දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සත්‍ය ක්‍රියාවක්‌ නිවැරැදිව සිදුකරන ආකාරය

විපත් වළකන සත්‍යක්‍රියාවට ඔබත් එක්‌වන්න
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සි හිමි

2004 වර්ෂයේ මැද භාගයේ ඇති වූ නිය`ගය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල හි`ගයක්‌ මතුවිය. බොන්නට දිය පොදක්‌ නැති ප්‍රදේශවලට බව්සර වලින් ජලය ගෙනගොස්‌ බෙදා දෙන්නට බොහෝ දෙනා උනන්දූ වූහ. ජල හි`ගයෙන් මිනිසුන්ට සතා සිවුපාවාට පමණක්‌ නොව ගහකොළවලට පවා හානි පැමිණෙමින් තිබූ හෙයින් වර්ෂාව පතා වැසි පිරිත් ස-ක්‌ධායනා කළද සාර්ථක ප්‍රතිඵල නොපෙනුණි. පිපාසය සංසිඳුවා ගන්නට බොහෝ දුර සිට මුදල් වියදම් කර ගෙනැවිත් දෙන දිය පොද පවා යූරියා මුසු කොට ජලය සොයා එන වන සතුන්ට බොන්නට සලස්‌වා පිපාසය උත්සන්නව වෙහෙසී ඇද වැටෙන වන සිවුපාවුන් මරා කන්නට තරම් ඇතැම් නොමිනිසුන් සාහසික වූ බව පුවත්පත් වලින් දැනගන්නට ලැබුණි. මේ සියල්ල දැක දැක නිහ`ඩව සිටීම නුසුදුසුයෑයි හැ`ගුණු නිසා වර්ෂාව ඇති කරනු පිණිස අපිත් යමක්‌ කළ යුතු යෑයි සත්ජන සමාජ සංවර්ධන පදනමේ නිර්මාතෘ පී. කේ. යූ අදිකාරම් මැතිතුමන්ට යෝජනා කළෙමු. ඊට එක`ග වූ එතුමා ඒ සඳහා -චන්ද පිරිත" සජ්ජායනා කොට සත්‍ය ක්‍රියාවක්‌ සිදු කරමු යයි යෝජනා කර ඒ සඳහා සුදුසු දිනයක්‌ හා වේලාවක්‌ සනිටුහන් කර ගන්නා ලදී. ඒ අනුව නියමිත දින පාන්දර 2.00ට පමණ බුදුරජාණන් වහන්සේ උදෙසා සිසිල් පැන් කල සතරක්‌ පුදා සිසිල් ගුණ ඇති ගිලන් පස හා මල් ආදිය පුදා බුද්ධ වන්දනාව සිදු කළෙමු. ආකාසයේ වලාකුලක සටහනක්‌ පේන මානයක නොවූ අතර තරු පායා ඇති අහස ඉතා පැහැදිලිව දිස්‌ විය. මෙම විශේෂ අවස්‌ථාවට සහභාගි වූයේ අදිකාරම් මහතාත් මමත් තවත් එක්‌ අයෙකුත් පමණි. අපි ටික වේලාවක්‌ චJද පිරිත ස-ක්‌ධායනා කොට සත්‍යක්‍රියාවක නිරත වීමු.

එවලේම වැහිපොද වැටෙන හ`ඩ ඇසී පිටතට ගොස්‌ බලන විට ඉහළ ආකාශයේ කළු වලාකුළු ඒකරාශී වෙමින් වැහි පොද කෙමෙන් වේගවත් වෙමින් තිබුණි. එම දසුන අපටම ඇදහිය නොහැකි තරම් විය. ක්‍රමයෙන් වලාකුළු ඝන, වෙමින්, වැසි බිඳු මහත් වෙමින් උදෑසන වන විට ධාරානිපාත වර්ෂාවක්‌ ඇදහැලෙන්නට විය. එම වැසි වළාවන් අනුක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් අවට ප්‍රදේශවලටද, අනතුරුව නිය`ගය පැවති ප්‍රදේශයවලටද වර්ෂාව ඇදහැලුණි. ඒ අපගේ උත්සාහයෙන් පමණක්‌ යයි අපි නොකියමු. ලක්‌දෙරණ පුරා බොහෝ දෙනාගේ මානසික උත්සාහය ඊට හේතු වන්නට ඇත. නමුත් අපගේ ප්‍රයත්නය එවේලේම ඵල දැරූ ආකාරයත් සත්‍යක්‍රියාවේ ක්‍ෂණික ඵලයත් අපි එයින් මැනවින් ප්‍රත්‍යක්‍ෂ කළෙමු. ඉන් පෙරත් පසුවත් විවිධ අවස්‌ථාවන්හිදී පොදු විපත් වළකනු පිණිස අපි සත්‍යක්‍රියා කොට සාර්ථක ප්‍රතිඵල අත්දුටුවෙමු. ඉහත දැකවූයේ ඉන් එක්‌ අත්දැකීමක්‌ පමණි.

සත්‍යක්‍රියාවලින් විපත් වළකා ආත්මාර්ථය පරාර්ථය සාධනය කරගත් අවස්‌ථා පිළිබඳව බෞද්ධ ඉතිහාසයේ විවිධ ප්‍රවෘත්ති සඳහන් වේ. මහ බෝසතාණන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවේ බලය පිළිබඳව ජාතක ප්‍රවෘත්තී වලින් බොහෝ කරුණු අනාවරණය වන අතර මෑත ඉතිහාසයේ සිsරිස`ගබෝ රජු සත්‍යක්‍රියා කොට නිය`ගයෙන් හා රක්‌තාක්‍ෂි උවදුරින් රටවැසියන් මුදාගත් අයුරු ලංකා ඉතිහාසයේ දැක්‌වේ. ඒ සියලුතොරතුරු කැටිකොට ගත් කල -'සත්‍යක්‍රියාව යනු ආත්මාර්ථ පරාර්ථ සාධනය සඳහා භාවිත කළහැකි ඉතාම සාර්ථක උපාය මාගර්යක්‌ බව' පැහැදිලි වේ.

නමුත් සත්‍යක්‍රියාවක්‌ නිවැරදිව සිදුකිරීමට නම් ඒ සඳහා තිබිය යුතු ගුණාංග හා මානසික ශක්‌තිය අවදි කරගතයුතු ආකාරය පිළිබඳව නිසි අවබෝධයක්‌ තිබිය යුතුය. සත්‍යක්‍රියාව යනු හුදු ප්‍රාර්ථනාවක්‌ නොවේ. නිවැරදිව හඳුනා නොගත් කරුණක්‌ පිළිබඳව වුවත් ප්‍රාර්ථනාවක්‌ කළ හැකිය. පසුව ඒ පිළිබඳව දැනුවත් වෙමින්, අවශ්‍ය සාධක සම්පාදනය කළහොත් ප්‍රාර්ථනාවක්‌ කවදා හෝ ඉටු කරන ගත හැකිය. සත්‍යක්‍රියාව යනු එබඳු අනාගත පැතුමක්‌ නොවේ. තමන් සතුව පවතින ශක්‌තිය භාවිත කරමින් අවශ්‍ය දේ ඒ මොහොතේ පටන් ක්‍රියාත්මක වීමට බලපෑම් කිරීමකි. එනිසා සත්‍යක්‍රියාවක්‌ සාර්ථක වීමට පහත සඳහන් කරුනු හතර පිළිබඳ ස්‌ථාවරය වැදගත්වේ.

1. තමන් අත්දුටු සත්‍යයක්‌ වීම.

2. මානසික විශ්වාසය.

3. ක්‍රියාව පිළිබඳ අවබෝධය.

4. මානසික ශක්‌තිය යෙදවීම.


1. තමන් අත්දුටු සත්‍යයක්‌ වීම

සත්‍යක්‍රියාවන් සඳහා පාදක කර ගැනීමට යම් සත්‍යයක්‌ තිබිය යුතුය. තමන් අවබෝධයෙන් කළ කුශලයක්‌, අකුසලයෙන් වැළකී සිටි අවස්‌ථාවක්‌ හෝ අවංකවම පිහිටා සිටින ගුණයක්‌ ඒ සඳහා යොදා ගත හැකිය. එහෙත් මම අසවල් පිංකම කළා යන මතකය හෝ එම සිදුවීම සිහිකිරීම් මාත්‍රය ප්‍රමාණවත් නොවන අතර එහිදී තමන් කවර මනෝභාවයක, අදහසක පිහිටා එම කාර්ය කළේද යන්න පැහැදිලිව හඳුනා ගැනීම අත්‍යවශ්‍යය. "මම මෙබඳු අදහසකින්, මෙබඳු මනෝභාවයකින් මේ පිංකම කළා" යන්න සත්‍යයක්‌ විය යුතුය. එය පැහැදිලිව සිහිකළ යුතුය.

පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ. එමෙන්ම වඩාත් මනස නිරවුල් කර ගැනීම සඳහා එම අකුශලයෙන් වැළකී සිටි අවස්‌ථාව හෝ කාල වකවානුව වෙන් කර ගැනීම සුදුසුය.

තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැකි බැවිනි.

"හෙට උදේ ඉර පායන බව සත්‍ය නම් මෙය මෙසේ වේවායි" ආදී වශයෙන් බාහිර සිදුවීම් මත පිහිටා සත්‍යක්‍රියාවක්‌ කළ නොහැක. එය තමන් ප්‍රත්‍යක්‍ෂ කළ කරුණක්‌ නොවන බැවිනි. එමෙන්ම වෙන කෙනෙක්‌ පැවසූ දෙයක්‌ හෝ පෙර භවයක සිදුවූයේයෑයි හ`ගින දෙයක්‌ තමන්ට ප්‍රත්‍යක්‍ෂ නැතිනම් සත්‍යක්‍රියාව සඳහා පාදක කර ගැනීම ඵල රහිතය. බුදුගුණ දහම් ගුණ, ස`ග ගුණ සිහිකර ආශීර්වාදයක්‌ කළ හැකි නමුත් සත්‍යක්‍රියාවට යොදාගත හැක්‌කේ ඉන් තමන් ප්‍රත්‍යක්‍ෂ කරගෙන ඇති කරුණු පමණි.

2. මානසික විශ්වාසය.

තමන් සිහි කරන කාරණය කොතරම් සත්‍යයක්‌ වුවත් ඒ පිළිබඳ විශ්වාසය මනසේ තහවුරු නොවුනහොත්, ඒ මානසික අස්‌ථාවර භාවය සත්‍යක්‍රියාවට බාධාවකි. එනිසා තමන් සිහිකරන කරුණෙහි සත්‍යතාවය පිළිබඳ අවංක විශ්වාසයක්‌ මනසෙහි ගොඩන`ගා ගත යුතුය.

ඒ සඳහා බොහෝ කරුණු එකට ගෙන සිතනවාට වඩා තමන් සිහිකරන කරුණු හැකිතාක්‌ වෙන්කොට වෙන වෙනම සිතා බැලීම වැදගත් වේ. 

"මම මෙතෙක්‌ කලක්‌ පන්සිල් රැක්‌කා" යනුවෙන් සිතනවාට වඩා එක්‌ එක්‌ ශික්‍ෂාපදය වෙන වෙනම ගෙන ප්‍රත්‍යාවේක්‍ෂා කර බලා හැම ශික්‍ෂාපදයක්‌ම සැක සංකා ඇති නොවන ලෙස ආරක්‍ෂා කර තිබේනම් සියල්ල එක්‌ව ගෙන සත්‍යක්‍රියා කළ හැකිය. එසේ නොවේනම් අවංකව සිහිකළ හැකි ශික්‍ෂාපද පමණක්‌ වෙන්කොට ගෙන ඒවා සිහිකර සත්‍යක්‍රියාව කළ යුතුය.

කළ කුසලයක්‌ සිහි කළත්, තමන් සතු යම් ගුණයක්‌ සිහිකළත් මේ ක්‍රමය භාවිත කිරීම වඩා වැදගත්ය. සත්‍ය ක්‍රියාවේදී මනසේ ස්‌ථාවරය එතරම්ම වැදගත් වන බැවිනි. ගසක ඇති අඹගෙඩියක්‌ බිම හෙලන්නට හීයක්‌ වි`දින විට යන්නතමට හෝ අත සැලුණොත් ඉලක්‌කය වැරදී යන්නා සේ, මනසේ සැලීම, අස්‌ථාවර බව සත්‍යක්‍රියාවේ ඉලක්‌කය වැරදි යන්නට හේතු වේ.

3. ක්‍රියාව පිළිබඳ අවබෝධය

තමන් සත්‍යක්‍රියාවෙන් සිදු කරන්නට යන්නේ විපතක්‌ වැළැක්‌වීම හෝ වේවා, යහපතක්‌ සිදුකිරීම හෝ වේවා, ආත්මාර්ථය හෝ පරාර්ථය හෝ වේවා ඒ කරන කාර්යය පිළිබඳව අවබෝධයක්‌ තිබීම අවශ්‍යය. එසේ නොවුණහොත් උත්සාහය නිෂ්ඵල වීමටද ඉඩ ඇත. පොදු අරමුණක්‌ ඇතිව සියලුදෙනා එක්‌ව කරන සත්‍යක්‍රියාවකදී පෞද්ගලික අරමුණු පටලවා නොගැනීමට හා පෞද්ගලික අරමුණක්‌ ඇතිව කරන සත්‍යක්‍රියාවකදී පොදු අරමුණු හරස්‌ නොකරගැනීමට විශේෂයෙන් වගබලා ගතයුතුය. 

පොදු අර්ථයක්‌ ඇතිව කළත්, පෞද්ගලික අර්ථයක්‌ ඇතිව කළත් සත්‍යක්‍රියාවකදී තෘෂ්ණාව මුල්තැනට නොගත යුතුය. කරුණාව මෛත්‍රිය වීයHර් ප්‍රඥාව ආදි යහගුණ පෙරදැරි කරගෙන, යමක්‌ සිදු වන නොවන හේතුඵල සිද්ධාන්තය පිළිබඳව යම් අවබෝධයක්‌ ඇතිව සත්‍යක්‍රියාව සිදු කරයි නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

ලොවට පැමිණෙන පොදු විපත් වැළැක්‌වීම, සසුන සුරැකීම වැනි ඉතා බරපතල කායHර්යන් සඳහා සත්‍යක්‍රියා කිරීමේදී තනි තනිව උත්සාහ කරනවාට වඩා සැවොම එක්‌ව ගන්නා උත්සාහය වඩා සාර්ථකව ඵල දරයි. ගිනි කඳකට වෙන වෙනම දිය බිJදු ඉසිනවා වෙනුවට ඒ සියලූ දිය බිඳු එකට එක්‌ කොට ජල දහරාවක්‌ සේ පතිත කළ වි ටමහ ගිනි කඳක්‌ වුවත් නිවී යන්නාක්‌ මෙනි.

4. මානසික ශක්‌තිය යෙදවීම

තමන් සතු සත්‍යය සිහි කරමින් අදාළ කරුණ ඉලක්‌ක කොට 'මේ සත්‍ය බලයෙන් මෙය මෙසේ වේවා' යි නැවත නැවත අධිෂ්ඨාන කිරීම සත්‍යක්‍රියාවේ ප්‍රධාන අංගයයි. නමුත් මෙය හුදෙක්‌ ප්‍රාරථනාවක්‌ හෝ ආශීර්වාදයක්‌ නොව භෞතික ද්‍රව්‍යකට පවා බලපෑම් කළ හැකි මානසික ක්‍රියාවලියකි.

මේ කරුණු සියල්ල සත්‍යක්‍රියාව කරන මොහොතේ මතු කර ගැනීමට නම් කල් ඇතිව නැවත නැවත සිතා බලා කරුණු වටහාගෙන තිබිය යුතුය. තමන් අත්දුටු සත්‍යයක්‌ සිහිපත් කරගෙන, අවංක විශ්වාසයෙන් එහි මනස පිහිටුවාගෙන, කරන්නට යන ක්‍රියාව පිළිබඳව අවබෝධය හා කරුණා මෛත්‍රිය පෙරදැරි කරගෙන සත්‍යක්‍රියාව කළහැකිනම් තම තම ශක්‌ති ප්‍රමාණය මත එවේලේම ප්‍රතිඵල අත්දැකිය හැකිය.

පොදු විපත් වැළකී මිනිස්‌ ජීවිත සුරැකේවා!! සසුන සුරැකේවා! යි අදිටන් කරමින් වසරක්‌ පාසා දෙස්‌ විදෙස්‌ ජනතාව දැනුවත් කරමින් හොරණ, පෝරුවදණ්‌ඩ, සත්ජන සමාජ සංවර්ධන පදනම විසින් සිදුකරනු ලබන සත්‍යක්‍රියාව මෙවරත් 2014-01-15 දින, එනම් දුරුතු පොහෝ දින රාත්‍රී 9.20 ට සිදු කෙරේ. එදින නියමිත වේලාවට ඔබ සිටින කොතැනක හෝ සිට ඔබටත් මනසින් ඊට දායක විය හැකිය. ඔබ විසින් කළයුත්තේ මෙම ලිපිය කියවා සත්‍යක්‍රියාවක්‌ කරන ආකාරය පිළිබඳව කල් වේලා ඇතිව දැනුවත් වී දුරුතු පොහෝ දින රාත්‍රී 9.10 සිට 9.30 දක්‌වා -පොදු විපත් වැළකී මිනිස්‌ ජීවිත සුරැකේවා! සසුන සුරැකේවා! අදිටන් කරමින් සත්‍යක්‍රියාවෙහි නිරත වීමයි.

අතිශය දුලබ බුදුඋපත


මාස්පොත , ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.” බුදු හිමියන් එසේ දේශනා කළ අවවාදයෙහි පිහිටා ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය අප නොඅඩුව ලබාගත යුතු ය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේ ය.
ලොවෙහි බොහෝ දෙනකු දුර්ලභව ලැබිය හැකි දේ වශයෙන් සිතා සිටින්නේ භෞතික සම්පත්, එනම් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ඉඩකඩම්, ගේදොර, යානවාහන ආදි දේය. විඳිනවා යනුවෙන් සිදු කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමයි. ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ,රස , ස්පර්ශ තුළින් නිරන්තරයෙන් සුඛ හෝ දුක්ඛ ලබනු ඇත. එසේ නම් මෙම පංචේන්ද්‍රියන්ට ගැටෙන අරමුණු සඳහා අවශ්‍ය වන්නේ අප වඩාත් පිනවීමට, සතුටට පත්කරවන දේ යැයි පෘථග්ජන පුද්ගලයාට වැටහී යනු ඇත.
එසේ වුව ද බුදුඇසින් බලන කල භෞතික සම්පත් වලට එහා ගිය දුර්ලභව ලැබිය හැකි කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් වේ. ඒවා අද සමාජයේ ඇතැම් පුදගලයන් එතරම් ගණන් නොගත්තද එහි ගැඹුරු බව බුදු ඇසින් ම දැක දේශනා කොට වදාළ සේක. දුර්ලභව ලැබෙන එබඳු වටිනාදේ ගැන නොතකන කාම භෝගි සත්වයා සසරින් නොමිදී තව තවත් දුක මතම ජීවත් වන්නේ මුළාව නිසාය.
ඒ අනුව, බුදු හිමියන් දේශනා කළ එම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අද සමාජයට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

භික්ඛවේ අප්පමාදෙන සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා ඛණසම්පත්ති දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්ම සවණං”

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්.ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව ලැබීම දුර්ලභය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය.”
බුදුහිමියන්ගේ දේශනය අනුව, කරුණු 5 ක් දුර්ලභව ලැබිය යුතු බව පැහැදිලි වේ. පළමු වැනි කරුණ වන්නේ බුදුඋපතයි. බුදුඋපතක් යනු අතිශය දුලබ සිදුවීමකි.
“කිච්ඡො බුද්ධානං උප්පාදො” (ධම්ම පදය- බුද්ධ වග්ගය)
“කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ” (ලෝ වැඩ සඟරාව - 19)

මේ ආදි වශයෙන් ධම්ම පදය හා ලෝවැඩ සඟරාව තුළ ඒ බව පැහැදිලි වේ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දස පාරමිතා, දස උපපාරමිතා හා දස පරමත්ත පාරමිතා සම්පූර්ණ කරගත් මහබෝසත් උතුමෙක්ම බුද්ධත්වය ලබන්නේය. එම පරිත්‍යාගය සාමාන්‍ය කෙනකුට කළ නොහැකිය. සාගරය පරදා රුධිරයද මහ පොළොව පරදා මස් ද, අහසේ තරු පරදා ඇස් ද මහ මේරුව පරදා හිස් ද දන් දී එතැනින් නොනැවතී තමන් සතු අඹුදරුවන් හා සියලු භෞතික සම්පත් ද දන් දීම බුදු බව පතන උතුමන්ගේ ලක්‍ෂණයයි. මොන තරම් සසර එම පාරමිතා සම්පූර්ණ කළේ ද යන්න මහා ඓශ්චර්යමත් කරුණකි. එබැවින් බුදුවරයෙකුගේ චරිතය තුළ ඇති ගුණ කදම්භය දැන හදුනාගෙන ඒවා අපගේ ජීවිතවලට ද සම්බන්ධ කොට ගෙන ජීවිතය යහපත් කර ගැනීම වටින්නේය.
දෙවැනි දුර්ලභ කරුණ ලෙස බුදු හිමි පෙන්වා වදාළේ මිනිසත් බව ලැබීමයි. එය ද බොහෝ කාලයකින් සිදුවන්නකි.
“කිච්ඡො මනුස්ස පටිලාභෝ” (ධම්මපදය – බුද්ධ වග්ගය)
“දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” (ලෝවැඩ සඟරාව – 19)

බුදුරජාණන් වහන්සේ, මිනිසත් බව ලැබුම දුර්ලභ බව මැදුම් සඟියේ බාල පණ්ඩිත සූත්‍රය තුළින් සවිස්තරාත්මකව දේශනා කළ සේක. මිනිසත් බව දුර්ලභ වන්නේ සත්වයා කල්ප ගණන් අපායන්හි දුක් විඳින බැවිනි. ඒ බව මෙලෙස දේශනා කළ සේක.
“මහණෙනි , පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දඬු කඩක් මහ මුහුදට දමන්නේය. සමුද්‍රගත වූ විය දඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යයි. බස්නාහිරින් එන සුළඟින් නැඟෙනහිරට ගෙන යයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යයි. සමුද්‍රයෙහි වෙසෙන කණ කැස්බෑවෙක්ද වර්ෂ සියයකට වරක් මුහුදු දිය මතු පිටට පැමිණ අහසට හිස දිගු කරයි. මහණෙනි කිමෙක්ද? ඒ කණ කැස්බෑවාගේ හිස විය දඬු සිදුරට සමීප වී කැස්බෑවාට පෙනීම ඇති එක් ඇසෙන් අහස දැකිය හැකිවේද?”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දීර්ඝ කාලයක් ගත වන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ යැයි සැල කළෝය.එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණ කැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේය” මිනිසත් බවෙහි දුුර්ලභත්වය එයින්ම පැහැදිලි වේ.
“දුල්ලභං ච මනුස්සත්තං” යනුවෙන්ද එය පැහැදිලිවේ. මිනිසකු පමණකි බුදුවන්නේ. එසේම දෙවි වන්නේද පේ‍්‍රත, භූ®ත වන්නේද තමන් රැස්කළ කුසලාකුසල කර්ම අනුවය. එබැවින් මිනිස් භවය සියල්ල තීරණය කළ හැකි මධ්‍යස්ථානයයි. උසස් මනැසක් ඇත්තේ මිනිසාටය. එබැවින් හැකිතාක් දුරට පින් දහම් කළ යුතු වන්නේය. එතැනින් නොනැවතී ජාති ජරා දුක්වලින් එතෙරව ලැබිය හැකි උතුම් සුවය ලැබීමට ද අද අදම වෙහෙසිය යුතුය. ඒ බවට වටහා ගැනීමට හැකි ශක්තියක් මිනිසාට ඇති බැවින් “ අද අද එයි මරු පින්කර ගන්නේ” යි කී ආකාරයට මාරයාගෙන් ගැලවීමට උත්සාහ කළ යුතුය.
තෙවැනි දුර්ලභ කාරණය වන්නේ ක්ෂණ සම්පත්තිය ලැබීමයි. ක්ෂණ යනු පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අනන්‍ය වූ අවස්ථාවටය. පින්කිරීමට දුෂ්කර අවස්ථා අට මෙසේයි.
1. නරකයට වැටී සිටින කාලය
2. තිරිසන්ව සිටින කාලය
3. පේ‍්‍රතව සිටින කාලය
4. සිත නැති, කය පමණක් ඇති අසංඥභාවයට පැමිණ සිටින කාලය
5. බුදුවරයන්, බුද්ධශ්‍රාවකයන් නොවඩින ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලය
6. මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින කාලය
7. හොඳ, නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය
8. අබුද්ධෝත්පාද කාලය

මේ අවස්ථා අටම පින් කිරීමට අපහසු කාලයන්ය. ඒ අවස්ථා අට මග හැරුණ ඇසිල්ලක් බඳු කාලය ඉතා වටනේය. එබැවින් ලද අවස්ථාවෙන් පින් කර ගත යුතුය. ‘පුඤ්ඤං තෙ පුරිසො කයිරා...” යනාදී ගාථාවෙන් සඳහන් පරිදි, දැන් පින් කළා ඇතැයි නොසිතා නැවත නැවත පින් කරගත යුතුය.
සිව්වැනි දුර්ලභ කාරණය වන්නේ ප්‍රව්‍රජ්ජාව ලැබීමයි. බුදුසසුනෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබීමෙන් පමණකි. පැවිදි වීමද හැම කෙනකුටම සිදු කළ නොහැකිය. පැවිද්දට සිත අවදි වන්නේ සසර පිළිබඳ අවබෝධයක් ඇති, එසේම සසරින් මිදීමට අවශ්‍ය බව හැඟෙන කෙනකුට පමණි. බොහෝ දෙනෙක් රාගයෙන් රත්ව ද්වේෂයෙන් දූෂිතව මෝහයෙන් මුළාව කල් ගෙවති. එවැනි සමාජයක කෙනකු පැවිදි වනවා යනු ඉතා වටිනා දුර්ලභ කරුණක් වන්නේය.
පස්වැනි දුර්ලභව ලැබිය හැකි කාරණය වන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමයි. “සද්ධම්මො පරම දුල්ලභො” යනුවෙන් දේශනා කළේ එබැවිනි. එයට හේතුව වන්නේ ධර්මයක් අසන්නට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකම මිස අන් කාලයක නොවන බැවිනි. මිනිසකු වූ පමණින් ධර්මය අසන්නට නොලැබේ. අද වුවද ඇමර්සන් වැනි වනාන්තරවල ගෝත්‍රිකව වසන්නන්ට හෝ එවැනි සමාජයන්ට සමාන ආකාරයෙන් ජීවත් වන අයට ධර්මය අසන්නට භාග්‍යයක් නැති බව පෙනේ.
දහම් සොඬ කතා පුවත තුළින් පැහැදිලි වන්නේ ධර්මය අසන්නට නොලැබී, බෝසතුන් ජීවිතය හෝ දී ධර්මය අසනු වස් රාක්ෂයෙකුගේ කටට පනින්නට කටයුතු කළ ආකාරයයි. ධර්මය අසන්නට ලැබුණත් එය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් හා අවබෝධයෙන් අසන්නේ සීමිත පිරිසකි. ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ ඉතා සීමිත පිරිසකි. ධර්මයෙන් සිදු කරන තරම් යහපතක් මවට හෝ පියාටවත් කළ නොහැකිය. “ධම්මං විනා නÀථි පිතාච මාතා” යන්නෙන් ඒ බව පැහැදිලි වේ.
මේ ආදි වශයෙන් ඉහතින් සඳහන් කළ කරුණු පසම දුර්ලභව ලැබිය හැකි දේය. ඒ පිළිබඳ අප දැඩි අවධානයකින් පසුවිය යුතුය. එයට හේතුව දුල්ලභව ලැබිය හැකි මිනිසත් බවක් අප ලබා සිටීමයි. නැවත කවදා එය ලැබේදැයි යනු අවිශ්වාසය. ඒ නිසා ලද මිනිසත් බවෙන් උපරිම ඵල නෙළා ගත යුතුය.
අප්පකා තෙ මනුස්සෙසු – යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා – තීරමෙවානුධාවති
යෙච ඛො සම්ම දක්ඛාතෙ – ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති – මච්චු ධෙය්‍යං සුදුත්තරං
(ධම්ම පදය - පණ්ඩිත වග්ගය)

“මිනිසුන් අතුරෙන් නිවන් පරතෙරට යන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් වෙති. ඉතිරි වූ අනෙක් සත්ව සමූහයා මෙගොඩම ඔබ මොබ දුවන්නෝය. යම් කෙනෙක් මනා කොට දේශනා කරන ලද ධර්මයට අනුව හැසිරෙත් ද ඔව්හු ඉතා අමාරුවෙන් තරණය කළ යුතු වූ සසර සයුරින් පරතෙරට පැමිණෙන්නෝය.”
ධම්ම පදයේ ඉහත සඳහන් පණ්ඩිත වග්ගයේ ගාථා යුගලය තුළින්ද සද්ධර්මයේ ඇති වටිනාකම අවබෝධවේ. එබැවින් අද අදම අප ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය නොඅඩුව ලබාගත යුතුය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේය. එතැනින් නොනැවතී සසර දුකින් නිදහස්ව ලැබිය හැකි උතුම් නිවන් සැපත සඳහාද වෙහෙසිය යුතුය.

බුදු දහමේ චිරස්තිථියට තාරුණ්‍යයේ දායකත්වය

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහලුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය, අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.

තම පියරජු විසින් දුක යන වචනය පවා ඇසීමට අවස්ථාව නොදෙමින් අපිරිමිත සැප සම්පත් වලින් ආඪ්‍ය වු දිවියක් ගත කිරීමට සැලැස් වූ සිදුහත් කුමරු අවසානයේ සියලු සැපසම්පත් කෙරෙහි කළකිරී ගිහිගෙය අතහැර ගියේ අවුරුදු 29 දී බව අපි කවුරුත් දනිමු. සිද්ධාර්ථ තාපසතුමා උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ අවුරුදු 35 දීයි.මේ කාල දෙකම සුත්‍ර ධර්මයන්හි හඳුන්වා ඇත්තේ භද්‍ර යෞවනවිය ලෙසය. බුදුරජාණන් වහන්සේගේ දහම කෙරෙහි පැහැදී පැවිදි බව ලබා ගත් බොහෝ දෙනෙක් යොවුන් වියේ පසුවූවන් ය. එයිනුත් බොහෝ දෙනෙක් භද්‍ර යෞවන වියේ පසුවූහ. විශේෂයෙන් පළමු රහත් හැට නමට එකතු වූ යස කුළ පුත්‍රයා ඇතුළු පිරිස අතිශය යොවුන් වියේ පසු වූවන් ය. යසකුල පුත්‍රයා තමාට පිය උරුමයෙන් හිමි වූ අපිරිමිත සැප සම්පත් කෙරෙහි කළ කිරී මානසික සහනය සොයමින් මහමඟට බට අයෙකි.

දිනක් බුදුරජාණන් වහන්සේ අතිශය යොවුන් වියෙහි පැවිදි දිවියට එළැඹි අනුරුද්ධ, භද්දිය,භගු, කිම්භිල කුණ්ඩධාන, රේවත හා ආනන්ද යන තරුණ හිමිවරුන් මුල්කොට ගෙන තාරුණ්‍ය පිළිබඳ කළ වැදගත් දම් දෙසුමක් මැඳුම් සඟියෙහි ඇතුළත් නළකපාන සූත්‍රයෙන් අපට හමුවෙයි. මේ තරුණ හිමිවරු සත් නම එකට පැවිදිව එකට මහණදම්පිරූ සබ්බ්‍රහ්මචාරිහූය. එම දම්දෙසුම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නළකපාන ගමෙහි මහවන මැද සසුන්බඹරෙහි වෙසෙන මේ යෞවනයන්ගේ දිවිය පිළිබඳ වූ අතිශය කාරුණික හැඟීමෙනි.
මේ තරුණ හිමිවරු ඇමතූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මහණ දම් පුරන්නේ කැමැත්තෙන් ද එසේ නැතිනම් අකැමැත්තෙන්ද යනුවෙන් විචාළහ. උන්වහන්සේලා නිශ්ශබ්දව හුන්හ. බුදුරජාණන් වහන්සේ දෙවැනි වරටත්, තෙවැනි වරටත් එසේ විමසුව ද මේ තරුණ හිමිවරු නිශ්ශබ්දවම හුන්හ. නමකින් නොවිචාල හොත් කිසිසේත් පිළිතුරු නොලැබෙන බව දැනගත් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හිමියන් අමතා ඒ පිළිබඳ විචාළහ. එවිට උන්වහන්සේගේ පිළිතුරු වූයේ “ස්වාමිනි අපි ඒකාන්තයෙන් අපි මේ බඹසර දිවියෙහි ඇළෙමින් කැමැත්තෙන්ම මහණදම් පුරන්නෙමු” යනුවෙනි. ඒ පිළිබඳ අගය කරන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මේ භද්‍ර යොවුන් වියෙහි ගත කරන බඹසර දිවියෙහි වටිනාකම පෙන්වා දෙයි.
යෙන තුම්හෙ අනුරුද්ධා, භද්‍රෙනා යොබ්බනෙන සමන්නාගතා, පඨමෙන එයසා සුසුකාළකෙසා කාමේ පරිභුඤ්ජෙය්‍යාථ තෙන තුම් හේ. අනුරුද්ධා, භද්‍රෙනපි යොබ්බනෙන සමන්නාගතා පඨමෙන එයසා සුසුකාළකෙසා අගාරස්මා අනගාරියං පබ්බජිතා තෙ ච ඛො පන තුම්හෙ,අනුරුද්ධා නෙව රාජාභීනිතා අගාරස්මා අනගාරියං පබ්ජිතා න වොරාහිනිතා අහාරස්මා අනගාරියං පබ්බජිතා න ඉණට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා න හයට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා , නාජිවිකාපකතා අගාරස්මා අනගාරියං පබ්බජිතා අපි එ ඛොම්හි ඔතිණ්නො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සයෙහි උපයාසෙත. දුක්ඛොතිස්ණෙ, දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කොවස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති.
අනුරුද්ධයෙනි, ඔබලා මේ භද්‍ර යෞවන වියෙහි මුල් කාලයේම කාලවර්ණලංකෘත වූ කේශ ඇති කාමයෙහි, ලොල්වන කාලසීමාවෙහිම ඒ සියල්ලම ඔබලාට මනාව තිබිය දී කාමයන්ගෙන් වෙන්ව පැවිදිව උතුම්වු ශාසන බ්‍රහ්මචරියාවෙහි වසන්නාහ. අනුරුද්ධයනි,ඔබලාගේ ඒ පැවිදිවීම රජුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. සොරුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. ණයෙන් මිදීම පිණිස හෝ රාජචොරාදීන්ගේ භයෙන් මිදීම පිණිස නොවූවකි. යැපීම පිණිස පැවිදි වූවෝ නොවෙති. හුදෙක් ජාති, ජරා , මරණ ශෝකාදියෙන් යුක්ත වූ මේ දුක්ඛ දෝමනස්ස උපායාසයෙන්ගෙන් මිදීම පිණිසම පැවිදි වූවෝ වෙති. ඒ උදෙසාම බඹසර වසන්නෝ වෙති. එබැවින් පැවිදිවීමත් බඹසර විසීමත් උතුම්ය. ඔබලාගේ අරමුණ විය යුත්තේ භාවනාභීරතව ප්‍රථමජ්ඣාන, ද්වීතියජ්ඣාන , තෘතීයජක්‍ධානාදිය ලැබී අභිද්‍යා, ව්‍යාපාද,කාමච්ඡන්ද , ථීනමිද්ධ උද්දච්චකුක්කුච්චාදී වූ පඤ්ච නීවරණයන්ගෙන් සිත නිදහස්කොට පී‍්‍රතිය හා සුවය ඇති නිවන ළඟාකර ගැනීම බවයි.
මෙය පිය කෙනෙක් තරුණවියේ පසුවන පුත්‍රයන්ට ලබාදෙන උපදෙස් මාලාවක් හා සමානය.බුදුරදුන් සිය ඖරස පුත්‍ර වූ තරුණ භික්‍ෂූන් වහන්සේලා දෙස බලා ඇත්තේ අසහාය කරුණාවකිනි. අනුකම්පාවකිනි. එයට හේතුව තමාගේ මේ භද්‍ර යෞවන වූ තරුණ කාලය ශාසන බ්‍රහ්මචර්යාව වෙනුවෙන් යොදවා කළ අසහාය කැපකිරීම නිසාමය. මෙය සුළුපටු කැපකිරීමක් නොව උතුම්ම කැප කිරීමක් බව බුදුරජාණන් වහන්සේ ද දත් නිසාය.
බුදුදහම කෙරෙහි මුල් යුගයේ පැහැදී උතුම් පැවිදි භාවය ලැබූ බොහෝ පිරිස තරුණවියේ මෙන්ම භද්‍ර යෞවන වියේ වූ පිරිසක් බවයි. තෙරවරු පමණක් නොව තෙරණියන්ද තම යොවුන් දිවිය බුදු සසුන වෙනුවෙන් කැපකළ අයුරු ථේරගාථා හා ථේරීගාථාවන්ගෙන් පැහැදිලි වෙයි.
බොහෝ දෙනෙක් සිතන්නේ තරුණවිය යනු ස්වාභිමතයට අනුව දිවි ගෙවමින් කාමභෝගි දිවියක් ගතකළ යුතුය යන්නයි. ධාර්මික ජීවිතය යනු මහලුවියේ ප්‍රායෝගිකව අත්විඳිය යුත්තක්ය යන්න ඔවුන්ගේ මතයයි. මෙය අද මිනිසුන් අතර පවතින මතයක් පමණක් නොව එදා දෙවියන් අතරද පැවැති මතයක් බව සංයුක්ත නිකායේ සගාථක වර්ගයේ එන සමිද්ධී සුත්‍රයෙන් පැහැදිළි වෙයි. එනම් එක්තරා දෙවඟනක් තරුණ වියෙහි පැවිදිව ශාසනාභීරතව බවුන් වඩන භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පැමිණ කළ මෙම ප්‍රකාශයයි.
“දහරෝ ත්වං භික්ඛූ පබ්බජිතෝ සුසුකාළ කෙසො භද්‍රෙන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අනිකිලිකාවි කාමේසු භුඤ්ජ භික්ඛු මානුසකෙ කාමේ මා සන්දිට්ඨිකං භිත්වා අකාලිකං අනුධාවී “
ශ්‍රමණය, ඔබ තරුණ පැවිද්දෙකි.කළු කෙස් ඇත්තේය. භද්‍ර යෞවන වියෙහි සිටින කෙනෙකි. තාරුණ්‍යයේ ප්‍රථම වයසෙහි සිටියි. එහෙත් ඔබ තරුණවියෙහි විඳීය යුතු කම්සැප නොවිඳීන කෙනෙකි. එය නොසුදුස්සකි. මානුසික වූ විඳිය යුතු කම් සැප විඳීන්න. පෙනෙන දේ අතහැර නොපෙනෙන දෙයක් පසුපස නොයන්න.
මෙම ප්‍රකාශය හුදෙක් සාමාන්‍ය ජනයා සමාජය දෙස බලන අයුරින් කළ ප්‍රකාශයකි.එයින් කියවෙන්නේ තරුණ කල අනිවාර්යයෙන්ම කම්සැප විඳීයයුතු යන්නයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහළුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය,අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.
තාරුණ්‍යයේ වටිනාකම අගය මනාව වටහාගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සිතුම් පැතුම් පමණක් නොව හැකියාවන්ද මනාලෙස හඳුනාගෙන අවශ්‍ය ධර්ම කරුණු පෙන්වා දී ඔවුන් සමාජ විශෝධන ක්‍රියාවලියෙහි යෙදවු ආකාරය මුළු මහත් සූත්‍ර දේශනාවන් පුරාවට පැහැදිළිව පෙනෙයි. ඇතැමෙක් සැනසීම සොයා බුදුරදුන් වෙත පැමිණියේ දුක පිළිබඳ පමණක් නොව සැප පිළිබඳවද කළ කිරුණු මනසින් යුක්තව ය. ඇතමෙක් ජීවිතයේ තමා ලත් අපමණ දුක් ගැහැට නිසා ජීවිතය පිළිබඳ කළකිරී පැමිණියහ. තවත් සමහරෙක් විවිධ ප්‍රශ්න නිසා ජීවිතය ව්‍යාකූල කරගනිමින් බුදුරදුන්වෙත පැමිණියහ. මේ සියල්ලන්ගේම අරමුණ හා අවබෝධයේ මට්ටම් තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ සියල්ලන්ට එම යථාර්ථය අවබෝධ කොට දී ඇත්තේ අසහාය ශාස්තෘවරයෙකු ලෙසය. අසහාය සමාජ විශ්ලේෂකයෙකු ලෙසය. අසහාය මනෝවිද්‍යාඥයෙකු ලෙසය. ඇත්තෙන්ම බුදුසසුනට මේ තරුණ භික්‍ෂූන් ගෙන් ලැබුණූ පිටුබලය අති මහත්විය. එය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශීඝ්‍රයෙන් සන්නිවේදනය වීමට මෙන්ම ජනපි‍්‍රය වීමට ද මහත් ශක්තියක් වී ඇත.

සසුනට වින කරන මාර පාක්‍ෂික බණ


බෞද්ධ ධර්මය පිළිබඳ එක්‌තරා මහාචාර්යවරයකුගේ නමින් පුවත්පතක පළවූ ලිපියක කරනු සම්බන්ධයෙන් සංවේගයට පත්ව මෙම ලිපිය ඉදිරිපත් කරමි.

පිරිනිවියා වූ බුදුරජුන්ට පූජාවන් පැවැත්වීමෙන් පළක්‌ නැති බවත්, එය හින්දු දේව පූජාවන් අනුකරණයෙන් ගොඩනඟා ගත් හානිදායක චාරිත්‍රයක්‌ බවත් ඔහු සඳහන් කරයි. පළමුව බුද්ධ පූජාව යනු කුමක්‌දැයි හඳුන්වා දිය යුතුය. "බුදු පියාණන් වහන්සේ" යනු සියලු මානුෂික ගුණයන්ගේ පරිණාමයේ අග්‍රම අවස්‌ථාවය. මුදුන්මල්කඩය. සසර දුකට වැටී සිටින අප සියලු දෙනාට ඉන් එතෙර වීමේ මගද, කරුණා - මෛත්‍රී, ප්‍රඥ ආදී ගුණ, සන්තානයේ වඩවා ගැනීමය. මේ ගුණ වගාව ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය, එම ගුණයන්ගෙන් පිරිපුන් උත්තමයකුගේ ගුණ අපගේ හදවතින් අගය කිරීමය. එසේ ගුණ අගය කිරීම එම උත්තරීතර ගුණයන් තමාගේ සන්තානයට ද වැඩමවා ගැනීමේ මුල් පියවරය. මෙසේ ගුණ අගය කිරීම තුන් ආකාරයකින් කළ හැකිය. එනම්, සිතෙන් කයෙන් සහ වචනයෙනි. බුද්ධ වන්දනාව සිදුකරන විට සහ බුද්ධ පූජාවන් පවත්වන විට කායිකව ද, ස්‌තූති පූජාවන් කරන විට සහ ගාථාවන් කියන විට වාචිකව ද මෙසේ බුද්ධ ගුණ ඇගයෙන අතර මනසින්ම බුදුගුණ අගය කිරීම බුද්ධානුස්‌සති භාවනාව යනුවෙන් හැඳින්වේ.

බෞද්ධයන් පූජාවන් පවත්වන්නේ තථාගතයන් වහන්සේගේ චිත්තාකර්ෂණීය ශරීරයට නම්, පරිනිර්වාණයෙන් පසු බුද්ධ පූජාවන් පැවැත්වීම නොකළ හැකි බව සැබෑය. නමුත් බුද්ධිමත් බෞද්ධයා පූජාවන් පවත්වන්නේ බුදු පියාණන් නිසරු යෑයි දෙසූ කය අරමුණුකොට නොව, බුද්ධ ගුණයන් අරමුණු කර ගනිමිනි. තම තමන්ගේ ප්‍රඥවේ තරමට, අදත් අපට බුදුගුණ මෙනෙහි කළ හැක්‌කේමය. චෛත්‍ය, බුද්ධ ප්‍රතිමාව සහ බෝධීන් වහන්සේ අනන්ත බුදුගුණ සිහිකර ගැනීම සඳහා අපට දෘශ්‍යාධාරකයන් වෙයි. අපගේ සන්තානයේ, ශ්‍රද්ධාව - වීර්ය- සතිය - සමාධිය ආදී කුසල් සිත් ජනිත කර ගැනීමට බුද්ධ පරිනිර්වාණය කවර බාධාවක්‌ ද?

දීඝ නිකායේ එන මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ මෙසේ සඳහන් කළහ. "ආනන්දයෙනි, ස්‌ථූප තනා වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ හතර දෙනෙකි. එනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, රහතන් වහන්සේ සහ සක්‌විත් රජු යන මේ සිව් දෙනාය. ආනන්දයෙනි, කවර කරුණක්‌ නිසා තථාගතයන් වහන්සේට ස්‌ථූප තනා වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වන්නේද? ආනන්දයෙනි, "මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයයි" සිතා බොහෝ දෙනා සිත පහදවාගෙන මරණින් මතු සුගතිගාමී වන හෙයිනි". කළ යුත්තේ බෝධි පූජා, බුද්ධ පූජා නොව, භාවනාව යෑයි කියමින් මාරසිංහ මහතාගේ ගෝත්‍රයේ පිරිස රට කළඹති. භාවනාව පිළිබඳව බුදු හිමියන් දෙසූ මහානර්ඝම සූත්‍ර රත්නයවන, සතිපට්‌ඨාන සූත්‍රයට (ම.නි) අනුව භාවනා කළ හැක්‌කේ පිළිමයක්‌ මෙන් නිසෝල්මන්ව සිටීමේදී පමණක්‌ නොවේ. යන විට එන විට, හිඳින විට, සැතපෙන විට සේම. දොඩන විට, නිහඬවන විට, ආදී සියලු අවස්‌ථාවලදී, වීර්යයෙන්, මනා නුවණින් සහ සිහියෙන් යුතුව ඒ ක්‍රියාවන් සිදුකිරීම භාවනාවයි. ඉතින්, බෝමළු අමදින විට, මල් රැස්‌ කරන විට, ගිලන්පස සකසන විට, භාවනාව වැඩීමට නොහැකිද? පහන් පුදන විට, ගාථාවන් ගයන විට භාවනාව තහනම් ද? පර්යංක භාවනාව සඳහා දෙනෙත් පියා ගන්නා සමහරු සුළු වේලාවකින්, සුව නින්දකට වැටෙති. තමන් නිදාගත් බව පිළිගන්නටත් සමහරු කැමති නොවෙති. සෑමළුව අමදින විට ඔබට බොහෝ කුසල් රැස්‌ වෙනවා පමණක්‌ නොව, නිද්‍රdව විසින් පරදවන්නටත් නොහැකි වෙයි. සාගරය ක්‍රමානුකූලව ගැඹුරු වන්නකි. එය එක්‌වන් ප්‍රපාතයකට නොයයි. පහාරාද සූත්‍රයේදී ශාසනයත් සාගරයට උපමා කරමින් බුදු සමිඳුන් පෙන්වා දෙන්නේ ක්‍රමානුකූලව ගැඹුරුවන ප්‍රතිපදාවක්‌ ඇති බව මෙම සසුනේ ආශ්චර්යවත් ලක්‍ෂණයක්‌ ලෙසය.

සාංඝික දානවලදී විවිධාකාර කැවිලි වර්ග, ගිලන්පස වර්ග සහිතව බුද්ධ පූජාව සිදු කිරීම ගැන මහැදුරුතුමා අප්‍රසාදය පළ කරයි. දන් දීම යුද්ධයක්‌ හා සමාන බව භාග්‍යවතුන් වහන්සේ දෙසූ සේක (දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු - ස.නි). පරිත්‍යාගය පහසු කටයුත්තක්‌ නොවෙයි. තමන් දන් දෙනවා තබා, සමහරුන්ට අන් අයගේ දීම ද ඉවසා ගැනීමට අපහසුය. නමුත් නුවණැති සත් පුරුෂයන් අන් අය දුන් දානයෙහි සතුටු වීම් මාත්‍රයෙන් පවා මහත් සම්පත් ලබන බව බුදු සමය හේතු සහිතව පෙන්වා දෙයි. සම්‍යයක්‌ ප්‍රඥවෙන් යුතුව බුද්ධ වන්දනාවන් සහ පූජාවන් සිදුකරන අයට මේ ජීවිතයේදීමත් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන අයුරු අපි අත්දැකීමෙන්ම දනිමු. අප කළ යුත්තේ වඩා නිවැරැදිව ඒවා සිදුකරන අයුරු කියා දීම මිස, පින්කම් හෙළා දැකීම නොවෙයි. බුදු සමය වඩාත් සමීප වන්නේ දර්ශනයකට මිස ආගමකට නොවන බව සත්‍යයකි. නමුත් දර්ශනයක්‌ සාමාන්‍ය මිනිසුන්ගේ සන්තානවල ජීවමාන වන්නේද, එය මතු පරම්පරාවලට රැකෙන්නේ ද එයට අදාළ සංස්‌කෘතියක්‌ බිහිවීමෙනි. ගසක අරටුව බිහිකිරීමට ඵලද මෙහෙවරක්‌ කරන්නා සේ, සමාජ සංස්‌කෘතියේ අංග ද බුදු සමයේ රක්‍ෂණයට, පෝෂණයට අත්‍යාවශ්‍ය වෙයි. තම පියාගෙන් ලැබුණු අවවාදයක්‌ අනුව දිසා නමස්‌කාරයේ යෙදෙමින් සිටි සිඟාලක සිටු පුත්‍රයාව, බුදුරජාණන් වහන්සේ අවඥාවට ලක්‌ නොකළ සේක. උන්වහන්සේ කළේ දිසා නමස්‌කාරයට නව අර්ථකථනයක්‌ එකතු කරමින් එම තරුණයාගේ සිතත් නොරිදවා, දහමත් ඉගැන්වීමය. සැබෑ බෞද්ධයකු වීම සඳහා මොළය පමණක්‌ නොව හදවතක්‌ද ඇවැසිම වෙයි. තනි කකුලෙන් සිටගෙන ඉන්නා පුද්ගලයකු දුටුවිට අප කළ යුත්තේ අනිත් කකුලත් දිගහැර, දෙපයින්ම සිටගන්නා හැටි කියාදීම මිස, දිගහැරගත් කකුලටත් පහරදී අසරණයාව බිම හෙළීම නොවේ.

දහම් පොත් කියවන සමහරුන්, ඒවායේ දැක්‌වෙන කරුණුවලින් තමන්ගේ කෙලෙස්‌වලට පක්‍ෂ වන දේ පමණක්‌ සත්‍ය යෑයි ගෙන ස්‌වකීය මසුරුකම්, කුසීතකම්, අහංකාරකම් ආදී කෙලෙසුන්ට විරුද්ධ දේ "ඕවා පසු කාලීන අදහස්‌" යෑයි ප්‍රතික්‌ෂේප කිරීම අභාග්‍යයකි. බෞද්ධ පුණ්‍යකර්මයන් අවසානයේ "සිතින්, කයින්, වචනයෙන් වරදක්‌ සිදු වී නම් සමාවන සේක්‌වා"යි බුද්ධ රත්නයෙන් අපි ඉල්ලා සිටිමු. මහාචාර්යතුමාට, මෙය දේවවාදී ආගම්වලින් බුදු සමයට ආ හිස්‌ දෙයක්‌ ලෙස පෙනේ. දේවවාදී ආගම්වල එන පවු සමා කිරීමේ චාරිත්‍රය පවා ඒකාන්තයෙන්ම නිශ්ඵල යෑයි නිර්දය ලෙස හෙළා නොදැකිය යුතුය. එහිද එක්‌තරා මනෝවිද්‍යාත්මක වටිනාකමක්‌ පවතින බැවිනි. සිදුකළ යහපත් දේවල්වලට වඩා, ජීවිතයේ වැරදුණු තැන් පැරදුණු තැන් තදින් මතක තබා ගැනීමේ දුබලකමක්‌ පෘථග්ජන සිත්වල ඇත්තේය. මේ නිසා අප අතින් සිදු වුණු සෘණාත්මක දේවල් ගැන නිරන්තරයෙන් පසුතැවෙන විෂම චක්‍රයකට සමහරු අසුවෙති. තමන්ට හිස එසවිය හැකි බවට ආත්ම විශ්වාසයක්‌ නොමැතිකම නිසාම ඔවුහු නැවත නැවතත් අකුසලයේම අත්අඩංගුවට පත් වෙති. වැරැදි සමා කර ගැනීම, මේ ආත්ම පරාජයට තුඩු දෙන චර්යාවෙන් මිදී ධනාත්මක හැඟීම් ඇතිව, නැවුම් ගමනක්‌ ඇරඹීමට කෙනෙකුට දිරි දෙයි. බෞද්ධ සන්දර්භය තුළ විශාල නිහතමානී බවක්‌ ද ප්‍රකට කරන ත්‍රිවිධ රත්නය ක්‍ෂමා කරවා ගැනීම සිදුකළ යුත්තේමය.

බුදු සසුනේ සමහර අංශ තේරුම් ගැනීම සඳහා තර්ක බුද්ධිය පමණක්‌ නොව අධ්‍යාත්මික බුද්ධිය ද අත්‍යවශ්‍ය වෙයි. එම නිසා මෙවැනි ගැටලු විස¹ ගැනීමේදී අප අනුගමනය කළ යුත්තේ ශාස්‌ත්‍රීය ප්‍රවේශයකින් පමණක්‌ බුදු සමය හඳුනා ගත් උගතුන්ගේ මඟ නොව, පොතපතින් උගත් දේ භාවනාමය ප්‍රඥවෙන් පත්‍රක්‍ෂ කරගත්, අති පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි, බළංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමි වැනි සංඝ පීතෘන් වහන්සේලා වැඩිය මගයි.

ශාස්‌ත්‍රපති මත්තුමගල චන්දානන්ද හිමි,
බෞද්ධ උපදේශක, ඇල්බර්ටා විශ්වවිද්‍යාලය, 
කැනඩාව 

ඔබ මේ යන්නේ කොහෙද?


ඔබ මේ කොහේද යන්නේ? කවුරුන් හෝ ඔබෙන් ප්‍රශ්න කළොත් ඔබේ පිළිතුර කුමක්‌ වේවිද? මම වැඩට යනවා. මම පාසල් යනවා හෝ මම කඩපොළට යනවායි ඔබේ පිළිතුර වනු ඇත. එය බොහෝ සෙයින් සෑම අයකුම දෙන පිළිතුරකි.

බුදුරජාණන් වහන්සේ දවස අලව්නුවර වැසි එක්‌තරා පේෂකර්ම දියණියකගෙන් 'ඔබ කොහේ සිට ආවේදැයි' බුදුරජාණන් වහන්සේ ඇසූ විට ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ 'නොදනිමි ස්‌වාමීනි' යනුවෙනි.

දීර්ඝ සංසාර ගමනක සියලුම දෙනාම කල් ගෙවති. මේ ගමන් මග බොහෝ විටෙක පිරී ඇත්තේ කායික හා මානසික සුවයන්ට වඩා කායික හා මානසික දුක්‌ඛයන්ගෙනි. දුගතියක නොඉපදී දිව්‍ය හා මානුෂික භවයක්‌ ලැබුණොත් සුව විඳිය හැකි නොවේදැයි යමකු ප්‍රශ්න කරනු ඇත. එහෙත් බෞද්ධ දර්ශනය අනුව සැපයි කියමින් සිතින් අල්ලා ගන්නා ඒ සියල්ල ද වහ වහා වෙනස්‌ වෙයි. කෙළවර දුක ශෝකය උරුම කොට පවතී. 

ඔබ අප කාටත් හොඳින් ප්‍රත්‍යක්‍ෂ මිනිස්‌ ජීවිතයේ ගැටලු හා දුක්‌ විපත් මේ බවට සාක්‌ෂි දරයි. අඳ, ගොළු, බිහිරි හා අංගවිකලව උප්පත්තිය ලැබුවහොත් මිනිස්‌ ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීමට අපහසු වනු ඇත. එපමණක්‌ ද නොව ජීවිතය අධර්මයට යොමුවී දුෂ්චරිතයන්ට පුරුදු වුණහොත් හා විපරිත මනසක්‌ පහළ වුවහොත් උතුම් මනුෂ්‍ය භාවයෙහි වටිනාකම ඉවත්ව යනු ඇත. එහි ප්‍රතිඵලය නම් ලද ජීවිතය දුකට පෙරළීමය.

නැවත ඉපදීම බෞද්ධ දර්ශනයේ වැදගත් ඉගැන්වීමකි. මෙම නැවත ඉපදීමට හේතුව මගේයි සිතින් අල්ලා ගනු ලබන තෘෂ්ණාව බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. (යායං තණ්‌හා පෝතෝභවිකා නන්දිරාග සහනතා තත්‍රතත්‍රානිනන්දතී)

නැවත ඉපදීමේ ඇති වැරැද්ද කුමක්‌දැයි ධර්මය පිළිබඳ අවබෝධයක්‌ නැති අයකු ප්‍රශ්න කරනු ඇත. නැවත ඉපදීමේ භයානක බව නම් මනුෂ්‍ය ජීවිතය අත්හැරී දුගතියකට වැටීමේ ඇති අවස්‌ථාවන් වැඩි වීමයි. මනුෂ්‍ය ජීවිතයක පරමායුෂ සාමාන්‍යයෙන් අවුරුදු සීයක්‌ නම් දුගතියක ආයු කාලය වචනයකින් කිව නොහැකි තරම් බොහෝ සෙයින් වැඩිවිය හැකිය.

බුදුරජාණන් වහන්සේ මඡ්Cධිම නිකායේ දිවේධා විතක්‌ක සූත්‍රයේ දේශනා කරනුයේ තමන් වහන්සේ තමන්ගේම දීර්ඝවූ සසර ගමන පුබ්බේනිවාසානුස්‌සති ඥානය තුළින් දුටුවා මෙන්ම චුතුපාපත ඥනය මගින් සියලු සත්වයින්ගේ සසර ගමනෙහි උපන් හා විපත් පිළිබඳව දැකිය හැකි බවයි.

එම ඥන ශක්‌තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මානය පිණිස නොවේ. සත්ත්වයන් සුචරිත මාර්ගයෙහි යෙදවීමටය.

බොහෝ සත්වයෝ සිත, කය හා වචනය දස අකුසල්වල පැවැත්වීමෙන් සසරෙහි හඬමින් හා වැළපෙමින් මහත් වූ දුකෙහි පසුවන බව එම ඉගැන්වීම් තුළින් පැහැදිලි වේ.

මෙය කියවන ඔබ මෙසේ සිතන්නට පුළුවන්. කවුද දන්නේ නැවත ඉපදීමක්‌ තිබෙනවාද නැද්ද කියලා. ඒ නිසා මේ ජීවිතයේ කොහොම හරි සතුටින් ජීවත් වෙන්නයි බලන්න ඕන. ඔබ අසා තිබෙනවාද මෙසේ කියනවා සමහර අය ගැන. 'එලොවක්‌ නැති මිනිස්‌සු මොන අපරාධයක්‌ කරල හරි තමන්ගේ වැඩේම කරගන්නයි හදන්නේ' මෙහි කියෑවෙන අදහස ගැන ඔබ මොකද හිතන්නේ? මරණය ගැන අමතක වුණාම හා පරලොවක්‌ ගැන විශ්වාසයක්‌ නැති මිනිස්‌සු හොඳින් හෝ නරකින් ජීවත්වෙන්න පටන් ගනිති.

බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු දෙදහස්‌ පන්සිය පනස්‌ ගණනාවකට පෙර මිනිස්‌ සිත පිළිබඳ දෙසූ කරුණු වර්තමානයේත් එලෙසම ක්‍රියාත්මකය. අනිච්ච (අනිත්‍ය) නම් පදය පමණක්‌ ගෙන නුවණින් බලන්න.

ලොව ඇති පණ ඇති හා පණ නැති සියල්ලම නිරන්තර වෙනස්‌වීමකට ගොදුරු වන බව කොපමණ පැහැදිලිව වැටහේද? 

අනිත්‍ය මතුකොට පෙන්වනුයේ ජීවිතයෙහි දුකට පත්වෙමින් හඬමින් සිටින්නට නොව වෙනස්‌වන ලෝකයෙහි දැඩි ආශාවෙන්, වෛරයෙන් හා ඊර්ෂ්‍යාවන් ආදී මිනිස්‌ ජීවිතය අප්‍රසන්න කරන සිතුවිලිවලින් මනුෂ්‍ය ජීවිතය රැකගන්නටය.

සියල්ලම අනිත්‍ය බව අමතක වන විට බාහිර වස්‌තූන් වූ ගේ, දොර, ඉඩම්-කඩම්, මිල-මුදල්, යාන-වාහන, ඇඳුම්-පැළඳුම් හා රුව, රත්තරන් වෙනුවෙන් මනුෂ්‍යයන් කොපමණ නම් නපුරු වෙනවාද?

ස්‌වාමියාට බිරිඳත්, බිරිඳට ස්‌වාමියාත්, දෙමව්පියන්ට දරුවනුත්, දරුවන්ට දෙමව්පියනුත්, අවසානයේ මිනිස්‌කමත් අමතකවී රණ්‌ඩු දබර හා නඩුහබවලට පැටලී, විටෙක ඔවුනොවුන්ට හානි කරගනිමින් ජීවිතය නැතිකර ගනිති.

කරුණාව හා මෛත්‍රිය පැවැතිය යුතු සිත් තුළ රාගය, වෛරය, තරහව ආදී කෙලෙස්‌ මතු වූ විට තිරිසන් සතුන්ටත් වඩා මිනිසුන් පහතට වැටෙන බව ඔබ කොතෙකුත් අසා හා දැක තිබේද?

පසුගිය සුනාමි විපතින් මහ මුහුද හා පොරබැද දිවි ගලවා ගත් අහිංසක දියණිවරුන්ට හා මවුවරුන්ට කරදර කරන්නට තරම් යම් පුද්ගලයෙක්‌ පෙළඹුණේ, ජීවිතයත් ඒ හා බැඳී පවත්නා සියල්ලත් අනිත්‍ය බව අමතක වන්නට තරම් රාගාදී කෙලෙස්‌ ප්‍රබලව සිතට පැමිණි නිසා නොවේද? පරලොවක්‌ නැත. ඔක්‌කෝම සිදුවන්නේ මේ ලෝකයේදී පමණයි යෑයි මිථ්‍යාදෘෂ්ටි ඉගැන්වීමේ භයානක බව මේ මගින් හොඳින් වැටහෙනු ඇත. 

සියලු මිනිසුන් මවු කුස හෙවත් ගර්භාෂයෙන් මෙලොව පැමිණ කනත්තෙන් හෙවත් සොහොනෙන් ගමන අවසන් කරන බව සියලු ආගම්හි ඉගැන්වීම වේ. බෞද්ධ දර්ශනයට අනුව තෘෂ්ණාව ඉවත් නොකළහොත් නැවත ගර්භාෂයකටත් කලෙකින් පසු සොහොනකින් ගමන තාවකාලිකව අවසන්වන බව පෙන්වා අලුත් පෙනුමකින් තවත් ගර්භාෂයකට ඇතුළුවනු ඇත.

ගර්භාෂය සහ සොහොනෙන් මෙහි සංකේතවත් කරනුයේ උපත හා මරණය යි. මෙම ගර්භාෂය හා සොහොන අතර ගමනේදී කිසිදු භේදයකින් තොරව ලොව සියලු දෙනාටම මුහුණ පාන්නට සිදුවන කරුණු කිහිපයක්‌ පවතී.

එනම් ව්‍යාධීන්ට මුහුණපෑම හා දිරාගෙන යැම හෙවත් මහලු බවට පත්වීමය. සොහොන හෙවත් මරණය ඉලක්‌ක කරගෙන මේවා විශාල ගිනිකඳු ලෙසින් සියලු දෙනා වෙතට ලුහුබැඳගෙන පැමිණේ. මේවාට මුහුණ දී පරාජය කළ නොහැකිය. එමෙන්ම ඉන් පැන දිවීමට සෑහෙන වේගයක්‌ ද කිසිවකුටත් නැත මෙහිදී මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඉගෙන ගත යුතු පාඩමක්‌ ඇත. එනම් අපද ලෙඩවීම හෝ රෝගාතුර විය හැකි බැවින් ගිලනුන් කෙරේ කාරුණික විය යුතු බවය.

ලෙඩ රෝග කිසිවකු විසිනුත් කැමැත්තකින් බාරගන්නා දෙයක්‌ නොවේ. ඒවා අපගේ අකමැත්තෙන් හා අනවසරයෙන් ශරීරයට ඇතුළුවන ඒවාය. ඒවා නොසලකා හැරීමෙන් සිදුවන්නේ රෝගය අසාධ්‍යවීම පමණි. 'සිදුහත් කුමරුන් මෙන්ම, මමත් රෝගාතුරවීමට උරුමය' නම් වූ හැඟීමෙන් විසිරෙන සිත සන්සුන් විය යුතුය. මමත් ලෙඩ වේවි. මමත් මහලු වයසට පත්වෙනවා, මමත් කෙදිනක හෝ මැරේවි ආදී වූ සිතුවිලි මගින් ආශාවෙන්, දැඩි තෘෂ්ණාවෙන්, ආත්මාර්ථකාමී බවෙන් හා වෛරයෙන් පිරුණු සිත තරමකින් හෝ පාලනය කිරීමට ශක්‌තියක්‌ තිබේ.

වයස හා ගිලන් බව හේතුවෙන් අසරණ වන මව්පියන් හා වැඩිහිටියන් තමන්ට කරදරයක්‌ යෑයි සිතන බොහෝ තරුණ හා මධ්‍යම වයසේ පසුවන අයට, මගේ දරුවොත් මා ගැන එසේ සිතන්නට පෙළඹුණොත් මට කුමක්‌ සිතේ දැයි නොසිතන්නේ ඇයි? කාරුණික හා මෘදු හිතක්‌ තිබීම හා තරමකින් හෝ අන් අය ගැන සිතන්නට හැකිවීමත් ශරීරය දිරාගෙන ගියත් මනස නිරෝගීව පැවැතීමට හේතුවේ.

තරුණ අවදියේ දී නපුරු කෙලෙස්‌වලින් සිත පාලනය නොකොට මට සියල්ලම පුළුවනි, මම සියල්ලම දනිමි, මට කිසිවකුත් අවශ්‍ය නැත යි සිතන බොහෝ අයකුට තමන්ගේ මහලු වයස කායිකවත්, මානසිකවත් ගිනි ගොඩක්‌ වේවි.

සියල්ල අත්හැරදා සොහොනෙන් කෙළවර වන ගමනක ආශාවන් පොදි බැඳගෙන තරහවෙන් හා වෛරයෙන් පිරි අනුන්ටත්a නපුරුකම් කරමින් ගතකරන ජීවිතයක ධර්මානුකූල අර්ථයක්‌ නැත. 

සිතන්න, ගෙවෙන හැම මොහොතක්‌ම ඔබගේ ජීවිතය කෙටි කරන බව. සෙමෙන් හෝ වේගයෙන් දහම් මග ගමන් කිරීමට ඉටා ගන්න.


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

සසුන සුරැකිය හැක්‌කේ ප්‍රතිපත්ති ගරුක වීමෙන් පමණි

මිනිසා යනු සත්වයෙකි. 'මනු උච්චෙඨානෙ සෙතීති වා මනසො උස්‌සන්නත්තා වා මනුස්‌සො" දැනීම ඥනය ඉහළ තැනෙක ඇත්තේය හෝ මනස උසස්‌ ශක්‌තිමත් යන අර්ථයෙන් මනුස්‌ස නම් වේ.

රූපාදී ස්‌කන්ධයන් කෙරෙහි පවතින ඡන්දරාගයෙහි ඇලුණේය දැඩිව ඇලුණේය. යන අරුතින් සත්වයා යෑයි පවසයි. "රූපෙ ඛො රාධ යො ඡන්දො යො රාගො යා නන්දි යා තන්හා තත්‍ර සත්තො තත්‍ර විසත්තො තස්‌මා සත්තොති වුච්චති. වෙදනාය - සඤ්Æය - සංඛාරෙසු - විඤ්Æණෙ යො ඡන්දො යොරාගො යා නන්දි යා තණ්‌හා තත්‍ර සත්තො තත්‍ර විසත්තො තස්‌මා සත්තොති වුච්චති."

සං. නි. රාධ සංයුත්තය, පඨම මාරවග්ගය,

2 - සත්ත සූත්‍රය

රාධය රූපය කෙරෙහි යම් කැමැත්තක්‌ යම් ඇල්මක්‌ යම් සතුටක්‌ යම් ආශාවක්‌ වේද එහි ඇලුණේය. එහි දැඩිව ඇලුණේය. එහෙයින් 'සත්ත' යෑයි පවසයි. වේදනාවෙහි සඤ්ඤාවෙහි සංස්‌කාරයෙහි - විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්‌ යම් ඇල්මක්‌ යම් සතුටක්‌ යම් ආශාවක්‌ වේද එහි ඇලුණේය එහි දැඩිව ඇලුණේය එහෙයින් 'සත්ත' යෑයි පවසයි.

එබැවින් මනස උසස්‌ වූයේද, දැනීම ඥනය ඉහළ තැනෙක තිබුණේද රූපාදී ස්‌කන්ධයන් කෙරෙහි පවතින ඡන්දරාගයෙහි ඇලෙන දැඩිව ඇලෙන බැවින් මිනිසා යනු සත්වයෙකි.

"සබ්බෙ සත්තා ආහරට්‌ඨිතිකා" සියලු සත්වයෝ ආහාරයෙන් සිටිත්. ආහාර ප්‍රත්‍ය කර ජීවත් වේ යනු අර්ථයයි. එම ආහාර සතරෙකි. කබලිකාහාරය, ඵස්‌සාහාරය, මනොසඤ්ඤෙතනාහාරය, විඤ්ඤාණාහාරය යනු ඒවායි.

"ආහරතීති ආහාරො" ගෙන එන්නේ යන අරුතින් ආහාර නම් වේ. කබලිකාහාරය ඕජාව අටවැනි වූ රූපකලාප ගෙනෙයි. ථස්‌සාහාරය වේදනා තුන ගෙනෙයි. මනොසඤ්ඤෙතනාහාරය භවත්‍රයෙහි ප්‍රතිසන්ධි ගෙනෙයි. විඤ්ඤාණාහාරය ප්‍රතිසන්ධික්‍ෂණයෙහි නාම රූප ගෙනෙයි. ඒ අනුව මිනිසා යන සත්වයාද ආහාර මත ආහාර ප්‍රත්‍යකර ජීවත් වෙයි. එසේම ආහාර මත සමාජයම පවතී.

එය එසේමය. උදාහරණය ලෙස කබලීකාහාරය ගනිමු. උපන්නා වූ සත්වයාට තම දිවිය ප්‍රිය බැවින් ඔහු ජීවත් වීමට උත්සාහ ගනියි. ජීවිතය පවත්වාගෙන යැමට ආහාර අවශ්‍ය වෙයි. ආහාර ලබාගැනීමට යම් ක්‍රමයක්‌ අවශ්‍ය වෙයි. එබැවින් උපන්නා වූ සෑම මිනිසකුම තම නැණ නුවණ මෙහෙයවා කළ හැකි වෘත්තියක නිරත වෙයි. ඒ වෘත්තිය අරඹනුයේ දිවි පැවැත්ම උදෙසා නමුදු කෙලෙසුන්ගෙන් මැඩීම හේතුවෙන් අමතර අවශ්‍යතාද පැනනගී. ඒ නිලතල බලතල ආදියයි. ඉදින් සමාජයම පවතිනුයේ ආහාර මත නොවේද?

තවද යම් පුද්ගලයකුට තමාගේ වෘත්තිය ආදායම් මාර්ගයක්‌ පමණක්‌ විය හැකිය. එනමුදු එය තවකෙකුට අත්‍යවශ්‍ය සේවයක්‌ වනු නිසැකය. එබැවින් ආහාර නිසා උපන් වෘත්තිය හෝ රැකියාව යනු සමාජ පැවැත්මෙහි ප්‍රබල සාධකයකි.

විමසා බලමු. ඔබ ගොවියකු යෑයි සිතන්න. ගොවිතැන ඔබගේ රැකියාවයි, ආදායම් මාර්ගයයි. දිවි පවත්නා ක්‍රමවේදයයි. එය එසේය. නමුදු ඔබ ගොවිතැනේදී වගා කරනු ලබන භෝග පරිභෝග කරන පුද්ගලයාට ගොවිතැන යනු අත්‍යවශ්‍ය සේවාවකි. 

ඔබ වෛද්‍යවරයකු යෑයි සිතන්න. වෛද්‍ය වෘත්තිය ඔබගේ රැකියාවයි. ආදායම් මාර්ගයයි. එය එසේය. නමුදු වෙදකම යනු ගිලනෙකුට අත්‍යවශ්‍ය සේවයකි. ඔබ දේශපාලනඥයකු යෑයි සිතන්න. පරිපාලන කටයුතු කරවීම ඔබගේ වෘත්තිය විය හැකි. නමුදු රටවැසියාට නිදහස්‌ව ජීවිත ගත කිරීමට නිසි පාලනය අත්‍යවශ්‍ය සේවයකි. ඔබ මාධ්‍යවේදියකු යෑයි සිතන්න. මාධ්‍ය හැසිරවීම ඔබගේ වෘත්තිය වූයේද තොරතුරු සන්නිවේදනය සමාජයට අත්‍යවශ්‍ය සේවයකි.

මේ සරල උදාහරණ කිහිපය පිළිබඳ ගැඹුරින් සිතන්න. මේ හෝ අන් වෘත්තියක නිරත වන පුද්ගලයකුගේ ප්‍රධාන අවශ්‍යතාව දිවි පැවැත්මම වන්නේය. අමතර අවශ්‍යතා පසුවය. මේ සෑම වෘත්තියක්‌ම සමාජය හා දැඩිලෙස බද්ධ වී පවතී. සමාජය නිසි මගට යොමුවීම කෙරෙහි ප්‍රබල සාධකව පවතී. එනම් ඔබගේ දිවි පැවැත්ම උදෙසා ඔබ කරන කටයුතු සමාජ පැවැත්මට සෘජුව හෝ වක්‍රව බලපායි. හේතුව ඔබ ද ජීවත්වනුයේ එම සමාජය තුළම බැවිනි.

මෙසේ සිතන්න ඔබ ගොවියකු ලෙස හෝ වෛද්‍යවරයකු ලෙස හෝ දේශපාලනඥයකු ලෙස හෝ මාධ්‍යවේදියකු ලෙස හෝ අන් කිසිවකු ලෙස හෝ දිවි රකිද්දී ඔබගේ වෘත්තිය තුළ ඔබ හැසිරෙන ආකාරය තුළින් සමාජයට වන බලපෑම කෙතරම්ද? ඔබගේ හැසිරීම තුළින් සමාජයට සිදුවන යහපත අයහපත පිළිබඳ මොහොතක්‌ හෝ සිතුවේද? නොමැතිනම් ඔබගේ බඩකට පිරවීම ගැන පමණක්‌ම සිතුවේද?

ඔබ ගොවියකු ලෙස අන්තරායකාරක කෘෂිරසායන භාවිත කරන්නකු නම් ඔබ සමාජය ගැන නොසිතන්නකු නොවේද? වෛද්‍යවරයකු ලෙස අසරණ රෝගීන් මියෙද්දී ඉල්ලීම් උදෙසා වැඩවර්ජන කරන්නකු නම් සමාජයට පිළිලයක්‌ නොවේද? දේශපාලනඥයකු ලෙස ජනතාව පෙළා තම සැප සම්පත් තරකර ගන්නකු නම් දේශද්‍රොaහී සමාජද්‍රොaහී පුද්ගලයකු නොවේද? මාධ්‍යවේදියකු ලෙස සත්‍ය දේ යහපත් දේ ගුණදම් පසෙක ලා අසභ්‍ය, අයහපත් අධම තොරතුරු සන්නිවේදනය හරහා මිනිසා විකෘති මනසක්‌ ඇත්තකු බවට පත්කරන්නකු නම් ඔබ ජාතියක්‌ ජන්මයක්‌ නැති වසලයකු නොවන්නේද? සිතන්න ඔබ මෙබදු පහත් ගති ඇත්තෙකු ද නොමැතිනම් සත්පුරුෂයකුද යන වග. ධර්මානුකූල දිවි පැවැත්මක්‌ ඇති ආර්ය පුද්ගලයකු බවට පත්වී ඇති දැයි සිතන්න. ඔබගේ කුසගිනි නිවීම උදෙසා ඔබ කරනු ලබන කටයුතු සමාජයම වෙනස්‌ කරනු ඇත.

ඔබ ඔබගේ කුසගිනි නිවීම උදෙසා අනෙකා ගැන නොසිතා කටයුතු කරන්නේ නම් අනෙකාද ඔහුගේ කුසගිනි නිවීම උදෙසා ඔබ ගැන නොසිතා කටයුතු කෙරේ නම්, දෙදෙනා එක්‌ව දෙදෙනාවම විනාශ කළා නොවේද? සැවොම එක්‌ව සැවොම වනසා ගත්තා නොවේද? එපමණකින් නැවතුනා නොව තම රට තම ජාතිය තම ආගම ද වැනසුවා නොවේද?

ඔබ කුසගින්න නිවීම උදෙසා කටයුතු කරන විට අනෙකා නැසුනා නම් ඔබ නැසුවේ ඔබගේම රටේ පුරවැසියෙකි. රටේ පුරවැසියකු නැසුවා යනු රට නැසුවා යන්නයි. අනෙකා පාගා දමා ඔහු තලා පෙළා තමා වැජඹෙන්නට උත්සාහ ගන්නකු කිසිදු විටෙක තම රට, තම ජාතිය, තම ආගම ගැන සිතන්නා වූ පරාර්ථකාමියකු නොවේමය. සැබෑ පරාර්ථකාමියා නම් තමා මහපොළොව නුහුලනා දුක්‌ ඉහිලුවේද අනෙකාට දුකක්‌ නොදෙන්නාය. නමුදු වර්තමානිකයෝ තම රට, තම ජාතිය, තම ආගම වනසා හෝ තමා සැපවත් වීමට වෙර දරයි. එබඳු පුද්ගලයන් සිටින සමාජය ධාර්මික වනුයේ කෙසේද?

ඉදින් සිතන්න ඔබ සමාජයේ ජීවත්වෙමින් ආත්මාර්ථකාමිත්වයෙන් යුතුව ක්‍රියාකරනු ලබන සෑම මොහොතකම ඔබගේ රට, ඔබගේ ජාතිය, ඔබගේ ආගම විනාශ කළ පුද්ගලයකු නොවේද? එසේ විනාශ කළ පසු අනාගත පරපුරට ඉතිරිවනුයේ කුමක්‌ද? සිතන්න ඔබගේ කය වැඩුණේ මේ හෙළ දීපයේ සාරයෙනි. ඔබගේ දැතට වෙර ලැබුණේ ඔබගේ නැණ නුවණ වැඩුණේ මේ හෙළ දිවයිනේ සාරයෙනි. එබැවින්ම ඔබ මේ හෙළ දිවයිනේ ණයකරුවෙකි. ඔබ ණය නොගෙවා මියෙන්නේ නම් ඔබ වසලයෙකි. තම රට, තම දැය, තම දහම වෙනුවෙන් තමා කළ යුතුකම ඉටුකරන්න. ආත්මාර්ථකාමියකු නොව පරාර්ථකාමියකු වන්න. අනෙකා ගැනද සිතන්න. එවිට ඔබ රට රැකි පුද්ගලයෙකි. ණය නැත්තෙකි. ජාතික වීරයෙකි.

රටට දැයට හිත දපා

මදකට දිවි ලොබ ලොපා

කළ මෙහෙයක්‌ නැති දෙපා

හෙළයකු දැකුමත් එපා

(මුනිදාස කුමාරණතුංග)

හෙළ මියෑසිය 78

මෙසේද සිතන්න. ආර්ය සංස්‌කෘතියෙන් ඔප්නැංවුණා වූ ආර්ය ජාතිය වූ සිංහලයාගේ රට සිංහලයයි. සිංහලයාගේ දහම බුදු දහමයි. එය තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පමණක්‌ නොව මේ මහා භද්‍ර කල්පයේ බුදු වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ ද දායාදයක්‌ ලෙස මේ ද්වීපයට ලැබුණෙකි. (සමන්ත පාසාදිකා විනය අටුවා) අප ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩසිටියදී තමන් වහන්සේගේ ශාසනය හෙළ ද්වීපයේ චිරස්‌ථායී වන බව දැක සක්‌දෙව් රජුට ලක්‌දිව රැකීමට පැවරූ බව මහාවංශයෙහි දැක්‌වේ. එසේ බුදු ඇසින් දැක බලා වදාළ කරුණ වත්මනෙහි නාම මාත්‍රික සිංහල බෞද්ධයන් ශාසනය රකින්නෙමු යෑයි බඩගෝස්‌තරවාදය පෙරටු කොට කරනු ලබන්නා වූ විගඩම් මැද සක්‌දෙව් රජු කෙසේ නම් ලක්‌දිව රකින්නද? සිංහලයිනි සිතව්, සසුන රැකිය හැක්‌කේ ප්‍රතිපත්තියෙන් විනා අනෙකකින් නොවේමය. තෙපි පංච දුෂ්චරිතයෙහි හැසිරෙමින් රකිනු ලබන්නේ කවර නම් ශාසනයක්‌ද? සම්බුද්ධ ශාසනය සුරැකීම තොපට පැවරෙනා වගකීමයි. එහිලා ගත සිත යොදව්. නැගී සිටිව්. සසුන සුරකිව්.

වැල්ලවායේ සුමනබෝධි හිමි, සිරිමංගල යෝගාශ්‍රමය,
දනව්කන්ද, කිරිකිත්ත.

බුදු දහම සහ චතුස්කෝටික චින්තනය


ලොව්තුරාඅනුබුදු මිහිදු මහා රහතන් වහන්සේ ධර්ම දූතයකු ශ්‍රී ලංකාවට වැඩම කර දේවානම් පියතිස්ස රජ තුමාව මුලින්ම හමු වූ මොහොතේ “අඹ පැනය” හා “ඥාති පැනය” විමසීමේ අරමුණු වූයේ එකල සිංහල දීපයේ වැසියන්ට “චතුස්කෝටික” ව පවත්නාවූ ලෝක ස්වභාවයක් තේරුම් ගැනීමට තරම් චින්තන හැකියාවක් තිබේද යන්න පිරික්සිමය.
මිහිදු හිමියන් අසන ලද පැනයන් දෙකම  “චතුස්කෝටික” (four state) චින්තනය මැන බලෙන ඉතා සරල නිදසුන්ය.  එහිදී මුලින් ම .අසන ලද්දේ  අඹ පැනයයි.
මිහිඳු මාහිමි – “මහරජ, මේ ගසෙහි නම කුමක්ද?”
රජු – ස්වාමිනි, මෙය අඹ ගසකි.
මිහිඳු මාහිමි – මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?
රජු – එසේය, තවත් බොහෝ අඹ ගස් ඇත.
මිහිඳු මාහිමි – මේ අඹ ගසත්, ඒ අඹ ගසත් හැර තවත් ගස් තිබේද?
රජු – බොහෝ ගස් ඇත. එහෙත් ඒවා අඹ ගස් නොවේ.
මිහිඳු මාහිමි – රජතුමනි, ඒ අඹ ගසත් අඹ නොවන ගසුත් හැර වෙනත් ගස් තිබේද?
රජු – එසේය ස්වාමිනී, ඒ මේ අඹ ගසයි.

අනතුරුව අනුබුදු මිහිඳු මාහිමියෝ, දෙවනි පෑතිස් රජතුමාගෙන් තමා පිළිබඳත් තම ඥාතීන් පිළිබඳත් පැනයන් විමසා සිටියහ.
මිහිඳු මාහිමි – රජතුමනි, ඔබට නෑයෝ සිටිත්ද?
රජු – එසේය ස්වාමිනී, බොහෝ නෑයෝ සිටිති.
මිහිඳු මාහිමි – මහරජ, ඔබට නොනෑයෝත් සිටිත්ද?
රජු – එසේය ස්වාමිනී, නොනෑයෝ සිටිති.
මිහිඳු මාහිමි – ඒ නෑයොත් නොනෑයෝත් හැර වෙන කිසිවෙක් සිටීද?
රජු – එසේය ස්වාමිනී, ඒ මම ය.
දෙවන පෑතිස් රජතුමාගේ පිළිතුරුවලින් බොහෝ පැහැදුනු මිහිඳු මාහිමියන් පෙරලා මෙසේ ප්‍රකාශ කළහ.

“මහරජ, ඔබ ඥානවන්තයෙකි”
ඊළගට අප තේරුම් ගත යුත්තේ “චතුස්කෝටික” ව යමක් තේරුම් ගත හැකි වීම බොදුනුවකුට වැදගත් ඇයි ද යන්නය. බුදු රජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට පෙර මෙන් ම අද පවා මිනිස් සිතුවිලි බොහෝ විට හැඩ ගැසී ඇත්තේ ද්විකෝටික (Two state/Boolean logic) තර්කනය මතය. මෙහි පදනම වන්නේ ‘ඇත’ සහ ‘නැත’ (වෙනත් වචන වලින් හදුන්වන ව නම් ‘ඔවු’ සහ ‘නැහැ’) යන අවස්ථා දෙකක් පමණක් යම් සන්සිද්දීයකට (තර්කයකට) ඇතයි සැලකීමය.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත් කාලය වන විට පැවති බමුණු දහම ප්‍රමුඛ අනිකුත් මිත්‍යා දෘෂ්ටින් සියල්ලද ද්විකොටිකව ජීවියාගේ පැවැත්ම පිළිබද විග්‍රහ කරන දර්ශනයන් විය. එක් පිරිසක් මරණයෙන් පසු නැවත ජිවිතයක් නැතය් පවසන විට තවත් පිරිසක් එකම සත්වයා නැවත නැවත ඉපෙදෙමින් මැරෙමින් පවතින බව පවසන ලදී.තවත් පිරිසක් තමන් බලගතු දෙවි කෙනෙකුගේ ගේ කැමැත්තට අනුව කල මැවීමක් බවත් මරණයෙන් පසු ඔහුගේ කැමැත්තට අනුව සදාකාලික ආත්මීය ස්වභාවයක් හිමිවන බවත් විශ්වාශ කළේය. අද පවා බෞද්ධ දර්ශනය හැර අනෙකුත් සියලු ආගමික මතවාදයන් සහ දර්ශනයන් මෙම ඇත හෝ නැත යන ද්විකෝටික තර්කනයේ ප්‍රතිඵලයන්ය.
භෞතික සංසිද්දී මෙන්ම අප එදිනෙද ජිවිතයේ ගනු ලබන සියලුම තීරණ පාහේ ගනු ලබන්නේ ද්විකෝටික චින්තනය භාවිතයෙනි. මිනිසාට ආශාවක් ඇතිවූ විට එය සන්තර්පණය කර ගනී. ඇතැම් විට එය ලබා ගෙන දෙවියන්ට හෝ නොපෙනෙන බලයකට ස්තුති කිරීම ද කරයි. නැතහොත් එය දෙවියන්ගේ කැමැත්ත යය් සිත හදා ගෙන ජිවත් වේ. ධනවාදයට විකල්පයක් ලෙස සමාජ වාදයත් එය එපා වූ විට නැවත ධනවාදයත් ඉල්ලන ද්විකෝටික චින්තනයට හැඩ ගැසුන මිනිසුන් ඇතැම් විට හද ඉල්ලා හඩන නොදරුවන් වැනිය.
අප එදිනෙදා ජිවිතයේ තොරතුරු සැකසීම සදහා භාවිතා කරන පරිඝනකයද මුළුමනින්ම පාහේ ද්විකෝටික තර්කනයන් සැකසීමට හැකි ලෙස නිපදව ඇති උපකරණයකි. දර්ශනය වැනි විෂය ක්ෂේත්‍රයන් වලට පරිඝනකයෙන් අවම සහයෝගයක් පමණක් ලබාගත හැක්කේ එම පරිපත නිර්මාණය කර ඇති ද්විකෝටික ස්වභාවය හේතුවෙනි.
නමුත් බුදු රජාණන් වහන්සේ අවභෝධ කරගත්තේ ජීවියාගේ පැවැත්මේ සහ සසර ගමනේ ඇති අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ස්වභාවයය්. මෙය යමෙකුට තේරුම් ගත හැක්කේ සසර ගමනෙහි ඇති චතුෂ්කෝටික සවභාවය තේරුම් ගැනීමෙන් පමණි. මෙය බුදු දහමටම පමණක් ආවේනික වූ භව පැවැත්ම පිලිබදව කරන විග්‍රහයකි. භව ගමන තේරුම් කරගත හැක්කේ චතුශ්කොටික ච්න්තනයෙනි. සත්වයකු මිය ගිය පසු එය එම ජීවයේ අවසානය නොවේ. අනිත් අතට එම ජිවියාම නැවත උපදිනවාද නොවේ. ඊලග උප්පත්තිය කරා යොමු කරන්නේ පසුගිය භවයන්හි සහ මෙම භවයෙහි ඔහු හෝ ය සිදු කරන ලද කර්මයන්හි ශක්තියකි.
නැවත උපදින්න්නේ මිය ගිය පුද්ගලයාමය. (පුනරුප්පත්ති වාදය)
නැවත උපදින්නේ හෝ උපදින සත්වයා අලුත්ම පුද්ගලයෙක් ද නොවේ. (මැවුම් වාදය)

සම්මුති මරණයෙන් පසු සත්වයකු ලෙස නැවත උපදින්නේ කලින් මිය ගිය සත්වයාම හෝ අලුත්ම සත්වයකු නොවන කර්මය නම් ශක්තිය මත තීරණය වන ජිවයකි.
ස්පර්ශයේ ඇති ‘ආශ්වාදය’ මෙන්ම ‘ආදිනවය’ ද එක වර තේරුම් ගැනීමට බෞධය සමත් වන්නේ චතුශ්කොටිකවැව එය විග්‍රහ කරගැනීමට හැකි සමර්ථතව හේතුවෙනි. ‘නිස්සරණය’ කරා යොමු වන්නේ එම අවබෝධය හේතුවෙනි. අනිත් ආගමික සහ සංස්කෘතික කණ්ඩායම් වලට සාපේක්ෂව බෞධයන් ගහ කොළ සතා
සිව්පාව ඇතුළු පරිසරයද, අනිකුත් මිනිස් ප්‍රජාවන් ආක්‍රමණය කිරීමට නොපෙලබි (නිවටයන් ලෙස අනෙකන්ගේ ආක්‍රමණයට තමන් හිස නැමුවේ යය් මෙයන් අදහස් නොකරේ.) ඔවුන් සමග සහජීවනයෙන් ජිවත් වීමට පුරුදු වුයේ මෙම ගැබුරු ජිවිතාවබෝධය ඔවුන් තුල ඇති වූ බැවිනි.

මෙය මිනිස් චින්තනයේ විප්ලවී අවබෝධයකි. මිහිදු මහා රහතන් වහන්සේ සිදුකරන ලද්දේ මෙම විප්ලවීය අවභෝධය ඇති කරගැනීමට අවශ්‍ය චතුස්කෝටික චින්තනයෙන් එදා සිටි සිංහලයන් පොහොසත් ද යන්න මැන බැලීමය.
බොහෝ අන්තවාදයන් වලට ගොදුරු වන්නේ ද්විකෝටික චින්තනයට ලඝු වූ සමාජයන්ට. ඔවුන් භෞතිකව කෙතරම් දියුණු වුවද අධ්‍යාත්මික සහ සමාජීය වසයෙන් අසහනකාරිව සහ දුක්ඛිතව ජිවත් වේ. බෞධයෝ ලව්කික සහ බෞතික ඇතැම් සංසීදි අවශ්‍ය තැන සරලව ද්විකෝටිකවත්, ජිවිතයේ යථාර්තය සහ භව පැවැත්ම වැනි ගැබුරු කරුණු චතුශ්කොටිකවත් විග්‍රහ කර ගැනීමෙන් සැහැල්ලුවෙන් සහ සතුටින් ජිවත් වන අතර දුක්ඛිත භව චක්රයෙන්ද ක්‍රමිකව එතෙර වේ.
නාලක ගමගේ දියණිය. 

November 17, 2013 at 12:01 am | lanka C news

ජ්‍යොතිෂයට පෙනෙන මතු භවය


යම් කිසිවකු මෙලොව උපදින මොහොතේ නැගෙනහිර ක්‍ෂිතිජයේ උදාව පවතින තත්කාලීන කේන්ද්‍ර සටහනින්, ඔහුගේ මෙම ආත්ම භාවයේ අනාගත ජීවිතය පිළිබඳව විස්‌තරද, පෙර ආත්ම භාවයන් පිළිබඳව ආත්මභාව තුනක පසුපස විස්‌තරද, එම පුද්ගලයා උපදින මතු ආත්ම භාව තුනක්‌ පිළිබඳව ඉදිරි විස්‌තර ද, ජ්‍යොතිෂය උපයෝගි කරගෙන කිව හැකිය.

සියල්ලෝම මනුෂ්‍යයන්ද?

මේ ආත්ම භාවයේ උපන් ස්‌ත්‍රිය හෝ පුරුෂයා මනුෂ්‍ය නාමයෙන් සිටියත් සියල්ලෝම මනුෂ්‍යයන් නොවෙති.

ඒ නිසා ඔවුන් මෙසේ වර්ග කෙරේ
මනුෂ්‍ය - දිව්‍ය
මනුෂ්‍ය - මනුෂ්‍ය
මනුෂ්‍ය - තිරිසන්
මනුෂ්‍ය - යක්‍ෂ
මනුෂ්‍ය - ප්‍රේත
මනුෂ්‍ය - තේරයික

ඒ වර්ග කිරීම මෙසේ නිශ්චය කෙරේ

1. උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපති ජන්ම කේන්ද්‍රයේ සහ නවාංශකයේ උච්ඡව ශුභ තත්ත්වයෙන් සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා අයත් වන්නේ මනුෂ්‍ය, දේව තත්ත්වයටය. ඔවුන් පිරිපුන් මිනිස්‌ ගුණයෙන් යුක්‌තය.

2. උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපතියා ජන්ම කේන්ද්‍රයේ ස්‌වක්‌ෂේත්‍රව හෝ මිත්‍ර රාශි ගතව ශුභ තත්ත්වයෙන් සිටියදී, එම තත්ත්වය ඒ තත්ත්වයෙන්ම නවාංශකයෙහිද පිහිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා ද ගුණධර්ම හොඳින් පිහිටි අයයි.

3. ලග්නාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සමවද, නවාංශකයේ සතුරුවද සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා පහත් ගුණ ධර්ම ඇති මනුෂ්‍ය තිරිසන් තත්ත්වයට පත්වේ.

4. ලග්නාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සතුරු රාශිගතව නවාංශකයේද සතුරුව සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයාද පහත් ගතිගුණ ඇති අය බවට පත්වේ.

5. ලග්නාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සතුරු රාශිගතව නවාංශකයේ නීචව සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා අයත් වන්නේ මනුෂ්‍ය ප්‍රේත තත්ත්වයටය.

6. ලග්නාධිපතියා ඡන්ම කේන්ද්‍රයේ නීචව, නවාංශකයේද නීචව සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා පහත් ගතිගුණයෙන් යුත් අවාසනාවන්ත දුක්‌ සහිත ජීවිතයක්‌ ගත කරන මනුෂ්‍ය පිසාචයකු බවට පත්වේ.

නවාංශකය

විශේෂයෙන් ඉහත සඳහන් නිගමනයන්ට එළඹෙන්නට පෙර නවාංශකයේ ලග්නාධිපතියා සිටි රාශිය නිවැරදි දැයි සොයා බැලිය යුතුය. නැතහොත් සත්‍ය විකෘති වේ.

12 වන භාවය

උත්පත්ති ඡන්ම කේන්ද්‍රයේ දොළොස්‌ වන භාවයෙන්, සත්වයා මේ ආත්මයෙන් මිදී ගොස්‌ උපදින මතු ආත්මය පිළිබඳව විස්‌තර කියෑවේ.

1. දොළොස්‌ වන භාවාධිපතියා ඡන්ම කේන්ද්‍රයේ උච්ඡව, නවාංශකයේද උච්චව, බලවත්ව සිටියහොත් එම ජන්මියා මීළඟ භවයේදී බලයෙන් යුක්‌ත දිව්‍ය රාජයකුව උපදියි.

2. දොළොස්‌ වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ ස්‌වක්‍ෂේත්‍රව සිටිමින් නවාංශකයේ උච්ඡව සිටියහොත් එම ජන්මියා මීළඟ බවයේදී මධ්‍යම පංතියේ දේවතාවකු බවට පත්වෙයි.

3. දොළොස්‌ වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ මිත්‍ර රාශිගතව සිටිමින් නවාංශකයේ උච්ච වුවහොත් එම ඡන්මියා මිනිස්‌ ලොව ඇසුරු කරන උසස්‌ දෙවියකු බවට පත්වේ. ඒ මීළඟ භවයේදීය.

4. දොළොස්‌ වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සම තත්ත්වයෙන් සිට නවාංශකයේ උච්ජ වුවහොත් එම ජන්මියා මීළඟ භවයේදී වෘක්‌ෂ දේවතාවකු බවට පත්වේ.

5. දොළොස්‌ වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ නීව රාශිගතව නවාංශකයේ උච්ජව සිටියහොත් එම ජන්මියා මීළඟ භවයේදී තලස්‌ථ හෝ භූමස්‌ථ දේවතාවකු වශයෙන් උත්පත්තිය ලබයි.

පෙර පින්

උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ දොළොස්‌ වන භාවය සුබ ග්‍රහයන්ගෙන් යුක්‌තව, ශුභ දෘෂ්ටියෙන් පොහොසත්ව තිබුණහොත් එම ඡන්මියා පෙර ජාතීන්හිදී හොඳට පින් දහම් කළ කෙනෙකි.

ඒ හේතුවෙන් මෙලොවදී ද ඔහු කුසල් රැස්‌කර ගන්නට උනන්දු වී සුගතිගාමී වෙයි.

වංශය දැක්‌වීම

එසේම උප්පත්ති ඡන්ම කේන්ද්‍රයේ 12 වන භාවාධිපතියා

1. රවි හෝ කුජ වුවහොත් ලබන ආත්මභාවය කුමන උපතක්‌ වුවද එය ක්‌ෂත්‍රීය වංශයට අයත් වේ.

2. සඳු හෝ ගුරු වුවහොත් ලබන ආත්මභාවය කුමන විධිහේ උපතක්‌ වුවද එය බ්‍රාහ්මණ වංශයට අයත් වේ.

3. බුධ වුවහොත් එම සත්ත්වයා වෛශ්‍ය වංශයට අයත් වේ.

4. ශුක්‍ර වුවහොත් එම සත්ත්වයා ක්‍ෂුද්‍ර වංශයට අයත් වේ.

එසේම උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ 12 වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සහ නවාංශකයේ සිටින තත්ත්වය අනුව ලැබෙන මීළඟ ආත්ම භාවය තිරිසන් සතෙකුගේ ආත්ම භාවයක්‌ වුවහොත් ඒ තිරිසන් සතාට ලැබෙන පාද (කකුල්වල) ප්‍රමාණයද ඉසිවරු සඳහන් කර ඇත.

ඒ අනුව

1. දොළොස්‌ වන භාවාධිපතියා ගුරු හෝ සිකුරු නම්, කකුල් දෙකේ සත්ත්වයෙකි.

2. රවි හෝ කුජ නම් ඒ සත්ත්වයාට කකුල් 04 කි.

3. සඳු නම් බහුපාද සත්ත්වයෙකි.

4. බුධ හෝ ශනි නම් අපාද (කකුල් නැති) සත්ත්වයෙකි.

අහෝසි කර්ම

1. යම් කිසිවෙකු තෙරුවන් සරණ යමින් කුසල් රැස්‌කර ගත්තේ නම්, තමා සිතා මතා නොකළ සුළු අකුසල් අහෝසි වී සැප ලැබේ.

2. එසේම බොහෝ අකුසල් හා පාප කර්ම කළ පුද්ගලයාට, තමන් කළ සාමාන්‍ය කුසල කර්ම අහෝසි වී පව් පල දෙන්නට පටන් ගනියි.

ගුරු සිකුරු

එසේම උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ දොළොස්‌ වන භාවාධිපතියා

1. ගුරු හෝ සිකුරු වුවහොත් ලබන ආත්මයේදී ලැබෙන ආත්මය කුමක්‌ වුවත් එම ආත්මය උසස්‌ තත්ත්වයෙන් පවතින බවද

2. රවි - බුධ හෝ සඳු වුවහොත් ලබන ආත්මයේදී ලැබෙන ආත්ම භාවය කුමක්‌ වුවත් එය මධ්‍යම තත්ත්වයේ එකක්‌ වන බවද

3. කුජ හෝ ශනි වුවහොත් ලබන ආත්ම භාවයේදී ලැබෙන ආත්මය හීන භාවයෙන් යුක්‌ත වන බවද, මතක තබාගත යුතුය.

එකොළොස්‌ වන භාවය

එසේම 11 වැන්න හා 11 වැන්නාධිපතියාද බලවත්ව උපත ලබා සිටින අය, යළි මෙලොවදීද කුසල් රැස්‌කර ගෙන මීළඟට හොඳ ආත්මභාවයන් ලබාගන්නට කටයුතු කර ගනිති.

විශේෂයෙන් යම්කිසිවකුගේ ජන්ම කේන්ද්‍රයේ දොළොස්‌වන භාවයත් දොළොස්‌ වැන්නාධිපතියාත් දුර්වල නම්, දැහැමිව ජීවත් වෙමින්.

1. නව අරහාදී බුදුගුණ නිතර සිහි කරන්න

2. කඨ§න පූජා, අටපිරිකර පූජා, බෝධි පූජා වලට සහභාගි වන්න.

3. හැකි අවස්‌ථාවන්හිදී බුදුරජාණන් වහන්සේට එළඟිතෙල් පහනක්‌ දල්වා, මල් සුවඳ දුම් ගිලන්පස පූජා කර පහත සඳහන් ප්‍රාර්ථනාව කරන්න.

ප්‍රාර්ථනාව

සුඛෝ බුද්ධානං උප්පාදෝ

සුඛෝ බුද්ධානං උප්පාදෝ

සුඛෝ බුද්ධානං උප්පාදෝ


බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම සැපතකි

බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම සැපතකි

බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම සැපතකි

බුදුගුණ අනන්තය

බුදුගුණ අනන්තය

බුදුගුණ අනන්තය

ඒ අනන්ත වූ බුදුගුණ බලයෙන්ද, මෙතෙක්‌ මා විසින් ජීවිතය පුරා එක්‌රැස්‌ කර ගත්තා වූ කුසලානි ශංසයන්ගේ බලයෙන්ද, සසර වසනා තෙක්‌ මා තෙරුවන් සරණ ගිය සැදැහැවත් බෞදධයකු වී හොඳ දිව්‍ය ආත්ම වල සහ හොඳ බෞද්ධ පරිසරවල උපත ලබම්වා! දුක්‌ සහිත භවයන්හි නූපදිත්වා!!!

ඉන්පසු දසදිසා පිරිත තුනවරක්‌ද, කරණීය මෙත්ත සූත්‍රය තුන්වරක්‌ ද කියා දෙවියන්ට හා මළගිය ඥතීන්ටද පිංදීමෙන් සෙත සැලසේ. එසේ කිරීමෙන් පාපී වූ දූෂිත 12 වන භාවයේ පාප බලය යටපත් කරගෙන මීළඟ භවය සුගතිගාමී කරගත හැකිය.

මතු භවය

කේන්ද්‍රයේ සහ නවාංශකයේ 12 වැන්නාධිපතියා තැන්පත්ව සිටින රාශිය අනුව මීළඟ භවය පිළිබඳව ඉඟියක්‌ ලබාගත හැකිය.

පහත වගුව බලන්න

නමුත් මෙලොවදී දැහැමිව ජීවත්වෙමින් පිං දහම් කිරීමෙන් ඕනෑම නරක තත්ත්වයක්‌ වෙනස්‌ කරගත හැකි බව මතක තබා ගන්න.

12 වැන්නාධිපතියා පිළිබඳ සටහන

12 වන භාවාධිපතියා


ජ්‍යොතිෂයවේදී වසන්ත කුරුප්පු
රම්මුතුගල, කඩවත.

නිවැරදි පිළිවෙළට සාංඝික දානයක් දෙන්නේ මෙහෙමයි

බෞද්ධයන් ලෙස අපි අපගේ පවු‍ලේ ඥාතියකු මිය ගිය විට පින් අනුමෝදන් කිරීම සඳහා සාංඝික දාන පිරිනමමු. මේ හැරුණු විට විවාහ මංගල්‍යයකට පෙර, උපන් දිනයක් අරමුණු කර ගනිමින් සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා ද සාංඝික දාන පිරිනැමීම අද දවසේ සිදුවේ. වැඩි දෙනෙකු කරන්නන් වා‍ලේ කරන නමුදු දානයක් පිරිනැමීමේ නියම අරුත සහ කුසල් සිදු වන අයුරින් දානය පිරි නමන්නේ කෙසේද යන්න ගැන වර්තමානයේ බොහෝ දෙනෙකු දන්නේ නැත.
ඒ පිළිබඳව විස්තර කිරීමට පෙර දානය සම්බන්ධයෙන් දළ විස්තරයක් දැන ගෙන හිඳීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව දක්වා ඇත්තේ විශිෂ්ටතම මනුෂ්‍ය ධර්මයක් ලෙසය.
මේ ලෝකය තුළ මනුෂ්‍යයන් අතර තිබෙන බැඳීම් හැමවිටම ඔවුන් හට ඇති කරවන්නේ දුක සහ කඳුළය. මජ්ජිම නිකායේ පියජාතික සූත්‍රයෙහි පැහැදිලිවම දක්වන අන්දමට මනුෂ්‍යයන් එකිනෙකා අතර හට ගන්නා ආදරය, බැඳීම, ලෙන්ගතුකම වඩාත් වැඩි වූ තරමට ශෝකය සහ කඳුළ ද වැඩි වෙයි. මේ බැඳීම් දුකයි බව දන්නේ නම්, එයින් මිදීමට අවශ්‍ය බව හැඟේ නම්  ඒ සඳහා  බුදු සමය තුළ දක්වා ඇත්තේ අත් හැරීම පුරුදු කිරීමයි. බුදු සමයේ  පදනම වන්නේද එයයි.
දුක දුරු කර ගත හැක්කේ අත් හැරීම මගිනි. බෝධි සත්වවරුන් බුදු වීම සඳහා පාරමී දම් පිරීමේ දී පළමුව සම්පූර්ණ කරන්නේ දාන පාරමිතාවයි. එසේ පියවරෙන් පියවරෙන් අත් හැරීම  තුළින් සියල්ලම අත් හැරීම දක්වා ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන්නට හැකිවේ.
පාරමී දම් ගැන කතා කරන විට පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යනුවෙන් වර්ග තුනකි. නමුත් අප ඒ සියල්ල මෙහිදී සාකච්ඡා කරන්නේ නැත.
දානය සම්බන්ධයෙන් බැලීමේ දී තමන්ට දිය හැකි බාහිර කවර දෙයක් වුවද දානය ලෙස දෙමින් ඒ පිළිබඳ අදහස, ඇල්ම  නැති කර ගැනීම දාන පාරමිතාව වෙයි. මෙයට ආහාර , ඇඳුම් පැළඳුම් ‍පොත් පත් ගෙවල් දොරවල් මෙකී නොකී ඕනෑම දෙයක් අයත්ය. මෙවැනි දන්දීම් බුදු දහමේ දක්වන්නේ ආමිස දානය ලෙසිනි.
මේ හැරුණු විට ධර්ම දානය සහ අභය දානය ලෙසින්ද දානයෙහි තවත් කොටස් දෙකක් වේ. සරලව විස්තර කළොත් ධර්ම දානය යනු ධර්මය කියා දීම, ධර්ම ‍පොත පත ලිවීම ඒවා පිරිනැමීම නරකට යොමුවන කෙනකුට අවවාද දී යහමගට ගැනීම වැනි දෑ දැක්විය හැකිය.
අභය දානය යනු භය දුරු කිරීමයි. මරණයට කැප වූ සතුන් , නිදහස් කිරීම වැනි පින්කම් මගින් එම සතා තුළ ඇති වූ මරණ භයෙන් නිදහස් කිරීම අභය දානය පින්කමකි.
27-2
ඒ සාමාන්‍යයෙන් අප ‍පොදුවේ කතා කරනු ලබන දානයයි. දැන් අපි සාංඝික දානය පිළිබඳව සවිස්තරව විමසා බලමු.

බුදු දහමේ දැක්වෙන අට මහා කුසලයෙන් දෙවන කුසලය වන්නේ සාංඝික දානයයි. සාංඝික යනු සංඝයා උදෙසා දෙනු ලබන දානය වේ. සංඝයා යනු අතීතයේ වැඩසිටි, වර්තමානයේ  වැඩ වෙසෙන සහ අනාගතයේ වැඩ හිඳින තුන් කාලයටම අයත් සංඝයාය. සාංඝික දානය මෙම ෙතේ‍රකාලික සංඝයා වෙනුවෙන්ම පිරිනමන්නකි.
සාංඝික දානයක් පිරිනැමීම කරන්නන් වා‍ලේ කිරීම පලක් නොවේ. ඒ සඳහා කාරණා තුනක් සම්පූර්ණ විය යුතුය.
එනම් ශ්‍රද්ධා සම්පත්තිය චිත්ත සම්පත්තිය සහ දෙස්‍ය ධර්ම සම්පත්තියයි. 
ශ්‍රද්ධා සම්පත්තිය යනු තෙරුවන් කෙරෙහි අතිශය පැහැදීමෙන් දානය පිරිනැමීමය.
චිත්ත සම්පත්තිය යනු සිත 
පහදා ගෙන දන් දීමයි. එනම් ලෝභ ද්වේෂ මෝහ, යන කරුණු දුරු කරගෙන දන් පිරිනැමීම වේ.
දෙස්‍ය ධර්ම සම්පත්තිය යනු තමන් විසින් අනුන්ගේ  දෙයක් කඩා වඩාගෙන හෝ පැහැර ගැනීමකින් තොරව දැහැමින් දහඩිය මහන්සියෙන්  උපයා ගත් දෙයකින් දන් දීමය. වෙනත් අය කරන පරිත්‍යාග ප්‍රතික්ෂේප කළ යුතු බවක් මෙමගින් අදහස් නොකෙරේ.
මේ හැරුණු විට ප්‍රතිග්‍රාහක සම්පත්තිය එනම් දානය පිළිගන්නා සංඝරත්නය පිළිබඳව සැලකීමේ දී එහි ප්‍රමාණයක් නැත. බොහෝ දෙනකු සිතන්නේ සාංඝික දානයක් පිරිනැමීම සඳහා අඩුම තරමින් උපසම්පදා ලත් සංඝයා වහන්සේලා සිව් නමක් වත් වැඩ සිටිය යුතු බවය. නමුත් එවැනි පිරිසක් අවශ්‍ය වන්නේ භික්ෂූන් වහන්සේලා ගේ විනය කර්මයකට මිස සාංඝික දානයකට නොවේ. සාංඝික දානය යනු භික්ෂූන් හා දායකයා අතර සිදුවන පුණ්‍ය කර්මයකි. ඒ  අනුව ඔබට දානය පිළිගැන්විය හැක්කේ එක් 
සංඝයා වහන්සේ නමකට නම් එයද සාංඝික දානයකි. සියක් නමකට පිරිනැමිය හැකි නම් එයත් සාංඝික දානයම වේ. භික්ෂූන් වහන්සේලා අඩු වූ  විට පින අඩුවන්නේ වත්, වැඩි වූ ප්‍රමාණයට සාපේක්ෂව පින වැඩිවන්නේ වත් නැත.
එනිසා ඔබගේ නිවසේ පහසුවෙන් අසුන් පිළියෙළ කළ හැක්කේ සංඝයා වහන්සේලා කී නමකටද යන්න මුලින් සිතන්න. ඒ අනුව සංඝයා වහන්සේ ලා වැඩම කරවා පිරිසිදු  සිතින් දානය 
පිරි නැමීම කළ යුතුය. සාංඝික දානයක් පිරි නැමීමේ දී ඔබ සිත පිරිසිදු කර ගත යුතු අවස්ථා තුනක් තිබේ.
දානයක් පිරි නැමීම කළ යුතු බවට නිවසේ සාමාජිකයන් සමග එක්ව තීරණය කළ අවස්ථාවේ සිට දානය පිරිනමන අවස්ථාව දක්වා දානය සම්බන්ධ ඔබේ සියලු ච්ෙතනා පිරිසිදු විය යුතුය. මෙය හඳුන්වන්නේ පූර්ව ච්ෙතනා පිරිසිදු වීම ලෙසිනි.
දානය පිරිනමන අවස්ථාවේ කිසිදු කලබලයකින් තොරව, සංසුන්ව , සංඝයා වහන්සේලාගේ ගෞරවය රැගෙන ආකාරයට, පිරිසිදු සිතින් සිදු කිරීම  දෙවන අවස්ථාවය. මෙය දක්වන්නේ මුඤ්චන ච්ෙතනා පිරිසිදු වීම ලෙසිනි.
දානය පිරිනැමීමෙන් පසුවද එම පින්කම සම්බන්ධයෙන් කුමන හේතුවකට වත් සිත නරක් කර ගැනීම පසුතැවීම වැනි දෑ නොකළ යුතුය. අපර ච්ෙතනා පිරිසිදු වීම ලෙස මෙය දැක්වේ.
'තුන් සිත පහදා දුන්නොත් දානය - උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය' යනුවෙන් පැරැන්නන් කීවේ මේ පිළිබඳවය.
සාංඝික දානය ඉතාමත් ආනිශංස සම්පන්න පුණ්‍ය කර්මයකි. මේ පිළිබඳව තවත් මෙලෙස පැහැදිලි කිරීමට පුළුවන.
ප්‍රජාපතී ගෝතමිය වරක් සිවුරු පිළියෙළ කර ගැනීමට සුදුසු වස්ත්‍රයක් වියාගෙන එය පූජා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාය. එහිදී ප්‍රජාපතී ගෝතමිය කියා සිටියේ මෙය බුදුරජාණන් වහන්සේ වෙතම පූජා කළ යුතු බවය. නමුත් බුදුරජාණන් වහන්සේ එය පිළිගත්තේ නැත. 'මෙය 
සංඝයාට පිරි නමන්න. එය බුදුන්ටත් අයිතියි' යනුවෙන් එහිදී උන්වහන්සේ වදාළහ. 
ඒ අනුව බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව යමක් පූජා කරනවාට වඩා එය ‍පොදුවේ සංඝයා වහන්සේ වෙනුවෙන් දෙන විට ආනිශංස වැඩි බව ඔබට පැහැදිලි වනු ඇත.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රජාපතී ගෝතමිය හට දේශනා කරන ලද දක්ඛිණ විභංග සූත්‍රයෙහි දානයක් දිය යුතු ආකාරය සහ එහි ආනිශංස ආදිය පිළිබඳව මැනවින් විස්තර දක්වා ඇත.
සාංඝික දාන පිරිනැමීම අපි විවිධ අරමුණු මුල් කරගෙන සිදු කරමු. මළගිය ඥාතීන්ට පින්දීම වැඩි වශයෙන්ම අප සාංඝික දාන පිරිනැමීමේ අරමුණ වේ. මීට අමතරව ඉහත ද සඳහන් කළාක් මෙන් ජීවිතයේ විශේෂ අවස්ථා සඳහා සෙත් පතාද සාංඝික දාන පිරිනමමු. පිරිසිදු ච්ෙතනා ඇතිව සංඝයා වහන්සේලා උදෙසා යමක් පූජා කරන විට සංසාරය පුරාම හිමි වන ආනිශංස හතරක් වේ. ඒ ආයුෂ, වර්ණ, සැපය සහ බලයයි. ආයුෂය යනු අකල් මරණයක් හිමි නොවේ. දිගු කලක් ජීවත් වීමට හැකි වීමය. වර්ණ යනු ප්‍රසාදනීය ලෙස ජීවත් වීමට හැකි වීම වේ. සැපය යන්නෙහි අදහස්  කරන්නේ නිරෝගී සැපයයි. බලය නම් ඥාන හෙවත් ප්‍රඥා බලයයි. 
අප පිරිසිදු සිතින් දන් දෙන විට මේවා ඉබේම ලැබෙයි. ඒ මිස මේවා ප්‍රාර්ථනා කරමින් දානය දීම තුළින් දානය දීම යන්නෙහි අර්ථය පටුවෙයි. 
තවදුරටත් පැහැදිලි  කළහොත්  දානය යනු අප යම් දෙයකට ඇති ආශාව අතහැර එය පිරිසිදු සිතින් පරිත්‍යාග කිරීමය. එනිසා දානයෙහි පරම කුසලය නිර්වාණය වේ. අප ප්‍රාර්ථනා කළ යුත්තේ නිවන කරා යොමු වීමටය. එනිසා දන් දී ආයුෂ, වර්ණ, සැප, බලය ප්‍රාර්ථනා කරන්නට යාමෙන් දන්දීමේ පරමාර්ථය උසස් වන්නේ නැත.
අනෙක් අතට ඔබ දන් දෙන්නේ ඉහත කී පරිදි තුන් සිත පහදවා ගෙන නම් ඔබ අමුතුවෙන් ප්‍රාර්ථනා කළත් නැතත් එකී ආනිශංස ඔබට ඉබේම වනු ඇත.


සාකච්ඡා කළේ  - ඉන්දු පෙරේරා

පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණෝ කියති
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ 
අංශාධිපති