දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

මාංශ අනුභවයෙන් බෞද්ධයාගේ ආජිව පාරිශුද්ධභාවය කිළිටිවේද?

ශාස්‌ත්‍රපති කරඳන සමිත හිමි,
ශ්‍රී සුධර්මානන්ද පුරාණ මහා විහාරය, කොරසේ, උඩුගම්පොල


මෙවන් පැනයකට එකවිටම 'ඔව්' කියා හෝ 'නැත' කියා හෝ පිළිතුරක්‌ දිය නොහැකිය. මන්ද මේ සම්බන්ධව ග්‍රහණය කරගන්නා වැරැදි දෘෂ්ටි ගැනීමට ඇති අවස්‌ථා වැඩි නිසාය. මේ නිසා යමක්‌ දෙස පක්‌ෂග්‍රාහීව නොව මධ්‍යස්‌ථව බලා එහි පවතින යථා ස්‌වරූපය දැනගැනීම කළ යුතුය. බුදුපියාණන් වහන්සේ මාංස අනුභවය අනුමත කළේද? යන්න පිළිබඳව තොරතුරු පෙළ දහම තුළින් සපයාගත යුතුය. ඒ අනුව අපගේ පළමු අවදානය යොමු වන්නේ 'ම-Cධිම නිකායේ ජීවක සූත්‍රය' වෙතය. ජීවක සුත්‍රයට අනුව ජීවක තෙම බුදුපියාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ මාංස අනුභවය පිළිබඳ පැනයකි.

'ස්‌වාමීනි, ශ්‍රමණ ගෞතමයන් උදෙසා කරන ලද තමා පිණිස කරන ලද, මාංශ ඒ බව දැන දැන වළඳන්නාහයි මා අසා ඇත. මෙහි සත්‍ය, අසත්‍යතාව කුමක්‌ද? (ම. නි. ෂෂ, බු.ජ.මු. 1973, 54 පිටුව). 

ජීවකතුමන් බුදුපියාණන් වහන්සේගෙන් මෙවැනි පැනයක්‌ විමසා ඇත්තේ තමාට සමාජයෙන් අසන්නට ලැබුනු පුවතක්‌ වශයෙන්ය. එතුමාට අවශ්‍යවූයේ එහි පවතින සත්‍ය අසත්‍යතාව දැනගැනීමය.

ජීවක තුමන්ගේ පැනයට අනුව එම ක්‍රමයට මාංස අනුභවය කිරීම 'උද්දීස්‌සක්‌ත මංසං' ලෙස දැක්‌වේ. එනම් තමා උදෙසා මාංස සැකසීමට ප්‍රාණවධය සිදුකර සැකසූ මාංසය. මේ පැනයට බුදුපියාණන් වහන්සේගේ පිළිතුර වූයේ 'නැත' හෝ 'ඔව්' යන්න නොවේ. බුදුරජාණන් වහන්සේ එතුමාට කරුණු පැහැදිලි කිරීම තුළින්ය. 

ජීවක මම කරුණු තුනකින් මාංස පරිභෝජනය නොකළ යුතු යෑයි වදාරමි. එනම්,

1. දක්‌නා ලද දෙයයි

2. අසන ලද දෙයයි

3. සැක කරන ලද දෙයයි

මේ කරුණු තුනෙන් මාංස පරිභෝජනය නොකර යුතුය. ජීවන ඇදුරුතුමනි, මේ කරුණු තුනකින් පිරිසිදුව මාංස පරිභෝජනය කළ යුතු යෑයි වදාරමි'. (ම.නි. ෂෂ බු.ජ.මු. 1973, 54 පිටුව)

1. නොදක්‌නා ලද්දෙ යෑයි

2. නො අසන ලද්දෙ යෑයි

3. සැක නොකර ලද්දෙ යෑයි

ජීවක ඇදුරුතුමනි, මෙම කරුණු තුනෙන් යුක්‌ත පිරිසිදු වූ මාංසය පරිභෝජනය කළ යුතු යෑයි වදාරමි'.

මෙම පිළිතුරට අනුව වැළඳිය යුතු හා නොවැළඳිය යුතු ද යන්න සකාරණව පැහැදිලිව බුදුපියාණන්වහන්සේ දේශනා කළ සේක.

බුදුසමයට අනුව මාංස පරිභෝජනයේදී අනුගමනය කළ යුතු පිළිවෙල ආකාර තුනක්‌ යටතේ වැඩිදුරටත් විස්‌තර කරනු ලබයි.

1. අදිට්‌ඨ පාරිශුද්ධිය

2. අසූත පාරිශුද්ධිය

3. අපරිසංකිත පාරිශුද්ධිය 

යන්න ත්‍රිකෝටික පාරිශුද්ධිය වේ. ත්‍රිකෝටික පාරිශුද්ධියේ පළමු අංගය අදිට්‌ඨ පාරිශුද්ධියයි. එනම් තමා වෙනුවෙන් ප්‍රාණියකුගේ දිවිය තොර කළ බව දක්‌නා ලද මත්ත්‍ය මාංස නොවැළඳිය යුතු වන අතර අදිට්‌ඨ පාරිශුද්ධිය තුළදී 'තමා' උදෙසාම මැරූ බව නොදුටු බවයි. 'පවත්න මාංස්‌ අදිට්‌ඨ මාංස වශයෙන් දැක්‌විය හැකිය. පවත්න මාංස යනු වෙළෙඳ පොළෙහි විකිණීම පිණිස තබාඇති මාංසයි. (ම.පා. ෂෂෂ බු.ජා.මු. 1957, 554-592 - පිටු) නූතනයේ දානය සඳහා භික්‌ෂුන්ට පූජා කරනු ලබන්නේද වෙළෙඳපළින් ගෙනවිත් සකසා පිරිනමන මාංශයි. එම මාංශ භික්‌ෂුන්ට කැපය. 

02. අසූත පාරිශුද්ධිය

ත්‍රිකෝටික පාරිශුද්ධි ධර්ම අතර දෙවැන්න අසුත පාරිශුද්ධයයි. තමන් උදෙසා වධයට පමුණුවා ගන්නා ලද බව නොඇසූ මත්‍ය මාංස 'අසූතං මංසං' නම් වෙයි. බොහෝ විට දන් පූජාකරන දායකයෝ තම දාන මුරය සඳහා හොඳ දිය මසක්‌ අවශ්‍ය යෑයි තම හිතවත් මසුන් මරන්නකු හට කියා දිය මස්‌ ලබා ගනිති. මසුන් මරන්නා 'අපේ දානයට හොඳ මාළුවෙක්‌ අසවල් දවසට අවශ්‍ය යෑයි' පැවැසූ විට මසුන් මරන්න යන්නේ එම ඉල්ලීම ඉටු කිරීමේ අදහසිනි. එම නිසා මසුන් මරන්නා දානය සඳහා මසුන් මරන්න පෙළඹෙයි. තවද දායකයා එම දානය පිළියෙල කර පිළිගන්වන්නේද 'අපේ හාමුදුරුවනේ මේවා හොඳ අලුත් මාළු අසවලාට කියලමයි ගෙන්න ගත්තේ' වශයෙන්ද පවසමිනි. මෙසේ වූ කල මේ මාංස 'සුත මාංසය' හෙවත් තමා වෙනුවෙන්ම ප්‍රාණඝාතය කොට පිළියෙල කරන ලද මාංසයක්‌ වශයෙන් අකැප වන්නේය. විශේෂයෙන්ම එවන් මාංස දානයක්‌ යමෙක්‌ පිළියෙල කරන්නේ නම් ඉහත පරිදි එය ලබාගැනීම නොකළ යුතුය. ඒ සඳහා උචිත වන්නේ අසූත පාරිශුද්ධියට අයත් තමන් උදෙසා කළ බව නොඇසූ මාංසය.

03. අපරිසංකිත පාරිශුද්ධිය

ත්‍රිකෝටික පාරිශුද්ධියෙහි තෙවැනි අංගය වන මෙය අටුවා විවරණයට අනුව පරිසංකිතයේ ප්‍රභේද තුනක්‌ දක්‌වා ඇත. 

1. දිට්‌ඨ පරිසංකිතං

2. සුත පරිසංකිතං

3. තදාභය විමුක්‌ත පරිසංකිතං වශයෙන් මෙම අවස්‌ථා තුන පැහැදිලි කිරීම පිණිස අටුවාව උදාහරණක්‌ද දක්‌වා ඇත. 'දැල් වරදැල් ආදී ආයුධ අතැතිව ගමෙන් පිටව වනයට පිවිසෙන මිනිස්‌සු, භික්‌ෂුන් වහන්සේ නමක්‌ දකිති. මොවුන් වනගත වූයේ දඩයම පිණිස ය. පසුදින එම භික්‌ෂුව පිඬු පිණිස වඩියි. ගම්වැසියෝ මසත්‍ය මාංශ සහිත ආහාර පානයෙන් භික්‌ෂුන් වහන්සේ පුදති. (සා.පා. වි. අට්‌ඨ ෂෂ ස.හේ.මු. 1945, 435, 436 පිටු.)

ඉහත සංසිද්ධිය විවරණය කොට බලන විට එහි දිට්‌ඨ පරිසංකිතය අන්තර්ගත වන අයුරු ප්‍රකටය. ආයුධ ගෙන වනයට පිවිසෙන විට ඔවුන්ට හමුවූවේ භික්‌ෂුවකි. ඔවුන් ප්‍රාණවධය පිණිස හැසිරෙන විට මුවා, ගෝණා ආදි සත්වයන් දැක එම සතුන් ප්‍රාණවධය කොට ගෙන එන මාංස භික්‌ෂුවට පුද දුන්නේය. ඉන් දිට්‌ඨ පරිසංකිතය ඇති වේ. සැකය පහළ වේ. පරිසංකිත පාරිශුද්ධිය නම් තමා වෙනුවෙන් කළ මාංසයක්‌ සැකයෙන් තොර මාංශයක්‌ වීමයි.

සුත පරිසංකිත අවස්‌ථාව වන්නේ සැකය තම ශ්‍රවණය සාධාරණීකරණය නිසා වන්නකි.

තදාභය විමුක්‌ත පරිසංකිතය ඉහත අවස්‌ථා දෙකටම වඩා හාත්පසින්ම වෙනස්‌ය. මන්ද යත් මෙහි සැකය උපදවන දැකීමක්‌ හෝ ඇසීමක්‌ හෝ නොමැතිව ම සැකය ජනනය වන බැවිනි. එනම් භික්‌ෂුව පිඬු පිණිස ගමට වැඩි කල ගම්වැසියෝ මත්ස්‍ය මාංස සහිත ආහාර පානයෙන් භික්‌ෂුන් වහන්සේ පුදති. මෙම මාංසය තමා උදෙසාම කළ මාංසයකැයි සැක පහළ වේ නම් එය තදාභයමුක්‌ත පරිසංකිතයයි. (සමන්ත පාසාදිකා ෂෂ කොටස, සංස්‌කරණය, හේවාවිතාරණ මුද්‍රණය 1945-436 පිටු)

ත්‍රිකෝටික පාරිශුද්ධිය ලෙස හැඳින්වෙනුයේ එම මාංස සම්පාදනය කෙරෙහි තමා සෘජුව හෝ චක්‍රව හෝ සම්බන්ධතාවක්‌ නොමැති බවයි. ඒ සඳහා කුමන හෝ ආකාරයකින් අනුබල නොදුන් බවයි. අකුසල ධර්මය සිදුවන්නේ මාංස අනුභවය නිසා නොවේ. එම මාංස ලබාගැනීම උදෙසා කළ ප්‍රාණඝාත ක්‍රියාව නිසාය යන්න මේ ත්‍රිකෝටික පාරිශුද්ධතාව තුළින් ප්‍රකට වන ධර්ම විවරණාර්ථයයි.

ප්‍රාණඝාතයෙන් මිදී, අකුසල කර්ම සිදුනොවන පරිදි මාංස පරිහරණය පිණිස යම් හෝ ඉඩක්‌ ඇත. එම ඉඩකඩ භාවිත කර අවශ්‍ය අයට මාංස පරිහරණය කළ හැකිය. මේ සඳහා පවතින අවකාශය බුදුපියාණන් වහන්සේ විසින් පෙන්වා දීමක්‌ විනා අසුරාලීමක්‌ සිදුකර නොමැත. එය ත්‍රිකෝටික පාරිශුද්ධියයි. ත්‍රිකෝටික පාරිශුද්ධියෙන් යුත් මාංශ අනුභවයට සුදුසු බවත්, ත්‍රිකෝටික පරිශුද්ධියට නොයුතු මාංස අනුභවයට නොසුදුසු බවත් බුදුපියාණන් වහන්සේ අනුදැන වදාරන සේක.

ගිජුකුල පව්වෙන් බසින්නා වූ භික්‌ෂුන් වහන්සේලා සිංහයකු විසින් ඉඳුල් කළ මසක්‌ දැක, එය පිසවා අනුභව කළාහුය. කිම, අපි පරිජි ඇවැත් අවන්නමෝ දැයි ඔවුනට කුකුස්‌ ඇතිවිය. බුදුරාජණන් වහන්සේට මේ පවත් සැල කළාහුය. බුදුපියාණන් වහන්සේ මහණෙනි, සීහවිඝාතයෙහි ඇවැත් නොවේ, යෑයි වදාළ සේක. (පා.පා. බු.ජ.මු. 1959-132 පිටුව)

මේ පරිදිම ව්‍යාඝ්‍රයකු විසින් ඉඳුල් කළ, දිවියකු විසින් ඉඳුල් කළ, කරබාන වලසකු විසින් ඉඳුල් කළ, වෘකයකු විසින් ඉඳුල් කළ, මස්‌ දැක ඉතිරිය පිසවා වළ¹, තමා පරිජි වූයේ දැයි වූ කුකුස නිසා බුදුපියාණන් වහන්සේගෙන් විමසූ කල උන්වහන්සේ පරිජි නොවන බවත්, තිරිසන් ගතසතුන්ට අයත් දෙයෙහි වරද රහිත බවත් වදාරා ඇත. (පා.ප. බු.ජ.මු. 1959, 132 පිටුව)

බුදුපියාණන් වහන්සේ යමක්‌ කැප යෑයි වදාරා ඇත්නම් අප ඒ ගැන ප්‍රශ්න, සැක ඇති කරගත යුතු නැත. මස්‌ මාංශ අනුභවය ගැන සැලකීමේදී මස්‌ වර්ග දහයක්‌ අකැප බව වදරා ඇත.

1. මිනී මස්‌ 

2. අශ්ව මස්‌

3. ඇතුන්ගේ (අලි) මස්‌

4. සුනඛ මස්‌ 

5. සර්ප මස්‌

6. සිංහ මස්‌

7. ව්‍යාඝ්‍ර මස්‌

8. දිවි මස්‌

9. වලස්‌ මස්‌

10. කළු හිස්‌ වලස්‌ මස්‌ යන දහයයි.

මෙම මස්‌ වර්ගයන් අකැප යෑයි වදාරා ඇත්තේ යම් යම් හේතූන් මුල්කරගෙනය. ඇතැම් දුර්භික්‌ෂවලදී මිනීමස්‌ පවා අනුභව කළහ. එක්‌තරා භික්‌ෂුන් වහන්සේ නමක්‌ සඳහා මිනීමස්‌ ලැබිණි. බුදුපියාණන් වහන්සේ මිනීමස්‌ වැළඳීම 'ථුලැසි' නම් වූ අවැතක්‌ බව වදාළහ. ඇතුන් අසුන් රාජ පරිභෝග වස්‌තු නිසා, සුනඛ සර්ප මස්‌ පහත් පිළිකුල් නිසාද, සිංහ, ව්‍යාඝ්‍රාදී මස්‌ අනුභවය කළ භික්‌ෂුන් වහන්සේට එම ගන්ධය නිසා සිංහාදීන්ගෙන් පීඩා විඳීමට සිදුවන නිසාත් එම මාංස අකැප බව වදාළ සේක. සෙසු මාංස අකැප බවත් දක්‌වා නැති අතර, බුද්ධ ප්‍රමුඛ ආර්යය වූත්, අනාර්ය වූත් භික්‌ෂු සංඝයා මාංස වැළ බව අපේ ත්‍රිපිටක සාහිත්‍ය හා සීහල වථුව වැනි පෙළපොත්වල සඳහන් වේ.

ඉහත සඳහන් කරන ලද තොරතුරුවලට අනුව අප බැසගත හැකි තීරණය වන්නේ බුදුපියාණන් වහන්සේ මාංස අනුභවය පිsළිබඳ කරුණෙහිදී ඉතා පැහැදිලි මතයක සිටි බවයි. කැමති අයට අනුභවයන්, අකමැති අයට ඉන් මිදීමටත් අවකාශය ඇත. යමෙක්‌ මාංස අනුභවය කරන්නේ නම් ඒ කවරාකාර මාංසයක්‌ විය යුතු දැයි යන්න දේශනා කර ඇත. එය ධාර්මික විවරණයකි. ප්‍රාණඝාතයෙන් මිදී මාංස අනුභවය කළ හැකි බවත් එවැනි අවස්‌ථාවක්‌ වරදක්‌ නොවන බවත් එමගින් අකුසල් සිදුනොවන බවත් ගම්‍ය වේ.

සැදැහැවත් දෙවියෝ කරත් බොහෝ පින්කම්

දෙවියන්ට පින් කරන්න පුළුවන්ද? බැරිද? කියා සැකයක් අප බොහෝ දෙනා තුළ පවතිනවා. බොහෝ දෙනෙකුගේ අදහස දෙවියන්ට පින් කරන්න බැහැ. නමුත් දෙවියන්ට පින් අනුමෝදන් වියහැකි බවයි.
ඔබට ඒ සම්බන්ධව උදාහරණයක් කියන්නම් 'කන්ථක' දිව්‍ය පුත්‍රයාගේ ජීවිතය පිළිබඳව. ගිය ජීවිතයේ කන්ථක ලෙස තිරිසන් ආත්මයක සිට මේ ජීවිතයේ කන්ථක දිව්‍ය පුත්‍රයා ලෙස දිව්‍ය ආත්මයක් ලබනවා. එසේ දිව්‍ය ආත්මයක් ලැබුණේ බෝසතාණන් වහන්සේගේ ගමනට කළ උපකාරයට ආනිශංස ලෙසයි.
දිනක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයේ සැරිසරද්දී මේ දිව්‍ය පුත්‍රයා මුණගැසී අසනවා 'ඔබට බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණේ නැද්ද 'කියා. එවිට දිව්‍ය පුත්‍රයා කියනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැසුන බවත්, එහිදී චතුරාර්ය සත්‍යය ධර්මය කියාදුන් බවත්. මේ කන්ථක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න ශ්‍රාවකයෙකු වූයේ දිව්‍ය ජීවිතයක සිටිද්දීයි. එසේනම් දෙවියන්ටත් සෝතාපන්න වෙන්න පුළුවන්. ශක්‍ර දෙවියා මාතෘ දිව්‍යරාජයා ආදී දෙවිවරු පිළිබඳව ඔබ අසා ඇති. අප කන්ථක දිව්‍ය පුත්‍රයා මෙතැනට උපමා කළේ මිනිස් ආත්මයක සම්බන්ධතාව-යක් නොමැති නිසායි.
තථාගතයන් වහන්සේ අපට වදාළා ‘සෝත’ කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට කියන නමක්. ‘ආපන්න’ කියන්නේ පැමිණුනා. එසේනම් සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන එකයි. කන්ථක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න වූවා කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන එකයි. දෙවියන්ට ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්න පුළුවන් බව මෙහෙම පැහැදිලියි. සීල, සමාධි, ප්‍රඥා ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ තිබෙනවා ස්කන්ධ තුනක්. සෝතාපන්න වූ දෙවිවරුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන්නේ ඒ දෙවියන් පැමිණුනේ සීල, සමාධි, ප්‍රඥා තුළටයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඇතැම් දේශනාවලදී වදාළා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනවා නම් ඔහු තුළ පුණ්‍යාභිසංක, කුසලාභිසංක වශයෙන් පින් කුසල් රැස්වෙන බව. ඔහුගේ ජීවිතයට පින් ගඟක්, කුසල් ගඟක් ගලනවා.
සමාජයේ තිබෙන මතයට යට නොවී අප බුද්ධ දේශනා ඉස්මතු කිරීමෙන් පමණයි මේ දේවල් විමසිය යුත්තේ. දෙවිවරු නිතර රැස්වී සිල්පද පිළිබඳව සාකච්ඡා කරනවා, තෙරුවන් වන්දනා කරනවා. වචනයෙන් වන අකුසලයෙන් වළකින නිසා වචනයෙන් සිල් රකිනවා. බොහෝ දෙවිවරු ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරැදිකාම සේවනයෙන් වැළකී සිල් රකිනවා. සීලය රකිනවිට පින් ගඟක්, කුසල් ගඟක් ගලනවා. දෙවිවරු සතර සතිපට්ඨානය වඩනවා. එවිට සමාධියට පත්වෙනවා. මේ සඳහා ඔබට උදාහරණයක් කියන්නම්. එක් ස්වාමින් වහන්සේ නමක් භාවනා කරමින් සිටියා. භාවනාව තුළින් හොඳින් සිත සමාධිමත් වුණා. ටික වෙලාවකදී උන්වහන්සේ සමාධිමත් සිත තුළම අපවත් වුණා. ඕපපාතික උපතක් ලෙස දෙවිලොව උපත ලැබුවා. උන්වහන්සේ දිව්‍ය කය ලැබුවේ මනුෂ්‍ය ලොවදී වාඩිවෙලා සිටිය ඉරියව්වෙන්ම යි. අත්දෙකත්, කකුල් දෙකත් තබාගෙන සිටි භාවනා ඉරියව්වෙන්ම දිව්‍ය කය ලැබුණේ. මෙහිදී සිදුවූ විරල දේ නම් සිතත් එසේම යි. මිනිස් ලොව වඩමින් සිටි භාවනාවේ ඉතිරි කොටසයි දිව්‍ය ආත්මය ලැබූවිට මෙනෙහි කළේ. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කියන මනසිකාරය කරමින් සිටියානම් ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්’ කියන විටම අපවත් වෙලා දිව්‍ය කය විසින් මෙනෙහි කළේ ‘වා’ කියන කොටස යි. ඒ ස්වාමින් වහන්සේට සිතුනේම නැහැ මම අපවත් වුණා, දැන් දිව්‍ය ලෝකයේ ඉන්නේ කියා. ඒ තරමටම එතැන ගලායාමක් සිදුවුණා. දිව්‍යාංගණාවෝ මේ දිව්‍ය පුත්‍රයා සතුටු කරන්න ඇවිත් මොකද මෙයා ආව ගමන් භාවනා කරන්නේ කියා බැලුවා. පස්සේ තේරුණා සිදුවී ඇති දෙය. දිව්‍ය කණ්නාඩියක් ගෙනවිත් ඒ දිව්‍යාංගනාවෝ මේ දෙවියට කථා කළා දැක්කම පුදුමසගහත වෙන ලෙස. මේ දෙවියන් එකපාරටම ඇස් ඇර බලා සිදුවූ දේ තේරුම් ගෙන දුක්වෙලා ගිහින් බුදුරජාණන් වහන්සේ හමුවේ කියනවා ස්වාමිනි, මේ දිව්‍යාංගනාවන්ගෙන් මට හරිම කරදරයි කියා. එහිදීත් උන්වහන්සේ වදාළේ පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ ධර්මය අවබෝධ කළහැකි ලෝකයකයි ඉපදිලා ඉන්නේ. ධර්මය අවබෝධ කරන්න කියා. එසේනම් අපට පැහැදිලියි මේ අවස්ථා සියල්ලෙන්ම කියවෙන්නේ දෙවියන්ට සීලය පමණක් නොවේ සමාධියත් වඩන්න පුළුවන් බව. සමාධිමත් සිතක් දෙවියන්ට ඇතිකර ගන්න බැරිනම් අර සිත එසේ ගලාගෙන යන්නේ නැහැ. කැඩෙනවා. ඒ වගේම දෙවියන් ප්‍රඥාව දියුණු -කරනවා. බිම්බිසාර රජතුමා මිය ගොස් ‘ජනවසභ’ දිව්‍ය පුත්‍රයා ලෙස දෙව්ලොව උපත ලැබුවා. ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිත් කියනවා ස්වාමිනි කරයි සනංකුමාර බ්‍රහ්මරාජයාගෙන් අප සෑම පෝයකදීම සිල් සමාදන් වෙලා බණ අහනවා. සමහර රහතන් වහන්සේලාත් දිව්‍ය ලෝකයට වැඩම කර ධර්ම දේශනා කරනවා. එසේ නැත්නම් දිව්‍යලොව සිටින ධර්ම කථික දිව්‍ය පුත්‍රයෝ ධර්මය දේශනා කරනවා. එහෙමනම් දෙවියන්ට ධර්මය අහන්න, ධර්මය සාකච්ඡා කරන්න පුළුවන් බවත්, සීල, සමාධි, ප්‍රඥා වඩන්න පුළුවන් බවත් ඒ ඔස්සේ අපට හිතන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ දිනක් දිවසින් බලනවා මට ඉහළින් සිටින, ගෞරවයෙන් සලකන්න පුළුවන් කෙනෙක් සිටිනවාද කියා.මනුස්ස ලෝකයේ එහෙම කෙනෙක් සිටිනවාද? දෙව්ලොව දෙවියන් අතර, බ්‍රහ්ම ලොව බ්‍රහ්මයන් අතර කෙනෙක් සිටිනවාද? කියා බැලුවා. එසේ කිසිවකු සිටියේ නැහැ. ඒ වගේම තමන් වහන්සේට වඩා සමාධියෙන් උසස් කෙනෙක් මේ ලෝක තුනේ කොතැනක හෝ සිටිනවාද කියා විමසා බැලුවා. සිටියේ නැහැ. ප්‍රඥාව ඔස්සේත් මේ ලෝක තුනේම තමන්ට වඩා උසස් කෙනෙක් සිටිනවාද කියා විමසා බැලුවා. සිටියේ නැහැ.උන් වහන්සේ දිව්‍ය ලෝකයෙත් බ්‍රහ්ම ලෝකයෙත් සීල, සමාධි, ප්‍රඥා වශයෙන් උතුම් කෙනෙක් සිටිදැයි විමසා බැලුවා. ඒ ලෝකවලත් සිටියේ නැහැ.එතැනින් නො නැවති විමුක්තිය ගැනත්, විමුක්ති ඥාන දර්ශනය ගැනත් සෙව්වා. එහෙනම් මනුස්ස ලෝකයේ පමණක් නොවේ විමුක්තියට පත් වූ ශ්‍රාවකයන් දෙවිලොවත් බ්‍රහ්ම ලොවත් සිටිනබව මින් පැහැදිලියි.
බෝසතාණන් වහන්සේ දෙවිලොව සිට පස්මහ බැලුම් බලා මිනිස් ලොවට වැඩම කළ නිසා බොහෝ දෙනා සිතුවා මිනිස් ලොව පමණයි නිවන අවබෝධ කරන්න පුළුවන් කියා. නමුත් අප දන්නවා නිර්වාණබෝධයට මුල් වූ ලෝක තිබෙනවා. සුද්දාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නේ දෙව්ලොව හෝ මිනිස් ලොව දී අනාගාමි වූ පිරිස පමණයි. ඒ සුද්දාවාස ලොව සිටින සියලුම දෙනා අනාගාමී හෝ එහිදී රහත් වූ අයයි. සුද්දාවාස බඹලොව අදත් රහතන් වහන්සේලා වැඩ සිටිනවා.මිනිස් ලෝකයෙන් එහා ලෝකවල සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල ලබන්න පුළුව-න්නම් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න මිනිස් ලෝකයටම ආවේ ඇයි? කියා ඔබට සිතේවි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය පැතිරුනේ මනුස්ස, බ්‍රහ්ම, දිව්‍ය ලෝක තුළයි. ඒ ශ්‍රාවකයන් අතර මනුස්සයන්ට වඩා දෙවියන් උසස්. දෙවියන්ට වඩා බ්‍රහ්මයන් උසස්. බ්‍රහ්ම ලෝකයේ බුදුවීමට හැකිවුවත් බෝසතාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුණොත් බ්‍රහ්මයන්ට ධර්මය ඇසෙනවා. නමුත් දෙවියන්ටත් මිනිසුන්ටත් ධර්මය ඇසෙන්නේ නැහැ. එක ලෝකයකට පමණක් ධර්මය සීමා වෙනවා. ඒ වගේම දෙවිලොව බුදු වූවානම් දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් ධර්මය ඇසෙනවා. නමුත් මිනිසුන්ට ධර්මය ඇසෙන්නේ නැහැ. ඒනිසා උන්වහන්සේ දෙව්ලොව බුදු වුණෙත් නැහැ. මනුස්ස ලෝකයේ සම්බුද්ධත්වයට පත්වුණාම මිනිසුන්ටත්, දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් ධර්මය ඇසෙනවා. ඒ ලෝක තුනටම පහසුවක් සැලැසෙනවා. ඒ නිසා ශ්‍රාවකයන් සිටින ලෝක තුනටම ධර්මය දීම බුද්ධ කෘතය යි. ඒ බුද්ධ කෘතය සාර්ථක කර ගන්න පුළුවන්. පහළම තැන සිට ඉහළම තැනට ධර්මය බෙදාදීම සඳහාමයි උන්වහන්සේ මනුස්ස ලෝකයේ බුදු වෙන්නේ.
ඒ වගේම දෙවියන්ටත් මල් පහන් පූජා කරන්න, දන්පැන් පූජා කරන්න පුළුවන්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා හත්වන දින නැඟී සිටිවිට ශක්‍ර දේවේ-න්ද්‍රයා මෙය දැක දුගී වෙස්ගෙන දුගියෙකු සේ දන් දුන් අයුරු ඔබ දන්නවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ එසේ නැවත කරන්න එපා යැයි ශක්‍රයාට අවවාද කළ විට ඔහු කියා සිටියේ “අනේ ස්වාමිනි, මගේ ආයුෂ අඩු වේගෙන යනවා. ඒකයි මම දන් පූජා කළේ” කියා. එසේනම් දෙවියන්ට පුළුවන් ආයුෂ අඩුවෙනවිට නැවත පින්කර ගන්න. ඒ වගේ බොහෝ රහතන් වහන්සේලාට දෙවියන් විසින් දන්දුන් අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේගේ දළදා වහන්සේ නමක් දෙව්ලොව සිළුමිණී සෑයේ වැඩ සිටිනවා. ඒ දළදා වහන්සේට ඉතාමත් ගෞරවයෙන් දෙවියන් විසින් මල්පහන් පුදමින් සත්කාර කරනවා. ඒ වගේම මහපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා දෙවියන් විසින් පිරිනිවන් පාන්න සූදානම් තථාගතයන් වහන්සේට මල් වරුසා වස්සවා ගෞරව කළ බව. එහෙමනම් දෙවියන්ට පින් කරන්න බැහැ කියන දේ වැරැදි මතයක්. දෙවියන්ට ධර්මාව-බෝධය සඳහා ඕනෑතරම් ඉඩකඩ තිබෙනවා. එදා බුද්ධ කාලයේ සිටි පින්වත් ශ්‍රාවකයෝ අද දෙව්ලොව ඉපදී තවත් ඉහළ මඟළුල ලබන්න ධර්මය පුරුදු කරනවා ඇති.
එනිසා තථාගතයන් වහන්සේගේ ‘සත්ථා දේවමනුස්සනාං’ සම් බුදුගුණයෙන් හොඳින් තේරුම් ගෙන ඒ ගුණයට සැමදා නමස්කාර කරමු.
නයනා නිල්මිණි

එන්න ධර්මය දකින්න

වල්පොල ගෝතම හිමි

අපට තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය 'ඒහිපස්සික ධර්මයක්'. එන්න ඇවිත් දකින්න, පුළුවන් කියන ධර්මයක් බව ඔබ දන්නවා. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ පැහැදිලිවම දකින්න, අවබෝධ කරන්න දෙයක් තිබෙන නිසා අප මේ ධර්මය ශ්‍රවණය කරද්දී ඒකාන්තයෙන්ම අවබෝධය සඳහාම ලැබෙන ධර්මයක්ම බලාපොරොත්තු වෙන්න ඕන. මේ ශාසනය තුළදී අපට කළයුතු කාරණා හතරක් තිබෙනවා. ඒ අවබෝධ කළයුතු දෙයක්, ප්‍රහාණය කළයුතු දෙයක්, සාක්ෂාත් කළයුතු දෙයක් හා ප්‍රගුණ කරන්න දෙයක් තිබෙනවා.
අද අප නාමරූප කියන්නේ කුමක් ද කියා විමසා බලමු. නාමරූප කියා කියද්දී 'නාම 'කියන්නේ එකක්. 'රූප' කියන්නේ තව එකක්. ‘මච්ච’ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා නාම එක අන්තයක්. රූප තව අන්තයක්. මැද තිබෙන්නේ විඤ්ඤාණය ලෙස. ඔබ දන්නවා බට මිටි දෙකක් එකට හේත්තු කළා වගේ කියන උපමාව. එහිදී එක බට මිටියක් නාමරූප. අනෙක් බට මිටිය විඤ්ඤාණය යැයි වදාළා. මේ බට මිටි දෙක එකට එකතු කළාට පස්සේ මෙතැන දෙකක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ බටමිටි දෙක එකතු කර තිබෙන තාක් තිබෙනවා. එකක් වැටුන දාට අනෙකත් වැටෙනවා. එහෙනම් පැහැදිලිව නාමරූප වලින් වෙන් වූ දෙයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ මේ විඤ්ඤාණය පැහැදිලි කර දී තිබෙන්නේ.
තථාගතයන් වහන්සේ වදාළා නාම කියන්නේ වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාරය ලෙස. රූප කියන්නේ මේවා සමඟ හට ගන්න හේතු වූ සතරමහ ධාතුන්ගෙන් හට ගත්ත දෙයට යි. උදාහරණයක් ලෙස ක්‍රීම් කැකර් බිස්කට් එකක් ගැන හිතන්න. මේ බිස්කට් එක මතක් වූ ගමන් ඔබට මනසිකාරයක් හට ගන්නවා ඒ ක්‍රීම් කැකර් මුල්කරගෙන. ඒ සමඟම විඤ්ඤාණයෙන් ඒ ක්‍රීම් කැකර් දැන ගන්නවා. එතැන මනසත්, ක්‍රීම් කැකර් නම් වූ අරමුණත්, විඤ්ඤාණය නමැති දැන ගැනීමත් යන කරුණු තුනක් තිබෙනවා. මනසයි, අරමුණයි, විඤ්ඤාණය යි කියන මේ කරුණු තුනට තනි නමක් ලෙස ‘ඵස්ස’ නැත්නම් ‘ස්පර්ෂය’ කියනවා. ඒ ස්පර්ෂය නිසා වේදනාවත්, සංඥාවත්, චේතනාවත් හටගන්නවා. මොකක්ද වේදනාව. ක්‍රීම් කැකර්වලට කැමැති කෙනෙකුට සැප වේදනාවක්, එයට අකැමැති අයට දුක් වේදනාවක් හා තව කෙනෙකුට දුකක් හෝ සැපක් නැති උපේක්ෂා වේදනාවක් හට ගන්න පුලුවන්.
ඊළඟට සංඥාව. සංඥාව අපට බඩගිනි හදනවා. මේ බිස්කට් එකක් කන්න කියා එහි ගුණ වර්ණනාව සංඥාව යි. ව්‍යාපාරික- යාගේ සංඥාව සකස් කරන්නේ චේතනාවෙන් වැඩ ගන්නයි. වේදනා, සංඥා, චේතනා හා සංඥාව ආපු ගමන් දැන් මේක මේ වෙලාවට හොඳයි කියා ඒ සමඟම කන්න ඕන කියන චේතනාව පහළ වෙනවා. ඒ චේතනාව මුල් කරගෙන කන්න ඕන ආකාරයට කය හසුරුවනවා. කන්න අවශ්‍ය දේට වචන හසුරුවනවා. හිත හසුරුවනවා. කය, වචනය, සිත හසුරුවලා ඒ චේතනාව මුල් කරගෙන අවශ්‍ය දේ ගන්නවා. දැන් බලන්න ක්‍රීම් කැකර් කියන එක මතක් වනවිට මනසිකාරයත්, ස්පර්ෂයත්, වේදනා, සංඥ, චේතනා කියන පහම හට අරගෙන ඉවරයි. මේ පහටයි නාම කියන්නේ. ඒ නාමයට හේතුවුණේ රූපය යි. රූපය සතරමහ ධාතුන්ගෙන් හටගත් ක්‍රීම් කැකර් එක. මේ නාමය මුල්කරගත් නාමය නිසා දැනගත් රූපය තමා ක්‍රීම් කැකර් එක කියන්නේ. මේ පහම හට ගත්තේ නැත්නම් නාම ධර්ම හටගන්නේ නැත්නම් අප ක්‍රීම් කැකර් එකක් ගැන දන්නේ නැහැ. ඒ මනැස පැත්ත. ඇස ඔස්සේත් මෙය කථා කරන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ වදාළා ‘නාමරූප පච්චයා සලායතනං’. නාමරූප නිසා ඇසක් හට ගන්නවා. නාමරූප නිසා ඇසක් හට ගන්නේ කොහොමද? ක්‍රීම් කැකර් එක සතරමහ ධාතුන්ගෙන් හට ගත් දෙයක්. මේ සතරමහ ධාතුන්ගෙන් හටගත් ක්‍රීම් කැකර් ඒකේ තිබෙනවා ඇසට පෙනෙන ස්වභාවයක්. ඒ ඇසට පේන ස්වභාවයටයි රූප කියන්නේ. ඒ ඇසට පේන දේ මුල්කරගෙන මනසිකාරයක් හට ගන්නවා. ඒ මනසිකාරය තුළින් විඤ්ඤාණය ඇතිවෙලා දැන ගන්නවා. එවිට ඇසයි, රූපයයි, ඇසේ විඤ්ඤා- ණය යි තුනම හට අරගෙන. එහෙනම් එතැන තිබෙන්නේ කරුණු තුනේ එකතුව වූ ස්පර්ෂය යි. සතරමහා ධාතුන්ගෙන් හට ගත් ක්‍රීම් කැකර් එක නම් රූප ධර්ම තමා නාම ධර්මයෙන් දැන ගන්නේ. මේ නාම රූප දෙකේ හට ගැනීම නිසා ඒ මොහොතේ ඇස ක්‍රියාකාරි වුණා. යම් තැනක ඇසක් ක්‍රියාකාරි වුණාද එහෙනම් ඒක ආයතනයක්. ක්‍රියාකාරි තැනට අප කියන්නේ ආයතනයක් කියලනේ. අප හිතමු යම් මාධ්‍ය ආයතනයක් පිළිබඳව. ඒක මාධ්‍ය ආයතනයක් බවට පත්වුණේ එහි සේවක පිරිසක් ඉන්නවා. මාධ්‍යයක් හසුරුවන්න දක්ෂ. ඒ පිරිසට උපකාරි වෙන උපකරණ තිබෙනවා. උපකරණ ටිකත් සේවකයොත් අතර යම් ක්‍රියාකාරීත්වයක් ආවද එසේනම් එය ආයතනයක්. මේ නාම ධර්ම වන වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර සේවකයෝ පස් දෙනෙක් වගේ ඒ සේවකයන්ට උපකාරි වන්නේ සතරමහා ධාතුන්ගෙන් හටගත් රූපය යි. ක්‍රීම්කැකර් එක උපකරණය වුණා. ක්‍රීම් කැකර් නම් වූ සතරමහ ධාතුන්ගෙන් හටගත් උපකරණය මුල්වෙලා නාම නම් වූ අර සේවකයෝ වැඩ කරද්දී එතැන ඇසක් ක්‍රියාකාරියි. ඇසක් ක්‍රියාකාරීනම් ඒක ආයතනයක්. කන ඔස්සේත් හට ගන්න පුළුවන්. ක්‍රීම් කැකර් වූ සතරමහ ධාතුවෙන් හටගත් රූපය මුල්වෙලා ඇසට පේන ස්වභාවයයි, රූපයක් ලෙස ක්‍රීම් කැකර් එකක් දැක්කේ. ක්‍රීම් කැකර් එකේ තිබෙනවා කනට ඇසෙන ස්වභාවයක් “කරාස්” යන ශබ්දයක් එහි ඇසෙනවා. එවිට සිදුවන්නේ මනසිකාරයක් හට අරන් ස්පර්ෂයක් හට ගැනීමයි. මනසිකාරය හටගත් ගමන් ක්‍රීම් කැකර් එකේ ශබ්දය මුල්වෙලා එහිදී කනත්, ‘කරස්’ යන ශබ්දයත් විඤ්ඤාණයෙන් දැන ගත්තා. කනින් ඒ ශබ්දය විඤ්ඤා-ණය දැන ගනිද්දී අර කරුණු තුන එකතු වෙලා ස්පර්ෂය හට ගත්තා. ස්පර්ෂය තමා නාම ධර්මයන්ගේ මනසිකාරය සමඟ තිබෙන අනෙක් කරුණ. ස්පර්ෂයත් සමඟ වේදනාවක් චේතනා-වක් සංඥාවක් අර ‘කරස්’ ශබ්දයත් එක්ක හට ගන්නවා. 'කන' ක්‍රියාකාරි වුණා ‘කරස්’ කියන ශබ්දයත් සමඟ කොහොමද ක්‍රියාකාරි වුණේ? ක්‍රීම් කැකර් නම් වූ සතරමහ ධාතුන්ගෙන් හට ගත් රූපය තුළ තිබෙන ඇහෙන ස්වභාවය ඒ නාම ධර්ම උපකාරයෙන් දැන ගත්තා. ඒ නාමධර්ම හටගත් නිසා ක්‍රීම් කැකර් නම් වූ රූපයේ ‘කරස්’ ශබ්දය දැනගත්තා කියන්නේ ඒ වෙලාවේදී කන ක්‍රියාකාරි වෙලා. නාමරූප නිසයි ක්‍රියාකාරි වුණේ. එසේනම් එතැනදී කරස් කියන විටම කන ආයතනයක් වශයෙන් හට ගත්තා. ඒක නාමධර්ම නැති වූ ගමන් නැති වෙනවා. ඇස, කන, අනිත්‍යයි කියන්නේ ඒකයි.
ඇසත් හට ගත්තා වගේම කනත් හට ගත්තා වගේම ක්‍රීම් කැකර් එක මුල් වූ සතරමහ ධාතුවලින් හට ගත් රූපය මුල්වෙලා නාසයක් ක්‍රියාකාරි ආයතනයක් වෙන්න පුළුවන්. නාසයට ක්‍රීම් කැකර් එකේ සුවඳ දැනෙන විටම මනසිකාර හට ගෙන ස්පර්ෂය හට ගන්නවා. ස්පර්ෂ හටගත් විට වේදනා, සංඥා, චේතනා තුනම හට ගන්නවා. දැන් නාම ධර්ම සියල්ලම හට අරගෙන ඉවරයි. නාසයට සුවඳ දැනෙන විටම මේ නාමධර්ම ටික හට ගත්තානම් මේ නාමධර්ම හට ගන්නේ කුමක් දැන ගැනීමෙන් ද? සතරමහ ධාතුන්ගෙන් හට ගත් ක්‍රීම් කැකර් නම් වූ රූප ධර්මය දැන ගැනී-මෙන්. ඒ රූප ධර්මය නාම ධර්මයෙන් දැන ගනිද්දී එතැන ක්‍රියාකාරීත්වයක් හැදිලා. ක්‍රියාකාරීත්වයක් හැදුනා කියන්නේ නාසය ආයතන සමඟ එක්වෙලා අර සුව දැනගත් මොහොතේ. එතැන ‘නාමරූප පච්චයා සලායතනං’. එහෙමනම් ක්‍රීම් කැකර්එක මුල්වෙලා ඇසට පේන ස්වභාවය නිසා ඇස නාමරූප සමඟ ක්‍රියාකාරි වුණා. කනට ‘කරස්’ කියන ශබ්දය ඇසී නාමරූප ධර්ම නිසා කන ක්‍රියාකාරි වුණා.ඒ වගේම ක්‍රීම් කැකර් එකේ තිබෙන නාසයට දැනෙන ස්වභාවය නිසා නාසයත් නාමරූප නිසා ක්‍රියාකාරි ආයතනයක් වෙනවා.ඒ වගේම ක්‍රීම්කැකර් එක දිවට තියනවිට දිවට ඒ රසය දැනෙනවා. එවිටම මනසිකාරය, ස්පර්ෂය හට ගන්නවා. වේදනා, සංඥා, චේතනා, තුනම හට ගන්නවා. රස දැනෙද්දී දිවට නාමධර්ම ටික හට අරගෙන. නාමධර්ම හට ගත්තේ සතරමහ ධාතුන්ගෙන් දැනගන්න ක්‍රීම් කැකර් එක නම් වූ රූප ධර්මය නිසායි. නාම ධර්මයන්ගෙන් රූප ධර්මය දැනගත්විට එය ක්‍රියාකාරී යි. දිිව ක්‍රියාකාරි ආයතනයක් වුණා නාමරූප නිසා. දිව ආයතනයක් ලෙස ක්‍රියාකාරි වුණා ක්‍රීම්කැකර් එකක් මුල් වෙලා. එසේනම් ක්‍රීම්කැකර් එක මුල්වෙලා ඇසට පෙනෙන, කනට ඇසෙන, ස්වභාවය, දිවට දැනෙන ස්වභාවය වගේම කයටත් ක්‍රීම් කැකර් එකෙහි ඇති ගොරෝසු, සියුම් පහසක් දැනෙනවා. එවිටත් කයට දැනුන ඒ පහස මුල්වෙලා නාම ධර්ම පහ හට ගන්නවා. මනසිකාර, ස්පර්ෂ, වේදනා, සංඥා, චේතනා හට ගන්නවා. ඒ නාමධර්ම ටික හටගන්නේ රූප ධර්ම මුල්වෙලයි. ඒ වගේම ක්‍රීම්කැකර් එක අල්ලන විට නාමරූප හට ගන්නවා. නාමාරූප හටත්විට ඒ නාමරූප නිසා සලායතන වශයෙන් කය ආයතනයක් වෙලා ඒ කියන්නේ ක්‍රීම් කැකර් එක මනසට මතක් වන විටම, ක්‍රීම් කැකර් වූ රූප ධර්මය මුල් වෙලා නාම ධර්ම හට අරගෙන ක්‍රීම් කැකර් වූ රූප ධර්මය මනසින් දැන ගත්තා. එවිට මනස ක්‍රියාකාරි ආයතනයක් වුණා.
නයනා නිල්මිණි

ලොව දැකීම 1


රෝහිතස්ස සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි පැවැත්වූ දේශනයක මුල් කොටසයි මේ. ලොව තමා තුළම දැකීමට, ලොවෙහි ඇති වීම නැති වීම දැකීමට මේ දේශනය උදව් වේ. මෙය පළ වනුයේ විශේෂඥ වෛද්‍ය උපුල් ඒකනායක මහතාගේ සහ මාතර කේ. ජී. මුනිදාස මහතාගේ අනුග්‍රහයෙනි.

මේ පින්වත් සෑම දෙනාම දැන් සූදානම් වෙන්නේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ මේ ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නයි. ඒ නිසා හැම දෙනාම තමන්ගේ සිත, නොයෙක් නොයෙක් අරමුණුවල දුවන්නට නොදී බොහොම උවමනාවෙන් මේ දේශනාව ඔස්සේම මෙහෙයවන්නට ඕන.
පින්වතුනි, ආශ්‍රව ගණයෙහි ලා වැටෙන කෙලෙස්වලට හිතෛෂි වූ වචන නම් අපට හොඳට හුරු පුරුදුයි. චූටි, පොඩිම දෙයක් වුණත් මතක හිටිනවා. ඊට අනුසාරීව අපට හිතාගන්න හෝ පුළුවන්. නමුත් අනාශ්‍රව ගණයෙහි ලා වැටෙන, කෙලෙස් ඇසුරු නොකළ වචන අපට හුරු නෑ. ඒ හින්දා ඒවා මතක් කෙරුවත් මතක හිටින්නේ බොහොම අඩුවෙන්. එබඳු වචනයක් මතක හිටින්න නම්, අපේ හිතේ ධාරණය වෙන්න නම් හොඳට කන් යොමු කරලා අහන්න ඕන. චූටි දෙයක්, අහකට වෙන දෙයක් කල්පනා කරලා මේ පැත්තට හිත යොමු කරන කොටත්, ඉස්සර වෙලා කියපු දේ සොයාගන්න බැරි තරම් දුරට අතුරුදන් වෙනවා. එච්චරටම පුදුමයි. ඉතින් මේ කරන දේ නිසි ප්‍රයෝජනයක් ලැබෙන්න නම් හොඳින් අහන්නම ඕන.
මෙතැනදී අද දවසේ දේශනාව සඳහා මම මාතෘකා කළේ බොහොම ගැඹුරු අර්ථයක් දෙන සූත්‍ර පාඨයක්. අමාරු වුණත්, ගැඹුරු වුණත්, මම බොහෝ දුරට බොහෝ තැන්වලදී මේවා මතක් කරන්නේ කවදාම හරි දවසක අපි මේ සසර කතරින් මිදෙන්නේ ඒ ගැඹුරු අරුත් ඇති ධර්මය අවබෝධ වීමෙන්මයි. ඉතින් අපි ගැඹුරුයි කියලා ඒ දහම අහන්නේ නැතිව ඉන්නකොට හැමදාම අපිට ඒ ගැඹුර ගැඹුරුමයි. කවදාවත් අපිට ඒක සරල වෙන්නේ නැහැ.
ඉතින් ටික ටික පුළුවන් නම් ඒ ගැඹුරු දහම් කරුණු තේරුම් කරගන්න, ඒ වචන හරි ඉස්සර වෙලා අපිට හුරු - පුරුදු වෙයි. ඊටත් වඩා මම හැමදාමත් මතක් කරන දෙයක් තමයි, මේ අනන්ත අපරිමිත සංසාරයක අපි හැම කෙනෙක්ම දීර්ඝ කාලයක් එනවා. ඒකේ අගක් මුලක් පේන්නේ නෑ. දෙමව්පියො, සහෝදරයො මැරෙනකොට අපි අඬනවා, වැලපෙනවා. අපි මැරෙනකොට ඒ අය අඬනවා, වැලපෙනවා. අඬ අඬා යනවා මිසක මේ සසරින් එතෙර වන්න අපි කවුරුවත් දන්නේ නැහැ. හැමදාම ලෝකයේ පවතින, එහෙත් ලෝකයට නොපෙනෙන ඇත්තක් තියෙනවා. කවදාම හරි දවසක ලොවුතුරා බුදු රජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙලා ඒ ඇත්ත මතු කරලා ලෝකයට පෙන්නුවාට, ඇස් තියෙන පුරුෂයෙකුත් වෙලා, ඒ දහම දැකපු දවසටයි, අවබෝධ කරගත් දවසටයි, අපි සසරින් මිදෙන්නේ.
ඉතින් අද දවසේදී මම මාතෘකා කළේ ඒ දුර්ලභ වූ බුද්ධ දේශනාවේ ඡායාවක් හෝ පෙන්නන්න පුළුවන් වන දේශනාවක්. මේ දේශනාව ගොඩාක් ගැඹුරුයි. නමුත් අපි ටික ටික හරි ඒ මාවතේ ගියොත් කවදාහරි දවසක අපිට එතෙර වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාව හොඳින් අහන්න ඕන. වෙනදා වගේ මම අර එදිනෙදා විඳින ජීවිතයේ දුක ගැන මතක් කරන්නේ නැහැ. ඒකට කාලය වැය කරන්නේ නැහැ. අපි ඒක ඕන තරම් අහලත් තියෙනවා. අහන්න ඕන නම් ඒ දේශනාත් ඇති. අපි දැන් මේ සූත්‍රගත අර්ථය ටිකක් තේරුම් කරගන්න උත්සාහවත් වෙමු.
මේ සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකායේයි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ පර්යප්ති ශාසනය බෙදනවා විනය, සූත්‍ර, අභිධර්ම කියලා කොටස් තුනකට. එයින් සූත්‍ර කොටසේ, සංයුක්ත නිකායේ තමයි මේ රෝහිතස්ස සූත්‍රය තියෙන්නේ. රෝහිතස්ස කියලා දිව්‍ය පුත්‍රයෙක් බුදු රජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට උන්වහන්සේ දීපු පිළිතුර තමයි මේ සූත්‍රයෙන් කියවෙන්නේ. මේ රෝහිතස්ස කියන තැනැත්තා දෙවියෙක් කිව්වාට, එයා ඇත්ත වශයෙන්ම බ්‍රහ්මයෙක්. මේ දිව්‍ය කියන වචනය, අල්පායුෂ්ක දේව හා දීර්ඝායුෂ්ක දේව කියලා කොටස් දෙකකට බෙදෙනවා. චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය හා තුසිතය වැනි දිව්‍ය ලෝකවල වෙසෙන දෙවිවරු අල්පායුෂ්ක දේවයි. බ්‍රහ්මපාරිසජ්ඣය, බ්‍රහ්මපුරෝහිතයෙ ඉඳලා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ඉහළ බ්‍රහ්මලෝකවල දෙවියන්ට කියනවා දීර්ඝායුෂ්ක දේව කියලා.
මේ දීර්ඝායුෂ්ක බ්‍රහ්මලෝකයක උපන් දෙවියෙක් තමයි, මේ රෝහිතස්ස.
මේ රෝහිතස්ස කියන දෙවියා බුදු රජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කාශ්‍යප සම්මා
සම්බුද්ධ ශාසනයේදී මම මහත් වූ ඍද්ධි තියෙන, අෂ්ටසමාපත්ති ලාභී ඍෂිවරයෙක්. මට එදා හැකියාව තිබුණා එක කකුලක් ඔසවලා, යොදුන් සීයක් ඈතින් ඊළඟ පියවර තබන්න. එවැනි ඍද්ධියක් තිබුණු මම මේ විශ්වයේ, මේ ලෝකයේ කෙළවරක් හොයාගන්න කියලා ගියා. එහෙම ගිහිල්ලා ලෝකයේ කෙළවරක් හොයාගන්න බැරිවෙලාම මම කලුරිය කළා. භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ කෙළවර දකින්නට යා යුත්තේ කොහොමද?”
බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා: “රෝහිතස්ස, කිසිම වෙලාවක පා ගමනින් ගිහිල්ලා නම් මේ ලෝකය කෙළවරක් කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ (පා ගමනින් කිව්වහම හොඳට මතක තියාගන්න මේ ඇඟේ, කයේ හයියෙන් යානාවක් හැදුවත් එකත් අයිති පා ගමනට තමයි). එතකොට පා ගමනින් ගිහිල්ලා ලෝකයේ කෙළවරක් කරන්න පුළුවන් කියල මම කියන්නේ නෑ. නමුත් ලෝකයේ කෙළවරකට නොගොස් කවදාවත් දුක් කෙළවර කරන්න පුළුවන්කමකුත් නෑ,” කියලා.
එහෙම නම් ලෝකයේ කෙළවර මොකක්ද? ඇහැ ලෝකයේ කෙළවරයි, රූපය ලෝකයේ කෙළවරයි, කන ලෝකයේ කෙළවරයි. ශබ්දය ලෝකයේ කෙළවරයි. මෙසේ නාසය – ගන්ධය, දිව - රසය, කය - පොට්ඨබ්බය හා මන – ධම්මායතනය කියන මේ දොළොස් ආයතන ටිකම පෙන්නනවා මෙන්න මෙතැන තමයි ලෝකයේ කෙළවර කියලා. ඊට පස්සේ මුළු අර්ථයම එකට කැටි කරලා, කෙටි කරලා රෝහිතස්ස දෙවියාට මෙන්න මෙහෙම ගාථාවකින් දේශනා කරනවා:
“ඉමස්මිං ඥේව ඛ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේමි. ලෝක සමුදයඤ්ච පඤ්ඤාපේමි. ලෝක නිරෝධඤ්ච පඤ්ඤාපේමි. ලෝක නිරෝධ ගාමිණී පටිපදඤ්ච පඤ්ඤාපේමි.”
“මේ සඤ්ඤා සහිත, මනස සහිත, බඹයක් පමණ වූ ශරීරයකින්ම මම ලෝකයද, ලෝකයේ ඇති වීමද, ලෝකයේ නැති වීමද, නැති කරන මගද පනවමි.”
මෙන්න මේ ටිකයි අපි අද තේරුම් කරගන්න ඕන. විශේෂයෙන් මම මතක් කරන්න ඕන කාරණාවක් තමයි, අපි ගොඩාක් දෙනා කියනවා නේ අපි බෞද්ධයි කියලා. අපි බය නැතිව ලෝකයට ප්‍රකාශ කරනවා: ‘මේ බුදුදහම තමයි වටිනාම, ශ්‍රේෂ්ඨතම දහම. මේ දහමට සමාන දහමක් වර්තමාන ලෝකයේ කොහේවත් නැහැ. වෙන කිසිම ආගමකට, කිසිම දර්ශනයකට වඩා බුදුදහම වටිනවා, ශ්‍රේෂ්ඨයි’ කියලා අපි කියනවා. නමුත් භය නැතිව, සිංහ නාදයක් කරනවා වගේ, මෙහෙම ප්‍රකාශයක් කරන්න අපිට හේතුවක් තියෙන්න ඕන. කුමක් දන්න නිසාද, කුමක් දකින නිසාද, අපි මෙහෙම කියන්නේ කියලා කියන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕන. එහෙම නැතිව හරි තැනකට අහු වුණොත් වාදෙන් අපිව තළල පොඩි කරලා දායි! ඇයි? අපි ඔය වචන කිව්වාට සමහර විට ගොඩාක් දේ දන්නේ නැහැ. ඇයි? නරක දේවල් කරන්න එපා කියන අදහස මත නම්, ‘නරක දේවල් කරන්න එපා, හොඳ දේවල් කරන්න’ කියන ශාස්තෘවරු තව ඉන්නවා. එසේ කියන දර්ශනත් තව තියෙනවා. ‘අකුසල් කරන්න එපා, කුසල් කරන්න’ කියන අයත් තව ඉන්නවා. ක්‍රියාවාදී, කර්මවාදී ශාසන තව තියෙනවා. ගොඩාක් ආගම් තියෙන්න පුළුවන්. නරක දේ නොකරන්න, දෙමව්පියන්ට සහෝදරයන්ට සලකන්න, සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, ඔය වගේ වැරදි වැඩ කරන්නේ නැතුව කුසල් කරන්න කියන ශාසන තව තියෙනවා. අනිත් ආගම් දර්ශනවලට වඩා බුදු දහම ගොඩාක් වටිනවා කියලා ඒ හේතුවෙන් නම් අපිට කියන්න බැහැ.
අනිත් හැම දර්ශනයකටම වඩා බුදු දහම ශ්‍රේෂ්ඨ වෙන්නෙ, බුදු දහම වටින්නෙ කොහොමද, කුමක් නිසාද කියල ඇහුවොත් අපිට බය නැතිව කියන්න පුළුවන් ගොඩාක් කාරණා නොවෙයි, එක තැනක් එක දර්ශනයක් තියෙන්න ඕන. කවුරුහරි වාදයකට ආවොත් සමහරවිට අපේ තියෙන අදහස්, දෘෂ්ටි ගැන පැය ගණනක හෑල්ලක් අහගෙන ඉන්නේ නැති වෙයි නේද? එතකොට අපිට පුළුවන් වෙන්න ඕන බුද්ධ දර්ශනයේ එක තැනකින්, ‘මෙන්න මේක නිසයි අනිත් ඒවාට වඩා වෙනස් වෙන්නේ,’ කියලා පෙන්නන්න. අපි කියමු දැන් සමහර විට තියෙන ගොඩාක් ගැඹුරු වෙනත් දර්ශනයක් ගැන ඇහුවොත්, මේක කොච්චර හරිද කියලා, වැලඳගන්න මට්ටමේ දර්ශන පවා තියෙනවා. මේවාත් අපට අදාළ නොවෙනවා නොවෙයි. වටපිටාව තේරුම් ගන්න-එක හොඳයි.
අසූවෙ දශකයේදී ලෝකය පිළිගත්ත හොඳම දාර්ශනිකයා තමයි, ඉන්දියාවේ පහළ වෙච්ච ක්‍රිෂ්ණමූර්ති තුමා. එතුමාගේ දර්ශනය ටිකක් බලමු. එතුමාගේ විචාරාත්මක චින්තනය අවදි වෙන්න පටන් ගත්තා කියන්නේ වයස අවුරුදු නවයේදී පමණ. මේ ක්‍රිෂ්ණමූර්ති දරුවාගේ ගෙදර හිටපු පොඩි මල්ලී කෙනෙක් මැරුණ දවසේදී අම්මා කෑගහලා ඇඬුවාලු. මෙයාට නොතේරෙන නිසා ඒ දිහා නිකම් බලාගෙන ඉඳලා තියෙනවා.
ඊට ටික කලකට පස්සේ දවසක් මෙයා අම්මත් එක්ක ගමනක් යන්න බස් නැවතුම්පොළේ හිටගෙන ඉන්නකොට, පාරේ එතැනින් කාගෙදෝ මිනියක් ගෙන යනවා. මිනිස්සු ඒ පස්සේ අඬ-අඬා යනවා. මෙයා අම්මා දිහා බැලුවා. නමුත් අම්මා අඬන්නේ නැහැ. මෙයාට හරි ප්‍රශ්නයක්. එදා මල්ලී මැරුණ වෙලාවේ මේ ගොල්ලෝ කවුරුත් ආවේ නෑ. නමුත් අද මේ අය අඬනවා, අම්මා අඬන්නේ නැහැ. මේ ගැන ඔහු හිතුවා. එතකොට මේ දුක කියන-එක ඇති වෙන්නේ තණ්හාව නිසා, මම කියල - මගේ කියලා ගත්ත නිසා නේද කියලා එතුමාට ඒ වෙලාවෙ හිතුණාලු. එය වැරදිද? නෑ. හරිනේ. ඒ වුණත් ඔය වගේ දර්ශන තිබුණාට, අපිට ඕන හරියට ලස්සනට තැනක් පෙන්වීම නොවෙයි. ඒ සඳහා ළඟා වෙන්න ඕන හැටි පෙන්නන-එකයි.
ක්‍රිෂ්ණමූර්ති තුමා ඔය වගේ ගොඩාක් දේවල් විස්තර කරලා තියෙනවා: “හැමදාම උදා වෙන්නෙ අලුත් දවසක්, අලුත් මොහොතක්. නමුත් අතීතය නමැති ශෝචනීය බැම්ම නමැති මතකය විසින් අපේ ජීවිතය එක තැනක පල් කරනවා. ඒ නිසා අපට ඒ නැවුම් බව තේරෙන්නේ නෑ. පෙනෙන්නේ නෑ. ඇයි? ඒ අපිට පෙනෙන්නේ ඊයෙ දේම, පරණ තිබූ දේම, නැවත හමු වුණා කියලා. ඒකට හේතුව තමයි, අපි යමක් දිහා බලන්නේ සිතිවිල්ලකින්. සිතිවිල්ලකින් යමක් දිහා බැලුවහම නොදන්නා දෙයක් අපේ දැනුමට එකතු වෙනවා. ඊට පසුව අපි යමක් දිහා බලන්න හදනකොට අර සිතුවිල්ලම ඉදිරිපත් වෙනවා” කියලයි එතුමා කියන්නේ. ඉතාමත් ගැඹුරු වගේම මේ දර්ශනය ගොඩාක් දුරට නිවැරැදියි. නමුත් ඊට පස්සේ එයා දෙන විසඳුම වන්නේ “නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි. ඒ නිසා හිතන්නේ නැතුව ඉන්න.” අර කතා කරපු ඔක්කෝම ටිකේ වටිනාකම එතැනින් ඉවරයි. හරියට තව්තිසා දිව්‍යලෝකය ගැන, එහි දෙවිවරු ගැන, එහි තිබෙන විජයොත්පාය කියන ලස්සන මාළිගාව ගැන, ශක්‍ර දෙවියො ගැන, මෙහෙමයි මෙහෙමයි කියල අලංකාර විස්තරයක් කියාගෙන ගිහිල්ලා එතැනට යන මඟක් පෙන්නුවේ නැතුවා වාගෙයි. එතකොට එක දැනුමක් විතරයි. අනිත් දර්ශනවලටත් වඩා ඔය කතා කරපු දර්ශනය තුළත් පුද්ගලභාවය තුළින් එක් වෙන ක්ලේශයක් විතරයි අඩු වෙන්නේ. තවම අවිද්‍යා අනුසය එහෙමමයි.
හොඳ දේ කරන්න. තණ්හාවෙන් ලෝකය අල්ලාගන්න එපා කියන මෙවැනි දර්ශන තියෙනවා. සොක්‍රටීස්ගෙ දර්ශනයත් ගොඩාක් ගැඹුරුයි. ඔබ අහලා ඇති සිග්මන් ෆෙ‍්‍රායිඩ් වැනි අයගේ දර්ශන ගැනත්. මම මේවා නිකමටයි මතක් කළේ. මේවා තුළින් කවදාවත්ම බැහැ බුදු දහම ශ්‍රේෂ්ඨයි කියන්න. නමුත් බය නැතිව මේ ඔක්කෝම අබිබවා ගිය ප්‍රකාශයක් අපි කරනවා නම් ඒකට ගැළපෙන අදහසුත් අපි ළඟ තියෙන්න ඕන.
මම ටිකක් මතක් කරලා දෙන්නම්, හොඳට මතක තියාගන්න. මෙන්න මේ කාරණාව නිසයි ඔය ඔක්කෝම දර්ශනවලට වඩා බුද්ධ දර්ශනය වෙනස් වන්නේ. ක්‍රිෂ්ණමූර්ති තුමාගේ දර්ශනයටත් වඩා, මේ දැන් මේ පින්වතුන්ගේ හිතේ ඇති වන සිතිවිල්ල ගැන පවා කියන සිග්මන් ෆෙ‍්‍රායිඩ්ගේ දර්ශනයටත් වඩා බොහොම වටිනා, ලෝකයාට හිතන්නවත් බැරි දර්ශනයක් බුදු රජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ දර්ශනය යමෙක් හරියට දැක්කොත් එයා ලෝකෝත්තරම වෙනවා. ලෝකය අතහැරෙන දර්ශනයක් ඒක. මේ අනිත් ඔක්කෝම ලෝකය තුළ ඉඳගෙන දකින ඒවා. ඒ ගැනත් කෙටියෙන් මතක් කරන්නම් දැන්.
මේ හැම ආගමකම, හැම ශාස්තෘවරයෙකුගෙම, හැම දර්ශනයකම මූලික පදනමක් තිබුණා. එනම්, හැමෝම දේශනා කළේ අපි ඉපදෙන්න පෙරත් මේ ලෝකය තිබුණා. ඒ තියෙන ලෝකයේ තමයි අපි ඉපදුණේ. ඒ තියෙන ලෝකයේ තමයි අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ කර්මානුරූපව අපි මැරෙනවා. නමුත් ලෝකය එහෙමම තියෙනවා කියන මානසික මට්ටම පදනම් කරගෙන තමයි, අපි ඉපදෙන්න ඉස්සර තිබුණ මේ ලෝකයට ආධුනිකව ආපු අපි ඒ ලෝකයට යහපතක් කරලා ලෝකයෙන් යෑම හොඳයි කියන එක තමයි හැම ආගමකම හැම දර්ශනයකම පදනම වුණේ. ඒ ලෝකයේ ඉන්නකොට යහපත් වීම හොඳයි කියන අදහස මුල් කරගෙන තමයි හැම දෙයක්ම කළේ. ඒ අපි ඉපදෙන්න පෙර තිබුණ අපි ඉපදුණ ඒ ලෝකයට තණ්හා නොකළ යුතුයි කියලයි හැමෝම මතක් කළේ.
නමුත් බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඔය දර්ශනවලට හාත්පසින්ම වෙනස් සිද්ධියක්. උන්වහන්සේ දේශනා කළා: ඕක ඔය මොන විදියට කිව්වත් වැරැදියි. අපි ඉපදෙන්න පෙර ලෝකයක් තිබුණේ නෑ. මේ ආයතන ටිකේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි. තියෙන ලෝකයක් ඇසුරු කරනවා නොවෙයි, ආයතන ටිකේ පැවැත්මම ලෝකයේ පැවැත්මයි. අපි මැරෙනවා. ලෝකය ඉතුරු වෙනවා නොවෙයි. ආයතන ටිකේ නිරෝධය ම ලෝක නිරෝධයයි. තමන් ඉපදෙන්නට කලින් වත් තමා ඉපදුණාට පසුව වත්, ලෝකය තිබුණා හෝ තිබෙනවා හෝ නොවෙයි.
මෙහෙම දර්ශනයක් ඉදිරිපත් කරපු නිසයි බුදු රජාණන් වහන්සේ අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨ වුණේ. අපි වුණත් හීනයකින්වත් හිතලා නැතුව ඇති. අපි හිතන්නේම, අපි දන්නේම, මේ ලෝකයේ අපේ අම්මලා තාත්තලා හිටපු නිසයි අපි මේ ලෝකයට බිහි වුණේ කියන-එක නේද? එහෙනම් දෙමව්පියෝ හිටියේ නැතිනම්, අපි කොහොමද ලෝකයට පහළ වුණේ කියන-එක ප්‍රශ්නයක්. කෙටියෙන් කියනවා නම්, මෙතැනදී මුළු ලෝකයක්ම එක පැත්තක් වෙන කොට බුදු රජාණන් වහන්සේ තනියම තනි පැත්තක් වෙනවා. එහෙම වන්නේ මොකක් නිසාද? මේ දර්ශනය දෙපැත්තකට යන නිසයි.
බුදු රජාණන් වහන්සේගේ මේ දේශනාව අදටත් අපට ප්‍රශ්නයක්.
අනිත් සියලු දෙනාගේ දර්ශනය වුණේ අපි ඉපදෙන්නට පෙර ඉස්සර වෙලාමයි ලෝකය හැදිලා තිබුණේ. ඒ හැදිලා තිබුණ ලෝකයෙයි අපි ඉපදුණේ. ඒ තිබුණ ලෝකයේ හිටපු අය තිබුණු දේවල් ඇසුරු කරගෙනයි මේ අපි ඉන්නේ. අපිත් මැරෙනවා. ඒ දේවල් ඒ විදියටම තියෙනවා. ලෝකය පිළිබඳ නිත්‍ය සඤ්ඤාවක් ඉබේම තියෙනවා. අපි විතරයි ඇති වෙලා නැති වෙන්නේ කියන-එකත් එක්ක.
“යං කිඤ්චි සමුදය ධම්මං, සබ්බං තං නිරෝධ ධම්මං” කියන - එකත් එතැන නෑ. ඇති වෙච්චි අපි නැති වෙලා. නමුත් සියල්ල නැති වෙලා නෑ; ලෝකය ඉතුරු වෙලා කියලයි හැමෝම කිව්වෙ. ඇයි, අපි ඉපදෙන්නට ඉස්සර වෙලත් තිබුණා නම්, ඉපදුණාට පසුවත් තිබෙනවා නම් “සබ්බං තං නිරෝධ ධම්මං” කියන්න පුළුවන්ද?
මෙන්න මේක වැරැදියි කියලයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ.
* “ඡස්සු ලෝකෝ සමුප්පන්නෝ” - මේ ස්පර්ශ ආයතන හයේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි.
* “ඡන්නමේව උපාදාය” – ආයතන හය ඇසුරු කරගෙනම ලෝකය පවතිනවා.
හේමවත යක්ෂයා අහපු ප්‍රශ්නවලට දෙන ඔය උත්තර ටික බලන්න. ආයතන හය ඇසුරු කරගෙනම ලෝකයා පවතිනවා.
* “ඡස්සු පුබ්බනි සන්ථවං” – ආයතන හය නිසාම ලෝකයා කර්ම රැස් කරගන්නවා.
* “ඡස්සු ලෝකේ නිරුජ්ඣන්ති” – ආයතන හය නිරුද්ධ වීමෙන්ම ලෝකය නිරුද්ධ වෙනවා.
මේ දර්ශනය බුදු රජාණන් වහන්සේ මේ රෝහිතස්ස සූත්‍රයෙන් බොහොම ලස්සනට ඉදිරි පත් කරලා තියෙනවා.
* “ඉස්මිං ඥේව ඛ්‍යාම මත්ථේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ” - මේ සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ශරීරය තුළින්ම ලෝකය පනවමි.
එතකොට දැන් ලෝකය කියන එක පෙන්නන්ට වෙලා තියෙන්නේ මොකෙන්ද? මේ බඹයක් පමණ ශරීරයෙන්.
එහෙනම් ඉපදීමට පෙර මේ බඹයක් පමණ ශරීරයක් වෙන කොහේවත් තිබුණද? නෑ. එහෙනම් ඒ බඹයක් පමණ ශරීරයේ ඉපදීමමයි ලෝකයේ ඉපදීම. මේ ශරීරයට අමතරව ලෝක සමුදයත්, ලෝක නිරෝධයත් පනවලා තව ලෝකයක් පෙන්නලා නෑ.
මෙතැනදී අපි සොයා දැනගත යුතු කාරණය තමයි ඇයි බුදු රජාණන් වහන්සේ මෙහම දේශනා කළේ කියලා. ලෝකයාගේ දර්ශනය වැරැදියි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා නම්, මොකක්ද පෙන්නාපු නිවැරැදි දර්ශනය. මේ ගැන ඇහුවොත් සහේතුකව කරුණු දක්වන්න හැමෝම පොහොසත් වෙන්නේ නෑ. බුදු රජාණන් වහන්සේ ලෝකයේ අපි දකින මට්ටමේ බොරුවත්, ඇත්ත මේකයි කියලත් පෙන්නුවා. ඉපදෙන්න ඉස්සර වෙලා තිබුණා නොවෙයි; ආයතන ටිකේ ඉපදීමමයි ලෝකයේ ඉපදීම. ඉපදුණාට පස්සේ ලෝකයේ තියෙන දෙයක් ඇසුරු කරනවා නොවෙයි; ආයතන ටිකේ පැවැත්මයි ලෝකයේ පැවැත්ම. තියෙන දේ නැති වෙනවා වත්, එහෙම නැත් නම් අපි නැති වෙනවා වත් නොවෙයි වෙන්නේ; ආයතන ටිකේ නැති වීමයි ලෝකයේ නැති වීම කියලා දේශනා කළා.
දැන් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්ට. ඇයි එහෙම දේශනා කළේ කියලා. ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකය තිබුණා කියන මට්ටමක ඉන්න අපිට මෙහෙම දේශනා කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන නේ. අපි බුදු රජාණන් වහන්සේ දේශනා කළා කියලවත්, අන්ධයෝ වගේ පිළිගන්න ඕන නෑ.
නුවණැති පුරුෂයෙකුට තවත් ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. ඒකට උත්තර ලැබුණොත් තමයි අපි පිළිගන්න ඕන. නැතුව, බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි නේ; ඒ නිසා කියන දේ ඇත්ත වෙන්න ඇති; බොරු කියන්නේ නෑ නේද කියලා අන්ධ විශ්වාසයෙන් පිළිගන්න ඕන නෑ. එහෙම කරන කෙනා තමයි බුදු රජාණන් වහන්සේට චෝදනා කරන්නේ. එයා ළඟ එතන ශ්‍රද්ධාවක් නෑ. බුදු රජාණන් වහන්සේ කිව්වා කියලා අවිචාරයෙන් පිළිගන්නවාට වැඩිය, ඇයි බුදු රජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ කියලා විමසා බලා පිළිගන්න කෙනාවයි තථාගතයන් වහන්සේ අගය කළේ. මොකද එවැනි කෙනා කවදා හරි මේ දර්ශනය සහේතුකව තේරුම් ගන්නවා.
ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න: සම්මා දිට්ඨිය කියලා මෙහෙම උත්තරයක් නම් දෙන්නේ, සම්මා දිට්ඨිය කිව්වේ ස්පර්ශ ආයතන හය පිළිබඳව නිවැරදි දැකීමයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, නැති වීමත් පිළිබඳ බඹයක් පමණ ශරීරය තුළින් දකින්නට කිව්වම ඒකෙන් තේරෙනවා මුළු චතුරාර්ය සත්‍යයම. ඉපදෙන්නට කලිනුත් තිබුණා. ඉපදුණාට පසුවත් තිබෙනවා, තිබෙන දේ හමු වෙනවා කියලා, බාහිරයෙන් යමක් දකින්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව මොකක්ද කියලා ඇහුවොත් ඒකට දෙන්නෙත් ඉතාම සරල උත්තරයක්.
“අවිජ්ජා පච්චයා සංඛාර, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සො, ඵස්ස පච්චයා වේදනා.”
ඔය ඔක්කෝම අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නේ මෙන්න මෙහෙම පටිච්ච සමුප්පාදය අල්ලලා.
“යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති, යෝ පටිච්ච සමුප්පාදං පස්සති සො ධම්මං පස්සති” යමෙක් දහම දැක්කොත් එයා පටිච්චසමුප්පාදය දැක්කා, යමෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් එයා ධර්මය දැක්ක කෙනෙක්. මෙසේ පෙන්වා ඇති පටිච්චසමුප්පාදය කියන්නේ ඔහේ නිකං උදේ ඉඳං රෑ වෙනතුරුත්, රෑ ඉඳං පසුදා පහන් වෙනතුරුත් කියව-කියවා ඉන්න-එකක් නොවෙයි. අපි දැක්කත් නැතත් සිදු වන සිද්ධියයි මේ. මේ ගැඹුරු දර්ශනය බුදු රජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හරහායි ඔප්පු කරන්නෙ.
මෙන්න මේ වාගේ සිද්ධියක් සිදු වන නිසයි, ඔය වචනෙ කියන්නේ කියලා බය නැතුව දේශනා කරන්නේ ඒ නිසයි. පටිච්චසමුප්පාදය සම්බන්ධයෙන් ලෝකය කියන දේ වැරදියි. මෙතැන තියෙන්නේ ඇත්තටම සිදු වන ඇත්තක්. නමුත් ඒ ඇත්ත අපි තාම දන්නේ නැති නිසා බලාගන්ට බැරුවා මිසක කෙනෙකුට ශේෂයක්වත් වචන කතා කරන්න පුළුවන් තැනක නොවෙයි මේ දර්ශනය තියෙන්නේ.
අපිට තේරෙන විදියට අපි මේකේ අර්ථය පොඩ්ඩක් ගවේෂණය කර බලමු. එතැනදී ඔය ඇත්තන්ට විචාරශීලී වෙන්ට යමක් හොයනකං හුරු පුරුදු වෙන්න ක්‍රමයක් නිකමට මතක් කරන්නම්.
රෝහිතස්ස සූත්‍රයේදී පෙන්නුවා ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, නැති වීමත්, නැති කරන මගත් බඹයක් පමණ ශරීරයෙන් දකින්ට කියලා. ඊට පස්සේ ලෝකය කියන්නේ කුමකටද කිව්වාම අපි දන්නා තරමින් අදහස් ඉදිරිපත් කරගන්නේ නැතුව ඒ ප්‍රශ්නයටත් උත්තර සූත්‍රවලින්ම හොයාගන්නට බලමු.

ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත

ධර්ම දේශකයන් වහන්සේලා සිය ධර්ම දේශනාව ආරම්භයේ දී "ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ පින්වතුනි" යනුවෙන් සඳහන් කරනු ඔබ බොහෝ විට අසා ඇත. මෙසේ සඳහන් කරන ශ්‍රද්ධාව යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද යන්න ගැන සෑම බෞද්ධයකු විසින් ම පැහැදිළි අවබෝධයක්‌ ලබා තිබීම වැදගත් ය.
සප්ත ආර්ය ධනය සඳහන් කරන තැන්වල දී "ශ්‍රද්ධාව" බෞද්ධයා තුළ තිබිය යුතු ධනය ලෙස සඳහන් කර ඇත. එසේම පංච ඉන්ද්‍රීය අතරින් පළමුවැන්න, ශ්‍රද්ධාව ලෙස දැක්‌වීමෙනුත් එසේම පංචබල අතුරින් පළමුවැන්න ශ්‍රද්ධා බලය ලෙස පෙන්වා දීමෙන් ශ්‍රද්ධාවට මෙතරම් ප්‍රමුඛ ස්‌ථානයක්‌ දීමෙන් ම බෞද්ධයාට එහි වැදගත්කම කියනු කිම, බුද්ධ, ධම්ම, සංඝ යන බුදු දහමේ දැක්‌වෙන ත්‍රිවිධ රත්නය විචිකිච්ඡාවෙන් හෙවත් සැකයකින් තොරව විශ්වාස කිරීමට සහ ප්‍රසාදයට ශ්‍රද්ධාව මුල් වේ. විචිකිච්ඡාව නිවන් දොර ආවරණය කරන ධර්ම පහෙන් එකක්‌ වන අතර, සසර බැඳ තබන බැමි 10 න් එකක්‌ ද වන බැවින් බලවත් අකුසලයක්‌ වේ. ඒ නිසා මේ විචිකිච්ඡාව මුළුමනින් ම සිතින් ඉවත් නොකළහොත් සෝවාන් ආර්ය තත්ත්වයට පත් නොවේ.
ශ්‍රද්ධාව යන වචනය මඡ්Cධිම නිකායේ ගැටපද විවරණයේ පැහැදිළි කර ඇත්තේ මෙසේය. "බුද්ධාදී ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත්හි ඇතිවන පැහැදීම හා එහි ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතරින් ප්‍රධාන වශයෙන් අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධාව නමි. ශ්‍රද්ධාව පහළවත්ම සිත පහන් වේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනේ ප්‍රයෝජන සලසා ගත නොහැකිය. පළමුකොට බුදුසසුනට ඇතුළු වන්නේ, ශ්‍රාවකයකු වන්නේ ශ්‍රද්ධාවෙනි".
ශ්‍රද්ධාව යනු භක්‌තිය නොවේ. එය චල හා අචල වශයෙන් කොටස්‌ කරනුයේ වරින් වර වෙනස්‌ වන්නා වූ සහ වෙනස්‌ නොවන්නා වූ වශයෙනි. අප සෝවාන් තත්ත්වයට පත්වන තෙක්‌ අප තුළ පවතින ශ්‍රද්ධාව චල හෙවත් වෙනස්‌ වේ. එය ලෞකික ශ්‍රද්ධාවයි. අප තුළ මුලින්ම ඇති වන මේ චල හෙවත් සෙලවෙන ශ්‍රද්ධාව තිර හෙවත් අචල තත්ත්වයට පත්වන තෙක්‌ ආරක්‍ෂා කර ගත යුතු වේ.
සියලුම ආමිස පූජාවලදී ද, සියලුම ප්‍රතිපත්ති පූජාවලදී ද ශ්‍රද්ධාව තිබිය යුතුම ය. සෑම වෑංජනයකටම ලුණු අවශ්‍ය වන්නා සේ සෑම පුණ්‍ය කටයුත්තක දීම ශ්‍රද්ධාව මුල් තැන ගනී. ශ්‍රද්ධාව ශෝභන චෛතසිකයකි. එය කුසල් සිත් හි යෙදෙන විට අරමුණෙහි සිත පහදවයි. සතුට සොම්නස ඇතිවේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනින් ප්‍රයෝජන ලබාගත නොහැකි වන්නේ, ශ්‍රද්ධාවෙන් තොරව කරන කිසිම කුසල කර්මයක්‌ කුසල විපාක දීමට සමත් නොවන බැවිනි. එහෙයින් බුදු දහමට අනුව වත් පිළිවෙත් පිරීම ශ්‍රද්ධාව පෙරමුණු කොටම ඇති විය යුත්තකි. ශ්‍රද්ධාවෙන් යුතු බෞද්ධයා ත්‍රිවිධරත්නය කෙරෙහි අහිතක්‌, ද්වේශයක්‌, මිථ්‍යාදෘෂ්ටියක්‌, සැකයක්‌, අවිශ්වාසයක්‌ ඇති කර නොගනී.
ඒ ඒ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥ යන ශ්‍රේෂ්ඨ ගුණාංග කොතරම් දුරට මෝරා තිබේ ද යන්න දැන ගන්නා ඥනයක්‌ තථාගතයන් වහන්සේට විය. එම ඥනයෙන් බලා උචිත දහම් දෙසූ සේක. වරක්‌ සුරම්භට්‌ට නම් ගොවියෙක්‌ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ තිසරණගතව සෝවාන් වී ආපසු ගිය විට ඔහු පරීක්‍ෂා කරනු සඳහා මාරයා බුදුරදුන්ගේ වෙසක්‌ මවාගෙන සුරම්භට්‌ටගේ නිවස ළඟට පැමිණ තමන්වහන්සේ මීට ප්‍රථම දේශනා කළ ධර්මය අසත්‍ය බව කීවේ ය. එහෙත් තමා සෝවාන් තත්ත්වයට පත්ව සිටි බැවින් මේ නියම බුදුරජාණන් වහන්සේ විය නොහැකි යෑයි මාරයාට පිටුපා සිටියේ ය. මාරයා ලඡ්ජා වී ආපසු ගියේ ය. ඒ අචල ශ්‍රද්ධාව නිසා ය.

"බුදුරජාණන්වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කර ගතහොත් සෝවාන් වෙයි" යනුවෙන් සංයුක්‌ත නිකායේ සහස්‌ස සූත්‍රයේ වදාරා ඇත.

සද්ධා යන වචනය මඡ්ධිම නිකායේ පැහැදිලි කර ඇත්තේ මෙසේ ය. "බුද්ධාදී ත්‍රිවිධ රත්නය කෙරෙහි පවත්නා ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතරින් ප්‍රධාන වශයෙන් අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධා නම් වෙයි. "ශ්‍රද්ධාව පහළවත් ම සිත පහන් වේ. ශ්‍රද්ධාව නොමැති ව බුදු සසුනින් ප්‍රයෝජන සලසා ගත නොහැකිය. පළමුකොට බුදුසසුනට ඇතුළු වන්නේත් ශ්‍රාවකයෙකු වන්නේත් ශ්‍රද්ධාවෙනි".
ශ්‍රද්ධාව කෙතරම් බලවත් ඉන්ද්‍රියයක්‌ ද යනු එයින් ම පැහැදිළි වන්නේ ය. සංයුක්‌ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්‌තයේ කසීභාරද්වාජ සූත්‍රයේ මෙසේ වදාරා ඇත. "ශ්‍රද්ධාව බීජයයි. තපස වැස්‌සයි. මාගේ වියදණ්‌ඩ හා නගුල නුවණයි. ලඡ්ජාව නගු ලිසය. සිත කෙතයි, සතිය හෙවත් සිහිය මගේ හී වැල හා කෙවිට යි." ශ්‍රද්ධාව බීජය යනුවෙන් දේශනා කීරීමෙන් පෙන්වා ඇත්තේ ශ්‍රද්ධාව නමැති බීජය නරක්‌ වුවහොත් කෙතරම් මහන්සි වී කෙත සකස්‌ කර වැපිරුව ද එයින් ඵලක්‌ නොවන බව පැහැදිළි කිරීම සඳහා යි.
ආලවක යක්‍ෂයා දමනය කිරීම සඳහා ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ යෑයි වදාළ සේක. තවද එම සූත්‍රයේම ගිහිගෙයි වෙසෙනා යමෙකුට සත්‍යයත්, ධර්මයත්, දැක්‌මත්, ත්‍යාගයත් යන මේ ධර්ම සතර තිබේ නම් හෙතෙම පරලොවට පැමිණ ඒකාන්තයෙන් ම ශෝක නොකරයි යනුවෙන් වදාළහ.
බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්‌ දෙවියෙක්‌ ශ්‍රද්ධාව, ශීලය, සිහිය, ත්‍යාගය, ප්‍රඥව සහිත වූ නිසා මරණින් මතු තමා තව්තිසා දෙව්ලොව උපන් බවත් අනෙකුත් දෙවියන්ට වඩා බලසම්පන්න වූ සිරුරක්‌ ඇතිව උපන් බවත්, අනෙක්‌ දෙවිවරු ඔහුට නින්දා කළ බවත් ප්‍රකාශ කළහ.
අනෙක්‌ දෙවිවරු ඇමතූ සක්‌දෙවි රජු මොහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල වූ, මැනවින් පිහිටියා වූ ශ්‍රද්ධාව නිසා මෙසේ බැබළෙන බවත් ප්‍රකාශ කළ බව සංයුක්‌ත නිකායේ දලිද්ද සූත්‍රයේ දැක්‌වේ. ප්‍රඥවන්තයා බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද, ධර්මය දැකීම ද සිහිකරන්නේ අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ යෑයි එම සූත්‍රයේ තවදුරටත් පෙන්වා දෙයි.
මේ දේශනා අනුව පැහැදිලි වන්නේ අනෙක්‌ සෑම ඉන්ද්‍රිය භාවනාවකටම ප්‍රධාන කොට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවයි.
ශ්‍රද්ධාව ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. ඒ ඔවුන්ට ධර්මය අවබෝධ වන ප්‍රමාණය අනුවයි. සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්ම විස්‌තර කරන රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ මෙසේ පැහැදිළි කරති.
"බුද්ධා දී රත්නත්‍රයෙහි ගුණයක්‌ ගෙන භාවනා වශයෙන් එය මෙනෙහි කරන්නට වන් කල්හි, ඒ අරමුණ තමාගේ හිතට මිහිරි වේ නම් එහි සිත පිහිටුවාගෙන එය මෙනෙහි කරමින් සිටීම සිතට ආශ්වාදයක්‌ වේ නම්, ධ්‍යානයට සම වැදුණු කෙනෙකුට මෙන් කැමැතිතාක්‌ කල් එය මෙනෙහි කරමින් සිටිය හැකි වේ නම්, එයින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩි දියුණු වේ. බුද්ධ ගුණය අවබෝධ නොවී භාවනා කිරීමෙන් ද ශ්‍රද්ධා ඉන්ද්‍රිය නොවැඩේ.
එම ග්‍රන්ථයේම "ලෝභා දී කෙළෙසුන්ට නොසෙල්විය හැකි පමණට කෙළෙස්‌ පැරදවිය හැකි නැසිය හැකි පමණ ශක්‌තිමත් වූ ශ්‍රද්ධාව ශ්‍රද්ධා බලයයි."
"ශ්‍රද්ධාව මඳ තැනැත්තාට හෙවත් දුබල ශ්‍රද්ධාවක්‌ ඇති තැනැත්තාට යෝග කර්ම අප්‍රිය දෙයකි. ඔහුට එහි ආශ්වාදයක්‌ ප්‍රීතියක්‌ නැත, එබැවින් යෝග ක්‍රියාව ජයගත්තේ ද, ඔහුගේ සිත එහි නොපිහිටා වෙනත් දැ දෙසට නැවත හැරෙන්නේය. සිතට යෝග කර්ම ප්‍රියවීමට යෝග කර්මයන්ගෙන්, ආශ්වාදයක්‌ ප්‍රීතියක්‌ ලැබිය හැකි වීමට බලවත් ශ්‍රද්ධාවක්‌ තිබිය යුතු ය".

ශ්‍රද්ධාව චෛතසිකයකි. යෝග කර්ම වලින් ප්‍රතිඵල ලැබීමට සිත ශ්‍රද්ධාවේ පිහිටුවා ගත යුතු ය.

"මහණෙනි, මෙලොවෙහි විද්‍යමාන වූ පුද්ගලයෝ සත් දෙනෙක්‌ ඇත. කවර සත් දෙනෙක්‌ ද යත්, උභතොභාග විමුක්‌ත, පඤ්ඤා විමුක්‌ත, කායසක්‌‚, දිට්‌ඨප්පත්ත, සද්ධා විමුක්‌ත, ධම්මානුසාරී, සද්ධානුසාරී යන සත්දෙනා ය".
මෙහි එන සද්ධා විමුක්‌ත පුද්ගලයා තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව බැසගත් මුල් ඇතිව සිටී. ඔහු අප්‍රමාදව කටයුතු කළහොත් මේ ආත්මයේ දීම නිවන අවබෝධ වන්නේයි කට්‌ටගිරි සූත්‍රයේ දේශනා කර ඇත.
ඉහත සඳහන් පුද්ගලයන් සත්දෙනා අතුරින් සද්ධා විමුක්‌ත, කාය සක්‌‚ හා දිට්‌ඨප්පත්ත යන තිදෙනාගෙන් ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව පමණක්‌ පැහැදිලි අවබෝධයක්‌ ලබා ගැනීම අවශ්‍ය ය. සද්ධා විමුක්‌ති පුද්ගලයා ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිමාත්‍රකොට වැඩූ පුද්ගලයා ය. කාය සක්‌‚ පුද්ගලයා සමාධි ඉන්ද්‍රිය අධිමාත්‍ර කොට වැඩූ පුද්ගලයාය. දිට්‌ඨප්පත්ත පුද්ගලයා ප්‍රඥ ඉන්ද්‍රිය අධිමාත්‍රකොට වැඩූ පුද්ගලයාය.

ශ්‍රද්ධාවේ වටිනාකම පැහැදිළි කිරීමක්‌ පහත දැක්‌වෙයි.

සැරියුත් තෙරණුවෝත්, මහා කොට්‌ඨිත තෙරණුවෝත්, සවිට්‌ඨ තෙරණුවෝත් අතර ඇති වූ සාකච්ඡාවේදී සැරියුත් තෙරණුවන්ගේ අදහස වූයේ ප්‍රඥ ඉන්ද්‍රිය අධිකව වැඩූ දිට්‌ඨප්පත්ත පුද්ගලයා වඩා උසස්‌ බවයි. මහා කොට්‌ඨිත තෙරණුවන්ගේ අදහස වූයේ සමාධි ඉන්ද්‍රිය ප්‍රමුඛව වඩන කාය සක්‌‚ පුද්ගලයා වඩා උසස්‌ බවයි. සවිට්‌ඨ තෙරණුවන්ගේ අදහස වූයේ සද්ධා ඉන්ද්‍රියට ප්‍රමුඛ ස්‌ථානයක්‌ දුන් ශ්‍රද්ධා විමුක්‌ත පුද්ගලයා උසස්‌ බවයි.
මේ පිළිතුරු එකිනෙක වෙනස්‌ වූයෙන් සැරියුත් තෙරණුවන්ගේ අදහස අනුව මේ පිළිබඳ පැහැදිලි කිරීමක්‌ ලබා ගැනීම සඳහා තථාගතයන් වහන්සේ වෙතින් විමසූහ. උන්වහන්සේ මේ තිදෙනා අතුරින් කවරෙකු ශ්‍රේෂ්ඨ ද යන්න තීරණය කිරීම අපහසු බවත්, ඔවුන් තුළ පවතින ශ්‍රේෂ්ඨ ලක්‍ෂණ පිළිබඳවත් පැහැදිලි කළ සේක.

1. කාය සක්‌‚ හා දිට්‌ඨප්පත්ත යන පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්‌ථාවේ සිටියදී සද්ධා විමුක්‌ති පුද්ගලයා රහත් මඟට පිවිසෙන්නේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වේ. සද්ධා විමුක්‌ති හා දිට්‌ඨප්පත්ත පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්‌ථාවේ සිටිය දී කාය සක්‌‚ පුද්ගලයා රහත් මගට පිවිසියේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වන්නේ ය.

2. සද්ධා විමුක්‌ත හෝ කාය සක්‌‚ පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්‌ථාවේ දී සිටිය දී දිට්‌ඨප්පත්ත පුද්ගලයා රහත් මඟට පිවිසෙන්නේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වන්නේ ය.

මෙහිදී වැදගත් කරුණු කීපයක්‌ අපට දක්‌නට ලැබේ. එනම්, ශ්‍රද්ධාවත්, සමාධියත්, ප්‍රඥවත් නිවන් මඟට අත්‍යවශ්‍ය බවයි. ඒ අනුවද ශ්‍රද්ධාව නිවනට පිවිසීමට ප්‍රධාන සාධකයක්‌ වන බවයි.
නිවන් අවබෝධ කරනු කැමැත්තා විසින් පළමුවෙන්ම ඇතිකර ගත යුත්තේ ශ්‍රද්ධාවයි. කුමක්‌ කෙරෙහි ශ්‍රද්ධාවද, බුද්ධ ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවයි. නව අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධාවය. ශ්‍රද්ධාව පහළ වෙත්ම බුද්ධාදි අට තැනක ඇතිවෙන්නා වූ සැකය දුරු වන්නේ ශ්‍රද්ධාවෙනි. ඒ නිසා ශ්‍රද්ධාව ප්‍රථම අංකයයි, සප්ත ආර්ය ධනය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව එහි මුල්ම අංගය වශයෙන් වදාරා ඇත්තේ මේ නිසාය. අප තුළ පවත්නා ශ්‍රද්ධාව හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් කොටස්‌ තුනකට බෙදා දක්‌වා ඇත.
හීන ශ්‍රද්ධාව වහා ඇති වී නැති වී යන්නේ ය. ස්‌ථිර බවක්‌ නැත. එහෙත් මධ්‍යම ශ්‍රද්ධාව ඊට වඩා ප්‍රබලයි. නමුත් සිතේ අර්ජණා සමාධිය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. ප්‍රනීත ශ්‍රද්ධාව ලත් පුද්ගලයා තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවන්නා වූ චිත්ත ප්‍රීතිය භුක්‌ති විඳ එය නැවත නැවතත් උපදවාගනු සඳහා ශ්‍රද්ධාව වැඩිකර ගනී. ශ්‍රද්ධාව වැඩිවන ආකාරයේ පුණ්‍ය කටයුතු වල යෙදෙයි. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ සිහි කරයි. ඔහු අර්ජණා සමාධිය වහා ලබයි.

ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන් කොටස්‌ හතරකට බෙදේ.

ආගමන ශ්‍රද්ධා, අධිගමන ශ්‍රද්ධා, ඔකප්පන ශ්‍රද්ධා, ප්‍රසාද ශ්‍රද්ධා එකොළොස්‌ ආකාරයකට ශ්‍රද්ධා ප්‍රදානය බෙදා හඳුන්වා ඇත.

1. සිල්වත් වීම සමාදන් වූ ශික්‍ෂාපදයන්හි හික්‌මීමම, රැකීම, ශ්‍රද්ධා පදානයයි.

2. බහුශ්‍රැත වේ නම්, ප්‍රඥයෙන් සුප්‍රතිබද්ධ වේ නම් ශ්‍රද්ධායෙන් ශ්‍රද්ධාපදාන වෙයි.

3. කල්‍යාණ මිත්‍ර සේවනයෙන් ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

4. ධර්මානු ශාසනාව ප්‍රදක්‍ෂිණයෙන් ගෙන කීකරු වීම ශ්‍රද්ධාපදාන වෙයි.

5. සබ්බරුන්ගේ අවවාද අනුශාසනා අසන එහි අනලස්‌ව යෙදෙන ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාපදාන වෙයි.

6. ධර්මයට ඇත්තේ අභිධර්මයෙහි අභිවිනය ඇත්තේ උදාර ප්‍රමෝදය ඇත්තේ ශ්‍රද්ධාපදාන වෙයි.

7. අකුසල ප්‍රහානයටත් කුසල වර්ධනයටත් වීරිය වඩන්නේ ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

8. නිදුකින් අධිචිත්ත වූ ධ්‍යාන 4 ලබා කැමැති පරිදි වාසය කෙරේද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

9. ධ්‍යාන ලබා පූර්වයෙහි විසූ කඳ පිළිවෙළ සිහි කරයිද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

10. දිවැස්‌ ලබා චුති උත්පත්ති බැලීමට සමත්වේද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

11. ආශ්‍රව ක්‍ෂය චෙතොවිමුක්‌ති පඤ්ඤා විමුක්‌ති මේ ආත්මයෙහි ඵල ලබාද ශ්‍රද්ධායාගේ ශ්‍රද්ධාපදාන වෙයි. (අ.නි. සුභූති සූත්‍රය) ආගමන ශ්‍රද්ධාව සර්වඥ, බෝධිසත්ත්වවරුන්ගේ පාරමිතා පිරීම පටන් ගත් බැවින් ආගමන ශ්‍රද්ධා නම්,

අධිගමන ශ්‍රද්ධාව - ආරිය ශ්‍රාවකයන් ප්‍රතිවේධයෙන් පැමිණි බැවින් ඔවුන්ගේ ශ්‍රද්ධාව අධිගමන ශ්‍රද්ධා නම්
ඔකප්පන ශ්‍රද්ධාව - බුදුන්, දහම්, සඟුන් කෙරෙහි ප්‍රසාදය ශ්‍රද්ධා - ප්‍රසාදයට හේතුවන බැවින් ප්‍රසාද ශ්‍රද්ධා නම්,
ආකාරවතී ශ්‍රද්ධා - පෘථග්ජනයා තුළ ඇති සැලෙන ශ්‍රද්ධාවයි.
අචල ප්‍රසාදය - නොසැලෙන, නොවෙනස්‌වන, පැහැදීම මෙබඳු ශ්‍රද්ධාවක්‌ ඇතිවනුයේ මාර්ගඵල ලාභීන්ට පමණි.
මාර්ග සිත්වල යෙදෙන ශ්‍රද්ධා චෛතසික නිවන් අරමුණෙහි සිත පහදවන නිසා ලෝකෝත්තරයි. එය කිසිදු හේතුවක්‌ නිසා නොසෙල් වේ.
අමූලිකා ශ්‍රද්ධා - ශාස්‌තෲන්වහන්සේට ඇති ගෞරවය නිසා ඇතිකර ගන්නා භක්‌තිය පෙරදැරි කරගත් ශ්‍රද්ධාව හඳුන්වනු ලබන්නේ අමූලික ශ්‍රද්ධා නමිනි. එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්‌ වී ඇත.
නිවන අවබෝධ කරනු කැමැත්තා විසින් පළමුවෙන් ම ඇතිකර ගත යුත්තේ අපගේ ශාස්‌තෲවරයාණන් වන බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් උන්වහන්සේ දේශනා කළ ආර්ය ධර්ම කෙරෙහීත් මහා සංඝරත්නය කෙරෙහිත් ශ්‍රද්ධාව, විශ්වාසය, ප්‍රසාදය. අචල ප්‍රසාදයයි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවලදී පැහැදිළි කර ඇත.
ශ්‍රද්ධාවද චල හා අචල වශයෙන් කොටස්‌ දෙකකට වෙන් කෙරේ. චල ශ්‍රද්ධාව නම් වරින් වර වෙනස්‌වන ශ්‍රද්ධාවයි. උදා - දානයක්‌ දෙනවිට, මල් පහන් පුදන විට සිතේ ශ්‍රද්ධාව ඇතිවේ. නමුත් එහිදී ඇතිවන පැහැදීම එම පුණ්‍ය කර්මයෙන් පසුව සිතින් ඉවත්ව යයි. අචල ශ්‍රද්ධාව අවේච්ච ප්‍රසාදය එසේ නොවේ. එය නිවන් දක්‌නා තෙක්‌ සිතේ නොසෙල් වී පවතී. ඊට හේතුව තෙරුවන් ගුණ නුවණින් අවබෝධ වීමයි. ශ්‍රද්ධාව සිත තුළ පහළ වන රාග, ද්වේෂ, මෝහ ආදී කෙළෙස්‌ ඉවත්කොට සිත ප්‍රභාෂ්වර තත්ත්වයට පත්කර දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වන්හි යෙදීමට පොළඹවයි. මෙය ශෝභන චෛතසිකයකි. අචල ශ්‍රද්ධාව ඇත්තා ත්‍රිවිධ රත්නය කෙරෙහි කිසිවිටෙකත් සැක නොකරයි. අචල ශ්‍රද්ධාව පිළිබඳ උදාහරණයක්‌ දෙන බුදුරජාණන් වහන්සේ එය සතර දිගින් හමන සුළඟින් නොසෙල්වෙන ඉන්ද්‍ර ‚ලයක්‌ හා සමානයෑයි වදාළහ.
මේ දේශනා අනුව පැහැදිළි වන්නේ ආර්ය ශ්‍රාවකයා සම්මා සමාධිය අපේක්‍ෂා කරන්නේ නම් ඔහු මුලින්ම ශ්‍රද්ධාව නමැති බීජය වපුරාගත යුතු බවයි. බීජය නරක්‌ වුවහොත් පැළවීමක්‌ නොමැත්තා සේ ශ්‍රද්ධාව අචල නොවුවහොත් ඉන් ඉදිරියට කිසි ප්‍රතිඵලයක්‌ නොලැබෙන්නේ ය. මේ නිසා සත්තිස්‌ බෝධි පක්‍ෂික ධර්මවල ශ්‍රද්ධාව ඉන්ද්‍රීය ලෙස දේශනා කර ඇත්තේ ය. ලෞකික සම්මා දිට්‌ඨිය පැහැදිළි කරන තැන බුද්ධාදී අට තැනක ඇතිවන සැකය දුරු වීම සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය බව වදාරා ඇත.
ශ්‍රද්ධාව චෛතසිකයකි. යෝග කර්ම වලින් හාස්‌කම් භුක්‌ති විඳීමට නම් අචල ශ්‍රද්ධාව අවශ්‍යමය. ශ්‍රද්ධාවෙන් තොරව බුදු දහමේ උගන්වන බුද්ධිය හෙවත් ප්‍රඥව උපදවා ගත නොහැකිය. පංචඉන්ද්‍රිය, පංචබල හා බෝධි පාක්‍ෂික ධර්ම අතුරින් මුල්වන්නේ සද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බල යන ධර්මයි. විදර්ශනා ඥනය දියුණු වීම සඳහා ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු කර ගත යුතුය.
ශ්‍රද්ධාව, අකුශලයන්ගෙන් සිත පිරිසිදු කරන ශෝභන ධර්මයන් අතරෙන් පළමුවැනි ශෝභන ධර්මයයි. සිත පිරිසිදුව කුශලධර්මයන් උපදින්නේ ශ්‍රද්ධාව උපන් කල්හියි.
ශාසන ප්‍රතිපදාවෙහි මුල සීලයයි. සීලයට මුල ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නැත්තේ දුශ්ශීල වෙයි. ශ්‍රද්ධාව ඇත්තෝ සිල්වත් වෙයි. ගිහියා පන්සිල් නොරකින්නේ ශ්‍රද්ධාව නැති නිසා ය. ශ්‍රද්ධාව ඇති පුද්ගලයා සිල් රකියි. ශික්‍ෂාපද ආරක්‍ෂා කරයි (බුදු දහම හා සමාජය ආරියරත්න)
නිවන් අවබෝධ කරගනු කැමැත්තා විසින් පළමුවෙන් ඇතිකර ගත යුත්තේ ශ්‍රද්ධාවයි. කුමක්‌ කෙරෙහි ශ්‍රද්ධාවද බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවයි. නැතහොත් විශ්වාසයයි. පිළිගැනීමයි. එය සම්මා දිට්‌ඨිගත වීමට උපකාර වේ. එබැවිනි, ශ්‍රද්ධාව මුලින්ම ද ඊළඟට ශීලය ධනයක්‌ ලෙස සප්ත ආරිය ධන පිළිබඳ දේශනයේදී වදාරා ඇත්තේ,
බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙචා ප්‍රසාදය ඇතිකර ගත්තකු සෝවාන් වෙයි. යනුවෙන් සංයුක්‌ත නිකායේ දැක්‌වේ. බුදුරජාණන් වහන්සේද දැක ශ්‍රද්ධාව ඇති වූ බැවින් තමා රහත් වූ බව වංගීස තෙරුන්වහන්සේ ප්‍රකාශ කළහ. යම් ශ්‍රද්ධාවකින් ගිහි ගෙයින් නික්‌ම පැවිදි වී නින්දට වසඟ නොවී ඒ ශ්‍රද්ධාව වඩන්න, ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ. යමෙකුට තථාගතයන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචලව මැනවින් පිහිටියේද යමෙකුගේ ශීලය ආරියකාන්ත වූයේ පසස්‌නා ලද්දේද, රත්නත්‍රය කෙරෙහි පැහැදීම ඇද්ද, ඤාණ දර්ශනයෙන් සෘජු වූයේද ඔහු දිළින්දෙක්‌ නොවේ යෑයි බුද්ධාදී උතුමෝ කියති. එහෙයින් ප්‍රාඥ තෙමේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද ධර්මය දැකීමද අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේය.
බුද්ධරත්නය කෙරෙහි පවත්නා ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතුරින් ප්‍රධාන වශයෙන් නව අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධා නම් ශ්‍රද්ධාව පහළවත්ම සිත පහන් වේ. පිරිසිදු වේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනින් ප්‍රයෝජන ලබා ගත නොහැකි ය. පළමු කොට බුදු සසුනට ඇතුළු වන්නේ ශ්‍රද්ධාවෙනි. පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව පිළිබඳ සාථිමත්තිය රහතන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත.
"පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව අනිත්‍ය එකක්‌මයි. ඒ ශ්‍රද්ධාව මොහොතකින් වෙනස්‌ වෙනවා. මං ඒක හොඳට දැකල තියෙනවා. වෙලාවකට ඒ උදවිය පැහැදිලා සතුටු වෙනවා. තවත් වේලාවකදී අපැහැදිලිව කලකිරෙනවා" (ථෙර ගාථා 247)
උපාලි රහතන් වහන්සේ සිය උදාන ගාථාවන්හි මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. 'ගිහිගෙය අතහැරලා ශ්‍රද්ධාවෙන්ම ශාසනයට පැමිණි එම නවක භික්‍ෂුව පිරිසිදු ජීවිතයක්‌ ගෙවන්න ඕන. හොඳට ධර්ම විනය ඉගෙන ගන්ට ඕන. (ථෙර ගාථා 250)
ශ්‍රද්ධාව ඇතිවීම සඳහා උපකාර වන ධර්ම සත්‍යානුප්‍රාප්තියට කවර ධර්ම උපකාර වේද? මාර්ග ප්‍රදානය උපකාරීවේ මාර්ග ප්‍රදානයට කවර ධර්ම උපකාර වේද? කලාව බහුපකාරී වේ.

කලාවට උපකාර වන ධර්ම කවරේද? උත්සාහය උපකාර වේ.

උත්සාහයට උපකාර වන ධර්ම කවරේද? ඡන්දය උපකාර වේ.

ඡන්දයට උපකාර වන ධර්ම කවරේද? දහම් වැටහීම උපකාර වේ.

දහම් වැටහීමට උපකාර වන ධර්ම කවරේද? අනුන් විමසීම උපකාර වේ.

අනුන් විමසීමට උපකාර වන ධර්ම කවරේද? ධර්ම ධාරණය වේ.

ධර්ම ධාරණයට උපකාර වන ධර්ම කවරේද? ධර්ම ශ්‍රවණය උපකාර වේ.

ධර්ම ශ්‍රවණයට උපකාර වන ධර්ම කවරේද? කන් නතු කිරීම උපකාර වේ.

කන් නතු කිරීමට උපකාර වන ධර්ම කවරේද? ඇසුරු කිරීම උපකාර වේ.

ඇසුරු කිරීමට උපකාර වන ධර්ම කවරේද? පෙළඹවීම උපකාර වේ.

පෙළඹවීමට උපකාර වන ධර්ම කවරේද? ශ්‍රද්ධාව උපකාර වේ.

සත්පුරුෂයන් ශ්‍රද්ධාව උපකාර කරගෙන කලණ මිතුරන් සත් පුරුෂයන් ඇසුරු කෙරේ. අභි. ධ. ප්‍රදීපිකාව.

ශ්‍රද්ධාව ඇති වීමට
සීල සමාදන්ව ශික්‍ෂාපදවල හික්‌මීම, බහුශ්‍රැත වී නම් සුප්‍රතිවිද්ධ වීම, (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) කලණ මිතුරන් ඇතියේ කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වීම. සුවචභාවය ඇති කර ධර්මයන්ගෙන් සමන්වාගත වූයේ අනුශාසනාව පිළිගෙන සුවචයෙක්‌ වීම, කාර්යයන්හි අනලස්‌ව, සංවිධානය කිරීම දක්‍ෂ වූයෙක්‌ වීම.
අනගාරික සම්‍යක්‌ බ්‍රහ්මචාරී,
දයාසේන සේනාරත්න

මඟඵල ලැබිය යුතු නම් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව

වල්පොල ගෝතම හිමි

සත්‍යය යනු කිසිදු රටකට,සමාජයකට, ජාතියකට හෝ ආගමකට අයත් වන්නක් නොවේ. එය සැමට පොදු දෙයක්. බුදු දහමෙහි ඉගැන්වෙන චතුරාර්ය සත්‍යය ද බෞද්ධයන්ට පමණක් ආවේණික උරුම වූ දෙයක් නොවේ. එය සැමට පොදු ධර්මතාවක්. දුක, තණ්හාව, නිවන හා මධ්‍යම ප්‍රතිපදාව යන මේ කාරණා හතර දෙස විමසුමෙන් බැලීමට පිළිගැනීමට අවශ්‍ය වන්නේ නුවණ පමණ යි.
ඔබට මඟඵල ලැබිය යුතුනම් ඔබ සොයන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියා. එය දැනගන්න දැනගන්න ඔබට මේ ජීවිතය පිළිබඳව පවතින අවිද්‍යාවෙන් මිදෙන්න පුලුවන්. මේ නිවන් මඟේ මුලින් සොයන්න ඕන මොකක්ද කියා සිතෙනවානම් ඔබ සොයන්න සලායතන කියන්නේ මොකක්ද? නිවන් මඟට මුලින්ම කළයුත්තේ මොකක්ද?, ධාතු, පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද? කියා. ධර්මයට අනුකූලව දේශනා ඇසුරු කර මේ විද්‍යාව පහළ වන ආකාරයට ධර්මය තේරුම් ගන්න. මෙසේ ධර්මය තේරුම් ගනිද්දි ඔබ තුළ වැඩෙන්නේ සම්මාදිට්ඨිය යි. බුදුරජාණන් වහන්සේ වදාළා ඇස අනිත්‍යය බව යමෙකුට අවබෝධ වෙනවානම් ඔහුට තිබෙන්නේ සම්මා දිට්ඨිය යි. කන අනිත්‍ය බව අවබෝධ වෙනවානම් ඔහුට තිබෙන්නේ සම්මා දිට්ඨිය යි. ඒ ආකාරයට ආයතන, පංච උපාධානස්කන්ධය, ධාතු ගැන අවබෝධ වෙන්න වෙන්න ඔහුට සම්මා දිට්ඨිය වැඩෙනවා. සම්මා දිට්ඨිය වැඩෙන විට සක්කාය දිට්ඨිය නැතිවෙනවා. 
බුදුරජාණන් වහන්සේ ගද්දුලබද්ධ සූත්‍ර දේශනාවේදී උපමාවකින් වදාළා සක්කායදිට්ඨිය පිළිබඳව. කණුවකට බලු පැටියෙක් ගැට ගසා තිබෙනවා. මේ බලු පැටියා ගැටගසා තිබෙන තාක්, දම්වැලට බැඳී සිටින තාක් මේ බලු පැටියාට පෙනෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒ බලු පැටියා දකින්නේ ඒ බලුපැටියා ඇසුරු කරන්නේ ලගින්නේ සීමිත ප්‍රමාණයක. ඒ දම්වැල තිබෙන නිසයි ඒ සියලුම සීමා හැදී තිබෙන්නේ. දම්වැල කැඩුනානම් බල්ලාට සීමා රහිතව ඇවිදින්න පුලුවන්. සීමා රහිතව දේවල් දකින්න, සීමා රහිතව තමාට කැමැති තැනක ලගින්න පුලුවන්. එහෙනම් මේ සක්කාය දිට්ඨිය කියන්නේ දම්වැල වගේ දෙයක්. ඒ පැටියා වගේ මේ සසරේදී දම්වැලට බැඳිලා අප සීමා සහිතව පේන දේවල්වල ගැන, ඇසෙන දේ ගැන සීමා සහිතව හිතන්නේ. ඒ සීමා සහිතව හිතන නිසාමයි ඇලෙන්නේ ගැටෙන්නේ.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළට ආ ශ්‍රාවකයා මුලින්ම කරන්නේ සම්මාදිට්ඨිය ඇතිකර ගන්නා කාරණාම යි. මේ නිවන් මඟට මුල්වී තිබෙන්නේ සම්මාදිට්ඨිය යි. සම්මාදිට්ඨිය ඇතිවුණාට පස්සෙයි ඔහු සියල්ල කරන්න ඕන. උදාහරණයක් ලෙස සිතන්න, යම් කෙනෙක් නිවන අරමුණු කරගෙන භාවනා කරනවානම් ඔහු භාවනාව පටන් ගන්නට පෙර සම්මාදිට්ඨිය ඇතිකර ගන්නා ආකාරයට නුවණින් විමසලා මේ ධර්ම කරුණු කෙරෙහි අවබෝධයක් ඇතිකර ගන්න ඕන. පංචඋපාධානස්කන්ධය ආදී දේ පිළිබඳව නිවැරදිව අවබෝධයක් ඇතිකර ගෙන දෘෂ්ඨි පිරිසුදු කර ගැනීම තුළින් ඔහුට භාවනාව තුළින් වඩාත් සාර්ථක වෙන්න පුලුවන්. අප භාවනා කළා කියා සම්මාදිට්ඨිය ඇතිවෙලා නැත්නම්, සක්කායදිට්ඨිය නැතිවෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය මුල්වෙලා භාවනා කරනවිට ලොකු වෙනසක් තිබෙනවා. ආත්ම දෘෂ්ඨියක් ගොඩනැගෙන්නේ නැහැ. ඔබ හිතන්න, අසුභ භාවනාව ලෙස තමාගේ ශරීරයේ තිබෙන කෙස්, ලොම්, නිය, දත්, සම පිළිකුªල් පිළිකුල් කියා මෙනෙහි කරනවා. නමුත් සම්මාදිට්ඨිය වැඩුණු ශ්‍රාවකයා දන්නවා අසුභ වශයෙන් විමසන විට මේ කය ගැන දැනගන්නේ ආයතන වශයෙන් හට ගත්ත නිසා බව. මොහොතක් මොහොතක් පාසා මේ ඇස හටගන්නේ හේතුන් රාශියක් නිසා. මොහොතක් මොහොතක් පාසා කන හට ගන්නේ හේතු රාශියක් නිසා. මනස මුල් කරගෙනයි හැම තිස්සේම ඇස හට ගන්නේ. මනස මුල් කරගෙනයි කන, නාසය, දිව, කය ආදිය හට ගන්නේ. ඒ මනස මුල්කරගෙන හට ගන්නා ඇස තුළින් තමයි අප කය දකින්නේ.
ලෝකයේ දකින දේ ඕන තරම් තිබෙනවා. තමාගෙන් බාහිරව තිබෙන ඒ දකින දේ අතර හැම දෙයක්ම බාහිරින් දකින දේ. නමුත් තමා යැයි සලකන මේ කයේ තිබෙනවා අභ්‍යන්තරව දකින දේ. උදාහරණයකට – මම, මගේ අත දෙස බලනවිට මේ අත මට තමා යයි සලකන රූපයක්. තව කෙනෙකුගේ අතක් මගෙන් බාහිරව සලකන රූපයක් මට. මම තමා යැයි සලකන රූපයත්, තමාගෙන් බාහිරව සලකන රූපයත් දෙකම දැක්කේ ඇසින්. ඇසක් ඒ මොහොතේ හට ගත් නිසායි මම රූපය දැක්කේ. සමහර වෙලාවට මගේ අත ඇසට පේනවා. අත පේන තැනට මම වටාපතක් ළං කළොත් ඇස් දෙක ඉදිරියේ ඒ දෙකම තිබෙනවා. මේ ඇස අභියස අත හා වටාපත දෙකම තිබෙද්දී මම බලන්නේ වටාපත දෙස. එවිට මගේ මනස සම්පූර්ණයෙන්ම යොමු වන්නේ වටාපතට. එසේනම් ඇස හටගත්තේ වටාපත මුල්කරගෙනයි. වටාපත මුල්කරගෙන ඇස හට ගනිද්දී අත ගැන අදහසක් ආවේ නැහැ. නමුත් අත එතැනම තිබෙනවා. ඒත් අත දැනගත්තේ නැහැ. අත දැන ගත්තේ නැතුව අත ගැන අදහසක් මනසට ගියේ නැහැ. ඒ කුමක් නිසාද, අත මුල් කරගෙන ඇස හට ගත්තේ නැති නිසා. ඒ වෙලාවේදී අතත්, වටාපතත් දෙකම එකළඟ තිබුණට බාහිර දේට ඇසත්, මනසත් යොමුවුණා. අභ්‍යන්තරව තමා යැයි සලකන අතටවත් මනස යොමු වුණේ නැහැ. මේ කයේ කෙතරම් දකින දේ තිබුණත් තමන් යයි සලකන මේ කය දෙස කණ්ණාඩියකින් හෝ වේවා සාමාන්‍ය ස්වරූපයෙන් හෝ වේවා මගේ මේ ඇස, කන, නාසය, මගේ කෙස්, මගේ ලොම්, මගේ සම, මගේ දත් ලෙස මොන දේ දැක්කත් දකිනවානම් දැකිය යුත්තේ ඇසෙන්. ඇස හට ගත්තේ මනස මුල් වුණොත් පමණයි. එසේනම් කයට කලින් ඇස දැන ගත්තේ මනස නිසයි. මනස මුල්වෙලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මනස මුල්වෙලා ඇස හටගත්තොත් පමණයි පේන දේ මුල්වෙලා කය ගැන අදහසක් ගන්නේ. ඒ වගේම යි ඇසෙන දේත්. සම්මාදිට්ඨිය ඇතිවුණාම මෙය තේරුම් යනවා. කණත් සතරමහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරය ඇසට පෙනෙනවා වගේම කනට ඇසෙන ස්වභාවයකින් යුක්තයි. තමා යැයි සලකන කය මුල්කරගෙන මා කථා කරනවා. එවිට මේ කයෙන් ශබ්ද පිටවෙනවා. තව තව ආකාරයට මේ කයෙන් ශබ්ද පිටවෙනවා. අපට සමහර වෙලාවට මේ කයේ ඉක්කා ඈනුම් යනවා. වාතය උගුරෙන් පිටවෙනවා. වාතය පහළින් පිටවෙනකොටත් ශබ්දය පිට වෙනවා. සමහර විට බඩේ ආහාරය දිරවන විට ගුරු ගුරු වගේ බඩේ ශබ්ද ඇසෙනවා. ඒ හැම එකක්ම කය මුල්කරගත් ශබ්ද. කයේ ශබ්ද තිබුණත් ඒකත් දැනගන්නේ මනස මුල්වෙලා. කණ හට ගත්තොත් පමණයි තමාගේ කයේ ශබ්දත් හට ගන්නේ. අප හිතමු තමාගේ බඩේ ගුරු ගුරු කියා ශබ්දයක් හට ගන්නවා කියා. ඒ ශබ්දය ඇසෙන වෙලාවේ ඔහු තමා කැමැති ගායකයෙකුගේ සිංදුවක් අසමින් ඉන්නවා. සිංදුවට, ශබ්දයට සම්පූර්ණයෙන්ම මනස මුල්වෙලා තිබෙන්නේ. දැන් ඔහු දැනගන්නේ ඒ සිංදුවයි. තමන්ගේ කයේ ඇසෙන ශබ්දයවත් දැන ගත්තේ නැත්තේ මනස සම්පූර්ණයෙන් ගීතයට යොමුවෙලා නිසා. එසේනම් කය මුල්වෙලා තිබෙන ශබ්දයත් වුවත් දැන ගන්න මනස ඕනම යි. නාසයට දැනෙන ගඳ සුවඳ දැනගන්නත් නාසය මනස මුල්කරගෙන හට ගත්තොත් පමණයි. ඒ වෙලාවේ තමාගේ කයෙන් දැනෙන ගඳ සුවඳට වඩා බාහිරෙන් ප්‍රබල ගඳ සුවඳක් එනවානම් තමාගේ කයට මනස යොමුවෙන්නේ නැහැ. ඒ වෙලාවේ මනසට අරමුණු වන්නේ බාහිරරෙන් එන ගඳ සුවඳ. දිවට දැනෙන රස ගැන දැනගත්තේ ඔහු දැනගන්නේ මනස යොමුවෙලාම යි. කයට දැනෙන පහස දැන ගන්නෙත් මනස මුල්වෙලාම යි. ඔබ සිතන්න අප ඇවිදගෙන යනවා විශාල රස්නයක් තිබෙන පාරක. ඒ වෙලාවට අපට කය රස්නේ සහිත පොලොවේ අඩි තබා යනවිට දැඩි කටුක පහසක් දැනෙනවා. එය අප දැන ගන්නවා. ඒ සමඟම යම් සුළඟක් හමනවා. නමුත් කයට රස්නය දැනුන නිසා එයයි මනසේ වැඩ කරන්නේ. එවිට සුළඟ දැනගන්නේ නැහැ. තවත් පහසක් කයට දැනුනට මනස මුල්වෙන්නේ නැති නිසා එය දැන ගන්නේ නැහැ.
අපේ මනස කයේ පේන දේවලට යොමුවෙලා නැත්නම් කයේ පේන දේ ගැන, කයේ ඇසෙන දේ ගැන, කයේ දැනෙන දේ ගැන, කය ගැන හිතෙන දේ ගැන මනස යොමු වන්නේ නැහැ, මේ මනස මුල්වුණා කියන්නේ මොහොතක් මොහොතක් පාසා වෙනස්වන මනසේ තමයි සම්පූර්ණයෙන්ම කය ගැන ලෝකයක් ලෙස සකස් වී තිබෙන්නේ. නැත්නම් මේ කය සාමාන්‍ය රූප හා සමානවම සාමාන්‍ය සතරමහ ධාතු හා සමානවම පවතින දෙයක්. සම්මාදිට්ඨිය වැඩුණ ශ්‍රාවකයා දන්නවා ආයතන වශයෙන් මනස මුල්වෙලා ඇසක් හට ගත්තොත් තමා කය ගැන පේන්නේ. කනක් හට ගත්විටයි කන ගැන පෙනෙන්නේ. කය ගැන ඇසෙන්නේ. ආයතන වශයෙන් කය වුනත් හට ගන්නවා මනස මුල්වෙලා. එවිටයි අරමුණු ලෙස දැනගන්නේ. මෙසේ මනසින් දැනගන්න කය ඔහු ආත්මයක් ලෙස ගන්නේ නැහැ. . එය වටහා නොගෙන කොතරම් අසුභ භාවනාවක් ලෙස සිතන්න ගියත් එය ආත්මයක් ලෙස තමා යයි සලකන කයක් ගැනමයි අරමුණු කර ගන්නේ. තමා යැයි සලකන කය අසුභයි. ඒ කය පිළිකුල් කියන ආත්ම දෘෂ්ඨියට යනවා. එවිට ඒ අනවබෝධය කඩන්නනම් මා මේ කියපු අවබෝධය වැඩෙන ආකාරයට සම්මා දිට්ඨිය වැඩෙන ආකාරයට නුවණින් විමසන්න ඕන. සම්මා දිට්ඨිය වඩන්න කියා දෙන ධර්මය සොයන්න. සම්මාදිට්ටිය වැඩෙන ධර්මය සොය සොයා ධර්මය තේරුම් ගන්න උත්සහා ගන්න. එයයි බුද්ධ ශාසනය තුළ මුලින්ම කළයුත්තේ. එවිට සක්කායදිට්ඨිය නැතිවෙලා සම්මාදිට්ඨිය ඇතිවෙනවා.
එනිසා ඔබ බුදුරජාණන් වහ්නසේගේ ශාසනය තුළ කළයුත්තේ මූලික දේ ලෙස අවබෝධය වැඩෙන එකට මූලික තැන දෙන්න. එසේ නැතිව මුලින්ම තණ්හාව නැති කරන්න මහන්සි ගත යුතු නැහැ. එය ඉබේ සිදුවෙනවා. එසේ සිදුවන්නේ අවබෝධය ඇතිකර ගත්තට පස්සේ. ඔබට මේ කය පරිහරණයේ දී අවබෝධයක් ඇතිවුණා නම් එදිනට ප්‍රශ්නය අඩුවෙනවා. සැනසිල්ල උදාවෙනවා.
බොහෝ දෙනා අපෙන් විමසනවා ස්වාමිනි, අප අහන ධර්මය අපට මතක හිටින්නේ නැහැ කියා. එයට බොහෝ විට කර්ම ශක්තියත් බලපානවා. ඉන්ද්‍රියන් මෝරා ගොස් ස්නායු දුර්වලවීමත් බලපානවා. සමහර කාරණාවලදී මනසේ බොහෝ වැඩකට නැතිදේ හිත හිතාගෙන සිටින පුද්ගලයාට මනෝ විඤ්ඤාණය නැඹුරු වෙන්නේ නැහැ. කනේ විඤ්ඤාණයට මේ දැන් අසන දේ දැන් මතක නැහැ. හේතුව කනේ විඤ්ඤාණය හරියට දැනගන්නේ නැහැ. දැනගත්තානම් මනෝ විඤ්ඤාණය දැන ගන්නවා. මනෝ විඤ්ඤාණය දැනගන්නේ නැත්නම් මතක හිටින්නේ නැහැ. එසේනම් කන යොමාගෙන අහන්න කියන්නේ ඒකයි. කන යොමාගෙන අහනකොට කනේ විඤ්ඤාණය දේශනාවටම යොමු වෙනවා. එවිට මනසින් දැන ගැනීමක් එනවා. ඒ මනෝ විඤ්ඤාණය නැඹුරුවෙලා තිබෙනවා කනේ විඤ්ඤාණයට. ඔබ එහෙනම් මෙසේ ධර්මයන් දැන ගනිද්දී කනින් විතරක් නැතුව මනසිනුත් දැන ගැනීමේ ක්‍රමය කන් යොමාගෙන අහන එකයි. කන් යොමාගෙන අහනවිට මනෝ විඤ්ඤාණයට නැඹුරුවෙලා දොරටුවක් වෙලා, පුරුදුවෙලා එකට හැසිරී තිබෙන නිසා මන සිනුත් එය දැන ගන්නවා. මනසින් දැන ගත්තාම එය මතක හිටිනවා.
එසේනම් මේ ක්‍රියාවලිය ගැන ඉන් එහාට කොහොමද මිළිදු රජු විමසාගන්න උත්සාහ කළේ. රජතුමා අසනවා ස්වාමිනි, දැන් ඔබවහන්සේ වදාළා චක්ඛු විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය නැඹුරුවෙලා කියා. කොහොමද ස්වාමිනි නැඹුරුවෙලා කියන්නේ කියා අහනවා. එහෙම නැඹුරුවෙලා තිබෙන කරණාව අපූරුවට නාගසේන මහ රහතන් වහන්සේ මෙසේ උපමාවකින් විස්තර කළා. වැස්සක් වහිනවිට බිමට වැටෙන වැහි වතුර එතැන තිබෙන පහත් බිමට ගලාගෙන යන්නේ. බැස්මට තිබෙන පැත්තට තමා ගලාගෙන යන්නේ. නැවතත් යම් වෙලාවක වහිනවිටත් අර බැස්ම තිබෙන පැත්තටමයි ඒ වතාවටත් වැහි වතුර ගලන්නේ නේද කියා ඇසුවා. රජතුමා කියනවා එසේය ස්වාමිනි, එවිට නාගසේන හිමියන් වදාළා රජතුමනි, පළමුවැනි වැස්සේ වතුර දෙවන වැස්සේ වතුරට අණක් දුන්නද මම මේ පැත්තෙන් බහිනවා නුඹත් මේ පැත්තෙන්ම බහින්න කියා. නැහැ කිවුවා. දෙවැනි වැස්සේ වතුර පළමු වතුරේ වැස්සට අණක් දුන්නද නුඹ ඒ පැත්තෙන්ම බහින්න, මමත් ඒ පැත්තෙන්ම බහින්නම් කියා. එහෙමත් නැහැ ස්වාමිනි කියා කිවුවා. එහෙමනම් මෙතැන බැස්මේ ප්‍රශ්නයක් වෙලා නැහැ. වෙලා තිබෙන්නේ ඒ අය තමාට හිතෙන ආකාරයට ඔහේ පැති වලට ගියෙත් නැහැ. හේතු සකස්වෙලා තිබෙන ආකාරයට කොයි පැත්තද ඒ පැත්තට ගියා. බැස්ම තිබෙන්නේ, පහත් බිම තිබෙන්නේ කොයි පැත්තට නැඹුරුවෙලා ද, ඒ නැඹුරුවෙලා තිබෙන පැත්තට ගියා. චක්ඛු විඤ්ඤාණය මනසට නැඹුරුවෙලා තිබෙන නිසා චක්ඛු විඤ්ඤාණය හට ගත්ත ගමන් මනෝ විඤ්ඤාණය හට ගන්නවා. ඒ අතර කිසිම කතාවක් වෙලා නැහැ. හේතු සකස් වූ ආකාර-යට හට ගත්තා. එහෙනම් මනසේ විඤ්ඤාණය සසර පුරා නැඹුරු වෙලා ඇවිල්ලා චක්ඛු විඤ්ඤාණය හට ගත්ත ගමන් හට ගන්නවා. ඒකයි මේ සිදුවෙන්නේ. වැහි වතුර උපමා කරගෙන නැඹුරු වූ අයුරු පෙන්වා දී ප්‍රශ්නය විසඳුවා.
මිළිඳු රජතුමා නැවත අහනවා ස්වාමිනි, ඒ වගේම ඔබ වහන්සේ වදාළ චක්ඛු විඤ්ඤාණය මනෝ විඤ්ඤාණයේ දොරටුවක් වෙලා තිබෙනවා කියා. කොහොමද ස්වාමිනි මේ දොරටුවක් වූ බව අප තේරුම් ගන්නේ. එයත් උපමාවකින් වදාළා. රජතුමනි, යම් සුවිශේෂි ස්ථාන එකතු වූ ප්‍රධාන නගරයක් තිබෙනවා. ඒ නගරය වටකරලා ලොකු ආරක්ෂක පවුරක් තිබෙනවා. ඒ පවුරට එකම එක දොරටුවයි තිබෙන්නේ. ඒ දොරටුවෙන් පමණයි නගරයේ වැසියන් ඇතුලු වෙන්නෙත්, පිට වෙන්නෙත් නාගසේන හිමියන් අහනවා රජතුමනි, මේ නගරයට කෙනෙක් ඇතුළු වෙන්න එනවිට මේ පුද්ගලයාට ඇතුලුවීමට තිබෙන්නේ මේ දොරටුවෙන්ම ද? එහෙමයි ස්වාමිනි, කියා කිවුවා. ඊටපස්සේ නාගසෙන් හිමියන් වදාළා රජතුමනි, තවත් පැත්තකින් තව කෙනෙක් මේ නගරයට ඇතුලුවීමට එනවා. ඔහුට ඇතුලු වෙන්න තිබෙන්නෙත් මේ දොරටුවයි. මේ දෙදෙනා එකම දොරටුවෙන් ඇතුලු වුණා. මෙහිදී පළමු පුද්ගලයා දෙවැනි පුද්ගලයාට අණක් දුන්නාද මම මේ දොරටු-වෙන් ඇතුලුවෙනවා. ඔබත් මේ දොරටුවෙන්ම ඇතුලුවෙන්න කියලා. එහෙම අණක් දුන්නේ නැහැ. දෙවැනි පුද්ගලයා පළමු පුද්ගලයාට අණක් දුන්නාද නුඹ ඉස්සරවෙලා මේ දොරටුවෙන් ඇතුලුවෙන්න මම එනවා පස්සේ කියලා. එහෙම අණක් නැහැ.නමුත් නගරයට ඇතුලුවෙන හැමෝටම හේතු සකස් වෙලා තිබෙන ආකාරයට ඇතුලු වුණා මිසක් අණදීමක් එකතුවෙලා ආවා නොවේ. මේ ආකාරයට රහතන් වහන්සේ වදාළා මේ දොරටුවක් වෙලා තිබෙන්නේ මනෝ විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයටයි. චක්ඛු විඤ්ඤාණය දොරටුවක් වෙලා තිබෙන නිසා චක්ඛු විඤ්ඤාණය හට ගන්නා විට මනෝ විඤ්ඤාණය හට ගන්නවා. ඒ දොරටුව පමණයි තිබෙන්නේ චක්ඛු විඤ්ඤාණයට හට ගන්න. වෙන එකක් නැහැ. නැඹුරු වූ හැටිත්, දොරටුවක් වූ හැටිත් මෙසේ විස්තර කළා.ඊළඟට මිළිඳු රජු නාගසේන ස්වාමින් වහන්සේගෙන් අසනවා, ස්වාමිනි ඔබවහන්සේ වදාළා චක්ඛු විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය නිතරම පුරුදුවෙලා තිබෙනවා කියා. කොහොමද පුරුදුවෙලා තිබෙන්නේ කියා ඇසුවා. එවිට රහතන් වහන්සේ වදාළා රජතුමනි, පළමු ගැල-ක් යනවිට දෙවැනි ගැලත් ඒ පස්සෙන් යනවා. පළමු ගැල අණක් දෙන්නේ නැහැ මම එන්නම් ඉදිරියෙන් නුඹ පස්සෙන් එන්න කියා. දෙවැනි ගැල අණ දුන්නෙත් නැහැ මම එන්නම් පස්සෙන් ඔබ ඉදිරියෙන් යන්න කියා. ඒ ගැල්වලින් කළ දේ අද පොදු ප්‍රවාහනයක් ලෙස බස්වලින් ලොරිවලින් කරනවා. බඩු ඇදීම හා මිනිසුන් ප්‍රවාහනයයි ගැල්වලින් කළේ. අද කාලය දෙස බලා අප උදාහරණයක් සිතුවොත් මොරටුව කොළඹ කියලා බස් එකක් තිබෙනවා කියා සිතන්න. ඒ බස්එකට නිශ්චිතව යාමට පාරක් තිබෙනවා. උදේට ඒ බස්එක මොරටුවේ සිට කොළඹටට යනවා. ඊළඟට තව බස්එකක් නැවත වතාවක් කොළඹ සිට මොරටුවට යනවා. ඒ දෙවැනි බස්එක කොළඹට ඒ පාරින්ම ගියේ පළමු බස්එකට අණක් දීලාද මම එන පාරින්ම ඔබත් එන්න කියා. එසේ අණක් දී නොවේ. දෙවැනි බස් එක අණක් දුන්නෙත් නැහැ ඔබ පළමුව යන්න මම පිටුපසින් එනවා කියා. පුරුද්දට ගියා. පළමු ගැල යන පුරුද්දට දෙවැනි ගැලත් එනවා වගේ චක්ඛු විඤ්ඤාණය හට ගත්තා. එයත් සමඟ ඇවිත් පුරුදුයි මනෝ විඤ්ඤාණයට. එයත් ඒ පස්සේම එනවා. එහෙනම් නිතරම තිබෙනවා ඒ අය අතර චක්ඛු විඤ්ඤාණය සමඟ මනෝ විඤ්ඤාණය ඇවිත් පුරුදුයි. සෝත විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය සමඟ ඇවිත් පුරුදුයි. ඒ පුරුද්ද තමා සසරේ දිගට යන්නේ. එහෙනම් මනෝ විඤ්ඤාණය චක්ඛු , සෝත, ඝාන, ජිව්හා, කාය කියන විඤ්ඤාණයන් සමඟ සසරේ හොඳට පුරුදු වෙලා තිබෙන්නේ. නැවත අලුතින් පුරුදු වෙන්න දෙයක් නැහැ.
ඒ වගේම හතරවැනි කාරණය එකට හැසිරෙනවා. එයත් උපමාවකින් කියන්න රජතුමා ඉල්ලා සිටියා ස්වාමින්වහන්සේ වදාළා රජතුමනි, යම් කෙනෙක් රැකියාවකට ගියාම හෝ නොදන්නා දෙයක් කරන්න ගියාම මුල් කාලයේදී වරදිනවා. නමුත් පස්සේ පස්සේ එය නිවැරැදි වෙනවා. ඒ වගේ හැසිරීමත් සමඟ එය හුරු වෙනවා. අප දන්නවා බස් රථයක කොන්දොස්තර මහත්මයෙකු ගණන් හදද්දී කැල්කුරේටරයකින් හෝ ගැන ගැන හෝ ගණන් හදන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන් මනසින් තමා ගණන් හදන්නේ. මුල් කාලයේදී එය වරදින්න පුලුවන්. නමුත් කලක් පුරුදු කරන කොට කිසිම වැරැද්දක් නැතුව මනසින් ගණන් එකතු කරන්න හොඳට පුරුදු වෙනවා. ඒ කෙරෙහිම හැසිරිලා හැසිරිලා එය හුරු වෙනවා. ඒ වගේ මනෝ විඤ්ඤාණය හැසිරිලා හැසිරිලා හුරුවෙලා තිබෙනවා.ඒ නිසා මේ මනසේ විඤ්ඤාණය අනෙකුත් විඤ්ඤාණයන් සමඟ හට ගන්නා ආකාරය ඔබ දැනගත්තා. මේ කාරණා ටික නිතර නිතර හුරුකරලා විමසලා තේරුම් ගන්න අවබෝධ කර ගන්න උත්සහ ගන්න. එයට ඔබට ශක්තිය, නුවණ පහළ වේවා
නයනා නිල්මිණි

අනාගතවංස දේශනාවෙන්...

ගෞතම බුදුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට අනාගතවංස දේශනාවේ දී කළ පැහැදිලි කිරීමකි මේ.

මේ ගෞතම බුද්ධ ශාසනය කාලයක් යනකොට අධර්මය බහුල වීම නිසා පිරිහෙන්නට පටන් ගන්නවා. එතකොට නිර්මල බුද්ධ ධර්මයත් පිරිහිලා විනාශ වෙන්න පටන්ගන්නවා. එහෙම වෙන්න හේතු හතරක් බලපානවා.
1. රත්තඤ්ඤු මහත්තතා
2. වේපුල්ල මහත්තතා
3. ලාභග්ග මහත්තතා
4. බාහුසච්ච මහත්තතා
රත්තඤ්ඤු මහත්තතා කියන්නේ කාලයක් යන කොට අනිත්‍යභාවය සනාථ කරමින් බුද්ධ ශාසනයේ විනාශය ආරම්භ වීමයි. වේපුල්ල මහත්තතා කියන්නේ කාලයක් යනකොට මේ පිරිසිදු බුදුදහම ලෝකයේ හැම තැනකටම විහිදිලා පැතිරිලා ගිහිල්ලා අනෙකුත් ආගම්වල තිබෙන දේව විශ්වාස දේව ඇදිහිලි – නොයෙකුත් විධියේ මතිමතාන්තර එක්ක මිශ්‍ර වෙනවා. එහෙම වුණාම අනාගතයේ ලොව පහළ වෙන ලෝක සත්ත්වයන්ට පිරිසිදු බුදු දහම නිවැරැදිව තෝරා-බේරාගෙන අවබෝධ කරගන්න අපහසු වෙනවා. ලාභග්ග මහත්තතා කියන්නේ කාලයක් යන කොට බුදුදහම ලෝකයේ ප්‍රචලිත වීම නිසා වෙහෙර-විහාරස්ථානවලට, පන්සල්වලට, මහා සංඝරත්නයට අධික ලෙස ධනය ගලාගෙන එන්න පටන්ගන්නවා. එතකොට භික්ෂූන් වහන්සේලාට පැවිදි බව, සාංඝික ක්‍රමය අමතක වෙනවා. බාහුසච්ච මහත්තතා කියන්නේ විද්‍යාවේ දියුණුවත් සමඟම විවිධ ශබ්ද ශාස්ත්‍ර කර්මාන්ත ශිල්පයන්ට ඇබ්බැහි වීම නිසා පිරිසිදු තථාගත ධර්මය පරිහානියට පත් වෙනවා.
මෙන්න මේ හේතු නිසාත් පංච ශීලය තදින්ම කඩ කිරීම නිසාත් මිනිස්සු පාපයටම ඇබ්බැහි වෙනවා. අම්මා, නංගී, දියණිය, පියා, සහෝදරයා කියා හඳුනන්නේ නැහැ. සතුන් වගේ ඔවුනොවුන් කාම සංසර්ගයේ යෙදෙනවා. නිතරම පහළ වන්නේ කාමරාගි සිතිවිලි පමණයි. වැඩිහිටියන්ට ගුරුවරුන්ට දෙමාපියන්ට නොසලකා හරිමින් තිරිසන් සතුන් විධියට හැසිරෙනවා. එහෙම කාලයක් ගත වෙලා යන කොට දැනට තිබෙන පරම ආයුෂ ටිකින් ටික අඩු වෙලා අඩු වෙලා ගිහින් පරම ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. ලෝකයේ සියලු රස අතුරුදන් වෙනවා. කෑම-බීම පලතුරුවල රසත් එන්න එන්නම අඩු වෙලා යනවා. ‘පින්, කුසල්’ කියන වචනයක් වත් අහන්න ලැබෙන්නේ නැහැ.
කරුණාව මෛත්‍රිය දයාව සමාජයෙන් සදහටම මැකිලා ගිහින්, ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව තමයි රජ කරන්නේ. බොරුව හැම තැනකදීම පෙරමුණ ගන්නවා. එතකොට දෙවියන්ගේ බැල්ම නැති වෙලා ගිිහින්, ගහකොළ සතා සිව්පාවාත් විනාශ වෙලා යනවා. මැරෙන අය ක්‍රෝධ සිතින් වෛර සිතින් මැරෙන හින්දා ඒ අය නරකාදියේම උපදිනවා. මේ අතරතුර කෑම–බීම නැතිකමින් මැරෙන අය තුළ ප්‍රේත බැල්ම බහුලවම පවතිනවා. කොටින්ම කියතොත් කෙනෙකුට තව කෙනෙකු දුටු විට මරණ කැමැත්තම පහළ වෙන්නේ පාපයේ බරපතළකම එතරම්ම වැඩි නිසායි. අවි ආයුධ අතිනුත් දියුණු නිසා එකිනෙකා මරාගෙන මැරෙන තත්ත්වයට පත් වීම හින්දා මුළු ලෝකයම විනාශ වෙන්න පටන් ගන්නවා.
මේ විධියට මිනිස් සංහතියේ පිරිහීම හා විනාශ වීමේ උච්චතම අවස්ථාවට පත් වෙන කාලයේදී ‘ලෝක ව්‍යවහාර’ කියන කාමාවචර දෙවි කෙනෙක් අවමඟුල් වේශයකින් මනුෂ්‍ය ලෝකයට ඇවිත් මෙහෙම කියාගෙන යනවා:
උඹලා පව් කරනවා වැඩියි වහාම නවත්වන්න. එයින් මිදිලා පිනට දහමට නැඹුරු වෙන්න. තව දින හතකින් අධික වැස්සක් වහිනවා. කිසිම කෙනෙක් ඒ වැස්සට තෙමෙන්න එපා. යම් කෙනෙක් තෙමුණොත් තෙමුණ කෙනාව අනෙක් කෙනාට පේන්නේ මුවෙක් වගෙයි. එතකොට මුවාව මරන්න ඒ කෙනා පෙලඹවෙනවා. එතකොට දෙන්නම ඇනකොටාගෙන ජීවිතක්ෂයට පත් වෙනවා. තම තමන්ගේ ජීවිත බේරාගන්න වැස්සෙන් ආරක්ෂා වෙලා හිටපල්ලා” කියලා කියමින් ලෝකය වටේටම යනවා.
මේ පණිවිඩය ඇහුණ සමහර අය සති කීපයකට ආහාරපාන සූදානම් කරගෙන ඈත කැලෑවල ගල්ගුහාවල කදුශිඛරවලට ගිහින් හැංගෙනවා. තවත් සමහර අය “ඔය මොන බොරු කථාද? අපි අපේ ජීවිත මේ යන විධියටම ගෙන යමු” කියමින් සුපුරුදු විධියට කාලය ගත කරනවා. දින හත ගිය ගමන් අර කාමාවචර දෙවියන් කියපු විදිහට මෘගසන් වර්ෂාව වහිනවා. තෙමෙන අය එකිනෙකා කපාකොටාගෙන මැරෙනවා.
හැංගුණ අය සති කිහිපයකින් එළියට ඇවිත් බලන කොට මුළු ලෝකයෙම අත-පය කපා කොටාගෙන මැරුණු මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලා අපායක් වගේ පෙනෙන්නේ. දැන් ඉතුරු වෙලා ඉන්න ටික දෙනා එකට එකතු වෙලා කථා කරගන්නවා “අපේ මිනිස්සු පස්පව් කළ නිසා තමයි මෙහෙම වුණේ. ඊට පස්සේ අපි ටිකවත් පස්පව්වලින් ඈත් වෙලා ජීවත් වෙමු.” කියලා යහපත් ජීවිත ගමනක් ආරම්භ කරනවා. මෙන්න මේ විධියට යහපත් ජීවිත ගත කරන කොට අර අවුරුදු 10ක්ව තිබුණ ආයුෂ ක්‍රමක්‍රමයෙන් 20-30-40-50 යනාදි වශයෙන් වැඩිවෙන්න පටන් ගන්නවා. මෙහෙම මිනිසුන් පින් කරන්න පින් කරන්න, ආයුෂත් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ විධියට වැඩි වෙලා වැඩි වෙලා ආයුෂ අවුරුදු 200 දක්වාම වැඩි වෙනවා.
ගෞතම බුද්ධ රාජ්‍යය කාලය අවසන් වී මෘගසන් වර්ෂාවද අවසන් වීමෙන් අනතුරුව ඉතිරි වූ ටික දෙනා යහපත් කල්ක්‍රියාවෙන් යුතු වීම හා කුසලයට නැඹුරු වීම නිසා මිනිසුන්ගේ පරම ආයුෂ කාලයක් යෑමෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. මේ කාලය වන විට බරණැස් නුවර ඇතුළු මුළු ජම්බු ද්වීපයම උණ වනාන්තරයක් බවට පත් වෙලා ජනගහනයෙන් පිරිල ඉතිරිලා යනවා. ගම්නියම්ගම් සමෘද්ධිමත් වෙන්න පටන් ගෙන කාලයක් ගත වෙලා දැන් මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු දහසක් දක්වා වර්ධනය වෙලා. මෙහෙම තවත් බොහෝ කාලයක් ගත වෙන කොට (අවුරුදු දසදහස – තිස් දහස – පනස් දහස විධියට) තව තවත් වැඩි වෙලා වසර අනූ දහසක් දක්වා වර්ධනය වෙනවා. ඒ කාලය වෙනකොට බරණැස් නුවර නමත් වෙනස් වෙලා උත්පල කියන නුවර බවට පත් වෙනවා.
දැන් මිනිස්සු පස්පවින් වැළකිලා ධාර්මිකව ජීවත් වෙනවා. මෙහෙම කාලයක් ගත වෙන කොට ආයුෂ තව තවත් වර්ධනය වෙලා අවුරුදු ලක්ෂයක් බවට පත් වෙනවා. දැන් හොඳටම සශ්‍රීක වෙලා ඉතාම සෞභාග්‍ය සම්පන්නයි. ඒ වෙන කොට මේ උත්පල නගරයේ නමත් වෙනස් වෙලා පදුම නගරය නමින් හඳුන්වනවා.
මෙන්න මේ විධියට කාලය ගත වීගෙන යද්දී තවතවත් පුණ්‍ය ක්‍රියාවල යෙදිලා ඉතාම ධාර්මික විධියට මිනිස්සු ජීවත් වෙනවා. එහෙම වෙන්න වෙන්න ආයුෂත් වර්ධනය වෙලා වයස පරම ආයුෂ අසංඛෙය්‍ය දක්වාම වැඩි වෙනවා. මේ කාලය වෙන කොට පදුම නගරයේ නමත් වෙනස් වෙලා මන්දාර නුවර බවට පත් වෙනවා. ඉතාම ලස්සන නගරයක් බවට පත් වෙලා දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ශරීර ලක්ෂණත් දෙවියන් දෙවඟනත් වගේ රූප සොබාවෙන් යුක්ත වෙලා හරිම ලස්සනයි. හරියටම දිව්‍ය ලෝකයක් වගෙයි. පුදුම විධියේ සතුටකින් තමයි මිනිස්සු ජීවත් වන්නේ. දැන් මිනිස්සු ඉපදුණු දවසක් දන්නේ නෑ; ලෙඩරෝග දකින්න නෑ; ජරාවට පත් වෙනවා දකින්න නැහැ; මරණයට පත් වෙනවා, දුක් වෙනවා දකින්නත් නැහැ. මෙහෙම කාලයක් ගත වෙන කොට මිනිසුන්ගේ සිත්වල කුසල ධර්ම හොඳ සිතිවිලි ටිකෙන් ටික ඈත් වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර උපරිම තත්ත්වයට පත් වුණු පරමආයුෂත් ක්‍රමයෙන් අඩු වෙන්න පටන්ගෙන ආයුෂ ලක්ෂය අනූදහස දක්වා අඩු වෙනවා. මේකට හේතුව තමයි මිනිසා ටිකෙන් ටික පාපයට නැඹුරු වීම.
මේ කාලය වෙන කොට මන්දාර නුවර නමත් වෙනස් වෙලා යොදුන් 12ක් දිග යොදුන් 7ක් පළල සියලු සැපසම්පත්වලින් පිරුණ කේතුමතී කියන පුරවරය බවට පත් වෙලා. මුළු ලෝකයෙන්ම ජම්බු ද්වීපය ඉතාම ලස්සන ඒ වාගේම සශ්‍රීක රටක් බවට පත් වෙනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලොව පහළ වෙන්න සුදුසුම කාලයක් බවට ජම්බු ද්වීපයම පත් වෙලා සැදී පැහැදී බලා සිටිනවා.
දැන් චක්‍රවර්ති කෝලාහලය ඇති වෙන්න පටන්ගෙන ඒ කියන්නේ ලෝක පාලන දේවතාවෝ මිනිස් ලෝකයට ඇවිත් කියනවා තව අවු 100කින් චක්‍රවර්ති රජකෙනෙක් පහළ වෙනවා ඒ රජතුමා දසරාජ ධර්මයෙන් මුළු ලෝකයම පාලනය කරනවා. එහෙම කියාගෙන යෑමට කියනවා ‘චක්‍රවර්ති කෝලාහලය’ කියලා. දෙවිවරු ප්‍රකාශ කරපු ඒ චක්‍රවර්ති රජ්ජුරුවන්ව දැක බලාගන්න බොහෝ මිනිස්සු ඉතා ආශාවෙන් බලා සිටිනවා. කාලයත් සමඟම සංඛ කියන චක්‍රවර්ති රජ්ජුරුවෝ ලොවට පහළ වෙනවා.
මේ කේතුමතී රාජධානියේ රජ කරන සංඛ කියන චක්‍රවර්ති රජතුමාට වාසය කරන්න පහළ වෙනවා පෙර කරන ලද මහා කුසලානුභාවය නිසා දිව්‍ය මාලිගාවක් බඳු රත්නමය ප්‍රසාදයක්. ඒ ප්‍රසාදය සත්රුවනින් විසිතුරු වුණු මුතු පබළු රන් රිදී මැණික්වලින් සමන්විතයි. උත්තම සත්ත්වයන්ට පහළ වන දැකුම්කලු මන්දිරයක් නිසා බලන්නෙකුට ඇස් අදහාගැනීමට බැරිතරම් විසිතුරුයි. පෙර භවයකදි මහාපනාද රජතුමා වාසය කළ මන්දිරය තමයි මතුමත්තෙදි සංඛ චක්‍රවර්ති රජතුමාට පහළ වෙන්නේත. මේ රත්නප්‍රසාදය ගැන ඉතාම රසවත් අතීතයක් තිබෙනවා. ඒ ගැනත් දැන් සඳහන් කරන්නම්.
මීට කල්ප ගණනට ඉහතදි බරණැස් නුවර හිටියා කුළුපොතු කර්මාන්තයෙන් ජීවත් වුණු පියෙක් හා පුතෙක්. දවසක් මේ දෙදෙනා රැකියාවට යද්දි නගරයේදී මුණගැසුණා හිමාලයේ ඉඳන් ඍද්ධියෙන් නගරයට ඇවිත් පිණ්ඩපාතයේ යන පසේ බුදුන් වහන්සේ නමක්. මේ දෙන්නා පසේ බුදු හිමියන්ට දානයෙන් සංග්‍රහ කරලා ඇහැව්වා “ඉදිරියට වර්ෂා කාලයක් එනවා, ඔබ වහන්සේ වඩින්නේ කොහාටද? ඔබ වහන්සේ ඉන්නේ කොහෙද?” කියලා උන්වහන්සේ කීවා “මමත් මේ ඉන්න තැනක් සොයමිනුයි යන්නේ” කියලා. ඊට පස්සේ මේ පියපුතු දෙන්නා එකතු වෙලා දිඹුල් ලී උණ ලී සිටුවලා, මැටිගහලා, වහලට තණකොළ දාලා කුඩා කුටියක් හදලා පූජා කළා. වස් සමාදන් කරවලා වස් තුන් මාසේම තාත්තයි පුතයි මේ පසේ බුදු හිමියන්ට සිව්පසයෙන් සංග්‍රහ කළා. අන්න ඒ කුසලකර්ම ආනිසංසයේ මහිමයෙන් මේ දෙන්නා මරණින් මත්තේ දිව්‍යලෝක හයේම අනුලෝම–ප්‍රතිලෝම වශයෙන් දිව්‍ය සැප සම්පත් වින්දා.
මෙහෙම දිව්‍යසැප වින්ද පියතුමා මහාපනාද කුමාරයා නමින් පස්සේ කාලෙක මනුෂ්‍ය ලෝකයේ ඉපදුණා. ඉතින් මේ කුමාරයා තරුණ වයස පැමිණිලා ශිල්ප ශාස්ත්‍රයත් හදාරලා අවසන් වුණාම පියරජතුමා ඇමතිවරුන්ට කීවා කුමාරයාට වාසය කරන්න සුදුසු බිමක් සොයලා මාළිගාවක් හදන්න කියලා. ඒ මොහොතේදී පෙර ආත්ම භවයකට පසේ බුදු පියාණන්ට සංග්‍රහ කිරීමේ කුසලමහිමයේ ආනිසංස බලයෙන් ශක්‍රදේවේන්ද්‍රයාගේ අණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මාණය කරපු මේ රත්නමය මහල් ප්‍රාසාදය ඒ මොහොතේදීම පහළ වුණා. යොදුන් විසිපහක් පමණ උසැති මේ මන්දිරයේ තමයි මහාපනාද රජතුමා වාසය කළේ.
මෙහෙම ඉඳලා රජතුමා මරණින් පසුව දිව්‍ය සැප විඳලා නැවතත් ගෞතම බුදු පියාණන් වහන්සේගේ කාලයේදී අඟුරටේ භද්දිය නුවර අසූකෝටියක් ධනය තිබුණ සිටුවරයෙකුගේ පුතෙක් වෙලා ඉපදුණා. මේ කුමාරයාගේ නම භද්දිය කුමාරයා. මේ භද්දිය කුමාරයා දවසක් පිරිවරත් සමඟ බුදු පියාණන් බැහැදකින්න පැමිණිලා බණ අහලා පැහැදිලා භද්දිය ස්ථවිර නමින් පැවිදි උපසම්පදාව ලබා රහත්භාවයට පැමිණුණා. මෙම් විදිහට බුදුපියාණන් වහන්සේ සමඟ අඟුලක නැගිලා ගංගා නම් ගඟෙන් එතෙර වෙන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විධියට ඇහැව්වා “භද්දිය, ඔබ මහාපනාද රජු වෙලා හිටිය කාලේ වාසය කරපු රත්න ප්‍රසාදය දැන් කොහෙද?” කියල. ඒ අවස්ථාවේදී භද්දිය ස්ථවිරයෝ කියනවා ඒ ප්‍රාසාදය මේ ගං පතුලේ ගිලී තිබෙනවා කියලා.
“එහෙනම් භද්දිය, මේ මා සමඟ ඉන්න තෙරුන් වහන්සේලාට පෙන්වන්න” කියලා. ඒ මොහොතේදී භද්දිය ස්ථවිරයෝ බුදු පියාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා අවසර අරගෙන අහසට පැනනැගල දිය දෙබෑ කරලා ප්‍රාසාදයේ කොත් කැරැල්ල පයේ ඇඟිලි මගින් රඳවාගෙන ඔසවා පෙන්නුවා. යොදුන් විසිපහක් පමණ විශාල මන්දිරයක් පෙන්වලා නැවත තිබුණ විධියටම තැම්පත් කළා. භද්දිය මහරහතන් වහන්සේ ආයු කෙළවර සසර දුක හැරලා නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා.
ඒත් කුළුපොතු කර්මාන්තයේ යෙදුණ පුතා තවමත් සදෙව් ලෝකවල අප්‍රමාණ දිව්‍ය සැපසම්පත් විඳිමින් සිටිනවා. මෛත්‍රී බුදුපියාණන් වහන්සේ ලොව පහළ වෙන කාලයේදී කේතුමතී රාජධානියේ සංඛ චක්‍රවර්ති රජු විධියට උපදින්නේ මේ පුතා තමයි. තම පියා මහාපනාද රජු වෙලා හිටපු කාලයේ වාසය කළ ඒ රත්න මහා ප්‍රාසාදය නැවතත් ගංගා නම් ගං පතුලෙන් මතු වී විත් මෛත්‍රීය බුදුපියාණන් දවස කේතුමතී රාජධානියේ පහළ වෙනවා. සංඛ චක්‍රවර්ති රජතුමා වාසය කරන්නේ මෙන්න මෙ රත්න මහා ප්‍රාසාදයේ තමයි. සංඛ චක්‍රවර්ති රජතුමා මෛත්‍රිය බුදුපියාණන් වහන්සේට මෙම රත්න ප්‍රසාදය පූජා කරලා රජතුමාත් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. මෛත්‍රී බුදුපියාණන් වහන්සේ ගඳකිළිය හැටියට වාසය කරන්න තෝරාගන්නේ මෙන්න මේ රත්න ප්‍රාසාදයයි.
පාලිත එස්. හෙට්ටිආරච්චි