දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

නුදුන් දේ ගැනීම


පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි,
ආර්ය නිකේතනය, කන්නිමහර-වතුරුගම. 

සම්මුති ජීවිතය තුළ අනුන්ට අයත් වස්‌තුවක්‌, අයිතිකරුට හොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදානය ලෙස හැඳින්වේ. අදත්තාදානය හෙවත් සොරකම් කිරීම, කර්ම පථයක්‌ බවට පත්වීමට කාරණා පහක්‌ සම්පූර්ණ විය යුතුය. එනම් අන්සතු වස්‌තුවක්‌ වීම, අන්සතු වස්‌තුවක්‌ බව දැනීම, පැහැරගනු ලබන සිත, පැහැර ගැනීමට උපක්‍රම කිරීම සහ වස්‌තුව ගැනීම යන අංග පහයි. 

අදත්තාදානය සිදුකරන ආකාර පොතපතේ පහත ලෙස පෙන්වයි. මෙම ක්‍රමයන් පිළිබඳව ව්‍යතිරේඛයන් ද පවතී.

අනුන් අයිති වස්‌තුවක්‌/සත්වයෙක්‌ නඩු කියා තමන් සතුකර ගැනීම, තමන් ගෙනයන අනුන්ගේ වස්‌තුවක්‌/සත්වයෙක්‌ සොර සිතින් ගැනීම, තමන් ළඟ පරිස්‌සමට තැබූ වස්‌තුවක්‌/සත්වයෙක්‌ නොදී සිටීම, වෙනත් අයකු වෙත ගෙන යන වස්‌තුවක්‌/සත්වයෙක්‌ එම ගෙනියන පුද්ගලයා ලවාම සොර සිතින් තමන්ට අවශ්‍ය තැනකට ගෙන්වා ගැනීම, යම් වස්‌තුවක්‌ සොර සිතින් තුබූ තැනින් එසවීම (සත්වයෙක්‌ නම් සිටිය තැනින් සොරකම් කිරීම), සියතින් ම සොරකම් කිරීම, අනුන් ලවා සොරකම් කරවීම, ගෙන යන බඩු හෝ ගෙදරක බඩු සොර සිතින් එලියට විසිකර පසුව අහුලා ගැනීම, අනුන්ගේ වස්‌තුවක්‌ සොරකම් කරවීමට නියම කිරීම, අන්සතු වස්‌තුවක හිමියාට ඇති ආශාව නැතිකර රවටා තමා සතුකර ගැනීම, පූර්ව ප්‍රයෝගයෙන් හෝ ප්‍රයෝගය සමඟ ම සොරකම් කිරීම, කීප දෙනෙකු එකතු වී සොරකම් කිරීම, වේලාව නිමකර සොරකම් කිරීම, සංඥා නියම කොට සොරකම් කිරීම, හොරට කිරුම් මිනුම් කිරීම, අන් සතු වස්‌තුව හිමියාට නොපෙනෙන ලෙස ගැනීම, අනුන් තළා පෙළා බිය ගන්වා අන්සතු වස්‌තුව ඉල්ලා ගැනීම, භාණ්‌ඩය පිළිබඳ ව ද සහ ප්‍රදේශය පිළිබඳව ද නිශ්චයක්‌ නැතිව අන්සතු වස්‌තුව සොරා ගැනීම, අන්සතු දේ වැලි ආදියෙන් වසා දමා පසුව ගැනීම, අන්සතු දේ තමා නමින් ලේබල් කර සොරා ගැනීම යනා දී ක්‍රම විධි අදත්තාදානයට අයත් වේ.

මෙසේ සොරකම් කිරීම, මෙලොවදී ත් පල දෙයි. එසේ සොරකම් කිරීමෙන් රජයේ වධ බන්ධනවලට ලක්‌වීමට සිදුවේ. එමෙන්ම සමාජයෙන් ගැරහුම් ලබයි. තවද පහර කෑම් ලක්‌වී මරණයට පවා පත්විය හැකිය. මරණෙන් මතු නිරයේ ඉපිද බොහෝ කලක්‌ දුක්‌ විදියි. ප්‍රේතව ඉපිද සා පිපාසයෙන් පෙලේ. තිරිසන්ව ඉපිද වස්‌තු හිමියන්ට බර අඳිමින් දුක්‌ විදී. සතර අපායෙන් මිදී මිනිසත් බව ලැබු කල්හි දුගීව උපදියි. බැල මෙහෙවරකම් කරයි. කෙසඟ සිරුර සහිතව කුණු තවරාගෙන උකුණන් පිරුණ හිස්‌ ඇතිව මහා දුකක්‌ විදියි.

කෙසේ වෙතත් අදත්තාදානය ආර්ය ජීවිතය තුළ විග්‍රහ කිරීම, නිර්වාණය කරා යන අයට මහත් උපකාරයක්‌ වනු ඇත.

ආර්ය විනයේ අංගයක්‌ ලෙස අදත්තාදානයෙන් වෙන්වීම, දින්නාදානං නිස්‌සාය අදින්නාදානං පහාතබ්බා - දුන් දේ ගැනීම නිසා නොදුන් දේ ගැනීම හළයුතුය" ලෙස පෝතලිය සූත්‍රයේ සඳහන් වෙයි. ආර්ය ජීවිතය යනු නිවන පමණක්‌ තෝරාගත් ජීවිතයයි. භික්‌ෂුව යනු ආර්ය ජීවිතයක්‌ ගතකිරීමට සිවුර දරාගත් උත්තමයෙකි. ගිහි අයෙකු සෘජුවම නිවන අරමුණු නොකරන අතර තමන්ගේ අවිද්‍යාව නිසා සංසාරය හොඳයි මැනවයි කියා සිතන අයෙකි. නමුත් ගිහියෙකුට වුවත් ආර්ය ජීවිතයකට එක්‌තරා ප්‍රමාණයකට හෝ ඇතුල්විය හැකිය. මෙය කියවන ඔබ මෙම කාරණය පටලවා නොගෙන අවබෝධ කරගන්න. 

නිවන් දකින කෙනාට අවශ්‍යතා ප්‍රධාන හතරකි. සිව්පසය ලෙස පෙන්වා දෙන්නේ මෙම අවශ්‍යතා වේ. මෙම සිව්පසය ලබාගත යුත්තේ දුන් දෙයක්‌ ලෙසිනි. නුදුන් දෙයක්‌ ලෙස නොවේ. ඊට හේතුව වන්නේ තණ්‌හාව ඇතිකර නොගැනීමයි. භික්‌ෂුව පරිහරණය කරන චීවරය දුන් දෙයකි. එනම් කවුරු හෝ පූජා කල දෙයකි. කැමති ලෙස මිල දී ගත් දෙයක්‌ නොවේ. එමෙන්ම එම චීවරය පරිහරණය කරන්නේ ආරක්‌ෂාවටත්, විලිවසා ගැනීමටත් කියන කාරණා සදහාය. මෙලෙස භික්‌ෂුවක්‌ පූජාකල චීවරයක්‌ ප්‍රත්‍යවේක්‌ෂා කොට පරිහරණය කරන්නේ නම් ඒ තුළ තෘෂ්ණාවක්‌ ඇති නොවේ. නමුත් චිවරවලට කෑදරකමින් පරිහරණය කරනවා නම් එහි දී තෘෂ්ණාව ඇති වේ. නමුත් සාමාන්‍ය ගිහි පුද්ගලයා ඇදුම් කැමති ලෙස මිල දී ගෙන, ඒවා ලස්‌සනයි හොඳයි මැනවයි කියා ඒවා පරිහරණය කරන බැවින් එහි තෘෂ්ණාව ඇත. එනම් භික්‌ෂුවට චීවරය දුන් දෙයි. සාමාන්‍ය ගිහියාගේ ඇදුම ගත් එකකි. එනම් පූජා නොකල නුදුන් දෙයකි.

භික්‌ෂුවකට දානය දුන් දෙයකි. එනම් පූජා කළ දෙයකි. එම දානය වළඳනුයේ මදයට, ජවයට, අලංකාරයට රසවිඳීම පිණිස නොවන බව ප්‍රත්‍යවේක්‌ෂා කරයි. එහිදී ආහාරය නිසා තෘෂ්ණාවක්‌ ඇති නොවේ. එසේ නොකරන්නේ නම් තෘෂ්ණාව ඇති වේ. නමුත් සාමාන්‍ය ගිහි අයෙක්‌ කැමති දේ මිලදී ගෙන, තමන් කැමති ලෙස ආහාර පිළියල කරගෙන, රස තෘෂ්ණාවෙන් අනුභව කරයි. එහිදී ඔහුට තෘෂ්ණාව ඇති වේ. මේ අනුව භික්‌ෂුවට දානය දුන් දෙයකි. මන්ද පූජා කළ දෙයක්‌ වන බැවිනි. එමෙන්ම කැමති ලෙස ආහාර මිලදී ගත්තානම් එය ගත් දෙයකි. එනම් එය නුදුන් දෙයකි.

භික්‌ෂුව පරිහරණය කරන කුටිය, පංසල, ආරාමය, සේනාසනය කවුරු හෝ පූජා කළ දෙයකි. එනම් එය දුන් දෙයකි. එය පරිහරණය කරනවිට භික්‌ෂුව, ආරක්‌ෂාව සඳහා භාවිතා කරන බවට ප්‍රත්‍යවේක්‌ෂා කර පරිහරණය කරන නිසා එහි තෘෂ්ණාවක්‌ ඇති නොවේ. නමුත් සාමන්‍ය ගිහි පුද්ගලයා තමන් කැමති ලෙස සැලසුම්කර නිවසක්‌ සාදාගෙන එහි ඇලීගැලී වාසය කරයි. එනම් එහි තෘෂ්ණාව හටගනී. එනම් භික්‌ෂුවට වාසස්‌ථානය දුන් දෙයකි. නමුත් ගිහි පුද්ගලයාට වාසස්‌ථානය, කැමති ලෙස සාදාගත් නුදුන් දෙයකි.

භික්‌ෂුවට බෙහෙත් හේත් පූජා කරයි. එනම් එය ද දුන් දෙයකි. බෙහෙත් වළඳන විටත් ප්‍රත්‍යවේක්‌ෂාකර වළඳන නිසා එහි තෘෂ්ණාවක්‌ හට නොගනී. නමුත් සාමාන්‍ය ගිහි පුද්ගලයා බෙහෙත් මිලදී ගන්නේ නම් එය නොදුන් දෙයකි. 

භාග්‍යවතුන් වහන්සේ අත්‍යාවශ්‍ය දේ ඉල්ලීම සඳහා යම් අවස්‌ථාවන්හී දී භික්‌ෂුවට අවසර ලබා දී ඇත. නමුත් බුදු පියාණන් වහන්සේ භික්‌ෂුවට අනුදැන වදාලේ පෙර කුසලය මත විවිධ ආකාරයෙන් දානය ලැබුණොත් වළඳන ලෙසත්, එසේ නොමැතිනම් පිණ්‌ඩපාතෙන් යෑපෙන ලෙසත් ය. එමෙන්ම තමාට ලැබුන දානය ජීවිතයේ අවසන් ආහාරය ලෙස සලකා විදසුන් වැඩිය යුතු බවත්ය. එමෙන්ම පෙර කුසලය මත යම් සේනාසනයක්‌ භික්‌ෂුවට ලැබුණේ නම් එහි නො ඇලී වාසය කරන ලෙසත්, නැතිනම් ගසක්‌ මුල වාසය කරන ලෙසත් අනුදැන වදාරා ඇත. තවද චීවරය පෙර කුසලය මත ලැබුණොත් එය නො ඇලී පරිහරණය කරන ලෙසත් නැතිනම් මළමිනිය ඔතා දමන ලද පාංශුකූල චීවරය පරිහරණය කරන ලෙසත් වදාරා ඇත. එමෙන්ම බෙහෙත්හේත් පෙර කුසලය මත ලැබුණොත් නොඇලී වළඳන ලෙසත්, එසේ නොමැතිනම් තමන්ගේම මුත්‍රා බෙහෙත් වශයෙන් ගන්නා ලෙසත් වදාරා ඇත. මේ අනුව නිවන් අරමුණු කරන කෙනා යනු ජීවිතයට ඇති ආශාවද අතහැර දමමින්, මමත්වය අතහැර දමමින් කටයුතු කරන පුද්ගලයායි. ඔහු ක්‍රමයෙන් නිවෙන කෙනෙකි. සිතේ කෙලෙස්‌ ගති නැති වී අභ්‍යන්තරය පිරිසිදු කරගන්නා කෙනෙකි. විවේකීව සතුටින් සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතය ගතකරන කෙනෙකි. සියලු පව් අතහරින කෙනෙකි. සසර බැඳීම් වලින් නිදහස්‌ වන කෙනෙකි. ප්‍රශ්න සියල්ලෙන් නිදහස්‌ වන කෙනෙකි.

මගේ කියා ගත නොහැකි දේවල් මගේ කියා සිතෙන් අත්පත්කර ගැනීමත්, ගැඹුරින් සලකා බැලූවිට නුදුන් දෙයක්‌ අත්පත්කර ගැනීමකි. පාරේ යන විට යම් අයෙක්‌, වාහනයක්‌, මල් ගසක්‌ හෝ වෙනයම් රූපයක්‌ ලස්‌සනයි, හොඳයි මැනවයි, අත්පත් කරගන්න ඇතිනම් හොඳයි ලෙස සිතයි නම්, එය තමන්ට නුදුන් දෙයක්‌ මගේ කරගැනීමකි. මෙසේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ෂ යන පංචකාමයන් මගේ කියා ගැනීම නුදුන් දෙයක්‌ මගේ කර ගැනීමකි. මේ තුළින් රජයේ බන්ධනාගාර වලට යාමක්‌ සිදු නොවන නමුත්, සංසාර හිරකූඩුවේ සිරවීමක්‌ වී අප්‍රමාණ දුකක්‌ විඳී. ස්‌වභාව ධර්මයේ ධාතු හතරකින් සාදන මව හා පියා නිසා බිහිවන ආහාර නැමති සතර මහ ධාතුන්ගෙන් පෝෂණය වන රූපය හෙවත් තමන්ගේ කය සෑම මෙහොතකම වෙනස්‌ වෙමින් ජරාවටත්, මරණයටත් පත් වේ. මෙම රූපය ද තමන්ට නොදුන් දෙයකි. තමන්ගේ අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා නිත්‍යයි, සුඛයි, ආත්මයි කියා ස්‌වභාව ධර්මයට අයිති රූපය සහ රූපය හා බැදුන සියල්ල මගේ කරගෙන අප්‍රමාණ දුකක්‌ විදී. තමන් අයිති නැති, තමන්ගේ වසඟයේ පත්වාගෙන යා නොහැකි රූප නිසා හටගන්නා සියලු සිත් ද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ක්‍රියාවලියකි. මෙම සිත සහ කය මගේ කරගැනීම නිසා බොහෝ දුකට පත්වේ. මෙය නුදුන් දේ ගැනීමේ ආදීනවයයි. 

පඨවි, ආපෝ, තේජෝ, වයෝ, ආකාස සහ විඤ්ඤාණ ස්‌වභාව ධර්මයේ ශක්‌තීන් සමූහයකි. මෙම කිසිදු ශක්‌තියක්‌ මගේ නොවේ. මට අයිති නැති මට පාලනය කළ නොහැකි මෙම ස්‌වභාව ධර්මයේ ශක්‌තීන් මගේ කියා ගැනීමම නුදුන් දේ ගැනීමකි. එබැවින් බුදු පියාණන් වහන්සේ මේවා මගේ කියාගත්ත කෙනා දුක්‌ විඳින බව පෙන්වා දී ඇත. 

තමන්ගේ ජීවිතය දිහා බලන්න, තමන් කොතරම් තමන්ට අයිති නැති දේ මගේ කරගෙන දුක්‌ විඳිනවාද කියලා. අම්මා තාත්තා හදපු කළලය මගේ කරගත්තා. ඊට පස්‌සේ සෙල්ලම් බඩු මගේ කරගත්තා. ඊට පස්‌සෙ පොත්පත්, ඇඳුම් පැළඳුම් මගේ කරගත්තා, ඊට පස්‌සේ ස්‌වාමියා, භාර්යාව, දරු මුණුපුරන්, ඥාතීන් මගේ කරගත්තා. දේපල ඉඩකඩම් මගේ කරගත්තා. යානවාහන මගේ කරගත්තා. හිතවතුන්, අසල්වාසීන් මගේ කරගත්තා. බලන්න තමන්නට අයිති නැති නුදුන් දේ මගේ කරගැනීම නිසා දුක එන්න එන්නම වැඩිවුනාද? අඩුවුනාද? කියලා. කවුරුත් බලකලේ නෑ, ඒවා තමන්ගේ කරගෙන දුක්‌විඳින්න කියලා. තමන්මයි එම දුක හදා ගත්තේ. එහෙනම් තමන්මයි මේ අවුල ලිහාගත යුත්තේ. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න අවශ්‍යම ස්‌වභාව ධර්මයේ දේවල් ටිකක්‌ පමණක්‌, මගේ කරගන්නේ නැතිව පාවිච්චි කරලා සංසාරයෙන් එතෙර වෙන්න කියලා. වස්‌තු දාහකි දුක්‌ දාහකි, වස්‌තු නැත්තාට දුකක්‌ නැත ලෙස ප්‍රකාශ කරනුයේ මෙම ගැඹුරු ධර්මය නිසාය. එනම් වහාම නුදුන් දේ අතහැර සංසාර දුකින් මිදෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤