දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

අනාගතවංස දේශනාවෙන්...

ගෞතම බුදුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට අනාගතවංස දේශනාවේ දී කළ පැහැදිලි කිරීමකි මේ.

මේ ගෞතම බුද්ධ ශාසනය කාලයක් යනකොට අධර්මය බහුල වීම නිසා පිරිහෙන්නට පටන් ගන්නවා. එතකොට නිර්මල බුද්ධ ධර්මයත් පිරිහිලා විනාශ වෙන්න පටන්ගන්නවා. එහෙම වෙන්න හේතු හතරක් බලපානවා.
1. රත්තඤ්ඤු මහත්තතා
2. වේපුල්ල මහත්තතා
3. ලාභග්ග මහත්තතා
4. බාහුසච්ච මහත්තතා
රත්තඤ්ඤු මහත්තතා කියන්නේ කාලයක් යන කොට අනිත්‍යභාවය සනාථ කරමින් බුද්ධ ශාසනයේ විනාශය ආරම්භ වීමයි. වේපුල්ල මහත්තතා කියන්නේ කාලයක් යනකොට මේ පිරිසිදු බුදුදහම ලෝකයේ හැම තැනකටම විහිදිලා පැතිරිලා ගිහිල්ලා අනෙකුත් ආගම්වල තිබෙන දේව විශ්වාස දේව ඇදිහිලි – නොයෙකුත් විධියේ මතිමතාන්තර එක්ක මිශ්‍ර වෙනවා. එහෙම වුණාම අනාගතයේ ලොව පහළ වෙන ලෝක සත්ත්වයන්ට පිරිසිදු බුදු දහම නිවැරැදිව තෝරා-බේරාගෙන අවබෝධ කරගන්න අපහසු වෙනවා. ලාභග්ග මහත්තතා කියන්නේ කාලයක් යන කොට බුදුදහම ලෝකයේ ප්‍රචලිත වීම නිසා වෙහෙර-විහාරස්ථානවලට, පන්සල්වලට, මහා සංඝරත්නයට අධික ලෙස ධනය ගලාගෙන එන්න පටන්ගන්නවා. එතකොට භික්ෂූන් වහන්සේලාට පැවිදි බව, සාංඝික ක්‍රමය අමතක වෙනවා. බාහුසච්ච මහත්තතා කියන්නේ විද්‍යාවේ දියුණුවත් සමඟම විවිධ ශබ්ද ශාස්ත්‍ර කර්මාන්ත ශිල්පයන්ට ඇබ්බැහි වීම නිසා පිරිසිදු තථාගත ධර්මය පරිහානියට පත් වෙනවා.
මෙන්න මේ හේතු නිසාත් පංච ශීලය තදින්ම කඩ කිරීම නිසාත් මිනිස්සු පාපයටම ඇබ්බැහි වෙනවා. අම්මා, නංගී, දියණිය, පියා, සහෝදරයා කියා හඳුනන්නේ නැහැ. සතුන් වගේ ඔවුනොවුන් කාම සංසර්ගයේ යෙදෙනවා. නිතරම පහළ වන්නේ කාමරාගි සිතිවිලි පමණයි. වැඩිහිටියන්ට ගුරුවරුන්ට දෙමාපියන්ට නොසලකා හරිමින් තිරිසන් සතුන් විධියට හැසිරෙනවා. එහෙම කාලයක් ගත වෙලා යන කොට දැනට තිබෙන පරම ආයුෂ ටිකින් ටික අඩු වෙලා අඩු වෙලා ගිහින් පරම ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. ලෝකයේ සියලු රස අතුරුදන් වෙනවා. කෑම-බීම පලතුරුවල රසත් එන්න එන්නම අඩු වෙලා යනවා. ‘පින්, කුසල්’ කියන වචනයක් වත් අහන්න ලැබෙන්නේ නැහැ.
කරුණාව මෛත්‍රිය දයාව සමාජයෙන් සදහටම මැකිලා ගිහින්, ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව තමයි රජ කරන්නේ. බොරුව හැම තැනකදීම පෙරමුණ ගන්නවා. එතකොට දෙවියන්ගේ බැල්ම නැති වෙලා ගිිහින්, ගහකොළ සතා සිව්පාවාත් විනාශ වෙලා යනවා. මැරෙන අය ක්‍රෝධ සිතින් වෛර සිතින් මැරෙන හින්දා ඒ අය නරකාදියේම උපදිනවා. මේ අතරතුර කෑම–බීම නැතිකමින් මැරෙන අය තුළ ප්‍රේත බැල්ම බහුලවම පවතිනවා. කොටින්ම කියතොත් කෙනෙකුට තව කෙනෙකු දුටු විට මරණ කැමැත්තම පහළ වෙන්නේ පාපයේ බරපතළකම එතරම්ම වැඩි නිසායි. අවි ආයුධ අතිනුත් දියුණු නිසා එකිනෙකා මරාගෙන මැරෙන තත්ත්වයට පත් වීම හින්දා මුළු ලෝකයම විනාශ වෙන්න පටන් ගන්නවා.
මේ විධියට මිනිස් සංහතියේ පිරිහීම හා විනාශ වීමේ උච්චතම අවස්ථාවට පත් වෙන කාලයේදී ‘ලෝක ව්‍යවහාර’ කියන කාමාවචර දෙවි කෙනෙක් අවමඟුල් වේශයකින් මනුෂ්‍ය ලෝකයට ඇවිත් මෙහෙම කියාගෙන යනවා:
උඹලා පව් කරනවා වැඩියි වහාම නවත්වන්න. එයින් මිදිලා පිනට දහමට නැඹුරු වෙන්න. තව දින හතකින් අධික වැස්සක් වහිනවා. කිසිම කෙනෙක් ඒ වැස්සට තෙමෙන්න එපා. යම් කෙනෙක් තෙමුණොත් තෙමුණ කෙනාව අනෙක් කෙනාට පේන්නේ මුවෙක් වගෙයි. එතකොට මුවාව මරන්න ඒ කෙනා පෙලඹවෙනවා. එතකොට දෙන්නම ඇනකොටාගෙන ජීවිතක්ෂයට පත් වෙනවා. තම තමන්ගේ ජීවිත බේරාගන්න වැස්සෙන් ආරක්ෂා වෙලා හිටපල්ලා” කියලා කියමින් ලෝකය වටේටම යනවා.
මේ පණිවිඩය ඇහුණ සමහර අය සති කීපයකට ආහාරපාන සූදානම් කරගෙන ඈත කැලෑවල ගල්ගුහාවල කදුශිඛරවලට ගිහින් හැංගෙනවා. තවත් සමහර අය “ඔය මොන බොරු කථාද? අපි අපේ ජීවිත මේ යන විධියටම ගෙන යමු” කියමින් සුපුරුදු විධියට කාලය ගත කරනවා. දින හත ගිය ගමන් අර කාමාවචර දෙවියන් කියපු විදිහට මෘගසන් වර්ෂාව වහිනවා. තෙමෙන අය එකිනෙකා කපාකොටාගෙන මැරෙනවා.
හැංගුණ අය සති කිහිපයකින් එළියට ඇවිත් බලන කොට මුළු ලෝකයෙම අත-පය කපා කොටාගෙන මැරුණු මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලා අපායක් වගේ පෙනෙන්නේ. දැන් ඉතුරු වෙලා ඉන්න ටික දෙනා එකට එකතු වෙලා කථා කරගන්නවා “අපේ මිනිස්සු පස්පව් කළ නිසා තමයි මෙහෙම වුණේ. ඊට පස්සේ අපි ටිකවත් පස්පව්වලින් ඈත් වෙලා ජීවත් වෙමු.” කියලා යහපත් ජීවිත ගමනක් ආරම්භ කරනවා. මෙන්න මේ විධියට යහපත් ජීවිත ගත කරන කොට අර අවුරුදු 10ක්ව තිබුණ ආයුෂ ක්‍රමක්‍රමයෙන් 20-30-40-50 යනාදි වශයෙන් වැඩිවෙන්න පටන් ගන්නවා. මෙහෙම මිනිසුන් පින් කරන්න පින් කරන්න, ආයුෂත් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ විධියට වැඩි වෙලා වැඩි වෙලා ආයුෂ අවුරුදු 200 දක්වාම වැඩි වෙනවා.
ගෞතම බුද්ධ රාජ්‍යය කාලය අවසන් වී මෘගසන් වර්ෂාවද අවසන් වීමෙන් අනතුරුව ඉතිරි වූ ටික දෙනා යහපත් කල්ක්‍රියාවෙන් යුතු වීම හා කුසලයට නැඹුරු වීම නිසා මිනිසුන්ගේ පරම ආයුෂ කාලයක් යෑමෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. මේ කාලය වන විට බරණැස් නුවර ඇතුළු මුළු ජම්බු ද්වීපයම උණ වනාන්තරයක් බවට පත් වෙලා ජනගහනයෙන් පිරිල ඉතිරිලා යනවා. ගම්නියම්ගම් සමෘද්ධිමත් වෙන්න පටන් ගෙන කාලයක් ගත වෙලා දැන් මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු දහසක් දක්වා වර්ධනය වෙලා. මෙහෙම තවත් බොහෝ කාලයක් ගත වෙන කොට (අවුරුදු දසදහස – තිස් දහස – පනස් දහස විධියට) තව තවත් වැඩි වෙලා වසර අනූ දහසක් දක්වා වර්ධනය වෙනවා. ඒ කාලය වෙනකොට බරණැස් නුවර නමත් වෙනස් වෙලා උත්පල කියන නුවර බවට පත් වෙනවා.
දැන් මිනිස්සු පස්පවින් වැළකිලා ධාර්මිකව ජීවත් වෙනවා. මෙහෙම කාලයක් ගත වෙන කොට ආයුෂ තව තවත් වර්ධනය වෙලා අවුරුදු ලක්ෂයක් බවට පත් වෙනවා. දැන් හොඳටම සශ්‍රීක වෙලා ඉතාම සෞභාග්‍ය සම්පන්නයි. ඒ වෙන කොට මේ උත්පල නගරයේ නමත් වෙනස් වෙලා පදුම නගරය නමින් හඳුන්වනවා.
මෙන්න මේ විධියට කාලය ගත වීගෙන යද්දී තවතවත් පුණ්‍ය ක්‍රියාවල යෙදිලා ඉතාම ධාර්මික විධියට මිනිස්සු ජීවත් වෙනවා. එහෙම වෙන්න වෙන්න ආයුෂත් වර්ධනය වෙලා වයස පරම ආයුෂ අසංඛෙය්‍ය දක්වාම වැඩි වෙනවා. මේ කාලය වෙන කොට පදුම නගරයේ නමත් වෙනස් වෙලා මන්දාර නුවර බවට පත් වෙනවා. ඉතාම ලස්සන නගරයක් බවට පත් වෙලා දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ශරීර ලක්ෂණත් දෙවියන් දෙවඟනත් වගේ රූප සොබාවෙන් යුක්ත වෙලා හරිම ලස්සනයි. හරියටම දිව්‍ය ලෝකයක් වගෙයි. පුදුම විධියේ සතුටකින් තමයි මිනිස්සු ජීවත් වන්නේ. දැන් මිනිස්සු ඉපදුණු දවසක් දන්නේ නෑ; ලෙඩරෝග දකින්න නෑ; ජරාවට පත් වෙනවා දකින්න නැහැ; මරණයට පත් වෙනවා, දුක් වෙනවා දකින්නත් නැහැ. මෙහෙම කාලයක් ගත වෙන කොට මිනිසුන්ගේ සිත්වල කුසල ධර්ම හොඳ සිතිවිලි ටිකෙන් ටික ඈත් වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර උපරිම තත්ත්වයට පත් වුණු පරමආයුෂත් ක්‍රමයෙන් අඩු වෙන්න පටන්ගෙන ආයුෂ ලක්ෂය අනූදහස දක්වා අඩු වෙනවා. මේකට හේතුව තමයි මිනිසා ටිකෙන් ටික පාපයට නැඹුරු වීම.
මේ කාලය වෙන කොට මන්දාර නුවර නමත් වෙනස් වෙලා යොදුන් 12ක් දිග යොදුන් 7ක් පළල සියලු සැපසම්පත්වලින් පිරුණ කේතුමතී කියන පුරවරය බවට පත් වෙලා. මුළු ලෝකයෙන්ම ජම්බු ද්වීපය ඉතාම ලස්සන ඒ වාගේම සශ්‍රීක රටක් බවට පත් වෙනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලොව පහළ වෙන්න සුදුසුම කාලයක් බවට ජම්බු ද්වීපයම පත් වෙලා සැදී පැහැදී බලා සිටිනවා.
දැන් චක්‍රවර්ති කෝලාහලය ඇති වෙන්න පටන්ගෙන ඒ කියන්නේ ලෝක පාලන දේවතාවෝ මිනිස් ලෝකයට ඇවිත් කියනවා තව අවු 100කින් චක්‍රවර්ති රජකෙනෙක් පහළ වෙනවා ඒ රජතුමා දසරාජ ධර්මයෙන් මුළු ලෝකයම පාලනය කරනවා. එහෙම කියාගෙන යෑමට කියනවා ‘චක්‍රවර්ති කෝලාහලය’ කියලා. දෙවිවරු ප්‍රකාශ කරපු ඒ චක්‍රවර්ති රජ්ජුරුවන්ව දැක බලාගන්න බොහෝ මිනිස්සු ඉතා ආශාවෙන් බලා සිටිනවා. කාලයත් සමඟම සංඛ කියන චක්‍රවර්ති රජ්ජුරුවෝ ලොවට පහළ වෙනවා.
මේ කේතුමතී රාජධානියේ රජ කරන සංඛ කියන චක්‍රවර්ති රජතුමාට වාසය කරන්න පහළ වෙනවා පෙර කරන ලද මහා කුසලානුභාවය නිසා දිව්‍ය මාලිගාවක් බඳු රත්නමය ප්‍රසාදයක්. ඒ ප්‍රසාදය සත්රුවනින් විසිතුරු වුණු මුතු පබළු රන් රිදී මැණික්වලින් සමන්විතයි. උත්තම සත්ත්වයන්ට පහළ වන දැකුම්කලු මන්දිරයක් නිසා බලන්නෙකුට ඇස් අදහාගැනීමට බැරිතරම් විසිතුරුයි. පෙර භවයකදි මහාපනාද රජතුමා වාසය කළ මන්දිරය තමයි මතුමත්තෙදි සංඛ චක්‍රවර්ති රජතුමාට පහළ වෙන්නේත. මේ රත්නප්‍රසාදය ගැන ඉතාම රසවත් අතීතයක් තිබෙනවා. ඒ ගැනත් දැන් සඳහන් කරන්නම්.
මීට කල්ප ගණනට ඉහතදි බරණැස් නුවර හිටියා කුළුපොතු කර්මාන්තයෙන් ජීවත් වුණු පියෙක් හා පුතෙක්. දවසක් මේ දෙදෙනා රැකියාවට යද්දි නගරයේදී මුණගැසුණා හිමාලයේ ඉඳන් ඍද්ධියෙන් නගරයට ඇවිත් පිණ්ඩපාතයේ යන පසේ බුදුන් වහන්සේ නමක්. මේ දෙන්නා පසේ බුදු හිමියන්ට දානයෙන් සංග්‍රහ කරලා ඇහැව්වා “ඉදිරියට වර්ෂා කාලයක් එනවා, ඔබ වහන්සේ වඩින්නේ කොහාටද? ඔබ වහන්සේ ඉන්නේ කොහෙද?” කියලා උන්වහන්සේ කීවා “මමත් මේ ඉන්න තැනක් සොයමිනුයි යන්නේ” කියලා. ඊට පස්සේ මේ පියපුතු දෙන්නා එකතු වෙලා දිඹුල් ලී උණ ලී සිටුවලා, මැටිගහලා, වහලට තණකොළ දාලා කුඩා කුටියක් හදලා පූජා කළා. වස් සමාදන් කරවලා වස් තුන් මාසේම තාත්තයි පුතයි මේ පසේ බුදු හිමියන්ට සිව්පසයෙන් සංග්‍රහ කළා. අන්න ඒ කුසලකර්ම ආනිසංසයේ මහිමයෙන් මේ දෙන්නා මරණින් මත්තේ දිව්‍යලෝක හයේම අනුලෝම–ප්‍රතිලෝම වශයෙන් දිව්‍ය සැප සම්පත් වින්දා.
මෙහෙම දිව්‍යසැප වින්ද පියතුමා මහාපනාද කුමාරයා නමින් පස්සේ කාලෙක මනුෂ්‍ය ලෝකයේ ඉපදුණා. ඉතින් මේ කුමාරයා තරුණ වයස පැමිණිලා ශිල්ප ශාස්ත්‍රයත් හදාරලා අවසන් වුණාම පියරජතුමා ඇමතිවරුන්ට කීවා කුමාරයාට වාසය කරන්න සුදුසු බිමක් සොයලා මාළිගාවක් හදන්න කියලා. ඒ මොහොතේදී පෙර ආත්ම භවයකට පසේ බුදු පියාණන්ට සංග්‍රහ කිරීමේ කුසලමහිමයේ ආනිසංස බලයෙන් ශක්‍රදේවේන්ද්‍රයාගේ අණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මාණය කරපු මේ රත්නමය මහල් ප්‍රාසාදය ඒ මොහොතේදීම පහළ වුණා. යොදුන් විසිපහක් පමණ උසැති මේ මන්දිරයේ තමයි මහාපනාද රජතුමා වාසය කළේ.
මෙහෙම ඉඳලා රජතුමා මරණින් පසුව දිව්‍ය සැප විඳලා නැවතත් ගෞතම බුදු පියාණන් වහන්සේගේ කාලයේදී අඟුරටේ භද්දිය නුවර අසූකෝටියක් ධනය තිබුණ සිටුවරයෙකුගේ පුතෙක් වෙලා ඉපදුණා. මේ කුමාරයාගේ නම භද්දිය කුමාරයා. මේ භද්දිය කුමාරයා දවසක් පිරිවරත් සමඟ බුදු පියාණන් බැහැදකින්න පැමිණිලා බණ අහලා පැහැදිලා භද්දිය ස්ථවිර නමින් පැවිදි උපසම්පදාව ලබා රහත්භාවයට පැමිණුණා. මෙම් විදිහට බුදුපියාණන් වහන්සේ සමඟ අඟුලක නැගිලා ගංගා නම් ගඟෙන් එතෙර වෙන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විධියට ඇහැව්වා “භද්දිය, ඔබ මහාපනාද රජු වෙලා හිටිය කාලේ වාසය කරපු රත්න ප්‍රසාදය දැන් කොහෙද?” කියල. ඒ අවස්ථාවේදී භද්දිය ස්ථවිරයෝ කියනවා ඒ ප්‍රාසාදය මේ ගං පතුලේ ගිලී තිබෙනවා කියලා.
“එහෙනම් භද්දිය, මේ මා සමඟ ඉන්න තෙරුන් වහන්සේලාට පෙන්වන්න” කියලා. ඒ මොහොතේදී භද්දිය ස්ථවිරයෝ බුදු පියාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා අවසර අරගෙන අහසට පැනනැගල දිය දෙබෑ කරලා ප්‍රාසාදයේ කොත් කැරැල්ල පයේ ඇඟිලි මගින් රඳවාගෙන ඔසවා පෙන්නුවා. යොදුන් විසිපහක් පමණ විශාල මන්දිරයක් පෙන්වලා නැවත තිබුණ විධියටම තැම්පත් කළා. භද්දිය මහරහතන් වහන්සේ ආයු කෙළවර සසර දුක හැරලා නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා.
ඒත් කුළුපොතු කර්මාන්තයේ යෙදුණ පුතා තවමත් සදෙව් ලෝකවල අප්‍රමාණ දිව්‍ය සැපසම්පත් විඳිමින් සිටිනවා. මෛත්‍රී බුදුපියාණන් වහන්සේ ලොව පහළ වෙන කාලයේදී කේතුමතී රාජධානියේ සංඛ චක්‍රවර්ති රජු විධියට උපදින්නේ මේ පුතා තමයි. තම පියා මහාපනාද රජු වෙලා හිටපු කාලයේ වාසය කළ ඒ රත්න මහා ප්‍රාසාදය නැවතත් ගංගා නම් ගං පතුලෙන් මතු වී විත් මෛත්‍රීය බුදුපියාණන් දවස කේතුමතී රාජධානියේ පහළ වෙනවා. සංඛ චක්‍රවර්ති රජතුමා වාසය කරන්නේ මෙන්න මෙ රත්න මහා ප්‍රාසාදයේ තමයි. සංඛ චක්‍රවර්ති රජතුමා මෛත්‍රිය බුදුපියාණන් වහන්සේට මෙම රත්න ප්‍රසාදය පූජා කරලා රජතුමාත් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. මෛත්‍රී බුදුපියාණන් වහන්සේ ගඳකිළිය හැටියට වාසය කරන්න තෝරාගන්නේ මෙන්න මේ රත්න ප්‍රාසාදයයි.
පාලිත එස්. හෙට්ටිආරච්චි