දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ධර්ම දේශක - ශ්‍රාවක දෙපිරිස වනාහි

දහසක්‌ දුක්‌ කරදර කම්කටොලුවලින් වෙලීගිය අවුල් ජාලාවකින් පිරී ඉතිරී ගිය ගිහි ජීවිතයක්‌ ගතකරන පෘථග්ජන සත්ත්වයා සොයනුයේ සැප සහ සතුටයි. කෙළෙස්‌බරින් වෙලීගිය සංසාර ඔලගුව බිම තබන තුරු ප්‍රතග්ජන සත්වයාට නොලැබෙන්නේද සැප සතුටයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සතත්aවයාට සදාකාලික සැප සතුට අත්කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළක්‌ දේශනා කර ඇත. එය නම් ශ්‍රී සද්ධර්මයයි. උන්වහන්සේ පිරිනිවන් පා වසර දහස්‌ ගණනක්‌ ගත වුවද අද දක්‌වාම එකී ශ්‍රී සද්ධර්මය එලෙසින්ම මූලික බුද්ධ දේශනා වශයෙන්ම අපට අසන්නට ශ්‍රවණය කරන්නට, හදාරන්නට හැකියාව ඇත. ඒ හැකියාව උදාවී ඇත්තේ ඒ ධර්මය එලෙසින්ම සන්නිවේදනය කරන දේශක උතුමන් වහන්සේලා නිසාය. එනිසා උන්වහන්සේලා කරන කාර්යභාරය අනභිභවනීයයි. 
එකී කාර්යභාරය ඉටුකිරීමේදී දේශක උතුමන් තුළ යමකුට යමක්‌ දේශනා කිරීමේ හැකියාව පමණක්‌ වැදගත් නොවන්නේය. ඒ තුළ තමා පිහිටා යම් අධ්‍යයනයක්‌ කොට එහි පරිපූර්ණ තත්ත්වයකට පත්විය යුතුය. ධර්මය යනු බුද්ධ භාෂිතයයි. එයින් ගම්‍ය වන්නේ තමා කරනු ලබන දේශනාව තුළින් ශ්‍රාවකයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් අකුසල් මුල් නසා නිවන් අවබෝධ කරගනු වස්‌ මංපෙත් විවර කරදීමයි. තථාගත දේශනාවකට සවන්දී ධාරණය කරගෙන පිළිවෙත් සපුරා නිවන් මඟ හෙළිකර ගැනීමයි. මාර්ගඵල අවබෝධයයි. තථාගත දේශනා තුළින් බුද්ධ ශාසනය පිළිබඳවත් එහි ඇතිවීම, නැතිවීම තුළ සත්ත්වයා තුළ කළ යුතු නොකළ යුතු දේ, වැඩිය යුතු කුසලතා ආකල්ප අවබෝධ කළ යුතු ධර්මය ආදී කරුණු මත පිහිටා දහමේ හරහා ශ්‍රාවකයාට සන්නිවේදනය කළ යුතුය. වර්තමානයේදී මෙකී සන්නිවේදනය සඳහා බොහෝ මාධ්‍ය ඉදිරිපත්වී තිබීම අපේ වාසනාවකි. එකී මාධ්‍ය තුළින් ධර්මය ශ්‍රවණය කිරීමේදී ප්‍රධාන කාර්ය වන්නේ, ගැටලුව වන්නේ ධර්මය ශ්‍රවණය කරනු ලබන මොහොතේ දේශක - ශ්‍රාවක සම්බන්ධතාවය දෙතැනක වීමයි. එහෙත් ග්‍රාමීය මට්‌ටමේ දම් සභා මණ්‌ඩපයේදී ප්‍රශ්න නිරාකරණය කර ගැනීමේ වාසනාව උදාවී ඇත. දම් සභා මණ්‌ඩපයට වැඩම කරවන දේශක උතුමන් වහන්සේ සැදැහැ සිත් පෙරටුකොට, පා දොaවනය කර සත්කාර සම්මාන දක්‌වා තුනුරුවනට කරන ගෞරවයෙන් ධර්මාසනය තුළ වඩා හිඳුවා බලාපොරොත්තු වන්නේ තථාගත දේශනාවක්‌ ශ්‍රවණය කිරීමටයි. එකී තථාගත දේශනා කරනු ලබන දේශක උතුමන් හා ශ්‍රාවක පිරිස්‌ තුළ විශේෂ ලක්‌ෂණ තුනක්‌ ඇතිවිය යුතුය. ධර්ම ගෞරවය, දේශක ගෞරවය, ශ්‍රාවක ගෞරවය යන මේ ත්‍රිත්වය ඇතිකරගත යුතුයි.
'සබ්බ දානං - ධම්ම දානං ජිනාති' යන බුදුවදනට අනුව තමන් වහන්සේ විසින් කරනු ලබන ධර්ම දේශනය පරම පූජනීය කාර්යභාරයක්‌ සේ සලකා අවබෝධයෙන් දම් දෙසිය යුතුය. අවබෝධයෙන් ධර්මය ශ්‍රවණය කළ යුතුය. එසේ දේශනා කිරීමේදී කරනු ලබන ධර්ම දේශනාව තුළින් ශ්‍රාවකයාගේ ශ්‍රවණය කිරීම ඔස්‌සේ ඔහුට හෝ ඇයට ප්‍රධාන දහම් කරුණු පහක්‌ තම සංසාර ගමන නැවැතීම උදෙසාත්, ඒ සඳහා අවශ්‍ය මංපෙත් විවර කර ගැනීම සඳහාත් බව දේශක උතුමන් වටහාදිය යුත්තේය. ඉන් පළමු වැන්න 

1. සත්තානං විසුද්ධියා - සත්වයාගේ පිරිසිදුකම ඇති කර ගැනීමටත්,

2. ශෝක පරිද්දවානං සමතික්‌කමාය - ශෝක වැළපීම්වලින් නිදහස්‌ වීමටත්

3. දුක්‌ඛ දොaමනස්‌ස අත්ථංගමාය - දුක්‌ දොම්නස්‌වලින් (කායික - මානසික) මිදීමටත්

4. ඤායස්‌ස අධිගමාය - චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයටත්

5. නිබ්බාතණස්‌ස සච්ච කිරියාය - උතුම් වූ නිර්වාණය සාක්‌ෂාත් කර ගැනීම සඳහාත්

යන කරුණු කාරණා මත පිහිටා ධර්මය දේශනා කළ යුතු බව දේශක උතුමන් වටහාදිය යුතුය. වටහා ගත යුතුය. උන්වහන්සේ දේශනා කරනු ලබන දේශනාවල ප්‍රගුණ කළ දහමක්‌ද විය යුතුය. ප්‍රගුණ නොකරන ධර්මය දේශනා කිරීමෙන්, ප්‍රගුණ කළ ධර්මය අනුනට නොදෙසීමෙන්, ප්‍රගුණ නොකළ ධර්මය අනුනට දේශනා කිරීමෙන් ධර්මය අතුරුදන් වන බව අංගුත්තර නිකායේ සද්ධර්ම සම්මෝහ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත. එසේම අංගුත්තර නිකායේ දුක නිපාතයේ අධිකරණ වග්ගයේ වැරැදියට ගත් අර්ථ අවබෝධය සද්ධර්මය විනාශ කරන බවත්. නිවැරැදිව ගත් අර්ථ අවබෝධය සද්ධර්මයේ පැවැත්මටත්, විනාශ නොවීමටත් හේතුවන බව සඳහන් වේ.
තවද ධර්ම සන්නිවේදනය කරන උතුමන් විසින් ගොඩනංවා ගත යුතු කරුණු පහක්‌ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත.

1. පිළිවෙළක්‌ ඇතිව නිරවුල් කථාවක්‌ කරමි යනුවෙන් දහම් දෙසිය යුතුය

2. ඒ ඒ දෙය එසේ සිදුවීමට හේතු සාධක දක්‌වමින් සුදුසු කථාවක්‌ කරමි යනුවෙන් දහම් දෙසිය යුතුය

3. දුකට පත් සත්ත්වයින් දුකින් මුදවමී යන මෙත් සිතින් දහම් දෙසිය යුතුය

4. සිව්පසය හෝ කීර්ති ප්‍රශංසා ලාභ ප්‍රයෝජන අපේක්‌ෂාවෙන් තොරව ධර්මය දේශනා කරමි යනුවෙන් දහම් දෙසිය යුතුය

5. තමා හුවා දක්‌වමින් අනෙකා හෙළා දැකීම නැතිව අන් ගුණ නොනසන දහමක්‌ දේශනා කරමි යන කාරණා පහ මත පිහිටා දම් දෙසිය යුතුය. සන්නිවේදනය කළ යුතුය. 

මෙයින් දේශකයාණන් වහන්සේ තුළ ශ්‍රාවකයා කෙරෙහි අනුකම්පා සහිත මනසකින් ක්‍රියාකිරීම ද අත්‍යවශ්‍ය කරුණක්‌ වන්නේය. එසේම දේශනයක අවසාන ඉලක්‌කය විය යුත්තේ ද ශ්‍රාවකයා තුළ අවබෝධයක්‌ ධර්ම ඥනයක්‌ ඇතිකරලීමයි. ධර්ම සන්නිවේදකයන් උතුමන් තුළ ගොඩනංවා ගත යුතු ආකල්ප සමුදායක්‌ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ චන්දූපම සූත්‍රයේදී තවත් කාරණා හතරක්‌ දේශනා කර ඇත. 

1. තමා දහම් දෙසීමේදී ධර්මය මැනවින් අවබෝධ කර ගැනීම

2. කරුණාව පෙරදැරිව

3. දයාව පෙරදැරිව

4. අනුකම්පාව උපදවාගෙන (ශ්‍රාවකයා කෙරෙහි) 

මේ කාරණා මනා ලෙස තම සිත් තුළ රඳවා ධර්මය දේශනා කිරීමේදී දේශනා කුසය සම්පූර්ණව හිමි වන බව තථාගත දේශනාවයි. සාර්ථක ධර්ම දේශනා කරන උතුමකු තුළ තමා ගොඩනඟා ගත යුතු සුදුසුකම් අතුරෙන් දේශනාවේ මුල, මැද, අග පරස්‌පර නොවන ලෙසත්, දේශනා කළ පරාසය පිළිබඳවත්, අර්ථය ගිලිහීs නොයන ලෙසත්, ශ්‍රමණ ආක්‌ප හා චර්යා ධර්ම ආදියට හානියක්‌ නොවන පරිදි, ඉතා ශිෂ්ට වචන වාග් මාලා සහිතව, අග පසඟ මනා ලෙස පවත්වමින්, ධර්මය දේශනා කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරනු ලබයි. තවද දේශනා කරන ස්‌ථානය රඟමඬලක්‌ නොකළ යුතුය. එසේම තමන් වහන්සේගේ දේශනාව කරන විට ගීතස්‌වරය යොදාගෙන ළෙලව ළෙලවා හඬ උස්‌ පහත් නොකර ධර්මය දේශනා කළ යුතු බවට ශික්‌ෂා පදයක්‌ද පනවා ඇත. (විනය පිටකයේ ඛුද්දක චත්තුක්‌ ඛන්ධකයේ)
එසේම තමා දේශනා කරනු ලබන්නේ භාග්‍යවවතුන් වහන්සේ සංසාරයේ බොහෝ කල් දුක්‌ විඳ අවබෝධ කරගත්, ප්‍රත්‍යක්‍ෂ කරගත්, සම්මා සම්බුද්ධ ඥානයට ගෝචර වූ අතිශයින්ම පූජනීය දහමක්‌ බව නිරතුරු සිත්හි රඳවා ගත යුතුය. ඒ සඳහා විශේෂ වූ පෙර සූදානමක්‌ තිබිය යුතුය. එසේ නොවී බුද්ධ මතය පසෙක ලා තම මතය ප්‍රකාශ කළොත් වන හානිය විඳීමට සිදු වන කර්ම විපාක ඉමහත්ය.
ආර් අනුර පියතිස්‌ස 
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤