දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදුසරණට පිටුපාන්නා අවාසනාවන්තයෙකි

 


බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
බලංගොඩ රාධ හිමි

සසර සැරිසරන සත්වයකු මිනිසත් බව ලබන්නේ අතිශයින් විරල වශයෙනි. මිනිසත් බව ලැබූ අයකුට බුද්ධෝත්පාද කාලයක් හමුවන්නේ ද ඊටත් වඩා කලාතුරකිනි.

බුදු උපතක් පවතින යුගයක උපන් මිනිසකුට බුදු බණ පදයක් අසන්නට ලැබෙන්නේ ද ඉතා දුර්ලභ වශයෙනි. ඇසූ බණ පදය ජීවිතයට ගළපා ගනිමින් බුදු සරණේ ශාන්තිය ලබන්නේ පෙර කළ පින් ඇති වාසනාවන්තයන් ස්වල්ප දෙනෙක් පමණි.

සසර ගමන තුළ මිනිසත් බව, බුදු උපත, සද්ධර්ම ශ්‍රවණය අතිශයින් දුර්ලභ වුව ද දේවවාද, මැවුම්වාද ආදී මිථ්‍යා දෘෂ්ටීන්ට හසුවීම අතිශයින් සුලභව සිදුවේ. මෝහයෙන් මුලා වූ මිනිසුන් පමණක් නොව, ඇතැම් දෙව් බඹුන් පවා මිථ්‍යා දෘෂ්ටීන්ට හසුවී මෙලොව පරලොව සැනසීම අහිමි කරගත් අවස්ථා ගණනාවක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාරා ඇත.

යම් පුද්ගලයෙක් රජෙක් සිටු මැතියෙක් වූ පමණින් හෝ ගායකයෙක්, වාදකයෙක්, නර්තකයෙක් වූ පමණින් හෝ ප්‍රඥාවන්තයෙකු නොවේ. පින් පව් හඳුනා ගැනීමේ හැකියාව, මෙලොව, පරලොව, සුගතිය, දුගතිය, කර්මය ඵලය අවබෝධ කරගැනීමේ හැකියාව ඇති පුද්ගලයා පමණක් ප්‍රඥාවන්තයෙක් වේ. ප්‍රඥාවන්තයා රජෙක් වුව ද, යාචකයෙක් වුව ද ජීවිතය හේතුවෙන් හෝ මිථ්‍යා දෘෂ්ටියකට හසු නොවේ.

ප්‍රඥාවන්තයාට මිහිමත ඇති එකම සරණ බුදුරජාණන් වහන්සේ පමණි. එකම සැනසීම ධර්ම රත්නය පමණි. එකම පැතුම සංඝ රත්නය පමණි. ප්‍රඥාවන්තයාට තෙරුවන් සරණින් තොරව මොහොතක් හෝ ජීවත් විය නොහැක. ඔහු මියැදුණ ද ජීවමාන ය. මිථ්‍යා දෘෂ්ටිකයන් ජීවත් වුව ද මළකඳන් බඳු ය.

අප ජීවත් වන මේ කාලය එබඳු මළ කඳන්වලින් ගැවසීගත් යුගයකි. කල්පනාකාරී නොවුණහොත් එකී මළවුන්ගේ ශාපයට ඔබ ද නතුවිය හැකි ය. බුදු සිරිපා සෙවනට මොහොතින් මොහොත ළංවීමෙන් පමණක් එම ශාපයෙන් ඔබ ආරක්ෂා වනු ඇත. ඒ සඳහා ඔබට ඇති එකම ආරක්ෂක කඳවුර තිසරණය පමණි. එම ආරක්ෂක කඳවුරට ඇතුළු වූ ඔබට පවිටු කුදිටු මිසදිටු අඳෙීනා නො ඇසෙනු ඇත. කරුණාවේ, මෛත්‍රියේ, විරාගයේ විමුක්තියේ අමා ගීතය හදමඬල සනසාලමින් ඇසෙනු ඇත. එවිට ඔබේ නෙතු අග ඒ ශාන්ත බුදු රුව මැවී පෙනෙනු ඇත. ඔබ නෙතු අග තුටු කඳුලින් තෙත් වී ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන වදන්වැල ඔබ තොලගින් ඔබට ම නො දැනී මිමිණෙනු ඇත. එවිට නුඹ විසින් ‘මා ලැබූ සම්බුදු සරණ සියලු සත්ත්වයන්ට ම ලැබේවා’ යි නිසඟයෙන් ම ප්‍රාර්ථනා කරනු ඇත.

වාසනාවන්ත ඔබ ලැබූ ඒ සම්බුදු සරණ අහිමි වන්නට නො දී නිවන් දකිනා ජාති දක්වාම රැක ගැනීම පිණිස හේතුවන කරුණු පහක් බුදුසිරි මුවමඬලින් වදාරා ඇත. ඉන් පළමු කරුණ ශ්‍රද්ධාව යි. ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය ඤාණයෙන්, දශබල ඤාණයෙන්, චතුවිසාරද ඤාණයෙන් හා සියල්ල දක්නා නුවණින් යුක්ත බවත්, හැම පව්මළ දුරුකළ බවත් සියලු දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන බවත් අදහාගන්නා ස්වභාවය ශ්‍රද්ධාව යි. එය අමිල සම්පතකි. ධනය, නිලය, බලය, රූපය, කටහඬ, ප්‍රසිද්ධිය ආදී කවර සම්පත්තියක් ලැබුවත් ශ්‍රද්ධා සම්පත්තිය අහිමි පුද්ගලයා සර්වාකාරයෙන් ම අසරණයෙකි. ඔහුට පිහිටවන මැවුම්කරුවක් හෝ ඊශ්වරයෙක් නැත. මනෝවිකාර නම් මිසදිටු යදමින් බඳින ලද ඔහුට හිමිවන එකම පාරාදීසය දුගතිය හෙවත් අපාය යි. අපා ගිනිදැල් මැද දැවෙන ඔහුගේ මරලතෝනියට සවන් දී ඔහු මුදවා ගත හැකි කිසිදු සර්වබලධාරියෙක් නැති බව ඔහුට ම වැටහෙනු ඇත. එහෙත් ඔහුගේ මනෝබන්ධනය සිදුකර ඇත්තේ නියත මිසදිටුව නම් වූ යදමින් නම් යළි මිනිස් ලොවක එළිය දැකීමේ වාසනාව ඔහුට හිමි නො වනු ඇත.

අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ලැබූ වාසනාවන්තයාට කිසි ලෙසකින් එබඳු අභාග්‍යයක් හිමි නොවේ. පවට ලජ්ජාවීම නම් දෙවන කරුණින් යුක්ත වන ඔහු ජීවිතය පිනෙන් පුරවාගත් සත්පුරුෂයෙකි. දිවා රෑ බුදුගුණ මෙනෙහි කරමින් පාපයෙන් වෙන්වන ඔහු අකුසල විපාකයට බියවීම නම්, තෙවන කරුණින් යුක්ත වන නිසා සිහිනයෙන් පවා පාපයක් සිදු නොවන තරමින් සීල චිත්ත පාරිශුද්ධිය පවත්වා ගනී. දහවලක හෝ රාත්‍රියක හෝ අපේක්ෂිත හෝ අනපේක්ෂිත මොහොතක තමා වෙත පැමිණෙන මරණය ඉදිරියේ තැති නො ගන්නා ඔහු බුදුගුණ සිහිකරමින් නෙතුයුග වසා ගන්නේ දෙවියන් අතර ඉපදෙන පුණ්‍යවන්තයකු ලෙසිනි.

මෝහනීය වූ පාපය දුරුකිරීම පිණිස අරඹන ලද වීර්යය ඇතිව කටයුතු කිරීම බුදුසරණ ලැබූ ශ්‍රාවකයා සතු සතරවන වාසනාවන්ත කාරණයයි.

වීර්යයක් උනන්දුවක් නොමැති කිසිවෙකුටත් මිසදිටු පාපයේ ශාපයෙන් අතමිදිය නො හැක. සිතට නැඟෙන ලාමක මිසදිටු මනස්ගාතයන්ට මුලා වන්නේ පාපී හැඟීම් පාලනය කිරීම පිණිස වීර්යයක් නැති අසරණයෝ ය.

බුත්සරණ ලැබූ පුද්ගලයනට දම්සරණ හා සඟසරණ නිසඟයෙන් ම හිමිවන බැවින් යම් පාපී සිතිවිල්ලක් හට ගත්තේ නමුදු ධර්මයේ පිහිටෙන් සඟරුවනගේ ආශිර්වාදයෙන් එය ප්‍රහාණය කරගෙන සිත පිරිසුදුව තබා ගැනීමේ භාග්‍ය හිමි වේ. එබැවින් ඔබ උනන්දුවෙන් වුවමනාවෙන් හා ගෞරවයෙන් යුතුව සඟරුවනගේ ඇසුර පවත්වාගත යුතු ය. හැකි සෑම අවස්ථාවකම පන්සලට ආරණ්‍යයට ගොස් ස්වාමීන් වහන්සේලා බැහැදකිමින් දහම් කරුණු විමසා මිසදිටු අදහස් දුරුකරමින් සම්මා දිට්ඨිය දියුණු කළ යුතු ය.

ඔබ ලද තිසරණය දායාදය රැකගැනීමට හේතුවන පස්වන කාරණය ප්‍රඥාව යි. ප්‍රඥාය යනු චතුරාර්ය සත්‍යය අසමින් මෙනෙහි කරමින් පහළ කරගනු ලබන ඤාණාලෝකය යි. උගත්කම් හේතුවෙන් හෝ ප්‍රසිද්ධිය නිසා ධනය බලය නිසා හෝ ප්‍රඥාව හිමි නොවේ. ප්‍රඥාව අහිමි පුද්ගලයා රුවල් බිඳී ගිය නෞකාවක් සේ සුළි කුණාටු සදිසි මිසදිටුවෙන් වැනසී යයි.

ශ්‍රද්ධාව, පවට ලජ්ජාව, පවට බිය, කුසල වීර්යය හා ප්‍රඥාව යන මේ කරුණු පස ඔබේ පින් සිත රක්නා යෝධයන් වැනි ය. එබඳු යෝධයන් ඇති තිසරණය නම් වූ ආරක්ෂක කඳවුර තුළ රැඳී සිටිනතාක් ඔබ සුරක්ෂිත ය. යම් මොහොතක එකී කඳවුරෙන් එක් පියවරක් හෝ බැහැරට තබයි නම් කැනහිල් රැලකට හසු වූ හා පැටවෙකු සේ ඔබ අනාරක්ෂිත වේ. ගුණවෘද්ධ භාවයත් තපෝවෘද්ධ භාවයත්, නොමැති ව කෙස්, ලොම් ඉදී සම රැළි වැටී වයෝවෘද්ධ වූවන්ගෙන් ද ඔබ ප්‍රවේශම් විය යුතු ය. ඔවුන්ට ශරීර ගායක් නොමැති වුවද මනස්ගායෙහි අඩුවක් නොවේ.

එබැවින් ඔවුහු ආදර්ශයට ගතයුත්තෝ නොවෙති. පඬරලාවක් සේ බැහැර කළයුත්තෝ වෙති. ඔබ ආදර්ශ, අවවාද, අනුශාසනා ලබාගත යුත්තේ ඔබට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ගුණධර්මයන්ගෙන් උසස් වූවන්ගෙන් පමණි. ඔවුහු වයසින් බාලයෝ වුව ද ජීවිතය කල්‍යාණ ධර්මයන්ගෙන් අලංකාර කරගත් වන්දනීයයෝ ය. පූජනීයයෝ ය.

ශ්‍රද්ධා සීලාදී ගුණයන්ගෙන් පිරීගිය හදවත් ඇති ඔවුහු බුදුසරණේ අනුහසින් සුවපත් වූවෝ ය. කාසියකට, නෝට්ටුවකට, බත්පතකට හෝ ජරා මරණ ධර්මයන්ට ස්වකීය ප්‍රාණය වූ තිසරණය පාවා නො දෙන්නෝ ය. ආලෝකයට පි‍්‍රයකරන ඔවුහු කිසිදා අඳුරට පි‍්‍රය නො කරන්නෝ ය.

පින්වත් ඔබගේ එකම බලාපොරොත්තුව අඳුරෙන් එළියට පා තැබීම නම් එවන් සත්ජනයන් භජනය කරන්න. තිසරණයට පිටු නොපා තව තවත් තෙරුවන් ගුණ උණුහුමෙන් පහස ලද හදවතක් ඇති කරගන්න. ඇස්බැන්දුම්වලට හසු වී තිසරණය පාවා දෙන්නන්ට හසු නො වන්න.

කුඩා කල පටන් ජීවිතය වරදවා ගත්තවුන් හා පාපමිත්‍ර ඇසුරින් නොමඟ ගිය උදවිය තම සිතට නැගෙන පශ්චාත්තාපයෙන් බේරීම පිණිස කළ යුත්තේ බුදුසරණට පිටුපෑම නොව වරද හා පාපය තේරුම්ගෙන ඒ මොහොතේ පටන් ඉන් අතමිදීම යි. බුද්ධශාසනය යනු අශුද්ධයින් ශුද්ධවන්තයින් බවට පත්කරන සිසිල් අමා ජලධාරාවක් වන බැවින් ඕනෑම පාපියකුට තමා කැමති නම් සම්බුදු අමා සදහම් නදියෙන් ස්නානය කර ශුද්ධාවන්තයකු විය හැකි ය.

ඉමක් නැති සසර කතරේ අනේක දුක් සෝ සුසුම් බර හිස පටවා ඇවිද ආ ඔබට සීතල දිය පිරි සුනීල විලක් සදිසි බුදුරජාණන් වහන්සේ මුණගැසී ඇති මේ මොහොතේ අප්‍රමාදීව පවස් නිවා විඩා සංසිඳුවා ගැනීමේ වාසනාව හිමි කර ගන්න. බලන බලන අත පෙනෙන මිරිඟු දියට රැවටී තථාගතයන් වහන්සේ නමැති ඒ සිසිල් පොකුණ හැර දමන්නට තරම් ඔබ අභාග්‍යවන්තයෙක් නො වන්න.

සියලු සත්වයෝ බුදුසරණ ලබා සුවපත් වෙත්වා.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුදු දහම බෞද්ධ සංස්කෘතියෙන් වෙනස් වූවක් ද?

 පරවාහැර චන්දරතන හිමි

බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය යනු කොටස් දෙකකි. බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ බුදු දහම මිස බෞද්ධ සංස්කෘතිය නොවේ. මිනිසුන් ගේ විඥානගත සමහරදේ ඔවුන් අදහන ආගමට සම්බන්ධ කර ගන්නට උත්සාහ කිරීම සාමාන්‍ය සිරිතකි.

බෞද්ධ සංස්කෘතිය තුළ තිබෙන ආගමික හා සංස්කෘතික ලක්ෂණ පළමුව හඳුනාගත යුතුය. බුදු දහම ලෝකයේ පවතින සත්‍ය මුල් කර ගෙන දේශනා කරන ලද දහමකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ තමන් සොයා ගත්තේ පැරණි පාරක්, මාර්ගයක් බව ය. පුරාණ ‘අඤ්ජසං‘ යනුවෙන් දේශනා කරන බුදු රජාණන් වහන්සේ මෙය අතීත බුදුවරයන් වහන්සේලා විසින් සොයා දේශනා කරන ලද එහෙත් කාලයෙන් වැසී ගිය දෙයක් බව පැහැදිලි කළහ. ඒ මාර්ගය නම් කර්මය, පුනර්භවය, හේතුඵල දහම, චතුරාර්ය සත්‍ය වැනි අධ්‍යයනය කර තේරුම් ගත හැකි අවබෝධ කරගත හැකි යථාර්ථය යි.

බුදු දහම ඒහිපස්සික දහමකි. කිසිවෙකුටත් අණ කිරීම් හෝ බය කිරීම් නැත. පැමිණ පරික්ෂා කර අවබෝධ කරගන්නට අනුදනියි. ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි‘ නුවණැත්තන් විසින් පරීක්ෂා කර ගත යුතු දහමකි.

බෞද්ධ සංස්කෘතිය රටවල් ගණනාවකම දක්නට ලැබේ. ශ්‍රී ලංකාව, තායිලන්තය, මියැන්මාරය ආදී විවිධ රටවල ජන විඥානය සකස් වී ඇත්තේ බුදු දහමේ ආභාසයෙනි. එහෙත් සමහර විට එය බුදුරජාණන් වහන්සේ විසින් අනුමත නොකළ දෙයක් වන්නට පුළුවන. එසේ වුවද ඉන් කිසිදු හානියක් නැත. උදාහරණයක් ලෙස ශබ්ද පූජාව පෙන්වා දිය හැකිය. බොහෝ රටවල නාදය, තාලය, හෝ ශබ්දය බුදුරජාණන් වහන්සේ ට උපහාර පිණිස පූජා පැවැත්වීමට යොදා ගනු ලබයි. වරක් බුදු රජාණන් වහන්සේ එක් පිරිවැජියෙකු ගේ ආරාමයට වැඩම කළහ. උන්වහන්සේ වඩිනු දුටු ප්‍රධාන පිරිවැජියා සිය පිරිස නිහඬ කරන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ නිහඬ බව කැමති අයෙකු වන නිසා නිහඬ වන ලෙසය.

වරක් ආරාමයේ කෑගසමින් සෙනසුන් පිළියෙළ කළ සැරියුත් මුගලන් දෙනමගේ ශිෂ්‍ය පිරිසක් ආරාමයෙන් බැහැර වන්නැයි වදාළ බව ද සඳහන් වේ. එසේ නිහඬ බව කැමති වූ බුදුරජාණන් වහන්සේගේ සසුනට ශබ්දය පූජාවක් ලෙස පැමිණ තිබේ. නිවැරදිව වටහා නොගතහොත් මේ සංස්කෘතිකාංගයන් බුදුදහමයැයි වරදවා වටහා ගන්නට ඉඩ තිබේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවසාන අවස්ථාවේ පවා දේශනා කළේ ‘කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං‘ යනුවෙනි. කුසල් කරන්න,බඹසර හැසිරෙන්න යනුවෙනි. එහෙත් බොහෝ විට බෞද්ධ සංස්කෘතිය ප්‍රිය කරන්නේ ආමිස පූජාවන්වලට ය. මල් පූජා, වන්දනා, ඥාන පූජා ආදී විවිධ පුද පූජාවන් බොදු සංස්කෘතියේ ජනප්‍රිය අංගයන්ය. බෝධි පූජාව පිළිබඳව ඇත්තේ දැඩි විශ්වාසයකි. බොහෝ විට පිරුවානා පොත දහම හදාරනු වෙනුවට ආරක්ෂාව පිණිස පමණක් භාවිතා කරනු ලබයි. එය කියවීම දැනුම පිණිස නොව භය දුරු කර ගැනීම පිණිස ය. මේ සියල්ල බැලූ බැල්මට බුදු දහම යැයි වරදවා වටහා ගත යුතු නැත.

ගිහි පින්වතා යමක් බලාපොරොත්තුවෙන් බෝධීන් වහන්සේ ට පුද පූජා පවත්වන අතර, භික්ෂුන් වහන්සේ බෝධින් වහන්සේ හා දායක පින්වතා අතර මැද සිටිමින් පූජාව පූජා කරනු ලබයි. භික්ෂුන් වහන්සේ යනු පූජකයෙකු නොව පූජ්‍යයෙකි. ප්‍රතිපත්ති රකිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයෙහි ගමන් කරන්නෙකි. පූජක පක්ෂය හා පූජ්‍ය පක්ෂය යනු එකිනෙකට වෙනත් අංශ දෙකකි.

බුදු දහම සමාජ ගත වීමේදී මිනිසාගේ අභ්‍යන්තර පොදු කැමැත්ත, ප්‍රිය අප්‍රියතාවන්වලට නම්‍යශීලී වී තිබේ. බොහෝ විට මිනිසාට නිවන් දැකීමට එක්වරම අවශ්‍ය නොවේ. මේ තරම් සුව යයි පවසන නිවන යන තත්වය සෑම පින්කමක් පසුපස සිටම ප්‍රාර්ථනා කරන නමුත් ඉතා ඉක්මනින් ඒ තත්ත්වයට පත් වන්නට කැමති වන්නේ ඉතා සුළු පිරිසකි. ඉතිරි බහුතරය ට අවශ්‍ය වන්නේ නිවන් දැකීමම නොවේ. නිවන් දකින තුරා සතුටින් ජීවත් වීමට ය. ඔවුන් ඒ සඳහා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් පිහිට බලාපොරොත්තු වෙති. මෙකී සංස්කෘතිකාංගය බෞද්ධ සමාජය වැළඳගෙන සිටින්නේ ඒ හේතුවෙනි.

එහෙත් වඩාත් විශ්මිත දෙය නම් බෞද්ධ ජනතාව මේ සියල්ල කරන්නේ යථාර්ථය පිළිබඳව අවබෝධයෙන් යුතුව ම වීම ය.

බුදු දහම තුළ සඳහන් වන කරුණු බෞද්ධ සංස්කෘතියට ඇතුළු වීමේ දී යම් යම් වෙනස්කම් ඇති කර ගත් බව පෙනේ. සසරේ බිය පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ වහ වහා නිවන් දකින්නට වීරිය වැඩිය යුතු බව අවධාරණය කරයි. වරක් බුදුරජාණන් වහන්සේ උපමාවකින් සිදු කරන පැහැදිලි කිරීම ඊට හොඳම උදාහරාණයකි. කිසියම් පුද්ගයලයෙක් පැමිණ උලක් පෙන්වා මේ උලෙන් උදේ දහවල් රාත්‍රී වශයෙන් නවසිය වතාවක් වසර සියයක් තිස්සේ ඇනීමෙන් පසුව නිවන් ලැබෙතැයි කිසිවෙක් කිවහොත් එයට කැමති විය යුතු බව එහි සඳහන් වෙයි. සසරින් ලැබෙන වේදනාව එයට වඩා දරුණු නිසාය. එහෙත් බෞද්ධ සමාජයේ නිවන යන්න සම්මතව ඇත්තේ මෙතේ බුදුන් සමීපයේ දී ලබා ගතයුත්තක් ලෙසය.

ඒ නිසාම බොදු ජනතාව දන් පින් සිදු කිරීමෙන් හොඳ භවයක් ලබා ගැනීම බොහෝ විට ප්‍රාර්ථනා කරන දෙයකි.

සංස්කෘතික වශයෙන් බුදු දහම ආගමක ලක්ෂණ වලින් යුතු වුව ද පැහැදිලි බුදු දහම ඒ හා මිශ්‍ර නොකරන්නට බෞද්ධයා පරිස්සම් ය. මේ බුදු දහමේ සංස්කෘතික ලක්ෂණ යැයි ද, මේ බුදු දහමේ සාරවත් දහම් කරුණු යයි ද වෙන් වෙන්ව හඳුනා ගන්නට බහුතර බොදු ජනතාවට අපහසු නොවේ.

කිසියම් හේතුවක් නිසා ඔවුන් ඒ වටිනා දේ ලස්සනට පිවිතුරුව තබා ගනිමින් එහි අගය පිළිබඳව විශ්මයට පත් වෙමින්, එහෙත් එය භාවිත නොකරන්නට වග බලා ගනිති. බුදු දහම වටිනා මැණිකකි. එහෙත් එය මල්ලකට දා සුරැකිව නොපෙනෙන්නට සුරක්ෂිත කර තිබේ.

බුදු දහමේ සුවිශේෂත්වයක් වන්නේ එය තවෙකෙකුගෙන් පිහිට ඉල්ලා පරම විමුක්තිය සාක්ෂාත් කර ගන්නා දහමක් නොවන ස්වභාවයයි. ‘අත්ථ දීපා විහරථ. අත්ථ සරණා න අඤ්ඤ සරණා‘ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාගේ පිහිට තමාම පමණක් වන බවය.

‘ තුම්හේහි කච්චං ආතතප්පං- අක්ඛාතාරෝ තථාගතො‘ යන බුදු වදනින් සනාත කරන්නේ බුදු රජාණන් වහන්සේලාට හැකියාව තිබෙන්නේ මග කියා දෙන්නට පමණක් බව ය. ගමන් කිරීම පුද්ගලයා සතු කටයුත්තකි. ඒ ඒ පුද්ගලයා විසින් සිදු කරනු ලබන උත්සාහයේ පමණට බුදු දහම තුළ ප්‍රතිඵල තිබේ. එසේ නොමැතිව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අධිකව පැහැදී සිටීම හෝ බුදුන් තමාගේ කර ගැනීම බුදුරජාණන් වහන්සේ ට අභිමත නොවූ බුදු දහමේ අගය කරන ලක්ෂණයක් නොවේ. එයට හොඳම උදාහරණය නම් වක්කලී හිමියන් පිළිබඳ කතාවයි.

වක්කලී හිමියන් පැහැදෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ රූපයටය. නිරතුරුවම බුදුරජාණන් වහන්සේ ගේ රූපකාය බලා සිටින වක්කලීට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ වක්කලී මේ කුණු සිරුර දෙස බලා සිටීමෙන් කවර ප්‍රයෝජනයක් ද යනුවෙනි.

එවැනි හැඟීම් බර අවස්ථාවන් නිවන් මඟට කිසිදු අදාළත්වයක් නැති නිසා බුදුදහම ඒවාට ලිහිල් බවක් දක්වා නැත.මහා සිව නම් භික්ෂුන් වහන්සේ නමක් විසි හතර අවුරුද්දක් භාවනා කළද, රහත් භාවයට පත් වන්නට නොහැකි වූයෙන් හඬන්නට පටන් ගනී. එවිට තවත් කිසිවෙක් හඬන හඬ උන්වහන්සේට ඇසේ.

ඒ පිළිබඳව විමසන විට ඒ හඬන පුද්ගලයා පිළිතුරු දෙන්නේ තමන් ට ද ඇඬීමෙන් රහත් වන්නට පුළුවන් දැයි උත්සහ කරන බවකි.

සංස්කෘතිකමය වශයෙන් ගත් විට බුදු දහම නොඇලීම, අත් හැරීම පිළිබඳ දැඩිව අවධාරණ්‍ය කරයි. නිවන යනු තෘෂ්ණාව නැති කිරීමයි. ‘තණ්හඛයො නිබ්බාණං‘ යන බුදු වදනට අනුව නිවන යනු සිත තුළ පවතින තෘෂ්ණාව නැති කිරීමයි. ඒ අනුව අත්හැරීම නොඇලීම බුදු දහම අගය කරන ප්‍රධානම දෙයයි. එහෙත් සංස්කෘතිකමය වශයෙන් ගත් විට බුදු දහම තරම් දිවි හිමියෙන් ඇළුන ආදරය කරන තවත් දෙයක් බෞද්ධයෙකුට නැත.

බුදු දහම එකකි. බුද්ධාගම හෝ බෞද්ධ සංස්කෘතිය එකකි. බුද්ධාගම නිසා මෙතෙක් කලක් අවම වශයෙන් දහම ඇතුළත් පොත් පත් ටික හෝ රැකුණේ යැයි කිවහොත් එය මුසාවක් නොවේ. එසේම මේ සංස්කෘතික ලක්ෂණ බුදු දහම හා මිශ්‍ර වී නැත. දහම හා සංස්කෘතිය යනු කවරක් දැයි වෙන් වෙන්ව හඳුනාගන්නට පුළුවන. එසේම යහපත් සමාජයක් ගොඬනැංවීමේ දී මුල් බැස ගත් සංස්කෘතිය විසින් සිදු කළ කාර්යභාරය ඉතා විශාල ය. එනිසා සංස්කෘතිය විසින් බුදු දහමේ හරය, අරමුණ විකෘති වේ යැයි කියන්නේ නම් එය සාධාරණ නොවේ. ඒවා ද පැවතිය යුතු ය. බුද්ධිමතා වැලි මඩ සෝදා මැණික තෝරා බේරා ගත යුතු ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිත කිලිටි වුණොත් ජීවිතය කිලිටි වෙනවා

 සිත දහම තුළ හසුරුවා ගන්න

පොල්ගහවෙල මහමෙව්නා 
භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

පින්වතුනි , සිත කියන්නේ මහා පුදුම දෙයක්. මේ ලෝකයේ සියලු ම දෙනා වසඟ වෙලා තිබෙන්නේ සිතට යි. සිත තමයි හැම කෙනෙක් ම මෙහෙයවන්නේ. සිතින් තමයි හැම දෙයක් ම හැසිරවීමට වුවමනා කරන බලය යොදවන්නේ. බුදුරජාණන් වහන්සේ සිත ගැන මෙලෙස දේශනා කොට වදාළා.

“මහණෙනි, දමනය නොකළ විට, රැක නොගත් විට, සංවර නොකළ විට මහත් විපත පිණිස පවතින්නා වූ යමක් ඇද්ද? මේ සිත තරම් දමනය නොකළ විට, රැක නොගත් විට, සංවර නොකළ විට මහත් විපත පිණිස පවතින්නා වූ වෙන දෙයක් මා දකින්නේ නැහැ” කියලා. එහෙම නම් මේ හිත දහම තුළ හසුරුවා නොගෙන තිබීම අනතුරුදායක බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

මේ ගාථාව දෙස බලන්න.

“සබ්බ පාපස්ස අකරණං 
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං 
ඒතං බුද්ධානසාසනං

සියලු පව් නොකිරීමත්, කුසල් රැස් කරගැනීමත්, තම සිත පිරිසිදු කර ගැනීමත්, යන මෙය බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.”

බුද්ධ ශාසනය තුළ බොහෝ දෙනෙක් පැවිදි වුණේ දමනය නොවුණු සිත දමනය කර ගැනීම පිණිසයි. සංවර නොවුණු සිත සංවර කර ගැනීම පිණිසයි. රැක නොගත් සිත රැක ගැනීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා ‘සිත’ ජය ගත්තා. ඒ ජය ගැනීම කළේ අප්‍රමාදය නිසා ම යි. කාම අරමුණුවල වැටෙද්දී, කැමති කැමති අරමුණුවල බැසගනිද්දී එයින් බැහැර කොට සතර සතිපට්ඨානයේ නැවත නැවත පිහිටුවා ගන්නට දක්ෂ කෙනා විතරයි මේ සිත ජය ගන්නේ. ධම්මපදයේ චිත්ත වර්ගයේ තිබෙන ගාථාවන් කියවද්දී සිත ගැන මොන තරම් ගැඹුරු ලෙස විස්තර කර තිබේද කියලා වටහා ගන්න පුළුවන්.

මේ සිත අරමුණක් පාසා සැලෙනවා. ඒ වගේම කිසිම කලක සිත නම් විශ්වාස කරන්නට හොඳ නෑ. වෙලාවකට මේ සිත ඉතාමත් ශාන්තයි.

එතකොට අප මේ සිතට රැවටෙනවා. ආයෙ කලබල වෙන එකක් නෑ කියල හිතනවා. නමුත් ඊළඟ මොහොතේ මේ සිත විසිරෙනවා. සිත සංවර වෙලා තියෙන කොට අපට හිතෙන්නෙ ආයෙත් නම්, මේ සිත කිලිටි වෙන එකක් නෑ කියලයි. නමුත් අපටත් හොරාම සිත වෙනස් වෙනවා. කිලිටි වෙලා යනවා. මේ සිත කියන්නේ චපල දෙයක්. මේ චපල වූ සිත නිසාමයි අපට මේ සසරේ මෙතරම් දුරක් ගෙව ගෙවා පැමිණෙන්නට සිද්ධ වුණේ. තවදුරටත් සසරේ යන්නට සිද්ධ වන්නේ සිතේ චපලකම නිසාමයි.

මේ සිත රැකගැනීම ලේසි දෙයක් නෙවෙයි. මහත් වීරියක් වුවමනයි. මේ සිත රැකගන්නේ නුවණැති කෙනෙක්මයි. නුවණැති කෙනා අකුසල් හඳුනාගෙන බැහැර කරනවා. කුසල් දියුණු කරනවා. කුසලයේ ම සිත පිහිටුවනවා. ඒ තුළින් තමයි මේ සිත ආරක්ෂා කර ගන්නට පුළුවන් වන්නේ. අකුසල්වලින් බේරාගෙන කුසලයේ ම සිත පිහිටුවාගෙන ඉන්නවා කියන්නෙ මහා ආනුභාව සම්පන්න දේකටයි. එබඳු කෙනෙක් තමන්ගේ ජීවිතය ඉතාමත් සාර්ථක කර ගන්නවා.

වතුරෙන් ගොඩට ගත් මත්ස්‍යයන් ඔබ දැකල ඇති. ඔවුන් ඉන්නෙ හරි අමාරුවෙන්. හරිම පීඩාවෙන්. උඩ පැන පැන දඟලනවා. වතුර නැති නිසාමයි දඟලන්නෙ. මේ සිතත් සැප ලැබෙන වෙලාවට සැප රඳවගන්න දඟලනවා. දුක් ලැබෙන වෙලාවට දුකින් පැන යන්න දඟලනවා. හරිම විසිරීමකින් පවතිනවා. ඉතාමත් ම කලබලයි. මහත් පීඩාවකින් යුක්තයි. මේ වගේ දඟලන සිත නැවත නැවතත් ඇදිලා යන්නෙ වතුර ලැබෙන වෙලාවට සතුටු වෙන මාළුවා වගේ කාම අරමුණුවලටම යි. ඒ කාම අරමුණුවලට හසුවුණ කෙනා ලෙහෙසියෙන් ගැලවෙන්නෙ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ කාම අරමුණු කියන්නේ මාරයාගේ තොණ්ඩුව කියලයි. ඒ මාර උගුලට හසුවෙන්නෙ හිතේ ඇති මේ ස්වභාවය හඳුනා නොගත්කෙනයි. හිතේ මෙම ලක්ෂණය හඳුනා ගත් කෙනා හෙමින් හෙමින් මේ සිත දමනය කරනවා.

මේ සිත ආස කරන දේවල පැටලෙන්නෙ ගහක එතෙන වැලක් වගේ. ආස කරන අරමුණුවල මේ සිත ගිලෙන්නෙ දිය සුළියකට හසුවන රොඩු කැබැල්ලක් වගේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළින් විතරමයි සිතට රැකවරණයක් ලබාගන්න තියෙන්නෙ. සිත රැකගත යුතු ආකාරය මෙතරම් පැහැදිලි ලෙස ලෝකයේ වෙන කිසිම කෙනෙක් කියා දීලා නැහැ. ඒ නිසා අපට මේ සිතේ ස්වභාවය ඉතාම පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නෙ ශ්‍රී සද්ධර්මය තුළින් පමණයි. සිත ගැන කල්පනාවෙන් ඉන්නවා. නොමග යන කොට වහාම සුමඟට යොමු කරගන්නවා. කල්පනාවෙන් නොසිටියොත් මේ සිත විසින් පුද්ගලයා නිරයට ම ඇදගෙන යනතුරු දැනගන්නට ලැබෙන්නෙ නැහැ.

අප හිතනවාට වඩා මේ සිතේ ස්වභාවය තේරුම් ගන්නා එක ඉතාමත් දුෂ්කරයි. අප මොනතරම් මේ සිතට රැවටෙනවා ද? එහෙම රැවටෙන්නේ මේ හිතේ ස්වභාවය හඳුනා ගන්නට ඇති අපහසුව නිසාමයි. සිත අතට හසුවන එකක් නොවේ. සිහියෙන්මයි, වීරියෙන්මයි, නුවණින්මයි සිතේ ස්වභාවය අල්ලා ගන්නට තියෙන්නේ. එහෙම වන්නේ සිත සියුම් නිසයි. නමුත් බුද්ධිමත් කෙනා සිත කිලුටු වීම නිසා ජීවිතය කිලුටු වන ආකාරය හොඳීන් තේරුම් ගන්නවා. ඒ නිසා අකුසල්වලට සිත ඩැහැගන්නට ඉඩ තියන්නෙ නැහැ. ඔහු සිත රැක ගන්නවා. එහෙම රැක ගන්න සිත තමයි නිවන් මග තුළ යොදවන්නේ.

බුදුරජාණන් වහන්සේ තමයි පළමුවෙන් ම මේ සිත ජය අරගෙන ලෝකය ඉදිරියේ අභිමානවත් ලෙස නැගී හිටියේ. සිතට වසඟ වූ ලෝකයට මෙය අදහාගත නොහැකි තරම් අසිරිමත් දෙයක්. සාමාන්‍යයෙන් සසරේ ගමන් කරන ජීවිත තුළ තියෙන්නේ අවබෝධයක් නැතිකමයි. ඒ නිසා හැම තිස්සේ ම ඒ අවබෝධයක් නැතිකම නම් වූ අඳුරට තමයි සත්ත්වයා ඇදී යන්නේ. එයින් නිදහස් වන්නට නම්, අවබෝධයක් ලැබිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ දඹදිව් තලය සිසාරා පා ගමනින් වැඩම කරමින් ධර්ම දේශනා කොට වදාළේ මේ සිත ජයගැනීම පිණිසයි. මේ සිත දමනය කිරීම පිණිසයි. සිත වසඟ කළ සියල්ලෙන් ම නිදහස් වීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ එම ධර්ම දේශනාවලින් මිනිසුන් ලැබූ ආධ්‍යාත්ම ශක්තිය විස්මයජනකයි. සිත ජය ගත නොහැකි ව, පසුබට ව සිටි ජනයා එම සිත ජය ගැනීම තුළින් අභිමානවත් ලෙස නැගී සිටියා. එසේ සිදු නොවුණේ නම් ලෝකයේ කිසිදාක රහතන් වහන්සේලා බිහිවන්නේ නැහැ. රහතන් වහන්සේලා යනු සිත දමනය කළ, සිත ජයගත්, සිතට වසඟ නොවූ අභිමානවත් චරිත සංවර්ධනයක් ඇති කරගත් මනුෂ්‍ය රත්නයන් හැටියටයි ලොව දිස්වන්නේ. එනිසා ඒ සඳහා යන මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විට ලොව අලුත් ම යුගයක් උදාවුණා.

බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටුවීම ගැන වදාළ දෙසුමක චිත්තානුපස්සනාව නමින් භාවනාවක් උගන්වා තිබෙනවා. එම භාවනාවෙහි සිත ගැන හොඳට පහදා දෙනවා.

සිහියෙන් ඉන්න කෙනෙකුට මේ සිත නොයෙක් ආසාවල පැටලී ඒ හේතුවෙන් කිලිටි වෙද්දී හොඳීන් හඳුනාගන්න පුළුවන්. එම කිලිටි බවෙන් සිත බේරා ගන්නත් පුළුවන්. සමහර අවස්ථාවල දී හිතට ද්වේෂය ඇතිවෙනවා. එතකොට මේ සිතේ ඉතාම මායාකාරී විදිහට මෙම ද්වේෂය නිර්මාණය වෙනවා. සිත ගැන කල්පනාවෙන් නොසිටියොත් ද්වේෂය නැමැති අකුසලයේ ගොදුරක් බවට ඔහු පත්වෙන්නේ ඔහුටත් නොදැනීමයි. ඒ වගේම භය, තැතිගැනීම, සැකය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, අනුන්ට අපහාස කිරීම, අනුන් හෙළා දැකීම ආදී නොයෙක් අකුසල් මේ සිතේ හටගන්නවා. එබඳු අකුසල් නිසා නොමග යන ජීවිත මොන තරම් තියෙනවාද? මේ නිසා අපි මෙම මායාකාරී චිත්ත ස්වභාවයට හසු නොවී ධර්මය තුළින් මෙම සිත උදාර තත්වයට ගොඩනඟමු. මෙවැනි ළාමක සිතක් ධර්මය තුළ දමනය කරගෙන නිවන් මගට යොමු කරන්නට ඇත්නම් මොන තරම් වාසනාවක් ද?


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ශාසනය වනසන හැටි පැවසෙන සද්ධම්ම පතිරූපක සූත්‍රය

කැලණිය විශ්ව විද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි

සංයුත්ත නිකාය නම් ත්‍රිපිටක ග්‍රන්ථයේ කස්සප සංයුත්තයේ අවසන් සූත්‍රය සද්ධම්ම පතිරූපක සූත්‍රයයි.
මෙය තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා අවබෝධ කොට දේශනා කළ, ධර්මය වනසන පුද්ගලයන් පිළිබඳ ව උන්වහන්සේ විසින් ම හෙළි පෙහෙළි කළ සූත්‍ර දේශනාවකි. බුදුරදුන් ලොවට හෙළි කළ දහම රන් මිණි මුතුවලට වඩා වටිනා බව අපි දනිමු. එයින් ලොව අදටත් අත් විඳීන සහනය හා සැනසිල්ල මිල කළ නො හැකි ය. කුහුඹුවාගේ සිට චක්‍රවර්තී නරපතියන් දක්වා සත්ත්ව වර්ගයා ද, විශ්වයේ පැතිර පවතින්නා වූ සකලවිධ ජීවී අජීවී පරිසරය ද, අවනත වූ දහමත්, බුහුමන් කළ දහමත් ශ්‍රී සුගත තථාගත සද්ධර්මයම වේ.

මෙම දහම ගැඹුරු බුද්ධියක් මෙන්ම පිවිතුරු ශ්‍රද්ධාවක් ඇතිව රැක ගැනීමට වෙහෙසෙන්නා වූ උතුමෝ බොහෝ වූ අතර, අද ද එසේම සිටිති. එමෙන්ම එය දැන හෝ නොදැන වනසන්නන් ද අපමණ බව හැඟෙන විට ඇති වන බලවත් සංවේගය සත්පුරුෂ ලෝකයාට පොදු කරුණකි.
රත්රන්, ලෝකයේ වටිනා ලෝහ වර්ගයක් බව අපි කවුරුත් හොඳීන් දනිමු. යකඩ, තඹ, පිත්තල ආදී අනෙක් කිසිදු ලෝහ වර්ගයකින් එයට අභියෝගයක් නැත. ඒවා රත්රන් නොවන බැවිනි. එහෙත් රත්රන් නොවන, රත්රන් වැනි ලෝහයක් බිහිවීම ගැටලුවකි. වෙනත් විධියකින් කිවහොත් ඉමිටේෂන් රත්රන් යැයි සිතා රැවටීමට ලක් වෙති. සද්ධර්මයේ පැවැත්ම සම්බන්ධයෙන් කතාව ද මෙබඳු ය. වෙනත් ආගම් හෝ දර්ශනවාද නිසා බුදුදහමට හෝ සද්ධර්මයට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් වර්තමාන ලෝකයේ බුදුදහම යැයි පවසමින් අසද්ධර්මය පෙන්වා දෙන පුද්ගලයන් නිසා තථාගත දේශිත ශ්‍රී සද්ධර්මයට සිදු වන්නේ බලවත් හානියකි. මෙම කරුණ පිළිබඳ ව සද්ධම්ම පතිරූපක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.
සද්ධම්ම පතිරූපක සූත්‍රයේ නිදාන කතාව කෙටියෙන් මෙසේ ය. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන දිනෙක ආයුෂ්මත් කස්සප තෙරණුවෝ එතැනට එළඹියහ. බුදුරදුන් නැමඳ එකත් පසෙක වැඩසිටි උන්වහන්සේ තම සිත තුළ පැන නැඟුණු ගැටලුවක් බුදුරදුන්ට මෙසේ ඉදිරිපත් කළහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර ශික්ෂාපද ඉතා අඩු ප්‍රමාණයක් පණවා තිබුණු සමයෙහි බොහෝ දෙනා රහත් වූහ. දැන් ඉතා වැඩි ප්‍රමාණයක් ශික්ෂාපද ඇතත් රහත් වන්නේ ඉතා අඩු ප්‍රමාණයකි. මෙයට හේතුව කුමක්ද යන්න උන්වහන්සේගේ ප්‍රශ්නයයි.
බුදුරජාණන් වහන්සේ කිසිදු පැකිළීමකින් තොරව එයට ලබාදුන් ඍජු පිළිතුර මෙසේ ය.
කාශ්‍යපය, සත්ත්වයන් පිරිහෙන කල්හි, සද්ධර්මය අතුරුදන් වන කාලයෙහි ලෝකයේ නීති රීති, ශික්ෂාපද බෙහෝ ඇතිවේ. එවිට ඉතා ස්වල්පයක් භික්ෂූහු රහත් වෙති. යම්තාක් ලෝකයේ සද්ධර්ම ප්‍රතිරූපකයන් හෙවත් පෙනුමෙන් සද්ධර්මය වැන්නක් නූපදී ද ඒතාක් සද්ධර්මය විනාශ නොවේ. නිදසුනක් කිවහොත් පෙනුමෙන් රත්රන් වැනි දෙයක් ලෝකයේ නූපදීද, ඒතාක් ලෝකයේ රත්රන් අතුරුදන් නොවේ. එසේම පෙනුමෙන් රත්රන් වැනි දේ ලෝකයේ පහළ වේ ද, එකලට රත්රන් අතුරුදන් වේ. සද්ධර්මයට සිදුවන්නේ ද ඊට සමාන දෙයකි. එනම් සද්ධර්මය නොවන දේ සද්ධර්මය මෙන් ප්‍රකට කරන්නන් නිසා සද්ධර්මය වැනසීමට පටන් ගනී.
මෙම කරුණ පැහැදිලි කළ බුදුන් වහන්සේ එය තවදුරටත් පැහැදිලි කරමින් වදාළේ ලෝකයේ මහා පර්වත ගස්, ගල් ආදී ඝන වස්තූන්ට සද්ධර්මයට හානියක් කළ නො හැකි බව ය. මහා ගංවතුර, දියසුළි ආදියට නැතහොත් ආපෝ ධාතුවට එබඳු වැනසීමක් කළ නො හැකි ය. ගින්නක් හෝ නියඟයක් වැනි තේජෝ ධාතුව ආශ්‍රිත කිසිවක් සද්ධර්මය නො වනසයි. වායෝ ධාතුව ආශ්‍රිත සුළි සුළං ආදී කිසිවකට ද එබඳු හානියක් කළ නො හැකි ය. එහෙත් මේ ශාසනයෙහි ම සද්ධර්මය අන්තර්ධාන කරන්නා වූ මෝඩ හිස් පුරුෂයෝ උපදිති. මෙම සූත්‍රයේ දක්වන පරිදි සද්ධර්මයට සිදුවන විශාලම අපරාධය වන්නේ මිනිස් ප්‍රජාවගෙන් ය.
සද්ධර්මයේ පැවැත්ම පිළිබඳ ව සාකච්ඡා කරන ඇතමුන් බණ භාවනා කිරීම ම ශාසන සුරක්ෂිතතාවට පිළියම යැයි පවසන අවස්ථා ඇත. හැදෑරීම්, වනපොත් කිරීම ආදී අනෙකුත් දේ සම්බන්ධයෙන් විමති පවසති. එහෙත් මෙම සූත්‍රය දක්වන පරිදි පර්යාප්ති (ඉගෙනීම) හා ප්‍රතිපත්ති බහුලවීම නිසා සද්ධර්මයට හානියක් නොවේ. නැවක බඩු භාණ්ඩ වැඩි වීමෙන් ජලයේ ගිලී යාමක් සිදු නොවේ. එමෙන් පර්යාප්ති ප්‍රතිපත්ති බහුල වීමෙන් සද්ධර්මය නො වැනසේ. මේ නිසා තථාගත දේශිත ශ්‍රී සද්ධර්මය ලෝක සත්ත්වයාගේ අනන්ත අප්‍රමාණ වූ යහපත සඳහා රැකිය යුතු හෙයින් ආත්මීය වශයෙන් අප විසින් කළ යුත්තේ කුමක් දැයි සිතීම අපගේ වගකීමක් බව තේරුම් ගත යුතු ය.
ඉහත කී කරුණු අනුව තමා සද්ධර්ම ප්‍රතිරූපකයෙක් දැයි ඔබට තීරණය කළ හැකි ද?. ගිහි වුවත් පැවිදි වුවත්, අප සෑම කෙනෙකු ම ඍජුව හෝ වක්‍රව මෙම පාප කර්මයට සම්බන්ධ වීමේ හැකියාවක් පවතී. ඔබ තුළ අව්‍යාජත්වය නොමැති නම් ඒ වෙනුවට ඇත්තේ ව්‍යාජ බව නම් ඔබ සද්ධර්මය වනසන සද්ධර්ම ප්‍රතිරූපකයෙකි. ඔබට ඔබ ගැන ම නිගමනයකට පැමිණීම සඳහා සද්ධර්ම ප්‍රතිරූපකයෙකුගේ ලක්ෂණ සූත්‍රය දක්වන පරිදිම හකුළා දැක්විය හැකි ය. ඒ අනුව කෙනෙකුට ක්‍රම පහකින් තථාගත ශ්‍රී සද්ධර්මය වැනසිය හැකි ය. සද්ධර්මය වැනසීමට උත්සාහ කරන පුද්ගලයන් ගැන පසෙකලා එය සුරැකීමට උපස්තම්භක වන ක්‍රම පිළිබඳ ව පමණක් මෙහි ලා දක්වනු ලැබේ.
ඉන් පළමුවැන්න භික්ෂු - භික්ෂුණී, උපාසක - උපාසිකා වශයෙන් අප ශාස්තෘන් වහන්සේ කෙරෙහි ඉමහත් ගෞරව සම්මාන සහිතව, යටහත් පහත් පැවතුම් ඇතිව වාසය කිරීමයි. යමෙක් එසේ නො කරන්නේ නම් ඔහු සද්ධර්ම ප්‍රතිරූපකයෙකි. දෙවැන්න ධර්මය කෙරෙහි ගරු බුහුමන් හා යටහත් පහත් පවතුම් ඇතිව එය පිළිපැදීමයි. යමෙක් එසේ නො කරන්නේ නම් ඔහු ද සද්ධර්ම ප්‍රතිරූපකයෙකි.
තෙවැන්න සංඝරත්නය කෙරෙහි ගරු බුහුමන් හා යටහත් පහත් පැවතුම් දක්වමින් ජීවත් වීමයි. ඊට ප්‍රතිපක්ෂ ව යමෙක් ක්‍රියා කරයි නම් ඔහු ද සද්ධර්මය වනසන අයෙකි. සිවුවැන්න වන්නේ ශික්ෂාපද කෙරෙහි ගරු බුහුමන් දක්වමින් ඒවා අනුව පැවතීමයි. ඒවාට දොස් නගමින් හා කඩ කරමින් යමෙක් ජීවත්වීමට උත්සාහ කෙරේ නම් ඔහු ද සද්ධර්මය වනසන්නා වූ පුද්ගලයෙක් වේ. පස්වැනි කරුණ වන්නේ සමාධිය කෙරෙහි ගෞරව සහිත ව, යටහත් පහත් පැවතුම් ඇති ව ආධ්‍යාත්මය දියුණු කිරීමයි. එබඳු සමාධියක් කෙරෙහි ගරු බුහුමන් රහිත වික්ෂිප්ත මනසින් සසුන තුළ යමෙක් හැසිරේ නම් ඔහු ද තථාගත ශ්‍රී සද්ධර්මයට හානි කරන්නා වූ සද්ධර්ම ප්‍රතිරූපකයෙක් ම වේ.
සසර දිගු ගමනක නිරත ව අප්‍රතිහත ධෛර්යකින් පාරමී ධර්මයන් පුරා අවබෝධ කොට ගත් දහමේ පැවැත්ම ගැන තථාගත බුදුපියාණන් වහන්සේ ගැඹුරින් සිතන්නට ඇත. එසේම එහි පැවැත්ම හා පැවැත්මට හානිකර දේ පිළිබඳවත් විනිවිද දකින්නට ඇත. සද්ධර්මයට හානියක් ගස් ගල්, පර්වත, ගිනි කඳු, සාගර, ගංගා, වා සුළි ආදි ස්වභාව ධර්මයේ කිසිදු වස්තුවක් ස්ථිරව ම සිදු නොකරන බව වදාළ බුදුන් වහන්සේ එය සිදු වන්නේ මිනිසුන් අතින් ම බව පැවසීම අතිශය බැරෑරුම් ප්‍රකාශයකි. එක් පසෙකින් එය නිරාගත වීමට තරම් බලවත් පාප කර්මයක් වන අතර, අනෙක් පසින් මනුෂ්‍ය ස්වභාවයේ පහත් බව හා පිළිකුල් සහගත බව පිළිබඳ අනාවරණයකි.
එබැවින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වශයෙන් අප ආධ්‍යාත්මයෙන් විවෘත විය යුතු ය. සීලය වෙනුවට බොරු සීලයත්, සමාධිය වෙනුවට ව්‍යාජ සමාධියත්, සම්‍යක් ප්‍රඥාව වෙනුවට භෞතිකත්වය වැළඳගත් මිථ්‍යා ප්‍රඥාවත් ප්‍රකට කරමින් ශාසනයට හානි නො කළ යුතු ය. සද්ධම්ම පතිරූපක සූත්‍රයේ දැක්වූ ඉහත කරුණු තේරුම් ගැනීමෙන් ඔබටත් සද්ධර්මයේ සැබෑ හිමි කරුවෙකු වීමේ භාග්‍යය උදාකර ගත හැකි ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දිවි නසා ගැනීම ප්‍රාණඝාත කර්‍මය.......


01. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශලය සිදුවේ ද?

තමාගෙන් අන්‍ය වූ සත්ත්වයකු ගේ ජීවිතය නැසීමෙන් මිස සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත කර්‍මය සිදු නොවේ. බුදුරජාණන් වහන්සේ විනයෙහි තිරිසන් සතුන් මැරීම ගැන භික්ෂූන්ට පනවා තිබෙන්නේ “යො පන භික්ඛු සංචිච්ච පාණං ජීවිතා චොරොපෙය්‍ය පාචිත්තියං” යන සිකපදය ය. ‘දැන දැන තිරිසන් සතකු මැරුව හොත් පචිති ඇවතක් වේය’ යනු එහි තේරුම ය. මනුෂ්‍ය ඝාතනය මහා පාපයෙකි. එබැවින් එය ගැන විනයෙහි පනවා ඇත්තේ පරිජි ඇවතකි. යම් කිසි භික්ෂුවක් විසින් මිනිසකු මැරුව හොත් පාරාජිකා වේ.

ආත්මඝාතනය ගැන විනයෙහි පනවා ඇත්තේ “න ච භික්ඛවෙ, අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය, ආපත්ති දුක්කටස්ස” යන සිකපදය ය. එහි තේරුම, “මහණෙනි! ආත්මය නො නැසිය යුතු ය. යමෙක් සිය දිවි නසා ගන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය” යනුයි. දුකුළා ඇවත පචිති ඇවතට ද කුඩා ඇවතකි. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය සිදු වේ නම්, තථාගතයන් වහන්සේ එයින් ද පාරාජිකා වන බව වදාරන්නාහ. සිය දිවි නසා ගැනීම ගැන පනවා ඇත්තේ තිරිසනුන් මැරීමෙන් වන ඇවතට ද කුඩා ඇවතකි. එයින් තේරුම් ගන්නට ඇත්තේ එය ප්‍රාණඝාත කර්මයක් නො වන බව හා තිරිසන් සතකු මැරීමෙන් වන පාපය තරම් බරපතළ පවකුත් නො වන බව ය. සියදිවි හානි කර ගැනීම ගැන දුකුළා ඇවතක් පනවා ඇතත් එය කර ගැනීමට සුදුසු අවස්ථා ඇති බවත් විනය අටුවාවෙහි දක්වා තිබේ.

“යස්ස පන මහා ආබාධො චිරානුබද්ධො, භික්ඛු උපට්ඨහන්තා කිලමන්ති, ජිගුච්ඡන්ති, කදා නු ඛො ගිලානතො මුඤ්චිස්සාමාති අට්ඨියන්ති. සචෙ සො අයං අත්තභාවො පටිජග්ගියමානොපි න තිට්ඨති භික්ඛු ච කිලමන්තීති ආහාරං උපච්ඡින්දති, භෙසජ්ජං න සෙවති වට්ටති. අයං රොගො ඛරො ආයුසංඛාරා න තිට්ඨති. අයඤ්ච මෙ විසෙසාධිගමො හත්ථප්පත්තො විය දිස්සතීති උපච්ඡින්දති වට්ටති. අගිලානස්සා පි උප්පන්නසංවෙගස්ස ආහාර පරියෙසනං නාම පපඤ්චො, කම්මට්ඨාන මෙව අනුයුඤ්ජිස්සාමී ති කම්මට්ඨානසීසෙන උපච්ඡින්දන්තස්ස වට්ටති.”

(සමන්තපාසාදිකා 334)

මේ පාඨයේ අදහස; “බොහෝ කල් පවත්නා වූ මහා ආබාධයක් ඇති භික්ෂුවකට උපස්ථාන කරන භික්ෂූන්ට බොහෝ වෙහෙසෙන්නට සිදු වේ නම්, රෝගියාත් පිළිකුල් නම්, ඒ රෝගී භික්ෂුව ‘මේ ආත්ම භාවය ප්‍ර‍තිකර්ම කළත් නො පැවැත්විය හැකි ය. මා නිසා සෙසු භික්ෂූහු ද බොහෝ වෙහෙසෙතියි සලකා බෙහෙත් ආහාර වර්ජනය කරනවා නම් වටනේය. යම් භික්ෂුවක් මට ඇතිවී ඇති මේ රෝගය නපුරු ය. මට විශේෂාධිගමයක් ද අතට පත්වූවාක් සේ පෙනෙන්නේ ය. මම ශරීර පෝෂණය හැර විශේෂාධිගමය පිණිස ද වීර්‍ය්‍ය කරමි යි ආහාර අතහරී නම් වටනේය. රෝගයක් නැති භික්ෂුවක් විසින් තමාට උපන් සංවේගය නිසා ආහාර සෙවීමත් ප්‍ර‍මාදයක් ය, මම භාවනාව ම කරමි යි, භාවනා පිණිස ආහාර ගැනීම අත හරී නම් එය ද වටීය” යනුයි. මේ පාඨයෙහි ‘වට්ටති’ යන වචනයෙන් කියන්නේ ඇවැත් නො වන බව ය. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය වේ නම් කිනම් කරුණක් නිසාවත් එය නො වන්නේ ය. කියන ලද කරුණුවල දී ආහාරෝපච්ඡේදය වටනා බව විනය අටුවාවෙහි කියා තිබීමෙන් ද එය ප්‍රාණඝාත කර්මයට අයත් නො වන බව දත යුතු ය.

02. දිවි නසා ගැනීම ප්‍රාණඝාත කර්‍මය නුවූව ද අපායෝත්පත්තියට හේතු වන අකුශලයක් නො වේ ද?

මෙය විභජ්ජවාදය අනුව විසඳිය යුතු ප්‍ර‍ශ්නයෙකි. සාවද්‍ය වූ දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. නිරවද්‍ය දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. ඇතැම් අඥයෝ තමන්ට වූ අලාභ හානි නිසා හෝ ප්‍ර‍සිද්ධ වුවහොත් මහත් ලජ්ජාවට පැමිණිය හැකි වරදවල් තමන් අතින් සිදු වීම නිසා හෝ ඇතැම් අදහස් ඉටුකර ගන්නට ඉඩ නැතිකම නිසා හෝ අනුන්ගෙන් ඇති කරදර නිසා හෝ ජීවත්වීමට මඟක් නැති නිසා හෝ සිත දූෂණය කරගෙන සිය දිවි නසා ගනිති. ඇතැම් මෝඩයෝ අනුන්ට රිදවීම පිණිස ද දිවි නසා ගනිති. ඒවා සාවද්‍ය දිවි නසා ගැනීම් ය. එසේ දිවි නසා ගන්නවුන්ට දෙවන ජාතියේ සුගතියේ ඉපදීමට ද දුෂ්කර ය. දූෂිත වූ සිතින් කාලක්‍රියා කරන පුද්ගලයා ගේ දෙවන උපත ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.

“ඉමම්හි වායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො;

නිරයං උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පදූසිතං.

යථා හරිත්වා නික්ඛිපෙය්‍ය එව මෙව තථා විධො;

චෙතො පදොස හෙතූ හි සත්තා ගච්ඡන්ති දුග්ගතිං”

(ඉති වුත්තක පාලි)

“සිත දූෂ්‍ය වී ඇති මේ වේලාවේ දී මේ තැනැත්තා කාලක්‍රියා කෙළේ නම් ඔහු නරකයෙහි උපදනේ ය. මක් නිසා ද? ඔහු ගේ සිත දූෂ්‍ය වී ඇති බැවිනි.

එබඳු පුද්ගලයා මළ පසු ගෙන ගොස් දැමුවාක් මෙන් නරකයට වැටෙන්නේ ය. සිත දූෂ්‍ය වීම හේතු කොට සත්ත්වයෝ දුර්ගතියට යෙති” මේ ගාථා දෙක්හි තේරුම ය.

මේ දේශනාව අනුව කිය යුත්තේ පැමිණි අලාභ හානි ආදිය නිසා සිත දූෂ්‍ය කර ගැනීමෙන් දිවි නසා ගන්නා අය මරණින් මතු නරකයෙහි උපදනා බව ය. මෙය සාමාන්‍ය දේශනාවෙකි. එබැවින් දූෂ්‍ය වූ සිතින් මැරෙන අය ප්‍රේත බවටත්, තිරිසන් බවටත් පැමිණිය හැකි බව කිය යුතු ය. දිවි නසා ගැනීම තමාට වූ පාඩුවක් පිරිමසා ගැනීමට කළ යුතු ප්‍ර‍තික්‍රියාවක් නොවේ. එය අනුවණකමෙකි. තමන් ගේ දෙලොව ම නසා ගැනීමකි.

යම් කිසි උසස් අර්ථයක් සඳහා ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට සමත් වන තරමට නුවණ දියුණු කර ගෙන ඇත්තා වූ වීර පුරුෂයෝ සමහර විට උසස් අර්ථයන් සඳහා තමන් ගේ ජීවිතයත් පරිත්‍යාග කෙරෙති. බ්‍ර‍හ්මසෘෂි නම් තාපස කාලයේ දී අප මහ බෝසතාණන් වහන්සේ අන් අහරක් නො ලැබීමෙන් සිය දරුවන් කා දමන්නට තැත් කරන ව්‍යාඝ්‍රධේනුව ගේ ඉදිරියට පිනූහ. සිරිසඟබෝ රජතුමා තමා ගේ හිස සියතින් ම සිඳ දුගියෙකුට දුන්නේ ය. උසස් අර්ථයක් සඳහා කරන එබඳු දිවි නසා ගැනීම් නිරවද්‍ය දිවි නසා ගැනීම් ය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ගෝධික තෙරුන් වහන්සේ සියතින් බොටුව සිඳ දිවි නසා ගත්හ. එයත් උසස් අර්ථයක් උදෙසා කළ නිරවද්‍ය දිවි නසා ගැනීමකි.

ආයුෂ්මත් ගෝධික ස්ථවිරයන් වහන්සේ ඉසගිලි පර්‍වතයේ එක් පසෙක විසූහ. උන් වහන්සේ බොහෝ උත්සාහ කොට ලෞකික ධ්‍යානයක් උපදවා ගත්හ. ලෞකික ධ්‍යානය වනාහි ලැබූ තැනැත්තා විසින් එය අත් නො හැර නැවත නැවත සමවැදීම් වශයෙන් ආරක්‍ෂා කර ගත යුතු ය. එසේ නො කොට අන් කටයුතුවල යෙදුන හොත් ධ්‍යානය නැති වන්නේ ය. ධ්‍යානයෙන් පිරිහෙන්නේ ය. ගෝධික තෙරුන් වහන්සේ රෝග බහුල කෙනෙක. එබැවින් උන්වහන්සේට ධ්‍යානය පවත්වා ගත නො හැකි විය. ධ්‍යානයෙන් පිරිහුණාහ. උන් වහන්සේ දෙවන වරද උත්සාහ කොට නැවත ධ්‍යානය උපදවා ගත්හ. එහෙත් රෝග නිසා දෙවන වරත් ධ්‍යානයෙන් පිරිහුණහ. මෙසේ තුනවන සතරවන පස්වන වරද උපදවා ගත් ධ්‍යානයෙන් පිරිහුණහ. සවන වාරයේ ධ්‍යානය ලබාගත් පසු උන්වහන්සේ සිතන්නාහු ධ්‍යානයෙන් පිරිහී ඉන්නා අවස්ථාවක මරණය වුවහොත් මතු උපත අනියත ය. ධ්‍යානය තිබිය දී මරණය වුවහොත් බඹලොව ඉපදීම නියත ය. එබැවින් දැන් ධ්‍යානය තිබෙන වේලාවේ දී දිවි නසා ගනිමි යි සිතූහ. උන්වහන්සේ කරන්නට යන දෙය දුටු මාරයා සිතනුයේ ගෙළ සිඳ ගැනීම ශරීරය කෙරෙහිත් ජීවිතය කෙරෙහිත් ආශාව නැතියකුට මිස අනිකකුට නො කළ හැකි දෙයක. කාය ජීවිත දෙක්හි ආලය නැති මුන් වහන්සේ එසේ කිරීමේ දී කමටහන සිහිකොට රහත් වන්නට ද බැරි නැත. මෙය මා විසින් වැළැක්විය යුතුය යි සිතා මෙය බුදුන් වහන්සේට සැලකර උන් වහන්සේ ලවා වළක්වමි යි ඒ බව බුදුන් වහන්සේට සැල කළේ ය. එකෙණෙහි ම ගෝධික තෙරුන් වහන්සේ සිය ගෙළ සිඳ ගත්හ. එයින් උන්වහන්සේට බොහෝ වේදනා ඇති විය. උන්වහන්සේ වේදනා යටපත් කොට සිහියෙන් යුක්ත වී ඒ වේදනාව ම අනිත්‍යා දී වශයෙන් මෙනෙහි කොට සියලු කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන් පා වදාළ සේක. මාරයාට පිළිතුරු වශයෙන් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“එවං හි ධීරා කුබ්බන්ති නාවකංඛන්ති ජීවිතං,

සමූලං තණ්හං අබ්බුය්හ ගෝධිකො පරිනිබ්බුතො”

එහි තේරුම “නුවණැත්තෝ මෙසේ කෙරෙත්. ජීවිතයට ඇළුම් නො කෙරෙත්. මුල්සහිත තණ්හාව උපුටා දමා ගෝධිය පිරිනිවීය” යනුයි. ඡන්නතෙරුන් වහන්සේ ද දිවි නසා ගෙන රහත් ව පිරිනිවන් පෑ කෙනෙකි. මේ කථා දෙක ම සංයුක්ත නිකායේ සඳහන් වී ඇත්තේ ය. යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගැනීම පාපක්‍රියාවක් නම් දිවි නසා ගන්නා වේලාවේ දී ඒ ඒ තෙරුන් වහන්සේලාට රහත් විය නො හැකි ය. මේ කරුණු අනුව යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගන්නවුන්ට එයින් පාපයක් නො වන බව පිළිගත යුතු ය.

03. මතු ජාතියේ එක්ව විසීමට පතා දිවි නසා ගන්නා පෙම්වතුන්ට පෙම්වතියන්ට ඒ පැතීම නිසා අනාගත භවයේ එක්ව වාසය කරන්නට ලැබේ ද?

නිකම්ම කරන ප්‍රාර්ථනාවල් සිදු වෙත හොත් ලොව හැම දෙනාට ම ලෙහෙසියෙන් ම සුඛිත විය හැකි ය. ලෝකයේ දුඃඛිතයෝ ඉතිරි නො වන්නාහ. නිකම් ප්‍රාර්‍ථනා කළාට යම් කිසිවක් සිදු වන්නේ නො වේ. නිකම්ම යම් යම් දේ අනාගතයෙහි ලබේවා යි පැතීම මුදල් නැතිව බඩු ගන්නට සිතීම වැනි මෝඩ වැඩකි. අනාගතයෙහි යම් කිසිවක් ලැබීමට පතනවා නම් එය කළ යුත්තේ එය ලැබීමට හෝ සිදුවීමට සෑහෙන පිනක් කොටය. පෙම්වතුන්ට ද සෑහෙන පින්කම් කොට “මේ පින් බලයෙන් අපට අනාගත භවයන්හි එක්ව සුවසේ වාසය කරන්නට ලැබේවා” යි පැතුව හොත් එය සිදුවිය හැකි ය. පින් කොට කරන පැතුම් වුව ද නො වැරදී ම සිදුවනවාය යන නියමයක් නැත. සමහර විට එයත් සිදු නොවී යා හැකි ය. “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ සිල්වතුන් ගේ ප්‍රාර්ථනා සිදු වන බව ය. “තඤ්ච ඛො සීලවතො වදාමි නො තථා දුස්සීලෙ” යි ඒ ප්‍රාර්ථනා සිද්ධිය දුශ්ශීලයන් ගැන කියන්නක් නොව සිල්වතුන් ගැන ම කියන්නක් බව ද වදාරා ඇත්තේ ය. ඇතැම් පෙම්වතුන් දිවි නසා ගැනීමේ දී කිසිම පිනක් නො කොට අනාගතයේ එක්ව විසීමට කරන ප්‍රාර්ථනාව කිසි කලෙක සිදුවිය නොහෙන මෝඩ ප්‍රාර්ථනාවෙකි. පිනක් කොට එසේ කරන ප්‍රාර්ථනාව වුව ද නො වරදවා සිදුවීමට නම් සිල්වත්ව වාසය කළ යුතු ය. සිල්වත්ව විසීමය කියන්නේ ප්‍රාණඝාතාදි දුශ්චරිත පසින් වැළකී සිටීම ය. ඒවායින් කවරක් හෝ කරනවා නම් ඒ තැනැත්තා දුශ්ශීලයා ය. ඒ පව්කම්වලින් ඔහුට අපායට යන්නට සිදු වුව හොත් ප්‍රාර්ථනාව සිදු වන්නට ඉඩ නො ලැබේ. පින් කොට වුව ද කරන දුශ්ශීලයන් ගේ ප්‍රාර්ථනා සිද්ධිය අනියත වන්නේ එහෙයිනි. මතු ජාතිවල එක්ව විසීමේ ප්‍රාර්ථනාව නො වරදවා ම ඉටු කර ගන්නට නම් පින් කොට එසේ පතා පවින් වැළකෙමින් සිල්වත්ව විසිය යුතු ය.

නවකතා කරුවන් විසින් කිවීන් විසින් දිව්‍යමය ගුණයක් කොට වර්ණනා කරන්නා වූ ද, තවත් බොහෝ දෙනකුන් විසින් උසස් ගුණයක් කොට සලකන්නා වූ ද ප්‍රේමය බුදු දහමේ දැක්වෙන සැටියට නම් සත්ත්වයා සුගතියට පමුණුවන පිනක් නොව අවිද්‍යාව හෙවත් මෝඩකම වැඩි වැඩි තරමට වඩ වඩා තියුණුව වඩ වඩා මහත්ව ඇති වන ක්ලේශයෙකි. අවිද්‍යාව නිසා ඇතිවන ප්‍රේමයෙන් අවිද්‍යාව තව දුරටත් වැඩෙන්නේ ය. අවිද්‍යාව වැඩීම නිසා ප්‍රේමය ද තව දුරටත් වැඩෙන්නේ ය. මෙසේ වැඩීම ඒ කෙලෙස් වල සැටියකි. ප්‍රේමය නමැති මේ ක්ලේශය බුදු දහමෙහි බොහෝ තැන්වල දැක්වෙන්නේ රාගය යන නාමයෙනි.

තරුණ තරුණියන් විසින් ඉමහත් මිහිරක් වශයෙන් සලකන මේ රාගය මිහිරක් නොව සත්ත්ව සන්තානය දවන ගින්නකි. එබැවින් තථාගතයන් වහන්සේ“රාගග්ගි දහති මච්චේ රත්තේ කාමෙසු මුච්ඡතෙ” යනුවෙන් රාග නමැති ගින්නෙන් කාමයන්හි ඇලුණු මුළා වූ සත්ත්වයෝ දවනු ලබන්නාහු යි වදාළ සේක. ඇතැම් තරුණ තරුණියන් අපට මතු සංසාරයේ දී වත් එක්ව වාසය කරන්නට ලැබේවා යි පතා, ගඟට මුහුදට පනින්නේ - ඇසිඩ් බොන්නේ රාගයේ දැවීම ඉවසිය නොහෙන තරමට බලවත් වූ විටය. රාගය පුද්ගල සන්තානය දවන ක්ලේශයකි. එහි දවන ස්වභාවය දැනෙන්නට වන්නේ එය බලවත් වූ විටය. සත්ත්වයනට ඉෂ්ටවිපාක ඇති වන්නේ චිත්ත සන්තානය පිනවන අලෝභ මෛත්‍රී ශ්‍ර‍ද්ධා ප්‍රඥාදි ධර්‍මයන්ගෙනි. චිත්ත සන්තානය දවන රාග ද්වේෂාදීන්ගෙන් අනාගතයෙහි ඇති කරන්නේ ද අනිෂ්ඨ විපාකයෙකි. අකුශල්ය කියනුයේ අනිෂ්ට විපාක ඇති කරන ධර්මයන්ට ය. දවන ස්වභාවය ඇතියක් බැවින් රාගය ද අනාගතයෙහි අනිෂ්ට විපාක ඇති කරන පාප ධර්මයෙකි. මරණාසන්නයේ දී එය බල පැවැත්වුව හොත් ප්‍රේත ලෝකයෙහි ඉපදිය හැකි ය.

රාගය විශේෂයෙන් ප්‍රේතව ඉපදීමටත් ද්වේෂය නරකයෙහි ඉපදීමටත් මෝහය තිරිසන් යෝනියෙහි ඉපදීමටත් හේතු වන බව දහම් පොත්වල කියා ඇත්තේ ය. මෙලොව සිය අදහස් පරිදි එක්ව විසීමට ඉඩ නො ලැබීමෙන් මතු ජාතියේ දී එක් වන්නට බලාපොරොත්තුවෙන් දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගේ සන්තානවල මරණාසන්නයේ දී අන්‍යොන්‍ය ප්‍රේමය හෙවත් රාගය හෝ මතු වී පවතී. නැතහොත් බලාපොරොත්තු ඉටු කර ගන්නට නො ලැබීමෙන් වන කෝපය හෝ මතු වී සිටී. නැතහොත් මෝහය මතු වී සිටී. ඒ අවස්ථාවෙහි දී දෙදෙනා කෙරෙහි ම සමානව රාගය මතු වී සිටිය හොත් ඔවුනට සමහර විට ප්‍රේතලෝකයේ එක්ව විසිය හැකි වනු ඇත. එකකු ගේ සන්තානයෙහි රාගයත් අනිකා ගේ සන්තානයෙහි ද්වේෂයත් නැඟ සිටිය හොත් දෙදෙනාට දෙපලකට යන්නට සිදු විය හැකි ය. දුර්ගතියෙහි වුව ද දිවි නසා ගන්නා යුවළකට එක් වන්නට ලැබෙනවා නම් එය කලාතුරකින් සිදුවන කරුණකි. එබැවින් මතු එක්ව කම් සැප විඳීමේ බලාපොරොත්තුවෙන් දිවි නසා ගැනීම මෝඩකම්වලින් ලොකු ම මෝඩකමක් බව කිය යුතු ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මස්‌මාංශ අනුභවය පිළිබඳව....

මස්‌මාංශ අනුභවය පිළිබඳව සමාජයේ විවිධ මත පවතී. කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය පවට අනුබල දීමක්‌ යෑයිද ඒ නිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ යෑයි ද තර්ක කරති. කෙසේ හෝ වේවා මේ තත්ත්වය හමුවේ අසරණ වන බෞද්ධ පින්වතුන්ට මෙහි සැබෑ තත්ත්වය පහදා දීම මෙම ලිපියේ අරමුණයි.
උභතෝකෝටික ප්‍රශ්නයක්‌ යනු කෙළවරවල් දෙකක්‌ ඇති ප්‍රශ්නයකි. මස්‌ මාංශ අනුභවය පිළිබඳවද බෞද්ධ පින්වතුන් අද මුහුණ දී සිටිනුයේ උභතෝකෝටික ප්‍රශ්නයකට යෑයි කීවොත් නිවැරැදිය.
කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය අකුසල කර්මයක්‌ යෑයි පවසති. තවත් කෙනෙක්‌ පවසනුයේ මස්‌ මාංශ අනුභවය වරදක්‌ නොවන බවයි. මස්‌මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් ඇතැම්හු ආවේගශීලීව කටයුතු කරන ආකාරයක්‌ ද දක්‌නට ලැබේ. මෙම පිsරිස විනය පිටකය බුද්ධ දේශනාවක්‌ නොවන බවට ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට පත්වී සිටිනවා. මෙය කනගාටුවට කරුණකි.
මෙම ප්‍රශ්නයේදී තවත් සමහරෙක්‌ බුදුරජාණන් වහන්සේගේ දේශනා තමන්ට රුචි ආකාරයෙන් අර්ථ දක්‌වන ආකාරයක්‌ දැකිය හැකියි.
කෙසේ හෝ වේවා මස්‌ මාංශ අනුභවය පිළිබඳව කෙනෙක්‌ අපගෙන් හොඳද නරකද කියා සෘජු ලෙස විමසීමක්‌ කළහොත් බරපතල ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එහිදී අපට දීමට ඇති උත්තරය වනුයේ මස්‌ කෑම නරක බවයි. එහෙත් මස්‌ මාංශ අනුභවය ප්‍රාණඝාත අකුසලයත් සමඟ පටලවා ගත යුතු නැහැ
කෙනෙක්‌ අපගෙන් මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුද්ධ දේශනාව කුමක්‌ද කියා විමසන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයන්ට මෛත්‍රිය කරන ලෙසයි. ඒ පිළිබඳව සංවාදයක්‌ නැහැ. එයයි අපට ඊට දීමට ඇති උත්තරය. කුරා කූඹියාට පවා මෛත්‍රිය කරන ලෙසයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ පිළිබඳව අපට කිසිදු විවාදයක්‌ නැහැ.
නමුත් අපට ප්‍රශ්නයක්‌ තියෙනවා. මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් එය සමාජගත කරන්න උත්සාහ දරන පිරිස්‌ අතර ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කිසිදු සිද්ධාන්තයක්‌ නැති පුහු තර්ක නිසා බෞද්ධයා නොමඟට යනවා. අතරමං වෙනවා. එයයි අපට තියෙන ප්‍රශ්නය.
මාංශ භක්‍ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක්‌ කරුණු සඳහන් වෙනවා. මCධිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධියක්‌ පිළිබඳව. ඉන් අදහස්‌ කළේ කොන් තුනක්‌ පිරිසිදු මාංශයන් අනුභව කළාට කමක්‌ නැති බවයි.
දිට්‌ඨං. සූතං පරිසංකිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කාරණයයි.
තමන් සතකු මරණවා දුටුවා නම්, සැක සිතුණා නම් එසේම එම සතා මැරුවේ ඔබ නිසා නම් එම මස්‌ වැළඳීමෙන් වළකින ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේනම් මෙතැනදී ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එසේ නොවන මසක්‌ අනුභව කළාට වරදක්‌ නැත්ද කියා. ඇත්ත වශයෙන් ඒ පදනමින් නොවෙයි, බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ.. තමන් යම් මාංශයක්‌ අනුභව කිරීමෙන් පසුව සැකයක්‌ ඇති වී මානසික බිඳවැටීමක්‌ ඇති වුවහොත් මානසිකව පීඩාවට ලක්‌විය හැකියි. තමන් එම මාංශය අනුභව කිරීමෙන් පවක්‌ සිදු වුණාද යන පසුතැවීමකට වුවද ලක්‌විය හැකිය. එම තත්ත්වයෙන් මිදීම සඳහායි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක්‌ කළේ. මේ තත්ත්වය පදනම් කරගෙන කෙනෙක්‌ කියනවා නම් මේකෙන් තොර යමක්‌ අනුභව කිරීම වරදක්‌ නැහැ කියලා………. එයත් නොවෙයි මින් අදහස්‌ කරන්නේ…. සාමාන්‍ය ජීවන පැවැත්මට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමයි. මින් අදහස්‌ කරන්නේ. අප එය අර්ථ දක්‌වන්නේ සම චර්යාව කියලයි.
බුදු දහමෙහි සඳහන් ප්‍රධාන වචන දෙකක්‌ තියෙනවා. එකක්‌ තමයි අපි ඉහතින් සඳහන් කළ සම චර්යාව අනෙක්‌ වචනය තමයි ධර්ම චර්යාව. මෙම වචන දෙක පිළිබඳව කිසිවෙක්‌ නිසි පර්යේෂණයක්‌ කර කරුණු ඉදිරිපත් කරලා නැහැ. අපි ඒ පිළිබඳව යම් යම් කරුණු එකතු කරගෙන යනවා.
සම චර්යාව යනු සමාජයේ යහපතට, පැවැත්මට හේතුවන කරුණුයි. අංගුත්තර නිකායේ සීහ සේනාපති සූත්‍රයේ සඳහන් වෙනවා පවත්ත මාංශය පිළිබඳව.
සීහ සේනාපතියා යනු සෝවාන් වූ අයෙක්‌. දිනක්‌ ඔහු බුදුරජාණන් වහන්සේට සංඝයා වහන්සේ පන්සිය නමක්‌ සමඟ තමන්ගේ ගෙදර දනට වඩින ලෙස ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ එම ආරාධනාව පිළිගන්නවා. සීහ සේනාපතියා නිවසේ සිටින සේවක පිරිසකට දානය පිළියෙල කරන්න උපදෙස්‌ දුන්නා.
එක්‌කෙනෙක්‌ යෑව්වා මස්‌ ගේන්න කියලා. වෙළෙඳපොළේ තියෙන මස්‌ (පවත්ත මාංශ) ගේන්න කියලයි ඔහු උපදෙස්‌ දුන්නේ. මසුත් පිළියෙල කරලා ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දානය පිළිගැන්වූවා. මෙවැනි දේවල් සඳහන් සූත්‍ර ගණනාවක්‌ බුදුදහමේ දැක්‌වෙනවා. නමුත් අපි මේ අවස්‌ථාවේදී ඒ සියලු දේවල් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද සමහරුන් මේ දේවල් දෘෂ්ටි වශයෙන් ගත හැකි නිසා මහාවග්ග පාලියේ භික්‍ෂූන් වහන්සේලා බණ භාවනා කරන කොට නොවැළඳිය යුතු මස්‌ වර්ග ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම ආමගන්ධ සූත්‍රයේද සුත්ත නිපාතයේ ද මේ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම අටුවා සහ ටීකාවල මේ පිළිබඳව දීර්ඝ විස්‌තර සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ අධ්‍යයනයක යෙදී ඇති බැවින් මස්‌ කෑමට පක්‍ෂව හෝ විපක්‍ෂව ඇති තරම් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.
නමුත් අපට මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුදු දහමේ සඳහන් කරුණු විකෘති කර දැක්‌වීමේ අයිතියක්‌ නැහැ. එය සාධාරණ වන්නේත් නැහැ.
බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දැඩි අන්තගාමී බවක්‌ කිසිවිටෙකත් දක්‌නට නැහැ. යම් භික්‌ෂුවකට වේවා පුද්ගලයකුට වේවා මානසික පීඩාවක්‌ ඇති වන්නේ නම් එය සමනය වන ආකාරයට ක්‍රියා කිරිම වරදක්‌ නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. විනයෙහි සඳහන් වන අන්දමට භික්‌ෂූන් වහන්සේ නමකට අමනුෂ්‍ය දෝෂයක්‌ ඇතිවී මස්‌ කෑමට සිදු වුණා. කෙතරම් බෙහෙත් කළත් අමනුස්‌සයන්ගේ මෙහෙයවීම නිසා එම භික්‌ෂුවට සුව වුණේ නැහැ. අවසානයේදී උන්වහන්සේට ඌරන් මරණ ස්‌ථානයකට ගොස්‌ අමු ඌරු මස්‌ කා උන්ගේ ලේ බීමට සිදුවුණා. ඉන්පසුව උන්වහන්සේට සුව වුණු බවයි විනයේ සඳහන් වන්නේ. අමනුස්‌සයන්ගේ ක්‍රියාකාරීත්වය නිසයි, උන්වහන්සේ එම තත්ත්වයට පත්වුණේ. එහිදී උන්වහන්සේ කළේ වැරදි ක්‍රියාවක්‌ කියා පිළිගැනුණේ නැහැ.
තමන් විසින් සත්ත්වයකු නොමරා කවුරුන් හෝ මරපු සතුන්ගේ මස්‌ අනුභව කිරීම නිසා ප්‍රාණඝාතය කියන අකුසල කර්මය නම් සිදුවන්නේ නැහැ. එය ඉතා පැහැදිලියි. ප්‍රාණඝාත අකුසල කර්මය, සිදුවීමට නම් කරුණු පහක්‌ සම්පූර්ණ විය යුතුයි. සතෙකුවීම, පණ ඇති බව දැන ගැනීම, මැරීමේ ෙච්තනාව, උපක්‍රම යෙදීම සහ අවසානයේදී එම සතා මැරීම යන කරුණු පහ සම්පූර්ණ වූ විටයි ප්‍රාණඝාත අකුසලය සිදු වන්නේ.
මෙය අපි සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සාහ කරමු. යම්කිසි කෙනෙක්‌ යම් සතෙක්‌ මරන්න උත්සාහ කරනවා. සතෙක්‌ බව දැනගෙන උගුලක්‌ද අටවනවා. එම අවස්‌ථාවේදී සතා උගුලෙන් බේරී පලා යනවා. එතැනදී ප්‍රාණඝාත අකුසලයක්‌ සිදු වන්නේ නැහැ. එම පුද්ගලයාගේ සිත ඒ අවස්‌ථාවේ ද්වේශසහගතව ක්‍රියාකිරීම පමණයි සිදුවුණේ. එය ඔහුව වෙහෙසට පත්කරනවා විනා ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවන්නේ නැහැ
වෙළෙඳ පොළේ පවතින මස්‌ (පවත්තමාංශ) ගෙනැවිත් අනුභව කළාට ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. නමුත් මීට එරෙහි වන අය පවසන්නේ මස්‌මාංශ අනුභව කිරීමෙන් සතුන් මැරීමට අනුබල දීමක්‌ සිදු කරන බවයි
ඔවුන් නඟන මේ තර්කය සාධාරණද? අපි ඒ ගැන විමසා බැලිය යුතුයි
මනුස්‌සයා ඇතිවී තිබෙන්නේ ජීව විද්‍යාත්මක සාධක මතයි. එනිසා මේ දේවල් ලෝකයේ සහමුලින්ම නැතිකරන්න පුළුවන්ද? කෙනෙක්‌ හිතනවා නම් මස්‌මාංශ අනුභවය පවක්‌ කියා ඔහුට පුළුවන් ඉන් වැළකී සිටීමට. එහි වරදක්‌ නැහැ. නමුත් එම තත්ත්වය මුළු සමාජයේම ක්‍රියාත්මක කළ හැකිද? එය ප්‍රායෝගිකද? එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සතුන් මරණ මිනිසුන් සිටියා. අදත් සිටිනවා. ඉදිරියේදීත් සිටීවි. එය වෙළෙඳ ව්‍යාපාරයක්‌ වශයෙන් පවතිනවා.
හොඳයි අපි මොහොතකට හිතමුකෝ මස්‌මාංශ අනුභවය පවක්‌ කියා තර්ක කරන අය නිසා සමස්‌ත සමාජයම මස්‌, මාළු කෑම නතර කරයි කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ රටේ ධීවර අමාත්‍යාංශයක්‌ පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. හෘද සැත්කම් සඳහා මෝරා නමැති මත්ස්‍යයාගේ විශේෂ කොටසක්‌ පාවිච්චියට ගනු ලබනවා. මේ තත්ත්වය යටතේ එයත් වැළකී යනවා. එනිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ නිසා අප මේ සඳහා ඉදිරිපත් කරන විකල්ප මොනවාද?
මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සාකච්ඡා කරලා තිබුණා. දෙව්දත් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වර පහක්‌ ඉල්ලුවා. ඉන් එක්‌ වරයක්‌ වුණේ මාංශ භක්‌ෂණයෙන් තොර විය යුතුයි යන කාරණය. එය බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. ඕනෑ කෙනෙක්‌ එය පිළිගත්තාට වරදක්‌ නැති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. මේ ප්‍රශ්නය මින් එහාට ගෙන ගියොත් පරම අවිහිංසාවාදී තත්ත්වයක්‌ යටතේ අපි කොහොමද ජීවත් වන්නේ. බුදුදහම කියන්නේ නිගණ්‌ඨයන්ගේ දහමක්‌ නොවේ. එවැනි අන්තවාදී අදහස්‌වලින් සමාජයට හානියක්‌ මිසක්‌ වාසියක්‌ වන්නේ නැහැ. මෙම මිථ්‍යා මත දරන්නන් නිසා යම් කෙනෙක්‌ මාංශ භක්‌ෂණයෙන් ඉවත් වුණා කියමුකෝ, මෙහි තව ටිකක්‌ දුරට ගමන් කළාම මොකද වෙන්නේ. ඒ අයට හිතෙන්න පුළුවන් නිවෙස්‌වල මකුළු දැල් කැඩීමත් වරදක්‌ කියලා. නිවෙස්‌ අතුපතුගාන එකත් වරදක්‌ කියලා. මොකද අතපතුගාන කොට ඒ ස්‌ථානවල පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන්නේ. ගොවිතැන් කිරීමත් නුසුදුසුයි කියලා මේ අය හිතන්න පුළුවන්. පොළොව කොටනකොට පොළවේ සිටින සතුන් මැරෙනවනේ. ගොවිතැනට කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීමත් වරදක්‌ විදිහට පෙනෙන්න පුළුවන්. එවිට ගොවිතැනට හානිකරන සතුන් මැරෙනවානේ. වතුර ටිකක්‌ උණු කර බොන තත්ත්වයකුත් නැතිවෙයි. මොකද ඒවායේ ක්‌ෂුද්‍ර ජීවීන් සිටිනවනේ. අවසානයේදී හුස්‌ම ගැනීම, පොළොවේ ඇවිදීම පවා පවක්‌ කියල හිතන්න පුළුවන්. අප මේ මිථ්‍යාදෘෂ්ටික මත දරන්නන්ගේ හඬට ඇහුම්කන් දුන්නොත් අවසානයේදී අප කොහේටද ගමන් කරන්නේ. මේ තත්ත්වය යටතේ අපට සිදු වන්නේ ශ්‍රි ලංකාවෙන් බුදුදහම ඉවත් කිරීමටයි. මොකද ජීවත්වෙන්න බැරි පරිසරයක්‌ අර මිථ්‍යා මත දරන්නන් නිසා බිහිවනවානේ. අප ඊට ඉඩ දිය යුතුද?
මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කර ගැනීම වැදගත්.
පුංචි දරුවකුට පණු අමාරුවක්‌ හැදුනා කියමුකෝ. පණුවන් විනාශ කිරීමට බෙහෙත් කිරීම පවක්‌ කියලා හිතුවොත් මොකද වෙන්නේ. ප්‍රතිකාර නොලැබීම නිසා ඒ දරුවා මියයන්න පුළුවන්. එතකොට දරුවා මියයැමට සැලැස්‌වීම පාපයක්‌ නොවෙයිද?
එනිසා එක එක්‌කෙනාගේ ඔළුගෙඩි තුළ තිබෙන පුහු මත සමාජගත කිරීමට අවස්‌ථාවක්‌ නොදිය යුතුයි. අප ඊට අවස්‌ථාවක්‌ ලබාදුනහොත් සිදුවන්නේ විශාල විපතක්‌. මේ අය ඉදිරිපත් කරන කිසිකෙනකුට පදනමක්‌ නැහැ. පදනමක්‌ නැති කිසිදු සිද්ධාන්තයක්‌ නැති මත ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ සමාජ සංස්‌ථාව බිඳවැටීම පමණයි. සමාජයේ පැවැත්මට බාධා පැමිණවීම පමණයි. අද මේ ප්‍රශ්නය නිසා බොහෝ මිනිසුන් අසරණ වෙලයි සිටින්නේ.
සමාජයේ පැවැත්මට හානිකර ප්‍රශ්නයක්‌ අල්ලාගෙන සිටින මෙම පිරිසට අප රටේ සංවිධානය විය යුතු කොතරම් ප්‍රශ්න තියෙනවාද? ඇයි මේ පිරිසට බැරි මනුෂ්‍ය ඝාතන නොකරන සමාජයක්‌ වෙනුවෙන් හඬනගන්න. අද අවුරුදු තුනේ හතරේ පුංචි දරුවොත් අතවරයට ලක්‌වෙනවා. ඇයි ඒ වෙනුවෙන් මේ අය හඬ නගන්නේ නැත්තේ. අද මේ සමාජයේ හොරකම වැඩිවෙලා. ඇයි මේ පිරිසට ඒ වෙනුවෙන් හඬක්‌ නගන්න බැරි. ඒ වෙනුවෙන් සංවිධාන හදාගන්න.
සමාජ සහජීවනය බිඳ දමන මතිමතාන්තර හැදීමෙන් මේ අය සිදු කරන්නේ සමාජය තුළ විශාල හානියක්‌ ඇති කිරීමයි. මස්‌ මාංශ අනුභවය ඒ කාලයේදීත් තිබුණා. නමුත් ඒ පිළිබඳව මිනිසුන්ගේ ඔළුවලට මේ අදහස්‌ දැමීමක්‌ සිදුවුණේ නැහැ. අපි නොදැනුවත්ව සතුන් මැරීමක්‌ සිදුවීම ප්‍රාණඝාත අකුසලයට වැටෙන්නේ නැහැනේ. නමුත් ලෝභ දේවේශ මෝහ යන කාරණා අඩුවී අප මාර්ගඵල ලාභී තත්ත්වයට පත්වන විට මේ තත්ත්වය වෙනස්‌ වෙන්න පුළුවන්. වෙළෙඳ පොළෙන් මස්‌ අරගෙන පරිභෝජනය කරන කෙනෙකුට පවක්‌ සිදුවන්නේ නැහැ. නමුත් එම සතුන් පොළව මත සිටින බව ඔහු දන්නවනේ. සාමාන්‍ය ජීවිතයේදී නොවෙයි මාර්ගඵල ලාභී උත්තරීතර අවස්‌ථාවකදී එම තත්ත්වයෙන් පවා (මස්‌ කෑමෙන් පවා) වැළකෙන අවස්‌ථාවන් ඒවි. එවැනි තත්ත්වයකදී මස්‌ මාංශ අනුභවය ඉබේම වැළකෙන තත්ත්වයකුයි නිර්මාණය වන්නේ. එහෙත් යෑපීම් සඳහා මේ දේවල් සමාජයේ තියෙනවා. මෙයින් අපි අදහස්‌ කරන්නේ නැහැ සතුන් මැරිය යුතුයි කියා. නමුත් පවතින සමාජ යථාර්ථය අප තේරුම් ගත යුතුයි. අප කලින් සඳහන් කළ ආකාරයට සමචර්යාවට ඉඩදීම විනා ඊට එහා ගොස්‌ සමාජය විකෘති කිරීමේ අයිතියක්‌ අපට නැහැ. තමන්ගේ ආවේගශීලී අදහස්‌ ඉදිරිපත් කිරීමට, බොරු සිල් පෙන්වීමට මිත්‍යා මත දරන්නන් කරන දේවල්වලින් සිදුවන්නේ මහා සමාජ විනාශයක්‌ පමණයි. මේ අයගේ ක්‍රියා කලාපය බලවත් වුවහොත් බුදුදහම සමඟ රැඳී ඉන්න බැහැ කියලා සමාජයේ මතයක්‌ ඇතිවිය හැකියි. බෞද්ධ පින්වතුන් බෞද්ධකමින් ඉවත්වී වෙනත් අදහස්‌ වැළඳ ගන්න තත්ත්වයක්‌ මේ නිසා නිර්මාණය විය හැකියි. මස්‌මාංශ අනුභවයට එරෙහිව මිත්‍යා මත වපුරන මේ අය සියුම් ලෙස මේ කරන්නේ බෞද්ධ ජනතාව ඉන් ඈත් කිරීමක්‌ද යන්න ඔබ අපට සැකසහිතයි. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන්නේ ප්‍රයෝගික ලෙස ජීවත්වෙමින් බෞද්ධයන් ගෙවන ආගමික සහජීවනය බිඳ දැමීමයි.
මස්‌ මාංශ අනුභවය පිළිබඳව පුහු මත ඉදිරිපත් කරන මේ අයට බෞද්ධ විඥනයක්‌ නැහැ. බෞද්ධ චින්තනයක්‌ නැහැ. තමන්ට කටට ආපු දේ කියනවා. ඔවුන් සිදු කරන්නේ ජනප්‍රිය ලාභ සත්කාර ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීම පමණයි. මේ සම්බන්ධයෙන් සමහර මිත්‍යා මත ඉදිරිපත් කරන්නේ නිසි ලෙස පැවිදි උපසම්පදාවක්‌ ලැබූ භික්‌ෂුන් නොවේ. අපි ඒ අයට අභියෝග කරනවා යම් දවසක මේ පිළිබඳව අප සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා.
අද මේ ගැන කතා කරන අය සතුන් මරණ ආකාරය දක්‌වන වීඩියෝ පට පාසල්වල පවා දර්ශනය කරනවා. මේ හින්දා පුංචි දරුවන්ගේ පමණක්‌ නොව වැඩිහිටියන්ගේ ද මනස අවුල් වෙනවා. මෙවැනි වීඩියෝ පාසල්වල ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතුයි. ඊට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි. නිරෝගී දරුවන්ගේ මානසික තත්ත්වය බිඳ දැමීමට මෙම මිත්‍යා මත දරන්නන්ට ඉඩනොදිය යුතුයි
මස්‌ මාංශ අනුභවයට එරෙහිව පොතපත ලියන අය හෝ වේවා දේශන පවත්වන අය වේවා බුදු දහම ගැඹුරින් දකින්නැයිද ඒ ගැන අධ්‍යයනය කරන්න යෑයිද අපි ඔවුන් වෙත දැන්වීමට කැමැතියි. ධර්ම සන්නිවේදනයේදී ධර්ම සන්නිවේදකයා ඉතාමත් පරිස්‌සම් විය යුතුයි. අප සැත්කමක්‌ කරන අයුරින් ධර්ම සන්නිවේදනය කළ යුතුයි.
ත්‍රිපිටකයේම තියෙන මාංශ අනුභවය සම්බන්ධ තොරතුරු අප සොයා බැලුවා. අටුවාවේ සඳහන් කරුණුත් සොයා බැලුවා. ඒවගේම අපට වඩා තලතුනා ධර්මධර, විනයධර භික්‌ෂුන් වහන්සේලාගෙනුත් මේ ගැන විමසා බැලුවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස තමයි අප මේ කරුණු අනාවරණය කරන්නේ. මස්‌ මාංශ අනුභවයට එරෙහිව මත ඉදිරිපත් කරන්නන් පසු විපරමක්‌ කරලා නැහැ. ඉන් සමාජයට වී ඇති හානිය පිළිබඳව ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ අපිටයි. පුංචි දරුවන් ඇතුළු වැඩිහිටියන් මේ ගැන ඇති කරගෙන තිබෙන අනියත බිය නිසා අපට ඊට ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙනවා. ඔවුනගේ අනියත බිය නැති කරන්න වෙලා තියෙන්නේ බුදුදහම පිළිබඳව ගැඹුරින් අදහස්‌ දක්‌වන්න පුළුවන් ස්‌වාමීන් වහන්සේලාට පමණයි. අප ඒ කාර්යය කළ යුතුයි. නැතිනම් සමස්‌ත සමාජයටම වෙන්නේ හානියක්‌.
මෙම මිත්‍යා ඉදිරිපත් කරන්නන් එය සමාජගත කිරීම සඳහා විශාල මුදලක්‌ වැයකර තිබෙනවා. මේ අයට මේ මුදල් කොයින්ද? මේක ජාවාරමක්‌. මෙම ජාවාරම කරන පිරිස කියන කතා, ප්‍රකාශ කර ඇති දේවල්වලින් බෞද්ධාගමට වන්නේ විශාල හානියක්‌. ඇතැම් අය භික්‌ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් පවා ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. මේ අය ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා නොවේ. අප සමාජයේ මිනිසුන් මස්‌ මාංශ අනුභව කළා තමයි. නමුත් එහි ඇලුනේ නැහැ. ඔවුන්ගේ සුන්දර පවුල් ජීවිත අවුල් කරන මේ මිත්‍යා මත අප පරාජය කළ යුතුයි.

Life Rahas

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

“පාත්‍ර ධාතුව“


බුදුරජාණන් වහන්සේ දන් වැළඳීමට ගත් බඳුන “පාත්‍ර ධාතුව“ නම් වේ. බුදුරදුන් තමන් වහන්සේ ගේ ජීවිත කාලය තුළ දී පාත්ර කිහිපයක් භාවිතා කර ඇති බව පෙනෙයි.
මහ බෝසතුන් බුදු බව ලබා ගැනීමට පෙර භාවිතා කළ මැටි පාත්රයක් ගැනත් රන් තලියක් ගැනත් ධර්ම සාහිත්යයේ සඳහන් වේ. මහ බෝසතුන් ගිහිගෙයින් නික්ම පැවිදි බව ලබාගත් දිනයෙහි ඝටීකාර බ්රහ්ම රාජයා බෝසතුන්ට අටපිරිකරක් පිදුවේය. ඒ තුළ වූයේ මැටි පාත්රයකි. මෙය උන් වහන්සේ පරිහරණය කළ මුල් ම පාත්රය යි. සුජාතා සිටුදියණිය කිරිපිඬු පූජා කරන අවස්ථාව දක්වා සිද්ධාර්ථ ගෞතම තාපසතුමා පරිභෝග කළේ ඝටීකාර බ්රහ්ම රාජයා පිදූ මේ මැටි පාත්රය යි. සිටුදියණිය කිරිපිඬු පූජා කරන කල්හි මේ මැටි පාත්රය අතුරුදහන් වූ බව ජාතක අටුවා නිදාන කථාවේ දැක්වේ.
මෙයට පසුව මහ බෝසතුන් දන් වැළඳූ බඳුනක් ගැන සඳහන් වන්නේ බෝසතුන් බුදුවීමට පෙර අජපාල නුගරුක මුල වැඩ සිටින අවස්ථාවේ දී ය. එහි දී සුජාතා සිටුදියණිය මහ බෝසතුන්ට රන් තලියකින් කිරිපිඬු පූජා කළ අතර දන් වැළඳූ බෝසතුන් නේරංජනා නදිය වෙත ගොස් “ඉදින් අද මා බුදු වන්නේ නම් මේ තලිය උඩු ගං බලා යේවා ! බුදු නොවේ නම් යටි ගං බලා යේවා !” යි කියා අදිටන් කොට රන් තලිය ගඟට දැමුවේය. තලිය ක්රමයෙන් ගඟ මැදට ගියේය. ගඟ මැදට ගොස් මහා වේගයෙන් උඩු ගං ගොස් නදියේ ගිලී ගියේය.
නදියේ ගිලුණු ඒ රන් තලිය කාලනාග රාජ භවනට ගියේය. මෙසේ අප බෝසතුන් කිරිපිඬු වැළඳූ රන් තලිය පමණක් නොව කකුසඳ, කෝණාගම, කාශ්යප යන තුන් බුදුවරයන් වහන්සේලා බෝසත් සමයෙහි කිරිපිඬු වළඳා නදියේ පා කළ තලි තුන ද ඒ නාග ලෝකයේ මේ දක්වා තැන්පත් ව ඇත.
මෙයට පසුව නැවත වරක් පාත්ර ධාතුවක් ගැන සඳහන් වන්නේ බුදුරදුන් බුද්ධත්වයට පත්වී සත් වැනි සතිය අවසානයේ දී ය. බුදුහු බුද්ධත්වයට පත් වී සත් වැනි සතිය “රාජායතන” නම් වූ කිරිපලු රුකමුල වැඩ සිටි සේක. ඒ සතිය අවසානයේ එතැනට පැමිණි තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදුරදුන්ට බැදපු සහල් පිටි හා මී පැණි යොදා කළ අග්ගලා පූජා කිරීමට සූදානම් වූහ. බුදුරදුන්ට ඒ ආහාරය පිළිගැනීමට කිසිවක් නොවීය.
මේ බව දුටු සතරවරම් දෙව්රජ දරුවෝ ඉන්ද්‍රනීල මාණික්ය පාත්‍ර සතරක් බුදුරදුන්ට පූජා කළහ. බුදුහු එය ප්රතික්ෂේප කළහ. ඉන් පසු සතරවරම් දෙව්රජ දරුවෝ ගල් පාත්ර සතරක් බුදුරදුන්ට පිළිගැන්වූහ. බුදුහු දෙව්රජ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ ගල් පාත්ර සතර පිළිගත්හ. පිළිගෙන ඒ පාත්ර සතර එකපිට එක තබා පාත්ර සතර එකක් වීමට අදිටන් කළසේක. එය එසේ ම විය. බුදුහු ඒ ගල් පාත්රයෙන් දන් පිළිගෙන වැළඳූහ. බුද්ධත්වයට පත් වීමෙන් පසුව උන් වහන්සේ මුලින් ම දන් වැළඳුවේ මේ පාත්රයෙනි. එබැවින් මේ පාත්ර ධාතුව මුළු මහත් බෞද්ධ ලෝකයාට ම ඉතා වැදගත් වෙයි.
බුදුරදුන් ගේ මේ පාත්ර ධාතුන් වහන්සේට දඹදිව දේවපුත්ර නුවර දී “පාත්රමහ” නම් වූ විශේෂ පූජාවක් පවත්වා ඇත. මේ ගැන වැඩි විස්තර සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වර්ගයේ කඤ්චනදේවී වස්තුව කියැවීමෙන් දත හැක.
ක්රි. ව. 5 වැනි සියවස වන විට මේ පාත්‍ර ධාතූන් වහන්සේ පකිස්ථානයේ පුරුෂ පුරයේ (පෙෂාවෝරයේ) අලංකාර ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ බව ෆාහියන් හිමියන් තම වාර්තාවේ සඳහන් කර ඇත. එසේ ම ඒ වාර්තාවේ පාත්ර ධාතූන් වහන්සේගේ ස්වරූපය කෙබඳු දැ’යි කියාත් සඳහන් කර ඇත. එය මෙසේයි.
“බුදුන් වහන්සේ ගේ පාත්ර ධාතුව තිබෙන්නේත් පුරුෂ පුරයේ ය... මේ පාත්රයට බුසල් 1/4 ක ප්රමාණයේ ද්රව්ය දැරිය හැකි ය. එය විවිධ වර්ණයෙන් යුක්ත ය. එහෙත් කාල වර්ණය අවශිෂ්ට වර්ණයන් අබිබවා සිටී. පැහැදිලි ලෙස ම මේ පාත්රයේ ස්ථර 4ක් දැක්ක හැකිය. එය දළ වශයෙන් අඟලෙන් 1/5 ක් පමණ ඝන ය. එයින් තියුණු කාන්තියක් විහිදෙයි...”
හියුං සියං හිමියන් ද මේ පාත්ර ධාතුව ගැන සඳහන් කරයි. හියුං සියං හිමියන් එහි ගියේ ෆාහියන් හිමියන් එහි ගොස් වසර දෙසීයකට පමණ පසුව ය. ඒ වන විට පාත්ර ධාතු මන්දිරයේ නටබුන් දක්නට තිබූ අතර පාත්ර ධාතුන් වහන්සේ වැඩ සිටියේ පර්සියා (ඉරාන) දේශයේ රජතුමා ගේ මාලිගාවේ ය. ඒත් මේ වන විට ඒ පාත්ර ධාතූන් වහන්සේ කුමන ස්ථානයක වැඩ සිටිනවා දැ’යි කිව නොහැක.
විශාලා මහනුවරට තරමක් ඈතින් කේසාරියාහි මහා ස්තූපයක නටබුන් දක්නට ඇත. මේ ස්තූපය තුළ බුදුරදුන් ගේ පාත්ර ධාතුවක් තැන්පත් ව ඇතැ’යි සැලකේ. මේ මහා ස්තූපයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.
සර්වඥ පාත්ර ධාතූන් වහන්සේ මධුරා පුරයේ වැඩ සිටින බව බුද්ධවංස පාළියේ දැක්වේ. “මධුරායං භගවතො පත්තො” යනුවෙන් එහි සඳහන් කර තිබුණත් එයට වඩා විස්තරයක් දක්වා නැත. ධර්මාශෝක මහාධිරාජයා සතුව බුදුරදුන් ගේ පාත්ර ධාතුන් වහන්සේ නමක් තිබී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක මහ රජු තමා සමීපයේ තිබූ බුදුරදුන් දන් වැළඳූ ඒ පාත්ර ධාතුන් වහන්සේත් එම පාත්ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේට දුන්නේය. සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත පාත්ර ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කර වූහ.
දේවානම්පියතිස්ස රජු සර්වඥ ධාතු නිදන් කර ලංකාවේ යොදුනෙන් යොදුන විහාර කරවා පාත්ර ධාතුව තම මැදුරේ තබා ගෙන පුද සත්කාර පැවැත්වීය.
එතැන් පටන් පාත්ර ධාතූන් වහන්සේ සිංහල රජ දරුවන් ගේ මහත් වූ පුද සත්කාර ගෞරව ලබමින් ආරක්ෂා විය. මේ අතර වළගම්බා රජු සමයේ දී එක් සොළියෙක් සර්වඥ පාත්ර ධාතුව පැහැර ගෙන ඉන්දියාවට පලා ගියේය. ගජබා රජු (ක්රි. ව. 114 – 136) ඉන්දියාවට ගොස් පාත්ර ධාතුන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරවීය. මේ බව රාජාවලියේ දැක්වේ.
සිංහල රජ දරුවෝ දළදා වහන්සේත් පාත්ර ධාතූන් වහන්සේත් එක ම මැදුරක් තුළ ආරක්ෂිත ව තැන්පත් කර පුද පූජා පැවැත්වූහ. යමෙකුට ලංකාවේ රජ බවට පත්වීමට අවශ්ය නම් ඔහු හෝ ඇය සතුව මේ ශුද්ධ වස්තූන් දෙනම තිබිය යුතු යයි පිළිගැනීමක් විය.
බුද්ධදාස මහ රජුගේ දෙටු පුත්රයා වූ උපතිස්ස රජු (ක්රි. ව. 365 – 406) සමයේ දී ලංකාවේ දුර්භික්ෂයක් හා රෝග බියක් හට ගත්තේ ය. එකල්හි උපතිස්ස රජු භික්ෂු සංඝයා ගේ උපදෙස් පරිදි සර්වඥ ධාතු තැන්පත් කර ඝන රන් බුද්ධ ප්ර්රතිමාවක් තනවා පාත්ර ධාතුවට පැන් පුරවා පැන් සහිත පාත්ර ධාතුව ප්රතිමාවේ දෝතෙහි තබා ඒ බුද්ධ ප්රතිමාව මැනවින් සරසන ලද රථයක තැන්පත් කරවීය.
පසුව රජු සිල් සමාදන් වී මහජනයා ද සීලයෙහි පිහිටුවා නුවර මැනවින් සරසවා භික්ෂු සංඝයා පිරිවරා ගෙන මහමගට බැස්සේ ය. භික්ෂු සංඝයා රතන සූත්රය දේශනා කරමින් පිරිත් පැන් ඉසිමින් නුවර වටා වැඩම කළහ. පසුදා හිරු නැඟෙන කල්හි මහ වැසි වැස්සේය. සියලු දුර්භික්ෂ හා රෝග බිය දුරු වී ගියේ ය. රටට සියලු යහපත උදා විය.
මෙයින් මහත් වූ සතුටට පැමිණි උපතිස්ස රජු “අනාගතයේ ලක්දිව මෙවැනි දුර්භික්ෂයක් හා රෝග බියක් ඇති වුව හොත් මෙසේ ක්රි්රයා කරන්නැ’යි කියා නියෝගයක් ද කළේය. මේ කථා පුවත චූළවංශයේ දැක්වේ.
මෙසේ සිංහල රජ දරුවන් ගේ මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ සර්වඥ පාත්ර ධාතුන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක තැන්පත් ව ඇද්දැ’යි කියා නිශ්චිත ව කිව නොහැක. පාත්ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇති ස්ථානය ගැන විවිධ මත දක්නට ඇත.
දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල භූමියේ ඇති ස්තූපය තුළ හෝ ඒ සමීපයේ ඇති අනෙක් ස්තූපය තුළ හෝ දළදා මැදුර තුළ ඇති කුඩා ස්තූපය තුළ හෝ මල්වතු මහා විහාරයේ ස්තූපය තුළ හෝ සර්වඥ පාත්ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇතැ’යි සැලකේ.
ඇතැම් ජනප්රවාදවලට හා ඇතැම් ලේඛනවලට අනුව අප ලොව්තුරා බුදුරදුන් දන් වැළඳූ පාත්ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇත්තේ ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ ස්තූපය තුළ යි. ප්රමාණයෙන් ඒ තරම් විශාල නොවන මේ ස්තූපය බෙලිගල දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ සමීපයේ පිහිටා ඇත.
බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයට උතුරින් පිහිටි සුප්පාරක පටුනේ (සොපාරාහි) තිබී එක් පුරාණ ස්තූපයක් හමු වී ඇත. මේ ස්තූපය ගෝතමීපුත්ර නමැති රජෙකු විසින් කරවා තිබේ. මෙහි කළ කැණීම්වලින් සර්වඥ පාත්ර ධාතූන් වහන්සේ ගේ කැබලි කිහිපයක් ද තවත් බොහෝ අගනා පුරාවස්තු ද හමු වී ඇත.
අතිපූජ්ය හික්කඩුවේ ශශ්රී සුමංගල නාහිමියන් කළ ඉල්ලීමකට අනුව මේ පාත්ර ධාතු කැබලිවලින් කොටසක් ලංකාවට ලැබුණි. එසේ ලැබුණු සර්වඥ භික්ෂා පාත්ර ධාතු කොටස 1882 ඔක්තෝබර් මස 26 වැනි දින කොළඹ මාලිගාකන්ද විද්යෝදය පිරිවෙණේ දී මහජනයාට ප්රදර්ශනය කර ඇත. මේ වන විට එම පාත්ර ධාතූන් වහන්සේ හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමියන් වැඩ සිටි දෙමහල් මැදුරේ උඩ ඇති පාත්ර ධාතු මන්දිරයේ ආරක්ෂිත කරඬුවක් තුළ වැඩ සිටිති.
මේ භික්ෂා පාත්ර ධාතු කොටස ප්රමාණයෙන් අඟලකට වඩා විශාල නැත. අළු පැහැයට හුරු දුඹුරු පැහැයකි. පාත්ර ධාතුන් වහන්සේ බොහෝ කලකට පසුව 2007 වසරේ දී මෙන් ම මේ වසරේ දී ද වෙසක් පොහොය වෙනුවෙන් දින කිහිපයක් මහජනයා සඳහා ප්රදර්ශනය කළ අතර අතිවිශාල ජනකායක් ඉතා දුර්ලභ වූ මේ ශුද්ධ වස්තුව සියැසින් දැක බලා ගෙන වන්දනා කිරීමට විද්යොදය පිරිවෙණට පැමිණියහ.
මෙසේ බුදුරදුන් දන් වැළඳූ පාත්ර කිහිපයක් ගැන ධර්ම ග්රන්ථයන්හි සඳහන් ව තිබුණත් ලංකාවාසීන් වන අපට දැනට සියැසින් දැක බලා ගෙන වන්දනා කිරීමට ඇති පාත්ර ධාතූන් වහන්සේ කොළඹ මාලිගාකන්ද විද්යොදය පිරිවෙණේ වැඩ සිටින මේ පාත්ර ධාතූන් වහන්සේය.
ජයාරූපය - ගයාන් චනුක විදානපතිරන මහතා විසින් රචිත ග්‍රන්ථයක් ඇසුරෙන්

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤