දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ජරාවෙන් හා මරණයෙන් නොමිදෙන්නෝ

කෝට්ටේ කොටුබැම්ම පාරේ 
ශ්‍රී සුනේත්‍රාරාමාධිපති 
කොළඹ කළුතර දෙදිසාවේ 
ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති 
ඇලිකේවෙල සීලානන්ද නා හිමි

" වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි."
කෙලෙස්වලින් මිදුණු සිත් ඇත්තෝ නිවන් පසක් කළෝ වෙති. ඒ විමුක්තිය සඳහා අනුගමනය කළ යුතු ධර්මයෝ මෙන්ම පහ කළ යුතු ධර්මයෝද වෙති. ඒ පහ කළ යුතු ධර්මයන් මෙන්ම අනුගමනය කළ යුතු ධර්මයන් පිළිබඳ තථාගත බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආකංක වග්ගයේ තයෝ ධම්ම සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත. “තයෝ මේ භික්ඛවේ ධම්මා ලෝකේ න සංවජ්ජේය්‍යුං න තථාගතෝ ලොකෝ උප්පජ්ජෙය්‍ය, අරහං සම්මා සම්බුද්ධෝ, න තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ, ලෝකේ දිප්පෙය්‍ය, කථමෝ තයෝ, ජාතිච, ජරාව, මරණඤ්ච” මහණෙනි මේ ධර්ම තුනක් ලෝකයෙහි විද්‍යමාන නොවේ නම් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදිති.
තථාගත ප්‍රවිදිත ධර්ම විනය ලොව දිප්ත නොවන්නේය. කවර තුනක්ද, යත් ජාතිය, ජරාව හා මරණයයි. මේ දහම් තුන ලොව යම්තාක් පවතීද ඒ තාක් බුදුවරයන්ගේ ලොව පහළවීම සිදුවෙයි. ඒ තථාගත බුදුවරුන්ගේ පහළවීම නිසා නිර්මල ධර්ම විනය ලොව බබළයි යනු ඉහත පාඨයේ අරුතයි. මෙයින් පැහැදිලි කරන්නේ උපත සදාකාලික නම් එහි ජරාවක් හෝ මරණයක් ඇති නොවන බවයි. එවැනි උපත දුකක් නොව සැපතකි. ජරාවක් හෙවත් දිරීමක් නොමැති බැවින් එය සැපතකි. මරණය නොමැති වීමෙන් එය සැපතකි. එවැනි අයෙකුට උපතේ ආදීනව කියන්නට, ජරාවේ ආදීනව කියන්නට, මරණයේ ආදීනව කියන්නට කෙනෙකුගේ අවශ්‍යතාවයක් නැත. නමුදු ලෝක ස්වභාවය නම් නිවන් අවබෝධ වන තෙක් සත්ත්වයාගේ උපත සිදුවන බවයි. ඒ උපන් සත්ත්වයා ජරාවට පත්වෙන බවයි. මරණයට පත් වෙන බවයි. තථාගත බුදුවරුන්ගේ පහළ වීමෙන් සිදු කරන්නේ ජාතියට හේතු කියා දී ඒ හේතු නැති කිරීමෙන් ජාතිය නැති කරන ආකාරයයි. ඒ ජාතිය නැති කළ විට ජරාව, මරණයද නැති වේ.
එය තවදුරටත් පැහැදිලි කරමින් මහණෙනි, ධර්ම කරුණු තුනක් ප්‍රහාණය නොකරනතාක් ජාතියෙන් මිදීමක් ජරාවෙන් මිදීමක්, මරණයෙන් මිදීමක් කිසි කලෙක සිදු නොවෙයි. ඒ ජාතියෙන් මිදීමට නම් ජරාවෙන් මිදීමට නම් මරණයෙන් මිදීමට නම් රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය .මේවා ප්‍රහීණ නොකරන තාක් ජාතියෙන් මිදීමක් නැත. ජරාවෙන් මිදීමක් නැත. මෝහයෙන් මිදීමක් නැත.
ස්කන්ධයන්ගේ පහළවීම,ඇතිවීම හට ගැනීම භවයෙහි උපත ලැබීම, ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ උත්පාද ලක්ෂණය ආදිය මෙයින් අදහස් කරයි. ජරාව යනු දත් වැටීම්, කෙස් පැසීම් ආදි වශයෙන් සම්මත වු සන්තතියෙහි හෙවත් රූපාරූප ධර්ම පරම්පරාවෙහි එක් භවයක ඇතුළත් ස්කන්ධයන්ගේ පුරාණ බවයි.
මරණය යනු කර්මයෙන් උපන් රූපාදී ස්කන්ධ පහළ වී මෝරා අවසානයේ නැති වී යාමයි. එබැවින් ජාතියෙන් මිදීමට ජරාවෙන් මිදීමට , මරණයෙන් මිදීමට රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය . මේ ධර්ම තුන ප්‍රහීණ නොකරතාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව හා සීලබ්බත පරාමාසයයි. රූපාදී පඤ්චස්කන්ධයෙහි මමය මාගේය ආත්මීය වශයෙන් ගැනීම සක්කාය දිට්ඨියයි. සැකය හෙවත් කුකුස හේතු කොට ඇතිවන නිර්මාණ බාධකයද, බුද්ධාදී අට තැනෙක්හි ඇති කරගන්නා සැකය හේතුකොට ගත් නීවරණය විචිකිච්ඡාවයි. සසර දුකින් මිදෙනු පිණිස ගන්නා වැරදි මාර්ගවූ ගෝසිල ගෝ වෘත ආදිය සීලබ්බත පරාමාස නම් වේ.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒවා නම් අයෝනිසෝ මනසිකාරය, කුම්මග්ග සේවනය, හා සිතේ අලසකමයි. අයෝනිසෝ මනසිකාරය යනු නුනුවණින් මෙනෙහි කිරීමයි. යම් කරුණක් ආරම්භයේ සිට අවබෝධ කර නොගැනීමයි. වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි. මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ආර්යන් වහන්සේලා දැකීමට ඇති අකැමත්ත, ඒ ආර්යයන් වහන්සේලා දේශනා කරන ලද ධර්මය ඇසීමට ඇති අකැමත්ත හා දෝෂාරෝපණයට ලැදිවීමයි. මේ කියන ධර්ම තුන ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ධර්ම තුනක් වැඩෙයි. ඒ ධර්ම තුන නම් උද්ධච්චය, අසංවර භාවය හා දුස්සීල භාවයයි.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ශ්‍රද්ධාවෙන් තොරවීම, මෛත්‍රිය හා කරුණාවෙන් තොරවීමයි. අලස කමින් යුක්ත වීමයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් අන් අයට ගරු නොකිරීම,අකීකරුකම, පාප මිත්‍ර සේවනය වැඩෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ගරු කිරීම, කීකරුකම, කල්‍යාණ මිත්‍ර සේවනය ඇති නොවෙයි. ඒවා ඇති නොවු විට ඔහු තුළ අහිරිය,අනොත්තප්පය, හා ප්‍රමාදය ඇති වෙයි.එවිට ඔහු තුළ පවට ලජ්ජාව, බිය හා අප්‍රමාදී බව නැති වෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු ජාති, ජරා, මරණය කරාම ගමන් කරයි.
එබැවින් හෙතෙම හිරි ඔතප් හා අප්‍රමාදී බවින් කටයුතු කරන්නෙකු විය යුතුය. එසේ වූ විට අගෞරවය පහවී ගෞරවය ඔහු තුළ උපදියි. අකීකරුකම පහවී කීකරුකම ඇති වෙයි. පාප මිත්‍ර සේවනය පහකළ විට කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇසුරට පි‍්‍රය කරන්නෙක් වෙයි. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා ඔහු තුළ අසද්ධාව ප්‍රහීණය වී සද්ධාව පහළවෙයි. සද්ධාව පහළවන විට මෛත්‍රිය හා කරුණාව උපදියි.අලසකම ප්‍රහීණය වී ආරද්ධ වීර්ය ඇතිවෙයි. ආරද්ධ වීර්ය හෙවත් නොපසුබට උත්සාහය නිසා සිතේ ඇති නොසන්සුන්කම වෙනුවට සන්සුන්කම පහළ වෙයි.
සිතේ සන්සුන්කම වැඩෙන විට අසංවරය වෙනුවට සංවරය පහළ වෙයි. සංවර බව වැඩෙන විට දුසිල්බව ප්‍රහීණය වී සිල්වත් බව වැඩෙයි. සිල්වත් බව ඇතිවෙන විට ආර්යයන් වහන්සේලා හමුවීමේ කැමැත්ත පහළ වෙයි. ආර්යයන් වහන්සේලා දැකීමේ කැමැත්ත වැඩෙන විට ඒ ආර්යයන් වහන්සේලාගේ දහම ඇසීමට පි‍්‍රය කරයි. ආර්යයන් වහන්සේලාගේ දහම අසන විට දෝෂාරෝපණයට ඇති කැමැත්ත පහවී මුලාවූ සිහිය වෙනුවට සම්මා සතිය වැඩෙයි. සම්මා සතිය පහළවීමත් සමඟම ප්‍රඥාව හෙවත් නුවණ ඇති කෙනෙක් බවට පත්වෙයි. ප්‍රඥාව කරණකොට ගෙන සිතේ විසිරෙන ස්වභාවය වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය හෙවත් සිත එක අරමුණක තබා ගැනීමට හැකිවෙයි.
චිත්ත ඒකග්‍රතාවයෙන් යුත් සිතට අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය පහළ වෙයි. ඒ යෝනිසෝ මනසිකාරය හේතු කොට ගෙන නිවැරදි මග හෙවත් සම්මා දිට්ඨියට පිවිසෙයි.
නිවැරදි මගට පිවිසීම නිසා සිතේ විවෘත භාවය ඇතිවෙයි. සිතේ විවෘත භාවය කරණකොට ගෙන මමය මාගේය යන ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය ප්‍රහීණය වෙයි.
සැකය හෙවත් විචිකිච්ඡාව ප්‍රහීණය වෙයි. සීලබ්බත පරාමාස ප්‍රහීණය වෙයි. එසේවූ සිතට රාගය සහමුලින් පහ කළ හැකිය . ද්වේශය සහමුලින් පහ කළ හැකිය. මෝහය සහමුලින් පහ කළ හැකිය. ඒ රාගය පහ කළ දෝෂය පහ කළ මෝහය පහ කළ තැනැත්තාට ජාතිය ප්‍රහීණය කළ හැකිය.
ජරාව ප්‍රහීණය කළ හැකිය. මරණය ප්‍රහීණය කළ හැකිය. ඒ ජාතිය ජරාව, මරණය ප්‍රහීණය කිරීම යනු නිවන් අවබෝධ කරගත් අයෙක් බවට පත්වීමය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤