දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

වෙසඟේ නිසි අරුත වටහා දෙමු

සියලු ලක්වාසීන්ට ආගමික අංශයෙන් මෙන්ම සංස්කෘතික අතින්ද ඉතා වටිනා දිනයක් ලෙස වෙසක් පුන් පොහෝ දිනය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ දිනය අප ඉතා වැදගත් ලෙසින් සලකන්නේ සිදුහත් කුමරුගේ ඉපදීමත්, බුදුවීමත්, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් නිසයි. එම නිසා බුදුරජාණන් වහන්සේට කරනු ලබන බුද්ධ පූජාවක් ලෙසින් වෙසක් දිනය සැමරීමයි වැදගත් වන්නේ.
ලෝක වාසීන්ට සාමය, සමාදානය, හරි වැරැද්ද පෙන්වා දුන් දිනය සැමරීම උදෙසායි මේ දිනය අප විසින් සමරනු ලබන්නේ. මේ සැමරීම විවිධාකාරයෙන් සිදු කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. විහාරස්ථානවල සීල සමාදානය එයින් එක් පූජා ක්‍රමයක්. ඒකටම සමගාමීව සිදුකරනු ලබන බුද්ධ පූජා , මල් පූජා ඇතුළු විවිධ පූජාවන් තවත් සැමරීම් ක්‍රමයක් ලෙසින් අප යොදා ගනු ලබනවා. එසේම පෙරහර පවත්වනවා. දර්ශනීය තොරණ ඉදි කරනවා. ඒ තොරණ අලංකාර කරනු ලබන්නේ බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් යොදමින්. වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කරනවා. ඒකත් එක් ආලෝක පූජාවක්. තෙල් දල්වා පහන් දැල්වීම තවත් ආලෝක පූජාවක්. රට පුරාම ධර්ම දේශනා පවත්වනවා. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වන්නේ කුමක්ද ? බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන ගමන් ඒ පුද්ගලයාත් චරිතවත් අයකු ලෙසින් සමාජයට බිහි කිරීමයි. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට සිටගෙන මල් පූජා කරනු ලබන විට සිතෙහි ඇතිවන තැන්පත්කම ඉවසීම, කරුණාව, මෛත්‍රිය සන්සුන් ඉරියව් මේ සියල්ලම සමාජිය යහපත් පුද්ගලයෙක් නිර්මාණය කිරීමේ ලක්ෂණයන්. ඒ සියල්ලෙන්ම ඔහුට භාවනාවක් ඇති වනවා. බුදුරජාණන් වහන්සේ සිහි කර පවත්වනු ලබන පින්කම්වලට අමතරව යහගුණ සපිරි මිනිසකු බිහි කිරීමත් මේ අනුව සිදුවනවා.
බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීමේදි මේ මල් මොහොතින් මොහොත මැලවී යන්නාක් මෙන් මාගේ ජීවිතයද මොහොතින් මොහොත මැලවී යන බව මා වටහා ගත යුතුවනවා. යන යථාර්ථය තේරුම් ගැනීමෙන් අවබෝධාත්මක යහගුණ සපිරි මිනිසකු බිහිවනවා. බුදුරජාණන් වහන්සේට උපහාර කරනු ලබන අතර තම ජීවිතයේද බොහෝ දේ සකසා ගනු ලබනවා. මානසික සංවර්ධනයට එයින් මහඟු පිටිවහලක් ලැබෙනවා. සියලු පූජා විධික්‍රම මගින් බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේට පුද පූජා කරනු ලබන අතර තම ජීවිතයද සකස් කර ගැනීමට උත්සාහ දැරිමයි. එහෙත් අද බොහෝ පින්කම් පවත්වන අයට එම පින්කම් පැවැත්වීමේ මූලික අරමුණූ අමතක වී ගිහින් තිබෙන බවයි පෙනෙන්නේ. සිරිතක් සම්ප්‍රදායක් ලෙසින් ඒ සියල්ල කරනු ලබන බවයි පෙනෙන්නේ. සිත කය, වචනය සංවර කරගෙන, සැහැල්ලු කරගෙන මේ පින්කම් කළ යුතු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා පින්කම්වල මූලික අරමුණූ අමතක කර දමා සැණකෙළි විනෝදමේලා බවට මේ පින්කම් පත් කරගෙන තිබෙන බවයි පෙනෙන්නේ. පෙරහර පවත්වත්දී එහි පෙරහරට නුසුදුසු නාඩගම් ඇතුළත් කර තිබෙනවා. අපේ සාම්ප්‍රදායික උරුමය රැක දෙන අංග පසෙකලා හුදෙක් විනෝදවීමට යොදා ගනු ලබන අංග යොදා ගෙන තිබීමෙන් පෙනී යන්නේ අපේ හෙළ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමා ඇති බවයි. අපේ සංස්කෘතිය හෑල්ලුවට ලක් වනවා. එය අනාගත පරපුරට විශාල අවාසියක්. වෙසක් පෝයේ අරමුණ කුමක්ද ? යන්න අනාගත පරපුරට යන්නේ නැහැ. ශ්‍රද්ධාව, වැනි ගුණදහම් ජනතා සිත්සතන් තුළට ඇතුළු වන්නේ නැහැ. මේ නිසා වෙසක් පුන් පොහෝ දිනයේ පවා නැටුම් ගැයුම් වැනි විනෝද වීම් සඳහා පෙළඹීමට වත්මන් පරපුර යොමු වෙලා. එය වළක්වා නිසි දැනුම ලබා දීම විහාරස්ථානය මුල් කරගෙන කළ යුතුවනවා. අනාදිමත් කාලයක සිට සිංහල ජාතිය රැකුණේ බුදු දහමේ ආභාසය නිසයි. මේ වන විට නිදහස ලබා වසර 60 ක් ගත වී අවසන් නමුත් අපට තවමත් අපේ කම යළි සකසා ගන්න බැරිවුණා. දිනෙන් දිනම අපේ ගුණදහම් පිරිහෙන තත්ත්වයකයි අපි දිවි ගෙවන්නේ. මේ නිසා විහාරස්ථානයේ හාමුදුරුවන්ටත් තනිවම අපේ ගති ලක්ෂණ සකස් කරන්න අපහසුයි. විහාරස්ථානයකට ගොස් බලන්න. දහ දෙනෙක් දිහා බැලුවොත් ඒ දහ දෙනා වඳින්නෙ දස ආකාරයකටයි. පන්සලෙන් ඈත් කරන්න මිසක් පන්සලට ළං කරන ක්‍රමවේද තවමත් ලංකාව තුළ ස්ථාපිත වෙලා නැහැ. අපේ ආච්චිලාගේ , සීයලාගේ කාලයේදි ධර්ම දේශනාවකට ස්වාමීන් වහන්සේ වැඩම කරන විට සාධුකාර දීමේ නිමක් නැහැ. ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ අසුන් ගෙන නවත්වන්නැයි කියනතුරුම සාධු කාර දෙනවා. නමුත් අද ධර්ම දේශකයාණන් වහන්සේ අසුන් ගෙන සාධුකාරයක් දෙන්න යැයි පැවසිය යුතු තරමට අප පිරිහිලා, ගුණ දහම් සේදී ගිහින්. ආච්චි සීයා ,ගුරුවරුන් දෙස බලාගෙන මේ ගුණ ධර්ම ඉගෙන ගත්තත් අද ඒ සියල්ල විනාශ වෙලා ගිහින්. අද ආදර්ශ ගන්න ඉන්න ආච්චි, සීයා, ගුරුවරුත් ආදර්ශ ගන්න බැරි අය ලෙසට පත්වෙලා. බෞද්ධ ආකල්ප කිසි කෙනෙක් පොත්පත්වලින් ඉගෙන ගත්තේ නැහැ. සියල්ල දැන ගත්තේ වැඩිහිටියන්ගෙන්. මේ නිසා බෞද්ධ ආකල්ප සමාජයට ඇතුළු කරන බෞද්ධ සමිති සමාගම් වගේම පාසල් දහම් පාසල් හරහා ඉටු කරන්න විශාල කාර්යයක් තිබෙනවා. මේ වෙසක් සමයේ හෝ ඒ ආකල්ප හරහා සමාජය දැනුවත් කර ඉදිරි පරපුරට වෙසඟේ නිසි අරුත ලබා දෙන්නට පුළුවන් නම් අපට සැමදා වෙසක් සැමරීම යථාවබෝධයෙන්ම කළ හැකි වනවා.