දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

පි‍්‍රය දේ නිසා හට ගන්නා සැප සහ දුක

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති අය ලෙස දෙව් මිනිස් ලෝකයා පි‍්‍රය දේ ළංකර ගැනීමටත්, අපි‍්‍රය දෙයින් ඈත් වී සිටීමටත් උත්සාහ ගනී. පි‍්‍රය දේ නිසා දුක හට ගන්නා බව දන්නා නමුත් බොහෝ දෙනෙකුට පි‍්‍රය දේ අත්හැර සිටීමේ කුසලතාවයක් නැත
ලෝකයට ඉතා කලාතුරකින් පහළවී වදාළ බුද්ධිමත් දෙව් මිනිසුන් ආදරයෙන් සරණ ගිය දෙවියන්ට දෙවි වූ බඹුන්ට බ්‍රහ්ම වූ සුගත තථාගත අප මහා මුණීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළින් අපට මේ සසර ගමන නිමා කිරීමට හැකියාව තිබෙනවා.
යමක් හේතුවෙන් අපට කායිකව හෝ මානසිකව සැපක් සොම්නසක් හටගනී නම් ඒ දේ අපට පි‍්‍රයවෙයි. දුක් තැවුල් උදාකරන දෙය අපි‍්‍රය වෙයි. සාමාන්‍ය මිනිසුන් ලෙස අප කා හටත් පි‍්‍රය දේ තිබෙයි. ඒ පි‍්‍රය දේ හේතුවෙන් සැපක් සොම්නසක් දැනෙන නිසා අප නිරායාසයෙන්ම පි‍්‍රය දේ අප වෙත ළංකර ගැනීමටත්, තමාගේ වසඟයේ තබා ගැනීමත් අපි‍්‍රය දේ අපෙන් ඈත්කොට තබා ගන්නටත් උත්සාහ කරයි.

පි‍්‍රය දේ යනු කුමක්ද?

බුදුරජාණන් වහන්සේ විසින් පි‍්‍රය දේ කුමක්ද කියා මෙසේ දක්වා තිබෙනවා. “යමෙකුට ඉෂ්ට වූ කාන්ත වූ, මනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු යන මේවා ඇද්ද, ඔහුට යහපත කැමැති හිත කැමැති පහසුව කැමැති දියුණුව කැමැති මව, පියා හෝ සොහොයුර, සොහොයුරන්, යහළුවන්, මිතුරන් හෝ පවුලේ ඤාතීන් සිටීද, මේ සියල්ල පි‍්‍රය දෙයයි. (මහා සතිපට්ඨාන සූත්‍රය)
භාග්‍යවතුන් වහන්සේ වදාළා පි‍්‍රය අරමුණුවල ඒකාන්ත සැපයක් තිබුණා නම්, කිසිවෙකු මේ සසර දුකින් නිදහස් නොවෙන බව. ඒ වගේම ඒකාන්ත දුකක් තිබුණේ නම් මේ ලෝක සත්ත්වයා කිසිවිට සසරට නො බැඳෙන බව. එනිසා පි‍්‍රය දේ තුළ ආස්වාදය මෙන්ම ආදීනවය ද පවතියි. පි‍්‍රය දේ කෙරෙහි නිරායාසයෙන්ම බැඳීමක් ඇතිවීම අපගේ සිතෙහි ස්වභාවය යි. ඒ ස්වභාවය දෙව් මිනිස් කා හටත් පොදුයි. පි‍්‍රය දේ කෙරෙහි ඇතිවන බැඳීමට බුදුරජාණන් වහන්සේ වදාළේ ඡන්දරාගය ලෙසයි. උන්වහන්සේ වදාළ ඒ ධර්මය තේරුම් නොගත් තැනැත්තාට පි‍්‍රය දේ නිසා දුක හට ගනී යන කරුණ පිළිබඳව වැටහීමක් නැහැ. බොහෝ දෙනා සිතනුයේ පි‍්‍රය දේ නිසා ඒකාන්තයෙන්ම සැපයක් හට ගන්නා බවයි.

ඡන්දරාගයෙන් සිත බැඳීයාම

දිනක් උරුවේලකප්ප ගමේ ජීවත් වූ භද්‍රකගාමිණි “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මා හට දුකේ හට ගැනීමත්, නැතිවීමත් දේශනා කරන සේක්වා.” ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ “ගාමිණි, මම ඔබට අතීතයේ දුක හටගන්නේ මෙසේය කියා හෝ අනාගතයේ දුක හටගන්නේ මෙසේය කියා හෝ දේශනා නොකොට මේ මොහොත් මෙහිදීම වර්තමානය තුළ දුක හටගන්නේ කෙසේදැයි කියා දේශනා කරන්නම්. මේ උරුවේලකප්ප ගමේ ඇතැම් මිනිසුන්හට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, නින්දාවට පත්වීමක්, සිදුවුණොත් ඒ ගැන ඔබ තුළ ශෝකයක්, වැළපීමක්, දුක් දොම්නස් හටගැනීමක්, සුසුම් හෙළීමක් උපදිනවාද?’ ස්වාමිනි,මේ ගමේ ඇතැම් මිනිසුන්හට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, සිදුවූවොත් ඒ ගැන ශෝකයක්, වැළපීමක්, දුක්දොම්නසක්, සුසුම් හෙළීමක් මා තුළ උපදීයි.
ගාමිණි, මේ ගමේ තවත් ඇතැම් මිනිසුන් හට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, නින්දාවට පත්වීමක් සිදුවුවොත් ඒ ගැන ඔබ තුළ ශෝකයක්,වැළපීමක්, දුකක්, දොම්නසක්, සුසුම් හෙළීමක් හට නො ගැනීමක් වේද? භාග්‍යවතුන් වහන්ස, මේ ගමේ ඇතැම් මිනිසුන්ට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, නින්දාවට පත්වීමක් වුවොත් ඒ ගැන මා තුළ ශෝකයක්, වැළපීමක්, දුකක්, දොම්නසක්, සුසුම් හෙළිමක් හට නොගනීයි.
එසේනම් ගාමිණි, එකම ගමේ පිරිසකට කරදරයක්, පීඩාවක් සිදුවූ විට ඔබට දුකක්, දොම්නසක් ඇතිවීමටත්, ඒ ගමේම පිරිසකට කරදරයක්, පීඩාවක් සිදුවූ විට දුකක්, දොම්නසක් ඇති නොවීමටත් හේතුව කිමෙක්ද? ස්වාමිනි, යම් පිරිසකට දුකක් කරදරයක් වූ විට මට දුකක් දොම්නසක් ඇතිවන්නේ මාගේ සිතෙහි ඒ අය කෙරෙහි ඡන්දරාගය තිබීමයි. යම් පිරිසකට දුකක් කරදරයක් ඇති වූ විට මට දුකක් දොම්නසක් ඇති නොවීමට හේතුව ඒ අය කෙරෙහි මගේ සිතෙහි ඡන්දරාගය නොවීමයි.
ගාමිණි එය එසේමයි. අතීතයේත්, අනාගතයෙත්, වර්තමානයෙත් යම්කිසි දුකක් ඉපදුණානම් ඒ හැම දෙයකටම පි‍්‍රය ස්වභාවය හට ගත්තා වූ කැමැත්ත හෙවත් ඡන්දරාගය මුල් වෙයි. මේ පි‍්‍රය ස්වභාවයට අප තුළ ඇති කැමැත්ත සෑම දුකකටම මුල් වීමයි. (භද්‍රක සූත්‍රය -සං.නි)
එනිසා අප තේරුම් ගත යුතුයි සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති අය ලෙස දෙව් මිනිස් ලෝකයා පි‍්‍රය දේ ළංකර ගැනීමටත්, අපි‍්‍රය දෙයින් ඈත් වී සිටීමටත් උත්සාහ ගන්නා බව. පි‍්‍රය දේ නිසා දුක හට ගන්නා බව දන්නා නමුත් බොහෝ දෙනෙකුට පි‍්‍රය දේ අත්හැර සිටීමේ කුසලතාවයක් නැත. නමුත් සාමාන්‍ය ගිහි පින්වතුන් ලෙස සැපයට කැමැති ඔබ සැප විඳීමේ අදහසින් පි‍්‍රය වූ දේ ළංකර ගනී. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස පි‍්‍රය වූ කාම ගුණයන් පිළිබඳව නුවණින් සලකා බැලිය යුතු ආකාරය ධර්මයේ සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා කැලයේ ඇවිදගෙන යන මුවෙක් සිටී. ඒ සතා කැලයේ තණකොළ කකා ඇවිදගෙන යද්දී මුවන් අල්ලන වැද්දෙකු විසින් මේ තණකොළ මැද අටවපු උගුලක පැටලෙයි. මුවා තොණ්ඩුවට අසු වූ නිසා එතැනම නිදා ගනියි. කැමැති, කැමැති තැනකට දුවන්නට බැරි නිසා මුවන් මරණ වැද්දාට ඒ මුවාට ඕනෑම දෙයක් කරන්නට පුළුවනි. ඒ මුවා ගැන කියන්නට තිබෙන්නේ මුවා උගුලේ හසුවීමෙන් සිදුවූයේ විපතක්මයි. පාඩුවක්මයි.

පි‍්‍රය ස්වභාවයෙන් යුතු දේ

මේ ලෝකයේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින සිත ඇදී යන ඉෂ්ටකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස පහස තිබෙනවා. මේවා තමා අපට පි‍්‍රය දේ කියා කියන්න තිබෙන්නේ. මේ පි‍්‍රය ස්වභාවය පවතින ගේ දොර, ඉඩකඩම්, හරකබාන, ස්වාමිපුරුෂයා, බිරිඳ, මව, පියා, දුවාදරුවන්, දැසි දස්සන් ආදි පි‍්‍රය වස්තුන් සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකමැති ස්ත්‍රියක හෝ පුරුෂයෙකු තමාගේ සන්තකයට ගන්නවා. තමා වෙත ළංකර ගන්නවා. නමුත් මොහු මේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින කාම ගුණයන් හට ගිජු වෙයි. ඒ ගැන සිහි විකල්කර ගනියි. එයින් ලැබෙන ආස්වාදයෙහි බැස ගනියි. ඒවා ගැන ආදීනව නොදැක නිදහස්වීමේ ප්‍රඥාවක් නොමැතිව එම අරමුණු රස විඳින්න පටන් ගනියි. එය හරියට මුවා උගුලේ හසු වූවා වගෙයි. මෙසේ සිටින කල්හි තමන්හට පි‍්‍රය වූ තමා බැඳී ගිය වූ ඒ පි‍්‍රය වස්තුන් අනිත්‍ය වී යයි. ඒවා අනිත්‍ය වන කල්හි ඒ පුද්ගලයා දුකට පත්වෙයි. මුව වැද්දා මුවාකරා පැමිණෙන සේ දුක තමා කරා පැමිණෙන විට අර කාම සම්පත්වලට ගිජුවූ බැඳුණු ආස්වාදය පමණක් දකිමින් සිටි පුද්ගලයා හට මුවා තොණ්ඩුවට සිරවී සිටින්නා සේ එම කාම සම්පත් වලින් සිත මෑත් කර ගැනීමට නොහැකිව දුකට පත්වෙයි.
එම කැලයේ තවත් මුවෙක් තණකොළ කකා ඇවිගෙන යනවිට මුව වැද්දා අටවපු උගුලක් දකී. ඌ ඒ උගුලේ පැටලවෙන්නේ නැතිව තණකොළ කනවා. උගුල අසලම නිදා ගනී. නමුත් මුවා තොණ්ඩුවට බැඳී නැහැ. පසුදා මුව වැද්දා පැමිණි විට මුවා කැමැති දිසාවකින් පැන දුවනවා. ඒ මුවා විපතට පත්වූණේ් නැහැ. මුවාට පාඩුවක් සිදුවූයේ නැහැ.
මේ ආකාරයට පි‍්‍රය ස්වභාවය පවතින ගේ දොර, ඉඩකඩම, හරකබාන, ස්වාමිපුරුෂයා, බිරිඳ, මව, පියා. දුවාදරුවන්, දැසි දස්සන් ආදී පි‍්‍රය වස්තුන් සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තමාගේ සන්තකයට හෝ තමා වෙත ළංකර ගන්නවා. නමුත් මොහු මේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින කාම ගුණයන්ට ගිජුනොවී ඒ ගැන සිහි විකල් නොකරගෙන එහි ඇති ආස්වාදයෙහි බැස නොගෙන ඒවාහි ආදීනව දකිමින් නිදහස් වීමේ ප්‍රඥාවක් ඇතිව එම අරමුණු රස විඳින්නට පටන් ගනී. එය හරියට මුවා උගුලේ හසු නොවී තණකොළ කනවා වගේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා සේක.
එනිසා පි‍්‍රය දේ නිසා දුක් හටගන්නා මේ ලෝකය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලබමින් හට ගන්නා වූ දුක් දොම්නස් සුසුම් හෙලීම්වලින් නිදහස්වීමට උත්සාහ කිරීමට නම් අප තථාගතයන් වහන්සේ සරණ යන්නට ඕන. ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයත්, ශ්‍රාවක සංඝ රත්නය පිළිබඳවත් පැහැදීම ඇතිකර ගනිමින් සරණ යාම අවශ්‍යයි. මේ උතුම් තිසරණය තුළ පිහිටා පි‍්‍රය, අපි‍්‍රය දේ අවබෝධ කරගෙන දුක් දොම්නස් සුසුම් හෙළීම් පිරි සසරින් නිදහස් වීමට උත්සුක වෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤