දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සසර දිනන මඟ

කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි
අනන්ත සත්ත්වයන්ගේ සිත සුවපත් කොට නිවෙන සැනහෙන ක්ෂේම භූමියකට මාර්ගය හෙළි පෙහෙළි කළ ඒ අසිරිමත් ධර්මය දේශනා කොට වදාළේ අපගේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ. ඒ උත්තම ධර්මය නමැති සිසිල් ජලයෙන් බිඳුවක් ඔබගේ මනස සුවපත් කරන්නට යි අදත් සූදානම් වෙන්නේ.
මේ ධර්මෝපදේශ තරම් සිත සුවපත් කරන පිරිසුදු කරන තවත් ඖෂධයක් ඇතැයි පැවසීම ඉතා දුෂ්කරයි.
ආරෝග්‍ය පරමා ලාභා 
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාති 
නිබ්බාණං පරමං සුඛං (ධම්මපදය)

නිරෝගි බව තරම් වටිනා ලාභයක් අපේ ජීවිතවලට තවත් නොවන බවයි තථාගතයන් වහන්සේ අපට පැහැදිලි කළේ. කවුද අකැමැති මේ උතුම් ධනය ජීවිතවලට සමීප කර ගන්න. අපේ ආධ්‍යාත්මික බාහිර දෙක ම සුවපත් කරන මේ නිරෝගිකම ලැබ ගන්න නම් ධර්මාවබෝධය නම් ඖෂධය දුෂ්කර ව සොයා ගනිමින් කාරුණික හදවතින් එය අපට දායාද කළේ අසහාය වෛද්‍යවරයෙක් දක්ෂ ලෙස රෝගියෙකු සුවපත් කරන විලාසයෙන්. තවමත් එවන් වෛද්‍යවරයෙක් මෙලොව පහළ වී නැහැ.
වෙජ්ජුපමෝ ජිනවරෝ - යන්නෙහි අදහස බුදුරජාණන් වහන්සේ තරම් වෛද්‍යවරයෙක් නැති බවයි.
ධම්මෝසධ සමං නත්ථි – ධර්මය තරම් බෙහෙතක් මෙලොව නැත යනු එහි අදහසයි.
සත්‍යයද එයයි. අද නූතන වෛද්‍ය විද්‍යාවෙහි පවා පිළිගෙන තිබෙනවා මිනිසුන්ට වැළදෙන රෝගාබාධ සඳහා කරන ප්‍රතිකාර වන බෙහෙත් පෙති, එන්නත් සැත්කම් ආදී මේ කුමන දෙයකින් වුවත් රෝගය සුවපත් කළ හැක්කේ සියයකට දහයකටත් වඩා අඩු ප්‍රමාණයක්. සියයට 90 ක් පවා ලෙඩ වෙලා තිබෙන්නේ සිත ලෙඩ වීම නිසා. සිත අපිරිසුදු වීම නිසා.
මේ සම්බුදුරදුන් පෙන්වා දුන් මාර්ගයේ අනුගාමිකයන්ට ඒ කිව්වේ ‘සීලය’ පුරන අයට, භාවනා කරන අයට නිතර නිතර වෛද්‍යවරුන් වෙත යන්න වෙන්නේ සැහැ. ඒ අය ලෙඩ වෙනවා අඩුයි. ධර්මය කමටහන කොටගෙන භාවනාවේ යෙදෙමින් ලෙඩ සුවපත් කර ගත් පිරිස් ඉන්නවා. සාංසාරික අකුසල කර්මය නිසා මතුවන මේ භයානක රෝග පවා බලවත් කුසල කර්මවලින් යටපත් කරන්න හැකියාව තිබෙනවා. තථාගතයන් වහන්සේ ඒ ගැන මෙහෙම වදාළා
යස්ස පාපං කතං කම්මං 
කුසලේන පිථියතේ
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භාමුත්තෝ’ ව චන්දිමා 
(ධ.ප. ලෝක වග්ගය)

අප සංසාරයේ ධර්මය නො දන්නා කලයෙහි අපට නිවැරදි වැටහීමක් අවබෝධයක් මද අවස්ථාවල බොහෝ වැරැදි අකුසල කර්ම, අප කරලා ඇති. දැන හෝ නො දැන වැරැදි පාපකර්ම අප අතින් සිදුවෙලා ඇති. ඒ නිසා අප වටහා ගන්න ඕන උපදින හැම ආත්මයකම අපට මනුෂ්‍ය ආත්මයක් නො ලැබෙන්න පුළුවන්. මනුෂ්‍ය ආත්මයක් ලැබුවත් බුද්ධෝත්පාද කාලයක් නො වෙන්න පුළුවන්. මනුෂ්‍ය ආත්මයක් ලැබුවත් බුද්ධෝ්පාද කාලයක් වුවත් සකලාංග ශරීරාවයව මැනවින් අපට පිහිටයි කියලා කාටද කියන්න පුළුවන්. ඒ වගේම තමා මේ කාරණා තුන ම තිබුණත් ධර්මයට ලැදි සිතක් පහළ වෙන්නේ කීයෙන් කී දෙනාටද? සරළව කියනවානම් 1. බුද්ධෝත්පාද කාලයක ඉපදීම, 2. මනුෂ්‍ය ආත්මය භාවයක් ලැබීම, 3. ධර්මයට නැමෙන සිතක් ඇතිවීම, 4. ත්‍රිහේතු උපතක් වීම දුර්ලභ කාරණායි.
යමෙකු මේ කාරණාවලින් සන්නද්ධ ව සිටිනවා නම් අප එය හඳුන්වනවා ‘ක්ෂණ සම්පත්තිය’ කියලා. ඒ වගේම ඒක ස්වර්ණමය ඉතා දුර්ලභ නිධානයක් වගේ වටිනවා. මේ සියල්ලම කාට හෝ සසරේදී උරුම වුණානම්, හමුවුණා නම් කොතරම් වාසනාවක්ද? කොතරම් දුර්ලභ අවස්ථාවක්ද? එහෙමනම් මේ ධර්මයට ලැදි ඔබ සැමට දැන් පී‍්‍රතියක් ඇතිවෙන්න ඕන අප ඒ මහා භාග්‍යවත් පුරුෂයන් නේද? මිනිසුන් නේද? අපත් ඒ මහා පුණ්‍යවන්තයෝ නේද? කියලා.
ඔබ කොසොල් රජතුමා ගැන හොඳින් දන්නවා. බොහෝ ධර්ම කාරණා බුදුරජාණන් වහන්සේ කොසෙල් රජුට පැහැදිලි කළ ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. දවසක් කොසොල් රජතුමා සහ බුදුරජාණන් වහන්සේ අතර කතාබහක් ඇතිවෙනවා. රජතුමා බොහොම මහන්සි වෙලා විඩාවට පත්වෙලා වැඩ කටයුතු අවසන් කරමින් වහ වහා බුදුන් වැඩ සිටි ස්ථානයෙන් ගමන් කළා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ විමසනවා මහරජ, කොහේ ගිහින්ද මේ විඩාබර වෙලා ඉන්නේ කියා. කොසොල් රජු මහන්සි බව තිබුණත් බොහෝ නිවුණ බවකින් යුතුව කියනවා ස්වාමිනි, මම මහා රජ කෙනෙක්. මට අසීමිතව වැඩ කටයුතු තිබෙනවා. මම මහ පොළොව දිනපු කෙනෙක්. ප්‍රත්‍යන්ත රාජ්‍ය ගණනාවක් දිනපු කෙනෙක්. මට බලය තිබෙනවා. චතුරංගනී සේනාව ඉන්නවා. බලයෙන්, ධනයෙන් ආඪ්‍ය ජීවිතයක් මම ගත කරන්නේ. හිස මත පැළඳු කිරීටය මා සම්භාවනාවට පත්කර තිබෙනවා. මහජනතාව මගේ දරුවො. මේ සියල්ලේ හිමිකරු මම. මම සාමාන්‍ය තත්ත්වය ඉක්මවපු කෙනෙක්. ඒ නිසා මට වගකීම් වැඩියි. වෙහෙසත් වැඩියි කියලා. මේ කථාව ඇසු බුදුරජාණන් වහන්සේ වදාළා මහරජතුමනි, ඔබ කියපු ආකාරයට ඔබට බොහෝ දේවල් තිබෙනවා. ඒත් රජතුමනි, ඔබ මට කියන්න ඔබ කියපු දිනපු ප්‍රත්‍යන්ත රාජ්‍යයක රැකවල්ලා සිටි රාජ පුරුෂයෙක් නො සිතපු වෙලාවක වහ වහා දිව අවුත් බොහෝම කලබලයෙන් කියනවා දේවයන් වහන්ස, කමා කළ මැනව. මහා විපත්තියක් ඇති වෙලා තිබෙන්නේ. අපේ රාජ්‍යයේ උත්තර ප්‍රදේශයෙහි විශාල කාළ වර්ණ පර්වත රාජයෙක් ගහ කොළ සතා සිවුපාවන් මඬිමින්, මිනිසුන්ගේ ජීවිත විනාශ කරමින්, වාසස්ථාන පොළොවට සමතලා කරමින්, සමීප කරමින් කඳු මුදුනින් ගිලිහි ගම් දනවු සිසාරමින් පෙරළෙනවා. අනේ අපේ යටත් වැසියන් බොහෝ පීඩාවට පත්වෙලා. හිස් ලූ ලූ අත දිව යනවා. වැටී මියයනවා කියලා. රජතුමනි මෙවන් මොහොතක ඔබ මොකද කරන්නේ? එයට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියා විමසුවා.
ඒ අවස්ථාවේ මහජතුමා කියනවා ස්වාමිනි, ඒක අසාමාන්‍ය පර්වතයක්. මිනිසුන් වන අපට ඊට මුහුණදීම දුෂ්කර ප්‍රයත්නයක්. අප විපතට පත්වෙනවාමයි කියලා. ඒ ක්ෂණයෙහි ම බුදුන් වහන්සේ නැවත අසනවා මහරජ, එවැනි පර්වත හතරක් ද සිවු දිශාවෙන් පැමිණුණොත් ඔබ පූර්වයෙන් කියන ලද නානා ප්‍රකාර බලයයන් යොදවලා ඉන් මිදීමට අවකාශ තිබෙනවාද ? රජතුමා කියනවා ස්වාමිනි, මිනිසුන් වන අප වටා මොන තරම් බලයක් කේන්ද ගතවෙලා තිබුණත්, එවැනි අසාමාන්‍ය අවස්ථාවන්ට මුහුණ දෙන්න ඉන් මිදෙන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ කොසොල් රජුට වදාළා මහරජ, සිවු දිශාවෙන් එන එවැනි අසාමාන්‍ය පර්වතයන් වළකාලන්න අපට මොන බලය තිබුණත් නොහැකි වන්නේ යම් සෙයින්ද එසේම මේ ජීවිතයට සිවු දිශාවන්ගෙන් පැමිණෙන ළඟා වෙන ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදී චතුර්විධ පර්වතයන් තිබෙනවා. ඒවා අපේ සාංසාරික ගමනේ යහපත් මාවත අහුුරණවා. සුණු විසුණු කරනවා. ගමනට බාධා කරනවා. මහා දුකට අප ඇද දමනවා.
මේ පැහැදිලි කිරීමට සවනත යොමා සිටි කොසොල් රජු කියනවා බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ අවස්ථානුකූල ව සුදුසු මොහොතේ දී මනාව කාරණය පැහැදිලි කළා. මට හොඳින් වැටහුණා. අප මොන දෙයින් සන්නද්ධ ව සිටියත් මේ අවස්ථා අපට ජය ගැනීම අසීරුයි. එහෙමනම් බුදුරජාණන් වහන්ස අප ඉන් මිදීමට කළයුත්තේ අනුගමනයට සුදුසු වූයේ කුමන ක්‍රියාදාමයක් ද? යන්නත් මගේ හිතට නො වැටහේ.
එවලෙහි තථාගතයන් වහන්සේ වදාළා මහරජ, අප ඒවා ජයගන්න නම් ධර්ම චරියාවේ හැසිරිය යුතුයි. ‘ධම්මො හවේ රක්ඛති ධම්මචාරි’ ධර්මයේ හැසිරෙන තැනැත්තා ධර්මයෙන්ම ආරක්ෂා කරනවා. ක්ෂණ සම්පත්තිය ලබපු අප මේ ජීවිතයෙන් අභිවෘද්ධියට යන්න නම් සම චරියාවෙහි යෙදිය යුතුයි. අන්‍ය ක්‍රියාවන්හි යෙදිය යුතුයි. දාන, ශීල, සමාධි, ප්‍රඥා, වීර්ය ආදිය උපදවා ගත යුතුයි කියා.
ඉහත අප කථාකළ සූත්‍රයේ නම ‘පබ්බතූපම සූත්‍රය’ යි. පර්වතයක් උපමා කරගෙන ධර්මකාරණා අවබෝධයට නතු කළ නිසා මේ නම යොදා තිබෙන්නේ. මේ සූත්‍රයෙන් පැහැදිලි කරපු කාරණා ඉතා ම වටිනවා. බොහෝ දෙනා වෙහෙසෙන්නේ, ධනය, බලය, නිලතල, ගරු නම්බු ආදිය තමා වටා රැස්කර ගන්න. ඒවා තිබෙන විට මොහොතක්වත් හිතන්නෙ නැහැ අපට ජයගන්න බැරි දෙයක් තිබෙනවා කියලා. මුදලින් සියල්ල කළ හැකියි, පිරිස් බලයෙන් සියල්ල කළ හැකියි, නිලතල තුළින් ලබන ගෞරවය පිළිගැනීම ආදිය තුළින් සියල්ල කළ හැකියි. මේ මානසිකත්වයෙන් තමා සෑම චරියාවක්ම තීරණය වෙලා තිබෙන්නේ. එසේ හිතන පතන අයට ඒ මානසිකත්වයෙන් අන්ධවෙලා ඉන්න අයට මේ සූත්‍රයෙන් ලබාදෙන අවබෝධය වැටහීම ඒ අඳුරින් ආලෝකයට සිත මෙහෙයවා ගන්නට හේතු වෙනවා. ඒ අයට විතරක් නොවේ ධර්ම චරියාවේ සිත් ඇති හැමදෙනාටම මේ කාරණා බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.
නයනා නිල්මිණි