත්තයයි. "දස අංගෙහි සමන්නාගතො අහරතොති වුච්චති" ති. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ වූ පසු ඇතිවන සම්මාඤාණ - සම්මා විමුක්‌ති ඤාණ දර්ශනයයි. මේ අංග දෙක හෙවත් සම්මාඤාණ - සම්මා විමුක්‌ති දෙක පරිපූර්ණ වීමේදී නිරාවරණ ඤාණය පහළ වේ. ඒ අර්හත් ඵල සිතයි. 

ආර්ය පර්යේෂණයේ දී ධර්මය ගවේෂණයේ දී ඉතාමත් වැදගත් වන්නේ සතියයි. සසරින් එතෙර විය හැක්‌කේ සතියෙනි. "යානි සෝතානි ලෝකස්‌මිං සති තේසං විවාරණං" තථාගත දර්ශනයයි. (කාමෝඝ - දිට්‌ඨ§ඕඝ - භවෝඝ - අවිඡ්ජා ඕඝ) සසර සැඩ පහරට හසුවී භවයට යැම වළකාලීමට නම් සතිය අත්‍යවශ්‍යයි. 

මොනයම් හෝ ක්‍රමයකින් සංකත වූ රූප සංඥ, ශබ්ද සංඥ, ගන්ධ සංඥ, රස සංඥ, පොට්‌ඨබ්බ සංඥ, ධම්ම සංඥවන්හි යථාර්ථය හෙවත් ඇත්ත ඇති සැටිය ඉඳුරන්ට ගෝචර නොවේ. භෞතික කිසිම දෙයක හටගත් කිසිම දෙයක ඒකීයත්වයක්‌, ස්‌වකීයත්වයක්‌ එකම මොහොතක, එකම අයුරින් ස්‌ථාවර පැවැත්මක්‌ ප්‍රකට නොවේ. නිරන්තරවම හෙවත් අතොරක්‌ නොමැතිව වෙනස්‌ වේ. ඒ නිසා ලෝක ධර්මයන් පදනම්ව හටගන්නා සිත හා සිතුවිලි සත්‍ය පදනම්ව සිදු වන බව කිව නොහැක.

සිතුවිලි යනු භෞතිකත්වයකි. භෞතිකත්වය යනු ලෞකිකත්වයකි. ලෞකිකත්වය මත හටගන්නා සිත දෘෂ්ටි සම්මිශ්‍රණයකි. සම්මා දිට්‌ඨ§යද මිච්ඡාදිට්‌ඨ§යද දිට්‌ඨ§ වේ. ක්‍රියා සිත් හෙවත් ලෝකෝත්තර සිත් ලෞකිකත්වය ඉක්‌මවා ගිය බැවින් දෘෂ්ටිගතව නැත. "දිට්‌ඨ§ංච අනුපගම්ම" යනුවෙන් වදාළේ සම්මාදිට්‌ඨ§යත් මිථ්‍යා දෘෂ්ඨියත් නොමැති බවයි.

යථාභූතයේ සිතුවිලි හට නොගැනීම, නිර්මාණය නොවීම නිසා සංඥ නොමැති තැන සිතීම තුළ අල්ලාගන්නට පවතින්නට තැනක්‌ නොයෙදේ. "නිමිති" නැත. සිතුවිලිවල සාපේක්‍ෂතාවක්‌ නොමැත. "ඇත" හෝ "නැත" නොයෙදේ. විඤ්ඤාණයේ නිරෝධයෙන් පිරිසිදු මනසේ ප්‍රකෘතියට පත්වේ. එහි සංඛාර නොමැත. 

"විඤ්ඤාණස්‌ස නිරෝධෙන
නත්ථි දුක්‌ඛස්‌ස සම්භවො"

හිත හෙවත් දුක හට නොගැනීම යනු විඤ්ඤාණයාගේ නිරෝධයයි. සංකල්ප විරහිත බවයි. විදර්ශනාවද ඉක්‌මවා ගිය බවකි. අමනසිකාරය නම්වූ තත්ත්වයකි. රූප සංඛාර විරහිතයි. ඉධප්පච්චයතාවයි. විඤ්ඤාණයාගේ ප්‍රකට වීමක්‌ නොයෙදෙන තැන මහා ප්‍රඥවයි. රෝධයේ සමාපත්තියයි. යථාභූත ඤාණ දර්ශනයේ දී "එය" හෝ "මෙය" නැතහොත් "ඇත" හෝ "නැත" මත මනදෝලනය නොවේ. අස්‌ථි - නස්‌ථි සංකල්ප බවෙන් මිදීමයි. එනම් අමනසිකාරයයි. 

මේ සම්මා දැක්‌ම අසා ගැනීමෙන්, පොතපතින්, උගත්කමින් නොපිහිටයි. ආධ්‍යාත්මික නිවීමෙන් ලබන සුවය තවත් කොපි කිරීමක්‌ නොවේ. වෙස්‌වලා ගැනීමක්‌ද නොවේ. චරිත නිරූපණයක්‌ ද නොවේ. චිත්ත පාරිශුද්ධියෙන් 

ලෝකෝත්තර සැප විඳිමි" යි අපේක්‍ෂා කිරීම ආත්මගත දෘෂ්ටියකි. හේතුව, නිවන හේතුවක ඵලයක්‌ නොවන නිසා. හුදකලාව හුදකලාවක්‌මය. අනිමිත්තය අනිමිත්තය පමණකි. සුඤ්ඤතය සුඤ්ඤතය පමණි. යථාභූත ඤාණ දර්ශනය යථා භූත ඤාණ දර්ශනයක්‌මය. අමනසිකාරය අමනසිකාරයම පමණි. ද්වතාවයක්‌ නැත. නිවීම නිවීමක්‌ම පමණි. නිවන නිවනමයි. හුදකලාව හුදකලාවක්‌මයි. එහි පදනම් නැත. නිවීම හෙවත් නිවන් ලබමියි සංඥත්මක ක්‍රියාදාමයකට අවතීර්ණ වීම වරදවා ගැනීමකි. සත්‍ය සෙවීමට අනවශ්‍යයි. හේතුව සත්‍ය සත්‍යයක්‌ම නිසා. ඔබට තියෙන්නේ ලෝකයෙන් හෙවත් හිතෙන් නිදහස්‌ වීම පමණි. ප්‍රකෘතියෙන්ම සිත පිරිසිදුයි. සත්‍යය දකින විට සිත වසාගෙන සිටින කෙළෙස්‌ ධර්ම දුරු වෙනවා ඇත. විඤ්ඤාණය යනු ක්‍රියාදාමයකට සමාරම්භයකට අවතීර්ණ වීමකි. බුද්ධ භාෂිතය වනුයේ 

අනිස්‌සිතොච විහරති - නච කිංචි ලොකෙ උපාදියති" යනුවෙනි. 

නොඇලුනෙක්‌ව වාසය කරන්නේ නම් උපාදානයට නොයන්නේය. මෙහි "අනිස්‌සිතො" යනු විඤ්ඤාණය හට නොගැනීමේ ස්‌වභාවයයි. නිමිති නොගැනීමයි. නිමිති නොගැනීම නිසා විඤ්ඤාණය හට නොගනී. එවිට විතක්‌ක විචාර නොමැත. නිර්වින්දිතයි. අනාත්මයි. රූපය හා සාපේක්‍ෂ නොවන විදර්ශනාවයි. ඒකචාරී වීමයි. මුනි බවයි. මනසින් මවන දේ මායාවයි. සතිය ඇති තැන මායාව ඉවත් වේ. ධාතු රාශිභූත වීමේදී සංඥ මැවෙනවා. මේ රූප සංඥවන්හි ප්‍රකෘතිය ධර්මානුකූලව නොදැනීම නිසා නිත්‍ය සැප ආත්ම දෘෂ්ටිගත වෙනවා.

කල්පනා කරනවා යනු මනසිකාරය කිරීමයි. එයට සතිය එක්‌වූ විට ප්‍රඥවට පරිවර්තනය වේ. සතිය යනු එළඹ සිටි සිහියයි. එයම පරිණත බුද්ධියම වේ. එවිට යමක යථාර්ථය විනිවිද නුවණැසින් දැකීමේ ශක්‌තිය ජනිත වේ. 

ප්‍රඥවෙන්, සතියෙන්, අප්‍රමාදීව, සිහියෙන් අවදියෙන් සිටී නම් ඔබේ මනසින් අනවශ්‍ය දෑ අනායාසයෙන් බැහැර වේ. එය ප්‍රභාෂ්වර සිතකට සම්ප්‍රාප්ත වීමේ ක්‍රමෝපායයි. ප්‍රසන්න මනසකට හිමිකම් ඇති වේ. පිරිසිදු සිතක හටගැනීමේ පදනමයි. සිත පිරිසිදු කිරීමට අමුතු වෑයමක්‌ උත්සාහයක්‌ අනවශ්‍යයි. මුල් සිත ප්‍රභාෂ්වරයි. පිරිසිදුයි. එයයි ප්‍රකෘතිය. 

වැරැදි දෘෂ්ටි ජාලයකින් වැරැදි මතිමතාන්තරවලින් වසාගෙන ඇත. එනිසා විකෘති වී ඇත. සතිය පිහිටුවා ගැනීමෙන් "නිසල මන" නම්වූ ප්‍රකෘතිය උදාමත් වේ.

නිවන ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැත. නිදහස විමුක්‌තිය සොයා නොයන්න. "මම" සංකල්පයෙන් නිදහස්‌ වීම තුළ නිදහස ඇත. නිදහස තුළ "මම" නැත. සත්‍ය අවබෝධයේදී "යමක්‌ ලැබේවායි" ඉලක්‌ක කර ගමන් කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ නම් නාමිකව පනවා ගැනීම් ඇත. අනවබෝධයේ අවබෝධය ඇති කල්හි එකඟවීම් හෝ ප්‍රතික්‌ෂේප වීම් නැත. ලාභ පාඩු නැත. තීන්දු තීරණ නිගමන එහි නොවේ. ප්‍රඥවන්තයා සත්‍යයෙන් නිහඬයි. හේතුව නිහඬ බව ප්‍රඥවන්ත බවයි. මෝඩයාට සත්‍යය ද දෘෂ්ටියකි. සත්‍යය ඇත්තයි. දෘෂ්ටියක්‌ නොවේ. ඒ නිසාය සම්මා දිට්‌ඨ§ය ද අතහැරීමක්‌ සිදු වන්නේ. ඒ නිසා තීන්දු තීරණ නිගමනවලට නොගොස්‌ නිසල මනට සම්ප්‍රාප්ත වන්න. "සබ්බේසු ධම්මේසු සමූහතේසු - සමූහතා වාද පථාපි සබ්බේ" නිර්වාණය සාක්‍ෂාත් පුද්ගලයාට ලෞකික වූ මිණුම්, ඇගයීම්, ප්‍රමාණයන් සීමා මායිම් නොමැත. 

ශාන්ති නායකයාණන් වහන්සේ මහා මෛත්‍රියෙන්, මහා කරුණාවෙන් ඔබේ සියලු බලාපොරොත්තු අභිමතාර්ථයන් සුණු විසුණු කරනු ඇත. "ධුනාථ මච්චුනො සේනං නලාගාරංව කුඤ්ජරෝ" බට කැලෑවක්‌ වනසන හස්‌ති රාජයෙක්‌ වගේ මාර සේනාව විනාශ කරන්නේය. සියලු බලාපොරොත්තු අභිමතාර්ථයන් යනු සංකල්පයි. සංකතයි. ලෞකිකයි. එහි ඇත්තක්‌ නැත. දර්ශනයක්‌ නැත. මනෝ භාවයන් පමණි. මවාගත් දෘෂ්ටි ජාලයකි. කවදාවත් ඉටු නොවන පුහු පැතුම් වේ. ඔබේ සැබෑ ආධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේ ඔබේ සැබෑ ගුරුවරයාණන් වහන්සේ ශාස්‌තෘවරයාණන් වහන්සේ ඔබේ සියලු දෘෂ්ටිවලින් මුදාලනු ඇත. සියලු බලාපොරොත්තු ලෝක ධර්මයන් නිසාය. ඒවා අනිත්‍යයි. දුකයි. අනාත්මයි. සම්මා සම්බුදුවරු පසේ බුදුවරු, මහ රහත් උතුමෝ සියලු ලෞකික බලාපොරොත්තු සුණු විසුණු කළ උතුමෝ වෙති. බලාපොරොත්තු නොමැති විරහිත, බුද්ධ භූමියට ඇතුළු වන්න. එහි අතීත අනාගත වර්තමානය නැත.

පරමාර්ථ ධර්මය අවබෝධයේ දී සාක්‍ෂාත් කර ගන්නවා යන්නෙන් අදහස්‌ කරන්නේ ගන්නෙක්‌ හෝ ගැනීමක්‌ නොමැති බවයි. යමෙක්‌ නිර්වාණය බලාපොරොත්තු වන්නේ නම් යමෙක්‌ යමක්‌ බලාපොරොත්තු වන්නේ නම් සොයන්නා සහ දෙයක්‌ ගම්‍ය වේ. හැඟේ. සෙවීම තුළ සොයන්නා පැනවෙන බැවිනි. "මම" නම් ආත්මගත ස්‌වභාවය තුළ කර්තෘත්වය පාදක වේ. "මම" විවෘත වීමට ඉඩ හැරීමකි. ඉස්‌මතු වීමකි. කිසිවකු කිසිවක්‌ නොසොයන්න. හමුවීමට කිසිවක්‌ නැත. අර්ථ ශූන්‍ය ක්‍රියාවකි. සෙවීම තුළ අහංභාවය වැඩියාවක්‌ද, නිරහංකාර භාවයට බාධාවක්‌ද වේ. ඇස ස්‌වභාව ධර්මයකි. එය ස්‌වභාව ධර්මයට අයත්ය. එහි ඔබේ අවනත භාවයට යටත් කිසිවක්‌ නැත. ඇසේ චක්‌ඛු ප්‍රසාද රූපයද ස්‌වභාව ධර්මයකි. ස්‌වභාව ධර්මයට අයත්ය. එහි ඔබේ පරිපාලනයට අවනත භාවයට අණසකට යටත් කිසිවක්‌ නැත. බාහිර ලෝකයෙන් චක්‌ඛු ප්‍රසාද රූපයේ ඔපවත් ස්‌වභාවයට ඇදී පවතින වර්ණ රූපයද ස්‌වභාව ධර්මයකි. එහිද ඔබේ අවනත භාවයට යටත් කිසිවක්‌ නැත. මේ අභ්‍යන්තර ඇස නම් රූපය බාහිර වර්ණ රූපය හා සම්බන්ධ වීම ස්‌වභාව ධර්මයකි. මේ ධර්මතා දෙක එකට "ඵස්‌සය" වීම ස්‌වභාව ධර්මයකි. මේ ස්‌වභාව සංසිද්ධියේදී ඵස්‌සයේ දී චක්‌ඛු විඤ්ඤාණය නම් ධාතුව හටගැනීමද, ස්‌වභාව ධර්මයකි. න්‍යාය ධර්මයකි. එය ධම්ම නියාමතා යනුවෙන් හැඳින්වේ. මේ ධම්ම නියාමතාවට ඔබට අමුතුවෙන් එකඟවීමක්‌, විරුද්ධ වීමක්‌ අදාළ නොවේ. හේතුව ලෝක ස්‌වභාව ධර්මයේ ස්‌වභාවය නිසා.

ඒ සමඟම පෙර පසු නැතිවම "ඵස්‌ස, වේදනා, සංඥ, ෙච්තනා, මනසිකාරය නම් චෛතසික ස්‌වභාවයක්‌ සබ්බ චිත්ත සාධාරණ නමින් සත්වයා නම්වූ ස්‌වභාව ධර්මය තුළ ඇස ඇසුරු කරගෙන හටගැනීම විද්‍යමාන වීම ප්‍රකට වීම ස්‌වභාව ධර්මයකි. ඒ සමඟම සැලෙන මන, සසල සිත ප්‍රකට වීමද ස්‌වභාව ධර්මයකි. එහි ප්‍රකට වීමට පංච උපාදානස්‌කන්ධය නම්වූ හැඳින්වීමක්‌ සම්මුතියක්‌ දී ඇත.

මේ ආකාරයෙන් මේ අනුසාරයෙන් සත්වයා නම් ග්‍රහ වස්‌තුව ආශ්‍රිතව මේ ස්‌වභාව ධර්මය ආශ්‍රිතව ආයතන මින්ද, ද්වාර නමින්ද, ඉන්ද්‍රිය නමින්ද ප්‍රකට වන ඇස, කන, නාසය, දිව, කය, මන, රූපවල ප්‍රසාද ගතියට බාහිරෙන් පැමිණෙන වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප, ස්‌වභාව ධර්ම "ඵස්‌සය" වී එකතු වීමක්‌ සිදුවී "විඤ්ඤාණය" නම් ශක්‌තියක්‌ හටගෙන ක්‍රියාකාරිත්වයක්‌, සවිඤ්ඤාණක ස්‌වභාවයක්‌ ස්‌වභාව ධර්මතාවක්‌ විද්‍යමාන වේ.

මේ විශ්ව ධාතූන්ගේ සංකලනයෙන් සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක ග්‍රහ වස්‌තූන්ගෙන් ප්‍රකට වන දෑ සංකත වේ. මේ හටගත් දේ සතා, පුද්ගලයා, මම, අපි, ගස්‌, ගල්, පර්වත, ඇළ, දොළ ආදි වශයෙන් එහි හැඩතල මත සම්මුති නාම ව්‍යවහාරයේ පවතී. මෙය ස්‌වභාව ධර්මයේ ස්‌වභාවයකි. මේ සවිඤ්ඤාණකත්වය තුළ "මම" නැත. සතෙක්‌ නැත. පුද්ගලයෙක්‌ නැත. ශුද්ධ අවකාශය තුළ ශක්‌ති පුංජයක්‌ ප්‍රකට වේ. මේ ස්‌වභාව ධර්ම ගොනුවේ, පුංජයේ, කැටියේ පරිවර්තනශීලී ස්‌වභාවය, මහා විශ්වය තුළ දිදුලන ශුද්ධ ධර්ම පහක ප්‍රවර්තනය නිසා ප්‍රකට වන ස්‌කන්ධ පංචකයට, ප්‍රේතයා, කුම්භාණ්‌ඩයා, දෙවියා, බ්‍රහ්මයා, මනුෂ්‍යයා නම යෙදී ඇත. ඒවා සම්මුති නාම වේ. මේ නිසා සම්මුතියෙන් හෙවත් ලෝකයෙන් මිදීමේදී බලන්න, අසන්න, දරන්න, අවබෝධ කරන්න, දෙයක්‌ නැත, කෙනෙක්‌ නැත. මේ ස්‌වභාව ධර්මතා පෙනෙන නොපෙනෙන විශ්ව ශක්‌ති සමූහය සෘතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, ධර්මතා වශයෙන් ග්‍රහ වස්‌තූන්ගේ විවිධ වෙනස්‌කම් වන බවක්‌ ප්‍රකට වේ. දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌, මිනිසෙක්‌, තිරිසනෙක්‌ පනවා ගැනීම් මිස විශ්ව වස්‌තුවක්‌ පමණි. සවිඤ්ඤාණක ග්‍රහ වස්‌තුවක්‌ පමණි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බෞද්ධ අචාර ධර්මයන්හි ශ්‍රද්ධා සංකල්පයෙහි උපයෝගීතාව

රාජකීය පණ්‌ඩිත, පූජ්‍ය තිස්‌සමහාරාමයේ 
ධම්මසාර හිමි, විවේකාරාම විහාරවාසී

මඡ්ජිධිම නිකායේ කීටාගිරි සූත්‍රයට අනුව, සම්බුද්ධ ශාසනයෙහි පිළිවෙත් අනුපූර්ව වශයෙන් වැඩීම පිළිබඳව පැහැදිළි කරනු ලබන සූත්‍ර දේශනාවක්‌ ලෙස මෙය සැලකේ. එහිදී ද පෙන්වනු ලබන්නේ, මුලදීම පිරිපුන් ප්‍රඥාව අපේක්‍ෂා කළ නොහැකි බවත්, ශ්‍රද්ධාව පාදක කරගනිමින් අනු පිලිවෙළින් ම ශ්‍රද්ධාව වැඩිය යුක්‌තක්‌ බවත් ය, යනුවෙන් එහි සඳහන් කරයි. ඒ අනුව, 
''කතඤ්ච භික්‌ඛවේ අනුපුබ්බ සික්‌ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤරාධනා හොති ඉධ භික්‌ඛවේ සද්ධා ජාතො උපසංඛමති උපසංකමන්තො පයිරුපාසති පයිරුපාස තො සොතං ඕදහති''
(ම.නි. කීටාගිරි සුත්ත, 248 පිටු, බු.ජ.මු)


එයින් පැහිදිළි වන අර්ථය නම්,

''සැදැහැයෙන් පෙළඹෙන පුද්ගලයා සම්‍යක්‌ දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. පැමිණ සමීපයෙහි හිඳගනියි. හිඳ සවන් යොමු කරයි. යොමුකළ සවනින් දහම් අසයි. අසා ධර්මය දරයි. දැරූ ධර්මයෙහි අර්ථ පරීක්‍ෂා කරයි. අර්ථ පරීක්‍ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි. ÑÑÑ''
ක්‍රමයෙන් ප්‍රතිපදාව සාක්‌ෂාත් කිරීමෙන්, තමන් බලාපොරොත්තු වන පරම නිෂ්ටාව වන නිර්වාණය සාක්‌ෂාත් කිරීමට හැකි බව මින් අවධාරිතය. එමෙන්ම, පැහැදිළිවන තවත් කාරණයක්‌ නම්, ශ්‍රද්ධාව යනු, පැහැදීම වන අතර එහි අපේක්‍ෂාව සසර දිගට ගමන් කිරීම නොව නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයට ප්‍රවේශ වීමය. 
බුදු දහමෙහි ප්‍රමුඛ සංකල්පයක්‌ ලෙස, ශ්‍රද්ධා සංකල්පය හැඳින්වීමට පිළිවන. බුදුන් වහන්සේ ධර්මාන අවධියේ බෞද්ධ භික්‍ෂුත්වය ලබා ගැනීමට පැමිණ ඇත්තේ ශ්‍රද්ධාව නිසාය. බුදුන් වහන්සේගේම දේශනා වලින් ඒ බව පැහැදිලි වන්නේ මේ අයුරිනි. 
''එතං ඛො තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්‌මා අනගාරිය පබ්බජිතානං....''
(ම.නි. 1, 123 පිට)
''ශ්‍රද්ධාවෙන් පැවිදි වූ නුඹලාට මෙය සුදුසුය. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ නුඹලාට මෙය නුසුදුසුය''යනුවෙනි. 

අවබෝධය හේතුකොටගෙන ශ්‍රද්ධාව නිසැක වශයෙන් ම අවධාරණය වන අවස්‌ථා ගණනාවක්‌ම පාළි සාහිත්‍යය තුළ ද දක්‌නට ලැබේ. එහිදී තථාගතයන් වහන්සේ සම්‍යක්‌ සම්බුද්ධ යෑයි අන්ධ, අවිචාරවත් භක්‌තිය නිසා ම නොපිළගත යුතු බවත්, පිළිගත යුත්තේ නම් තථාගතයන් වහන්සේගේ සම්‍යක්‌ සම්බුද්ධභාවය වීමංසනය කරමිනි. ඒ බව මෙසේ පැහැදිලි වේ. 
''මහණෙනි අනුන්ගේ සිත්හසර නොදන්නා විමංසක භික්‍ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ වේද නොවේ දැයි විමසිලිමත්ව සොයා බැලිය යුතුවේ. ''
යන ප්‍රකාශයෙන් විද්‍යාමානවන අදහස නම්, තථාගත බෝධියෙහි නික්‌ලේශී භාවය හඳුනාගත හැකි වන්නේ ශ්‍රද්ධාව උපදවා ගැනීම තුළිනි.
මෙහිදී පැහැදිළිවන තවත් කරුණක්‌ නම්,
''මහණෙනි, අනුන්ගේ සිත් හසර නොදන්නා විමංසක භික්‌ෂුව කරුණු දෙකක්‌ අරභයා තථාගතයන් වහන්සේ පිළිබඳව සොයා බැලිය යුතු බවයි. එනම්, බුදුන්වහන්සේගේ

01. කාය සමාචාර (කායික හැසිරීම)
02. වාග් සමාචාර(වාචික හැසිරීම)
යනාදියයි. 

එහිදී ද පළ වන අදහස නම්, තථාගතයන් වහන්සේ තුළින් යම් කෙළෙස්‌ සහගත හැසිරීමක්‌ ගම්‍ය වේ ද, එසේත් නැතිනම්, ගම්‍යනොවේද, යෑයි විමර්ශනයට ලක්‌ කලයුතු බවයි. මේ අනුව පැහැදිලි වන්නේ බෞද්ධ ශ්‍රද්ධාව වූ කලී අන්ධ භක්‌ති මාත්‍රයකින් විශ්වාස මාත්‍රයකින් නොගත යුතු බවත් විමංසනය තුළින්ම තහවුරු කරගත යුතු බවත්ය. 
විමුක්‌ති සුවය අපේක්‍ෂා කරන්නෙකුගේ පරමාර්ථය හා අවසානික ඉලක්‌කයේ ආරම්භක පියවර ශ්‍රද්ධාව ලෙස සැලකේ. නිවන වඩන්නාට යන මාර්ගය සඳහා අවශ්‍යවන මාර්ගෝපකරණ අතර පළමුවන උපකරණය නම් ශ්‍රද්ධාව වන බව අංගුත්තර නිකායේ සංචිත්තන සූත්‍රය තුළින් ප්‍රතීයමාන වේ. 
''සද්ධා ධනං - සීල ධනං

හිරි ඔත්තප්පියං ධනං ''

''සද්ධීධ විත්තං පුරිසස්‌ස සෙට්‌ඨං ''

(අං. නි. සංචිත්තන සූත්‍රය 284) (සං.නි. 42, 214 පිට)

ඒ අනුව බුදු දහම යෝජනා කරනුයේ, ශ්‍රද්ධාව ධනයක්‌ ලෙසයි. ආර්ය ධන හතෙන් පළමුවැන්න ශ්‍රද්ධාව වේ. 
තවද, පුද්ගලයා සංසාරය නම් වූ මහා සැඩ, ප්‍රචණ්‌ඩ, පරුෂ වූ බිය ජනක සැඩ පහරකට හසුවී ඇති බවත්, ඉන් මිදීමට හැකි වන්නේ සසර සැඩ පහර ශ්‍රද්ධාවෙන්ම තරණය කිරීමෙන් වන බවයි. 

''සද්ධාය කරතී ඕඝං''

(සං.නි. 1.214 පිට)

''ශ්‍රද්ධා ''යන සංකල්පය පිළිබඳව අංගුත්තර නිකායේ සංචිත්තන සූත්‍රය තුළ සඳහන් කරනුයේ'' 

''යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයකු වෙත ශ්‍රද්ධාදී ගුණ සමුදායක්‌ පවතින්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පරිපූර්ණ වන බවයි. එමෙන්ම, කිසිදු විටෙක දිළින්දෙකු ලෙස නොසැලකෙන බවයි. ''

(අං.නි. 4 විත්ථතධන සූත්‍රය පිට 284)

ශ්‍රද්ධාව ආචාරත්මක හා ආධ්‍යාත්මික අභිවෘද්ධියට අත්‍යාවශ්‍යම ප්‍රත්‍යයක්‌ ලෙස නිර්දේශ කරනු ලැබූවත් කාර්යක්‍ෂම භාවයෙන් නිලීන හා අවබෝධයෙන් හීන ශාස්‌තෘවරයකු පිළිබඳ සද්ධා ප්‍රතිෂ්ඨාපනයක්‌ ඇතිකර ගැනීම සුදුසු නොවන බවත්, එය භයානක ඉරණමක්‌ ගෙන දෙන බවත්, බුදුන් වහන්සේ විසින් වදාළ සේක. චූල ගෝපාලක සුත්‍රයේදී ගඟේ ජල මට්‌ටම නොදැන ගඟෙන් එතෙර කිරීම සඳහා ගවයන් ගඟ මැදට දක්‌වා ගිල්වා මරන්නාවූ මෝඩ ගව පාලකයකුට අබුද්ධ ශාස්‌තෘවරයාව සමාන කෙරේ. එමෙන්ම එගොඩ කිරීමට නිවැරදි තැන හා මග දැන, හරකුන්ව නිරපද්‍රිතව එගොඩ කරන්නාවූ දක්‍ෂ ගවපාලකයෙකුට බුද්ධ ශාස්‌තෘවරයාව සමාන කෙරේ. 
එම සූත්‍රයට අනුව අදක්‍ෂ ආගමික නායකයෙකුට ඇහුම් කන්දිය යුතු යෑයි හෝ ඔහු කෙරෙහි ශ්‍රද්ධාව තිබිය යුතු යෑයි (සද්ධාතබ්බං) සිතන්නාට දිගු කලක්‌ විපතට හා දුකට පත්වීමටත්, එමෙන්ම දක්‍ෂ ආගමික නායකයෙකු එසේ සිතන්නාට දිගුකලක්‌ සැනසුමට හා සතුටට පත්වීමටත්, එය බලපාන අයුරු චූලගෝපාලක සුත්‍රය තුළින් විශද වේ. 
ශ්‍රද්ධාව ප්‍රභේද්වයකින් බුදු දහම පැහැදිලි කරනු ලබයි. එනම්, ආකාරවතී සද්ධා, අමූලිකා සද්ධා යනුවෙනි.
විධිමත්ව හා විචාර පූර්වකව කරුණු සලකා බලා කටයුතු නොකරන අමූලිකව, අහේතුකව ජනනය කරගත් හුදු භක්‌ති මාත්‍ර හැගීම ඇතිව ක්‍රියා කිරීම අමුලිකා ශ්‍රද්ධාව වේ. 
එයට මූලයක්‌ නොමැත. ඒ තුළ ප්‍රඥාවට බර භාවයක්‌ නොමැති අතර අවිද්‍යාවම ස්‌මතුව පවතියි. බුදුන් වහන්සේ මෙම ශ්‍රද්ධාව බැහැර කර තිබේ. ඥානයෙන් කරුණු කාරණා විමසා බලා සැක ඇති තැන් දුරු කරගෙන බුද්ධිමය පදනමක්‌ සහිතව බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහිම ඇති කරගනු ලබන අවබෝධය තුළින් ශ්‍රද්ධාව ගොඩනගා ගැනීම ආකාරවතී සද්ධාව වේ. 
බුදුන් වහන්සේ ශ්‍රද්ධාව වපුරන ලද බීජයකට සමානකරන ලද අතර තපස වර්ෂාවටද, ප්‍රඥාව විය දණ්‌ඩට ද, ලඡ්ජාව නගුලට ද, මනස යොතටද. සතිය නගුල් තලය හා කෙවිටට ද උපමා කරණුයේ මේ අයුරිනි. 

''සද්ධා බීජං කපොවුට්‌ 
පඤ්ඤා මේ යුග නංගලං''
(සු.නි. කිසිභාරද්වාජ සූත්‍රය - පිට 28)


එම සූත්‍ර දේශනාවට අනුව බීජ ඇති තාක්‌ ගොවියෝ සී සාති. අනික්‌ උපකරණ භාවිතයෙන් අස්‌වනු ද ලබති. එමෙන්ම බුදුහිමියන්ද, සීසා, වපුරා අනුභව 
කරන්නේ යෑයි කසීභාරද්වාජ බමුණාට පැහැදිළි කරනු ලබයි. එහිදී ද ප්‍රකට වනුයේ, ශ්‍රද්ධාව නැමැති බිජුවට පූර්වාංගමය වන්නේ ශ්‍රද්ධාව වන බවයි. 
ශ්‍රද්ධාව යනු, හුදෙක්‌ බුද්ධිමය පදනමක්‌ සහිත වූවක්‌ මිස හැගීම් බර ආකල්පයක්‌ නොවන්නකි. ක්‍ෂණිකව උපදවා ගන්නා ලද ප්‍රසාද මාත්‍රයක්‌ද නොව, දූරදර්ශී නුවණින් පර්යේෂණය හා විශ්ලේෂණය තුළින්ම අවබෝධ කරගත යුතු උපයෝගීතා සංකල්පයක්‌ ලෙස ශ්‍රද්ධාව හැඳින්වීමට පුලුවන. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිතට වධ දෙන කාම රාගය

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සරල අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි. පුහුදුන් සිත නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ සැප අත්පත් කරගැනීමේ ක්‍රියාවලියෙහි යෙදීමටයි. ඉතින් අප මේ සැප ළඟා කර ගැනුමට යොදා ගන්නා ඇස, කන, නාසය, දිව හා ශරීරය ඉන්ද්‍රිය පහක් ධර්මයෙහි උගන්වනවා. මේ ඉන්ද්‍රිය පහ නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ අරමුණු පිටුපස හඹා යන්නටයි.
‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සාමාන්‍ය සරළ අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි.

මිනිස් සිත ඒ අරමුණු කෙරෙහි හඹා යා නොදී පාලනය කර ගැනීම තුළින් තමයි මේ කාමය පාලනය කර ගත හැකි වන්නේ. ඒවා පාලනය කර ගැනුමට හේතු වන සිතිවිලි දෙකක් ‘හිරි’ හා ‘ඔත්තප්ප’ ලෙස ධර්මයෙහි පෙන්වා දී තිබෙනවා. සත්ත්වයාගේ ප්‍රතිසන්ධිය හෙවත් නැවත උපත ලබාදීමට හේතු වන්නේ කාම සිතිවිලි එකතුවීමයි. කාම සිතිවිලි නිසා අප විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් සියල්ලටම කෙටියෙන් විස්තරයක් ලබා දෙනවා නම් ඒවා ‘කුසල’ හා ‘අකුසල’ කර්ම ලෙස පෙන්වා දෙන්නට පුළුවනි. ඒ ආකාරයෙන් බලනවිට කාටද? මේ කුසල සිතිවිලි ඇතිවන්නේ. පුහුදුන් එනම් කෙලෙස් සහිත සත්වයාටයි. බුදු පසේ බුදු, මහරහත් උත්තමයන්ට මේ කුසල හෝ අකුසල සිත් පහළ නොවන නිසා උන්වහන්සේලා අතින් සිදුවන්නේ හුදෙක් ක්‍රියාවන් සමුදායක් පමණයි.
කාමයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර රාශියක් ම පවතිනවා. අද අපි විස්තර කර දෙන්නට අපේක්ෂා කරන්නේ ‘කාමාධිවචන’ නමැති සූත්‍රධර්මයයි. උන්වහන්සේ මේ සූත්‍රය දේශනා කර වදාරන්නේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන අවස්ථාවකයි. එහිදී උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා කාමය යන්නට ම දිය හැකි තවත් වචන කීපයක්. එයින් පළමුවැන්න ලෙස පෙන්වා දෙන්නේ ‘දුක්ඛ’ යන්නයි. දුකෙහි අවසානයක් දකින්නට නම් දුක ඇතිවීමට හේතුව කුමක්ද? යන්න පිළිබඳ මනා විමසීමකින් යුක්තව සිහියෙන් ක්‍රියා කළ යුතු වෙනවා. එහෙම වුණොත් ඔහුට වැටහෙනවා මේ දුක ඇති වන්නේ තම සිතේ දැවෙන පංචකාම වස්තු පිළිබඳ ඇලීම නිසා බව. ඉතින් ඒ සඳහා මනා සිහිය පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. එවිටයි දුක වටහා ගත හැකි වන්නේ. ඔහුට මේ තත්ත්වයෙන් අතමිදෙන්නට නම් කල්‍යාණ මිත්‍රයෙකුගේ පිහිට පතන්නට අවශ්‍ය වෙනවා. එහෙත් තම චිත්ත සන්තානයෙහි බලපවත්නා කාමෝන්මාද ස්වභාවය මෙයට අවස්ථාව සලසා දෙන්නේ නැහැ. මේ නිසා සදාකාලිකව දුක් විඳිනවා ‘කාම’ යනු භය ලෙසත් සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ ‘කාම’ යන වචනයට ‘භය’ යන අරුත දෙනවා කියන එකයි. ජීවිතයේ අප නිරන්තරයෙන්ම මේ භය අත්විඳිනවා. නිතරම අප භයෙන් ජීවත් වෙනවා. තිරිසන් ගත සුනඛයෙක්, නරියෙක්, අලියෙක්, සර්පයෙක් වැනි සතෙක් ගැන මොහොතකට සිතා බලන්න. මේ තිරිසන් සත්ත්වයෝ කොතරම් භයෙන්ද ජීවත් වන්නේ කියලා. මොකක්ද? මේ භය තමන්ගේ ජීවිතයට තර්ජනයක්, විපතක් කරදරයක් වේ දෝ කියන භය, මේ නිසා සර්පයා පවා වෙනත් ප්‍රාණියෙක් දැක්ක විගස ඒ සතාගෙන් බේරී යන්න උත්සාහ කරනවා. එසේ බැරි වෙයි කියලා සිතන කොට ඒ සර්පයා තමන්ට භය ගෙන දෙන ප්‍රාණියාට දෂ්ට කරනවා. ඉතින් මිනිසාත් එහෙම තමා. ඔහුට බුද්ධිය තිබෙන නිසා හුරු පුරුදු මිනිසුන් දුටුවිට භයක් ඇති කරගත්තේ නැතත් නුහුරු නුපුරුදු පරිසරයක මිනිසෙකු දුටුවිට ඒ මනුස්සයාගෙන් අපට විපතක් වේද? කියා වරෙක තැති ගන්නවා. මේ තමා හැම පුහුදුන් සත්වයෙකුගේම ස්වභාවය. එනම් සියලු භය දුරු කළ උත්තමයා යන්නයි.
ඒ වගේ ම කාම යන්නට යෙදෙන තවත් අර්ථයක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. රෝග යන්න. මෙය ව්‍යසනයක් ලෙසයි විස්තර වන්නේ. කාම යන්නත් එක් ආකාරයක රෝගයක්. ඇයි? එය රෝගයක් වන්නේ මේ නිසා පුද්ගලයා කායික හා මානසික වශයෙන් මහත් පීඩාවකට ගොදුරු වෙනවා. එපමණක් ම නොවෙයි කාමය නිසා ඇතිවන අරමුණු සම්පූර්ණ කර ගන්නට අපහසු වූ විට ඒ තුළින් සත්වයා නිරන්තරයෙන් තැවීමකට පත් වෙනවා. මේ තැවීම නිසාම රෝග පීඩාවන්ට ගොදුරු වෙනවා. ධර්මයෙහි විස්තර වන ආකාරයට මේක ‘ඕඝය’ ක් ඉතින් ඕඝයක් හෙවත් සැඩ පහරක් වන මේ කාමය සත්ත්වයා දුකට ඇද ගෙන තල්ලුකර ගෙන යනවා. ඒ නිසා දුක් සහිත තත්ත්වයක් ලෙස රෝග පීඩා හඳුන්වා දෙන්නට පුළුවනි. කාමයට ධර්මයෙහි භාවිත වන තවත් වචනයක් ලෙස ‘සල්ල’ යන වචනය පෙන්වා දී තිබෙනවා. සල්ල යන්නෙහි අර්ථය වන්නේ ‘උල’ යන්නයි. තවත් ආකාරයකින් ප්‍රකාශ කරනවා නම් කටුව, විදිනය, වේදනා සහගත කාවැදීම යන අර්ථ ලබා දෙනවා. බුදුදහමට අනුව චිත්ත සන්තානයෙහි ඇතිවන කාවදින නිරන්තරයෙන් බලපාන රාග, දෝෂ, මෝහ, මාන, දිට්ඨි යන ධර්මතා මේ වචනයෙන් අදහස් වේ. මේ එක් එකක් ගෙන බලනවිට ඒ හැම එකකින්ම අපේ චිත්ත සන්තානය පලුදු වෙනවා. මේවා සිත සිදුරු කරන සිතිවිලි. ඒ විතරක් නොවේ පුහුදුන් සිතේ නලියන මේ සිතිවිලි ක්‍රියාත්මක වීමෙන් තම සිත පලුදු වෙනවා පමණක් නොව ඕනෑම සමාජයක ජීවත් වන විට සමාජයේ අනිකුත් බොහෝ දෙනාට වධයක් පිණිස හිංසාවක් පීඩාවක් පිණිස හේතු වෙනවා. මේ සියල්ල ම මීළඟට කාම යන්නට යෙදෙන තවත් අර්ථයක් ප්‍රකාශ කරන වචනයක් ලෙස මෙම සූත්‍රයෙන් පෙන්වා දෙනව ‘සග‘ යන්න මේ සග යන්නෙන් අදහස් කරන්නේ ඇලෙන, ගැලෙන හෙවත් ලගින ස්වභාවයයි. ඇලෙන ලගින ගතිය නිසා සිදු වන්නේ වෙන් කළ නොහැකිව බැඳී පැවතීමයි. අපේ සිත්වල බලපවත්නා විවිධ කාම සිතිවිලිවල ස්වභාවයම ඇලෙන, ලගින ගතියයි. එයින් ඉවත් වීම, වෙන්වීම හරිම දුෂ්කර වැඩක්. අද අප ජීවත්වන මේ සමාජයේ සිය දිවි නසා ගැනීම්වල ස්වභාවය හා හේතු යුක්ති සළකා බැලුවහොත් මේ තත්ත්වය අපට මැනවින් වැටහෙනවා. හොර මැර තක්කඩිකම්වලට, මත්ද්‍රව්‍යයන්ට, මත්වතුරට ඇලෙන, ඇබ්බැහි වූවන් ගැන විමසා බැලුවත් මේ තත්ත්වයෙහි වෙනසක් දකින්නට පුළුවන්කමක් නැහැ. මේ ඇලෙන ලගින ස්වභාවය නිසා කාම සිතිවිලි මිනිස් සිතට වධ දෙනවා.
‘කාම’ යන්නට තවත් යෙදෙන වචනයක් ලෙස ‘කාමාධිවචන’ සූත්‍රයෙහි කියවෙනවා. ‘පධ¢ක’ යන්න. සාමාන්‍ය අර්ථය වශයෙන් ගත්තහම ‘පධ¢ක’ යන වචනයේ තේරුම වන්නේ ‘මඩ’ යන අදහසයි. ඉතින් කාමය මඩ යන අර්ථයෙන් මෙහිදී සටහන් වන්නේ මේ කාමයෙහි ගති ලක්ෂණ ස්වභාවය අනුවයි. මඩෙහි ස්වභාවයන් කිහිපයක් වෙනවා. ඇලෙන, තැවරෙන ගතිය එක ලක්ෂණයක්. එමෙන්ම එරෙන ගතිය තවත් සභාවභාවයක්, වැගිරෙන ගතිය තවත් ස්වභාවයක්. පැල්ලම් සහිත ගතිය වැනි තවත් ස්වභාවයන් තිබෙනවා. ඊටත් වඩා මඩේ එ වරුණ විට නැගිට ගැනීමත් දුෂ්කර වෙනවා. එරිලා මිය යන්ටත් පුළුවනි. මේ නිසා මේ තත්ත්වය පවතින ස්වභාවයක් ලෙස කාමයන් පිළිබඳ වුවද සැලකීමට පුළුවනි.
අවසාන වශයෙන් ‘කාම’ යන්නට අර්ථයක් දෙනු ලබන්නේ එය ගර්භයට හෙවත් දරු ගැබකට සමාන කරලයි. ගර්භාෂය නිරන්තරයෙන්ම විවිධ අපද්‍රව්‍යයන්ගෙන් පිරුණු දුර්ගන්ධය නිකුත් කරන අපිරිසුදු ස්ථානයකි. කාමාසක්ත පුද්ගලයා නිරන්තරයෙන්ම ජීවත් වන්නේ එවැනි අපිරිසුදු ගැබකයි. එනම් ඔහුගේ හෝ දිවිපැවැත්ම නිරන්තරයෙන් අපිරිසුදු පිළිකුල් සහගත වන ආකාරය මෙයින් ප්‍රකාශ වෙනවා.
මේ ආකාරයෙන් කාමරාගයෙන් බැඳී, වෙලී ජීවත් වන අය මෙලොවත් පරලොවත් දුකෙන් (දුක්ඛ) පෙළෙනවා. භයෙන් (භය) ජීවත් වෙනවා. රෝග පීඩාවන්ගෙන් (රෝග) ද නිරතුරුව ම පෙළෙනවා. මෙලොව උපත ලබනවා වගේම පරලොවත් උපත ලබනවා. දුක් විඳිනවා. නිරන්තරයෙන් තමන්ට උල්වලින් කටුවලින් (සල්ල) අණිනවා වැනි වේදනාවන්ගෙන් පෙළෙනවා. මේ නිසා කාමය දුරලීමේ ශක්තිය තමන් තුළ ඇති කරගැනීමේ උත්සාහයක යෙදීමේ අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදදිලි කර දී තිබෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මිනිසත් බවින් ඵල නෙළමු

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි

ධර්මයේ දී වටිනා කරුණු කිහිපයක එකතුවට ක්ෂණය කියා කියනවා. එම කරුණු කිහිපය ක්ෂණ සම්පත්තිය නමින් හැඳින්වෙන අතර, ධර්මාවබෝධයට, නිවන් අවබෝධයට එය හේතු වෙනවා. නිවන් අවබෝධයට හේතුවන කාරණා සමූහයක් එකතු වන තැන ක්ෂණ සම්පත්තිය පිහිටන බව අප දන්නවා. එය ඉතාමත් දුර්ලභ ඉතාම කලාතුරකින් සිදුවන්නක්.
බෞද්ධ අප හැම දෙනාගේම මූලික බලාපොරොත්තුව කවදා හෝ නිවන අවබෝධයටයි. ඒ නිවන සාක්ෂාත් කරන්නට නම් සම්පූර්ණ වියයුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒ දුර්ලභ කරුණු අද ඔබට සම්පූර්ණව ලැබී තිබෙනවා. ඒ ක්ෂණ සම්පත්තිය යි.

දුර්ලබව ලැබූ මිනිස් බව

ක්ෂණ සම්පත්තියට අවශ්‍ය මූලිකම කාරණාව නම් මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමයි. මුලින්ම මනුෂ්‍යයෙක් ලෙස ඉපදෙන්න ඕන. එය ඉතා දුලබයි. (දුල්ලභං ච මනුස්සත්තං) මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගැනීම හරිම දුර්ලභයි. ඔබට සිතෙයි මනුස්ස ජීවිතය ලැබීම දුර්ලභනම් මෙතරම් ජනගහණයක් ලෝකයේ වැඩිවෙන්නේ ඇයි කියලා.මනුෂ්‍යයෙක්ව උපත ලබනවා කියන දේ දුර්ලභ වෙන්න හේතුවක් තිබෙනවා. ඒ සඳහා තනි මනුෂ්‍යයෙක්ව පමණක් උදාහරණයට ගතයුතු නැහැ. මේ ලෝකයේ සිටින අනෙකුත් සියලු සත්ත්ව ප්‍රජාවන් සමඟ මනුෂ්‍ය වර්ගයා සසඳන්න ඕන. එවිට දුර්ලභයි කියා කියන්නේ. ඒ හැමෝම අතරේ මනුෂ්‍යයෙක් ව ඉපදීම අමාරු දෙයක්. සත්ව ලෝකයේ සත්ත්වයන් සමඟ සංසන්දනය කරන විට මනුෂ්‍යයන් කෙතරම් අඩුද කියා ඔබට තේරුම් ගන්න පුළුවන්. කූඹි ගුලකින් නිකුත්වෙන කුඹි ප්‍රමාණය සමහර විට එය මනුෂ්‍ය ලෝකයේ ඉන්න මනුෂ්‍යයන්ට වඩා වැඩි වෙන්න පුළුවන්. මහා මුහුදේ සිටින මාළු බැලුවොත් ඒක කෙතරම් ලොකු ගණනක්ද? මනුෂ්‍යයෙක් මැරුණාම ඒ මිනිය වසා ගන්නා පණුවෝ එකතු කළොත් ඒකත් මොන තරම් ප්‍රමාණයක්ද?

පරිපූර්ණ ආත්ම භාවයක

පිරිපුන් මනුෂ්‍ය ආත්මභාවයක් ලබන්නට ඇස්, කන්, නාස් ආදිය පිහිටි, විකලත්වයක් නැති මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ඕන. මනුස්සයන් ලෙස ඉපදිලා අන්ධ වූ, බිහිරි වූ, අංගවිකල වූ අය කී දෙනෙක් අප අතර සිටිනවාද? ශරීර විකලත්වයක් නැතිව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ක්ෂණ සම්පත්තියේ මුල් කාරණාවයි. ඒ වගේම හොඳ නොහොඳ කල්පනා කරන්නට පුළුවන් ඤාණ ශක්තියක් තිබෙන්න ඕන. එහෙම අය අප අතර ඉතාම අඩුයි. එයාට නුවණ තිබුණානම් එසේ කියන්නේ නැහැ. එසේ කරන්නේ නැහැ කියා අප කියන්නේ යම් කෙනෙක් ඤාණ ශක්තිය නොමැතිව වැඩක් කළ විටයි.
ඒ වගේම කිසිවෙකුට අත නොපා ජීවත්විය හැකි ආර්ථික ශක්තියක් තිබීමත් වැදගත්. එය පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයකට අත්‍යවශ්‍ය කාරණාවක්. අධික දුක්ඛිත ජීවිත ගතකරන අයට සත්‍යාවබෝධය වෙත යාම ටිකක් අපහසුයි. අධික පීඩාවන් කරදර එනවිට එයින් නිරන්තරයෙන් ඇතිවෙන්නේ ගැටීමක් බව අප දන්නවා. නිරයගාමි සතුන්, පේ‍්‍රතයන්, තිරිසන් සතුන්ට සත්‍යාවබෝධය වෙත යන්න බැරි ඒකයි. ඒ අයගේ සිත නිතර පීඩාවෙන් විඳවනවා. එසේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න නම් ඇස්, කන්, නාසා ආදී ඉන්ද්‍රියයන්ගේ විකලත්වයෙන් තොරව මිනිසත් බවක් තිබෙන්න ඕන. ඒවගේම මනුෂ්‍ය ආත්මයක් ලබන කෙනෙක් මන්ද බුද්ධික නම් ඒ පුද්ගලයාට ක්ෂණ සම්පත්තිය අත්විඳින්න ලැබෙන්නේ නැහැ. මන්ද බුද්ධික කියනවිට ඒ ජීවිතය කෙතරම් අවාසනාවන්ත ද? ඒ ආකාරයට බලනවිට ඔබේ ජීවිතය කෙතරම් වසනාවන්තද? ලෝකයේ බොහෝ අය උපන්විට අඳ, ගොළු, බිහිරි මන්ද බුද්ධිකව ඉපදෙනවා නම් එය අභාග්‍යයක් නොවේද?

කලණ මිතුරු ඇසුර

දැන් ඔබ මිනිසෙකුව ඉපදී සිටිනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා. නමුත් බුදුවරයෙක් ලෝකයේ පහළවෙලා සිටියත් සමහරුන්ට ඒ බුදුරජාණන් වහන්සේ අසලට යාමට, ඒ ධර්මය අසන්නට හැකියාව හෝ වාසනාව නැහැ. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තිබෙන කෙනෙකුට පමණයි බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන් වෙත සමීපවීමේ හැකියාව තිබෙන්නේ. කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ අතිශයින්ම වැදගත් දෙයකටයි. “ස්වාමිනි බුදුරජාණන් වහන්ස මේ ශාසනයේ අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය නිසා නොවේද?” කියා දිනක් ආනන්ද තෙරුන් විමසා සිටියා. “ආනන්දය, අඩක් නොව මේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය මත” බව තථාගතයන් වහන්සේ වදාළා. එවැනි කල්‍යාණ මිත්‍රයෙක් ලැබුණොත් පමණයි බුදුන් වහන්සේගේ දහම සොයාගෙන යා හැකි වන්නේ.

සදහම් ඇසුම

දැන් ඔබ බුද්ධෝත්පාද කාලයක ඉපදුණා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළා. දුර්ලභ කරුණ වන්නේ සද්ධර්ම ශ්‍රවණයයි. මෙයත් ඉතාමත් දුර්ලභ කරුණක්. තථාගතයන් වහන්සේ වදාළා ඕපසමිකෝ, පරිනිබ්බායිකෝ, සම්බෝධගාමි, සුගතප්්පවේදිතෝ කියා වචන කිහිපයක්.
මෙහිදී ඕපසමික කියන්නේ කෙලෙස් සංසිඳවන සද්ධර්මය යන අරුතයි. යම් දේශනාවක් අසනවිට සිතේ කෙලෙස් වැඩෙනවානම්, සංසාරය දිගු වෙනවානම්, මානය වැඩිනම් එය සද්ධර්මය නොවේ. ඕපනයික කියන්නේ මේ රාග, ද්වේශ, මෝහය අඩුවීමේ වැඩපිළිවෙලක් ඇති ධර්මය යි. සම්බෝධගාමි - මේ ධර්මය ආර්ය සත්‍ය අවබෝධය පිණිස හේතුª වේවා කියන සංඥාවෙන් ධර්මය ශ්‍රවණය කිරීමයි. සසර දුක වැටහිලා නිවන උදෙසා ගමන් කිරීමට අප උනන්දු කරන ආකාරයේ දේශනාවක් විය යුතුයි. පරිනිබ්බායිකෝ - අප තුළ තිබෙන කෙලෙස් පිරිනිවන් පාන්නට උපකාරි වන ධර්මයක්. සුගතප්පවේදිතෝ - සුගත තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කරන ලද ධර්මයම විය යුතුයි. එහෙම ධර්මයක් ඇසීම දුර්ලභයි.

සුදුසු පෙදෙසක විසුම

මේ කියන ධර්මය වටහා ගැනීමටත්, ධර්මානුකූලව ජීවිත්වීමටත් සුදුසු පරිසරයක විසීම වැදගත්. එයට “පතිරූපදේස වාසෝ” කියා කියනවා. ධර්මය ඇසීමට සුදුසු පරිසරයක ජීවත්වීම සහ ඒ අසන ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි පරිසරයක් වීම එහි අරුතයි. මෙයටයි ක්ෂණය නැත්නම් මොහොත කියන්නේ. ඒ වටිනා මොහොත නැවත ලැබේවි යැයි සිතීම අපහසුයි. ඒ නිසා මේ ලැබුණ මොහොතින් ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවීම ඉතාම කලාතුරකින් වන සිදුවීමක්. අපට ඒ පිළිබඳව අගයක් හෝ වැටහීමක් නැත්තේ බුද්ධෝත්පාද කාලයක අප ඉපදුන නිසායි. තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා ඒ සද්ධර්මය පවතින කාලය තුළත් එවැනි පිරිසක් සිටිනවානම් කල්ප ගණනාවකට බුදු කෙනෙක් පහළ නොවෙන බුද්ධ ශුන්‍ය කල්පයක ඉපදෙන අයගේ ජීවිත කෙසේද කියා සිතා බලන්න. බුදුරජාණන් වහන්සේ පහළ නොවුණොත් ධර්මය පහළ වෙන්නේ නැහැ. ධර්මය පහළ නොවුණොත් සංඝයාගේ පහළවීමකුත් නැහැ. බුද්ධ ධම්ම, සංඝ පහළවීමක් නැතිනම් නිවන්මඟ එළිපෙහෙළි වීමක් නැහැ. එසේ නොවන්නට සුදුසු පරිසරයක ජීවත්වීමේ වාසනාව දැන් අපට මේ මොහොතේ උදා වී තිබෙනවා.

අෂ්ට දුෂ්ඨක්ෂණ

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා ධර්මය පවතින අවස්ථාවක වුවත් එයින් ප්‍රයෝජන නොගන්නා පිරිසක් අප අතර සිටිනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවෙලා ධර්මය දේශනා කරන විට ඔහු නිරයේ ඉපදිලානම් ඒ අවස්ථාව මඟ හැරෙනවා. ඒ අයට මේ ක්ෂණ සම්පත්තිය අහිමියි. ඒ වගේම යමෙක් තිරිසන් ලෝකයේ ඉපදිලානම් එවිටත් ඒ මොහොත, ක්ෂණ සම්පත්තිය අහිමියි. ක්ෂණ සම්පත්තිය කියන්නේ සත්‍ය අවබෝධ කර ගන්නට පුළුවන් මොහොතටයි. සත්‍ය අවබෝධ කරනවා කියන්නේ භවය සුවපත් කරගන්නවා කියන එකටයි.ඒ වගේම යමෙක් මිලේච්ඡ ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදුණොත් ඔහුටත් මේ ධර්මය ඇසෙන්නේ නැති නිසා අවබෝධ කරන්න බැහැ. දරුණු මිනිසුන් නිසා මානව ගුණධර්ම අඩුයි. වනචාරි වගේ ජීවිත ගත කරන්නේ. ඒ නිසා ඔවුන්ටත් සත්‍ය අවබෝධය කරා යාම අපහසුයි.
ඒ වගේම තවත් සමහරු හොඳ පරිසරයක ඉපදුනත් මිථ්‍යා දෘෂ්ටිකයි. ඔහු මෙලොව, පරලොව, හොඳ නරක කර්මඵල ගැන විශ්වාසයක් නැහැ. මව, පියා කියා විශේෂ කෙනෙක් සිටිනවා කියා විශ්වාස නැති අවදිමත් දේ පිළිබඳව එල්බ සිටිනවා. ඔහුටත් සත්‍යාවබෝධය වෙත යන්න බැහැ.
තවත් කෙනෙක් ඉපදෙනවා අබුද්ධෝප්පත්ති කාලයක සියලු දෙය සම්පූර්ණයෙන් ලැබුණත්, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා නැත්නම් ඔහුටත් මේ ක්ෂණ සම්පත්තිය අහිමියි. යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ප්‍රඥාව ඇතිව ඉපදුනත් ධර්මය දේශනා කරන්නට බුදු කෙනෙකු ලෝකයේ නැති නිසා මේ ක්ෂණය කියන මොහොත අහිමියි.
එනිසා අද අප සැමටම සත්‍යය අවබෝධය පිණිස මාර්ගය විවෘතව තිබෙනවා. ඒ මාර්ගයේ ගමන් කිරීමයි අප සතු වගකීම වන්නේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුද්ධිමත්ව ගවේෂණය කළ යුතු ආදීනවයන්

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි

බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියෙහි උන්වහන්සේට පහළ වූ මනෝභාවයන් පිළිබඳව බුද්ධත්වය ලබාගැනීමෙන් පසු පළමු වන ආස්වාද සූත්‍රයෙහි දේශනා කරයි. රූපයෙහි ආස්වාදය කුමක්ද? රූපයෙහි ආදීනවය කුමක්ද?රූපයෙහි නිස්සරණය කුමක්ද? රූප, ෙවිදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාාණ යන පංචස්කන්ධය පිළිබඳව විග්‍රහ කර තිබෙන නිසා බුදු දහම නිතරම දුක පිළිබඳව පමණක් කතා කරන දහමක් ලෙස ඇතැමුන් සිතයි.
බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සැප පිළිබඳව විග්‍රහ කරයි. රූපයෙහි ආස්වාදයක් තිබෙන බවත් එහි තිබෙන්නාවූ ආස්වාදය කුමක්ද ?ඊළඟ පියවර වශයෙන් රූපයෙහි ආදීනවය කුමක්ද?ඊළඟ කාරණාව ලෙස රූපයෙහි තිබෙන්නාවු නිස්සරණය කුමක්ද?තවත් කාරණාවක් ලෙස වේදනාවද විග්‍රහ කරයි. ෙවිදනාවෙහි පවතින ආස්වාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳව විමර්ෂණය කරයි.

මේ ආකාරයෙන් සංඥා, සංස්කාර ආදීන්ගේ ස්වභාවයද ඒ ආකාරයෙන්ම විමර්ෂණය කරනු ලබයි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියෙහිම මෙහි ස්වභාවය කල්පනා කළා. ලෝකයෙහි පවතින ආස්වාදය කුමක්ද? එහි ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? මහණෙනි, රූපය නිසා යම් සුවයක් උපදීද? එය රූපයාගේ ආස්වාදයයි. රූපය හේතු කොටගෙන යම්කිසි සුවයක් යම්කිසි සොම්නසක් යමෙකු තුළ උපදීද? එය රූපයෙහි ආස්වාදයයි. රූපයෙහි ආස්වාදයක් නැති බව කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකියි. අප කැමැති රූපයක් දකින විටම අපට සුවයක් දැනෙයි. ලස්සන රූපයක් අපේ වුවත් නොවූවත් එම රූපය පිළිබඳව අපට සොම්නසක් උපදියි. එය ලස්සන බවට අප ප්‍රසිද්ධියෙහි හෙළිදරවු නොකළත්, අප රහසින් හෝ එය විඳගනී. රහත් නොවුණ ඕනෑම ගිහියෙකු හෝ සිතෙහි පාලනයක් නැති පැවිදි උතුමෙකු වුවද ලස්සන රූපයක් දකින විට එම රූපය ආස්වාදය කරයි. ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකු එයින් ලැබුණ වින්දනය සුඛයක් ලෙස හෝ සොම්නසක් ලෙස සැලකිය හැකියි. අපගේ කාමරය ලස්සනට තබාගැනීමට උත්සාහ කරනු ලබන්නේද එම කාරණාව නිසයි. පොත් මේසය ලස්සනට තබාගෙන නැත්නම් එම කාමරයෙහි පාඩම් කිරීමට සිතක් ඇති නොවෙයි. තමන් ජීවත් වන පරිසරයෙහි සොම්නසක් සුවයක් පවතිනවා නම්, එම කාර්යය සතුටින් කළ හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි කිසිදු ෙබිදයකින් තොරව ඕනෑම රූපයක ආස්වාදයක් විඳිය හැකියි. රූපය සම්බන්ධව අප විසින් ගොඩනඟා ගනු ලබන මනෝභාවයන් රූපයෙහි ආස්වාදයට හේතු වෙයි. නමුත් සම්මුති ලෝකයෙහි රූපයෙහි ආස්වාදයක් පවතින බව සිතුවද,පරමාර්ථමය වශයෙන් රූපයෙහි ආස්වාදයක් නැහැ. එය නිවැරැදිව අප තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ බුදුබව ලබාගත් පසු රූපයෙහි ආස්වාදයක් නැති බව පැහැදිලිව දේශනා කරයි. බෝධිසත්ත්ව අවධියෙහි රූපයෙහි ආස්වාදය විඳිනු ලැබුවත් බුදුබව ලබාගත් පසු රූපයෙහි ආස්වාදයක් නොමැති බවට දේශනා කරයි. නොවඩන සිතක් ඇති ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකුට රූපයෙහි ආස්වාදයක් දැනුනත් වඩන ලද සිතක් තිබෙන උත්තමයෙකුට රූපයෙහි ආස්වාදයක් නොදැනෙයි. රූපය නිසා සතුට උපදිනවා නම්,එය ආස්වාදයයි. අපට ආස්වාදයක් ඇති නොවන රූපයකට වෙනත් පුද්ගලයෙකුට ආස්වාදයක් දැනිය හැකියි. ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකුට තමන් කැමැති ඕනෑම රූපයක ආස්වාදයක් දැනිය හැකියි . එම ආස්වාදය මනසෙහි ඇතිවන ස්වභාවය මිස රූපයට සම්බන්ධ කාරණාවක් නොවෙයි. කැමැති රූපයක් සමඟ ආස්වාදය ඇතිවනවා යනු, ආස්වාදය හටගනු ලබන්නේ රූපයෙහි නොව මනසෙහි ඇතිවන ස්වභාවයක් බවයි. මනස පුර්වාංගමව රූපයෙහි ආස්වාදය පිටතට පැමිණෙයි. යම් රූපයක් අනිත්‍ය ද දුක්ද,විපරිනාමද එය රූපයාගේ ආදීනවයයි. අපට සොම්නස උපදවන රූපවල පවතින විපරිනාම බව හෙවත් අනිත්‍ය බව එහි පවතින ගැටලුවයි. ඕනෑම ආස්වාදයක පවතින අර්බුදය නම්, එම ආස්වාදය පැවැති ආකාරයෙන්ම පවත්වාගැනීමට බැරි මට්ටමට රූපය පත්වන විට මනසත් ඒ ආකාරයෙන්ම වෙනස් වෙයි. එය රූපයාගේ ආදීනවයයි. එම රූපයෙහි ඡන්ද රාග ප්‍රහාණයක් පවතිනවා නම්, එය නිස්සරණයයි. කවුරුන් හෝ පුද්ගලයෙකු රූපයට තිබෙන්නාවූ එම කාරණා වටහා ගැනීම අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙයි. රූපයෙන් ඇතිවන වින්ඳනයත් සමඟ අපගේ මනස එය ග්‍රහණය කර ගනී. එම රූපය සම්බන්ධව පවතින සොම්නස ස්ථාවර කරගනී. සොම්නස ස්ථාවර කරගැනීමෙන් ඇතිවන අර්බුදය නම්, රූපයට අඛණ්ඩව පැවතීමේ හැකියාවක් නොමැති වීමයි.
තරුණ වයස වන විට සම දිදුළමින් ඇස් කාන්තිමත්ව බබළන ස්වභාවයක් පවතී. අවුරුදු හතළිහ පමණ වන විට ශරීර ස්වභාවය පැවතුණාට වඩා වෙනස් ස්වභාවයක් ගනී. වයස වෙනස් වීමත් සමඟ යම් යම් විකෘති ස්වභාවයන් හට ගනී. කලු කොණ්ඩය සුදුපැහැ වෙයි. රූපයෙහි සොම්නසක් සමඟ පවතින ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියෙහි නිවැරැදිවම එම ස්වභාවය හඳුනාගනු ලැබුවා. එම රූපය සඳහා පැවතිය යුතු නිස්සරණය නම්,අප එම රූපයට දැඩි ලෙස ඡන්දය, රාගය, ඇලීම ඇතිකර නොගැනීම ඒ සඳහා විසඳුමයි. කාමරූප දකින අවස්ථාවෙහි ඇති වන සොම්නසත් සමඟ එහි පවතින අනිත්‍යතාව, නිසරුබව, හිස්බව ස්ථිර නැති බව, අපට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යාමට නොහැකි බව අවබෝධකර ගැනීමෙන් අප තුළ පවතින ඡන්ද රාග ප්‍රහීණ වෙයි.රූපයෙහි පවතින අනිත්‍යතාව අවබෝධ කර නොගත හොත් ඡන්ද රාග ප්‍රහීණ නොවෙයි. රූපයෙහි පවතින ආදීනවයන් බුද්ධිමත්ව ගෙවිෂණය නොකළ හොත් ඡන්ද රාග අඛණ්ඩව පවතියි.

ඇලීමතුළ ගැටීමක් නිර්මාණය කරයි

වේදනාව නිසා යමිකිසි සුවයක් දැනුනොත් ,එය ෙවිදනාවෙහි ආස්වාදයයි. ඇතැම් රූප දක්නට ලැබෙන විට ඇසට දැනෙන සුවයත් මිහිරි ශබ්දයක් කනට ඇසෙන විට කනට දැනෙන සුවයත් නිසා ඇති වන ෙවිදනාව තුළ සොම්නසක් උපදී. ඕනෑම ෙවිදනාවක් ඇතුළත සුවයක් දැනෙයි. ෙවිදනාවෙහි ආදීනවය නම්, එම සුවය සැමදාම එම ෙවිදනාව පැවැති ආකාරයටම නොදැනීමයි. එක කාලයක් තුළ රූපයක් දැකීමෙන් සිතට දැනෙන සුඛ ෙවිදනාව තවත් කාලයකදී එලෙසම නොදැනෙයි.
උද්‍යෝගය නැති වීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. ෙවිදනාව එකම ආකාරයක දැනෙනවා යනුවෙන් ස්ථිර බවක් නැතිකම ෙවිදනාෙවි ස්වභාවයයි. ෙවිදනාෙවි ආදීනවය නම්, ෙවිදනාවෙහි අනිත්‍ය ස්වභාවයයි. ෙවිදනාව නිත්‍ය ලෙස එකම ආකාරයට පවත්වාගෙන යා හැකි නම්, ආලුනාට ගැටලුවක් ඇති නොවෙයි.

රූපය නිත්‍ය නම්, අපට ආසාවක් ඇතිවුණ දවසෙහි රූපයෙහි පැවති ස්වරූපය අඛණ්ඩව පවතිනවා නම්, ඇලුනාට ප්‍රශ්නයක් නැහැ.රූපය වෙනස් වෙයි. ෙවිදනාවද වෙනස් වෙයි. එම නිසා එවැනි දේ සඳහා ඡන්ද රාග ගොඩනඟා ගැනීම තේරුමක් නොමැති බවත් නිස්සරණයට යා යුතු බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේද එම කාරණාව පිළිබඳ ඇති කරගනු ලැබූ අවබෝධය තුළයි.ඡන්ද රාග හට ගැනීමෙන් ඇතිවන ඇලීම තුළ ගැටීමකුත් නිර්මාණය වෙයි.
අපගේ මනස යම්කිසි වින්ඳනයකට වසඟ වුවහොත් එය වෙනස් වෙන බව පිළිගැනීමට හෝ උහුලාගැනීමකට එම මනස කැමැති වන්නේ නැහැ.යථාර්ථය පිළිගැනීමට සූදානම් නොවන තැන අප හඬාවැළපෙයි. ආදීනවයන් පිළිගැනීමට සූදානම් නොවන නිසා, අප යම් සම්බන්ධකමක් පටන් ගන්නා විටම ආදීනවයක් තිබෙන බව දැනගෙන සිටිය යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාළහ.
එම වෙනස් වීමට කවදා හෝ මුහුණ දිය යුතුයි. එම වෙනස කාලය සහ අවකාශය අතර ප්‍රශ්නයක් පමණක් වෙයි. කුමන මොහොතක හෝ එයට මුහුණ දිය යුතුයි. ෙවිදනාවෙහි ආදීනවය වශයෙන් වේදනාව වෙනස් වන බවත්,අඛණ්ඩව ෙවිදනාව පවත්වාගෙන යාමට බැරි බවත් ෙවිදනාවට අවශ්‍ය ආකාරයට අප පවත්වන්න බැරිකම නිසාත් එය වෙනස් වෙමින් ජරාජීර්ණතාවයට පත්වෙන නිසාත් ඡන්ද රාග ඇතිකර ගැනීමෙන් තේරුමක් නැති බව වටහාගත යුතුයි.
ඊළඟට "සංඥාව" දක්වා ඇත. "සංඥාව" සරල ලෙස "හඳුනාගැනීම" ලෙස අර්ථගැන්විය හැකිය.
ෙවිදනාවකට පසු තාවකාලික හඳුනාගැනීමක් රූපයක් දකින විට ් ඇතිවන ෙවිදනාවක් සමඟ සංඥාවක් ඇති වෙයි. ෙවිදනාව තුළ තාවකාලික වශයෙන් සරල හඳුනාගැනිමක් හටගනී. රූපයත් සමඟ ගනුදෙනු කිරීමෙන් මනසෙහි ඇතිවන සංඥාවෙන් සොම්නසක් උපදින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.
ඇතැමුන් පැරැණි සංඥාා සමඟ ජීවත් වෙයි. දකින ලද මුල්ම දවසේ ඇතිවුණ සංඥාාවෙන් ගැලවිය නොහැකිව සිටී.පළමු සංඥාාව සුඛ ෙවිදනාවක් වෙයි. එම සංඥාාවට ආදරය කිරිමට පටන් ගනී. අතීතයේදී මනසේ ඇතිවුණ සංඥාව හේතු කොට ගෙන වර්තමානය තුළත් ආදරය කරයි. එවැනි සංඥාාවන් සඳහා ඉක්මනින් ලොබ බඳින නිසාම අප ප්‍රවේසම් විය යුතුයි.සංඥාාව අඛණ්ඩව එකම ආකාරයක පවතින එකක් නොවන නිසා සංඥාාව වෙනස් වෙයි. සංඥාාව මිරිඟුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.ඈතින් වතුර තිබෙන බව දක්නට ලැබුණත් එතැට පැමිණි පසු වතුර දක්නට නොමැති වීම මිරිඟුවේ ස්වභාවයයි.

සංඥාව

අප සංඥාාවන් ගොඩනඟාගනු ලැබුවද අවසාන වශයෙන් එතැනට ගොස් බලන විට කිසිවක් දක්නට නොලැබෙන බව බොහෝ දෙනෙකෙªට පසුව වැටහෙයි. විවාහයට පෙර කෙතරම් සංඥාාවන් පැවතුණත් විවාහයට පසු සියලු සංඥාාවන් අවසන් වෙයි. විවාහ නොවුණ පුද්ගලයන්ට එය නොවැටහෙන කාරණාවක් වෙයි.සංඥාාව නිත්‍යයයි, සංඥාාව සදාකාලිකයි යනුවෙන් කිසිදා නොසිතිය යුතුයි. සංඥාාව අනිත්‍ය බවත්, සංඥාාව වෙනස් වන සුළු බවත්,එය සංඥාවෙහි ආදීනවය බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.සංඥාාව ඇතිවන විටම එය මිරිඟුවක් බව දැනගත යුතුයි. මිරිඟුව පසුපස යාමෙන් විශාල අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බව සිතිය යුතුයි. මට පෙනෙන්න තිබෙන්නේ මිරිඟුවක් මෙයට වඩා ඇත්තක්, මෙයට වඩා වෙනත් පැති මෙහි තිබෙනවා. වර්තමානයෙහි පවතින තත්ත්වය අනාගතයෙහි වෙනස් වෙන නිසා වර්තමානයෙහි ඇතිවන සංඥාවත් සමඟ ඇලීමට යාම අවශ්‍ය නැහැ. එහි සත්‍ය ස්වභාවය මෙය නොවෙයි.
අතීත හැඟීමත් සමඟ මනසෙහි ගොඩනඟාගෙන සිටින සංඥාාවත් සමඟ ඇති කරගනු ලැබූ සංකල්ප සමඟ නිසා තමා වද විඳින බව අවබෝධ කරගැනීම වැදගත් වෙයි. මෙම ප්‍රශ්නය වටහාගැනීමෙන්,ඔහුට ෙමි ලෝකය තුළ පවතින භෞතික ප්‍රශ්න බොහොමයක් විසඳාගත හැකියි. ඇතැමුන්ට ගැලවීමට බැරිව තිබෙන්නේද,අතීතයේදී ඇතිවූ සංඥාා සමඟ ගොඩනැඟුªන සංකල්ප රූප නිසා මිස වර්තමානයෙහි ඇතිවුන සංඥාා සමඟ නොවෙයි.

සංස්කාර

සංස්කාර යනු ස්ථාවර සංකල්පයි.එය අපගේ කර්ම ශක්තියයි. රූප දැකල ශබ්ද අහල එය රසවීදීමෙන් ඇතිකරගනු ලබන ෙවිදනාව නිසා අඛණ්ඩව සංඥාා ඇතිකරගෙන දීර්ඝ කාලීනව කටයුතු කිරිමට යාමෙන් සංස්කාර උපදී. කර්ම ශක්තීන්ගේ තෘෂ්ණාව මෝහය ද්වේෂය සමඟ සංස්කාර ධර්ම උපදී.
ස්ථාවරව සංවිඤ්ඤාණික මනසෙහි දිගින් දිගටම හටගනී. රූපයත් සමඟ වේදනවාත් සමඟ දිගින් දිගටම කටයුතු කිරීම පුරුද්දක් විය හැකි වුුවද, පුරුද්දක් වශයෙන් කරනු ලබන දේ මනස ස්ථාවර කරගනී.මනස එය පුරුද්දක් වශයෙන් සිදුනොකරයි. අප ෙවිදනාව සංඥාාව මත පදනම්ව කරන ක්‍රියාකාරකම්වල ඊළඟ භවය නිර්මාණය කළ හැකි තත්ත්වයේ ශක්තීන් නිර්මාණය කරයි. ඊළඟ භවයට ගෙනයා හැකි බලගතු ශක්තීන් වෙයි. සංවිඤ්ඤාාණික මනස හෙවත් දැනුවත් මනසින් එය කරනු ලබයි.බොහෝ අවස්ථාවල අප ජීවත් වනුයේ දැනුවත් මනසින් නොවෙයි.

විඤ්ඤාණය

බොහෝ අවස්ථාවල අප මෙහෙයවනු ලබන්නේ උප විඤ්ඤාාණයයි. උප විඤ්ඤාාණය මත පදනම්ව ඇතැම් කාරණා සිදුකරන විට සංවිඤ්ඤාාණික මනස එය හඳුනාගන්නා බව අප සිතන්නේ නැහැ. එදිනෙදා පුරුදු උප විඤ්ඤාාණය තුළින් කරගෙන ගියත් සංවිඤ්ඤාාණික මනසෙහි ස්ථාවර වශයෙන් ඇතැම් ශක්තීන් උපදී. එම ශක්තීන් ස්ථාවර සංකල්ප වෙයි. මගේ සිත සංස්කාර ගොඩනඟන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගත් පසු වදාරනු ලැබුෙවිද එම කාරණාවයි.
මගේ සිත විසංයෝජනය වී ඇති නිසා තවදුරටත් සංයෝජනයක් ඇති නොවන බවයි. තවදුරටත් ඇලීම්, ගැටීම්, බැඳීම් නැති බවත් කිසිවක් අලුතෙන් නිර්මාණය නොකරන බවත්,වදාරා ඇත.කිසිවක් අලුතෙන් නිර්මාණය නොකරන බව බුදුහිමියන්ගේ අදහසයි. තණ්හාවෙහි ආස්වාදයක් තිබෙනවා. ද්වේෂය තුළත් ආස්වාදයක් ඇතිකරයි. ගැටීම තුළ දුකක් තිබුණත්,ආස්වාදයක්ද පවතී.ආස්වාදය ඇතුළෙහිම ආදීනවයන් තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
බුදුරජාණන් වහන්සේ සංස්කාර කෙසෙල් කොටයකට උපමා කරයි. කෙසෙල් ගසේ පිල්ල පිල්ල ගලවාගෙන යනවිට ඇති දෙයක් නැහැ සංස්කාරත් ඒ වගෙයි. අප සිතින් ගොඩනඟන මනෝරාජ්‍යයන් එකින් එක සුද්ද කර බලන විට එහි ඇති දෙයක් නැහැ. ඒ තුළ මතුපිටින් වින්ඳනය කළ හැකි දේ පමණක් පැවතියත් යථාර්ථයක් වශයෙන් ගත හැකි දෙයක් නැහැ.
සංස්කාරවලට නොඇලීම නිස්සරණ යයි. ඡන්ද රාග ඇතිකර නොගැනීම නිස්සරණයයි. අප විසින් ගොඩනංවනු ලබන සංවිඤ්ඤාණික සිත විඤ්ඤාණයයි. අප විසින් කර්ම ශක්තියත් සමඟ ඊළඟ භවයට ගෙන යාම සඳහා ගොඩ නගන සිත් සහ සිතිවිලි පරම්පරාවයි. මීලඟ භවයට අප ගෙන යනු ලබන චිත්ත චෛතසික පරම්පරාවයි. එම විඤ්ඤාාණයෙහි ආස්වාදයක් පවතී. විඤ්ඤාාණයෙහි ආදීනවය නම් විඤ්ඤාාණයත් නිත්‍ය එකක් නොවෙයි. විිඤ්ඤාාණයට නොඇලිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.
විඤ්ඤාාණය ගොඩනැංවීම නැති කරන කාරණාවලට ඇලිය යුතුයි.කර්ම ශක්තින්ගෙන් විඤ්ඤාාණයක් ගොඩනංවනවා යනු අප සසරෙහි නැවත නැවතත් ඉපදීමයි.නැවත නැවතත් ඉපදෙනවා යනු නැවත නැවතත් හමුවීමයි. නැවත නැවත හමුවෙනවා යනු නැවත නැවත වෙන්වීමයි. එම නිසා විඤා්ඤාාණයටවත් ඡන්ද රාග සාදා නොගත යුතු බව දේශනා කරයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තථාගත ධර්මය රාග විරාගය පිණිසයි

ශ්‍රාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
"බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ සත්ත්වයා දුකෙන් මුදවාගනු පිණිසයි. සත්ත්වයා දුකට පත්වුණේ මේ පඤ්චස්කන්ධය නිසා නම්, ආසාව, රාගය නිසානම් ඒ පංචසකන්ධයට ඇති රාගය නැතිකර ගැනීම සඳහා, පඤ්චස්කන්ධය ඒ තුළ විරාගය ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට තිබෙන්නේ. ඒ ධර්ම දේශනාවල හරය මූලික ඉලක්කය වන්නේ මේ කියන රාගය හෙවත් ආශාව නැතිකර ගැනීමයි."
අපගේ තථාගතයන් වහන්සේගේ ධර්මය කුමක් සඳහාද කියා යම් කෙනෙක් ප්‍රශ්න කළොත් කියන්න තිබෙන සරලම පිළිතුර වන්නේ රාග විරාගය පිණිස බවයි. රාග කියන්නේ කැමැත්ත, ආශාව. විරාගය කියන්නේ කැමැත්ත ආශාව දුරු කිරීම. නැත්නම් කැමැත්ත, ආශාව නැතිකර දැමීමයි.
වෙනත් ආකාරයකින් කියනවානම් මේ ලෝකයේ ජීවත්වෙන අප සියලු දෙනා මූලිකව ලැබුණු ගොඩවල් පහක් තිබෙනවා. එය පඤ්චස්කන්ධය කියා හඳුන්වනවා. මිනිසුන්, බ්‍රහ්මයෝ, දෙවියෝ, පේ‍්‍රතයෝ, පිචාසයෝ, තිරිසන්නු මේ සියලු දෙනාටම මේ පඤ්ස්කන්ධය තිබෙනවා. මේ පඤ්චස්කන්ධයට ඇති කැමැත්තට රාගය කියා කියන්න පුළුවන්. මේ පඤ්චස්කධයට ඇති කැමැත්ත නිසා පඤ්චස්කන්ධයක් ලැබෙන ආකාරයට සත්ත්වයා කර්ම රැස්කර ගන්නවා. එවිට කර්මානුරූපව පඤ්චස්කන්ධයක් ලැබෙනවා. එසේ ලැබුණ විට ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්වලට ගොදුරු වෙන්න සිදුවෙනවා. සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා කියා කිව්වේ ඒකයි. සැකෙවින් කියනවා නම් මේ පඤ්ච උපාධානස්කන්ධයම දුකයි. මෙතැනදී ජාති කියා කිව්වේ පඤ්චස්කන්ධයේ පහළ වීමයි. ජරා කියන්නේ එය කැඩී බිඳී යාම, ව්‍යාධි කියන්නේ ලෙඩ රෝගවලට ගොදුරුවීම, මරණ කියන්නේ පඤ්චස්කන්ධය බිඳීයාම. මේ සියලුම දේ දුකට හේතුවක්. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ සත්ත්වයා දුකෙන් මුදවාගනු පිණිසයි. සත්ත්වයා දුකට පත්වුණේ මේ පඤ්චස්කන්ධය නිසානම්, ආසාව, රාගය නිසානම් ඒ පංචසකන්ධයට ඇති රාගය නැතිකර ගැනීම සඳහා, පඤ්චස්කන්ධය ඒ තුළ විරාගය ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට තිබෙන්නේ. ඒ ධර්ම දේශනාවල හරය මූලික ඉලක්කය වන්නේ මේ කියන රාගය හෙවත් ආශාව නැතිකර ගැනීමයි.
මහමුහුදේ ජලය කොතැනින් ගෙන බැලුුවත් එකම රසයි තිබෙන්නේ. ඒ ලුණු රසය. ඒ වගේ විරාගික දැක්මක් ඇති තථාගතයන් වහන්සේගේ දහමේ කොතැනින් ගත්තත් එය එකම රසයකින් යුක්තයි. ඒ විමුක්ති රසය. එසේනම් මේ පඤ්චස්කන්ධයෙන් ඈත්වෙන, මිදෙන ක්‍රමයයි තථාගතයන් වහන්සේ සෑම තැනකදීම දේශනාකොට තිබෙන්නේ. ඒ ක්‍රමය පැහැදිලි කළ දේශනාව තමයි බුද්ධ දේශනාව.
ඒ දේශනාව සැකෙවින් ගත්තොත් සීල, සමාධි, ප්‍රඥා ලෙස කොටස් කරන්න පුළුවන්. තවත් සරලව කියනවානම් දාන, සීල, භාවනා ලෙස කොටස් කරන්න පුළුවන්. මේ සීල, සමාධි, ප්‍රඥා වැඩීම තුළත් දාන, සීල, භාවනා වැඩීම තුළත් සිදුවන්නේ රාගය විරාගයට පත්වීමයි.
තථාගතයන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මය තුළ දානයට ප්‍රමුඛස්ථානයක් දී තිබෙනවා. දසරාජ ධර්ම, දසපුණ්‍ය ක්‍රියා, සතර සංග්‍රහ වස්තු, දස පාරමිතා මේ සෑම දෙයකදීම දානය ප්‍රමුඛ වී තිබෙනවා. දානය ප්‍රමුඛ වන්නේ ඇයි? මේ කියන හැම දෙයකම මුලින්ම සඳහන් කොට තිබෙන්නේ එහි ප්‍රධානකම සලකා ගන්නවාට වඩා එහි තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ අනෙක් හැම ක්‍රියාවකටම වඩා පහසු ක්‍රියාව දානය නිසයි.

අත්හැරීමේ ප්‍රාථමික අවස්ථාව දානයයි

දානය කියන වචනය අප මෙසේ අර්ථවත් කර ගනිමු. මේ අතහැරීමට බුදුදහමේ වචන දෙකක් සඳහන් කරනවා. ඒ දානය සහ පරිත්‍යාගය. කෙනෙක් සිතන්න පුළුවන් මේ දෙකෙන් පරිත්‍යාගය කියන දේ දන් දෙනවාට වඩා ලෙහෙසියි කියා. එයට හේතුව අපේ සමාජ සම්මතයක් තිබෙනවා යමක් පරිත්‍යාග කරන්නේ දුගී මගී යාචකයන්ට, සමිති සමාගම්වලට ආදිය කියා. දාන කිව්වාම ස්වාමින් වහන්සේට වෙනත් පූජනීය අයකුට දෙන දේ දානය කියා සිතනවා. නමුත් මෙහි ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබෙන්නේ.
මේ කියන දානය සහ පරිත්‍යාගය වචන දෙකෙන් ගැඹුරු අර්ථය ඇත්තේ පරිත්‍යාගය තුළයි. දානය තුළ නොවේ. දානය කියන්නේ අතහැරීමේ ප්‍රාථමික අවස්ථාවයි. සරල අවස්ථාව. බුදුදහම සෑමවිටම සරල තැනින් ගැඹුර කරා යන දහමක්. ඒ නිසා සීල, සමාධි, ප්‍රඥා හෝ දාන, සීල, භාවනා නැත්නම් දස රාජ ධර්ම, දස පාරමී හැම තැනකමදීම දානය මුලට දමා තිබෙන්නේ අනෙක් තැන්වලට වඩා එය සරල නිසා. තථාගතයන් වහන්සේ වදාළා දානය කියන දේ මූලික අදහස සිව්පසය අත හැරීමයි. ගිහියෙකුගේ පහසු සුඛ විහරණය සඳහා උපකාර කරන සිව්පසයක්
තිබෙනවානේ. ඇඳුම් පැළඳුම්, ආහාර පාන , ගේදොර බෙහෙත් එයට අයත්. පැවිදි උතුමන්ටනම් , චීවර,පිණ්ඩපාත, සේනාසන, ගිලන්පසයි. මේ සියල්ල අතහැරීම දානයයි.
පඤ්චස්කන්ධයේ කැමැත්ත
අතහැරීම – පරිත්‍යාගයයි
පරිත්‍යාගය කියන්නේ මොකක්ද? පරිත්‍යාගය කියන්නේ පඤ්චස්කන්ධයට ඇති උපාදානය හෙවත් කැමැත්ත අතහැරීමයි. එසේනම් සිව්පසයට ඇති කැමැත්ත අතහරින්න බැරි අයට පඤ්චස්කන්ධයට ඇති කැමැත්ත කෙසේවත් අත හරින්න බැහැ. ඒ නිසා අනුපිළිවෙල අගයන මේ දහම තුළ දානය පුරුදු කරන්න බැරි පුද්ගලයාට පරිත්‍යාගය කෙසේවත් පුරුදු කරන්න බැහැ. අනුපිළිවෙල ක්‍රමයට අනුව මුලින්ම තිබෙන දානය පුරුදු කිරීම තුළිනුයි. සිව්පසය අතහැරීම , ඒවාට තිබෙන බැඳීම, ආශාව අතහැරීම කළහැකි වන්නේ ඒ තුළිණුයි. ඒ වගේම පඤ්චස්කන්ධයට තිබෙන බැඳීම, උපාදානය, ආශාව අතහැරීම පරිත්‍යාගය කියන්නේ.
චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇති දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය විස්තර කරද්දී යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධෝ තස්සායෙව කියන්නේ මේ පඤ්චස්කන්ධයට තිබෙන තණ්හාවේ අසේසවිරාග නිරෝධෝ ශේෂයක් නැතිව සම්පූර්ණයෙන්ම අතහැරීම, ඒ තණ්හාව නිරුද්ධ කර දැමීම, චාගෝ පරිත්‍යාග කරනවාද පටිනිස්සග්ගෝ නිස්සර්ජනයක්, මුදාහැරීමක් සිදු කරනවාද, මුත්ති මිදීමක් සිදුවෙනවාද, අනාලයෝ පඤ්චස්කන්ධයට නොඇලී සිටිනවාද එයයි දුක නැති කිරීම කියන්නේ. මෙහිදී දානෝ කියන වචනය යොදා නැහැ. ඒ නිසා අප තේරුම් ගතයුතුයි දුක්ඛ නිරෝධයට ප්‍රධාන උපකාරය වන්නේ පඤ්චස්කන්ධයට තිබෙන ආශාව අතහැරීම කියන අදහසින් චාග කියන වචනය මෙහිදී යොදා තිබෙනවා. ඒ නිසා දානයෙන් පටන් ගෙන පරිත්‍යාගය දක්වා යන දර්ශනයකුයි භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම තුළ තිබෙන්නේ.

මහත්ඵල සහ මහානිශංස

ඒ වගේම තථාගතයන් වහන්සේ විසින් දානය පූජා කිරීම සම්බන්ධයෙන් කරුණු කාරණා අපට කියාදී තිබෙනවා. දානය පූජාකිරීමේ පරමාර්ථ දෙකක් දක්වන්න පුළුවන්. ඒ මහත්ඵල ලෙස සහ මහානිශංස ලෙස. මහත්ඵල කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි අරහත් මාර්ගඵලවලට. “මහානිශංස” කියන්නේ එයින් මෙහා ලෞකික ජීවිත සාර්ථක කර ගැනීම සඳහා උපකාර වන දෙයයි. නමුත් අප භාවිතා කරන්නේ එය එකවර මහත්ඵල මහානිශංස කියායි.
ඕනෑම අන්‍ය ආගමිකයෙකුට වුවත් මහානිශංස ලබා ගතහැකි ආකාරයට දානයක් පූජා කරන්න පුළුවන්. නමුත් මහත්ඵල ආනිශංස දෙකම ලබාගත හැකි ආකාරයට දානයක් පූජා කළහැකි වන්නේ බෞද්ධයන්ට පමණයි. බෞද්ධයා ඕනෑම දෙයක් අතහැරිය යුත්තේ නිවන ඉලක්ක කොටගෙනයි. සිව්පසය හෝ අතහරිනවා නම් එයා ලෞකික බලාපොරොත්තුවලින් තොරව ලෝකෝත්තර මාර්ගඵල අපේක්ෂාවෙන් මේ අතහැරීම සිදුකළ යුතුයි. මාර්ගඵල ලබාගැනීම සඳහා හේතුවන ප්‍රාථමික ක්‍රියාවක්ය කියා දැනගෙන අතහරිනවා නම්, සම්මාදිට්ඨියේ පිහිටා දෘෂ්ඨි සම්පන්නව අතහරිනවා නම් ඒ අතහැරීම නිවනට උපකාරි වෙයි.
එසේ නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබෙන ආකාරයට දානයේ ආනිශංස ලෙස භවභෝග සම්පත් අප ප්‍රාර්ථනා කළත් නොකළත් එසේම ලැබෙන බව තථාගතයන් වහන්සේ අවධාරණය කොට වදාළා.

දිවි මඟ එළිය කරන දහම් මඟ

බත්තරමුල්ල හීනැටිකුඹුර පුරාණ විහාරවාසී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
අඹගහවත්තේ සුධම්මවංශ හිමි

අනන්ත සසර තුළ පුහුදුන් මිනිසා රාගයෙන් රත්ව, ද්වේෂයෙන් හා මෝහයෙන් මුලාවී ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සසරෙහි පුද්ගලයාට සසර දුක් දුරු කොට අපාදුක් නසා මෙලොව පරලොව සැප පිණිස මෙන් ම නිවන් අවබෝධය සඳහා හේතුවන මහා පිනක් ලෙස ධර්ම ශ්‍රවණය හැඳින්විය හැකිය.
අප මහා බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දාන, සීලා දී පාරමිතාවන් පූර්ණය කොට ධර්මය අවබෝධ කොට ගත් බවත් එය සංදිට්ඨික, අකාලික, ඒහි පස්සිකෝ ආදී ගුණයෙන් යුක්ත වන හෙයින් උන්වහන්සේගේ දේශනාව වූයේ ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ ලොවෙහි සියලු දානයන් පැරදවීම පිණිස ධර්ම දානය හේතුවන බවයි.
එනම් ලොව කොපමණ නිවාස, යාන, වාහන, ආහාරපාන, මුදල් ආදිය පරිත්‍යාග කළ ද එය එම පරිත්‍යාග ලබන පුද්ගලයාට මෙලොව සැප පිණිස පමණක් හේතුවේ. නමුත් ධර්ම දානය තුළින් ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට මෙලොව හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට පමණක් නොව නිවන් අවබෝධය සඳහා ද හේතුවන බව තථාගත දේශනාවයි.
අංගුත්තර නිකාය අටුවාව තුළ දී දැක්වෙනුයේ මෙලොව යම් ඇසීමක් වේ නම් ත්‍රිපිටක බුද්ධ වචනය ඇසීම ශ්‍රේෂ්ඨ වන බවයි. දස පුණ්‍ය ක්‍රියා අතර සද්ධර්ම ශ්‍රවණය නව වැනි පින් ක්‍රියාව බව දක්වයි. වර්තමානයේ දී අප විවිධ අවස්ථාවන්වල සද්ධර්ම ශ්‍රවණය සිදුකරන අතර විහාරස්ථානයක, නිවසක නැතහොත් විවිධ සමිති සමාගම්වලින් සිදුකරන ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දේ. එමෙන් ම ඥාතියෙකු මිය ගිය පසු ඒ සඳහා ධර්ම ශ්‍රවණය කිරීම, මතක බණ, අරියවංස ධර්ම ශ්‍රවණය, යුගාසන ධර්ම ශ්‍රවණය, කාව්‍ය ධර්ම ශ්‍රවණය ආදී විවිධ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරයි. බුදු දහම වනාහි සර්වකාලීනය. එනම් අතීත, වර්තමාන, අනාගත තුන් කාලයටම ගැළපෙන්නේ ය. මැනවින් ධර්මය හදාරා පෙළ, අටුවා, ටීකා ආදිය පරිශීලනය කොට ධර්මය දේශනා කළ යුතුය. බෙරයක් අවැසි වන්නේ දසත හඬ පැතිරවිමටය. යම් හෙයකින් එම බෙරය සිදුරු වූ විට එම කඩතොළු වැසීම සඳහා රත්තරනින්, මුතු, මැණික්වලින් කළ පැලැස්තරවලින් වැසීමේ දී බෙරය බාහිරව ඉතා අලංකාර වන නමුදු බෙරයේ ශබ්දය ලබා ගැනීමට නොහැකිය.
තථාගත බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාවේ දී උන්වහන්සේ වදාළේ ධර්ම ශ්‍රවණයක මූලික අරමුණ නම් ශ්‍රාවකයාට නිබ්බිදාය, විරාගාය, උපසමාය, අභිඤ්ඤාය, සබ්බෝධාය, නිබ්බානාය යන කරුණු අවබෝධය සඳහාය.
නිබ්බිදාය යනු කළ කිරීම ඇතිවන පිණිසය. එනම් සසර පිළිබඳවය. යමෙකුට තමා මෙම සසරෙහි දිගු කාලයක් තිස්සේ ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදී තත්ත්වයන්වලට පත්වෙමින් දුක් විපාක ලබා ගනිමින් ගමන් කිරීම පිළිබඳව ඇතිවන සසර කලකිරීමයි.
විරාගාය යනු රාගය දුරු කිරීමටය. ලොවෙහි බොහෝ දෑ නිර්මාණය වී ඇත්තේ අපගේ ආශාවන් වැඩි කිරීමටය. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමටය, ගෙවල් දොරවල්, මුදල් ආදිය පිළිබඳව අපගේ ආශාව දිනෙන් දින වැඩිවේ. නමුත් අප ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අප තුළ ඇති තද ආශාව සමනය කර ගැනීමට හේතුවේ.
උපසමාය යනු අප මෙලොව ජීවත්වීමේ දී විවිධාකාර ප්‍රශ්න, ගැටළු, ආදියෙන් මානසික සතුටක් නොමැතිව ජීවිතය පවත්වා ගෙන යාමය. තථාගත දේශනාවට අනුව ධර්ම ශ්‍රවණය වනාහි කෙලෙස් සංසිඳීම හා මානසික සතුට පිණිස හේතු වේ. බුද්ධ කාලයේ දී පාටාචාරා, කිසාගෝතමී, කොසොල් රජතුමා, අජාසත්ත රජතුමා ආදි සෑමදෙනාම තම ජීවිතයේ සංසිඳීම සොයා ගත්තේ බුද්ධ දේශනාව ශ්‍රවණය කිරීම තුළින්ය. එබැවින් යමෙකුට තම මනසට සුවයක්, සතුටක් හැම කාලයට ම ලබා ගැනීමට අවැසි නම් එය ලබා ගැනීමට හැකිවනුයේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ පමණය.
අභිඤ්ඤාය යනු දැන ගැනීම පිණිසය. එනම් බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය පිළිබඳව දැන ගැනීම පිණිස හේතුවනුයේ ධර්ම ශ්‍රවණය පමණකි. යමෙකු ලෝකයේ ‘බහුශ්‍රැත’ පුද්ගලයෙකු බවට පත්වනුයේ හුදෙක් ඔහු යම් යම් දේ පිළිබඳව දැන ගැනීම පිණිසය. ඒ අනුව යමක් දැන ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය හේතුවේ.
සම්බෝධාය යනු අවබෝධයයි. එනම් බුද්ධ දේශනාව තුළ අඩංගු චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය ආදිය මනාව අවබෝධය ලබා ගැනීමට අවැසිය. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය අප අවබෝධ කොට ගත යුතු අතර, පටිච්ච සමුප්පාදයේ ඉගැන්වෙන හේතුඵල වාදය පිළිබඳව අපට අවබෝධයක් ලැබීමට නම් නිතර නිතර ධර්ම ශ්‍රවණය කළ යුතුය.
නිබ්බානාය යනු සියලු දුක් නැති කොට නිවන අවබෝධය සඳහා ධර්ම ශ්‍රවණය හේතුවන අතර, ධර්ම ශ්‍රවණයේ අවසාන බලාපොරොත්තුව වන්නේ එයයි.
එබැවින් අප නිතර නිතර ධර්ම ශ්‍රවණය කළ යුතුය. කෙනෙකු යහපත් වීමට ඇත්තා වූ එකම මාර්ගය බුද්ධ ධර්මය ඇසීමය. මිනිසුන් ධර්මයෙන් ටික ටික ඈත් වූ පමණට සමාජයේ ප්‍රාණඝාත, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මත්පැන්, මත්ද්‍රව්‍ය, ප්‍රශ්න වැඩිවෙයි.. ගුණවතුන් අඩුවේ. ශිල්ප ශාස්ත්‍ර කොතෙක් දැන සිටියත්, ධනයෙන් යුක්ත වූවන්, නෑ හිත මිතුරන් පිරිවරාගෙන හිටියත් මෙලොව අප සැමට යම් දිනක තනිවීමට සිදුවේ. එනම් තමා අවසාන මරණයට පත්වන අවස්ථාවයි. එවෙලෙහි තමාගේ පිහිට පිළිසරණ වනුයේ භෞතික දෑ නොව, තමා කළ යහපත් කටයුතු වේ. නූතන ලෝකයේ රූපවාහිනිය, ගුවන් විදුලිය, අන්තර්ජාලය වැනි දෑ තුළින් පවා ධර්ම ශ්‍රවණය කළ හැකිය. තථාගත දේශනාවට අනුව නිතර නිතර ධර්මය ශ්‍රවණය කිරීම තුළ,
අස්සුතං සුනාති
- නො ඇසූ දෑ අසන්නට ලැබීම
සුතං පරියොදපෙති
- ඇසූ දෑ නැවත අසන්නට ලැබීම
කංඛං විහරති
- සැක දුරු කර ගැනීමට
දිට්ඨිං උජුං කරොති
- දෘෂ්ඨිය ඍජුවට
චිත්ත මස්ස පසේදති
- සිත පැහැදීම
මේ අනුව සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් දිව්‍ය, මනුෂ්‍ය ලෝක සැප සම්පත් ලබා ගත් පිරිස අපමණය. සෝවාන්, සකෘදගාමී, අනාගාමි හා අරහත් තත්ත්වයට පත්වුණ අය අපමණය. එම තත්ත්වයට පත් වූ අය අතර, විශේෂ වනුයේ හුදෙක් දෙවි මිනිසුන් පමණක් නොව තිරිසන්ගත සතා සිවුපාවා හා සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද ප්‍රතිඵල බොහෝය. සද්ධර්මය ශ්‍රවණය කරන කල සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ ඇතිවන බව මමෝරථ පූරණි අටුවාවේ දැක්වේ.
විමාන වත්ථු ප්‍රකරණයට අනුව චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසිම අරමුණක් නැතිව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව සඳහන් වේ. එමෙන් ම ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුමක් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා එපිනෙන් මිනිස් ලොව ඉපදීම. ආදී නිදසුන් අනුව සද්ධර්ම ශ්‍රවණය තුළින් තිරිසන් ගත සත්ත්වයන් පවා ප්‍රයෝජන ලබාගෙන ඇත. අප බෝසතාණන් වහන්සේ දහම් සොඬ ජාතකයේ දී ධර්මය සඳහා තම ජීවිතය කැප කිරීමට යෙදිණ. එබැවින් අප ද සිත, කය, වචනය තුන්දොර හික්මවා ගැනීමෙන් යුක්තව සාවධානව ධර්මය ශ්‍රවණය කිරීම තුළ මෙන් ම ධර්ම මාර්ගයේ හැසිරීමෙන් මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤