දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

පි‍්‍රය දේ නිසා හට ගන්නා සැප සහ දුක

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති අය ලෙස දෙව් මිනිස් ලෝකයා පි‍්‍රය දේ ළංකර ගැනීමටත්, අපි‍්‍රය දෙයින් ඈත් වී සිටීමටත් උත්සාහ ගනී. පි‍්‍රය දේ නිසා දුක හට ගන්නා බව දන්නා නමුත් බොහෝ දෙනෙකුට පි‍්‍රය දේ අත්හැර සිටීමේ කුසලතාවයක් නැත
ලෝකයට ඉතා කලාතුරකින් පහළවී වදාළ බුද්ධිමත් දෙව් මිනිසුන් ආදරයෙන් සරණ ගිය දෙවියන්ට දෙවි වූ බඹුන්ට බ්‍රහ්ම වූ සුගත තථාගත අප මහා මුණීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළින් අපට මේ සසර ගමන නිමා කිරීමට හැකියාව තිබෙනවා.
යමක් හේතුවෙන් අපට කායිකව හෝ මානසිකව සැපක් සොම්නසක් හටගනී නම් ඒ දේ අපට පි‍්‍රයවෙයි. දුක් තැවුල් උදාකරන දෙය අපි‍්‍රය වෙයි. සාමාන්‍ය මිනිසුන් ලෙස අප කා හටත් පි‍්‍රය දේ තිබෙයි. ඒ පි‍්‍රය දේ හේතුවෙන් සැපක් සොම්නසක් දැනෙන නිසා අප නිරායාසයෙන්ම පි‍්‍රය දේ අප වෙත ළංකර ගැනීමටත්, තමාගේ වසඟයේ තබා ගැනීමත් අපි‍්‍රය දේ අපෙන් ඈත්කොට තබා ගන්නටත් උත්සාහ කරයි.

පි‍්‍රය දේ යනු කුමක්ද?

බුදුරජාණන් වහන්සේ විසින් පි‍්‍රය දේ කුමක්ද කියා මෙසේ දක්වා තිබෙනවා. “යමෙකුට ඉෂ්ට වූ කාන්ත වූ, මනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු යන මේවා ඇද්ද, ඔහුට යහපත කැමැති හිත කැමැති පහසුව කැමැති දියුණුව කැමැති මව, පියා හෝ සොහොයුර, සොහොයුරන්, යහළුවන්, මිතුරන් හෝ පවුලේ ඤාතීන් සිටීද, මේ සියල්ල පි‍්‍රය දෙයයි. (මහා සතිපට්ඨාන සූත්‍රය)
භාග්‍යවතුන් වහන්සේ වදාළා පි‍්‍රය අරමුණුවල ඒකාන්ත සැපයක් තිබුණා නම්, කිසිවෙකු මේ සසර දුකින් නිදහස් නොවෙන බව. ඒ වගේම ඒකාන්ත දුකක් තිබුණේ නම් මේ ලෝක සත්ත්වයා කිසිවිට සසරට නො බැඳෙන බව. එනිසා පි‍්‍රය දේ තුළ ආස්වාදය මෙන්ම ආදීනවය ද පවතියි. පි‍්‍රය දේ කෙරෙහි නිරායාසයෙන්ම බැඳීමක් ඇතිවීම අපගේ සිතෙහි ස්වභාවය යි. ඒ ස්වභාවය දෙව් මිනිස් කා හටත් පොදුයි. පි‍්‍රය දේ කෙරෙහි ඇතිවන බැඳීමට බුදුරජාණන් වහන්සේ වදාළේ ඡන්දරාගය ලෙසයි. උන්වහන්සේ වදාළ ඒ ධර්මය තේරුම් නොගත් තැනැත්තාට පි‍්‍රය දේ නිසා දුක හට ගනී යන කරුණ පිළිබඳව වැටහීමක් නැහැ. බොහෝ දෙනා සිතනුයේ පි‍්‍රය දේ නිසා ඒකාන්තයෙන්ම සැපයක් හට ගන්නා බවයි.

ඡන්දරාගයෙන් සිත බැඳීයාම

දිනක් උරුවේලකප්ප ගමේ ජීවත් වූ භද්‍රකගාමිණි “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මා හට දුකේ හට ගැනීමත්, නැතිවීමත් දේශනා කරන සේක්වා.” ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ “ගාමිණි, මම ඔබට අතීතයේ දුක හටගන්නේ මෙසේය කියා හෝ අනාගතයේ දුක හටගන්නේ මෙසේය කියා හෝ දේශනා නොකොට මේ මොහොත් මෙහිදීම වර්තමානය තුළ දුක හටගන්නේ කෙසේදැයි කියා දේශනා කරන්නම්. මේ උරුවේලකප්ප ගමේ ඇතැම් මිනිසුන්හට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, නින්දාවට පත්වීමක්, සිදුවුණොත් ඒ ගැන ඔබ තුළ ශෝකයක්, වැළපීමක්, දුක් දොම්නස් හටගැනීමක්, සුසුම් හෙළීමක් උපදිනවාද?’ ස්වාමිනි,මේ ගමේ ඇතැම් මිනිසුන්හට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, සිදුවූවොත් ඒ ගැන ශෝකයක්, වැළපීමක්, දුක්දොම්නසක්, සුසුම් හෙළීමක් මා තුළ උපදීයි.
ගාමිණි, මේ ගමේ තවත් ඇතැම් මිනිසුන් හට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, නින්දාවට පත්වීමක් සිදුවුවොත් ඒ ගැන ඔබ තුළ ශෝකයක්,වැළපීමක්, දුකක්, දොම්නසක්, සුසුම් හෙළීමක් හට නො ගැනීමක් වේද? භාග්‍යවතුන් වහන්ස, මේ ගමේ ඇතැම් මිනිසුන්ට මරණයක්, සිරගතවීමක්, පිරිහීමක්, නින්දාවට පත්වීමක් වුවොත් ඒ ගැන මා තුළ ශෝකයක්, වැළපීමක්, දුකක්, දොම්නසක්, සුසුම් හෙළිමක් හට නොගනීයි.
එසේනම් ගාමිණි, එකම ගමේ පිරිසකට කරදරයක්, පීඩාවක් සිදුවූ විට ඔබට දුකක්, දොම්නසක් ඇතිවීමටත්, ඒ ගමේම පිරිසකට කරදරයක්, පීඩාවක් සිදුවූ විට දුකක්, දොම්නසක් ඇති නොවීමටත් හේතුව කිමෙක්ද? ස්වාමිනි, යම් පිරිසකට දුකක් කරදරයක් වූ විට මට දුකක් දොම්නසක් ඇතිවන්නේ මාගේ සිතෙහි ඒ අය කෙරෙහි ඡන්දරාගය තිබීමයි. යම් පිරිසකට දුකක් කරදරයක් ඇති වූ විට මට දුකක් දොම්නසක් ඇති නොවීමට හේතුව ඒ අය කෙරෙහි මගේ සිතෙහි ඡන්දරාගය නොවීමයි.
ගාමිණි එය එසේමයි. අතීතයේත්, අනාගතයෙත්, වර්තමානයෙත් යම්කිසි දුකක් ඉපදුණානම් ඒ හැම දෙයකටම පි‍්‍රය ස්වභාවය හට ගත්තා වූ කැමැත්ත හෙවත් ඡන්දරාගය මුල් වෙයි. මේ පි‍්‍රය ස්වභාවයට අප තුළ ඇති කැමැත්ත සෑම දුකකටම මුල් වීමයි. (භද්‍රක සූත්‍රය -සං.නි)
එනිසා අප තේරුම් ගත යුතුයි සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති අය ලෙස දෙව් මිනිස් ලෝකයා පි‍්‍රය දේ ළංකර ගැනීමටත්, අපි‍්‍රය දෙයින් ඈත් වී සිටීමටත් උත්සාහ ගන්නා බව. පි‍්‍රය දේ නිසා දුක හට ගන්නා බව දන්නා නමුත් බොහෝ දෙනෙකුට පි‍්‍රය දේ අත්හැර සිටීමේ කුසලතාවයක් නැත. නමුත් සාමාන්‍ය ගිහි පින්වතුන් ලෙස සැපයට කැමැති ඔබ සැප විඳීමේ අදහසින් පි‍්‍රය වූ දේ ළංකර ගනී. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස පි‍්‍රය වූ කාම ගුණයන් පිළිබඳව නුවණින් සලකා බැලිය යුතු ආකාරය ධර්මයේ සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා කැලයේ ඇවිදගෙන යන මුවෙක් සිටී. ඒ සතා කැලයේ තණකොළ කකා ඇවිදගෙන යද්දී මුවන් අල්ලන වැද්දෙකු විසින් මේ තණකොළ මැද අටවපු උගුලක පැටලෙයි. මුවා තොණ්ඩුවට අසු වූ නිසා එතැනම නිදා ගනියි. කැමැති, කැමැති තැනකට දුවන්නට බැරි නිසා මුවන් මරණ වැද්දාට ඒ මුවාට ඕනෑම දෙයක් කරන්නට පුළුවනි. ඒ මුවා ගැන කියන්නට තිබෙන්නේ මුවා උගුලේ හසුවීමෙන් සිදුවූයේ විපතක්මයි. පාඩුවක්මයි.

පි‍්‍රය ස්වභාවයෙන් යුතු දේ

මේ ලෝකයේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින සිත ඇදී යන ඉෂ්ටකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස පහස තිබෙනවා. මේවා තමා අපට පි‍්‍රය දේ කියා කියන්න තිබෙන්නේ. මේ පි‍්‍රය ස්වභාවය පවතින ගේ දොර, ඉඩකඩම්, හරකබාන, ස්වාමිපුරුෂයා, බිරිඳ, මව, පියා, දුවාදරුවන්, දැසි දස්සන් ආදි පි‍්‍රය වස්තුන් සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකමැති ස්ත්‍රියක හෝ පුරුෂයෙකු තමාගේ සන්තකයට ගන්නවා. තමා වෙත ළංකර ගන්නවා. නමුත් මොහු මේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින කාම ගුණයන් හට ගිජු වෙයි. ඒ ගැන සිහි විකල්කර ගනියි. එයින් ලැබෙන ආස්වාදයෙහි බැස ගනියි. ඒවා ගැන ආදීනව නොදැක නිදහස්වීමේ ප්‍රඥාවක් නොමැතිව එම අරමුණු රස විඳින්න පටන් ගනියි. එය හරියට මුවා උගුලේ හසු වූවා වගෙයි. මෙසේ සිටින කල්හි තමන්හට පි‍්‍රය වූ තමා බැඳී ගිය වූ ඒ පි‍්‍රය වස්තුන් අනිත්‍ය වී යයි. ඒවා අනිත්‍ය වන කල්හි ඒ පුද්ගලයා දුකට පත්වෙයි. මුව වැද්දා මුවාකරා පැමිණෙන සේ දුක තමා කරා පැමිණෙන විට අර කාම සම්පත්වලට ගිජුවූ බැඳුණු ආස්වාදය පමණක් දකිමින් සිටි පුද්ගලයා හට මුවා තොණ්ඩුවට සිරවී සිටින්නා සේ එම කාම සම්පත් වලින් සිත මෑත් කර ගැනීමට නොහැකිව දුකට පත්වෙයි.
එම කැලයේ තවත් මුවෙක් තණකොළ කකා ඇවිගෙන යනවිට මුව වැද්දා අටවපු උගුලක් දකී. ඌ ඒ උගුලේ පැටලවෙන්නේ නැතිව තණකොළ කනවා. උගුල අසලම නිදා ගනී. නමුත් මුවා තොණ්ඩුවට බැඳී නැහැ. පසුදා මුව වැද්දා පැමිණි විට මුවා කැමැති දිසාවකින් පැන දුවනවා. ඒ මුවා විපතට පත්වූණේ් නැහැ. මුවාට පාඩුවක් සිදුවූයේ නැහැ.
මේ ආකාරයට පි‍්‍රය ස්වභාවය පවතින ගේ දොර, ඉඩකඩම, හරකබාන, ස්වාමිපුරුෂයා, බිරිඳ, මව, පියා. දුවාදරුවන්, දැසි දස්සන් ආදී පි‍්‍රය වස්තුන් සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තමාගේ සන්තකයට හෝ තමා වෙත ළංකර ගන්නවා. නමුත් මොහු මේ පි‍්‍රය ස්වභාවයෙන් පවතින කාම ගුණයන්ට ගිජුනොවී ඒ ගැන සිහි විකල් නොකරගෙන එහි ඇති ආස්වාදයෙහි බැස නොගෙන ඒවාහි ආදීනව දකිමින් නිදහස් වීමේ ප්‍රඥාවක් ඇතිව එම අරමුණු රස විඳින්නට පටන් ගනී. එය හරියට මුවා උගුලේ හසු නොවී තණකොළ කනවා වගේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා සේක.
එනිසා පි‍්‍රය දේ නිසා දුක් හටගන්නා මේ ලෝකය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලබමින් හට ගන්නා වූ දුක් දොම්නස් සුසුම් හෙලීම්වලින් නිදහස්වීමට උත්සාහ කිරීමට නම් අප තථාගතයන් වහන්සේ සරණ යන්නට ඕන. ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයත්, ශ්‍රාවක සංඝ රත්නය පිළිබඳවත් පැහැදීම ඇතිකර ගනිමින් සරණ යාම අවශ්‍යයි. මේ උතුම් තිසරණය තුළ පිහිටා පි‍්‍රය, අපි‍්‍රය දේ අවබෝධ කරගෙන දුක් දොම්නස් සුසුම් හෙළීම් පිරි සසරින් නිදහස් වීමට උත්සුක වෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජරාවෙන් හා මරණයෙන් නොමිදෙන්නෝ

කෝට්ටේ කොටුබැම්ම පාරේ 
ශ්‍රී සුනේත්‍රාරාමාධිපති 
කොළඹ කළුතර දෙදිසාවේ 
ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති 
ඇලිකේවෙල සීලානන්ද නා හිමි

" වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි."
කෙලෙස්වලින් මිදුණු සිත් ඇත්තෝ නිවන් පසක් කළෝ වෙති. ඒ විමුක්තිය සඳහා අනුගමනය කළ යුතු ධර්මයෝ මෙන්ම පහ කළ යුතු ධර්මයෝද වෙති. ඒ පහ කළ යුතු ධර්මයන් මෙන්ම අනුගමනය කළ යුතු ධර්මයන් පිළිබඳ තථාගත බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආකංක වග්ගයේ තයෝ ධම්ම සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත. “තයෝ මේ භික්ඛවේ ධම්මා ලෝකේ න සංවජ්ජේය්‍යුං න තථාගතෝ ලොකෝ උප්පජ්ජෙය්‍ය, අරහං සම්මා සම්බුද්ධෝ, න තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ, ලෝකේ දිප්පෙය්‍ය, කථමෝ තයෝ, ජාතිච, ජරාව, මරණඤ්ච” මහණෙනි මේ ධර්ම තුනක් ලෝකයෙහි විද්‍යමාන නොවේ නම් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදිති.
තථාගත ප්‍රවිදිත ධර්ම විනය ලොව දිප්ත නොවන්නේය. කවර තුනක්ද, යත් ජාතිය, ජරාව හා මරණයයි. මේ දහම් තුන ලොව යම්තාක් පවතීද ඒ තාක් බුදුවරයන්ගේ ලොව පහළවීම සිදුවෙයි. ඒ තථාගත බුදුවරුන්ගේ පහළවීම නිසා නිර්මල ධර්ම විනය ලොව බබළයි යනු ඉහත පාඨයේ අරුතයි. මෙයින් පැහැදිලි කරන්නේ උපත සදාකාලික නම් එහි ජරාවක් හෝ මරණයක් ඇති නොවන බවයි. එවැනි උපත දුකක් නොව සැපතකි. ජරාවක් හෙවත් දිරීමක් නොමැති බැවින් එය සැපතකි. මරණය නොමැති වීමෙන් එය සැපතකි. එවැනි අයෙකුට උපතේ ආදීනව කියන්නට, ජරාවේ ආදීනව කියන්නට, මරණයේ ආදීනව කියන්නට කෙනෙකුගේ අවශ්‍යතාවයක් නැත. නමුදු ලෝක ස්වභාවය නම් නිවන් අවබෝධ වන තෙක් සත්ත්වයාගේ උපත සිදුවන බවයි. ඒ උපන් සත්ත්වයා ජරාවට පත්වෙන බවයි. මරණයට පත් වෙන බවයි. තථාගත බුදුවරුන්ගේ පහළ වීමෙන් සිදු කරන්නේ ජාතියට හේතු කියා දී ඒ හේතු නැති කිරීමෙන් ජාතිය නැති කරන ආකාරයයි. ඒ ජාතිය නැති කළ විට ජරාව, මරණයද නැති වේ.
එය තවදුරටත් පැහැදිලි කරමින් මහණෙනි, ධර්ම කරුණු තුනක් ප්‍රහාණය නොකරනතාක් ජාතියෙන් මිදීමක් ජරාවෙන් මිදීමක්, මරණයෙන් මිදීමක් කිසි කලෙක සිදු නොවෙයි. ඒ ජාතියෙන් මිදීමට නම් ජරාවෙන් මිදීමට නම් මරණයෙන් මිදීමට නම් රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය .මේවා ප්‍රහීණ නොකරන තාක් ජාතියෙන් මිදීමක් නැත. ජරාවෙන් මිදීමක් නැත. මෝහයෙන් මිදීමක් නැත.
ස්කන්ධයන්ගේ පහළවීම,ඇතිවීම හට ගැනීම භවයෙහි උපත ලැබීම, ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ උත්පාද ලක්ෂණය ආදිය මෙයින් අදහස් කරයි. ජරාව යනු දත් වැටීම්, කෙස් පැසීම් ආදි වශයෙන් සම්මත වු සන්තතියෙහි හෙවත් රූපාරූප ධර්ම පරම්පරාවෙහි එක් භවයක ඇතුළත් ස්කන්ධයන්ගේ පුරාණ බවයි.
මරණය යනු කර්මයෙන් උපන් රූපාදී ස්කන්ධ පහළ වී මෝරා අවසානයේ නැති වී යාමයි. එබැවින් ජාතියෙන් මිදීමට ජරාවෙන් මිදීමට , මරණයෙන් මිදීමට රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය . මේ ධර්ම තුන ප්‍රහීණ නොකරතාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව හා සීලබ්බත පරාමාසයයි. රූපාදී පඤ්චස්කන්ධයෙහි මමය මාගේය ආත්මීය වශයෙන් ගැනීම සක්කාය දිට්ඨියයි. සැකය හෙවත් කුකුස හේතු කොට ඇතිවන නිර්මාණ බාධකයද, බුද්ධාදී අට තැනෙක්හි ඇති කරගන්නා සැකය හේතුකොට ගත් නීවරණය විචිකිච්ඡාවයි. සසර දුකින් මිදෙනු පිණිස ගන්නා වැරදි මාර්ගවූ ගෝසිල ගෝ වෘත ආදිය සීලබ්බත පරාමාස නම් වේ.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒවා නම් අයෝනිසෝ මනසිකාරය, කුම්මග්ග සේවනය, හා සිතේ අලසකමයි. අයෝනිසෝ මනසිකාරය යනු නුනුවණින් මෙනෙහි කිරීමයි. යම් කරුණක් ආරම්භයේ සිට අවබෝධ කර නොගැනීමයි. වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි. මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ආර්යන් වහන්සේලා දැකීමට ඇති අකැමත්ත, ඒ ආර්යයන් වහන්සේලා දේශනා කරන ලද ධර්මය ඇසීමට ඇති අකැමත්ත හා දෝෂාරෝපණයට ලැදිවීමයි. මේ කියන ධර්ම තුන ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ධර්ම තුනක් වැඩෙයි. ඒ ධර්ම තුන නම් උද්ධච්චය, අසංවර භාවය හා දුස්සීල භාවයයි.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ශ්‍රද්ධාවෙන් තොරවීම, මෛත්‍රිය හා කරුණාවෙන් තොරවීමයි. අලස කමින් යුක්ත වීමයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් අන් අයට ගරු නොකිරීම,අකීකරුකම, පාප මිත්‍ර සේවනය වැඩෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ගරු කිරීම, කීකරුකම, කල්‍යාණ මිත්‍ර සේවනය ඇති නොවෙයි. ඒවා ඇති නොවු විට ඔහු තුළ අහිරිය,අනොත්තප්පය, හා ප්‍රමාදය ඇති වෙයි.එවිට ඔහු තුළ පවට ලජ්ජාව, බිය හා අප්‍රමාදී බව නැති වෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු ජාති, ජරා, මරණය කරාම ගමන් කරයි.
එබැවින් හෙතෙම හිරි ඔතප් හා අප්‍රමාදී බවින් කටයුතු කරන්නෙකු විය යුතුය. එසේ වූ විට අගෞරවය පහවී ගෞරවය ඔහු තුළ උපදියි. අකීකරුකම පහවී කීකරුකම ඇති වෙයි. පාප මිත්‍ර සේවනය පහකළ විට කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇසුරට පි‍්‍රය කරන්නෙක් වෙයි. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා ඔහු තුළ අසද්ධාව ප්‍රහීණය වී සද්ධාව පහළවෙයි. සද්ධාව පහළවන විට මෛත්‍රිය හා කරුණාව උපදියි.අලසකම ප්‍රහීණය වී ආරද්ධ වීර්ය ඇතිවෙයි. ආරද්ධ වීර්ය හෙවත් නොපසුබට උත්සාහය නිසා සිතේ ඇති නොසන්සුන්කම වෙනුවට සන්සුන්කම පහළ වෙයි.
සිතේ සන්සුන්කම වැඩෙන විට අසංවරය වෙනුවට සංවරය පහළ වෙයි. සංවර බව වැඩෙන විට දුසිල්බව ප්‍රහීණය වී සිල්වත් බව වැඩෙයි. සිල්වත් බව ඇතිවෙන විට ආර්යයන් වහන්සේලා හමුවීමේ කැමැත්ත පහළ වෙයි. ආර්යයන් වහන්සේලා දැකීමේ කැමැත්ත වැඩෙන විට ඒ ආර්යයන් වහන්සේලාගේ දහම ඇසීමට පි‍්‍රය කරයි. ආර්යයන් වහන්සේලාගේ දහම අසන විට දෝෂාරෝපණයට ඇති කැමැත්ත පහවී මුලාවූ සිහිය වෙනුවට සම්මා සතිය වැඩෙයි. සම්මා සතිය පහළවීමත් සමඟම ප්‍රඥාව හෙවත් නුවණ ඇති කෙනෙක් බවට පත්වෙයි. ප්‍රඥාව කරණකොට ගෙන සිතේ විසිරෙන ස්වභාවය වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය හෙවත් සිත එක අරමුණක තබා ගැනීමට හැකිවෙයි.
චිත්ත ඒකග්‍රතාවයෙන් යුත් සිතට අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය පහළ වෙයි. ඒ යෝනිසෝ මනසිකාරය හේතු කොට ගෙන නිවැරදි මග හෙවත් සම්මා දිට්ඨියට පිවිසෙයි.
නිවැරදි මගට පිවිසීම නිසා සිතේ විවෘත භාවය ඇතිවෙයි. සිතේ විවෘත භාවය කරණකොට ගෙන මමය මාගේය යන ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය ප්‍රහීණය වෙයි.
සැකය හෙවත් විචිකිච්ඡාව ප්‍රහීණය වෙයි. සීලබ්බත පරාමාස ප්‍රහීණය වෙයි. එසේවූ සිතට රාගය සහමුලින් පහ කළ හැකිය . ද්වේශය සහමුලින් පහ කළ හැකිය. මෝහය සහමුලින් පහ කළ හැකිය. ඒ රාගය පහ කළ දෝෂය පහ කළ මෝහය පහ කළ තැනැත්තාට ජාතිය ප්‍රහීණය කළ හැකිය.
ජරාව ප්‍රහීණය කළ හැකිය. මරණය ප්‍රහීණය කළ හැකිය. ඒ ජාතිය ජරාව, මරණය ප්‍රහීණය කිරීම යනු නිවන් අවබෝධ කරගත් අයෙක් බවට පත්වීමය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වෙන්වීමේ දුක දරා ගන්නට නම්...

වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය 
මහපිරිවෙන් ආචාර්ය රාජකීය 
පණ්ඩිත ශාස්ත්‍රපති 
අයගම සුසීල හිමි
 

සංයෝග යනු එකට එකතු වීමයි හෙවත් හමුවීමයි. වියෝග යනු වෙන් වීමයි. සංයෝගයක් හෙවත් එකට එකතුවීමක් යම් තැනකදී සිදුවන්නේද ඒ ඇති වූ හමුවීම වෙන්වීමකින් කෙළවර වීම විශ්ව ධර්මතාවයි. “පියෙහි විප්පයොගෝ දුක්ඛො” යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් බවයි.
අප මව් කුසින් මෙලොව එළිය දුටු දිනයේ සිට ප්‍රථමයෙන් මවත් පියා සහ සහෝදර සහෝදරියන් සමගත්, ආච්චි ,සීයා ,නැන්දා , මාමා ආදි අවශේෂ ඥාති වර්ගයා සමගත් දැඩිබැඳීමකින් හා එකමුතු කමකින් ජීවත්වීමට පුරුදු පුහුණු වී සිටිමු. ඔවුන් අපට දක්වන ආදරය සෙනෙහස හා මගේය, අපේය යන ආකල්පයෙන් එකිනෙකා කෙරෙහි දක්වන මානසික සංවේදීභාවය අපේ හදවත් තුළ දැඩිව කිඳා බැසගෙන පවතී. එනිසා ඔවුන් කෙරෙහිද අපගේ මනසෙහි ඇත්තේ සුවිශේෂී මමත්වයකි.

පාසල් යන අවදියේ සිට සමාජ ජීවිතයකට පුරුදු පුහුණු වන අපි, බැඳීම් තව දුරටත් පුළුල් කර ගැනීමට පෙළඹෙමු. ඒ අනුව අපට ගැළපෙන මිත්‍ර සමාගමක් සමගත් එයින් බැහැර අසල්වාසීන් සමගත් රැකියා ස්ථානයේදී හිත මිතුරන් සමගත් දැඩි ළෙන්ගතු ඇසුරකට පත්වෙමු. අපගේ ඇසුරට ආදරණීය සුවිශේෂී පිරිසක් සමීප කරගත් දිනයේ සිට ඔවුන් සියලු දෙනා සමඟ දුක සැප බෙදාගනිමින් ජීවිතය භුක්ති විඳින්නෙමු. මේ සංයෝග හෙවත් හමුවීම සියලු දෙනාටම අවැසිය. පෘථග්ජන අප කිසිවෙකුට ලෝකය තුළ හුදකලාව ජීවත් විය නොහැකිය. වරක් බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට වදාළේ වනයෙහි ගස් මෙන් එකිනෙකාට නම්‍යශීලිව ඔවුනොවුන් අතර බැඳී බොහෝ ඥාතීන් ඇතිව ජීවත් වන ලෙසයි.

‘ඤාති සම්බහුලා හෝථ 
අපි රුක්ඛා අරඤ්ඤහි”

එනිසා මෙබඳු ඤාති මිත්‍ර පිරිසකගේ හමුවීම අතිශයින්ම අප සැමට ප්‍රමෝදය ඇති කරයි. අපේ අම්මා හා තාත්තා අප ළඟ රැඳී සිටීම අපට සතුටකි. ඔවුන් දෙපළට ද දරුවන් ළඟ සිටීම මහත් සතුටකි. බිරිඳ හා දරුවන් මෙන්ම සහෝදර සහෝදරියන් ද එම සතුට තීව්‍ර කරයි. අපි ආදරය කරන මේ කිසිවෙකුට විපතක් අනතුරක් සිදු නොවී හැම දිනම අප හා එකතුවී සිටීම තරම් ආස්වාදයක් අපට නොමැත.එනිසා සංයෝගය නම් ධර්මතාව අප සියලු දෙනාගේ ජීවිතයට ජීවයක් ලබාදෙන ගුණයක් ලෙස දැනේ. මේ හේතුවෙන් අපේ බැඳීම් කිසිවිටෙකත් බිඳ වැටෙනවා දැකීමට අපේක්ෂා නොකරන අතර වැඩි වැඩියෙන් බැඳීම් තහවුරු කරගනිමින් ජීවත්වීමට අපි පුරුදු පුහුණු වී සිටිමු. එය පෘථග්ජන වූ අප සැම දෙනාගේම පරම අභිලාශයයි. එහෙත් මේ කිසිඳු බැඳීමක් ස්ථිරව නොපවතී. ඒවා අනිවාර්යයෙන්ම බිඳවැටෙන ස්වභාවයෙන් යුක්තය. අප මනස හා බැඳුණු සැම ළෙන්ගතු ඇසුරක්ම වෙන්වීමකින් කෙළවර විය යුතුය. ලෝක ස්වභාවය නම් එයයි. අපව කිරි පොවා හදා වඩා පෝෂණය කළ එසේම අසීමිත මව් පිය සෙනෙහසකින් අපේ හදවත පිරවූ අපේ අම්මා හා තාත්තා ඇතුළු සියලු දෙනාම කෙදිනක හෝ අප අතහැර වෙන් වී යාමේ පැත්තට බර බව ඔවුන් සමඟ සතුටින් සිටින විට නොදැනේ. එසේම ඔවුන් අපෙන් වෙන්වී යාම ගැන සිතීමටද අපි අකැමැති වෙමු. එනමුත් එම සිතිවිල්ල ආත්මාර්ථකාමී වූ සත්‍ය ධර්මතාවට විරුද්ධ වූවකි. හැම හමුවීමක්ම වෙන්වීමකින් කෙළවර වන බව නොදැනෙන තාක් අපට පි‍්‍රය විප්‍රයෝගී දුකින්ද නිදහස් විය නොහැකිය.
මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණිය පිරිනිවන්පෑ අවස්ථාවේ ඇයගේ වියෝගය දරාගත නොහැකිවු පෘථග්ජන භික්ෂුණීන් ඇමතූ බුදුරජාණන් වහන්සේ සියලු බැඳීම් හා හමුවීමි. වෙන් වීමකින් කෙළවර වන බව අවධාරණය කළහ.

“හා! සංයෝගා වියෝගන්තං”

මෙම ධර්මතාව වටහා නොගෙන ජීවත්වීම හේතුවෙන් පි‍්‍රය විප්‍රයෝගී දුකක් වූ විට අප තුළ දරා ගැනීමේ ශක්තිය දුර්වල වී යයි.
එවිට අප පත්වන ඛේදනීය මානසික තත්වයෙන් ප්‍රකෘතිමත් භාවයට පැමිණීම පහසුනොවේ. මෙම ධර්මතාව පිළිබඳව විවෘතව බැලීමට පුරුදු වුවහොත් අප කිසිවෙකුට හැඬීමට හෝ දුක්වීමට සිදු නොවේ. වරෙක අපගේ පී‍්‍රති ප්‍රමෝදයට හේතු වූ පුද්ගලයා හා වස්තුව තවත් වරෙක අපම දුකට යොමු කරවන බව අවබෝධ කරගත යුතුය. එය අපි ඇසුරු කරන හා ආදරය දක්වනන්ගේ වරදකින් සිදුවන දෙයක් නොව අප ඔවුන් කෙරෙහි දැක්වූ අවියෝජනීය මානසික බැඳීමේ ස්වභාවය පදනම් කරගෙන සිදුවන්නකි. මෙය තවදුරටත් සරලව මේ අයුරින් වටහාගත හැකිය. එනම් අප ඇසුරේ සිටින අය අප අතරින් ඉවත්ව යාමත් අලුතින් පරපුරක් දරු මුණුපුරන් ලෙස අපේ ඥාතීත්වයට පැමිණීමත් යන දෙපැත්තටම ආවේණික රටාවකට අනුගතව විශ්වධර්මතාව ක්‍රියාත්මක වන බවයි. මව හෝ පියා එසේම දරුවන් මිය යාම අපට දැරිය නොහැකි වුවත් ඔවුන් වෙන් වී යාම තුළ ඇත්තේ අපට ප්‍රථමයෙන් අප අතහැර යාම පමණි. ජීවත්ව සිටියදී අපේ ඇසුරේ සිටින බොහෝ දෙනෙක් අප අතහැර යන අයුරින්ම අපටද අපේ ආදරණීයයන් කෙදිනක හෝ අතහැර යාමට සිදුවේ. ස්වභාව ධර්මයේ නියතිය එයයි. එම නියතියට අප සියලු දෙනාම යටත් වී සිටිමු. එයින් මිදීමට හැකි වන්නේ සියලු බැඳීම්වලින් මිදුණු විරාගී චරණයට පත්වීමෙන් පමණි. ඒ සඳහා නිවැරදි මාවත බුද්ධ දේශනාවේ සඳහන් වේ. එතෙක් අප ආදරය කරන අපේ ජීවිත සමඟ බැඳී සිටින සියලු දෙනාම විශ්ව ධර්මතාවයේ නියතියට යටත් බවත් ඒ ධර්මතාවයට අනුව අපි සියලු දෙනාම ලෝකය තුළ ජීවත් විය යුතු බවත් අවබෝධ කරගැනීම වියෝ දුකින් මිදීමට ඇති නිවැරදි මාර්ගයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බියකරු සසරේ ගමන සීරුවෙන්

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරා ඉරා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර ශෝභමාන මාවත කරවකුගේ වුව සිත් තුළ පවතිනු ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහ යතිවරයාණන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහණ වන අරණකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැති වූ උන්වහන්සේගේ මුව මඬලින් ගලාගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අප ඔබ සිත් අභිමුව තබමු.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අසිරියෙන් මුළු මහත්වූ විශ්ව තලයට කොතෙක්‌ නම් සුන්දරවීද? ඒ ශාන්ත වූත්, ප්‍රනීත වූත්, නිරාමිසවූත්, සොබා සොදුරු බුදු අසිරියෙන් සැනහී ගත්තෝ නම් බඹුන් පමණක්‌ නොවේ. දෙවියන් පමණක්‌ නොවේ. මිනිසුන් පමණක්‌ද නොවේ. තිරශ්චීන සත්ත්වයින් සේම ඒ අමාමෑණියන් වහන්සේගේ බුදු සිරියෙන් හිත්පිත් නැත්තාවූ අෙච්තනිකයෝද සැනහී ගත්තෝය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහ මඟට බැස සොඳුරු සිරිපතුල් තබා වඩින විට එක හැටියේම ඝන බොල් පොළොව සැරසී නෙක මල් පිපුණේද එහෙයින්මය. එයට හේතු වූයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංසාර දුක කෙළවර කොට ඒ බියකරු සසර සැඩ පහරින් සදහටම එතෙරවී ගැන්මම නොවේ. එමෙන්ම උන්වහන්සේ සියලු ලොවැසි සත්වයන් කෙරෙහිම පතළ මහා කරුණාවෙන්ද වැඩ විසූ සේක. ප්‍රඥාවෙන් අනන්ත, අප්‍රමාණද වූ සේක. සැකෙවින්ම පවස තොත් උන්වහන්සේගේ ජීවිතය තුළින් කුරාකුහුඹුවෙකුටවත් අබමල් රේණුවක තරම්වත් කිසිම වරදක්‌ සිදුවූයේ නැත. උන්වහන්සෙ රහසින්වත් පව් නොකළ සේක යනුවෙන් විශ්ව සම්මතයක්‌ ගොඩනැගුනේද එනිසාමය. 

දිනක්‌ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගිජුකුළු පව්ව යටින් සක්‌මන් කරමින් සිටියහ. එම විසල් පර්වතය උඩ හුන් දෙව්දත් තෙරුන් උන්වහන්සේ යටකර මරාදමන්නට මහ ගලක්‌ පෙරළා එවූයේ මේ නිමේෂයේදීය. සම්මා සම්බුදුවරයෙකුගේ පරමෝත්තම ජීවිතයට මේ සක්‌වලෙහි නොව, අන්කිසි ලොවක කිසිවෙකුටත් කිසිම අන්තරායක්‌ සිදුකරන්නට නම් නොහැකිමය. සිය කාලකණ්‌නි ජීවිතයේ පව් පොතම පුරවමින් සිටි දේවදත්තට එය තේරුම් ගැනීමට තරම්වත් සැදැහැ සිතක්‌ නොතිබුණේ අවාසනාවටමය. ඒත් ඔහු පෙරළා එවූ ඒ මහගලින් බිඳී ආ ගල් පතුරක්‌ සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ සිරි පතුලෙහි වැදිණ. උන් වහන්සේට එයින් වේදනා උපන් අතර ජීවක එයට වෛද්‍ය ප්‍රතිකාරද කළේය. 

සියලු ලෝවැසි සත්ත්වයන් කෙරෙහි පතල මහා මෛත්‍රීයන් වසන තමන් වහන්සේට මෙසේ සිදු වූයේ කුමක්‌ නිසාද? උන්වහන්සේ ක්‌ෂණයකින් අතීතය පරීක්‌ෂා කර බැලූහ. එවිට උන්වහන්සේට හේතුව ඇක ගන්නට ලැබිණ. ඒ උන්වහන්සේ සම්මා සම්බුදු බව පතා බෝධි සම්භාරධර්මයන් පුරන්නටත් පෙර ඉතා දුර ඈත අතීතයේ එක්‌ ආත්මයක කර තිබූ පාප කර්මයක විපාක දීමක්‌ විය. අවුරුදු දහස්‌ ගණනින් ගෙවා සම්බුද්ධත්වය ලැබූ ආත්මභාවයට පැමිණ සිටියද ඒ කර්මයේ විපාක දීම ගෙවී නොතිබිණ. 

ඉදින් කාරුණික පින්වතුනි, ඔබට සිතන්ට පිළිවන්ද? ඔබ යම් කිසිවක්‌ සිතනවාද? ඒ අනුව ක්‍රියා කරනවාද? එහි හොඳ හෝ නරක ප්‍රතිවිපාකය ඔබ වෙනුවෙන්මය. එහි ප්‍රතිවිපාකය අන්කෙනෙකු නොපැමිණෙන්නේමය. මේ බියකරු සංසාරයෙහි ස්‌වාභාවය එලෙසමය. එහි ඒ විපාක ලැබෙන්නට තරාතිරමක ප්‍රශ්නයක්‌ද නැත. අරහත් භාවයට පැමිණියත් එහි ප්‍රවෘත්තිවිපාක තමන් වෙතම පැමිණෙන්නේය. 

ලෝකයා ලොව තුළ ජීවත්වෙති. ඔවුන්ගේ ජීවිතය කොතෙක්‌ නම් සංකීර්ණද? කොතෙක්‌ නම් විශමතාවයන්ගෙන් යුක්‌තද? ඔවුන්ගේ ජීවිත තුළිනි සිදුවනදෑද මෙලෙසින්ම නොවේද? ඔවුහු අනෙක්‌ විවිධ වූ අරමුණු ජය ගැනීම සඳහා නොයෙක්‌ දේද සිදු කරති. මෙසේ සිදු කරන බොහොමයක්‌ දේ අකුසල මූලයන්ගෙන් මිස කුසල මූලයටන්ගෙන් පිරිසුදුවී නැත. මේ බව අද ලෝකය තුළ සිදුවන විවිධාකාරවූ අපරාධමය සිදුවීම් තුළින් හොදින්ම අවබෝධ කර ගැනීම අපහසු නැත. 

මොහොතක්‌ කල්පනා කර බලන්න ඔබ හෝ වේවා අන්කවරෙකු හෝ වේවා සිදු කරවන දේ තවත් කෙනෙකු සඳහා නම් නොවේ. ඒවා එලෙස සිදු කරන්නේ ඔබ වෙනුවෙන්මය. කණගාටුදායක කාරණය වන්නේ ඔබ එලෙස වපුරන බීජ සියල්ලක්‌ම පාහේ ඔබේ භයංකාර සංසාර ගමනෙහි අතිශය දීර්ඝත්වය කෙරෙහිම හේතු පාදක වීමයි. ඔබ වපුරන පිං පව් බීජවලට අනුව මෙසේ යන දිගු සසර ගමන තුළදී බොහොමයක්‌ දෙනාට සුවදායක දේම ලැබෙනවා නම් දුකක්‌ නැත. එහෙත් එලෙස නම් සිදු වන්නේ නැත. සංසාරය නම් මහා මරුකතර තුළදී ජීවිතයක්‌ ලබා ජීවත් වෙද්දී ඊළඟ මොහොත තුළ අත්දකින්නට සිදුවන්නේ ඉමහත්වූ බියජනක අත්දැකීම්ය. ඒවා අප්‍රමාණ දුක, ශෝකය, සංතාපය, වේදනාව හා තැතිගැන්ම ආදී දුක්‌ඛ සත්‍යයට අදාළ අමිහිරිම අත්දැකීම්වලින් ගහන වී තිබේ. බහුල වී තිබේ. ඒ අනුව අද ඉසුරුමත් ජීවිතයක්‌ ලබා අස්‌ථිර ලෞකික සතුටක්‌ ජීවිතය ගත කරන නැනැත්තාට ඊළඟ මොහොතේ හෝ හෙට දිනයේ කුමක්‌ සිදුවේදැයි කියන්නට බැරිය. එනම් ලෝකයේ ජීවත්වන වැඩිම පිරිසකට මේ ඊළඟ මොහොතේ හිමිවන්නට ඉඩ තිබෙන්නේ තිරිසන් ප්‍රේත ආදී සතර අපායයි. මෙහිලා හේතුවන්නේ ඔබ වෙනුවෙන්ම සිදු කරන දේවල්මය. මේ එයට හොඳ නිදසුන් කතාවකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ එක්‌ කුල කාන්තාවක්‌ සිටියාය. ඇයගේ සැමියා දක්‌ෂ නාවිකයෙක්‌ විය. එක දවසක මේ නාවිකයාත් ඇයගේ බිරිය වූ අර කුල කාන්තාවත්, තවත් බොහෝ පිරිසකුත් කැටුව නැව් නැගී ගමනක්‌ යන්නට පිටත් වූහ. පිරිස රැගත් නැව මුහුද මැදට වැද වැඩි වේලාවක්‌ ගතවූයේ නැත. එහි විශිමයජනක කාර්මික දෝෂයක්‌ හට ගත්තේය. තවත් අඩහෝරාවක්‌ ගත වී යන්නට පෙර මුළු නැවම මුදු පතුලේ ගිලී සැඟවෙන බව කාටත් හොඳීන් දැනුණේය. මරණයේ බිය හා තැතිගැන්ම තුළින් ඔවුන්ගේ අසරණ සිත් ඇලලිණ. 

හිටි අඩියේම මෙසේ සිදුවන්නේ කුමක්‌ නිසාද? එයට හේතුව අන්කවරක්‌වත් නොවේ. නැවෙහි කාළකණ්‌නිකමින් පිරුණු කිසිවකු සිටින නිසාය. දඹදිව සමාජයේ එදා පිළිගැනීම වූයේ එලෙසයි. ඒ අවාසනාවන්තයා සොයා ගැනේ. මට නැව තුළදීම කුසපත් අදිනු ලැබිණ. අවාසනාවේ කුසපත ලැබුණේ නාවිකයාගේ බිරියටය. නාවිකයා මහත්සේ ශෝකයට පත් විය. ඔහුගේ බැගෑපත් ආයාචනය මත යළිදුවරක්‌ කුසපත් අදිනු ලැබිණ. එවරත් අර තුසපත ලැබුණේ ඇයටමය. තෙවනවරටත් ඇයට ජීවිතය ලබන්නට අවස්‌ථාව ලැබුණත් නැවත ඒ වතාවේත් ඇයගේ ප්‍රවෘත්ති විපාකයම මතුවී පෙණුනේය. එක්‌ පවිටාවියක නිසා සියල්ලන්ටම මූදුබත්වන්නට බැරිය. නැවේ හිටි වැඩි පිරිසකගේ තීරණය අනුව නාවිකයාගේ බිරිය මුහුදට දැම්මේය. පුදුමයකි. නැව ක්‍රමයෙන් අනතුරින් මිදී යථා තත්ත්වයට පත්වී හෙමි හෙමින් යළි සුපුරුදු ගමන අරඹන්නට පටන් ගත්තේය. 

මේ දුක්‌මුසු කතා පුවත එදා සැවැත්නුවර ඡේතවනාරාමයෙහි වැඩ විසූ බුදුරජාණන් වහන්සේටද දැනගන්නට ලැබිණි. උන්වහන්සේ එවිට එම සිදුවීමට අදාළ වූ හේතුව කුමක්‌දැයි සොයා අභිඥා බලයෙන් අතීතය පරීක්‌ෂා කළ සේක. දීර්ඝ සංසාර ගමන තුළ නාවිකයාගේ බිරිය එක්‌ ආත්මභාවයක තවත් කාන්තා ආත්මයක්‌ ලබා ඉපදී සිටියා ය. ඇය වැඩි වියට පත් විගස එක්‌ පුරුෂයෙකු සමග සරණ ගියාය. එම පුරුෂයා කම් පරිද්දෙන් මිය යැමෙන් ඉක්‌බිති තවත් භවයක ඉපදුණේ බල්ලෙක්‌ වෙලාය. ඒ පෙර ආත්මයේ බිරිය ලගමය. මෙකල බල්ලා අතීත ආත්මයේ කාන්තාවගේ පුරුෂයා බැවින් ඌ කතට බෙහෙවින්ම ළෙන්ගතු විය. එනිසාම බල්ලා කාන්තාව යන සෑම තැනකම ඈ පසු පසින්ම ගමන් ගත්තේ ය. මෙයින් කාන්තාව සමාජයේ අන් අයගෙන් නෙයෙකුත් උසුළු විසුළු වලටද ලක්‌විය. එයින් ගැලවීම සදහා කාන්තාව හොද උපායක්‌ කල්පනා කළාය. ඒ අනුව හුදකලා තැනකට බල්ලාත් කැටුව ගිය ඈ බල්ලාගේ ගෙළෙහි වැලි කළයක්‌ ගැට ගසා ඌ වතුර වලකට දැම්මාය. දියට වැටුනු බල්ලා අප්‍රමාණ දුක්‌ වේදනා ලබා දියෙහි ගිලී මිය ගියේය. මෙසේ කාන්තාව සිදු කළ මේ අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාකය එතැන් පටන් නොයෙකුත් ආත්මභාවවලදී විපාක දෙමින් මේ නාවිකයාගේ බිරිය වූ ආත්මයෙහිදී දරුණු ලෙස ඵල ලබාදුන්නේය. බලන්න සසර නම් කොතරම් බිහිසුණුද පුද්ගලයාගේ සසර ජීවිතය යනු එක්‌ අතකින් අන්තයක්‌ දැකිය නොහැකි සිතුම් ප්‍රවාහයකි. කෙරුම් වැලකි. ඔවුනොවුන් ඒ සිතුවම් සිතන්නේ ඒ සිතුවම් අනුව කටයුතු කරන්නේ තවත් අයෙකු වෙනුවෙන් නොවේ. එනම් යමෙක්‌ තම සිතින් සිතා ඒ අනුව යමක්‌ සිදු කරයිද එය ආපසු තමන් කරාම පැමිණෙතැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේම සිදුවූ බොහෝ සිදුවීම්වලට අදාළව බොහෝ කථා පුවත් මේ සදාතනික සත්‍යතාවය කුමක්‌දැයි මැනවින් හෙලි පෙහෙලි කොට දක්‌වයි. චක්‌ඛුපාල මහරහතන් වහන්සේගේ කතාව, චුන්දසූකර නම් ඌරු වැද්දාගේ කතාව, ආනන්ද සිටුවරයාගේ කතාව, මුලසිරි සිටුවරයාගේ කතාව මෙහිලා දැක්‌විය හැකි නිදසුන් කිහිපයක්‌ පමණි. 

මෙහිදීම පැහැදිලිකර දිය යුතු තවත් කාරණාවක්‌ තිබේ. එනම් ඔබ මේ ජීවිතයේදී විවිධාකාර වූ දේ සිදු කරන්නේ නොයෙකුත් අයවලුන්ද වෙනුවෙනි. 

වරෙක ඔවුන් ඔබගේ දෙමව්පියන්. තවත් වරෙක අඹුවන් හා දරුවෝද වෙත්, ලෝකය දෙස මොහොතක්‌ බලන්න. මිනිසුන් මේවා වෙමේ ජීවිතය තුළදී කොතෙක්‌ නම් තදින් උපාධානයකරගෙන සිටිනවාද? ඇතැමුන් මගේමය කියාගත් මේවා වෙනුවෙන් දිවි දෙන්නට වුවද සූදානම්ය. හැබැයි ඔබ එක දෙයක්‌ මතක තබා ගත යුතුය. එනම් ඔබ ඔබේ යෑයි අරමුණු කරගෙන සිටින මේ ජීව - අජීව වූ සියල්ලක්‌ම තාවකාලිකය. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ලකුණුවලින්ම සමන්විත වී තිබේ. තවත් කියන්නේ නම් මේ කිසිවක්‌ ඔබට කවරදාකවත් එලෙසින්ම බැඳ රඳවා තබා ගැන්මට නොහැකිවේමය. ඒ සියල්ලක්‌ම ඊළඟ නිමේෂය උදා වෙද්දී මහා වෙනස්‌ වීමකට, විකෘති වීමකට පත්වන්නේය. ඉනික්‌බිති ඒවා වැඩි වශයෙන් කෙළවර වන්නේත් මහ විනාශයකිනි. ඔබ ආදරයෙන් කවා පොවා, සුවඳ ගල්වා රැකබලා ගන්නා ඔබේ ජීවිතයේ රූපයේ තත්ත්වයනත් මෙසේම නොවේද? සිතන්න. බොහෝ ගැඹුරටම සිතන්න. පෘතග්ජනකම ජීවිතයට ගැට ගැසී ඇති ඔබට සංසාරය ගැන හෝ අමා නිවන පිළිබඳව හෝ අල්පමාත්‍රයක්‌වත් වැටහීමක්‌ නැත. එහෙයින් ඔබට ඔබ මේ ජීවිතයේදී අල්ලාගෙන සිටින කිසිවක්‌ බොහෝවිට ඊළග ජීවිතයේදී හමුවන්නේ නැත. හේතුව පෘතග්ජන වූ ඔබගේ ඊළඟ ජීවිතය කොතැනකින් ඇරඹේදැයි කිසිවෙකුටත් ස්‌ථිර වශයෙන් නිර්ණය කළ නොහැකි බැවිනි. එපමණකුදු නොවේ ඔබ ජීවිතයේදී බෙහෙවින් ඇලුම් කරන්නද ඔබට එලෙසින්ම ඉදිරි ජීවිතවලදී හමුවීමට ඇති ඉඩකඩ අඩුය. නැති තරම්ය. පූර්වෝක්‌ත සඳහන් කළ නාවිකයාගේ බිරිය මුහුදට දැමීමේ කතාව වෙත නැවත සිත ගෙන යන්න. ඇයගේ එක්‌ ජාතියක පුරුෂයා ඇයට ඊළඟ ජාතියකදී හමුවූයේ බල්ලෙක්‌ හැටියටය. එහෙත් ඒ බල්ලාට පෙර ජාතියේ බිරිය වූ අර කාන්තාවගේ ආදරය, සෙනෙහස එලෙසින්ම ලැබුණාද? නැත. ඒ වෙනුවට ලැබුණේ වෛරයයි. සංසාර ජීවිතයේ පුදුම සහගත දුක්‌ත ස්‌වභාවය මෙයයි. ඔබ අද වෙහෙසවන රකින, රකින බලන, ඇල්ම හා ආදරය දක්‌වන බොහෝ අයවලුන් ඊළග ජීවිතයේදී ඔබටත් මෙලෙසින්ම හමුවන්නට ඉඩ ඇත. මේ අන්දමට බලන විට ඔබ එකිනෙකා ජීවිතයෙන් ජීවිතයට පනිමින් සිත්වල ගොඩනගන්නේ නාම රූප ධර්ම සමූහයක්‌ පමණි. ඒ නාම ධර්මතා සිතෙහි පැන නගිනවිට ඔබ අනේක ප්‍රාකාර වශයෙන් වෙහෙස වන්නට පටන් ගනී. එහෙත් සිත තුළ ඇත්තේ බත් සැලියක නැගෙන පෙණ බුබුල් ඉපදි ඉපදී බිඳි බිඳි යන්නාක්‌ මෙන් වූ සිතැඟි නැත්නම් නාම ධර්ම සමූහයක්‌ පමණෙකි. ඒවා තුච්ඡය. හිස්‌ය. නිශ්ඵලය. ශූන්‍යය. සත්ත්වයා සංසාර බැම්මෙහිට තව තවත් බැද තබයි. 
සංවාද සටහන; සුගත් වීරසූරිය 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මානය දියුණුවට බාධාවකි

කොළොන්නාව පුරාණ විහාරවාසී

සියඹලන්ගොඩ ධම්මින්ද හිමි

" භාරතයේ බොහෝ ශාස්තෘවරු සිටියත් ඒ සියල්ලෝ ම අතර බුදුරදුන් මනා නිහතමානී ගුණයෙන් යුක්ත විය. ඒ සඳහා බොහෝ උදාහරණ සැපයිය හැකිය. අන්‍ය ඉගැන්වීම්වල ඇති යහපත් දේ උකහා ගැනීමට බුදුරදුන් නිහතමානී වූහ. ජෛන පංච විරතිය ඊට කදිම නිදසුනකි. එහෙත් ඇතැම් ශෘස්තෘවරු බුදු දහමේ ඇති හරය එකතු කර ගැනීමට මැලිවූහ. ඊට දැක්විය හැකි හොඳම අවස්ථාව සංජයගේ ප්‍රකාශයයි. සංජයට උපතිස්ස කෝලිත දෙපළ බුදු දහමේ සත්‍ය ප්‍රකාශ කළ විට ඔහු එය බාරගැනීමට මැලි විය. එපමණක් නොව තමන්ට හැලියක්ව සිට හැන්දක්ව විය නොහැකි බවයි."
බුදුරදුන් තුළ පැවති නායකත්ව ගුණ අතර සහනශීලීත්වය ඉතා වැදගත් වූ ගුණයකි. ශ්‍රාවකයන් උදෙසා මෙන් ම තම අනුගාමිකයන් උදෙසා ද සහනශිලීත්වයෙන් යුක්තව කටයුතු කළහ. අන්‍යාගමිකයන් විෂයෙහි ද මෙම ගුණය විදහා දක්වන්නට උන්වහන්සේ කටයුතු කළහ. විනය නීති පවා පැනවූයේ අවශ්‍යතාවය සඳහා පමණි. මහා පරිනිබ්බාණ සූත්‍රයේ දී පවා දේශනා කළේ භික්ෂූන් වහන්සේ පාලනය කිරීමේ වුවමනාවක් තමන් වහන්සේට නොමැති බවයි. කාශ්‍යප හිමියන් වනගතව විසීම පිළිබඳව කරුණු විමසූ අවස්ථාව මීට කදිම නිදසුනකි. ඇතැම් විනය නීතිරීති පවා අවස්ථාවට අනුකූලව වෙනස් කර ගැනීම ඊට කදිම නිදසුනකි.
වස්සාවාසික ශික්ෂාව පැනවීම මෙන් ම අනෙක් සෑම ශික්ෂාවක් තුළම මෙම සහනශිලී ගුණය හඳුනාගත හැකිය. එමෙන්ම අවසාන වශයෙන් පිරිනිවන් මඤ්චකයේ දී ආනන්ද හිමියන් අමතා බුදුරදුන් දේශනා කරනුයේ ඛුද්ධානු ඛුද්ධක ශික්ෂාපද පවා වෙනස් කරගන්නා ලෙසයි. ඇතැම් ශික්ෂාපද අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක්කළහ. එසේ සිදු කළේ උන්වහන්සේගේ සහනශිලීත්වය ප්‍රදර්ශනය කරමිනි. නායකයෙකු සැබෑ නම් ඔහු තුළ මෙම ගුණය තිබිය යුතුමය. තවද අන්‍ය ආගමිකයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැදහත්ව අධ්‍යනය කරමින් තම සසුනේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළහ. ශාසනික තනතුරු පිදීම හා ඇතැම් අභියෝගාත්මක අවස්ථාවන්හි දී මෙම ගුණය හඳුනාගත හැකිය. පාරිලෙය්‍ය වනයට වැඩමවීම එයට එක් උදාහරණයකි. ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම උන්වහන්සේගේ සහනශීලි ආකල්පය ප්‍රදර්ශනය වන ප්‍රධාන අවස්ථාවකි. මෙහි දී බ්‍රහ්ම යනු උතුම් යන්නයි.
බුදුරදුන් නායකයෙකු ලෙස අනතිමානී ගුණය උපරිම ප්‍රදර්ශනය කළහ. උඩඟු වීමට අවශ්‍ය බොහෝ කාරණා උන්වහන්සේ සතු වූහ. එහෙත් කිසිවිටක එසේ උඩඟු නොවූහ. නායකත්වයන් ලැබූ විට සියල්ල අමතක කර තමාට වඩා කෙනෙකු නැත යැයි සිතන පිරිස් අනන්ත අප්‍රමාණව දැකිය හැක. ශරීරය එහි අංග ලක්ෂණ මෙන් ම උත්තරීතර ගුණ අතින් ගත්විට ද බුදුරදුන් අති ශ්‍රේෂඨය. ආයතනයක යම් තනතුරක් ලැබූවත් ඇතමෙකු මාන්නයට පත් වී මුළාවට පත්වේ. ඒ තුළ පවතින්නේ මාන්නාධික බවකි. බුදු දහම මෙන් ම බුදුරදුන් මාන්නය ප්‍රතික්ෂේප කළහ. සෑම අතින් ම සම්පූර්ණ වනවා යනු උපරිම නිහතමානි වීමයි. වී කරල් ඵල බරවීමේ දී බිමට නැමෙන්නා සේ අනතිමානී ගුණයෙන් ආඩ්‍යවිය යුතුය. භාරතයේ බොහෝ ශාස්තෘවරු සිටියත් ඒ සියල්ලෝ ම අතර බුදුරදුන් මනා නිහතමානී ගුණයෙන් යුක්ත විය. ඒ සඳහා බොහෝ උදාහරණ සැපයිය හැකිය. අන්‍ය ඉගැන්වීම්වල ඇති යහපත් දේ උකහා ගැනීමට බුදුරදුන් නිහතමානී වූහ. ජෛන පංච විරතිය ඊට කදිම නිදසුනකි. එහෙත් ඇතැම් ශෘස්තෘවරු බුදු දහමේ ඇති හරය එකතු කර ගැනීමට මැලිවූහ. ඊට දැක්විය හැකි හොඳම අවස්ථාව සංජයගේ ප්‍රකාශයයි. සංජයට උපතිස්ස කෝලිත දෙපළ බුදු දහමේ සත්‍ය ප්‍රකාශ කළ විට ඔහු එය බාරගැනීමට මැලි විය. එපමණක් නොව තමන්ට හැලියක්ව සිට හැන්දක්ව විය නොහැකි බවයි. ආර්ය පර්යේසන සූත්‍රයට අනුව බැලීමේ දී බුදුරදුන්ගේ නිහතමානී බව හඳුනාගත හැකිය. එනම් තමන් වහන්සේ සංසාර ජීවිතයේ දී බොහෝ අනාර්ය පර්යේෂණ සිදුකොට ඇති බවත් තමන් වහන්සේ දැන් ආර්ය පර්යේෂණය සොයාගත් බවත්ය. එසේම සත්‍ය සොයායාමේ දී තමන්ට ලැබුණු යම් යම් තනතුරු නිහතමානීව අත්හැරීමට කටයුතු කළේ තම අරමුණට එම තනතුරු බාධා වූ බැවිනි. ඒ බව ආර්ය පර්යේෂණ සූත්‍රයේ දී පැහැදිලිව දේශනා කළහ. උද්ධකාරාමපුත්ත ආලාර කාලාම ඇත්හැරීමට කටයුතු කළේ එහෙයිනි.
බුදුරදුන් නිහතමානී වූ අතර අන්‍යයන්ගේ මානය ගැරහීමට ලක් කළහ. තම ඥාතීන්ගේ පවා මාන්නය උන්වහන්සේ දුරු කළහ. යමා මහ පෙළහර පැවැත්වූයේ ඒ නිසාවෙනි. ඛේමාවට ආර්ය ලාභය ලැබීමට බාධාවක්ව පැවතියේ ඇය තුළ පැවති මාන්නයයි. නායකයෙකු තුළ කුමන කරුණක් නිසා හෝ මාන්නය තිබිය යුතු නොවේ. චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී තෝදෙය්‍ය බමුණා තම නිවසේ සුනඛයෙකු වී ඉපදීමට හේතුවූයේ මාන්නයයි. කුමන තනතුරු දැරුවද සියල්ලෝ ම මිනිසුන් බව තේරුම් ගත යුතුය. මිනිසුන් නිසාම යම් විටක ලෙඩ වීමට මියයාමට ලක්වේ. එය ස්වාභාවිකය. කිසිවෙක් සදාකාලිකව ජීවත්වීමට පැමිණ නැත. උගත් බව, තරුණකම, ධනය, බලය, රූපය මෙය ලාභයන් වූව ද අර්ථය නොදැන කටයුතු කළහොත් පිරිහීමට හේතුවක් වේ.
නායකත්ව ලක්ෂණ අතර කම්පානොවීමේ ගුණය නායකුයෙකු තුළ අනිවාර්යෙන් ම තිබිය යුතුවේ. බුදුරදුන් උත්තරීතර අනුහස් නායකයෙකු ලෙස මෙම ගුණය මනාව විදහා දක්වන්නට වූහ. උන්වහන්සේ කිසිවිටක අටලෝදහමින් කම්පා නොවූහ. නායකත්වය දරන්නට නම් මල් මෙන් ම ගල් මුල්වලට ද ඔරොත්තු දිය යුතුවේ. ප්‍රශංසා පමණක් නොව ගැරහීම් ද බාරගත යුතු වේ. බුදුරදුන් මෙම ගුණයෙන් යුක්තව තම අරමුණු ජයග්‍රහණය කිරීමට කටයුතු කළහ. උන්වහන්සේ තරම් කීර්ති ප්‍රශංසාවන්ට ලක් වූ නායකයෙකු ලෝක ඉතිහාසයේ නොමැති තරම් ය. එමෙන් ම අපකීර්ති, ගැරහුම් ද නොලැබුණා නොවේ.
ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා සෑම කෙනෙකුටම පොදු වූවකි. එහෙයින් ලාභයේ දී මෙන්ම ප්‍රශංසාවේදී ද, උද්දාමයට පත්නොවිය යුතු අතර අලාභයේ දී සේම අපකීර්තියේ දී අධික කලකිරීමට පත්නොවිය යුතුය.
බුද්ධ චරිතය පුරාවට ම මෙම ගුණය හඳුනාගත හැකිය. ඒ සඳහා උදාහරණ රාශියක් ගෙනහැර දැක්විය හැකිය. අක්කෝස භාරද්වාජ සූත්‍රය මේ සඳහා කදිම නිදසුනකි. එසේ ම චිංචිමානවිකාව, සුන්දරියගේ මරණය වැනි අවස්ථා තුළින් මේ ගුණය හඳුනාගත හැකිවේ. නේරන්ජනාවේ වස් විසූ අවස්ථාවේ දී දානය පවා නොලැබුණි. උන්වහන්සේට තරම් ආහාර දානය ලැබූ කෙනෙකු නැති තරම්ය. මේ අවස්ථා දෙකේදී ම සමසිතින් උන්වහන්සේ එය ඉවසූහ. සැබෑ නායකයා යනු මැදහත්ව සියල්ල විඳ දරාගැනීමේ හැකියාව සතු කෙනෙකි.
දහම, දහම සඳහා නොව එය පුද්ගල පාරිශුද්ධිය සඳහා යොදා ගත යුතුය. රටක, ආයතනයක පාලකයන් මේ තත්ත්වය තේරුම් ගනිමින් කටයුතු කළ යුතුවේ. අනෙක් කරුණු හය වෙන වෙනම ගත් කළ ද පොදුවේ එලඹිය හැකි නිගමනය ද මෙයමය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සසර අපාගත නොවන්නෝ

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අකටයුතුකම්වල යෙදෙන උදවිය සාංසාරික වශයෙන් නිරයේ හා තිරිසන් ආත්මවල උප්පත්තිය ලබමින් දුක් විඳීමට හේතු වෙනවා වගේම සමාජයේ මෙලොව වශයෙන් ගර්හාවට මෙන්ම අවිශ්වාස කටයුතු අයකු බවටත් පත් වී දෙලොවටම අවැඩ සාදා ගන්නවා.
සත්ත්වයා සසර බැඳ තබන ප්‍රධානතම බලය හා ශක්තිය හිමි වී ඇති කර්මය’යි කියනවිට එය සියයට සියයක්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එකඟ වෙනවා. මෙහිදී චේතනාත්මක කර්මය’යි අප විසින් අදහස් කර තිබෙන්නේ. මේ කරුණ වැඩිදුරටත් පෙළෙහි පෙන්වා දෙන්නේ “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති, කායෙන වාචාය මනසා” මෙයින් පැහැදිලි කර දී තිබෙන්නේ, කර්මය කියලා කියන්නේ චේතනාව” යන අදහසයි. යමක් සිතිවිලි වශයෙන් සිතූ පමණටම එය කර්මයක් විය හැකි බව ඒ විදියෙන් ගත්තහම ඒ කියන කර්ම රැස් කරන ප්‍රධානම මාර්ග තුනක් වෙනවා.
එය තමා කය හෙවත් ශරීරය, වචනය හා මනස කියන මේ මාර්ග තුන එයින් ම කියැවෙනවා. මනසට කර්ම රැස් කිරීමේ හැකියාව පවතින බව. එනම්, කිසිම පෙනෙන යමක් නොකර සිතීමෙන් පවා කර්ම රැස්වෙන බව. මේ නිසා අපට මේ මනස පරිස්සම් කර ගැනීමට මහත් වෙහෙසක් දරන්නට අවශ්‍ය වෙනවා. මොකද? කය, වචනය යන මාර්ග දෙකම විවෘතයි. නැත්නම් කායික ක්‍රියාවක් ලෙස පෙනෙනවා. වාචසික ක්‍රියාවක් නම් ඇසෙනවා. එහෙම වුණත් මේ කියන මානසික ක්‍රිියා පෙනෙන්ට නැහැ. ඒ නිසාම අපේ රැස්වෙන කර්ම ගැන අප වඩ වඩාත් පරෙස්සම් සහගතව ක්‍රියා කළ යුතු වෙනවා.

අපේ බුදුරජාණන් වහන්සේ “අපායසංවත්තනික” නමින් සූත්‍ර දේශනාවක් කර තිබෙනවා. සැවැත්නුවර වැඩවාසය කරන අවස්ථාවක යි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මේ දේශනාව කර තිබෙන්නේ. එහිදී උන්වහන්සේ සත්ත්වයා දුගති අවස්ථාවන්ට පත්වීමට හේතුවන කායික හා වාචසික අකුසල හේතුවන ආකාරය කරුණු අටක් යටතේ පෙන්වා දී තිබෙනවා. මේ ලෝකයේ සත්ත්වයා කර්ම විපාක විඳින ආකාරය විවිධයි. දුක් සහිතවත්, සැප සිහිතවත් සත්ත්වයා මේ කර්ම විපාක භුක්ති විඳිනවා. මෙහිදී අප විසින් ඉලක්ක කර ගන්නේ මේ මිනිසත් බව ලබා ජීවත්වන අප වැනි මනුෂ්‍ය සත්ත්ව ප්‍රජාව පිළිබඳවයි. මෙම විපාක භුක්ති විඳීමේදී ගිහි, පැවිදි, දිව්‍ය, මනුෂ්‍ය හැම සත්ත්ව කොට්ඨාශයකටම මේ කර්ම විපාක එකම ආකාරයෙන් බලපාන බව අප පැහැදිලිව තේරුම් ගතයුතු වෙනවා.
කයින් කෙරෙන පළමුවන අකුසලය ලෙස පැහැදිලි කෙරෙන ප්‍රාණහිංසාව හෙවත් සත්ත්ව ඝාතනය දක්වා ඇති සියලුම සත්ත්ව හිංසක ක්‍රියාවලිය මෙයට ඇතුළත් වෙනවා. මෙයින් අනිවාර්යෙන්ම ලැබිය හැකි ඵල විපාකය බුදුදහමේ පෙන්වා දී තිබෙනවා. අඩු ආයුෂ ඇති අය බවට පත්වීමට ඉඩකඩ ඇති බව, දැන් අප ජීවත්වන මේ මිනිස් සමාජය පමණක් ගත්විට ඇතැම් දරුවන් උපතේමදීම, මවුකුසේදීම ඉපදිලා සුළු කාල සීමාවක් තුළ දින කිහිපයකින් , වයස අවුරුදු හත , අට, දහය, දොළහ වැනි වයස් සීමාවේදී එසේත් නොමැති නම් කෙටි ජීවන කාලයක් තුළ මිය යන ආකාරය අප කොතෙකුත් අත්විඳ ඇති බව මෙහිදී සිහිපත් කර ගැනීම වටිනවා. ඒ වගේම ප්‍රේතාත්ම භවයක් ලැබීමටත් මේ අකුසල හේතු වෙන බව අප අමතක කළ යුතු නැහැ.
දෙවනුව අපේ කයින් කෙරෙන ප්‍රබල අකුසල සහගත ක්‍රියාව වන්නේ අන්සතු දෙය හෙවත් නොදුන් දෙය සොර සිතින් ගැනීමයි. මෙයට විපාක වශයෙන් පෙන්වා දී තිබෙන්නේ තමන්ට කිසිඳු ලැබීමක් නොමැතිව ජීවත් වීමට සිදු වීමයි. ඊටත් වඩා තමන් බොහොම වෙහෙස මහන්සි වී හරිහම්බ කර ගන්නා දේ පවා නොරඳා සිටින ස්වභාවය අප කොතෙකුත් අත් විඳලා තිබෙනවා. සමහර අපේ සමාජයේ ජීවත්වන අයම අපත් සමඟ මේ කාරණය මේ විදියටම පවසනවා” අනේ මං කොපමණ හමබ් කළත් පලක් නැහැ. ඒ හැම එකක්ම සිතන්ටවත් බැරි විදියට විනාශ වෙනවා. නැති වෙනවා” මේ විදියට ඔබ, අප අසා තිබෙනවා නේද? කිසියම් ඉපයීමක් කළත් සියල්ල තමා සතුව සැප විපාක විඳීමට තරම් නොරඳන ස්වරූපය මෙයින් අදහස් වෙනවා. ඒ විතරක් නොවේ තමන් ඉපයීමට ගන්නා උත්සාහයේ තරම දිහා බැලුවහම ඒ උත්සාහය ගන්නා අනිත් කෙනෙකුට වඩා අඩුවෙන් තමන්ට ලැබෙන බවත් අප කථා කරනවා. මෙහි රහස තමන් විවිධ භවයන්හිදී අන්සතු දෙය පැහැරගෙන චේතනාත්මකවම සොරකම් කිරීම කියන මේ අකුසලය සිදු කිරීමෙන් ලබන විපාකයක් බව අප සිහියට ගතයුතු වෙනවා. ඒ වගේම තමා මෙහි විපාක වශයෙන් තිරිසන්ගත සතුන් බවට පත්වීම, ප්‍රේතාත්ම භවයන් උරුමවීම වැනි විපාකත් එම සිදු කරන ලද කර්මයේ බලපෑම අනුව තීරණය වෙනවා.
මීළඟට වර්තමාන සමාජයේ බහුලව අද දවසේ අප දකින කම්සැප වැරැදි විදියට භුක්ති විඳීමේ අකුසලය සඳහන් වෙනවා. එනම් කාමමිථ්‍යාචාරයයි. මෙවැනි ක්‍රියාවන්හි යෙදීමත් මහත් වූ විපාක ලෙස දීමට සමත් වෙනවා. ඒ අනුව නිරයෙහි උපතට හේතු වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට සතුරන් බහුල වෙනවා. ඒ විතරක් නොවෙයි සමාජයේ ජීවත් වනවිට අනිකුත් උදවිය නිරන්තරයෙන් තමන් ගැරහුමට ලක් කරමින් තමන්ට නොයෙක් ආකාරයෙන් සිතන්නට බැරි තරම් එදිරිවාදිකම් කරනවා. ඇයි? මට මෙහෙම කරන්නේ කියා සිතෙන තරමට මේ විරුද්ධකම් ක්‍රියාත්මක වෙනවා. සමාජයේ දෝෂ දර්ශනයට තමා පත් වෙනවා. පවුල් අවුල් වෙනවා. අඹුදරුවන් අසහනයට පත් වෙනවා. මේ කරුණත් අපේ සමාජයේ අප හොඳින්ම අත්විඳින කරුණක්.
මිනිසාගේ මුඛය හෙවත් අප භාවිත කරන මේ කට නිසා සිදුවන අවැඩ අනර්ථ පහක්ම සිදු වෙනවා. “පුරිසස්ස හි ජාතස්ස කූඨාරි ජාතෙ මුඛෙ” යනුවෙන් ධර්මයෙහි සඳහන් වෙනවා. “ මේ කට හරියට කියනවා නම් දෙපැත්ත කැපෙන කෙටේරියකට උපමා කර තිබෙනවා. කටට ඒ තරම් හානිකර වූ විවිධ දේ කරන්නට පුළුවන්. කෙටේරිය දෙපැත්තටම කැපෙනවා. කටත් එහෙමයි. විවිධ පැතිවලට හැරි හැරී මිනිසා පවසන ඇතැම් වචන හොඳට වගේම භයානක අවියක් වශයෙනුත් පාවිච්චි කරලා පුද්ගලයෙක් පමණක් නොවෙයි රටක් ජාතියක් වුවත් විනාශයට ඇඳ දමන්ට පුළුවන්. මෙයින් බොරු කීම හෙවත් මුසාව යන්න ගත්විට එයින් අදහස් කරන්නේ බොරුවක් කිය ලා හෝ අඟවලා තවත් අයකු හෝ පිරිසක් මුළාවට පත් කිරීමයි. ඒ මගින් තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමයි. බොරු කියන පුද්ගලයාට කරන්නට බැරි අපරාධයක් නැහැ කියලත් ධර්මයෙහි සඳහන් වෙනවා. එතරම්ම මේ බොරුව බරපතල’යි යන අදහස’යි එයින් කියැවෙන්නේ. එමෙන්ම ධර්මයට අනුව මෙහි විපාක සොයා බැලුවොත් අපායෙහි ඉපිද දුක් විඳීමට හේතුවන , ප්‍රේතාත්මභාවයන් ලැබීමට හේතුවන අකුසලයක් ලෙසයි ප්‍රකාශවන්නේ. ඒ විතරකුත් නොවෙයි බොරු තෙපලන පුද්ගලයා මොලොවදීම සමාජයේ පිළිකුලට භාජන වෙනවා වගේම සමාජයේ අභූත චෝදනාවන්ට ලක්වී දඬුවම් විඳීමට පවා හේතු වන්නට පුළුවන්කම තිබෙනවා. වෙනත් අය විසින් කරනු ලබන වැරැදි ක්‍රියාවන් තමන් කළ බවට ඔප්පු වී තමා පිට නිරපරාදේ වරද පැටවෙනවා. එයින් නොයෙක් දුක් විපත් කරදරවලට මුහුණ පානවා.
පිසුණු වචන භාවිතය ද මෙවැනිම පරලොව අපායන්හි උපත ලැබීමට හේතු වෙනවා සේම ප්‍රේතාත්මභාවයන්හි උපත ලැබීමටත් හේතු වෙනවා. ඒ වගේම තමන්ට මිතුරු සම්පත්තිය අහිමි වෙනවා. තමන්ට ඇති වෙන මිත්‍රයෝ බොහෝ ඉක්මනින් තමන් කෙරෙන් බිඳී වෙන්ව යනවා. මෙවැනි තත්වයන් පිළිබඳ සමාජයෙන් අපට නිදසුන් කොපමණවත් සපයා ගැනීමට පුළුවන්කම තිබෙනවා.
රළු හෙවත් පරුෂ වචන භාවිතය ද අපේ සමාජයේ සුලබ දෙයකි. රළු වචන නිසා එය අහන අයගේ සිත රිදෙනවා. මහත් වූ දොම්නසට පත් වෙනවා. සැර පරුෂ වචන කථා කරන්නා අපේක්ෂා කරන්නේ ඒ වචන එල්ල කරනු ලබන තැනැත්තා දුකට දොම්නසට හා වේදනාවට පත් කර එයින් සතුටක් භුක්ති විඳීමටයි. එය සැබවින්ම තාවකාලික සතුටකි. ඊළඟ මෙහොතේ සිට තමන්ට පසු තැවෙන්නට සිදු වෙනවා. එය අපායගාමී වීමටත් තිරිසන් ගත ආත්මභාවයන් ලැබීමටත් හේතුවන බලවත් අකුසලයක්, ඒ විතරක් නොවෙයි තමන්ට ද යන යන තැන අහන්ට ලැබෙන්නේ අන් අයගෙන් එල්ල වන රළුපරුෂ වචනයි. තමන්ට ප්‍රිය මනාප වචන අසා සැනසිල්ලේ ජීවත්වන්නට පුළුවන් තත්ත්වයක් ඔහුට පරලොව වශයෙන්ද ලැබෙන්නේ නැහැ. සමාජයේ බොහෝ දෙනා තමන්ගේ සිතට ප්‍රිය වචන තමන් සමඟ කථා නොකරන තත්ත්වයක් ඇති වෙනවා. මෙලොව වශයෙනුත් තමන් නොයෙක් පරිහානිකර තත්වයන්ට මුහුණ දෙනවා
හිස් වචන කථා කිරීම ද මුඛයෙන් සිදුවන තවත් අකුසලයක්. අවැඩක්., හිස් වචන කථා කරන උදවිය මරණින් මතු තිරිසන් ගත ජීවිත ගතකරන්ට වගේම ප්‍රේතාත්මභාවයන් ලැබීමට ඇති ඉඩ වැඩියි. හිස් වචන සමාජයේ කිසිවෙකු විසින් විශ්වාස නොකරන තත්ත්වයකට තමා පත් වෙනවා. එය සමාජයේ ජීවත් වන අයකුට හරිම අවාසි සහගත තත්ත්වයක් . මොකද? එයින් සමාජයේ තමන්ට සාමාජිකයෙකු වශයෙන් කිසිවක් කරකියා ගන්නට බැරිව යනවා. තමන් හිස් අයෙකු ලෙස’යි තමා දෙස සමාජයේ අනෙකුත් අය බලන්නේ. එය ගිහි ජීවිත ගත කරන අයගේ අඹු දරුවන්ට පවා අහිතකර වෙනවා.
මිනිසාගේ කට නිසා, දිව නිසා සිදුවන තවත් අකුසල ක්‍රියාවක් නම් රහමෙර පානයයි. සාමාන්‍යයෙන් වචනයෙන් සිදුවන අකුසල හතරක් ලෙස අප ධර්මයෙහි දැක තිබුණත් මෙම සූත්‍රයේ දී කට නිසා සිදුවන්නට පුළුවන් අවැඩ පිළිබඳ සඳහන් කරුණු දැක්වීමේදී අවසාන කාරණය ලෙස මෙය ඉදිරිපත් වෙනවා. මෙම රහමෙර පානය කී විට අද අප කථා කරන මත්පෙති, මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්වතුර යන සියලුම ක්‍රම මගින් ඇති කරන මත් ගතිය මෙහිදී අදහස් වෙනවා. මේ නිසා අද වර්තමානයේ සිදුවී ඇති මහා ව්‍යසනය මිනිසාගේ ශාරීරික බරපතල රෝගකාරක තත්ත්වයක් ඇති කරනවා පමණක් නොව ගෘහ ජීවිතය කාබාසිීනියා කොට පවුල් අවුල්වී ජාතික වශයෙනුත් මහා ව්‍යසනකාරී තත්ත්වයක් ඇති කරනවා. මෙවැනි අකටයුතුකම්වල යෙදෙන උදවිය සාංසාරික වශයෙන් නිරයේ හා තිරිසන් ආත්මවල උප්පත්තිය ලබමින් දුක් විඳීමට හේතු වෙනවා වගේම සමාජයේ මෙලොව වශයෙන් ගර්හාවට මෙන්ම අවිශ්වාස කටයුතු අයකු බවටත් පත් වී දෙලොවටම අවැඩ සාදා ගන්නවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සාරය අසාරය පිළිබඳබෞද්ධ විග්‍රහය

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

අප විසින් යමි කිසි දෙයක් තෝරා ගැනීමේදී සරුදෙය සහ නිසරු දෙය කුමක්ද, යනුවෙන් වෙන්කරගතයුත්තේ කෙසේද? යන කාරණාව පිළිබඳව බුදුදහමට අනුව අවබෝධ කරගත යුතුයි. සාරය සහ අසාරය සම්බන්ධ බෞද්ධ විවරණය කුමක්ද? සාරය සහ අසාරය කුමක්ද? යනුවෙන් තෝරාගැනීීමේ දී එය කෙසේ නම් කළ යුතුද? යන අවබෝධය තුළ අපගේ වර්තමාන ජීවිතය වඩාත් වාසනාවත්ත සහ වඩාත් සතුටුදායක ආකාරයෙන් ජීවත් වීමට අවස්ථාව ලැබෙයි.
අපගේ සංසාරික ගමන වඩාත් යහපත් ධර්මානුකූල ගමනක් ලෙස පරිවර්තනය වනුයේද , යමි දවසක පූර්ණ අවබෝධය සඳහා යන ගමනේදී නිර්වාණය සාක්ශාත් කරගැනීම සඳහා සාරය සහ අසාරය තෝරාගන්නා ක්‍රමය අනුවයි.අප සියලු දෙනාම වාසනාවට මිනිසුන් ලෙස ඉපදිලා තිබෙන අතර බෞද්ධයන් ලෙස ද ඉපදි තිබීම ඉතාම දුර්ලබ අවස්ථාවක්. අප ඉපදිලා තිබෙන්නේත් බුද්ධ ශූන්‍ය කල්පයක් නොවන, බුද්ධ දේශනාව තිබෙන බුද්ධෝ්ත්පාද කාලයකය. මිනිස් භවය ලැබීමත් වාසනාවක්.බුද්ධෝත්පාද කාලයක මිනිස් භවයක් ලැබීමත් , කල්‍යාණ මිත්‍ර සේවනය සඳහා අවස්ථාව ලැබීමත්, සිදුවන අතර බුද්ධ ශූන්‍ය කාල තුළ කල්‍යාණ මිත්‍ර ඇසුරත් හමුවන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රයන් හමුවන්නේම බුද්ධෝත්පාද කාලවල පමණයි. සද්පුරුෂ ඇසුර කල්‍යාණ මිත්‍ර ඇසුර මෙම භවය තුළ ලැබී තිබෙන නිසාම සද්පුරුෂ ධර්මයට කල්‍යාණ මිත්‍ර ධර්මයට ඇහුම්කන් දීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. පෙර සංසාරය පුරා කළ පින් අනුව වටිනා මිනිස් භවයක් මෙම ආත්මය තුළ ලැබී තිබෙන අතර අන්‍ය ආගමකට සම්බන්ධ නොවී බෞද්ධ පියෙකුට දාව බෞද්ධ මව්කුසක ඉපදීමට පුබ්බෙච කත පුඤ්ඤතා හෙවත් පෙර කළ පින් හේතුවෙලා තිබෙනවා.එතුළින් අන්‍ය ආගම්වල ඉපදිලා සිටින පිරිස් පව්කාරයන් ලෙස කිසිදු ආකාරයෙන් අදහස් වන්නේ නැහැ.බෞද්ධයන් ලෙස මේ ලෝකය තුළ ඉපදිලා බෞද්ධ ආගම අදහන පිරිසක් නිසා පවට ලජ්ජාවක් සහ බියක් කුඩා කල සිටම ලැබී තිබීම වාසනාවක්.බුදුදහම තුළ ප්‍රාණඝාතය තුළින් පව් සිදුවන බව හඳුන්වා ඇතත් ඇතැම් ආගම තුළ ප්‍රාණඝාතය පවක් ලෙස හඳුන්වා නැහැ. සොරකම, ප්‍රාණඝාතය, කාමමිත්‍යාචාරය ධර්මයට අනුව අකුසල සිදුවන කාරණා ලෙස දක්වා ඇති අතර අනෙකුත් ආගම් තුළත් අඩු වැඩි වශයෙන් එකී කාරණා පිළි්බඳව පවතින අයහපත් බව සඳහන් කර තිබෙන අතර කුමන ආකාරයෙන් විමර්ෂණය කර බැලුවත් බුදුදහම කිසිදු සත්වයෙකුට කරදරයක් නොවන ආකාරයෙන් ජීවත් වීමට යෝජනා කර ඇත. සැම විටම අපගේ සංකල්ප ක්‍රියාත්මක විය යුත්තේ සබ්බේ සත්ථා භවන්තු සුඛ්තත්වා යනුවෙන් සියලූම සත්ත්වයෝ සුවපත් වෙත්වා යන්නයි.බුදුදහම මිනිසුන් පමණක් කේන්ද්‍ර කරගනිමින් කතාකරන දහමක් නොවන අතර එය මේ ලෝකය තුළ ජීවත් වන සියලුම සත්ත්වයන් පිළිබඳව සමාන අයිතිවාසිකම් සහිත ආගමක් වෙයි. සියලුම සත්වයන්ගේ අයිතිවාසිකම් 
බුදුදහම පිළිගන්නා කාරණාවක් වෙයි. සියලු සත්වයන් පිළිබඳව සිතා කල්පනා කළ ධර්මයක් ලෙස බුදුදහම හඳුනාගත හැකියි.සියලු ආගම් සඳහා ගරුකරන බුද්ධ ධර්මය අදහන බෞද්ධ පිරිසක් වීම පිළිබඳව සතුටු විය යුතුයි. ඊළඟ ආත්මය සිංහලයෙකු නොවුනත් බෞද්ධයකු විය යුතුයි. නිවන් දැකීමට අවශ්‍ය කටයුතු කාරණා ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙන්නේ බෞද්ධයකු ලෙස ඉපදුනොත් පමණයි. නිවනට අදාළ වන කාරණා සිංහලයන් විසින් කරගන්නේ නැහැ.සබ්බ පා පස්ස අකරණං හෙවත් පවින් මුදවමින් කුසලස්ස උපසම්පදා හෙවත් කුසලයෙහි පිහිටවමින් සද්ධර්මයට අනුව ජීවත් වීමට අවස්ථාව ලැබෙන්නේම බෞද්ධකම තුළ පමණයි. ලැබී තිබෙන අවස්ථාව වටිනා අවස්ථාවක් වුවත් දිගු ආයුෂක් ලබා නොතිබිම ගැටළුවක් වෙයි.කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලය තුළ මිනිස් අයුෂ හතළිස් දහසක් පැවතුණ බවද, කෝනාගම බුදුරජාණන් වහන්සේගේ යුගය වන විට මිනිස් අයුෂ අවුරුදු තිස් දහසක්ද , කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලය තුළ පරම අයුෂ අවුරුදු විසි දහසක් ද, ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය තුළ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු එකසිය විස්සක් ද වෙයි. වර්තමානය වන විට පිරිමියෙකුගේ පරම ආයුෂ අවුරුදු හැටක් හැත්තෑවක් වන අතර අපේ රට තුළ කාන්තාවන් තවම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී නොමැති නිසා කාන්තාවකගේ වයස අවුරුදු හැත්තෑවක් හැත්තෑ පහක් අතර ප්‍රමාණයක රැඳී තිබෙයි.

කල්ප විනාශය ළඟා වීමත් සමඟ මිනිසාගේ ආයුෂ කාලය අඩුවෙයි. අවුරුද්දට දින තුන්සිය හැටපහක් තිබෙනවා නම් ,අවුරුදු අසූවක් ජීවත් වුවහොත් දින විසිනවදහස් දෙසියක් වෙයිි. තමන්ගේ වර්තමාන වයස හැත්තෑව නම් හැත්තෑව තුන්සිය හැටපහෙන් ගණනය කළ විට ජීවත්ව සිටින දින ගණන ලැබෙන අතර එම ලැබෙන ගණනෙන් දැනට ජීවත් සිටි දවස් ගණන අඩු කළ විට ඉදිරියට ජීවත් වීීමට තිබෙන දින ගණන ලැබෙයි. අවුරුදු අසූවක් ජීවත් වුණා යනු දින විසිනවදහස් දෙසියක් පමණයි. ‘අච්න්ත්‍ය තම්පි භවතේ’ නොසිතපු ආකාරයේ සිදුවීමක් මෙම අතර තුර සිදුවිය හැකියි. සිතාගෙන සිටි අකාරයේ දෙයක් විනාශ වෙලා යාමේ හැකියාව තිබෙන්නත් පුළුවන්.බුද්ධොත්පාද කාලයක් තුළ දුර්ලභ මිනිස් භවයක් ලැබී තිබෙන අතර සද්ධර්මය ද ලැබී තිබෙනවා කල්‍යාණ මිත්‍රයන් ගේ ඇසුර ලැබීමේ අවස්ථාව ලැබී තිබෙනවා. සද්පුරුෂ ඇසුර ලැබී තිබෙනවා. ලැබී තිබෙන මිනිස් ආත්මභාවය දීර්ඝ අයුෂයක් සහිත මිනිස් භවයක් නොවි අල්ප ආයුෂ සහිත වීම ගැටලුවක් වෙයි. අල්ප ආයුෂ සහිත වූ මිනිස් භවය ලැබුණ අවස්ථාව තුළ අප විසින් කරනු ලබන්නාවූ තෝරා ගැනීම් ඉතාම නිවැරැදි ආකාරයෙන් සිදුකර නොගත හොත් , සාරය සාරය ආකාරයට හඳුනානොගත හොත් අසාරය අසාරයඅකාරයට හඳුනානොගත හොත් ඊළඟ භවය මිනිස් භවයක් හෝ බුද්ධ ධර්මය අදහන ආත්ම භාවයක් නොවී තිරිසන් ආත්මයක් ලැබී සතෙක් අකාරයට ජීවත් වීමට ද සිදු විය හැකියි.තිරිසන් අපායක නිරිසත්වයෙකු ද විය හැකියි .ප්‍රේත විෂයෙහි ඉපදුන නිරිසත්වයෙකු ද විය හැකියි. නිරි සත්වයෙකු වනවාසේම අසුර කොටස් අතරද ඉපදුන ගව් දහස් ගණන් දිගු ශරීර තිබෙන ඉදිකටු තුඩක් අකාරයේ හිසක් තිබෙන ආකාරයෙන් ඉපදුන හොත් නැවත සද්ධර්මයක් හෝ කුසලයක් වැඩීම පිළිබඳව සිහිනයකින් වත් සිතීම අපහසුවෙයි. කුසල් කරගැනීමට අවශ්‍ය පින හෝ අවබෝධයක් ඔවුනට නොමැති නිසාම සංසාරය පුරා ගමන් කරනවා විනා දුකෙන් නිදහස් වීමට හෝ සංසාරයෙන් නිදහන් වීමට සිතීමේ අවස්ථාවක් වත් ලැබෙන්නේ නැහැ.
දේවදත්ත කල්ප සියගණනාවක කාලයකට අවිචියට වැටී ඇත. කල්පයක කාලය අවුරුදු මාස සති, දින, පැය තත්පර වශයෙන් ගණනය කළ නොහැකිය. කල්පයට අදාල වන වර්ෂ ප්‍රමාණය ගණනය කළ නොහැකිය. මෙම උපමා තුළින් එය අවබෝධ කරගත යුතුයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස , ඔබ වහන්සේ කල්පය පිළිබඳව නිතරම තොරතුරු සඳහන් කරනවා. කල්පය ලෙස සඳහන් කරනු ලබන්නේ කෙතරම් පුමාණයක් ද? යනුවෙන් ස්වාමීන්වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විචාරනු ලැබුවා. පින්වත් භික්ෂුව, ඔබට එය තේරුම් ගැනීම අපහසුයි.ඒ වගේම දුෂ්කරයි. ඔබට එය තෝරාදීම මටත් දුෂ්කරයි. එම ස්වාමීන් වහන්සේත් බුද්ධ්මත් නිසාම බුදුරජාණන් වහන්සේ කල්පය පිළිබඳව තෝරාදීම දුෂ්කරයි කියනවා මිස බැහැයි යනුවෙන් දේශනා කරන්නේ නැහැ. අවසානයේදී නැවත වතාවක් එම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අමතමින්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වදාරනු ලබන්නේ දූෂ්කර බවයි.එය තේරුම් ගැනීමට පහසු ආකාරයට උපමාවක් ගෙන තෝරා දෙන ලෙස ඉල්ලීමක්ද, කරනු ලැබුවා. පින්වත් භික්ෂුව, සැතපුම් හතක් උස සැතපුම් හතක් දිග සැතපුම් හතක් පළල යෝධ කළු ගල් තලාවක් පිළිබඳව සිතන්න. එම කළු ගල් තලාව අවුරුදු සියයකට වතාවක් ඉතාම සිනිඳු රෙදි කඩකින් කවුරුන් හෝ පිස දමනවා නම්, එම ආකාරයෙන් පිස දැමීම නිසා එම කළු ගල ගෙවී අවසන් වනවාද, පින්වත් භික්ෂුව, එදාටත් කල්පය අවසන් වන්නේ නැහැ. එවැනි සංසාර ගමනක් පිළිබඳව බුදුදහම පමණක් විශ්වස කරයි.එක නිරයකට වැටුණහොත් කල්ප ගණන් ගෙවන් කරන්න වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. දේවදත්ත එවැනි කල්ප සිය ගණනාවක නිරයක වැටුණා. සද්ධර්මයක් ඇසෙන්නනේ නැහැ වගේම සද්ධර්මයක් අවබෝධ කරගැනීමේ අවස්ථාවක් නැහැ. විශාල කර්ම ශක්තින් ලෙස දුක්විඳිමින් කර්ම ගෙවයි. ඔබ සහ අප හදිස්සියේ හෝ හෙට උදෑසන මියගොස් එවැනි ආකාරයේ අවීචි නිරයක උප්පත්තිය ලැබුවහොත් බුද්ධෝත්පාද ගණනාවකට නැවත පැමිණෙන්න ලැබෙන්නේ නැහැ.තිරිසන් අපාය තුළ ඉපදුන සතෙකුට නැවත මිනිස් ලෝකයට පැමිණීමට තිබෙන අවස්ථාව කෙතරම් දුුර්ලභද? යන කාරණාව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. පින්වත් මහණෙනි, තිරිසන් අපාය තුළ ඉපදුන පුද්ගලයෙකු නැවත ෙමි ලෝකය තුළ ඉපදීමට තිබෙන අවස්ථාව පැහැදිළි කරනවා නම්, මිනිස් භවය සමානයි කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලීම. එය ඒතරම්ම දුර්ලභ අවස්ථාවක් වෙයි. සාරය සාරය ලෙස තෝරාගත යුත්තේද එම නිසයි. අසාරය අසාරය ලෙස තෝරාගත යුත්තේද? එම නිසයි. දුර්ලභ මිනිස් භවයක් සමඟ සද්ධර්මයත් ලැබුණ අවස්ථාවක හරය අතහැර දමා නිසරු දෙය වැළඳගනු ලැබුවහොත් අපගේ ඊළඟ භවය කොතනැට ගමන් කරාවිද?යන්න කිව නොහැකියි. ඊළඟ භවය ගමන් කරන්නේ කොතැනටද? යන්න තීරණය වන්නේම දිගු කාලයක සිට මනස කුමන ආකාරයකට පුරුදු පුහුණු කර තිබෙනවාද? යන කාරණාව මතයි.
බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරමය තුළ වැඩ සිටින කාලය තුළ මහානාම ශාක්‍ය රජතුමා නිතරම විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරනු ලැබුවා. ස්වාමීනී , භාග්‍යවතුන් වහන්ස,කිඹුල්වත් නුවර හරහා පැමිණෙන විට හරිම ජනාකීර්ණයි. සිවුරඟ සේනාවම සිටිනවා. එම සේනාව නිසා හෝ රථයක් නිසා හෝ මම කිඹුල්වත් නුවර හරහා පැමිණෙද්දී හදිස්සියේම මරණයට පත්වුවහොත් මගේ ගතිය කුමන ආකාරයේ ද? මගේ චුතිය කුමන ආකාරයේ ෙවිවිද? යනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් මහානාම රජතුමා ප්‍රශ්නයක් විමසා සිටි අතර එයට පිළිතුරු නොදී සිටි බුදුපියාණන් වහන්සේ පෙරලා මහානාම රජතුමා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.රජතුමනි, ඔබතුමාගේ ගෙවත්ත තුළ ගස් තිබෙනවාද?එම ගස් නැමී තිබෙන්නේ කුමන දිශාවටද?
ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස , එම ගස් පෙර දිගටම හැරී, නැමී, බරවී තිබෙනවාට රජතුමනි, එම ගස් බොහෝ කාලයක සිට එසේ බරවී නැමී තිබෙනවාද?ස්වාමීනී ,මම දන්න කාලයේ සිටම එම ගස් පෙරදිගටම නැමි තිබෙනවා. නැගෙනහිරටම නැමුන, නැගෙනහිරටම හැරුන නැගෙනහිරටම බරවෙලා තිබෙන ගස් සුළඟට වැටුණත්, දිරාගොස් වැටුණත්, හදිස්සියේ වැටුණත්, ගස කපද්දී වැටුණත්, එම ගස් වැටෙන්න පුළුවන් කුමන පැත්තටද? යනුවෙන් රජතුමාගෙන් ඇසූ ප්‍රශ්නයට පෙරලා රජතුමා ලබාදුන් පිළිතුර වූයේ බොහෝ කාලයක් හැරිල , බරවී නැමී තිබුනේ පෙරදිගට නිසා වැටෙනවා නම් වැටෙන්නෙත් පෙරදිගටමයි. අපගේ සිතත් බොහෝ කාලයක් හැරිලා නැමීලා බරවෙලා තිබෙන්නේ කුමන පැත්තටද?අන්තිම හුස්ම පොද යනවිට විඤ්ඤාණය වැටෙන්නෙත් එම පැත්තටමයි. අප වැටෙන පැත්ත තම තමන්ටම සිතාගත හැකියි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිතිවිලි හා විමුක්තිය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය 
හඟුරන්කෙත ධීරානන්ද හිමි

සිත හා සිතිවිලිවල ක්‍රියාකාරිත්වය බුදුදහම වඩාත් ඉස්මතු කොට දක්වා ඇත. බෞද්ධ චින්තනය යනු බෞද්ධයකු විසින් සිතන ආකෘතිය වන අතර සිතීම යනු යම් ක්‍රියාවක් කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ සිතින් කරනු ලබන මුල් සැලැස්ම වේ. එම සැලැස්ම කය හා වචනය පදනම් කොට ගෙන හෙළි දැක්වීමෙන් එම චින්තනය ක්‍රියාවලියක් බවට පත් කෙරේ.
සිත හැදීම යනු චින්තනය සැකසීම වේ. සිතක් නැතිනම් සිතිවිලි ද නැත. සිතිවිලි හටගන්නේ සිත තුළය. සිත නිවැරැදිනම් සිතේ ඇතිවන සිතිවිලි ද නිවැරැදි වේ. සිතිවිලි නිවැරැදි නම් සිතිවිලි තුළින් ක්‍රියාවට නඟන ක්‍රියාවෝ ද නිවැරැදි බව පැහැදිලිය.

නිවැරැදි සිතින් නිවැරැදි ක්‍රියා

තමා නිරතුරුව සුදුසු ගුණයේ මෙන්ම නිවැරැදි සිතිවිලි පිහිටමින් අනුනට අනුශාසනය කළ යුතු වේ. තම චින්තනය නිවැරැදිව සකස් නොකොට අනුන්ගේ චින්තනය හෝ හැසිරීම් ගැන අවවාද නොකළ යුතුය. මන්ද තමා ඊට සුදුස්සකු නොවන බැවිනි. වැරැදියට අල්වාගත් කුස තණ වැරැදි විදිහට අල්ලාගත්තහුගේ අතම කපන්නේ වේ ද වැරැදි කරමින් උපදෙස් ලබා දෙන්නා ද තමා අතින් තමාටම අවැඩක් කර ගන්නා අතරම අනුනට ද අවැඩක්ම සිදු කරලයි.

එකඟ වූ සිතක් නැති තැනැත්තේ වසර සියයක් ජීවත්වනවාට වඩා නුවණැතිව එක් දිනක් ජීවත්වීම වැදගත් බව බුදුදහමින් අවධාරණය කරයි. පින් කිරීමට යුහුසුළු විය යුතු අතර පවින් සිත වළක්වා ගත යුතුය . පින් කිරීම කල් දමන්නාගේ සිත නිතර පාපයේ ඇලෙන්නේ ද වේ යැයි දක්වන සඳහනින් අපගේ සිත නිතර කිනම් දිශාවකට යොමුව තිබේ ද? යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. එනම් නිරතුරුවම පාපයට මෙම සිත නැමෙන බවය. නිරතුරුව යහපතට සිත යොදන තැනැත්තකුගේ සිත ආයාසයකින් වුව ද නරකින් මුදා ලිය හැකි බව ඒ සඳහා තමා විසින් මනා අභ්‍යාසයක නිරත විය යුතු බවක් ද මෙමඟින් පෙන්වා දෙයි. වැසි සමයක ඇද වැටෙන ජල බිංදු එක් රැස්වෙමින් කළයක් ඉතිරී යන්නේ යම් සේ ද එසේම නුවණින් යුතුව පින් රැස් කරන්නා ද පිනින් පිරෙන බව පෙන්වා දෙයි. මද පිරිවර ඇති මහත් ධනය ඇති වෙළෙන්ඳෙකු උවදුරු ඇති මඟ හැරයන්නාක් මෙන්ම ජීවත් වීමට ආශා ඇත්තෝ විෂ ආහාරයෙන් වැළකෙන්නේ යම් සේ ද නුවණ ඇත්තෝ එලෙසින්ම පවින් මිදීමට සිත සකස් කළ යුතු වේ. එබඳු වූ සිතිවිලි මත ක්‍රියා කළ යුතුව ඇත. භක්තිය හෝ විශ්වාසය මත සියල්ල සිදු වේය යන මිථ්‍යාමතය බුදුදහමින් ප්‍රතික්ෂේප වන බව ද කුසලාකුසල විනිශ්චයේදී පැහැදිලිය. අන්ධ විශ්වාස කර පින්නාගෙන කරනු ලබන දැයට වඩා සිත මුල්කොට කරනු ලබන දැයෙහි ඵලයක් හා විපාකයේ ඇති බව හා එහි වැදගත්කම බුදුදහමින් නිරතුරුව අවධාරණයට ලක්ව ඇති බැවින් සිත පෙරටු කරගත් ක්‍රියාදාමයකට බෞද්ධයා අවතීර්ණ විය යුතුය යන අදහස ඒ මඟින් ඉස්මතු කෙරේ. දැකීමට ඉතා අපහසු වූ ඉතාම සියුම් වූ කැමැති කැමැති හැම තැනකම හැසිරෙන්නා වූ සිත නුවණැත්තේ රැකගන්නේ ම වෙයි. එලෙසින් රක්නා ලද සිත ඔහුට නිරතුරුවම සුවයක් ගෙන දෙන්නේ යැයි සිතේ ඇති ශ්‍රේෂ්ඨත්වය උසස් කර දක්වන අතරම මාර බන්ධනයන්ගෙන් මිදීමේ මාවත ලෙසින් ද සිත දමනය කර ගැනීම බුදුන් වහන්සේ විසින් අවධාරණය කර ඇත. “මාර බන්ධනය” යනු ඉපදෙමින් මැරෙමින් ගමන් කරනු ලබන සසරය. සසර ගමන නැවැත්වීම යනු ඉපදීම හා මරණ සංඛ්‍යාතය නැති කිරීමය. එසේනම් ඊට මුල්වනුයේ ද සිත දමනය කිරීම හෙවත් සසර ගමන රඳා පවත්වාගනු ලබන තණ්හාව මුල් කොටගත් ක්ලේශයන්ගෙන් තම සිත ඉවත් කර ගැනීමය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේඅපහසු වුව ද තමාට පිහිට තමාම වන බැවින් සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතුව ඇත. මෙහි දමනය යනු සිත දමනය කර ගැනීම වේ. තමාගේ සිත වෙන කෙනෙකුට දමනය කළ නොහැකිය. වෙන කෙනෙකු විසින් සිත දමනය කිරීමෙන් තමාගේ ද සිත දමනය වේ යැයි සැලකීම මෝඩකමකි. කායික හා මානසිකත්වයේ පිරිසුදු හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා අතමය. අනෙකෙකුට තමා පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැක්කේම ය. තමාට පිහිට තමාමය. කවරෙකුටවත් තම සිත දමනය කිරීම අරබයා පිහිට විය නොහැකිය.

එසේ නම් මෙහි තමා දමනය කිරීම යනු තම සිත දමනය කිරීම වන අතර දැමුණු සිත ඇති කය ද ඒ හා බැඳෙමින් දමනය වීම ස්වභාවිකය. බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හිමියන් අමතා කළ මෙම ප්‍රකාශය ද තමා පිළිබඳ දැනීම වර්ධනයට රුකුලක් වේ. එනම් “ආනන්දය ඔබේ ආලෝකය ඔබම වේවා! ඔබේ ආරක්ෂාව ඔබ අතමය. බාහිර සරණක් පතා නොයන්න. ආලෝකය මෙන් සත්‍යය ස්ථාවරව අල්වා ගන්න. සත්‍යය රැකවරණය සඳහා දැඩිව කටයුතු කරන්න. ඔබ අනලස්ව ඔබේ විමුක්තිය සඳහා කටයුතු කරන්න.” ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ විසින් දුන් මෙම අවවාදය තුළින් ද පැහැදිලිව ගම්‍ය කරනුයේ තමා ගැන තම වැටහීමත් ඒ මඟින් තම ක්‍රියාකාරිත්වයේ ඇති වැදගත්කමක්ය. එමෙන්ම අන් සරණින් තමාට පිහිටක් නොලැබෙන බවය.
සිත නිරතුරුව පාපයට බරය. එබැවින් සිත නිවැරැදි මාවතට යොමු කර ගැනීම අපහසුය. නිවැරැදි සිතට නිවැරැදි චින්තනයක් ඇති කර ගත හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ ඇතුළතින් හා පිටතින් මුරකාවල් යොදා පිටිසර නගරයක් ආරක්ෂා කරන්නාක් මෙන් තම සිත ද නිරතුරුව රැකගත යුතු බව දේශනා කොට තිබේ. දිය පහරවල් තිස් හයකින් සැදුම් ලත් තණ්හාව නමැති නදිය වේගයෙන් රූපාදී අරමුණු අතුරින් ගමන් කරමින් එම නදියටම අයත් රාග, විතර්ක නමැති ජලධාරා මඟින් විපරිත බුද්ධිය ඇති පුද්ගලයන් දුර්ගතිය කරා ගෙන යයි. තණ්හාවට සිත තුළ නිරතුරුව ඉඩක් ලැබී ඇත. තණ්හාව යනු සත්වයනට හැම පැත්තෙන් බිය ගෙන දෙන අරුත් ඇති පදයකි. තණ්හාව යනු ආසාව නම් ආසාවේ ස්වභාව බැඳීම වේ. බැඳීම ඇත්තා නිරතුරුව බියකින් පෙළේ. එමෙන්ම තණ්හාව වනාහි එක්තරා සුවිශේෂ ආශාවක් ලෙසින් මෙන්ම සිත හා බැදුණු සිතිවිල්ලක් ලෙසින් පෙන්වා දිය හැකි ය. එමෙන්ම සෙසු සියලු ජීවිතවලින් කැඩී වෙන් වී මම නැතහොත් අප වශයෙන් කැටිවී පවතින කොටස් මඟින් අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට ඇති ආශාව තණ්හාව ලෙසින් ද අර්ථ දැක්විය හැකිය. තණ්හාව මුල් කොට ගත් කෙනෙකුගේ සිත් මෙන්ම සිතිවිලි ද අකුසල පක්ෂයේ ලා සැලකේ. මන් ද තණ්හා සහගත වූ සිතිවිලි ඇත්තන්ගෙන් නිරතුරුව තමාට මෙන්ම අනුන ට ද අවැඩක් වන බැවිනි. තණ්හාව මහා ප්‍රවාහයකට උපමා කර ඇත. මහා ප්‍රවාහය බෙහෙවින් සැඩ පරුෂය. අමිහිරිය. එහි එක් ඵලයක් වන්නේ විනාශයයි. එම සැඩ පහරට ලක්වන දෑ බොහෝය. සැඩ පහරට හසුවන සැම තැලී පොඩි වී විනාශවීම ස්වභාවිකය. එසේම තණ්හා නමැති සිතිවිලි ප්‍රවාහට මැදිවන පුද්ගලයන් ද ජල දහරාවට හසු වූ පුද්ගලයනට අත් වූ ඉරණමටම පත් වේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ විසින් තණ්හාව ජල ප්‍රවාහයකට සමාන කරමින් දක්වා ඇත. සියලු අකුසලයනට මූලය වන්නේ ද තණ්හාවම ය. තණ්හාව නමැති ජල ධාරාවෝ සෑම තැනකම ගලායයි. එක් තැනක දී බුදුරජාණන් වහන්සේ විසින් තණ්හාව වැලකට උපමා කොට ඇත. තණ්හාව නමැති වැළ සදොරින් මතුව සිටියි . එසේ හටගත් තණ්හාව නමැති වැල නුවණින් සිඳ බිඳ දැමිය යුතුබව අවධාරණය කළේය. වැලේ ස්වභාව තව ආධාරකයක් මතින් ඉහළට ගොස් එම ආධාරක ය ද විනාශ කොට තමා ද විනාශයට පත්වීමය. ගසක වෙලෙන වැල ගසේ ඉහළට ගොස් අතුපතර ද වෙලී ගසේ සාරය ද උරා ගනිමින් එම ගස විනාශයට පත් කරයි. එමෙන්ම වැලෙන් වන හානියෙන් විනාශයට පත්වන ගස මැරි දෙරණ මත ඇද වැටෙයි. ගස් වැටෙන විට ගස වසා පැතිර තිබූ වැළ ද පොළොව මතට ඇද වැටී විනාශ වෙයි. තණ්හාව ද එසේය. තණ්හා සහගත සිතිවිලි අනෙකුත් ක්‍රියාකරකම් සමඟ වෙලීයයි. තණ්හාව නම් වැල් හැදෙන ඊටම සාරය ලබා ඉන්ද්‍රියයන් හයක් ඇත. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනසයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යන ආරම්මණයන් නිසා තණ්හාව නම් ලතාව හටගන්නා බවත් එම ලතාවෝ සිත හා සිතිවිලි වසා ගෙන වචන හා ක්‍රියාවන් මඟින් බාහිර ලෝකය හා සම්බන්ධ වේ. බොරුව, කේළම හා පරුෂ වචනය හා හිස්වචන ලෙසින් මෙම තණ්හාව එක් ද්වමාරයකින් එළියට එන අතර පරපණ නැසීම සොරකම, කාමයේ වරදවා හැසිරීම සංඛ්‍යාත වූ ක්‍රියාදාමයන් ඔස්සේ තව ද්වාරයකින් එළියට එයි. මෙම එළියට එන ක්‍රියාදාමයෝ වැඩදායක නොවේමය. එබැවින් මෙම ලතාව විෂ සහිතය. ඒ හා ගැටෙන සැම දෙයක්ම විනාශ මුඛයට පත් වේ. වැල නිසා ගසද නැති වී ගියේ යම් සේ ද තණ්හාව හා සම්බන්ධ වූ ක්‍රියාදාමය හසු වූ සැමදෙය ද එලෙසින්ම විනාශ මුඛයට පත් වේ. එමෙන්ම තණ්හා සංඛ්‍යාත වූ මෙම වැල මුල් අවධියේම හඳුනාගෙන සිඳ බිඳලිය හැකි නම් ඉන් වන හානිය වළකාගත හැකිය.
බුදුරජාණන් වහන්සේ මෙහිදී තණ්හාවේ මූලය සිඳලිය හැකි මාර්ගය ලෙසින් දක්වා ඇත්තේ නුවණයි. එනම් ප්‍රඥාවයි. ප්‍රඥාව යනු තණ්හාවට ප්‍රතිවිරුද්ධාර්ථයක් ඇති සිත් හා සිතිවිලිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලබන්නේද මෙම ප්‍රඥා තණ්හාවට එරෙහි වූ ප්‍රතිවිරුද්ධාර්ථ වූ ධර්මයක් ලෙසින් පෝෂණය කරන ආකාරය වේ. නිවැරැදි දැකීම මෙහි මූලිකංගය වන අතර යමක් දෙස නිවැරැදි ව දක්නට පුළුවන්නම් ඒ හා බැඳෙමින් නිවැරැදි සංකල්ප සිත තුළම ඇති කර ගැනීම අපහසු නොවේ. නිවැරැදි සිතක් හා නිවැරැදි සංකල්ප ඇති වූ විට නිවැරැදි වචන නිවැරැදි ක්‍රියා හා නිවැරැදි දිවි පැවැත්මකට අවතීර්ණ වීමට එම යහපත් සංකල්ප අතිශයින්ම වැදගත්ය. එමෙන්ම ගත, සිත නිවැරැදි ක්‍රියාදාමයකට යොදන විට අකුසලය නැති කරන්නට කුසලය කරා ගත , සිත යෙදීමට අදාළ පසුබිම සකස් කර ගැනීමට හැකි වන අතර සිත සන්සුන් කරන්නට සමාධි ගත කරන්නට මෙන්ම සිත හා බැදුණු ක්ලේශයන්හි මුල් එකිනෙක උදුරා දැමීමට අදාළ මානසික ස්ථාවරත්වය සකසා ගත හැකිය. භාවනාව තුළින් ඉස්මතු කරනුයේ සිත් හා සිතිවිලි පිළිබඳවහැඳින ගැනීම, වර්ග කිරීම, අනවශ්‍ය සිත් හා සිතිවිලි බැහැර කිරීම හා අදාළ සිත් හා සිතිවිලි දියුණු කිරීමට මහන්සි ගැනීමය. සිත හා සිතිවිලි නිවැරැදි ලෙසින් වටහා ගත් විට තණ්හාවේ උත්පාදන මූලයන් වන ආරම්මණ ධර්මයන්හි යථා ස්වභාවය පසක් කරගත හැකි අතර එම ධර්මයන් හා ඇලි ඇලී නොසිට එහි වෙනස්වන ස්වභාවය දුක්ඛිත භාවය හා අනාත්මීයත්වය නුවණින් දක්නට පුළුවන් වන්නේ නම් තණ්හාවේ වර්ධනයට ඇති මං සිඳලීමක්වන අතර අකුසලයට නැඹුරුවන සිත කුසලයට බර කර ගැනීමට ඇති හැකියාව දියුණු වේ. මෙබඳු වූ මානසිකත්වයක් ඇති කර ගත් පුද්ගලයා පණ්ඩිතයා ලෙසින් ප්‍රඥාවන්තයා ලෙසින් බුද්ධිමතා ලෙසින් දක්වා ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කාම ධාතුවෙන් නෙක්‌ඛම්ම ධාතුවට

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

'සනිදානං භික්‌ඛවෙ, උප්පඡ්ජති කාමවිතක්‌කෝ නොව අනිදානං, සනිදානං උප්පඡ්ජති ව්‍යාපාද විතක්‌කො අනිදානං, සනිදානං උප්පඡ්ජති විහිංසා විතක්‌කෙ නො අනිදානං.''
'මහණෙනි, කාම විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. ව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. විහිංසා විතර්ක ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී.
ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ ධාතු සංයුත්තයට අයත් සනිදාන සූත්‍රයෙහි මුලධර්ම කොට්‌ඨාසයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් උපන් සංඥාව දුරුකරන ආකාරයත් එමගින් මෙම භවයේදීම ආයාස රහිතව, කෙලෙස්‌ දැවීම් රහිතව, සුවසේ වෙසෙන ආකාරයත් මරණින් මතු සුගතිය ලබන ආකාරයත් පෙන්වාදී තිබේ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ විස්‌තර කොට දේශනා කරති. 'මහණෙනි, කෙසේ නම් කාම විතර්කය ප්‍රත්‍ය සහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද? ව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද? විහිංසා ප්‍රත්‍ය සහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද? විහිංසා විතර්ක ප්‍රත්‍ය රහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද?'
''මහණෙනි, කාම ධාතුව නිසා කාම සංඥව උපදී. කාම සංඥව නිසා කාම සංකල්පය උපදී. කාම සංඥ නිසා කාමච්ඡන්දය උපදී. කාමච්ඡන්දය නිසා කාම පරිදාහය උපදී. කාම පරිදාහය නිසා කාම පර්යේෂණාව උපදී. කාම පර්යේෂණය සොයන නූගත් පෘථග්ජන තෙමේ කයින්, වචනයෙන්, සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.''
අභාවිත සිත්වල කාමයෝ සකස්‌ වෙති. අභාවිත සිතක්‌ නම් සංඛත, සංඛාර වස්‌තූන් අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයන්ට යටත්ව දැකීමේ අදක්‌ෂ සිතයි. නැතිනම් එසේ පුරුදු නොකරන සිතයි. කිසිදු බාහිර වස්‌තුවක කාමයෝ නොමැති බවත්, කාමයෝ සකස්‌ වෙන්නේ අභාවිත සිත් ඇතියන්ගේ සිතුවිලි හෝ සංකල්පවල බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. 

'සංකප්ප රාගෝ පුරිසස්‌ස කාමෝ
න තෙ කාමා යානි චිත්‍රානි ලෝකේ
සංකප්ප රාගො පුරිසස්‌ස කාමෝ
තිට්‌ඨන්ති චිත්‍රානි තථෙව ලෝකේ
අථෙත්ථ ධීරා විනයන්ති චන්දන්න

'ලෝකයෙහි පුරුෂයකුට (හෝ කාන්තාවකට) සංකල්ප උපන් රාගය කාම වෙයි. යම් වූ විසිතුරු වස්‌තු වෙත් ඒවා කාම නොවෙති. පුරුෂයාගේ සංකල්ප රාගයම කාම ලෝකයේ විසිතුරු වස්‌තු ඒ ආකාරයෙන්ම වෙයි. මේ නිසාම යම් අරමුණක උපන් ඡන්ද රාගය, නුවණ ඇත්තෝ (භාවිත සිත් ඇත්තෝ) දුරු කරති. (අං.නි. නිබ්බේධික සූත්‍රය)
මේ අනුව සිතේ පවත්නා අභාවිත බව නිසා ඇසට අරමුණු වන රූපය, කණට අරමුණු වන ශබ්දය, නාසයට අරමුණු වන ආඝ්‍රණය, දිවට අරමුණු වන රසය, කයට අරමුණු වන ස්‌පර්ශය, සිතට අරමුණු වන සිතුවිලි කාම හෙවත් කාම ධාතුව බවට පත්වෙති. මේ නම් ආරම්මණ, අභාවිත සිත්වලට කාම බවට පත්වන මීළඟට සිදුවන්නේ කුමක්‌ද? අභාවිත සිතට, ගෝචර වන ආරම්මණ කාමයන් බවට පත්වීම හේතුකොට ගෙන කාම සංඥව උපදී. කාම සංඥව නිසා නැවතත් කාම සංකල්ප සකස්‌වෙයි. මෙහිදී අභාවිත සිතෙහි නිමිති, අනුනිමිති, ව්‍යඤ්ජන වශයෙන් ප්‍රත්‍ය වැඩෙන්නට සියලු දෙනාටම, එකම අරමුණක්‌ද වුවද එකම ආකාරයකින් සකස්‌ නොවෙයි. කාම සංඥව සකස්‌වීමේදීත්, කාම සංකල්ප ඉපදීමේදීත් කෙලෙස්‌ අඩු වැඩි වශයෙන් සකස්‌ විය හැකිය. යම් කෙනකුට යම් මාත්‍ර වශයෙන් අරමුණෙහි රාග, ද්වේෂාදී වශයෙන් කෙලෙස්‌ ඉපදී නොවැඩී බැහැර විය හැකිය. තවත් අයකුට රාගාදී කෙලෙස්‌ හටගෙන, එය හඳුනා ආදීනව මෙනෙහි කිරීමෙන්, තම සිතෙහි එම කෙළෙස්‌ ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී බැහැර කිරීමට හැකිවනු ඇත. තවත් කෙනෙක්‌ නිමිති ව්‍යඤ්ජන වශයෙන් රාගයම වැඩෙන ආකාරයෙන් අරමුණු පරිහරණය කරති. අභාවිත සිතේ රාගාදී කෙලෙස්‌ කොපමණ ප්‍රබල වන්නේදැයි සඳහන් කළොත් ඒ මෙසේයි. එනම් මළ මිනියකට හෝ ඇට සැකිල්ලකට හෝ තිරිසන් සතෙක්‌ කෙරේ වුවද කාම සංඥවන්, කාම සංකල්පය උපදවා ගනී.
මෙම වරදවා පිහිටුවා ගත් කාම සංකල්පය නිසා කාමච්ඡන්දය උපදී. යම් වූ අරමුණක්‌ කෙරේ අභාවිත සිතෙහි කාමයට කැමැත්ත හෙවත් ඡන්දය හටගන්නේ පඤ්ච කාම ගුණයන් සමගිනි. 'ඉට්‌ඨා කන්ත මනාපා, පියරූපා කාමූපසංහිතා රජනීයා'. එනම් ඉටුවඩන, මනවඩන, ප්‍රියදැයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන නම් වූ ගුණ වශයෙනි. මේවා ගුණ නම් පදයෙන් හැඳින්වුවත්, පරමාර්ථ ධර්මයේදී නුගුණමය. මෙම කාමය නිසා කාම පරිදාහය උපදී. පරිදාහය නම් තැවෙන, දැවෙන, රත්වෙන, පිළිස්‌සෙන ස්‌වභාවයයි. කාම පරිදාහය හටගත් විට එයින් නිවීමට හෝ නිදහස්‌වීමට උත්සාහ ගනී. අභාවිත සිතක්‌ ඇත්තා තම සිතෙහි කාමයෙන් තැවෙන ස්‌වභාවයෙන් ගැලවීමට උත්සාහ ගන්නේ කාම ගොදුරකින්මය. කාම ගින්න නිවා ගැනීමට නම් විරාග සිසිලසක්‌ සිතෙහි සකස්‌ කර ගැනීම යහපත් වුව මේ නිසා කාම ගින්න නිවා ගැනීමට කාමයෝම සොයන්නට පෙළඹේ. මෙය කාම පර්යේෂණය යෑයි හඳුන්වා කාම පර්යේෂණයේදී ''හොඳින් නොහැකි නම්, නොහොඳින් හෝ කියාද, ධර්මයෙන් නොහැකි නම් අධර්මයෙන් කියාද, එළිපිට නොහැකි නම් රහසින් හෝ කියාද?' ආදී වශයෙන් සෙවීම, උපක්‍රම යෙදීම, සැලසුම් කිරීමට අභාවිත සිත් ඇති පුද්ගලයා පෙළඹෙයි. මෙම කාම වස්‌තු සවිඤ්ඤාණික හෝ අවිඤ්ඤාණික වස්‌තුන් විය හැක. ඇස ආදී ඉන්ද්‍රිය සයෙන්මත්, රූපාදී ආරම්මණ සයෙන්මත්, චක්‌ඛු විඤ්ඤාණ ආදී විඤ්ඤාණයන්ගේම මෙම අනාර්ය පර්යේෂණයට එකතුවෙයි. මෙම කාම පර්යේෂණයට බැසගත් නූගත්, පුහුදුන් පුද්ගලයා කයින්, වචනයෙන්, සිතින් නම් වූ තුන් කරුණින් වරදවා පිළිපදී. එනම් පස්‌පව්, දස අකුසල් වශයෙන් පාපී ස්‌වභාවයට පත්වීමයි.
භාග්‍යවතුන් වහන්සේ මීළඟට මෙසේ දේශනා කරති. 'මහණෙනි, ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥව උපදී. ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංකල්පය උපදී. ව්‍යාපාද සංකල්පය නිසා ව්‍යාපාද ඡන්දය උපදී. ව්‍යාපාද ඡන්දය නිසා ව්‍යාපාද පරිදාහය උපදී. ව්‍යාපාද පරිදාහය නිසා ව්‍යාපාද පර්යේෂණාව උපදී. ව්‍යාපාද පර්යේෂණය සොයන නූගත් පුහුදුන් පුද්ගලයා කයින්, වචනයෙන්, සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී. මෙහිදී කාම ධාතුව පිළිබඳ විස්‌තර කළ අයුරින්ම ව්‍යාපාද සහ සිතුවිලි පිළිබඳ අවබෝධයක්‌ ඇතිකර ගැනීම අවශ්‍යය. කුමන ආරම්මණයක්‌ ඔස්‌සේ වුවද, ව්‍යාපාද සංඥව සකස්‌ වෙන්නේ තම සිතෙහිය. එනම් අභාවිත සිතෙහිය. මේ නිසා ව්‍යාපාද ආරම්මණය ද අනිච්ච දුක්‌ඛ, අනත්ත නම් ත්‍රිලක්‌ෂණයට යටත්කොට දැකීම අවශ්‍යය. මෛත්‍රිය මනාව පුරුදු කිරීමෙන් තම සිත මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‌ඛා නම් සතර බ්‍රහ්ම විහරණයට පුරුදු කළහ. ආඝාතය ඇතිවන කරුණුවලින් වැළකිය යුතුය. 'ඒ පුද්ගලයා අතීතයේ මම වරද කළේය. වර්තමානයේ වරද කරන්නේය. අනාගතයේaද කරනු ලබන්නේය. තම ප්‍රිය පුද්ගලයාට අතීතයේ වරදක්‌ කළේය. දැන් වරදක්‌ කරන්නේය. අනාගතයේද වරදක්‌ කරනු ලබන්නේය. තම අහිතවන්තයාට අතීතයේ යහපත කළේය. දැනුදු යහපතකරන්නේය. තම අහිතවන්තයාට අනාගතයේ යහපතක්‌ කරනු ලබන්නේය.'' මේ ලෙසින් සිතා ආඝාතයෙන් වැළකීමට සිත පුරුදු කොට නැතිනම් සිතෙහි ව්‍යාපාද ධාතුව සකස්‌ වී ව්‍යාපාද සංඥ ගැනීම වශයෙන් පස්‌පව්, දස අකුසල් දක්‌වා වර්ධනය වේ. මේ ආකාරයෙන් විහිංසා ධාතුවදා (අනුන්ට විපත් කිරීම ) ගලපා බැලිය යුතුය. විහිංසා ධාතුව නිසා විහිංසා උපදී. විහිංසා සංඥව නිසා විහිංසා සංකල්පය උපදී වශයෙනි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. 'මහණෙනි, පුරුෂයෙක්‌ ඇවිලගත් තණ හුලක්‌ වියෑලී තණ ලා හෙලන්නේද, ඉඳින් අතින් පයින් වහා නොනිවන්නේ. මෙසේ ඒ තණ ලැහැබ සහ දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු ඇත්ද ඔවුහු විනාශයට පැමිණෙන්නාහුය. 'මහණෙනි, එසේම යම්කිසි භික්‌ෂුවක්‌, බමුණෙක්‌ (උපාසකයෙක්‌, උපාසිකාවක්‌) උපන්නාවූ විෂම බවට පැමිණියා වූ අකුසල සංඥව වහාම දුරු නොකෙරේද, බැහැර නොකෙරේද අවසන් නොකෙරේද අනුක්‍රමයෙන් නොඉපදීමට කටයුතු නොකෙරේද, හෙතෙම මේ අත් බවයේම පීඩා සහිත උපායාස (බලවත් සිත් තැවුල්) සහිතව පරිදාහ සහිතව දුකසේ වෙසෙයි. මරණින් මතු දුගතිය කැමති විය යුතුය. 

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. නෛෂ්ක්‍රම්‍ය විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී, ප්‍රත්‍ය රහිතව නූපදී. අව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. 

ප්‍රත්‍ය රහිතව නූපදී. අවිහිංසා විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. අවෙ‍ෙෂ්ක්‍රම්‍ය (කෙලෙස්‌වලින් නික්‌මීම) ධාතුව නිසා නෛෂ්ක්‍රම්‍ය සංකල්පය උපදී. නෛෂ්ක්‍රම්‍ය සංකල්පය නිසා නෛෂ්ක්‍රම්‍ය ඡන්දය උපදී. නෛෂ්ක්‍රම්‍ය ඡන්දය නිසා නෛෂ්ක්‍රම්‍ය පරිදාහය උපදී. නෛෂ්ක්‍රම්‍ය පර්යේෂණාව නිසා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සිත, කය, වචනය නම් වූ තුන් කරුණින් මනාසේ පිළිපදී. අව්‍යාපාද ධාතුවෙහිත්, අවිහිංසා ධාතුවෙහිදීත් මෙම ධර්ම පරියායම ක්‍රියාත්මක වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරත්. ''මහණෙනි, යම් සේ පුරුෂයෙක්‌ ගිනිගත් තණ හුලක්‌ වියලි ත ණ ලැහැබක බහාලන්නේද ඒ තණහුල අතින් පයින් වහාම නිවන්නේද, මෙසේ තෘණ සහ දැව ඇසුරු කළ යම් ප්‍රාණිහු වෙත්ද, ඔවුහු විනාශයට නොපැමිණෙන්නාහුය.
එසේම යම් භික්‌ෂුවක්‌ හෝ බමුණෙක්‌ (උපාසකයෙක්‌ හෝ උපාසිකාවක්‌) විෂම බවට පැමිණ අකුසල සංඥව වහාම දුරු කෙරේද බැහැර කෙරේද, මුලින්ම ගළවා දැමේද නැවත හටනොගන්නා බවට පමුණුවාද හෙතෙම මේ අත් බවයේද පීඩා රහිතව, ආයාස රහිතව, පරිදාහ රහිතව සුවසේ වෙසෙයි. මරණින් මතු සුගතිය කැමැති විය යුතුයි. 
උතුම් චතුරාර්යය සත්‍ය ධර්ම අවබෝධම වේවා‍ෙ

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤