දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු

පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී 
දර්ශනපති 
පුස්සැල්ලයායේ චන්දිම හිමි

සම්බුද්ධ දේශනාවේ හරය වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයයි. මෙයට හේතුඵල දහම කියලත් කියනවා. නිවන හැර ලෝකයේ සිදුවන සෑම දෙයක්ම සිදුවන්නෙ හේතුවක් නිසාය. කිසිම දෙයක් ඉබේ ඇතිවන්නෙ නැත. අපිට ඇතිවෙන හිසේ කැක්කුමේ ඉඳලා කයේ සහ හිතේ ඇතිවන සියලුම ආබාධ ඇතුළු ලෝකයේ ඇතිවෙන නැතිවන සියල්ලක්ම සිදුවන්නේ මෙම ධර්මතාවයට අනුවයි. ‘හෙතුං පටිච්ච සම්භූථා හෙතු භංගා නිරුජ්ඣති’ යනුවෙන් එය පැහැදිලි කරයි. එවගේම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිවෙමින් නැතිවෙමින් පවතින ක්‍රියාවලියක් මේ විශ්වය පුරාම දකින්නට පුළුවන්. ඉතින් ක්ෂණය කියන්නේ තප්පරයටත් වඩා ඉතාම අඩුම කාලයක්. ඒක වචනවලින් විස්තර කරන්න බෑ. එය තේරුම් ගන්න පුළුවන් වන්නෙ නිතරම ඔබගේ සිත භාවනාවේ පිහිටුවා ගැනීමෙන් ය.
පෙර බුදුවරු වගේම අප වඳින පුදන මේ භද්‍රකල්පයේ පහළ වූ ගෞතම බුදුන් වහන්සේත් උතුම් වූ බුද්ධත්වයට පත්වූයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙනයි. ධර්මය දේශනා කිරීමට පෙරාතුව එම උතුම් චතුරාර්ය සත්‍යය හේතුඵල ධර්මයට අනුව කෙසේ සිදුවන්නේද කියා තේරුම් ගෙනයි උන්වහන්සේ ධර්මය දේශනා කළේ. ‘එතෙ තෙ උභො අන්තෙ අනුපගම්ම මජෙඣන තථාගතො ධම්මං දෙසෙති. යදිදං අවිජ්ජා පච්චයා සංකාරා.....’ ආදී වශයෙන් එය දක්වා තිබේ. එසේම උන්වහන්සේගෙ බුද්ධත්වයෙන් පළවෙනි බෝමැඩ ගතකළ සතියේම පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන්ද මෙනෙහි කළ සේක. අනුලෝම සහ පටිලෝම වශයෙන් යනු මුල ඉඳලා අගට අංග දොළහ මෙනෙහි කිරීමයි. පටිලෝම කියන්නෙ අග ඉඳලා මුලට අංග දොළහ මෙනෙහි කිරීමය. එය විනය පිටකයේ දෙවන පොතවන මහා වග්ග පාලියේ පළමු කොටස වන මහා ඛන්ධකයේදි සඳහන් කර තිබේ. ‘තෙන සමයේන බුදේධා භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙඤෙජාය තීරෙ බොධිරුක්ඛමුලෙ...... පටිච්ච සමුප්පාදං අනුලොමං පටිලොම මනසාකාසි’ මෙම ලිපිය කියවන පින්වත් ඔබ පටිට්ච සමුප්පාදයේදී විස්තර කරන අංග දොළහ හොඳින් දන්නවා ඇතැයි සිතමි. ඒවා නම් අවිද්‍යාව, සංස්කාර, විඥානය, නාමරූප, සලායතන, ස්පර්ශය වේදනාව, උපාදාන, භවය, ජාති සහ ජරාව මරණය, සෝකය පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස යනුවෙනි. මෙහි ජරාවේ සිට උපායාසය දක්වා වූ කොටස දොළොස්වන අංගය ලෙස විස්තර කරයි.

විශේෂයෙන්ම ඔබ මා ඇතුළු සියලු සත්වයාගේ ඉපදීම සිට මරණය දක්වා වූ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද? කියන බොහෝ කාරණාවලට පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීමෙන් පිළිතුරු සොයාගත හැකියි. ඒ නිසා තමයි මජ්ක්‍ධිම නිකායේ 28 වන සූත්‍ර දේශනාව වන මහා හත්ථි පදෝපම සූත්‍ර දේශනාවේදි බුදුන් වහන්සේ දේශනා කළේ ‘චුත්තං ඛො පනේතං භගවතා යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති’ යො ධම්මං පස්සති යො පටිච්චසමුප්පාදං පස්සති’ යනුවෙනි. පින්වත්නි මෙම ගාථාවේ එන තේරුමෙන් කියවෙන්නෙ යම්කිසි කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මය දකීද ඔහු ධර්මය දකින බවත්, යමෙක් ධර්මය දකිනව නම් ඔහු පටිච්චසමුප්පාදය දකින බවත්ය. ඔබ දන්නවා බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනමවන සැරියුත්, මුගලන් දෙනමද පැවිදිවීමට පෙර ගිහිකලදී උපතිස්ස සහ කෝලිත නමින් සිටියදී ගිරග්ග සමජ්ජ කියන නාට්‍යය නරඹලා කළකිරී එම දෙපළ ධර්මය හොයමින් ඇවිදිමින් සිටි වෙලාවෙ පළමුවෙන්ම ධර්මය තේරුම් ගන්නෙ අස්සජි මහරහත් වහන්සේ දේශනා කළ පටිච්චසමුප්පාද ධර්මය අඩංගු දේශනාව ශ්‍රවණය කිරීමෙන්. ‘යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ, තෙසංච යො නිරොධො එවං වාදිමහාසමණො’ යනුවෙනි.
එසේම බුදුන්වහන්සේගේ පළමු දේශනය වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන්ට දහම් ඇස පහළ වූයේ හේතුඵල ධර්මතාවයට අනුව තේරුම් ගැනීමෙනි. ‘... ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි. යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මංති’ යනුවෙනි. පින්වත් ඔබට මෙම අංග දොළහ තේරුම් ගැනීමට නම් සන්සුන් මනසක් හදාගන්න ඕන. එවගේම පිනට, කුසලයට නිතරම ඔබගේ සිත යොමුවුන කෙනෙක් වෙන්න ඕන. ඒකට තමා සම්මාදිට්ඨිය කියලා කියන්නෙ. එවැනි යහපත් සම්මාදිට්ඨික සමාජයක් තිබෙනවා නම් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසලයන් ඇතිවන දේවල්වලින් අයින් වෙන්න අප උත්සාහ කරනවා. ටිකෙන් ටික දාන, සීල, භාවනා පැත්තට යොමුවෙනවා. අපට අකුසල් සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම අප අනවශ්‍ය විදියට නොයෙක් දේවල් සමඟ සිතින් බැඳෙන නිසාය. අපගෙන් අනිත් අයට වියයුතු යුතුකම් හරියාකාරව අවබෝධයෙන් යුතුව කරනවා නම් අපට සිතේ අනවශ්‍ය බැඳීම් ඇතිවන්නේ නැහැ. ඒක අකුසලයක් එයට ලෝභය කියනවා. ලෝභය නිසා කේන්තිය හටගන්නවා. කේන්ති යෑම නිසා මෝහය හටගන්නවා. මෝහය කියන්නෙ අපට හරියැයි හිතෙන අපේ හිතේ හටගන්නාවූ වැරදි සිතුවිලියි. මුලින්ම හිතින් හැදෙන එක නවත්වාගන්න පුළුවනී නම් ඉතුරු අකුසලයත් නැති කරලන්න පුළුවන්. ඒ සඳහා දානය ප්‍රගුණ කරන්න ඕන.
අපගේ ගෞතම බුදුන්වහන්සේ බෝසත් අවධියේ දී පළමුවෙන්ම පූරණය කළේ ද දාන පාරමිතාවයි. ඒකට හේතුව දානය තුළින් තමා අපට ලෝභය නමැති අකුසලය නැති කරගන්න පුළුවන් වෙන්නෙ. දානය කියන්නෙ ධර්මදාන, ආමිෂ දාන, අභය දාන වලට. දානයෙන් අපට ශීලය ඇතිවෙනවා. ශීලයෙන් අපට භාවනාව වඩන්න පුළුවනි. ශීලයෙන් ද්වේෂය යටපත් වෙන අතර භාවනාවෙන් මෝහය හෙවත් අවිජ්ජාව නැතිකර ගැනීමට පුළුවන් වෙනවා. ලිපි මාලාවකින් පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගන්නෙ කොහොමද? ඒ සඳහා ප්‍රගුණ කළයුතු භාවනා මොනවාද? එදිනෙදා ජීවිතයට ඒවා කොහොමද සම්බන්ධ කරගන්නෙ? සසර පැවැත්ම නවතාලීමට පටිච්ච සමුප්පාද ධර්මය ඉවහල් කරගන්නෙ කෙසේද? කියන ගැටලු සඳහා මෙම ලිපි මාලාවෙන් පින්වත් ඔබට උත්තර ලබාගත හැකිය.
පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ දී ඉතාම වැදගත්ම කොටස තේරුම් ගැනීමට උත්සාහ කරමු.
“අස්මිං සති ඉදං හොති 
ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති 
අස්මිං අසති ඉදං න හොති 
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති

“මෙය ඇති කල්හි මෙය වේ. මෙය හටගැනීමෙන් මෙය හටගනී.
මෙය නැති කල්හි මෙය නැත. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. යන එහි අර්ථයයි. ඊට පසුව එන ‘යදිදං’ (එනම්) කියන පදයෙන් කියවෙන්නේ මුලින් දැක්වූ අංග දොළහ එම ගාථාවට ඇතුළත් කළයුතුය යන්නයි. එයට සිද්ධාන්ත කොටස කියලා කියනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ විස්තර කරන එම අංග දොළහ ඉහත දැක්වූ පද හතරෙන් සමන්විත වූ ‘ඉමස්මිං සති’ කියන ගාථාවට සම්බන්ධ කළයුතුවෙනවා. පින්වතුන් ට තේරුම් ගැනීමට ජාති කියන අංගය අර මුලින් දැක්වූ ගාථාවට සම්බන්ධ කර බලමු. ‘ඉමස්මිං සති ඉදං හොති’ කියනවා වෙනුවට ජාති කියන පදය සම්බන්ධ කිරීමේ දී මෙසේ සාදාගත හැකිය.
“ජාතිය සති ජරා මරණං හොති, ජාතිය උප්පාද ජරා මරණං උප්ජ්ජති, ජාතියා නිරෝධා ජරා මරණං නිරුජ්ජති” යනුවෙන් ගළපා ගනිමු. සෙසු අංග එකොළහද පද දෙක බැගින් මෙසේ සම්බන්ධ කර ගත හැකිය. මෙහි අර්ථය මෙසේද දැක්විය හැකිය. “උපත ඇති කල්හි ජරා මරණය වේ. ඉපදීමෙන් ජරාමරණය හටගනී. උපත නැති කල්හි ජරාමරණය නොවෙයි. උපත නිරුද්ධවීමෙන් ජරාමණ නිරුද්ධ වෙයි. මෙම අදහස කියවීමේදී උපත සහ ජරාමරණය දෙකෙහි ස්වභාවය ඉතා හොඳින් තේරුම් ගත හැකිය. අපට උපත සදාකාලිකව නවතා දැමීමට පුළුවන්නම් එවිට ජරාවට පත්වෙන ස්වභාවය මරණයට පත්වෙන ස්වභාවයෙන් මිදීමට හැකිවේ. එසේම පින්වත් ඔබ කුමන හෝ අංගයකින් මෙය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔබට අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා වැටහෙනවා නම් එය මෙම ගාථාවට සම්බන්ධ කරගෙන අවබෝධ ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න. තමන් කැමති යුගලයක් මෙසේ ගාථාවට සම්බන්ධ කරගෙන නුවණින් විමසීමට උත්සාහ කරන්න.
පටිච්ච සමුප්පාදය ධර්මයෙහි කියවෙන පළමු අංගය අවිජ්ජාවයි. අවිද්‍යාව කියලා සාමාන්‍යයෙන් අප හැමදෙනාම තේරුම් ගෙන ඉන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ අප තුළ ඇති අනවබෝධයට කියලයි. ඇත්තෙන්ම ඒක සත්‍යයයි. නමුත් අවිද්‍යාව කියන්නේ ඒකටම විරතක් නොවේ. සංසාරගත සත්වයා තුළ අඳුර පි‍්‍රයකරන ආලෝකයට අපි‍්‍රය කරන ස්වභාවයත් අවිද්‍යාවයි. මෙහි අඳුර කියන්නේ, පිනට කුසලයට අපේ හිත බර නොවෙන එකටයි. ඒකට හේතුව දාන, ශීල, භාවනා කියන ධර්මයන් වැඩීමට උත්සාහ නොකිරීම. එවිට නිවරණ ධර්ම වන,
කාමචඡන්ද , ව්‍යාපාදය , ථිනමිද්ධය 
උද්ධච්ච කුක්කුච්ච , විචිකිච්චා

කියන නීවරණ පහ බලවත් වෙනවා. මේවා බලවත් වෙන්නේ මුලින් සඳහන් කළ අකුසල මූලයන්වල ලෝභ, ද්වේශ, මෝහ බලවත්වීමයි. ලෝහ, ද්වේශ, මෝහ බලවත් වෙන්නේ සංසාරගත ස්වභාවයන් නිසා මෙන්ම මේ ජීවිතයේ අප ෂඩ් ඉන්ද්‍රියන්ගෙන් එනම් ඇස කන නාසය දිව සහ මනසින් අප ගන්නා අරමුණු පිළිබඳ අවදියෙන් එසේ නැතිනම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකිරීමෙනුයි. පින්වත්නි අවිද්‍යාව ආශ්‍රවයක් හැටියටත් දක්වා තිබෙන්නේ මේක මොන තරම් ප්‍රබල අකුසල චෛතසිකයක් නිසාය. ඒ නිසා තමා පටිච්ච සමුප්පාද දේශනාවේ මුලින්ම මෙය දක්වා තිබෙන්නේ. මෙම කාරණ තේරුම් ගත්තොත් අනිත් කාරණා එකොළහ ඉතා සරලව තේරුම් ගත හැකිය. මොන තරම් මහා තීක්ෂණ ප්‍රාඥායින්ට පවා එකසැරේට රහත්භාවයට පත්වන්නට නොහැකි වන්නේද අවිජ්ජා ආශ්‍රවය ආදී ආශ්‍රවයන්ගේ ප්‍රබල බලපෑම නිසාය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤