දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදුරදුන්ගේ අසිරිමත් පුරිසදම්ම සාරථී ගුණයෙන් දමනය වූ කුලමානය

අනුරාධපුර ශ්‍රී ලංකා
භික්ෂු විශ්ව විද්‍යාලයේ 
සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය 

අලහේනේගම සුමනරතන හිමි

සමාජ පරතරයක් ඇතිකරන, කුලවංශ පරම්පරාවෙන් අඩු පිරිස පහත් කොට සලකන ඇතැම්හු වර්තමානයේ ද ජීවත් වෙති. එහෙත් උගත්කම, ධනවත්කම ආදිය සලකා සමාජ පරතරය නැතිකරමින් වංශ පරම්පරා බැහැරකරමින් පුද්ගලයාගේ යහපත් කල්කිරියාවට පමණක මුල්තැන දී සලකන සමාජ පිරිස් ද නැත්තේ නොවේ. බුදුරජාණන් වහන්සේ සැමවිටම කුලයට, ධන බලයට නොසැලකූ සේක. මිනිසාගේ හැකියාව , විනීතකම, යහපත් ගතිගුණ, සටකපටවලින් තොරවීම ඉතා උසස් කොට සැලකූහ. උන්වහන්සේ සැමවිටම සැමදෙනාටම ගරුකරමින් සමානාත්මතාවය අගය කළහ.
පොළොන්නරු යුගයේ රචනා වූ අමාවතුර ගද්‍ය කාව්‍ය තුළින් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණය ඔස්සේ උන්වහන්සේ බෝසත් කාලයේ සැඬොල් කුලයක මාතංග පණ්ඩිත නම්න් ඉපිද බරණැස් නුවර හතළිස් කෝටියක් ධනය ඇති කුල මානයෙන් ඉදිමී සිටි දිට්ටමංගලිකාවගේ පියාණන් වූ සිටුවරයා ඇතුලු පිරිසක් ද බ්‍රාහ්මණයන් පිරිසක් ද ජාතිමන්ත තවුසා ඇතුලු පිරිසක් ද, දමනය කළ ආකාරය ගුරුළුගෝමී නම් ,පඬිවරයා දක්වා ඇත්තේ සම්‍යක් දෘෂ්ටික සැදැහැතියන්ගේ බුද්ධ ගෞරවය , ආගමික ශ්‍රද්ධාව ඔප්නැංවෙන ආකාරයට ය. දිට්ටමංගලිකාව වනාහි කුලයෙන් උසස් යැයි හඳුන්වාගත් බරණැස් නුවර ධනවත් උසස් සිටුවරයකුගේ රූප සම්පත්තියෙන් අනූන දුටුවන් වශීකරවන එකම දියණියයි. ඇය කුල සම්පත්තියෙන් ද යුක්ත වූවා ය. ඈ වෙත පැමිණෙන පුරුෂයන්ගේ නොයෙක් දොස් දක්වා ප්‍රතික්ෂේප කිරීම ද කළාය. යහවත පැහැපත රෑපත හො රෑපසම්පත්තියෙන් කුල සම්පත්තියෙන් භෝග සම්පත්තියෙන් සම්පන්න වන බැවින් බොහෝ දෙනා විසින් පතන ලදුව යමෙක් යමෙක් ඇය කැමැති වී ද ඔහු ඔහු දැක ජන්මයෙන් හෝ අත් පා ආදියැ හෝ දොස් දක්වා උහු කෙරෙහි කවුරු වෙසෙති. ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ පහත් යැයි සැලකූ සැඬොල් කුලයේ මාතංග නමින් උපන් හ. දිනක් සැඬොල් බව ද ප්‍රකට කරවමින් ඇතුලු නුවරට පැමිණිය හ. එවිට දිට්ට මංගලිකාව ගංගාවක් වෙත දියකෙළියට යන අතර තිරරෙද්ද අතරින් මාතංග දුටුවා ය. කුලමානයෙන් මත්වූ දිට්ට මංගලිකාව ඉදිරියෙන් එන සැඬොල් මාතංග බලා පෙර කළ අකුසලයකින් එවන් දර්ශනයක් දුටුබව ප්‍රකාශ කරමින් මුහුණ සේදීමට ජලය ගෙනෙන ලෙස සේවකයන්ට දන්වා ආපසු හැරී මාලිගාවටම ගියා ය. අමාවතුර කතුවරයා කුල භේදයේ තරම අතිශය තීව්‍ර ආකාරය පෙන්වීමට දිට්ට මංගලිකාවගේ වචනයෙන්ම දක්වා තිබේ. ඔහු දුරින් එන්නහු දැක මේ කවරු යි පිළිවිසැ සැඬලක යනු අසා ඇපි කිනම් , අකුසලයක් කළම්හ. හෝ මේ කවර පාපයක්හුගේ විපාකය හෝ මා නස්නා කලෙක් වන්නේ වෙයි පිරිසිදුවන්නට යන්නෙමි සැඬක්හු දිටිමියි සිවුරු වෙවුල්වා ගරහා කෙළ පියා දැස්නට එනකල්හි වහා දිය ගෙනවැ සැඬලක්හු දුටු ඇස දු ,නම් කී මුවය දු දෙවිය මැනැවැයි දෙ වැ රථය නවතාගෙනැ හැම දෑ ගෙට දී යවා ගොස් ජනයට නැංගහ.පිරිවර ජනයෝද මාතංග පණ්ඩිතයා ළගට ගොස් අතින් පයින් තලා මැරුණේ යැයි සිතා කසළ ගොඩට දමා යන්නට ගියහ. පණ්ඩිතයා එවිට දිට්ටමංගලිකාව විවාහ කරගනිමි සිතා එතැනින් නොනැගිට ඇය නොලැබුණොත් එතැනම මිය යමි අනතුරුව මේ සිදුවීම දුටු අනෙක් පිරිවර මිනිස්සු සැඬොල් පණ්ඩිතයා බිම වැතිරී සිටි බව ප්‍රකාශ කළහ. දිට්්ට මංගලිකාවගේ පියා වු සිටුවරයාට දැන් වූහ. චණ්ඩාලයා එතැනම මළොත් සිටුපවුලට අයත් සැම දෙනාම චණ්ඩාල වන බව ප්‍රකාශ කළ සිටුවරයා මසුරමත්, කහවනුවත්, සේවකයන් අත යවා වුවද, මාතංගව යවා ගත නොහැකි විය. මාතංග ද දුවණිය ලද හොත් මිස නොනැගිටිමි යැ බිම වැතිරී සිතා සිටියේ ය. එයින් පසු කහවනු සියයක්, දාහක්, ලක්ෂයක් ගෙවීමට පොරොන්දුවී පවා මාතංග ඉවත් කරවා ගත නොහැකි විය . අන්තිමට බැරිමතැන කුලය ආරක්ෂා කරගැනීම සඳහා මාතංගට දිට්ටමංගලිකාව සරණපාවා දුන්හ. එම අවස්ථාවේ සැඬොලා සමඟ විවාහ වු දිට්ට මංගලිකාව සිවුමැලි තැනැත්තියක වුවද, පිරිස විසින් තළා පෙලා දැමූ මිනිහා රැගෙන යාමට උත්සාහ කළා ය. අන්තිමට දිට්ටමංගලිකාව තම ස්වාමියා වූ මාතංග කරපිට තබාගෙන පිටිනුවර සැඬොල්ගමට ගියා ය. හත්දිනක් මාතංග ඇය සමඟ එකට වාසය කළත්, ඇගේ කන්‍යාභාවය නොසිඳ කෙසේ හෝ ඇයට උපකාර කරමියි සිතා වනයට ගොස් දින හතක් ඇතුළත අෂ්ට සමාපත්ති උපදවාගෙන යළිත් ඇය ඉදිරියේ පෙනී සිටියේ ය. දිට්ටමංගලිකාව මුළු නුවර රජවරුන්ගේ පූජාවට පාත්‍ර කරන්නෙමි සිතා ඇඟිල්ලෙන් නැබ පිරිමැද දරුවෙකු ලබාදීමටද අවස්ථාව සැලසී ය. තමාගේ සැමියා මහා බ්‍රහ්මයා බවත්, මතු දින හතක් අවසානයේ සඳමඬල පලාගෙන මෙලොවට එන බවත්, ප්‍රචාරය කිරීමට කියා ජනයාට පෙනෙන සේ ප්‍රාතිහාර්යයකින් මාතංග පණ්ඩිතයා සඳමඬලතුළට ගියේ ය.
ටික කලකින් දිට්ඨ මංගලිකා මණ්ඩව්‍ය නමින් කුමාරයෙකු ප්‍රසූත කළාය. මිථ්‍යා දෘෂ්ටික බමුණෝ ඔහුට නම් තබා ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූහ. ඔහු මිසදිටු දහමේ එල්බ ගනිමින් නිතර අසූදහසක් බමුණන්ට හකුරු මිශ්‍ර කිරිබත්ම දන් දුන්හ. දිනක් මාතංග පණ්ඩිතයා නම් තවුසා සිවුරු හැඳි අඹුව හා දරුවා බැලිමට පැමිණි විට අසූදහසක් මිසදිටු බමුණන්ට පුත්‍රයා දන්දෙනු දිටී ය. මිසදිටුවනට දන්දීම සුදුසු නොවන බවත්, සිල්වත් අයට පමණක් දන්දීම සුදුසු බවත් මණ්ඩව්‍ය කුමාරයාට ප්‍රකාශ කළ ද , ඒවා පිළිනොගත්තේය.
මෛත්‍රි කරුණා ඇති අයට දන්දීම සුදුසු බවට ප්‍රකාශ කළත්, ඒවා ද පිළිනොගත්තේ ය. තරහ ගිය මණ්ඩව්‍ය කුමාරයා තවුසාට බැණ වැදී කසළගොඩක සිට ආ ප්‍රේතයෙකු සේ සලකා සේවකයන් ලවා තවුසාව එලවූහ. පිඬුසිඟා වැඩි මාතංග තවුසා එම සිද්ධිය දිට්ට මංගලිකාවට පෙන්වා දෙමියි ඉටා ගත්හ. තවුසාට සිදුවූ අසාධාරණය, නුවර රැකවල්හි සිටි දෙවියන්ට පෙනී කුමාරයාගේත් එතන සිටි පිරිසගේත් ගෙල පිටි අතට හරවා අකරතැබ්බයකටම පත් කළහ. දිට්ටමංගලිකාවට මෙම කරදරයකටම දැනෙන්ට ලැබුණ අතර මෙය මාතංග ස්වාමියාගේ බලයක් විය හැකි බැව් සිතුවාය. අසල දන් වළදමින් සිටි පණ්ඩිතයාට වැඳ සිටි දිට්ඨ මංගලිකාව තම පුතාට සිදුවී ඇති කරදරය ද කියා සිටියා ය. මේ පුවත ගැන කල්පනා කළ තවුසා තමා වැළදූ ඉඳුල් වතුරෙන් පුත්‍රයාගේ හා පිරිසගේ මුව දොවන ලෙස දැන්වී ය. අනතුරුව තවුසා හිමාලයටම ගියේ ය. දිට්ඨමංගලිකාව පුතාගේ සහ අනෙක් පිරිසගේ මුව ඉඳුල් වතුරෙන් සේදුවාය. සැඬොල් කුලයේ ඉඳුල්වලින් බමුණාගේ මුව දෙවුහයි යන පුවත නුවර පුරාම ප්‍රසිද්ධ විය. කරදරයට පත් බමුණෝ බමුණු බවින් මිදී සාමාන්‍ය ජනයා සේ ජීවත් වූහ. ඔවුන්ගේ කුල මානය බිඳී ගියහ. බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලයේ ආශ්චර්යයක මහත. මේ බව ඔබත් දැන කුලභේදය නොසැලකීම සඳහා කරුණු වටහාගන්න.

අභිධර්මය තථාගත දේශනාවට පටහැනි ද

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය, 
රාජකීය පණ්ඩිත මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි


අභිධර්මය බුද්ධ දේශනාවක් ද නැද්ද, එය තථාගත දේශනාවට එකඟ ද යන ප්‍රශ්නය වර්තමානයේ ඇතැම් ධර්ම විවේචකයන් ඉදිරියේ ඇති ගැටලුවකි. මෙබඳු මතයක් දරණ අය සඳහා මුලින්ම සිහිපත් කළයුතු කරුණ වන්නේ බුදුරජාණන් වහන්සේ මනඞකල්පිතව අදහස් ප්‍රකාශ කරන ආකාරයේ කෙනෙකු නොවූ බව ය.
උන්වහන්සේට අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලයම මැනවින් විනිවිද දැකීමේ හැකියාවක් තිබුණි. එබැවින් ම තම ධර්මයේ අනාගත පැවැත්ම සඳහා උන්වහන්සේ විසින් යම් යම් වැඩ පිළිවෙළවල් යොදා තිබුණු බව උන්වහන්සේගේ සූත්‍ර දේශනා තුළින්ම පැහැදිලි වේ.
තම ශ්‍රාවකයන්ට ඉතා සුහදශීලී ලෙස දෙසතියකට වරක් ඒකරාශී වී ධර්මය හා විනය සජ්ඣායනා කිරීමට නියම කොට තිබීම ඉන් එක් කරුණකි. එසේම ඒ ඒ ධර්ම කොටස් පිළිබඳ විශේෂඥතාවක් දැක්වූ භික්ෂූන් හඳුනාගෙන තත් විෂයය සම්බන්ධයෙන් අග තනතුරු ප්‍රදානය කොට ඒවා සුරක්ෂිත කිරීමේ වගකීමක් ද පවරා තිබීම තවත් කරුණකි.
මෙබඳු විධිමත් තීන්දු තීරණ රාශියක් බුදුරදුන් ධරමාන සමයේ ම ක්‍රියාත්මක වෙමින් පැවතුණි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසන භාරධාරී රහත් මහතෙරුන් වහා ඒකරාශී වී ධර්මය හා විනය පවත්වාගෙන යාම සඳහා සැරියුත්, අනුරුද්ධ, ආනන්ද ආදී මහතෙරුන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවට පැවරීමක් සිදු කළ බව ද ප්‍රකට ය. එසේම අප දන්නා පරිදිම බුදුරදුන් විසින් දෙසූ ධර්මය පවත්වාගෙන යාමේ කාර්යභාරය කවදත් භික්ෂූන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරන ලද්දකි. ධර්මයට විනයට යම් හානියක් සිදුවේ යැයි හැඟුණු සෑම අවස්ථාවක දී ම ශාසන භාරධාරී භික්ෂූහු එකමුතුව වහා රැස්වී ඊට අවශ්‍ය නිසි පිළියම් යෙදූහ.
බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනක දී පළමු සංගායනාවත්, වර්ෂ 100කින් දෙවන සංගායනාවත්, ඉන් වර්ෂ 136කින් තෙවන සංගායනාවත් පැවැත්වූයේ මේ නිසා ය. එපමණක් නොව බැමිණිටියා නියං සාය පැවති කාලයේ දී දිවි පරදුවට තබා ධර්මය වෙනස් නොකොට රැක ගැනීම, දෙවනපෑතිස් රජ සමයෙහි ලංකාවේ මහාවිහාර භූමියේ දී දස දහසක් භික්ෂූන්ගේ සහභාගිත්වයෙන් සිවුවන සංගායනාවත්, වළගම්බා රජ සමයේ දී ධර්මය ලේඛනගත කිරීමෙන් පස්වන සංගායනාවත් බුරුමයේ දී සයවන සංගායනාවත්, පවත්වන ලද්දේ පාරිශුද්ධ ධර්මයේ සුරක්ෂිතභාවය සඳහා ය. අනෙක් අතින් තෙවන සංගීතිය වන විට අභිධර්මය ද ඇතුළත් ත්‍රිපිටකය මැනවින් සකස් කොට පරිසමාප්තියට පත් කරවන ලද්දේ රහතුන් වහන්සේ ලා විසිනි.
මෙම සංගීතිවලට සහභාගී වූ භික්ෂූන්ගේ ඒකමතික නිගමනය වූයේ අපි බුදුරදුන් නොවදාළ දෙයක් ත්‍රිපිටකයට ඇතුළත් නො කරමු, වදාළ දෙය ආරක්ෂා කරමු යන්නයි. මෙබඳු පැහැදිලි හා ස්ථිරසාර කැපවීමකින් ලක්ෂ සංඛ්‍යාත උත්තම පුරුෂයන් විසින් සුරක්ෂිත කරන ලද දහම දූෂිත වී ඇතැයි ඇතැමුන් පවසන්නේ කවර කරුණක් නිසාද යන්න දූරද්ර්ශීව සිතිය යුතු කරුණකි. බුදුන් වහන්සේ විසින් වරින්වර දේශනා කරන ලද ධර්මයේ සම්මුති දේශනා බහුල ය.
එකී සම්මුති දේශනා අතර උන්වහන්සේ විසින් පවත්වන ලද පරමාර්ථ දේශනා ද අන්තර්ගත වේ. සම්මුති දේශනා ගණයට වැටෙන සූත්‍රවල ධර්මය සරලව පැවසීමට අවශ්‍ය ගහ, කොළ, පර්වත, ස්ත්‍රී පුරූෂාදීන් පිළිබඳ කරුණු ද කතාවස්තු ද අන්තර්ගත වේ. එහෙත් අභිධර්මයට අයත් පරමාර්ථ දේශනා එලෙස දෙවියන් නාගයන් බ්‍රහ්මයන් ආදීන් ගැන හෝ වෙනත් කතාන්තර ආදිය හෝ නොමැත.
අනෙක් අතින් අභිධර්ම දේශනාවල භාවිත වන භාෂාව පමණක් නොව වචන පවා වඩාත් සුවිශේෂී ගැඹුරු අරුතක් සහිතව යොදන ලද ඒවා ය. තවත් විධියකින් කිවහොත් කර්තෘකාරක කර්මකාරක වාක්‍ය පවා භාවිත නොකරන නිෂ්පුද්ගල අකර්තෘක භාවසාධන ශෛලියකින් දේශනා කරන ලද ඒවා ය. වෙනත් විධියකින් කිවහොත් අභිධර්ම පිටකයේ යෙදෙන භාෂාවේ දක්නට ලැබෙනුයේ පුද්ගලයෙක් හෝ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවක් ගැන අදහස් නොවන ක්‍රියා මාත්‍රය පමණක් ප්‍රකාශ වන භාවකාරක වාක්‍ය පමණකි.
මේ නිසා අභිධර්මය තේරුම් ගැනීමට ධර්මය මෙන්ම එහි භාවිත භාෂාව ද තර්ක ක්‍රමය ද මැනවින් දත යුතු ය. කුමක් නිසා ද, යත් එය දාර්ශනික විවරණයක් වන හෙයිනි. පරමාර්ථ දේශනා පිළිබඳ අවබෝධයක් නොමැතිව සම්මුති දේශනා විස්තර කිරීමට යාමේ දී ගැටලු පැන නැගේ. මෙම හේතුව නිසා මෙකල මෙන් එකල ද අර්බුද ඇතිවිණ.
එකී අර්බුද පදනම් කොට දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට සිදුවූ අතර, ඊට විකල්පයක් වශයෙන් තෙවන සංගායනාව වන විට බුද්ධ දේශනා ආශ්‍රයෙන් ම අභිධර්මය පිටකයක් වශයෙන් වෙනම දැක්වීමට රහත් මහතෙරවරුන් විසින් තීරණය කරන ලදී. බුදුරදුන් ධරමාන සමයේ දී ම මෙකී විශේෂිත ධර්ම කොට්ඨාසය ආරක්ෂා කිරීම සඳහා සැරියුත් ආදී මහරහතුන් විසින් සුවිශේෂී කැප කිරීමක් කරන ලදී. බුද්ධඝෝෂ හිමියන් මේ බව අභිධම්මො නාම සාරිපුත්තත්ථෙරප්පභවො යනුවෙන් ඍජුවම ප්‍රකාශ කොට ඇත.
සුපිරිසුදු ථේරවාදී මතය අභිධර්මය බුද්ධදේශනාවක් ම වන බවයි. කුමක් නිසාද යත්, ධර්මය පිළිබඳ මනා අවබෝධයකින් එය විස්තර කළ හැකිවන්නේ අභිධර්මය දන්නා අයට පමණක් වන හෙයිනි.
මෙම විෂයය දන්නා පුද්ගලයන්ට අභිධර්මය යනු විස්මිත දාර්ශනික විග්‍රහයකි. ථේරවාද මහායාන සම්ප්‍රදාය දෙකම පැතිර ගිය රටවල කුශාග්‍ර බුද්ධිමතුන් මෙහි වැදගත්කම සිය දහස් ගණනක් සිය පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ වුවද මහා පරාක්‍රමබාහු වැනි නරපතීන්ට මේ පිළිබඳව ගැඹුරු දැනුමක් තිබූ බව ඔහු විසින් ලියන ලද විශුද්ධිමාර්ග සන්නය වැනි කෘතියකින් තේරුම් ගත හැකි ය. එපමණක් නොව අභිධර්මය හදාරන හා දේශනා කරන භික්ෂූන්ට පැරණි ලංකාවේ විශේෂ දීමනා ලබා දුන් බව ශිලා ලේඛනවල පවා සඳහන් වේ. ක්‍රි. ව. 10 සියවස දී සිවුවන මිහිඳු රජතුමා ලංකාව පාලනය කරන අවධියේ දී ඔහු විසින් සූත්‍රාන්ත දේශනා කරන භික්ෂූන් වහන්සේ නමකට ප්‍රත්‍යය කොටස් හතක් දියයුතු යැයි සඳහන්කර තිබූ අතර අභිධර්මය දේශනා කරන භික්ෂුවකට කොටස් දොළහක් දියයුතු බව නියම කොට තිබුණි.
ධර්මය තේරුම් ගැනීමට මෙහි ඇති අදාළත්වය හේතුවෙන් මෙබඳු මහත් පරිශ්‍රමයකින් සුරක්ෂිත කරන ලද ඉතිහාසයක් අභිධර්මය සතුව ඇත. බෞද්ධ මූලාශ්‍රයවල සඳහන් වන පරිදි බුදුරදුන් මුලින්ම අභිධර්මය දේශනා කරන ලද්දේ මාතෘ දිව්‍ය රාජයාට ය. එය මිනිස් ලොව දී මාතෘකා වශයෙන් දේශනා කරන ලද්දකි. එය විස්තර කරන ලද්දේ මහරහත් ශ්‍රාවකයන් වහන්සේලා විසිනි. ධම්මසංගණී හෝ විභංගප්‍රකරණය වැනි අභිධර්ම කෘතියක් ගෙන විමසූ විට අභිධර්මයේ සැකැස්ම දැකගත හැකි ය.
එම කෘතිවල ධර්මය විවරණය කෙරෙනුයේ පියවර තුනක් යටතේ ය. ඉන් පළමුවැන්න සූත්‍රය ගෙනහැර දැක්වීමයි. ඒ අනුව මුලින්ම පෙන්වා දෙන්නේ අදාළ කරුණ සම්බන්ධයෙන් තථාගත දේශනාවයි. නිදසුනක් ලෙස පඤ්චස්කන්ධය පිළිබඳව සාකච්ඡා කෙරේ නම් මුලින්ම දක්වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ආකාරය සූත්‍ර ආශ්‍රයෙන් ගෙනහැර දැක්වීමයි. දෙවැනියට අභිධම්ම භාජනීය නය යටතේ අභිධර්ම විග්‍රහය ඉදිරිපත් කෙරේ. තුන් වැන්න පඤ්හපුච්ඡක නය නමින් දක්වා ප්‍රශ්නෝත්තර ක්‍රමය දක්වයි. මේ අනුව අභිධර්මයේ බුද්ධ භාෂිතත්වයට යමෙක් විරුද්ධ වේ නම්, ඔහු විසින් එහි මුලින්ම දැක්වෙන සුත්තන්ත භාජනීය නය යටතේ දැක්වෙන බුද්ධ දේශනාවට ද විරුද්ධ, එම බුද්ධ දේශනාව නො පිළිගන්නෙක් වේ.
ශ්‍රී ලංකාවේ භික්ෂු අධ්‍යාපනයේ අභිධර්මය ඉගෙනීම කෙරෙහි මහත් සැලකිල්ලක් තිබුණු බව අපි දනිමු. මෙම විෂය මැනවින් හදාළ භික්ෂූහු එකී ඉගැන්වීම් බුරුමය වැනි රටවලට ගොස් වැඩිදුරටත් ප්‍රගුණ කළහ. අපවත් වී වදාළ රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ සහ නාඋයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ වැනි යතිවරු මෙයට නිදසුන් ය. යෝගාවචරයන් වශයෙන් උන්වහන්සේලා භාවනා කිරීමට එහි ඇති අදාළත්වය වෙසෙසින් හඳුනා ගත්හ.
එසේම ධර්ම විවරණයෙහිලා ද එහි අදාළත්වය ශ්‍රී ලාංකික උගතුන් විසින් ලෝකයට පෙන්වා දී ඇත. එහෙත් අභිධර්මය මෙලෙස ගැඹුරින් හැදෑරීම මෑත අතීතයේ දී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් ගිලිහී යාමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානශ්‍රී ලංකාවේ අභිධර්ම උගතුන්ගේ අඩුව අතැඟිලි පමණට සීමාවිය.
එහි භයානකම ම ප්‍රතිඵලය වූයේ කිසිදු ධර්මයක් නොදත් ඔල්මාදකාරයන් පවා මෙය තථාගත දේශනාවට පටහැනි මෙන්ම වනසා දැමිය යුතු ඉගැන්වීම් සමුදායක් ලෙස හුවා දැක්වීමට පෙළඹීමයි. සාමාන්‍ය දැනුමක් සහිත බෞද්ධයන් පවා නොමඟට හැරවීමට තරම් එය ප්‍රබල සංසිද්ධියක් වේ. මෙබඳු පසුබිමක් යටතේ ථේරවාද සම්ප්‍රදාය විසින් උත්තම ධර්මය, ගැඹුරු ධර්මය, විශිෂ්ට ධර්මය යනාදී නම්වලින් හැඳුන්වන ලද අභිධර්මයෙන් තොරව බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාදය හා සබැඳී (සූවිසි) හේතු ප්‍රත්‍යය ආදී ධර්ම හැදෑරීම සාකල්‍යයෙන්ම අසම්පූර්ණ වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අර්ථවත් කරගත යුතු මිනිසත් බව

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ජීවිතයට සැබෑවට ම යහපත ඇති කරදෙන සාරවත් දේ, අර්ථවත් දේ තෝරා බේරා ගැනීමේ හැකියාව, දක්ෂතාවය මෙලොව බොහෝ දෙනකුට නැතිතරම්. එනිසාම ලොව බොහෝ දෙනෙක් මිථ්‍යා සංකල්පනාවේ යෙදෙනවා. සිත ඇදී යන නොයෙක් කාම අරමුණු ගැන සිතනවා. සිතෙහි ඇතිවන තරහව තව තවත් පෝෂණය කරනවා. අනුන්ගේ දෙයට ආශා කරනවා. අනුන්ට හිංසා පීඩා කරන ආකාරය ගැන සිතමින් ජීවිතාර්ථයෙන් ඈතට යන බව පෙනෙන්නට තිබෙනවා. මේ මිථ්‍යා සංකල්පනාවේ එල්බ සිටින තාක් ජීවිතයට යහපත උපදවන හරවත් දේ කරා ඔවුන්ට යාමට පුළුවන්කමක් නැහැ.
පෙර සසරේ කළ මහා පිනක විපාකයක් නිසයි ඉතාමත් සුළු කලකට අප මේ මිනිස් ලොවට පැමිණ තිබෙන්නේ. ඉතාම දුර්ලභව ලද මිනිස් දිවිය අර්ථවත් යැයි සිතමින් අප කොතරම් දේ සිදු කරනවාද?

ඔබ මොහොතක් සිතුවාද? අපට පෙර මේ මනුලොව සිටි බොහෝ දෙනා භෞතික දේ වෙනුවෙන් අද අප ගන්නා වෙහෙස ම කැපවී ම ම සිදුකළා. අවසානයේ ඔවුන් උගත්කම්, තානාන්තර, නම්බුනාම ගේදොර, ඉඩකඩම් ආදී සියල්ල තබා හිස් අතින් ම මිය පරලොව ගියා. දිවා රෑ වෙහෙස වී ඉපයූ කිසිවකින් පරලොවට යහපතක් වූයේ නැහැ. ඉතින් වත්මන් ලෝකයේ සිටින අපමණ වෙහෙසෙන අපගේ අනාගතයත් මෙයම නොවේද? අප මේ සොයන දේහි සැබෑ හරය කුමක්ද? මෙලොව, පරලොව දෙකම සැපවත් කරන මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේදී ලැබිය හැකි සැබෑම හරය, වටිනාකම පිළිබඳව මෙයට වඩා දැනුවත් විය යුතුව ඇත. ජීවිතයට උදාකරගත හැකි උත්තම හරය, අරටුව, සාරය සාක්ෂාත් කොට දේශනා කළ අපගේ අසහාය ශාස්තෘන් වහන්සේ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයට වඩා දෙයක් මෙලොව හෝ, පරලොව දී මුණ ගැසෙන්නේ නැහැ. ඒ ගැන “අග්ගඥ්ඥ” සූත්‍රයේ මේ ආකාරයට සඳහන් වෙනවා. “ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේ ච” වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත් පරලොවෙහිත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.
එනිසා තථාගත ශ්‍රී සද්ධර්මය තුළින් ජීවිතයකට උදා කරගත හැකි උතුම් ම අර්ථය නම් අමා මහ නිවනයි. ඒ වනාහි පරම සැපයයි. ඒ කරා යන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය තථාගත ශ්‍රී සද්ධර්මයෙහි දී “සෝත” යන නමින්ද හඳුන්වනවා. “සෝත” යන්නෙහි අර්ථය සැඩපහර යන්නයි. සැඩපහරකට හසු වූ කෙනෙක් මුහුද කරාම ගසාගෙන යෑම එහි ස්වභාවයයි. ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි කෙනක් අමා මහ නිවන නම් වූ සාරය කරාම ඇදීියන බැවින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් අමා මහා නිවනින් කෙළවර වන සැඩ පහර යන අර්ථයෙන් “සෝත” ලෙස හඳුන්වනවා. බුද්ධ ශාසනය තුළ දී යමෙකුට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කරා පැමිණිය හැකිනම් ඔහු සැඩපහරට පැමිණි කෙනා යන අර්ථයෙන් සෝතාපන්න පුද්ගලයා හඳුන්වනවා.
මේ ජීවිතයේ සාරය කරා යාමට යමෙක් අපේක්ෂා කරත් නම්, ඔහු කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමයි. එනම් සෝතාපන්න වීමයි. සෝතාපන්න වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා සදහටම සතර අපායෙන් මිදුණ කෙනෙක්. නියත වශයෙන්ම භව සතක් ඇතුළත අමා නිවන පසක් කර ගන්නෙක්. ඒ අමා නිවන පිහිට කොට ඇති සෝතාපන්න ශ්‍රාවකයා තුළ ඒකාන්ත වශයෙන්ම ධර්මයන් සතරක් පිහිටයි.ඒවානම්,
1. ඔහු බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් හැඳින නිසැක බවට පත්ව, නොසෙල්වන ප්‍රසාදයකින් යුක්ත වේ.
2. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උතුම් ශී‍්‍ර සද්ධර්මය ගැන ගුණ වශයෙන් හැඳින නිසැක බවට පත්ව නො සෙල්වෙන පැහැදීමකින් යුක්ත වේ.
3. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක වූ උතුම් රහතන් වහන්සේ ප්‍රමුඛ මාර්ගඵලලාභී ආර්ය මහා සංඝරත්නය ගැන ගුණ වශයෙන් හැඳින නිසැක බවට පත්ව නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වේ.
4. නොකැඩුණු, සිදුරු නොමැති, පැල්ලම් නැති, තෘෂ්ණාවට දාස නොවූ, නැණවතුන් විසින් පසසන, බාහිර දෘෂ්ඨි ආදියට ගැති නොවූ සමාධිය පිණිස පවතින ආර්යකාන්ත සීලයකින් යුක්ත වේ.
මේ උතුම් සතර ධර්මයන්ගේ වටිනාකම ගැන අප ගෘස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් සතර මහා දිවයිනට ම අධිපති බවක් ඇද්ද, මේ උතුම් සතර ධර්මයන්ගේ ලැබීමක් ඇද්ද, සතර මහා දිවයින් ම අධිපති බව ලැබීම, සතර ධර්මයන් ලැබීම හා සසඳා බලද්දී සෙළොස් කලාවෙන් එක් කලාවක් එනම් දාසයෙන් පංගුවක් තරම්වත් එය නො වටින්නේය. (රාජ සූත්‍රය - සංයුක්ත නිකාය)
දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් මෙසේ අසා වදාළා. “පින්වත් මහණෙනි, පුරුෂයෙක් මහා සාගරයෙන් ජල බිංදු දෙක තුනක් උඩට ගත්තා කියා හිතමු. ඉතින්, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? වඩාත් වැඩි මොනවාද? සාගර දියෙන් උඩට ගත් ජල බිංදු දෙක තුනද? මහ සයුරේ දිය කඳද?” ඒ වෙලාවේ දී භික්ෂූන් වහන්සේ කියා සිටිනවා “ස්වාමීනි, මහ සයුරේ දියමයි වැඩි. උඩට ගත් ජල බිංදු දෙක තුන නම් ඉතාමත්ම ස්වල්පයයි. මහ සයුරේ දිය කඳ සමඟ උඩට ගත් ජල බිංදු දෙක තුන සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බැහැ. දහස්වන කලාවටත් සසඳන්න බැහැ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බැහැ”.
එවෙලෙහි භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සලසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභය අතිවිශාල යහපතක් සලසා දෙනවා, ඔය ආකාරයට චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ අවසන් කළ දුක ඉතාමත්ම වැඩියි. ඔහුට විඳින්නට ඉතිරි වී ඇති දුක නම් ඉතාමත්ම ස්වල්පයකි. ගෙවී ගිය අවසන් කළ ඒ පළමු දුක හා ආත්ම භාව හතක් උපරිම කොට උපත ලැබීම සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බැහැ. දහස්වන කලාවටත් සසඳන්න බැහැ, ලක්ෂයේ කලාවටත් සසඳන්න බැහැ. (සමුද්ද සූත්‍රය - සංයුක්ත නිකාය 2)
එසේ නම් ඔබට පෙනෙනවා ඇති සෝතාපන්න වීම තුළින් ජීවිතයට කොයිතරම් නම් අර්ථයක් ලැබෙනවාද කියලා.
පථව්‍යා ඒකරජ්ජේන - සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන -සෝතාපත්තිඵලං වරං

(මුළු පෘථිවියම ජයගෙන, චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා සකල ලෝකයටම අධිපති වෙනවාටත් වඩා සෝවාන් ඵලයට පත්වීමම උතුම්) (ධම්මපදය - ලෝක වර්ගය)
මෙබඳු වටිනාකමක් අප මේ ලෝකයේ මහත් සේ වෙහෙස වී සොයන අන් කිසිවෙකින්වත් නොලැබෙයි. එනිසා බුද්ධිමත් වීර්යවන්ත කෙනෙක් මහත් කැපවී අත්පත් කර ගත යුතු දේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීමයි. ඒ තුළින් ලැබෙන රැකවරණය මෙතැකයි වචනයෙන් කිව නොහැකි තරම්.
ඒ නිසා දුර්ලභ පුණ්‍ය විපාකයකින් ලද මනුෂ්‍ය ජීවිතයෙන් සැබෑම අර්ථය, හරය, රැකවරණය උදා කරගන්නට අප සැම අදිටන් කර ගත යුතු වෙයි.

සිත රැක ගැනීම මැනවි


බිබිල යල්කුඹුර මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ 
පරිවෙණාධිපති, රාජකීය පණ්‌ඩිත 
පදියතලාවේ ඤාණවිමල හිමි 

සුදුද්දසං සුනිපුනං
යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්‌ෙඛ්ථ මේධාවි
චිත්තං ගුත්තං සුඛාවහං

''රැකීමට අපහසු නිතර විවිධ අරමුණුවල වැටෙන සිතක්‌ යම් පණ්‌ඩිතයෙකු විසින් රකිනු ලබන්නේ ද ඔහු සැපයට පැමිණේ.''

සිතෙහි ස්‌වභාවය පෙන්වා දෙමින් එය ආරක්‌ෂා කිරීමේ, රැකගැනීමේ ඇති වැදගත්කම උලුප්වා දක්‌වන ගාථාවකි ඉහතින් දැක්‌වෙන්නේ. සම්බුදු හිමියන් සැවැත්නුවර වැඩ වාසය කරන කාලයේ දී එක්‌ අවස්‌ථාවක්‌ මුල් කරගෙන මෙම ගාථා ධර්මය දේශනා කොට වඳාළ සේක. 

සැවැත්නුවර සම්බුදු හිමියන් දිවිගෙවන කල්හි එක්‌තරා කුමාරයෙක්‌ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගෙන දැහැමි දිවියක්‌ ගත කරයි. සිල්වත් භික්‌ෂුන් ද ආශ්‍රය කරයි. සසර පිළිබඳ කලකිරුණු ඔහු සංසාර ගමන කෙළවර කරගැනීම සඳහා සුදුසු මාර්ගය පෙන්වා දෙන ලෙස එක්‌තරා සිල්වත් භික්‌ෂුන් වහන්සේ නමකගෙන් අයෑද සිටියේය. උන්වහන්සේ ලෝකෝත්තර විමුක්‌තිය සඳහා හේතුවන කරුණු රැසක්‌ දේශනා කළ අතර ඒවා හිස්‌ මුදුනින් පිළිගත් ඔහු නිරන්තරයෙන් භික්‌ෂු සංඝයාට දන්පිළිගැන්වීම්, සිල් රැකීමේ ආදිය කරමින් මනාව පින්දහම් කරගත්තේය. මෙකී දේවල් සිදුකළත් සංසාර ගමනින් එතෙර වීම සඳහා ප්‍රමාණවත් නොවන බව දැනගත් ඔහු මේ බව තම කුළුපග භික්‌ෂුන් වහන්සේලා හමුවේ ප්‍රකාශ කර සිටියේය. උන්වහන්සේ 'ඔහුට පැවිදි වන ලෙස්‌ කියා සිටිසේක. එම තරුණයා ද උන්වහන්සේගේ වදන් කනට වැකීමක්‌ සමග ඉමහත් සන්තෝෂයට පත් විය. 

ඔහු පැවිදි වීමේ දී ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා වූයේ ධර්මධර සහ විනය ධර හිමිවරුන් දෙදෙනෙකි. උන්වහන්සේලා නවක පැවිද්ද ලද මෙම තරුණ භික්‌ෂුන් වහන්සේට ධර්මවිනය ඉගැන්වු අතර සංසාර ගමන කෙළවර කර ගැනීමේ මාර්ගය පෙන්වා දීමට වෙහෙස වූයේ නැත. තමා මෙතෙක්‌ සෙවූ සත්‍ය මාර්ගය, නිවන් මාර්ගය සඳහා වූ මාවත දොරගුළු වැටී ඇති බව අවබෝධ කරගත් උන්වහන්සේ එම ස්‌ථානයෙන් මිදී ගිහිව සිල් රකිමින් දානාදී පින්කම් කරමින් දිවි ගෙවමීයි සිතා ගෙන විහාරයෙන් ඉවත්ව යන කල්හි මේ පිළිබඳ දැනගත් ඇදුරෝ ඔහු ඇතුළු පැවිදි දිවිය පිළිබඳ කළකිරුණු අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා ද බුදුන් හමුවට පැමිණ වූහ. මෙම අවස්‌ථාව මුල් කරගනිමින් මෙම ගාථාව දේශනා කරන්නට යෙදිණි. 

මෙම ගාථාවෙන් පැනෙන ධර්ම කරුණු පිළිබඳ ඊළඟට අවධානය යොමු කිරීම වැදගත් වේ. සම්බුදු හිමියන් සිතෙහි පවතින ළාමක බව, ක්‌ෂණයකින් වෙනස්‌වන සුලු බව කදිමට පෙන්වා ෙදුන් අවස්‌ථාවක්‌ බව මෙහි දී මෙම සිදුවීම හා බැඳුණු කථා ප්‍රවෘත්තිය දක්‌වා ලිය හැකිය. මෙහි දී එන සුදුද්දසං යන පදය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එයින් කියෑවෙන්නේ ඇස්‌ දෙකෙන් දැකිය නොහැකි සිත පිළිබඳවයි. සිත යනුවෙන් හඳුන්වන්නේ ඇසට දැකගත නොහැකි ඇසට ගෝචර නොවන වස්‌තුවකි. එය රූ සටහන් ආදි වශයෙන් හැඳින්විය හැකි දෙයක්‌ නොවේ. මේ නිසා කිසි ලෙසකින් දැකිය නොහැකි වන බැවින් සුදුද්දසං යනුවෙන් දහමේ හැඳින්වේ. ඊළඟට සුනිපුණං යන ගාථා පදය ගෙන බැලීම වැදගත් වේ. සුනිපුනං කියන්නේ ඉතා සියුම් බවයි. සිත හා සමාන වෙනයම් වූ සියුම් දෙයක්‌ මේ ලෝකධාතුවේ වෙනත් නැත්තේමය. සිත හටගැනෙන ආකාරය, එය පවත්නා පිළිවෙළ, අරමුණු ගන්නා ආකාරය, කැමති අරමුණු වෙත වහා එළඹෙන ස්‌වභාවය ආදි ලක්‌ෂණ හඳුනාගත හැකි වන්නේ සිත පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක්‌ කිරීම මගින්මය. මෙම සිත නිරන්තරයෙන් කැමති කැමති අරමුණු කරා යොමුවන බව ඉහතින් පෙන්වා දුනි. කාමලෝකයේ ජීවත්වන අප නිරන්තර වැටෙනුයේ කාමයන් හා සමීප වන රූපාදී අරමුණු කෙරෙහිය. එය පෘථග්ජන සිතක සාමාන්‍ය ස්‌වභාවයයි. ඉතින් මේ ආකාරයට හිතකර හා අහිතකර යන දෙපක්‌ෂය කෙරෙහි කිසිදු විරුද්ධත්වයක්‌ නැතිව ලොල් වූ සිතින් යුතුව විවිධ අරමුණු ගනී නම් එය පුද්ගලයාගේ අහිත, අවැඩ පිණිසම පවතී. සිතෙහි කුමනාකාර අරමුණු ඇති වූවත් එම අරමුණු ක්‍රියාවට නැංවීමේ දී ලෝකයාගෙන් විවිධ දෝෂාරෝපණ අසන්ට ලැබේ නම් එය බුද්ධිගෝචර සෙවීමක්‌ නොවේ. එබැවින් රූපාදී අරමුණු ගැනීමේ දී ඒ පිළිබඳ සිය දහස්‌වරක්‌ සිතා බැලීම නුවණැත්තා විසින් කළ යුතු කරුණක්‌මය. 

තෙවැනි පාඨයෙන් කියෑවෙන්නේ එවැනි රැකීමට අපහසු සිතච රැකගන්නේ මොනවගේ පුද්ගලයාද යන කරුණයි. සැබැවින්ම මේ ලෝ තලයේ උපත ලැබූ සියලු දෙනාට සිත මනාව රැක ගැනීමට හැකියාවක්‌ නැත. ඊට නිසි පුහුණුවක්‌ තිබිය යුතුය. එසේම නුවණක්‌ තිබිය යුතුය. මෙහි මේධාවි යනුවෙන් හඳුන්වන්නේ මෙකී පුහුණුව ලැබූ, සිත රැකගැනීමට සමර්ථ තැනැත්තාය. ඔහු සිත මනාව රැකගන්නා සේම එම රැකගැනීමේ හේතුවෙන් වහා සැපය කරා ළඟා වේ. 

මේ ගාථාවෙන් අප කෙරෙහි ලබා දෙන ධර්ම අවවාදය අතිශයින්ම වැදගත්ය. සිතක්‌ රැකීම අපහසු බව පෙන්වා දෙන අතර එය රැකීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ද හැඳින්වීමක්‌ සපයා තිබේ. අපි යම් යම් වූ දේ සිදු කිරීමේ දී එයින් ලැබෙන ප්‍රතිවිපාක ගැන ද සිතන්නෙමු. බොහෝ දෙනා ජීවත්වීමේ දී තමා අනෙකාට සිදු කරන උපකාර හෝ වෙනයම් දෙයක්‌ ආපසු ලබාගැනීමේ අරමුණින් කරනා බව සැබවි. එවැනි සිතක්‌ නොමැතිව වගකීමක්‌, මනුෂ්‍ය ගුණධර්මයක්‌ සේ සිතා කටයුතු කරන සත්පුරුෂයන් ද මේ සමාජයේ දුලබ නොවේ. කෙසේ නමුදු අපි යමක්‌ සිදු කරන්නේ ආපසු යමක්‌ අපේක්‌ෂා සහිතවය. ඉතින් සිත රැක ගැනීම නිසා අපට ලැබෙන්නේ මොනවගේ විපාකයක්‌ ද කියන එකත් දැන ගැනීම වැදගත් නොවන්නේ මන්ද?

සිත කියන්නේ පුදුම සහගත දෙයක්‌ බව ඉහතින් පෙන්වා දුන්නා. ඉතින් ඒ පුදුම සහගත දෙයින් කළ නොහැක්‌කක්‌ නැති තරම්. හොඳ දේවල් වගේම සමාජයේ දෝෂාරෝපණය එල්ල වන තමාගේ දිවිය පරිහානියට ඇද දමන ඕනෑම දෙයක්‌ කිරීමේ හැකියාව පවතින්නක්‌. අපි බෞද්ධයන් හැටියට පුරුදු පුහුණු කර ඇත්තේ තමාට හොඳක්‌ කරගෙන අන්‍යයාට ද හොඳක්‌ කර දීමටයි. බෞද්ධයා යනු අනෙකාට වඩා මේරූ දැනුමකින් හා මනා දැක්‌මක්‌ ඇති තැනැත්තා යෑයි සඳහන් කිරීම වරදක්‌ නොවේ. එබැවින් සැබෑ බෞද්ධයා නිරන්තරයෙන් කැපවෙන්නේ කෙසේ හෝ තමාගේ මෙලොව පරලොව සහ ලෝකෝත්තර විමුක්‌තිය සඳහා අවශ්‍ය කෙරෙන කටයුතු සම්පාදනය කර ගැනීම කෙරෙහිය. අපි යමක්‌ කර එයින් යම් විපාකයක්‌ අපේක්‌ෂා කරන්නේ නම් හැකි සැම විටෙකම හොඳ දෙයක්‌ කිරීමට අදිටන් කර ගත යුතු වෙමු. මන්ද ඉන් එහා ගිය යමක්‌ කරන්නේ නම් එයින් ලැබෙන විපාක සිතට සැනසිල්ල ලබා දෙන විපාක නොවන හෙයිනි. 

මේ හේතු නිසා සිතකින් ලබා ගත හැකි වටිනාකම් බොහෝ බව ඔබට අවබෝධ වනු ඇත. තමාට අභිමත අරමුණු කෙරෙහි සිත නොයොදවා යහපත් දෙයෙහිම සිත යෙදවීම කළයුතු වැදගත් ක්‍රියාවයි. අපහසුවෙන් හෝ අමාරුවෙන් හෝ සිත රැක ගැනිමට පෙළඹීම ඔබට හොඳක්‌ සිදුකරගැනීමක්‌ම වන්නේය. අකුසල් යනුවෙන් හඳුන්වන ක්‍රියාකාරකම්වලින් බැහැරව කුසල් යනුවෙන් හඳුන්වන ක්‍රියාකාරකම්වල යෙදීමට වෙහෙස ගත යුතු වෙමු. මේ ලබා ගත් ජීවිතයේ දී සිත මනාකොට සුරක්‌ෂණය කොට ලබාගත හැකි උතුම් වූ නිවන් සුවය සඳහා මාර්ගය හෙළි පෙහෙළි කර ගනිමු. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ විද්‍යාත්මක පසුබිම

මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභික 
අනුරාධපුර ශ්‍රි ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති 
ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති 
වැලිවිට සෝරත නා හිමි

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් වර්ෂ දෙසිය දහඅටක් ගිය විට තුන්වන ධර්මසංගායනාව මොග්ගලී පුත්තතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් හා අශෝක මහ රජතුමාගේ අනුග්‍රහයෙන් පැවැත්විණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාව ඇතුළු රටවල් නවයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ව්‍යාප්ත විය.
ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසිය තිස් හයක් ඉක්ම ගිය පොසොන් පුර පසළොස්වක පොහොය දින මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට දේවානම් පියතිස්ස රජුගෙන් අඹ ප්‍රශ්නය හා ඥාාති ප්‍රශ්නය පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ලැබුණ පිළිතුරුවලට අනුව රජතුමා ඉතා ඥාානවන්තයෙකු බව අවබෝධ කරගත් මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා ඇතුළු ලක්වැසියන්ට ධර්මය දේශනා කිරීමට ස්ථානයක් සූදානම් කරන ලෙස රජුට දන්වා ඇත. රජතුමා මහමෙව්නා උයනට සියලු නගරවාසීන්ට පැමිණීමට නියෝග කර මිහිඳු මහරහතන් වහන්සේට දැන්වූ පසු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීමෙන් දෙවන දින මහමෙව්නාවට වැඩම කොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මජ්ක්‍ධිම නිකායේ ඕපාන වග්ගයේ සඳහන් චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළ බව සඳහන් වේ.
කුඩා ඇත් උපමාවක් යන නමින් සඳහන් වන සූත්‍ර දේශනාවෙහි ඇතුළත් කරුණු දාර්ශනික වශයෙන් ද, විද්‍යාත්මක වශයෙන්ද වැදගත් වන සූත්‍රයක් බව සැලකිය හැකියි. යම් දෙයක් පිළිබඳ සොයන විට එය අවසන් වන්නේ පර්යේෂණාත්මක හා විද්‍යාත්මක සොයාගැනීමක් ලෙසයි. විද්‍යාඥයෙකු යමක් පිළිබඳ සොයනුයේ විද්‍යානුකූලවයි. එසේ සොයාගන්නා දේ නිරවද්‍ය හා නිරවුල් කාරණා වශයෙන් සමාජගත කරනු ලබයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ඇත් උපමාව පිළිබඳව සඳහන් කරමින් යමක් සොයාගැනීමේදී ද, බුදුරජාණන් වහන්සේ පිළිබඳ, ධර්ම රත්නය පිළිබඳ, සංඝ රත්නය පිළිබඳ යනු කවරෙක්ද? යන ක්‍රමවේදය අනුගමනය කිරීම කළ යුත්තේ කෙසේද? යන්න චුල්ල හත්තිපදෝපම සූත්‍රයෙන් වටහා දී ඇත. ඒ අනුව අප යමක් පිළිබඳව සාමාන්‍ය වශයෙන් යම් දෙයක් දැනගෙන කිසිදු නිගමනයකට එළඹීමට නොහැකි බවත්, සත්‍ය සත්‍ය වශයෙන් දැකීමත් , බුදු දහමෙහි සඳහන් ඉගැන්වීමක් ලෙස සඳහන් කළ හැකියි. චුල්ලහත්ති පදෝපම සූත්‍රයට අනුවද, එම ප්‍රකාශය ඒ ආකාරයෙන්ම සිදු විය යුතු කාරණයක් බව වඩාත් තහවුරු වන බවට නිගමනය කළ හැකියි.

චුල්ලහත්ති පදෝපම සූත්‍රයට අනුව ජානුස්සෝනි බමුණා සියලු ආභරණයන්ගෙන් සැරසී සුදු ඇතුන් යෙදූ අශ්ව රියක නැඟී පිලෝතික පරිබ්‍රාජකයා දැකීමෙන් අනතුරු ඔහුගෙන් කරුණු විමසා ඇත. ඔහු බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි සිට පැමිණෙන බව සඳහන් කළ පසු බුදුරජාණන් වහන්සේ කවරාකාරයේ පුද්ගලයෙකුදැයි ජානුස්සෝනි බමුණා ප්‍රශ්න කර ඇත. ඒ අනුව පිළිතුරු දුන් පිලෝතික බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් උන්වහන්සේ දුටු පමණින් විශේෂයෙන්ම තමන්ට පැහැදීමක් ඇතිවූ බවට සඳහන් කර ඇත. යම් සේ ඇතුන් වසන වනයෙහි දක්ෂ පුරුෂයෙකු දිගින් දිග්වූ පළලින් පළල්වූ ඇතෙකුගේ පා සලකුණක් දුටු පමණින් එය විශාල ඇතෙකුගේ පා සටහනක් බවට නිශ්්චයකට පැමිණෙන්නේ යම් ආකාරයකටද , භවත් ගෞතමයන්ගේ ඥාාන පද හතරක් දැක ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි.උන්වහන්සේගේ ධර්මය ස්වාක්‍යාතයි. උන්වහන්සේගේ ශ්‍රාවකයා සුපටිපන්නයි යනුවෙන් නිශ්චයකට පැමිණි බවට ඔහු සඳහන් කර ඇත. එම ඥාන පද හතර ලෙස සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි ක්ෂති‍්‍රයෙකු අසන ප්‍රශ්නයට අනුව උන්වහන්සේ පිළිතුªරක් ලබාදුන හොත් අප නැවත මේ ආකාරයෙන් ප්‍රශ්න අසන බවට කතිකාකර ගනු ලැබුවත්, බුදුරජාණන් වහන්සේ ක්ෂත්‍රියන් සමීපයට වැඩම කර දැහැමි කතාවෙන් කතා කර කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව සතුටූ වූ සියලු දෙනා සම්බුද්ධ ශාසනයෙහි පැවිදි වූ බව සඳහන් වෙයි. මේ ආකාරයට බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ ආදී සියලු පිරිස බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිවූ බව සඳහන් වෙයි. මේ ඥාාන පද හතර අනුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වූ බවට සඳහන් කර ඇත. ඒ අනුව ජානුස්සෝනි බමුණා වහාම රථයෙන් බැස බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා යැයි හැඟුන දිශාවට හැරී වැඳ නමස්කාර කර ඇත. අවසානයේ බුදුරජාණන් වහන්සේ බැහැදැක කතා කිරීමට ජානුස්සෝනි බමුණා කැමැත්ත ප්‍රකාශ කර ඇත.
බුදුරජාණන් වහන්සේ හමුවූ ජානුස්සෝනි බමුණාට බුදුරජාණන් වහන්සේ හස්ති උපමාවෙන් හා ශ්‍රාවක උපමාවෙන් ධර්මය දේශනා කර ඇත. එම දේශනාවේ සඳහන් ආකාරයට වනයේ විශාල පා සලකුණක් දුටු පමණින් ඒ විශාල හස්තියෙකුගේ පා සලකුණක් යැයි නිශ්චය කිරීම සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරමින් ප්‍රථමයෙන්ම වදාරා ඇත. එවැනි පා සලකුණ සහිත මිටි කුඩා හස්ති විශේෂයක් වනයේ සිටින නිසා එම පා සලකුණ කුඩා ඇතෙකුගේද විය හැකියි. පා සලකුණ නිශ්චය කොට දිගටම ඉදිරියට යන විට උස් ගස්වල පිට ඇතුල්ලූ සලකුණුත් , එම පා සලකුණත් හේතු කොටගෙන විශාල ඇතෙකුගේ පා සලකුණක් බව නිශ්චය කිරීම නුසුදුසුයි. එයට හේතුව මිටිවූ දිග්වූ දළ ඇති උච්චාකාලිරිකා හස්ති විශේෂයක් සිටින බැවිණි. එම සලකුණ ඇතැම් විට එම ඇතාගේ විය හැකියි. තවදුරටත් වනයේ ඇවිදින විට පා සලකුණු උස් ගස්වල පිට ඇතිල්ලූ ස්ථාන, උස් ගස්වල දලු කොළ ආහාරයට ගත් ස්ථාන, ආදිය දැක අසල වැතිරී සිටින හස්තිරාජයා දැකීමෙන් ඒ විශාල ඇතෙක් යැයි නිගමනයකට පැමිණෙයි. ඒ ආකාරයට මුල, මැද, අග තුන් අවස්ථාවෙහිදීම සියලු අර්ථ සහිත ධර්ම දේශනා කරන බවත්, එම දේශනා කිරීමෙන් අනතුරුව බුදු සසුන කෙරෙහි පැහැදුන යමෙකු ගිහි ගෙය සම්බාධක සහිතය. රාගාදී කෙලෙස්වලින් යුක්තය බ්‍රහ්මචරියාවේ යෙදීමට සුදුසු ස්ථානයක් බවට සලකමින් ආශාවන් නැතිව වාසය කරමින් ,පස්පව්, දස අකුසල්වලින් තොරව කටයුතු කරමින්, සමඟියෙන්, නිදොස්ව, හිස් වචන ප්‍රකාශ නොකර ,ධර්මයට අනුව, විනයට අනුව, කිසිදු දෙයක් පිළිබඳ ආශාවක් නැතිව, ලද දෙයින් සතුටට පත් වී ,ඇසින් රූප දකිම්න්, ඒ පිළිබඳ නිමිතිද, කනෙන් අසන මිහිරි ශබ්දයන්ට නිමිතිද නොගෙන මේ ආකාරයට පස් ඉඳුරන්ගෙන් ලබන ආශ්වාදයන් නොලැබ කටයුතු කරයි. ගමනක් යන විට සහ එන විට සිහි කල්පනාවෙන් යුක්තවද සවස් කාලයේ පිණ්ඩ පාතයෙන් වැළකී සමවත් සුවයෙන් කාලය ගත කරයි. සියලු සත්ත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් සිටීයි. සිත දුර්වල කරන පංච නීවරණයන්ගෙන් වැළකී සිටිමින් ප්‍රථම, ද්වීතීය, තෘතීය,චතුර්ථ ධ්‍යානයන්ට සමවැදී සිට එක දිගට සමාධිය වඩමින් ද ,සැප දුක් නැතිව උපේක්ෂාවෙන් වාසය කරමින්ද, පෙර විසූ කඳ පිළිවෙල පිළිබඳ දැනීමක් ඇතිකර ගැනීමෙන්ද, සිත කය වචනය යන දුෂ්චරිතයන්ගෙන් වැළකී ,සුචරිතවත් සංවර පුද්ගලයෙකු බවට පත්වෙයි. එම තත්ත්වයන් ලැබුවත් ,ඔහු කිසි විටෙකත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ බව කල්පනා කරන්නෙකු නොවෙයි. උන්වහන්සේගේ ධර්මය මනාව දේශනා කර තිබෙන බවත්, ශ්‍රාවකයන් සුපටිපන්න බවත් නිශ්චයකට නොඑළඹෙයි. එසේ කිරීමෙන් නිගමනයකට එළඹිය නොහැකි බවට බුදුරජාණන් වහන්සේ වදාරයි. යමෙක් යම් දවසක සියලු ආශ්‍රවයන්ගෙන් මිදී යම් දවසක රහත් වූ පසු ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ආදී වශයෙන් නිගමනයකට එළඹීමට පුළුවන් බව සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙයි. චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාවට අනුව යමක් පිළිබඳ අනුමාන වශයෙන් සැලකීම බුදුරජාණන් වහන්සේ ගේ දහම දැනගැනීමක් නොවන බව සඳහන් කළ හැකියි.
උදාහරණයක් ලෙස විශේෂ ගමනක් යන විට ඈත ඔතන ලද ලණු කැරැල්ලක් දැක එය සර්පයෙකු ලෙස නිගමනය කළද තර්කානූකූලව එය එසේ නොවිය හැකියි. එම ස්ථානයට ළංවී බලන විට එය ලණුු කැරැල්ලක් බවට දැනගත් පසු ඔහුට ප්‍රත්‍යක්ෂ ඥාානය ලැබෙයි. විද්‍යාත්මකව යමක් සොයාගන්නා පුද්ගලයා යම් පර්යේෂණයක් කරන විට සියලු දේ පිළිබඳ විමර්ෂණයක් ඇති කරගෙන විවිධාකාරයෙන් කරුණු ගවේෂණය කරයි. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුුරුවන් පිළිබඳ එක් කාරණාවක් පදනම් කරගෙන සුදුසු යැයි හෝ නුසුදුසු යැයි නිගමන කිරීම අප විසින් නොකළ යුතුයි. දකිනා දේ තුළ ප්‍රත්‍යක්ෂ ඥාානය ලැබෙන තෙක් අපට කිසිවක් නිගමනය කළ නොහැකියි.
විද්‍යාත්මක පර්යේෂණයකින් වුවද, තමන් එක විට සිතන දේ නිවැරැදි යැයි එක විට තීරණය කළ නොහැකි බව බවට චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් පෙන්වාදෙයි.

ස්‌පර්ශය මිස කය විඳින්නට පුළුවන්කමක්‌ නෑ


ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති
රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති 
පූජ්‍ය කොත්මලේ කුමාරකස්‌සප හිමි

මදුරුව විදින කොට එන වේදනාවත් අපි විඳිනව. මදුරුව අත කනව කියල ප්‍රපංච මට්‌ටමේ වේදනාවත් අපි විඳිනව. අපට අත ගැන දැනුමක්‌ ආවෙ කොහොම ද? මදුරුව කන කොට අපට වුණේ ස්‌පර්ශ මාත්‍රයක්‌ විතර මයි. ස්‌පර්ශය කියන දේට මදුරුවෙක්‌ වත්, මදුරුවට ස්‌පර්ශය කියල දෙයක්‌ වත් තිබුණෙ නැහැ. ස්‌පර්ශයට අත තිබුණ ද? ස්‌පර්ශයට අත තිබුණෙ නැහැ.

ඇහෙන් යම් රූපායතනයක්‌ දකිනව නම්, වර්ණ සටහනක්‌ කියල දෙයක්‌ දකිනව නම් මේ දකින පැහැය කියන මට්‌ටමින් දකිනව, මෙන්න මේකයි අත කියල. අපි රැස්‌ කරගත්ත අතයි මදුරුව කෑවෙ කියල අපි හදාගෙන තියෙනව. නැත්නම් අපි කාට වත් අපේ කය විඳින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. අපිට පුළුවන් ද අපේ කය විඳින්න? කය විඳින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ කාට වත්. අපිට පුළුවන් ස්‌පර්ශය විඳින්න විතරයි. ස්‌පර්ශය ඇති කල්හි මයි කය පනවන්නෙ. ස්‌පර්ශය නැති වෙනවත් එක්‌ක ම කය නැති වෙනව.

කය තියෙනව කියල ප්‍රකට වෙන්නෙ යමක ගැටීමත් එක්‌ක මයි. යම ධර්මතාවක ගැටෙන කොට තමයි අපට ප්‍රකට වෙන්නෙ කය තියෙනව කියල. ගැටීම නැති ව කය ප්‍රකට වෙන්නේ නැහැ. ඇහැට කය ප්‍රකට වෙන්නෙ නැහැ. චක්‌ඛු විඤ්ඤාණයට කාය විඤ්ඤාණය ප්‍රකට වෙනව ද? නැහැ. චක්‌ඛු විඤ්ඤාණයට කාය විඤ්ඤාණය ප්‍රකට වුණොත් එහෙම තුවාලයක්‌ තියන මනුස්‌සයෙක්‌ ව බලනවා වෙනුවට ඒ තුවාලය අපිටත් විඳින්න වෙයි. ඒ නිසා චක්‌ඛු විඤ්ඤාණයට කාය විඤ්ඤාණය ප්‍රකට වෙන්නෙ නැහැ. චක්‌ඛු විඤ්ඤාණයට වර්ණ සටහනක්‌ විතර මයි ප්‍රකට වෙන්නෙ.

වර්ණ සටහනක්‌ විතරක්‌ ප්‍රකට වන චක්‌ඛු විඤ්ඤාණ කියන මට්‌ටමක දි හැම වෙලාවක දි ම අපි රූපය දිහා බලන කොට වර්ණ සටහන පිරිසිඳ නො දන්නාකම නිසා මේ හම්බ වෙන අතත්, කයට ගැටෙන වේදනාව කියන එකත් එකතු කරල අපිට අද අතේ ඇති වන වේදනාව විඳින්න පුළුවන් වෙලා තියෙනව.

එතකොට මේ ඇති වන වේදනාවට මදුරුවෙක්‌ වත්, මදුරුවට වේදනාවක්‌ වත් තිබුණෙ නැහැ. ඒ වගේ ම වේදනාවට අතක්‌ වත්, අතට වේදනාවක්‌ වත් තිබුණෙ නැහැ. වේදනාව කියන එක, ස්‌පර්ශය කියන එක ස්‌පර්ශ මාත්‍රයක්‌ විතර මයි. අත කියන එක පිළිබඳ දැනුමක්‌ තිබුණ නම් ඒක මනෝමයෙන් උපද්දපු, අපිට ධම්මායතනයෙ පරියාපන්න වුණු රූපයක්‌, හිතේ ම හදාගත්ත එකක්‌ විතරයි.

එතකොට අත කියන දේ හදාගත්තෙ හිතේ ම නම් දැන් අපි අත අරගෙන යයි ද මදුරුවට ගහන්න? නැහැ. ඇයි? අපිට මදුරුවෙක්‌ හම්බ වෙන්නෙ වත් එළියෙන් තව අතක්‌ හම්බ වෙන්නෙ වත් නැහැ.

එයා නුවණින් පාණාතිපාතා කියන ශික්‌ෂාපදය කැඩෙන්න තියෙන හේතුවයි නැති කරගෙන තියෙන්නෙ. පාණාතිපාතා කියන ශික්‌ෂාපදය කැඩෙන්න හේතුවක්‌ තිබුණ නම් ඒ හේතුවයි නැති කරගෙන තියෙන්නෙ. දැන් එයාට බලෙන්a රකින්න දෙයක්‌ නැහැ. මදුරුව කන කොටත් කන්න කියල ඉවසගෙන ඉන්න තරම් එයාට රකින්න දෙයක්‌ ඇත්තෙ නැහැ. මොකද එයාට ස්‌පර්ශ ප්‍රත්‍යයෙන් එන වේදනාවක්‌ විතර මයි දැනෙන්නෙ. එයාට ඒක මදුරුව කෑමෙ වේදනාව වෙලා වත්, අතේ වේදනාව වෙලා වත් නැහැ. මොකද ස්‌පර්ශයට එයාට කයක්‌ හම්බ වෙන්නෙ නැති නිසා. එයා ගෙ මුළු කය ම ප්‍රකට වෙලා තියෙන්නෙ ස්‌පර්ශ මාත්‍රයෙන් විතරක්‌ වන නිසා. එයාට වේදනාව අල්ලන්න හේතුව නැහැ.

කය තියෙන අපියි, වේදනාව කය වුණු, කය වේදනාව වුණු අපියි අත ගිහිල්ල වේදනාව එන තැන අල්ලන්න යන්නෙ. වේදනාව කියන එක දැනෙන ස්‌වභාවයක්‌ මිස අල්ලන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි.

රහතන්වහන්සෙ කියන මට්‌ටමේ දි කය පරිහරණයෙන් එන යම් වේදනාවක්‌ තියෙනව නම ඒ වේදනාව ම විඳිනව. නමුත් ඒ වේදනාවට කයක්‌ ඇත්තෙ නැහැ. කය තියෙන්නෙ රූපායතනය සහ ස්‌පර්ශය කියන දෙක ම එකතු කරල ගත්ත අපිට. විඳින්න පුළුවන් කයක්‌ අද හම්බ වෙල තියෙනව.

එතකොට විඳින්න පුළුවන් කය හම්බ වෙල තියෙන්නෙ අපේ කෙළෙස්‌ ධර්මතා නිසා ම උපද්දපු මට්‌ටමකින්. 

ඉතින් මෙන්න මේ වගේ ස්‌වභාවයකට, මෙන්න මේ වගේ දර්ශනයකට තමයි අපිට වඩන්න තියෙන්නෙ, ප්‍රතිපදාව කියන එක. ඒ ප්‍රතිපදාව වඩන අපි සීලය කියන එකත් ඔන්න ඔය විදියට ම සම්මා දිට්‌ඨ§යෙන් උත්සාහවත් කරපු, සම්මා දිට්‌ඨ§යෙන් ඇත්ත ඇති හැටියට පෙන්නන සීලයක්‌ විය යුතුයි. 

ඊට පස්‌සෙ අපි සමාධිය, හිතේ ඒකාග්‍රතාව කියන එකත් ඔන්න ඔය ඇත්ත පෙන්නන, ඔතන සඳහා යන ප්‍රතිපදාවක්‌ විය යුතුයි. එහෙම නැත්නම් ඒකට කියන්නෙ නැහැ සම්මා සමාධිය කියල. අද ආනාපාන සති භාවනාව හෝ මොකක්‌ හරි භාවනාවක්‌ වඩන අය ගෙන් අපිට නොයෙක්‌ කාරණා අහන්න හම්බ වෙනවා. ඇයි? භාවනාවෙන් නිවන් දකින්න ගියාට මේ ඥාන දර්ශනය ඇත්තෙ නෑ. සම්මා දිට්‌ඨ§ය යෙදිල නෑ සමාධියට. සම්මා සමාධිය වෙලත් නෑ. සම්මා සමාධිය නො වෙනව නම් ඒක මිච්ඡා සමාධිය විදියටයි අපිට නම් කරන්න වෙන්නෙ.

ඒ නිසා අපිට යම් භාවනාවක්‌ වඩනව නම් ඒ භාවනාව තුළ සම්මා දිට්‌ඨ§ය යෙදිල තියෙන්න ඕන. මෙතන මේ මට්‌ටමේ නාම රූප දෙක එකතු කරල අපිට ලෝකෙ විඳින්න පුළුවන් මට්‌ටමකින් ගෙදර විඳින්න පුළුවන් නම්, ශාලාව විඳින්න පුළුවන් මට්‌ටමේ යම් ක්‌ලේශයක්‌ තියෙනව නම්, ලෝකෙ විඳින්න පුළුවන් කියල විඳින මට්‌ටමේ ක්‌ලේශයක්‌ තියෙනව නම් අන්න ඒ ක්‌ලේශය දුරු කරගන්න මට්‌ටමට අපේ සමාධිය වැඩෙන්න ඕන. අපිට පෙනෙන්න ඕන, අපිට තේරෙන්න ඕන මේ ක්‌ලේශ දුරු වෙන බව, අපි වඩන භාවනා ප්‍රතිපදාව තුළ.

එහෙම ප්‍රකට වෙන්නෙ නැත්නම් ඒක සම්මා දිට්‌ඨ§යෙන් උණුසුම් කරපු, සම්මා දිට්‌ඨ§ය යෙදුණු භාවනාවක්‌ වෙන්නෙ නැහැ. 

ඒක නිසා සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ දර්ශනය, ප්‍රඥාව මූලික කරගත්ත, ඇත්ත ඇති හැටියට දැකීම මූලික කරගත්ත දෙයක්‌ වෙන්න ඕන. ඇත්ත ඇති හැටියට දකින්න වෙන්නෙ අර අපි කතා කරපු දුකයි කියල කතා කරපු, දුක පිරිසිඳ දැකිය යුතුයි කියල කතා කරපු, ස්‌කන්ධ නාම රූප දෙක පිරිසිඳ නො දන්නා මට්‌ටමේ දුකක්‌ ආව නම් ඒ දුක කියන තැන මයි ඇත්ත ඇති හැටියට දැකිය යුතු වෙන්නෙ.

එතකොට නාම රූප දෙක පිරිසිඳ දකින බව ම, නාම රූප දෙක වෙන් කරන බව මයි අපි අවබෝධ කරගත යුතු වෙන්නෙ. ඒක නිසා අද දවසෙ දි අපේ ප්‍රතිපදාව අපේ භාවනාව සකස්‌ කරගත යුතු වෙන්නෙ අන්න ඒ මට්‌ටමට යන්න ඇති කරගත්ත අපේ ජීවිතය තුළ. 

දේශනාවට අදාළ වැඩිදුර පැහැදිලි කිරීම් ;

පොට්‌ඨබ්බය කියල කියන්නෙ, පොට්‌ඨබ්බයෙන් නියෝජනය වෙන්නෙ හැම වෙලාවෙ ම පඨවි, තේජෝ, වායො කියන කියන ධාතු තුන. අපිට ඇ`ගට දැනෙන්නෙ තද ගතියක්‌, තද ස්‌වභාවයක්‌. එහෙම නැතිනම් උණුසුමක්‌, සීතලක්‌. එහෙම නැතිනම් හුළං හමා යන ගතියක්‌, හමා යන බවක්‌ වගේ දෙයක්‌ තමයි අපිට හැම වෙලාවෙ ම ප්‍රකට වෙන්නෙ. එතකොට කයට ප්‍රකට වෙන්නෙ පඨවි, තේජෝ, වායෝ කියන ධාතු කොටස්‌ ටික විතරයි.

ආපො ධාතුව පොට්‌ඨබ්බයට අයිති වෙන්නෙ නැහැ මොකද ආපො ධාතුවෙ ලක්‌ෂණය කෘත්‍යය තමයි හැම වෙලාවක ම අනෙක්‌ ධාතු තුන එකට බැඳල එකට පවත්වන බව. එතකොට ඒක මනෝ විඤ්ඤාණයෙන් විඤ්ඤෙය්‍ය වෙනව මිසක පෙට්‌ඨබ්බයෙන් විඤ්ඤෙය්‍ය වෙන්නෙ නැහැ. (දැනගන්න බැහැ).

අර ධාතු තුන විතරයි ඇ`ගට ගැටෙන්නෙ. වතුර ටිකකට අපි ගැහුවොත් දැනෙන තද ගතිය, තද ස්‌වභාවය කියන එක එතන පඨවි ධාතුව. ඒ තුළ යම් උණුසුමක්‌ සිසිල් බවක්‌ දැනෙනව නම් ඒක තේජෝ ධාතුව. යම් හුළ`ගක්‌, වාතයක්‌ හමා යන බවක්‌ වගේ දෙයක්‌ දැනෙනව නම ඒක වායෝ ධාතුව කියන තැනින් කයට යමක්‌ ස්‌පර්ශ වෙනව නම් ස්‌පර්ශ වෙන්නෙ ඔය ස්‌වභාව තුනෙන් විතර මයි. 

එතකොට මේ පොට්‌ඨබ්බය කියන එක ස්‌පර්ශ වෙලා තියෙන්නෙ හැම වෙලාවක දි ම ඔන්න ඔය ස්‌වභාව ධර්මතා තුනෙන්. එතකොට ඒ පොට්‌ඨබ්බය කියන තැන විදර්ශනා කරන කොට අපිට පොට්‌ඨබ්බයට හම්බ වෙලා තියෙන්න බැහැ පුටු, මේස, ඇඳන්, ගෙවල්, දොරවල්. පුටුව විඳිනව කියන මට්‌ටමින් පුටුව විඳින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. මොකද අපි පුටුව විඳල නැති නිසා. අපිට ස්‌පර්ශය කියන කොට පුටුවෙ ස්‌පර්ශ, මේසෙ ස්‌පර්ශ තිබුණෙ නැහැ. තද ගතියෙ වෙනස්‌කමක්‌ තිබුණ නම් තද ගතිය තද ගතිය ම වුණා මිසක තද ගතිය 'මේසෙ තද ගතිය' 'පුටුවෙ තද ගතිය' තිබුqණෙ නැහැ. 

මේසෙ කියන එක පැනෙව්වෙ, ඇස පිරිසිඳ නො දන්නා අපි, ඇහැ කියන ධර්මතාවෙන් දැකපු වර්ණ සටහනත් එක්‌ක ම මේසෙ අල්ලනව කියන, මේ දෙක ම එකතු කරගත්ත මට්‌ටමකින්. පුටුව කියන එක පැනෙව්වෙ, පුටුව විඳිනව කියන්නෙ, ඇහැ, රූප, චක්‌ඛු විඤ්ඤාණ පිරිසිඳ නො දන්නාකම නිසා පුටුව ගැන යම් වර්ණ සටහනක්‌ තිබුණ නම් ඒකත් එක්‌ක එකතු කරලයි. මේ ස්‌පර්ශය පුටුවට බැඳලයි පුටුව විඳින්න පුළුවන් වුණේ. 

නැතිනම් අපිට පුටුව කියන එක විඳීම් මාත්‍රයක්‌ විතර මයි. ඒක හැබැයි පුටුවෙ ස්‌පර්ශය වෙලා නැහැ. ස්‌පර්ශය කියන කාරණාවට පුටු තිබුණෙත් නැහැ, පුටුවට ස්‌පර්ශය තිබුණෙත් නැහැ. අපිට කයයි පුටුවයි දෙක ම පනවන්න වුණේ මේ ස්‌පර්ශ වෙන ගතියට විතරයි. 

එතකොට හැම වෙලාවක දි ම අපිට විදර්ශනා කරන කොට, විදර්ශනාව තුළ අපිට ස්‌පර්ශ වෙන කොට, ස්‌පර්ශයට නිමිති තියල තියෙන්න බැහැ, පුටු මේස ගෙවල් දොරවල් කියල. අපි අර සක්‌මන් කරන කොට 'පඨවි' 'පඨවි' කියල දකින්න කියන්නෙ. මොකද එක කකුලක්‌ උස්‌සල තව කකුලක්‌ තියන කොට ස්‌පර්ශ වෙන තද ගතිය ම ප්‍රකට විය යුතුයි මිසක පෙනෙන රූපය උඩ ඇවිදිනව, පෙනෙන පොළොව උඩ අඩිය තියෙනව කියන සංඥාව එතන දි දුරු විය යුතුයි. ඇහැට පෙනෙන වර්ණ සටහනයි මේ ඇවිදින්නෙ කියන මටේටම, පොළොවයි ඇවිදින්නෙ කියන මට්‌ටම, පොළොවයි ස්‌පර්ශයයි එකතු කරල විඳින මට්‌ටම නැති වෙන්න ඕන.

අපිට ස්‌පර්ශය ස්‌පර්ශ අන්තයෙන් සහ ඇහැට පෙනීම පෙනීම් අන්තයෙන් ය කියන දෙකක්‌ වෙලා තියෙන්න ඕන. මේ දෙක එකක්‌ වෙලා අපිට ප්‍රකට වෙන්න බැහැ. ඒ විදියට පොට්‌ඨබ්බය කියන එක හැම වෙලාවෙ ම නිමිති නැති, නැතිනම් නිමිත්තක්‌ විදියට මෙනෙහි කරන්න බැරි ධර්මයක්‌. රූපය අනාරම්මණයි කියල කිවවෙ මේසෙ, පොට්‌ඨබ්බ, පුටුවෙ පෙට්‌ඨබබ තිබුණෙ නැහැ කියන එකයි. මේසෙ ස්‌පර්ශ වුණේ ඒක අපි හිතින් ම උපද්දවගත්ත දෙයක්‌ වුණු නිසා. බාහිර මේසෙ අපිට ස්‌පර්ශ කරන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ මයි. ඒ මට්‌ටමින් පොට්‌ඨබ්බය කියන එක අපි හැම දා ම විදර්ශනා කළ යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෝකය විග්‍රහ කළ බුදුරජාණන් වහන්සේ

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

මීට වසර 2561කට පමණ පෙර ඉන්දියාවේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ ඔක්කාක රජ පරපුරේ රාජකීය පුත්‍රයෙකු ලෙස උපන් සිද්ධාර්ථ නම් වූ අතිවිශේෂ මිනිස් චරිතය ලෝකයෙහි පූජනීයභාවයට පත්වුණේ ශාස්තෘවරයෙකු වශයෙන්.කෙසේ වුවත්,සැබෑ ලෙසම ක්‍රි.පූ. 6 වන සියවසේ භාරත දේශයෙහි තිබූ දාර්ශනික විප්ලවයට, දාර්ශනික සාකච්ඡාවට එක්වූ එක්තරා දාර්ශනික යෞවනයෙකු ලෙස ගෞතම ගෝත්‍රීය විශිෂ්ට මිනිසා හඳුනාගත යුතුයි.
බුදුපියාණන් වහන්සේ නමින් ,අමාමෑණියන් වහන්සේ නමින්, භාග්‍යවතුන් වහන්සේ නමින් හා තථාගතයන් වහන්සේ නමින් සුවිශේෂී ගුණපද රාශියකින් සම්භාවනාවටද , වන්දනාවටද, පූජනාවටද,ලක්කරන මෙකී විශිෂ්ට මිනිසා සැබවින්ම ලෝකය මැනවින් විග්‍රහ කළා. ලෝකය මැනවින් විග්‍රහ කිරීම, සත්ත්වයා මැනවින් විග්‍රහ කිරීම, ලෝකයේ යථාව පිළිබඳව දාර්ශනික ප්‍රපංච ,දාර්ශනික අදහස් හා මත ඉදිරිපත් කිරීම ආගමක් නිර්මාණය කිරීමක් ලෙස අප පසු කාලයකදී හඳුනාගත් බව සඳහන් කළ යුතුයි.

ගුරුත්වාකර්ෂණ නියාමය ලෝකයෙහි ස්වභාවයක් මිස ආගමික මතයක් නොවෙයි.එය ලෝක ස්වභාවයයි. එකී මතය ආගමික මතයක්ද?එකී මතය ලෝකය විග්‍රහ කිරීමක්ද?නිවුටෝනියානු තර්කනයෙහි එන ක්‍රියාවක් ෙවි නම් එයට විරුද්ධ ප්‍රතික්‍රියාවක් ලෙස සාපේක්ෂ ප්‍රතික්‍රියාවක් ඇත යන්න ආගමික ප්‍රකාශයක්ද? එය ආගමික ප්‍රකාශයක් නොවෙයි. එය ලෝකයෙහි ස්වභාවයයි. කරුණු එසේ නම්, බුදුපියාණන් වහන්සේ සබ්බේ සත්ථා ආහාරට්ඨිකා නමින් කළ දේශනාවට අනුව සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන්නෝ වෙති, යන ප්‍රකාශය ආගමික ප්‍රකාශයක්ද? නැතහොත් එය ලෝක ස්වභාවයක්ද?
සබ්බේ සත්ථා මරිස්සන්ති සියලු සත්වයෝ මිය යති, යන ප්‍රකාශය ආගමික ප්‍රකාශයක්ද?එය ලෝක ස්වභාවය නොවේද?අනිච්චා වත සංඛාරා ලෝකයෙහි පවතින්නාවු සංස්කාරයෝ සියල්ල නැති වන්නේය. යන්න ආගමික ප්‍රකාශයක්ද?එසේ වන්නේ බෞද්ධයන්ට පමණක්ද?සියල්ල වෙනස්වන්නේ යන්න අදාළ වන්නේ ලාංකේයයන්ට පමණක්ද?එහෙයින් ආගමික ප්‍රකාශයක්ද? එසේ නොවේ නම්, එය ලෝක ස්වභාවයද?එසේම පේමතෝ ජායතී සෝකෝ ශෝකය ඇතිවන්නේ ප්‍රේමයේ සාපේක්ෂ ඝනත්වයට අනුවය, යන්න ආගමික ප්‍රකාශයක්ද? එය බෞද්ධයන්ට පමණක් අදාළ වන ප්‍රකාශයක්ද? එසේ නැතහොත් එය සාමාන්‍ය පොදු කාරණාවක්ද?පොදු මිනිස් චර්යාවෙහි සැබෑව ප්‍රකාශ කරන්නාවු යථාරූපී ප්‍රකාශයක්ද?එසේම පරිපටිබද්ධ මාගේ ජීවිකාව සියලු දෙනා හා බැ¼දී පවතී.යන්න බෞද්ධයන්ට අදාළ ප්‍රකාශයක්ද?එසේ නැත හොත් සාමාන්‍ය පොදු ලෝකය විග්‍රහ කිරීමක්ද? තවත් අයුරකින් විග්‍රහ කරන්නේ නම්,සංතුට්ඨි පරමං ධනං සතුට පරම ධනය වන්නේය, යන ප්‍රකාශය ආගමික ප්‍රකාශ යක්ද ? නැත හොත් ජීවිතය ප්‍රකාශ කිරීමක්ද?විස්සාසා පරමා ඥාාති සැබෑ ඥාාතිත්වය වනාහි , විශ්වසනීයත්වය හෙවත්,හිතවත්කමය යන්න ආගමික ප්‍රකාශයක්ද ? එසේ නැතහොත් ලෝක ස්වභාවයද? එබැවින් සෑම කාරණාවක් දෙස දිගින් දිගටම සාකච්ජා කරමින් අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ තථාගතයන් වහන්සේ ලෙස පසු කලෙක අපගේ පූජාවට ලක්වන්නාවූ මේ විශිෂ්ට මිනිසාට වුවමනා වූයේ ලෝකය විග්‍රහ කිරීම බවයි. බොහෝ දාර්ශනිකයන් විසින් ලෝකය විග්‍රහ කළ කාලවකවානුවකදී අවුරුදු දහඅටක් විසි පහත් අතර යෞවනය පසුකරමින් සිටි අඩි හයක් පමණ උස වූ ආරෝහපරිණාහ දේහසම්පත්තියකින් යුක්ත වූත් , සර්වාභරණ විිභූෂිතව ඔටුන්න හිමි කුමාරයා ලෙස බිහිව රාජ්‍ය පාලනය සඳහා සියල්ල සූදානමින් සිටියාවූත්, මේ විශිෂ්ටතම මිනිසාට සැබෑ ලෙසම ඕනෑ වූයේ එකී රජ සැප විඳීම හෝ රාජ්‍ය පාලනය , ජනතා පාලනය සියතට නතුකරගෙන සිටිනවාට වඩා ලෝකය විග්‍රහ කිරීමේ වුවමනාව නොවේ දැයි සිතා බැලීම වටී . ඒ අනුව ලෝකය විග්‍රහකිරීම සිදුකළ බුදුපියාණන් වහන්සේ නොහොත් ගෞතම ගෝත්‍රීය සිද්ධාර්ථ නම් දාර්ශනික උතුමාගේ අදහස් පසු කලෙක ආගමක් වශයෙන් සංස්ථාපිත වීම සඳහා සියලු කරුණු සූදානම් කරනු ලැබුවේ පසුකාලයෙහි ප්‍රඥාාවන්ත දූරදර්ශී මහරහතන් වහන්සේලා සහ ශ්‍රමණ සම්ප්‍රදාය ඇතුළු කොට ඇති බෞද්ධ සම්ප්‍රදායයි. මේ අවස්ථාවෙහි එකී මහා දර්ශනය , හෙවත් ලෝක විග්‍රහක න්‍යායන් ලෝකය සහ සත්වයා පිළිබඳව වූ සැබෑව න්‍යාය ධර්ම දේශනාවන් සැමදාටම පවත්නා ලෙස සංරක්ෂණය කර තබාගැනීම පිළිබඳ ක්‍රමවේද නිසි අයුරින් ඇති කරමින් මෙකී විශිෂ්ට දැක්ම අනාගත ලෝකය සඳහා ඉතිරි කර තැබීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ ධර්ම සංග්‍රාහකයන් වහන්සේලායි. තථාගතයන් වහන්සේ විසින්ම නිර්මාණය කරනු ලැබු නීති රීති රෙගුලාසි ව්‍යවස්ථා නීති අතුරුනීති ඇතුළත් විනය පිටකයද උපකාරී කරගනිමින් සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා සංස්ථාපිත ආයතනයක් ස්ථාපිත කිරීම භික්ෂූණ් වහන්සේලාගේ දැවැන්ත කාර්යභාරයෙහි තවත් එක් කොටසක් බවට පත්ව තිබුණා. එකී කොටසෙහි වුවමනාව යථාවක් කරමින් බුදුපියාණන් වහන්සේගේ මෙකී දැක්ම ඉතිරිකර තැබීමට මහා සංඝ රත්නය ඇතුළු බෞද්ධ පිරිස උත්සුක වුණා.
කිසියම් ආකාරයක අනාගතය උදෙසා දැක්ම ඉතිරිකිරීමක් ලෙස හැඳින්විය හැකියි. තවත් අයුරකින් විස්තර කරන්නේ නම්, බුදුපියාණන් ්වහන්සේගේ දේශනාව කසායක් ලෙසද, එය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වූ මෙකී ක්‍රමෙවිදය මුට්ටියක් වශයෙන්ද, නිදර්ශන කළ හැකියි. විසිතුරු ලෙස කැටයම් කරමින් අලංකාර කළ මුට්ටියෙහි කසාය දමාගැනීම ආගමක් නිර්මාණය කොට එහි දේශනාව සංරක්ෂණ කිරීම හා සමාන වෙයි. කාල්මාක්ස්ගේ දේශපාලන දැක්ම රැකගැනීම උදෙසා ලෙනින් හා පශ්චාත් කාලීනයන් විසින් කොමිනියුනිස්ට් පක්ෂය නිර්මාණය කිරීමත්, රතුපාට වර්ණය ලෙස යොදා ගැනීමත් ,දෑ කැත්ත හා මිටිය එහි ලාංඡනය ලෙස සැළකීමත් එම වර්ණ හා සංවිධිත බවක් සහිත පක්ෂයක් නිර්මාණය කරගැනීම නිසා කාල්මාක්ස්ගේ දේශපාලන දැක්ම ආරක්ෂා වුණා. බුදුපියාණන් වහන්සේගේ දේශනාව ආරක්ෂා වී තිබුණේ එබඳු ආකාරයෙන්ම පාටක් ලාංඡනයක් සංවිධිත ව්‍යුහයක් භික්ෂුණ් වහන්සේලා නමින් හඳුන්වනු ලබන පූර්ණකාලීන සාමාජිකයන් පිරිසක් හා එයට අනුග්‍රාහක වන සාමාජික බෞද්ධ සම්ප්‍රදායක් වන බෞද්ධ සම්ප්‍රදාය විසින්. මෙකී ව්‍යුහගත වූ සංවිධිත ආයතනයක් සංස්ථාපිත කිරීම ඉහතකී කසාය ආරක්ෂා කරගැනීම සඳහා වන මුට්ටිය නිර්මාණය කිරීමක් ලෙස හඳුන්වා දිය හැකියි. වර්තමානය වන විට තථාගත දර්ශනය ඉතිරිව පවතින්නේ මෙකී ආගමික සම්ප්‍රදාය තුළ බව අප විසින් සැළකිය යුතුයි. ඒ අනුව වැඩියෙන් අවශ්‍ය වන්නේ මුට්ටියද ? කසායද යන ප්‍රශ්නයට පිළිතුරක් ලබාදිය නොහැකියි. මක්නිසාද යත්, කසාය නැතිව මුට්ටිය නිෂ්ප්‍රයෝජන වන නිසා සහ මුට්ටිය නැතිව කසාය සංරක්ෂණය නොවන නිසයි.
බුදුපියාණන් වහන්සේගේ දේශනාවත් එය ආරක්ෂා වන බෞද්ධ සම්ප්‍රදායත් දෙස අප බැලිය යුත්තේ ඉහත සඳහන් ආකාරයටයිි. මේ අනුව දිගින් දිගටම බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා විය යුතුයි.එකී බෞද්ධ ආගමික සම්ප්‍රදායට පුද පූජා සම්ප්‍රදායන් වන්දනාමාන අලංකරන සම්ප්‍රදායන් භික්ෂු සම්ප්‍රදාය හා විහාර සම්ප්‍රදායන් රැකිය යුතුයි. මක් නිසාද , යත් කසාය සඳහා මුට්ට්ය අත්‍යවශ්‍ය නිසා . එහෙත් එකී සම්ප්‍රදාය පමණක් ආරක්ෂා කොට යමෙක් දහම භාවිත නොකරන්නේ නම්, හා දහම අධ්‍යයනය නොකරන්නේ නම්, හා දහම තම ජීවිතයට එකතු කර නොගන්නේ නම්,එම පුද්ගලයා මුට්ටියට වන්දනා කර කසාය නොබොන තැනැත්තෙක් ලෙස නිදර්ශන ගත කළ හැකියි. මේ අනුව භික්ෂු සම්ප්‍රදාය ඇතුළු කොට ඇති විහාර සම්ප්‍රදායත්,ආගමික බෞද්ධ සම්ප්‍රදායන්ද, බුදුපියාණන් වහන්සේගේ දේශනාද මැනවින් සංරක්ෂණය විය යුතුයි. බුදුපියාණන් වහන්සේගේ දේශනාව පසුකාලීනව සංරක්ෂණය උදෙසා ආගමක් ලෙසද සංවර්ධනය වූයේ ඒ ආකාරයට අනුවයි.

සමාජය සරු කරන බෞද්ධ ආචාර ධර්ම

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති, 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

සාමාන්‍ය සරල අදහස අනුව බලන විට “ආචාර” යනු හැසිරීම යි. ඒ වුණත් “ආචාර ධර්ම” යන වචනයෙන් අදහස් කරන්නේ ඊට වඩා පුළුල් වූ අර්ථයක්. එනම් යහපත් හැසිරීමට අවශ්‍ය කරන ගුණාංග මොනවා ද යන්න ආචාර ධර්මවලින් අදහස් කරනවා. මේ අදහසට විරුද්ධ වචනාර්ථය විමසූවිට එහි අර්ථය වඩාත් තේරුම් ගන්නට පුළුවනි. එනම් “අනාචාර ධර්ම” යන වචනය යි. මේ වචනය කියන විට ම අපට වැටහෙනවා අයහපත් අසාර්ථක, විෂමාචාර, විලිබිය නැති හැසිරීම එයින් අදහස් කරන බව.

“ආචාර” යන වචනයේ අර්ථය තවදුරටත් වැඩි දියුණු කරන වචනයකි. “සදාචාර” යන්න මිනිසාට උසස් මනසක් තිබෙනවා. ඒ නිසා ම “මනුස්ස” යන වචනය නිර්මාණය වී තිබෙනවා. මනසේ උසස් බවක් තිබීම මිනිසා ට ඇති මූලික ම ලක්ෂණයක්. ඉතින් මේ මනස උසස් බවට පත් කරන්නේ මිනිසාට වෙනත් සතුන්ට වඩා උසස් ලෙස මනස මෙහෙයවීමට ඇති හැකියාව නිසයි. තිරිසන්ගත සතුන්ට ඔවුන් සතු මනස උසස් බවට පත් කරගැනීමට හැකියාවක් නැහැ. මිනිසාට ඒ ශක්තිය තිබෙනවා.
මව්පියන් “මුල්ගුරුවරුන්” වශයෙන් සලකා ඔවුන්ගෙන් ලබා ගන්නා දැනමුතුකම්වලින් වගේ ම ගමේ පන්සලෙන්, පාසලෙන්, පසුව සමාජයෙන්, ඇසුරට පත්වන කල්‍යාණමිත්‍රයන්ගෙන් තමන් අදහන ආගම ධර්මයෙන් ලබා ගන්නා දැනුමෙන් ශක්තියෙන් ඒ මනස උසස් තත්වයට පත් කර ගැනීමේ අපූරු ශක්තිය උරුම වී තිබෙනවා. ඒ නිසා මව්පියන්, වැඩිහිටියන්, පවුලේ දෙටු සහෝදර සහෝදරියන්, වෙතින්, ගමේ පන්සලෙන් මේ ආචාරධර්ම දරුවන්ට හුරු කරවීමේ වගකිම මැනවින් ඉටු කිරීම අවශ්‍ය වෙනවා.
මිනිසාට උරුම වී ඇති “ආචාර ධර්ම“ ශක්තිමත් කරන ප්‍රධානම බලවේගය ලෙස ”හිරි හා ඔත්තප්ප” යන චෛතසික දෙක පෙන්වා දෙන්නට පුළුවනි. “හිරි” කියලා කියන්නේ අයහපත්, අසත්පුරුෂ, ලජ්ජාව, සමාජයේ පිළිකුල ඇති කරන යමක් කිරීමට ඇති අකැමැත්ත යි. ඔත්තප්ප කියන්නේ එවැන්නක් කිරීමට ඇති භයයි. මේ හිරි ඔතප් යන දෙක “ලෝකපාලක” ධර්ම ලෙසත් අපේ ධර්මයෙහි සඳහන් වෙනවා.
අද ලෝකයේ සම්මත හැසිරීම් රටා පහක් වශයෙන් පන්සිල් මගින් කියවෙන ගුණධර්ම පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්. මේ පන්සිල්වලින් කියවෙන ගුණධර්ම යම් සමාජයක ක්‍රියාත්මක වෙනවා නම් ඒ සමාජයේ මනා ආචාර ධර්ම රාශියක් ගොඩ නැගී තිබීමේ ඉඩකඩ තිබෙන්නට පුළුවනි. කෙසේ වුවත් මූලික වශයෙන් මේ ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් ඕනෑම අයෙකු විසින් මුලින් ම ලබා ගන්නේ අපේ මව්පියන්ගෙන්. ඒ අය දරුවාට මුලින් කියලා දෙනවා සමාජයේ ශිෂ්ට සම්මත ලෙස අප ජිවත් විය යුත්තේ කොහොම ද? කියලා. බුදුදහමේ මව්පියන් දරුවාගේ “ මුල්ගුරු” නාමයෙන් බුහුමන් ලබන්නේ පාසැලේ දී මෙන් පොත පත ශබ්ද ශාස්ත්‍රය කියාදීමෙන් නොව ජීවත් වෙන කලාව පිළිබඳ මුල් පාඩම් කීපය කියා දෙනවා කියන අර්ථයෙනු යි. ඒ අනුව බෞද්ධ සමාජ පරිසරයන්ඇති ගෙදරක නම් දරුවාට වැඩිහිටියන් කවු ද? වැඩි හිටි සහෝදරයන්, සහෝදරියන් කෙබඳු අය ද? අම්මා, තාත්තා කියන්නේ කෙබඳු දෙදෙනෙක් ද? ඒ අයට කථාබහ කරන විධිය කෙසේ ද? ඒ වගේ ම ඒ වැඩිහිටි ගුරුවර දෙමාපියන් ඉදිරියෙහි කථාබහ කරන පිළිවෙල, ඉරියව් පැවැත්විය යුතු පිළිවෙළ යන මේ ආදි හැම දෙයක්මත් දරුවාට කියලා, වටහලා දෙන්නේ මේ මුල්ගුරුවරු කියන මව්පියන් විසිනු යි.
ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව මේ ආචාර ධර්ම පිළිබඳව අවබෝධයක් ලැබීමට අපි මෙතැන් සිට උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි අප හැම දෙනාට ම පැහැදිලි කර දී තියෙන “වත්” කියන කොටසට තමා මේ ආචාර ධර්ම අයත් වන්නේ. මේ වත් පිළිබඳව අප තේරුම්ගත යුතු වන්නේ භික්ෂූන් වහන්සේගේ පැත්තෙන් ගත්තහම අද දවසේ පැවිදි බවට පත්වන අයගේ සිට ආචාර්ය උපාධ්‍යාය වශයෙන් ශාසනයේ ඉහළම තනතුරු දරන භික්ෂූන් වහන්සේ කියන මේ හැම දෙනාම මේ වත් අනුගමනය කළයුතු වෙනවා.
අපේ විනයෙහි සඳහන් වත් සම්පූර්ණ නො කරන භික්ෂුව ශිලය සම්පූර්ණ කරන්නේ නැහැ. ශීලවන්ත භාවයෙන් ගිලිහුණු පුද්ගලයා නුවණ ඇති අයෙකු බවට පත් වන්නේ නැහැ. ඒ නුවණ නැති තැනැත්තා ට සිත එකඟ කර ගැනීමේ ශක්තියක් නැහැ.
මේ නිසා ආචාර ධර්ම කියන්නේ සීලය ශක්තිමත් කරන පොදු දෛනික පැවැත්ම පිළිබඳ සිරිත් සමුදායක් කියා කීවොත් නිවැරැදියි. බුදුරජාණන් වහන්සේ මහාවග්ගපාලියේ දී විශේෂයෙන් භික්ෂූන් වහන්සේගේ මනා පැවැත්ම අරමුණු කොට ගෙන පෙන්වා දී ඇති වත් සමූහයක් තිබෙනවා. මේවා ආගන්තුක වත, ආවාසික වත, පිණ්ඩචාරික වත, සේනාසන වත, ආරඤ්ඤක වත, අනුමෝදනා වත, භත්තග්ග වත, ජන්තාගර වත, වච්චකුටි වත, ආචරිය වත, උපජ්ඣාය වත, සද්ධිවිහාරික වත, අන්තේවාසික වත කියා 14 ක් වෙනවා. මේ වත් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දේශනා කර ඇතත් මෙහි එන බොහෝ වත්සිරිත් ගිහි ජීවිතය ගත කරන අයට වුව ද අතිශයින් වැදගත් වේ. නිදසුනක් වශයෙන් ආගන්තුකයෙක් තමන්ගේ නිවසකට පැමිණි විට ඒ ආගන්තුකයා විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම එයින් විස්තර වෙනවා. ආගන්තුකයා පාවහන් පැළඳ ආවේ නම් ඒවා ඉවත් කර, කුඩ ඉහළාගෙන ආවේ නම් ඒවා හකුලා හිස්වැසුමක් දරා ආවේ නම් එය ඉවත ලා සන්සුන් ව ඒ නිවසට පිවිසීම මෙහි මූලික වශයෙන් අනුගමනය කළ යුතු පිළිවෙල යි. දැන් මේ පිළිවෙල භික්ෂූන් වහන්සේ නමක් කිසියම් පන්සලකට පැමිණෙන විට අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙල වුණත් එය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට වුව කෙතරම් ආචාරශීලි වෙනවා ද? යන්න අපට අවබෝධ කර ගැනිම අපහසු වන්නේ නැහැ.
මේ අතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ යම් යම් චර්යාවන් පවත්වන විට හික්මවිය යුතු ආකාරය කෙලෙස ද? යන්න පිළිබඳව විස්තර කරන තවත් වත් සමූහයක් “සේඛියා” යනුවෙන් ධර්මයෙහි විස්තර කර තිබෙනවා. මෙහි භික්ෂූන් වහන්සේ විසින් දන් වළඳන අවස්ථාවේ අනුගමනය කළ යුතු ආචාර ධර්ම 30 ක් දක්වා තිබෙනවා.
ආහාර ගනිමින් කථාබස් හි යෙදීම, ආහාර කටට විසිකරමින් ආහාර ගැනීම, වානරයා වාගේ ආහාර හක්කේ පුරවා ගනිමින් ආහාර ගැනීම, බත්සුළු අවට විසුරුවමින් ආහාර ගැනීම ආදී මේ කරුණු භික්ෂූන් වහන්සේ සඳහා දේශනා කර තිබුණත් ගිහි සමාජයේ මනා පැවැත්මට කොතරම් දුරට වටිනා ආචාර ධර්ම පද්ධතියක් ද? යන්න සිතා ගත හැකිය. මෙහි එන මළමූත්‍ර පහ කිරීම පිළිබඳ නියමයන් දෙස බලන විට වැඩෙන තණකොළ මත මළමූත්‍ර පහකිරීම, ගහක් මතට වුව ද කෙළ ගැසීම, පරිභෝගයට සුදුසු ජලයෙහි මළමුත්‍ර පහ කිරීම, කෙළ ගැසීම නො කළ යුතු බව, ආදි කරුණු දෙස බලන විට මෙවැනි ආචාර ධර්ම මගින් ස්වාභාවික පරිසරයට හානියක් නොවන පරිදි, වටිනා සම්පතක් වන ජල සම්පතට හානියක් නො වන පරිදි අප ක්‍රියා කළ යුතු ආකාරය ගිහි සමාජයේ වුව ද මනා පැවැත්මට කෙතරම් හේතුවනවා ද යන්න පැහැදිලි වේ. මේ සේඛියා මගින් භික්ෂුන් වහන්සේගේ ආචාරාත්මක පැවැත්ම ශක්තිමත් වන්නා සේ ගිහි ජනයා වුව ද තමන්ට ගැලපෙන ආකාරයෙන් එම නියමයන් භාවිත කිරීම ශිෂ්ට සම්මත සමාජයේ යහ පැවැත්මට මහෝපකාරි වෙනවා යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.
මේ අතර බුදු රජාණන් වහන්සේ “සිඟාලෝවාද සූත්‍රයේ”සදිසා නමස්කාරය අර්ථවත් කරමින් දේශනා කර ඇති කරුණුවල දී ගිහි විනය පිළිබඳ වැදගත් ආචාර ධර්ම රාශියක් ම ඉදිරිපත් වේ. ඒවා හි ඇත්තේ බොහොමයක් ආචාර ධර්ම යි. එහි දී නැගෙනහිර දිසාවට වැටෙන මව්පියන්ට, මව්පියන් විසින් දරුවන්ට, ශිෂ්‍යයන් විසින් දකුණු දිසාවට වැටෙන ගුරුවරුන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍ය දරුවන්ට, ස්වාමියා විසින් බටහිර දිසාවට වැටෙන භාර්යාවට, කුලපුත්‍රයන් විසින් උතුරු දිසාවට වැටෙන මිත්‍රාමාත්‍යවරුන්ට, ස්වාමියා විසින් යට දිසාවට වැටෙන දැසි දස් කම්කරුවන්ට, දැසි දස් කම්කරුවන් විසින් ස්වාමිවරුන්ට, කුලපුත්‍රයා විසින් උඩ සිටින ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආදි වශයෙන් කළයුතු යුතුකම් හා වගකීම් රැසක් විස්තර වෙනවා.
මේවාත් බොහොමයක් සමාජයේ පැවැත්ම සරු කරන ආචාරධර්ම ගණයට යි වැටෙන්නේ. කොහොම වුණත් මේ ආචාර නිසා සමාජය සරු වෙනවා. සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකිමින් අසාර දෙයින් සාර දේ වෙන් කර ගෙන තමන්ගේ ජිවිත සරුසාර කර ගැනීමේ වෑයමේ දී මේ සාර කොටසට වැටෙන ආචාර ධර්ම පුද්ගලයාගේ ජීවන පැවැත්ම ඔප් නංවන සැරසිල්ලක් හා සමාන වෙනවා. මංගල, පරාභව, වසල, කරණියමෙත්ත සූත්ත වැනි බෞද්ධ ඉගැන්වීම් රාශියකම මේ ආචාර ධර්ම ගණයට වැටෙන කරුණු විස්තර වෙන බව පෙන්වා දෙන්නට පුළුවනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සුරාපානය මදයට ප්‍රමාදයට හේතුවෙයි

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 

තලල්ලේ චන්දකිත්ති හිමි

මදයට ප්‍රමාදයට හේතුවන්නා වූ රහමෙර හෙවත් මද්‍යසාර භාවිතා කිරීම සුරාපාන අකුසල කර්ම වෙයි. එය සිදුවන්නේ කය මුල්කර ගෙනයි. මෙය ප්‍රධාන වශයෙන්ම කාය මිථ්‍යාචාරයට උපකාරි වන අතර, එය ගිහි පැවිදි ඛේදයකින් තොරව සැමටම අහිත ක්‍රියාවක් සේ සළකා ඉන් වැළැක්වීමට කටයුතු කර ඇත.
ගිහියන්ට පන්සිල්, අටසිල් සහ ගිහි දස සිල්වලින්ද, සාමණේර ස්වාමින් වහන්සේට සාමණේර දසසිල් වලින්ද, උපසම්පදා භික්ෂූන්ට පනස් එක් වැනි පාචිත්තිය සිල් පදයෙන්ද සුරාපානය තහනම් කොට ඇත. පාචිත්තිය යනු ප්‍රබල සිල් පදයක් නොවූවත්, එවන් සිල්පදයකින් හෝ භික්ෂූන්ට සුරාපානය තහනම් වෙයි. මෙම තහනම බෞද්ධ සමාජයේ පමණක් ක්‍රියාත්මක වූවක් නොවේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළද සුරාපානය තහනම් ක්‍රියාවකි. බ්‍රාහ්මණ දහමට අනුව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය වෛශ්‍ය යන අයට සුරාපානය කළ නොහැකිය. එය ශුද්‍රයන්ට පමණක් සීමා වූ පහත් ක්‍රියාවක් ලෙස බමුණු දහම පවා සලකයි. එය සියලු ආගම්වලින් ප්‍රතික්ෂේප කර ඇත.
පන්සිල් අතර පස්වැනි සිල්පදය “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී” සිල්පදය යි. මෙහි මජ්ජපමාදට්ඨානා යනුවෙන් විශේෂ වචන දෙකක් එකතු වී ඇත. මජ්ජ නම් මදයයි. පමා නම් ප්‍රමාදයයි. ඨාන නම් එයට හේතු වන කාරණාවයි. මදයට හා ප්‍රමාදයට හේතුවන සකල විධ මද්‍යසාරයෙන් වැළැකෙමි යන්න එම සිල් පදයෙහි අරුතයි. ඒ වගේමයි තමන් මත්වතුර නොබොන්නා සේම අන් අයට එය නොදීම ද කළයුතු වෙයි. තමා සුරා පානයෙන් වැළැකී තම නිවසට පැමිණෙන හිතවතුන්ට මත්පැන් වලින් සංග්‍රහ කිරීම බොහෝ නිවෙස් තුළ සිදු වන්නෙකි. නමුත් සිදුවිය යුත්තේ තමා මත්පැන් පානය නොකරන්නා සේ අන් අයටත් නොදී සිටීමයි. එවිට ඒ සිල්පදය රැකේ. යම් විශේෂ දිනකදී සුරාව දීමෙන් තම නෑදෑ හිතවතුන් වෙරිමතින් විකාර නැටුම්, ගැයුම් ආදියෙන් යුතුව විකෘති වූ මානසිකත්වයකින් කරන ආශිර්වාදයෙහි ඵලය කුමක්ද? මෙසේ අන් අයට මත්වතුර දීමෙන් වන්නේ සංසාරයේ කෙදිනක හෝ තමාටත් ලෝදිය උගුර උගුර හෝ බීමට සිදුවීමයි. තමන් වැරැද්දක් නො කරන්නේ නම් මම නොකරන වැරැදි දේ අන් අය ලවා හෝ නොකරමි යන දැඩි ප්‍රතිපත්තියෙන් සිටීමට වගබලා ගතයුතු වන්නේ ඒ නිසාය. එයින් විදහා පාන්නේ ඔහුගේ පෞරුෂත්වයයි.
ඒ වගේම මේ සිල්පදය බිඳගන්නා තවත් අවස්ථාවක් තිබේ. ඒ වෙරිමතින් නටන පුද්ගලයන් දැක සිනාසෙමින් එය ඒ කි‍්‍රයාව ආශ්වාදයෙන් වැළඳ ගැනීමයි. ඒ වගේම සැබෑ ලෝකයේ පමණක් නොව මාධ්‍ය වලින් පෙන්වන බීමත් රැඟුම් දැක අපි එය සතුටින් වින්දනය කරමු. ඒ ආශ්වාදය තුළින් සිදුවන්නේ ද මෙම සිල්පදයට හානි වීමයි. මෙම සිල්පදය පරිපුර්ණත්වයට නො පැමිණීමයි. බීමතින් දොඩවන මිනිසුන්ගේ විකාර කථා ඇසීමට ඇති ආශාව නිසා ඔවුන් තවත් දිරි ගන්වන අයද සිටියි. එයින් සිදුවන්නේ ද අර පුද්ගලයන් තව තවත් මත්වතුර පානය කිරීමයි. මෙවැනි දේ දැක සිනාසෙමින් ආශ්වාදයෙන් ඉවසා සිටීමද හොඳ දෙයක් නොවේ. මත්වීමට එක් වචනයකින් හෝ සහයෝගය දෙන, අනුමත කරන හෝ ඒවා ආශ්වාදයෙන් වැළඳගන්නා අය කවුරුත් සිල්පදය පරිපූර්ණත්වයට පත් කර ගන්නෝ නොවති.
මද්‍යසාර භාවිතයෙන් වැළකිය යුත්තේ එය ප්‍රධාන වශයෙන් මදයට හා ප්‍රමාදයට හේතුවන නිසාය. සාමාන්‍යයෙන් පන්සිල් විස්තර කරන විට සිල්පද හතරකට එය කඩ කළහොත් එයින් සිදුවන හානිය සිල් පදය තුළින්ම විස්තර කර නැත. උදාහරණයක් ලෙස පාණාතිපාතා සිල්පදය කඩ කිරීමෙන් සිදුවන හානිය පිළිබඳව එම සිල්පදය තුළින් දක්වා නැත. නමුත් සුරාපානයෙන් වැළකීමට බුදුදහම මිනිසුන්ට උපදෙස් දෙනුයේ එය කඩ කළහොත් සිදුවන හානිය පිළිබඳව අවධාරණය කරමිනි.
මදය යනු කායික මත්වීම හෙවත් කායික දුර්වලතාවය යි. ප්‍රමාදය යනු මානසිකව ඇතිවන දුර්වලතාවයයි. මද්‍යසාර භාවිතයෙන් සිත සහ කය යන දෙකම දුර්වල වෙනවා පමණක් නොව මොළයේ ඇති ශෛල විශාල ලෙස අඩපණ කිරීමට හේතු වෙයි. සුරාපානය නොකර සිටීමෙන් මිතුරන් අතරේ කොන් වෙයි, එය තමන්ට මදිපුංචිකමක් යැයි සිතන අයද සිටී. බේබදු මිතුරන් අතරේ තමන් කලක් රැක ගත් අභිමානය, පෞරුෂය මෙලෙස පාවා දෙන්නට සිදුවන්නේ තමන් තුළ එයට විරුද්ධව නැඟී සිටීමේ දක්ෂතාවය නැති බැවිනි. එය කිසිම අයුරකින් සාධාරණීකරණය කළ නොහැක. සතිය යනු සිහිය යි. සිහිය විකෘති කරන, එය මැඬ පවත්වන, සිහිය දුර්වල කරන, ප්‍රධානම බලවේගය සුරාපානයයි. ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අවශ්‍ය ප්‍රධාන ධර්මතාවය වන්නේ සතිය නොහොත් සිහියයි. ධර්ම මාර්ගයේ ගමන් කර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට යමෙක් කැමැති නම් දියුණු කළ යුතු ප්‍රධාන ධර්මතාවය වන්නේ සතිය නොහොත් සති සම්බෝජ්ජඣංගයයි. සුරාපානය පහර එල්ල කරනුයේ එබඳු වූ සතියටයි. එවැන්නෝ නිවන් මාර්ගයෙන් බොහෝ ඈත් වූවෝ වෙති.
මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ අනෙක් අකුසල කර්ම කිරීමේදී සිහිය නො පිරිහෙන බවයි. ඒවා මනාව දියුණු කිරීමට සිහිය අවශ්‍ය වෙයි. මෙහිදී සිහිය යනු සම්මා සතිය නොව සාමාන්‍ය සිහිය බව අප දැනගත යුතුය. සතිය තිබීම සාමාන්‍ය දෙයකි. සම්මා සතිය නම් කුසලය පිළිබඳව ඇති සිහිය වන අතර, අකුසලය පිළිබඳ දියුණු වන සිහිය මිච්ඡා සතිය වෙයි. සතෙකු මරණ විටද, කාමයේ වරදවා හැසිරෙන විට හෝ බොරු කියන විටද සිහිය තිබිය යුතු වේ. අකුසල් කර්ම කරනවිට සිහිය පිරිහෙන්නේ නැත. ඒවා සිදු කිරීමට මිච්ඡා සතියයි අවශ්‍ය වන්නේ. සම්මා සතිය සම්පූර්ණයෙන් නැතිකර දමා එක් විටම සිත සහ කය සහමුලින්ම දුර්වල කරන එකම අකුසල කර්මය සුරාපානය යි. සුරා ලෝලීත්වය අවසන් වන්නේ උන්මත්තක භාවයෙන් බව දැන එම කාර්යයෙහි වැළකීමට උත්සාහ කළයුතු බව බුද්ධ දේශනාවලදී අපට ඉගැන්වෙයි.
සුරාපානය හෙළා දැකීමට බුදුදහම උත්සුක වන ප්‍රධාන හේතු දෙකකි. තථාගතයන් වහන්සේ විසින් සුරාපානයෙන් වළකින ලෙස දක්වා ඇත්තේ එයින් ලෙඩ රෝග වැළඳෙන නිසාම නොව එය නිවන් මඟට බාධාවන් වන බැවිනි. එය බුදුදහමේ ඉගැන්වෙන විමුක්ති මාර්ගයෙහි ගමන් කිරීමට බෙහෙවින් ඉවහල් වන ජාගරියානුයෝගය (සිහිය දියුණු වන පරිදි නිදිවරා කටයුතු කිරීම) ප්‍රතික්ෂේප වේ. ත්‍රිවිද්‍යාවන් උපදවා ගැනීමට පුහුණු කළ යුතු චර්යාවන්, අනුගමනය කළ යුතු ධර්ම පසළොස්චරණ ධර්ම ලෙස හැඳින්වේ. ඒ පසළොස්චරණ ධර්ම අතරින් ජාගරියානු යෝගයට සහ භෝජනේමත්තංඤ්ඤුතා (ආහාරයේ පමණ දැන ගැනීම) යන කරුණු දෙකම සුරාපානය මඟින් දුර්වල වෙයි.
සුරාපානය කරන්නා මෙලොවදී යම් යම් විපත් කරදර වලට මුහුණ දී මරණින් මතු නරකයෙහි ඉපිද අනේක විධ වර්ෂ කෝටි සහස්‍රාදියක් පැසී එයින් මිදී කලාතුරකින් මිනිසත් බවක් ලබා ගත්තද, ඒ තැනැත්තා උප්පත්තියෙන්ම මන්ද බුද්ධිකයෙකු වෙයි. ජන්මයෙන්ම මන්ද බුද්ධිකයෙක් වූ විවිධ හේතුන් නිසා උන්මත්තකයෙකුගේ තත්ත්වයට පත්වේ. ගුණ හීනයෙකු වෙයි. ලජ්ජා නැති මිනිසෙක් වෙයි. දිළින්දෙක් වෙයි. හැම විටම ඤාාති ව්‍යසනාදි දුක්වලට මුහුණ දෙන්නෙක් වෙයි. ඤාතීන් භේද වී රණ්ඩු සරුවල්වලට ලක්ව පවුලේ සමගිය විනාශ වෙන තත්ත්වයට පත්වෙයි. විරූපී ශරීරයක් ඇත්තෙක් බවට පත්වෙයි. මේවා සුරාපානයේ ආදීනව වෙයි.