දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සමාධිගත සිත

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම්
සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය 

මිරිස්සේ ධම්මික හිමි

මේ මිහිපිට දෙපයින් නැගී සිටින සෑම මනුෂ්‍යයෙක් ම බාහිර පාට සුදු, කළු නම් හා ඉපදුනේ අතුපැළක, මහ මැදුරක වූවත් සිතෙහි හික්මීමක් සීලයක් ඇති කර ගත්තොත් මනුෂ්‍යයන් අතර යහපත් වූ ම චරිතයක් ඇති මනුෂ්‍යයෙක් ලෙස ජීවිතය පවත්වාගත හැකියි.
මේ හික්මීම මනසෙහි ඇති වුණාම සීලයෙන් පැහැදිලි කරන කායික, වාචසික සංවරයෙන් ද යුක්ත වෙනවා. මේ සිතෙහි හික්මීම ඇතිවන විට ජීවිතය ගැන මැනවින් නිවැරැදි බව තේරුම් ගන්නට තරම් ශක්තියක් සැකසෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෙස ජීවිතයේ දියුණුවට හේතුවන සිතෙහි හික්මීම පිළිබඳව හෝ සිත හික්මවාගෙන කටයුතු කිරීම පිළිබඳව යුතුකම් නමින් සිඟාලෝවාද සූත්‍රයේ, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ, මංගල, පරාභව, වසල සූත්‍රවල දේශනා කළා සේම ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් මේ සිතේ ඇතිවන හික්මීම සමාධිය, ප්‍රඥාව හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. මේ නිසයි භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් මෙහි දී පැහැදිලි කළේ. හික්මීම පිළිබඳව සඳහන් කරන විට කායික, වාචසික, සංවරයත්, ඉන් අනතුරුව සිතේ ඇතිවන හික්මීමත් පැහැදිලි කළා. මේ සිතයි, කයයි, වචනයයි තිදොරම මනා කොට හික්මීම නිසා ඇතිවන්නේ සමාධියයි. භාවනාව මේ හික්මීමේ උපරිම අවස්ථාව සලසා දෙන ගමන් මාර්ගයයි.
‘ භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒතායති’ කුසල ධර්ම සිතේ වැඩීම තමයි භාවනාව කියල කියන්නෙ. කුසල ධර්ම සිතේ වැඩෙනවා කියල කියන්නෙ මේ සිත සංසුන් වෙනවා කියන එකයි. සිත නොසන්සුන් කරන ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් හටගන්නා පස් පව් දස අකුසල් බැහැරවීම යනුයි කුසල ධර්ම සිතේ වඩා ගැනීම යනුවෙන් අදහස් කරන්නෙ.
කුච්ජිතේ පාපකෙ අකුසලෙ ධම්මෙ
චලෙන්ති, කම්පෙන්ති, විද්වංසෙන්’
සිතේ හටගන්නා පාපී ලාමක අකුසල ධර්ම සොලවා කම්පාකොට මුළුමනින් ම බැහැර කිරීම කුසල නම් වේ.
එහෙම නම් අන්න එවැනි කුසල් මේ සිතේ සකස්වීම භාවනාව යැයි සඳහන් කළා. එනම් සිත සංවරවීමට පැමිණෙනවා. කායික වාචසික සංවර වීමට පැමිණෙනවා. මේ සංවර බව නිසා කුසලය නිසා සංවර බව ඇතිවීමෙන් ‘ආරොග්‍යට්ඨෙන කුසලං’ ඒ කුසලය නිසා සිත නීරෝගී බවට පත්වෙනවා. එනම් සිත සුපසන් වීමයි. හික්මීමයි. සංවර බවට පත්වීමයි. දැඩි ආශාවන් නිසා ද්වේෂය නිසා තරහව නිසා රාගය නිසා හෝ වේවා සිත ගිලන් වුණොත් කුමක් ද වෙන්නෙ? සිතා ගන්න බැරි දේවල් ඔය සිතෙන් සිතාවි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කියන්න බැරි දේවල් පවා ඔය වචනයෙන් පිට කරාවි. සද්පුරුෂ මනුෂ්‍යයෙකුට කරන්නට බැරි හෝ නොකළ යුතු දේවල් ඔය අත්දෙකෙන් කරන්නට පටන් ගනී. ඒ විතරක් නොවේ ගිලන් වූ සිතෙන් බලාගත් අත බලාගෙන සිටියි. සා පිපා සා කුසගින්න දැනෙන්නෙ නැහැ යැයි තමා ම දුක්විඳිනවා පමණක් නොවෙයි තම ජීවිතය නසා ගන්නටත් උත්සාහ කරාවි.
සමාධියෙන් කායික, වාචසික, මානසික සංවරය සකස්වන විට මේ සිත නීරෝගී බවට පත්වෙන විට දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය යහපත් ලෙස තමන්ටත් ප්‍රීතිමත් ලෙස දැනෙන්නට පටන් ගනී. බාහිර ලෝකයා දැඩි ආශාවන්ගෙන් වස්තු අල්ලගන්න දුවනකොට, අල්ලාගෙන ඒවා රැක ගන්න දුක්විඳින කොට, වෙහෙසෙනකොට සිතේ හික්මීමක් තිබෙන සිත නීරෝගී මනුෂ්‍යයෝ සතුටින් නිදාගන්න හැටි සතුටින් නැගිටින හැටි තුන්වේලක් නොව එක වේලක් ලැබුණු ආහාර වේල සතුටින් භුක්තිවිද කායික නීරෝගීව සිතේ සතුටින් ජීවත්වන හැටි ඔබටත් දැක ගන්නට පුළුවනි.
මේ නිසයි ධර්මයේ පැහැදිලි කරන්නෙ ස්වභාවයෙන් අපට ලැබුණු මේ කය ගිලන් වෙන්නට පුළුවනි. හැබැයි සිතේ සංවරය, හික්මීම සමාධිය උගන්වන තැන භාවනාවෙන් උගන්වන ආකාරයෙන් ඇති කර ගත්තොත් කය ගිලන් වුණත් සිත ගිලන් කර ගන්නෙ නැතුව සතුටින් ම ජීවිත් වෙන්නට පුළුවනි. ‘අනවජ්ජට්ඨෙන කුසලං’ මේ සිත නිවැරැදි කරනවා යන අදහසයි. මේ සිත නොහික්මුණාම සිත වැරැදි දේට පෙළඹෙනවා. සිත හික්මුණාම සිත නිවැරැදි වෙනවා.
සාමාන්‍ය ලෝකයා කියන මිල මුදල් කෝටියක් දෙනවා කිව්වත් තමන්ට මුදල් නැති වුණත් පැළක හිටියත් ඔය වැරැදි දේ මම කරන්නෙ නැහැ. මේ ලෝකයේ කිසිවක් සාදාකාලික, ස්ථිර නැහැ. ඔය කිසිවක් අරගෙන යන්නෙ නැහැ. තාවකාලික කෙටි කාලයකට පස් පව් කරල මොනවා ලැබුවත්, සංසාර ගමනෙ සතර අපායේ ඉපදිලා කල්ප ගණනාවක් දුක් විඳින බවයි. නෑ නෑ ඔය වැරැද්ද මම කරන්නෙ නැහැ. හොඳ නරක තේරුම් ගන්න තරම් සිතේ නිවැරැදි භාවයක් ඇති කර ගන්නට පුළුවනි. කෙලවර බලවත් වූ කුසලයක් නිසා ලැබූ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ උතුම් බව මනුෂ්‍යත්වයක් ලැබූ මනුෂ්‍යයෙකුට කිසි විටකවත් අමතක වෙන්නෙ නැහැ.
අවසානයේ දක්වනවා භාවනාවෙන් සමාධිය හොඳින් වැඩෙනකොට කයයි, වචනයයි, සිත හික්මිල ‘කෝසල්ල සම්භූතට්ඨේන කුසලං’ එනම් මේ සිත ඉතාම දක්ෂ බවට පත්වෙල පාපයෙන් වැළකී කුසල් මාර්ග අනුගමනය කරන්න තරම් ශක්තියක් ඇතිවෙනවා.
දැන් ඔබට පැහැදිලි ඇති හික්මුණු කයක්, වචන හා සිත් ඇති මනුෂ්‍යයෝමයි දියුණුවට පත්වන්නෙ කියා. ඒ හික්මුණු සිත තමාට අවශ්‍ය මාර්ගය සකසා ගන්නවා. ස්වභාවයෙන් නමුත් සිතට ගලාගෙන ආවත් වැරැදි වූ කෙලෙස්, වැරැදි වූ සිතිවිලි ඒවා බලවත් ලෙස මැඩපවත්වාගෙන මේ හික්මුණු සිත කෙලෙස්වලින් බැහැරව තමාට ඕන ආකාරයෙන් යහපතට අනුව මේ සිත හසුරුවා ගන්නවා.
ලෞකික ජීවිතයේ දියුණුව පිණිසම කටයුතු කරන්න මේ සිත දක්ෂයි. නොහික්මුණු සිතට මගක් නැහැ. අරමුණක් නැහැ. ස්වභාවයෙන් ලැබුණු ආශාවන්ට තරහවට අසුවෙලා විනාශයට යනවා. හික්මුණු සිත හොඳ නරක තේරුම් ගන්නා විට ධෛර්යයෙන් තමාගේ අරමුණට යනවා. මනාසේ ඉගෙනගත්, උගත් චරිතවල ලක්ෂණ හොයල බලන්න. ලෝකයේ දියුණුවට පත් ජීවිත ගැන සොයා බලන්න. ඔවුන්ගෙ කතාව ඔවුන්ට වැටහෙන ආකාරයෙන් පැවසුවහොත් මේ ආකාරයි. ‘මට එක අරමුණක් තිබුණ පුංචි තැනකින් පටන්ගෙන ලොකු තැනකට එන්න ඕනෙ කියල. ඒ නිසා සමහර විට නොකානොබී සිටියා. කිසිම හේතුවක් නිසා මගේ සිත කලබල වුණේ නැහැ. ප්‍රශංසා ඉදිරියේ වගේ ම අනුන්ගේ ඇනුම්, බැනුම් ඉදිරියේ මම කම්පා වුණේ නැහැ. මගේ සිතේ හික්මීම නිසා කලබල නොවී අෂ්ඨ ලෝක ධර්මයෙන් කම්පා නොවී මම අරමුණට ආවා. මට ඕන වුණේ යහපත් වූ මනුෂ්‍යයෙක් වෙලා යම් වූ ද සේවාවක්, යහපතක් කරන්නයි. හික්මුණු සිතක් ලෞකික ජීවිතයේ වගේ ම ලෝකෝත්තර වශයෙනුත් මහත් වූ දියුණුවකට පත්කරන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා ලෝකෝත්තර දියුණුවකට ගමන් කළ සමාධියට නම් මෙන්න මේ ඔස්සේ දර්ම මාර්ගයේ ගමන් කරන්නත් චතුරංග වීර්යයෙන් ඇට මස් නහර වියලී සිදී ගියත් මගේ අරමුණ වෙත මම ගමන් කරනවා කියන තැනට පැමිණීමට හික්මුණු බවක් ශාන්ත බවක්, සංවර බවක් අවශ්‍යමයි.
ඔබට සඳහන් කළොත් මේ හික්මීම කියන්නෙ ජීවිතය අකර්මන්‍ය වීමක් නෙමෙයි. දුර්වල මනුෂ්‍යයෙකුගෙ ස්වභාවයක් ද නොවෙයි. යහපත් වූ දක්ෂ වූ මනුෂ්‍යයකුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන හොඳ නරක තේරුම් ගන්නා වූ මනුෂ්‍යයෙකුගේ ස්වභාවයයි. හික්මුණු මනුෂ්‍යයෝ ලෝකය සුපසන් කරනවා නිවන් මඟ ඒ කෙළවර අරමුණ දක්වා ම ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ නිසා භාවනාවේ ඉදිරියට යන කොට පරිකර්ම, උපචාර, අර්පණ වශයෙන් කාමාධි අකුසල ධර්ම යටපත් කරගෙන ඒ කුසලයට ම බැස ගෙන කුසලයම විමසා බලමින් කායික හා මානසික ප්‍රීතිය සුඛය මනා කොට විදිමින් ඔවුන් ඔවුන්ගේ ජීවිතය සුපසන් කරගන්නෙ ධ්‍යාන අවස්ථාවක් යැයි සඳහන් කළේ මේ අවස්ථාවයි. ඒ නිසා ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් දියුණුවට මේ හික්මීම අවශ්‍යයයි.
ලෞකික වශයෙන් කල්පනා කරමින් වර්තමාන පරිසරයෙහි හික්මීම සංවරය අපි හැම කෙනෙකුට ම අවශ්‍යයයි. මුලින් ම සඳහන් කළා වගේ බුදු දහමින් බලාපොරොත්තු විය යුතු උතුම්ම ප්‍රයෝජනය ලැබිය හැක්කේ එවැනි හික්මීමක් ඇති වූ විටයි.
භික්ෂූන් වහන්සේ නමක් වූවත් සතර ඉරියව්වේදී ම පැවිදිවීමට හිතාගත්, අරගත්, අරමුණ, පැවිදි වූ අරමුණ අමතක නොකොට හැසිරීම, කතාබහ, ඉරියව් ඇවතුම් පැවතුම් සියල්ල ම මනා වූ හික්මීමකින් යුතුව කටයුතු කළ යුතුමයි. ශාසනික ඇවතුම් පැවතුම්වලට ගැලපිය යුතුමයි. වර්තමාන පරිසරය මොන හේතු දැක්වූවත් එහෙත් තමා පැවිද්දෙක් නොවේ දැයි යන අරමුණ දස ධර්ම සූත්‍රයේ දී පැහැදිලි කළ ආකාරයෙන් ‘ අඤ්ඤො මේ ආකප්පෝ කරණීයෝ හෝති’ ගෘහස්ථ අයට වඩා පැවිදි වූ ජීවිතයක ආකල්ප, සිතුම් පැතුම්, ඇවතුම් සංවරබවෙන්, විනයෙන්, හික්මීමෙන් යුතුව සිදුවිය යුතු යැයි ගිහි අයට වඩා වෙනස් වීමක් සිදුවිය යුතුයැයි දැන ඒ පැවිදි ජීවිත ගත කළ යුතුමයි.
ගෘහස්ථ ජීවිතවලත් හැම මොහොතක් පාසාම අපේ ජීවිතවලින් ආයුෂ, ජීවත්වීමේ කාලය අඩුවේගෙන යන බව දැන ලෙඩදුක්වලට උරුම වූ මරණය සොයාගෙන යන මේ ජීවිතයේ හැබෑවට ම සංතෘෂ්ටිය, සැනසිල්ල, හික්මීම, සමාධිය අවශ්‍යයයි.

සිතේ ඇතිවන ක්‍රෝධය නිවා ගන්නට නම්

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බෝහෝ දෙනෙකුගේ හිතට තරහ ඇතිවුණාම ඒ තරහ හිත තුළ පිහිටුවා ගන්නවා. සාමාන්‍යයෙන් තරහක් ඇතිවුණාට පස්සේ ඒ තරහ හිතේ පිහිටන්නේ නැත්නම් දියේ ඇඳපු ඉරක් වගේ සැණින් අතුරුදහන් වෙලා යනවා නම් ඔහුට හිත දියුණු කරන්න පුළුවන්. හිතට තරහක් ඇතිවුණාට පස්සේ ඒ තරහා දවස් දෙක තුනක් යද්දී අමතක වෙලා යනවා නම් ඒ කියන්නේ වැල්ලේ ඇඳපු ඉරක් වගේ නම් ඒ කෙනාටත් උත්සහායක්, වීරියක් ගත්තොත් හිත දියුණු කරන්න පුළුවන්. සමහරු ඉන්නවා තරහා ඇතිවුණාට පස්සේ ඒ තරහ හරියට ගලේ කොටපු ඉරක් වගේ. ඒක නැති කරගන්නේ නැතුව පවත්වනවා නම්, ඒ කෙනා හිත දියුණු කිරීම පිණිස බලවත් මහන්සියකින්, උත්සාහයකින් වීර්ය කළ යුතු වෙනවා.
මනුස්සයින්ගේ සිත්වල උපදින ක්‍රෝධය නිසා ඇතිවෙන විපත් ගැන විස්තරාත්මක කරු සමුදායක් කෝධන සූත්‍රයේ ඇතුළත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා තරහ සිතක් ඇතිරගෙන ක්‍රෝධ කරනවානම් ඒ ක්‍රෝධ කිරීම මුල් කරගෙන පීඩාකාරී කරුණු හතක් ක්‍රෝධ කරන පුද්ගලයා කරාම පැමිණෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ක්‍රෝධ කරන යම් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා තමන්ගේ තරහකාරයෝ දෙස බලලා හිතනවා
1. මොවුන් විරූපි වෙන්න ඕන
2. මොවුන් දුකසේමයි නිදන්න ඕන
3. මොවුන් ටදැන උගත්කමක් ඇතිවෙන්න එපා
4. මේ තැනැත්තාට හරියන්න නම් එපා
5. මොවුන්ට කීර්ති ප්‍රශංසාවක් නම් ලැබෙන්න එපා
6. මොවුන්ට කාත් කවුරුවත් නැතිව තනිවෙන්න ඕන
7. මේ තරහාකාරයින් මරණයෙන් මතු අපායේමයි උපදින්ට ඕන සුගතියක් නම් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

එනිසා ඔබ සිතන්න සිතේ ඇතිවූ වෛරය නැති කරන්න බොහෝම හොඳයි අපාය භය සිහිකිරීම. හිතේ ක්‍රෝධයක් වෛරයක් ඇතිවුණාට පස්සේ කල්පනා කරන්න ඕන ක්‍රෝධ කිරීම මුල්කරගෙන මම කොතරම් නම් නිරයේ ඉපදිලා ඇද්ද? ක්‍රෝධ කිරීම මුල්කරගෙන මම කොතරම් නම් තිරිසන් ලෝකයේ, පේ‍්‍රත ලෝකයේ, ඉන්න ඇද්ද? කියලා. මේ ආකාරයට අපාය භය ගැන නුවණින් කල්පනා කරද්දී ක්‍රෝධයේ ආදීනව දකින්න පුළුවන්කම ලැබෙනවා. ක්‍රෝධ කිරීම නිසා බුද්ධ ශාසනයයේ, මනුස්ස ජීවිතය එකතු වූ මේ දුර්ලභ මොහොතේ ධර්මය අවබෝධ කරගැනීමේ අවස්ථාව මගෙන් දුරස්වෙලා යනවා නේද? කියමින් නිතර සිහි කරන්න ඕන. එවිට ක්‍රෝධයෙන් නිදහස් වෙන්න පුළුවන් හැකියාවක් ක්‍රෝධයට එරෙහිව ශක්තියක් තමන්ගේ ජීවිතය තුළ ගොඩ නැඟෙනවා.
ඒ වගේම මේ සිතේ හටගන්න ක්‍රෝධය ඉවත් කරගන්න තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ නිහතමානි වීම. මාන්නයෙන් තොරව, නිතහමානීව කටයුතු කරනවානම් ඔහු කවදාවත් අනුන් එක්ක ක්‍රෝධ කර කර වෛර කර කර කල් ගෙවන්නේ නැහැ. ඔහු ඉක්මනට එය අමතක කර දානවා. “මම මොකටද මේ කවුරුවත් ගැන වෛර බැඳ ගන්නේ?, කියා. අප නිතරම නූපන් වෛරය නූපදවා ගැනීමටත්, උපන් වෛරය තවදුරටත් වර්ධනය නො කිරීමටත් නිහතමානි වීම තුළින් කළහැකි වෙනවා. ඊළඟට තරහ නැති කරන්න තවත් ක්‍රමයක් තමයි මරණසති භාවනාව වැඩිම. කෙනෙක් කල්පනා කරනවානම් “මම මේ අනුන් එක්ක වෛර බැඳගෙන ඉඳලා වෛර සිතින් මැරුණොත් ඕනෑම වෙලාවක අපායේ උපදින්න පුළුවන් නේද? ඒ නිසා අනුන් කෙරෙහි වෛර සිතක් පැවැත්වීම මට අලාභයක්මයි. මම මේ තරහ සිත නැති කරගන්නවා. අපට වඩා බලසම්පන්න අය, ධනවත් අය අපට වඩා කීර්තිමත් අය මරණයට පත්වුණා. මමත් ඕනෑම වෙලාවක මරණයේ ගොදුරක් වෙන්න පුළුවන්. තරහ සිතක් පවත්වමින් මම මැරුණොත් ඒක මට අනතුරක්මයි. එනිසා මම මේ තරහ සිත නැති කරගෙන මෛත්‍රි සිතක් ඇතිකර ගන්නවා”. කියා මරණය ගැන සිහි කරලා ක්‍රෝධය දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා.
ඊළඟට තරහව ක්‍රෝධය දුරු කරගන්න තවත් ක්‍රමයක් තමා අනිත්‍ය සිහිකිරීම මේ සියලු දේවල්ම අනිත්‍යයි. මේ හැමදෙයක්ම නැසී වැනසී යන දේවල් අනිත්‍ය දේවල් මුල් කරගෙන නේද මම මේ එකිනෙකා කෙරෙහි වෛරය ඇතිකරගෙන ඉන්නේ. අනිත්‍ය ලෝකයේ මමත් අනිත්‍ය වූ සංස්කාර ගොඩක් විතරයි. බාහිර ලෝකයේ ජීවත්වෙන අනිත් අයත් මම වගේම අනිත්‍ය වූ සංස්කාර ගොඩක් පමණයි. ඒ නිසා මම අනිත් අය කෙරෙහි තිබෙන ක්‍රෝධය තරහව දුරු කර ගන්නවා” කියා අනිත්‍ය අනුව බලමින් තමන්ගේ හිතේ ඇතිවෙන ක්‍රෝධය තරහව දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා.
මෙහෙමත් තරහ දුරුකර ගන්න බැරිනම් ඔබ හිතන්න බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා මේ ලෝකයට පහළ වුණා. ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා තමන්ගේ හිතේ හටගත්ත ක්‍රෝධය දිහා බලලා නින්දා කළා. ගර්හා කළා. ක්‍රෝධය නමැති අකුසලය ප්‍රහාණය කළා. ඒ නිසා තරහව ක්‍රෝධය දුරුකර ගැනීමය යි උතුම්. ක්‍රෝධය දුරු කිරීම ආර්යයන් වහන්සේලා අගය කළ යහපත් ගුණ ධර්මයක්. එබඳු ධර්මයක් අනුගමනය කරන මට තරහ සිතක් පැවැත්වීම ගැළපෙන දෙයක් නොවේ. ඒ නිසා මම තරහව ක්‍රෝධය බැහැර කළ යුතුයි කියා ක්‍රෝධය දුරු කිරීමට උත්සහා කරනවා.
එහෙමත් අපහසුනම් මේ ආකාරයෙන් කල්පනා කළයුතු වෙනවා. මේ තරහවට ක්‍රෝධයට ඉඩදීම නිසා මේ ලෝකයේ මිනිස්සු සියලු ගුණධර්මවලින් පිරිහිලා පහත් මිනිසුන්ගේ ගණයට වැටුණා. මේ ක්‍රෝධය මුල්කරගෙන බොහෝ දෙනා ධන සම්පත්වලින් පිරිහිලා ගියා. ක්‍රෝධයට ඉඩ දුන්නට පස්සේ කිසිම කෙනෙකුට සැප නින්දක් ලබන්න බැහැ. ක්‍රෝධය මුල් කරගෙනම මේ මිනිස්සු අවලස්සන වෙලා ඉන්නවා. යම් කීර්තියක් අත්පත් කරගෙන තිබුණා නම් ක්‍රෝධයෙන් කටයුතු කිරීම නිසා මිනිසුන් තුළ ඔවුන් ගැන අපකීර්තියක් පැතිරී යනවා. බෝග සම්පත්වලින් පිරිහෙනවා. ක්‍රෝධ සිතින් වෛර බැඳගෙන මරණයට පත්වූ බොහෝ අය දුක් සහිත නිරයේ ඉපදුණා. ඒ නිසා මම නම් මේ ක්‍රෝධයට, තරහවට ඉඩ දෙන්නේ නැහැ. මගේ ජීවිතය තුළ මම තරහාව ක්‍රෝධය පවත්වන්නේ නැහැ සම්පූර්ණයෙන්ම බැහැර කරනවා කියා සිතන්න.
ඊළඟට ඔබ ජීවිතය තුළ දියුණුවක් කරා යන්න කැමැතිනම් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් ඇතිවුණාට පස්සේ අමනාපකම් ඇතිවෙන දේවල් සිදුවුණාට පස්සේ ඒවා හිතේ තබාගෙන පැසව පැසව ඉන්නේ නැතුව ඒ සැණින් අමතක කර දාන්න දක්ෂ වෙන්න ඕනේ. තරහ ඇතිවෙන දේවල් හිත්වල තිබාගෙන දිගින් දිගටම ගෙනආවොත් සතර අපායේ වැටි වැටී උපනුපන් ආත්මවල පවා තරහකාරයන්ගෙන් පළිගනිමින් දිගින් දිගටම මේ ක්‍රෝධය මුල්කරගෙන සංසාර ගමන සකස් වෙනවා. අපේ තරහකාරයෝ නැවත නැවතත් අපට සංසාරේදී මුණ ගැහෙනවා. එහින් මිදෙන්න නම් කරන්න තිබෙන්නේ තරහකාරයන් යන්නේ නැති පාරක ගමන් කරන එකයි. ඒ පාර වෙන එකක් නොවේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා මේ නිවන් මාර්ගයයි. මේ නිවන් මාර්ගයේ එහෙමත් නැත්නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන කෙනා තුළ මෛත්‍රිය, කරුණාව ආදි ගුණධර්ම දියුණු වෙනවා. නිහතමානිකම ගොඩ නැඟෙනවා. මේ ගුණධර්ම දියුණු වෙන්න දියුණු වෙන්න ඔහු කවදාවත් ක්‍රෝධයට යටවෙන්නේ නැහැ. ඔහු ක්‍රෝධය ප්‍රහාණය කරලා සංසාරයෙන් මිදෙන කෙනෙක් බවට පත්වෙනවා.
නයනා නිල්මිණි

අධි පුර පසළොස්‌වක පොහොයක්‌ උදාවේ වන්නේ මෙහෙමයි


වර්තමානයේ භාවිත වන ග්‍රෙගරියානු දින දර්ශනය ආරම්භ වී ඇත්තේ 16 වෙනි ශත වර්ෂයේ දී පමණ ය. එය ලෝකය පිළිගත් සම්මතයකි. එකී සම්මත දින දර්ශනයට අනුව වසරකට පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ උදාවේ. ඇතැම් වසරවල දී පුර පසළොස්‌වක පොහොය දහතුනක්‌ උදාවේ. එසේ පුර පසළොස්‌වක පොහොය දහතුනක්‌ උදාවූ වසරවල දී ඉන් එක්‌ පොහොයක්‌, අධි පුර පසළොස්‌වක පොහොය ලෙස හඳුන්වයි. අධි යන වචනයෙන් වැඩි යන අර්ථය ගෙනදෙයි. එසේ වැඩිවන පොහොය අධි පුර පසළොස්‌වක පොහොය ලෙස නම් කරයි. මෙම වසරේ (2015) අද දිනට (ජූලි 01 බදාදා) යෙදී ඇත්තේ අධි ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනයයි. 

සාමාන්‍යයෙන් වසරකට උදාවන පුර පසළොස්‌වක පොහොය දොළහ දුරුතු, නවම්, මැදින්, බක්‌, වෙසක්‌, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් ආදී ලෙසින් වෙයි. බුද්ධ චරිතය මෙන්ම සම්බුද්ධ ශාසනයේ වූ ඓතිහාසික සුවිශේෂී සිදුවීම් මෙම පුර පසළොස්‌වක පොහොය දිනයන් හා සම්බන්ධව පවතී. උදාහරණයක්‌ ලෙස ඇසළ පුර පසළොස්‌වක පොහොය දින බෝසතාණන්වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසි`ද ගැනීම, සතර පෙරනිමිති දැක අභිනිෂ්ක්‍රමණය සිදුකිරීම, රාහුල කුමරුගේ උපත සිදුවීම, බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීමෙන් පසු බරණැස ඉසිපතනාරාමයේ දී පස්‌වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම ආදී සිදුවීම්, සිදු වූ බව ශාසන ඉතිහාසයේ දැක්‌වේ. ඉහත දැක්‌වූ පුර පසළොස්‌වක පොහොය දිනයන්ට අමතරව ඇතැම් වසරවල දී අධි පුර පසළොස්‌වක පොහොය දිනයක්‌ ද උදාවෙයි. නමුත් අධි පුර පසළොස්‌වක පොහොය කිසිදු ඓතිහාසික ශාසනික සිදුවීමකට සම්බන්ධ නොවේ. මේ ආකාරයට වසර කීපයකට වරක්‌ අධි පුර පසළොස්‌වක පොහොයක්‌ උදාවන්නේ ඇයි ද යන්න විමසා බලමු. 

පසළොස්‌වක, අව අටවක, අමාවක, පුර අටවක ආදී පොහොය දිනයන් චන්ද්‍රයාගේ ගමන නිසා ඇති වේ. චන්ද්‍රයා, පෘථිවියේ උපග්‍රහයෙකි. අනිකුත් ග්‍රහලෝකවලට මෙන් චන්ද්‍රයාට ද ස්‌වයං ආලෝකයක්‌ නැත. චන්ද්‍රයා, සූර්යාලෝකය පරාවර්තනය කරමින් බැබළෙයි. චන්ද්‍රයාට තම අක්‍ෂය වටා එක්‌වරක්‌ භ්‍රමණය වීමටත්, පෘථිවිය වටා එක්‌වරක්‌ පරිභ්‍රමණය වීමටත් ආසන්න වශයෙන් දින 29 ක්‌ ගත වෙයි. මේ හේතුව නිසා සෑමවිට ම චන්ද්‍රයාගේ එකම පැත්තක්‌ පෘථිවිය දෙසට මුහුණ ලා සිටියි. 

පුරාතන සමාජය චන්ද්‍රයාගේ ගමන, කාලය මැනීම සඳහා යොදා ගෙන ඇත. පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවීම වසරක්‌ ලෙස පැරැන්නෝ හැඳින්වූහ. චන්ද්‍රයා, සූර්යයාගෙන් ඈත්වෙමින් ගමන් කරද්දී ක්‍රමයෙන් පූර්ණත්වයට පත්වන අයුරු අපට පෙනෙයි. මෙසේ අංශක 180 ක්‌ ගමන් කිරීම පුර පක්‍ෂය ලෙස හඳුන්වයි. එතැන් සිට චන්ද්‍රයා නැවත සූර්යයා දෙසට ගමන් කිරීම අරඹයි. එය අවපක්‍ෂය නම් වෙයි. අව පක්‍ෂයේ දී අපට පෙනෙන චන්ද්‍රයාගේ පූර්ණ බව ක්‍රමයෙන් අඩුවී නොපෙනී යයි.

චන්ද්‍රයාගේa මේ ගමන අනුව පෘථිවියේ සිටින අපට එය, දර්ශනය වන ක්‍රමය (පෙනෙන හැඩය) වෙනස්‌ වේ. අපට චන්ද්‍රයාගේ පෙනෙන හැඩය වෙනස්‌වීමට හේතුව වන්නේ, පෘථිවියටත් සූර්යාලෝක කිරණයන්ටත් සාපේක්‍ෂව චන්ද්‍රයාගේ පිහිටීම වෙනස්‌ වීම ය. අපට චන්ද්‍රයාව පෙනෙන්නේ වක්‍ර ආකාරයටයි. මෙම වක්‍ර හෙවත් ''වක'' වෙනස්‌වීම පෑලවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක, දසවක, එකොළොස්‌වක, දොළොස්‌වක, තෙළෙස්‌වක, තුදුස්‌වක, පසළොස්‌වක හෝ අමාවක ආදී වශයෙන් හැ`දින්වේ. චන්ද්‍රයාගේ ගමන අනුව සෑදෙන මෙම ''වකයන්'' තිථි හැටියට හඳුන්වයි. ඒවා චන්ද්‍ර ගමන අනුව සෑදෙන තිථි වෙයි. 

චන්ද්‍රයා අපට නොපෙනෙන දිනය අමාවක පොහොය දිනය වෙයි. අමාවක පොහොය දින සිට චන්ද්‍රයා ක්‍රමයෙන් පූර්ණත්වයට පත් වන අයුරු අපට දිස්‌වෙයි. මෙසේ චන්ද්‍රයා අඩක්‌ පූර්ණ වූ දිනය පුර අටවක පොහොය දිනය ලෙස සැලකෙයි. චන්ද්‍රයා පූර්ණව පෙනෙන දිනය පුර පසළොස්‌වක පොහොය දිනයයි. පුර පසළොස්‌වක පොහොය දින සිට චන්ද්‍රයාගේ පූර්ණ බව ක්‍රමයෙන් අඩුවන අයුරු අපට දිස්‌වෙයි. මේ ආකාරයට චන්ද්‍රයාගේ පූර්ණත්වය අඩකින් අඩු වී දිස්‌වෙන දිනය, අව අටවක පොහොය දිනය වෙයි. පූර්ණ බව අඩුවී චන්ද්‍රයා අපට නොපෙනෙන දිනයක්‌ උදා වෙයි. එදින අමාවක පොහොය දිනය වෙයි. මේ චන්ද්‍රයා ගමන් කරන එක්‌ වටයකි. අමාවක පොහොය දිනට පසු දින (පෑලවිය) සිට පසළොස්‌වක පොහොය දිනටත් (පුර පක්‍ෂයත්), පසළොස්‌වක පොහොය දින සිට අමාවක පොහොය දිනටත් (අව පක්‍ෂයත්) වන්නා වූ මේ කාලයේ කොටස්‌ දෙක එක්‌ කොට මාසයක්‌ ලෙසින් ව්‍යවහාර කෙරිණි. එයට චන්ද්‍ර මාසය යෑයි කියයි. එනම්, චන්ද්‍රයාට තම අක්‍ෂය වටා එක්‌වරක්‌ භ්‍රමණය වීමටත්, පෘථිවිය වටා එක්‌වරක්‌ පරිභ්‍රමණය වීමටත් ගත වන කාලය යි. එකී කාලය දින 29 කි. මේ අනුව පොහොය දිනයක්‌ (අමාවක හෝ පුර අටවක හෝ පුර පසළොස්‌වක හෝ අව අටවක හෝ) උදාවන්නේ දින 29 කට පසුවය. මේ ආකාරයට පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවීම (චන්ද්‍ර මාස දොළහක්‌) වසරක්‌ ලෙස සැලකිණි. ඒ අනුව පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවීමට දින 354 ක්‌ යයි.

සූර්යයාගේ ගමන අනුව වර්ෂයක්‌ පූර්ණ වීම යනු, සූර්යයා මේෂ රාශියේ සිට රාශි 12ක්‌ හෙවත් අංශක 360ක්‌ ගමන් කර නැවතත් මේෂ රාශියේ අංශක බිංදුවට සංක්‍රමණය වීමයි.

නමුත් අද ලෝක සම්මතය ලෙසින් පිළිගන්නා දින දර්ශනයේ පැවැත්ම ස`දහා චන්ද්‍රයා, සූර්යයා ආදී ස්‌වභාවික වස්‌තූන්ගේ චලනයන් සැලකිල්ලට ගෙන නැත. මේ අනුව අප භාවිත කරන දින දර්ශනය ''හිතළුවක්‌'' පමණි. එම දින දර්ශනයට ඇත්තේ දින 365 කි. දින 365 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්‌තු, සැප්තැම්බර්, ඔක්‌තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස 12 අතරේ බෙදී යයි.

අප භාවිත කරන දින දර්ශනයට පාදකවන්නෙය, පෘථිවියට සූර්යයා වටා එක්‌වරක්‌ ගමන් කිරීමට (පරිභ්‍රමණයවීමට) ගත වන කාලය යි. සත්‍ය වශයෙන්ම පරිභ්‍රමණයට ගත වන කාලය දින 365 කි. විචල්‍යයන් බොහොමයක්‌ පදනම් කරගෙන නිවැරදි දින දර්ශනයක්‌ නිර්මාණය කිරීම ඉතාම අසීරු කටයුත්තකි. එනිසා අප භාවිත කරන දින දර්ශනයට දින 365 ක්‌ යොදාගෙන ඇත. වාර්ෂිකව ඇතිවන අඩුව එනම් දින (පැය 6) මග හැරීමට වසර හතරකට වරක්‌ එක්‌ දිනයක්‌ (පැය 6<<4 = පැය 24 = දින 1) වසරකට එකතු කරනු ලබයි. එවිට එම වසරට දින 366 ක්‌ වන අතර එය අධික වසරක්‌ ලෙස හඳුන්වයි. ඒ අනුව සෑම වසර හතරකට වරක්‌, අධික වසරක්‌ උදාවීම (සම්මතයට අනුව) සිදුවේ. මෙකී සම්මත දින දර්ශනයේ මාස සටහන් වන්නේ ද විවිධ අයුරිනි. ඇතැම් මාසවලට දින 30 කි. තවත් මාස කීපයකට දින 31 කි. දින 28 කින් යුක්‌ත මාසයක්‌ ද වන අතර එය පෙබරවාරි මාසයයි. (අධික වසරක දී වැඩි වන දිනය එකතු වන්නේ පෙබරවාරි මාසයටයි. ඒ අනුව එහි දින 29 ක්‌ වෙයි.) මෙකී දින දර්ශනය සමස්‌ත ලෝකය ම පිළිගත් එකකි. එකී සම්මතයට පිටුපා ක්‍රියා කිරීමට අපට නොහැකිය.

පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවන (චන්ද්‍ර මාස දොළහ) වසරකට දින 354 ක්‌ වුවත්, සම්මත දින දර්ශනයට දින 365 ක්‌ / 366 ක්‌ වේ. ඒ අනුව දින 11 ක / 12 ක වැඩිවීමක්‌ පෙන්නුම් කරයි. දින 29 කට වරක්‌ යෙදෙන පොහොය දිනය, දින 28, 29, 30, 31 මාසවලින් සටහන් කිරීමට යාමේ දී ඇතිවන දින අතිරික්‌තය වසර කිහිපයක දී අධි පුර පසළොස්‌වක පොහොයක්‌ ලෙසට ගෙන දක්‌වනු ලැබේ.

වෙනත් විදියකින් කියන්නේ නම්, ස්‌වභාව ධර්මයත්, මිනිසාගේ නිර්මාණයක්‌ වන දින දර්ශනයත් අතර වන ''නොගැලපීම'' අධි පුර පසළොස්‌වක පොහොයක්‌ ලෙසින් මතුව ඒමයි. ස්‌වභාව ධර්මයේ ක්‍රියාවලිය රිද්මයකට, රීතියකට අනුව සිදු වෙයි. චන්ද්‍රයාගේ පුර පක්‍ෂයත්, අව පක්‍ෂයත් අප දකින්නේ එකී ස්‌වභාව ධර්මයේ රිද්මයට අනුවය. එකී ධර්මතාව කාටවත් වළකාලිය නොහැකිය. පූර්ණ චන්ද්‍රයා අහසේ දුටු විට, එදින පුර පසළොස්‌වක පොහොය දිනයක්‌ නොවේ යෑයි කිව හැකිද?

සාමාන්‍යයෙන් වසර 3 කට වරක්‌ අධි පුර පසළොස්‌වක පොහොයක්‌ ලබයි. එය ස්‌වභාව ධර්මයට අනුව අධි පුර පසළොස්‌වක පොහොයක්‌ නොවේ. අප භාවිත කරන දින දර්ශනයට අනුව අධි පුර පසළොස්‌වක පොහොයකි. සම්මුති වශයෙන් ද ලොව ධර්මතා පවතින බව අමතක නොකළ යුතුය. 
ආර්. ඒ. නයනානන්ද

අතිදීර්ඝ සසරේ ආරම්භයක් නොපෙනෙන තරම්. . .

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
පින්වත් මහණෙනි, මේ ඉපදෙමින්, මැරෙමින් යන සංසාර ගමන වනාහී අති දීර්ඝ ගමනකි. ආරම්භක කෙළවරක් නො පෙනෙන තරම් දීර්ඝ ගමනකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්ත්වයින්ගේ සසර ගමන අවසන් නොවන දෙයකි. පින්වත් මහණෙනි, මේ සසර ගමනේ දී ඔබ බොහෝ දරුණු දුක් අනුභව කළා. තියුණු දුක් අනුභව කළා. කටුක දුක් අනුභව කළා. නොයෙක් ව්‍යසනයන්ට පත් වුණා. මේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේ ඔබ කළේ මහපොළොව නම් අමූ සොහොන් පිටිය පුරවපු එකයි.
“ශාස්තෘ” කියන වචනයේ අර්ථය නම් මාර්ගය පෙන්වා දෙන උත්තමයා කියන එකයි. අතරමං වූ විටෙකයි තමාට මාර්ගය පෙන්වා දෙන කෙනෙකු අවශ්‍ය වන්නේ. ඉමක් නො පෙනෙන දුක්ඛිත ගමනක අවිද්‍යා අඳුරේ අතරමං වෙලයි මේ සියලු සත්ත්වයෝම සිටින්නේ. ඒ බිහිසුණු සසර ගමනින් අත්විඳීමේ සදාකාලික සැනසිලි මාර්ගය අවබෝධ කළේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි. අවිද්‍යා අඳුරෙන් මිඳී අමා නිවනට යන සුන්දර මාර්ගය බුද්ධිමත් දෙවියන්ටත්, මිනිසුන්ටත් වැටහෙන පරිදි පෙන්වා දී වදාළේත් ඒ බුදුරජාණන් වහන්සේ විසින්ම යි. එනිසයි ඒ උතුම් සම්බුදුරජාණෝ දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ ලෙස ගෞරවයෙන් හඳුන්වනු ලබන්නේ.
ප්‍රඥාවන්ත දෙවිවරුන් , මනුෂ්‍යයින් ඒ සම්බුදු ගුණ කඳ මැනැවින් හඳුනා ගන්නට වාසනාවන්ත වුණා. ඔවුන් සත්‍යය ලෙස පැහැදුණු සිතින් දරා ගන්නේ ඒ සම්බුදු රජුන්ගේ විශ්මිත අවබෝධය පමණයි. වර්තමානයේ වුණත් ශ්‍රාවකයෙකු තුළ ආකාරවතී ශ්‍රද්ධාව ඇති වන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය පමණක් අදහාගෙන ජීවිතය ගතකළහොත් පමණයි. ඒක නුවණැත්තෙකු හට අසීරු කරුණක් නොවෙයි. එලෙස තම ජීවිතයේ එකම පිළිසරණ බවට බුදුරජුන් සරණ කරගත් ශ්‍රාවකයා අභීත ලෙස සම්බුදු ගුණයම ඉස්මතු කරමින් කථා කරනවා. ඔවුන් හට තම ශාස්තෘන් වහන්සේ ගැන තිබෙන්නේ විශාරද වූ පැහැදීමක්.
ඒ බුද්ධිමත් ශ්‍රාවකයාගේ චිත්ත අභ්‍යන්තරයේ තිබෙන ශ්‍රද්ධාව ඔහුගේ වදන් වලින් පවා තේරුම් ගන්නට පුළුවනි. සංයුක්ත නිකායේ සගාථ වර්ගයේ ‘ඒකමුල’ සූත්‍රයේදී ඒ සැදැහැවත් දෙවියා තම ශාස්තෘන් වහන්සේ ආමන්ත්‍රණය කරන අයුරු බලන්න.
කවදාවත් පිරෙන්නේ නැති මහ සයුරක් තිබෙනවා. ඒ සයුර පටන් ගන්නේ අවිද්‍යාවෙන්. ඇත, නැත කියන අන්ත දෙකෙන් හැදුණ ලොකු ගෙවල් දෙකක් තිබෙනවා. රාග, ද්වේෂ, මෝහයෙන් හැදුණ කුණු ගොඩවල් තුනක් තිබෙනවා. පංචකාම ගුණයෙන් හැදුණ ගල්ගෙඩි පහක් තිබෙනවා. ආධ්‍යාත්මික බාහිර කියන ආයතනවලින් හැදුණ වලවල් දොළහක් තිබෙනවා. පාතාලය වගේ ගැඹුරුයි. මහ ඉසිවර බුදුසමිඳුන් අන්න ඒ මහ සමුදුර තරණය කළා.
තමන් සරණගිය ශාස්තෘන් වහන්සේගේ අවබෝධය ගැන මෙබඳු පැහැදිලි ශ්‍රද්ධාවක් උපදවා ගන්නට ලැබුණොත් ඔහු වාසනාවන්තයෙක්. මොකද මේ ලෝකයේ සාමාන්‍ය සත්ත්වයාට පෙනෙනවාට වඩා ජීවිතය කියන්නේ හාත්පසින්ම වෙනස් එකක්. හැබැයි සාමාන්‍ය ඇසකින් දකින්නට බැරි ජීවිතයේ ඇත්ත ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්මිත ප්‍රඥා ඇසින් දැක වදාළා. ඒ ජීවිතයේ සත්‍ය ස්වභාවය දුටු නිසයි මහා කරුණාවෙන් උන්වහන්සේ ජීවිතාවබෝධය පිණිස ධර්මය දේශනා කළේ.
සම්බුද්ධත්වයට පත් වූ ඒ රාත්‍රියේ බෝධි මූලයේදී අපගේ බුදුරජාණන් වහන්සේට උපදවා ගත හැකි වුණා විද්‍යාවන් තුනක්. ඒවාට තමා ත්‍රිවිද්‍යාව කියා කියන්නේ. ඉන් පළමු විද්‍යාව තමා ‘පුබ්බේනිවාසානුස්සති ඤාණය’. මේ සත්ත්වයන් තමන්ගේ අතීත ජීවිතය ගතකළ අයුරු සිහිකිරීමේ නුවණ උන්වහන්සේ ලබා ගත්තා. ගමකින් තවත් ගමකට යන මනුස්සයෙක් තමන් පළමු යාමේදී දිවි ගෙවූ ආකාරය සිහිකරනවා වගේ ඉතාමත්ම පහසුවෙන් අපගේ බුදුරජාණන් වහන්සේ මේ සත්ත්වයන්ගේ අතීත ජීවිත සිහිකිරීමේ හැකියාව ලැබුවා. ඒ ඤාණයෙන් ලොව බලද්දී බිහිසුණු සසර ගමනක මේ ලෝ සතුන් උරුම කරගත් ඛේදවාචකය උන්වහන්සේ දැක වදාළා. පසුකලෙක ඒ සසර ගමන ගැන අප ශාස්තෘන් වහන්සේ පහදා දුන්නේ මේ අයුරිනුයි.
පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන වනාහී අති දීර්ඝ ගමනකි. ආරම්භක කෙළවරක නො පෙනෙන තරම් දීර්ඝ ගමනකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්ත්වයින්ගේ සසර ගමන අවසන් නොවන දෙයකි. පින්වත් මහණෙනි, මේ සසර ගමනේ දී ඔබ බොහෝ දරුණු දුක් අනුභව කළා. තියුණු දුක් අනුභව කළා. කටුක දුක් අනුභව කළා. නොයෙක් ව්‍යසනයන්ට පත් වුණා. මේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේ ඔබ කළේ මහපොළොව නම් අමූ සොහොන් පිටිය පුුරවපු එකයි.
මීට අමතරව තමන් වහන්සේ උපදවා ගත් ‘චුතූපපාත ඤාණය’ හෙවත් සත්ත්වයන් කර්මානුරූපව උපදින අයුරුත් චුතවන අයුරුත් දකිනා නුවණින් ජීවිතය ගැන විශ්මිත හෙළිදරව්වක් බුදුරජාණන් වහන්සේ උපදවා ගනු ලැබුවා. සසර ගමන නැවැත්වීමට බාධකය වූ අවිද්‍යාව ප්‍රමුඛ කරගත් සියලු අකුසල් මේ චිත්ත අභ්‍යන්තරයෙන් ඉවත් කළ හැකි බවත් තෙවැනි විද්‍යාව ලෙස ‘ආසවක්ඛය ඤාණය’ ලබා ගනිමින් උන්වහන්සේ අවබෝධ කොට වදාළා.
බුදුරජාණන් වහන්සේගේ ඒ විශ්මිත ප්‍රඥාවට හසුවුණේ සසර ගමනේ සැබෑ ස්වභාවයත්, ජීවිතයේ යථාර්ථයත් පමණක් නොවේ. බුද්ධිමතුන් හට තම නුවණ මෙහෙයවා ප්‍රත්‍යක්ෂ කරගත හැකි සදාකාලික සැනසීමකුත් අප ශාස්තෘන් වහන්සේගේ ප්‍රඥා මහිමයෙන් අවබෝධ කොට වදාළා. එමපණක් ද නොවේ. ඒ සැනසීම වූ අමා මහ නිවන ගැනත්, ඒ නිවනට යන මාර්ගය ගැනත් වටහාගත හැකි අයුරින් පැහැදිලි කර දීමට අපගේ ශාස්තෘන් වහන්සේ තුළ වූයේ විශ්මිත හැකියාවක්.
අද අප මාතෘකා කොට කරගෙත් උතුම් සූත්‍ර දේශනාවේ දී සුන්දර නිවනේ ස්වභාවය ගැන පහදා දෙන්නට බුදුරජාණන් වහන්සේ තුළ වූ හැකියාව ඉතා මැනවින් ඉස්මතු වී පෙනෙනවා. කෙනෙක් විමසන ප්‍රශ්නයකට පැහැදිලි ඉලක්කයටම පිළිතුරු ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ තුළ කොයිතරම් පුදුමාකාර දක්ෂතාවයක්ද තිබුණේ කියා. මේ සිදුවීම වුණේ ජේතවනාරමායේ දීම යි. අපගේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි ඒ දෙවියා එකත් පසෙක සිටිමින් මේ ගාථාවකින් ප්‍රශ්නයක් විමසුවා.
මේ වේගයෙන් ගලාගෙන යන සංසාරය නවතින්නේ කොතැන ද? ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින්නේ කො තැනද? නාමයත් රූපයත් ඉතිරිනැතිව නිරුද්ධ වන්නේ කොතැන ද?
ඒ ප්‍රශ්නයට සියල්ල දන්නා වූ සියල්ල දකින්නා වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් දේශනා කොට වදාළේ මේ ගාථාවයි.
යම් තැනක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් පිහිටන්නේ නැත්නම් අන්න එතැන තමයි වේගයෙන් ගලා යන සංසාරය නවතින තැන. අන්න එතැන තමයි ඇවිද ඇවිද යන සසර ගමන නවතින තැන. එතැන තමා නාමයත් රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වන්නේ.
මේ පිළිතුරෙන් වදාළ සතර මහා ධාතු නො පිහිටන තැන කුමක් ද? මෙබඳු තැනක් තිබේ ද? අප එය භාග්‍යවතුන් වහන්සේ වදාළ නිබ්බාණ සූත්‍ර කරුණ ඇසුරෙන් පැහැදිලි කර ගනිමු.
පින්වත් මහණෙනි, අමා මහා නිවන නම් වූ දෙයක් තිබෙන්නේම ය. යම් තැනක පඨවි ධාතුව නැත්ද? ආපෝ ධාතුව නැත්ද? වායෝ ධාතුව, තේජෝ ධාතුව නැත්ද ආකිඤ්නාඤ්ඤායතනය නැත්ද? නේවසඤ්ඤායතනය නැත්ද, මේ ලෝකය නැත්ද? පරලොවක් නැත්ද? හිරු සඳු නැත්ද? පින්වත් මහණෙනි, ඒ අමා මහා නිවන තුළ සත්ත්වයාගේ පැමිණීමක් නැත්තේය. පිට වී යාමත් නැත්තේ ය. සිටීමක් නැත්තේය. චුතියක් නැත්තේය. උපතක් නැත්තේය. එය නො පිහිටා තිබෙන තැනකි. නො පවතින තැනකි. අරමුණු රහිත තැනකි. එය වනාහි දුකෙන් නිදහස් වූ තැන වේ.
ඒ අමා මහ නිවන අවබෝධ කළ ඒ නිවනට යන මාවත පෙන්වා දුන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
නයනා නිල්මිණි

ගබ්සාව පාපයක්‌ද?


කොළඹ විෙද්‍යාදය පිරිවෙණෙහි ආචාර්ය,
මුලනේ ගුණානන්ද හිමි

ලොව පුරා විවිධ ආගමික නිකායන්හි තියුණු විවේචනයන්ට මෙන්ම ප්‍රශංසාවන්ටද ලක්‌වූ කාලීන සමාජ ගැටලුවක්‌ ලෙස ගබ්සාව නොහොත් කළල ඡේදනය හැඳින්විය හැකිය. මෙම සමාජ ගැටලුව දෙස ලෝකයේ බිලියනයක පමණ ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා වූ බෙනඩික්‌ පාප්තුමන් ද විවේචනාත්මකව බැලීමෙන් පෙනෙනුයේ එය කෙතරම් දුරට සමාජගතවූ ප්‍රශ්නයක්‌ද යන්නයි. අද වන විට ලෝකයේ දැවෙන ප්‍රශ්න අතරට ගබ්සාවද එකතුවී අවසන්ය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වාර්තාවන්ට අනුව වාර්ෂිකව ලොව පුරා සජීවී දරු උපත් මිලියන 135 ක්‌ සිදු වේ. එම මිලියන 135 න් මිලියන 42 ක්‌ ම ගබ්සා කෙරෙන බව අනාවරණය වී ඇත. ගබ්සා කෙරෙන කළල මිලියන 42 න් ළදරු කළල මිලියන 22 ක්‌, ආරක්‌ෂිත වාතාවරණයක්‌ තුළද මිලියන 20 ක්‌ අනාරක්‌ෂිත තත්ත්වයන් තුළද සිදුවන බවට සංඛ්‍යා ලේඛන සාක්‌ෂි දරයි. එසේම ලොවපුරා සෑම විනාඩියකටම කාන්තාවන් 40 දෙනකු අනාරක්‌ෂිතව ගබ්සාවන් සිදු කරගන්නා බවද වාර්තා වේ.

මේ සංඛ්‍යා ලේඛනවල සත්‍ය අසත්‍ය බව කෙසේ වුවද මෙයින් සනාථ වන එක්‌ සත්‍යයක්‌ ඇත. ගතවන සෑම මොහොතෙහිම ලොව පුරා ළදරු කළල විනාශ කර දමන කාන්තාවන්ගේ වැඩිවීමක්‌ මිස අඩුවක්‌ නොවන බවයි. ලෝකයේ ඇතැම් රටවල් (ඉන්දුනීසියාව, ඉතියෝපියාව, ටෝගෝ) ගබ්සා නීතිරීති ලිහිල් කිරීමෙන්ම පෙනී යන්නේ ඔවුන් මෙම සාපරාධී පිළිලය පෝෂණය කිරීමට කොපමණ දායක වනවාද යන්නයි. ඇතැම් ආගමික නිකායන් මෙන්ම මූලධර්මවාදී කණ්‌ඩායම් ගබ්සාවට විරුද්ධ වන විට බටහිර රටවල් මුනිවත රකිමින් එය පෝෂණය කරන්නට නීති අණපනත් ගෙන ඒමෙන් පෙනී යන්නේද එය සමාජ සම්මතයක්‌ කරන්නට දරනා උත්සාහයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙම බරපතළ සමාජ ගැටලුව ගැන කතාකරනු ලබයි. එම සංවිධානය ද ආරක්‌ෂිත ගබ්සාවන් අනුමත කරමින් අනාරක්‌ෂිත ගබ්සා ක්‍රමවල ඇති භයානකකම පෙන්වා දෙයි. ඔවුන් අනාරක්‌ෂිත ගබ්සාවන් නිර්වචනය කරනුයේ අනවශ්‍ය ලෙස පිළිසිඳගත් ළදරු කළලයක්‌ නියමිත වෛද්‍ය ස්‌වභාවයන් නොපවතින පරිසරයක්‌ තුළ ගබ්සා කිරීම පිළිබඳ නිශ්චිත දැනුමක්‌ නොමැති පුද්ගලයන් විසින් විනාශ කරලීමේ ක්‍රියාදාමයක්‌ ලෙසය. මේ සියලු නීති අණපනත් සංවිධාන නිකායන් තුළින් ඉස්‌මතු කරන්නට උත්සාහ ගන්නේ මතවාදීව කරුණු දෙකක්‌ බව පෙනේ. එකක්‌ එය සමාජට විරෝධී නොවූ හුදෙක්‌ අවශ්‍යතාව මත ඊට පිළියමක්‌ ලෙස කරනු ලබන ක්‍රියාවලියක්‌ ලෙසය. යුක්‌තිය, අයුක්‌තිය ගැන හෝ පින-පව ගැන විමසීමක්‌ එහි නැත. අනෙක්‌ කරුණ වන්නේ මෙය සමාජ සම්මතයක්‌ අභිබවා යන පුද්ගලයා හා බැඳුණු ආධ්‍යාත්මික ජීවිතයට දොස්‌ පැවරෙන පින-පව මත ගමන් කරනා ක්‍රියාවලියක්‌ ලෙස හැඳින්වීමය. මෙකී සියලු මතවාදයන් පරයායමින් ජීව විද්‍යාත්මක න්‍යායයන්ටද තවමත් ගෝචර නොවූ කළලය හා බැඳුණු ඉතා සියුම් ඥන විභාගයක්‌ද බුදුසමය සතුය. මේ උත්සාහ ගනුයේ බුදුසමයට අනුගත වූ එකී ඥන විභාගය තුළින් මේ සමාජ ගැටලුව ලෙස බැලීමටය.

ලොව්තුරා දහමට අනුව ගබ්සාව නොහොත් කළල ඡේදනය ප්‍රාණඝාත අකුසල කර්මයකි. ඒ ගැන කිසිදු විවාදයක්‌ නැත. උපසපන් භික්‌ෂුවකට නම් එය මහණකම පවා අහෝසි වන බරපතළ පරාජිකා ආපත්තියකි. මවුකුස ළදරු කළලයක්‌ හටගන්නා මොහොතෙහි සිට එහි වර්ධනීය අවස්‌ථාවන් පිළිබඳ ඉතා සියුම් වූ විශ්ලේෂණයක්‌ බුදුරජාණන්වහන්සේ ඉන්ද්‍රකූට පර්වතයේදී ඉන්දක නම් යක්‌ෂයාට දේශනා කළ බව සංයුක්‌ත නිකායේ යක්‌ඛ සංයුත්තයේදී පෙන්වාදී ඇත. අට්‌ඨකතා මතයට අනුව ඉන්දක යනු පුද්ගලවාදියෙකි. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් විමසනුයේ රූපය ජීවය නොවේ යෑයි කියන බුදුවරුන්ගේ දේශනා නියමයට අනුව මේ සත්වයාගේ ඇට හා මස්‌ පිඬු කොහි සිට පැමිණියේද යන්නයි. බුදුන්වහන්සේ එයට පිළිතුරු දෙන්නේ මවුකුසක කළලයක්‌ හටගැනීමේ අවස්‌ථා පහක්‌ ඉතා සියුම්ව විශ්ලේෂණයට ලක්‌ කරමිනි. එහි පළමු වැන්න කළල නාමයෙන් ව්‍යවහාර වේ. පළමුව ප්‍රතිසන්ධි විඤ්ඤාණයත් සමග කළලය හටගනී.එය සිදුවන්නේ මවුපිය දෙදෙනාගේ සංවාසයෙන් හටගත් සරු බීජ මුල්කොටගෙනය. අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන් එයවිස්‌තර කරන්නේ 'ඝණ්‌ඨිත තෙල බින්දුප්පමාණං කළලං හොති' වශයෙනි. එහි සරල අදහස වන්නේ තෙල් බින්දුවක පම ප්‍රමාණයක්‌ ඇතිකළලයක්‌ පළමුව මවුකුසක හටගන්නා බවයි. කළල අවස්‌ථාවෙන් දින හතකට පසුව අබ්බුද නාමයෙන් හඳුන්වන මස්‌ දොaවනය කළ ජලයෙහි පැහැය මෙන්වූ ස්‌වරූපයකට ඒ හටගත් කළලය පත් වේ.

එවිට අබ්බුද අවස්‌ථාව මතුවී කළල අවස්‌ථාව අතුරුදන් වේ. අබ්බුද අවස්‌ථාවද දින හතක්‌ ඉක්‌මවීමෙන් පේසී නාමයෙන් හඳුන්වන අවස්‌ථාවට පත්වේ. එය උණුකරන ලද ඊයම් ගුලියක ස්‌වරූපය ගත් අවස්‌ථාවකි. එම පේසී අවස්‌ථාවද දින හතක්‌ ඉක්‌මවීමෙන් කුකුළකුගේ හැඩය ගත් මස්‌පිඬක්‌ නිර්මාණය වේ. එය අටුවාව විස්‌තර කරන්නේ පේසී අවස්‌ථාව අතුරුදන් වන ස්‌වභාවයක්‌ ලෙසය. එය ඝන නාමයෙන් හැඳින්වේ. ඉන්පසුව ඝන නම් වූ මස්‌වැදැල්ලෙහි පිළික පහක්‌ හටගනී. ඉන්පසු කෙස්‌, ලොම්, නියපොතු ආදී අනෙක්‌ ශරීර අවයව හටගනී. මෙලෙස සති හතළිස්‌ දෙකක කාලයක්‌ මවුකුසක වැඩෙන කළලයක්‌ මනුෂ්‍ය ප්‍රාණියකු ලෙස උපත ලබන බව ඉන්දක සූත්‍රයට අනුව පැහැදිලි වේ. මේ කළලයක සටහන මෙලෙස සඳහන් කළේ අප ඒ පිළිබඳව විවිධ මතවාදයන්හි එල්බගෙන සිටින නිසාය. ඇතැමෙක්‌ කළලයක්‌ ලෙස හටගත් මස්‌ වැදැල්ලෙහි ජීවය පවතින කාල පරාසය පිළිබඳ තර්ක කරති.

බුදු සමයෙහි කළලයක පිහිටන ගන්ධබ්බ නම් අවස්‌ථාවක්‌ ගැන සඳහන්වනනිසා මෙම ප්‍රශ්නය වඩාත් තීව්‍ර වේ. ඇතැමෙක්‌ මෙම ගන්ධබ්බ අවස්‌ථාව කවර අවස්‌ථාවක පැමිණෙන්නේද යන්න පිළිබඳ තර්ක කරති. තවත් සමහරෙක්‌ ගන්ධබ්බයාගේ පැමිණීම නිශ්චිතව කිව නොහැකි නිසා කළලය විනාශ කිරීම ප්‍රාණඝාත අකුසල කර්මයක්‌ වන්නේ කෙසේදැයිතර්ක නගති. මේ සියල්ල කළල ඡේදනය සාධරණීකරණය කරන්නට ගොතන පුහු තර්කයන් පමණි. බුදු සමය ඉතා පැහැදිලිවම කළලයක මුල් අවස්‌ථාවේදීම ගන්ධබ්බයකුගේ පැමිණීම සනාථ කරනු ලබයි. එය නිරෝගී මවුපිය දෙදෙනකුගේ සංවාසයෙන් හටගත් සරු බීජයන් තුළට ඇතුළු වන ජීවන කළලයකට අත්‍යවශ්‍ය වූ සාධකයක්‌ ලෙස බුදුදහම පෙන්වා දෙයි. එනිසා ගන්ධබ්බයකුගේ පැමිණීමෙන් නිර්මාණයවූ නිරෝගී කළලයක්‌ විනාශ කිරීම ප්‍රාණඝාත අකුසලයක්‌මය. බුදුදහම ප්‍රාණඝාතයක්‌ සිදු වීමට සම්පූර්ණ කළ යුතු අවස්‌ථා පහක්‌ පෙන්වා දේ.එහි පළමුවැන්න ජීවියකු වීමය. දෙවැන්න ජීවියකු බව දැනගැනීමය. තුන්වැන්න මරන්න ඕනෑය කියන සිතුවිල්ලයි.

හතරවැන්න ජීවියා මරනු සඳහා පහරදීම් ආදී උපක්‍රම කිරීමයි. පස්‌වැන්න එම උපක්‍රමවලින් ජීවියාගේ ප්‍රාණය නිරුද්ධ වීමයි. මෙම කරුණු පහ සම්පූර්ණ වීමෙන් ප්‍රාණඝාත අකුසලය සිදු වේ.

නූතන ගබ්සාව නොහොත් කළල ඡේදනය මෙම කරුණු පහම මුල්වී සිදුකරන ඉතා සාපරාධී ම්ලේච්ඡ ඝාතනයකි. නීති අණපනත්වලින් සහනයක්‌ ලැබුණද ආධ්‍යාත්මික සහනයක්‌ කිසිදා ලැබිය නොහැකි බරපතළ අකුසල කර්මයකි. එය කිසිදු ශිෂ්ට සමාජයක්‌ අනුමත නොකරන්නකි. මෙය විනය පිටකයට අනුව නම් භික්‌ෂුන්ට මහණකම පවා අහිමි කරවන බරපතළ පාප කර්මයකි. බුද්ධ කාලයේදී ගබ්සාවන්ට අනුබල දී මහණඛම අහිමි කරගත් චරිත කතා දහමේ සුලබව දක්‌නට ලැබේ. ථෙරගාථා අටුවාවෙහි සඳහන්වන අංගුලිමාල කතා පුවතේ සිය පුතණුවන්ගේ උපතින් භග්ගව පුරෝහිතයා ගබ්සාවකට සූදානම් වූ විට කොසොල් රජු එය වැළැක්‌වූයේ මනුෂ්‍ය ඝාතන එකල අනුමත නොකළ නිසාය. එදා අංගුලිමාල කළල ඡේදනයට ලක්‌වූයේ නම් රහත් චරියත් නූපදින්නට ඉඩ තිබිණි.

මෙම පුරාණ කතා අපට කියාපාන්නේ උපන් කළලය අංගවිකල වුවද වෙනත් විරූපීතාවයන්ගෙන් යුක්‌තවුවද එය විනාශ කිරීමට කිසිවකුට අයිතියක්‌ නොමැති බවය. එය ඒකාන්ත ප්‍රාණඝාත අකුසල කර්මයක්‌ වන හෙයිනි. බුදුදහම නිරතුරුව තමන් කළ කී දැ අනුව විපාක විඳීමට සිදු වන බව අපට සිහිගන්වන දහමකි. එහි අපව මෙහෙයවන අපට ඉහළින් සිටින දේවත්වයක්‌ හෝ අදෘශ්‍යමාන බලයක්‌ ගැන නූගන්වයි.

අප සසරෙහි ජීවයක්‌ බිහිවන්ට තිබෙන අවස්‌ථා නැතිකර ඇත්ද? ඊට අනුරූප විපාක සසරේ කවදා හෝ විඳින්නට සිදු වන බව පෙන්වා දේ. කාලි යක්‌ෂණියගේ කතාව ඊට හොඳම නිදසුනයි. සසරේ කාන්තාවන් දෙදෙනකු එකිනෙකා පරායායමින් ජීවීන් විනාශ කර ගනිමින් ආත්ම ගණනාවක්‌ දුක්‌විඳි අයුරු එහි විස්‌තර වේ. මඡ්ධිම නිකායේ එන බෝධිරාජ සූත්‍රයද කළලඡේදනය කිරීමේ අනිටු විපාක අපට සිහිගන්වන තවත් කතා පුවතකි. මඡ්ජිධිම නිකාය අටුවාව විස්‌තර කරන්නේ බෝධිරාජ කුමාරයාටත් ඔහුගේ අගබිසවටත් දරු සම්පත්තිය අහිමි වූයේ පෙර සසරේ කුරුලු බිත්තර කෑමෙහි පාපය නිසා බවයි.

මෙයින් පෙනී යන්නේ ජීවියකුට ජීවත්වීමේ වරම උදුරාගන්නා වූ සත්ත්වයන්ට සසරේ එවැනිම වූ දුක්‌ විපාකයන්ට ගොදුරු වීමට සිදු වන බවයි.

එනිසා නුවණැති මිනිසුනි, ඔබ ඔබේ ජීවත්වීමේ අයිතියට ගරු කරන්නා සේම ඔබ නිසා බිහිවූ ජීවයේ ජීවත්වීමේ අයිතිය උදුරා නොගන්න. එය ඔබට සාංසාරික සැප පිණිස හේතු වනවා පමණක්‌ නොව ඔබේ හෘදසාක්‌ෂිය ඔබට කිසිදා චෝදනා නොකරනු ඇත.

වන්දනාව දේසනාව සහ පිළිපැදීම

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි


කිච්ඡෝ මනුස්‌සපටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

'මනුෂ්‍ය ජීවිතය ලැබීම දුර්ලභයි. මනුෂ්‍යයන්ගේ ජීවිත පවත්වා ගැනීමද දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ උපතද දුර්ලභයි.' ධම්මපදයේ සඳහන් ඒරකපත්‍ර නා රජුන් නිමිතිකොට දෙසූ මෙම දහම් පෙළ නිතොර මෙනෙහි කරමු. ඒ දුර්ලභවූ උතුම් වූ මනුෂ්‍ය ජීවිතය අපි ලබා සිටිමු. අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන මුණ ගැසී තිබේ. බඹසර විසීමට එනම් කුසල් මඟ සපිරීමට නොහැකි අවස්‌ථා අටෙන්ම අපි අත්මිදී සිටින්නේ නොවේදැයි සිතා බලන්න. එම අවස්‌ථා අට මෙසේය. 1. බුදුරජාණන් වහන්සේ මිනිස්‌ ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා නිරයෙහි උපත ලබා තිබීම 2. බුදුරජාණන් වහන්සේ මිනිස්‌ ලොව ඉපදී දහම් දෙසුවද පුද්ගලයා තිරිසන් බවෙහි උපත ලබා තිබීම 3. බුදුරජාණන් වහන්සේ මිනිස්‌ ලොව ඉපදී දමහම් දෙසුවද පුද්ගලයා ප්‍රේත විෂයෙහි උපත ලබා තිබීම 4. බුදුරජාණන් ව හන්සේ මිනිස්‌ ලොව ඉපදී ද හම් දෙසුවද පුද්ගලයා දීර්ඝායු ඇති දේවනිකායක උපත ලබා දතිබීම 5. පුද්ගලයා සිව්වනක්‌ පිරිස නැති ප්‍රත්‍යන්ත ජනපදයක උපත ලබා තිබීම 6. පුද්ගලයා මධ්‍යම ජනපදයෙහි දස වස්‌තුක මිත්‍යා දෘෂ්ටිකයෙක්‌ව උපත ලබා තිබීම 7. මධ්‍යම ජනපදයෙහි මෝඩ දුශ්ප්‍රඥයෙක්‌ව උපත ලබා තිබීම 8. පුද්ගලයා අබුද්ධෝත්පාද කාලයක උපත ලැබීම යනුවෙනි.

අප විසින් ලබාගත් මෙම දුර්ලභ වූ අවස්‌ථාවෙන් උතුම් ඵලයක්‌ ලබාගත යුතුය. වර්තමානයෙහි තෙරුවන් සරණ ගිය බහුතර පිරිසක්‌ ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් පූජාවන් සිදුකිරීමයි. එය වරදක්‌ නොවේ. වරද පවතින්නේ, ආමිසයෙන් ඔබ්බට එනම් පිළිවෙත් මාර්ගයට අවබෝධයකින් යුතු බැස නොගැනීමයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා පෙළක්‌ විමසා බලමු.

'න හි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තා මම පූජං කරොන්තී නාම ධම්මානුධම්මං පටිපඡ්ජන්තා ඒව පන මං පූජෙන්තී නාම' - 'මල් සුවඳ ආදියෙන් මට පුද පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත්. (ධම්මපදට්‌ඨ කතා - ධම්මාරාම වත්ථු).

'කුලලූපමං වො භික්‌ඛවෙ ධම්මං දේසිස්‌සාමි, නිත්ථරණත්ථාය නො ගහණත්ථාය' (මහණෙනි, මම ධර්මය ඔරුවකට උපමා කොට ඔබට දේශනා කරන්නෙමි. ධර්මය එතෙරවීම පිණිස මිස කරගහගෙන යැම පිණිස නොවේ. (මජ්ධිම නිකාය - අලගද්දූපම සූත්‍රය). 'යෝ වෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතො පඤ්ඤත්තෝ, සො වො මමච්චියේන සත්ථා' - 'ආනන්දය, නුඹලාට යම් ධර්මයක්‌ හා විනයක්‌ දේශනා කරන ලදද, පනවන ලදද, එය මගේ ඇවෑමෙන් ඔබේ ශාස්‌තෘවරයායි.'. (පටිසම්භිදා මග්ග අට්‌ඨකතා). ආරම්භයේදී, එනම් ධර්ම මාර්ගයට යොමුවීමේදී මල් පහන් පුදා ශ්‍රද්ධාව දියුණු කර ගැනීම අවශ්‍යය. එම ආමිසය නම් වූ මල් පහන් පූජාවම පිළිවෙත් මාර්ගයට යොමුකරගත හැකියි. නිදසුනක්‌ මෙසේය. අප රටේ බහුතරයක්‌ මල් පූජා කරන ගාථා රත්නයම නිදසුනක්‌ කර ගනිමු. 'පූඡේමි බුද්ධං කුසුමේනනේන' ආදී වශයෙනි. සරල අදහස නම් මේ මල් පරව යන්නා සේ කයද අනිත්‍ය ස්‌වභාවයට හෙවත් විනාශ වන්නේය යනුවෙනි. මෙය විදර්ශනාවක්‌ කොට පිළිවෙත් මාර්ගයට යොමුකොට ගත හැකිය.

අපි එහි අදහස විවරණය කර ගනිමු. මලක්‌ සුවදැති නම් හෝ ප්‍රසන්න නම්, ඒ මල පිපෙන්නේ කොතැනදැයි ගැටලුවක්‌ නැත. මඩවගුරුවල හටගන්නා වූ ඕලු, නෙළුම්, මනෙල්වලටත්, කටු අකුලුවල පිපෙන්නාවූ රෝසවලටත් ඉහළම තැනක්‌ හිමිවෙයි. නෙළාගෙන අවුත් බුදපුද පවත්වයි. එනමුත් මේ මල් පරවයයි. පරවෙන්නට මත්තෙන්, පිපුණු තැන නොසලකා, මල් නෙළාගෙන අවුත් ඉහළම තැනක තබා ගෞරව කරයි. මේ කය අනිත්‍යයි. ලෙඩ දුක්‌ සමගම දිරාගෙන යන්නේය. මල පරවෙන්නට පෙර නෙළාගෙන පැමිණ බුදුපුදට ගත්තා සේ, මේ ජීවිතයද දිරාගෙන ගොස්‌ මරණයට පෙර උතුම් වූ ප්‍රයෝජනයක්‌ ගත යුතුය. ඒ ප්‍රයෝජන ගැනීම නම් ඇස, කන ආදී ඉන්ද්‍රියන් සතුටු කිරීම හෝ පිනවීමම නොවේ. එය තිරිසන් සතුන්ද කරනු ලැබේ. කායික හා වාචසික සංවරය නම් වූ ශීලයෙහි පිහිටා, හැකිතාක්‌ දුරට ධර්මානුකුලවම ජීවිතය පැවැත්විය යුතුය. ඉගෙනීම, වෘත්තීය, විවාහය, ගේදොර, ඇඳුම් - පැළඳුම්, සාමාජික යුතුකම් ආදී වශයෙන් මේවා නම් කළ හැකිය. ධර්මානුකූල මඟක, මේ සියල්ලම ප්‍රිය වශයෙන්ම ඉහළම ආකාරයකින් කළ හැකිය. විශාකා මහා උපාසිකාව සහ අනේපිඬු සිටාණන් වැනි අය නිදසුන්වලට ගත හැකිය. ප්‍රියකරුවද ධනවත්වද සතුටින්ද මේ අය ජීවිත ගත කළ අතර මාර්ගඵල ලාභීහු වූහ. ඔබද සිඟලෝවාද, ව්‍යග්ඝපඡ්ජ, මංගල ආදී සූත්‍රවල සඳහන් අයුරින් ලෞකික පැවැත්ම සුපසන් කරගත හැකිය. වසල, පරාභව ආදී සූත්‍ර දේශනාවල සඳහන් අයුරින් පරිහානියට නොයාහැකිය. මහා සතිපට්‌ඨාන සූත්‍රයට අනුව සිහිය පැවැත්වීම දියුණු කළ හැකිය. ආනාපානසති සහ කායගතිසති සූත්‍ර ඇසුරුකරගෙන එදිනෙදා ජීවිතයේ කොපමණ කාර්යබහුල වුවද 'මේ මෙහොතේ ජීවත්වීම' පුරුදු කළ හැකිය.

අනාථපිණ්‌ඩිකෝවාද ආදී සූත්‍ර ධර්ම ඇසුරුකරගෙන ජීවිතයේ ලෙඩදුක්‌, දුක්‌ඛ දොaමනස්‌සයන්ට මුහුණ දෙන ආකාරය ධර්මානුකූලව පුරුදු කළ හැකිය. වත්ථුපම සහ සල්ලේඛ ආදී සූත්‍ර ධර්ම ඇසුරුකරගෙන අශ්‍රැතවත් කෙලෙස්‌ කසට සහ කෙලෙස්‌ ගති හඳුනාගෙන මනුෂ්‍යයන් අතර ගම, රට, පළාතෙහි යහපත් වූ සත්පුරුෂ මනුෂ්‍යයෙක්‌ ලෙස ජීවත්විය හැකිය. චුල්ලහත්ථිපදෝපම, මහා හත්ථිපදෝපම, රථවිනීත, අරියපරියේසන ආදී සූත්‍රයන්හි මඟපෙන්වීම ඔස්‌සේ සිවුසස්‌ දහම් අවබෝධයටද කෙලෙසුන් නැසීමටද මාර්ගෝපදේශකත්වයක්‌ සලසා ගත හැකිය.

අනිත්‍ය වූ ලොවෙහි 'ඉති ඛො භික්‌ඛවේ විවටො මයා ෙ€මො මග්ගො සෝවත්ථකො පීතිගමනීයො' යනුවෙන් දේශනා කළ පරිදි 'භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදනෙ ලද නිර්භය වූ සැපදායක මඟෙහි ප්‍රීතියෙන් යුතුව ගමන් කළ හැකිය'. සම්මුතියේ පිහිටා සම්මත ලෝකයෙහි ඔබගේ වචනයෙන් පවසන පරිදි චාරිත්‍ර - වාරිත්‍ර, යුතුකම්, ගෙදර දොරේවැඩ කටයුතු, රැකී රක්‌ෂාවන්, ස්‌වාමි භාර්යා යුතුකම්, දෙමාපිය දරු වගකීම් ආදියද නිවැරැදි මගක පවත්වා ගත හැකිය. එම සම්මුතියෙහි පිහිටා කටයුතු කළ යුතු වන්නේ පරමාර්ථ ධර්මය පිළිබඳ මනා අවබෝධයෙන් යුතුවමය. එනම් එය මෙවැනි අදහසකි. 'නායං භික්‌ඛවෙ කායො තුම්හාකං, නාපි අඤ්ඤෙසං' (මහණෙනි, ඔය දරාගෙන සිටින ශරීරය නුඹලාගේ නොවේ. වෙනත් අයකුටද අයිති නැත. (නතුම්හ සූත්‍රය). මෙය ඔබට ගළපා මෙසේ සඳහන් කළ හැකිය. 'මම මගේ නොවේ. නුඹ නුඹේ නොවේ. මම නුඹේ නොවේ. නුඹ මගේ නොවේ.' සම්මුති ධර්මතාවට අනුව, සම්මතයෙහි පිහිටා ලෞකික ලෝකයෙහි ජීවත්වෙන්න. ධර්මානුකූලවම හැසිරෙන්න. එනම් හැකිතාක්‌දුරට පස්‌පව් දස අකුසල්වලින් බැහැරවන්න. දරුවන් සහ දෙමාපියන්, ස්‌වාමි භාර්යාවන් 'මම - මගේ' යෑයි කියන්න. යම්විටෙක දෙමාපිය සහ දරුවන් විසින් ඔවුනොවුන් සමීප වී අත්වැල් පටලාගෙන නුඹලා මගේ යෑයි කියනු ඇත. මගේ ඇස්‌ දෙක, මගේ හදවත වැනි යෑයි කියනු ඇත. (පුත්තා වත්ථු මනුස්‌සානං, ඒක චක්‌ඛු විය, ඒක හදයං විය) 'නුඹ වැනි අයෙක්‌ මට මුණගැසුණේ මගේ පෙර පිනකට' යෑයි ස්‌වාමි භාර්යාවන් පවසනු ඇත.හැමදාම, ඔවුනොවුන් කෙරේ ප්‍රිය දැසින් බලමින්, ප්‍රියවචන කතා කරමින් කිරි හා වතුර මෙන්, ශරීර දෙකක්‌ වුවත් එකම ජීවිතයක්‌ මෙන් පවත්වන්නට කැමැතිය (නකුල පිතු සූත්‍රය). එසේ සම්මතයෙහි පිහිට මෙලොව සැනසිලිමත් ජීවිතයක්‌ හෝ ජීවිත ගත කළ හැකිය. එනමුත් මේ සියල්ලම සකස්‌විය යුත්තේ පරමාර්ථ ධර්ම අවබෝධය හා සමගිනි. එනම් සම්මුතියට අනුව දෙමාපියන් දරුවන් හෝ ස්‌වාමි භාර්යාවන් විසින් 'නුඹ මගේ, හැමදාම මේ වගේ සිටිනවා' යෑයි පැවසුවද පරම සත්‍ය කතාව (විදසුන් නුවණ) එය නොවේ. පරමාර්ථ හෙවත් විපස්‌සනාවට අනුව, 'මමවත් මට හිමි නැති ලොවක්‌ තුළ නුJ කොහොමද මගේ වෙන්නේ, මටවත් මා ගැන නිසිලෙස යමක්‌ කියන්නට බැරි මේ අනිත්‍ය වූ ලෝකයේ, නුඹ සමග හැමදාම සිටිනවා යෑයි කියන්නේ කොහොමද?' වැනි කතාවකි.

මෙලොව සවිඤ්ඤාණික හෝ අවිඤ්ඤාණික එනම් පණ ඇති හෝ පන නැති සියල්ලම සංඛත හෙවත් සංස්‌කාර නම්වෙයි. මේ සියලු සංඛත වස්‌තූහු අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්වෙති. 'ඉමමේව කායං උද්ධං පාදතලා අධො කේස මත්ථකා කාචපරියත්තං පූරං...' ආදී ලෙසින් මහා මහා සතිපට්‌ඨාන සූත්‍රයෙහි සඳහන් වන අයුරින් මේ නොයෙක්‌ අපවිත්‍ර දෙයින් පිරුණු ශරීරයේ පාදාන්තයේ සිට හිස්‌මුදුන දක්‌වාම ගළපා බලන්න. අපට කිසිදු හැබෑ අයිති යමක්‌ වේදැයි නුවණින් ගළපා බලන්න. දිරානොයන, අත්නොහැරෙන අපට ඕනෑ විදියටම පවත්නා යමක්‌ පවතීදැයි විදර්ශනා නුවණින් විමසා බලන්න. සරල ලෙසින් ඔබට මෙවැනි අවබෝධයක්‌ හෝ ඇතිවිය යුතුය. හිසේ කෙස්‌ ගසක, ඇස්‌ පිහාටුවක, සම් කැබැල්ලක, නිය කැබැල්ලක හෝ රෝම කූපයක තරම් හෝ සැබෑ අයිතියක්‌ මගේ යෑයි පවසන මේ ශරීරයෙහි නැත. ඔබ නම් දවසට කොපමණ වතාවක්‌ රසයි, රසයි පවසමින් දිව සහ කුස සතුටු කරන්නේද? දවසට කොපමණ වතාවක්‌ කවා පොවා, නාවා, සරසා කැඩපත සමීපයේ හැඩ බලන්නේද? එහෙත් අනිත්‍ය ස්‌වභාවයට පත්වන විට මේ ශරීරයෙහි ඇති සැබෑ අයිතිය කුමක්‌ද? පඨවි (තදගතිය), ආපෝ (වැගිරෙන බව), තේජෝ (උෂ්ණය), වායො (වායුව) නම් වූ සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වූ මේ ශරීරය එම පඨවි ආදී ධාතු කොටස්‌ විසිරී යන විට ලෙඩවෙයි. දිරාගෙන යයි. වාරු නැතිව යයි. ඇස්‌, කන් ආදී ඉන්ද්‍රියන් දුබලවෙයි. මුළු ශරීරයම දුබල වෙයි. දුර්වල වෙයි. විඥනයේ බැහැරවීම සමගින්ම කයෙහි බිඳීම සහ ඵලය නම් මරණය සිදුවෙයි. ධාතු, ස්‌කන්ධ, ආයතනයන්ගේ විසිර යාම ලෙසද මෙම අවස්‌ථාව විස්‌තර කළ හැකිය. ධර්මයන්හි පැහැදිලි කරන්නේ මෙසේය. 'හේතුං' පටිච්ච සම්භූතං හේතු භංගා නිරුඡ්ධති' - හේතූන් නිසා හටගත් ඵලය හේතූන් නැතිව යන විට ඵලයද නැතිව යයි.'

'යං කිඤචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං'

'යමක්‌ හටගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුය'

මේ දැනුම අවබෝධයට ගෙන ඒමට ආකාර තුනක්‌ අප විසින් අනුගමනය කළ යුතුය. එනම් සුතමය (ශ්‍රවණය), චින්තාමය (සිතීම, මෙනෙහි කිරීම), සහ භාවනාව (වැඩීම) යනුවෙනි. සම්මුතියෙහි ජීවිත නිවැරැදිව සහ සතුටින් ගත කරන අතර පරමාර්ථ ධර්ම අවබෝධයෙන් 'අත්හැරීමද' පුරුදු කළ හැකිය. සම්මුතියෙහි පවත්වන, කම්කටොලුවලින් පිරි සාමාන්‍ය අශ්‍රැතවත් පෘථග්ජන ජීවිතවල බොහෝ දුක්‌ දොම්නස්‌වලට හේතුව මිල මුදල්වල හිඟ පාඩුවම නොවේ. එය එක්‌ අංශයක්‌ පමණකි. බොහෝ අයෙක්‌ දුක්‌ විඳින්නේ අභාවිත සිත් නිසා එනම් පරමාර්ථ ධර්මය තරමකින් පුරුදු නොකිරීමෙන් මේ සංස්‌කාර ලෝකයේ හෝ දැඩි ආශාවන් හා පටිඝ හෙවත් ගැටීම් ඇතිකර ගැනීම නිසාය. භාග්‍යවතුන් වහන්සේ සංග්‍රාමජිත් තෙරුන් වහන්සේ පිළිබඳ දෙසූ දහම මෙනෙහි කරන්න.

'ආයන්තිං නාභිනන්දති - පක්‌කමන්තිං නසෝචති'

'එන්නිය දැක සතුටු නොවෙයි. බැහැර යන්නිය දැක ශෝක නොකෙරෙයි.

සම්මුතිය සහ පරමාර්ථය හඳුනාගන්නා විට ජීවිත පැවැත්ම සන්සුන් වෙයි. වෙනස්‌වන ලෝකයේ කිසිවක තදින් ඇලෙන්නේද නැත. ගැටෙන්නේද නැත. මේ නිසා සිතෙහි සකස්‌වන චිත්ත සමාධිය, සමාහිත බව ඵල සමාධිය සහ ඵල ප්‍රඥව බවට පත්කරගත හැකිවනු ඇත. බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව බුදුරජාණන් වහන්සේ දහම් ඇසෙන දැකීමක්‌ බවට පත්වෙයි. උතුම් තුණුරුවන් සරණයි!

දෙවියන්ට වදාළ සම්බුදු බණ

අනුත්තරීය වූ ශ්‍රද්ධා ලාභය

ලෝකයට ඉතාමත් කලාතුරකින් “බුද්ධෝත්පාද කාලයක්’ උදාවෙන්නේ. එබඳු කාලයක දෙවියන් අතර හෝ මිනිසුන් අතර උපදින සත්ත්වයින්ගෙන් සීමිත පිරිසකට ක්ෂණ සම්පත්තිය උදා වෙනවා. ක්ෂණ සම්පත්තිය යනු සසරේ සැරිසරන්නෙකුට මුණ ගැසෙන වාසනාවන්තම මොහොතයි.
ඒ වාසනාව ලද කෙනෙකු වහ වහා කරගත යුතු යමක් තිබේ. එනම් ශ්‍රද්ධා ලාභය ඇති කර ගැනීම යි. ශ්‍රද්ධා ලාභය යනු සියලු ලාභයන් අතර ඇති අනුත්තරීය වූ ලාභය යි. ඒ ශ්‍රද්ධාව කෙනෙක් විසින් ඇති කරගත යුත්තේ කා කෙරෙහි ද? ශ්‍රද්ධාව යනු කුමක්දැයි අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වාදී තිබේ.
පින්වත් මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තෙක් වෙයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි. මේ මේ කරුණින් ඒ භාග්‍යවතුන් වහන්සේ (අරහං) සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් වන සේක (සම්මා සම්බුද්ධෝ) ගුරු උපදේශ නො මැතිවම ජීවිතාවබෝධය ලැබූ සේක. (විජ්ජාචරණ සම්පන්නෝ) උතුම් විද්‍යාවන්ගෙන්ද, චරණ ධර්මයන්ගෙන්ද, සමන්විත වන සේක. (සුගත) සුන්දර වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් සුන්දර නිවනට වැඩම කළ සේක. (ලෝකවිදූ) සියලු ලෝක පිරිසිඳ දැන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වූ සේක (අනුත්තරෝ පුරිසදම්මසාරථි) පින් ඇති පුරුෂයන් දමනය කිරීම පිණිස අතිශයින් දක්ෂ වූ සේක. (සත්ථා දේවමනුස්සානං) නුවණැති දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන සේක. (බුද්ධෝ) අවබෝධ කොට වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දෙවි මිනිසුන් හට අවබෝධයට පහසුවන ලෙස පැහැදිලිව දේශනා කළ සේක. (භගවා) මේ සියලු ගුණයන් දැරීමට සුදුසු වන සේක.
මෙසේ ගුණ හඳුනාගන්නා කෙනෙකුගේ සිත බුදුසමිඳුන් ගැන පහදී නම් එය ශ්‍රද්ධාවයි. බුදුරජුන් සරණ ගිය කෙනෙකුට අත්වන යහපත ඉතාමත් විශාලයි. මහාසමය සූත්‍රයේ සඳහන් වෙනවා
යේ කෙචි බුද්ධං සරණං ගතාසේ - න තේ ගම්ස්සන්ති අපායං
පහාය මානුසං දේහං - දේවකාය පරිපූරෙස්සන්ති
යම්කිසි කෙනෙකු බුදු සමිඳුන් සරණ ගියේ නම්, ඔහු අපායේ උපදින්නෙකු නොවේ. මේ මිනිස් සිරුර අත්හළ විට ඒ උදවිගෙන් දෙව්ලොව පිරී යන්නේය.
එසේ බුදුසමිඳුන්ගේ සරණ කරගත් අයෙක් උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, තම ජීවිතයට සරණ කර ගෙන, ගුණ හඳුනාගෙන ම ඔහු ධර්මය සරණ යයි. ඒ ධර්මයට අනුව දිවි ගත කිරීමට වෙහෙසෙන බුදු පිරිස ගැනද ඔහුගේ සිත පහදියි. එවිට ඔහු ඒ ශ්‍රාවක පිරිසද තම ජීවිතයේ සරණ කර ගනී. සඟ ගුණ හඳුනාගෙන ඇති කරගත් ප්‍රසාදයෙන් යුතුවම ශ්‍රාවක සඟරුවන සරණ යයි. මේ අයුරින් බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන ගැන ඇතිකර ගන්නා ශ්‍රද්ධා ලාභය දෙවි මිනිසුන් හට ලැබිය හැකි උතුම්ම ලාභය යි.
අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ මේ ශ්‍රද්ධාලාභයේ වටිනාකම ගැන හොඳින් දැනසිටි දෙවිවරුන් සිටිය බව පේනවා. සංයුක්ත නිකායේ පළමු පොත් වහන්සේගේ දේවතා සංයුත්තයේ "සතුලග්ලපකායික" වර්ගයේ අන්තර්ගත “සද්ධා සූත්‍රය” එයට නිදසුනකි.
දෙවියන් අතර ඇතිවන සංවාදවලදී අප බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාකළ අයුරු විවිධාකාරයි. ඇතැම් දෙවිවරුන්ගේ ජීවිතයේ හටගත් ගැටළු උන්වහන්සේ විසින් විසඳනු ලැබුවා. ඇතැම් දෙවිවරුන්ගේ දහම් ගැටළු නිරාකරණය කර සතුටු කරවනු ලැබුවා. එහෙත් ඇතැම් දෙවිවරුන්ගේ ප්‍රකාශ බුදුරජාණන් වහන්සේ විසින් මුළුමණින්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඇතැම් ප්‍රකාශ සංශෝධනය කළ අවස්ථාත් තිබෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ විසින් ඇතැම් දෙවිවරුන්ගේ ප්‍රකාශ අනුමත කරනු ලැබුවා. එබඳු ප්‍රකාශ සූත්‍ර පිඨකයේ ඒ අයුරින්ම සඳහන්ව තිබෙනවා. මේ සූත්‍රයේ දීත් උන්වහන්සේ දෙවිවරුන්ගේ ප්‍රකාශ අනුමත කොට තිබෙනවා.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත්නුවර ජේතවනය නම් වු අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා බොහෝ සතුල්ලපහාසික දෙවිවරු රැය පහන්වෙන වෙලාවේ මුළුමහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් සිටගත්තා. ඒ දෙවිවරු අතරින් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී මේ අර්ථවත් ගාථාව පැවසුවා.
"ශ්‍රද්ධාව තමයි මනුෂ්‍යයාගේ දෙවැන්නා වෙන්නේ. ශ්‍රද්ධාව යමෙක් තුළ පිහිටලා ඇත්නම්, ඔහු කීර්තියට පත්වෙනවා. පිරිවර සම්පත් ඇතිවෙනවා. ඔහු ශරීරිය අත්හැරියාම ස්වර්ගයේ උපදිනවා. "
එවිට ඒ දෙවිපිරිස අතරින් තවත් දෙවි කෙනෙක් මේ ගාථාවන් පැවසූවා.
ක්‍රෝධය අත්හරින්න ඕන. මාන්නය විශේෂයෙන්ම දුරු කරන්න ඕන. හැම බන්ධනයක්ම ඉක්මවා යන්න ඕන. නාමරූප දෙකේ නො ඇලෙන, කෙලෙස් රහිත ඒ රහතන් වහන්සේ තුළට කෙලෙස් පැමිණෙන්නේ නැහැ.
බාල වූ ප්‍රඥා රහිත වූ ජනතාව ඉන්නේ ප්‍රමාදයෙන්ම යි. නමුත් ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදී බව සුරකින්නේ ශ්‍රේෂ්ඨ ධනයක් රකිනවා වගේ. පු‍්‍රමාද වෙන්න හොඳ නැහැ. කාමාශාවේ ඇලී යන්න හොඳ නැහැ. අප්‍රමාදීව ධ්‍යාන වඩනවිට ඔහු පරම සැපයට පත්වෙනවා.
එදා පැමිණි "සතුල්ලපකායික දෙවිවරු " තමයි මේ අර්ථවත් ගාථාවන් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ප්‍රකාශ කළේ. ඒ දේශනය තුළ භාග්‍යවතුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් දැක් වූ ප්‍රතිචාර ගැන සඳහන් වෙන්නේ නැහැ. උන්වහන්සේ නිශ්ශබ්දවම ඒ අරුත්බර ගාථා ඉවසන්නට ඇති.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ ශ්‍රද්ධාව නැතිවීම යනු මේ පුරුෂ පුද්ගලයාට පිරිහීමට කරුණයි කියලයි. අපේ තුළ ශ්‍රද්ධාව නැතිනම් අප ඉන්නේ පිරිහී යන පුද්ගලයන්ගේ පැත්තේ යි.
නමුත් ශ්‍රද්ධාව තිබෙනවානම් ඒක අපේ ජීවිතේ දියුණුවට කරුණක් සම්බුදු සසුන තුළ හික්මෙනු කැමැති ශ්‍රාවකයාට තිබෙන හික්මීමේ බලයක්. එහෙම නැත්නම් සේඛ බලයක් තමා ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියන් සේ පිහිටියාම ඔහු ශ්‍රාවකභාවයට පත්වෙනවා. තවදුරටත් නිවන් මඟ දියුණු කර ගන්නට ඒ ශ්‍රාවකයාට ඒ ශ්‍රද්ධාවම බලයක් බවට පත්වෙනවා.
ඒ නිසාමයි සම්බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව වර්ණනා කොට වදාළේ. දවසක් අයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අසනවා කුමක් මත පිහිටා කටයුතු කිරීමද වඩාත්ම හොඳ? කියලා. උන්වහන්සේ වදාළේ ශ්‍රද්ධාව මත පිහිටා කටයුතු කිරීමයි වඩාත්ම හොඳ කියලා.
ඒ වගේම බුදුරජාණාන් වහන්සේ එක් තැනකදී වදාළා දෙව්ලොව දෙවිවරු චුත වීමට ආසන්න වෙද්දී පෙර නිමිති පහළ වෙනවා. ඒ තමා චූතවෙන දෙවියාට ඩහදිය ගලන්නට පටන් ගන්නවා. ඔහු පැළදි මල් පරවෙන්නට පටන් ගන්නවා. දිව්‍ය වස්ත්‍ර කිළිටි වෙනවා. ඔහුගේ සිත දිව්‍ය කාමයේ ඇලෙන්නේ නැහැ. එවිට අනික් දෙවිවරු දැනගන්නවා මේ දෙවියා චුතවෙන බව.
දෙවිවරු ඒ දෙවියා වටකරගෙන ලස්සන අවවාදයක් කරනවා. එහෙනම් භවත, ඔබ සුගතියට යන්න. ඒ දෙවිවරු සුගතිය කියා පෙන්නුවේ මේ මනුෂ්‍ය ලෝකය යි. ඊට පස්සේ කියනවා, සුගතියට ගිහින් දුර්ලභ ලාභය ලබන්න කියලා. ඒ දෙවියන් දුර්ලභ ලාභය ලෙස හැඳීන්වූයේ ශ්‍රද්ධා ලාභය යි. තවදුරටත් ඒ දෙවිවරු පවසනවා දුර්ලභ ලාභය ලබාගෙන ඒ තුළ පිහිටන්න කියලා. ඒ කිව්වේ ශ්‍රද්ධාව තුළ නො සැලෙන සේ සිටගන්න. සෝතාපන්න වෙන්න කියන කරුණයි.
ඒ දුර්ලභ වූ සම්බුදු සසුන මුණගැසී ඇති මේ කාලයේ කොයි කවුරුත් මහන්සි ගත යුත්තේ ඒ උතුම් ශ්‍රද්ධා ලාභය ඇතිකර ගන්නට යි. අපටත් ඒ ශ්‍රද්ධා ලාභය ලැබීමේ වාසනාව උදා වේවා.
නයනා නිල්මිණි

වෙසඟේ නිසි අරුත වටහා දෙමු

සියලු ලක්වාසීන්ට ආගමික අංශයෙන් මෙන්ම සංස්කෘතික අතින්ද ඉතා වටිනා දිනයක් ලෙස වෙසක් පුන් පොහෝ දිනය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ දිනය අප ඉතා වැදගත් ලෙසින් සලකන්නේ සිදුහත් කුමරුගේ ඉපදීමත්, බුදුවීමත්, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් නිසයි. එම නිසා බුදුරජාණන් වහන්සේට කරනු ලබන බුද්ධ පූජාවක් ලෙසින් වෙසක් දිනය සැමරීමයි වැදගත් වන්නේ.
ලෝක වාසීන්ට සාමය, සමාදානය, හරි වැරැද්ද පෙන්වා දුන් දිනය සැමරීම උදෙසායි මේ දිනය අප විසින් සමරනු ලබන්නේ. මේ සැමරීම විවිධාකාරයෙන් සිදු කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. විහාරස්ථානවල සීල සමාදානය එයින් එක් පූජා ක්‍රමයක්. ඒකටම සමගාමීව සිදුකරනු ලබන බුද්ධ පූජා , මල් පූජා ඇතුළු විවිධ පූජාවන් තවත් සැමරීම් ක්‍රමයක් ලෙසින් අප යොදා ගනු ලබනවා. එසේම පෙරහර පවත්වනවා. දර්ශනීය තොරණ ඉදි කරනවා. ඒ තොරණ අලංකාර කරනු ලබන්නේ බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් යොදමින්. වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කරනවා. ඒකත් එක් ආලෝක පූජාවක්. තෙල් දල්වා පහන් දැල්වීම තවත් ආලෝක පූජාවක්. රට පුරාම ධර්ම දේශනා පවත්වනවා. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වන්නේ කුමක්ද ? බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන ගමන් ඒ පුද්ගලයාත් චරිතවත් අයකු ලෙසින් සමාජයට බිහි කිරීමයි. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට සිටගෙන මල් පූජා කරනු ලබන විට සිතෙහි ඇතිවන තැන්පත්කම ඉවසීම, කරුණාව, මෛත්‍රිය සන්සුන් ඉරියව් මේ සියල්ලම සමාජිය යහපත් පුද්ගලයෙක් නිර්මාණය කිරීමේ ලක්ෂණයන්. ඒ සියල්ලෙන්ම ඔහුට භාවනාවක් ඇති වනවා. බුදුරජාණන් වහන්සේ සිහි කර පවත්වනු ලබන පින්කම්වලට අමතරව යහගුණ සපිරි මිනිසකු බිහි කිරීමත් මේ අනුව සිදුවනවා.
බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීමේදි මේ මල් මොහොතින් මොහොත මැලවී යන්නාක් මෙන් මාගේ ජීවිතයද මොහොතින් මොහොත මැලවී යන බව මා වටහා ගත යුතුවනවා. යන යථාර්ථය තේරුම් ගැනීමෙන් අවබෝධාත්මක යහගුණ සපිරි මිනිසකු බිහිවනවා. බුදුරජාණන් වහන්සේට උපහාර කරනු ලබන අතර තම ජීවිතයේද බොහෝ දේ සකසා ගනු ලබනවා. මානසික සංවර්ධනයට එයින් මහඟු පිටිවහලක් ලැබෙනවා. සියලු පූජා විධික්‍රම මගින් බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේට පුද පූජා කරනු ලබන අතර තම ජීවිතයද සකස් කර ගැනීමට උත්සාහ දැරිමයි. එහෙත් අද බොහෝ පින්කම් පවත්වන අයට එම පින්කම් පැවැත්වීමේ මූලික අරමුණූ අමතක වී ගිහින් තිබෙන බවයි පෙනෙන්නේ. සිරිතක් සම්ප්‍රදායක් ලෙසින් ඒ සියල්ල කරනු ලබන බවයි පෙනෙන්නේ. සිත කය, වචනය සංවර කරගෙන, සැහැල්ලු කරගෙන මේ පින්කම් කළ යුතු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා පින්කම්වල මූලික අරමුණූ අමතක කර දමා සැණකෙළි විනෝදමේලා බවට මේ පින්කම් පත් කරගෙන තිබෙන බවයි පෙනෙන්නේ. පෙරහර පවත්වත්දී එහි පෙරහරට නුසුදුසු නාඩගම් ඇතුළත් කර තිබෙනවා. අපේ සාම්ප්‍රදායික උරුමය රැක දෙන අංග පසෙකලා හුදෙක් විනෝදවීමට යොදා ගනු ලබන අංග යොදා ගෙන තිබීමෙන් පෙනී යන්නේ අපේ හෙළ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමා ඇති බවයි. අපේ සංස්කෘතිය හෑල්ලුවට ලක් වනවා. එය අනාගත පරපුරට විශාල අවාසියක්. වෙසක් පෝයේ අරමුණ කුමක්ද ? යන්න අනාගත පරපුරට යන්නේ නැහැ. ශ්‍රද්ධාව, වැනි ගුණදහම් ජනතා සිත්සතන් තුළට ඇතුළු වන්නේ නැහැ. මේ නිසා වෙසක් පුන් පොහෝ දිනයේ පවා නැටුම් ගැයුම් වැනි විනෝද වීම් සඳහා පෙළඹීමට වත්මන් පරපුර යොමු වෙලා. එය වළක්වා නිසි දැනුම ලබා දීම විහාරස්ථානය මුල් කරගෙන කළ යුතුවනවා. අනාදිමත් කාලයක සිට සිංහල ජාතිය රැකුණේ බුදු දහමේ ආභාසය නිසයි. මේ වන විට නිදහස ලබා වසර 60 ක් ගත වී අවසන් නමුත් අපට තවමත් අපේ කම යළි සකසා ගන්න බැරිවුණා. දිනෙන් දිනම අපේ ගුණදහම් පිරිහෙන තත්ත්වයකයි අපි දිවි ගෙවන්නේ. මේ නිසා විහාරස්ථානයේ හාමුදුරුවන්ටත් තනිවම අපේ ගති ලක්ෂණ සකස් කරන්න අපහසුයි. විහාරස්ථානයකට ගොස් බලන්න. දහ දෙනෙක් දිහා බැලුවොත් ඒ දහ දෙනා වඳින්නෙ දස ආකාරයකටයි. පන්සලෙන් ඈත් කරන්න මිසක් පන්සලට ළං කරන ක්‍රමවේද තවමත් ලංකාව තුළ ස්ථාපිත වෙලා නැහැ. අපේ ආච්චිලාගේ , සීයලාගේ කාලයේදි ධර්ම දේශනාවකට ස්වාමීන් වහන්සේ වැඩම කරන විට සාධුකාර දීමේ නිමක් නැහැ. ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ අසුන් ගෙන නවත්වන්නැයි කියනතුරුම සාධු කාර දෙනවා. නමුත් අද ධර්ම දේශකයාණන් වහන්සේ අසුන් ගෙන සාධුකාරයක් දෙන්න යැයි පැවසිය යුතු තරමට අප පිරිහිලා, ගුණ දහම් සේදී ගිහින්. ආච්චි සීයා ,ගුරුවරුන් දෙස බලාගෙන මේ ගුණ ධර්ම ඉගෙන ගත්තත් අද ඒ සියල්ල විනාශ වෙලා ගිහින්. අද ආදර්ශ ගන්න ඉන්න ආච්චි, සීයා, ගුරුවරුත් ආදර්ශ ගන්න බැරි අය ලෙසට පත්වෙලා. බෞද්ධ ආකල්ප කිසි කෙනෙක් පොත්පත්වලින් ඉගෙන ගත්තේ නැහැ. සියල්ල දැන ගත්තේ වැඩිහිටියන්ගෙන්. මේ නිසා බෞද්ධ ආකල්ප සමාජයට ඇතුළු කරන බෞද්ධ සමිති සමාගම් වගේම පාසල් දහම් පාසල් හරහා ඉටු කරන්න විශාල කාර්යයක් තිබෙනවා. මේ වෙසක් සමයේ හෝ ඒ ආකල්ප හරහා සමාජය දැනුවත් කර ඉදිරි පරපුරට වෙසඟේ නිසි අරුත ලබා දෙන්නට පුළුවන් නම් අපට සැමදා වෙසක් සැමරීම යථාවබෝධයෙන්ම කළ හැකි වනවා.

දුක නිවන දහම

සැබෑ බුද්ධ දේශනාව ගවේෂණය කරමින් තමන් අත්පත් කරගත් ඥානය, දම්සක්පැවතුම් සූත්‍රය පාදක කරගෙන විවරණය කරලීමට මේ හිමියෝ යත්න දරති.
සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවන කොට මොකද වෙන්නෙ අපට? සති සම්බොජ්ඣංගය වැඩෙනව. සිහිය දිගින් දිගට දිගින් දිගට එහෙම පවත්වගෙන යන කොට මොකද වෙන්නෙ? ලෝකයේ යථා ස්වරූපය දකින්ට පටන් ගන්නව.
ඇති වීම - නැති වීම දකිනව. මොකෙන්ද දකින්නෙ? නුවණින්; නුවණැසින්. ධම්මවිචය: ඇති වීම-නැති වීම, ඊළඟට ඒක දිගින් දිගට තව වඩාගෙන යන කොට සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙන්ට පටන් ගන්නවා. ඒක වැඩීගෙන වැඩීගෙන යනකොට මොකද වෙන්නෙ? වීරිය සම්බෝජ්ඣංගය වැඩෙනව. එහෙම යනකොට, තවත් වඩාගෙන යනකොට සති සම්බොජ්ඣංගය.
මෙතන සතර සතිපට්ඨානයේම සිහිය පිහිටුවාගෙන යන කොට ඊළඟට මහා පී‍්‍රතියක් දැනෙනව; සිතට සැහැල්ලුවක් දැනෙනව; කෙලෙස් ප්‍රහාණය වෙන්ට පටන් ගන්නව. සමථ භාවනාවෙන් වෙන්නෙ අර පඤ්ච නීවරණ යටපත් වීම පමණයි. විදර්ශනාවෙන් ලෝකයේ සත්‍යය දකින කොට මොකද වෙන්නෙ? කෙලෙස් නැති වෙන්ට පටන් ගන්නව. ඊට පස්සෙ පී‍්‍රතියක් සැහැල්ලුවක්, අධික පී‍්‍රතියක් දැනෙන්න පටන් ගන්නව. ‘පී‍්‍රතිය’ ළඟට පස්සද්ධි කියල කිව්වෙ කයත් සැහැල්ලුයි, සිතත් සැහැල්ලු වෙන්ට පටන් ගන්නව. සහන්සියක් දැනෙන්නෙ නෑ. දිගින්-දිගට, දිගින්-දිගට සතර සතිපට්ටානය වැඩෙනව.
ඊට පස්සෙ ‘සැහැල්ලුව’ ඒ කියන්නෙ ‘පද්සද්ධිය’, ඊළඟට සමාධිය. මෙන්න මේක තමයි සම්මා සමාධිය කියන්නෙ. මේකට කියනව විදර්ශනා සමාධිය කියල. ඒක විශේෂ සමාධියක්; අර කලින් දියුණු කරපු සමථය තුළින් වැඩුණු ධ්‍යාන සමාධිය නොවෙයි. ඒක විදර්ශනා. දැන් කෙලෙස් ප්‍රහාණය වෙලා. අතන අර සමථ භාවනාවලින් ආවෙ කෙලෙස් යටපත් වීම තුළ. දැන් සතිපට්ඨාන භාවනාව තුළ කෙලෙස් නැති වෙනව, විනාශ කරනව, ප්‍රහාණය කරනව. ඒ හරහා වැඩෙනව ආපහු සමාධිය, ධ්‍යාන වැඩෙන්ට පටන් ගන්නව. ඒක අර විදියට ආයෙත් චතුර්ථ ධ්‍යානය දක්වා වැඩෙනව. වැඩිල උපේක්ෂාවට එනව. ‘සංඛාර උපේක්ෂා’ කියල කිව්වෙත් ඒක.
දැන් බොජ්ඣංග සූත්‍රයේ සමාධිය ළඟට කියන්නෙ මොකක්ද? සමාධි සම්බොජ්ඣංග, ඊළඟට උපේක්ෂා සම්බොජ්ඣංගය. උපේක්ෂා: කිසිම දේකට ඇලෙන්නෙ ගැටෙන්නෙ නැති මධ්‍යස්ථ තැනට ඒකාග්‍රතාවට වැටෙනව. ඊළඟට මොකද වෙන්න? විමුක්තිය ඊට පස්සෙ පහළ වෙනව. විමුක්ති ඥාන දර්ශනය. දැන් මේ හතර වැනි සැරේටයි මේ මිදෙන්ට ඕන. මේ විමුක්තිය කියන තැන. ඊට ඉස්සර වෙලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමී කියන ඒ මාර්ග ඵල ලැබෙනව. හතර වන අවස්ථාවේදී සිත මිදෙනව. පරිපූර්ණ වශයෙන්ම.
දැන් ඔය සම්මා සමාධිය තුළ මුලින් සිත මිදෙනව; ලෝකෝත්තර සිත පහළ වෙනව. මුලින්ම පහළ වුණාම අපි කියන්නෙ සෝවාන් කියල. එතෙන්දි අර සත්ත්වයා ලෝකයට බැඳ තබන දස සංයෝජනවලින් තුනක් නැතිව යනව. මුලින්ම සිත මිදෙන කොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බ පරාමාස කියන සංයෝජන තුන නැතිව යනව. ඊට පස්සෙ අන්න එයාට තමා අපි කියන්නෙ සෝවාන් කියල. නැවතත් අපි සතර සතිපට්ඨානයෙම සිහිය පිහිටුවනව.
ඊළඟට තියෙන්නෙ අර ඉස්සර වෙලා වාගෙ නෙවෙයි ඊට වඩා සියුම් කෙලෙස්. ගොරෝසු කෙලෙස් ඉස්සර වෙලා නැති වෙන්නෙ. ඊට වඩා සියුම් කෙලෙස් සමූහයක් ප්‍රහාණය වෙනව. ඊට පස්සෙ කාමරාග, පටිඝ කියන සංයෝජන දෙකෙන් සියයට පණහක් නති වුණාම සකෘදාගාමි කියන තත්ත්වෙට පත් වෙනව. ඒ කියන්නේ නිරෝධ සිත පහළ වෙනව.
ඊළඟට අපි ආයෙමත් මුල ඉඳල කරන්නෙ මොකක්ද? සතර සතිපට්ඨානය වඩාගෙන වඩාගෙන යනව. එතකොට කාමරාග, පටිඝ කියන සංයෝජන සම්පූර්ණයෙන්ම විනාශයි. ඒ කියන්නෙ එතකොට දස සංයෝජනවලින් සංයෝජන පහක්ම ඉවරයි. සම්පූර්ණයෙන්ම සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ කියන ඒව. අන්න ඒ පුද්ගලයා ආයෙ කවදාවත් කාම ලෝකයට එන්නෙ නෑ. උත්පත්ති වශයෙන් දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකවල උපදින්නෙ නෑ ඔහු. අනාගාමී පුද්ගලයා, බ්‍රහ්මලෝකවල අනිවාර්යයෙන්ම ‘ශුද්ධාවාස’ කියල අපි කියන්නෙ, එතන ඉපදෙනව. එහෙදි නිවන් දකිනව.
සෝවාන් කෙනා භව හතයි වැඩිම වුණොත් උපදින්නෙ කාම ලෝකවල; ඒ තුළ නිවන් දකිනව. සකෘදාගාමී කෙනා එක පාරයි කාම ලෝකයේ උපදින්නෙ. මනුෂ්‍යයෙක් වශයෙන් හෝ දෙවි කෙනෙක් වශයෙන්. සෝවාන් වෙච්ච කෙනා ආයෙ කවදාවත් නිරයට යන්නෙ නෑ. එතකොට සකෘදාගාමි කෙනා එක පාරයි මනුෂ්‍ය ලෝකෙට එන්නෙ. සෝවාන් කෙනා හත් සැරයයි එන්නෙ. අනාගාමී කෙනා කවදාවත් ආයිත් මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙට එන්නෙ නෑ. එයා අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකවල උපදින්නෙ ශුද්ධාවාස කියන. එහිදිම නිවන් දකිනව.
ඊළඟට තව සංයෝජන පහක් තියෙනව. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා ඉතා ප්‍රබල සියුම් සංයෝජන පහක්. ඉතින් අපි යළිත් අර විදියටම සතර සතිපට්ඨානය වඩනව. ආයෙමත් වඩාගෙන වඩාගෙන යන කොට ඔය කීව කෙලෙස් ඊළඟට ඉතිරිව තිබුණු අන්තිම කෙලෙස් ටිකත් විනාශ වෙලා හතර වැනි වරටත් නිවන දකිනව. අන්න ඒක තමයි සැබෑ විමුක්තිය. ඒක තමයි අරහත් කියල කියන්නෙ. එතකොට මෙන්න මේ කිව්ව ඉතුරු සංයෝජන පහත් ඉවරයි. සංයෝජන දහයම ඉවරයි. ඔහු ආයෙත් උත්පත්ති වශයෙන් කිසිම තැනක උපතක් ලබන්නෙ නෑ. එයාට තමා අපි නිවන් දැක්ක කියල කියන්නෙ. එයාට තමයි ‘රහතන් වහන්සේ’ කියල කියන්නෙ.
දැන් එතකොට අන්න ඒක තමා විමුක්තිය කියල කියන්නෙ. හතරවැනි වරටත් විමුක්තිය ලැබුවට පස්සෙ ඔහුට පහළ වෙනව විමුක්ති ඥාන දර්ශනය. අනික් තැන්වලදීත් පහළ වෙනව තමයි. සෝවාන් වුණාමත් ඥාන දර්ශනයක් පහළ වෙනව. ප්‍රත්‍යවේක්ෂා ඥානය කියල කියන්නෙත් ඒක. මේ මේ සංයෝජන ඉවරයි, තාම විමුක්තිය සම්පූර්ණ නෑ, තව කළ යුතුයි කියල නැවතත් භාවනා කරනව. දෙවැනි පාර සකෘදාගාමි වුණාමත් ඥාන පහළ වෙනව. ඒත් දන්නව නැති වුණේ මේ සංයෝජන, මෙන්න මේවයි වුණේ, තව මට කරන්ට තියෙනව කියල ආයෙත් භාවනා කරනව. අනාගාමියත් එහෙමයි. එහෙත් රහත් වුණාම තේරෙනව නිවන් සඳහා මට තවත් කළ යුතු දෙයක් නැත, බඹසර වැස නිම විය, මේක තමයි මගේ අවසාන ජීවිතය, අවසාන උත්පත්තිය කියල තමන්ට නුවණ පහළ වෙනව. චතුරාර්ය සත්‍යය කියන එක යළිත් අපට වැටහෙන්ට පටන් ගන්නව. මේක තමයි දුක. මෙන්න සමුදය, මෙන්න නිවන, මෙන්න මාර්ගය කියල අප චතුරාර්ය සත්‍යය තුන් ආකාරයට දකින්ට පටන්ගන්නව. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් ඥාන පහළ වෙනව. ඕක තමයි විමුක්ති ඥාන දර්ශනය. එතකොට අංග අටයි. ඒ අටට විමුක්ති සහ විමුක්ති ඥාන දර්ශන කියන දෙකත් එකතු වෙනව. දහයයි.
මෙන්න මේක තමයි බෞද්ධ පිළිවෙත. පොදුවේ සමස්තයක් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කළේ මොකක්ද? මොකක්ද බුද්ධ ධර්මය කියන්නෙ? කවුද බෞද්ධයා? කියන දේ දළ වශයෙන් මතු කරල දෙන්ට තමයි වීරිය ගත්තෙ. මීට වඩා සරල කරන්ට පුළුවන්කමක් තියෙනවද කියල මම නම් දන්නෙ නෑ. පුළුවන් නම් බුදුන් වහන්සේ නොකර ඉන්නෙ නෑ. මට උන් වහන්සේ අබිබවා යන්ට බෑ. ඉතින් මේක තේරුම් ගන්ට හැමෝටම බෑ. යම් කිසි නුවණක් තියෙන්ට ඕන. මේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච වෙලේ ඉඳලම එතෙන්ට එනකං සිහි නුවණක් අවශ්‍යමයි නෙ. ඉතින් මේක නැති නිසා තමයි මේ ප්‍රශ්නෙ තියෙන්නෙ. ඉතින් සමහර අය මේක මේ මිනිස්සුන්ට සාමාන්‍ය අයට තේරෙන්නෙ නැහැයි කියල සරල කරන්ට බොහෝම උත්සාහ කරන්ට ගිහිල්ල අන්තිමට ධර්මය විකෘති වෙලා විනාශ වෙලා යන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනව. අපට මේක ඕන ඕන විදියට එහාට මෙහට හරවන්ට කරන්න බෑ.
මොකද? බුදුන් වහන්සේ කියන්නෙ මහා ප්‍රඥාවන්තයා. උන් වහන්සේට කරන්ට බැරි දේ අපිට කරන්ට බෑ. මගෙන් ගොඩක් අය අහනව “අනේ ස්වාමීන් වහන්ස, මේක මීට වඩා සරල කරන්ට බැරිද? මේක මේ නූගත් අයට ගැමි ජනතාවට කියන්ට වඩා සරල ක්‍රමයක් නැද්ද?” කියල අහල තියෙනව. මම කොහොමද ඒක කරන්නෙ? මං වගේ අහිංසකයෙක් බුදුන් වහන්සේට බැරි වෙච්ච දේ! මම මේ පුංචි වැලි කැටයක් වගේ මනුෂ්‍යයෙක්. මේක එහෙම කරන්ට බෑ. පුළුවන් තරම් ඔච්චරයි. ඒ හින්ද මේක අමාරුයි කියල සමහරු පහසු දේවල් කරනව. “ඕක කරන්ට බෑ, අපි තැනේ හැටියට මෙහෙම කර ගෙන යමු”යි කියල...
මේකත් අර මං හැමදාම දෙන උදාහරණය වගේ. අර නස්රුදීන්ගෙ කතන්දරේ තමයි මට ආයෙත් මතක් වෙන්නෙ. අහල ඇතිනෙ නස්රුදීන් කියල මනුස්සයෙක් ඉඳල තියෙනව. ඒ කාලෙ ඒ මනුස්සය දවසක් මිදුලෙ දණ ගහගෙන මොනවද හොයනව; බිම අතගගා යමක් හොයනව. නැති වෙච්ච දෙයක්. මේ අසලින් යන අහල-පහල වැසියෙක් ඇවිල්ල අහනව “මොනවද නස්රුදීන් හොයන්නෙ?” කියල. ඊට පස්සෙ නස්රුදීන්.කියනව “මගෙ යතුර නැති වුණා නෙ. මම ඒ යතුර හොයනව” කියල. ඉතින් අසල්වැසියත් මෙයාගෙ උදව්වට ඇවිල්ල එයාත් දණ ගහගෙන දැන් අතගගා හොයනව. ඊට පස්ස ඒ අතරතුරේ තවත් අසල්වැසියෙක් ඔතනින් යනව.
දෙන්නෙක්ම බිම දණගහගෙන හොයනව දැක්ක. දැකල අහනව “නස්රුදීන් මොනවද මේ හොයන්නෙ?” කියල. “යතුර නැති වුණා නෙ. මම ඒක හොයනව.” ඊට පස්සෙ අර දෙවැනි පාර ආපු අසල්වැසිය අහනව “කොහෙද ඕක වැටුණෙ?” කියල. එතකොට නස්රුදීන් කියනව “ඒක වැටුණෙ ගේ ඇතුළෙ.” ඊට පස්සෙ අහනව “ඇයි ඉතින් මෙතන හොයන්නෙ?” එතකොට කියනව “නෑ මෙතන තමයි එළිය තියෙන්නෙ” කියල. ඔය කතන්දරේ අහල ඇති වෙනවෙන විදියට. ඔය මම අහපු විදිය. ඉතින් මේ නස්රුදීන්ගෙ ගේ ඇතුළෙයි යතුර වැටුණෙ. එතන අඳුරුයි; හොයන්ට අමාරුයි. ඒත් එළිය තියෙන්නෙ මෙතන හින්ද මිදුලෙ හොයනව.
ඉතින් ඔය වගේ තමයි අපේ මිනිස්සුත්. අද බෞද්ධයො කියන මේ රටේ බොහෝ දෙනා මේ කුණුගොඩ අවුස්සල බලන්ට ඕන. මේ දුක හේතුව, නිරෝධය නැති නම් නිවන, මාර්ගය ඔක්කොම තියෙන්නෙ, මේ චතුරාර්ය සත්‍යයම තියෙන්නෙ මේ බඹයක් තරම් ශරීරය තුළ. අපි දැන් මේකයි අවුස්ස-අවුස්සා බලන්ට ඕන; මේකෙන් මිදෙන්ට නම්, මේකෙන් ගොඩ එන්ට නම්. හැබැයි ඒක අමාරුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන-එක අමාරුයි නෙ. මේක තේරෙන්නෙ නෑ හරි අමාරුයි. ඒ හින්ද යතුර වැටිච්ච තැන ඒක තියෙද්දී වෙන තැනක හොයනව වගේ තමා. ඉතින් මේක කළ යුතු විදිය අත් හැරල පහසු දේ කරනව ඉතින් ගස්-ගල් වැඳ-වැඳ ඉන්නව. ඔය ගස්-ගල් වන්දනාව ආවෙත් ඔය යම් යම් සංකල්ප, දේව සංකල්ප, ප්‍රතිමා වන්දනා, යම් යම් වස්තූන් වන්දනාව, ධාතු වන්දනා, කියන මේව ආවෙ මොකටද? අර වැඩේ අමාරු හින්ද පහසු දේ කරනව. ඉතින් කැමති අය කරපුදෙන්. මොකද? හැමෝටම සම්මා දිට්ඨිය නෑ නෙ. අපි කලබල වෙන්ට ඕන නෑ. අපි දුක් වෙලා අපට කරන්ට පුළුවන් දෙයක් නෑ.
පුළුවන් නම් අපි ඔක්කොම ගොඩ ගන්නව. ඉතින් බුදු හාමුදුරුවන්ටත් බැරි වෙච්ච එක අපිට කරන්ට බෑ නෙ. ඒත් මම මේක දේශනා කළේ මේක තේරුම් ගන්ට පුළුවන් ඉතා ම සීමිත පිරිසක්, අතළොස්සක් මේ රටේ ඉන්නව: තරුණයො, බුද්ධිමතුන්, උගතුන්. අවාසනාවකට ඒ අයට මේ දහම අහන්ට ලැබෙන්නෙ නෑ අද වෙනකොට. මොකද? මේ මගේ අත්දැකීම. මම දන්නව අප ධර්මය හොයාගෙන යද්දී අපිටත් මේ සැබෑ දහම පිරිසිදුව, පැහැදිලිව කියල දෙන්ට පුළුවන් කෙනෙක් හිටියෙ නෑ. අපි අධෛර්යවත් වුණේ නෑ. මොකක්ද අර පූරුවෙ වාසනාවකට පිනක් තිබුණ හින්ද අපි විවිධ විවිධ අයගෙන් කෑලි කෑලි, පොඩ්ඩ පොඩ්ඩ අහුලගෙන ගිහිල්ල යන්තම් මෙන්න මේක තමයි බුද්ධ දේශනාව කියල අවසාන වශයෙන් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්කම ලැබුණ හින්ද මම නිර්භීතවම මේක කියනව.
මොකද මේ වගේ, මම හෙව්ව වගේම අද මේක අද හොයන පිරිසක් විශාල වශයෙන් මේ රටේ ඉන්නව. ඒත් ඔවුන් අද අතරමං වෙලා ඉන්නෙ. ඔවුන්ගේ ඒ ඉල්ලීම නිසා යම් යම් පුද්ගලයො ඉස්සරහට ඇවිල්ල. මෙන්න මේක තමයි දහම් මග කියල විවිධාකාර දේවල් උගන්වන, විවිධාකාර පන්ති පවත්වන, ටියුෂන් පන්ති, දේශන වැනි දේවල් කරගෙන යනව. ඉතින් ඒ හරහා ආයෙත් අතරමං වෙන්නෙ අර බුද්ධිමත්, පින තියෙන කණ්ඩායමමයි. ඒ අයට අනුකම්පාවෙනුයි මම
මේක කියන්නෙ. මොකද? මම මේ දේශනාව කළා කියල, මේ රටේ ඔක්කෝටම මේක ඇහුව කියල ඔය අහන හැමෝටමත් ‘සම්මා දිට්ඨිය’ පහළ වෙන්නෙ නෑ. ‘සම්මා දිට්ඨිය’ පහළ වෙන්ට අවශ්‍ය කරන සාධක තියෙන්න එපායැ? කොච්චර සද්ධර්මය ඇහුවත් අර කියන නුවණ තියෙන්ට ඕනෑ නෙ කල්පනා කරන්ට. අන්න ඒ නුවණ තියෙන සුළු පිරිස වෙනුවෙන් තමයි මම මේ දේශනාව කළේ. කාගෙ හරි හිත රිදුණ නම් මට ඒකට කරන්ට පුළුවන් කිසිම දෙයක් නැහැ. එහෙම චේතනාවක් අපේ නෑ. කාටවත් පහර ගහන්නවත්, රිදවන්නවත් හෙළාදකින්නවත්.
ඒත් අපි මේ සත්‍යය සොයාගෙන යන, දුකට පත් වෙච්ච, යම් තරමක පිනක්, නුවණක් එහෙම නැත් නම් භාවිත සිතක් ඇති, වාසනාවක් ඇති ඉතාම අතළොස්සක්, සීමිත පිරිසක් උදෙසායි මේ දේශනාව කළේ.
මෙයින් ප්‍රයෝජනයක් ගන්නව නම් මේක තමයි කරන්ට පුළුවන් ලොකුම ධර්මපූජාව. මේක තමයි බුද්ධපූජාව. හොඳට මතක තියාගන්ට. මෙන්න මේකයි බුද්ධපූජාව.