දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සුගති දුගති වෙනස

කොබෙයිගනේ පුබ්බිලිය 
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය 
ගලගෙදර රතනවංශ හිමි
මේ ලෝක ධාතුව තුළ ජීවත් වන සත්වයා කෙලෙස්වලින් අනූනය. රාගයෙන් රත් වී, ද්වේශයෙන් දූෂිත වී, මෝහයෙන් මුලා වී වාසය කරති. එහිදී නිවැරැදි දේ නිවැරැදි ආකාරයෙන් දැකීමට තරම් බුද්ධියක් නූපදී. බුදුරදුන් ධර්මය අවබෝධ කොටගෙන පළමුව කෘතගුණ දක්වනු වස් බරණැස් නුවර මිගදායේ ඉසිපතනාරාමයේ එවකට සිටි පස්වග තවුසන්ට දහම් දෙසීමට වැඩම කරන අතර මග හමු වූ උපක නම් ආජිවකයාට මතක් කර දෙන්නේ,
“ධම්ම චක්කං පවත්තේතුං - ගච්ඡාමි කසිනං පුරං 
අන්ධභූතස්මිං ලෝකස්මිං - ආභඤ්ජං අමත දුන්දුභිං”
මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස් නුවරට යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි ආදී වශයෙනි. මේ අනුව බුද්ධ ඤාණයෙන්ම ලෝක සත්වයාගේ ස්වභාවය දේශනා කොට ඇත. සත්වයා සසර සැරිසරන්නේ ද අවිද්‍යාව (නොදැනීම) නිසා ය. එය පටිච්චසමුප්පාද දේශනාවෙන් මනාව දේශනා කොට ඇත.
බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ ලෝක වග්ගය තුළින් මේ සම්බන්ධව වටිනා උපදෙසක් සේම අර්ථ විවරණයක් කර ඇත. එනම්,
අන්ධභුතො අයං ලෝකො 
තනුකෙත්ථ විපස්සති 
සකුන්තෝ ජාල මුත්තෝව 
අප්පෝ සග්ගාය ගච්ඡති
මේ ලෝකයේ අනුවණ පුහුදුන් පුද්ගලයා අන්ධය. ඔවුන් අතුරෙන් ස්වල්ප දෙනෙක් හරි ආකාරයෙන් ලෝකය දකිත්. ඔවුහු දැලෙන් මිදුනු කුරුල්ලන් සේ සුගතියට පැමිණෙත්.
මෙම ගාථා ධර්මය සරලව සේ පෙනුණ ද ගැඹුරු අර්ථයක් අන්තර්ගතව ඇත. මෙහිදී “අන්ධ” යන වචනය භාවිතා කොට ඇත්තේ ප්‍රඥාව නොමැතිකමටය. යථාර්ථය දැකීමට නම් ප්‍රඥාව අත්‍යවශ්‍ය වේ. බුදුහිමි බොහෝ සූත්‍ර අවසානයේ දී “චක්ඛුං උදපාදි පඤ්ඤා උදපාදි” යනුවෙන් නුවණැස නොහොත් ප්‍රඥාව පහළ විය. ආදී වශයෙන් දේශනා කොට ඇත. ලෝකයේ ටික දෙනෙකුට පමණක් නුවණ ඇත. එය ප්‍රඥාවයි.
එමනිසා ප්‍රඥාව ඇති ටික දෙනා යථාර්ථය දැක මෝහය නමැති අන්ධකාරයෙන් මිදීමට උත්සාහවත් වෙති. එය හරියට දැලකට හසු වූ වටකුරුලු රංචුවක් අතරින් වටුකුරුලු කිහිප දෙනෙක් උත්සාහයෙන් දැලෙන් මිදී මරණයට හසු නොවී පලා යන්නාක් බඳු ය. ඔවුනට සුගතියක්ම හිමි වේ.
නමුදු අන්ධ වූවන් අර දැලට හසු වූ වටු කුරුල්ලන් සේ එතනම මරණයට පත් වේ. අන්ධ බව යනු පස්කම් සැපයට හසු වී යථාර්ථය නොදැක මියගොස් නිරයට යෑමයි. අන්ධ බව නිරයට යන මාවතයි.
එනිසා බොහෝ පිරිස් පස්කම් වලටම ගිජුව එහිම ඇලී ගැටී මැරී ගොස් නිරයේ ඉපදෙති. “අප්පෝ සග්ගාය ගච්ඡති” ඒ අන්ධ සත්වයින් අතුරින් ටික දෙනෙක් සුගතියට යති. මරුගේ පස්කම් ගුණ නමැති දැලට වැසුණු සතුන් අතුරෙන් ටික දෙනෙක් සුගතියට සැපයට පැමිණෙති. සත්වයා නිතරම එකළොස් ගින්නකින් තැවෙති. දැවෙති.
රාගෝච දොසෝචමොහෝ චව්‍යාධි 
ජරා ච මරණම්පි ච සෝක මෙව 
පරිදේව දුක්ඛ මපී ච දෝමනස්සං 
පායාස මෙකාදස මග්ගිමාහු
රාගය, ද්වේශය, මෝහය, ව්‍යාධිය, ජරාව, මරණය, දුක්ඛය, දෝමනස්සය, පායාසය යනාදී එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර දැවි දැවී, පිච්ච පිච්චී සිටියද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ පංචකාම නම් වූ දැලට හසු වී සිටින බැවින් එය නොපෙනේ. නොදැනේ. බුදු හිමි පෙන්වා දෙන්නේ මෙවැනි ගිනි වලින් දැවෙනා සත්වයාට කුමන සිනාවක් ද, කුමන සතුටක් ද, යනුවෙනි.
පංචකාම දැලට හසු වූ බොහෝ දෙනෙක් නිරයට යන්නේ අවසන් මොහොතේ දී පවා උපාදානය නොහොත් මගේ, අපේ යන ආත්ම සංකල්පය ඉවත් කර ගැනීමට අපහසු බැවිනි. සෝවාන් වීමේ දී නැතිවෙන දස සංයෝජන වලට අයත් පළමු අංගය වන්නේ ද සක්කාය දිට්ඨිය නොහොත් ආත්ම දෘෂ්ඨියයි. එනම් මමය, මාගේය ආදී සංකල්පයන්ය. ඒවා නැති නොකර ගැනීම නිරයට නොහොත් අභෞව්‍යස්ථාන වල ඉපදීමට හේතු වන්නේ ය.
බුදු කෙනෙක් ලොව පහළ වන්නේ ද මෝහයෙන් මුලා වී අන්ධකාරයේ සිටින සත්වයාට ප්‍රඥාව නමැති ආලෝකය දල්වා ඉන් මුදා ගැනීමටය. හරියට ලිප ගිනි මොලවන තෙක් කකුළුවා සැපයක් සේ සිතා ක්‍රියා කරන්නා සේ සත්වයා ද පංච කාමයෙන් අන්ධව මරණයට හේතු වී ඒ ගැන නොසිතා කටයුතු කරති.
එතුළින් මියගොස් නිරයෙහි උපදී. මේ කරුණු සිහියට ගෙන බුදුන් දෙසූ දහම තම තම නැණ පමණින් හෝ වටහා ගැනීමට උත්සාහවත් විය යුතු ය. සංසාර චක්‍රය බොහෝ දීර්ඝ බැවින් නැවත නැවත ඉපදීමට ද හේතු වේ. එලෙස නැවත නැවත ඉපදීමට ප්‍රාර්ථනා නොකළත් ප්‍රඥා ඇස පහළ වනතුරු හෝ ඉපදීමට සිදුවේ. එම ඉපදෙන ආත්ම වල නිරයනට නොයා සුගතියක ඉපදීමට උත්සාහවත් වීම උසස් මනසක් ලැබූ සත්වයාගේ කාර්යය යුතුකම වන්නේ ය.

බුදුසසුන බොහෝ කල් ලොව පැවතීමට නම්...

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය 
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි
බුදුසව්වන් හෙවත් බුද්ධශ්‍රාවකයන් කොටස් හතරකි. භික්ෂු, භික්ෂුණී උපාසක උපාසිකා යන හතරයි. එදා බුදුරජාණන් වහන්සේ විසින් ඇති කර වදාළ භික්ෂු ශාසනය අද දක්වාත් සමස්ත ලෝකයේ මත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම අද ලෝකයේ මහායාන ථේරවාද වශයෙන් ගත්විට දෙපක්ෂයේම විශාල භික්ෂු පිරිසක් වැඩ වාසය කරනවා. මහායාන රටවල භික්ෂුණීන් වහන්සේලා ද ඉන්නවා. ලංකාව පමණක් ගත්විට භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව 35000 ක් පමණ වෙනවා. තවත් ථේරවාද රටවල් වන බුරුමයේ, තායිලන්තයේ අපේ රටේ වාගේ දස පැවදි බව ලබන අයත් සිටින නිසා වැඩි සංඛ්‍යාවක් භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරනවා. ඒ වුණත් මේ රටවල තාවකාලික ක්‍රමය අනුව පැවිද්ද ලබා භික්ෂු පිරිසත් ගත්තහම ජීවිතයේ ආගමානුකූල හොඳ ශික්ෂණයක් ලබා ගැනීම අරමුණු කර ගෙන එහෙම තාවකාලික ව පැවිද්ද ගන්නවා. ඒ බොහෝ දෙනෙක් පසුව ගිහි ජීවිත අංග සම්පූර්ණව ගත කරනවා. තායිලන්තයේ රජතුමා පවා මේ තාවකාලික පැවිද්ද ලබපු කෙනෙක්. ඉතින් භික්ෂු සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වැඩි වීමත් භික්ෂූන් වහන්සේලාගේ පැවැත්ම පිළිබඳ බොහෝ ගැටලු ඇති කරනවා. බුදුහාමුදුරුවෝ විනය නීති පැනවූවේත් භික්ෂු සංඛ්‍යාව වැඩි වෙන කොට ඇති වූ නොයෙක් විනය කඩකිරීම් නිසයි.
මේ භික්ෂු විනයේ කඩතොලු ඇති වී උන්වහන්සේලා භේදභින්න වීමට පටන් ගත්තේ අද ඊයෙක නොවන බවත් අප මෙහිදී පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ම මේ තත්ත්වය පැහැදිලිව ඇති වන්නට පටන් ගත්තේ එදා දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි බව ලබා භික්ෂුවක් බවට පත් වූයේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ඥාති පරපුරේ ඉතාමත් ආසන්න කිට්ටු ම සාමාජිකයෙකු, ඥාතියෙකු වෙලා ඉඳගෙනයි. මේ දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් වර පහක් ඉල්ලා සිටියේ තමන්ගේ ඥාති බව ද සලකලා බුදුරජාණන් වහන්සේ මේ වර පහ එක්වරම දෙයි කියන විශ්වාසය ඇතිව වෙන්නටත් පුළුවනි. එහෙත් බුදුරජාණන් වහන්සේ එක් වරටම මෙය ප්‍රතික්ෂේප කළේ තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයට එය පටහැනි නිසා. මෙය තේරුම් ගැනීමේ හැකියාවක් මේ අනුවණ භික්ෂුවට තිබුණේ නැහැ. මේ සිදු වීමෙන් මහත් කෝපයට පත් වෙච්ච මේ භික්ෂුව එයට ගත් පියවර වූයේ බුදුසසුනේ ම පැවිදිව සිටි එවැනිම අනුවණ තම පක්ෂය ගත් භික්ෂු පිරිසක් හා එක්ව වෙනත් නායකත්වයක් යටතේ වෙනත් කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් අවසානය දක්වාම බුදුරජාණන් වහන්සේට වෛර කම් කමින් සිට අවාසනාවන්ත ලෙස පරලොව යාමයි.
ඡබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා ද තවත් යම් පමණකට අවිනයවාදී භික්ෂු පිරිසකි. කොසඹෑනුවර ධර්මධර හා විනයධර වශයෙන් බෙදී අවිනය ලෙස හැසිරීමෙන් ඔවුන් සමඟි කරවීමට බුදුරජාණන් වහන්සේ බොහෝ උත්සාහ දැරුවත් එය කළ නොහැකි තත්ත්වයක් පෙනී ගිය විට උන්වහන්සේ මහත් සංවේගයට පත් වූයේ තමන්වහන්සේ වැඩ වාසය කරන කාලයේ දී ම මේ විදියට මේ භික්ෂූන් වහන්සේලා භේද වී ක්‍රියා කරනවා නම් අනාගතයේ එය කෙතරම් දරුණු විය හැකි ද සිතිවිල්ලෙන් යුතුව ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ දුකට, ශෝකයට පත් පෘථග්ජන භික්ෂූන් වහන්සේලා අඬන වැළපෙන ආකාරය දැක්ක සුභද්‍ර නම් භික්ෂුව මහ හඬින් ප්‍රකාශ කළේ පිළිවෙලට අපි දැන් සෝක කරන්නේ මොකටද? එහෙම කරන්නට දෙයක් නැහැ. දැන් අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණු නිසා සතුටු විය යුතු වෙලාවක් නේද? දැන් පැමිණ තිබෙන්නේ යන අදහස් ය. මේ නිසාම පළමුවන ධර්ම සංගායනාව කිරීමට හේතුවුණා. පසුව යම් යම් කාලවල විවිධ නිකාය ඇති වුණේත් භික්ෂූන් වහන්සේලාගේ අධර්මානුකූල පැවැත්ම හේතු වෙලයි. මේ අපේ බෞද්ධ ඉතිහාසය පුරාම මෙම විනය කඩකිරීම්, බුද්ධ දේශනාවට පටහැනිව භික්ෂූන් වහන්සේලා ක්‍රියා කළ ආකාරය අපට පේනවා. එදා බුදුරජාණන් වහන්සේ විසින් විවිධ හේතු සාධක ඇති වූ නිසාම විනය නීති රීති රාශියක් පැන වූවා වාගේම එය කොතරම් විශාල සංඛ්‍යාවක් ද කිවහොත් විනය පිටකය කියා ත්‍රිපිටකයට අයත් වෙනම පිටකයකුත් පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ අතිමානුසික ගුණයක් වන්නේ මෙවැනි තත්ත්වයන් ඇති වීමට හේතු එදා බුදුරජාණන් වහන්සේ දැනගෙන එය පැහැදිලි කොට එය දේශනා කිරීමෙනු යි.

බුදුසසුන බොහෝ කල් නොපැවතීමට හේතු

පළමුවෙන්ම බුදුසසුන කියන්නේ කුමක්ද? යන්න පැහැදිලි කර ගත යුතු වෙනවා. බුදු සසුන යන තැන සසුන කියලා කියන්නේ ශාසනය හෙවත් අනුශාසනය නැතිනම් දේශනා කරන ලද ධර්මයයි. බුදුසසුන කියන්නේ බුදුදහම යි. දවසක් කිම්බිල නුවර කිට්ටුව වේළුවන විහාරයෙහි වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ හමුවට ආවා කිම්බිල නමින් ප්‍රසිද්ධ සිටි හාමුදුරුවෝ. පැමිණිලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ගරු බුහුමන් දක්වලා ප්‍රශ්නයක් අහනවා “තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් කාලයක පිරිනිවන් පානවා. එහෙම පිරිනිවන් පෑවට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය බොහෝ කල් පවතින්නේ නැතිව කෙටි කාලයකින් ලෝකයෙන් අතුරුදහන් වුවහොත් එය සිදු වන්නේ කුමන හේතු බලපෑවොත් ද? ස්වාමීනි,” කියලා . මේ ප්‍රශ්නය ඉතා වැදගත් අර්ථයක් ගෙන දෙන එකක්. මොකද? මේ කාලයෙහි ත් සමාජයේ සිදුවන සංවාදයන් අනුව බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය මේ විදියට පරිහානි ලක්ෂණ ඇති වුවහොත් මේ සසුනට කුමකින් කුමක් වේද? කියා අසන විමසන උදවියත් ඉන්න බවත් අප අමතක කළ යුතු නැහැ කියලයි සිතෙන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් පෙන්වා දුන්නා. එයට හේතුවන කාරණා හතක් මේ කිම්බිල හාමුදුරුවන්ට දේශනා කළා. මේ දේශනාව ඇතුළත් සූත්‍රයට කියන්නෙත් කිම්බිල සූත්‍රය කියලයි. දැන් අපි බලමු මේ කරුණු හත කුමක්ද? කියලා. පළමුවැන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ මේ ජීවමාන කාලයෙහි ඉන්න භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසකවරුන් උපාසිකාවරුන් කියන මේ සිව්වනක් පිරිස යම් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කිසිදු ගෞරවයක් නොමැතිව ක්‍රියා කිරීම. ඇත්තෙන්ම මෙය අප ජීවත්වන සමාජයේ කොතෙකුත් දකින්න පුළුවනි. භික්ෂූන් වහන්සේලා මේ ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් එක් කාලයක මේ රටේ උපසම්පන්න භික්ෂූන් වහන්සේලා එකම අයෙකුවත් සොයා ගත නොහැකිව ශාසනය හිස් වුණා. අධාර්මිකව මේ කියන බුද්ධ ගෞරවයක් නැති වී යාමෙන් ලංකාවෙ ගණින්නාන්සේලා නමින් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටින ශ්‍රමණ ප්‍රතිරූපකයෝ තමයි හිටියේ. ඒ වෙලාවේ ලංකාවේ රජකම් කළ කීර්ති ශ්‍රී මහරජතුමා විසින් වර්ෂ 1747 දී සියම් රටෙන් උපාලි තෙරුන් වහන්සේ ප්‍රධාන උපසම්පන්න භික්ෂූන් වහන්සේලා ලංකාවට වැඩමවල ඒ උපසම්පදාව පිහිටෙව්වා. ඒ අයගෙන් පැවත එන භික්ෂූන් වහන්සේලා තමයි අදත් මේ වැඩ ඉන්නේ. මේ වාගේ පිරිහීමක් නිසාම පොළොන්නරු කාලයේ දී භික්ෂුණී ශාසනය ද නැති වී ගියා. භික්ෂූන් වහන්සේලා අතර නොයෙක් මතවාද ඇති වීමෙන් ශාසනය පිළිබඳ ශුද්ධයකුත් සිදු කළා. ගිහි උපාසක උපාසිකා කියන කොටස තුළත් බුද්ධ ගෞරවයක් නොමැතිව උන්වහන්සේ දේශනා කරන ලද ධර්මයට පටහැනිව නොයෙක් වැරදි ජීවිත ගත කරන අය කොපමණ නම් ඉන්නවාද?
දෙවනුව හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ ධර්මයෙහි සඳහන් ආකාරයෙන් ක්‍රියා නොකර ඊට විරුද්ධ ලෙස බොහෝ ලාමක ක්‍රියාවල යෙදීමයි. තුන්වැනිව දක්වා තිබෙනවා සංඝරත්නය කෙරෙහි ගෞරව සම්පන්න නො වී ජීවත් වීමයි. මෙයත් අපට මේ අද අපේ රටේ සිටින භික්ෂූන් වහන්සේලා ගිහි බෞද්ධ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන්ම සියලුම දෙනා නො වුණත් ඇතැම් අයගේ පැවැත්ම ප්‍රකාශන තුළින් දැක බලා ගන්නට පුළුවනි.
හතරවන කාරණය තමා බුදුරජාණන් වහන්සේ දේශනා කොට පනවා තිබෙන භික්ෂු විනය. ගිහි ශික්ෂාවන් පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරව තමන්ට සිතෙන පිළිවෙල අනුව කටයුතු කිරීම.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ආර්ය මාර්ගයට බසින්නට නම් අප හැම දෙනාම සිත නිවීමෙහි, තවත් ආකාරයකින් කියනවා නම් සිතේ එකඟතාව ඇති කිරීම එසේත් නැත්නම් චිත්ත සමාධිය වැඩි දියුණු කර ගැනීමට ක්‍රියා කළ යුතු වෙනවා. එහෙම වුණත් අපි කීයෙන් කී දෙනා ද මේ නො දැමුණු සිත එකඟ කර ගැනීමේ උත්සාහයක යෙදෙන්නේ? එයින් සිදු වන්නේ කුමක් ද අප භෞතික සැප සම්පත් ලබා ගැනීමට කොපමණ දන් පින්කම් කළත් භාවනාවට යොමු නො වී නිවන් මඟ ඈත් කර ගන්නවා. එය බුදු දහමට එකඟ වූවක් කියලා කියන්නට හැකියාවක් ඇත්තේ ම නැහැ. මේ කරුණ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කර තිබෙනවා. මේ නිවනට තිබෙන එකම මග අන් කිසිවක් නොව චිත්ත ශුද්ධිය ඇති කිරීම යි. ඊට මනස දියුණු කිරීමෙහි සමාධිය වැඩිය යුතු වෙනවා. එය අපෙන් සිදු නොවෙනවා නම් බුදුසසුන රඳා නොපැවතීමට හේතු වෙනවා. මෙය පස් වැනි කාරණාවයි.
හයවැනි කරුණ වෙන්නේ ධර්මානුධර්ම පිරීමෙහි අප්‍රමාද හෙවත් විසුරුණු සිතින් ක්‍රියා කිරීමයි. ඒ පිළිබඳ ඇලීමක් ඇති කර නොගැනීමයි. චිත්ත සමාධිය හරි හැටි වැඩි දියුණු කර ගැනීම තුළින්ම අපට අප්‍රමාදයෙන් හෙවත් සන්සුන් සිතින් යුක්තව ක්‍රියා කිරීමේ හැකියාව ඇති වෙනවා. ඒ නිසාම සමාජයට නො ගැළපෙන තීරණ තැනීමට අධාර්මික කටයුතුවල යෙදීමට පෙළඹෙනවා.
හත්වෙනි කරුණ ලෙස මේ සූත්‍රයෙහි සඳහන් වෙනවා එක්ව ජීවත්වන විට සමඟිය බිඳී භේද භින්න වී නොයෙක් අපවාද නින්දා එක එක්කෙනාට කරමින් කිසිදු එකට එක් වීමක් සාකච්ඡාවක් සමඟියක්, සමාදානයක් නොමැතිව ජීවත් වීම නිසාත් මේ බුද්ධ ශාසනය නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අතුරුදහන් වෙලා යනවා කියලා. මේ විදියට බුදුරජාණන් වහන්සේ කිම්බිල හාමුදුරුවන් වහන්සේ අමතා මේ කරන දේශනාවේ ඇතුළත් වන කාරණා හත හොඳට සම්පූර්ණ කර ගෙන අප ක්‍රියා කළ විට එයින් විශාල යහපතක් මේ සමාජයට පමණක් නොවෙයි. අනාගත පරම්පරාවලටත් අප ජීවත් වන සමාජයෙන් විශාල වැඩක්, අර්ථයක් කරපු පිරිසක් බවට අප පත් වෙනවා. හැම දෙනාටම මේ දහම් කරුණු අවබෝධ වී නිවන් මඟ හෙළි පෙහෙළි වේවා.

සසල කරන අරමුණු හමුවේ නිසලව සිටීම උතුම්ය

අප කවුරුත් උපත ලබන මොහොතේ දී අපගේ සිත පිවිතුරු ය .පැහැපත්ය. බිලිඳු දරුවකුගේ සුන්දර බව,අව්‍යාජ බව දක්නට ලැබෙන්නේ ඔහුගේ සිතෙහි පවතින එම පවිත්‍රතාවය හේතුවෙනි. එහෙත් වයසින් වැඩෙන විට ඉඳුරන් මෝරන විට එම ස්වභාවය ක්‍රමයෙන් වෙනස් වෙයි. ඇස්, කන්, නාසය ආදී පසිඳුරන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු මුල්කරගෙන හැසිරෙන ආකාරය අනුව සිත අපිරිසුදු වෙයි. බුදුරදුන් එය හැඳින්වූයේ සිත කෙලෙස් කහටින් කිළුටු වීමක් වශයෙනි. මහණෙනි,උපදින තැනැත්තාගේ සිත ඉතා පැහැපත් එකකි. (පභස්සරමිදං භික්ඛවේ චිත්තං) එය බාහිර වශයෙන් පැමිණෙන කෙලෙස්වලින් කිළිටි බවට පත් වෙයි. (ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨං)
පසිඳුරන් හා අරමුණු ගැටීමෙන් මනස තුළ සිදුවෙන ක්‍රියාදාමය ඉස්මතු වන්නේ ප්‍රධාන වශයෙන් ලෝභය, ද්වේෂය හා මෝහය මුල්කරගෙනයි. ඉරිසියාව, ,වෛරය, මාන්නය, වංචාව ආදී කායික හා මානසික ක්‍රියාකාරකම් ඒවාට බද්ධව පවතියි. පසිඳුරන් හා ගැටෙන අරමුණු සැපදායක , පි‍්‍රය දේවල් ලෙස සැලකීමෙන් ඒවා පසුපස ලුහුබඳින රාගයද, පසිඳුරන් අපි‍්‍රය දේවල් ලෙස සලකන අරමුණුවලට එරෙහිව ක්‍රියාකිරීමෙන් ද්වේෂයද සිතෙහි මතුවෙයි. එය සිදුවන්නේ ලෝකයේ නැතිනම් ජීවිතයේ සැබෑ ස්වභාවය නුවණින් වටහාගන්නට නොහැකි බැවිනි. එබඳු තත්ත්වය ඇතිවන්නේ මෝහයෙන් මනස ආවරණය කර තිබීම හේතුවෙනි. මෝහය නිසා මිනිස්සු කලහ විවාද ඇතිකරගනිති. නොයෙකුත් දුක් දොම්නස් වේදනාවන්ට ගොදුරුවෙති. තමන් පි‍්‍රය කරන ගැහැනිය හෝ පුරුෂයා නෙැලැබීම් හේතුවෙන් සියදිවි හානි කරගන්නට තරම් මෝඩකමෙන් ක්‍රියා කරන අය සමාජයේ සිටිති. තමන් අකැමැති දේවල් හා පුද්ගලයන් කෙරෙහි ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රියා කරන අයද බහුලව දක්නට ලැබේ. ජීවිතය හා ලෝක ස්වභාවයන් ගැන නිරවුල්ව වටහා ගන්නවා නම්, පුද්ගලයන් එලෙස හැසිරෙන්නේ නැත.
ජීවිතය ගැන නිවැරැදිව තේරුම් ගැනීමේ නුවණ ආවරණයට හේතුවන කාරණා පහක් පංච නීවරණ ධර්ම යනුවෙන් බුදුරදුන් පෙන්වා දී තිබේ. 1.කාමච්ඡන්ද (තණ්හාව) 2. ව්‍යාපාද (ද්වේෂය) 3.ථීනමිද්ධ (කම්මැලිකම) 4.උද්ධච්චකුක්කුච්ච (මනසෙහි නොසන්සුන් බව) 5.විචිකිච්ඡා (සැකය හෙවත් මෝහය) යන එම පංචනීවරණ ධර්මවලින් වැසුණ නුවණ පිරිසුදු කර ගත හැක්කේ භාවනාවෙහි යෙදීමෙනි. භාවනාවෙන් මනස යහපත්ව හසුරුවා ගත්විට අප ජීවිතයේ මුහුණපාන දුක් දොම්නස්වලින් මිදෙන්නට මාර්ගය පැහැදිලි වෙයි.
සිත පිරිසුදු කරගැනීමෙන් සසර දුක්වලින් මිදෙන්නට වෑයම්’ කරන භික්ෂුවක් විසින් කලින් කලට අවධානය යොමුකළ යතු කරුණු පහක් මජ්ක්‍ධිම නිකායේ විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙහි බුදුරදුන් සඳහන් කොට ඇත. එය භික්ෂූන්ට දේශනා කළත්, පැවිද්දන්ට පමණක් නොව ගිහියන්ටද ප්‍රයෝජනවත් වූවකි.
කිසියම් අරමුණක් මුල්කරගෙන සිතෙහි රාගයක් හෝ ද්වේෂයක් හෝ මුළාවක් හටගන්නවා නම් , ඒ අවස්ථාවෙහි කළ යුත්තේ වෙනත් දෙයකට සිත යොමු කිරීමෙන් සිතෙහි ඇතිවූ රාග, ද්වේෂ,මෝහ තත්ත්වය වෙනස් කිරීමයි. ස්ත්‍රියකගේ රූපය නෙත ගැටීමෙන් පිරිමියකුගේ සිතෙහි රාගය පහළවීම ස්වභාවික දෙයකි. සිත සංවර කරගැනීමෙන් තොරව එම රාගික හැඟීම ඔස්සේ ක්‍රියා කිරීම තුළින් පෞද්ගලික ජීවිතයට පමණක් නොව සමාජයට ද බලපාන විවිධ අර්බුද හා ආරවුල් ඇතිවෙයි. සෙසු ඉඳුරන් සම්බන්ධ අරමුණු කෙරෙහි ද මානසික බලපෑම එබඳුය. රාගය, ද්වේෂය හා මෝහය ඇතිවීමට ඒවා පදනම් වෙයි. තමන් අකැමැති පුද්ගලයකු දැකීමෙන් තරහ, වෛරය, මතුවෙයි. ඔහුට එරෙහිව සතුරුකම් කිරීමට පෙළෙඹෙයි. මෙම මානසික හැසිරීම් ගැන මනා අවදියෙන් සිටීම විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කෙරේ. සිත පාපකාරි දේවලට යොමු නොවී යහපත්ව පවත්වා ගැනීම සඳහා මුල්ම උපාය මාර්ගය වශයෙන් බුදුරදුන් පෙන්වා දෙන්නේ වෙනත් අරමුණක් කෙරෙහි සිත යොමුකිරීමයි. එනම්, ඉඳුරන්, හා ගැටෙන අරමුණ පසුපස නොගොස් වෙනත් දෙයක් කෙරෙහි මනස යොමුකිරීමයි. එය සඳහන් කොට තිබෙන්නේ 1.අඤ්ඤනිමිත්තං මනසිකාතබ්බං (වෙනත් කරුණක් කෙරෙහි සිත යොමුකරන්න) යනුවෙනි. එය සිදුකරන ආකාරය ගැන නිදසුන්ද එම සූත්‍රයෙහි දැක්වෙයි.
මහණෙනි, දක්ෂ වඩුවෙක් සියුම් ඇණයක් යොදාගෙන පුවරුවක රැඳුන ලොකු ඇණයට පහර ගැසීමෙන් එය පුවරුවෙන් ඉවත් කරන ආකාරයට ලෝභය, ද්වේෂය හා මෝහය පදනම් කරගත් ලාමක වූ පාප සිතිවිලි වෙයි නම්, ඒවා යහපත් සිතිවිලි මඟින් සිතෙන් ඉවත් කරගන්න. යම් කෙනෙකු පිළිබඳව තම සිත රාගයෙන් මුසපත් වන්නේ නම්, මිනිස් සිැරුරෙහි අසුබ, පිළිකුල් ස්වභාවය ගැන මෙනෙහි කරන්න. සිරුර සෑදී ආකාරය ගැන කල්පනා කොට එහි තිබෙන අප්‍රසන්න බව සිතට ගන්න. කිසියම් අචේතනික වස්තුවක් කෙරෙහි සිත අශාවෙන් මැඩගන්නවා නම් එහි කැඩෙන බිඳෙන වෙනස්වන ස්වභාවය ගැන සිතන්න.ඒ අසුබ බව මෙනෙහි කිරීම තුළින් රාගයට. තණ්හාවට මූලික වූ අරමුණ කෙරෙහි බැඳීම ඉවත් වෙයි.
සිතෙහි ක්‍රෝධය තරහ මතුවන අරමුණක් ඉඳුරන් සමඟ ගැටෙන විට වුවද කළ යුත්තේ එයින් බාහිර දෙයක් කෙරෙහි සිත යොමුකිරීමයි. ද්වේෂයට වි්රුද්ධ දෙය මෛත්‍රියයි. එම නිසා මෙත් සිතිවිලි පහළ කරගන්නට වෑයම්’ කළ යුතුයි. පුද්ගලයකු පිළිබඳව ද්වේෂයක් ඇතිවනවා නම්, මම මොහුට ද්වේෂ කරන්නේ කුමටද? මෛත්‍රියෙහි තිබෙන වටිනාකම ගැන සිතන්න.
දෙවන උපදේශය ලෙස බුදුරදුන් පෙන්වා දෙන්නේ අරමුණු කෙරෙහි බැඳීමෙන් ඇතිවන දුක් සහිත ආදීනව ගැන මෙනෙහි කිරීමෙන් හා පරීක්ෂා කිරීමෙන් ඒවායෙන් සිත මුදවා ගැනීමයි.ආශාව, තරහ, ක්‍රෝධය නිසා පුද්ගලයන්ගේ කායික හා මානසික පරිහානිය සිදුවෙයි. මානසික ආතතිය නිසා තමන් කරන දෙය පවා සිතා ගන්නට අපහසු මෝඩයන් බවට ඇතැම්හු පත්වෙති. එම නිසා බාල හෝ තරුණ කාන්තාවක් හෝ පුරුෂයෙක් ගෙලෙහි සර්ප කුණක්,බලුකුණක් දැවටුන විට පිළිකුළෙන් එය ඉවත් කරන්නා සේ, පසිඳුරන් හා බැඳුන ලෝභය, ද්වේෂය හා මෝහය මුල්කරගත් පාපී අකුශලයන් සිතෙන් වහා ඉවත් කළ යුතු යැයි බුදුරදුන් විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙහි පැහැදිලි කර ඇත. එම උපදේශය දැක්වෙන්නේ (ආදීනවෝ උපපරික්ඛිතබ්බෝ) විපාක පරීක්ෂා කර බලන්න යනුවෙනි.
රාගය,ද්වේෂය, මෝහය වැඩෙන අරමුණු කෙරෙහි බැඳී ඒවා ගැන මෙනෙහි කිරීමෙන් වළකින්න යනු (අසති,අමනසිකරෝ ආපප්ජිතබ්බෝ) තුන්වන උපදේශය සිතෙහි රාගය, තරහ වැනි නපුරු සිතිවිලි මුල් බැසගත් විට ඒවා නැවත නැවතත් සිහියට ගනිමින් පීඩාවට පත්වීම මනුෂ්‍ය ස්වභාවයයි. බොහෝ විට ගැහැණු පිරිමි දෙපිරිසම එකිනෙකා දැකීමෙන් ඇතිකරගන්නා මානසික බැඳීම හේතුවෙන් රාගයෙන් මුසපත් වෙති. ඔවුනොවුන් නොදැකීම විරහ වේදනාවන්ට මෙන්ම, අමනාපයෙන් වෙන්වීම වෛරයට හේතුවෙයි. ඒ හේතුවෙන් ජීවිත තෝරා කර ගන්නා අවස්ථා ද ඇත.අරමුණු කෙරෙහි මනසින් දැඩිව නොබැඳී, නොගැලී කටයුතු කළොත් එවැනි ස්වභාවයන් ඇති නොවේ. එය පහසු දෙයක් නොවන බව සත්‍යයකි. වෙනත් දෙයක සිත යොමුකිරීමට සිතා පොතක් කියවන්නට වෙහෙසුනත් ඒ තුලින් මතුවන්නේ තම පෙම්වතාගේ පෙම්වතියගේ රූපයයි. එය තම දියුණුවට මෙන්ම එදිනෙදා ජීවිතයේ කටයුතුවලටද බාධාවකි. මෙවැනි මානසික ආකූලතාවයන් තුරන් කරගැනීමට නම් කළ යුත්තේ මනසට නැඟෙන අරමුණු ගැන කල්පනා නොකිරීමයි.
පසිඳුරන් සමඟ ගැටෙන අරමුණූ හේතුවෙන් ලෝභය, ද්වේෂය,මෝහය මූලික කරගත් අකුසල් සිතිවිලි මතුවන විට මෙවැනි නපුරු සිතිවිලි ඇත්වන්නේ ඇයි දැයි ඒවායේ මූලය ගැන අවධානය යොමුකරන්න. (විතක්ක සංඛාර ඝණ්ඨානං මනසිකාතබ්බං) යනු සිව්වන උපදේශයයි. වේගයෙන් ගමන් කරන කෙනෙකු වෙහෙසට පත්ව, මා වේගයෙන් යන්නේ ඇයි? හෙමින් යාම හොඳ යැයි සිතා ඔහු සෙමින් යයි. කෙනෙකු සිටගෙන හිඳින විට මා මෙලෙස අමාරුවෙන් සිටින්නේ ඇයි? වාඩිවීම සුදුසු යැයි සිතා වාඩි වෙයි. මෙලෙස තමන් පීඩාවට පත්කරන ඉරියව්’ ගැන සියුම් විග්‍රහ කර බලා එයින් මිදෙන මාර්ගය සොයා ගනියි. ඒ අයුරින් නරක මානසික ආතතින් විග්‍රහ කර බලා එයින් මිදෙන්නට සුදුසු මාර්ගයක් සොයා ගත යුතුය. අප සමාජයේ කටයුතු කරන විට එහි මූලය ගැන සොයා නොබලා තීරණවලට එළඹෙන අවස්ථා තිබේ. පුද්ගලයකුගේ බැල්ම හෝ කතාව නිසා ඇතිකරගන්නා සැකයෙන්, වැරැදි වැටහීමෙන්, තරහෙන් ඇතැම්හු ක්‍රියා කරන්නට පෙළඹෙති. ඔහු මෙලෙස මා දිහා බැලුවේ ඇයි? මට කතා කළේ ඇයි ? යන කාරණා විග්‍රහ කරන විට එහි සැබෑ හේතු පෙනී යයි. එයින් තරහ වෛරය ඇතිකරගැනීම සුදුසු නැති බව තමන්ට වැටහෙයි.
අරමුණු පෙරදැරිව පවිටු සිතිවිලි සිතෙහි මතුවන විට ඒවා මර්දනය කළ යුතුයි. දිව එළියට නොඑන ලෙස දත් තදින් විකාගෙන සිටින්නාක් මෙන්ද බලවත් පුරුෂයෙක් දුර්වල පුද්ගලයකු අල්ලා පෙළන්නා සේද අරමුණු හමුවේ මතුවන නරක සිතිවිල මැඬළිය යුතුයි. මෙම සිව්වන උපදේශය හැඳින්වෙන්නේ අකුසල චේතනා මතු නොවන ලෙස පීඩනයට පත්කිරීම (අභිනිග්ගණ්හිතබ්බං) ලෙසිනි. මෙයින් අදහස් වෙන්නේ සිත දැඩිව පාලනය කිරීමයි.
බුදුරදුන් විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙහි පෙන්වා දී ඇති මෙම කරුණු උපදේශන කටයුතු වල දී ඉතා වැදගත්ය. විවිධ හේතු නිසා මානසික පීඩාවලින් පෙළෙන, වරදට පෙළෙඹෙන දරුවන් යහමඟට ගැනීමේදී මෙම උපදේශන ක්‍රම භාවිතයට ගත හැකිය. ලෝකයේ ජීවත් වන විට බාහිර වශයෙන් පැමිණෙන විවිධාකාර අරමුණු, දුක්ගැහැට වේදනාවන් හමුවෙහි මනස ශක්තිමත් කරගත යුතු බව බුදුරදුන් මෙයින් අපට පැහැදිලි කොට ඇත.

නිදා නොවැටී බණ අහන්න බුදුරදුන් දුන් උපදෙස්‌

ධර්ම දේශනයකට සවන් දෙන පින්වතුන් පිරිසක්‌ දෙස විමසිල්ලෙන් ටික වේලාවක්‌ බලාගෙන සිටිය හොත අපට දකින්න ලැබෙන සුලභ දර්ශනයක්‌ වන්නේ සෑහෙන පිරිසක්‌ දේශනයට සවන් දෙන අතර නිදාවැටෙන බවය. පොහොය දිනට අටසිල් සමාදන්වෙන අපේ උපාසක අම්මලා අතර මෙය බහුලව දක්‌නට ලැබේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ එම නිදිමත ගැනය. නිදා වැටීම නැතහොත් නිදිමත ඇති වන්නේ කෙසේද? කියා අපේ බුදුරජාණන් වහන්සේ විවිධ අවස්‌ථාවලදී දේශනාකර ඇති අතර අංගුත්තර නිකායේ 'පචාලයන' සූත්‍රයෙන් නිදිමත නැතිකර ගන්නා ආකාරයද දේශනා කර තිබේ.

බුදුදහමේ මෙම අසාමාන්‍ය නින්ද හැඳින්වෙන්නේ මිද්ධය ලෙසය. (මිද්ධය අසාමාන්‍ය නින්ද ලෙස හැඳින්වූයේ අප රාත්‍රියේදී හෝ දහවලට කෙටි වේලාවක්‌ ගන්නා නින්ද සාමාන්‍ය නින්ද ලෙස සලකන නිසාය.) බුදුරජාණන් වහන්සේ මිද්ධය යන වචනය භාවිත කරන සෑම අවස්‌ථාවකම ථිනය යන වචනයද භාවිත කළේය. ථිනය යනු අළසකමයි. මිද්ධය චෛතසිකයකයන්ගේ අකර්මණ්‍යතාවයක්‌ ලෙස අභිධර්මයේ හැඳින්වේ. චෛතසික යනු සිතක්‌ ඇතිවීම සඳහා අවශ්‍යවන්නාවු ක්‍රියාවන් ලෙස ඉතාම සරලව හැඳින්විය හැක. මෙම චෛතසිකයන් 52 ක්‌ ඇත. මේවා සිත සමගම එකට ඉපදී සිත ගන්නා අරමුණුමගෙන සිතට නි(ශ්‍රය වු වස්‌තුවම නි(ශ්‍රය කරගෙනම සිතත් සමගම නැතිවේ. සිතට චෛතසික නොමැතිව සිතක්‌ ඇතිකළ නොහැකිවාක්‌ මෙන්ම චෛතසිකවලටද තනිවම සිතක්‌ ඇතිකළ නොහැක. ඒ අනුව මිද්ධය ඇති වන්නේ සිතට මිද්ධය නම් වෛතසිකයද එකතු වීමෙන්ය මිද්ධය ථිනය නම් චෛතසිකයද සමගම සෑම විටම එකට සිටින නිසා ථිනයද (අලස බව) නිදිමත ඇතිවීමට එකතුවේ. මිද්ධය අකුසල වෛතසිකයකි. ඒ අනුව ධර්මය ශ්‍රවණය කිරීමේදී නිදි කිරන්නේ නම් ඒ කරන්නනේ පවේ මල්ලක්‌ පුරවා ගැනීම බව කිව යුතුමය. 

මෙම ථීනය හා මිද්ධය දෙක එකවිට ඇතිවෙනවා මිස කිසිවටෙක වෙන වෙනම ඇති නොවන නිසා බුදුරජාණන් වහන්සේ ථීන මිද්ධය එකම නීවරණයක්‌ ලෙස දේශනාකර තිබේ. නීවරන යනු කුසලයට ඇති බාධකය. ඒවා ගනනින් පහකි. කමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්දච්ච කුක්‌කුච්ච හා විචිකිච්චාවයි. මේවා අකුසල චිත්තයෙහි මිස කුසල චිත්තයක කිසිවිටෙක ඇති නොවේ. සිත, කය දෙක නිශ්චලච එක ඉරියව්වක තබා ගැනීමට පුරුද්දක්‌ නැති පුද්ගලයාට එසේ සිටිමට උත්සාහ ගැනිමේදී නදිමත ඇතිවේ. එවිට චිත්තය දුර්වල වේ. 

මුලිsන් සඳහන් කළාක්‌ මෙන් මිද්ධය නිතරම ථීනය හා බැඳී පවතී. එම නිසා ථිනමිද්ධය ඉපදීමට හේතු පහක්‌ බුදුදහමෙහි සඳහන්වේ. 

1. අරති - අරති යනු කුසලයෙහි නොඇලෙන ගතියයි. එනම්, කුසලයට ඇති අකමැත්තය. කුසලය ගැන ඇති අතෘප්තිමත්භාවයයි. 

2. තන්ධි - තන්ධි යනු ආගන්තුක අලසතාවයයි. එනම් වෙහෙස මහන්සිය නිසා ඇතිවන නිදිමතයි.

3. විජම්භිකා - විජම්භිකා යනු කායික අලසතාවයයි. විජම්භිකා යනුවෙන් හැඳින්වෙන්නේ ඈනුම් ඇරීමයි. 

4. භත්ත සම්මද - භත්ත සම්මද යනු බත් මතයයි. එනම් ආහාර ගත් පසු ඇතිවන නිදිමත ගතියය. 

5. චිත්තලින්තා - චිත්තලින්තා යනු සිතේ කුසීතතාවයයි. සිතට එන කම්මැලිකමයි.

දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනයෙහි ථින මිද්ධය උපමාකර ඇත්තේ හිරගෙයි වැටීමකට සමානවය. ප්‍රීති උත්සවයක්‌ පැවැත්වෙන අවස්‌ථාවක කිසියම් පුද්ගලයෙක්‌ සිරගතකර ඇත්නම් ඔහුට එම උත්සවයේ ප්‍රීතිමත් අවස්‌ථා කිසිවක්‌ දැක ගැනීමට හෝ වින්දනය කිරීමට නොලැබේ. පසු දින ඔහු නිදහස්‌ කළ විට උත්සවයට සහභාගිවූවකු උත්සව අවස්‌ථාව ගැන විස්‌තර කරන්නේ නම් ඔහුට කීමට කිසිවක්‌ නැත. යම්කිසි අවස්‌ථාවක ථීනමිද්ධයට නැතිනම් නිදිමතට ලක්‌වූවකුද එසේමය. ධර්මය අසන්නකුද එසේමය ඔහු ධර්ම දේශනාව අතර නිදන්නේ නම් දෙසූ ධර්මය ගැන කිසිවක්‌ ඔහු නොදන්නේය. ඒ ධර්මය ඔහු නොඇසූ නිසාය. එමනිසා ධර්ම දේශනාව සිහි බුද්ධියෙන් අසාගෙන සිටිය යුතුමය. 

නිදිමත නැතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ උපදෙස්‌ කුමක්‌දැයි බලමු. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ හත්වැනි කාණ්‌ඩයේ පචලායන සූත්‍රයෙහි නිදිමත නැතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති කරුණු අඩංගුවේ. 

අප බුදුරජාණන් වහන්සේ භග්ග ඡනපදයේ සුංසුමාර නම් ග්‍රාමයේ භේෂකලා වනයේ වැඩ වාසය කරන සමයේ සුපුරුදු පරිදි දිවසින් බලද්දී මොග්ගල්ලාන තෙරණුවෝ මගධ ඡනපදයේ කල්ලවාලමුත්ත නම් ගමේ භාවනා කරමින් සිටියදී නිදිකිරා වැටෙනු දුටුවේය. බුදුරජාණන් වහන්සේ එකෙණිහිම සෘද්ධි බලයෙන් එම ස්‌ථානයට වැඩම කර මොග්ගල්ලාන නිදා වැටෙනවා දැයි ඇසීය. උන්වහන්සේද එසේය ස්‌වාමීනියි පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ පචලායන සූත්‍රය දේශනා කරමින් නිදිමත නැතිකර ගන්නා අයුරු දේශනා කළේය. එම සූත්‍රයට අනුව නිදිමත නැතිකර ගන්නා ආකාරය මෙසේය.

1.මොගගල්යානය ඔබට කුමන සිතිවිල්ලකදී නිදිබර ගතිය පැමිණියේද එම සිතිවිල්ල මත ඔබ අවධානය යොමු නොකළ යුතුය. ඔබ එය ගැන නිතර මෙනෙහි නොකළ යුතුය. (ඔබ යම්කිසි කාර්යක නියලී සිටියදී විශේෂයෙන්ම පාඩම් කරමින් හෝ නැතිනම් භාවනා කරමින් සිටී නම් වහාම එම කාර්යය නවත්වන්න. නිදිමත නම් නිදා වැටි වැටී එම කාර්යය කිරීම අල්ප මාත්‍රයක ප්‍රයෝජනයක්‌ නැත.)

2.මොග්ගල්යානය එසේ කිරීමෙනුත් නිදිමත පහව නොයන්නේ නම් ඔබ විසින් අසා ඉගෙන ඇති පරිදි ධර්මය ගැන සිතා, සිත තුළ ඒ ගැන මෙනෙහි කළ යුතුය. ඔබ මනසින් එය විමර්ශනය කළ යුතුය. (දැන් ඹබ දන්නා ධර්මයක්‌ බණ පදයක්‌ හෝ ගාථාවක්‌ සිහියට නගාගන්න. එ් ගැන සිත යොමු කරන්න. එය මෙනෙහි කරන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.)

3.මොග්ගල්යානය, එසේ කිරීමෙනුත් නිදිබර ගතිය පහව යන්නේ නැති නම් ඔබ අසා ඉගෙන ඇති පරිදි ධර්මය කට පාඩම් කළ යුතුය. (එම ක්‍රමයෙන් නිදිමත නැතිවුණෙ නැතිනම් එම ගාථාව හඬනඟා කියන්න. දෙතුන් වරක්‌ කියන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.) 

4.මොග්ගල්යානය, එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැතිනම් ඔබ ඔබේ දෑතින් කන් පෙති දෙක දෙපැත්තට ඇද දෙඅතලෙන් දෙඅත පිරිමැද ගන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.

5.මොග්ගලයානය, එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැතිනම් ඔබ අසුනෙන් නගිටින්න. මුහුණ සෝදා ගන්න. හාත්පස සෑම පැත්තක්‌ම බලා අහසේ තාරකා දෙස උඩ බලන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.

6.මොග්ගල්යානය, එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැතිනම් ඔබ නැගිට වටපිටාව බලන්න. දහවල් කාලයේ නම් ඉර හා ආලොකයත් රාත්‍රියේ නම් සඳ හා තරුත් බලන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.

7.මොග්ගල්යානය, එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැතිනම් ඔබ ඉදිරියේත් පසුපසත් ඇතිදේ ගැන සිහියෙන් යුතුව සක්‌මනෙහි යෙදෙන්න.

8.මොග්ගල්යානය, ඔබ දකුනු ඇලයට හැරී මොහොතක්‌ නිදාගන්න. නැවත ක්‍රමයෙනුත් ඔබට නිදිමත නැතිවූයේ නොමැති නම් ඔබ දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් එක පයක්‌ උඩ අනෙක්‌ පය තබා පැහැදිලි සිහියෙන් යුක්‌තව යලි පිබිදීමේ සිතැතිව වැතිර ගන්න. යළි නැගිටිවිට ඔබ කළ කාර්යයේ යෙදෙන්න. ඔබට නිදිමත නැතිවේවි.

මේ මොග්ගල්ලාන හාමුදුරුවන්ට අප බුදුරජාණන් වහන්සේ 'පචලායන' සූත්‍රයෙන් නිදිමත නැතිකර ගැනීම සඳහා දේශනා කළ උපදෙස්‌ මාලාවයි. මෙය අනුගමනය කිරීමෙන් ඔබටද නිදිමත මග හරවා ගත හැක.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් ෙසෘඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ 

ලොව දැකීම 2


රෝහිතස්ස සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි පැවැත්වූ දේශනයක අවසන් කොටසයි මේ.

හොඳට බලන්න, බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධයේ උදය, වැය දකින්න කියලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් හා ආහාර ප්‍රත්‍යයෙන් පංච උපාදානස්කන්ධයේ ඇති වීම සිදු වෙනවා කියන ඒ බුද්ධ දේශනාව අනුව, පෙනීම කියන සිද්ධිය ඇති වුණේ මෙහෙමයි, නැති වුණේ මෙහෙමයි කියලා දකින්නට අපිට පුළුවන් වෙන්න ඕන.
මෙතැනදී පෙර අවිද්‍යාව නිසා කර්ම, ඒ කර්මයට මරණාසන්න මොහොතේදී තණ්හා කළ නිසා ප්‍රතිසන්ධි ආවා. ඒ ප්‍රතිසන්ධි සිතේ වූ නාම-රූප ධර්මවලට අනුව කන-බොන ආහාරය නිසා මේ ආයතන ටික හැදුණා. ඒ ආයතන නිසා ස්පර්ශ හැදුණා නේද කියලා අපිට පටිච්ච සමුප්පාදයට අනුව බලන්න වෙනවා.
“අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ” කියලා බලන්නට පුළුවන් නම්, මේ පෙනෙන දේට හේතු වශයෙන් ගන්නට වෙන්නේ ඒ ටිකයි. පෙනෙනවා වාගේම, පෙනෙන දේ ඇති වෙන්න හේතු වෙච්ච හේතු ටිකත් නැති වෙනවා කියලා නේද? පංච උපාදානස්කන්ධයේ උදය වැය බල-බලා හිටියොත් මේ පින්වතුන්ට රූප සංඥාව අතහැරෙනවා.
රූප සංඥාව කියන්නේ මොකක්ද? රූපයක් තියෙනවා කියලා රූපයට නැඹුරු වෙලා ඉන්නවා කියන සිද්ධියටයි. රූපයක් තියෙනවා කියලා හැඳිනීමට කියනවා රූප සංඥාව කියලා. පටිච්ච සමුප්පදායට අනුව පෙනෙන දේ අරභයා හිත තියලා බැලුවොත් ඉන්නේ රූප සංඥාවෙන් මිදිලා. ආයතන ටික නිසාම රූප පෙනෙනවා කියලා තේරෙයි. එතකොට තේරෙනවා, දකින්නට ඉස්සර තිබුණත් නොවෙයි; දැක්කායින් පස්සේ තිබුණත් නොවෙයි. ආයතන ටික නිසාමයි පෙනෙන්නේ. ආයතන ටිකේ හැකියාව නිසා මේ අවකාශ ධාතුවේ රවුම්වට, දිගට, මහතට, රූප කලාප රාශි වෙලා අපට පෙනෙනවා. බාහිර ධාතුව නිසා හැඩතල හදලා අපට පෙන්නන්නේ ඒ ඒ ආයතනයේ හැටියටයි.
අවකාශ කියන-එක සංඛතයි. වැඩි දෙනෙක් කියන්නේ නිවනත් අවකාශ වාගෙයි, අවකාශය ඉබේම තියෙන-එකක්, ඒක හැදිච්ච-එකක් නොවෙයි කියලයි. නමුත් මම කියනවා අවකාශය ප්‍රත්‍යයෙන් උපන්-එකක්. අවකාශයත් සංඛතයි, අවකාශය හේතූන්ගෙන් හටගත්-එකක් කියලා. අවකාශය අසංඛත නම් හැමදාම එක වගේ තියෙන්ට ඕන. එක එක ස්පර්ශයට අනුව අවකාශය වෙනස් වෙනවා නම්, ඒ අවකාශය සංඛතයි නේද? අවකාශය අපේ කර්මයට අනුව සකස් කරගත් එකක් නොවෙයිද? බුදු රජාණන් වහන්සේ දේශනා කළා මේ අවකාශය සහිත ලෝකයක් තියෙන්ට බෑ මේ අධ්‍යාත්මයේ සිදු වන සිද්ධියෙන් තොරව කියලා.
බ්‍රහ්මලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ තව්තිසා දෙව්ලොවට එනකොට තව්තිසා වැසි දෙවියන්ට ඒ අය පෙනෙන්නේ නැහැ. පෙනෙන්න නම් රළු ආත්මයක් මවාගෙන එන්න ඕන. තව්තිසා වැසි දෙවියන් මනුෂ්‍ය ලෝකයට එන විට අපිට පෙනෙන්නේ නැහැ; රළු ආත්මයක් මවාගෙන ආවොත් තමයි අපිට පෙනෙන්නේ. මේ අවකාශය තුන් දෙනාට වෙනස්. තව්තිසා වැසි දෙවියන්ට මේ අපේ රූපය ඇතුළෙන් යන්නට පුළුවන්. මේකෙ ගැටෙන්නේ නෑ අවකාශ නිසා. හැබැයි එයාට ඒ මට්ටමේ රූප හරහා යන්න බෑ, ගැටෙනවා.
බ්‍රහ්මයන්ට අපෙත් දෙවියන්ගේත් රූප හරහා යන්න පුළුවන්, අවකාශයයි. හැබැයි එයාට ඒ මට්ටමේ රූපවල යන්න බැහැ. වදිනවා; ගැටෙනවා. එතකොට මේ ආයතන හයෙන් බැහැරව හිස් අවකාශය කියලා එකක් වත් නෑ. ඔය අවකාශය ඉතිරි වුණොත් තමයි අපිට ඒකේ තියෙන රූප ඉතිරි වෙන්නේ. හිස් අවකාශයක් හැදිලා තියෙන්නේ ආයතන හයට සාපේක්ෂව නම් “සළායතන පච්චයා ඵස්සෝ” කියන තැන තේරෙනවා නම්, දකින්න ලෝකය කියන-එක ආයතනයටමයි සම්බන්ධ වෙනනේ කියලා. මේ පටිච්ච සමුප්පාදය හරහා බුදු දහමෙන් පෙන්නන කාරණය ගොඩාක් ගැඹුරුයි. මීට වඩා ගොඩාක් ලස්සනට විස්තර සහිතව විග්‍රහ කරලා පෙන්නුවොත් ආශ්‍රව ගෙවෙනවා කියන-එක පුදුමයක් නොවෙයි.
ඒ නිසා මම අනුමානයෙන් මතක් කළ තැනක් තියෙනවා දකින්න. සෑම ආගමකටම, සෑම දර්ශනයකටම වඩා බුදු දහම වටිනවා කියන්නේ කුමක් නිසාද? වෙනත් ආගම්වල දර්ශනවල ‘ලෝකය’ කියලා කියන තැන තියෙන ලෝකයක ඉපදුණා. උපදින්නට ඉස්සර වෙලත් ලෝකය තිබුණා, තියෙන ලෝකයේ ජීවත් වෙලා මැරිලා යනවා කියන අදහසයි දෙන්නේ. ඔය දර්ශනයට වඩා බුදුදහම වටින්නෙත්, ශ්‍රේෂ්ඨ වෙන්නෙත් ඔය කාරණය මතමයි.
ඉපදෙන්නට ඉස්සර වෙලා ලෝකය තිබුණා නොවෙයි; ආයතන ටිකේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි. තිබෙන ලෝකයක් ඇසුරු කරනවා නොවෙයි; ආයතන ටිකේ ඇසුරු කිරීමම ලෝකයේ ඇසුරු කිරීමයි. ඒ ඇසුරු කළ, ජීවත් වුණ ලෝකයේ ඉඳලා මැරිලා යනවා. ලෝකය ඉතිරි වෙනවා නොවෙයි; ආයතන ටිකේ නැති වීමම ලෝකයේ නැති වීමයි කියන තථාගත දර්ශනය දකින්ට.
මෙන්න මේකමයි ලෝකය පිළිබඳ ඇත්ත. කවදාවත් වරදින්නේ නෑ. සම්මුති දේශනාව අනුව අරමුණක් දකින්නට ඉස්සර තිබුණා නොවෙයි; දැක්කායින් පස්සේ තියෙනවා නොවෙයි; අවස්ථාවට ආයතනය නිසා හැදිලයි පෙනෙන්නේ.
කවුරුහරි ඇහුවොත් ඇයි එහෙම කියන්නේ කියලා ඔබට තවම උත්තරයක් දෙන්ට බැරි වෙයි; නමුත් දැනගෙන ඉන්න: “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ” බුදු රජාණන් වහන්සේ මෙය ඔප්පු කරලා පෙන්නන්නේ මේ න්‍යායෙනුයි කියන-එක. කෙටියෙන් කියනවා නම් මේ දර්ශනයත්, මේ දර්ශනය පෙන්නන්න හේතුව පටිච්චසමුප්පාදය බවත් දැනගන්න. සෑම දහමක්ම අහලා ඔතැන්ට ගළප-ගළපා බලන්න. අහක නොයන නිවැරැදි උත්තරයකට එයි. ඊට මෙහා බුදු රජාණන් වහන්සේ දේශනා කළා කීවාට විශ්වාස කරන්න එපා. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ දහමට විනයට ගැළැපෙනවා නම් බාර ගන්ට, නැත් නම් බැහැර කරන්න කියලනේ.
මේ දහම ලිහලා මීට වඩා තේරෙන මට්ටමකට ආවොත් මේ පින්වතුන් ගොඩ යනවා කියන-එකත් පුදුමයක් නොවෙයි කියල මට හිතෙනවා. එහෙම ලිහලා පෙන්නන්න පුළුවන් වුණොත් නිවන් දකිනවා කියන-එක ප්‍රශ්නයක් නොවෙයි. නමුත් මේ අද, මේ පවතින ස්වභාවය ලිහා නොදෙන තාක්, නිවන් දකිනවා කියන-එක නම් ප්‍රශ්නයක් තමයි. අපට හීනයකින් වත් මෙවැනි දර්ශනයක් අහන්නට ලැබුණේ නෑ. හැම වෙලාවෙම අහන්න ලැබෙන්නේ “ලෝකය තියෙනවා, ඒ තියෙන ලෝකයේ තණ්හා නොකර ඉන්න” කියන-එකයි. නමුත් තියෙනවා කියන ලෝකය පිළිබඳ නිත්‍ය සංඥාවෙන් මිදෙන ක්‍රමයක් පෙන්නන්නේ නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න: මේ පටිච්චසමුප්පාදය දේශනා කරලා තියෙන්නේ නිකං නොවෙයි. මේ ලෝකය තුළ අපි විඳින්නේ අපේ කර්මයමයි කියන-එක ඒකෙන් පෙන්නනවා.
තව පැත්තකින් බැලුවොත් ‘ඇත’ හෝ ‘නැත’ කියන උත්තර ගන්ට අපට හරි පහසුයි.
නමුත් කෙනෙකුට ‘නැත’ කියන තැනින් මිදෙන්නට පුළුවන් නම් ‘ඇත’ කියන-එකට පත් නොවී, හා ‘ඇත’ කියන තැනින් මිදෙන්නට පුළුවන් නම් ‘නැත’ කියන තැනට පත් නොවී, ඒක හරි වටිනා දෙයක්, ආශ්චර්යවත් දෙයක් වෙනවා.
අපට හිතෙනවා නම් අපාය, දිව්‍යලෝක හා බ්‍රහ්මලෝක තියෙනවා කියලා, ඒක ශාස්වත දෘෂ්ටියට වැටෙනවා. අපාය, දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක නෑ කියන උච්ඡේද දෘෂ්ටියට වැටෙන්නේ නැතිව, ඒ දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් නම් ලෝකයට හිතාගන්නට වත් බැරි තරමට ඒක හරි වටිනවා. තියෙනවා කියන ශාස්වත දෘෂ්ටියෙන් මිදෙන්න ලෝකයා දන්නවා; හැබැයි, ඒ සමඟම අපාය, දිව්‍යලෝක ආදිය නෑ කියලා උච්ඡේද දෘෂ්ටියට පත් වෙලා. ඒ නිසා කෙරෙන්න ඕන උච්ඡේද දෘෂ්ටිය ඇසුරු නොකර ශාස්වත දෘෂ්ටියෙන් මිදෙන්න ඕන; ශාස්වත දෘෂ්ටිය ඇසුරු නොකර උච්ඡේද දෘෂ්ටියෙන් මිදෙන්න ඕන. එතකොට එයාට ඉතිරි වන එකම න්‍යාය, එකම මාර්ගය වෙන්නේ මධ්‍යම ප්‍රතපදාවයි.
“අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළේ අපායට යන මට්ටමේ කර්මයක් කළොත්, මරණාසන්න මොහොතේදී ඒ කර්මය මතක් වුණොත්, ඊළඟ ප්‍රතිසන්ධි සිත ඇති වන්නේ, ඒ කර්මයේ තියෙන ගති මට්ටමට අනුවයි. ඊට පස්සේ, ඒ ප්‍රතිසන්ධි සිතට අනුව නාම රූප දෙකත්, ඒ නාම රූප දෙකට අනුව සළායතනත්, ඒ සළායතනවලට ගැළපෙන මට්ටමේ ක්රූර වූ, කටුක වූ, තියුණු වූ ස්පර්ශ මට්ටමකුත් ඇති වෙනවා. එතකොට ඒකට ස්පර්ශ වෙන්නේ දුක එන මට්ටමේ රූප විතරයි. එතකොට එවැනි කර්මයක් තියෙනවා නම් අපායෙ ඉපදෙන්නෙ නෑ කියන්න බෑ. බැරි වෙලා හරි මෙහෙම කර්මයක් නො තිබී, ප්‍රතිසන්ධි සිතකුත් ඇති නොවුණොත්, ඒ මට්ටමේ නාම රූප හා ආයතන නිසා ස්පර්ශයක් සිදු නොවන නිසා ‘තියෙනවා’ කියන්ටත් බෑ. හැබැයි හොඳට මතක තියාගන්න, “මෙය ඇති කල්හි මෙය වෙයි” කියන-එක.
අපායට යන, ලෝකය හඳුන්වන මට්ටමේ කර්මයක් තිබුණොත් විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් ගිහින් අපා දුකක්ම ස්පර්ශ කරන්න වෙනවා.
අවිද්‍යා, කර්ම, විඤ්ඤාණ, නාම රූප, සළායතන හා ස්පර්ශ නිරුද්ධ වුණොත් වේදනාවද ඇති වන්නේ නැති නිසා දුකක් ඇති වන්නේ නැහැ. ඒ නිසා, ‘මෙය ඇති කල්හි මෙය වෙනවා, මෙය නැති කල්හි මෙහෙම දෙයක් වෙන්නේ නෑ’ කියලා තේරුම් ගන්න.
ඒ නිසා අපාය නෑ කියන්න බෑ; තියෙනවා කියන්නත් බෑ. ඒ නිසා මෙබඳු වූ ස්පර්ශයක් ස්පර්ශ කරනවාද, නැද්ද කියන-එක ඔබ සතුයි කියන බව “ඒතේ තේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා.” මධ්‍යම ප්‍රතිපදාවෙන් තීරණය කරනවා.
අපාය, දිව්‍යලෝක මෙහේ තියෙනවා නම් කවදාවත් මට නැති කරන්න බැහැ. ඕවාට යන්නම වෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේම ඉඳගෙන අපාය උපදවාගෙන ඒ මොහොතෙම අපායෙ දුක් විඳිනවා. ආයතන ටික නිසා ලෝකය උපදවාගෙන දුක් විඳින බව අවිද්‍යාවෙන් පිරුණ මනසකට පෙනෙන්නේ නැහැ. කෙලෙස් නිසා අපට දැනෙන්නේ තියෙන එකක දුක් විඳිනවා කියලයි.
ඒ වාගේමයි, මනුෂ්‍ය ලෝකය කියලා එකකුත් නෑ කියන්ටත් එපා; තියෙනවා කියන්ටත් එපා. අවිද්‍යා මට්ටම මත මනුෂ්‍යයෙක් වෙන කර්මයක් කළොත් ඒ කර්මය මත ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැසගත්තොත්, නාම රූප හැදුණොත්, ඒ නාම ධර්ම මත රූපයයි ආයතන ටිකයි හැදුණොත්, මේ මට්ටමේ ස්පර්ශ වෙනවා දැකලා මනුෂ්‍ය ලෝකය තියෙනවා කියලා කියයි. ඉපදෙන්ට ඉස්සර තිබුණු හින්දාවත්, ඉපදුණාට පස්සේ තියෙන මනුෂ්‍ය ලෝකය කියලාවත් නොවෙයි, මේ මනුෂ්‍ය ලෝකය මෙහෙම හමු වුණේ ඇයි කියලා දකින්න.
“අවිජ්ජා පච්චයා සංඛාරා” කියපු තැනින් දකින්න: මේ කර්මය නිසා ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පැමිණියා; ඒ විඤ්ඤාණය නිසා නාම රූප දෙක හැදිලා; ඒකෙ ආයතන ටික හැදුණ නිසා මේ මට්ටමේ රූප ප්‍රකටයි; ඒ ප්‍රකට නාම රූප ‘මගෙ දුව, මගෙ පුතා’ කියල ඔය පෙනෙන ඇහෙන මට්ටමේ හැදිලා තියෙන ඔක්කෝම නව කර්මයි.
ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ක්‍රමයට ලෝකය හැදෙනවා දැක්කහම මනුෂ්‍ය ලෝකය නෑ කියන්නට එපා. හැබැයි මේ මට්ටමේ අවිද්‍යාව, කර්ම නැති වෙලා, ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් ඇති නොවී, නාමරූප ආයතන ටික හැදුණේ නැත් නම් මේ වැනි ස්පර්ශයක් වෙනනේ නෑමයි. ඒ නිසා මේ වාගේ රූප හමු වෙනවාද නැද්ද කියන-එක තීරණය වන්නේ මෙහෙන්, මනසින් අවිද්‍යාව නිසා කර්ම රැස් කිරීමෙනුයි. මේ ආයතන ටිකේ මේ ක්‍රියාව නොදන්නා නිසා ලෝකයට බැඳුණාම, බැඳිලා තියෙන්නේ මෙහෙන්, මනසින්. ඒ නිසා මනුෂ්‍ය ලෝකය තියෙනවා කියලා ගන්නත් එපා.
“අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා, විඤ්ඤාණ නිරෝධෝ නාමරූප නිරෝධා” කියන මේ සිද්ධියෙන් තවත් හොඳ කාරණාවක් හෙළි වෙනවා. බුදු රජාණන් වහනසේ දේශනා කරනවා:
“යේභූය්‍යෙන කච්චාන, ලෝකෝ, අත්ථිතඤ්චේ ව නත්ථිතිතඤ්ච.” “කච්චාන, මේ ලෝකය බොහෝ සෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා.”
“ලෝක සමුදයඤ්ච ඛෝ කච්චාන, යථාභූතං සම්මප්පඤ්ඤාය ඵස්සතෝ යා ලොකේ අත්ථිති යා ලෝකේ නත්ථි ති.” “කච්චාන, ලෝකය ඇති වෙන හැටි හා නැති වෙන හැටි යම්කිසි කෙනෙක් නුවණින් දන්නවා නම්, ඇත්ත ඇති හැටියෙන් දකිනවා නම්, කවදාවත් එයා ලෝකය තියෙනව කියන්නෙත් නෑ; නෑ කියන්නෙත් නෑ.
“ඒතේ තේ උභෝ අන්තේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධො.” මේ අන්ත දෙකට නොපැමිණි තථාගතයෝ අභිසම්බුද්ධත්වයට පත් වුණා.
මේ පටිච්ච සමුප්පාදය හරහා නොගොස් පුළුවන් නම් මේ ලෝකය තුළින්ම එතෙර වෙන්න පුළුවන්ද බලන්න. බාහිරය ඇත්ත වෙච්ච, මෙවැනි දර්ශනයක් නොදන්නා ඔබට බාහිරය ඇත්ත වෙච්ච ලෝකයක් හම්බ වෙන්නේ ඉබේමයි. අවිද්‍යාව අපි ළඟ ගුළිය පිටින්ම තියෙන නිසා ඒක තුළ ඉඳගෙන තණ්හාව නැති කරන්න පුළුවන් කියලා හීනයකින් වත් හිතන්න එපා.
ඒ නිසා සත්පුරුෂයෙක් හැටියට මට කරන්න පුළුවන් එකම දේ, අද දවසෙදි මෙන්න මෙහෙම සිද්ධියකුයි වෙලා තියෙන්නේ, අපි අහු වෙලා තියෙන්නේ මෙහෙමයි කියන-එක පෙන්නන-එක විතරයි.
අනන්ත සංසාරයේ කල්පාන්තර ගණන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ සිද්ධිය දන්නේ නැතුවයි. අපි හැමදාම හිතුවේ: ඉපදෙන්න ඉස්සර තිබුණු ලෝකයක තමයි ඉපදිලා ඉන්නේ, තියෙන ලෝකයක තමයි ඉන්නේ කියලා; එහෙම තියෙන ලෝකයක ඉඳල මැරිලා යනවා කියලා. මෙතෙක් අපට ලෝකය ඇති වන හැටි හා නැති වන හැටි උගන්වන සත්පුරුෂයෝ මුණගැහුණේ නැහැ. පෙර බුදු රජාණන් වහන්සේලාගේ ශාසන අපිට ඇසුරු කරන්න, ඇසුරු කරලා ඒ උත්තමයන්ගේ දහම අහන්න, අපිට ලැබිලා නැහැ. මෙතෙක් මේ සසර ගෙවාගන්න අපට බැරි වුණේ ඒ නිසයි. ඒ නිසා අද දවසේ මේ දේශනා කෙරෙහි ශ්‍රද්ධාවෙන් යොමු වෙන්න ඕන. අපිට පින් තියෙන නිසයි සසර මේ තරම් දුරක් ගෙවාගෙන ඇවිල්ලා, අද දවසේ හරි මෙහෙම තැනකට ඇවිල්ලා, මේ වචන ටික වත් අහන්න පුළුවන් වුණේ.
රෝහිතස්ස සූත්‍රයෙන් මේ ලෝකය කියන-එක බඹයක් පමණ ශරීරයෙන් පනවමි කියලා පෙන්නුවේ ඒ නිසාමයි. “සළායතන පච්චයා ඵස්සෝ” කියන සිද්ධිය නිසා මිසක් බාහිරය නිසා නම් නොවෙයි. අවිද්‍යාව නිසා දිව්‍යලෝක කියන මට්ටමේ කර්මයක් සිදු වුණොත්, ඒ කර්මය දිහා බලාගෙන ප්‍රතිසන්ධි සිත ඇති වෙලා, ඒ සිත නිසාම නාමරූප, ආයතන, ස්පර්ශ හැදෙනවා. ඒ ආයතනවලට ස්පර්ශ වන්නේ ඒ මට්ටමේ රූප නිසා, මේ වාගේම ඇත්ත නොදන්නා නිසා එදාටත් ඒ මට්ටමේ රූපවලට ඇලෙයි: බිරිය, ස්වාමි පුරුෂයා, පුතා, දුව කියලා. අද අපට වෙලා තියෙන්නේ ඒ ටිකනේ? ඒ සියල්ල නව කර්මයි.
හොඳට දකින්න, අපට දිව්‍යලෝකවලදී හමු වන දෙවියන් වත් විමාන වත් තියෙනවා නොවෙයි. “සංඛාර පච්චයා විඤ්ඤාණං, නාම රූප පච්චයා සළායතනං” කියන සිද්ධිය අපි දැන් දන්න නිසා “ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති” කියලා මෙය ඇති කල්හි මෙය වෙයි, මේ ධර්මයන්ගේ ඉපදීමෙන් මෙය වෙනවා කියල වැටහෙන නිසා, දිව්‍යලෝක නෑ කියන්න එපා. ඒ මට්ටමේ අවිද්‍යාව. කර්ම, සළායතන, නාම රූප නැති වුණොත්, ඒ මට්ටමේ ස්පර්ශයක් සිදු නොවන නිසා දිව්‍ය ලෝක ඇත කියන්ටත් එපා. බ්‍රහ්මලෝක පිළිබඳවද මෙසේම දැකිය යුතුයි.
එතකොට දැන් අපට බඹයක් පමණ සිරුර තුළින් තුන් ලෝකයම ඇති වන හැටි නැති වන හැටි දකින්න නුවණ එන්න ඕන. ඒ නිසා මේ ආයතන ටික නිසා දෙවියෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, බ්‍රහ්මයෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, මනුෂ්‍යයෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, සතර අපායේ දුක් විඳිනවාද කියන තීරණය ගන්න, එක් එක් කෙනාට අයිතිය තියෙනවා. මෙවැනි දර්ශනයක් දකින කොට එයා හොඳට දන්නවා පුද්ගලයෙක් හෝ සත්ත්වයෙක් හෝ නොවෙයි, මේ ඇහැ කන ආදි ආයතන මගේ නොවෙයි, මම නොවෙයි, තව කෙනෙකුත් නොවෙයි, සෑම තැනම සිදු වන්නේ මේ සිද්ධියම නේද, පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්ම නේද සිදු වන්නේ කියලා තේරෙනවා. මෙන්න මේක දකින මට්ටමට ආවොත් සක්කායදිට්ඨිය ඉතිරි වන්නේ නැහැ. මේ ආයතන ටික මොන විදියටද හැදෙන්නේ, ඒ විදියටම විපාක විඳිය යුතුයි කියලත් තේරෙනවා.
“අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා.” අපායට, මනුෂ්‍ය ලෝකයට, දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට යන මට්ටමේ අවිද්‍යාවත්, ඒ නිසා සිදු වන කර්මත්, විඤ්ඤාණයත්, නාම-රූපත් නොපිහිටයි නම් ආයතන මේ ලෝකය ස්පර්ශ කරයිද? මේ ලෝකය ඇති වීම නැති වීම නොදන්නාකමමයි අවිද්‍යාව. ඒ නිසායි කර්ම රැස් වන්නේ. එහෙම නම් කර්ම රැස් වුණොත් තමයි මෙහෙම උපදින්නට හේතු වන්නේ කියලත් එයා දන්නව නම් තුන් ලෝකයටම යන කර්ම රැස් වීම නවතිනවා. මෙහෙම කර්ම නිරෝධයත්, ලෝක නිරෝධයත් දැක්කොත් එතැනමයි නිවන.
අපාය නිරුද්ධයි නම් එතැනින් එහා දුක නෑ. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මලෝක නිරුද්ධයි නම් ඒ ඒ තැන්වලින් එන සැප-දුක් නෑ, “ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසං නිරුජ්ඣන්ති.” දැන් එයා දන්නවා. පටිච්චසමුප්පාදය හරහා ලෝකය ඇති වන හැටි හා නැති වන හැටි මෙනෙහි කිරීමයි කරන්න ඕන කියලා. දැන් ලෝකය දකින මට්ටමට ආවාම එතැන අවිද්‍යාව නෑ. ඇත්තේ සම්මා දිට්ඨියයි. එතැනදී වෙලා තියෙන්නේ කිසිම ලෝකයකට යන කර්ම රැස් නොවීමයි.
ඊළඟට තියෙන්නේ ශීලයක පිහිටලා, සමාධිය වඩ-වඩා, ලෝකය ඇති වීම හා නැති වීම ආධ්‍යාත්මිකව සිදු වන හැටි පටිච්චසමුප්පාදය ඇසුරෙන් නුවණින් මෙනෙහි කිරීමට හුරු කිරීමයි. දුක නැති කිරීම සඳහා කරන්නට ඇත්තේ එපමණයි; වෙන කළ යුත්තක් නෑ, හීනයකින් වත් වෙන කළ යුත්තක් ඇත්තේම නැහැ.
මට තේරෙන විදියට මේ පින්වතුන්ට දෙන්න තියෙන්නේ ඔය පණිවිඩය තමයි. යමෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් ඔහු ධර්මය දැක්කා; ධර්මය දැක්කොත් ඔහු පටිච්චසමුප්පාදය දැක්කා කියලා නැවත නැවත කියන්නේ මේ නිසයි. එහෙම දැක්ක දවසට පටිච්චසමුප්පාදය කියන්නේ “අචිජ්ජා පච්චයා සංඛාරා...” යනාදි වශයෙන් කියවන තුණ්ඩුවක් නොවෙයි. ඒ අපේ ජීවිත පැවැත්මේ කථාවයි.
හොඳට බලන්න: “කම්මස්සකෝ’මිහි කම්මදායාදෝ කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්‍යාණංවි පාපකංවා තස්ස දායාදෝ භව්ස්සාමී’ති, ඉත්ථියාවා, පුරිසායවා, ගහට්ඨේනවා, පබ්බජිතේනවා, අභින්හං පච්චවෙක්ඛිතබ්බං” කියලා දසධම්ම සූත්‍රයෙන් පෙන්නලා තියෙනවා.
“කම්මස්සකෝ’ ම්හි කම්මදායාදෝ” – මම කර්මය දායාද කරගෙන, “කම්මයෝනි” – කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, “කම්මබන්ධු” – කර්මය නෑදෑ කරගෙන, “කම්මපටිසරණෝ” – කර්මය පිළිසරණ කරගෙන, “යං කම්මං කරිස්සාමි කල්‍යාණංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සාමී’ති.” යම් හොඳ හෝ නරක කර්මයක් කළොත් මම එයම දායාද කරගෙනම සිටිමියි කියලා, “ඉත්ථියාවා, පුරිසායවා. ගහට්ඨේනවා. පබ්බජිතේනවා, අභින්හං පච්චවෙක්ඛිතබ්බං” යම් ස්ත්‍රියක් වේවා. පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, නිතරම මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළේ මෙන්න මේ වාගේ කාරණා නිසයි.
අවිද්‍යාව නිසා ලෝකය ඇති වෙච්ච හැටිත්, නැති වෙච්ච හැටිත් නොදන්නාකමට ඇති වෙච්චි ඒ ලෝකය ඇත්ත වෙලා, බැඳිලා ඉන්න අපට හම්බ වෙන්නේ අවිද්‍යා, සංඛාරා තණ්හා, භව කියන ක්‍රියාදාමයක්.
ලෝකයත්, ලෝකයේ ඇති වීමත් නැති වීමත් ‘නොදන්නාකම’ නමැති අවිද්‍යාව නිසාම ලෝකය ඇති වෙලා.
අවිද්‍යාව නිසා ඇති වන කර්මයෙන් ලෝකය හටගත්තා කියල නොදන්නාකම නිසාම අපට ඇති ලෝකයක් හම්බ වෙලා තියෙනවා. ඒ ලෝකයට අපි බැඳිලා ඉන්නවා. එම නිසා හොඳට මතක තියාගන්න. කිසිම තැනක දුවෙක්, පුතෙක්, ගෙයක්, දොරක් නොවෙයි මේ ස්කන්ධ ටිකයි, කෙලෙස් ටිකයි තියෙන්නේ කියල.
ඒකෙන් කිව්වේ දූදරුවෝ නැත. ඒ අය එළවන්නට කියලා නොවෙයි. ඒ කිසි දෙයක් ඇති කරන්න හෝ නැති කරන්න යන්න එපා. කරන්න ඕන තම තමන් ගැන පමණක් ඇතුළත බලාගැනීමයි. මේක කාටවත් ඇඟිල්ල දික් කරන ශාසනයක් නොවෙයි.
දුවට දුව විදියටත්, පුතාට පුතා විදියටත්, අම්මාට අම්මා විදියටත් සලකන්න. සැලකිය යුතු අයට උපරිමයෙන් සලකන්න. සමහර විට දහමක් නැති කෙනෙක් එයාගෙ අම්මට තාත්තට වඩා වැඩියෙන් දුවට පුතාට සලකයි. නමුත් මේ දහම දන්න කෙනා දහම නොදන්නා කෙනාට වඩා වැඩියෙන් දෙමව්පියන්ට සලකයි. පටිච්චසමුප්පාදය හරහා ලෝකයේ ඇති වීම හා නැති වීම සිදු වන බව දන්නා නිසා, තවත් සසර දුක් විඳින්න වෙන බව දන්නා නිසා.
මෙතැනට මනස ගන්න ඕනෑ බව දන්නා නිසා, තව ටිකක් වැඩිපුර කරුණාවක් දක්වයි. සසර තමන් මේ තත්ත්වයට පත් වෙලා හිටපු බව දන්න නිසා. තව ටිකක් වැඩිපුර කරුණාවක් දක්වයි. සසර තමන් මේ තත්ත්වයට පත් වෙලා හිටපු බව දන්න නිසා හොඳට අනිත් කෙනා ගැන හිතන්නට දන්නවා. ඒ නිසා කරන-කියන යුතුකම් ඇප-උපකාර වැඩිමනත් කරන්න. ඒ මගින් එයා කවදා හරි දහමට ගන්න පුළුවන් උපායක් කරගන්න. එසේ කරමින් කිසිවෙකුටත් නොරිදවා මේ ආයතන ටික හැදිලා තියෙන්නේ මෙහෙම නේද කියලා පටිච්චසමුප්පාදය අනුව නිතරම බලන්න. එවිට ඒ කරණ දෙයින් තමනුත් මිදෙනවා, ලෝකයට උපකාරයකුත් වෙනවා.
මේ විදියට බුද්ධිමත්ව, උපායශීලීව, මේ දහම ගවේෂණය කළොත්, අපිට මේ සසර තව ගොඩාක් දුර යන්න වෙන්නේ නැති වෙයි.
සමහර විට මේ ජීවිතයේ අන්තිම මොහොතේදී හරි නිවන් දැකගන්න පුළුවන් වෙයි.
මේ දීර්ඝ සසරට සාපේක්ෂව මේ ජීවිතය ඇතුළේම ඉක්මනට, හෙටම කරගන්න ඕන කියලා හිතන්න එපා. මෙතැනදී හොඳ උපමාවක් මතක් කරන්නම්: “යන බස්-එකට නඟින්න. හැබැයි බස්-එක ඇතුළේ දුවන්න හදන්න එපා” කියලා. බස්-එකේ වේගයෙන් ඔබට අවශ්‍ය තැනට අරගෙන යයි. නමුත් එය අබිබවා යන්න උත්සාහ ගන්න එපා. ඒක බොහොම හොඳට ගැළපෙන උපමාවක්. ඒ වගේ දහමට එන්න. ඇවිල්ලා ඒ දහමෙහි හැසිරෙන්න. හැබැයි ඉක්මනට කරන්න ඕන කියලා ස්වාභාවික ජීවිතයෙන් පලායන්න හදන්න එපා.
ඊළඟට, ගෙදර-දොර වැඩ-කටයුතු කරනකොට, අනිත් අය ඇසුරු කරන කොට, හැම වෙලාවෙම ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන. නුවණ නැති කෙනකුට මේ ගමන යන්න බැහැ. ඇතුළතින් දිවෙන යටි අදහස් පවා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන.
මෙතැනදී පොඩි කථාවක් උදාහරණයක් විදියට කියන්නම්:
ඔන්න එක ගෙදරක හිටියලු අයියයි, මල්ලියි, ආච්චියි. ආච්චි තමයි මේ අයියයි මල්ලියි හදාගත්තෙ. මේ ගෙදරම පූසෙකුත් හිටියා. ආච්චිගේ උදව් උපකාර ඇතිව හැදී වැඩුණු මේ සහෝදරයින් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයාට පසු කාලෙකදී මැද පෙරදිග රැකියාවකට යන්න පුළුවන් වුණා. ඊට පස්සෙ එයා හම්බ කරලා ගෙදරට මුදල් එවනවා. මේ පවුල එකිනෙකාට හරිම ආදරෙන් හිටියේ. අයියාට වැඩ අධික වූ අවස්ථාවක, ටික කාලයක් ගෙදර සමග තොරතුරු හුවමාරු කරගන්න බැරි වුණා.
මාස ගණනාවකට පස්සේ දවසක් කථා කළා. තොරතුරු අහන අතරතුර අයියා මල්ලීගෙන් ඇහුවා පූසා ගැන. මල්ලී කිව්වා ඌ මැරුණා කියලා. මේක ඇහුවාම අයියා හරියට දුක් වුණා. පස්සේ මල්ලීට කියනවා: “දුක හිතෙන පණිවිඩයක් කියන කොට ඔහොම කියන්ට එපා කෙළින්ම. ඉස්සර වෙලාම කියන්න, ‘අයියේ පූසා වහලෙ උඩට නැග්ගා.’ ඊට පස්සෙ කියන්න, ‘පූසා දවස් ගණනක් කෑම කන්නේ නැහැ’ කියලා. ඊළඟට කියන්න, ‘අයියෙ පූසා වහලෙන් වැටුණා නෙ’, කියලා. ඊළඟටයි කියන්න ඕනෑ පූසා මැරුණු බව.” “හා එහෙමද” කියලා මල්ලී ඒක හිතට ගත්තා. ඊළඟට අයියා අහනවා, “ආච්චී කොයි” කියලා. මල්ලී ගත් කටටම කිව්වලු, “අයියේ ආච්චී වහලෙ” කියලා. බලනකොට ආච්චිත් මැරිලා. නමුත් දුක හිතෙන කථාවක් එක පාරටම කියන්න එපා, කියන්න ඕන මෙහෙමයි කියලා අයියා මුලින් සඟවා කියපු ක්‍රමය මල්ලීට තේරුම් ගන්න බැරි වුණා. සඟවා කියන දෙයක අර්ථය තේරුම්ගන්න බැරි වුණොත් සිදු වන්නේ ඔන්න ඔහොම දේවල්!
ඔය වගේ මේ කිව්වේ මේක නේද කියල යමක් අහන කොට තේරුම්ගන්ට පුළුවන් වෙන්න ඕන. අපි තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න දක්ෂ වුණොත් අපිට මේ ජීවිතයේදීම ගැලවෙන්න පුළුවන් බව මතක තියාගන්න ඕනෑ. ද
(අනුග්‍රහය: විශේෂඥ වෛද්‍ය උපුල් ඒකනායක මහතා සහ මාතර කේ. ජී. මුනිදාස මහතා)

මගේකම අතහැර ගියොත් සුබ වේ දහම් මඟ

"පඤ්ඤාවත්තස්‌සායං ධම්මෝ ඤායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස" යයි තථාගතයන් වහන්සේ දේශනා කර වදාළේ ප්‍රඥවන්ත ලෙසම මේ ධර්මය තේරුම් ගත යුතු බවයි. වැරදියට තේරුම් ගතහොත් අනවබෝධය නිසා මාර්ගය වරදවා ගත හැකි තැන් කිහිපයක්‌ම තිබෙන බව සැලකිල්ලට ගත යුතුවේ.

එක්‌තරා කාන්තාවක්‌ භාවනා පුහුණුවට තිබෙන බාධා වලින් නිදහස්‌ වීම සඳහා දුරක පිහිටි පුහුණු මධ්‍යස්‌ථානයකට යන්නට අදහස්‌ කළේය. ගමනට බාධක වශයෙන් පැවැති දරු මල්ලන් රන් අබරණ ඇතුළු වටිනා දේවල් සුරැකිව තබා සුදු වතින් සැරසුණාය. ඇගේ මූලික අරමුණ වූයේ භාවනාව තුළින් ලබාගත හැකි යයි අසා ඇති ශාන්ත සන්සුන් කමද, චිත්ත ඒකාග්‍රතාවද ඇති කර ගැනීමටයි. දරුවන් හා වටිනා දේවල් දමා ගියත් ඇය ක්‍රියා කළ ආකාරයෙන් ඒවාට තිබූ ඇලීම දුරු කළ බවක්‌ දක්‌නට නැත. කයින් වෙන් වුවත් සිතින් අතහැර නැත. ධර්මයෙහි හැසිරෙන බව සිතමින් ඇය සිද්ධ කර ඇත්තේ බාහිර ක්‍රියාකාරකම් කිහිපයක්‌ පමණි.

බොහෝ දේවල් තදින් අල්ලාගෙන සිටිනතාක්‌ සිතේ එකඟකම වර්ධනය වන්නේ කෙසේද? අත හැරිය යුත්තේ සිතින්ය. බඩු බාහිරාදිය භාවිත කරමින් කාර්යය ඉටුකර ගැනීමට විනා ඇල්මෙන් රැක ගැනීමට නොවේ යන ධර්මය යෝගාවචරයා කල් තබා දැන සිටිය යුතුය. ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම යනු මගේ කම ටිකින් ටික දුරු කිරීමයි.

සංයුක්‌ත නිකායේ කාම බූ සූත්‍ර දේශනාව ඇසුරින් මේ කාරණය මැනවින් දැනගත හැකිවේ. ආනන්ද හිමියන් කොසඹෑ නුවර ඝෝෂකාරාමයේ වැඩ සිටියදී කාම බූ නම් වූ භික්‍ෂුවක්‌ විසින් ආනන්ද හිමියන්ගෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක්‌ වේ. ඇස රූපයට බැඳී ඇත්ද? රූපය ඇසට බැඳී ඇත්ද, කණ ශබ්දයට බැඳී ඇත්ද, ශබ්දය කණට බැඳී ඇත්ද, ආදි වශයෙන් ආයතන සය පිළිබඳව සඳහන් කරමින් සත්‍ය ලෙසට සිදුවන දේ විමසා සිටියේය.

ආනන්ද හිමියෝ එහි යථා තත්ත්වය මෙසේ පැහැදිළි කළහ. රූපය ඇසට වත් ඇස රූපයට වත්, කණ ශබ්දයට වත් ශබ්දය කණට වත් බැඳී නැතැයි දක්‌වමින් ආයතන සය පිළිබඳවම එසේ වේ යෑයි පැහැදිළි කළහ. සිද්ධ වී ඇත්තේ කුමක්‌ දැයි විමසිය යුතුය. සිත තුළම හට ගන්නා ඡන්ද රාගය මීට හේතු විය. භාවනා කරන්නේ හිත නතර කිරීමටයි. සිත නතර කරන්නේ ධර්මය දැකීමටයි. ධර්මය දැකීම යනු අනිත්‍ය බව, දුක බව හා අනාත්ම බව දැකීමයි. දරුවන්ට දේපළවලට ඇලීමෙන් මිදෙන්නට යන ගමනකි. ආයතන සයෙන්ම ගන්නා අරමුණු ස්‌පර්ෂ වීමෙන් (ඵස්‌සය) පසු ඒවා හඳුනා ගැනීමේදී (සංඥ) සංස්‌කාර බවට පත් වන්නේය. විඤ්ඤාණය කරා යන්නේ මේ කුසල හා අකුසල සංස්‌කාරයන්ය.

යමෙක්‌ භාවනාවේදී සැප අසුනක්‌ භාවිත නොකර බිම දෙපා නවා වාඩි වෙන්නට පිළිවන. එවිට ටික වේලාවකින් දණහිස්‌ රිදුම් දිය හැක. එහෙත් භාවනා වටම යොමුවීම නිසා එම වේදනාව විඳ ගැනීමට පුරුදු වීමෙන් පසු කාලයේ පුහුණුව වඩාත් දියුණු විය හැක. සැප අසුනක්‌ භාවිත කළත් එයින් අවැඩක්‌ සිදු වෙනවා නම් එසේ විය හැක්‌කේ හිඳ ගන්නා අසුන නිසා නොවේ.

පූජනීය ස්‌ථානයකට යන විට විශේෂයෙන්ම කාන්තාව සුදුසු ඇඳුමක්‌ ඇඳිය යුතුය. ඇඳුමෙන් සංවරවීම යනු එයයි. අන් අයගේ ඇසට ගෝචර වීමෙන් රාගය මතුවීමට ඉඩ ඇති ස්‌ථාන ආවරණය විය යුතුය. යමෙකු මෙම ඇඳුමට ද්වේෂයෙන් කථා කළොත් රාගය වෙනුවට ද්වේෂය මතුවිය හැක. භවය සකස්‌ වන්නේ රාගය හා ද්වේෂය යන දෙකම නිසාය. මේ සඳහා වගකිව යුත්තේ අඩ නිරුවත් ඇඳුම්ද නැතහොත් එදෙස බැලූ සිතද? අයෙක්‌ ගැහැණු ළමයාට දොස්‌ කියති. ඇතැමුන් එදෙස බලා සිටි අයට දොස්‌ කීමට පිළිවන. රාගය වේවා ද්වේෂය වේවා මේ හැම සිතිවිල්ලකටම වග කිව යුත්තේ තමන්ගේ මනසමයි.

එක්‌තරා පුද්ගලයෙක්‌ දහම් ගැටලු විස¹ගැනීමේ අදහසින් ආනන්ද හිමියන් මුණ ගැසීමට පැමිණියේය. එය ආනන්ද හිමියන් දානය වළ¹ අවසන් වූ මොහොතයි. වැළ» දානයෙහි අවශේෂ කොටස්‌ වූ බත් මාලුපිනි අඹ කෙසෙල් හා රස කැවිලි දක්‌නට ලැබිණි. අමුත්තා එදෙස බලා මෙතරම් ආහාර තමන් වත් අනුභව නොකරමියි සිතමින් මෙවන් පැවිද්දෙකුගෙන් මට කෙබඳු උපදේශයක්‌ පැතුව හැකිදැයි සාකයක්‌ මතු විය. ඔහුට තමන් පැමිණි කාරණයත් අමතක විය. එබැවින් උපදෙස්‌ පැතීම පසෙක තබා ආපසු ගියේය. වරදකරු ආනන්ද හිමියන් ද අමුත්තාද? අමුත්තා ඉතිරිව තිබූ ආහාර දෙස බලා ගත් තීරණය නිවැරදිද? පටු තීරණය ගත් අමුත්තාගේ හිත මේ සියල්ලට වගකිව යුතුය.

රාගයට වග කිව යුත්තේ ශරීරයේ යම් කොටසක්‌ නම් එය කපා දැමීමෙන් රාගය සන්සිඳේද? රාගය ඇස නිසා නම් ඇස හෝ ඒ ඇසට අරමුණ වූ රූපය වගකිවයුතු නොවේ. කණ හෝ ඇසුණ ශබ්දය වගකිව යුතු නොවේ. එසේ කිසියම් ඉන්ද්‍රියයක්‌ රාගයට හේතු වී යෑයි එය කපා දැමූ මිනිසෙකුගෙන් බුදුරජාණන් වහන්සේ අසා වදාළේ මෝඩ පුරුෂය තොප කපා දැමුවේ කපා දැමීමට අවශ්‍ය දේ නොවේ යනුවෙන්ය. අර මුලින් සඳහන් කළ කාන්තාව තම දරුවන් සහ දේපළ අමතක කර අරමුණ ඉටුකර ගැනීමට පිට ප්‍රදේශයකට යැම ආත්මාර්ථයකි. විශාකාව සෝවාන් ඵලයට පත් වී සිටියත් ගෘහස්‌ථ ජීවිතයේ සියලු වගකීම් මනාව ඉටු කරමින් නිවසේම සිටියාය. එක්‌තරා කාන්තාවක්‌ තම මිනිබිරිය මළ සොවින් හඬමින් වැළපෙමින් තෙත් වූ කෙස්‌ වැටිය සහිතවම සිටියාය. ළෙන්ගතු යම් කෙනෙක්‌ මළ විට තෙත් වූ කොණ්‌ඩය සහිතව විසීම එකල සිරිතක්‌ විය. බුදු පියාණන් මේ කාන්තාව දැක, රටේ හැම තරුණියක්‌ම ඔබේ මිනිබිරියන් වූවා නම් ඔබට හැම දාම කොණ්‌ඩය තෙත් කරගෙන සිටීමට සිදුවේ. ඔබ එයට කැමතිදැයි විමසූ සේක. එහෙම නම් එපා යෑයි ඇය පිළිතුරු දුන්නේය.

කාම බූ හිමියන් ඇසූ ප්‍රශ්නය හැම කලටම ගැළපේ. අවුලට හේතුව ඇසේ වත් රූපයේ වත් නොවේ. කණේ හෝ ශබ්දයේ වත් නොවේ. නාසයේ හෝ ඝන්ධයේ වත්, දිවේ හෝ රසයේ වත්, ශරීරයේ හෝ ස්‌පර්ෂයේ වත්, මනසේ හෝ අරමුණු වල වත් නොවේ. මේ අභ්‍යන්තර හා බාහිර අරමුණු පිළිබඳව ඇති අනවබෝධයයි. ඇස ගැන හෝ රූපය ගැන නොදනී. අනෙකුත් ආයතන පිළිබඳවත් එසේමයි.

මුගලන් මහ රහතුන් ඉදිරියට අඩ නිරුවතින් ගණිකාවක්‌ පැමිණියාය. මාහිමියෝ ඇය දෙස නිහඬව බලා සිටියහ. බලා සිටි අයුරු වරදවා වටහාගත් ගණිකාව තමා දෙස ආශාවෙන් බලා සිටිනවා නේදැ යි ඇසීය. මා ඔබ දෙස බලා සිටි ආකාරයට ඔබත් මා දෙස බැලුවා නම් ඔබට මා එපා වෙයි කියා මුගලන් මාහිමියෝ පැවැසූහ. මුගලන් මාහිමියන් ඇය දෙස බැලුවේ ඇගේ කය අභ්‍යන්තරයේ ඇති මස්‌ ලේ නහර වලින් සැදුනු කුණුපයයි. එම නිසා මේ දෙදෙනාම බැලූ ආකාරය දෙවිදියකි.

ඉහතින් දැක්‌වූ හැම නිදසුනකම අන්තර්ගත වන ගැටලුව මෙසේ විස¹ ගනිමු. දුරුකළ යුත්තේ ඡන්ද රාගයයි. සත්‍යය දැකීමට ආශාව හා ඇලීම දුරු කළ යුතුය. ඇලෙන්නේ තණ්‌හාව ඇති නිසාය. භාවනා පුහුණුවට ගිය තැනැත්තිය රන් අබරණ ආදිය ගලවා තබා ගියත් ඒවාට ඇති තණ්‌හාවෙන් මිදුනේ නැත. අවිද්‍යාව සියල්ල වසා සිටී. අවිද්‍යා පච්චයා සංඛාරා යන්නෙහි අරුත නම් සකස්‌ වන බිහි වන සියල්ලෙහි හේතුව අවිද්‍යාව බවයි.

අවිද්‍යාව පියා හා සම වේ. තණ්‌හාව මවයි. මේ දෙදෙනාම මරා දමන තුරු අවබෝධ ඥනය බිහි නොවේ. ඇසද රූපයද අවබෝධ කරනතුරු ඇලීම පවතී. ඇසට ගෝචර රූපය ඇති සැටියෙන්ම අපට නෙපෙනේ. ලෝකයේ සත්‍ය ස්‌වභාවය පෙනෙන්නේ විදර්ශනා ඥනයට පමණි. ඒ සඳහා වීර්යය නුවණ හා සිහිය අවශ්‍යය. සංඥව හෙවත් හඳුනා ගැනීම මිරිඟුවකි. නැති දෙයක්‌ ඇත යන මුළාවට අපව පත්කරයි. ප්‍රශ්නය උද්ගත වන්නේ අනවබෝධය නිසාය.

කලු ගොනෙකුද සුදු ගොනෙකුද රැහැනකින් බැඳී සිටී. දෙදෙනා එක තැනක නතරව ඇත. යමෙකුට පෙනෙන්නේ සුදු ගොනා නිසා කලු ගොනාට යා නොහැකි බවයි. තව කෙනෙකුට පෙනෙන්නේ කලු ගොනා නිසා සුදු ගොනාට යා නොහැකි බවයි. වග කිව යුත්තේ සුදු ගොනාද, කලු ගොනාද? මේ කිසිවෙක්‌ නොව රැහැනයි. කපා දැමිය යුත්තේ රැහැනයි. තණ්‌හාව තිබෙන්නේ අනවබෝධය නිසාය. ආශාව තිබෙන්නේ අවිද්‍යාව හෙවත් නොදන්නා කම හේතුවෙනි.

පැවිදි වූවන් ආහාරය දෙස බැලිය යුත්තේ කාන්තාරයකින් එතර වීමට දරුවා සමඟ ගිය මවක හා පියෙකු ලෙසය. කතරින් එතර වන තෙක්‌ දිවි රැක ගැනීමට දරුවාගේ මස පිළිකුළෙන් අනුභව කරමින් සාගිනි නිවා ගත්තේය. මෙය හුදු උපමාවක්‌ පමණි. පැවිදි වූවන් ආහාර ගත යුත්තේ රස තෘෂ්ණාවෙන් හෝ ශරීරයේ ජවය හෝ ඔපය සඳහා නොවේ. ජීවිතය පවත්වා ගනිමින් ධර්ම මාර්ගයේ හැසිරී සසරින් එතරවීමේ දැඩි අධිෂ්ඨානයෙනි. මැදුම් පිළිවෙත එයයි.

මේ හැම දෙයක්‌ම නොමග යවමින් අප මුළාවට පත් කරන්නට හේතු වන මනසේ ප්‍රශ්නයට පහර නොදී අන් කිසි පරිශ්‍රමයකින් පලක්‌ නැත. ඇසට රූපයක්‌ පෙනෙන්නේ ස්‌පර්ෂය නිසාය. ඇත්ත වශයෙන්ම සිදු වන්නේ අපට පෙනෙන දේ අරභයා සිතීම නොව අපේ සිතේම ඇති වන සංඥවකට අප රැවටීමයි. අපේ මුළු මහත් ජීවිතයම පවතින්නේ රැවටිල්ලකය. සංඥව මිරිඟුවක්‌ බව අපි නොදනිමු. එය දැනගත් විට කලකිරීම, ඇතිවීම නොවැළැක්‌ විය හැකිය. අපේ ආයතන වලින්ම හැදූ රූපයක්‌ නිසා අපේ මනස තුළම හැදුනු සංඥවකටයි අප රැවටී ඇත්තේ. බාහිර අරමුණුවලට නොවේ. ස්‌පර්ෂය නිසාය සංඥව ඇති වූයේ. ස්‌පර්ෂය නැති වූ විට සංඥවද නැතිවේ.

කාන්තාවකගේ ලස්‌සන රූපයක්‌ ඇඳ තිබෙන බිත්තියක්‌ ලෙස බලන එක්‌ පුද්ගලයෙක්‌ ඒ රූපය දකින වාරයක්‌ පාසා රාගයෙන් මත්වේ. තවෙකකු ඒ රූපය දකින්නේ තීන්ත ටිකක්‌ උලා ඇති බිත්තියක්‌ ලෙසය. යමෙක්‌ එය තාර උලා විකෘති කළොත් එහි ලස්‌සන දුටු පුද්ගලයා තුළ ඇති වන්නේ කණස්‌සල්ලකි. ද්වේෂයකි. දෙවැන්නා එය දකින්නේ තවත් තීන්ත උලා ඇති බවක්‌ පමණි. අප බලන බැල්මට හෙවත් මනසිකාරයට රැවටී ඇති බව මෙයින් නෙපෙනේද?

හරි දැකීම වලක්‌ වන්නේ සංඥවයි. එසේ වන්නේ ඇයි? අපට ප්‍රඥ ඇස නැති නිසාය. ඒ නිසා අවුල් හදා ගන්නේ අභ්‍යන්තර හෝ බාහිර ආයතන වත් නොව මනසමය. වෙදකම කළ යුත්තේ මනසටයි. අප හඳුනා ගන්නා හැම දෙයම බඹයක්‌ පමණ වන ශරීරය තුළම වේ.

සංඥාව ස්‌පර්ෂය නිසා පහළ විය. සංඥව අපේ මනස තුළම බිහිවන සිතිවිලි සමූහයකි. මහණෙනි, ව්‍යවහාරය සංඥවගේ විපාකයක්‌ කොට කියමි. හඳුනාගන්නේ ව්‍යවහාරය අනුවයි. යම් රටාවකට ලී කැබලි එක්‌ කළ විට පුටුව යයි ව්‍යවහාර වේ. පුටුව කියා හඳුනා ගන්නේ ව්‍යවහාරයට අනුවයි.

රූප, වේදනා, සංඥ, සංඛාර, විඤ්ඤාණ යනු පංචුපාදානස්‌කන්ධයයි. මෙහි හට ගැනීමත් නැතිවීයාමත් නොදැනීම අවිද්‍යාවයි. එය මෙසේ විග්‍රහ කළ හැක. පංචුපාදානස්‌කන්ධයේ හට ගැනීමත් නැති වී යැමත් නොදැනීම අනිත්‍යතාව නොදැනීමයි. අනිත්‍යතාව නොදැනීම දුක හා අනාත්මතාවත් නොදැනීමයි. ඒ නිසා අවිද්‍යාව වනාහි මේ ත්‍රිලක්‍ෂණයම නොදැනීමයි. අවිද්‍යාවේ දැඩිකම මෙයින් පෙනේ. තථාගත ධර්මයෙහි උපකාරයෙන් තොරව අප වැටී සිටින දුක්‌ත සංසාර ආගාධයෙන් ගොඩ ඒමට උපකාර වන අවිදු අඳුරින් මිදීමට නොහැකි වන බව තරයේ සිතට ගත යුතුය.

මේ අනුව චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිවන කරා යැමට නම් අපට හැකි වන්නේ පංචුපාදානස්‌කන්ධය අවබෝධ ඥනයට හසුකර ගැනීමෙන් බව අවධාරණය කළ යුතුවේ.
ශාස්‌ත්‍රවේදී පී. ඩී. ආරියරත්න

නූතන බෞද්ධයා සීලයේ නියම ප්‍රතිඵල භුක්‌ති විඳින්නේද?

අනුන්ට කරදරයක්‌ ඇති නොවන ලෙස සිත, කය, වචනය සංවර කර විසිය හැකිනම් එය ඉතා උතුම්ය. සමාජයේදී සෙසු අයට තමාගෙන් හිරිහැරයක්‌ නැතිව වාසය කිරීමට ඉඩකඩ ලබාදීම සුවිශාල දානයක්‌ද වේ. පරපණ නැසීමෙන් වැළකීම උතුම් දානයක්‌ සේ සැලකෙනුයේ එනිසාය. අනුන්ගේ දේ ගැනීමෙන් වැළකීමෙන් පුද්ගල දේපළ පරිහරණය කිරීමේ අයිතිය සමාජයට ලබාදීමද සිදුවේ. කාමමිථ්‍යාචාරයෙන් වැළකීම මගින් අනුන්ගේ ශරීර සිය පසිඳුරන් නොනිසි ලෙස පිනවීමට ගැනීමේ හිරිහැරයෙන් සමාජය මුදවනු ලැබේ. අද බස්‌රිය, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවයක පවා කාන්තාවකට නිදහසේ යැමට නොහැකිව ඇත්තේ නිවැරදිව පන්සිල් නොරකින සමාජයක්‌ ඇති බැවිනි. මුසාවාදයෙන් වැළකීම අසත්‍ය සන්නිවේදනයෙන් වැළකීමයි. මත්පැන් මත්ද්‍රව්‍ය නිසා සිදුවනුයේ සිහිකල්පනාව නැතිව යැමයි. ලැඡ්ජාව, බිය යන දේවධර්ම නිසා සත්වයා පාපයෙන් වළකයි. අසිහියෙන් සිටීමෙන් වැළකීම නිසා උමතු හැසිරීම්වලින් සමාජය වැළකේ. එය නිවැරදි සන්නිවේදනය සමාජයට ලබාදීමකි. ඇතැම් අය කල්පනා කරන්නේ සීලය යනු යම් සුවිශේෂිත දිනයක සුවිශේෂිත ස්‌ථානයක සිට පමණක්‌ ආරක්‍ෂා කළ යුතු දෙයක්‌ ලෙසයි. මෙය ඉතා සාවද්‍ය අදහසකි. සීලය යනු කායික වාචසික සංවරයයි. මෙය කිසියම් සුවිශේෂී දිනයකට හෝ ස්‌ථානයකට පමණක්‌ සීමාවූවක්‌ නොවේ. කයින් හා වචනයෙන් සිදුවන වැරදිවලින් වැළකී ජීවත්වීම යාවජීව කටයුත්තකි. එය එක්‌ දිනකට පමණක්‌ සීමාකර අනෙක්‌ දිනවලදී සිතැඟි පරිදි හැසිරීම පොදු මිනිස්‌ දුර්වලකමකි. එය ආගමෙන් පවා අපේක්‍ෂිත පසුබිමක්‌ නොවේ. නමුත් උසස්‌ ශික්‍ෂිත මනසක්‌ ඇත්තා හුදෙක්‌ පව්, පින් ලෙස සලකා නොව කය, වචන සංවරව පැවතීම සලකනුයේ සිය සමාජයීය යුතුකමක්‌ වශයෙනි. අනුන්ට කරදර හිරිහැර නොකර ජීවත්වීම කෙතරම් උසස්‌ දෙයක්‌දැයි වැටහෙනුයේ පවිත්‍ර මනසක්‌ ඇති අයටය. සිල් ගන්නේ එය අනුන්ට ප්‍රදර්ශනය කිරීමෙන් සතුටුවීමට නොවේ. අනෙක්‌ අතට එදිනට සිද්ධස්‌ථානවලට එක්‌රැස්‌වන අතිවිශාල ජන සමූහයා මැද සිත එකඟ කරගෙන සිටීමට වඩා සිය නිවසෙහි හෝ නිස්‌කලංකව සිත පවිත්‍රව කය, වචන සංවර වන සේ ආගමානුකූලව ගත හැකිනම් එය උසස්‌ය. සමහර එබඳු දිනවලට අතිවිශාල ජනසමූහයා එක්‌රැස්‌වන එබඳු ස්‌ථානවල සිට කරනුයේ අනුන්ගේ කේලාම්, ඕපාදූප කතා බහ කරමින් නිකරුනේ කාලය කා දැමීමකි. ඉන් කිසියම් සතුටක්‌ ලබනු රිසින් වැඩි දැන උගත් කමක්‌ රහිත අය මෙලෙස හැසිරෙනු දැකිය හැක. සාමාන්‍ය දිනයක තමා අතින් වන කායික හා වාචසික වැරදිවලට වඩා වැඩිපුර වැරදි සිදුකිරීමට යොමුවීමේ ඉඩප්‍රස්‌තාව මේ නිසා ඇතිවේ. නමුදු වර්තමාන තරුණ පරපුර අතර බුද්ධිමත් උගත්කම් සහිත අය බහුලය. එබඳු අය කරනුයේ මෙබඳු ප්‍රදර්ශනාත්මක ක්‍රියා නොව නිහඬව කය, වචන හික්‌මවා විසීමයි. බොහෝවිට ශාස්‌ත්‍රීය විද්වත් පර්යේෂණ, විමර්ශන කාර්යයන්වල නිහඬවම නිරතවී සැනසීමක්‌ ලැබීමට වෙහෙසවනුයේද මෙබඳු පිරිසවේ.

නීරෝගීබව හා නිරවද්‍ය චර්යා

විවේකී ස්‌ථානයක සිට ධර්මශාස්‌ත්‍රීය කරුණු ඔස්‌සේ විමසුම් නුවණ මෙහෙයවා ගැඹුරු දහම අවබෝධයට උත්සුකවීම කලබලකාරී ජනයා අතර විඩාපත්ව විසුමට වඩා යහපත්ය. එබඳු විවේකී ස්‌ථාන සිද්ධස්‌ථානයක්‌ වීම වඩා හොඳය. නමුත් විශාල පිරිසක්‌ එක්‌ රැස්‌වන ස්‌ථානයක නම් ඇත්තේ විවේකී පරිසරයක්‌ නොවේ. වෘක්‍ෂ මූල, ආරණ්‍ය, හිස්‌ භූමි හා සුසාන භූමි බඳු ස්‌ථාන චිත්ත සමාධිය හා විදර්ශනා භාවනා දියුණු කළහැකි උචිත විවේක ස්‌ථානසේ බුදුරදුන් විසින් පෙන්වාදී තිබේ. ලෞකික කරදර, හිරහැරවල අහිතකර බලපෑම එදින තුළ හෝ නැත්නම් සිය නිවසේ සිට වුවද කය, වචන හික්‌මවාගෙන නුවණ වැඩීම පිණිස දහම් පතපොත පරිශීලනය කළ හැක. නැතහොත් දිනපතා වඩා පුරුදු භාවනාවක විවේකීව නිරතවිය හැක. කායානුපස්‌සනා සතිපට්‌ඨානයට අයත් දසඅසුබ, නවසීවථක, දෙතිස්‌කුණප වැනි භාවනා නූතන කාමභෝගී සමාජ රටාවකට ඇබ්බැහිව දිවිගෙවන අයගේ කාමසංඥව අවම කිරීම පිණිස උපකාරීවේ. හැකිතාක්‌ ඉන්ද්‍රීයප්‍රීණනයද, කාමයේ මෘදුස්‌පර්ශයෙන්ද, අධිශීතකරණවල මස්‌ දමා තබා කල්තබන සේ වායුසමනය කළ නිවෙස්‌, කාර්යාල, රථ ආදිය පරිහරණය නිසා සුඛ විහරණයෙන් කය සැතපවීමෙන්ද නොයෙකුත් කායික රෝගාබාධ හටගනී. රුධිරගත සීනි හා මේද සංයුතිය අධිකවීම, ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ ඌණතා, අක්‍රමවත් හෝමෝන ශ්‍රාවය, අස්‌ථිපඤ්ජරයේ විකෘතිතා හා පරිවෘත්තීය චක්‍රයේ විෂමතා බඳු කායික රෝගවලට මූලික හේතුව අධික කය පිනවීමයි.

නිරෝගීබව සුරක්‍ෂිත කරදීම සීලයේ ප්‍රධානතම උපයෝගීතාව වේ. පංචශීලයට වඩා ඉහළ සීලවන අෂ්ටාංග ශීල, ගිහි පැවිදි දස ශීල හා උපෝසථශීල ආදියේ පණවා ඇති පරිදි විකාල භෝජනයෙන් වැළකීමේ ශික්‍ෂාපදය හා සිව්නිස්‌සය අතර සඳහන් භෝජනයේ මතඤ්ªතාවයද ශාරීරික නිරෝගීතාව හා පහසුවිහරණය පිණිස වූ පැණවීම් වේ. කට සංවරකර ගැනීම වචනයෙහි සංවරතාව උදෙසා පමණක්‌ නොව රුධිරගත මේද හා සීනි මට්‌ටම වැඩිනොවී තබා ගැනීමටද උපකාරීවේ. විෂම අසම්මත ව්‍යාභිචාරි ඇවතුම් පැවතුම් පමණක්‌ නොව අධිකමෛථුනය පවා ශාරීරික රෝග හටගැනීමට ඉවහල්වේ. ස්‌ත්‍රී, පුරුෂ අය තුළ මඳසරුබව හා නිසරුබව ඇතිවීමට හේතුවනුයේ මෙබඳු චර්යාවලට දිගු කාලීනව ඇබ්බැහිවීමයි. මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමද අප්‍රාණිකබව හා වෛවාහික දුබලතාවලට හේතුවකි. ස්‌ත්‍රීන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවට අහිතකර මානසික ආවේග හේතුවිය හැක. ඇඟ උණුකරවායැම. පුරුෂ දුබලතා බඳු රෝගවල හේතුව විෂම ඇවතුම් පැවතුම් හා මානසික ආතතිය විය හැක. ආරමය හා ජානමය දුබලතා හටගනුයේ ප්‍රවේණිගතව රෝග හටගැනීමේ අවදානම මඟිනි. අකුසල කර්මඵල විපාක ආදිය නිසා ඇතිවන කර්මජ ආබාධද මේ අතර ඇත. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය අපේ අනාගත පරපුර ක්‍රමිකව දුබලවීමයි. ශක්‌තිමත් ජාතියක්‌ ගොඩනැඟීම අරමුණසේ සැලකීමට නම් තරුණ පරපුර සිල්වත්ව කටයුතු කිරීමට පෙළඹවිය හැකි වාතාවරණයක්‌ පැවැතිය යුතුය.

සීලය හා යහපත් ආකල්ප

මිත්‍යා, විෂම හා අසම්මත කාමයෙන් වැළකීම මෙන්ම, බඹසර වාසයද සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්‌ ගත කිරීමට මහත්සේ ආධාරවේ. කය පිළිබඳ ඇති සාවද්‍ය ලෝලීබව දුරුකිරීමට එය ප්‍රඥව ඇතිවන පරිදි විමර්ශනයකර සිහිනුවණ උපදවා කටයුතු කිරීම අවශ්‍යය. මෙහි පිළිකුල්බව සැලකීම නම් කය පිළිබඳ කාම තෘෂ්ණාව ඇතිනොවන පරිදි ඊට 

ප්‍රතිවිරෝධී ආකල්ප ඇතිකර ගැනීමය. ඒ මිස ප්‍රතිඝය ඇති කර ගැනීම නොවේ. ප්‍රතිඝය ඇති වනුයේද කාමය නිසාය. ලෝලීබව නිසා සාවද්‍යව සංවේදී බවින් තෙත්වන මනස ඊට ප්‍රතිවිරුද්ධ අන්තයවූ ප්‍රතිඝය නිසා ගැටීම් සහිත බවකට සංස්‌කරණයවේ. මේ දෙයාකාර සංචලනවල ස්‌වභාවය මනාව තහවුරු කරගන්නා තෙක්‌ මනසේ මෝහය රැඳී පවතී. සිහිය හා නුවණ දියුණු තියුණුවත්ම මෝහය දුරුව ප්‍රඥව ඇතිවේ. ඒ ප්‍රඥාව නිසා කාම හා ද්වේෂ සංඥ දුරුවේ. අවිද්‍යාව යනුවෙන් අදහස්‌ වනුයේ මෝහය දුරුකිරීමට නිවැරදි ක්‍රමවේදය නොදත් බවයි. චතුරාර්ය සත්‍යය අවබෝධය මගින් අවිද්‍යාව දුරුවීමට අවකාශ සැලසේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා ඊට මඟ චතුරාර්ය සත්‍යයේ පසුබිමයි.

සීලයේ නියම ප්‍රතිඵල භුක්‌තිවිඳීමට අවකාශ මඳවනුයේ සිල් සමාදන්වන මිනිසුන්ගේ ආකල්පවල පවතින සාවද්‍යබව නිසාය. ඒ නිසා නිවැරදි ප්‍රතිපත්තිගරුක අයෙකුට වුවද ඔවුන් සමඟ සාර්ථකව එදින තුළ කටයුතු කිරීමට පහසුවේ. කිසියම් දැන උගත් බවකින් යුක්‌තව සිල් සමාදන්වීමට එක්‌වන අයෙකුට සිය නිවස තුළ ඇති නිස්‌කලංකබව මෙබඳු අය ගැවසෙන සමාජ පරිසරයක්‌ තුළ දැක ගැනීමට නොහැක. එනිසා බොහෝවිට එබඳු කලබලකාරී පිරිස්‌ මැද මන්දොaත්සාහීවීමට අවංක අපේක්‍ෂාවෙන් එහි යන අයට සිදුවේ. මෙබඳුදේ ඉවසීමට හා උපේක්‍ෂකවීමට එවැනි අය පුරුදු පුහුණුවීම සඳහා එලෙස කලබලකාරී පිරිස්‌මැද කටයුතු කිරීමද අවශ්‍යයෑයි අයෙකු පැවසීමට ඉඩඇත. නමුදු සිය විවේකීබව පාදකකරගෙන වඩා උසස්‌ සීල, සමාධි හා ප්‍රඥ මට්‌ටම් සාක්‍ෂාත් කරගැනීම පිණිස එළඹෙන ආදිකම්මික අයෙකුට මෙබඳු කලබලකාරී පරිසරය මහත් බාධාවක්‌ වනු ඇත. සැබැවින්ම සිල්සමාදන්වන පරිසරයක පැවතිය යුතු වනුයේ කලබලකාරී ඝෝෂාකාරී මානසික ආතති ජනිතකරවන පරිසරයක්‌ නොවේ. නමුදු තමාට ආසන්නව පිහිටි නිස්‌කලංක,විවේකී සිද්ධස්‌ථානයට වඩා ඉතා දුරබැහැර පෙදෙසක පිහිටි බහුලව ජනසමූහයා ගැවසෙන කලබලකාරී ස්‌ථානවලටම මිනිසුන් සිල් ගැනීමට පැමිණෙනුයේ මන්දැයි විචාරපූර්වකව නිගමනවලට එළඹිය නොහැක. මෙබඳු දේ මඟින් පැහැදිලිවන කරුණ නම් මිනිසුන් තුළ ජනසමූහයා පිරිවරා සිටීමේ හා විවිධ දුරබැහැර ස්‌ථාන දැකීමේ දැඩි ආශා පවතින බවයි. වන්දනා ගමන් යැමට බොහෝ දෙනා තුළ ඇති ආශාවද මෙබඳුය. ඇස පිණවීම මූලික කරගත් මෙබඳු දැ අවශේෂ වශයෙන් පසිඳුරන්ම පිණවීම පාදකව ගොඩනැඟේ. සීලයේ ප්‍රධාන පරමාර්ථයෙන් බැහැරවීම මින් සිදුවේ.

සිල් සමාදන්වීම සඳහා පැමිණෙන බහුතර පිරිස ස්‌ත්‍රීහුය. පුරුෂ පක්‍ෂයේ අය දැකිය හැක්‌කේ කලාතුරකිනි. ඒද මැදිවියේ හෝ මහළුවියේ අයය. නූතන තරුණ පරපුර පැරණි තරුණ පිරිසට වඩා ආගමික දැන උගත් බවින් ඉදිරියෙන් සිටී. අධ්‍යාපන පහසුකම් සුලබවීම හෝ තරුණ බුද්ධිමත් දැන උගත් හිමිවරුන්ගේ මඟපෙන්වීම නිසා හෝ විය හැකිය. මේ තරුණ පරපුර අතර ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‍ෂයම වේ. නමුදු තරුණයන් ආගමික කටයුතුවලට අධික නැඹුරුතාවක්‌ ඇතිව බහුලව කටයුතුකරනු පෙනේ. සිල්සමාදන්වීමට පැමිණෙන පිරිස අතර තරුණ පිරිමි එතරම් සුලබ දසුනක්‌ නොවේ. එමනිසා කිසියම් දැන උගත්කමක්‌ සහිතව අවංකව ප්‍රතිපත්තිපූරණය පිණිස එවැනි කටයුතුවලට සහභාගිවන තරුණ පිරිමි පිළිබඳව සැකමුසු විවිධ සෘණාත්මක ආකල්ප ඇති කරගන්නා බව දක්‌නට ලැබේ. එබඳු අය පෙම් සබඳතා බිඳවැටී කලකිරීමට පත්වූ අය හෝ වෙනත් පෞද්ගලික ව්‍යසනවලට මුහුණපෑම නිසා මෙබඳු දේවලට පෙළඹුනු අය බවට සමහරු විවිධ සැකසංකා පවා උපදවා ගනිති. බොහෝවිට මෙබඳු ආකල්ප නිසා එබඳු අය අධෛර්යමත්වීමට ඉඩඇත. අවසාන ප්‍රතිඵලය වනුයේ සිද්ධස්‌ථානවල සීලසමාදාන කටයුතු ස්‌ත්‍රීන්ගෙන් පමණක්‌ම පිරීයැමයි. ස්‌ත්‍රීන්ගේ සහභාගී බව හොඳය. නමුදු එබඳු දේ වඩාත් කාර්යක්‍ෂම හා ප්‍රතිඵලදායීවීමට නම් පුරුෂයන්ගේ දායකත්වයද ඉතා වැදගත්ය.

සිල්සමාදන් විය යුතු දිනයක හිමිදිරි උදයේම සිද්ධස්‌ථාන වෙත ගොස්‌ කරනුයේ එදවස සුව පහසුව ගත කිරීමට පහසුකම් සහිත ස්‌ථානයක්‌ වෙන්කර ගැනීමයි. මේ සඳහා පිට හේත්තුකරගෙන පහසුවෙන් නිදිසුව විඳියහැකි බිත්ති ආසන්නව ගමන්මලු ආදිය තබා සිය ඉඩකඩ වෙනත් අය අත්පත් කරගැනීමෙන් වැළකීමට උත්සුක වේ. සිය සීමාවේ අනුන් බඩුබාහිරාදිය තැබීම පවා නොරිසිවේ. කය සැතපවීම පිණිස සුවපහසු කොට්‌ට, ඇතිරිලි යොදාගනී. හැකිතාක්‌ නිවසේ තමා වෙනුවෙන් පිළියෙළ කළ ආහාරපාන රැගෙන පැමිණ භුක්‌තිවිඳීමට රුචිවේ. මෙබඳු නොයෙක්‌දැ මගින් ප්‍රකටකරනුයේ සිය ආත්මාර්ථකාමී බවයි. සක්‌කායදිට්‌ඨියේ දැඩිබවයි. සිල්සමාදන් විය යුතුවනුයේ එබඳු සෘණාත්මක ආකල්පවලින් වැළකීම පිණිස මූලික පුහුණුවක්‌ ලබාගැනීමට මිස ඒවා වඩාත් තහවුරුවන පරිදි නොවේ. කය, වචන හික්‌මවීම පවා මානසික හික්‌මවීම අරමුණුකරගෙන පැවතිය යුතුය. එසේ නොමැතිව හුදු වචනාර්ථයකට පමණක්‌ සීමා වූ කය, වචන හික්‌මවීමේ ප්‍රතිපදාව සාර්ථක ක්‍රමවේදයක්‌ නොවේ. කයට අසීමිතව දුක්‌දීම සේම සැපදීමද අන්තවාදීබව සේවනය කිරීමක්‌ ලෙස බුදුදහමේ පෙන්වාදී තිබේ. එසේම එය නිවනට මඟද නොවේ. මධ්‍යම ප්‍රතිපදාව නම් මේ කිසිදු අන්තවාදීබවක්‌ දැඩිව ග්‍රහණය නොකර හැරදැමීමයි. ආර්යඅෂ්ටාංගික මාර්ගය නම් සම්මාදිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මාර්ගාංගයි.

වගකීම් හා පරමාර්ථ

නියමිත දිනක සිල් සමාදන්වීම නරකය බඳු ආකල්පයක්‌ හෝ එහි දොස්‌ දැක්‌වීමක්‌ මෙහි අන්තර්ගතවේ යෑයි වරදවා නොවටහාගත යුතුය. කය, හික්‌මවා නොගෙන සිතුමනාපයේ අයාලේ යැමට වඩා කිසියම් සුවිශේෂිත දිනයකදී හෝ එසේ හික්‌මී කටයුතු කිරීම උසස්‌ය. මින් අදහස්‌වනුයේ එසේ සුවිශේෂී දිනයකදී හික්‌මීමටද වඩා ජීවිතකාලය තුළම එසේ සිල්වත්ව ජීවත්වීම උතුම්බවයි. මේ සඳහා සමාජයේ සියලු අය පූජ්‍ය හෝ පූජක පක්‍ෂයට එක්‌වීම අනවශ්‍යය. ඒ වෙනස ඇතිවිය යුතුවනුයේ බාහිරව නොවේ. සිය අභ්‍යන්තරගතවය. අභ්‍යන්තරව යහපත් වෙනසක්‌ කළ හැකි නම් ඒ යහමඟ අනුගමනය කිරීමට හැකිනම්, කුමන බාධකයක්‌ පැමිණියත් ඒ සියල්ලට අකම්පිතව නොසැලී මුහුණ දිය හැකි සේ පරිපූර්ණ පෞරුෂයකින් සමන්විතනම් සත්‍යාවබෝධයට තමා අයත් සමාජ මට්‌ටම බාධාවක්‌ නොවේ. ගිහි, පැවිදි දෙපක්‍ෂයටම සත්‍යාවබෝධය පිණිස ඇතිමඟ එකමය. වෙනසක්‌ ඇතොත් ඒ වෙනස ඇත්තේ ගමන්ගන්නා වේගය අනුව මිස අනුගමනය කරන ප්‍රතිපත්තියේ නොවේ. බුදුන්වහන්සේ පැවිදි හා ගිහි පක්‍ෂය උදෙසා වෙනවෙනම ආර්ය අෂ්ටාංගික මාර්ග පනවා නොමැත. වර්තමාන සමාජයේ වඩාත් ඉස්‌මතුව ඇත්තේ ජනප්‍රිය බොල්මත මිස බුදු දහමේ ගැඹුරු සත්‍යය දර්ශනය හෝ ප්‍රතිපදාව නොවේ. ඒ පිළිබඳ අවබෝධය ඇති අයද ඒ වැරදිමත ඉදිරියට ගෙනයැමට දර දිය සපයනවා මිස, එවැනි ආකල්පවල ඇති සාවද්‍යබව පොදුජනතාවට පහදාදීමට පවා උත්සුක නොවන බව පෙනේ.

බොහෝ විට සමාජය තුළ විද්‍යාමානව ඇත්තේ උනුන් පරයා කැපීපෙනීමේ නොනිත් ආශාවට වසඟව කටයුතු කරන අය මිස අවංක, උදාර ආකල්ප සහිත අය නොවේ. සීලය වැනි චර්යා සංස්‌කරණ ක්‍රමවේදයක්‌ මගින් අපේක්‍ෂාව වී ඇත්තේ අවංක, උදාර ආකල්ප සහිත අය බිහිකර ගැනීමයි. වර්තමානයේ සීලසමාදානය ව්‍යාපාරයක්‌ සේ ප්‍රචිලිතව දක්‌නට ලැබෙතත්, මෙබඳු උසස්‌ ආකල්ප සහිත අය බිහිනොවනුයේ එබඳු කටයුතුවල පවතින කිසියම් දුබලතාවයක්‌ නිසා වියයුතුය. බොහෝවිට මෙබඳු සීලව්‍යාපාර නමින්ම අර්ථවත්වන පරිදි එහි ගැබ්විය යුතු මූලික ආගමික හරය ඉවතලා බාහිර ඔපය පමණක්‌ සලකා කටයුතු කිරීමට උත්සුකවීම තුළ එබඳු දැ මගින් අපේක්‍ෂිත අරමුණ අමතකකර දමනු ලැබ තිබේ. සීලය නම් කය, වචන හික්‌මවීම බව සිsහිපත් කරදීමට හෝ අවංක වුවමනාවක්‌ මෙබඳු ව්‍යාපාරවල මූලිකත්වය ගෙන කටයුතු කරන බොහෝ අයට පවා නැත. හුදෙක්‌ ආගමික පසුබිම තුළ ඇති සංස්‌කෘතිකාංගයන් රැක දීමට මෙන් සීලව්‍යාපාර පැවැත්වීම හැරෙන්නට සමාජයට එමඟින් ලබාදිය යුතු අර්ථ සම්පන්න පණිවුඩයක්‌ නොමැති බව මෙබඳු කටයුතු නිරීක්‍ෂණය කරන විට සිතේ. ආගමික ආකල්ප බලහත්කාරයෙන් මිනිසුන්ගේ හිස්‌ගෙඩි තුළට රිංගවිය හැකි නොවේ. අවශ්‍යවනුයේ එබඳු ආගමික ආකල්ප පහළවීමට මූලික පසුබිමක්‌ තනාදීමට අවංකවීම පමණි.
දර්ශනපති සුජිත් නිශාන්ත හේවගේ

ත්‍රිලක්‍ෂණය පහදා දුන් ධම්ම පද

ධම්ම පදයේ 277,279, 298 යන ගාථා ධර්මයන් තුළින් සියලු සංඛාර ධර්මයන්ගේ යථා ස්‌වරූපය දේශනා කොට ඇත. ඒ බැව් ප්‍රඥාවෙන් දැකීම තුළින්ම චිත්ත විසුද්ධිය මෙන්ම සියලුම දුක්‌ඛයන්ගෙන් මිදීමට හැකි වන්නේය.
සබ්බේ සංඛාරා අනිච්චාති 
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
සබ්බේ සංඛාරා දුක්‌ඛාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
සබ්බේ ධම්මා අනත්තානි
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ 
ඒස මග්ගෝ විසුද්ධියා
සියලු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයි යන වචන මාලාව බෞද්ධයන්ට නිතර නිතර අසන්නට ලැබෙන එසේම කියවා කටට හුරු පුරුදු වචන ටිකකි. විශේෂයෙන්ම අවමංගල්‍ය අවස්‌ථා වලදී ආගමික වතාවත් සිදු කරන විටදී භික්‍ෂූන් වහන්සේලා මේ ගාථා ධර්මය දේශනා කරති. එසේම මෘතදේහ මිහිදන් කරන විට දීද එතනට රැස්‌වන පිරිස මෙම ගාථාව කියමින් අතින් පස්‌ පිඬක්‌ ගෙන වලට දමති. නමුත් විශ්වයේ පවත්නාවූ සියලුම ලෝක තලයන්ට පොදු වූ ධර්මතාවන් මේ ගාථා තුළින් විග්‍රහ වන බව ප්‍රඥාව තුළින් විමසා බලා තේරුම් ගන්නා පිරිස ඉතාම අල්ප යෑයි සිතෙයි.
ඉහත ගාථා තුනෙන්ම විග්‍රහය වන්නා වූ සංඛාර යනු මොනවාද, පාලි භාෂාවෙන් සංඛාර යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ හටගත්, දෙය, පැවතීමට උපකාර වන දෙය, ක්‍රියාකිරීමේ ශක්‌තිය යන අරුත්ය. සංඛාරක්‌ඛන්ධව යනුවෙන් ලෝභ, ද්වේෂ, මෝහාදී චෛතසික හැඳින්වේ. මේ අනුව විශ්වයේ කොතැනක හෝ හටගත් දෙයක්‌ සංඛාර වශයෙන් අර්ථ ගැන්වෙයි. ඉර, හඳ, වලාකුළු, සුළඟ ගස්‌, ගල්, සාගර වැව්, පොකුණු, ගංගා මෙන්ම ඒවා ආශ්‍රිතව සැකසෙන සෑම දෙයක්‌ම සංඛාර වෙති. සියලුම සත්ත්ව ශරීර මෙන්ම එම සත්ත්වයන්ගේ සිත්ද මෙකී සංඛාරයෝම වෙති. මෙය ගැඹුරු ධර්මතාවකි. එම නිසාම යදා පඤ්ඤාය පස්‌සති යනුවෙන් යම් කලෙක ප්‍රඥාවෙන්ම දැකිය යුතු යෑයි දේශනා කොට වදාළේ එබැවිනි.
මිනිසාගේ මෙන්ම සියලුම සත්ත්වයන්ගේ ගත සිත හෙවත් නාම රූපවලද ස්‌වභාවය ද මොහොතක්‌ පාසා සකස්‌ වෙයි. හටගනියි. වෙනස්‌ වෙයි. අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං ඛයධම්මා වයධම්මා, විරාග ධම්මා නිරෝධ ධම්මා යනුවෙන් මෙම විශ්ව සිද්ධාන්තය පෙන්වා දී තිබේ. එනම් වෙනස්‌ වන සුලු බවය සකස්‌ වී තිබෙන සුලුය. හේතූන් නිසා සැකසෙන සුලුය, බිඳෙන සුලුය, ක්‍ෂය වන සුලුය නැති වන සුලුය. සදහටම නැති වන්නේය යනුවෙනි.
ඉහත ගාථා ත්‍රිත්වයෙන් පෙන්වා දෙනු ලබන්නේ ලෝක තලයන් තුළ පවත්නා සෑම දෙයක්‌ම අනිත්‍ය වූද, දුක්‌ඛ වුද, අනාත්ම හෙවත් ස්‌ථීරතර වූ ආධිපත්‍යයක්‌ නොමැති දේවල් බවත් එකී ස්‌වභාවය ප්‍රඥාවෙන්ම දැකිය යුතු බවත්ය. එසේ සිතා විමසා බැලීමට නොපෙලඹෙනතාක්‌ කල් මෙකී ත්‍රිලක්‍ෂණය ගැන දැනීමක්‌ ඇති නොවන තාක්‌ කල් නිරෝධ ධම්මතාවය හෙවත් සදහටම දුක නැති කර ලීමට හැකියාවක්‌ නොලැබෙයි.
වර්තමාන බෞද්ධ සමාජය තුළ බුදු දහමට අනුව සිතීමට හා විමසා බැලීමට බහුතරයක්‌ දෙනා නොපෙලෙඹෙන නිසා ඔවුනට ධර්මයේ හරය නොපෙනෙයි. කෙනෙක්‌ මිහිදන් කරන විටදී අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පඡ්ජිත්වා නිරුඡ්Cඩන්ති තේසං වූප සමෝසුඛෝති කියන පාලි පාඨය කට පාඩමෙන් කියවන නමුත් එයින් ගම්‍ය වන්නා වූ හරය කුමක්‌ද? කියා සිතා බලන්නේ නැත.
මිනිසා මෙන්ම සියලුම සත්ත්වයෝ මරණයට පත් වූ විට එම සිරුර කුණු වී කැඩී බිඳී දිරා පත්වී ක්‍ෂය වී යන්නේය. එය එසේ වන්නේ සංස්‌කාර නිසා සකස්‌ වූ මෙම ශරීරය අනිත්‍ය වී දුක්‌ඛයන්ට ගොදුරු නොවී ස්‌ථාරව තබා ගත නොහැකි අනාත්ම භාවය නිසාය. මරණානුස්‌මෘතිය තුළින් මේ බැව් නොසිතා කොපමණ ආගමික වතාවත් කළත් කෙළෙස්‌ සංසිඳුවා ගත නොහැකිය.
චිත්ත අභ්‍යන්තරයේ පවතින ක්‌ලේශ ධර්මතාවයක්‌ අන්සත්ත්වයන්ට වඩා වසා ගෙන සිටින සත්ත්වයා නම් මිනිසාය. මේ නිසා සෑම මනුෂ්‍යයකු තුළම බාහිරෙන් ප්‍රදර්ශනය කරන මනුෂ්‍යත්වයට යටින් ගති නිමිති වශයෙන් ඔවුන් තුළ සැඟව පවතින නා නා ප්‍රකාර ගති පවතී. ඒවා තිරිසන් ගති, දේවගති, යක්‍ෂ ගති ප්‍රේතගති, බ්‍රහ්ම ගති ආදී වශයෙන් වරින් වර ඉස්‌මතු වී එන අතර බොහෝ විට නරක ගති වසාගෙන සිටිති. ධර්මයේදී ගති නිමිති වශයෙන් මේවා හඳුන්වනු ලබයි.
එසේ නම් කතාවෙන්, සිනාවෙන් හෝ ක්‍රියාවෙන් මිනිසුන් හඳුනාගත නොහැක. මන්ද? ඔවුන්ගේ සිත් තුළ නා නා ප්‍රකාර ක්‌ලේශයන් වසාගෙන සිටින අයවලුත් නිසාය. මේ බැව් ඡන්න මති වස්‌සති විවට්‌ටං නාති වස්‌තති තස්‌මාහි ඡන්න විවරේථං නාති වස්‌සති යනුවෙන් දේශනා කොට ඇත. එහි අර්ථය වනුයේ වසා තිබෙන විට වැගිරේ විවෘතව තිබෙන විට නොවැගිරේ යන්නය. එම නිසා තම තමන් සිත් තුළ පවතින රාග, ද්වේෂ, මෝහ මුල්කොට සැඟව පවතින පංචකාමයන්ට තිබෙන ආශාවන් නිසාම ද්වේශය පහළ වී තරහ යැම නා නා විධ ආශාවන්ට ගිජුවීම හා ඒවාට වහල් වීම නිසා පරම සත්‍ය තේරුම් ගැනීමට නොහැකිව මිරිඟුවක්‌ වූ අවිද්‍යාව පසු පස හඹා යයි. ඒ චිත්ත සංඛාර යන්ගේ ස්‌වභාවයයි.
සංඛාර තේරුම් ගැනීමේදී භෞතිකව ගටගන්නා දේවල් කාය සංඛාර වශයෙන්ද මුවෙන් පිටවන ශබ්දයන් වචී සංඛාර වශයෙන්ද සිතේ හටගන්නා සිතිවිලි මනෝ සංඛාර වශයෙන්ද හැඳින්වෙයි. මෙසේ සැකසෙන සංඛාර ශක්‌තිය ජනිත කර වනුයේ සිතෙනි. එම නිසා සිත තුළ හට ගැනෙන සංඛාර ත්‍රිවිධාකාර වෙති. යහපත් දේවල්වලට යොමු කරවන සංඛාර පුණ්‍යාභි සංඛාර වශයෙනුත් අයහපත් දේවලට යොමු කරවන සංඛාර අපුණ්‍යාභි සංඛාර වශයෙනුත් රූප අරූපාදී ධ්‍යානයන්ට යොමු කරවන සංඛාර අනේභ්‍යාජානු සංඛාර වශයෙනුත් පෙන්වා දී ඇත.
නාම රූප සංයෝජනය නිසා සත්ත්වයෙකු හට ගැනෙයි. මින් රූපය තුළ ඇති වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය ප්‍රකටව පෙනෙන පහසුවෙන් වටහා ගත හැක්‌කකි. එහෙත් නාමය හෙවත් සිත රූපයටත් වඩා වේගයෙන් ඇතිවෙමින්, පවතිමින්, නැති වෙමින් පවතී. එය කෙතරම් වේගයෙන් සිදුවන්නේද යත් යමෙකුගේ සිත අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම තත්ත්වයට පත් වීම එම සත්ත්වයාටවත් නොහැඟේ. මෙකී අති සූක්‍ෂ්ම ධර්මතාව දත හැකි වනුයේ ප්‍රඥාවන්තයාට පමණකි. දුක්‌ඛ වේදනා පහවී ගොස්‌ සුඛ හෝ උපේක්‍ෂා වේදනා හැඟෙන්නෙත් සුඛ උපේක්‌ඛා වේදනාවල් පහව ගොස්‌ දුක්‌ඛ වේදනා හැඟෙන්නෙත් සිතේ සැකසෙන අනිත්‍ය, දුක්‌ඛ අනාත්ම සංඛාර නිසාම බව ප්‍රඥාව තුළින් ප්‍රත්‍යක්‍ෂ කර ගත් විට එයම සියලු දුක්‌ඛයන්ගෙන් සිත මුදවා විසුද්ධි මාර්ගයට ප්‍රවිෂ්ට වීමට හේතු වේ.
සිත් තුළ ඇතිවන වෙනස්‌ වීම නොහැඟෙන නිසාම ස්‌ථීර බවක්‌ හැඟවෙයි. එම හැඟêම අවිද්‍යාව හෙවත් මෝහාන්ධකාරය ලෙස දැක්‌වෙයි. එය පලවා හැරිය හැකි එකම ධර්මතාවය වනුයේ ප්‍රඥාව පමණකි. මේ නිසාම තථාගතයාණන් වහන්සේ අඳුර පලවා හරින පහනක්‌ බඳු බැවින් ප්‍රඥාව පහනකට උපමා කරමින් කර ඇති දේශනා බොහෝය.
මෙසේ සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්‌ඛාති, සබ්බේ සංඛාරා ධනත්තානි යන්නෙන් දේශනාකොට වදාළ ගථා ධර්මයන් සංසුන් මනසින් යුතුව විමසා බලන්නෙකුට තිලක්‍ෂණය වනාහි විශ්ව ව්‍යාප්ත ධර්මතාවක්‌ බව මැනවින් අවබෝධ වනවා පමණක්‌ නොව සියලු කෙළෙස්‌මළ පහවී ගොස්‌ චිත්ත විසුද්ධිය ඇතිවීමට හේතු වේ.
කොබ්බෑවල සුමනදාස වීරසිංහ

වතාවත් කිරීමයි සිල් පිරීමයි

හාපිටිගම කල්එළිය 
ජයසුමනාරාම මූල මහා විහාරයේ 

මක්කානිගොඩ අස්සජි හිමි

සම්බුදුදහම සිව්වනක් පිරිස සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා මාර්ගයෙහි ක්‍රමිකව හික්මවමින්, යොදවමින්නිර්වාණගාමිණිප්‍රතිපදාව වෙත සමීප කරවන දහමකි. ඒ සඳහා අනුපූර්ව වැඩපිළිවෙළක් දේශිතය. චරිතය සකස් කිරීමත්, මනස හික්මවීමත්, නුවණැසින් ලෝකය හා ජීවිතය විනිවිද දැකීමත් එමඟින් නිර්දේශිතය. නිර්වාණගාමී ප්‍රතිපදාවේ මූලය ශීලයයි. කාය වාග් සංවරය ඇති කොට පුද්ගලයාගේ බුද්ධිය අවදි කිරීම අත්‍යවශ්‍ය වූවකි. සීලයෙන් පිරිසුදුවම එය කළ යුතු ය.
යෝචාවචර ජීවිතයක් ගත කරන්නකු තම සීලාදී ගුණ ධර්ම පූරණයෙහි දී වතාවත් කිරීම අවශ්‍යම කරුණකි. චුල්ලවග්ග පාලියෙහි සඳහන් කරන පරිදි වත් නොපුරන්නේ නම් සිල් නොපුරයි. අපිරිසුදු සිල් ඇති අනුවණයා, චිත්ත සමාධිය නොලබන බව එහි සඳහන් වෙයි. සිල් වර්ග කරන අවස්ථාවේ දී අභිසමාචාරික හා ආදි බ්‍රහ්මචරියක යනුවෙන් කොටස් දෙකකට බෙදා දක්වා ඇත. බ්‍රහ්මචර්යාවට මුල්වන ශික්ෂාවන් ආදි බ්‍රහ්මචරියක ශික්ෂාවන් වන අතර උසස් හැසිරීමට ඉවහල්වන පිළිපැදීම් ආභිසමාචාරික නම් වෙයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ජීවත්වන අනුගාමිකයින් ඊට අදාළ වූ උසස් චර්යාවන් ප්‍රගුණ කළ යුතුය. නැතිනම් වතාවත්වල යෙදිය යුතු ය.
භික්ෂු ජීවිතයෙහි හැඩගැස්ම ඇතිවන්නේ සාමණේර අවධියේ පටන් ය. දහර සාමණේර සාමණේරීන් විසින් අනුගමනය කළයුතු වත් පිළිවෙත් ආරාමික ජීවිතයේ ප්‍රකට ලක්ෂණයක් විය. වැඩිහිටියන් නවක පැවිද්දන්ට ආදර්ශයක් වන ලෙස ඉහත සඳහන් කළ ආභිසමාචාරික වත් පිළිවෙත් හි යෙදීම සිදුවිය. ඒ අනුව පැවිද්දන් විසින් අනුගමනය කළයුතු වත් දහහතරක් සඳහන්ව ඇත.
එම වත් නම් 1. උපාධ්‍යාය වත 2. සද්ධි විහාරික වත 3. ආචාරිය වත 4. අන්තේවාසික වත 5. ආගන්තුක වත 6. ආවාසික වත 7. ගමික වත 8. අනුමෝදනා වත 9. භක්තාග්‍ර වත 10. පිණ්ඩපාත වත 11. ආරණ්‍ය වත 12. සේනාසන වත 13. ජන්තාපර වත 14. වැසිකිලි වත යන වත් ය. උපාධ්‍යායන් වහන්සේ යනු පැවිදි ජීවිතයට ඇවැසි ධර්මඤාණය ලබාදෙමින් ශ්‍රමණ සාරුප්‍ය ලෙස අරඹා දිවිපෙවත පිළිබඳව ගුරුහරුකම් ලබා දෙන වැඩිමහලු භික්ෂුවක් ය. සමීපයෙහි වෙසෙමින් අවශ්‍ය උපදේශයන් ලබා ගනිමින් උපාධ්‍යයන් වහන්සේ සමීපයෙහි වාසය කළ යුතු වෙයි. විශේෂයෙන් නිස සමාදන් විය යුත්තේ ද උපාධ්‍යයන් වහන්සේ වෙතිනි. උපසම්පදාවට පත්වන නවක භික්ෂූන් වසර පහක් ගතවෙනතුරු උපාධ්‍යයන් වහන්සේ ආශ්‍රයෙහි නිස සමාදන්ව වාසය කළ යුතු ය. වසර පහක අවමයකට යටත් වාසය කිරීමට බැඳී සිටී. එම නියමිත වසර පහ තුළ අපේක්ෂිත ධර්ම විනය ඤාණය ප්‍රමාණවත් නොවන්නේ නම් තවත් වසර පහක් හෝ ඊට වඩා කාලයක් හෝ නිස සමාදන්ව සිටිය යුතු ය. උපාධ්‍යයන් වහන්සේ සෑහීමට පත්වන ආකාරයෙන් ක්‍රියා කළ යුතු ය. ප්‍රවෘජ්‍යාවෙහිදීත් උපසම්පදාවෙහිදීන් උපාධ්‍යායග්‍රහණය කළයුතු බව නියමයකි.
උපාධ්‍යයන් වහන්සේ පිළිබඳව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව්පස පිළිබඳ සොයා බැලීම, සම්පාදනය කරදීම, පිළිගැන්වීම, අස්පරස්කර තැබීම, පිරිසුදු කිරීම වැනි කාරණා වතාවත් ලෙස දක්වා ඇත. ආචාර සමාචාර දැක්වීම්, විනය ධර්ම විචාරා දැන ගැනීම, උන්වහන්සේ නොවිමසා කටයුතු නොකිරීම, වැනි වතාවන් හැටකට ආසන්න ප්‍රමාණයක් දැක්වෙයි. මේ මඟින් උපාධ්‍යායන්වහන්සේ හා සද්ධිවිහාරිකයන් වහන්සේ අතර මනා බැඳීමක් ගොඩනැගෙන අතර ධර්ම විනය ප්‍රගුණ වීමත්, ශික්ෂාකාමී බව වර්ධනය වීමත්, සුවච කීකරු ගුණ වර්ධනයත් ඉක්මන් ධර්ම මෝක්ෂ ප්‍රතිලාභයක් සැලසෙන බව ඉතා පැහැදිලිය. උපාධ්‍යායන් වහන්සේගේ ගුණය ශීලය රැකදීමත් සද්ධිවිහාරිකයාගේ කාර්යක් බව “උපාධ්‍යායන්වහන්සේ ඇවතකට ආසන්නව කථා කෙරේ නම් අවසරගෙන වැළැක්විය යුතුය.’ ඉඳින් උපාධ්‍යායන් වහන්සේට ශාසනයේ අනභිරතියක් උපන්නේ නම් එය සන්සිඳුවිය යුතු ය. සුදුස්සකු ලවා හෝ සන්සිඳු විය යුතු ය. ධර්ම කතාවක් හෝ කළ යුතුය. එමෙන්ම උපාධ්‍යායන් වහන්සේට කුකුසක් හෝ උපන්නේ ද දෘෂ්ටිගතියක් හෝ උපන්නේ ද සද්ධිවිහාරික නම විසින් විසඳාලිය යුතුය. සුදුස්සකු ලවා හෝ විසඳවාලිය යුතු ය. ධර්ම කතාවක් හෝ කළ යුතු ය. යන වතාවත් වලින් පැහැදිලිය. උපාධ්‍යායන් වහන්සේගේ ආජීව පාරිශුද්ධිය පිළිබඳවද තමන්ටත් වගකීමක් ඇති බව මේ කරුණුවලින් තහවුරු කර ඇත.
“සද්ධිවිහාරික වත්” යටතේ උපාධ්‍යායන් වහන්සේ තම සද්ධි විහාරිකයා වෙනුවෙන් කළයුතු වතාවන් සඳහන් වෙයි. අසනීප කරදරයකට පත් වූ සද්ධිවිහාරිකයාට පැන් තැබීම, දානය පිණ්ඩපාතය බෙදීම, ශුද්ධපවිත්‍ර කිරීම උපස්ථාන කිරීම කළ යුතු ය. එමෙන්ම ගුණයෙන් සීලයෙන් පිරිහෙන්නේ නම් ඒවායින් මුදාගෙන ආරක්ෂා කිරීම උපාධ්‍යවරයාගේ වගකීමක් ද වෙයි.
අනතුරුව සඳහන්වන “ආචාර්ය වත” හා “අන්තේවාසික වත” ඉහතින් සඳහන් කළ “උපාධ්‍යාය හා සද්ධිවිහාරික වත”ට සමාන වෙයි. එම නියමයන් පිළිපැදීමෙන් එම වතාවත් සිදු කළා වන්නේ ය. ආචාර්යවරයා යනු පැවිදි උපසම්පදාවේ දී ගුරු තනතුරේ පිහිටන කෙනාය. ශිෂ්‍යයා පිළිබඳ සම්පූර්ණ වගකීම දරනුයේ උන්වහන්සේය අන්තේවාසිකයා යනු අතවැසි පුද්ගලයා ය. එනම් තම විහාරස්ථානයෙහි වාසය කරන ගෝලයින් ය. ඔවුනොවුන් පිය පුතු සඤ්ඤාවෙන් ක්‍රියා කළ යුතු යනු විනය නියමයයි. දෙමාපියන්ගෙන් ඈත් වූ දරුවාට දෙමාපියන් වන්නේ ආචාර්ය උපාධ්‍යායවරුන්මය.
භික්ෂු ජීවිතය “පරපටිබද්ධ” වූවකි. එනිසා බොහෝවිට චාරිකාවේ සැරිසරමින් මහජනයාට හිතසුව පිණිස ක්‍රියා කළහ. ඒ යන ගමනේ දී අතර මඟ හමුවන ආරණ්‍යයක, සේනාසනයක නැවතීයෑම පිළිවෙතයි. එබඳු අවස්ථාවේ දී ආගන්තුකව පැමිණෙන භික්ෂූන් පිළිගෙන අවශ්‍ය පහසුකම් සලසාලීම නේවාසික භික්ෂූන්ගේ වගකීමයි. ඒ වෙනුවෙන් නියමිත වතාවත් සමූහයකි. එමෙන්ම ආගන්තුකව පැමිණෙන්නෙන් ද පිළිපැදිය යුතු වතාවත් ඇත. ආගන්තුක වත තුළින් පෙන්වා දී ඇත්තේ එසේ ආගන්තුකව පැමිණෙන්නන් සතු කාර්ය භාරයයි. තමන් පැමිණි තැන ඇති වැඩපිළිවෙළ හඳුනාගෙන එම ආරාමික පරිසරයට හානියක් නොවන ලෙස හැසිරිය යුතු ය. ක්‍රියා කළ යුතු ය. එම ස්ථානයෙහි ඇති උපකරණ ද්‍රව්‍ය ආරක්ෂා කළ යුතු ය. පිරිසුදුව පරිහරණය කළ යුතු අතර තමා පිටවී යන විට අනතුරුව එන අයට ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් අව්වේ වේලා පිළිවෙලකට අසුරා තබා යා යුතු ය. වැසිකිලි කැසිකිළි පිරිසුදු කර තැබීමද වතාවතකි.
“ආවාසය” යනු නේවාසිකාගාරයයි. නැතහොත් “පන්සලයි” ආවාසයක වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු වත ආවාසික වතයි. විහාරස්ථානයක තිබිය යුතු අංගෝපාංග ක්‍රමිකව තබා ගෙන එන යන භික්ෂූන් වහන්සේලාගේ සුවපහසුව ආරක්ෂාව සුරැකෙන ලෙසින් ක්‍රියා කිරීම නේවාසික භික්ෂූන්ගේ වගකීම වෙයි. විහාරස්ථානයට වඩින වැඩිහිටි හිමිවරුන් පිළිගැනීම, පාසිවුරු ගෙන නිසිතැන්හි තැන්පත් කිරීම පැන් පහසු කිරීම, ගිලන්පස පිළිගැන්වීම පවන් සැලීම වැනි වතාවත් කළ යුතු ය. පිටතින් ආගන්තුකව පැමිණෙන අයගේ පහසුව තකා විහාරස්ථානයේ වැඩපිළිවෙළ කියාදිය යුතු ය. විහාරස්ථානයෙහි ආගමික වතාවත් සිදුකරන පිළිවෙළ, දන් පැන් වළඳන වේලාවන් දැන්වීමාදිය ද ඊට අයත් වේ.
“ගමිකවත” නමින් හැඳින්වෙන්නේ ගමනාරම්භක භික්ෂූන් විසින් පිළිපැදිය යුතුවතයි. තමන් සිටි ස්ථානයේ උපකරණ ආදියෙහි ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුය. ඒවා රැක තබා යාමත් අන්‍ය පිරිසකට පරිභෝගයට අවස්ථාව සැලසීමත් ඉන් අදහස් කෙරේ.
“අනුමෝදනා වත” යනුවෙන් සඳහන් වන වත දානය වළඳා අවසන දායකයන්ගේ සිතේ සතුට වඩන ආකාරයෙන් කළයුතු අනුශාසනයයි. එය බුද්ධ නියමයකි.පිරිසේ සිටින ප්‍රධාන භික්ෂූන්වහන්සේ නමක් විසින් එය ඉටුකළ යුතු ය. “අනුමෝදනා වත සපුරන තෙර නමට ථෙරානුථෙර සතර පස්නමක් රැඳී සිටිය යුතු බවට නියමයක් පනවා ඇත. කළ පින්කම පිළිබඳව අනුව සිතා සතුටට පත්වීමට එමඟින් දායකයාට අවස්ථාව ලැබේ. බුද්ධ කාලයේ දී එලෙස අනුමෝදනා අවස්ථාවේ දී මඟඵල ලැබූ දායකයන් පිළිබඳ කතා පුවත් ඇත.
නව වෙනිව සඳහන් වන්නේ “භත්තාග්‍ර වතයි” එනම් දානය වළඳන ශාලාවේ වතයි. තමන් වාසය කරන විහාරස්ථානයෙහි නිර්මිත දැනුම් දීම අනුව විනයෙහි දක්නා පරිදි පා සිව්රු දරා පිණ්ඩපාතය සඳහා වැඩිය යුතු ය. මහජනයාගේ ප්‍රසාදය වැඩෙන ලෙස හැසිරෙමින් පිණ්ඩපාතය ලබාගෙන දානශාලාව වෙත පැමිණ වටපිට නොබලා දානය වැළඳිය යුතු ය. දාන ශාලාව අපිරිසුදු නොවන ලෙස ඉඳුල් වතුර බැහැර කිරීම ද වතකි. සියලුම භික්ෂූන් වහන්සේලා දානය වළඳා අවසන්වන තුරු අත නොසේදීම ද වතකි. දානය දෙන දායකයන්ගේ ප්‍රසාදයත් භික්ෂූන්ගේ විනයානුකූල පැවැත්මත් රැකෙන වැඩපිළිවෙළක් එයට අන්තර් ගත ය.
“පිණ්ඩචාරිකා වත” දසවැනිව සඳහන් වේ. භික්ෂුව පිඬු පිණිස හැසිරීමේ දී ශාසනානුලෝමික විය යුතු ය. ඒ සඳහා ගම් පිවිසෙන භික්ෂුව සිවුර හැඳීමේදී තෙමඩුළු වසා පිරිමඩුළුකොට අඳනය හැඳ බඳපටිය බැඳ තනිපොට සිව්රත් දෙපට සිවුරත් එක්කොට පොරවා ගණ්ඨිපාස ගැට ගසා සෝදාගත් පාත්‍රය ගෙන සන්සුන්ව සංවරව ගමට පිවිසිය යුතු ය. පිණ්ඩපාතය බෙදනු කැමතිද? යන්න දායකයන්ගේ ඉරියව්වලින් හැඳිනගෙනම ඒ තැනට යායුතු අතර වම් අතින් සඟල සිවුරු කොන ඔසවා පාත්‍රය විවෘත කර දායකයාට බෙදීමට හැකිවන ලෙස සිටිමින් පිළිගත යුතු ය. පිණ්ඩපාතය ලබාගත් පසු දානශාලාවට පැමිණ ආසන පැනවීම, පැන්තැබීම ආදිය කළ යුතු ය. අන් අයගේ පහසුව සැලසීම කෙරෙහි තමන් අවධානය යොමු කළයුතු බව මේ වත්වලින් අවධාරණය කොට ඇත.
එකොළොස් වැනිව දක්වා ඇත්තේ “ආරණ්‍ය වත”යි බුද්ධකාලීන බොහෝ භික්ෂූහු ආරණ්‍යයකම විසූහ. ආරණ්‍යයක වසන විට තමතමන් විසින් පිරියයුතු වත් පිළිවෙත් ගැන මනාව දැන සිටිය යුතු ය. බුදුරජාණන් වහන්සේ වැඩසිටි අවධියෙහි එක්තරා ආරණ්‍යයක වැඩ සිටි භික්ෂූන් එහි ජලය ආදිය සම්පාදනය නොකොට දිශානුදිශා ආදිය නොදැන වාසය කළහ. දිනක එක්තරා හොරු පිරිසක් එහි පැමිණ පැන් ඉල්ලූහ. ගිනිගානාදඬු හා ගින්දර ගැනත්, නැකැත් ගැනත්, දිශා අනුදිශා ගැනත් ඇසූහ. ඒ අවශ්‍යතා ඉටුකරලීමට එම භික්ෂූන් අපොහොසත් වූයෙන් හොරුන් වෙතින් පහර කෑහ. එය අරමුණු කරගෙන ආරණ්‍යවාසීන් පිළිපැදිය යුතු වත් පැනවීමට තීරණය කර ඇත. වේලාසනින් අවදිවී බණ භාවනා කටයුතුවල යෙදීම, බඩු බාහිරාදිය සුරක්ෂිතව තබා පිඬු පිණිස හැසිරීම, සංවර ලෙස ගමන් කිරීම, සඟල සිවුරු දැරීම, ජලය හා ගිනිගානා දඬු සපයා තැබීමාදිය එයට ඇතුළත්ව ඇත.
අනතුරුව දක්වා ඇත්තේ “සේනාසනවත්” ය. සේනාසනය ශුද්ධ පවිත්‍ර කිරීම, පාත්‍රාසිව්රු තැන්පත් කරන අයුරු, ගී‍්‍රෂ්ම හා වර්ෂා කාලවල දොර ජනෙල් භාවිතා කිරීම වැසිකිළි කැසිකිළි පවිත්‍ර කිරීම, වැඩිහිටි අය නොවිමසා කටයුතු නොකිරීම වැනි කරුණු ඊට ඇතුළත්ය.
දහතුන්වන වත “ජන්නාඝ වතයි” එනම් නාන පැන් පහසුවන ස්ථානය සම්බන්ධ වත්ය. පැන් සැකසීමේ දී අධික ලෙස, දර යොදා ගිනි නොදැල් විය යුතු මෙන්ම වැඩහිටි අණට කීකරු විය යුතු බවත් එහි සඳහන් ය. එහි පවිත්‍රතාවය රැක ගැනීමට ක්‍රියා කළ යුතු ය. වැඩිහිටි ස්වාමීන්වහන්සේලාට පැන් පහසුව සඳහා උදව්දීමත් හා අවසන් වූ අයට බාධා නොවන ලෙස නෑමත් වැදගත්ය. අවසානයට පැන්තොටට ගිය කෙනා මැටි ආදී සියල්ල සෝදා පවිත්‍ර කොට ගිනි නිවා දොර වසා පුටු ආදිය අසුරා තැබිය යුතු බවද සඳහන් වෙයි.
අවසාන වශයෙන් සඳහන් වන්නේ “වැසිකිළි වතය” විහාරාරාමයක ඉතා පවිත්‍රව තිබිය යුතු අංගයකි, වැසිකිළිය. ශරීර කෘත්‍ය කිරීමේ දී වැඩිහිටි පිළිවෙල (වෘද්ධපටිපාටිය) අනුදැන නැත. එම ස්ථානයට ආ අනුපිළිවෙල අනුව එම කාර්ය කළ හැකිය. පැමිණි පිළිවෙලින් සිට උගුර පෑදීමන් ඇතුළත කෙනෙකු සිටින්නේ නම් ඔහුත් උගුර පෑදීමත් කළයුතු ය. සෝදන බඳුනෙහි ජලය ඉතිරි නොකළ යුතු ය. පුසන් කුරු (කසළ මඟ රැඳෙන කොටස් ඉවත් කරන ඉරටු) භාජනය පිරී ඇත්නම් ඒවා ඉවත් කළ යුතු ය. නිතර වැසිකිලිය පවිත්‍රව තබා ගත යුතු ය. බුද්ධකාලයෙහි වැසිකිළි බඳුනක ජලය ඉතිරිකොට යාම නිසා විනයධර හා ධර්මධර භික්ෂූන් දෙපිරිස අතර වාදවිවාද ඇතිවිය. ඔවුන්ට සමඟි වන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කළත් සමඟි වී නැත. එනිසා අවවාදයක්ම නොවූ භික්ෂූන් අතහැර බුදුරජාණන් වහන්සේ පාරිලෙයියක වනයට වැඩම කළ බව ඉතා ප්‍රකටය.
ඉහතින් සඳහන් කළ වත් පිරීමෙන්ම සිල් පිරෙන බවත් එය චිත්තසමාධියට හේතුවක් වන බවත් විදර්ශනා නුවණින් ධර්මය දකින එබඳු තැනැත්තා නිවන ලබන බවත් චුල්ලවග්ගපාලියෙහි දී දක්වා ඇත. වත් නොපුරන තැනැත්තා සිල් පිරීම නොකරන බවත් අපිරිසුදු සිල් ඇති නුවනැති තැනැත්තාට සිත එකඟ කර ගත නොහැකිය. එකඟ නොවූ විසිරුණු සිත් ඇත්තේ මොනවට දහම් නොදකී. සදහම් නොදකින තැනැත්තා දුකෙන් නො මිදෙයි. වත් පුරන තැනැත්තා සිතේ එකඟ බව ලබනු ඒකාන්තය. ඔහු ඤාණවන්තයෙකි. නුවණින් ජීවිතය හා ලෝකය විනිවිද දැකීමෙහි සමත්ය. සදහම් දකින්නා සියලු දුකෙන්ම අත්මිදීම ලබන්නේ ය.
අනතුරුව දක්වා ඇත්තේ “සේනාසනවත්” ය. සේනාසනය ශුද්ධ පවිත්‍ර කිරීම, පාත්‍රාසිවුරු තැන්පත් කරන අයුරු, ගී‍්‍රෂ්ම හා වර්ෂා කාලවල දොර ජනෙල් භාවිතා කිරීම වැසිකිළි කැසිකිළි පවිත්‍ර කිරීම, වැඩිහිටි අය නොවිමසා කටයුතු නොකිරීම වැනි කරුණු ඊට ඇතුළත්ය.
දහතුන්වන වත “ජන්නාඝ වතයි” එනම් නාන පැන් පහසුවන ස්ථානය සම්බන්ධ වත්ය. පැන් සැකසීමේ දී අධික ලෙස, දර යොදා ගිනි නොදැල් විය යුතු මෙන්ම වැඩහිටි අණට කීකරු විය යුතු බවත් එහි සඳහන් ය. එහි පවිත්‍රතාවය රැක ගැනීමට ක්‍රියා කළ යුතු ය. වැඩිහිටි ස්වාමීන්වහන්සේලාට පැන් පහසුව සඳහා උදව්දීමත් හා අවසන් වූ අයට බාධා නොවන ලෙස නෑමත් වැදගත්ය. අවසානයට පැන්තොටට ගිය කෙනා මැටි ආදී සියල්ල සෝදා පවිත්‍ර කොට ගිනි නිවා දොර වසා පුටු ආදිය අසුරා තැබිය යුතු බවද සඳහන් වෙයි.
අවසාන වශයෙන් සඳහන් වන්නේ “වැසිකිළි වතය” විහාරාරාමයක ඉතා පවිත්‍රව තිබිය යුතු අංගයකි, වැසිකිළිය. ශරීර කෘත්‍ය කිරීමේ දී වැඩිහිටි පිළිවෙල (වෘද්ධපටිපාටිය) අනුදැන නැත. එම ස්ථානයට ආ අනුපිළිවෙල අනුව එම කාර්ය කළ හැකිය. පැමිණි පිළිවෙලින් සිට උගුර පෑදීමන් ඇතුළත කෙනෙකු සිටින්නේ නම් ඔහුත් උගුර පෑදීමත් කළයුතු ය. සෝදන බඳුනෙහි ජලය ඉතිරි නොකළ යුතු ය. පුසන් කුරු (කසළ මඟ රැඳෙන කොටස් ඉවත් කරන ඉරටු) භාජනය පිරී ඇත්නම් ඒවා ඉවත් කළ යුතු ය. නිතර වැසිකිලිය පවිත්‍රව තබා ගත යුතු ය. බුද්ධකාලයෙහි වැසිකිළි බඳුනක ජලය ඉතිරිකොට යාම නිසා විනයධර හා ධර්මධර භික්ෂූන් දෙපිරිස අතර වාදවිවාද ඇතිවිය. ඔවුන්ට සමඟි වන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කළත් සමඟි වී නැත. එනිසා අවවාදයක්ම නොවූ භික්ෂූන් අතහැර බුදුරජාණන් වහන්සේ පාරිලෙයියක වනයට වැඩම කළ බව ඉතා ප්‍රකටය.
ඉහතින් සඳහන් කළ වත් පිරීමෙන්ම සිල් පිරෙන බවත් එය චිත්තසමාධියට හේතුවක් වන බවත් විදර්ශනා නුවණින් ධර්මය දකින එබඳු තැනැත්තා නිවන ලබන බවත් චුල්ලවග්ගපාලියෙහි දී දක්වා ඇත. වත් නොපුරන තැනැත්තා සිල් පිරීම නොකරන බවත් අපිරිසුදු සිල් ඇති නුවනැති තැනැත්තාට සිත එකඟ කර ගත නොහැකිය.
එකඟ නොවූ විසිරුණු සිත් ඇත්තේ මොනවට දහම් නොදකී. සදහම් නොදකින තැනැත්තා දුකෙන් නො මිදෙයි. වත් පුරන තැනැත්තා සිතේ එකඟ බව ලබනු ඒකාන්තය. ඔහු ඤාණවන්තයෙකි. නුවණින් ජීවිතය හා ලෝකය විනිවිද දැකීමෙහි සමත්ය. සදහම් දකින්නා සියලු දුකෙන්ම අත්මිදීම ලබන්නේ ය.