කාමයන්ගේ ආස්වාදයන් සහ ආදීනවයන්ද ඒවායේ නිස්සරණයද අලළා දේශනා කරන ලද මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය ඇසුරු කරගෙන සසර දුක පැහැදීමට ගත් උත්සාහයකි.
බුදු රජාණන් වහනසේ ජේතවනාරාමයේ වැඩවසන සමයේ සිදු වුණු එක්තරා සිදුවීමකි. භික්ෂූන් වහන්සේ පිරිසක් පිඬු පිණිස උදෑසන සැවැත් නුවරට වැඩියහ. උන් වහන්සේලා වඩිද්දී තරමක් උදෑසන වූ හෙයින් අන්තොටු පරිබ්‍රාජකාරාමයට වැඩීමට අදහසක් පහළ විය. ඒ අනුව පරිබ්‍රාජකයන් වෙසෙන ආරාමයකට ගිය භික්ෂූහු ඔවුන් සමඟ තුටු පිළිසඳරක යෙදුණහ. එහිදී පරිබ්‍රාජකයන් භික්ෂූන් වහන්සේලා සමඟ මෙසේ ප්‍රකාශ කළහ:
“ඇවැත්නි, ශ්‍රවණ ගෞතමයන් වහන්සේ කාමයන්ගේ ප්‍රහාණය පනවයි. අපි ද කාමයන්ගේ ප්‍රාහාණය පනවන්නෙමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රූපයන්ගේ ප්‍රහාණය පනවයි. අපිද රූපයන්ගේ ප්‍රහාණය පනවන්නෙමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේදනාවන්ගේ ප්‍රහාණය පනවයි. අපිද වේදනාවන්ගේ ප්‍රහාණය පනවන්නෙමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්ම දේශනා සමඟ ධර්ම දේශනාවන්ද, අනුශාසනාවන් සමඟ අනුශාසනාවන්ද අතර වෙනස කුමක්ද? අධික ප්‍රයෝගය කවරේද නා නා කාරණය කුමක්ද?”
මෙය ඇසූ භික්ෂූන් වහන්සේලා පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්හ. එහෙත් ප්‍රතික්ෂේප කරද කතා නොකළහ. භාග්‍යවතුන් වහන්සේ විමසාම මේ ගැන විස්තර දැනගන්නෙමුයි සිතා ආරාමයෙන් පිටත්ව ගියහ. ඉන් අනතුරුව බුදුන් වහන්සේ වෙත පැමිණි භික්ෂූන් වහන්සේ පිරිස පරිබ්‍රාජකයන් සමඟ පැවැති පිළිසඳර ගැන සියලු විස්තර බුදුරදුන්ට සැල කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:
“මහණෙනි, එසේ නම් ඔවුහු මෙසේ කිව යුතු වන්නාහුය. ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේද? කාමයන්ගේ ආදීනවය කවරේද? කාමයන්ගේ නිස්සරණය කුමක්ද? රූපයන්ගේ ආස්වාදය කවරේද? රූපයන්ගේ ආදීනවය කවරේද? රූපයන්ගේ නිස්සරණය කුමක්ද? වේදනාවන්ගේ ආස්වාදය කවරේද? වේදනාවන්ගේ ආදීනවය කවරේද? වේදනාවන්ගේ නිස්සරණය කුමක්ද? මහණෙනි, මෙලෙස අසන ලද්දා වූ පරිබ්‍රාජකයෝ මෙය විස්තර කිරීමට සමත් නොවන්නාහුය; මෙයින් බොහෝ වෙහෙසට පත් වන්නාහුය. ඒ කවර හෙයින්දයත්? එය ඔවුන්ට විෂය නොවන ප්‍රශ්නයක් බැවිනි.
“මහණෙනි, තථාගතයන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයන්ගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නාසා මේ ප්‍රශ්නය විසඳීමට, සිත සතුටු කරගැනීමට දෙවියන් මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාවෙහි කිසිවකු මම නොදකිම්”යි වදාළහ.
ඉන් අනතුරුව බුදුන් වහන්සේ කාමයන්ගේ ආස්වාදය කවරේදැයි විස්තර කරමින් කාමගුණ හයක් පෙන්වා දුන්හ:
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දැනගන්නා ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ, පි‍්‍රය වූ, රාගය ඇති වීමට කරුණු වූ පි‍්‍රය රූපයෝය. සෝත විඤ්ඤාණයෙන් දැනගන්නා වූ පි‍්‍රය උපදවන මන බඳින පි‍්‍රය ශබ්දයෝය. ඝාණ විඤ්ඤාණයෙන් දැනගන්නා වූ පි‍්‍රය උපදවන, සිතේ සතුට ඇති කරන පි‍්‍රය ගන්ධයෝය. ජිව්හා විඤ්ඤාණයෙන් දැනගන්නා වූ ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ පි‍්‍රය වූ, රාගය ඉපදීමට කරුණු වූ පි‍්‍රය ස්පර්ශයෝය, යන මේ පංච කාමගුණයන් නිසා යම් සැපයක්, සොම්නසක් ඇති වෙයිද එය කාමයන්ගේ ආස්වාදයයි.”
ඊළඟට බුදුන් වහන්සේ කාමයන්ගේ ආදීනව, කාමයන්ගේ නිස්සරණය පිළිබඳව විස්තර කර ඇත. රූපයන්ගේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය, වේදනාවන්ගේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳවද මෙලෙස දීර්ඝ වශයෙන් විස්තර පෙන්වා දී ඇත්තේ මජ්ක්‍ධිම නිකාය මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේය.
මෙම සූත්‍රයේ පෙන්වා දී ඇති පංච කාම ගුණ නිසා සත්ත්ව සන්තානයන්හි කාම ආස්වාදයට ඇති වන ගිජු බව, කැමැත්ත, ආශාව සත්ත්වයා සසරට බැඳගනියි. පටිච්ච සමුප්පාද චක්‍රය නොනැවතී ක්‍රියාත්මක වන්නේ මේ හේතුව නිසාය. ඇසට හමු වන රූපය දැනගන්නේ චක්ඛු විඤ්ඤාණය ඇති වන නිසාය. රූපය පිළිබඳව ඇති වන පි‍්‍රය භාවය ආස්වාද කරන්නේ සිතය. ඇසත්, බාහිර රූපයත්, චක්ඛු විඤ්ඤාණයත් නිසා ස්පර්ශය ඇති වෙයි. මේ ස්පර්ශයත් සමඟම රූපය හඳුනාගන්නා සඤ්ඤා ඇති වෙයි. හඳුනාගැනීමට අනුරූපව වේදනාව ඇති වෙයි. සතුට, මැදහත් බව හෝ අසතුට ඇති වන්නේ හඳුනාගැනීමට අනුවයි. ඵස්ස පච්චයා වේදනා. ඇති වන වේදනාවට අනුව තණ්හාව, ආශාව ඇති වෙයි. වේදනා පච්චයා තණ්හා, ආශාව තණ්හාව තදින් සිත බැඳගනියි. තණ්හා පච්චයා උපාදානං. උපාදානයට අනුව (කර්ම භව) සිතිවිලි ගලායයි. උපාදාන පච්චයා භවෝ. භව පච්චයා ජාති. ඇති වන (කර්ම භව) සිතිවිලි නැවත උපතක් සකස් කරයි. අවිද්‍යාව නිසා ඇති වන මේ සංස්කාර (සිතිවිලි) නිසා මැරෙන මොහොතේ සිතට එන අවසාන සිතේ විපාකය වශයෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය සකස් වී නැවත නාම රූප පරම්පරාවක් ඇති කර දෙයි. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා, විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාම රූපං.
ඇස, කන. නාසය, දිව, කය යන පංච ඉන්ද්‍රියන් තුළින්ම ලබන ආස්වාදය නිසා සසර ගමන දික් වන්නේ මේ හේතු ඵල ක්‍රියාදාමය නොකැඩී පවතින නිසයි. සිත තුළින් ගලා යන සිතිවිලි සතුට සොම්නස ලබා දෙමින් සදාකාලික දුක උරුම කර දෙන්නේ මේ ලෙසිනි.
ඇසෙන් රූප කෝටි ගණන් දැක තිබුණත්, ඒ තුළින් ඒ හා සමානව ආස්වාදය ලබා තිබුණත් සිත සෑහීමකට පත් වන්නේ නැත. සිත බලාසිටින්නේ ඇසෙන් තවදුරටත් රූපාස්වාදය විඳීමටයි. එලෙසම කනෙන් ඇසෙන ශබ්ද ආස්වාදය විඳීමට, නාසයෙන් දැනෙන ගන්ධාස්වාදය විඳීමට, දිවට දැනෙන රසාස්වාදය විඳීමට, කයට දැනෙන පොට්ඨබ්බ ආස්වාදය ලැබීමට නොයිවසිල්ලෙන් බලා සිටින්නේ සිතයි. මැරෙන මොහොත දක්වාම නොසිඳී පවත්නා කාම ආශාවකි. සසරට බැඳ තබන මේ කාම ආශාව දුක්ඛ සමුදය සත්‍යයයි. අවිද්‍යාවෙන් වැසී ඇති නිසා පංචකාම ගුණයන්ගෙන් ලබන සොම්නස සතුට දකින්නේ සැප ලබාදෙන තෝතැන්නක් ලෙසයි.
ඊළඟට කාමයන්ගේ ආදීනව බුදුන් වහන්සේ ඉතා දීර්ඝ ලෙස සූත්‍රයේ පෙන්වා ඇත. ජීවිකාව පවත්වාගෙන යෑම සඳහා ගොවිතැන් කටයුතුවලදී නොයෙක් ආකාරයෙන් මිනිසා වෙහෙසට පත් වෙයි. වෙන යම් කිසි කර්මාන්තයක් කිරීමේදී වුවද ශීතල, උණුසුම, බඩගින්න, පිපාසය, ඇඟේ මහන්සිය ආදිය දරාගත යුතුය. රැකියා කටයුතුවලදී උසස් නිලධාරීන්ගේ නීතිරීතිවලට යටත් වී කටයුතු කළ යුතු ය. නොයෙක් තාඩන, පීඩන, මානසික අසහනකාරී තත්ත්වයන්ට මුහුණ දිය යුතුය. මේ සියලු දුක් කාමයන් නිසා ඇති වන ආදීනවයෝය. ගොවිතැන් කටයුතු කර අස්වැන්න නෙළාගන්නා කාලයේදී වර්ෂාව නිසා ගොවිතැන් හානි වෙයි. අලින්, වල් ඌරන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට නොහැකිව භවභෝග විනාශ වෙයි. මේවාද කාමයන්ගේ ආදීනවයි. ඉතා වෙහෙසමහන්සියෙන් උපයාගත් වස්තුව සොර-සතුරන් පැහැරගන්නා විට දුකක් ඇති වෙයි. දරුවන් සිටින දෙමව්පියෝ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් දරුවන් ඇතිදැඩි කරගැනීමට සිය කාලය ධනය, ශ්‍රමය කැප කරති. දරුවන් වැඩෙන විට හොඳින් අධ්‍යාපනය ලබන විට, දරුවන්ගේ දියුණුව දෙස බලමින් සතුටු වෙයි. එහෙත් ඒ වෙනුවෙන් දරන වෙහෙසමහන්සිය කාම ආදීනවයක් බව නුවණින් අවබෝධ කරගත යුතුයි. දෙමව්පියන් කොයි තරම් මහන්සි ගත්තත් සමහර දරුවෝ නිකරුණේ තමන්ගේ අනාගත සුභසිද්ධිය නැති කරගනිති. එවිට දෙමව්පියන්ට ඇති වන්නේ ඉවසිය නොහැකි දුකකි. මේවාද නුවණින් අවබෝධ කරගත යුතු කාමයන්ගේ ආදීනවයි. කාමයන් නිසා ඇති වන ආදීනව මෙනයින් තමා විසින්ම අවබෝධ කරගත යුතුය.
බුදු පියාණන් වහන්සේ කාමයන් නිසාම කාම ආස්වාදය විඳීමට ආශාවෙන් මිනිසා සිතින්, කයින්, වචනයෙන් දුශ්චරිතයේ යෙදෙන බවද, එවිට ඒ තැනැත්තා හෝ තැනැත්තිය ඒ හේතුවෙන් මරණින් පසු නිරයේ උපදින බවද, මේ සූත්‍රයේ පෙන්වා දී තිබේ. නිරයේ ඉපදී විඳින්නට සිදු වන අතිවිශාල දුක් රැස කාමයන් නිසාම ඇති වූ කාමයන්ගේ ආදීනව බව බුදුන් වහන්සේ පෙන්වා දෙති. මිනිසා සිතින්, කයින්, වචනයෙන් කරන සෑම ක්‍රියාවක්ම සිදු කරන්නේ පංච ඉන්ද්‍රියන් පිනවීමේ අපේක්ෂාවෙන්මයි. පංච ඉන්ද්‍රියන් පිනවීම සඳහා පස් පව්, දස අකුසල් කරමින් සිත කය, වචනය යන තිදොරින් දුශ්චරිතයෙහි යෙදීම නිසා බරපතළ ලෙස විපාක විඳීමට සිදු වෙයි. සෑම ක්‍රියාවක්ම කිරීමට සිත මූලික වෙයි. ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මූලයන් ඇති වන්නේ සිත තුළයි. පංච කාම සැප වින්දනය වෙනුවෙන් එයම මූලික කරගෙන ඇති වන අකුසල් සිතිවිලි මරණින් පසුව නිරයේ උපතකට මඟ සලසයි. මරණින් පසුව අපායගාමීව කල්ප ගණන් මහා දුක් රැසක් විඳින්නට සිදු වන්නේ කාමයන්ගේ ආදීනව නිසාමයි. “මහණෙනි, මේ කාමයන්ගේ ආදීනවයක් වූ පරලොවෙහිදීවිඳින්නට සිදු වන මේ දුක් රැස කාමය හේතු කොටගෙන කාමය මුල් කරගෙන කාමයන්ගේ හේතුවෙන්ම සිදු වෙයි” යනුවෙන් බුදු පියාණෝ පෙන්වා දෙති.
ඊළඟට උන් වහන්සේ කාමයන්ගේ නිස්සරණය කවරේදැයි පෙන්වා දෙති. කාමයන් කෙරෙහි ඇති වන කැමැත්ත, ඡන්ද රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරීම කාමයන්ගේ නිස්සරණය බව බුදුන් වහන්සේ පෙන්වා දෙති.
හේතූන්ගෙන් හටගන්නා, හේතු නැතිව යන විට නැති වී යන පංචඋපාදානස්කන්ධ ධර්මයන් මොහොතින් මොහොත වෙනස් වෙයි. උදාහරණයකට දිවට දැනෙන රසය ගැන ඇති වන සිතිවිලි වෙනස් වෙන ආකාරය බලන්න. දිවට දැනෙන රසය වෙනස් වන විට සිතිවිලි ඒ අනුව වෙනස් වෙයි. ඒ වගේම දිවේ යම් දෙයක් ගෑවෙන මොහොතේ පමණය රසය දැනෙන්නේ. අනෙක් වේලාවට දිව තිබෙන බව වත් මතක නැත. එහෙත් මැරෙන මොහොතේ කෑම ගැන ආශාවෙන් සිතිවිල්ලක් ඇති වුණහොත් ප්‍රේත ලෝකයක උපදින්න පුළුවනි. පංච ස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වභාවය විදසුන් නුවණින් දකින විට එහි තිබෙන අනිත්‍ය බව දකියි; පාලනය කළ නොහැකි අනාත්ම බව දකියි; නැති වී යන ශූන්‍යාත්වයට පත් වන බව දකියි; එයින් ඇති වන දුක අවබෝධ වෙයි. පංචඋපාදානස්කන්ධ ධර්මයන්ට ආශා කරන්නේ නැති සිතක්, නෑලෙන සිතක් ඇති වීමට සිතත්, කයත් දෙක ගැනම හොඳ අවබෝධයක් භාවනාවෙන් ලැබිය යුතුයි. පංච කාමයන් නිසා ඇති වන සතුට, සොම්නස, සැපයට ඇති කැමැත්ත නැති වීම කාමයන්ගේ නිස්සරණයයි.
මෙය එක් වරම කළ හැකි කටයුත්තක් නොවෙයි. පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. සක්කාය දිට්ඨිය, එනම්: මම-මගේ වශයෙන් පවතින සදාකාලික ආත්මයක් නැති බව මුලදී අවබෝධ කරගත යුතුයි. හේතු නිසා ඇති වන, හේතු නැති වන විට නැති වී යන රූපයක් සහ හේතු සකස් වන ආකාරයට ඇති වී නැති වී යන වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන නාමයක් පමණක් ඇති බව මුලින්ම අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා විදර්ශනා භාවනාවක් වැඩිය යුතුයි. සිත සහ කය පිළිබඳව තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගත හැක්කේ එවිටයි. මෙහිදී තමාගේම නුවණින් රූපයේ නිරෝධය සහ නාමයේ නිරෝධය තමාගේ යටිසිතට අවබෝධ වී ගිය හොත් සදාකාලික ආත්මයක් නැති බව දැනගත හැකි වේ. සිත සහ කය හේතූන්ට අනුරූපව පවතින දෙයක් බව දැනගන්නා විට සක්කාය දිට්ඨිය සිතෙන් බැහැරව යයි; වෙනත් මාර්ගයකින් නිවන් අවබෝධ කරගැනීිමට බැරි බව දකියි; බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි අචල විශ්වාසයක් සිතේ ගොඩනැඟෙයි.
එවැනි අවබෝධයක් ලබාගත් කෙනෙක් රූපයේ ආස්වාදය ආස්වාදය ලෙස දකී; රූපයේ ආදීනවය ආදීනව ලෙස දකී. රූපයේ නිස්සරණය කෙසේ සිදු වන දෙයක්දැයි අංශු මාත්‍රයක හෝ අවබෝධයක් එවිට ඇති වෙයි.
රූපයේ ලස්සන නිසා යම් ආස්වාදයක් ලැබීම සත්‍යයක් වන නමුත් ඒ රූපයේ ලස්සන, පැහැය, ශක්තිමත් බව, නීරෝගී පෙනුම හැමදා රඳා පවතින දෙයක් නොවෙයි. වයසට යන විට, ලෙඩ වන විට ජරාවට, මහලු වියට යන විට රූපයේ ආස්වාදය පවතින්නේ නැත. මරණයට පත් වීම වළක්වන්න බැහැ. මැරී දිනක් දෙකක් සතියක් යන විට රූපය ඉදිමී, පුපුරා ගොස් ඕජාව ගලායයි. පණුවෝ රූපය ආහාරය කරගනිති. ඇට-කටු ටිකත් අන්තිමට දිරාපත්ව පොළොවට පස් වෙයි. මම-මගේ නොවන ශරීරයක් නිසා ලබන ආස්වාදය ටික කලකට සීමා වෙයි. ආදීනවය ඊට වඩා දුකක් ලබාදෙයි. සමාධිමත් සිතකින් භාවනාවේ යෙදෙන කෙනකුට සමාධිය ගැඹුරින් ගැඹුරට ගිය විට මේ ශරීරය නොදැනී යයි. ශරීරය නොදැනී ගිය විට දැනෙන්නේ ලොකු සැහැල්ලුවකි. ඒත් සමාධියෙන් මිදී සිතට මේ ශරීරය දැනෙන්නට පටන් ගත් විට ලොකු අපහසුවක්ද ඇති වෙයි. ශරීරය ගැන දැනීම ඇති වන්නේ සිත පවතින බැවිනි. අපට නින්ද ගිය විට ශරීරය දැනෙන්නේ නැත. ඒ වගේම සිහි නැති වූ විට නැත් නම් සිහි නැති කළ අවස්ථාවක සිතට මේ ශරීරය දැනෙන්නේ නැත; සියලු විඳීම් දැනෙන්නේ නැත. සියලු විඳීම් දැනෙන්නේ සිත පවතින නිසාය. පළමුවන ධ්‍යානය, දෙවැනි ධ්‍යානය ආදි ධ්‍යානයන්ට සමවැදීමට හැකියාව ලබාගත් කෙනෙක් වේදනාවේ ආස්වාදය අවබෝධ කරගනී. එවිට නිරාමිස සුඛ වේදනාවක් ඇති වෙයි. ධ්‍යාන සුවයෙන් මිදුණු වහාම ඒ සුවය නැති වී යයි. සියලු විඳීම් අනිත්‍යයයි. රූපාවචර ධ්‍යානද වගේම අරූපාවර ධ්‍යාන ලබා තිබුණත් ඒ ධ්‍යාන සුවයෙන් මිදුණු මොහොතේම ඒ සුඛ වේදනා අනිත්‍යයට යයි. එවිට පහළ වන්නේ දුකකි. සියලු විඳීම් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. නාම රූප නිරෝධය තමා විසින් ගැඹුරු සමාධිමත් සිතින් අවබෝධ කරගත් විට සියලු විඳීම්වලින් තොර වූ නිවනේ සැබෑ නිරාමිස සුවය යම් තරමකට හෝ සිතට අවබෝධ වෙයි. එවිට කාමයන්ට ඇලීමට අකැමැත්තක් ඇති වේ.
ඇස, කන, නාසය, දිව, කය යන පංච ද්වාරය නිසා පහළ වන වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන නාම ධර්මවල අනිත්‍ය බව දකියි. දුක දකියි. අනාත්ම බව, හිස් වූ ශූන්‍ය දෙයක් බව දකියි. පංච උපාදාන ස්කන්ධයන් නිසා ඇති වන දුක දකියි.
සියලු බැඳීම්වලින් තොර වූ, සියලු විඳීම්වලින් තොර වූ, නැවත උපතක් නැති පිරිනිවීමෙන් සසර ගමන නවතා දමන්නට හැකි වන්නේ අධිෂ්ඨානයෙන් යුතුව මේ ධර්ම මාර්ගයේ අවසානය දක්වාම උත්සාහය අත් නොහරින කෙනකුට පමණි.