ඇස, කන, නාසය, දිව, කය යන සියල්ලෙහි ම අනිත්‍ය බව, දුක් ගෙන දෙන බව, අනාත්ම බව සිතින් විමසා බැලූ මට ඉතිරි ව ඇත්තේ සිත අනිත්‍ය, අනාත්ම, දුක් සහිත බව විමසා බැලීමට යි.
ඇසින් දකින රූපයේ හැඩරුව, පාට, විශාලත්වය, හොඳ, නරක මේ සියලු විස්තර තැන්පත් වන්නේ සිතෙහි ය. අසන්නට ලැබුණු ශබ්දයේ මිහිරි අමිහිරි බව, ගොරහැඬි බව, සියුම් බව, මේ සියල්ල රැඳෙන්නේ සිතේ ම යි. නාසයට දැනෙන ගඳ-සුවඳ ගැනත්, දිවට දැනෙන රස ගැනත්, කයට දැනෙන පහස ගැනත් හඳුනාගන්නා ආකාරය සිතෙහි රැඳෙයි.
ඇසින් දුටු රූපය නිසා රූපය දුටු අවස්ථාවේ ඇසත්, රූපයත් එකතුවෙන් චක්ඛු විඤ්ඤාණ සිත ඇති වෙනවා. ඒ සමඟ ම ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය, එකතුවෙන් චක්ඛු සම්ඵස්සය ඇති වෙනවා. එයින් රූපය හඳුනාගන්නා සඤ්ඤාවට අනුව සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාව පහළ වෙනවා. වේදනාව ඇති වන දැනෙන ආකාරයට ආශාව නැත් නම් තරහව නිසා සිතිවිලි සකස් වීම සිදු වෙනවා. ඒ සිතිවිලිවලට ආශා කිරීම කියන්නේ තණ්හාවෙන් නැවත නැවත උපාදාන කිරීම යි (සිතින් තදින් බඳීම). ඒ අනුව එම රූපයට ආශා කරනවා.
රූපය නිසා ඇති වූ වේදනාවට, ඇසට ආදි මේ සියල්ල කෙරෙහි ම සිතින් බැඳෙනවා. රූපය නිසා ඇති වූ වේදනා, සඤ්ඤා, සංඛාර (සිතිවිලි) විඤ්ඤාණ යන පංච ස්කන්ධ ධර්මයන්ට සිතින් නැවත නැවත බැඳෙමින් පංච උපාදාන ස්කන්ධ ධර්මයන් ලෙස සකස් වෙනවා. මේ උපාදානය (සිතින් ග්‍රහණය කරගැනීම) සිතේ රැඳෙන මතකය බවට පත් වෙනවා. ඇසින් දුටු රූපය ගැන නැවත නැවත සිතමින් සිතිවිලි ආශාවෙන් හෝ තරහ සිතින් ඇති වුණේ නැත් නම් ඒ රූපය පිළිබඳ ව මතකය සිතේ රැඳෙන්නේ නැහැ. රූපය පිළිබඳ ව සිතේ රැඳුණ මතකය නිසා නැවත වරින් වර ඒ ගැන සිහි කරමින් සිතිවිලි ඇති කරගන්න අවුරුදු ගණනක් ගත වුණත් පුළුවන් වෙනවා.
එවිට ඒ මොහොතේ පවා මුලින් රූපය දුටු දිනයේ ඇති වූ ලෙසින් ම වේදනා, සඤ්ඤා ආදි නාම ධර්ම පහළ වෙනවා; සිතිවිලි සකස් වෙනවා. එවිට සිතත් සිතේ ඇති වුණ අරමුණත් නිසා මනෝ විඤ්ඤාණ සිත පහළ වෙනවා. ඒ නිසා ඵස්සය ඇති වෙනවා. ස්පර්ශයට අනුව වේදනා, සඤ්ඤා පහළ වෙනවා; සිතිවිලි නැවත නැවත සකස් වෙනවා. ඒ ඇති වන පංචස්කන්ධ ධර්ම නිසා උපාදානය ඇති වෙනවා. උපාදානයට අනුව සසර නැවත උපතකට අවශ්‍ය කර්මභව සකස් වෙනවා. ජාතිය හෙවත් ඉපදීම නිසා ජරාව, ව්‍යාධිය, මරණය, සෝක පරිදේව ආදියෙන් දුකින් දුකට පත් වෙනවා.
නාසයට දැනුණ ගඳ සුවඳ පිළිබඳවත් මෙලෙසින් ම අතීත මතකය තුළින් ඕනෑ ම මොහොතක සිතිවිලි ඇති කරගන්නට පුළුවනි. ඒ ඇති වන සිතිවිලි මුලින් නාසයට එම සුවඳ දැනෙන විට ඇති වූ සිතිවිලි විලසින් ම සිතට දුක හෝ සතුට ලබා දෙනවා.
දිවට දැනුණ රසයක් නිසා මේ විදියට ම ඒ රසය ගැන සිතමින් පසු දිනක, නැත් නම් වෙනත් ඕනෑ ම වෙලාවක සිතිවිලි (නාම ධර්ම) ඇති කරගන්නට පුළුවනි. තිත්ත රස කසායක් වගේ බෙහෙතක් බීපු ආකාරය මතකයට නැඟෙන විට ඒ මොහොතේ පවා සිතට දැනෙන්නේ අමිහිරි බවක්. ඒ වගේ ම රසවත් ආහාරයක් ගැන සිහි වන විට කටට කෙළ උනනවා. රසය පිළිබඳ ආශාව නිසා ඛේට ග්‍රන්ථි පවා ඒ මොහොතේත් ක්‍රියාත්මක වෙනවා.
එලෙසින් ම කයට දැනුණු විවිධ ස්පර්ශයන් පිළිබඳ ව සිහිපත් කරමින් සතුටින් නැවත එය මෙනෙහි කරන විට සිතිවිලි ඇති වෙනවා. දුක් වේදනාවක් දැනුණත් එය ගැන පසු ව සිතන විට සිතිවිලි ඇති වෙනවා. මැදහත් වේදනාවක් ගැනත් ඒ වගෙ ම නැවත සිතද්දී සිතිවිලි ඇති වෙනවා. කුමන අරමුණක් ගැන හෝ ද්වේෂ සිතිවිලි ඇති වුණොත් නැවත එය සිතන විට ඇති වන්නේ ද්වේෂ සිතිවිලි ම යි.
මේ ආකාරයට අතීත රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නිසා විවිධ කුසල් අකුසල් සිතිවිලි ඕනෑ ම මොහොතක ඇති වන්නට පුළුවනි. අනාගතය ගැන සිතමින් ඒ විදියට ම සිතිවිලි ඇති කරගන්නත් පුළුවනි.
ගෙයක් සෑදීමට බලාපොරොත්තුවෙන් ඒ ගෙය මෙවැනි විදියට හදනවා යැ යි සිහින මවමින් සිතිවිලි ඇති වෙනවා. ඒ වගේ ම දානයක් දෙන්නට, වන්දනා ගමනක් යන්නට සැලසුම් කරමින් සිතිවිලි ඇති වෙනවා.
අධ්‍යාපනය ලබන කෙනකුට මම ඉගෙනගෙන වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක් වෙනවා යැ යි සිහින මවාගන්න පුළුවනි.
සිතින් කුමන ආකාරයේ සිතිවිලි ඇති වුණත් ඒවා කුසල් හෝ අකුසල් සිතිවිලි ම යි. මේ සිතිවිලි ආශාවෙන්, නැත් නම් තරහවෙන් එසේ නැත් නම් මෝහයෙන් (මුළාවෙන්) ග්‍රහණය කරනවා. ඒ සිතිවිලි අනිත්‍යයට යන දුක් ගෙන දෙන පාලනය කළ නොහැකි සිතිවිලි බව දන්නේ නැහැ. එනිසා මුළා වෙනවා. නමුත් සිතිවිලි අනිත්‍ය යි; අනාත්ම යි.
භාවනා කරන සමාධියක් උපදවාගැනීමට උත්සාහ කරන අවස්ථාවලදී මේ සිතිවිලි ඇති වී නැති වී යන අයුරු සිතින් ම දකින්නට පුළුවනි. සමහර වෙලාවට කොපමණ උත්සාහ කළත් භාවනා අරමුණේ සිත රඳවාගන්නට බැහැ: විවිධ සිතිවිලි ගලා එනවා. එවිට සිතිවිලි අනිත්‍යයට යන අනාත්ම දෙයක් බව වැටහෙනවා. ඒ වගේ ම ගැඹුරු සමාධිමත් අවස්ථාවක සිතිවිලි සිතට ගලා ගෙන ඒම නතර වෙලයි තියෙන්නේ. සමාධියෙන් මිදෙන විට නැවත සිතිවිලි ගලා එන්නට පටන් ගන්නා විට ම සිතට ලොකු බරකුත් දැනෙනවා. සැහැල්ලු බව සිතේ සංසිඳී ඇති බව නැති වන විට දුකක් දැනෙනවා. සිතිවිලි ඇති වෙමින් නැති වෙමින් යෑම සිතට අපහසුවක් බව එවිට වැටහෙනවා.
ඇති වෙන සෑම සිතිවිල්ලක් ම මොහොතින් නැති ව යනවා. නිරුද්ධ වී යනවා: රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච ස්කන්ධ ධර්ම ඇති වී නැති වී යෑමක් පමණ යි. ඉතිරි වන කිසිවක් නැහැ. එහෙත් මේ ඇති වී නැති වී යන පංචස්කන්ධ ධර්මයන්ට මුළා වෙනවා. නිත්‍ය, සුභ, ආත්ම වශයෙන් මුළා වෙනවා. අනිත්‍ය, දුක් සහිත අනාත්ම දෙයක් බව නොදන්නා මෝඩකම නිසා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් උපාදාන කරනවා. පංච උපාදාන ස්කන්ධ ධර්ම බවට පත් වෙනවා. එයින් සසර ගමන නොනැවතී සකස් වෙනවා. උපාදාන ප්‍රත්‍යයෙන් භවය සකස් වෙනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය, නැවත ඉපදීම නිසා ජරාව, ව්‍යාධි, මරණ සෝක පරිදේව දුක් ලැබෙනවා.
සිතේ ඇති වන කුසල්, අකුසල් සිතිවිලි සසර දුක් ලබා දෙමින් කල්ප ගණන් මැරෙමින් ඉපදෙමින් දුක් විඳින්නට සලස්වනවා. සතර අපා දුකට වැටෙනවා. කලාතුරකින් දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලේකවල ඉපදෙනවා. මනුෂ්‍ය ලෝකයේ ඉපදෙනවා. මේ කොයි ලෝකයක ඉපදුණත් ඒ භවයේ සිටින තුරුත් විඳින්නේ දුකක් ම යි. පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම ම දුකක් බව බුදු පියාණන් පෙන්වා දී තිබෙනවා.
අද මිනිසකු හැටියට ඉපදී සිටියත් මැරෙන මොහොතේ ඇති වන අවසාන සිතිවිල්ල ද්වේෂ සහගත සිතක් වුණොත් යකකු වෙලා ඉපදෙන්න පුළුවනි; නැත් නම් අපායේ ගිනිදැල් මැද නිරි සතෙක් වෙන්න පුළුවනි. එදාට ඇති වන්නේ ඒ භවයට ගැළපෙන විදියේ සිතක්. අද තිබෙන සිත එදාට නැහැ. ඒ භවයට ගැළපෙන විදියේ සිතිවිලි උපදින සිතක් තමයි එදාට ඇති වන්නේ. සිත භවයෙන් භවයට වෙනස් වෙනවා. අද මිනිසෙක් ලෙස ලැබී තියෙන උසස් වූ මනස (සිත) අපායේ නිරි සතකුට නැහැ. උපදින භවයට අනුව ඇති වන සිතේ සිතිවිලිත් එයට සරිලන විදියට වෙනස් වෙනවා. තිරිසන් සතකුගේ සිතිවිලි ඊට වඩා වෙනස්. මනුෂ්‍යයකු හැටියට කන-බොන කෑමට නොවෙයි තිරිසන් සතකු පි‍්‍රය කරන්නේ. තිරිසන් සතෙක් ඕනෑම ජරාවක් කනවා. මැරිල කුණු වෙලා ගිය සතෙකුගේ මස් ටික කන්න බලු කපුටු රෑන් පොරකනවා. ඒ තිරිසන් සතුන් මිනිස් භවයක ඉපදුණොත් කුණු වෙලා ගිය මස් කන්න ප්‍රිය වෙන සිතක් එදාට ඇති වන්නේ නැහැ. මේ සිත වෙනස් වෙනවා: භවයෙන් භවයට සිත වෙනස් වෙනවා. සිතේ ඇති වන සිතිවිලිත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ සිත අනිත්‍ය දෙයක් බව, දුක් ඇති වන දෙයක් බව, අනාත්ම දෙයක් බව මෙයින් වැටහෙනවා.
ධම්මපදයේ මුල් ගාථා දෙකෙන් අපිරිසිදු සිත නිසා භවයෙන් භවයට දුක් ලැබෙන බවත්, පිරිසිදු සිතින් කරන කියන දේ නිසා සැප විපාක ලැබෙන බවත් බුදුපියාණන් පෙන්වා දී තිබෙනවා. ඒ වගේ ම සිතේ ඇති වන සිත කිලිටි කරන ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් නිවන් සුවය අත්කරගැනීමටත් මාර්ගය බුදු පියාණන් පෙන්වා දුන්නා.
පාපි සිතිවිලි නිසා සතර අපායේ දුක් විඳින්නට සිදු වෙනවා. කුසල් සිතිවිලි නිසා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදියේ සැප විඳින්නට ලැබෙනවා. මනුෂ්‍යයකු හැටියට ඉපදී හොඳ ඇඳක සැපට නිදාගත්තත්, බල්ලකු වෙලා ඉපදුණොත් නිදාගන්න පි‍්‍රය කරන්නේ පයින් හාරා හදාගත්ත පස් ගොඩක. ඒ ඒ භවයට අනුව ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප, ශබ්ද , ගන්ධ, රස, පහස සියල්ල වෙනස් වෙනවා. ඒ අනුව සිතක් සිතේ ඇති වන සිතිවිලිත් වෙනස් වෙනවා.
මැරෙන මොහොතේ බුදුගුණ, ධර්මයේ ගුණ ආදි කුසල් සිතක් ඇති වුණොත් දිව්‍ය ලෝකයක ඉපදෙන්න පුළුවන්. එවිට දිව්‍ය ශරීරයට ලැබෙන පහස මීට වඩා සුවදායක යි. ඒ අනුව සතුටින් සැහැල්ලුවෙන් ඉන්නට පුළුවන් සුවපත් සිතක් ඇති වෙනවා.
ඒත් ඒ දිව්‍යමය ශරීරයත්, ඒ සිතත් අතහැරී ඒ භවයෙන් සමු ගන්නට දවසක් එනවා. දෙවියකු හැටියට ඉහළ ම සැප වින්දත්, ඒ සුවය අතහරින්නට සිදු වන විට සිතට විශාල දුකක් දැනෙනවා. සැපය අත්හරින්නට යන මොහොතේ දරාගන්න බැරි දුකක් ඇති වෙනවා. ශක්‍ර දෙවියන් ආයුෂ ඉවර වී යන මොහොතේ බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිත් දුකින් ඒ ගැන කියා ඇති බව පොතපතින් දැනගන්න තිබෙනවා. කුමන භවයක ඉපදුණත් මේ සිත නිසා දුකක්මයි ලැබෙන්නේ. ඇස, කන, නාසය, ආදියට හමු වන අරමුණු නිසා දුකක් ම යි ඇති වන්නේ. ඇසට ප්‍රිය රූප නිසා සතුටක් ලැබුණත්, ඒ අරමුණු නැති වී යෑම නිසා දුකක් ලැබෙනවා. ඒ වගේ ම ප්‍රිය රූපවලට ආශා කිරීම නිසා සසර නැවත ඉපදෙමින් නැවත නැවත දුකින් දුකට පත් වෙනවා. අප්‍රිය අරමුණු නිසාත් ඒ වගේ ම එයින් සිතට දුකක් ඇති වෙනවා. අප්‍රිය අරමුණු සමඟ ගැටීම දුකක්. ඒ වගේ ම ද්වේෂ සිතින් සිතිවිලි ඇති වීම සසර දුකටත් හේතු වෙනවා. මේ විදියට ම අනිත් ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු නිසාත් ලැබෙන්නේ දුකක් ම යි. මේ සියලු සිතිවිලි නැති වී යනවා. මොහොතක් පාසාම සිතිවිලි කෝටි ගණන් ඇති වනවා; පවතිනවා; නැති වෙනවා. ඉතිරි වන දෙයක් නැහැ. සියල්ල හිස් දෙයක් බවට පත් වෙනවා.
ඒ වගේ ම ඇස කන, නාසය ආදි ඉන්ද්‍රියන් අනිත්‍යයට යනවා; මෝරා වයසට යනවා; ජරාවට පත් වෙනවා. මරණයේදී මේ සියල්ල අතහැර දමන්නට සිදු වෙනවා. මේ රූපය එදාට අතහැර දමන්නට සිදු වෙනවා.
සිතිවිලි නිසා දුකක් ම යි ලැබෙන්නේ. සිතේ පැවතීම නිසා විවිධ සිතිවිලිවලින් කුසල් අකුසල් සිදු වෙනවා. එයින් දුකක් ම යි විඳින්නේ; දුකක් ම යි ලැබෙන්නේ. මේ සිත දුකක් ම යි. සිත අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි; අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි; අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි...
සිතේ ඇති වන සිතිවිලි අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි; අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි...
සිතේ ඇති වන සිතිවිලි නිසා දුකක්මයි ලැබෙන්නේ...
සිතිවිලි නිසා ම යි දුක් ඇතිවන්නේ...
ප්‍රිය සිතිවිලිත් නැති වෙනවා...
සිතිවිලි පාලනය කළ නොහැකි අනාත්ම දෙයක්. සිතිවිලි මට ඕනෑ විදියට ඇති කරගන්නත් බැහැ. ඕනෑ විදියට නැති කරගන්නත් බැහැ. සිතිවිලි අනාත්ම යි. සිතිවිලි අනාත්මයි.
සිත අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි...
සිතිවිලි අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි...
සිතිවිලි අත්හරිමි... අත්හරිමි... අත්හරිමි...
සිතිවිලි අත්හැරී ගිය ඒ ශාන්ත සුවයෙන් සැමදෙනා ම සුවපත් වෙත්වා!
සීතා පද්මිනි ලියනගේ