කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය
(ගලෙන්බිඳුණුවැව, ලබුනේරුකන්ද ආරණ්‍ය සේනාසනය)
රෝහිතස්ස සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි පැවැත්වූ දේශනයක මුල් කොටසයි මේ. ලොව තමා තුළම දැකීමට, ලොවෙහි ඇති වීම නැති වීම දැකීමට මේ දේශනය උදව් වේ. මෙය පළ වනුයේ විශේෂඥ වෛද්‍ය උපුල් ඒකනායක මහතාගේ සහ මාතර කේ. ජී. මුනිදාස මහතාගේ අනුග්‍රහයෙනි.
මේ පින්වත් සෑම දෙනාම දැන් සූදානම් වෙන්නේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ මේ ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නයි. ඒ නිසා හැම දෙනාම තමන්ගේ සිත, නොයෙක් නොයෙක් අරමුණුවල දුවන්නට නොදී බොහොම උවමනාවෙන් මේ දේශනාව ඔස්සේම මෙහෙයවන්නට ඕන.
පින්වතුනි, ආශ්‍රව ගණයෙහි ලා වැටෙන කෙලෙස්වලට හිතෛෂි වූ වචන නම් අපට හොඳට හුරු පුරුදුයි. චූටි, පොඩිම දෙයක් වුණත් මතක හිටිනවා. ඊට අනුසාරීව අපට හිතාගන්න හෝ පුළුවන්. නමුත් අනාශ්‍රව ගණයෙහි ලා වැටෙන, කෙලෙස් ඇසුරු නොකළ වචන අපට හුරු නෑ. ඒ හින්දා ඒවා මතක් කෙරුවත් මතක හිටින්නේ බොහොම අඩුවෙන්. එබඳු වචනයක් මතක හිටින්න නම්, අපේ හිතේ ධාරණය වෙන්න නම් හොඳට කන් යොමු කරලා අහන්න ඕන. චූටි දෙයක්, අහකට වෙන දෙයක් කල්පනා කරලා මේ පැත්තට හිත යොමු කරන කොටත්, ඉස්සර වෙලා කියපු දේ සොයාගන්න බැරි තරම් දුරට අතුරුදන් වෙනවා. එච්චරටම පුදුමයි. ඉතින් මේ කරන දේ නිසි ප්‍රයෝජනයක් ලැබෙන්න නම් හොඳින් අහන්නම ඕන.
මෙතැනදී අද දවසේ දේශනාව සඳහා මම මාතෘකා කළේ බොහොම ගැඹුරු අර්ථයක් දෙන සූත්‍ර පාඨයක්. අමාරු වුණත්, ගැඹුරු වුණත්, මම බොහෝ දුරට බොහෝ තැන්වලදී මේවා මතක් කරන්නේ කවදාම හරි දවසක අපි මේ සසර කතරින් මිදෙන්නේ ඒ ගැඹුරු අරුත් ඇති ධර්මය අවබෝධ වීමෙන්මයි. ඉතින් අපි ගැඹුරුයි කියලා ඒ දහම අහන්නේ නැතිව ඉන්නකොට හැමදාම අපිට ඒ ගැඹුර ගැඹුරුමයි. කවදාවත් අපිට ඒක සරල වෙන්නේ නැහැ.
ඉතින් ටික ටික පුළුවන් නම් ඒ ගැඹුරු දහම් කරුණු තේරුම් කරගන්න, ඒ වචන හරි ඉස්සර වෙලා අපිට හුරු - පුරුදු වෙයි. ඊටත් වඩා මම හැමදාමත් මතක් කරන දෙයක් තමයි, මේ අනන්ත අපරිමිත සංසාරයක අපි හැම කෙනෙක්ම දීර්ඝ කාලයක් එනවා. ඒකේ අගක් මුලක් පේන්නේ නෑ. දෙමව්පියො, සහෝදරයො මැරෙනකොට අපි අඬනවා, වැලපෙනවා. අපි මැරෙනකොට ඒ අය අඬනවා, වැලපෙනවා. අඬ අඬා යනවා මිසක මේ සසරින් එතෙර වන්න අපි කවුරුවත් දන්නේ නැහැ. හැමදාම ලෝකයේ පවතින, එහෙත් ලෝකයට නොපෙනෙන ඇත්තක් තියෙනවා. කවදාම හරි දවසක ලොවුතුරා බුදු රජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙලා ඒ ඇත්ත මතු කරලා ලෝකයට පෙන්නුවාට, ඇස් තියෙන පුරුෂයෙකුත් වෙලා, ඒ දහම දැකපු දවසටයි, අවබෝධ කරගත් දවසටයි, අපි සසරින් මිදෙන්නේ.
ඉතින් අද දවසේදී මම මාතෘකා කළේ ඒ දුර්ලභ වූ බුද්ධ දේශනාවේ ඡායාවක් හෝ පෙන්නන්න පුළුවන් වන දේශනාවක්. මේ දේශනාව ගොඩාක් ගැඹුරුයි. නමුත් අපි ටික ටික හරි ඒ මාවතේ ගියොත් කවදාහරි දවසක අපිට එතෙර වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාව හොඳින් අහන්න ඕන. වෙනදා වගේ මම අර එදිනෙදා විඳින ජීවිතයේ දුක ගැන මතක් කරන්නේ නැහැ. ඒකට කාලය වැය කරන්නේ නැහැ. අපි ඒක ඕන තරම් අහලත් තියෙනවා. අහන්න ඕන නම් ඒ දේශනාත් ඇති. අපි දැන් මේ සූත්‍රගත අර්ථය ටිකක් තේරුම් කරගන්න උත්සාහවත් වෙමු.
මේ සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකායේයි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ පර්යප්ති ශාසනය බෙදනවා විනය, සූත්‍ර, අභිධර්ම කියලා කොටස් තුනකට. එයින් සූත්‍ර කොටසේ, සංයුක්ත නිකායේ තමයි මේ රෝහිතස්ස සූත්‍රය තියෙන්නේ. රෝහිතස්ස කියලා දිව්‍ය පුත්‍රයෙක් බුදු රජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට උන්වහන්සේ දීපු පිළිතුර තමයි මේ සූත්‍රයෙන් කියවෙන්නේ. මේ රෝහිතස්ස කියන තැනැත්තා දෙවියෙක් කිව්වාට, එයා ඇත්ත වශයෙන්ම බ්‍රහ්මයෙක්. මේ දිව්‍ය කියන වචනය, අල්පායුෂ්ක දේව හා දීර්ඝායුෂ්ක දේව කියලා කොටස් දෙකකට බෙදෙනවා. චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය හා තුසිතය වැනි දිව්‍ය ලෝකවල වෙසෙන දෙවිවරු අල්පායුෂ්ක දේවයි. බ්‍රහ්මපාරිසජ්ඣය, බ්‍රහ්මපුරෝහිතයෙ ඉඳලා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ඉහළ බ්‍රහ්මලෝකවල දෙවියන්ට කියනවා දීර්ඝායුෂ්ක දේව කියලා.
මේ දීර්ඝායුෂ්ක බ්‍රහ්මලෝකයක උපන් දෙවියෙක් තමයි, මේ රෝහිතස්ස.
මේ රෝහිතස්ස කියන දෙවියා බුදු රජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කාශ්‍යප සම්මා
සම්බුද්ධ ශාසනයේදී මම මහත් වූ ඍද්ධි තියෙන, අෂ්ටසමාපත්ති ලාභී ඍෂිවරයෙක්. මට එදා හැකියාව තිබුණා එක කකුලක් ඔසවලා, යොදුන් සීයක් ඈතින් ඊළඟ පියවර තබන්න. එවැනි ඍද්ධියක් තිබුණු මම මේ විශ්වයේ, මේ ලෝකයේ කෙළවරක් හොයාගන්න කියලා ගියා. එහෙම ගිහිල්ලා ලෝකයේ කෙළවරක් හොයාගන්න බැරිවෙලාම මම කලුරිය කළා. භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ කෙළවර දකින්නට යා යුත්තේ කොහොමද?”
බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා: “රෝහිතස්ස, කිසිම වෙලාවක පා ගමනින් ගිහිල්ලා නම් මේ ලෝකය කෙළවරක් කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ (පා ගමනින් කිව්වහම හොඳට මතක තියාගන්න මේ ඇඟේ, කයේ හයියෙන් යානාවක් හැදුවත් එකත් අයිති පා ගමනට තමයි). එතකොට පා ගමනින් ගිහිල්ලා ලෝකයේ කෙළවරක් කරන්න පුළුවන් කියල මම කියන්නේ නෑ. නමුත් ලෝකයේ කෙළවරකට නොගොස් කවදාවත් දුක් කෙළවර කරන්න පුළුවන්කමකුත් නෑ,” කියලා.
එහෙම නම් ලෝකයේ කෙළවර මොකක්ද? ඇහැ ලෝකයේ කෙළවරයි, රූපය ලෝකයේ කෙළවරයි, කන ලෝකයේ කෙළවරයි. ශබ්දය ලෝකයේ කෙළවරයි. මෙසේ නාසය – ගන්ධය, දිව - රසය, කය - පොට්ඨබ්බය හා මන – ධම්මායතනය කියන මේ දොළොස් ආයතන ටිකම පෙන්නනවා මෙන්න මෙතැන තමයි ලෝකයේ කෙළවර කියලා. ඊට පස්සේ මුළු අර්ථයම එකට කැටි කරලා, කෙටි කරලා රෝහිතස්ස දෙවියාට මෙන්න මෙහෙම ගාථාවකින් දේශනා කරනවා:
“ඉමස්මිං ඥේව ඛ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේමි. ලෝක සමුදයඤ්ච පඤ්ඤාපේමි. ලෝක නිරෝධඤ්ච පඤ්ඤාපේමි. ලෝක නිරෝධ ගාමිණී පටිපදඤ්ච පඤ්ඤාපේමි.”
“මේ සඤ්ඤා සහිත, මනස සහිත, බඹයක් පමණ වූ ශරීරයකින්ම මම ලෝකයද, ලෝකයේ ඇති වීමද, ලෝකයේ නැති වීමද, නැති කරන මගද පනවමි.”
මෙන්න මේ ටිකයි අපි අද තේරුම් කරගන්න ඕන. විශේෂයෙන් මම මතක් කරන්න ඕන කාරණාවක් තමයි, අපි ගොඩාක් දෙනා කියනවා නේ අපි බෞද්ධයි කියලා. අපි බය නැතිව ලෝකයට ප්‍රකාශ කරනවා: ‘මේ බුදුදහම තමයි වටිනාම, ශ්‍රේෂ්ඨතම දහම. මේ දහමට සමාන දහමක් වර්තමාන ලෝකයේ කොහේවත් නැහැ. වෙන කිසිම ආගමකට, කිසිම දර්ශනයකට වඩා බුදුදහම වටිනවා, ශ්‍රේෂ්ඨයි’ කියලා අපි කියනවා. නමුත් භය නැතිව, සිංහ නාදයක් කරනවා වගේ, මෙහෙම ප්‍රකාශයක් කරන්න අපිට හේතුවක් තියෙන්න ඕන. කුමක් දන්න නිසාද, කුමක් දකින නිසාද, අපි මෙහෙම කියන්නේ කියලා කියන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕන. එහෙම නැතිව හරි තැනකට අහු වුණොත් වාදෙන් අපිව තළල පොඩි කරලා දායි! ඇයි? අපි ඔය වචන කිව්වාට සමහර විට ගොඩාක් දේ දන්නේ නැහැ. ඇයි? නරක දේවල් කරන්න එපා කියන අදහස මත නම්, ‘නරක දේවල් කරන්න එපා, හොඳ දේවල් කරන්න’ කියන ශාස්තෘවරු තව ඉන්නවා. එසේ කියන දර්ශනත් තව තියෙනවා. ‘අකුසල් කරන්න එපා, කුසල් කරන්න’ කියන අයත් තව ඉන්නවා. ක්‍රියාවාදී, කර්මවාදී ශාසන තව තියෙනවා. ගොඩාක් ආගම් තියෙන්න පුළුවන්. නරක දේ නොකරන්න, දෙමව්පියන්ට සහෝදරයන්ට සලකන්න, සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, ඔය වගේ වැරදි වැඩ කරන්නේ නැතුව කුසල් කරන්න කියන ශාසන තව තියෙනවා. අනිත් ආගම් දර්ශනවලට වඩා බුදු දහම ගොඩාක් වටිනවා කියලා ඒ හේතුවෙන් නම් අපිට කියන්න බැහැ.
අනිත් හැම දර්ශනයකටම වඩා බුදු දහම ශ්‍රේෂ්ඨ වෙන්නෙ, බුදු දහම වටින්නෙ කොහොමද, කුමක් නිසාද කියල ඇහුවොත් අපිට බය නැතිව කියන්න පුළුවන් ගොඩාක් කාරණා නොවෙයි, එක තැනක් එක දර්ශනයක් තියෙන්න ඕන. කවුරුහරි වාදයකට ආවොත් සමහරවිට අපේ තියෙන අදහස්, දෘෂ්ටි ගැන පැය ගණනක හෑල්ලක් අහගෙන ඉන්නේ නැති වෙයි නේද? එතකොට අපිට පුළුවන් වෙන්න ඕන බුද්ධ දර්ශනයේ එක තැනකින්, ‘මෙන්න මේක නිසයි අනිත් ඒවාට වඩා වෙනස් වෙන්නේ,’ කියලා පෙන්නන්න. අපි කියමු දැන් සමහර විට තියෙන ගොඩාක් ගැඹුරු වෙනත් දර්ශනයක් ගැන ඇහුවොත්, මේක කොච්චර හරිද කියලා, වැලඳගන්න මට්ටමේ දර්ශන පවා තියෙනවා. මේවාත් අපට අදාළ නොවෙනවා නොවෙයි. වටපිටාව තේරුම් ගන්න-එක හොඳයි.
අසූවෙ දශකයේදී ලෝකය පිළිගත්ත හොඳම දාර්ශනිකයා තමයි, ඉන්දියාවේ පහළ වෙච්ච ක්‍රිෂ්ණමූර්ති තුමා. එතුමාගේ දර්ශනය ටිකක් බලමු. එතුමාගේ විචාරාත්මක චින්තනය අවදි වෙන්න පටන් ගත්තා කියන්නේ වයස අවුරුදු නවයේදී පමණ. මේ ක්‍රිෂ්ණමූර්ති දරුවාගේ ගෙදර හිටපු පොඩි මල්ලී කෙනෙක් මැරුණ දවසේදී අම්මා කෑගහලා ඇඬුවාලු. මෙයාට නොතේරෙන නිසා ඒ දිහා නිකම් බලාගෙන ඉඳලා තියෙනවා.
ඊට ටික කලකට පස්සේ දවසක් මෙයා අම්මත් එක්ක ගමනක් යන්න බස් නැවතුම්පොළේ හිටගෙන ඉන්නකොට, පාරේ එතැනින් කාගෙදෝ මිනියක් ගෙන යනවා. මිනිස්සු ඒ පස්සේ අඬ-අඬා යනවා. මෙයා අම්මා දිහා බැලුවා. නමුත් අම්මා අඬන්නේ නැහැ. මෙයාට හරි ප්‍රශ්නයක්. එදා මල්ලී මැරුණ වෙලාවේ මේ ගොල්ලෝ කවුරුත් ආවේ නෑ. නමුත් අද මේ අය අඬනවා, අම්මා අඬන්නේ නැහැ. මේ ගැන ඔහු හිතුවා. එතකොට මේ දුක කියන-එක ඇති වෙන්නේ තණ්හාව නිසා, මම කියල - මගේ කියලා ගත්ත නිසා නේද කියලා එතුමාට ඒ වෙලාවෙ හිතුණාලු. එය වැරදිද? නෑ. හරිනේ. ඒ වුණත් ඔය වගේ දර්ශන තිබුණාට, අපිට ඕන හරියට ලස්සනට තැනක් පෙන්වීම නොවෙයි. ඒ සඳහා ළඟා වෙන්න ඕන හැටි පෙන්නන-එකයි.
ක්‍රිෂ්ණමූර්ති තුමා ඔය වගේ ගොඩාක් දේවල් විස්තර කරලා තියෙනවා: “හැමදාම උදා වෙන්නෙ අලුත් දවසක්, අලුත් මොහොතක්. නමුත් අතීතය නමැති ශෝචනීය බැම්ම නමැති මතකය විසින් අපේ ජීවිතය එක තැනක පල් කරනවා. ඒ නිසා අපට ඒ නැවුම් බව තේරෙන්නේ නෑ. පෙනෙන්නේ නෑ. ඇයි? ඒ අපිට පෙනෙන්නේ ඊයෙ දේම, පරණ තිබූ දේම, නැවත හමු වුණා කියලා. ඒකට හේතුව තමයි, අපි යමක් දිහා බලන්නේ සිතිවිල්ලකින්. සිතිවිල්ලකින් යමක් දිහා බැලුවහම නොදන්නා දෙයක් අපේ දැනුමට එකතු වෙනවා. ඊට පසුව අපි යමක් දිහා බලන්න හදනකොට අර සිතුවිල්ලම ඉදිරිපත් වෙනවා” කියලයි එතුමා කියන්නේ. ඉතාමත් ගැඹුරු වගේම මේ දර්ශනය ගොඩාක් දුරට නිවැරැදියි. නමුත් ඊට පස්සේ එයා දෙන විසඳුම වන්නේ “නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි. ඒ නිසා හිතන්නේ නැතුව ඉන්න.” අර කතා කරපු ඔක්කෝම ටිකේ වටිනාකම එතැනින් ඉවරයි. හරියට තව්තිසා දිව්‍යලෝකය ගැන, එහි දෙවිවරු ගැන, එහි තිබෙන විජයොත්පාය කියන ලස්සන මාළිගාව ගැන, ශක්‍ර දෙවියො ගැන, මෙහෙමයි මෙහෙමයි කියල අලංකාර විස්තරයක් කියාගෙන ගිහිල්ලා එතැනට යන මඟක් පෙන්නුවේ නැතුවා වාගෙයි. එතකොට එක දැනුමක් විතරයි. අනිත් දර්ශනවලටත් වඩා ඔය කතා කරපු දර්ශනය තුළත් පුද්ගලභාවය තුළින් එක් වෙන ක්ලේශයක් විතරයි අඩු වෙන්නේ. තවම අවිද්‍යා අනුසය එහෙමමයි.
හොඳ දේ කරන්න. තණ්හාවෙන් ලෝකය අල්ලාගන්න එපා කියන මෙවැනි දර්ශන තියෙනවා. සොක්‍රටීස්ගෙ දර්ශනයත් ගොඩාක් ගැඹුරුයි. ඔබ අහලා ඇති සිග්මන් ෆේරායිඩ් වැනි අයගේ දර්ශන ගැනත්. මම මේවා නිකමටයි මතක් කළේ. මේවා තුළින් කවදාවත්ම බැහැ බුදු දහම ශ්‍රේෂ්ඨයි කියන්න. නමුත් බය නැතිව මේ ඔක්කෝම අබිබවා ගිය ප්‍රකාශයක් අපි කරනවා නම් ඒකට ගැළපෙන අදහසුත් අපි ළඟ තියෙන්න ඕන.
මම ටිකක් මතක් කරලා දෙන්නම්, හොඳට මතක තියාගන්න. මෙන්න මේ කාරණාව නිසයි ඔය ඔක්කෝම දර්ශනවලට වඩා බුද්ධ දර්ශනය වෙනස් වන්නේ. ක්‍රිෂ්ණමූර්ති තුමාගේ දර්ශනයටත් වඩා, මේ දැන් මේ පින්වතුන්ගේ හිතේ ඇති වන සිතිවිල්ල ගැන පවා කියන සිග්මන් ෆේරායිඩ්ගේ දර්ශනයටත් වඩා බොහොම වටිනා, ලෝකයාට හිතන්නවත් බැරි දර්ශනයක් බුදු රජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ දර්ශනය යමෙක් හරියට දැක්කොත් එයා ලෝකෝත්තරම වෙනවා. ලෝකය අතහැරෙන දර්ශනයක් ඒක. මේ අනිත් ඔක්කෝම ලෝකය තුළ ඉඳගෙන දකින ඒවා. ඒ ගැනත් කෙටියෙන් මතක් කරන්නම් දැන්.
මේ හැම ආගමකම, හැම ශාස්තෘවරයෙකුගෙම, හැම දර්ශනයකම මූලික පදනමක් තිබුණා. එනම්, හැමෝම දේශනා කළේ අපි ඉපදෙන්න පෙරත් මේ ලෝකය තිබුණා. ඒ තියෙන ලෝකයේ තමයි අපි ඉපදුණේ. ඒ තියෙන ලෝකයේ තමයි අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ කර්මානුරූපව අපි මැරෙනවා. නමුත් ලෝකය එහෙමම තියෙනවා කියන මානසික මට්ටම පදනම් කරගෙන තමයි, අපි ඉපදෙන්න ඉස්සර තිබුණ මේ ලෝකයට ආධුනිකව ආපු අපි ඒ ලෝකයට යහපතක් කරලා ලෝකයෙන් යෑම හොඳයි කියන එක තමයි හැම ආගමකම හැම දර්ශනයකම පදනම වුණේ. ඒ ලෝකයේ ඉන්නකොට යහපත් වීම හොඳයි කියන අදහස මුල් කරගෙන තමයි හැම දෙයක්ම කළේ. ඒ අපි ඉපදෙන්න පෙර තිබුණ අපි ඉපදුණ ඒ ලෝකයට තණ්හා නොකළ යුතුයි කියලයි හැමෝම මතක් කළේ.
නමුත් බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඔය දර්ශනවලට හාත්පසින්ම වෙනස් සිද්ධියක්. උන්වහන්සේ දේශනා කළා: ඕක ඔය මොන විදියට කිව්වත් වැරැදියි. අපි ඉපදෙන්න පෙර ලෝකයක් තිබුණේ නෑ. මේ ආයතන ටිකේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි. තියෙන ලෝකයක් ඇසුරු කරනවා නොවෙයි, ආයතන ටිකේ පැවැත්මම ලෝකයේ පැවැත්මයි. අපි මැරෙනවා. ලෝකය ඉතුරු වෙනවා නොවෙයි. ආයතන ටිකේ නිරෝධය ම ලෝක නිරෝධයයි. තමන් ඉපදෙන්නට කලින් වත් තමා ඉපදුණාට පසුව වත්, ලෝකය තිබුණා හෝ තිබෙනවා හෝ නොවෙයි.
මෙහෙම දර්ශනයක් ඉදිරිපත් කරපු නිසයි බුදු රජාණන් වහන්සේ අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨ වුණේ. අපි වුණත් හීනයකින්වත් හිතලා නැතුව ඇති. අපි හිතන්නේම, අපි දන්නේම, මේ ලෝකයේ අපේ අම්මලා තාත්තලා හිටපු නිසයි අපි මේ ලෝකයට බිහි වුණේ කියන-එක නේද? එහෙනම් දෙමව්පියෝ හිටියේ නැතිනම්, අපි කොහොමද ලෝකයට පහළ වුණේ කියන-එක ප්‍රශ්නයක්. කෙටියෙන් කියනවා නම්, මෙතැනදී මුළු ලෝකයක්ම එක පැත්තක් වෙන කොට බුදු රජාණන් වහන්සේ තනියම තනි පැත්තක් වෙනවා. එහෙම වන්නේ මොකක් නිසාද? මේ දර්ශනය දෙපැත්තකට යන නිසයි.
බුදු රජාණන් වහන්සේගේ මේ දේශනාව අදටත් අපට ප්‍රශ්නයක්.
අනිත් සියලු දෙනාගේ දර්ශනය වුණේ අපි ඉපදෙන්නට පෙර ඉස්සර වෙලාමයි ලෝකය හැදිලා තිබුණේ. ඒ හැදිලා තිබුණ ලෝකයෙයි අපි ඉපදුණේ. ඒ තිබුණ ලෝකයේ හිටපු අය තිබුණු දේවල් ඇසුරු කරගෙනයි මේ අපි ඉන්නේ. අපිත් මැරෙනවා. ඒ දේවල් ඒ විදියටම තියෙනවා. ලෝකය පිළිබඳ නිත්‍ය සඤ්ඤාවක් ඉබේම තියෙනවා. අපි විතරයි ඇති වෙලා නැති වෙන්නේ කියන-එකත් එක්ක.
“යං කිඤ්චි සමුදය ධම්මං, සබ්බං තං නිරෝධ ධම්මං” කියන - එකත් එතැන නෑ. ඇති වෙච්චි අපි නැති වෙලා. නමුත් සියල්ල නැති වෙලා නෑ; ලෝකය ඉතුරු වෙලා කියලයි හැමෝම කිව්වෙ. ඇයි, අපි ඉපදෙන්නට ඉස්සර වෙලත් තිබුණා නම්, ඉපදුණාට පසුවත් තිබෙනවා නම් “සබ්බං තං නිරෝධ ධම්මං” කියන්න පුළුවන්ද?
මෙන්න මේක වැරැදියි කියලයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ.
* “ඡස්සු ලෝකෝ සමුප්පන්නෝ” - මේ ස්පර්ශ ආයතන හයේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි.
* “ඡන්නමේව උපාදාය” – ආයතන හය ඇසුරු කරගෙනම ලෝකය පවතිනවා.
හේමවත යක්ෂයා අහපු ප්‍රශ්නවලට දෙන ඔය උත්තර ටික බලන්න. ආයතන හය ඇසුරු කරගෙනම ලෝකයා පවතිනවා.
* “ඡස්සු පුබ්බනි සන්ථවං” – ආයතන හය නිසාම ලෝකයා කර්ම රැස් කරගන්නවා.
* “ඡස්සු ලෝකේ නිරුජ්ඣන්ති” – ආයතන හය නිරුද්ධ වීමෙන්ම ලෝකය නිරුද්ධ වෙනවා.
මේ දර්ශනය බුදු රජාණන් වහන්සේ මේ රෝහිතස්ස සූත්‍රයෙන් බොහොම ලස්සනට ඉදිරි පත් කරලා තියෙනවා.
* “ඉස්මිං ඥේව ඛ්‍යාම මත්ථේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ” - මේ සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ශරීරය තුළින්ම ලෝකය පනවමි.
එතකොට දැන් ලෝකය කියන එක පෙන්නන්ට වෙලා තියෙන්නේ මොකෙන්ද? මේ බඹයක් පමණ ශරීරයෙන්.
එහෙනම් ඉපදීමට පෙර මේ බඹයක් පමණ ශරීරයක් වෙන කොහේවත් තිබුණද? නෑ. එහෙනම් ඒ බඹයක් පමණ ශරීරයේ ඉපදීමමයි ලෝකයේ ඉපදීම. මේ ශරීරයට අමතරව ලෝක සමුදයත්, ලෝක නිරෝධයත් පනවලා තව ලෝකයක් පෙන්නලා නෑ.
මෙතැනදී අපි සොයා දැනගත යුතු කාරණය තමයි ඇයි බුදු රජාණන් වහන්සේ මෙහම දේශනා කළේ කියලා. ලෝකයාගේ දර්ශනය වැරැදියි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා නම්, මොකක්ද පෙන්නාපු නිවැරැදි දර්ශනය. මේ ගැන ඇහුවොත් සහේතුකව කරුණු දක්වන්න හැමෝම පොහොසත් වෙන්නේ නෑ. බුදු රජාණන් වහන්සේ ලෝකයේ අපි දකින මට්ටමේ බොරුවත්, ඇත්ත මේකයි කියලත් පෙන්නුවා. ඉපදෙන්න ඉස්සර වෙලා තිබුණා නොවෙයි; ආයතන ටිකේ ඉපදීමමයි ලෝකයේ ඉපදීම. ඉපදුණාට පස්සේ ලෝකයේ තියෙන දෙයක් ඇසුරු කරනවා නොවෙයි; ආයතන ටිකේ පැවැත්මයි ලෝකයේ පැවැත්ම. තියෙන දේ නැති වෙනවා වත්, එහෙම නැත් නම් අපි නැති වෙනවා වත් නොවෙයි වෙන්නේ; ආයතන ටිකේ නැති වීමයි ලෝකයේ නැති වීම කියලා දේශනා කළා.
දැන් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්ට. ඇයි එහෙම දේශනා කළේ කියලා. ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකය තිබුණා කියන මට්ටමක ඉන්න අපිට මෙහෙම දේශනා කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන නේ. අපි බුදු රජාණන් වහන්සේ දේශනා කළා කියලවත්, අන්ධයෝ වගේ පිළිගන්න ඕන නෑ.
නුවණැති පුරුෂයෙකුට තවත් ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. ඒකට උත්තර ලැබුණොත් තමයි අපි පිළිගන්න ඕන. නැතුව, බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි නේ; ඒ නිසා කියන දේ ඇත්ත වෙන්න ඇති; බොරු කියන්නේ නෑ නේද කියලා අන්ධ විශ්වාසයෙන් පිළිගන්න ඕන නෑ. එහෙම කරන කෙනා තමයි බුදු රජාණන් වහන්සේට චෝදනා කරන්නේ. එයා ළඟ එතන ශ්‍රද්ධාවක් නෑ. බුදු රජාණන් වහන්සේ කිව්වා කියලා අවිචාරයෙන් පිළිගන්නවාට වැඩිය, ඇයි බුදු රජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ කියලා විමසා බලා පිළිගන්න කෙනාවයි තථාගතයන් වහන්සේ අගය කළේ. මොකද එවැනි කෙනා කවදා හරි මේ දර්ශනය සහේතුකව තේරුම් ගන්නවා.
ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න: සම්මා දිට්ඨිය කියලා මෙහෙම උත්තරයක් නම් දෙන්නේ, සම්මා දිට්ඨිය කිව්වේ ස්පර්ශ ආයතන හය පිළිබඳව නිවැරදි දැකීමයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, නැති වීමත් පිළිබඳ බඹයක් පමණ ශරීරය තුළින් දකින්නට කිව්වම ඒකෙන් තේරෙනවා මුළු චතුරාර්ය සත්‍යයම. ඉපදෙන්නට කලිනුත් තිබුණා. ඉපදුණාට පසුවත් තිබෙනවා, තිබෙන දේ හමු වෙනවා කියලා, බාහිරයෙන් යමක් දකින්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව මොකක්ද කියලා ඇහුවොත් ඒකට දෙන්නෙත් ඉතාම සරල උත්තරයක්.
“අවිජ්ජා පච්චයා සංඛාර, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සො, ඵස්ස පච්චයා වේදනා.”
ඔය ඔක්කෝම අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නේ මෙන්න මෙහෙම පටිච්ච සමුප්පාදය අල්ලලා.
“යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති, යෝ පටිච්ච සමුප්පාදං පස්සති සො ධම්මං පස්සති” යමෙක් දහම දැක්කොත් එයා පටිච්චසමුප්පාදය දැක්කා, යමෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් එයා ධර්මය දැක්ක කෙනෙක්. මෙසේ පෙන්වා ඇති පටිච්චසමුප්පාදය කියන්නේ ඔහේ නිකං උදේ ඉඳං රෑ වෙනතුරුත්, රෑ ඉඳං පසුදා පහන් වෙනතුරුත් කියව-කියවා ඉන්න-එකක් නොවෙයි. අපි දැක්කත් නැතත් සිදු වන සිද්ධියයි මේ. මේ ගැඹුරු දර්ශනය බුදු රජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හරහායි ඔප්පු කරන්නෙ.
මෙන්න මේ වාගේ සිද්ධියක් සිදු වන නිසයි, ඔය වචනෙ කියන්නේ කියලා බය නැතුව දේශනා කරන්නේ ඒ නිසයි. පටිච්චසමුප්පාදය සම්බන්ධයෙන් ලෝකය කියන දේ වැරදියි. මෙතැන තියෙන්නේ ඇත්තටම සිදු වන ඇත්තක්. නමුත් ඒ ඇත්ත අපි තාම දන්නේ නැති නිසා බලාගන්ට බැරුවා මිසක කෙනෙකුට ශේෂයක්වත් වචන කතා කරන්න පුළුවන් තැනක නොවෙයි මේ දර්ශනය තියෙන්නේ.
අපිට තේරෙන විදියට අපි මේකේ අර්ථය පොඩ්ඩක් ගවේෂණය කර බලමු. එතැනදී ඔය ඇත්තන්ට විචාරශීලී වෙන්ට යමක් හොයනකං හුරු පුරුදු වෙන්න ක්‍රමයක් නිකමට මතක් කරන්නම්.
රෝහිතස්ස සූත්‍රයේදී පෙන්නුවා ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, නැති වීමත්, නැති කරන මගත් බඹයක් පමණ ශරීරයෙන් දකින්ට කියලා. ඊට පස්සේ ලෝකය කියන්නේ කුමකටද කිව්වාම අපි දන්නා තරමින් අදහස් ඉදිරිපත් කරගන්නේ නැතුව ඒ ප්‍රශ්නයටත් උත්තර සූත්‍රවලින්ම හොයාගන්නට බලමු.