දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුද්ධිප්‍රභාව ඇත්තෝ අනතිමානී වෙති

 

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝසභික

හා උපාධ්‍යාය ධුරන්ධර
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි

අප එදිනෙදා කථා කරන භාෂාවේ නිතර පාවිච්චි වෙන වචනයක් තමා ආඩම්බරකම කියලා කියන්නේ.

මේ ආඩම්බරකම කියන ලක්ෂණය හැම පුහුදුන් මනිසකු තුළම යම් පමණට පවතිනවා. මේ චෛතසිකය හැබෑම දුර්ගුණයක් බව නම් පැහැදිලි කරන්නට ඕන. මේ දුර්ගුණය පුරුදු පුහුණු කර ගත් තැනැත්තා හැමවිටම සමාජයේ පිළිකුළට භාජනය වෙනවා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ආඩම්බරකම යන්නට මානය කියන යෙදුම යි. ඒකත් අද සමාජයේ යම් පමණකට භාවිත වෙනවා.

බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට ආර්ය මාර්ගයේ අනාගාමි තත්වයට පත් වී සිටින ආර්ය පුද්ගලයා තුළ පවා මේ මානය නම් චෙතසිකය ක්‍රියාත්මක වෙනවා. එයින් කියැවෙන්නේ මානය ආඩම්බරකම ඉතාමත් තදින් පැතිර ගිය දුර්ගුණයක් බව යි.

සමාජයේ තවත් නිතර භාවිත වන වචනයක් තිබෙනවා ”ආත්මාභිමානය” කියන වචනය. එය මේ කියන මානය නොවෙයි. ආත්මාභිමානය යන වචනයෙන් කියැවෙන්නේ පුද්ගලයා තුළ ඇති සුෘජුප්‍රතිපන්න ගතිය හා උදාර මිනිස් ස්වභාවයක්‘, ඥානප්‍රභාවයක් සහිත බවක්. එසේ යම් අයෙක් ආත්මාභිමානය ඇතිව ක්‍රියා කළහොත් එවැනි අය කිසි ලෙසකිනුත් සමාජයේ පරිහානියට පත් වන්නේ නැහැ.

ඒවගේම ඒ පුද්ගලයා කල්‍යාණමිත්‍ර ආශ්‍රයමයි ප්‍රිය කරන්නේ. කිසි ලෙසකිනුත් පහත් ගතිසිරිත් අනුගමනය කරන අයට සමීප වන්නේ නැහැ. එය ඔහුගේ හදවතින්ම එන නිර්ව්‍යාජ ගුණ සම්පත්තියක්. මෙවැනි අය සමාජයේ සුලබයි කියා කියන්නට හැකියාවක් නැතත් සමහර අවස්ථාවලදී අපට එවැනි අය හමු වෙනවා. එවැනි අය ආත්ම වර්ණනාව ප්‍රිය නොකරනවා වගේම තමන් උසස් කොට අනෙක් අය පහත් කොට හිතන්නේවත් තමන්ගේ ආත්මාභිමානය නිසා සෙසු අය ගර්හාවට ලක් කරන්නේවත් නැහැ.

තමන්ගේ හෘදසාක්ෂිය අනුව ක්‍රියා කිරීම ආත්මාභිමානය ඇති අයගේ ලක්ෂණයක්.

මානය ඇති පුද්ගලයාගේ ස්වභාවය මෙයට හාත්පසින් ම වෙනස් වූවක්. ඔහු නිරන්තරයෙන් තමන්ගේ නැති හැකියාවන්, තමන්ගේ ශක්තිය, බලය, පක්ෂය, ධනවත්, බලවත් උදවිය හා තමන්ගේ ඤාති සම්බන්ධකම් මවා පාමින් වැජඹෙන්නට උත්සාහවත් වෙනවා. ඒ නිසාම සෙසු අය ඉදිරියේ තමන්ට නැති ශක්තියක් හුවා දක්වමින් අනුන් පහත් කොට සලකමින් ක්‍රියා කරන්නට උත්සාහවත් වෙනවා. එවැනි අයගේ ගතිසිරිත් මෙන්ම ඔවුන්ට සසර අත්විඳීන්නට සිදුවන විපාක සම්බන්ධයෙන් පැහැදිලි පෙන්වා දීමක් ධම්මපදය කෘතියෙන් අපට සොයා ගන්නට හැකියාව තිබෙනවා.

”මේ පව්කාර දුර්ගුණය තුළින් බැබළෙන්නට උත්සාහවත් වන පුද්ගලයා සසර ගමන තුළ බොහෝ විට වඳුරු යෝනියෙහි උපත ලබනවා.”

(මානෙන මක්කටො හොති)” එපමණක් නොවෙයි අතිමානය හෙවත් අසීමාන්තික ව ඇති කර ගන්නා මාන්නාධික සිතිවිලි හා ඒ නිසා ඇති වන සමාජ ක්‍රියාකාරකම් නිසා සසර ගමන තුළ සුනඛ යෝනියෙහිත් උපදින්ට අවස්ථාව තිබෙනවා(අතිමානෙන කුක්කුටො).

මෙසේ පුද්ගලයා මේ විනාශකාරි අතිමානයට පත්වන හේතු කොතෙකුත් සමාජයේ පවතිනවා. එයත් තේරුම් ගැනීම මෙහි දී වැදගත් වෙනවා. එකක් තමා තමන් එක්වරම මහත් ධනයකට උරුම කරුවෙක් බවට පත්වීම.

ඒ වගේම අඳබාල උදවිය, එහෙම නැතිනම් බාලයන්ගේ ඇසුර නිසාත් මේ ආකාරයෙන් අතිමානය ඇති කර ගෙන රැල්ලට අසුවී ක්‍රියා කර පරිහානියට පත්වෙන්ටත් හැකියාව තිබෙනවා. මෙසේ හදිසියේ තමා වටා එක්වන ධනය, බලය, ප්‍රභුත්වය, තමන්ට වඩා ඉහළ සුදුසුකම් ඇති අයට හිමිවිය යුතු තත්ව තනතරු වෙනත් අදිසි බලවේග ක්‍රියාත්මක වී තමන්ට හිමිවීම වැනි කරුණු ද, ආධිපත්‍යය වැනි කරුණු ද හේතුවෙන් බුද්ධිමත් භාවයෙන් තොරව ක්‍රියා කිරීම නිසා සමාජයේ පහත් තත්වයට මෙන් ම සමාජයේ කොන්වීමකට, ගැරහුමට ලක්වන්නට හොඳටම හැකියාව පවතිනවා.

නුසුදුසු අයට තත්ව තනතුරු ලැබීම නිසා මෙම තත්වයට පත් වූ ආකාරය බුද්ධකාලීන සමාජයෙන් ද අපට පැහැදිලි වෙනවා. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඤාති සම්බන්ධය හුවා දක්වමින් උන්වහන්සේ හා සමව සිතා ක්‍රියා කරන්නට හේතු වුණෙත් මේ අනතිමානි ගුණය ඉක්මවා අතිමානයෙන් ක්‍රියාකිරීම නිසා නොවෙයි කියලා කාට ද කිවහැකි වන්නේ?

වර්තමාන ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ උසස් තත්වයකට පත්ව තිබෙන රටක්. එයට ප්‍රධාන හේතුව වන්නේ අපේ රටේ අවුරුදු දෙදහස් පන්සියයකට වඩා ඈත අතීත උරුමයක් ඇති උසස් අධ්‍යාපන තත්වයක් එදා සිට පැවතීම යි. මේ තත්වය අගාධයට ගියේ බටහිර ජාතීන්ගේ ආධිපත්‍යයට ලංකාව වරින් වර පත්වීමෙනුයි.

එමෙන් ඒ වකවානුවල රජකම් කළ සිංහල රාජ්‍ය පාලකයන්ගේ ක්‍රියාකාරිත්වයන් නිස යි. මෙයට හොඳම නිදසුන සීතාවක රාජසිංහ රජතුමාගේ ශාසනනාසක කටුයුතු යි. එයින් සිද්ධ වුණේ බුදුදහමේ ආභාසය ජනතාවගෙන් ඈත්විමත්, අධ්‍යාපනය අන්තයට පිරිහීමත්.

ඉතින් මෙම අවාසනාවන්ත තත්වය ඉවත් කොට රට නගාසිටුවීමේ කාර්යයට ඇතැම් රජවරු මහනුවර යුගයේ දී ක්‍රියා කරද්දී ජාතියේ පිනට පහළ වූ බෝසත් ගති පැවති වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ ශ්‍රී ලංකාවේ එකම සංඝරාජ ධුරයට හැම අතින්ම සුදුසුකම් ලබා සිටි නිසා එවකට රජකම් කළ කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතින් සංඝරාජ තනතුරේ සන්හස් ලබා ගැනීමෙන් පසුව උන්වහන්සේ වැඩ විසූ මල්වතු මහා විහාරයේ උන්වහන්සේ වැඩ සිටි කුටියේ උන්වහන්සේට පෙනෙන මානයෙන් උළුවස්සේ ”උඩඟු නොව මහණ” කියා සටහන් කර තැබුවේ තත්ව තනතුරු නිසා ස්වභාවයෙන් ම ඇති වන මානය සිතිවිල්ල යටපත් කර ගැනීමේ අදහස නිසයි. උන්වහන්සේගේ බුද්ධිප්‍රභාව නිසා ඇති වු අනතිමානි ගුණය මෙයින් අපට පෙනී නොයන්නේ ද?

මේ මානය යන චෙතසිකය තමා නො දැනුවත්ව ම තමාගේ සිතින් හට ගන්න ඉඩ තිබෙන නිසා මානය ඇති නො වීම පිණිස සතියෙන් යුක්තව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව මෙයින් පැහැදිලි වෙනවා. ඒ තරම්ම මේ මානය අපට නොදැනුවත්ව ම පැන නැඟෙන්නට පුළුවන්කම තිබෙනවා.

මේ මානය නව ආකාර කොට ධර්මයෙහි දක්වා තිබෙවා. සෙය්‍ය මාන, සදිසමාන, හීනමාන වශයෙන් මූලික අවස්ථාවේ කොටස් තුනක් වෙනවා. අපි හුරු වෙලා තිබෙනවා. මනසින් විවිධ කාරණා ඔස්සේ වෙනත් අය සමඟ තම ආත්මය මැන බලන්නට.

මම අහවල් අහවල් කාරණය නිසා අහවල් අයට ඉහළ මට්ටමක යි කියා හිත තුළ ඇති වන මානයට සෙය්‍යමාන කියල කියනවා. සදිසමාන කියලා කියන්නේ අනිත් අය හා තමන්ගේ විවිධ ශක්තින් සමාන කොට මැන බලා ඇති කර ගන්නා මානයයි.

හීනමාන කියලා කියන්නේ තමන් සතු හැකියාවන් බලපුළුවන්කාරකම් අනිත් අය හා සසඳමින් මැන බලා ඒ අයට වඩා පහළ යි කියලා සිතන සිතිවිල්ල යි. මේ සිතිවිලි අවස්ථා තුන නැවතත් ආකාර වශයෙන් බෙදී ගිහින් නව ආකාරයකට මානය ඇති වෙන බව යි මේ කාරණයෙන් ප්‍රකාශ වන්නේ.

අපේ සිතේ යටපත් වී ඇති, එහෙත් ඕනෑම අවස්ථාවක ඉල්පී එන අනුසය හතෙන් එකක් ලෙස මානය සැලකෙනවා. අනුසය යන්නෙන් අදහස් කරන්නේ සත්වයන් කෙරෙහි එක දිගට බැඳීලා තිබෙන ඕනෑම අවස්ථාවක වහා නැගී එන කෙලෙස් සහිත ස්වභාවයක්.

මේවා හතක් තිබෙනවා. කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා කියා ධර්මයේ සඳහන් වෙනවා. හරියට කියනවා නම් අලුයට පවතින ගිනි පුපුරු හා සමාන යි මේ කෙලෙස් හත. කිසියම් හේතුවක් හටගත් සැණින් මේ අනෙකුත් අනුසය වගේම මානයත් ගින්න වගේ සක්‍රිය වී ක්‍රියාත්මක වෙනවා.

එමෙන්ම දශ සංයෝජනයන්ගෙන් එකක් ද වෙනවා. නිවන් මඟ අරමුණු කර ගත් ආර්ය මාර්ගලාභි පුද්ගලයා විසින් සහමුලින්ම එනම් සමුච්ඡේදප්‍රහාණයෙන් මෙම දස සංයෝජන ඉවත් කරන අවස්ථාවේ දී අනාගාමි මාර්ග ඵලයටත් පත් වී අවසාන වශයෙන් රහත් භාවයට පත්වන අවස්ථාවේ දී මෙම දරුණු මානය කියන චෛතසිකය අවසන් කරනවා. ඒ තරමට ම මෙහි බරපතල බවක් පෙන්නුම් කරනවා.

ඉතින් මේ මානය අවසන් කර කරණීයමෙත්ත සූත්‍රයෙහි එන භව ගමන අවසන් කිරීමට හේතු වන අනතිමානි ගුණය ඇති කර ගැනීමෙන් ස්වභාවයෙන් ම ඇති වන ආඩම්බරය නැත්තටම නැති වී අසාමාන්‍ය මානසික සුවයක් උදා කර ගන්නවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බෝමළු ආදිය ඇමදීමේ ආනිසංස

 සකංසම්මජ්ජක හිමි විපස්සී බුදු රජුන් බුදුවීමට පිටදුන් පළොල් බෝධි මළුව ඇමදීමේ පිනෙන් පහත සඳහන් අනුසස් ලැබුවා හ.


= නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ.
= පිරිසිදු පුද්ගලයෙක් වේ.
= වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වේ.
= ශෝක නොදැනේ.
= චිත්ත පීඩා දැවිලි නොවේ.
= කුෂ්ඨ රෝග නොසෑදේ.
= ගෙඩි රෝග නොසෑදේ.
= කැසිලි රෝග නොසෑදේ.
= මී මැස්මොර නොසෑදේ.
= විතච්ජිකා නම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ.
= දද රෝග නොසෑදේ.
= කසා සැරව ගලන රෝග නොසෑදේ.
= වැලපීම් නැත්තෙක් වේ.
= තැති නොගනිත්.
= සෘජු සිත් ඇත්තෙක් වේ.
= පැහැදිලි සිත් ඇත්තෙක් වේ.
= කැමති කැමති සමාධීන් ලැබීමේ ශක්තිය ලැබේ.
(අපදාන පාලි 421 වන අපදානය)
---------------------------------------------------------------------------------
බෝධි සම්මජ්ජක හිමි ට පෙර ජීවිතයකදී බෝමළුවේ ගොඩ ගැසුනු බෝපත් දැක එය ගෙන බැහැරට දැමු පිනින් අනුසස් 20 ක් ලැබී ඇත. ඒ අනුව බැලූ කල ශ්රද්ධාවෙන් තැම්පත් සිතින් නුවණ යොදා බෝමළුව ඇමැද්දත් පහත සඳහන් විපාක ලැබේ.
= දුගතියට නොවැටී දෙව් මිනිස් සැප ලැබේ.
= උසස් කුලයකම ඉපදේ.
= මනා අඟ පසඟ ඇත්තෙක් වේ.
= ආරෝහ පරිණාහ දේහයක් ලැබේ.
= පිරිපුන් අවයව ඇත්තෙක් වේ.
= විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
= රන්වන් පාට දේහයක් ලැබේ.
= මෘදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ.
= සිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ.
= සිරුරේ දැලි කුණු නොතැවරේ.
= අවු සුළං වලින් පීඩා නොවෙයි.
= සිරුරින් දහඩිය නොවැගිරේ.
= කායික මානසික රෝගාබාධ නැත්තෙක් වේ.
= සතුරන් නැත්තෙක් වේ.
= නො අඩු වූ භෝග සම්පත් ලැබේ.
= ගින්නෙන්, ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් බියක් නොවේ.
= තමාගේ සිත නො රිදවන සේවක සේවිකාවන් ලැබේ.
= අකල් මරණයන්ට පත් නො වේ.
= සියල්ලෝ ම තමාට සැප කැමැත්තෝ ම වෙත්.
= මහා යසස් ඇත්තේ වේ.
(අපදාන පාලි 526 වන අපදානය)
අවසානයේ මේ පින නිවනට ද උපනිශ්රය වී නිවන් සැප ද ගෙන දෙන්නාහ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෝක විනාශය

ලෝක විනාශවීම පිළිබඳ බුදු දහමෙහි ඉතා දීර්ඝ විස්තර ඇතුළත් වෙයි. එහි දී සත්ව විනාශ වීම හෙවත් අන්තර් කල්පය විනාශ වීම, ලෝකය විනාශ වීම හෙවත් මහා කල්පය විනාශ වීම ලෙස විනාශ වීම් දෙපරිදි වේ.

මහා කල්පයක් කොටස් 4කි යුත්ත වේ. ඉන් කොටස් 3 ක ම මිහිපිට සත්ව වාසයක් නොමැත. එක් කොටසක පමණක් සත්වයන්ගේ වාසයක් ඇත. ඒ එක කොටසක කාලයට අසංඛ්ය කල්පයක් ලෙස හැඳින්වේ. එක් අසංඛ්ය කල්පයක් නැවත කොටස් 64 කට බෙදේ. එම එක් කොටසක් අන්තර් කල්පයක් ලෙස හැඳින්වේ. අන්තර් කල්පය තුල මනුෂ්යයන්ගේ පරමායුෂ (ජීවත් විය හැකි උපරිම කාලය) දස වර්ෂයේ සිට වර්ෂ අසංඛ්යය දක්වා වැඩි වී නැවත දස වර්ෂයට ම අඩු වේ.

සෑම අන්තර කල්පයක් අවසානයේ දී ම සත්ව විනාශයක් සිදු වේ. එය අන්තර් කල්ප විනාශය ලෙස හැඳින්වේ. ලෝකය විනාශ නොවේ. මෙවැනි අන්තර් කල්ප 64ක් ගිය පසු අසංඛ්ය කල්පය අවසන් වේ. ලෝක විනාශයක් සිදු වේ.

විවට්ට ස්ථායි කියන ලද ලොව ඇතිවී පවතිනා කාලය තුල මනුෂ්යයන්ගේ ආයු ක්රමානුකූල උච්චාවචනය වීමක් තිබුණ ද සංවට්ට, සංවට්ට ස්ථායි හා විවට්ට යන අසංඛ්ය කල්ප වල සත්වයන් නොමැති බැවින් මනුෂ්යයන්ගේ ආයු උච්චාවචනයක් දැක්විය නො හැක. නමුත් එම කාල වල ප්රමාණ දැන ගැනීමට එම කාල අන්තර් කල්ප වලින් දක්වයි. එම සෑම අසංඛ්ය කල්පයකට ම අන්තර් කල්ප 64 බැගින් දීර්ඝ කාලයක් ඈත. එවිට මහා කල්පයකට අන්තර් කල්ප 256ක් ඇත. (එක් අසංඛ්ය කල්පයකට අන්තර් කල්ප 20 ඇතැයි ද කියනු ලැබේ. එවිට මහා කල්පයකට අන්තර් කල්ප 80ක් ඇත.) මෙම කරුණු පිළිබඳ වෙන වෙන ම සලකා බලමු.

1. ලෝකය විනාශ වීම හෙවත් මහා කල්පය විනාශ වීම

කල්ප විනාශය යනුවෙන් දැක්වෙනුයේ මනුෂ්ය ලෝකය පමණක් නොව දිව්ය, (ඇතැම්) බ්රහ්ම ලෝක පමණක් ද නොව මේ සක්වළත් සමග කෝටි ලක්ෂයක් සක්වළවල් විනාශ වන්නේ ය. ලොව විනාශ වන්නා වූ ආකාර 3ක් ඇත.

තේජෝ සංවට්ටය. (ගින්නෙන් කල්පය විනාශ වීම)

ආපෝ සංවට්ටය. (ජලයෙන් කල්පය විනාශ වීම)

වායෝ සංවට්ටය. (සුළඟින් කල්පය විනාශ වීම) යනුවෙනි.

තවද සංවට්ට සීමා හෙවත් එක් ලෝක ධාතුවක විනාශ වන ප්රමාණ ද තුනක් ඇත. ගින්නෙන් කල්පය විනාශ වන කල්හි ආභස්සර බ්රහ්ම ලෝකයෙන් පහළ ද ජලයෙන් කල්පය විනාශ වන කල්හි සුභකිණ්ණක බ්රහ්ම ලෝකයෙන් පහළ ද සුළඟින් කල්පය විනාශ වන කල්හි වේහප්පල බ්රහ්ම ලෝකයෙන් පහළ ද විනාශ වේ.

සක්වළ පිළිබඳ විස්තර මෙතැනින් බලන්න.

I. තේජෝ සංවට්ටය. (ගින්නෙන් කල්පය විනාශ වීම)

ගින්නෙන් කල්පය විනාශ වන කල්හි කල්ප විනාශකර මහා වැසි කෝටි ල ගින්නෙන් කල්පය විනාශ වන කල්හි කල්ප විනාශකර මහා වැසි කෝටි ලක්ෂයක් සක්වළ එක විට ම වසී. එය කල්ප විනාශ මහා මේඝය ලෙස හැඳින්වේ. එවිට මනුෂ්යයෝ සතුටු ව ගොවිතැන් බත් ආදිය කරති. නමුත් එම පැල මසක් දෙකක් පමණ වැඩෙන විට වැසි පොදක් වත් නොමැති ව අහසේ ගෙරවීම් විදිලි කෙටීම් පමණක් ඇති වන්නේ ය. මෙසේ නතර වූ වැස්ස එම කල්පයේ අවසාන වැස්ස ද වන්නේ ය. එ කල්හි වැස්සෙන් දිවි පවත්වන සත්වයෝ මිය ගොස් දෙව් ලොව ආදියෙහි ඉපිද ධ්යාන වඩා බ්රහ්ම ලෝක වල උපදින්නේ ය. මෙසේ වැසි නැති වීමෙන් ජලය ද වියළී ගොස් මත්ස්ය ආදී ජලජ ජීවීන් ද මිය ගොස් දෙව් ලොව ආදියෙහි ඉපිද ධ්යාන වඩා බ්රහ්ම ලෝක වල උපදින්නේ ය. (මෙය අපරාපරීය කර්ම නිසා සිදු වේ. පෙර සසර අපරාපරීය කර්ම නොකළ සත්වයන් නැති බව ද දැක්වේ.)

එකල්හි ලෝකබ්යූහ නම් කාමාවචර දෙවියෝ කෙස් මුදා විසුරුවා ගෙන හඬා වැලපෙමින් මිනිස් ලොව හැසිරෙමින් "අවුරුදු ලක්ෂයකින් කල්ප විනාශය වන්නේ ය. එබැවින් පින් දහම් කරව්." යනාදිය පවසමින් කල්ප විනාශය වන බව දන්වන්නේ ය. මෙය කප්ප කෝලාහලය ලෙස ද හැඳින්වේ. එබස් අසා මනුෂ්යයෝ ද බූමාටු දෙවියෝ ද පිංකම් කොට දෙව් ලොව ඉපිද එහි දී කසින භාවනා වඩා බ්රහ්ම ලෝකයේ උපදිති. අන්යයෝ අපරාපර්ය වේදනීය කුසල කර්ම බලයෙන් දෙව් ලොව ඉපිද ධ්යාන වඩා බ්රහ්ම ලෝකයේ උපදිති.

මෙසේ වැසි නැවතී බොහෝ කලක් ගතවීමෙන් දෙවන සූර්යයෙක් පහළ වන්නේ ය. එවිට රෑ දහවල් වෙනසක් නො පෙනෙයි. එක් ඉරක් බැස යන කල්හි අනෙක් ඉර නැගෙන්නේ ය. මේ සූර්යයන් දෙදෙනාගේ හිරු කිරණ හේතුවෙන් හිමාලයෙන් ගලා බස්නා ගංගා, යමුනා, අචිරවතී, සරභූ හා මහී යන පංච මහා ගංගාවන් හැර සෙසු සියලු ම ගංගා, ඇල, දොල ආදිය වියළෙන්නේ ය. මෙසේ බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව තුන් වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් පංච මහා ගංගාවෝ ද වියළෙන්නේ ය. එයට ද බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව සිව් වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් හිමවත පංච මහා ගංගාවන් හට ගන්නා වූ සීහපපාතය, හංසපාතය, කණ්ණමුණ්ඩකය, රථකාරය, අනොතත්තය, ඡද්දන්තය හා කුණාලය යන සප්ත මහා විල් සම්පූර්ණයෙන් ම වියළේ. එයට ද බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව පස් වන සූර්යයෙක් පහළ වීමෙන් මහා සාගර ජලය ද වියළේ. එයට ද දීර්ඝ කාලයක් ගතවීමෙන් පසු ව සය වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් කෝටි ලක්ෂයක් සක්වළ වියළී දුම් දමමින් දුමින් පිරී යන්නේ ය. එයට ද බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව හත් වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් කෝටි ලක්ෂයක් සක්වළවල් එක ම ගිනි ජාලාවක් වන්නේ ය. මහ පොළොව දැවී සදිව්ය ලෝක ද දැවෙන්නේ ය. මෙසේ ක්රමයෙන් ගින්න පැතිර ගොස් ප්රථම ධ්යාන තලය ද විනාශ වන්නේ ය. මෙසේ පැතිර පවත්නා ගින්න ආභස්සර බඹ ලොවට පහළින් ඇති සියළු බ්රහ්ම ලෝක ද කාමාවචර භූමි ද විනාශ කරන්නේ ය. සියළු ම ද්රව්ය අලු පමණක් වත් ඉතිරි නොකොට දැවී ගිය පසු ක්රමයෙන් ගින්න නිවී යයි. මේ විනාශයට ගත වන කාලය සංවට්ට අසංඛ්ය කල්පය යැයි කියනු ලැබේ.

මෙසේ ප්රථම ධ්යාන භූමිය හා කාමාවචර භූමීන් නොමැතිව හිස් ව ඉතා දීර්ඝ කාලයක් පවතින්නේ ය. (නමුත් ආභස්සර බඹ ලොව හා ඊට ඉහළින් පිහිටි බ්රහ්ම ලෝක විනාශ නොවේ.) මෙසේ හිස් ව පවතින්නා වූ කාලය සංවට්ට ස්ථායි අසංඛ්ය කල්පයලෙස හැඳින්වේ. එය ද අන්තර් කල්ප 64ක් පමණ දීර්ඝ වේ.

මෙසේ පහළ පිහිටි භූමීන් හිස් ව ඇති විට ඉහළින් සිටින්නා වූ බ්රහ්මයන් හට "නැවත ලොව හට ගන්නේ නම් හොඳ ය." යැයි සිතේ. එම බ්රහ්මයන්ගේ සිත ප්රත්ය කොට ගෙන හිස් අවකාශය තුල සියුම් ජල බින්දු හට ගන්නේ ය. මෙසේ ජල බින්දු එක් වී මහා වර්ෂාවක් ඇති වන්නේ ය. මෙම වර්ෂාව කෝටි ලක්ෂයක් සක්වළ පුරා වහින්නේ ය. එය සම්පත්තිකර මහා මේඝය ලෙස හැඳින්වේ. හිස් අවකාශය තුල එම ජලය එකතු වී මහත් ජල ප්රදේශයක් හට ගන්නේ ය. වාතය මගින් මෙම ජලස්කන්ධය ඝන වී නො විසිර පවත්ව ගන්නේ ය. මෙසේ ඝන වී සංකෝචනය වන ජලස්කන්ධය නිසා පෙර තිබූ ප්රථම ධ්යාන තලය තිබූ තැන එය හට ගන්නේ ය. එයට යටින් දිව්ය ලෝක සය හා මනුෂ්ය ලෝක ද පිළිවෙළින් පිහිටන්නේ ය. මනුෂ්ය ලෝකය හට ගන්නා කල්හි බලවත් වායු දහරාවක් ජල පොළොව වට පිහිටයි. මිහිරි වූ ඒ ජලය ක්රමයෙන් ක්ෂය වෙමින් යොදයක් මෙන් රස පොළොව හට ගන්නේ ය. මෙසේ කාලයක් ගතවීමෙන් හිරු සඳු පහළ වන්නේ ය. සම්පත්තිකර මහා මේඝයේ පටන් හිරු සඳු පහළ වීම දක්වා වූ කාලය විවට්ට අසංඛ්ය කල්පයලෙස හැඳින්වේ. එය ද අන්තර් කල්ප 64ක් පමණ දීර්ඝ වේ.

මෙසේ ඇති කල්හි, ආභස්සර බඹ ලොව ආයු අවසන් වූ බ්රහ්මයෙක් එයින් චුත වී මේ පොළොවේ ඕපපාතික ව පහළ වේ. මෙසේ කල් යත් ම තවත් බ්රහ්මයන් ඕපපාතික ව පහළ වේ. ඔවුන් ප්රීතිය ආහාර කොට ඇත්තේ ය. ශරීරාලෝකයෙන් බැබළෙන්නේ ය. අහසෙහි හැසිරෙන්නේ ය. සතුටින් යුතු ව දීර්ඝ කාලයක් සිටිති. හිරු සඳු ආදිය පහළ වුව ද නො පෙනේ. (ලොව වටා දුමාරයක් පවතියි.) එබැවින් රෑ දහවලක් නො පෙනෙයි.

එකල්හි ආසාව අධික එක් සත්වයෙක් 'මේ කුමක් දැ'යි බැලීමට රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බලයි. ආසාව වැඩි වී ගියේ ය. අනෙක් සත්වයෝ ද රස බලා ආසාව වැඩී ගිය කල්හි රස පොළොව ගුලි කර (ගුලි සාදා) අනුභව කරන්නට පටන් ගත්තේ ය. මේ හේතුවෙන් ඔවුන්ගේ ශරීරාලෝකය නැති වී ගියේ ය. එවිට කෙමින් කෙමින් අන්ධකාරය පැතිරෙන්නට විය. අන්ධකාරය නිසා ඔවුහු බියපත් වන්නට විය. මෙසේ කාලයක් ගත වී යෑමෙන් අහස වටා වූ ධූලි මැකී ගොස් හිරු සඳු ආදිය දිස් වන්නට විය.

මේ ඕපපාතික ව පහළ වූ සත්වයන්ගේ ආයුෂ වර්ෂ අසංඛ්යයක් පමණ අති දීර්ඝ වේ. ඉතා සියුම් ශරීර විය. බොහෝ රූප සම්පන්න විය. නමුත් අකුසල දහම් ටිකින් ටික වැඩි වීම හේතුවෙන් ඔවුන්ගේ ආයු, වර්ණ, සැප, බල හා ප්රඥාව ක්රමක්රමයෙන් පිරිහෙන්නට විය. (මේ පිළිබඳ විස්තර අග්ගඤ්ඤ සූත්රයේ දැක්වේ.)

මෙසේ ආයුෂ පිරිහී ගොස් පරමායුෂ වර්ෂ 10ක් තරම් අඩු වන්නේ ය. එවිට සත්ව විනාශයක් වන්නේ ය. එය අන්තර් කල්ප විනාශය ලෙස හැඳින්වේ. එම සත්ව විනාශයෙන් බේරුණු සත්වයෝ නැවත කුසල ධර්මයන් වර්ධනය කිරීම නිසා ආයු වැඩෙන්නේ ය. එසේ වැඩී ගොස් පරමායුෂ වර්ෂ අසංඛ්යය දක්වා වැඩි වන්නේ ය. එහි දී නැවත අකුසල දහම් උත්සන්න වී ආයු පිරිහෙන්නේ ය. මෙසේ මෙය චක්රයක් ලෙස සිදු වන්නේ ය. අවසානයේ දී නැවත විපත්තිකර මහා මේඝය නිසා කල්ප විනාශය ආරම්භ වන්නේ ය. හිරු සඳු පහළ වීමේ පටන් විපත්තිකර මහා මේඝය දක්වා වූ කාලය විවට්ට ස්ථායි අසංඛ්ය කල්පය ලෙස හැඳින්වේ. එය ද අන්තර් කල්ප 64ක් පමණ දීර්ඝ වේ.

II. ආපෝ සංවට්ටය. (ජලයෙන් කල්පය විනාශ වීම)

ජලයෙන් කල්පය විනාශ වන කල්හි ද පළමුවෙන් ම විපත්තිකර මහා මේඝය වසියි. මෙම වර්ෂාව ක්රමක්රමයෙන් වැදී වී ගොස් කෝටි ලක්ෂයක් සක්වළ පුරා වසියි. මෙයින් මහ පොළොව, දිව්ය ලෝක ආදිය දිය වී ගොස් දුතිය ධ්යාන තලයෙහි සුභකිණ්ණක බඹ ලොව දක්වා ම දිය වී යන්නේ ය. සියල්ල දිය වූ පසු ජලය වියළී යයි. මෙතෙක් කාලය සංවට්ට අසංඛ්ය කල්පය ලෙස හැඳින්වේ. අනෙක් අසංඛ්යය කල්ප පෙර පරිදි ම ය.

III. වායෝ සංවට්ටය. (සුළඟින් කල්පය විනාශ වීම)

වාතයෙන් කල්පය විනාශ වන කල්හි ද පළමුවෙන් ම විපත්තිකර මහා මේඝය වසියි. පසු ව වර්ෂාව නතර වී කල්ප විනාශය පිණිස වාතය හට ගනියි. පළමු ව සියුම් ධූලි, සියුම් වැලි, මහ වැලි, මහ ගල් ආදිය ඉහළට නංවයි. එසේ ම මහා වෘක්ෂ, පර්වත ආදිය ද ඉහළට නංවයි. ඒවා අහසෙහි ම සුනුවිසුනු වී යයි. අනතුරු ව පොළොව ද බිඳී අහසට ගොස් සුනුවිසුනු වී යයි. මෙසේ මහ පොළොව ද භූමස්ථ ආකාශස්ථ විමන් ද සදිව්ය ලෝක ද බ්රහ්ම ලෝක ද සුනුවිසුනු වී ගොස් වේහප්පල බඹ ලොවෙන් පහළ සියල්ල විනාශ වී යන්නේ ය. කෝටි ලක්ෂයක් සක්වළ මෙසේ සුළඟින් විනාශ වී යයි. කල්ප විපත්තිකර මහා මේඝයේ පටන් කල්ප විනාශකර මහා වාතය නැවතීම තෙක් කාලය සංවට්ට අසංඛ්ය කල්පය ලෙස හැඳින්වේ. අනෙක් අසංඛ්යය කල්ප පෙර පරිදි ම ය.

මෙසේ කල්ප විනාශය වන්නේ අකුසල් මූල හේතුවෙන් බව දැක්වේ. එහි දී රාගය අධික වූ කල්හි ගින්නෙන් ද ද්වේශය අධික වූ කල්හි ජලයෙන් ද මෝහය අධික වූ කල්හි වාතයෙන් ද විනාශ වේ.

මෙසේ සක්වළවල් විනාශ වන යම් රටා වක් ද දැක්වේ. එනම් සත් වරක් ගින්නෙන් ද අට වන වර ජලයෙන් ද විනාශ වේ. මෙසේ සත් වරක් ජලයෙන් විනාශ වූ විට අට වන වර වාතයෙන් විනාශ වේ. එනම් 64 වතාවක දී ගින්නෙන් 56 වතාවක් ද ජලයෙන් 7 වතාවක් ද විනාශ වූ විට වාතයෙන් එක් වරක් විනාශ වේ.

2. සත්ව විනාශ වීම හෙවත් අන්තර් කල්පය විනාශ වීම

ඉහත විවට්ට ස්ථායි අසංඛ්ය කල්පය පිළිබඳ කරුණු දැක්වීමේ දී සත්ව විනාශ වීම පිළිබඳ (ලෝක විනාශය නොව) සැකෙවින් දක්වන ලදි. විස්තර වශයෙන් මෙසේ ය. අන්තර් කල්පය විනාශ වන ආකාර 3ක් ඇත. ද්වේශය බලවත් වීමෙන් ආයුධ වලින් සත්ව විනාශයක් සිදු වේ. එය සත්ථ (ආයුධ) අන්තර් කල්පයයි. ලෝභය බලවත් වීමෙන් දුර්භික්ෂයෙන් සත්ව විනාශයක් සිදු වේ. එය දුර්භික්ෂ අන්තර් කල්පයයි. මෝහය බලවත් වීමෙන් රෝගයෙන් සත්ව විනාශයක් සිදු වේ. එය රෝග අන්තර් කල්පයයි.

මිනිස් ලොව පරමායුෂ වර්ෂ 10 ට පමණ අඩු වී ගිය විට, අවුරුදු 5ක් පමණ වූ දැරියක් විවාහ කර දීමට සුදුසු වන්නේ ය. එ කල්හි ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී, හකුරු, ලුණු යන මේ රස නැති වී යන්නේ ය. කුද්රැසක (කුරක්කන්) නම් ධ්යානය ප්රියතම භෝජනය වන්නේ ය. දශ අකුසල කර්මපථයෝ අතිශයින් පැතිරෙන්නා හ. ප්රාණඝාතය කරන්නන්, සොරකම් කරන්නන්, දෙමාපියන් ඝාතකයින්, දෙමාපියන්ට නොසළකන්නන් කිසි ගුණ ධර්මයක් නැත්තවුන් ඉතා ඉහළ වැජඹෙන්නේ ය. එකල්හි කුසලය, යහපත යන වචන වත් අසන්නට නො ලැබේ. ඒ සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වන්නේ ය. සිත දූෂ්ය නිසා එකිනෙකා මෘගයන් ලෙස පෙනෙන්නේ ය. (මෘග සඤ්ඤාව/ මිගසඤ්‌ඤං) එ කල්හි සත් දවසක් මුළුල්ලෙහි ආයුධ වලින් ඇන කොටා ගෙන විනාශ වන කාලය වන්නේ ය.

මේ ගැන කලින් අසා දැන ගෙන ස්වල්පයක් දෙනා, එයින් මිදෙනු කැමති ව ගල් ගුහා, ගිරිදරක්, ගංගා මැද දූපත් ආදියෙහි සැඟවී වනයෙහි වූ අල, මුල් ආදිය ආහාරයට ගෙන සතියක් පමණ කාලයක් නිරුපද්රිත ව වාසය කරයි. අන් සියල්ලෝ ම ඇන කොටා ගෙන මරණයට පත් වන්නේ ය. සැඟව සිටි පිරිස සතියක් ඇවෑමෙන් නැවත තම ගම් බිම් වලට පැමිණ තම ඥාතීන්ට සිදු වී ඇති විපත දැක බොහෝ සේ කම්පාවට පත් වන්නේ ය. මෙසේ විශාල විනාශයක් සිදු වූයේ ප්රාණඝාතාදී අකුසල් නිසා බව වටහා ගත් ඔවුහු ප්රාණඝාතයෙන් ඈත් වන්නේ ය. එවිට බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්යයන්ගේ පරමායුෂ වර්ෂ 20ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්යයෝ සොරකම් කිරීමෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්යයන්ගේ පරමායුෂ වර්ෂ 40ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්යයෝ කාම මිච්ඡාචාරයෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්යයන්ගේ පරමායුෂ වර්ෂ 80ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්යයෝ බොරු කීමෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්යයන්ගේ පරමායුෂ වර්ෂ 160ක් දක්වා වැඩි වන්නේ ය. කේලම් කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 320ක් දක්වා වැඩි වන්නේ ය. පරුෂ වචන කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 640ක් දක්වා වැඩි වන්නේ ය. හිස් වචන කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 2 000ක් දක්වා වැඩි වන්නේ ය. දැඩි ලෝබකම් කිරීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 4 000ක් දක්වා වැඩි වන්නේ ය. දැඩි ද්වේෂකම් කිරීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 8 000ක් දක්වා වැඩි වන්නේ ය. මිසදිටු ගැනීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 20 000ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්යයෝ අධර්ම රාග (මව, සුළු මව ආදීන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම), විෂම ලෝභ (පරිභෝග කළ යුතු වස්තූන්ගේ කෙරෙහි ද දැඩි ව ලෝභ කිරීම), මිථ්යා ධර්ම (පිරිමින් පිරිමින් කෙරෙහිත් ස්ත්රීන් ස්ත්රීන් කෙරෙහිත් රාගය ඉපදවීම) වලින් වළකින්නේ ය. ඔවුන්ගේ පරමායුෂ වර්ෂ 40 000ක් දක්වා වැඩි වන්නේ ය. මවට සත්කාර කිරීම, පියාට සත්කාර කිරීම, මහණ හට සත්කාර කිරීම, බමුණන් හට සත්කාර කිරීම, කුලයේ වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම යන ගුණ ධර්ම රකින්නේ ය. ඔවුන්ගේ පරමායුෂ වර්ෂ 80 000ක් දක්වා වැඩි වන්නේ ය. පරමායුෂ වර්ෂ 80 000ක් වන විට මිනිසුන්ට රෝග 3ක් පමණක් වැළඳේ. එනම් ආහාරයට ඇති කැමැත්ත, ආහාර ගත් විට ක්ලාන්ත වීම (බත් මතය) හා වයසට යන විට වයස් ගත ලකුණු පහල වීම යන ආබාධ තුනයි.

මෙසේ ආයුෂය වැඩෙන්නේ ක්ෂේත්ර විශුද්ධිය නිසා ය. එනම් මාපියෝ සිල්වත් ය. සිල් ඇති ව දරු ගැබ් වැඩේ. එයින් දීර්ඝායුෂ වේ. ඔවුන් කලුරිය කර නැවත උපදින විට සීලය නිසා දීර්ඝායුෂ වේ. මෙසේ අකුසල් අත් හැර කුසල සමාදානය නිසා ක්රමයෙන් ආයු වැඩි වී ගොස් පරම ආයුෂ වර්ෂ අසංඛ්යය දක්වා ම වැඩි වන්නේ ය. ඒ කාලයේ මිහිපිට දෙව් ලොව මෙන් සශ්රීක වන්නේ ය. සත්වයෙකු මිය යෑම ඉතා දීර්ඝ කාලයකින් සිදු වන්නේ ය. එබැවින් ඔවුන්ට 'අපි නිත්ය වූ ආයුෂ ඇත්තෝ වෙමු.' යැයි සිතේ. මෙසේ ක්රමයෙන් තණ්හා හා මාන ආදී අකුසල් කෙමින් වර්ධනය වීමට පටන් ගනී. එවිට ක්රමයෙන් ආයු පිරිහෙන්නට වන්නේ ය. (මේ පිළිබඳ විස්තර චක්රවර්ති සිංහනාද සූත්රයේ දැක්වේ.)

මෙසේ අකුසල් වර්ධනය වී සතුන් මැරීම, සොරකම් කිරීම, ... ආදිය ක්රමයෙන් වර්ධනය වන්නේ ය. ආයුෂ ද පිරිහෙන්නේ ය. එසේ පිරිහෙන්නා වූ ආයුෂ වර්ෂ 10 දක්වා ම අඩු වන්නේ ය. එවිට සත්ව විනාශයක් වන්නේ ය. එය අන්තර් කල්ප විනාශයයි. මෙසේ මිනිසුන්ගේ පරමායුෂ වර්ෂ 10 සිට ක්රමයෙන් වැඩි වී ගොස් අසංඛ්ය දක්වා වැඩි වී
නැවතත් 10 වර්ෂය දක්වා අඩු වීමට ගත වන කාලය අන්තර් කල්පයක් ලෙස හැදින්වේ.

එහි ආයුෂ වැඩෙන කාලයේ බුදුවරු පහල නො වෙති. ආයු පිරිහෙන කාලයෙහි උපදිති. එහි දී පරමායුෂ වර්ෂ ලක්ෂයට වඩා වැඩි නම් බුදුවරු ලොව පහල නො වෙති. හේතුව එකල සත්වයන්ගේ ඉපදීම, වයසට යෑම, ලෙඩ වීම, මිය යෑම අප්රකට ය. බුදුවරුන්ගේ දහම ත්රිලක්ෂණයෙන් යුක්ත ය. ජාති, ජරා, මරණ යැයි දේශනා කරන ඔවුන්ට මේ කුමක් දැයි ඇසිය යුත්තක් කොට නො සිතයි. එසේ විට සසුන ප්රයෝජනවත් නොවේ. එබැවින් එකල බුදුවරු නූපදියි. එසේ ම පරමායුෂ වර්ෂ 100ට වඩා අඩු ද එකල ද බුදුවරු ලොව පහළ නොවේ. හේතුව එකල සත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙයි. උත්සන්න කෙලෙස් ඇත්ත වුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නො සිටියි. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එය ද අකාලයයි. පරමායුෂ වර්ෂ 100හි පටන් වර්ෂ ලක්ෂය දක්වා කාලය අතර තුරු බුදුවරු ලොව පහළ වේ. පඤ්ච විලෝකනය (පස්මහ බැලුම් බැලීමේ) දී මෙය කාලය ලෙස හැඳින්වේ.

එසේම ගුණවතුන්ගේ පහල වීම් වශයෙන් කල්පය දෙපරිදි ය. ශුන්ය කල්පය හා අශුන්ය කල්පය කියායි. එහි ශුන්ය කල්පයෙහි බුදු, පසේබුදු, සක්විත්තෝ නූපදිති. එහෙයින් ගුණවත් පුද්ගලයන්ගේ ශුන්ය බැවින් ශුන්ය කල්පයයි කියනු ලැබේ. අශුන්ය කල්පය සාරකල්පය මණ්ඩකල්පය වරකල්පය සාරමණ්ඩකල්පය භද්රකල්පය යැයි පස් ආකාර වෙයි. එහි එක් සම්මා සම්බුදු කෙනෙකුන්ගේ පහල වීමෙන් සාරකල්පය නම් වෙයි. යම් කල්පයක ලෝක නායකයන් වහන්සේලා දෙනමක් උපදිත් ද එය මණ්ඩකල්පය යැයි කියනු ලැබේ. යම් කපක තුන්බුදු කෙනෙකුන් උපදිත් ද වරකල්පය යැයි කියනු ලැබේ. යම් කල්පයක සිවුබුදු කෙනෙක් උපදිත් ද එය පෙර කල්පයට වඩා විශිෂ්ටතර හෙයින් සාරමණ්ඩකල්පය යැයි කියනු ලැබේ. යම් කල්පයක පස්බුදු කෙනෙක් උපදිත් ද එය භද්රකල්පය යැයි කියනු ලැබේ. එය අති දුර්ලභ ය. ඒ කප බොහෝ සෙයින් සත්වයෝ කලණ සැප බහුල වෙති. බෙහෙවින් ත්රිහේතුකයෝ ක්ලේශක්ෂය කරති. දුහේතුකයෝ සුගතිගාමී වෙති. අහේතුකයෝ හේතු ලබති. එහෙයින් ඒ කල්පය භද්රකල්පය යැයි කියනු ලැබේ. • යම් මහාකල්පයක බුදුවරු නූපදී නම් එය ශුන්ය කල්පයක් ලෙස හැඳින්වේ.

යම් මහාකල්පයක බුදුවරු එක් නමක් පහළ වේ නම් එය සාරකල්පයක් ලෙස හැඳින්වේ. මහාකල්පයේ පළමු අන්තර් කල්පයේ ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්ෂයත් සියයත් අතර එක් බුදු කෙනෙකු ම උපදිති.(කොණ්ඩඤ්ඤ බුදුන්‌ පහල වූ කල්පය ද පදුමුත්තර බුදුන්‌ පහල වූ කල්පය ද සිද්ධත්ථ බුදුන්‌ පහල වූ කල්පය ද විපස්සී බුදුන්‌ පහල වූ කල්පය ද සාරකල්පයකි)

යම් මහාකල්පයක බුදුවරු දෙනමක් පහළ වේ නම් එය මණ්ඩකල්පයක් ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු හා දෙවන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්ෂයත් සියයත් අතර උපදිති.(සුමේධ, සුජාත යන බුදුවරුන්‌ දෙනම පහල වූ කල්පය ද තිස්ස, ඵුස්ස යන බුදුවරුන්‌ දෙනම පහල වූ කල්පය ද සිඛි, වෙස්සභූ යන බුදුවරුන්‌ දෙනම පහල වූ කල්පය ද මණ්ඩකල්පයකි)යම් මහාකල්පයක බුදුවරු තුන් නමක් පහල වේ නම් එය වරකල්පයක් ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු, දෙවන හා තෙවන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්ෂයත් සියයත් අතර උපදිති.(අනෝමදස්සී, පදුම, නාරද යන තුන්‌බුදුවරුන්‌ පහල වූ කල්පය ද පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී යන තුන්‌බුදුවරුන්‌ පහල වූ කල්පය ද වරකල්‌පයකි)යම් මහාකල්පයක බුදුවරු සිවුනමක් පහල වේ නම් එය සාරමණ්ඩකල්පයක් ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු, දෙවන, තෙවන හා සිව්වන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්ෂයත් සියයත් අතර උපදිති. (තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර යන සිව්බුදුවරුන්‌ පහල වූ කල්පය ද මංගල ,සුමන, රේවත, සෝභිත යන සිව්බුදුවරුන්‌ පහල වූ කල්පය ද සාරමණ්ඩකල්පයකි)යම් මහාකල්පයක බුදුවරු පස්නමක් පහල වේ නම් එය භද්රකල්පයක් ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු, දෙවන, තෙවන, සිව්වන හා පස්වන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්ෂයත් සියයත් අතර උපදිති. (කකුසඳ, කෝණාගමන, කාශ්යප, ගෞතම යන පස්බුදුවරුන්‌ පහල වූ කල්පය භද්රකල්‌පයකි)

නිවන් මාර්ගය


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුදුසරණට පිටුපාන්නා අවාසනාවන්තයෙකි

 


බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
බලංගොඩ රාධ හිමි

සසර සැරිසරන සත්වයකු මිනිසත් බව ලබන්නේ අතිශයින් විරල වශයෙනි. මිනිසත් බව ලැබූ අයකුට බුද්ධෝත්පාද කාලයක් හමුවන්නේ ද ඊටත් වඩා කලාතුරකිනි.

බුදු උපතක් පවතින යුගයක උපන් මිනිසකුට බුදු බණ පදයක් අසන්නට ලැබෙන්නේ ද ඉතා දුර්ලභ වශයෙනි. ඇසූ බණ පදය ජීවිතයට ගළපා ගනිමින් බුදු සරණේ ශාන්තිය ලබන්නේ පෙර කළ පින් ඇති වාසනාවන්තයන් ස්වල්ප දෙනෙක් පමණි.

සසර ගමන තුළ මිනිසත් බව, බුදු උපත, සද්ධර්ම ශ්‍රවණය අතිශයින් දුර්ලභ වුව ද දේවවාද, මැවුම්වාද ආදී මිථ්‍යා දෘෂ්ටීන්ට හසුවීම අතිශයින් සුලභව සිදුවේ. මෝහයෙන් මුලා වූ මිනිසුන් පමණක් නොව, ඇතැම් දෙව් බඹුන් පවා මිථ්‍යා දෘෂ්ටීන්ට හසුවී මෙලොව පරලොව සැනසීම අහිමි කරගත් අවස්ථා ගණනාවක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාරා ඇත.

යම් පුද්ගලයෙක් රජෙක් සිටු මැතියෙක් වූ පමණින් හෝ ගායකයෙක්, වාදකයෙක්, නර්තකයෙක් වූ පමණින් හෝ ප්‍රඥාවන්තයෙකු නොවේ. පින් පව් හඳුනා ගැනීමේ හැකියාව, මෙලොව, පරලොව, සුගතිය, දුගතිය, කර්මය ඵලය අවබෝධ කරගැනීමේ හැකියාව ඇති පුද්ගලයා පමණක් ප්‍රඥාවන්තයෙක් වේ. ප්‍රඥාවන්තයා රජෙක් වුව ද, යාචකයෙක් වුව ද ජීවිතය හේතුවෙන් හෝ මිථ්‍යා දෘෂ්ටියකට හසු නොවේ.

ප්‍රඥාවන්තයාට මිහිමත ඇති එකම සරණ බුදුරජාණන් වහන්සේ පමණි. එකම සැනසීම ධර්ම රත්නය පමණි. එකම පැතුම සංඝ රත්නය පමණි. ප්‍රඥාවන්තයාට තෙරුවන් සරණින් තොරව මොහොතක් හෝ ජීවත් විය නොහැක. ඔහු මියැදුණ ද ජීවමාන ය. මිථ්‍යා දෘෂ්ටිකයන් ජීවත් වුව ද මළකඳන් බඳු ය.

අප ජීවත් වන මේ කාලය එබඳු මළ කඳන්වලින් ගැවසීගත් යුගයකි. කල්පනාකාරී නොවුණහොත් එකී මළවුන්ගේ ශාපයට ඔබ ද නතුවිය හැකි ය. බුදු සිරිපා සෙවනට මොහොතින් මොහොත ළංවීමෙන් පමණක් එම ශාපයෙන් ඔබ ආරක්ෂා වනු ඇත. ඒ සඳහා ඔබට ඇති එකම ආරක්ෂක කඳවුර තිසරණය පමණි. එම ආරක්ෂක කඳවුරට ඇතුළු වූ ඔබට පවිටු කුදිටු මිසදිටු අඳෙීනා නො ඇසෙනු ඇත. කරුණාවේ, මෛත්‍රියේ, විරාගයේ විමුක්තියේ අමා ගීතය හදමඬල සනසාලමින් ඇසෙනු ඇත. එවිට ඔබේ නෙතු අග ඒ ශාන්ත බුදු රුව මැවී පෙනෙනු ඇත. ඔබ නෙතු අග තුටු කඳුලින් තෙත් වී ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන වදන්වැල ඔබ තොලගින් ඔබට ම නො දැනී මිමිණෙනු ඇත. එවිට නුඹ විසින් ‘මා ලැබූ සම්බුදු සරණ සියලු සත්ත්වයන්ට ම ලැබේවා’ යි නිසඟයෙන් ම ප්‍රාර්ථනා කරනු ඇත.

වාසනාවන්ත ඔබ ලැබූ ඒ සම්බුදු සරණ අහිමි වන්නට නො දී නිවන් දකිනා ජාති දක්වාම රැක ගැනීම පිණිස හේතුවන කරුණු පහක් බුදුසිරි මුවමඬලින් වදාරා ඇත. ඉන් පළමු කරුණ ශ්‍රද්ධාව යි. ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය ඤාණයෙන්, දශබල ඤාණයෙන්, චතුවිසාරද ඤාණයෙන් හා සියල්ල දක්නා නුවණින් යුක්ත බවත්, හැම පව්මළ දුරුකළ බවත් සියලු දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන බවත් අදහාගන්නා ස්වභාවය ශ්‍රද්ධාව යි. එය අමිල සම්පතකි. ධනය, නිලය, බලය, රූපය, කටහඬ, ප්‍රසිද්ධිය ආදී කවර සම්පත්තියක් ලැබුවත් ශ්‍රද්ධා සම්පත්තිය අහිමි පුද්ගලයා සර්වාකාරයෙන් ම අසරණයෙකි. ඔහුට පිහිටවන මැවුම්කරුවක් හෝ ඊශ්වරයෙක් නැත. මනෝවිකාර නම් මිසදිටු යදමින් බඳින ලද ඔහුට හිමිවන එකම පාරාදීසය දුගතිය හෙවත් අපාය යි. අපා ගිනිදැල් මැද දැවෙන ඔහුගේ මරලතෝනියට සවන් දී ඔහු මුදවා ගත හැකි කිසිදු සර්වබලධාරියෙක් නැති බව ඔහුට ම වැටහෙනු ඇත. එහෙත් ඔහුගේ මනෝබන්ධනය සිදුකර ඇත්තේ නියත මිසදිටුව නම් වූ යදමින් නම් යළි මිනිස් ලොවක එළිය දැකීමේ වාසනාව ඔහුට හිමි නො වනු ඇත.

අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ලැබූ වාසනාවන්තයාට කිසි ලෙසකින් එබඳු අභාග්‍යයක් හිමි නොවේ. පවට ලජ්ජාවීම නම් දෙවන කරුණින් යුක්ත වන ඔහු ජීවිතය පිනෙන් පුරවාගත් සත්පුරුෂයෙකි. දිවා රෑ බුදුගුණ මෙනෙහි කරමින් පාපයෙන් වෙන්වන ඔහු අකුසල විපාකයට බියවීම නම්, තෙවන කරුණින් යුක්ත වන නිසා සිහිනයෙන් පවා පාපයක් සිදු නොවන තරමින් සීල චිත්ත පාරිශුද්ධිය පවත්වා ගනී. දහවලක හෝ රාත්‍රියක හෝ අපේක්ෂිත හෝ අනපේක්ෂිත මොහොතක තමා වෙත පැමිණෙන මරණය ඉදිරියේ තැති නො ගන්නා ඔහු බුදුගුණ සිහිකරමින් නෙතුයුග වසා ගන්නේ දෙවියන් අතර ඉපදෙන පුණ්‍යවන්තයකු ලෙසිනි.

මෝහනීය වූ පාපය දුරුකිරීම පිණිස අරඹන ලද වීර්යය ඇතිව කටයුතු කිරීම බුදුසරණ ලැබූ ශ්‍රාවකයා සතු සතරවන වාසනාවන්ත කාරණයයි.

වීර්යයක් උනන්දුවක් නොමැති කිසිවෙකුටත් මිසදිටු පාපයේ ශාපයෙන් අතමිදිය නො හැක. සිතට නැඟෙන ලාමක මිසදිටු මනස්ගාතයන්ට මුලා වන්නේ පාපී හැඟීම් පාලනය කිරීම පිණිස වීර්යයක් නැති අසරණයෝ ය.

බුත්සරණ ලැබූ පුද්ගලයනට දම්සරණ හා සඟසරණ නිසඟයෙන් ම හිමිවන බැවින් යම් පාපී සිතිවිල්ලක් හට ගත්තේ නමුදු ධර්මයේ පිහිටෙන් සඟරුවනගේ ආශිර්වාදයෙන් එය ප්‍රහාණය කරගෙන සිත පිරිසුදුව තබා ගැනීමේ භාග්‍ය හිමි වේ. එබැවින් ඔබ උනන්දුවෙන් වුවමනාවෙන් හා ගෞරවයෙන් යුතුව සඟරුවනගේ ඇසුර පවත්වාගත යුතු ය. හැකි සෑම අවස්ථාවකම පන්සලට ආරණ්‍යයට ගොස් ස්වාමීන් වහන්සේලා බැහැදකිමින් දහම් කරුණු විමසා මිසදිටු අදහස් දුරුකරමින් සම්මා දිට්ඨිය දියුණු කළ යුතු ය.

ඔබ ලද තිසරණය දායාදය රැකගැනීමට හේතුවන පස්වන කාරණය ප්‍රඥාව යි. ප්‍රඥාය යනු චතුරාර්ය සත්‍යය අසමින් මෙනෙහි කරමින් පහළ කරගනු ලබන ඤාණාලෝකය යි. උගත්කම් හේතුවෙන් හෝ ප්‍රසිද්ධිය නිසා ධනය බලය නිසා හෝ ප්‍රඥාව හිමි නොවේ. ප්‍රඥාව අහිමි පුද්ගලයා රුවල් බිඳී ගිය නෞකාවක් සේ සුළි කුණාටු සදිසි මිසදිටුවෙන් වැනසී යයි.

ශ්‍රද්ධාව, පවට ලජ්ජාව, පවට බිය, කුසල වීර්යය හා ප්‍රඥාව යන මේ කරුණු පස ඔබේ පින් සිත රක්නා යෝධයන් වැනි ය. එබඳු යෝධයන් ඇති තිසරණය නම් වූ ආරක්ෂක කඳවුර තුළ රැඳී සිටිනතාක් ඔබ සුරක්ෂිත ය. යම් මොහොතක එකී කඳවුරෙන් එක් පියවරක් හෝ බැහැරට තබයි නම් කැනහිල් රැලකට හසු වූ හා පැටවෙකු සේ ඔබ අනාරක්ෂිත වේ. ගුණවෘද්ධ භාවයත් තපෝවෘද්ධ භාවයත්, නොමැති ව කෙස්, ලොම් ඉදී සම රැළි වැටී වයෝවෘද්ධ වූවන්ගෙන් ද ඔබ ප්‍රවේශම් විය යුතු ය. ඔවුන්ට ශරීර ගායක් නොමැති වුවද මනස්ගායෙහි අඩුවක් නොවේ.

එබැවින් ඔවුහු ආදර්ශයට ගතයුත්තෝ නොවෙති. පඬරලාවක් සේ බැහැර කළයුත්තෝ වෙති. ඔබ ආදර්ශ, අවවාද, අනුශාසනා ලබාගත යුත්තේ ඔබට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ගුණධර්මයන්ගෙන් උසස් වූවන්ගෙන් පමණි. ඔවුහු වයසින් බාලයෝ වුව ද ජීවිතය කල්‍යාණ ධර්මයන්ගෙන් අලංකාර කරගත් වන්දනීයයෝ ය. පූජනීයයෝ ය.

ශ්‍රද්ධා සීලාදී ගුණයන්ගෙන් පිරීගිය හදවත් ඇති ඔවුහු බුදුසරණේ අනුහසින් සුවපත් වූවෝ ය. කාසියකට, නෝට්ටුවකට, බත්පතකට හෝ ජරා මරණ ධර්මයන්ට ස්වකීය ප්‍රාණය වූ තිසරණය පාවා නො දෙන්නෝ ය. ආලෝකයට පි‍්‍රයකරන ඔවුහු කිසිදා අඳුරට පි‍්‍රය නො කරන්නෝ ය.

පින්වත් ඔබගේ එකම බලාපොරොත්තුව අඳුරෙන් එළියට පා තැබීම නම් එවන් සත්ජනයන් භජනය කරන්න. තිසරණයට පිටු නොපා තව තවත් තෙරුවන් ගුණ උණුහුමෙන් පහස ලද හදවතක් ඇති කරගන්න. ඇස්බැන්දුම්වලට හසු වී තිසරණය පාවා දෙන්නන්ට හසු නො වන්න.

කුඩා කල පටන් ජීවිතය වරදවා ගත්තවුන් හා පාපමිත්‍ර ඇසුරින් නොමඟ ගිය උදවිය තම සිතට නැගෙන පශ්චාත්තාපයෙන් බේරීම පිණිස කළ යුත්තේ බුදුසරණට පිටුපෑම නොව වරද හා පාපය තේරුම්ගෙන ඒ මොහොතේ පටන් ඉන් අතමිදීම යි. බුද්ධශාසනය යනු අශුද්ධයින් ශුද්ධවන්තයින් බවට පත්කරන සිසිල් අමා ජලධාරාවක් වන බැවින් ඕනෑම පාපියකුට තමා කැමති නම් සම්බුදු අමා සදහම් නදියෙන් ස්නානය කර ශුද්ධාවන්තයකු විය හැකි ය.

ඉමක් නැති සසර කතරේ අනේක දුක් සෝ සුසුම් බර හිස පටවා ඇවිද ආ ඔබට සීතල දිය පිරි සුනීල විලක් සදිසි බුදුරජාණන් වහන්සේ මුණගැසී ඇති මේ මොහොතේ අප්‍රමාදීව පවස් නිවා විඩා සංසිඳුවා ගැනීමේ වාසනාව හිමි කර ගන්න. බලන බලන අත පෙනෙන මිරිඟු දියට රැවටී තථාගතයන් වහන්සේ නමැති ඒ සිසිල් පොකුණ හැර දමන්නට තරම් ඔබ අභාග්‍යවන්තයෙක් නො වන්න.

සියලු සත්වයෝ බුදුසරණ ලබා සුවපත් වෙත්වා.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුදු දහම බෞද්ධ සංස්කෘතියෙන් වෙනස් වූවක් ද?

 පරවාහැර චන්දරතන හිමි

බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය යනු කොටස් දෙකකි. බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ බුදු දහම මිස බෞද්ධ සංස්කෘතිය නොවේ. මිනිසුන් ගේ විඥානගත සමහරදේ ඔවුන් අදහන ආගමට සම්බන්ධ කර ගන්නට උත්සාහ කිරීම සාමාන්‍ය සිරිතකි.

බෞද්ධ සංස්කෘතිය තුළ තිබෙන ආගමික හා සංස්කෘතික ලක්ෂණ පළමුව හඳුනාගත යුතුය. බුදු දහම ලෝකයේ පවතින සත්‍ය මුල් කර ගෙන දේශනා කරන ලද දහමකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ තමන් සොයා ගත්තේ පැරණි පාරක්, මාර්ගයක් බව ය. පුරාණ ‘අඤ්ජසං‘ යනුවෙන් දේශනා කරන බුදු රජාණන් වහන්සේ මෙය අතීත බුදුවරයන් වහන්සේලා විසින් සොයා දේශනා කරන ලද එහෙත් කාලයෙන් වැසී ගිය දෙයක් බව පැහැදිලි කළහ. ඒ මාර්ගය නම් කර්මය, පුනර්භවය, හේතුඵල දහම, චතුරාර්ය සත්‍ය වැනි අධ්‍යයනය කර තේරුම් ගත හැකි අවබෝධ කරගත හැකි යථාර්ථය යි.

බුදු දහම ඒහිපස්සික දහමකි. කිසිවෙකුටත් අණ කිරීම් හෝ බය කිරීම් නැත. පැමිණ පරික්ෂා කර අවබෝධ කරගන්නට අනුදනියි. ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි‘ නුවණැත්තන් විසින් පරීක්ෂා කර ගත යුතු දහමකි.

බෞද්ධ සංස්කෘතිය රටවල් ගණනාවකම දක්නට ලැබේ. ශ්‍රී ලංකාව, තායිලන්තය, මියැන්මාරය ආදී විවිධ රටවල ජන විඥානය සකස් වී ඇත්තේ බුදු දහමේ ආභාසයෙනි. එහෙත් සමහර විට එය බුදුරජාණන් වහන්සේ විසින් අනුමත නොකළ දෙයක් වන්නට පුළුවන. එසේ වුවද ඉන් කිසිදු හානියක් නැත. උදාහරණයක් ලෙස ශබ්ද පූජාව පෙන්වා දිය හැකිය. බොහෝ රටවල නාදය, තාලය, හෝ ශබ්දය බුදුරජාණන් වහන්සේ ට උපහාර පිණිස පූජා පැවැත්වීමට යොදා ගනු ලබයි. වරක් බුදු රජාණන් වහන්සේ එක් පිරිවැජියෙකු ගේ ආරාමයට වැඩම කළහ. උන්වහන්සේ වඩිනු දුටු ප්‍රධාන පිරිවැජියා සිය පිරිස නිහඬ කරන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ නිහඬ බව කැමති අයෙකු වන නිසා නිහඬ වන ලෙසය.

වරක් ආරාමයේ කෑගසමින් සෙනසුන් පිළියෙළ කළ සැරියුත් මුගලන් දෙනමගේ ශිෂ්‍ය පිරිසක් ආරාමයෙන් බැහැර වන්නැයි වදාළ බව ද සඳහන් වේ. එසේ නිහඬ බව කැමති වූ බුදුරජාණන් වහන්සේගේ සසුනට ශබ්දය පූජාවක් ලෙස පැමිණ තිබේ. නිවැරදිව වටහා නොගතහොත් මේ සංස්කෘතිකාංගයන් බුදුදහමයැයි වරදවා වටහා ගන්නට ඉඩ තිබේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවසාන අවස්ථාවේ පවා දේශනා කළේ ‘කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං‘ යනුවෙනි. කුසල් කරන්න,බඹසර හැසිරෙන්න යනුවෙනි. එහෙත් බොහෝ විට බෞද්ධ සංස්කෘතිය ප්‍රිය කරන්නේ ආමිස පූජාවන්වලට ය. මල් පූජා, වන්දනා, ඥාන පූජා ආදී විවිධ පුද පූජාවන් බොදු සංස්කෘතියේ ජනප්‍රිය අංගයන්ය. බෝධි පූජාව පිළිබඳව ඇත්තේ දැඩි විශ්වාසයකි. බොහෝ විට පිරුවානා පොත දහම හදාරනු වෙනුවට ආරක්ෂාව පිණිස පමණක් භාවිතා කරනු ලබයි. එය කියවීම දැනුම පිණිස නොව භය දුරු කර ගැනීම පිණිස ය. මේ සියල්ල බැලූ බැල්මට බුදු දහම යැයි වරදවා වටහා ගත යුතු නැත.

ගිහි පින්වතා යමක් බලාපොරොත්තුවෙන් බෝධීන් වහන්සේ ට පුද පූජා පවත්වන අතර, භික්ෂුන් වහන්සේ බෝධින් වහන්සේ හා දායක පින්වතා අතර මැද සිටිමින් පූජාව පූජා කරනු ලබයි. භික්ෂුන් වහන්සේ යනු පූජකයෙකු නොව පූජ්‍යයෙකි. ප්‍රතිපත්ති රකිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයෙහි ගමන් කරන්නෙකි. පූජක පක්ෂය හා පූජ්‍ය පක්ෂය යනු එකිනෙකට වෙනත් අංශ දෙකකි.

බුදු දහම සමාජ ගත වීමේදී මිනිසාගේ අභ්‍යන්තර පොදු කැමැත්ත, ප්‍රිය අප්‍රියතාවන්වලට නම්‍යශීලී වී තිබේ. බොහෝ විට මිනිසාට නිවන් දැකීමට එක්වරම අවශ්‍ය නොවේ. මේ තරම් සුව යයි පවසන නිවන යන තත්වය සෑම පින්කමක් පසුපස සිටම ප්‍රාර්ථනා කරන නමුත් ඉතා ඉක්මනින් ඒ තත්ත්වයට පත් වන්නට කැමති වන්නේ ඉතා සුළු පිරිසකි. ඉතිරි බහුතරය ට අවශ්‍ය වන්නේ නිවන් දැකීමම නොවේ. නිවන් දකින තුරා සතුටින් ජීවත් වීමට ය. ඔවුන් ඒ සඳහා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් පිහිට බලාපොරොත්තු වෙති. මෙකී සංස්කෘතිකාංගය බෞද්ධ සමාජය වැළඳගෙන සිටින්නේ ඒ හේතුවෙනි.

එහෙත් වඩාත් විශ්මිත දෙය නම් බෞද්ධ ජනතාව මේ සියල්ල කරන්නේ යථාර්ථය පිළිබඳව අවබෝධයෙන් යුතුව ම වීම ය.

බුදු දහම තුළ සඳහන් වන කරුණු බෞද්ධ සංස්කෘතියට ඇතුළු වීමේ දී යම් යම් වෙනස්කම් ඇති කර ගත් බව පෙනේ. සසරේ බිය පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ වහ වහා නිවන් දකින්නට වීරිය වැඩිය යුතු බව අවධාරණය කරයි. වරක් බුදුරජාණන් වහන්සේ උපමාවකින් සිදු කරන පැහැදිලි කිරීම ඊට හොඳම උදාහරාණයකි. කිසියම් පුද්ගයලයෙක් පැමිණ උලක් පෙන්වා මේ උලෙන් උදේ දහවල් රාත්‍රී වශයෙන් නවසිය වතාවක් වසර සියයක් තිස්සේ ඇනීමෙන් පසුව නිවන් ලැබෙතැයි කිසිවෙක් කිවහොත් එයට කැමති විය යුතු බව එහි සඳහන් වෙයි. සසරින් ලැබෙන වේදනාව එයට වඩා දරුණු නිසාය. එහෙත් බෞද්ධ සමාජයේ නිවන යන්න සම්මතව ඇත්තේ මෙතේ බුදුන් සමීපයේ දී ලබා ගතයුත්තක් ලෙසය.

ඒ නිසාම බොදු ජනතාව දන් පින් සිදු කිරීමෙන් හොඳ භවයක් ලබා ගැනීම බොහෝ විට ප්‍රාර්ථනා කරන දෙයකි.

සංස්කෘතික වශයෙන් බුදු දහම ආගමක ලක්ෂණ වලින් යුතු වුව ද පැහැදිලි බුදු දහම ඒ හා මිශ්‍ර නොකරන්නට බෞද්ධයා පරිස්සම් ය. මේ බුදු දහමේ සංස්කෘතික ලක්ෂණ යැයි ද, මේ බුදු දහමේ සාරවත් දහම් කරුණු යයි ද වෙන් වෙන්ව හඳුනා ගන්නට බහුතර බොදු ජනතාවට අපහසු නොවේ.

කිසියම් හේතුවක් නිසා ඔවුන් ඒ වටිනා දේ ලස්සනට පිවිතුරුව තබා ගනිමින් එහි අගය පිළිබඳව විශ්මයට පත් වෙමින්, එහෙත් එය භාවිත නොකරන්නට වග බලා ගනිති. බුදු දහම වටිනා මැණිකකි. එහෙත් එය මල්ලකට දා සුරැකිව නොපෙනෙන්නට සුරක්ෂිත කර තිබේ.

බුදු දහමේ සුවිශේෂත්වයක් වන්නේ එය තවෙකෙකුගෙන් පිහිට ඉල්ලා පරම විමුක්තිය සාක්ෂාත් කර ගන්නා දහමක් නොවන ස්වභාවයයි. ‘අත්ථ දීපා විහරථ. අත්ථ සරණා න අඤ්ඤ සරණා‘ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාගේ පිහිට තමාම පමණක් වන බවය.

‘ තුම්හේහි කච්චං ආතතප්පං- අක්ඛාතාරෝ තථාගතො‘ යන බුදු වදනින් සනාත කරන්නේ බුදු රජාණන් වහන්සේලාට හැකියාව තිබෙන්නේ මග කියා දෙන්නට පමණක් බව ය. ගමන් කිරීම පුද්ගලයා සතු කටයුත්තකි. ඒ ඒ පුද්ගලයා විසින් සිදු කරනු ලබන උත්සාහයේ පමණට බුදු දහම තුළ ප්‍රතිඵල තිබේ. එසේ නොමැතිව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අධිකව පැහැදී සිටීම හෝ බුදුන් තමාගේ කර ගැනීම බුදුරජාණන් වහන්සේ ට අභිමත නොවූ බුදු දහමේ අගය කරන ලක්ෂණයක් නොවේ. එයට හොඳම උදාහරණය නම් වක්කලී හිමියන් පිළිබඳ කතාවයි.

වක්කලී හිමියන් පැහැදෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ රූපයටය. නිරතුරුවම බුදුරජාණන් වහන්සේ ගේ රූපකාය බලා සිටින වක්කලීට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ වක්කලී මේ කුණු සිරුර දෙස බලා සිටීමෙන් කවර ප්‍රයෝජනයක් ද යනුවෙනි.

එවැනි හැඟීම් බර අවස්ථාවන් නිවන් මඟට කිසිදු අදාළත්වයක් නැති නිසා බුදුදහම ඒවාට ලිහිල් බවක් දක්වා නැත.මහා සිව නම් භික්ෂුන් වහන්සේ නමක් විසි හතර අවුරුද්දක් භාවනා කළද, රහත් භාවයට පත් වන්නට නොහැකි වූයෙන් හඬන්නට පටන් ගනී. එවිට තවත් කිසිවෙක් හඬන හඬ උන්වහන්සේට ඇසේ.

ඒ පිළිබඳව විමසන විට ඒ හඬන පුද්ගලයා පිළිතුරු දෙන්නේ තමන් ට ද ඇඬීමෙන් රහත් වන්නට පුළුවන් දැයි උත්සහ කරන බවකි.

සංස්කෘතිකමය වශයෙන් ගත් විට බුදු දහම නොඇලීම, අත් හැරීම පිළිබඳ දැඩිව අවධාරණ්‍ය කරයි. නිවන යනු තෘෂ්ණාව නැති කිරීමයි. ‘තණ්හඛයො නිබ්බාණං‘ යන බුදු වදනට අනුව නිවන යනු සිත තුළ පවතින තෘෂ්ණාව නැති කිරීමයි. ඒ අනුව අත්හැරීම නොඇලීම බුදු දහම අගය කරන ප්‍රධානම දෙයයි. එහෙත් සංස්කෘතිකමය වශයෙන් ගත් විට බුදු දහම තරම් දිවි හිමියෙන් ඇළුන ආදරය කරන තවත් දෙයක් බෞද්ධයෙකුට නැත.

බුදු දහම එකකි. බුද්ධාගම හෝ බෞද්ධ සංස්කෘතිය එකකි. බුද්ධාගම නිසා මෙතෙක් කලක් අවම වශයෙන් දහම ඇතුළත් පොත් පත් ටික හෝ රැකුණේ යැයි කිවහොත් එය මුසාවක් නොවේ. එසේම මේ සංස්කෘතික ලක්ෂණ බුදු දහම හා මිශ්‍ර වී නැත. දහම හා සංස්කෘතිය යනු කවරක් දැයි වෙන් වෙන්ව හඳුනාගන්නට පුළුවන. එසේම යහපත් සමාජයක් ගොඬනැංවීමේ දී මුල් බැස ගත් සංස්කෘතිය විසින් සිදු කළ කාර්යභාරය ඉතා විශාල ය. එනිසා සංස්කෘතිය විසින් බුදු දහමේ හරය, අරමුණ විකෘති වේ යැයි කියන්නේ නම් එය සාධාරණ නොවේ. ඒවා ද පැවතිය යුතු ය. බුද්ධිමතා වැලි මඩ සෝදා මැණික තෝරා බේරා ගත යුතු ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤