දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත

ධර්ම දේශකයන් වහන්සේලා සිය ධර්ම දේශනාව ආරම්භයේ දී "ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ පින්වතුනි" යනුවෙන් සඳහන් කරනු ඔබ බොහෝ විට අසා ඇත. මෙසේ සඳහන් කරන ශ්‍රද්ධාව යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද යන්න ගැන සෑම බෞද්ධයකු විසින් ම පැහැදිළි අවබෝධයක්‌ ලබා තිබීම වැදගත් ය.
සප්ත ආර්ය ධනය සඳහන් කරන තැන්වල දී "ශ්‍රද්ධාව" බෞද්ධයා තුළ තිබිය යුතු ධනය ලෙස සඳහන් කර ඇත. එසේම පංච ඉන්ද්‍රීය අතරින් පළමුවැන්න, ශ්‍රද්ධාව ලෙස දැක්‌වීමෙනුත් එසේම පංචබල අතුරින් පළමුවැන්න ශ්‍රද්ධා බලය ලෙස පෙන්වා දීමෙන් ශ්‍රද්ධාවට මෙතරම් ප්‍රමුඛ ස්‌ථානයක්‌ දීමෙන් ම බෞද්ධයාට එහි වැදගත්කම කියනු කිම, බුද්ධ, ධම්ම, සංඝ යන බුදු දහමේ දැක්‌වෙන ත්‍රිවිධ රත්නය විචිකිච්ඡාවෙන් හෙවත් සැකයකින් තොරව විශ්වාස කිරීමට සහ ප්‍රසාදයට ශ්‍රද්ධාව මුල් වේ. විචිකිච්ඡාව නිවන් දොර ආවරණය කරන ධර්ම පහෙන් එකක්‌ වන අතර, සසර බැඳ තබන බැමි 10 න් එකක්‌ ද වන බැවින් බලවත් අකුසලයක්‌ වේ. ඒ නිසා මේ විචිකිච්ඡාව මුළුමනින් ම සිතින් ඉවත් නොකළහොත් සෝවාන් ආර්ය තත්ත්වයට පත් නොවේ.
ශ්‍රද්ධාව යන වචනය මඡ්Cධිම නිකායේ ගැටපද විවරණයේ පැහැදිළි කර ඇත්තේ මෙසේය. "බුද්ධාදී ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත්හි ඇතිවන පැහැදීම හා එහි ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතරින් ප්‍රධාන වශයෙන් අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධාව නමි. ශ්‍රද්ධාව පහළවත්ම සිත පහන් වේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනේ ප්‍රයෝජන සලසා ගත නොහැකිය. පළමුකොට බුදුසසුනට ඇතුළු වන්නේ, ශ්‍රාවකයකු වන්නේ ශ්‍රද්ධාවෙනි".
ශ්‍රද්ධාව යනු භක්‌තිය නොවේ. එය චල හා අචල වශයෙන් කොටස්‌ කරනුයේ වරින් වර වෙනස්‌ වන්නා වූ සහ වෙනස්‌ නොවන්නා වූ වශයෙනි. අප සෝවාන් තත්ත්වයට පත්වන තෙක්‌ අප තුළ පවතින ශ්‍රද්ධාව චල හෙවත් වෙනස්‌ වේ. එය ලෞකික ශ්‍රද්ධාවයි. අප තුළ මුලින්ම ඇති වන මේ චල හෙවත් සෙලවෙන ශ්‍රද්ධාව තිර හෙවත් අචල තත්ත්වයට පත්වන තෙක්‌ ආරක්‍ෂා කර ගත යුතු වේ.
සියලුම ආමිස පූජාවලදී ද, සියලුම ප්‍රතිපත්ති පූජාවලදී ද ශ්‍රද්ධාව තිබිය යුතුම ය. සෑම වෑංජනයකටම ලුණු අවශ්‍ය වන්නා සේ සෑම පුණ්‍ය කටයුත්තක දීම ශ්‍රද්ධාව මුල් තැන ගනී. ශ්‍රද්ධාව ශෝභන චෛතසිකයකි. එය කුසල් සිත් හි යෙදෙන විට අරමුණෙහි සිත පහදවයි. සතුට සොම්නස ඇතිවේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනින් ප්‍රයෝජන ලබාගත නොහැකි වන්නේ, ශ්‍රද්ධාවෙන් තොරව කරන කිසිම කුසල කර්මයක්‌ කුසල විපාක දීමට සමත් නොවන බැවිනි. එහෙයින් බුදු දහමට අනුව වත් පිළිවෙත් පිරීම ශ්‍රද්ධාව පෙරමුණු කොටම ඇති විය යුත්තකි. ශ්‍රද්ධාවෙන් යුතු බෞද්ධයා ත්‍රිවිධරත්නය කෙරෙහි අහිතක්‌, ද්වේශයක්‌, මිථ්‍යාදෘෂ්ටියක්‌, සැකයක්‌, අවිශ්වාසයක්‌ ඇති කර නොගනී.
ඒ ඒ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥ යන ශ්‍රේෂ්ඨ ගුණාංග කොතරම් දුරට මෝරා තිබේ ද යන්න දැන ගන්නා ඥනයක්‌ තථාගතයන් වහන්සේට විය. එම ඥනයෙන් බලා උචිත දහම් දෙසූ සේක. වරක්‌ සුරම්භට්‌ට නම් ගොවියෙක්‌ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ තිසරණගතව සෝවාන් වී ආපසු ගිය විට ඔහු පරීක්‍ෂා කරනු සඳහා මාරයා බුදුරදුන්ගේ වෙසක්‌ මවාගෙන සුරම්භට්‌ටගේ නිවස ළඟට පැමිණ තමන්වහන්සේ මීට ප්‍රථම දේශනා කළ ධර්මය අසත්‍ය බව කීවේ ය. එහෙත් තමා සෝවාන් තත්ත්වයට පත්ව සිටි බැවින් මේ නියම බුදුරජාණන් වහන්සේ විය නොහැකි යෑයි මාරයාට පිටුපා සිටියේ ය. මාරයා ලඡ්ජා වී ආපසු ගියේ ය. ඒ අචල ශ්‍රද්ධාව නිසා ය.

"බුදුරජාණන්වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කර ගතහොත් සෝවාන් වෙයි" යනුවෙන් සංයුක්‌ත නිකායේ සහස්‌ස සූත්‍රයේ වදාරා ඇත.

සද්ධා යන වචනය මඡ්ධිම නිකායේ පැහැදිලි කර ඇත්තේ මෙසේ ය. "බුද්ධාදී ත්‍රිවිධ රත්නය කෙරෙහි පවත්නා ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතරින් ප්‍රධාන වශයෙන් අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධා නම් වෙයි. "ශ්‍රද්ධාව පහළවත් ම සිත පහන් වේ. ශ්‍රද්ධාව නොමැති ව බුදු සසුනින් ප්‍රයෝජන සලසා ගත නොහැකිය. පළමුකොට බුදුසසුනට ඇතුළු වන්නේත් ශ්‍රාවකයෙකු වන්නේත් ශ්‍රද්ධාවෙනි".
ශ්‍රද්ධාව කෙතරම් බලවත් ඉන්ද්‍රියයක්‌ ද යනු එයින් ම පැහැදිළි වන්නේ ය. සංයුක්‌ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්‌තයේ කසීභාරද්වාජ සූත්‍රයේ මෙසේ වදාරා ඇත. "ශ්‍රද්ධාව බීජයයි. තපස වැස්‌සයි. මාගේ වියදණ්‌ඩ හා නගුල නුවණයි. ලඡ්ජාව නගු ලිසය. සිත කෙතයි, සතිය හෙවත් සිහිය මගේ හී වැල හා කෙවිට යි." ශ්‍රද්ධාව බීජය යනුවෙන් දේශනා කීරීමෙන් පෙන්වා ඇත්තේ ශ්‍රද්ධාව නමැති බීජය නරක්‌ වුවහොත් කෙතරම් මහන්සි වී කෙත සකස්‌ කර වැපිරුව ද එයින් ඵලක්‌ නොවන බව පැහැදිළි කිරීම සඳහා යි.
ආලවක යක්‍ෂයා දමනය කිරීම සඳහා ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ යෑයි වදාළ සේක. තවද එම සූත්‍රයේම ගිහිගෙයි වෙසෙනා යමෙකුට සත්‍යයත්, ධර්මයත්, දැක්‌මත්, ත්‍යාගයත් යන මේ ධර්ම සතර තිබේ නම් හෙතෙම පරලොවට පැමිණ ඒකාන්තයෙන් ම ශෝක නොකරයි යනුවෙන් වදාළහ.
බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්‌ දෙවියෙක්‌ ශ්‍රද්ධාව, ශීලය, සිහිය, ත්‍යාගය, ප්‍රඥව සහිත වූ නිසා මරණින් මතු තමා තව්තිසා දෙව්ලොව උපන් බවත් අනෙකුත් දෙවියන්ට වඩා බලසම්පන්න වූ සිරුරක්‌ ඇතිව උපන් බවත්, අනෙක්‌ දෙවිවරු ඔහුට නින්දා කළ බවත් ප්‍රකාශ කළහ.
අනෙක්‌ දෙවිවරු ඇමතූ සක්‌දෙවි රජු මොහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල වූ, මැනවින් පිහිටියා වූ ශ්‍රද්ධාව නිසා මෙසේ බැබළෙන බවත් ප්‍රකාශ කළ බව සංයුක්‌ත නිකායේ දලිද්ද සූත්‍රයේ දැක්‌වේ. ප්‍රඥවන්තයා බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද, ධර්මය දැකීම ද සිහිකරන්නේ අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ යෑයි එම සූත්‍රයේ තවදුරටත් පෙන්වා දෙයි.
මේ දේශනා අනුව පැහැදිලි වන්නේ අනෙක්‌ සෑම ඉන්ද්‍රිය භාවනාවකටම ප්‍රධාන කොට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවයි.
ශ්‍රද්ධාව ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. ඒ ඔවුන්ට ධර්මය අවබෝධ වන ප්‍රමාණය අනුවයි. සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්ම විස්‌තර කරන රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ මෙසේ පැහැදිළි කරති.
"බුද්ධා දී රත්නත්‍රයෙහි ගුණයක්‌ ගෙන භාවනා වශයෙන් එය මෙනෙහි කරන්නට වන් කල්හි, ඒ අරමුණ තමාගේ හිතට මිහිරි වේ නම් එහි සිත පිහිටුවාගෙන එය මෙනෙහි කරමින් සිටීම සිතට ආශ්වාදයක්‌ වේ නම්, ධ්‍යානයට සම වැදුණු කෙනෙකුට මෙන් කැමැතිතාක්‌ කල් එය මෙනෙහි කරමින් සිටිය හැකි වේ නම්, එයින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි දියුණු වේ. බුද්ධ ගුණය අවබෝධ නොවී භාවනා කිරීමෙන් ද ශ්‍රද්ධා ඉන්ද්‍රිය නොවැඩේ.
එම ග්‍රන්ථයේම "ලෝභා දී කෙළෙසුන්ට නොසෙල්විය හැකි පමණට කෙළෙස්‌ පැරදවිය හැකි නැසිය හැකි පමණ ශක්‌තිමත් වූ ශ්‍රද්ධාව ශ්‍රද්ධා බලයයි."
"ශ්‍රද්ධාව මඳ තැනැත්තාට හෙවත් දුබල ශ්‍රද්ධාවක්‌ ඇති තැනැත්තාට යෝග කර්ම අප්‍රිය දෙයකි. ඔහුට එහි ආශ්වාදයක්‌ ප්‍රීතියක්‌ නැත, එබැවින් යෝග ක්‍රියාව ජයගත්තේ ද, ඔහුගේ සිත එහි නොපිහිටා වෙනත් දැ දෙසට නැවත හැරෙන්නේය. සිතට යෝග කර්ම ප්‍රියවීමට යෝග කර්මයන්ගෙන්, ආශ්වාදයක්‌ ප්‍රීතියක්‌ ලැබිය හැකි වීමට බලවත් ශ්‍රද්ධාවක්‌ තිබිය යුතු ය".

ශ්‍රද්ධාව චෛතසිකයකි. යෝග කර්ම වලින් ප්‍රතිඵල ලැබීමට සිත ශ්‍රද්ධාවේ පිහිටුවා ගත යුතු ය.

"මහණෙනි, මෙලොවෙහි විද්‍යමාන වූ පුද්ගලයෝ සත් දෙනෙක්‌ ඇත. කවර සත් දෙනෙක්‌ ද යත්, උභතොභාග විමුක්‌ත, පඤ්ඤා විමුක්‌ත, කායසක්‌‚, දිට්‌ඨප්පත්ත, සද්ධා විමුක්‌ත, ධම්මානුසාරී, සද්ධානුසාරී යන සත්දෙනා ය".
මෙහි එන සද්ධා විමුක්‌ත පුද්ගලයා තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව බැසගත් මුල් ඇතිව සිටී. ඔහු අප්‍රමාදව කටයුතු කළහොත් මේ ආත්මයේ දීම නිවන අවබෝධ වන්නේයි කට්‌ටගිරි සූත්‍රයේ දේශනා කර ඇත.
ඉහත සඳහන් පුද්ගලයන් සත්දෙනා අතුරින් සද්ධා විමුක්‌ත, කාය සක්‌‚ හා දිට්‌ඨප්පත්ත යන තිදෙනාගෙන් ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව පමණක්‌ පැහැදිලි අවබෝධයක්‌ ලබා ගැනීම අවශ්‍ය ය. සද්ධා විමුක්‌ති පුද්ගලයා ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිමාත්‍රකොට වැඩූ පුද්ගලයා ය. කාය සක්‌‚ පුද්ගලයා සමාධි ඉන්ද්‍රිය අධිමාත්‍ර කොට වැඩූ පුද්ගලයාය. දිට්‌ඨප්පත්ත පුද්ගලයා ප්‍රඥ ඉන්ද්‍රිය අධිමාත්‍රකොට වැඩූ පුද්ගලයාය.

ශ්‍රද්ධාවේ වටිනාකම පැහැදිළි කිරීමක්‌ පහත දැක්‌වෙයි.

සැරියුත් තෙරණුවෝත්, මහා කොට්‌ඨිත තෙරණුවෝත්, සවිට්‌ඨ තෙරණුවෝත් අතර ඇති වූ සාකච්ඡාවේදී සැරියුත් තෙරණුවන්ගේ අදහස වූයේ ප්‍රඥ ඉන්ද්‍රිය අධිකව වැඩූ දිට්‌ඨප්පත්ත පුද්ගලයා වඩා උසස්‌ බවයි. මහා කොට්‌ඨිත තෙරණුවන්ගේ අදහස වූයේ සමාධි ඉන්ද්‍රිය ප්‍රමුඛව වඩන කාය සක්‌‚ පුද්ගලයා වඩා උසස්‌ බවයි. සවිට්‌ඨ තෙරණුවන්ගේ අදහස වූයේ සද්ධා ඉන්ද්‍රියට ප්‍රමුඛ ස්‌ථානයක්‌ දුන් ශ්‍රද්ධා විමුක්‌ත පුද්ගලයා උසස්‌ බවයි.
මේ පිළිතුරු එකිනෙක වෙනස්‌ වූයෙන් සැරියුත් තෙරණුවන්ගේ අදහස අනුව මේ පිළිබඳ පැහැදිලි කිරීමක්‌ ලබා ගැනීම සඳහා තථාගතයන් වහන්සේ වෙතින් විමසූහ. උන්වහන්සේ මේ තිදෙනා අතුරින් කවරෙකු ශ්‍රේෂ්ඨ ද යන්න තීරණය කිරීම අපහසු බවත්, ඔවුන් තුළ පවතින ශ්‍රේෂ්ඨ ලක්‍ෂණ පිළිබඳවත් පැහැදිලි කළ සේක.

1. කාය සක්‌‚ හා දිට්‌ඨප්පත්ත යන පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්‌ථාවේ සිටියදී සද්ධා විමුක්‌ති පුද්ගලයා රහත් මඟට පිවිසෙන්නේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වේ. සද්ධා විමුක්‌ති හා දිට්‌ඨප්පත්ත පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්‌ථාවේ සිටිය දී කාය සක්‌‚ පුද්ගලයා රහත් මගට පිවිසියේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වන්නේ ය.

2. සද්ධා විමුක්‌ත හෝ කාය සක්‌‚ පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්‌ථාවේ දී සිටිය දී දිට්‌ඨප්පත්ත පුද්ගලයා රහත් මඟට පිවිසෙන්නේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වන්නේ ය.

මෙහිදී වැදගත් කරුණු කීපයක්‌ අපට දක්‌නට ලැබේ. එනම්, ශ්‍රද්ධාවත්, සමාධියත්, ප්‍රඥවත් නිවන් මඟට අත්‍යවශ්‍ය බවයි. ඒ අනුවද ශ්‍රද්ධාව නිවනට පිවිසීමට ප්‍රධාන සාධකයක්‌ වන බවයි.
නිවන් අවබෝධ කරනු කැමැත්තා විසින් පළමුවෙන්ම ඇතිකර ගත යුත්තේ ශ්‍රද්ධාවයි. කුමක්‌ කෙරෙහි ශ්‍රද්ධාවද, බුද්ධ ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවයි. නව අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධාවය. ශ්‍රද්ධාව පහළ වෙත්ම බුද්ධාදි අට තැනක ඇතිවෙන්නා වූ සැකය දුරු වන්නේ ශ්‍රද්ධාවෙනි. ඒ නිසා ශ්‍රද්ධාව ප්‍රථම අංකයයි, සප්ත ආර්ය ධනය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව එහි මුල්ම අංගය වශයෙන් වදාරා ඇත්තේ මේ නිසාය. අප තුළ පවත්නා ශ්‍රද්ධාව හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් කොටස්‌ තුනකට බෙදා දක්‌වා ඇත.
හීන ශ්‍රද්ධාව වහා ඇති වී නැති වී යන්නේ ය. ස්‌ථිර බවක්‌ නැත. එහෙත් මධ්‍යම ශ්‍රද්ධාව ඊට වඩා ප්‍රබලයි. නමුත් සිතේ අර්ජණා සමාධිය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. ප්‍රනීත ශ්‍රද්ධාව ලත් පුද්ගලයා තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවන්නා වූ චිත්ත ප්‍රීතිය භුක්‌ති විඳ එය නැවත නැවතත් උපදවාගනු සඳහා ශ්‍රද්ධාව වැඩිකර ගනී. ශ්‍රද්ධාව වැඩිවන ආකාරයේ පුණ්‍ය කටයුතු වල යෙදෙයි. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ සිහි කරයි. ඔහු අර්ජණා සමාධිය වහා ලබයි.

ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන් කොටස්‌ හතරකට බෙදේ.

ආගමන ශ්‍රද්ධා, අධිගමන ශ්‍රද්ධා, ඔකප්පන ශ්‍රද්ධා, ප්‍රසාද ශ්‍රද්ධා එකොළොස්‌ ආකාරයකට ශ්‍රද්ධා ප්‍රදානය බෙදා හඳුන්වා ඇත.

1. සිල්වත් වීම සමාදන් වූ ශික්‍ෂාපදයන්හි හික්‌මීමම, රැකීම, ශ්‍රද්ධා පදානයයි.

2. බහුශ්‍රැත වේ නම්, ප්‍රඥයෙන් සුප්‍රතිබද්ධ වේ නම් ශ්‍රද්ධායෙන් ශ්‍රද්ධාපදාන වෙයි.

3. කල්‍යාණ මිත්‍ර සේවනයෙන් ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

4. ධර්මානු ශාසනාව ප්‍රදක්‍ෂිණයෙන් ගෙන කීකරු වීම ශ්‍රද්ධාපදාන වෙයි.

5. සබ්බරුන්ගේ අවවාද අනුශාසනා අසන එහි අනලස්‌ව යෙදෙන ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාපදාන වෙයි.

6. ධර්මයට ඇත්තේ අභිධර්මයෙහි අභිවිනය ඇත්තේ උදාර ප්‍රමෝදය ඇත්තේ ශ්‍රද්ධාපදාන වෙයි.

7. අකුසල ප්‍රහානයටත් කුසල වර්ධනයටත් වීරිය වඩන්නේ ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

8. නිදුකින් අධිචිත්ත වූ ධ්‍යාන 4 ලබා කැමැති පරිදි වාසය කෙරේද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

9. ධ්‍යාන ලබා පූර්වයෙහි විසූ කඳ පිළිවෙළ සිහි කරයිද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

10. දිවැස්‌ ලබා චුති උත්පත්ති බැලීමට සමත්වේද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

11. ආශ්‍රව ක්‍ෂය චෙතොවිමුක්‌ති පඤ්ඤා විමුක්‌ති මේ ආත්මයෙහි ඵල ලබාද ශ්‍රද්ධායාගේ ශ්‍රද්ධාපදාන වෙයි. (අ.නි. සුභූති සූත්‍රය) ආගමන ශ්‍රද්ධාව සර්වඥ, බෝධිසත්ත්වවරුන්ගේ පාරමිතා පිරීම පටන් ගත් බැවින් ආගමන ශ්‍රද්ධා නම්,

අධිගමන ශ්‍රද්ධාව - ආරිය ශ්‍රාවකයන් ප්‍රතිවේධයෙන් පැමිණි බැවින් ඔවුන්ගේ ශ්‍රද්ධාව අධිගමන ශ්‍රද්ධා නම්
ඔකප්පන ශ්‍රද්ධාව - බුදුන්, දහම්, සඟුන් කෙරෙහි ප්‍රසාදය ශ්‍රද්ධා - ප්‍රසාදයට හේතුවන බැවින් ප්‍රසාද ශ්‍රද්ධා නම්,
ආකාරවතී ශ්‍රද්ධා - පෘථග්ජනයා තුළ ඇති සැලෙන ශ්‍රද්ධාවයි.
අචල ප්‍රසාදය - නොසැලෙන, නොවෙනස්‌වන, පැහැදීම මෙබඳු ශ්‍රද්ධාවක්‌ ඇතිවනුයේ මාර්ගඵල ලාභීන්ට පමණි.
මාර්ග සිත්වල යෙදෙන ශ්‍රද්ධා චෛතසික නිවන් අරමුණෙහි සිත පහදවන නිසා ලෝකෝත්තරයි. එය කිසිදු හේතුවක්‌ නිසා නොසෙල් වේ.
අමූලිකා ශ්‍රද්ධා - ශාස්‌තෲන්වහන්සේට ඇති ගෞරවය නිසා ඇතිකර ගන්නා භක්‌තිය පෙරදැරි කරගත් ශ්‍රද්ධාව හඳුන්වනු ලබන්නේ අමූලික ශ්‍රද්ධා නමිනි. එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්‌ වී ඇත.
නිවන අවබෝධ කරනු කැමැත්තා විසින් පළමුවෙන් ම ඇතිකර ගත යුත්තේ අපගේ ශාස්‌තෲවරයාණන් වන බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් උන්වහන්සේ දේශනා කළ ආර්ය ධර්ම කෙරෙහීත් මහා සංඝරත්නය කෙරෙහිත් ශ්‍රද්ධාව, විශ්වාසය, ප්‍රසාදය. අචල ප්‍රසාදයයි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවලදී පැහැදිළි කර ඇත.
ශ්‍රද්ධාවද චල හා අචල වශයෙන් කොටස්‌ දෙකකට වෙන් කෙරේ. චල ශ්‍රද්ධාව නම් වරින් වර වෙනස්‌වන ශ්‍රද්ධාවයි. උදා - දානයක්‌ දෙනවිට, මල් පහන් පුදන විට සිතේ ශ්‍රද්ධාව ඇතිවේ. නමුත් එහිදී ඇතිවන පැහැදීම එම පුණ්‍ය කර්මයෙන් පසුව සිතින් ඉවත්ව යයි. අචල ශ්‍රද්ධාව අවේච්ච ප්‍රසාදය එසේ නොවේ. එය නිවන් දක්‌නා තෙක්‌ සිතේ නොසෙල් වී පවතී. ඊට හේතුව තෙරුවන් ගුණ නුවණින් අවබෝධ වීමයි. ශ්‍රද්ධාව සිත තුළ පහළ වන රාග, ද්වේෂ, මෝහ ආදී කෙළෙස්‌ ඉවත්කොට සිත ප්‍රභාෂ්වර තත්ත්වයට පත්කර දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වන්හි යෙදීමට පොළඹවයි. මෙය ශෝභන චෛතසිකයකි. අචල ශ්‍රද්ධාව ඇත්තා ත්‍රිවිධ රත්නය කෙරෙහි කිසිවිටෙකත් සැක නොකරයි. අචල ශ්‍රද්ධාව පිළිබඳ උදාහරණයක්‌ දෙන බුදුරජාණන් වහන්සේ එය සතර දිගින් හමන සුළඟින් නොසෙල්වෙන ඉන්ද්‍ර ‚ලයක්‌ හා සමානයෑයි වදාළහ.
මේ දේශනා අනුව පැහැදිළි වන්නේ ආර්ය ශ්‍රාවකයා සම්මා සමාධිය අපේක්‍ෂා කරන්නේ නම් ඔහු මුලින්ම ශ්‍රද්ධාව නමැති බීජය වපුරාගත යුතු බවයි. බීජය නරක්‌ වුවහොත් පැළවීමක්‌ නොමැත්තා සේ ශ්‍රද්ධාව අචල නොවුවහොත් ඉන් ඉදිරියට කිසි ප්‍රතිඵලයක්‌ නොලැබෙන්නේ ය. මේ නිසා සත්තිස්‌ බෝධි පක්‍ෂික ධර්මවල ශ්‍රද්ධාව ඉන්ද්‍රීය ලෙස දේශනා කර ඇත්තේ ය. ලෞකික සම්මා දිට්‌ඨිය පැහැදිළි කරන තැන බුද්ධාදී අට තැනක ඇතිවන සැකය දුරු වීම සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය බව වදාරා ඇත.
ශ්‍රද්ධාව චෛතසිකයකි. යෝග කර්ම වලින් හාස්‌කම් භුක්‌ති විඳීමට නම් අචල ශ්‍රද්ධාව අවශ්‍යමය. ශ්‍රද්ධාවෙන් තොරව බුදු දහමේ උගන්වන බුද්ධිය හෙවත් ප්‍රඥව උපදවා ගත නොහැකිය. පංචඉන්ද්‍රිය, පංචබල හා බෝධි පාක්‍ෂික ධර්ම අතුරින් මුල්වන්නේ සද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බල යන ධර්මයි. විදර්ශනා ඥනය දියුණු වීම සඳහා ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු කර ගත යුතුය.
ශ්‍රද්ධාව, අකුශලයන්ගෙන් සිත පිරිසිදු කරන ශෝභන ධර්මයන් අතරෙන් පළමුවැනි ශෝභන ධර්මයයි. සිත පිරිසිදුව කුශලධර්මයන් උපදින්නේ ශ්‍රද්ධාව උපන් කල්හියි.
ශාසන ප්‍රතිපදාවෙහි මුල සීලයයි. සීලයට මුල ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නැත්තේ දුශ්ශීල වෙයි. ශ්‍රද්ධාව ඇත්තෝ සිල්වත් වෙයි. ගිහියා පන්සිල් නොරකින්නේ ශ්‍රද්ධාව නැති නිසා ය. ශ්‍රද්ධාව ඇති පුද්ගලයා සිල් රකියි. ශික්‍ෂාපද ආරක්‍ෂා කරයි (බුදු දහම හා සමාජය ආරියරත්න)
නිවන් අවබෝධ කරගනු කැමැත්තා විසින් පළමුවෙන් ඇතිකර ගත යුත්තේ ශ්‍රද්ධාවයි. කුමක්‌ කෙරෙහි ශ්‍රද්ධාවද බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවයි. නැතහොත් විශ්වාසයයි. පිළිගැනීමයි. එය සම්මා දිට්‌ඨිගත වීමට උපකාර වේ. එබැවිනි, ශ්‍රද්ධාව මුලින්ම ද ඊළඟට ශීලය ධනයක්‌ ලෙස සප්ත ආරිය ධන පිළිබඳ දේශනයේදී වදාරා ඇත්තේ,
බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙචා ප්‍රසාදය ඇතිකර ගත්තකු සෝවාන් වෙයි. යනුවෙන් සංයුක්‌ත නිකායේ දැක්‌වේ. බුදුරජාණන් වහන්සේද දැක ශ්‍රද්ධාව ඇති වූ බැවින් තමා රහත් වූ බව වංගීස තෙරුන්වහන්සේ ප්‍රකාශ කළහ. යම් ශ්‍රද්ධාවකින් ගිහි ගෙයින් නික්‌ම පැවිදි වී නින්දට වසඟ නොවී ඒ ශ්‍රද්ධාව වඩන්න, ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ. යමෙකුට තථාගතයන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචලව මැනවින් පිහිටියේද යමෙකුගේ ශීලය ආරියකාන්ත වූයේ පසස්‌නා ලද්දේද, රත්නත්‍රය කෙරෙහි පැහැදීම ඇද්ද, ඤාණ දර්ශනයෙන් සෘජු වූයේද ඔහු දිළින්දෙක්‌ නොවේ යෑයි බුද්ධාදී උතුමෝ කියති. එහෙයින් ප්‍රාඥ තෙමේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද ධර්මය දැකීමද අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේය.
බුද්ධරත්නය කෙරෙහි පවත්නා ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතුරින් ප්‍රධාන වශයෙන් නව අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධා නම් ශ්‍රද්ධාව පහළවත්ම සිත පහන් වේ. පිරිසිදු වේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනින් ප්‍රයෝජන ලබා ගත නොහැකි ය. පළමු කොට බුදු සසුනට ඇතුළු වන්නේ ශ්‍රද්ධාවෙනි. පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව පිළිබඳ සාථිමත්තිය රහතන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත.
"පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව අනිත්‍ය එකක්‌මයි. ඒ ශ්‍රද්ධාව මොහොතකින් වෙනස්‌ වෙනවා. මං ඒක හොඳට දැකල තියෙනවා. වෙලාවකට ඒ උදවිය පැහැදිලා සතුටු වෙනවා. තවත් වේලාවකදී අපැහැදිලිව කලකිරෙනවා" (ථෙර ගාථා 247)
උපාලි රහතන් වහන්සේ සිය උදාන ගාථාවන්හි මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. 'ගිහිගෙය අතහැරලා ශ්‍රද්ධාවෙන්ම ශාසනයට පැමිණි එම නවක භික්‍ෂුව පිරිසිදු ජීවිතයක්‌ ගෙවන්න ඕන. හොඳට ධර්ම විනය ඉගෙන ගන්ට ඕන. (ථෙර ගාථා 250)
ශ්‍රද්ධාව ඇතිවීම සඳහා උපකාර වන ධර්ම සත්‍යානුප්‍රාප්තියට කවර ධර්ම උපකාර වේද? මාර්ග ප්‍රදානය උපකාරීවේ මාර්ග ප්‍රදානයට කවර ධර්ම උපකාර වේද? කලාව බහුපකාරී වේ.

කලාවට උපකාර වන ධර්ම කවරේද? උත්සාහය උපකාර වේ.

උත්සාහයට උපකාර වන ධර්ම කවරේද? ඡන්දය උපකාර වේ.

ඡන්දයට උපකාර වන ධර්ම කවරේද? දහම් වැටහීම උපකාර වේ.

දහම් වැටහීමට උපකාර වන ධර්ම කවරේද? අනුන් විමසීම උපකාර වේ.

අනුන් විමසීමට උපකාර වන ධර්ම කවරේද? ධර්ම ධාරණය වේ.

ධර්ම ධාරණයට උපකාර වන ධර්ම කවරේද? ධර්ම ශ්‍රවණය උපකාර වේ.

ධර්ම ශ්‍රවණයට උපකාර වන ධර්ම කවරේද? කන් නතු කිරීම උපකාර වේ.

කන් නතු කිරීමට උපකාර වන ධර්ම කවරේද? ඇසුරු කිරීම උපකාර වේ.

ඇසුරු කිරීමට උපකාර වන ධර්ම කවරේද? පෙළඹවීම උපකාර වේ.

පෙළඹවීමට උපකාර වන ධර්ම කවරේද? ශ්‍රද්ධාව උපකාර වේ.

සත්පුරුෂයන් ශ්‍රද්ධාව උපකාර කරගෙන කලණ මිතුරන් සත් පුරුෂයන් ඇසුරු කෙරේ. අභි. ධ. ප්‍රදීපිකාව.

ශ්‍රද්ධාව ඇති වීමට
සීල සමාදන්ව ශික්‍ෂාපදවල හික්‌මීම, බහුශ්‍රැත වී නම් සුප්‍රතිවිද්ධ වීම, (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) කලණ මිතුරන් ඇතියේ කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වීම. සුවචභාවය ඇති කර ධර්මයන්ගෙන් සමන්වාගත වූයේ අනුශාසනාව පිළිගෙන සුවචයෙක්‌ වීම, කාර්යයන්හි අනලස්‌ව, සංවිධානය කිරීම දක්‍ෂ වූයෙක්‌ වීම.
අනගාරික සම්‍යක්‌ බ්‍රහ්මචාරී,
දයාසේන සේනාරත්න

මඟඵල ලැබිය යුතු නම් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව

වල්පොල ගෝතම හිමි

සත්‍යය යනු කිසිදු රටකට,සමාජයකට, ජාතියකට හෝ ආගමකට අයත් වන්නක් නොවේ. එය සැමට පොදු දෙයක්. බුදු දහමෙහි ඉගැන්වෙන චතුරාර්ය සත්‍යය ද බෞද්ධයන්ට පමණක් ආවේණික උරුම වූ දෙයක් නොවේ. එය සැමට පොදු ධර්මතාවක්. දුක, තණ්හාව, නිවන හා මධ්‍යම ප්‍රතිපදාව යන මේ කාරණා හතර දෙස විමසුමෙන් බැලීමට පිළිගැනීමට අවශ්‍ය වන්නේ නුවණ පමණ යි.
ඔබට මඟඵල ලැබිය යුතුනම් ඔබ සොයන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියා. එය දැනගන්න දැනගන්න ඔබට මේ ජීවිතය පිළිබඳව පවතින අවිද්‍යාවෙන් මිදෙන්න පුලුවන්. මේ නිවන් මඟේ මුලින් සොයන්න ඕන මොකක්ද කියා සිතෙනවානම් ඔබ සොයන්න සලායතන කියන්නේ මොකක්ද? නිවන් මඟට මුලින්ම කළයුත්තේ මොකක්ද?, ධාතු, පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද? කියා. ධර්මයට අනුකූලව දේශනා ඇසුරු කර මේ විද්‍යාව පහළ වන ආකාරයට ධර්මය තේරුම් ගන්න. මෙසේ ධර්මය තේරුම් ගනිද්දි ඔබ තුළ වැඩෙන්නේ සම්මාදිට්ඨිය යි. බුදුරජාණන් වහන්සේ වදාළා ඇස අනිත්‍යය බව යමෙකුට අවබෝධ වෙනවානම් ඔහුට තිබෙන්නේ සම්මා දිට්ඨිය යි. කන අනිත්‍ය බව අවබෝධ වෙනවානම් ඔහුට තිබෙන්නේ සම්මා දිට්ඨිය යි. ඒ ආකාරයට ආයතන, පංච උපාධානස්කන්ධය, ධාතු ගැන අවබෝධ වෙන්න වෙන්න ඔහුට සම්මා දිට්ඨිය වැඩෙනවා. සම්මා දිට්ඨිය වැඩෙන විට සක්කාය දිට්ඨිය නැතිවෙනවා. 
බුදුරජාණන් වහන්සේ ගද්දුලබද්ධ සූත්‍ර දේශනාවේදී උපමාවකින් වදාළා සක්කායදිට්ඨිය පිළිබඳව. කණුවකට බලු පැටියෙක් ගැට ගසා තිබෙනවා. මේ බලු පැටියා ගැටගසා තිබෙන තාක්, දම්වැලට බැඳී සිටින තාක් මේ බලු පැටියාට පෙනෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒ බලු පැටියා දකින්නේ ඒ බලුපැටියා ඇසුරු කරන්නේ ලගින්නේ සීමිත ප්‍රමාණයක. ඒ දම්වැල තිබෙන නිසයි ඒ සියලුම සීමා හැදී තිබෙන්නේ. දම්වැල කැඩුනානම් බල්ලාට සීමා රහිතව ඇවිදින්න පුලුවන්. සීමා රහිතව දේවල් දකින්න, සීමා රහිතව තමාට කැමැති තැනක ලගින්න පුලුවන්. එහෙනම් මේ සක්කාය දිට්ඨිය කියන්නේ දම්වැල වගේ දෙයක්. ඒ පැටියා වගේ මේ සසරේදී දම්වැලට බැඳිලා අප සීමා සහිතව පේන දේවල්වල ගැන, ඇසෙන දේ ගැන සීමා සහිතව හිතන්නේ. ඒ සීමා සහිතව හිතන නිසාමයි ඇලෙන්නේ ගැටෙන්නේ.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළට ආ ශ්‍රාවකයා මුලින්ම කරන්නේ සම්මාදිට්ඨිය ඇතිකර ගන්නා කාරණාම යි. මේ නිවන් මඟට මුල්වී තිබෙන්නේ සම්මාදිට්ඨිය යි. සම්මාදිට්ඨිය ඇතිවුණාට පස්සෙයි ඔහු සියල්ල කරන්න ඕන. උදාහරණයක් ලෙස සිතන්න, යම් කෙනෙක් නිවන අරමුණු කරගෙන භාවනා කරනවානම් ඔහු භාවනාව පටන් ගන්නට පෙර සම්මාදිට්ඨිය ඇතිකර ගන්නා ආකාරයට නුවණින් විමසලා මේ ධර්ම කරුණු කෙරෙහි අවබෝධයක් ඇතිකර ගන්න ඕන. පංචඋපාධානස්කන්ධය ආදී දේ පිළිබඳව නිවැරදිව අවබෝධයක් ඇතිකර ගෙන දෘෂ්ඨි පිරිසුදු කර ගැනීම තුළින් ඔහුට භාවනාව තුළින් වඩාත් සාර්ථක වෙන්න පුලුවන්. අප භාවනා කළා කියා සම්මාදිට්ඨිය ඇතිවෙලා නැත්නම්, සක්කායදිට්ඨිය නැතිවෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය මුල්වෙලා භාවනා කරනවිට ලොකු වෙනසක් තිබෙනවා. ආත්ම දෘෂ්ඨියක් ගොඩනැගෙන්නේ නැහැ. ඔබ හිතන්න, අසුභ භාවනාව ලෙස තමාගේ ශරීරයේ තිබෙන කෙස්, ලොම්, නිය, දත්, සම පිළිකුªල් පිළිකුල් කියා මෙනෙහි කරනවා. නමුත් සම්මාදිට්ඨිය වැඩුණු ශ්‍රාවකයා දන්නවා අසුභ වශයෙන් විමසන විට මේ කය ගැන දැනගන්නේ ආයතන වශයෙන් හට ගත්ත නිසා බව. මොහොතක් මොහොතක් පාසා මේ ඇස හටගන්නේ හේතුන් රාශියක් නිසා. මොහොතක් මොහොතක් පාසා කන හට ගන්නේ හේතු රාශියක් නිසා. මනස මුල් කරගෙනයි හැම තිස්සේම ඇස හට ගන්නේ. මනස මුල් කරගෙනයි කන, නාසය, දිව, කය ආදිය හට ගන්නේ. ඒ මනස මුල්කරගෙන හට ගන්නා ඇස තුළින් තමයි අප කය දකින්නේ.
ලෝකයේ දකින දේ ඕන තරම් තිබෙනවා. තමාගෙන් බාහිරව තිබෙන ඒ දකින දේ අතර හැම දෙයක්ම බාහිරින් දකින දේ. නමුත් තමා යැයි සලකන මේ කයේ තිබෙනවා අභ්‍යන්තරව දකින දේ. උදාහරණයකට – මම, මගේ අත දෙස බලනවිට මේ අත මට තමා යයි සලකන රූපයක්. තව කෙනෙකුගේ අතක් මගෙන් බාහිරව සලකන රූපයක් මට. මම තමා යැයි සලකන රූපයත්, තමාගෙන් බාහිරව සලකන රූපයත් දෙකම දැක්කේ ඇසින්. ඇසක් ඒ මොහොතේ හට ගත් නිසායි මම රූපය දැක්කේ. සමහර වෙලාවට මගේ අත ඇසට පේනවා. අත පේන තැනට මම වටාපතක් ළං කළොත් ඇස් දෙක ඉදිරියේ ඒ දෙකම තිබෙනවා. මේ ඇස අභියස අත හා වටාපත දෙකම තිබෙද්දී මම බලන්නේ වටාපත දෙස. එවිට මගේ මනස සම්පූර්ණයෙන්ම යොමු වන්නේ වටාපතට. එසේනම් ඇස හටගත්තේ වටාපත මුල්කරගෙනයි. වටාපත මුල්කරගෙන ඇස හට ගනිද්දී අත ගැන අදහසක් ආවේ නැහැ. නමුත් අත එතැනම තිබෙනවා. ඒත් අත දැනගත්තේ නැහැ. අත දැන ගත්තේ නැතුව අත ගැන අදහසක් මනසට ගියේ නැහැ. ඒ කුමක් නිසාද, අත මුල් කරගෙන ඇස හට ගත්තේ නැති නිසා. ඒ වෙලාවේදී අතත්, වටාපතත් දෙකම එකළඟ තිබුණට බාහිර දේට ඇසත්, මනසත් යොමුවුණා. අභ්‍යන්තරව තමා යැයි සලකන අතටවත් මනස යොමු වුණේ නැහැ. මේ කයේ කෙතරම් දකින දේ තිබුණත් තමන් යයි සලකන මේ කය දෙස කණ්ණාඩියකින් හෝ වේවා සාමාන්‍ය ස්වරූපයෙන් හෝ වේවා මගේ මේ ඇස, කන, නාසය, මගේ කෙස්, මගේ ලොම්, මගේ සම, මගේ දත් ලෙස මොන දේ දැක්කත් දකිනවානම් දැකිය යුත්තේ ඇසෙන්. ඇස හට ගත්තේ මනස මුල් වුණොත් පමණයි. එසේනම් කයට කලින් ඇස දැන ගත්තේ මනස නිසයි. මනස මුල්වෙලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මනස මුල්වෙලා ඇස හටගත්තොත් පමණයි පේන දේ මුල්වෙලා කය ගැන අදහසක් ගන්නේ. ඒ වගේම යි ඇසෙන දේත්. සම්මාදිට්ඨිය ඇතිවුණාම මෙය තේරුම් යනවා. කණත් සතරමහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරය ඇසට පෙනෙනවා වගේම කනට ඇසෙන ස්වභාවයකින් යුක්තයි. තමා යැයි සලකන කය මුල්කරගෙන මා කථා කරනවා. එවිට මේ කයෙන් ශබ්ද පිටවෙනවා. තව තව ආකාරයට මේ කයෙන් ශබ්ද පිටවෙනවා. අපට සමහර වෙලාවට මේ කයේ ඉක්කා ඈනුම් යනවා. වාතය උගුරෙන් පිටවෙනවා. වාතය පහළින් පිටවෙනකොටත් ශබ්දය පිට වෙනවා. සමහර විට බඩේ ආහාරය දිරවන විට ගුරු ගුරු වගේ බඩේ ශබ්ද ඇසෙනවා. ඒ හැම එකක්ම කය මුල්කරගත් ශබ්ද. කයේ ශබ්ද තිබුණත් ඒකත් දැනගන්නේ මනස මුල්වෙලා. කණ හට ගත්තොත් පමණයි තමාගේ කයේ ශබ්දත් හට ගන්නේ. අප හිතමු තමාගේ බඩේ ගුරු ගුරු කියා ශබ්දයක් හට ගන්නවා කියා. ඒ ශබ්දය ඇසෙන වෙලාවේ ඔහු තමා කැමැති ගායකයෙකුගේ සිංදුවක් අසමින් ඉන්නවා. සිංදුවට, ශබ්දයට සම්පූර්ණයෙන්ම මනස මුල්වෙලා තිබෙන්නේ. දැන් ඔහු දැනගන්නේ ඒ සිංදුවයි. තමන්ගේ කයේ ඇසෙන ශබ්දයවත් දැන ගත්තේ නැත්තේ මනස සම්පූර්ණයෙන් ගීතයට යොමුවෙලා නිසා. එසේනම් කය මුල්වෙලා තිබෙන ශබ්දයත් වුවත් දැන ගන්න මනස ඕනම යි. නාසයට දැනෙන ගඳ සුවඳ දැනගන්නත් නාසය මනස මුල්කරගෙන හට ගත්තොත් පමණයි. ඒ වෙලාවේ තමාගේ කයෙන් දැනෙන ගඳ සුවඳට වඩා බාහිරෙන් ප්‍රබල ගඳ සුවඳක් එනවානම් තමාගේ කයට මනස යොමුවෙන්නේ නැහැ. ඒ වෙලාවේ මනසට අරමුණු වන්නේ බාහිරරෙන් එන ගඳ සුවඳ. දිවට දැනෙන රස ගැන දැනගත්තේ ඔහු දැනගන්නේ මනස යොමුවෙලාම යි. කයට දැනෙන පහස දැන ගන්නෙත් මනස මුල්වෙලාම යි. ඔබ සිතන්න අප ඇවිදගෙන යනවා විශාල රස්නයක් තිබෙන පාරක. ඒ වෙලාවට අපට කය රස්නේ සහිත පොලොවේ අඩි තබා යනවිට දැඩි කටුක පහසක් දැනෙනවා. එය අප දැන ගන්නවා. ඒ සමඟම යම් සුළඟක් හමනවා. නමුත් කයට රස්නය දැනුන නිසා එයයි මනසේ වැඩ කරන්නේ. එවිට සුළඟ දැනගන්නේ නැහැ. තවත් පහසක් කයට දැනුනට මනස මුල්වෙන්නේ නැති නිසා එය දැන ගන්නේ නැහැ.
අපේ මනස කයේ පේන දේවලට යොමුවෙලා නැත්නම් කයේ පේන දේ ගැන, කයේ ඇසෙන දේ ගැන, කයේ දැනෙන දේ ගැන, කය ගැන හිතෙන දේ ගැන මනස යොමු වන්නේ නැහැ, මේ මනස මුල්වුණා කියන්නේ මොහොතක් මොහොතක් පාසා වෙනස්වන මනසේ තමයි සම්පූර්ණයෙන්ම කය ගැන ලෝකයක් ලෙස සකස් වී තිබෙන්නේ. නැත්නම් මේ කය සාමාන්‍ය රූප හා සමානවම සාමාන්‍ය සතරමහ ධාතු හා සමානවම පවතින දෙයක්. සම්මාදිට්ඨිය වැඩුණ ශ්‍රාවකයා දන්නවා ආයතන වශයෙන් මනස මුල්වෙලා ඇසක් හට ගත්තොත් තමා කය ගැන පේන්නේ. කනක් හට ගත්විටයි කන ගැන පෙනෙන්නේ. කය ගැන ඇසෙන්නේ. ආයතන වශයෙන් කය වුනත් හට ගන්නවා මනස මුල්වෙලා. එවිටයි අරමුණු ලෙස දැනගන්නේ. මෙසේ මනසින් දැනගන්න කය ඔහු ආත්මයක් ලෙස ගන්නේ නැහැ. . එය වටහා නොගෙන කොතරම් අසුභ භාවනාවක් ලෙස සිතන්න ගියත් එය ආත්මයක් ලෙස තමා යයි සලකන කයක් ගැනමයි අරමුණු කර ගන්නේ. තමා යැයි සලකන කය අසුභයි. ඒ කය පිළිකුල් කියන ආත්ම දෘෂ්ඨියට යනවා. එවිට ඒ අනවබෝධය කඩන්නනම් මා මේ කියපු අවබෝධය වැඩෙන ආකාරයට සම්මා දිට්ඨිය වැඩෙන ආකාරයට නුවණින් විමසන්න ඕන. සම්මා දිට්ඨිය වඩන්න කියා දෙන ධර්මය සොයන්න. සම්මාදිට්ටිය වැඩෙන ධර්මය සොය සොයා ධර්මය තේරුම් ගන්න උත්සහා ගන්න. එයයි බුද්ධ ශාසනය තුළ මුලින්ම කළයුත්තේ. එවිට සක්කායදිට්ඨිය නැතිවෙලා සම්මාදිට්ඨිය ඇතිවෙනවා.
එනිසා ඔබ බුදුරජාණන් වහ්නසේගේ ශාසනය තුළ කළයුත්තේ මූලික දේ ලෙස අවබෝධය වැඩෙන එකට මූලික තැන දෙන්න. එසේ නැතිව මුලින්ම තණ්හාව නැති කරන්න මහන්සි ගත යුතු නැහැ. එය ඉබේ සිදුවෙනවා. එසේ සිදුවන්නේ අවබෝධය ඇතිකර ගත්තට පස්සේ. ඔබට මේ කය පරිහරණයේ දී අවබෝධයක් ඇතිවුණා නම් එදිනට ප්‍රශ්නය අඩුවෙනවා. සැනසිල්ල උදාවෙනවා.
බොහෝ දෙනා අපෙන් විමසනවා ස්වාමිනි, අප අහන ධර්මය අපට මතක හිටින්නේ නැහැ කියා. එයට බොහෝ විට කර්ම ශක්තියත් බලපානවා. ඉන්ද්‍රියන් මෝරා ගොස් ස්නායු දුර්වලවීමත් බලපානවා. සමහර කාරණාවලදී මනසේ බොහෝ වැඩකට නැතිදේ හිත හිතාගෙන සිටින පුද්ගලයාට මනෝ විඤ්ඤාණය නැඹුරු වෙන්නේ නැහැ. කනේ විඤ්ඤාණයට මේ දැන් අසන දේ දැන් මතක නැහැ. හේතුව කනේ විඤ්ඤාණය හරියට දැනගන්නේ නැහැ. දැනගත්තානම් මනෝ විඤ්ඤාණය දැන ගන්නවා. මනෝ විඤ්ඤාණය දැනගන්නේ නැත්නම් මතක හිටින්නේ නැහැ. එසේනම් කන යොමාගෙන අහන්න කියන්නේ ඒකයි. කන යොමාගෙන අහනකොට කනේ විඤ්ඤාණය දේශනාවටම යොමු වෙනවා. එවිට මනසින් දැන ගැනීමක් එනවා. ඒ මනෝ විඤ්ඤාණය නැඹුරුවෙලා තිබෙනවා කනේ විඤ්ඤාණයට. ඔබ එහෙනම් මෙසේ ධර්මයන් දැන ගනිද්දී කනින් විතරක් නැතුව මනසිනුත් දැන ගැනීමේ ක්‍රමය කන් යොමාගෙන අහන එකයි. කන් යොමාගෙන අහනවිට මනෝ විඤ්ඤාණයට නැඹුරුවෙලා දොරටුවක් වෙලා, පුරුදුවෙලා එකට හැසිරී තිබෙන නිසා මන සිනුත් එය දැන ගන්නවා. මනසින් දැන ගත්තාම එය මතක හිටිනවා.
එසේනම් මේ ක්‍රියාවලිය ගැන ඉන් එහාට කොහොමද මිළිදු රජු විමසාගන්න උත්සාහ කළේ. රජතුමා අසනවා ස්වාමිනි, දැන් ඔබවහන්සේ වදාළා චක්ඛු විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය නැඹුරුවෙලා කියා. කොහොමද ස්වාමිනි නැඹුරුවෙලා කියන්නේ කියා අහනවා. එහෙම නැඹුරුවෙලා තිබෙන කරණාව අපූරුවට නාගසේන මහ රහතන් වහන්සේ මෙසේ උපමාවකින් විස්තර කළා. වැස්සක් වහිනවිට බිමට වැටෙන වැහි වතුර එතැන තිබෙන පහත් බිමට ගලාගෙන යන්නේ. බැස්මට තිබෙන පැත්තට තමා ගලාගෙන යන්නේ. නැවතත් යම් වෙලාවක වහිනවිටත් අර බැස්ම තිබෙන පැත්තටමයි ඒ වතාවටත් වැහි වතුර ගලන්නේ නේද කියා ඇසුවා. රජතුමා කියනවා එසේය ස්වාමිනි, එවිට නාගසේන හිමියන් වදාළා රජතුමනි, පළමුවැනි වැස්සේ වතුර දෙවන වැස්සේ වතුරට අණක් දුන්නද මම මේ පැත්තෙන් බහිනවා නුඹත් මේ පැත්තෙන්ම බහින්න කියා. නැහැ කිවුවා. දෙවැනි වැස්සේ වතුර පළමු වතුරේ වැස්සට අණක් දුන්නද නුඹ ඒ පැත්තෙන්ම බහින්න, මමත් ඒ පැත්තෙන්ම බහින්නම් කියා. එහෙමත් නැහැ ස්වාමිනි කියා කිවුවා. එහෙමනම් මෙතැන බැස්මේ ප්‍රශ්නයක් වෙලා නැහැ. වෙලා තිබෙන්නේ ඒ අය තමාට හිතෙන ආකාරයට ඔහේ පැති වලට ගියෙත් නැහැ. හේතු සකස්වෙලා තිබෙන ආකාරයට කොයි පැත්තද ඒ පැත්තට ගියා. බැස්ම තිබෙන්නේ, පහත් බිම තිබෙන්නේ කොයි පැත්තට නැඹුරුවෙලා ද, ඒ නැඹුරුවෙලා තිබෙන පැත්තට ගියා. චක්ඛු විඤ්ඤාණය මනසට නැඹුරුවෙලා තිබෙන නිසා චක්ඛු විඤ්ඤාණය හට ගත්ත ගමන් මනෝ විඤ්ඤාණය හට ගන්නවා. ඒ අතර කිසිම කතාවක් වෙලා නැහැ. හේතු සකස් වූ ආකාර-යට හට ගත්තා. එහෙනම් මනසේ විඤ්ඤාණය සසර පුරා නැඹුරු වෙලා ඇවිල්ලා චක්ඛු විඤ්ඤාණය හට ගත්ත ගමන් හට ගන්නවා. ඒකයි මේ සිදුවෙන්නේ. වැහි වතුර උපමා කරගෙන නැඹුරු වූ අයුරු පෙන්වා දී ප්‍රශ්නය විසඳුවා.
මිළිඳු රජතුමා නැවත අහනවා ස්වාමිනි, ඒ වගේම ඔබ වහන්සේ වදාළ චක්ඛු විඤ්ඤාණය මනෝ විඤ්ඤාණයේ දොරටුවක් වෙලා තිබෙනවා කියා. කොහොමද ස්වාමිනි මේ දොරටුවක් වූ බව අප තේරුම් ගන්නේ. එයත් උපමාවකින් වදාළා. රජතුමනි, යම් සුවිශේෂි ස්ථාන එකතු වූ ප්‍රධාන නගරයක් තිබෙනවා. ඒ නගරය වටකරලා ලොකු ආරක්ෂක පවුරක් තිබෙනවා. ඒ පවුරට එකම එක දොරටුවයි තිබෙන්නේ. ඒ දොරටුවෙන් පමණයි නගරයේ වැසියන් ඇතුලු වෙන්නෙත්, පිට වෙන්නෙත් නාගසේන හිමියන් අහනවා රජතුමනි, මේ නගරයට කෙනෙක් ඇතුළු වෙන්න එනවිට මේ පුද්ගලයාට ඇතුලුවීමට තිබෙන්නේ මේ දොරටුවෙන්ම ද? එහෙමයි ස්වාමිනි, කියා කිවුවා. ඊටපස්සේ නාගසෙන් හිමියන් වදාළා රජතුමනි, තවත් පැත්තකින් තව කෙනෙක් මේ නගරයට ඇතුලුවීමට එනවා. ඔහුට ඇතුලු වෙන්න තිබෙන්නෙත් මේ දොරටුවයි. මේ දෙදෙනා එකම දොරටුවෙන් ඇතුලු වුණා. මෙහිදී පළමු පුද්ගලයා දෙවැනි පුද්ගලයාට අණක් දුන්නාද මම මේ දොරටු-වෙන් ඇතුලුවෙනවා. ඔබත් මේ දොරටුවෙන්ම ඇතුලුවෙන්න කියලා. එහෙම අණක් දුන්නේ නැහැ. දෙවැනි පුද්ගලයා පළමු පුද්ගලයාට අණක් දුන්නාද නුඹ ඉස්සරවෙලා මේ දොරටුවෙන් ඇතුලුවෙන්න මම එනවා පස්සේ කියලා. එහෙම අණක් නැහැ.නමුත් නගරයට ඇතුලුවෙන හැමෝටම හේතු සකස් වෙලා තිබෙන ආකාරයට ඇතුලු වුණා මිසක් අණදීමක් එකතුවෙලා ආවා නොවේ. මේ ආකාරයට රහතන් වහන්සේ වදාළා මේ දොරටුවක් වෙලා තිබෙන්නේ මනෝ විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයටයි. චක්ඛු විඤ්ඤාණය දොරටුවක් වෙලා තිබෙන නිසා චක්ඛු විඤ්ඤාණය හට ගන්නා විට මනෝ විඤ්ඤාණය හට ගන්නවා. ඒ දොරටුව පමණයි තිබෙන්නේ චක්ඛු විඤ්ඤාණයට හට ගන්න. වෙන එකක් නැහැ. නැඹුරු වූ හැටිත්, දොරටුවක් වූ හැටිත් මෙසේ විස්තර කළා.ඊළඟට මිළිඳු රජු නාගසේන ස්වාමින් වහන්සේගෙන් අසනවා, ස්වාමිනි ඔබවහන්සේ වදාළා චක්ඛු විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය නිතරම පුරුදුවෙලා තිබෙනවා කියා. කොහොමද පුරුදුවෙලා තිබෙන්නේ කියා ඇසුවා. එවිට රහතන් වහන්සේ වදාළා රජතුමනි, පළමු ගැල-ක් යනවිට දෙවැනි ගැලත් ඒ පස්සෙන් යනවා. පළමු ගැල අණක් දෙන්නේ නැහැ මම එන්නම් ඉදිරියෙන් නුඹ පස්සෙන් එන්න කියා. දෙවැනි ගැල අණ දුන්නෙත් නැහැ මම එන්නම් පස්සෙන් ඔබ ඉදිරියෙන් යන්න කියා. ඒ ගැල්වලින් කළ දේ අද පොදු ප්‍රවාහනයක් ලෙස බස්වලින් ලොරිවලින් කරනවා. බඩු ඇදීම හා මිනිසුන් ප්‍රවාහනයයි ගැල්වලින් කළේ. අද කාලය දෙස බලා අප උදාහරණයක් සිතුවොත් මොරටුව කොළඹ කියලා බස් එකක් තිබෙනවා කියා සිතන්න. ඒ බස්එකට නිශ්චිතව යාමට පාරක් තිබෙනවා. උදේට ඒ බස්එක මොරටුවේ සිට කොළඹටට යනවා. ඊළඟට තව බස්එකක් නැවත වතාවක් කොළඹ සිට මොරටුවට යනවා. ඒ දෙවැනි බස්එක කොළඹට ඒ පාරින්ම ගියේ පළමු බස්එකට අණක් දීලාද මම එන පාරින්ම ඔබත් එන්න කියා. එසේ අණක් දී නොවේ. දෙවැනි බස් එක අණක් දුන්නෙත් නැහැ ඔබ පළමුව යන්න මම පිටුපසින් එනවා කියා. පුරුද්දට ගියා. පළමු ගැල යන පුරුද්දට දෙවැනි ගැලත් එනවා වගේ චක්ඛු විඤ්ඤාණය හට ගත්තා. එයත් සමඟ ඇවිත් පුරුදුයි මනෝ විඤ්ඤාණයට. එයත් ඒ පස්සේම එනවා. එහෙනම් නිතරම තිබෙනවා ඒ අය අතර චක්ඛු විඤ්ඤාණය සමඟ මනෝ විඤ්ඤාණය ඇවිත් පුරුදුයි. සෝත විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය සමඟ ඇවිත් පුරුදුයි. ඒ පුරුද්ද තමා සසරේ දිගට යන්නේ. එහෙනම් මනෝ විඤ්ඤාණය චක්ඛු , සෝත, ඝාන, ජිව්හා, කාය කියන විඤ්ඤාණයන් සමඟ සසරේ හොඳට පුරුදු වෙලා තිබෙන්නේ. නැවත අලුතින් පුරුදු වෙන්න දෙයක් නැහැ.
ඒ වගේම හතරවැනි කාරණය එකට හැසිරෙනවා. එයත් උපමාවකින් කියන්න රජතුමා ඉල්ලා සිටියා ස්වාමින්වහන්සේ වදාළා රජතුමනි, යම් කෙනෙක් රැකියාවකට ගියාම හෝ නොදන්නා දෙයක් කරන්න ගියාම මුල් කාලයේදී වරදිනවා. නමුත් පස්සේ පස්සේ එය නිවැරැදි වෙනවා. ඒ වගේ හැසිරීමත් සමඟ එය හුරු වෙනවා. අප දන්නවා බස් රථයක කොන්දොස්තර මහත්මයෙකු ගණන් හදද්දී කැල්කුරේටරයකින් හෝ ගැන ගැන හෝ ගණන් හදන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන් මනසින් තමා ගණන් හදන්නේ. මුල් කාලයේදී එය වරදින්න පුලුවන්. නමුත් කලක් පුරුදු කරන කොට කිසිම වැරැද්දක් නැතුව මනසින් ගණන් එකතු කරන්න හොඳට පුරුදු වෙනවා. ඒ කෙරෙහිම හැසිරිලා හැසිරිලා එය හුරු වෙනවා. ඒ වගේ මනෝ විඤ්ඤාණය හැසිරිලා හැසිරිලා හුරුවෙලා තිබෙනවා.ඒ නිසා මේ මනසේ විඤ්ඤාණය අනෙකුත් විඤ්ඤාණයන් සමඟ හට ගන්නා ආකාරය ඔබ දැනගත්තා. මේ කාරණා ටික නිතර නිතර හුරුකරලා විමසලා තේරුම් ගන්න අවබෝධ කර ගන්න උත්සහ ගන්න. එයට ඔබට ශක්තිය, නුවණ පහළ වේවා
නයනා නිල්මිණි

අනාගතවංස දේශනාවෙන්...

ගෞතම බුදුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට අනාගතවංස දේශනාවේ දී කළ පැහැදිලි කිරීමකි මේ.

මේ ගෞතම බුද්ධ ශාසනය කාලයක් යනකොට අධර්මය බහුල වීම නිසා පිරිහෙන්නට පටන් ගන්නවා. එතකොට නිර්මල බුද්ධ ධර්මයත් පිරිහිලා විනාශ වෙන්න පටන්ගන්නවා. එහෙම වෙන්න හේතු හතරක් බලපානවා.
1. රත්තඤ්ඤු මහත්තතා
2. වේපුල්ල මහත්තතා
3. ලාභග්ග මහත්තතා
4. බාහුසච්ච මහත්තතා
රත්තඤ්ඤු මහත්තතා කියන්නේ කාලයක් යන කොට අනිත්‍යභාවය සනාථ කරමින් බුද්ධ ශාසනයේ විනාශය ආරම්භ වීමයි. වේපුල්ල මහත්තතා කියන්නේ කාලයක් යනකොට මේ පිරිසිදු බුදුදහම ලෝකයේ හැම තැනකටම විහිදිලා පැතිරිලා ගිහිල්ලා අනෙකුත් ආගම්වල තිබෙන දේව විශ්වාස දේව ඇදිහිලි – නොයෙකුත් විධියේ මතිමතාන්තර එක්ක මිශ්‍ර වෙනවා. එහෙම වුණාම අනාගතයේ ලොව පහළ වෙන ලෝක සත්ත්වයන්ට පිරිසිදු බුදු දහම නිවැරැදිව තෝරා-බේරාගෙන අවබෝධ කරගන්න අපහසු වෙනවා. ලාභග්ග මහත්තතා කියන්නේ කාලයක් යන කොට බුදුදහම ලෝකයේ ප්‍රචලිත වීම නිසා වෙහෙර-විහාරස්ථානවලට, පන්සල්වලට, මහා සංඝරත්නයට අධික ලෙස ධනය ගලාගෙන එන්න පටන්ගන්නවා. එතකොට භික්ෂූන් වහන්සේලාට පැවිදි බව, සාංඝික ක්‍රමය අමතක වෙනවා. බාහුසච්ච මහත්තතා කියන්නේ විද්‍යාවේ දියුණුවත් සමඟම විවිධ ශබ්ද ශාස්ත්‍ර කර්මාන්ත ශිල්පයන්ට ඇබ්බැහි වීම නිසා පිරිසිදු තථාගත ධර්මය පරිහානියට පත් වෙනවා.
මෙන්න මේ හේතු නිසාත් පංච ශීලය තදින්ම කඩ කිරීම නිසාත් මිනිස්සු පාපයටම ඇබ්බැහි වෙනවා. අම්මා, නංගී, දියණිය, පියා, සහෝදරයා කියා හඳුනන්නේ නැහැ. සතුන් වගේ ඔවුනොවුන් කාම සංසර්ගයේ යෙදෙනවා. නිතරම පහළ වන්නේ කාමරාගි සිතිවිලි පමණයි. වැඩිහිටියන්ට ගුරුවරුන්ට දෙමාපියන්ට නොසලකා හරිමින් තිරිසන් සතුන් විධියට හැසිරෙනවා. එහෙම කාලයක් ගත වෙලා යන කොට දැනට තිබෙන පරම ආයුෂ ටිකින් ටික අඩු වෙලා අඩු වෙලා ගිහින් පරම ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. ලෝකයේ සියලු රස අතුරුදන් වෙනවා. කෑම-බීම පලතුරුවල රසත් එන්න එන්නම අඩු වෙලා යනවා. ‘පින්, කුසල්’ කියන වචනයක් වත් අහන්න ලැබෙන්නේ නැහැ.
කරුණාව මෛත්‍රිය දයාව සමාජයෙන් සදහටම මැකිලා ගිහින්, ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව තමයි රජ කරන්නේ. බොරුව හැම තැනකදීම පෙරමුණ ගන්නවා. එතකොට දෙවියන්ගේ බැල්ම නැති වෙලා ගිිහින්, ගහකොළ සතා සිව්පාවාත් විනාශ වෙලා යනවා. මැරෙන අය ක්‍රෝධ සිතින් වෛර සිතින් මැරෙන හින්දා ඒ අය නරකාදියේම උපදිනවා. මේ අතරතුර කෑම–බීම නැතිකමින් මැරෙන අය තුළ ප්‍රේත බැල්ම බහුලවම පවතිනවා. කොටින්ම කියතොත් කෙනෙකුට තව කෙනෙකු දුටු විට මරණ කැමැත්තම පහළ වෙන්නේ පාපයේ බරපතළකම එතරම්ම වැඩි නිසායි. අවි ආයුධ අතිනුත් දියුණු නිසා එකිනෙකා මරාගෙන මැරෙන තත්ත්වයට පත් වීම හින්දා මුළු ලෝකයම විනාශ වෙන්න පටන් ගන්නවා.
මේ විධියට මිනිස් සංහතියේ පිරිහීම හා විනාශ වීමේ උච්චතම අවස්ථාවට පත් වෙන කාලයේදී ‘ලෝක ව්‍යවහාර’ කියන කාමාවචර දෙවි කෙනෙක් අවමඟුල් වේශයකින් මනුෂ්‍ය ලෝකයට ඇවිත් මෙහෙම කියාගෙන යනවා:
උඹලා පව් කරනවා වැඩියි වහාම නවත්වන්න. එයින් මිදිලා පිනට දහමට නැඹුරු වෙන්න. තව දින හතකින් අධික වැස්සක් වහිනවා. කිසිම කෙනෙක් ඒ වැස්සට තෙමෙන්න එපා. යම් කෙනෙක් තෙමුණොත් තෙමුණ කෙනාව අනෙක් කෙනාට පේන්නේ මුවෙක් වගෙයි. එතකොට මුවාව මරන්න ඒ කෙනා පෙලඹවෙනවා. එතකොට දෙන්නම ඇනකොටාගෙන ජීවිතක්ෂයට පත් වෙනවා. තම තමන්ගේ ජීවිත බේරාගන්න වැස්සෙන් ආරක්ෂා වෙලා හිටපල්ලා” කියලා කියමින් ලෝකය වටේටම යනවා.
මේ පණිවිඩය ඇහුණ සමහර අය සති කීපයකට ආහාරපාන සූදානම් කරගෙන ඈත කැලෑවල ගල්ගුහාවල කදුශිඛරවලට ගිහින් හැංගෙනවා. තවත් සමහර අය “ඔය මොන බොරු කථාද? අපි අපේ ජීවිත මේ යන විධියටම ගෙන යමු” කියමින් සුපුරුදු විධියට කාලය ගත කරනවා. දින හත ගිය ගමන් අර කාමාවචර දෙවියන් කියපු විදිහට මෘගසන් වර්ෂාව වහිනවා. තෙමෙන අය එකිනෙකා කපාකොටාගෙන මැරෙනවා.
හැංගුණ අය සති කිහිපයකින් එළියට ඇවිත් බලන කොට මුළු ලෝකයෙම අත-පය කපා කොටාගෙන මැරුණු මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලා අපායක් වගේ පෙනෙන්නේ. දැන් ඉතුරු වෙලා ඉන්න ටික දෙනා එකට එකතු වෙලා කථා කරගන්නවා “අපේ මිනිස්සු පස්පව් කළ නිසා තමයි මෙහෙම වුණේ. ඊට පස්සේ අපි ටිකවත් පස්පව්වලින් ඈත් වෙලා ජීවත් වෙමු.” කියලා යහපත් ජීවිත ගමනක් ආරම්භ කරනවා. මෙන්න මේ විධියට යහපත් ජීවිත ගත කරන කොට අර අවුරුදු 10ක්ව තිබුණ ආයුෂ ක්‍රමක්‍රමයෙන් 20-30-40-50 යනාදි වශයෙන් වැඩිවෙන්න පටන් ගන්නවා. මෙහෙම මිනිසුන් පින් කරන්න පින් කරන්න, ආයුෂත් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ විධියට වැඩි වෙලා වැඩි වෙලා ආයුෂ අවුරුදු 200 දක්වාම වැඩි වෙනවා.
ගෞතම බුද්ධ රාජ්‍යය කාලය අවසන් වී මෘගසන් වර්ෂාවද අවසන් වීමෙන් අනතුරුව ඉතිරි වූ ටික දෙනා යහපත් කල්ක්‍රියාවෙන් යුතු වීම හා කුසලයට නැඹුරු වීම නිසා මිනිසුන්ගේ පරම ආයුෂ කාලයක් යෑමෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. මේ කාලය වන විට බරණැස් නුවර ඇතුළු මුළු ජම්බු ද්වීපයම උණ වනාන්තරයක් බවට පත් වෙලා ජනගහනයෙන් පිරිල ඉතිරිලා යනවා. ගම්නියම්ගම් සමෘද්ධිමත් වෙන්න පටන් ගෙන කාලයක් ගත වෙලා දැන් මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු දහසක් දක්වා වර්ධනය වෙලා. මෙහෙම තවත් බොහෝ කාලයක් ගත වෙන කොට (අවුරුදු දසදහස – තිස් දහස – පනස් දහස විධියට) තව තවත් වැඩි වෙලා වසර අනූ දහසක් දක්වා වර්ධනය වෙනවා. ඒ කාලය වෙනකොට බරණැස් නුවර නමත් වෙනස් වෙලා උත්පල කියන නුවර බවට පත් වෙනවා.
දැන් මිනිස්සු පස්පවින් වැළකිලා ධාර්මිකව ජීවත් වෙනවා. මෙහෙම කාලයක් ගත වෙන කොට ආයුෂ තව තවත් වර්ධනය වෙලා අවුරුදු ලක්ෂයක් බවට පත් වෙනවා. දැන් හොඳටම සශ්‍රීක වෙලා ඉතාම සෞභාග්‍ය සම්පන්නයි. ඒ වෙන කොට මේ උත්පල නගරයේ නමත් වෙනස් වෙලා පදුම නගරය නමින් හඳුන්වනවා.
මෙන්න මේ විධියට කාලය ගත වීගෙන යද්දී තවතවත් පුණ්‍ය ක්‍රියාවල යෙදිලා ඉතාම ධාර්මික විධියට මිනිස්සු ජීවත් වෙනවා. එහෙම වෙන්න වෙන්න ආයුෂත් වර්ධනය වෙලා වයස පරම ආයුෂ අසංඛෙය්‍ය දක්වාම වැඩි වෙනවා. මේ කාලය වෙන කොට පදුම නගරයේ නමත් වෙනස් වෙලා මන්දාර නුවර බවට පත් වෙනවා. ඉතාම ලස්සන නගරයක් බවට පත් වෙලා දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ශරීර ලක්ෂණත් දෙවියන් දෙවඟනත් වගේ රූප සොබාවෙන් යුක්ත වෙලා හරිම ලස්සනයි. හරියටම දිව්‍ය ලෝකයක් වගෙයි. පුදුම විධියේ සතුටකින් තමයි මිනිස්සු ජීවත් වන්නේ. දැන් මිනිස්සු ඉපදුණු දවසක් දන්නේ නෑ; ලෙඩරෝග දකින්න නෑ; ජරාවට පත් වෙනවා දකින්න නැහැ; මරණයට පත් වෙනවා, දුක් වෙනවා දකින්නත් නැහැ. මෙහෙම කාලයක් ගත වෙන කොට මිනිසුන්ගේ සිත්වල කුසල ධර්ම හොඳ සිතිවිලි ටිකෙන් ටික ඈත් වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර උපරිම තත්ත්වයට පත් වුණු පරමආයුෂත් ක්‍රමයෙන් අඩු වෙන්න පටන්ගෙන ආයුෂ ලක්ෂය අනූදහස දක්වා අඩු වෙනවා. මේකට හේතුව තමයි මිනිසා ටිකෙන් ටික පාපයට නැඹුරු වීම.
මේ කාලය වෙන කොට මන්දාර නුවර නමත් වෙනස් වෙලා යොදුන් 12ක් දිග යොදුන් 7ක් පළල සියලු සැපසම්පත්වලින් පිරුණ කේතුමතී කියන පුරවරය බවට පත් වෙලා. මුළු ලෝකයෙන්ම ජම්බු ද්වීපය ඉතාම ලස්සන ඒ වාගේම සශ්‍රීක රටක් බවට පත් වෙනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලොව පහළ වෙන්න සුදුසුම කාලයක් බවට ජම්බු ද්වීපයම පත් වෙලා සැදී පැහැදී බලා සිටිනවා.
දැන් චක්‍රවර්ති කෝලාහලය ඇති වෙන්න පටන්ගෙන ඒ කියන්නේ ලෝක පාලන දේවතාවෝ මිනිස් ලෝකයට ඇවිත් කියනවා තව අවු 100කින් චක්‍රවර්ති රජකෙනෙක් පහළ වෙනවා ඒ රජතුමා දසරාජ ධර්මයෙන් මුළු ලෝකයම පාලනය කරනවා. එහෙම කියාගෙන යෑමට කියනවා ‘චක්‍රවර්ති කෝලාහලය’ කියලා. දෙවිවරු ප්‍රකාශ කරපු ඒ චක්‍රවර්ති රජ්ජුරුවන්ව දැක බලාගන්න බොහෝ මිනිස්සු ඉතා ආශාවෙන් බලා සිටිනවා. කාලයත් සමඟම සංඛ කියන චක්‍රවර්ති රජ්ජුරුවෝ ලොවට පහළ වෙනවා.
මේ කේතුමතී රාජධානියේ රජ කරන සංඛ කියන චක්‍රවර්ති රජතුමාට වාසය කරන්න පහළ වෙනවා පෙර කරන ලද මහා කුසලානුභාවය නිසා දිව්‍ය මාලිගාවක් බඳු රත්නමය ප්‍රසාදයක්. ඒ ප්‍රසාදය සත්රුවනින් විසිතුරු වුණු මුතු පබළු රන් රිදී මැණික්වලින් සමන්විතයි. උත්තම සත්ත්වයන්ට පහළ වන දැකුම්කලු මන්දිරයක් නිසා බලන්නෙකුට ඇස් අදහාගැනීමට බැරිතරම් විසිතුරුයි. පෙර භවයකදි මහාපනාද රජතුමා වාසය කළ මන්දිරය තමයි මතුමත්තෙදි සංඛ චක්‍රවර්ති රජතුමාට පහළ වෙන්නේත. මේ රත්නප්‍රසාදය ගැන ඉතාම රසවත් අතීතයක් තිබෙනවා. ඒ ගැනත් දැන් සඳහන් කරන්නම්.
මීට කල්ප ගණනට ඉහතදි බරණැස් නුවර හිටියා කුළුපොතු කර්මාන්තයෙන් ජීවත් වුණු පියෙක් හා පුතෙක්. දවසක් මේ දෙදෙනා රැකියාවට යද්දි නගරයේදී මුණගැසුණා හිමාලයේ ඉඳන් ඍද්ධියෙන් නගරයට ඇවිත් පිණ්ඩපාතයේ යන පසේ බුදුන් වහන්සේ නමක්. මේ දෙන්නා පසේ බුදු හිමියන්ට දානයෙන් සංග්‍රහ කරලා ඇහැව්වා “ඉදිරියට වර්ෂා කාලයක් එනවා, ඔබ වහන්සේ වඩින්නේ කොහාටද? ඔබ වහන්සේ ඉන්නේ කොහෙද?” කියලා උන්වහන්සේ කීවා “මමත් මේ ඉන්න තැනක් සොයමිනුයි යන්නේ” කියලා. ඊට පස්සේ මේ පියපුතු දෙන්නා එකතු වෙලා දිඹුල් ලී උණ ලී සිටුවලා, මැටිගහලා, වහලට තණකොළ දාලා කුඩා කුටියක් හදලා පූජා කළා. වස් සමාදන් කරවලා වස් තුන් මාසේම තාත්තයි පුතයි මේ පසේ බුදු හිමියන්ට සිව්පසයෙන් සංග්‍රහ කළා. අන්න ඒ කුසලකර්ම ආනිසංසයේ මහිමයෙන් මේ දෙන්නා මරණින් මත්තේ දිව්‍යලෝක හයේම අනුලෝම–ප්‍රතිලෝම වශයෙන් දිව්‍ය සැප සම්පත් වින්දා.
මෙහෙම දිව්‍යසැප වින්ද පියතුමා මහාපනාද කුමාරයා නමින් පස්සේ කාලෙක මනුෂ්‍ය ලෝකයේ ඉපදුණා. ඉතින් මේ කුමාරයා තරුණ වයස පැමිණිලා ශිල්ප ශාස්ත්‍රයත් හදාරලා අවසන් වුණාම පියරජතුමා ඇමතිවරුන්ට කීවා කුමාරයාට වාසය කරන්න සුදුසු බිමක් සොයලා මාළිගාවක් හදන්න කියලා. ඒ මොහොතේදී පෙර ආත්ම භවයකට පසේ බුදු පියාණන්ට සංග්‍රහ කිරීමේ කුසලමහිමයේ ආනිසංස බලයෙන් ශක්‍රදේවේන්ද්‍රයාගේ අණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මාණය කරපු මේ රත්නමය මහල් ප්‍රාසාදය ඒ මොහොතේදීම පහළ වුණා. යොදුන් විසිපහක් පමණ උසැති මේ මන්දිරයේ තමයි මහාපනාද රජතුමා වාසය කළේ.
මෙහෙම ඉඳලා රජතුමා මරණින් පසුව දිව්‍ය සැප විඳලා නැවතත් ගෞතම බුදු පියාණන් වහන්සේගේ කාලයේදී අඟුරටේ භද්දිය නුවර අසූකෝටියක් ධනය තිබුණ සිටුවරයෙකුගේ පුතෙක් වෙලා ඉපදුණා. මේ කුමාරයාගේ නම භද්දිය කුමාරයා. මේ භද්දිය කුමාරයා දවසක් පිරිවරත් සමඟ බුදු පියාණන් බැහැදකින්න පැමිණිලා බණ අහලා පැහැදිලා භද්දිය ස්ථවිර නමින් පැවිදි උපසම්පදාව ලබා රහත්භාවයට පැමිණුණා. මෙම් විදිහට බුදුපියාණන් වහන්සේ සමඟ අඟුලක නැගිලා ගංගා නම් ගඟෙන් එතෙර වෙන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විධියට ඇහැව්වා “භද්දිය, ඔබ මහාපනාද රජු වෙලා හිටිය කාලේ වාසය කරපු රත්න ප්‍රසාදය දැන් කොහෙද?” කියල. ඒ අවස්ථාවේදී භද්දිය ස්ථවිරයෝ කියනවා ඒ ප්‍රාසාදය මේ ගං පතුලේ ගිලී තිබෙනවා කියලා.
“එහෙනම් භද්දිය, මේ මා සමඟ ඉන්න තෙරුන් වහන්සේලාට පෙන්වන්න” කියලා. ඒ මොහොතේදී භද්දිය ස්ථවිරයෝ බුදු පියාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා අවසර අරගෙන අහසට පැනනැගල දිය දෙබෑ කරලා ප්‍රාසාදයේ කොත් කැරැල්ල පයේ ඇඟිලි මගින් රඳවාගෙන ඔසවා පෙන්නුවා. යොදුන් විසිපහක් පමණ විශාල මන්දිරයක් පෙන්වලා නැවත තිබුණ විධියටම තැම්පත් කළා. භද්දිය මහරහතන් වහන්සේ ආයු කෙළවර සසර දුක හැරලා නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා.
ඒත් කුළුපොතු කර්මාන්තයේ යෙදුණ පුතා තවමත් සදෙව් ලෝකවල අප්‍රමාණ දිව්‍ය සැපසම්පත් විඳිමින් සිටිනවා. මෛත්‍රී බුදුපියාණන් වහන්සේ ලොව පහළ වෙන කාලයේදී කේතුමතී රාජධානියේ සංඛ චක්‍රවර්ති රජු විධියට උපදින්නේ මේ පුතා තමයි. තම පියා මහාපනාද රජු වෙලා හිටපු කාලයේ වාසය කළ ඒ රත්න මහා ප්‍රාසාදය නැවතත් ගංගා නම් ගං පතුලෙන් මතු වී විත් මෛත්‍රීය බුදුපියාණන් දවස කේතුමතී රාජධානියේ පහළ වෙනවා. සංඛ චක්‍රවර්ති රජතුමා වාසය කරන්නේ මෙන්න මෙ රත්න මහා ප්‍රාසාදයේ තමයි. සංඛ චක්‍රවර්ති රජතුමා මෛත්‍රිය බුදුපියාණන් වහන්සේට මෙම රත්න ප්‍රසාදය පූජා කරලා රජතුමාත් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. මෛත්‍රී බුදුපියාණන් වහන්සේ ගඳකිළිය හැටියට වාසය කරන්න තෝරාගන්නේ මෙන්න මේ රත්න ප්‍රාසාදයයි.
පාලිත එස්. හෙට්ටිආරච්චි

මරණ බිය නැතිකිරීම

පූජා උත්තම පූජා 

ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
සභාපති, ශ්‍රී ලංකා අවිහිංසාවාදී භික්‌ෂු මහ සභාව

මාංශ භක්‌ෂණය කරන්නෝ අනුන්ගේ දුක මරණ භය නොදන්නෝය. මරණය කරා යන සතුන් මෙන්ම කවදා හෝ තමන්ද මරණය කරා යන බව නොදන්නෝය. තම මරණය අභිමුව බියෙන් මුසපත්වන බව නොසිතන්නෝය. වේදනාභරිතව මිය යෑවූ මළ කුණක්‌ අනුසාරයෙන් තෘෂ්ණාවක්‌ හෙවත් වානයක්‌ මුදුන්පත් කරගන්නෝය. සම්බුදුදහමට සම්පූර්ණයෙන් එකඟ අප මහා සම්බුදුපියාණන්ටද යටත්වන්නට සිදුවූ විශ්වයේ සදාතනිකව පවතින විශ්ව න්‍යාය වන කුසල් අකුසල් ඵලදීම ගැන සිතාමතාම නොතකා, අඳුරින් අඳුරට යන්නෝය. අවසන්දානය මද්දාව එනම් ද්‍රව්‍යයක්‌ නොව ද්‍රවයක්‌ බව තේරුම් නොගෙන එය ඌරුමස්‌ම යෑයි කෙස්‌පලන තර්ක ගෙනහැරපාමින් තම මාංශ තෘෂ්ණාව බුදුපියාණන් වහන්සේද උකසට තබන්නෝය.

සම්බුදුපියාණන් වහන්සේ මරණය පිළිබඳව නිරන්තරයෙන්ම මෙනෙහි කිරීමට උපදෙස්‌ දුන්නේ මිනිසාට ඇතිවන ආත්මවාදය හෙවත් අනුන් මියගොස්‌ හෝ තමන් සහ තමන්ගේ පරම්පරාව ජීවත්විය යුතු යෑයි දැඩිසේ අල්වා ගැනීමෙන් ඇතිවන ක්‌ලේෂ මාරයන් තුරන් කරවීමටය. මෙලොව කොතැනක හෝ කිසිදු නොමැරෙන මිනිසකු හෝ සත්වයකු සිටීනම් එම අයට පමණක්‌ අන් අය මැරිය හැක. මරාගෙන අනුභව කළ හැක. ඒ සඳහා අනුබලද දිය හැක.

එහෙත් එවන් න්‍යාය ධර්මතාවක්‌ මෙතුන්ලොව ජීවත්වන කිසිවකුට අයත් නැත. මක්‌නිසාද ඒ සියල්ල අනිත්‍ය ධර්මතාවයට ගොදුරුවී මියයන නිසාය. පුන් පොහොය දිනවලදී ගුවන් විදුලි නාලිකාවලින්, රූපවානියෙන්, පිරිවෙන් පන්සල්වලින් මෛත්‍රිය, මහාකරුණාව ඔප මට්‌ටම් කෙරෙනු, තුනට හතරට ඇඹරෙනු, බෙහෙත් ගුලි මෙන් දියකර පොවනු, දෙඇසට කඳුළු උනන්න, හදවත හඬවන්න කරුණු කාරනා පෙන්වා දෙනු අප කොතෙ=ක්‌ අසනු දකිනු ලැබ ඇත. 

ඒත් එදිනම දහවල් ආහාරයට, දානයට ලැබෙන උම්බලකඩයාට (ලොව වැඩිම වේදනාවක්‌ විඳ මැරෙන බල මාලුවා) මෛත්‍රියක්‌ නැත. හාල්මැස්‌සාට මෛත්‍රියක්‌ නැත. කරවලයාට කරුණාවක්‌ නැත. කුණු කරවල හොද්දක්‌ උම්බලකඩ සම්බෝලයක්‌, මාලු කෑල්ලක්‌ නැතිව බත්ටික බඩට බහින්නේ නැත. සුදනනි, කරවල, මස්‌, මාලු ගස්‌වැල්වලින් කඩාගන්නා දේවල් නොවේ. ඒවා ආහාර සඳහා පැමිණෙන්නේ ඉමහත් දුකකිනි. වේදනාවකිනි. මෛත්‍රිය කෙසේ වෙතත් සදාතනික වෛරයක්‌ එම ශරීර ලේ ධාරාව තුළ ගැබ්ව ඇත. ඒ බව දන්නේ කීයෙන් කීදෙනාද?

මෙකී සඳහන් කරුණ තුළ අප දකින එක්‌ විශේෂිත එක්‌ හේතුවක්‌ අන්තර්ගතව ඇත. සියලු දේශනාවලදී පුන පුනා කියෑවෙන්නේ තමන් ප්‍රාණඝාතය නොකිරීමට ප්‍රථම සිල්පදයෙන් පොරොන්දුවන බවකි. එහෙත් අපගේ දැනුමේ හැටියට, එම භයන්කර වරදට පෙළඹවීම, අනුබල දීම සිත,කය, වචනයෙන් අනුමත කිරීම බොහෝ දේශකයන්ගේ මුවින් පිට නොවේ. එය එක්‌තරා අකාරයකින් තමන් නොකර අන් අය ලවා කරවීම සහ එකහෙලා අනුමත කිරීමක්‌ බව අසරණ සැදැහවතුන්ට එත්තු ගැන්වීමට සහ එම ක්‍රියාව අනුමත, අනුබල දීමක්‌ බව නොපෙන්වන්නේ කුමන අහේතුක හේතුවක්‌ නිසාදැයි අපට තේරුම්ගත නොහැක.

මම නොමරමි. එහෙත් එම පව අනුන් ලවා කරවමි. අනුමතද කරමි. අනුබලද දෙමි. පවට සම්බන්ධ නැත යනුවෙන් සහ මා පවෙන් මිදිලාය යන මිථ්‍යාව බොහෝ බෞද්ධ හදවත් තුළ දැනට ලැගුම් ගෙන හමාරය. එවන් සටකපට සිල්පද සම්බුදු දර්ශනය තුළ කිසිසේත් නොමැති බව නොබියවම අප මෙසේ ප්‍රකාශ කරමු. සුධනනි, සර්පයා අල්ලා ගතයුත්තේ වලිගයෙන් නොව හිස පැත්තෙනි. අප මනුෂ්‍යයන් ඇතුළු සියලු සතුන් මරණයට නොකැමැති බව තමන්ට අනුරූපව සිතීමට උපදෙස්‌ දුන්නෝ බුදුරජාණන් වහන්සේමය.

නිර්මාංශිකව ජීවත්වන තැනැත්තාගේ මොලය පිරිසිදුය. සිත පිරිසිදුය. සිත ජීවත්න්නේ ශරීරය ආශ්‍රිතවය. පොළවෙහි භූමදාන කළ යුතු මිනියක්‌ කුස තුළ භූමදාන කරගනිමින් මළකුණු ඕජස්‌වලින් පෝෂිත වූ මොළයකින් කුමන ආශ්චර්යයක්‌ ලබාගන්නද? මලකුණු පෝෂණයෙන් ජීවත්වන්නා තරාතිරම කෙසේ වෙතත් මන්දගාමියෙකි. අඩි දහයක්‌ ඉදිරියට යනවිට අඩි අටක්‌ ආපසු ඇදෙන්නෙකි. ලොව පහළවූ සහ පහළව සිටින සියලු නිර්මාංශික උතුමන් අඩි දහයක්‌ ඉදිරියට ගමන් කරන විට නොසිතූ විලස තවත් අඩි දහයක්‌ ඉදිරියට තල්ලු වේ. මෙලොව ගුප්ත වශයෙන් සැඟවී තිබූ විශ්ව රහස්‌ සොයාගත් සියල්ලෝම නිර්මාංශික තැනැත්තන්ය. සමහරු පාරම්පරික නිර්මාංශිකයන්ය.

සමහරු පවසන්නේ තමන් කුරා කුහුඹුවකුවටත් වරදක්‌ කරලා නැහැ යනුවෙනි. ඒත් ඔවුන් සිය ජීවිත කාලය පුරාම මූලික සිල්පදය නිර්දය ලෙස කඩාගනිමින්,ජීවිත යදින, අනන්ත අසරණ සතුන්ගේ මෘත ශරීර හොණ්‌ඩර, ටොන්වලින් කොතෙක්‌ තම ශරීරයේ භූමදාන කරගෙන ඇත්ද? කුරා කුහුඹුවකුටවත් වරදක්‌ නොකළායෑයි පවසන අයගේ අවිද්‍යාවේ මෝහන්ධකාරයේ තරම කෙතරම්ද යන්න ඔවුන්ට කවදා, කොතැනදී වැටෙහ්ද? 

සම්බුදුරදුන් දෙසූ උසස්‌ම දානයක්‌ වශයෙන් සැලකෙන එනම් ජීවමාන සම්බුදුවරයකුට ලබාදෙන උසස්‌ සිවුපස දානයක්‌ හා සමාන අභයදානය වර්ග බේදයකින් තොරව සත්වයන්ට ලබාදී, සතුන්ට සදා සතුට ලබාදෙන මා හට සදා සතුට ලැබේවාෘ සතුන්ගේ මර අෙ¹aනාව පිරි මෘත ශරීර ආමාංශගත නොකරන මාහට සියලු සතුන්ගේ ආශිර්වාදය නොමඳව ලැබේවාෘ සතුන්ගේ මෘත ශරීර මිනිසා අනුභව කරන්නේ කුසගින්නට නොව හුදෙක්‌ දිව තුළ ඇති තෘෂ්ණාවට හෙවත් වානයටය. තදබල ශෝකයක්‌ තුළ ලබාගන්නා මාංශවල ඇත්තේද තදබල ශෝකයකි. එම කුණු රුධිරය හදවත් තුළින් ගමන් ගන්නා විට එම රුධිරය නියමාකාරයෙන් පිරිසිදු නොවන අතර එයින් නොඅඩුව තදබල ශෝකය උපදී. බොහෝ අයවලුන් හේතුවක්‌ නොමැතිවද නිරතුරු ශෝකයෙන්ම කල්ගෙවන බව අප විසින් නිරීක්‌ෂණය කර ඇත. නියම හේතුව කිසිදා නොවැටහෙනු ඇත.

මෙසේ සිතීමට පුරුදුවන්න. අප ජීවත්වන මොහොතක්‌ මොහොතක්‌ පාසා අපගේ නිරතුරු ප්‍රාර්ථනය වී ඇත්තේ සතුටක්‌ ලැබීමය. එම තාවකාලික සතුට පතා අප සිදුකරන්නේ ඉමහත් අසතුටට පත්කොට සතුන් මරවා එම මරණ තම සිතෙන් අනුමතකොට ආහාරයට ගැනුමය. එසේ අනුගතවීම ලෝක ධර්මතාවට හා විශ්ව න්‍යායට එකඟ දෙයක්‌ නොවේමය. තමන් වපුරන දෑ වැඩි වැඩියෙන් අස්‌වනු වශයෙන් ආපසු ලැබෙන විශ්ව දර්ශනයක්‌ තුළය අප සියල්ල ජීවත්වනුයේ.

සුධනනිෘ සුධන සාධුනිෘෘෘ අප නැවත නැවත පවසන්නක්‌ මැදහත් සිතින් අසනු මැනවි. දෙවියන්ට බුදුන්ට (දළදා පූජාව) පූජා කරනුයේ බෙහෙවින් පිරිසිදු මාංශවලින් තොර දානයන්ය. මාංශ භක්‌ෂකයාට මරණින් මතු දිව්‍ය, බ්‍රහ්ම ලෝකගතවීමට නොහැක. මක්‌නිසාද තමන්ගේ දිවට (ජිව්හා විඤ්ඤාණයට) කැමැති දැ එම ලෝකවල නොමැති නිසාය. ස්‌වර්ගයට යාමට නිතර යාඥකරන අන්‍ය ලබ්ධිකයකුගෙන් අප ඇසුවේ ස්‌වර්ගයේ සත්ව ගොවිපල සහ සතුන් මරණ ස්‌ථාන බෙහෙවින් තිබේද කියාය. ඔහු නිරුත්තර විය. දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල සැප විඳීමට තෙපරබාන අප සැදැහැවතුන්ගෙන් අපට ඇසීමට සිදුව ඇත්තේද එම කරුණමය.

මාංශ යනු වානයකි. (තෘෂ්ණාව) එසේ නම් නිර්මාශ නොවී නිර්වානයට අනුගතවන්නේ කෙසේදැයි සුධනනිෘ සුධන සාධුනිෘෘෘ අපට පවසන්න. නැතිනම් තෙරුම්ගන්න.

තෙරුවන් සරණයි!

සංස්කාර

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ 
කිරිබත්ගොඩ 
ඤාණානන්ද හිමි

අප ඔබට පැහැදිලි කරදීමට බලාපොරොත්තු වන්නේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං’ යනුවෙන් පටිච්ච සමුප්පාදයේ සඳහන් වන සංස්කාර පිළිබඳවයි.
පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවාද? පින්වත් මහණෙනි, සංස්කාර තුනක් තිබේ. එනම් කාය සංස්කාර, වචි සංස්කාර, චිත්ත සංස්කාර වශයෙනි.
කාය සංස්කාර කියා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකටයි. මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට කාය සංස්කාර කියල කියන්නේ කය හා බැඳිල තිබෙන නිසා.
අප වචන කතා කරන විට වචන හා බැඳී තිබෙන දෙයට කියනවා වචී සංස්කාර කියා. වචනයක් කතා කරන්න කලින් ඒ වචනය අපේ මනස ඇතුළේ හැදෙන්න ඕන. එහෙම හැදුනේ නැත්තම් අපට කතා කරන්න බැහැ. අප මෙහෙම හිතමු. අප ළඟ ඉන්නවා හින්දි කතා කරන කෙනෙක්, අපට හින්දි කතා කරන්න බැහැ. කෙනෙක් සිංහලෙන් කතා කරනවා. අන්න ඒ වෙලාවට අපට සිංහල වචන එනවා. වචි සංස්කාර ගොනු කරලා තියෙන හැටියට තමයි සකස් වෙන්නේ.
චිත්ත සංස්කාර කියා කියන්නේ සංඥා, වේදනා දෙකට, මේ ඔක්කොම අවිද්‍යා සහගතයි. කය පිළිබඳව අපට අවිද්‍යාවක් තියෙනවා. කය පිළිබඳ අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ කායානුපස්සනාවෙන්. කායානුපස්සනා භාවනාව නො කළොත් කය පිළිබඳව තිබෙන අවිද්‍යාව ප්‍රහාණය වෙන්නෙ නැහැ. එවිට කය පිළිබඳව අපිට අවිද්‍යාවක් තියෙනව නම්, අවිද්‍යාව සහිතව, අවිද්‍යා සහගත කයක් පවත්වන කෙනෙකුට ආශ්වාස, ප්‍රශ්වාසවලට විතරක් විද්‍යාව පහළ වෙනවද? අවිද්‍යා සහගත කයක් පවත්වන කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසයත් ඒ කය හා ප්‍රතිබද්ධයි. ඒ නිසා ඔහුට ඒ ආශ්වාස ප්‍රශ්වාස තියෙන්නෙත් අවිද්‍යා සහගතවම යි.
වචන කතා කරන කෙනෙකුට ඒ වචනයේ අවිද්‍යාව නැත්නම්, වචී සංස්කාරවල අවිද්‍යාව නැත්නම් බොරු කියන්නෙ නැහැ. රහතන් වහන්සේ බොරුව, කේළම, පරුෂ වචනය, හිස් වචනය කියන්නේ නැහැ. හේතුව තමාගේ වචී සංස්කාරවල අවිද්‍යාව නැහැ. වචි සංස්කාර වල අවිද්‍යාව තිබෙන එක්කෙනා අවිද්‍යා සහගතව නම් ඔහුගේ ජීවිතය පවත්වන්නේ ඔහු සිතන විදිහ තුළ බොරුව, කේලම, පරුෂ වචන, හිස් වචන කියැවෙනවා. මේ සිද්ධ වෙන්නේ, සකස් වෙන්නේ අවිද්‍යාවෙන්ම යි.
චිත්ත සංඛාර කෙළින්ම අවිද්‍යාව එක්ක සම්බන්ධයි. සඤ්ඤා විපල්ලාස කියා වචනයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ විපරීත වූ හඳුනා ගැනීම. අසුබ දේ අප හඳුනාගන්නේ සුබ වශයෙන්. ඒ වගේම දුක් දේ හඳුනාගෙන ඉන්නේ සැප වශයෙන්. අනිත්‍ය දේ නිත්‍ය විදිහටයි හඳුනා ගන්නේ. ඒ වගේම තමාගේ වසඟයෙහි පැවැත්විය නොහැකි අනාත්ම දේ අපි හඳුනාගෙන ඉන්නේ මම, මගේ, මගේ ආත්මය වශයෙන් ඒක තමයි අවිද්‍යාව. එබඳු මුලා වූ හඳුනා ගැනීමක් සමඟ යමක් විඳිනවා නම් එතැන මුලා වූ විඳීමක් තමා තිබෙන්නේ.
ආශ්වාස– ප්‍රශ්වාස කියන කාය සංඛාරත්, විතක්ක – විචාර කියන වචී සංඛාරත්, සඤ්ඤා –වේදනා කියන චිත්ත සංඛාරත් යන මේ සංස්කාරයන් පෘථග්ජන සත්වයා තුළ ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවෙන් යුක්තවයි. නමුත් කෙනෙක් භාවනා කිරීමේ දී මේ සංස්කාරයන්ගේ යම් යම් සංසිඳීම් ඇතිවෙනවා. එපමණකින් අවිද්‍යාව නැති වෙන්නෙ නැහැ.
අප සිතමු කෙනෙක් සමාධිය දියුණු කරලා පළවෙනි ධ්‍යානය ඇති කර ගන්නවා. එතකොට පංචනීවරණ නැතිවෙන ආකාරයට විතක්ක විචාර පවත්වනවා. ඒ ආකාරයට සඤ්ඤාවක් පුරුදු කරනවා. එවිට ඔහු ඊට අදාළ පිළිවෙළට තමයි විතක්ක විචාරය හසුරුවන්නේ. ඊට ගැළපෙන වචන තමයි මනසිකාර කරන්නේ.
ඒ පුද්ගලයා අර වචන ඇසුරෙන් තමා අරමුණු ගන්නේ. එතකොට විතක්ක විචාර තිබෙනවා. ඒ නිසාම හිත යම් යම් අවස්ථාවලදී බාහිර අරමුණු වල හැසිරෙන්න පුළුවන්. එතකොට විතක්ක විචාරවල ආදීනව සලකලා දෙවන ධ්‍යානය දියුණු කරනවා. දෙවන ධ්‍යානය දියුණු කරන විට ඒ දෙවන ධ්‍යානය තුළ විතක්ක විචාර සංසිඳුවාගෙන ඉන්න පුළුවන්. නමුත් අවිද්‍යාව නැතිවෙන්නෙ නෑහැ. තුන් වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය දියුණු කරනවා. සතරවෙනි ධ්‍යානයේ දී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳෙනවා. ඒත් අවිද්‍යාව නැති වෙන්නේ නැහැ.
ඊට පස්සේ අරූප ධ්‍යාන දියුණු කරල විදර්ශනා ප්‍රඥාව දියුණු කරන අයට පුළුවන්කම තියෙනවා. සඤ්ඤා වේදනා දෙක නිරුද්ධ කර නිරෝධ සමාපත්තියට සමවදින්න. මේ නිරෝධ සමාපත්තියට සමවදින්නෙ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ උත්තමයින්. මේ නිසා මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් තමයි ඒ සංස්කාර සහමුලින්ම නැති වෙන්නේ.
ඒ නිසා චතුරාර්ය සත්‍යාවබෝධයකින් තොරව තමයි කෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තොරව කයත් පවත්වනවා කියන එක තමයි එහි තේරුම. චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තොරව වචන පාවිච්චි කරන කෙනා තුළත්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව හඳුනා ගැනීම, විඳීම සිදුකරන එක්කෙනා තුළත් අවිද්‍යා සහගත විඤ්ඤාණයක්මයි හටගන්නේ.
එවිට ඇසෙන් රූපයක් බලන විට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා මේ ඇසේ හටගන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා කණේ හටගන්නේ. නාසයෙන් ආඝ්‍රාහණය කරනකොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් හට ගන්නේ. දිවෙන් රස විඳිනකොට, කයෙන් පහස ලබන කොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා හටගන්නේ. එහෙම නම් අවිද්‍යා සහගත විඤ්ඤාණයක් අවිද්‍යා සහගත විඤ්ඤාණයක් හටගත්ත ගමන් එතැන ඇතිවෙන ස්පර්ශය, අවිද්‍යා සහගතයි. ඇසයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි. නාසයයි, ගඳ සුවඳයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි. දිවය, රසයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි, කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි.
අප දන්නවා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හැදී තියෙන්නෙ නාමරූපවලින්. මේ විඤ්ඤාණය අවිද්‍යා සහගතවීම නිසාම විඤ්ඤාණය එකතු වෙලා හටගන්න නාමරූප සියල්ල අවිද්‍යා සහගතයි. එතකොට අවිද්‍යා සහගත සංස්කාර, අවිද්‍යා සහගත විඤ්ඤාණ, අවිද්‍යාවෙන් යුක්ත ආයතන හයක්, අවිද්‍යා සහගත ස්පර්ශයක් තිබෙනවා. අවිද්‍යා සහගත විඳීමක් හටගන්න කොට අවබෝධයක් නැති නිසා ඇලෙනවා. ඇලුන ගමන් බැඳෙනවා. කාමයන්ට බැඳෙනවා. දෘෂ්ටිවලට, මතවාද වලට බැඳෙනවා. මම, මාගේ, මාගේ ආත්මය කියන හැඟීමකට බැදෙනවා.ඒ තණ්හාවෙන් යුක්ත බැඳීම තුළ යම් චේතනාවක් පහළ කරනවද, චේතනාවක් පහළ කරල යම් කර්මයක් කරනවාද? එතකොට විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒකට තමයි භවය කියලා කියන්නේ.
භවය හැදුන විට එක්කෝ ඔහුට කාම භවය තුළ විපාක විඳින්න තියෙන්නෙ නිරයේ නම්, තිරිසන් ලෝකයේ නම්, මිනිස් ලෝකයේ නම් ඒ විදිහට හැදෙනවා. රූප භවය තුළ ඒ ඒ ලෝකවල විඳින්න නම් විපාක තියෙන්නේ ඒ විදිහට හැදෙනවා. අරූප භවය තුළ විපාක විඳින්න තියෙන්නේ ඒ විදිහට නම් ඒ විදිහටත් හැදෙනවා. ආයෙත් උපතක් කරා යනවා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා විඤ්ඤාණය හටගන්නවා. විඤ්ඤාණය නිසා නාමරූප හටගන්නවා, නාමරූප නිසා සළායතන හටගන්නවා, සළායතන නිසා ස්පර්ශය හටගන්නවා, ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා, වේදනාව නියා තණ්හාව හටගන්නවා, තණ්හාව නිසා උපාදාන හටගන්නවා, උපාදාන නිසා භවය හටගන්නවා, භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක වැළපීම්, දුක, දොම්නස් හට ගන්නවා කියා.
මේ නිසා සංස්කාර කියන වචනය යෙදෙන ඕනෑම තැනක් ගත්තොත් ඒවා පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභි සංඛාර, හෝ අනෙඤ්ජාභි සංඛාර වේවා අවිද්‍යා සහගතයි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර, අවිද්‍යා සහගතයි, රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ද සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා ගත්තත් අවිද්‍යා සහගතයි. එහෙම නම් අවිද්‍යා සහගත බව නැතිවෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නම ඕන.
රහතන් වහන්සේ නමක් ආශ්වාස ප්‍රශ්වාස කරනවා නමුත් අවිද්‍යාව නැති නිසා අවිද්‍යාව සහගත කාය සංස්කාරයක් නැහැ. උන්වහන්සේ විතක්ක විචාර කරනවා. නමුත් අවිද්‍යාව නැති නිසා වචනයෙන් කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමකට සඤ්ඤා. වේදනා. චිත්ත සංඛාර ඇතිවෙනවා. අවිද්‍යා සහගත සඤ්ඤාව කෙරෙහි මුලාවෙලත් නැහැ. විඳීම කෙරෙහි මුලාවෙලත් නැහැ. ඒ කියන්නේ කාය ප්‍රතිබද්ධ වූ අවිද්‍යාවක් නැහැ රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදය නිරුද්ධයි.
ඒ නිසා අපට වුවමනා කරන්නේ අවිද්‍යාවෙන් තොර වූ කයක් පවත්වන්න නම් එදාට අපේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් අවිද්‍යාව නැහැ. අපට ඕනෙ අවිද්‍යාවෙන් තොර වචන පවත්වන්න නම් එදාට අපේ විතක්ක විචාර වල අවිද්‍යාව ඇතිවෙන්නෙ නැහැ. අපිට වුවමනා වෙන්නෙ අවිද්‍යාවෙන් තොර සිතක් පවත්වන්න නම් එදාට අපිට අවිද්‍යා සහගත සඤ්ඤා, වේදනා ඇති වෙන්නේ නැහැ. අවිද්‍යා සහගත සිතක් නැතිනම් මොකද වෙන්නේ? ඒ සිත සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. අවිද්‍යාව දුරු වූ ගමන් ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා.
පැහැදිලිව තේරුම් ගත්තොත් ඔබට තේරුම් යාවි නියම විදිහට ධර්මයේ හැසිරෙද්දී මේ අවිද්‍යාව වචී සංස්කාරවල ක්‍රියාත්මක වෙන හැටි. ඔබට ධර්මයේ හැසිරෙද්දී තේරුම් යාවි කය කෙරෙහි කොච්චර අවිද්‍යාව තියෙනවද කියල. ඊළඟට ඔබ තේරුම් ගනීවි මේ ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යාව හා සම්බන්ධයි කියල ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යා සහගතයි. ඒ වගේම විතක්ක විචාර අවිද්‍යා සහගතයි.
මේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙනකොට මේ කය පිළිබඳව අවිද්‍යාවෙන් නිදහස් වෙනකොට ඔබේ විඤ්ඤාණය අවිද්‍යා සහගත වෙන්නෙ නැහැ කියා ඔබ තේරුම් ගනීවි. එවිට විඤ්ඤාණය උපතක් කරා සකස් වෙන්නේ නැතිව පිරිනිවන් පානවා.

පින්බර වස්සානය හා භික්ෂූන් වහන්සේ

කොළඹ 07
ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
භාෂා අධ්‍යයන පීඨයේ,
පීඨාධිපති 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

උතුරාවල ධම්මරතන හිමි

ධෛර්ය සම්පන්න භික්ෂු සංඝයා ද නිවන් මඟ සාක්ෂාත් කර ගනිමින් හා එය අත් දකිමින් අන්‍යයන්ට ද අත්දකින්නට මඟ පෙන්වමින් තුරිත අතුරිත චාරිකාවන්හි යොදමින් දහම් දෙසමින් චාරිකාවෙහි හැසිරුණාහ. කාලය ගැන නොසිතූහ. මාර්ගයන්හි ඇති අපහසුතා නොතැකූහ. සෑම විටම පරාර්ථය, බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මූලික කොට සැලකූහ
සොබා දහම තුළ වස්සාන ඍතුවට අමතරව හේමන්ත, ගිම්හාන ආදි වශයෙන් ඍතු දක්නට ලැබේ. ඈත අතීතයේ සිටම ඍතු වෙනස්වීම පැවැතුණි. සිදුහත් කුමාරයාට ඍතු තුනකට රම්‍ය, සුරම්‍ය,හා සුබ යනුවෙන් මාලිගා තුනක් සාදා දීමෙන් ඍතුවල පැවැත්ම හඳුනාගත හැකිය.
සංස්කෘත සාහිත්‍යයේ දීප්තිමත් ප්‍රතිභාපූර්ණ කවියකු වූ කාලිදාස ඍතු ගණනාවක්ම ඍතු සංහාර කාව්‍යයේ වර්ණනා කර ඇත. 1.ඒ අනුව ගිම්හාන සමය දැඩි අව් රශ්මියෙන් යුතු වූ හිරු රශ්මියෙන් ගහකොළ මැළවෙන ජලය වියළී යන කාලයකි. මේ නිසා මිනිසා පමණක් නොව සතා සිව්පාවුන් ද විවිධ පීඩාවන්ට ලක්වීම පොදු ලක්ෂණයකි. 2.ගිම්හාන සමයෙන් අනතුරුව වැසි සමය උදාවෙයි. දැවෙන ගහකොළවල ප්‍රබෝධයක් එක්කරමින් වැසි දිය කඩා වැටෙයි. සිව්පාවුන්ද පක්ෂීන් ද සතුටින් කල්ගෙවමින් වැසිකාලයෙහි දැනෙන ශීතලෙන් ආරක්ෂා වීමට උණුසුම් නිවහන් ඉදිකර ගනිති. මිනිස්සු ද කපා රැස් කළ ධාන්‍ය ප්‍රයෝජනයට ගනිමින් සතුටින් විවේක ගනිති. ධනිය ගෝපාලගේ කථා පුවත මෙයට කදිම නිදසුනකි.
සියලුම සතුන් විවේක ගනිමින් කල්ගෙවන අතර ශ්‍රමණ සම්ප්‍රදාවලට අයත් පිරිසුදු මිනිස්සු ද තම නිවහනට වී කල් ගෙවති. එහෙත් භික්ෂුව පමණක් ගමින් ගමට යමින් දහම් දෙසමින් කල් ගෙවයි. එයට බලපෑ මූලික හේතුව බුදුන් වහන්සේගේ අවවාදයයි.
“මහණෙනි , ඔබලා බොහෝ ජනයාට යහපත සඳහා දෙවියන්ට යහපත සඳහා තිරිසන් ගත සතුන්ට යහපත සඳහා දහම් දෙසමින් ගමින් ගමට යන්න, ධර්ම දේශනාවේ මුල,මැද, අග හොඳින් වටහා දෙන්න යනුවෙනි.
මේනිසා ධෛර්ය සම්පන්න භික්ෂු සංඝයා ද නිවන් මඟ සාක්ෂාත් කර ගනිමින් හා එය අත් දකිමින් අන්‍යයන්ට ද අත්දකින්නට මඟ පෙන්වමින් තුරිත අතුරිත චාරිකාවන්හි යොදමින් දහම් දෙසමින් චාරිකාවෙහි හැසිරුණාහ. කාලය ගැන නොසිතූහ. මාර්ගයන්හි ඇති අපහසුතා නොතැකූහ. සෑම විටම පරාර්ථය, බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මූලික කොට සැලකූහ .
මේ අතර අහිංසාවාදය ප්‍රමුඛත්වය වශයෙන් සැලකූ ආගමික සම්ප්‍රදා අතර ජෛන සම්ප්‍රදාය ප්‍රධානය. ඔවුහු ප්‍රාණින්ට හානි කිරීම, ගහකොළ වල පීඩා කිරීම බරපතල වරදක් ලෙස දුටුහ. ඒ නිසා අහිංසාවාදය අගය කළ විවිධ කණ්ඩායම් භික්ෂු සංඝයාගේ හැසිරීම හෙළා දැක්හ. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ නිරන්තරයෙන් ඇද වැටෙන ධාරානිපාත වැසි ගැන නොතකා ධර්මයේ නව පණිවුඩය ජනතාව අතර ව්‍යාප්ත කිරීමට උත්සුක වූහ. භික්ෂු සංඝයා පිණ්ඩපාත චාරිකාවේද ධර්ම ප්‍රචාර චාරිකාවේද වශයෙන් දෙයාකර චාරිකාවක යෙදුණාහ. මෙය දුටු වැසියෝ සිය අප්‍රසාදය මෙසේ පළකළහ. “වැසි සමයෙහි කුරුල්ලන් පවා ගස් මුදුන්හි කූඩු සාදාගෙන නොතෙමී ආහාර ගැන පවා අමතක කොට උණුසුම්ව එක තැනක වාසය කරති. එහෙත් ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වූ ශාක්‍ය පුත්‍රයෝ ළා තණනිල්ල වඩිමින් ආහාර පිණිස සිඟායති. ඒ අනුව වස්විසීම බුදුන් වහන්සේ වැසි සමය තුළ එක් ස්ථානයකට වී කල් ගෙවීමට අවශ්‍ය උපදෙස් ශික්ෂා පදයක් ලෙස පනවන ලදී.
“අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං දේව මා භික්ඛවෙ වස්සුපනායිකා – පුරිමාපච්ඡටිකාච, අපරජ්ජුගනාය ආසාළ්හියා පුරිටිකා උගනතබ්බා මාසගනාය ආසාළ්හියා පචඡිටිකා උපගනතබ්බා, ඉමා ඛො භික්ඛවෙ දෙව වස්සුපනායිකා ති
ඒ අනුව වස්විසීම් දෙකකි. පෙරවස හා පසුවස වශයෙනි. පෙරවස ඇසළ පොහොය දිනට පසුදින ද පසුවස නිකිණි පොහොය දිනට පසු දිනද විසිය යුතුය. යම් උපසම්පන්න භික්ෂුවක් වස් වසන දිනට සුදුසු තැනක වස් නොඑළඹුණොත් දුක්කටාපත්ති වන බව පවසමින් පහත ශික්ෂාපද පනවා ඇත.
“වස් වැස පළමු මාස තුනේදී පෙර පසු මාස තුනේදි නොසිට දහම් දෙසමින් චාරිකාවේ නොයා යුතුයි. වස් වසන දිනයෙහි සිතා මතාම ආවාසයෙන් මඟ නොහැරිය යුතුයි (ම) වස් විසීමට මුල් යුගයේ සුදුසු තැනක් නොවීය. ඒ නිසා එක් හාමුදුරු නමක් විශාල ගස් බෙනයක ද තව අයෙක් විහිදී ගිය විශාල ගස් කරුවක ද තව භික්ෂුවක් සොහොනෙහි මිණි තබන කුටියෙහි ද තව අයෙක් විශාල කුඩයක් යටද තව අයෙක් විශාල සැලියක ද වැඩ විසුවේය. තැන් තැන්වල භික්ෂූන් වහන්සේලා එළිමහනේ ස්ථානයක වස් විසූ අතර වැස්ස ඇතිවිට ගෙවල්වල පිලට විත් සිටියහ. රජගහ නුවර සිටුවරයා භික්ෂූන් වහන්සේලාට වස්විසීමට විහාරයක් සාදා දීමෙන් පසු වස්විසීමට අනුමත කළ විහාර හා විහාර අංග විය.
විහාරය ,සෙවිළි කළ ගෙය, සඳලු තල සහිත ගෙය, දිග් පහය, ගුහාව, පිරිවෙන, උපස්ථාන ශාලාව, ගිනිහල්ගෙය, ඒ සඳහා ශාලාවක්, ශික්ෂා පද නොඉක්මවූ ශාලාව, වැසිකිළි, සක්මන් කරන මළුවක්, එම මළුව සඳහා ශාලාව, ළිඳක්, ළිඳ සඳහා ශාලාව, පොකුණක්,මණ්ඩපයක් ,ආරාමයක්, වැවීමට යෝග්‍ය ඉඩමක්,
මෙයට අමතරව වස් වැසිය හැකි ස්ථාන තුනක් දැක්වේ.
ගොපල්ලන් වසන තැන, වෙළෙන්දන් වසන තැන, ගැල් පදවන්නන් වසන තැන,
ඔවුන් සමඟ වස් සමාදන්ව සිටිය දී ඔවුන් වෙන ස්ථානයකට ගිය ද එතනට යා හැකිය. ඔවුන් සමඟ වස් සාරමාසය ගතකළ හැකිය. යම් හෙයකින් ගොඩබිමෙහි යාමට හෝ මුහුදේදි නැව් ආදියෙන් යාමට හෝ සිදුවුවහොත් එසේ ගියාට කිසිදු ශික්ෂාපදයක් නොබිඳෙයි.
වස් විසීම ශාසන තුළ ප්‍රමුඛම කාරණයක් වූයේ භික්ෂූන් වහන්සේලා පිළිබඳව වැරැදි ප්‍රතිරූපයක් ගොඩනැගීම වැළැක්වීමටය. එසේම ඒ හා සමගාමීව ධර්මප්‍රචාරක කටයුතුවල බාධාවක් නොවන්නට ද කටයුතු කරන ලදී. මේ නිසා ගිහිපිරිසට මෙන්ම පැවිදි පිරිසට ද ප්‍රතිඵලදායක අයුරින් වස්විසීමේ කාරිය සිදු කිරීමට බුදුන් වහන්සේ උපදෙස් සැපයූහ.
1. සෙනසුන් සකසා ගැනීම
වස් විසීම භික්ෂූන්ට බෙහෙවින් ප්‍රතිඵලදායක කාරණයකි. එසේම ගිහි ජනයාට ද අපමණ පින්සිදු කරගත හැකිවේ. සෙනසුන් සොයාගැනීම ඉතාම දුෂ්කර කාර්යයකි. ඒ අනුව පස් ආකාර සෙවෙනි කළ දොර බා පියසිවලින් යුත් තැනක් වස් විසීමට සුදුසුය.
1.ඉට්ඨිකාච්ඡාදන –උළු සෙවෙනි කළ,
2.ශිලාච්ඡාදන – ගල් සෙවෙනි කළ,
3.සුධාච්ඡාදන – ගඩොල් සෙවෙනි කළ,
4.තෘණච්ඡාදන –තෘණ සෙවෙනි කළ
5.පණිච්ඡාදන – පිදුරු අතු කොළ ලෑලි සෙවෙනි කළ

මෙවැනි සෙනෙසුනක් යම් ගිහියෙක් සාදා දෙන්නේ නම් ඔහුට අපමණ පින් ජනිත වන අතර ඔවුන්ට දෙලොව දියුණුව උදාවේ. එසේම භික්ෂූන්ට ද එම සෙනසුනේ ඇසුරු කරගෙන පිළිවෙත් පුරමින් ශ්‍රමණ භාවයේ ඵල ලැබිය හැකිවේ.
2. වත් පිළිවෙත් පිරීම
වත්පිළිවෙත්වලට පැවිදි දිවියේ මූලිකත්වයෙක් හිමිවේ. වත්පිළිවෙත් නොපුරන්නා මහණ දම් ද නොපුරයි. එහෙයින් පැවිදි දිවියේ සඵලත්වය වත්පිළිවෙත් මත රඳා පවතියි.
1. විහාරය පිළදැගුම් කිරීම
2. මළු පෙත්මං ඇමදීම
3. පානීය –පරිභෝජනීය ජලය පුරවා තැබීම
4. වච්ඡිකුටිවත් පිරීම
5. ආචාර්ය උපාධ්‍යායාදී වත් පිරීම
6. සෑ බෝ ආදිය වන්දනා කිරීම
7. ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීම
8. භාවනා කිරීම
9. ගිහියනට දහම් දෙසීම

මෙසේ වස් එළඹීම පැවිදි දිවියේ ඵලය වීමට හේතු වේ. එසේම වස් විසීම නිසා ගිහියනට ද වත් පිළිවෙළින් ඉටු කිරීමෙන් හා ධර්ම ශ්‍රවණයෙන් ලෞකික ලෝකෝත්තර ඵල ලැබිය හැකි වේ. ඒ අනුව
1. දන් දීම
2. සිල් රැකීම
3. භාවනා කිරීම
4. වත්පිළිවෙත් සපුරාලීම
5. තෙරුවන නැමදීම
6. ධර්ම ශ්‍රවණය කිරීම

වැනි පින් ජනිත වන ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව ලැබේ. වස් එළඹීම නිසා ගිහිජනයාට ධර්මය යෙදීමට හැසිරීමට ලැබෙන අවස්ථාව සම් බහුල වේ.
3.මහණදම් පිරීම
තෙරුවන් පිළිබඳ සැදැහැයෙන් යුතුවන ශාසනයට එළඹෙන පැවිද්දාගේ මූලික අරමුණ සියලු දුක්වලින් මිදී නිවන පසක්කිරීමයි . එම අභිප්‍රාය සඵල කර ගැනීමට හුදකලා වාසය මහත් පිටිවහලකි. වස්කාල හුදකලා වාසයටත් සිව්පස ලැබීමටත් සුදුසුම අවධියයි. ඒ අනුව මහණදම් පුරණ භික්ෂූන් වහන්සේලාට වස් කාලය තුළ ස්වාර්ථය සාදාගත හැකිය.ඒනිසා පුරාණ තෙරවරු සියලු කරදර දුරු කර ඒකචාරිකාවත (හුදෙකලා විසීම) පිරූහ. එසේම දසකථාවෙන් හා දසඅනුස්සති, දස අසුබ හා අටනිස අරමුණු ඇතිව විසූහ. වැසි සමය තුළ භික්ෂූන් වහන්සේලා මෙම දස කථාවෙන් යුක්තව වාසය කර තම අභිමතාර්ථය ඉටු කරගත්හ.
1.අප්පිච්ඡකථා – අපිස්බව පිළිබඳ කතාව
2.සන්තුට්ඨිකථා – ලද දෙයින් තුටු වීම පිළිබඳ කතාව
3.පවිචිත්ත කථා – පිවිතුරු බව පිළිබඳ කථාව
4.අසංසට්ඨකථා – නොගැටීම පිළිබඳ කථාව
5.විරියාරම්භ කථා – වීර්ය ඇරඹීම පිළිබඳ කථාව
6.සීලසම්පදා කථා – සීල සම්පත්තිය පිළිබඳ කථාව
7. සමාධිසම්පදා කථා – සමාධි සම්පත්තිය පිළිබඳ කථාව
8.පඤ්ඤාසම්පදා කථා – ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාව
9.විමුත්තිසම්පදා කථා – විමුක්ති සම්පත්ති පිළිබඳ කථාව
10. විමුත්තිඤාණ දස්සන සම්පදා කථා – විමුක්ති ඤාණදස්සනය පිළිබඳ යනුවෙනි.

මෙබඳු කථාවෙන් යුක්තවන භික්ෂූන් වහන්සේ පහත දැක්වෙන කථාවන්ගෙන් දුරස් වේ.
විරුද්ධවාද කථා, නින්දා පරිභව කරන කථා, මානය පිළිබඳ කථා, දෝෂාරෝපණය පිළිබඳකථා, අනුන්ගේ ලාභ ප්‍රයෝජන පිළිබඳ ඊර්ෂ්‍යා පරවශ කථා, ඊර්ෂ්‍යා පරවශ කථාව බොරුකීම, පරුෂ වචන , ප්‍රලාප වලින් බැහැරවීම, සිදුවේ. මේ නිසා වැසි සමය භික්ෂූන් වහන්සේ ශ්‍රවණාකාරක ධර්ම වන මෙම වත් පිළිවෙත් පිළිපදියි. ආරාමිකවත්, වච්චකුටිවත්, ගිලන්වත්, දන්තකට්ඨවත්, භික්ෂුචාරාවත්, පිළිබඳ භික්ෂූන් වහන්සේලා දැනුවත් වේ. එසේම දායකයන් හා සිව්පස ලාභය පිණිස නොව නෛයාණික කථාවක්ම කරයි.
මේ අනුව ගිහිපිරිසට වැසි සමයේ තිදොරින් බොහෝ පින් රැස් කළ හැකිය.
“යං භික්ඛවේ සිලවෙනකතා පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිසපාය විහරන්ති නන්ථ මනුස්සා නීහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති කායෙන වාචාය මනසා
මෙසේ සිල්වත් පැවිදි කෙනෙක් යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කෙරේද එහි මිනිස්සු තුන් තැනකින් බොහෝ පින් රැස් කෙරෙත්. එනම් කයින් වචනයෙන් සිතින් යන තිදොරිනි. මෙබඳු අවස්ථාවක් ධම්මපදට්ඨ කථාවේ එන චක්ඛුපාල තෙරණුවන්ගේ පුවතින් හෙළිවේ වස් සමයේ ආරම්භයේම පුහුදුන් භික්ෂූ පිරිසක වූ චක්ඛූපාල තෙරුන් වහන්සේ ඇතුළු පිරිස් වස් අවසානයේ මාර්ගඵල ලාභීහු වූහ. දායකයෝද උන්වහන්සේලාට වැඳ පුදා දන් දී උපස්ථාන කර බණ අසා පන්සිල් රැක, ඒවා සමාදන්ව දස පුණ්‍යක්‍රියා සිදුකර අවසානයේ ලෝකෝත්තර සැප සලසා ගත්හ.
අතීතයෙහි කම්කරු පුරුෂයන් පන්සියයක් හා ස්ත්‍රීන් පන්සීයයක් දැයි මෙසේ දහසක් එකම වැඩපලක සමගියෙන් කර්මාන්ත කොට ජීවිකාව කෙරෙති. මන්ද ස්ථවිරයන් වහන්සේ එකල්හි ඒ පිරිසෙහි ප්‍රධාන කම්කරුවා වූහ. මහා ප්‍රජාපතී ගෝතමි ප්‍රධාන කම්කරු ස්ත්‍රීය විය. ඤාණවන්ත විචක්ෂණශීලි කාන්තාවක් විය. මේ දහස්දෙනා පින්කම් කරන කල්හි සමඟියෙන් යුතුව කල් ගෙවයි. එක් වස්කාලයක පසේ බුදුරජාණන් වහන්සේලා පස්නමක් සෙනහුනක් සොයා යන්නේ බරණැස සිටාණන්ගේ මාලිගයට වැඩියහ. සිටු භාර්යාව උන්වහන්සේලා පැමිණි කරුණ විමසුවත් සෙනහුනක් ඉදි කිරීමට අකමැතැත්ත පළකළාය. ආපසු වඩින පසේ බුදුන් වහන්සේලා දුටු කම්කරු නායිකාව සෙනසුන ඉදිකර දීමට ඉදිරිපත් වූවාය. සෙනසුනක් ඉදිකිරීම දුප්පත්, පොහොසත් භේදයකින් තොරව ඕනෑම අයෙකුට කළ හැකිය. එබැවින් කාටත් පොදුවේ. අනුසස් උපදවා ගත හැකි කටයුත්තක් වශයෙන් වැසි සමයේ සෙනසුන් ඉදිකිරීම හඳුනාගත හැකිය. ඒ අනුව සිය කම්කරු පිරිසගේ ශ්‍රම දායකත්වය ඇතිව ප්‍රධාන කම්කරු නායිකාවගෙ මඟ පෙන්වීම හා උපදෙස් මත කුටි පහක් හා සුදුසු සක්මන් මලුද, වැසිකිළිද සෙනසුන් ද ජලය රැස් කර තබා ගත හැකි ස්ථානද සහිතව සියලු පහසුකම් සපිරි සෙනසුන් සාදා පුජා කර වස්තුන්මාසය පුරා සිවුපසයෙන් උපස්ථාන කළහ. චීවර මාසයේදි සියලු දෙනා එක්ව සිවුරු පූජා කළහ. එම පිරිස එම ආනිසංසයෙන් ලෞකික ලෝකෝත්තර අනුසස් ලැබ රහත් වූ බව කියවේ. මෙසේ වස් කාලය උභය ලෝකාර්ථ සුබසිද්ධීය ඇති කරන සද් ක්‍රියාවක් බව පැහැදිලිය.
මේ අනුව වැසි සමය ලෞකික ලෝකෝත්තර වශයෙන් දියුණුව ඇති කරලයි. ඒ සඳහා මඟ පෙන්වන අවස්ථා ඇත. ඒවා මෙසේ පෙළ ගැස්විය හැකිය.
වැසි වසන භික්ෂූන්ට සෙනසුන් ඉදිකිරීම,
සෙනසුන්වල මූලික පහසුකම් සැපයීම,
වස්කාලය තුළ සිවුපසයෙන් සංග්‍රහ කිරීම,
දිනපතා උදේ සවස තෙරුවන් නැමදීම,

ධර්මශ්‍රවණය කිරීම, භාවනා කටයුතු වැනි ලෝකෝත්තර දියුණුවට මඟ පාදන ක්‍රියාවල නිරත වීම වැසි සමයෙන් අනතුරුව චීවර පුජාව
එසේම වැසි වසනා භික්ෂූන්ට ද තම ලෝකෝත්තර ප්‍රගතිය ඇති කරගත හැකි අවධියක් වශයෙන් වැසි සමය සැළකිය හැකිය. ඒ අනුව එක් ස්ථානයක් ඇසුරු කරගෙන භාවනා කටයුතුවල නිරතව යථාර්ථාවබෝධය තුළින් නිවන ප්‍රත්‍යක්ෂ කළ හැකිය. බුදුරදුන් දවස භික්ෂූන් වහන්සේලා වැසි ආරම්භයේදී කමටහන් රැගෙන යන අතර වැසි සමය අවසානයේදි රහතන් වහන්සේලා බවට පැමිණ බුදුන් වහන්සේ බැහැ දකියි. මෙසේ ගිහිපැවිදි දෙපිරිසට ලෞකික ලෝකෝත්තර දියුණුව සාදාලන කාලයක් වශයෙන් වස් කාලය සැලකිය හැකිය.

ආරෝග්‍ය පරමා ලාභා

කැලණිය විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
සුමනපාල ගල්මංගොඩ

බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව ජීවත්වූ අපේ පැරැන්නන් ගොවිතැන් කටයුතු වලින් නිදහස් වූ සෑම අවස්ථාවකම වටවන්දනාවේ යාමට පුරුදුව සිටියා. සොළොස්මස්ථාන, අටමස්ථාන, වන්දනා කිරීම සඳහා ඒ සියලුම ස්ථාන වන්දනා මාන කරනු ලැබුවේ පයින් ගමන් කිරීමෙනි.
අවුරුද්ද අවසානයේ ශ්‍රීපාදය වන්දනා කළා. ගොවිතැන් කටයුතු තුළින් ශරීරිකව ව්‍යායාම ලබාගන්නා පැරැණි බෞද්ධයන් වට වන්දනාව තුළින් මානසික නීරෝගීතාවය ලබාගත්තා. ඒ කාලය තුළ දියවැඩියාව වැනි රෝගීන් දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් .
නිරෝගිකම ජීවිතයේ උතුම්ම ලාභයයි. කොතරම් සැප සම්පත්වලින් පිරුණු ඉසුරුමත් ජීවිතයක් ලැබුවද, පුද්ගලයකු සතු නිරෝගීකම ඒ සියල්ලට වඩා වටිනාම ලාභය ලෙස බුදු දහම පෙන්වා දෙයි. මොනදේ තිබුණත්, නිරෝගිකම නැත්නම් කිසිවක් කරගත නොහැකියි. පුද්ගල ජීවිතයේදී නිරෝගිකමට පළමු ස්ථානය හිමි විය යුතු වුවද සමාජයේ බොහෝ පිරිසක් රෝගීන් වශයෙන් ජීවත්වෙති. මානසික නිරෝගීතාවය, ශාරීරික නිරෝගීතාවය, සාක්ෂරතාවය සංඛ්‍යා ලේඛණ තුළින් ඉහළ මට්ටමක පැවතියද ප්‍රායෝගික සමාජය තුළ බටහිර බලපෑම් හා වෙනත් වෛද්‍ය සම්ප්‍රදායන්ගේ බලපෑම් නිසාත් බෞද්ධ චර්යා ධර්ම සහ ආයුර්වේද ක්‍රම අභාවයට යාම රෝගීන් වීමට බලපාන ප්‍රධාන හේතුවකි. අපගේ සෑම චර්යා රටාවක්ම ශාරීරික නිරෝගිතාවයට ඍජුවම බලපෑම් කරනු ලබයි.

බුදුදහමේ උගන්වන සරල දිවිපෙවෙතට අනුව සතර පෝයට ම සිල් ගැනීම නිසා අවුරුද්දට දවස් හතළිස් අටක් රාත්‍රියට ආහාර ලබාගන්නේ නැහැ.සතර පෝයට සිල් ගැනීමෙන් මාසයට දවස් හතරක් රාත්‍රියට ආහාර ලබා නොගනී.එය ඉතාම හොඳ ප්‍රතිපත්තියක් වුවද, වර්තමානය තුළ දක්නට ලැබෙන්නේ උදය වරුවේ සිල් අරගෙන සවසට නිවසට ගොස් රාත්‍රියට කෑම ගැනීමේ ක්‍රමයක්. ආහාර ගැනීමේ පිළිවෙළක් නැතිකම හා අනවශ්‍ය ලෙස ආහාර ගැනීම රෝගීවීමට මූලික හේතුවක්. ආහාර ගැනීමත් සමගම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වුවද අද බොහෝ රැකියාවන් පවතින්නේ ශරීරය වෙහෙස නොකරන රැකියාවන්ය. ශරීරය වෙහෙසවීමකින් තොරව හැකිතාක් පෝෂ්‍යදායි ආහාර ලබාගැනීමට පෙළඹෙයි. අපගේ බෞද්ධ සම්ප්‍රදායන් තුළ පැවතුණ පැරණි සිරිත් වලට අනුව,අප සිල් අරගන්න දවසට රාත්‍රිය පහන් කරන්නේද විහාරස්ථානයේදීමයි. රාත්‍රි ආහාර නොගෙන උදේ හා දවල් ආහාරය පමණක් ලබාගනී. ඒ සදහා ‘විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ ලෙස බුදුදහමට අනුව හදුන්වනු ලබයි. සිල් මිදුනාට පසුව “දිවා විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි” යන සිල්පදයක් තිබුණා. උදේට ආහාර ලබාගත් පසු නැවත ආහාර ලබාගන්නේ දවල්ට හා රාත්‍රියට පමණයි. ඒ ප්‍රධාන ආහාර වේල්තුනට අමතරව කිසිදු ආහාරයක් ලබා නොගනී. බීමට වතුර පමණක් ලබාගනී. වර්තමාන සමාජය තුළ ළමා පරපුර උදේ දවල් හා රාත්‍රි ආහාරය නිවැරැදිව ලබානොගෙන ඒ අතරට විවිධාකාරයෙන් වෙළද දැන්වීම් තුළින් පොළඹවනු ලබන කෙටි ආහාර හා රසකාරක යෙදූ බීම වර්ග බහුල ලෙස ආහාරයට ලබාගනී. අතීතයේ පැරැණි දෙමාපියන් පවා ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව කිසිදු ආහාරයක් ලබාගත්තේ ද නැත.
බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව ජීවත්වූ අපේ පැරැන්නන් ගොවිතැන් කටයුතු වලින් නිදහස් වූ සෑම අවස්ථාවකම වටවන්දනාවේ යාමට පුරුදුව සිටියා. සොළොස්මස්ථාන, අටමස්ථාන, වන්දනා කිරීම සඳහා ඒ සියලුම ස්ථාන වන්දනා මාන කරනු ලැබුවේ පයින් ගමන් කිරීමෙනි.
අවුරුද්ද අවසානයේ ශ්‍රීපාදය වන්දනා කළා. ගොවිතැන් කටයුතු තුළින් ශරීරිකව ව්‍යායාම ලබාගන්නා පැරැණි බෞද්ධයන් වට වන්දනාව තුළින් මානසික නීරෝගීතාවය ලබාගත්තා. ඒ කාලය තුළ දියවැඩියාව වැනි රෝගීන් දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් .අපි සිල්සමාදන් වුණා. උච්චාසයන මහාසයනා අටුවාවේ සඳහන් වන ආකාරයට “ උච්චාසයන මහාසයනා” යනු සැප පහසු ආසනයි. ඉස්සර මිනිසුන් වාඩිවීම සඳහා පිළ, පැදුර හෝ ගහක් මුළක් භාවිතා කරනු ලැබුවා.
මෙහි සැපපහසු ඇඳන් සහ පුටු පරිහරණය කිරීම සඳහන් වනවා. වර්තමානයේ ලීවලින් සාදන ලද පුටු ඇඳන් භාවිතයෙන් ඉවත්කර රබර් මෙට්ට කොට්ට දමන ලද සුඛෝපභෝගී ඇඳන් පුටු භාවිතයට පුරුදු වී සිටීමත් රෝගීන්වීමට ප්‍රධාන හේතුවක්. බුදුදහමේ උගන්වන “උච්චාසයනා මහාසයනා” යන්න පුරුදු කරනු ලබන්නේ සිල් ගන්නා දාට පමණක්ම සරල ආසන භාවිතයට හුරුවක් වීම නොවෙයි. බුදුදහමේ උගන්වන අල්පේච්ඡ ජීවිතය අනුව සාමාන්‍ය ජීවිතයේදීත් උච්චාසයන මහාසයනා අනුගමන කළ යුතුය.
අපගේ පැරැන්නන් පැදුරක් එළා බිම නිදාගැනීමෙන් සම්පූර්ණයෙන්ම ශරීරයට අවශ්‍යය විවේකය ලබාගත්තා. වර්තමාන සමාජය සැප පහසු ඇඳන්වල නිදාගැනීම නිසා ශරීරය උෂ්ණ වීම නිසාම කෝප සහගත සිතිවිලි බහුල වීම නිසා ද්වේශය හටගනු ලබයි. ඒවගේම ඇඳක නිදාගැනීම තුළින් නිතරම ඇඳෙන් බිමට වැටෙයි යන බියක් පවතී. පැදුරක් දමා බිම නිදා ගැනීමෙන් ශරීරයට අවශ්‍ය සම්පූර්ණ නින්ද ලබාගැනීමට හැකිවනවාක් මෙන්ම බිය සහ මානසික ආතතියෙන් මිදීමට හැකිවෙයි. බුදු දහමේ උගන්වන අල්පේච්ඡ වූ සරල දිවිපැවැත්මට අනුකූලව ජීවත්වීමෙන් නිරෝගීතාවය ලබාගත හැකිවේ.
වර්තමානයේදී මානසික ආතතිය බහුල වශයෙන් දක්නට ලැබෙයි. ජීවිතයේදී එනු ලබන අභියෝගවලට මුහුණදීමට නොහැකි වීමෙන් මානසික ආතතිය හටගනී. මනස නිතරම පීඩාවට ආතතියට හේතුවක් වෙයි.
බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට වදාරනු ලැබුවේ බත්පිඬු හතරකට හෝ පහකට ඉඩ තබා වතුර බොන ලෙසයි. ආයුර්වේදයේ සඳහන් පරිදි ආමාශයේ කොටස් හතරකට බෙදුවොත් කොටස් දෙකක් ආහාරයද අනෙක් කොටස වතුරද ඉතිරි කොටස ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබයි. අප ආහාර ගැනීමෙදී සීමාවක් නැතිව ආහාර ලබාගැනීම ශාරීරික රෝගාබාධවලට විශාල බලපෑමක් කරනු ලබයි. කෑම කන්නේ ආසාවට මිස අවශ්‍යතාවයට නොවේ .” චරථභික්ඛවේ චාරිකං” යනුවෙන් බුදුපියාණන් වහන්සේ භික්ෂූන්ට වදාරනු ලැබුවේද බොහෝ දෙනාගේ හිත සුව පිණිස වෙහෙස මහන්සිවී කැප වන ලෙසය.
බාහා බල පරිචිතෙහි (දෑත දෙපය මහන්සි කළ යුතුය . සේදා වක්කිත්තේහි (දහඩිය වැකුණු සිරුරෙන්) ධම්මිකේහි ධම්ම ලද්දේහි) (සාධාරණව ධර්මානුකූලව හම්බකිරීම)ශරීරය , දෑත දෙපය වෙහෙසකරමින් දහඩිය වැගිරුණු සිරුරෙන් යුතුව ධාර්මිකව හරිහම්බ කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. මේ හරිහම්බ කළ යුතු දෙය බෙදාහදාගෙන දානයෙන්, පරිත්‍යාගයෙන් යුක්තව මේවා පරිහරණය කළ යුතු බව බුදුදහම උගන්වන්නේද තනිවම පරිහරණය කිරීමෙන් වන අධිපරිභෝජනයෙන් ඉවත් කිරීම සඳහාය. “දානං සීලංච නෙක්ඛම්මං” දස පාරමිතා වලද “දානංච ධම්ම චරියාච” මංගල සූත්‍රයේද දානය පරිත්‍යාගය බුදුපියාණන් වහන්සේ අගය කොට ඇත. බෞද්ධ ප්‍රතිපත්තියට අනුකූලව අප පරිත්‍යාගශීලි වන තරමටම අප අධිපරිභෝජනයෙන් ඉවත්වීම තුළින්ම නිරෝගීතාවය ඇතිවේ. පරිත්‍යාගශීලිවන විට අප ආහාර ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙයි. පරාභව සූත්‍රයේ සඳහන් පරිදි
පහුත භක්කෙ පුරි සො
සභිරඤ්ඤෝ සංභෝජතො
එකොභුඤ්ජති සාධුනි 
තං පරාභවතො මුඛං

රන් රිදී ධනය ආහාරපාන බොහෝ ඇති මිනිහෙක් තනිවම කනවා නම් එය පිරිහීමට කාරණයක්. තනිවම කෑම පිරිහිමේ දොරටුවක්. බුදුදහමට අනුකූලව තමන් ධාර්මිකව හරිහම්බ කරන දේවලින් නිවැරැදිව යුතුකම් ඉටුකරනවා නම්, ඔහු අධිපරිභෝජනයට නොපෙළඹෙයි. හම්බ කරන විටම එය වැඩ කිරීම සඳහා කරුණු කාරණා යෙදීම නිසාත් යුතුකම් කිරීමට යාමෙන් නිරෝගී පිරිසක්ද බිහිවෙයි.
“ආහාරය” භාවනාවක් සදහා යොදාගත යුතුය. එය ආහාරයේ “පටික්කුල සංඥා” හෙවත් ආහාරයේ තිබෙන පිළිකුල් බව වැඩිය යුතුය. මිනිසුන් සිටින්නේ කෑමට පමණක්ද? සමහර වෙලාවට දවසෙන් පැය ගානක් ගෙවාගෙන කෑම සඳහා දුර බැහැරට යන අවස්ථා බොහොමයි. ජීවිතය යනු කෑම බීම පමණද?
කරණීය මෙත්ත සූත්‍රයේ සදහන් වන ,”සුභරතාවය “ යනු පහසුවෙන් පෝෂණය කළ හැකි මිනිසකු බවට පත්වීම මිනිසුන්ගේ පැවැත්ම සදහා කබලිංකාහාර, පස්සාහාර මනෝ සචේතනිකාහාර, විඥානාහාර යනුවෙන් ආහාර වර්ග හතරක් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. මිනිසුන් ජීවත්වීම මේ ආහාර වර්ග හතර සමබරව ප්‍රමාණවත්ව ගත යුතුයි. මෙම ආහාර වර්ග හතරෙන් තුනක්ම මානසික ආහාර. මානසික ආහර තුනම ගන්නේ නැතිව එකම භෞතික ආහාරයක් පමණක් ගැනීමට යාමෙන් ගැටළු මතුවෙයි. ජීවිතයට හොද යහපතක් වින්දනයක් ලබාදෙන ආහාර ගත යුතුය. මිනිසකු තුළ හොඳ අධිෂ්ඨානයක් තිබිය යුතුය. කිසිදු අධිෂ්ඨානයක් අරමුණක් නොමැතිව බොහෝ දෙනා සමාජය තුළ ජීවත්වෙයි. පුද්ගලයකුගේ පෞරුෂත්වය හොඳ මට්ටමකින් තබාගත යුතුය. ආහාර පිළිබඳව බෞද්ධ සංකල්පය නිවැරැදිව වටහා නොගැනීම නිසාම කායික මෙන්ම මානසික නිරෝගිතාවය පිරිහීමට පත්වනු ඇත. ආයුර්වේදයේ සදහන් වන ආකාරයට වා, පිත් සෙම්,කෝපවීම, තුළින් සියලුම රෝග හටගනී. ලෝභය සෙමට සම්බන්ධයි. ද්වේෂය, පිතටද මෝහය වාතයටද සම්බන්ධයි. ලෝභය, ද්වේෂය මෝහය තුළින් තරගකාරිත්වයක් ඇතිකරයි. ආසාව තිබෙන නිසාම තරගකාරිත්වය තුළින් ද්වේෂය ඇතිවේ. මේ දෙකම පවතින පුද්ගලයා අවුල් සහගත මනසක් ඇති මෝහයෙන් යුක්ත මිනිසකු බිහිකරයි. ලෝභය ද්වේෂය මෝහය තුනම වා, පිත්, සෙම් හටගැනීම කෙරෙහි හේතුවෙයි.
ශාරීරික මානසික නිරෝගීතාවය ඇතිකර ගැනීමට නම් බෞද්ධ සංකල්පවලට අනුකූලව අල්පේච්ඡතාවය පුරුදු පුහුණු විය යුතුය.
සටහන - හේමමාලා රන්දුනු

බුදුන් දැක නිවන් දකිමුද? නිවන් දැක බුදුන් දකිමුද?

මතු බුදුවන බුදුන් වහන්සේ නමක් සියැසින් දුටු දාට පහසුවෙන් නිවන් දකින්නට හැකිවෙතැයි විශ්වාස කරන බෞද්ධ පිරිස් සිටින අතර එවන් අය බුදුන් දැක්ම නිවන් දකින්නට සිතා පිංදහම් කරන බව කියති. එහෙත් මතු බුදුවන්නේ යැයි සිතන මෛත්‍රී බුදුන් වහන්සේ හෝ අන් බුදුන් වහන්සේ නමක් අනාගතයේ කවර වර්ෂයක කවර දිනකදී බුදු වන්නේ යැයි කියා දැන හෝ සිතා ගැනීමටවත් පුළුවන් කමක් නැත.
එසේ සිතීමට නොහැකි හා නොපැමිණි අනාගතයක් ගැන මවන සිහිනයක් හා සමානය මෙය. මෙසේ මිරිඟුවක් පසුපස ලුහුබැඳීමක් බඳු බෞද්ධ පිළිවෙත් ඇතැයි නොතේරුම්කම නිසාම සිතන උපාසක උපාසිකාවන්ට බුදුන් වහන්සේ නොයෙක් වර දේශනා කොට ඇති පරිදි බුදුන් වහන්සේගේ ධර්මය දකින්නාම බුදුන් දකී යන කියමන වටහාදීම තුළින් ගතානුගතික වැරැදි ආකල්ප තුළින් මුදා ගැනීමට හැකියාව ලැබේ.
බුදුවරයන් වහන්සේ නමක් සියැසින් දුටු පමණින් බුදුන් කවුද? කියා තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ද බොහෝ දෙනකුට නොහැකිවී ඇත. පුක්කුසාති සිටුවරයා බුදුන් දැකීමට පැමිණීමේ කතාව මීට හොඳම නිදසුනකි. පුක්කුසාති සිටුවරයාගෙන් බුදුන් වහන්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ දැක්කොත් හඳුනාගත හැකිදැයි විමසූ විට ඔහු කීවේ නොහැකියි කියාය. කුඹල් හලක රාත්‍රි පැය ගණනක් බුදුන් සමීපයේ සිට ධාතු විභංග සූත්‍ර දේශනාව අසමින් ධර්මය තේරුම් ගනිමින් බුදුන් දැක ගත් එම සිටුවරයා බුදුන් වහන්සේගේ ශරීරයෙන් මේ බුදුන් යැයි වෙන්කර හඳුනාගැනීමට අසමත් විය. බුදුන් ගැන කලින් අසා දැන සිටියත් අංගුලිමාල නම් වූ අහිංසක තරුණයාටද මුලින්ම බුද්ධ ශරීරය පෙනුනේ ශ්‍රමණ රුවක් ලෙස මිස බුදුන් ලෙස නොවේ. අංගුලිමාල ද එදා දහමට නැමුනේ (දමනය) වුණේ ධර්ම දේශනාව අසා ධර්මය තුළින් බුදුන් දැකගත් නිසාය. ආලවක යක්ෂ සේනාධිපතියාද බුදුන් මුලින්ම දුටුවේ ශ්‍රමණයකු ලෙසටය. ශ්‍රමණය වහා නැගිටිනු, වාඩිවෙනු යනු එනු වශයෙන් බුදුන් වහන්සේට විධාන කළේ එබැවිනි. පසුව බුදුන් වහන්සේ ආලවක යක්ෂයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් දේශනාවන් තුළින් බුදුන් දැක දහමට නැමී දමනය විය.
තව කොටසක් නමින් බුදුන් වහන්සේ හඳුනාගත්තත්, ධර්මය තුළින් බුදුන් නොදැකීම නිසා ඔවුනගේ අතට පත්වූ මහා භාග්‍යයක් නැතිකර ගත්තේය. දේවදත්ත බුදුන් වහන්සේ සමීප ඥාතිවරයකු මෙන්ම බුද්ධ ශාසනයේ පැවිදි වුවත් බුදුන්ගේ දහම නොදැක්ක නිසා අවීචි මහා නරකයට යෑමට සිදුවිය. චිංචි මානවිකාව, මාගන්ධියා වැනි කාන්තාවන්ටද බුදුන් දැක්කත් නිවන් දකින්නට තබා බෞද්ධයකු වීමටවත් නොහැකි විය.
ශ්‍රද්ධාව මෙන්ම බුද්ධියෙන් ද යුක්ත වන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න උපාසකයෙක් හෝ උපාසිකාවක් බවට පත්වීමෙන් බුදුදහම තේරුම්ගෙන බුදුන් වදාළ ධර්මය තුළින්ම බුදුන් දකින්නෝ සතර මහා සතර ඵලයන්ට පත්ව සසර ගමන කෙළවර කරගෙන නිවන් සුවයට පත් වෙයි. සසර කෙළවර කිරීමෙන්ම නිවනට යා යුතු අතර සතර කෙළවර වන තැන ඉබේටම හා යැකි හෝ ලැබෙන නිවනක් නැත. සසර කෙළවර නිවන් සැප ලැබේවායි කෙනෙක් ප්‍රාර්ථනා කළත් වැඩක් නැත. මන්ද සංසාර ගමනේ කෙළවරක් නැත. එය තම තමා විසින්ම කෙළවර කරගත යුතු බැවිනි.
කැරකෙන රෝදයක් නතර කරන්නට නියමිත ස්ථීර තැනක් නැත. තිරිංගය තද වන්නේ යම් තැනෙකද එතන නවතී. තදංග වශයෙන් (තිරිංග මෙන්) රාග,ද්වේෂ, මෝහාදී කෙළෙස් ධර්මයන් තදංග වශයෙන් යටපත් කර ගනිමින් කුසල ක්‍රියාවල නිරත වන විට ස්ථීර වශයෙන්ම සියලු කෙළෙස් ප්‍රහීන වූ මොහොතේ සසර කෙළවර වේ. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය සම්පත්, දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත්, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම සම්පත් විඳ සසර කෙළවර නිවන ලැබෙතැයි නොසිතා මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන කුමන තලයකදී හෝ රාග, ද්වේෂ, මෝහ යන සිත් තුළ පහළ වන ක්ලේෂ ධර්මයන් සහමුලින්ම ඉවත් කර ගන්නට හැකි වූ දාට ඒ තැනැත්තාගේ සසර ගමන කෙළවර වේ. එය බුදු කෙනකුටවත් තවත් අයකු වෙනුවෙන් කරදිය නොහැකි තම තමන් විසින්ම කරගත යුතු වූ ධර්මතාවකි.
බුදුවරයන් වහන්සේලාට කළ හැකි වන්නේ සසර ගමන කෙළවර කර ගන්නා ආකාරය හා ඊට මාර්ගය පෙන්වාදීම පමණකි. ගෞතම බුදුපියාණන් වහන්සේද කළේ ඒ දේ පමණි. මතු බුදුවන බුදුරජාණන් වහන්සේලාගෙන් සිදුවන්නේද එයමය. බුද්ධිමත් හා ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් නම් ඔහු හෝ ඇය විසින් කළ යුතුව ඇත්තේ ගෞතම බුද්ධ ශාසනය නිරුපද්‍රිතව පවතින මේ කාලයේදීම තථාගත බුදුපියාණන් වහන්සේ පෙන්වාදී ඇති වත් පිළිවෙත් අනුව යා යුතු නොයා යුතු මාර්ග හොඳින් අවබෝධ කර ගැනීමයි. එමෙන්ම දස අකුසල්, දස කුසල් කර ගනිමින් බුදුදහම අද අදම අවබෝධ කර ගැනීමට වෙර වීරිය කිරීමය.
අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනො
උප්පජිත්වා නිරුජ්න්‍ධති - තෙසං වුපසමො සුඛොති
සංයුක්ත නිකායේ අනමගත්ත සංයුක්තයේ එන වේපුල්ල පබ්බත සූත්‍රයේ අනිත්‍ය ධර්මතාව පැහැදිලි කර දුන් ඉහත දේශනාව පිළිබඳ බොහෝ බෞද්ධයන් තුළ ඇත්තේ අල්ප මාත්‍ර දැනුමක් හා වැරැදි භාවිතයකි. අයකු මියගිය පසු මතක වස්ත්‍ර පූජා කර පැන් වඩන විටදී හා මිහිදන් කරන විටදී හෝ ආදාහනය කරන විටදී මහ පොළොවෙන් පස් ටිකක් රැගෙන මෙම ගාථාව කියමින් මෘත කලේබරයට පස් ඉසීම චාරිත්‍රයක් වී ඇත. එහෙත් බොහෝ දෙනකු මෙයින් අදහස් කරන්නේ කුමක්ද කියාවත් නොදනී. මෙය මිනීවලට පස් දමමින් කියවන ගීතිකාවක් මන්ත්‍රයක් ලෙස සිතයි.
මෙම දේශනාව බුදුපියාණන් වහන්සේ එදා මගධ රටේ වේපුල්ල පර්වතය උදාහරණයට ගනිමින් ලෝකයේ සෑම දෙයක්ම අනිත්‍ය, ධර්මතාවට නතුව පවතින බැව් පෙන්වාදීමට කළ දේශනාවකි. වේපුල්ල පර්වතය කකුසඳ,කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරයන් වහන්සේලා පහල වූ ඒ ඒ කාලවකවානු තුළ අනිත්‍යයට ගොදුරු වී ඇති බැව් මෙයින් මැනවින් පැහැදිලි කර දී ඇත. ඒ ඒ බුදුවරයන්ගේ කාලවලදී මනුෂ්‍යයන්ගේ ආයුෂ හෝ ස්ථාන නාම ආදිය වෙනස්වී ඇති ආකාරයත් වේපුල්ල පර්වතය ක්‍රමයෙන් ක්ෂය වෙමින් වෙනස්වී ඇති අයුරු බැව් මෙයින් මැනවින් පැහැදිලි කර දී ඇත. ඒ බුදුවරයන්ගේ කාලවලදී මනුෂ්‍යයන්ගේ ආයුෂ හා ස්ථාන නාම ආදිය වෙනස්වී ඇති ආකාරයත් වේපුල්ල පර්වතය ක්‍රමයෙන් ක්ෂය වෙමින්, වෙනස්වී ඇති අයුරුත් කියාදී ඇත.
බුද්ධ කාලය වේපුල්ල පර්වතය හැඳුන්වූ නම උස අනුව නැගීමට ගතවන කාලය අග සව්වන් වහ /නම මිනිස් ආයුෂ
කකුසඳ තිවර දින 4 විධුර - සංජීව 1000
කොණාගම රොහිතස්ස දින 3 හිය්‍යො - සුත්තර 30000
කාශ්‍යප සුපපිය දින 2 තිසස් - භාරද්වාජ 20000
ගෞතම මාගධක මොහොතකින් සැරියුත් - මුගලන් 120
මෙසේ මෙම සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාළේ සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අනිත්‍යය, ඉපිද නැතිවන ස්වභාව ඇතියහ. ඔවුනගේ සංසිඳීම සුවය බවයි.
කකුසඳ බුද්ධ කාලයේදී සුවිශාල ලෙස පැතිරී පැවැති වේපුල්ල පර්වතයට නැගීමට මිනිසකුට දින 04ක් ගතවිය. එය ක්‍රමයෙන් ක්ෂයවී ගොස් කෝණාගම බුදුරදුන්ගේ කාලයේදී දින තුනකින් නැගීමට හැකිවිය. කාශ්‍යප බුදුන්ගේ කාලයේදීද එය දින 02 කින් නැගීමට තරම් කුඩා විය. ඒ සා මහත් පර්වතයක් ගෞතම බුද්ධ කාලය වනවිට මොහොතින් නැගිය හැකි තත්ත්වයට පත්වී ඇත. එමෙන්ම මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 දක්වා අඩුවී ඇත. ඒ ස්ථානවලට භාවිත කළ නම් ද අභාවයට ගොස් අලුත් නම් භාවිත කර ඇත. ඒ ඒ බුදුවරුන්ගේ බුද්ධ ශාසනද අතුරුදන්වී ඇත. දෑගසව්වන්ද එසේම වී ඇත. මහා විශාල පර්වතයක සම්බුද්ධ ශාසනයක තත්ත්වය එසේ නම් සියලු සංස්කාරයන්ම සැකයකින් තොරව ඒකාන්ත වශයෙන්ම ඇතිවී නැතිවන අනිත්‍ය ස්වභාව ඇත්තේය. එවන් සංස්කාරයන්ගේ සංසිඳීම සැපක් වන්නේ ය.
ලෞකික වශයෙන් ජීව අජීව සියලු සම්පත් තමන් සතු කර ගැනීමේ සැපක් ලෙස සලකන්නේ අවිද්‍යාව නිසාය. ලෝකෝත්තර මාර්ගයේදී ප්‍රඥාව තුළින් බලන විටදී තෘෂ්ණාවෙන් ළංකර ගත් සියලුම දේවල් චාග සිතෙන් අත්හැර දමන විටදී සංස්කාරයන්ගේ සංසිඳීම තුළින් කිසිම දිනක වෙනස් නොවන සැපතට පත්වේ. එවිට බුදුන් වහන්සේගේ ධර්මය තුළින් බුදුන් දැකීමට හැකි වේ.

කිව්වොත් රසකර බොරු උපදිති නිරයේ මරු


තවත් පුද්ගලයකු මුලාකිරීමේ ෙච්තනාවෙන් ඇති දෙයක්‌ නැති යෑයිද, නොමැති දෙයක්‌ ඇති යයිද, වූ දෙයක්‌ වේ නම් එය නොවූයේ යයිද, නොවූ දෙයක්‌ වූවේ නම් එය වූවේ යයිද වචනයෙන් හෝ ලිත භාෂාවෙන් හෝ හස්‌ත විකාරාදියෙන් හෝ වෙනත් අයෙකුට ප්‍රකාශ කිරීම මුසාවාදය නමින් හැඳින්විය හැකිය.

මුසාවාද කර්මය සිදුවන්නේ අංක සතරක්‌ සම්පූර්ණ වූ විටය. ඒවා නම්,

1. කියනු ලබන කාරණය බොරුවක්‌ වීම.

2. අනුන් රවටන අදහස්‌ එහි අඩංගුවීම

3. ඇඟවීමේ උත්සාහයක්‌ ඒ තුළ ගැබ්වීම

4. අනෙකා ප්‍රකාශ කළ දෙය තේරුම් ගැනීම යන මෙම කරුණු සතර මුසාවාදයේ අංගයෝ වෙති. ප්‍රකාශ කරන ලද බොරුවක්‌ වුවද, නොදන්නා භාෂාවකින් සඳහන් කිරීමෙන් හෝ හොඳින් නොඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නොහැකි වුවහොත් කර්මය නොවේ. වැරදීමෙන් කියෑවෙන බොරුවලින්ද, මුසාවාද කර්මය සිදු නොවේ. ඉෂ්ට කිරීමේ පරමාර්ථයෙන් පොරොන්දුවක්‌ වී එය ඉටුකරන්නට නුපුළුවන් වීම නිසාද මුසාවාද කර්මය සිදු නොවේ. ඉටුනොකරන අදහසින් පොරොන්දුවක්‌ වන්නවුන්ට එකෙණෙහිම මුසාවාද කර්මය සිදුවේ. පසුව පොරොන්දුව ඉටුකළේ ද එයින් නොමිදේ.

වෙනත් අයෙකු ලවා බොරු කියවීමේදී කියන කියවන දෙදෙනාටම මුසාවාද කර්මය වන බව සඳහන් කළ යුතුයි. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවුඩයක්‌ කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක්‌ නොදැන රැවටීමේ පරමාර්ථයෙන් තොරව නියෝගය ඉටුකිරීමක්‌ වශයෙන් කියයි නම් එමගින් කියෑවෙන තැනැත්තාට මිස කියන පුද්ගලයාට මුසාවාද කර්මය සිදුනොවේ. දීර්ඝ කාලයක්‌ පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම මුසාවාදය පිළිබඳ ස්‌ථාවර ප්‍රයෝගයයි. එලෙස කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවේ. ප්‍රවෘත්ති පත්‍ර, සඟරා යනාදියෙහි හා පොත්වල මාර්ගයෙන් බොරු ප්‍රචාර කිරීමේදී ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවන බව මෙහිලා තවදුරටත් සඳහන් කළ යුතුය.

කිසියම් ක්‍රියාවක්‌ සිදුකරනු පිණිස හා නොදෙනු කැමැත්තෙන් ඇති දෙය සඟවනු පිණිස, දරුවන් නැළවීම පිණිසද, තමා කළ වරදක්‌ සඟවනු පිණිසද බොරු ප්‍රකාශ කිරීම අල්ප සාවද්‍ය වේ. ඉටුකරමි, දෙමි යනාදී වශයෙන් අනුන් රවටනු පිණිස බොරු බේගල් ප්‍රකාශ කිරීම එයට වඩා මහා සාවද්‍ය වේ. මෙරමා හට අනර්ථවන ලෙසට සාක්‌ෂ්‍ය වශයෙන් බොරු කීම එයටද වඩා මහා සාවද්‍ය වේ. අනර්ථය පිණිස කියන්නා වූ බොරුවලින් සිදුවන්නා වූ අනර්ථයේ අලාභයේ ප්‍රමාණයද අල්ප සාවද්‍ය, මහාසාවද්‍යතාව කිවයුතුය. රවටනු ලබන පුද්ගලයාගේ ගුණවල සැටියෙන්ද අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය ප්‍රකාශ කළ හැකිය. බොරු ප්‍රකාශ කිරීමේදී ඇතිවූ ක්‌ලේෂයන්ගේ ප්‍රමාණයෙන්ද අල්ප සාවද්‍ය, මහා සාවද්‍යතාව කිව යුතුය.

බොරු කියන පුද්ගලයෝ මෙලොව වශයෙන්ද, නින්දාවට, අපහාසයට, අපහසුතාවට පත්වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබයි. සමහර අවස්‌ථාවන්හිදී බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන් දඬුවම් විඳීමද සිදුවෙති. බොරු කියන්නන් එම පවින් මරණින් මතු නිරයෙහි උත්පත්තිය ලබා අනේක සංඛ්‍යාත කෝටි සහස්‍රයෙහි ලෝදිය බිම් ආදී මහ දුක්‌ විඳිති. ප්‍රේත ආත්මවල ඉපිද විවිධාකාරයේ දුක්‌ විඳිති. තිරිසන්ව උත්පත්තිය ලබා බොහෝ දුක්‌ විඳිති. මනුෂ්‍ය ආත්මභාවයන්හි උත්පත්තිය ලබා ගත්තද එක්‌ ජාතියකදී ප්‍රකාශ කළ බොරුවලට සිය ගණන් ජාතිවලදී නොකළ වරදට හසුවී නින්දා ලබති. දඬුවම් විඳිති. මෝඩයෝ වෙති. එසේම දුප්පත් වෙති. කතා කිරීමේදී ගොත ගසති. මෝඩයෝ වෙති. ගොළු බවට පත්වෙති. කට හෙවත් මුඛයෙන් දුර්ගන්ධය හමති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නොපවත්නා දත් ඇත්තෝ වෙති. මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නන් බවට පත්වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. කිසිවෙකු ඔවුන්ගේ බස්‌ නොපිළිගනිති. ඔවුන්ට අඹු දරුවන් නූපදිති. දරුවන් ඉපදුනද ඔවුන් ගැහැනු දරුවෝ වෙති. ඔවුහුද අකීකරු වෙති. පවුල් අතර අඬදබර ඇතිවෙති.

බොරු ප්‍රකාශ කිරීම නොයෙක්‌ පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තාහට අන් පව් කිරීමටද වඩා ඉඩක්‌ නොමැත. බොරු ප්‍රකාශ කරන්නා හට නොකළ හැකි පවක්‌ නොමැති බව.

"එකං ධම්මං අතීතස්‌ස - මුසාවාදිස්‌ස ජන්තිනො

විතිණ්‌ණ පරලොකස්‌ස - නත්ථි පාපං අකාරියං" යනුවෙන් බුදුරදුන් දේශනාකොට වදාරා තිබේ. 

"සත්‍යය නමැති එක ධර්මය අත්හල බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක්‌ නැතය" යනු එහි අර්ථයයි.

සෑම ආගමකම පව් ලැයිස්‌තුවක්‌ ඇත. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරු කීම ඒ සියල්ලටම ඇතුළත්ය. සියලුම ශාස්‌තූවරු වෙනසක්‌ නොමැතිව බොරු කීම පාපයක්‌ බව දේශනාකොට තිබේ. ලෝකයේ නුවණැති සියල්ලෝම බොරුව පිළිකුල් කරති. බොරු ප්‍රකාශ කරන්නාද පිළිකුල් කරති. අප මහා බෝසතාණන් වහන්සේ විසින් සමහර අවස්‌ථාවන්හිදී පව් කර තිබේ. එහෙත් අනුන්ට අනර්ථයක්‌ වන්නා වූ බොරුවක්‌ විවරණ ලැබීමෙන් පසු උන්වහන්සේ නොකී බව දක්‌වා ඇත. එමගින් පෙනී යන්නේ බොරුකීම අන් පව්වලට වඩා ලාමක පාපයක්‌ වශයෙන් උන්වහන්සේ සැලකූ බවය. බොරු කීමට බිය නොවන, ලැඡ්ජා නොවන තැනැත්තා ගුණවෙතක්‌ නොවේ. එක්‌තරා දිනක්‌ බුදුරජාණන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරිව තිබූ දිය ස්‌වල්පයක්‌ රහල් හෙරණපාණන්ට පෙන්වා රාහුලය, බොරුකීමට ලැඡ්ජා නැති මහණුන්ගේ මහණකමද මෙසේ ස්‌වල්පයයි. දේශනාකොට වදාළ සේක. ඉන්පසුව තථාගතයන් වහන්සේ එම පැන් ස්‌වල්පයද ඉවතලා රාහුල හෙරණපාණන්ට දක්‌වා රාහුලය මහණකම මෙසේම අහක දමන ලද්දක්‌ වේ යෑයි දේශනාකොට වදාළ සේක. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එම සෙම්බුව මුනින් අතට නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලැඡ්ජා නැතියනුගේ මහණකම මෙසේ මුනින් නමන ලද්දක්‌ වේ යෑයි දේශනාකොට වදාළහ. ඉන්පසුව තථාගතයන් වහන්සේ එම බඳුන උඩුකරු කොට තබා රාහුලය බොරු කීමට ලැඡ්ජා නැති මහණුන්ගේ මහණකම මෙසේම හිස්‌ වන්නේ යෑයි දේශනා කළ සේක.

බොරු කීමෙන් නොවැළකෙන්නකු කොතෙක්‌ ගුණධර්ම ආරක්‌ෂා කළත් ඒවායේ වටිනාකමක්‌ නොමැති සේය. එබැවින් සැම දෙනම බොරු කීමෙන් වැළකීමට සිතාගත යුතුය. බොරු ප්‍රකාශ කිරීම පිළිකුල් කළ යුතුය. සත්‍යවාදී සමාජයක්‌ ගොඩනැගීමට බොරුවෙන් වැළකීම අප සැමගේ යුතුකමකි.

දර්ශනපති මෝහාන් නන්දන නානායක්‌කාර