දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

තථාගතයන් වහන්සේ සහ කේශී

තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන අයුරු අංගුත්තර චතුෂ්ක නිපාතයේ කේශී සූත්‍රය අනුව කිව යුතුය. දිනක් කේශී නම් අශ්ව දමකයා බුදුරදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ ගත්තේ ය. එකල්හි තථාගතයන් වහන්සේ වාදාරන සේක්, කේශී නුඹ අශ්වයන් පුරුදු කිරිමෙහි ප්‍රසිද්ධ ය. නුඹ අශ්වයන් දමනය කරන්නේ කෙසේ දැ’යි වදාළ සේක. “ස්වාමීනි, මම මෙලෙකින්ද රළුයෙන් ද ඒ දෙකින්ම ද අශ්වයන් දමනය කරමි’යි ඔහු කීය. “කේශී, ඉදින් අශ්වයන් මෙළෙකින්ද රළුයෙන් ද ඒ දෙකින්ම ද කීකරු නොකළ හැකි වී නම් එකල්හි නුඹ කුමක් කරන්නෙහිදැ’යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ඒ තුන් ආකාරයෙන් නොදැමිය හැකි අශ්වයන් අපගේ ඇදුරු පරපුරට අවමානයක් ඇති නොවනු පිණිස මරා දමමි’යි කේශී කීය.
“ස්වාමීනි, භග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී වන සේක. නුඹ වහන්සේ දමනය කළ යුතු පුද්ගලයන් කෙසේ හික්මවන සේක් දැ’යි කේශී විචාළේ ය. “කේශී, මම ද දමනය කළ යුතු පුද්ගලයන් මෙළෙකින් ද හික්මවමි. රළුයෙන් ද හික්මවමි. ඒ දෙකින්ම ද හික්මවමි. මේ කායසුචරිතය ය, මේ කායසුචරිතයේ විපාකය, මේ වාක් සුචරිතය ය, මේ වාක් සුචරිතයේ විපාකය ය, මේ මනෝ සුචරිතය ය, මේ මනෝසුචරිතයේ විපාක ය, සුචරිතයේ විපාක වශයෙන් මිනිස් ලොව උපදනාහ. දෙව්ලොව උපදනාහ. මෙසේ අනුශාසනා කොට පුද්ගලයන් හික්මවීම මාගේ මෙළෙකින් හික්මවීම ය. මේ කාය දුශ්චරිතය ය. මේ කාය දුශ්චරිතයේ විපාකය ය. මේ වාක් දුශ්චරිතය ය. මේ වාක් දුෂ්චරිතයේ විපාකය ය. මේ මනෝදුශ්චරිතය ය. මේ මනෝදුශ්චරිතයේ විපාකය ය. දුශ්චරිතයෙන් නරකයෙහි උපදනාහ, තිරිසන් වන්නාහ. ප්‍රේත වන්නාහ. මෙසේ අනුශාසනය කොට හික්මවිම මාගේ රළුයෙන් හික්මවිම ය. ඒ දෙයාකාරයෙන්ම අනුශාසනය කොට හික්මවිම මාගේ මෙළෙකින් හා රළුයෙන් හික්මවීම ය’යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කේශී “ස්වාමීනි, “දමනය කළ යුත්තෙක් ඒ තුන් ආකාරයෙන් ම නොහික්මේ නම් ඔහුට නුඹ වහන්සේ කුමක් කරන සේක් දැ”යි කීය. තථාගතයන් වහන්සේ වදාරන සේක් “කේශී, දමනය කළ යුතු පුද්ගලයා ඒ තුන් ක්‍රමයන් ම නොහික්මෙන්නේ නම් මම ද ඔහු මරමි යි’යි වදාළ සේක. එකල්හි කේශී, “ස්වාමීනි, නුඹ වහන්සේට ප්‍රණඝාතය ඇකැප ය. එහෙත් නුඔ වහන්සේ මරමියි කියන සේකැ”යි කීය. සැබැව කේශී, තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතනය කැප නැත. යමෙක් මෙළෙකින් අනුශාසනා කිරිමෙන් ද තදින් අනුශාසනා කිරිමෙන් ද, ඒ දෙයාකාරයෙන් ම අනුශාසනා කිරිමෙන් ද නො හික්මේ නම් තථාගතයන් වහන්සේ ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. මගේ නුවණැති ශ්‍රවකයෝ ද ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. කේශී, එසේ අනුශාසනා නොකළ යුත්තකු ලෙස සැලකිම මේ ආර්‍ය්‍යවිනයෙහි මරණයට පැමිණවීමය’යි වදාළ සේක. කේශී තථාගතයන් වහන්සේට ස්තුති කොට තෙරුවන් සරණ ගොස් උපාසකයෙක් වූයේ ය.
බුදුරදුන් විසින් දමනය කරන්නේ පුරුෂයන් පමණක් නො වේ. උන් වහන්සේ ස්ත්‍රීන් ද දමනය කෙරෙති. සරණ ශීලාදියෙහි පිහිටවමින් හික්මවෙති. පුරිසදම්මසාරථී යන මෙහි පුරුෂයන් පමණක් ගෙන තිබෙන්නේ “දමනය කළ යුත්තන් අතර පුරුෂයන් ප්‍රධාන නිසාය’යි කියා තිබේ. එහි පුරිස යන වචනය ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම ගත හැකි පුද්ගලවාචී වචනයක් ද ලෙස සැලකිය හැකි ය. වචනය කෙසේ වුව ද තථාගතයන් වහන්සේ ස්ත්‍රී පුරුෂ සැමදෙන ම දමනය කරන බව කිය යුතු ය.
තථාගතයන් වහන්සේ ගේ පුද්ගල දමනය අංගුලිමාල, නාළාගිරි ආදි ප්‍රචණ්ඩයන් මෙල්ල කිරිම ම නො වේ. උන්වහන්සේ අතින් එවැන්නක් සිදුවන්නේ කළාතුරකිනි. උන්වහන්සේ විසින් බෙහෙවින් කරන, නිතර කරන දමනය නම්, කෙළෙසුන්ට වසඟව මෝහයෙන් මුළා ව මානයෙන් මත් ව සුසිරිතෙන් බැහැරව පව්කම්හි ද පඤ්චකාමයෙහි ද ඇලී අපාය මාර්ගයේ ගමන් ගෙන ඇති, නිවන් මඟට විරුද්ධ මාර්ගයෙහි ගමන් ගෙන ඇති සත්ත්වයන්සරණ ශීලාදීයෙහි පිහිටවා ස්වර්ගමෝක්ෂමාර්ගයන්හි ගමන් කරනවුන් කිරිම ය. අප තථාගතයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් පන්සාළිස් වසක් මුළුල්ලෙහි කළේ එය ය.
අනුන් දමනය කිරිමය, තමාගේ සිත දමනය කර ගැනීමය යන මේ දෙකින් වඩා වැදගත් වන්නේ තමාගේ සන්තානය තමාගේ සිත දමනය කර ගැනිමය. දුෂ්කර දෙයත් එය ය. එබැවින් “අත්තාහි කිර දුද්දමො” යනු වදාරන ලදි. අනුන් දමනය කිරිම සුදුසු වන්නේ තමාගේ සන්තානය - තමාගේ සිත දමනය කරගත් පුද්ගලයා ය. භාග්‍යවතුන් වහන්සේ වනාහි අතිදීර්ඝකාලයක් දානාදි පෙරුම් දහම් සපුරා ඒවායේ බලයෙන් බෝධිමූලයේ වැඩහිඳ සිත නොසන්සුන් කරන, කය වචන දෙක නො සන්සුන් කරන සකළක්ලේශයන් අර්හන්මාර්ගඥනනමැති ගින්නෙන් දවා පියා සර්වාකාරයෙන් පාරිශුද්ධත්වයට පැමිණ තමන් වහන්සේගේ සන්තානය දමනය කර ගත් සේක. ලෝකයේ කොපමණ බලවතකු සෘඬිමතකු වුව ද දමනයට සමත් වන ඥාණබල සෘඬිබල ලබා ගත් සේක. එබැවින් උන්වහන්සේ අන්‍යයන් දමනය කිරිමට අතිශයින් සුදුසු වු සේක. ඒ භාග්‍යයවතුන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණ වැඩ විසු පන්සාළිස් වස් කාලය තුළ අපමණ සත්වයන් දමනය කළහ.
උන් වහන්සේ ලොව්තුරා බුදුබවට පැමිණ සත්සතියක් ඉක්මගිය පසු සහම්පති බ්‍රාහ්මරාජයා පැමිණ “දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතෝ ධම්මං” යි දහම් දෙසුමට අරාධනා කළ පසු බරණැස ඉසිපතනයට වැඩ වඳාරා එහිදි කරන ලද ප්‍රථම ධර්ම දේශනයෙන් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන් ඇතුළු අටලොස් කෝටියක් බ්‍රහ්මයෝ ධර්මචක්ෂුස ලැබ දමිත වුහ. මේ ධර්මදේශනය කළේ ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනයේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ අවපෑළවිය දිනයේ ආයුෂ්මත් වප්ප ස්ථවීරයන් වහන්සේට අවවාද කොට ධර්මචක්ෂුස ලබා දී සෝවහන් ඵලයට පැමිණ වූ සේක. එසේම දෙවන දිනයෙහි භද්දිය තවුසන්ට ද තුන්වන දිනයෙහි මහානාම තවුසන්ට ද සතරවන දිනයෙහි අස්සජි තවුසන්ටද අවවාද කොට ධර්ම චක්ෂුස ලබා දී ඔවුන් දමනය කළ සේක. පුද්ගලයකුගේ දමනය අවසන් වන්නේ අර්හත්වයෙනි. කොණ්ඩඤ්ඤාදි පස්නම සෝවහන් ඵලයට පැමිණ ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද හා උපදම්පාව ලබා ඇත ද ඉදිරියට ද හික්මවිය යුත්තෝ ය. එබැවින් තථාගතයන් වහන්සේ පක්ෂයේ පස්වන දිනයෙහි ඔවුන් පස්දෙනම එකතු කොට ඉදිරියට හික්මවනු සඳහා “රූපං හික්ඛවෙ අනත්තා රූපඤ්ච හිදං හික්ඛවෙ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය ” යනාදි අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළ සේක. ඒ දේශනය අසා පඤ්චවර්ගිය භික්ෂුහු සව්කෙළෙසුන් නසා අර්හත්වයට පැමිණියෝ ය. තථාගතයන් වහන්සේ ඒ දේශනයෙන් පඤ්චවර්ගිය භික්ෂුන් දමනය කිරිම අවසන් කළ සේක.
Path to Nirvana
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අධ්‍යාත්මික දියුණුව නිවන් සුව පිණිසම උපකාරි වනු ඇත

මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

"ගුණයට කැමැති අය ගුණයටද, පාපයට, අකුසලයට, අධර්මයට කැමැති අය අධර්මය පිළිගන්නා අය සමඟ එක්වේ. මැණිකක් අසල තැබිය යුත්තේ මැණිකක්ම පමණයි. ගල්කැට, තිරුවානා කැට, බොරළු කැට, මැණික් ළඟට ගැලපෙන්නේ නැහැ. ගුණවතුන් ළඟට ධර්මයට, සීලයට, සමාධියට, ප්‍රඥාවට කැමැති අය එකතු වෙනවා. ඒ වගේම ගල් කැට සමඟ මැණික් තබන්නෙත් නැහැ. කුණුවලට කුණුද, මැණික් වලට මැණික්ද ලෙස ගුණවතුන්ට ගුණවතුන්, පාපීන්ට පාපීන් එකතුවන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් වදාළා."
බුදුරජාණන් වහන්සේ වදාළා මේ මනස හදා ගැනීමෙන් පමණයි ජීවිත ශාන්තිය උදාකර ගත හැක්කේ කියා. මනස හික්මවා ගැනීම තුළිනුයි අපේ නිවැරැදි ගමන මෝදු වන්නේ. සිත පිරිසුදු වන්නේ ධර්මය හරහායි. එනිසා යම්කිසි අයෙක් එක බුදු බණ පදයක් සිහියෙන් යුතුව ශ්‍රවණය කරනවා නම් මේ ඝෝර මරු සසරේ මේ භයානකත්වයෙන් ඈත්වී ආර්ය භූමියට එකතු වන්නට එය හේතු වෙනවා.
අප සෝතාපන්න වීමට කරුණු හතරක් සම්පූර්ණ කළයුතු වෙයි. ඒ 1. සද්ධර්ම ශ්‍රවණය , 2. යෝනිසෝමනසිකාරය (සිහිනුවණ) 3. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය 4. ධම්මානුධම්ම පටිපන්න (ධර්මය ටික ටික හෝ පුහුණු කිරීම) බවයි. ධර්මයට කැමැති මනසක් අපට ඇත්නම් මෙලොව පරලොව දෙලොවෙහිම යහපත කරා ගමන් කරනවා. නමුත් ධර්මය ප්‍රතික්ෂේප කරන, මේවා අපට කරන්න බැහැ කියන විවේචනය කරන අයට අභිවෘද්ධියක් කරා ගමන් කරන්න අපහසුයි.
තථාගතයන් වහන්සේ මේ ලෝකයේ සිටින මිනිසුන් කොටස් තුනකට බෙදනවා. ඒ සමහර මිනිසුන්ගේ දෑසම පෙනෙන්නේ නැහැ. දෑසම අන්ධයි. තව සමහර අය ඉන්නවා එක ඇසක් පමණක් අන්ධයි. මේ දෙදෙනාම ආශ්‍රය නොකළ යුතු බවත්, දෑසම පෙනෙන පුද්ගලයා පමණක් ආශ්‍රය කළයුතු බවත් වදාළා. ඔබ සිතයි ඇයි තථාගතයන් වහන්සේ අන්ධ කෙනා ආශ්‍රය කරන්න එපා කිව්වේ කියා. බැලූ බැල්මට අපට වෙනත් ආකාරයකට පෙනුණාට මෙහි ගැඹුරු අර්ථයක් තිබෙනවා. මෙහි ඇස් දෙකම හොඳින් පෙනුණත් අවසානයේ ඇස් දෙකම නො පෙනෙන කොටස ඒ අයම වෙන්නත් පුළුවනි. ධර්මානුකූලව ඇස් දෙකම අන්ධයි. සමහර අයගේ එක් ඇසක් අන්ධයි. ඒ වගේම උඩින් ඇරුණු ඇස් දෙක ගැඹුරින් ඇත්තටම ඇරී තිබෙනවා. එසේම ඇස් ඇරී ඇති අය මේ සමාජයේ ජීවත් වෙනවා.

ඇස් දෙකම අන්ධයි කියන්නේ මොකක්ද සමහර අය මේ ජීවිතය ගත කරන ආකාරය ඉතාමත්ම පහත්. කුසලය, අකුසලය අඳුනන්නේ නැහැ. ධර්මය අධර්මය, ගුණය අගුණය, අම්මා, තාත්තා හඳුනන්නේ නැහැ. බුදුගුණ,දම්ගුණ හඳුනන්නේ නැහැ. ඒ අයගේ භෞතික පැත්තත් පිරිහිලා. වචනය බොහෝ සැරයි. ක්‍රියාවත් සැරයි. බාහිර සියල්ල අපිරිසුදු මෙන්ම භෞතික දියුණුවකුත් නැහැ. මෙලොව මෙන්ම පරලොවදීත් ආලෝකයට ගමන් කිරීමක් නැහැ. ඒ නිසා අධ්‍යාත්මික මෙන්ම බාහිර දියුණුවකුත් නැති අයට ඇස් දෙකම අන්ධයි කියනවා. ඔවුන් මේ ලබාගත් වටිනා මනුස්ස ජීවිතයත් අඳුරු කර ගන්නවා. ඒ වගේම පරලොවදීත් අඳුරෙන් අඳුරටම යනවා.
එක ඇස් ඇත්තා කවුද ඔහු මේ උඩින් පෙනෙන ජීවිතය ටිකක් ගුණ ගරුකයි. භෞතිකව ගෙවල් දොරවල් හදාගෙන යානවාහන අරගෙන අන් අයටත් උදව් කරගෙන ජීවත් වෙනවා. නමුත් ඔහුගේ ඇතුළාන්තය එහෙම නැහැ. අධාර්මිකව සල්ලි හම්බ කරනවා. භෞතික දියුණුවක් නැහැ. බැලූ බැල්මට මෙලොව ජීවිතය සාර්ථක ලෙස පෙනුනත් පරලොව ජීවිතය අසාර්ථකයි. මෙලොව පමණක් සාර්ථක පුද්ගලයාගේ සසර සුවපත් වන්නේ නැහැ. බැලූ බැල්මට ඉඩමක්, යාන වාහනයක් මෙන්ම යම් තනතුරක් හිමිවුවත් අධර්මවාදීනම් ඔහුගේ ජීවිතය අන්ධයි. ඒ නිසා ඇස් දෙකම සහ එක ඇසක් අන්ධ පුද්ගලයා සමඟ ඇසුරක් අනවශ්‍ය බව තථාගතයන් වහන්සේ වදාළා.
ඇස් දෙකම හොඳට පෙනෙන පුද්ගලයාගේ භෞතික ජීවිතය හොඳයි. ඒ වගේම ඇතුළාන්ත ජීවිතයත් සැබැවින්ම හොඳයි. ලස්සන ගැඹුරු විලක් වගේ. ලස්සනට මල් පිපී තිබෙන සුවඳ හමන වතුර පෑදී තිබෙන ජලජ ජීවින් වසන, හරිත වර්ණ පරිසරයක තිබෙන විලක සුන්දරත්වයක් ඒ ජීවිතයේ තිබෙනවා. මේ ඇස් දෙකම පෙනෙන පුද්ගලයා ඒ වගේ. ගුණ සුවඳ තමා මල් සුවඳ.
අද අප කථා කරන්නේ සංයුක්ත නිකායේ සඳහන් “චංකම සූත්‍රය” යි. චංකම කියන්නේ සක්මනයි. දිනක් බුදුරජාණන් වහන්සේ ගිජිකුලු පව්වේ ස්වාමින්වහන්සේ පිරිසක් සමඟ වැඩ සිටි සේක. උන්වහන්සේ දුටුවා ඈත තැන තැන තවත් ස්වාමින් වහන්සේ පිරිස් වශයෙන් සක්මනේ යෙදෙනවා. මහණෙනි, අර ඈත සක්මනේ යෙදෙන පිරිස කවුද ස්වාමිනි, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ යි. මහණෙනි, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමඟ සක්මන් කරන භික්ෂූන්ගේ ප්‍රාර්ථනාව ප්‍රඥාව දියුණු කර ගැනීමයි.
මහණෙනි, අර පැත්තේ සක්මන් කරන්නේ කවුද ස්වාමිනි, මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ. මහණෙනි, සෘර්ධිය දියුණු කරන්නට කැමැති අය මොග්ගල්ලානයන් සමඟ එකතු වී සිටිනවා.
මහණෙනි, තුන්වෙනි කණ්ඩායම කවුද ස්වාමිනි, ඒ මහාකස්සපයන් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන්. මහණෙනි ඒ භික්ෂුන් වහන්සේ ධුතාංග රැකීමට කැමැති පිරිසයි.
මහණෙනි, අනෙක් කණ්ඩායම කවුද ස්වාමිනි , ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ. දිවැස් ඇති අය අතර අග්‍රස්ථානය ගත් අනුරුද්ධයන්ගේ ගෝලයන් පුහුණු කරන්නේ දිබ්බචක්ඛු ඤාණය යි.
පුණ්ණමන්තානි පුත්ත ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ගෝලයන් පිටුපසින් සක්මන් කරනවා. මහණෙනි, මේ පිරිස බුදු බණ මිහිරි හඬින් කියන්න පුළුවන් අය අතරට ප්‍රමුඛ වන පුණ්ණමන්තානි භික්ෂුව සමඟ එක් වී සක්මන් කරනවා.
මහණෙනි, මේ පැත්තේ සක්මන් කරන්නේ කවුද ස්වාමිනි විනයට අගතනතුරු දරන උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසයි. මහණෙනි විනයට කැමැති අය උපාලි තෙරුන් සමඟ එකතුව සක්මනේ යෙදෙනවා.
අර හත්වැනි කණ්ඩායම කවුද ස්වාමිනි, ධෛර්වන්තයන් අතර අග්‍ර වූ ආනන්ද හිමියන් ඇතුලු පිරිසයි එසේ සක්මනේ යෙදෙන්නේ. මේ හත් කණ්ඩායම හැරුණු විට මේ මැදින් සක්මන් කරමින් සිටින්නේ කවුද ස්වාමිනි, ඒ දෙවිදත්තර සහ ගෝල පිරිසයි. මහණෙනි බලන්න ප්‍රඥාවට කැමැති අය සාරිපුත්තයන් සමඟ, සෘර්ධියට කැමැති අය මොග්ගල්ලානයන්ටද, ධුතාංග රැකීමට කැමැති අය මහකස්සපයන්ටද, දිවැසට කැමැති අය අනුරුද්ධයන් සමඟද, මිහිරි ලෙස බණ දේශනාවට කැමැති අය පුණ්ණමන්තානිපුත්තයන් සමඟද, විනයට කැමැති අය උපාලි සමඟද, ධර්මය මතක තබාගෙන පුහුණු කිරීමට කැමැති අය ආනන්දයන් සමඟ ද, එක් වී සිටියි. දේවදත්තට කැමැති වූයේ පාපයට කැමැති අයයි.
මහණෙනි, සමාජයේ මිනිසුන් එකතු වන්නේ ඒ ඒ ආකාරයටයි. ගුණයට කැමැති අය ගුණයටද, පාපයට, අකුසලට, අධර්මයට කැමැති අය අධර්මය පිළිගන්නා අය සමඟ එක්වේ. මැණිකක් අසල තැබිය යුත්තේ මැණිකක්ම පමණයි. ගල්කැට, තිරුවානා කැට, බොරළු කැට, මැණික් ළඟට ගැලපෙන්නේ නැහැ. ගුණවතුන් ළඟට ධර්මයට, සීලයට, සමාධියට, ප්‍රඥාවට කැමැති අය එකතු වෙනවා. ඒ වගේම ගල් කැට සමඟ මැණික් තබන්නෙත් නැහැ. කුණුවලට කුණුද, මැණික් වලට මැණික්ද ලෙස ගුණවතුන්ට ගුණවතුන්, පාපීන්ට පාපීන් එකතුවන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් වදාළා.
එනිසා අපටත් කල්‍යාණ මිත්‍රයෙකු මුණ ගැසුණහොත් ආධ්‍යාත්මික මාර්ගය දියුණු කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කර සසර තරණය කළ හැකිය.

මිථ්‍යා දෘෂ්ඨිය පාප කර්මයක්ද

උඩුදුම්බර කාශ්‍යප හිමි

ලොව කෙතරම් දියුණු වුවත් අප ශාස්තෘන් වහන්සේ ප්‍රතික්ෂේප වන්නේ නැත. මන්ද යත් අකාලික ධර්මයක් දේශනා කර ඇති බැවිනි. ලොවෙන් අප ප්‍රතික්ෂේප නොවන්නට නම්, අප එම උතුම් ධර්මය නිවැරදිව භාවිතා කළ යුතුය. ධර්මානුකූලව දැක්මක් සකස් කර ගත යුතුය. අධර්මය තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය.
අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙව් මිනිසුන් හට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකයට පහළ වී තමන් වහන්සේගේම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ගත් ධර්මය, මුල මැද, අග යහපත්කොට දේශනා කළ කල්හි, ඒ ධර්මය අසන නුවණැති කුල පුත්‍රයෙක් වේද, තථාගතයන් වහන්සේ පිළිබද ශ්‍රද්ධාව උපදවා ගනියි. ධර්මය පිළිබද මෙන්ම ධර්මය පිළිපදින මහා සංඝරත්නය පිළිබද ශ්‍රද්ධාව උපදවා ගනියි. ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදුන එතුමා තෙරුවන් සරණ යාමේදී ප්‍රකාශ කළ උදාන වාක්‍යය “අභික්කන්තං භෝ ගෝතම අභික්කන්තං භෝ ගෝතම සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතංවා උක්කුජ්ජෙය්‍ය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය අන්ධකාරේවා තේල පජ්ජොතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්කින්තීති. එවමේව හන්තේ භගවතා අනේක පාරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛු සංඝඤ්ඤච උපාසකං මං භන්තේ භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණූපේතං සරණං ගතන්ති” ලෙස බොහෝ සූත්‍ර ධර්මයන්හි දක්නා ලැබේ. මෙහි භාවය නම් අභිකාන්තය වහන්ස, අභිකාන්තය යම් සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකරන්නේ හෝ වේද, වැසුණු දෙයක් විවෘත කරන්නේ හෝ වේද, මංමුළා වූවකුට මාර්ගය කියන්නේ හෝ වේද ,ඇස් ඇතියන් රූප දකිතියි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙකුත් කරුණින් දහම් පැවසිණ, වහන්ස ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. වහන්ස, මම අද පටන් කොට දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට සලකන සේක්වා ලෙසයි.
මේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදී පුද්ගලයකු තෙරුවන් කෙරෙහි ගුණ දැන පැහැද තෙරුවන් සරණ ගිය ආකාරයයි. තෙරුවන් සරණ යාම යනු සමිතියක සාමාජිකත්වය ලබා ගන්නා සේ සම්මුතියකින් සහතිකයක ලියා ගැනීම නොවන බව මෙයින් හුදෙක්ම පැහැදිලි වේ. කෙනෙකු බෞද්ධයකු වන්නේ නිවැරදි ආකාරයට ගුණ දැන පැහැද සරණාගමනය ඇති කර ගැනීමෙන් පමණක්ම වේ. එපමණක් නොව ඇති කරගත් පැහැදීම පිරිහීගිය කල්හි එම සරණාගමනය අතුරුදහන් වන අතර බෞද්ධකම අවලංගු වේ. මේ තත්වය සැලකිල්ලට ගනිමින් ගිහිවුවද, පැවිදි වුවද අප කවුරුත් මම බෞද්ධයෙක්ද යන්න තම සිතින් විමසා බැලිය යුත්තේ, සසර ඉතා දුර්ලභව හමුවන බුද්ධ ශාසනයක උරුමකාරයන් වන භික්ෂු, භික්ෂුණී, උපාසක,උපාසිකා යන සිවුවනක් පිරිසට අනුව දුක් කෙළවර කරන ප්‍රතිපදාවට එක්වී ඇතිදැයි නිවැරදිව දැන ගැනීමටයි. චේතනාවෙන්ම සිදුවිය යුතු සරණාගමනය, චේතනාවම පිරික්සා දැන ගත යුතුය. ඇතුළාන්ත පැහැදීම ඇත්තවුන් බෞද්ධ කියා නොගත්තද බෞද්ධයන් වන අතර පැහැදීම නැත්තවුන් බෞද්ධයයි කීවද, බෞද්ධ නොවන බව පැහැදිලිය. උපතින් බෞද්ධ වීම යන්න හිතලුවක් පමණි.
ඉහත උදානයේ සෑම වාක්‍යයකින්ම ගම්‍ය වන්නේ හේතුඵල දහම බව අර්ථාන්විතව වීමසිමේදී තේරුම්ගත හැක. යමක් යටිකුරු වී ඇති කල්හි වැසි ඇති කල්හි සිදුවන දේ පිළිබද විනිවිදව දැකිය නොහැකිය. මංමුලාවු අයෙකුට මෙන්ම අඳුරේ සිටින්නකු යන්නේ කොහිද අසල සිටින්නේ, තිබෙන්නේ මොනවාද යන්නවත් හරි හැටි නොදනී. මේ තත්වයන් යටතේ ඔවුන්ට යමක් කළ හැකි වන්නේ අනුමාන වශයෙනි. මක් නිසාද, සිදුවන ආකාරය පැහැදිලි නොමැති බැවිනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුඵල දහම තුළින් ලොවෙහි සියල්ලටම හේතුවත් එහි නැති කිරීමත් පමණක් නොව නැති කරන මාර්ගයද සහිතව, පිළිපදින්නාට පිළිපැදීමට පෙර එය පිළිපැදීමෙන් ලැබෙන දේ දැන ගෙනම, පිළිපැදිය හැකි උතුම් ධර්මයක් ලොවට උරුම වී ඇත. එබැවින් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ගැන සැබෑවටම පැහැදුන යම් පුද්ගලයකු වේ නම් ඔහු අන්ධවූවකු සේ අනුමාන වශයෙන් තීරණය කර යමක් නොකරයි. එසේම බුදුරජාණන් වහන්සේ යමක් වැරදි යයි දේශනා කර ඇත්නම් එසේ දේශනා කරන්නේ එය භාවිතා කළහොත් අනිටු විපාක ඇතිවන බැවින් බව ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ තැනැත්තා හොඳින් දනී. එබැවින් හෙතෙම ඉන් වැළකී සිටිනවා පමණක් නොව අන් අයද වරදින් මුදා ගැනීමට විශාල උත්සාහයක් ගනී. මේ නියම බෞද්ධ තැනැත්තන්ගේ ස්වභාවයයි.
නමුත් වර්තමානයේ ඇත්තේ ඉතා ඛේදනීය තත්වයකි. සත්‍යය කථා කළ යුතුව ඇත්තේ කිසිවකුට පහර ගැසීම සඳහා හෝ කිසිවකුගේ තාවකාලික ලාභයන් නැති කිරීමේ පටු අදහසකින් නොව වරද සිදු කිරීමෙන් හා අන් අයද වරදෙහි යෙදවීමෙන් සිදුවන බරපතළ පාප කර්මය නිසා අනාගතයේදී විඳින්නට වන අනිටු විපාක වලින් වළක්වා ගැනීමේ කරණාවෙන් යුක්තවයි. අනෙක් කරුණ වන්නේ වැරදි දේ සමාජ ගතවීමෙන් දීර්ඝ කාලීන හා කෙටි කාලීනව සමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමයි.
බුදුරජාණන් වහන්සේ තිරිසන් විද්‍යා ලෙස නම් කරමින් බෞද්ධ ධර්මයෙන් පිටුවහල් කරන ලද මිථ්‍යාවන් ඇතැම් බෞද්ධයින් විසින් ප්‍රතිබල ගන්වමින් තිබේ. සිදුවන දේ සිදුවන්නේ කෙසේ දැයි නොදැන සිදුකරන දේ, අන්ධ පුද්ගලයින් නොපෙනී යමක් අතගා බලන්නාක් මෙන්, නොදැන සිදුකරමින් තමන්ටත්,අනුන්ටත් අනර්ථයක්ම සිදුකරන අතර තවත් පිරිසක් මෝඩ පහේ ඇත්තන් රවටා අවස්ථාවාදීව .තමන්ගේ මඩිය තර කර ගනිති. මේවායින් සමාජයට සිදුකෙරුණු සේවයක් නම් නැත. දැන්වත් දෙනෙත් විවර කර බලා නිවැරදි දේ හඳුනා ගෙන ඇත්තට මුහුණ දී කටයුතු නොකළ හොත් අනාගතයේ ශී‍්‍ර ලංකාව යනු මෝඩ මිනිසුන් වෙසෙන දේශයක් ලෙස ලෝකයේ බුද්ධිමතුන් හඳුන්වනු ඇත.
විසි එක්වන සියවසේ ලොව පහළවන සියුම් තාක්ෂණ විද්‍යා තුළින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දිනෙන් දින ප්‍රත්‍යක්ෂ වීමක්ම සිදුවන අතර ලොව බොහෝ විද්වත් පිරිස් බුදුදහම වැළඳ ගනිමින් එහි ඇති ගැඹූරු ආධ්‍යාත්මික හරය සොයමින් සිටි බෞද්ධ රාජ්‍යය යයි විරුදාවලි ලත් අප, ක්‍රියාත්මක කරන මිථ්‍යා දෘෂ්ටි සහගත වැඩ පිළිවෙළවල් තවදුරටත් පැවතුන හොත්, ශී‍්‍ර ලංකාව උතුම් බෞද්ධ ධර්මයෙන් පෝෂිත නොවුනු රටක් ලෙස ලොවෙහි පිළිගැනීමට යනු ඇත. මෝඩ මිනිසුන් වෙසෙන රටක් ලෙස ලෝකයේ ප්‍රචලිත වනු ඇත. සුලභව සිදුවන, මිථ්‍යා විශ්වාස සහිත සමාජයට මෙන්ම සිදු කරන්නාටද විශාල අනර්ථයක් වන, බෞද්ධ ධර්මයට කිසිසේත් නොගැළපෙන, බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද, තිරිසන් විද්‍යා ලෙස හඳුන්වන ලද, සමාජගත වැඩ කටයුතු කිහිපයකට පහසුවෙන් හඳුනා ගත හැකි උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
ඇතැම් අසනීප තත්වයන් මෙන්ම නොයෙක් කරදරකාරි තත්වයන් බොහෝ විට අඛණ්ඩව ඇතිවන්නේ අතීත පාප කර්මයන්ගේ ක්‍රියාත්මක වීම නිසා බවත්, එයට පිළියම් යෙදීම සිදුකළ යුත්තේ භාවිත කාය, භාවිත ශීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤා ලෙස ප්‍රතිපත්ති මාර්ගයේ පිහිටා බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය නොසලකා, බුදු වදන අභිභවා, නොයෙකුත් ගුප්ත විද්‍යා ලෙස හඳුන්වන සාස්තර ආදිය අනුව කටයුතු කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියෙහි යෙදීම බහිරව පූජා ආදියෙහි යෙදීම, ඒවා නොමැතිව එම ගැටලු විසදාගත නොහැකි යයි සලකා ඒ තුළින්ම විසඳුම් සෙවීමට උත්සාහ දැරීම,
යම් සුබ කටයුත්තක් කිරීමේදී, නිවැරදි කාය කර්ම, නිවැරදි වාග් කර්ම, නිවැරදි මනෝ කර්මයන්, සහිතව ආරම්භ කරන ඕනෑම මොහොතත් සුබම නැකත ලෙස දේශනා කළ උතුම් බුදු වදන අභිභවා නොයෙකුත් නැකැත් අනුව නොපෙනෙන ගුප්ත විද්‍යාවන්හි පිහිට පැතීම
වෛරයෙන් වෛරය නොසන්සිඳේ.අවෛරයෙන් එය සන්සිඳේ යන බුදුවදන අභිභවා අන් අයට වින කිරීම්, පළිගැනීම් බහුල කොට ඇති පොල් ගැසීම්, මිරිස් ඇඹරීම් හූණියම් කිරීම් ආදි පුහු, මෝඩ ගුප්ත නොහොත් වැසුනු හේතු ඵල සහිත ක්‍රියාවන්හි යෙදීම
බොහෝ පින්දහම් හි යෙදී, දෙවියන්ට පින් අනුමෝදන් කළ විට, එක් දරුවකු සිටින මවක් එම දරුවා ආරක්ෂා කරන්නේ යම් සේද, එපරිද්දෙන්ම දේව පිහිට ආරක්ෂාව සැලසෙන බව දේශීත උතුම් බුදුවදන අභිභවා දේව පූජා, පලතුරු පූජාව, දේව කන්නලව්, බහිරව පූජා ආදි විනිවිද නොපෙනෙන විද්‍යාවන්හි පිහිට පැතීම.
සියලු පූජාවන් අභිභවා ප්‍රතිපත්ති පූජා අග්‍ර වන්නේය වන උතුම් බුදුවදන අභිභවා ආමිස පූජාවන්හි පමණක් යෙදීමෙන් සිටීම, එය පමණක් වර්ණනා කිරීම, යෙදවීම
ජාති, කුල, වර්ග ආදි සම්මත කරුණුවලින් කෙනෙකු වසලයකු හෝ පහත් තැනැත්තකු හෝ නොවන්නේය. සිදුකරන ක්‍රියාවේ යහපත් ,අයහපත් බව අනුවම වන්නේය යන උතුම් බුදුවදන අභිභවා විවාහ ආදි කටයුතුවලදී පවා කුල බේද, වර්ග බේද ආදියට ප්‍රධානත්වය දී කටයුතු කිරීම.
මේ කිහිපයක් පමණි. තව බොහෝ වැරදි මත සමාජ ගත වී ඇත. වර්තමාන සමාජයෙන් මෙම නොදියුණු හීන ධීන අදහස් ටිකෙන් ටික දුරුවිය යුතුව ඇත. නමුත් සිදුවන්නේ අනෙකකි. එනම් දිනෙන් දින මිනිසුන් මෝඩපහේ ඇත්තන් බවට පත් වෙමින් සිටීමයි. මෙම කටයුතු නිසා දියුණුවන වන ලෝකයෙන් අප ප්‍රතික්ෂේප වනු ඇත. නමුත් ලොව කෙතරම් දියුණු වුවත් අප ශාස්තෘන් වහන්සේ ප්‍රතික්ෂේප වන්නේ නැත. මන්ද යත් අකාලික ධර්මයක් දේශනා කර ඇති බැවිනි. ලොවෙන් අප ප්‍රතික්ෂේප නොවන්නට නම්, අප එම උතුම් ධර්මය නිවැරදිව භාවිතා කළ යුතුය. ධර්මානුකූලව දැක්මක් සකස් කර ගත යුතුය. අධර්මය තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය.
ඉහත දක්වන ලද ආකාරයට කටයුතු කරන ඇත්තන්, එසේ කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ ඇති විශ්වාසය මඳ බැවිනි. ශ්‍රද්ධාව මඳ බැවිනි. දේශනාව පිළිබඳ විශ්වාසය ඇතිනම්,දේශනා කළදේ අභිභවා අන් දේවල් කිරීමට සිත නොනැමේ. ධර්මයට පටහැනිව මේ ආකාරයට කටයුතු කරන්නා, එම කරන දේවල් නිවැරදි යයි එල්බ සිටින තාක් කල් ඔහු තුළ ඇත්තේ මිථ්‍යා දෘෂ්ඨියයි. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්‍යක් දෘෂ්ටික දුක් නැති කරන මාර්ගය නොවේ. අන්‍ය මාර්ගයක් භාවිතා කරමින් සසර දුක් නැති කළ නොහැක. බෞද්ධයින් ලෙස එය බුදුරජාණන් වහන්සේට කරන මහත් අගෞරවයකි. වැරදි දේ තුළ අන් අයව සමාදන් කරවීමද පහත් පාපයකි. අපගේ ඇතැම් වැඩිහිටි මව්වරු මේ බව නොදනිති. ප්‍රාණඝාත අදත්තාදාන, කාම මිථ්‍යාචාරය ආදි වැරදිවලට අනුබල නොදෙන ඔවුන්, මෙවැනි ධර්මයට පටහැනි ඉහත සඳහන් ආකාරයේ බොහෝ දේවල්වලට අනුබල දෙති. දයාබර බෞද්ධ මව්වරුනි, ඉහත ආකාරයේ ධර්මයට අනුකූල නොවන කටයුතු වලට ඔබගේ අනුග්‍රහය ලබාදීමත් මග පෙන්වීමත් ප්‍රාණඝාත ආදියට අනුබල දෙන්නා සේම ප්‍රබල අකුශලයක් බවත්, බුදුරජණාන් වහන්සේ බෞද්ධ තම දරුවන්ට, මහා අනුකම්පාවෙන් සංසාර විශුද්ධිය උදෙසා ලබා දුන් උපදෙස් අභිභවා, තම මිථ්‍යාමතය පැතිරවීමක් බවත්, බරපතළ පාපයක් බවත්,අනුකම්පා පෙරදැරිව ඔබගේම යහපත සඳහා මතක් කර දෙන අතර මිථ්‍යා දෘෂ්ටියෙහි ඇලි ගැලී වෙසෙන එක් අයකු හෝ ඉන් ගලවා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය මහා පිනක් බවත් දැන ගත යුතුවේ. මේ සියලු මිථ්‍යාවන්ගෙන් අත මිදී තමන්ගේ නිර්වාන මාර්ගය උපදවා ගත යුතුවේ. මේ ජීවිතයේ විඳින්නට සිදුවී ඇති දුක් දෙස බලා ඉන් කලකිරී තවත් දුක් උපදවන මිථ්‍යාවන් පිටු දැකිය යුතුය. සැමට තෙරුවන් සරණ ලැබේවා.

සම්බුදු සසුනත් ලක්බිමත් සුරකින සක් දෙවි රජාණෝ

මහාචාර්ය 
විලේගොඩ අරියදේව

සකෙකා දෙවානමින්ද්‍රෙ, යනුවෙන් ත්‍රිපිටකයෙහි නිතර කියැවෙන සක්දෙව් රජු තව්තිසා දිව්‍යලෝකයෙහි දිව්‍ය රාජයා වෙයි. ලක්දිව බෞද්ධ සිද්ධස්ථානයන්හි අනෙකුත් දෙවියන් සඳහා ඉදි වූ දේවාල තිබුණ ද සක් දෙවියන් සඳහා එබඳු ගෞරවයෙන් පුදන ස්ථාන දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි සක්දෙව් රජුන් සාමාන්‍ය දිව්‍ය රාජයකු නොව ආය¸ දේවේන්ද්‍රයන් කෙනෙකි. එනම් පූජා වන්දනයට යෝග්‍ය වූ සෝවාන්මාර්ග ඵලයට පත් කෙනෙකි. සක් දෙවි රජු අප බෝසතාණන් වහන්සේට බුදුවීමට නොයෙක්වර උපකාරි වූ අතර සත් ජනයාට නොයෙක් අවස්ථාවන්හි දී උපකාරවන්නා වූ දෙවි කෙනෙකි.
සක්දෙවි රජු බුදුරදුන් හමු වූ අවස්ථා සහ සක් දෙවි රජුන් උදෙසා කළ ධර්ම දේශනා හා සාකච්ඡා ඇතුළත් සූත්‍ර විසිපහක් පමණ සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයෙහි ඇතුළත් වේ. සක්දෙවිඳුන් දේවේන්ද්‍ර නමින් හැඳින් වුවත් වේද ග්‍රන්ථ පුරාණ ග්‍රන්ථයන්හි වන ඉන්ද්‍ර දෙවියා නොවන බව රීසි ඩෙවිම්ස් හා මලලසේකර උගත්හු පෙන්වා දෙති. වයඹ දිගින් ඉන්දියාවට පැමිණි ආය¸යො ඉන්දු ගංගා නිම්නසේ පැවැති නාගරික ශිෂ්ටාචාරය විනාශ කළ බව ඉතිහාසඥයො පෙන්වා දෙති. ආය¸යන්ගේ නායකයා, ඉන්ද්‍ර නම් විය. ඔහු පුර්භිත් යන විශේෂණ වචනයෙන් හැඳින්වූයේ නගර විනාශ කළ අර්ථයෙනි. එහෙත් බෞද්ධයන්ගේ සක් දෙවියන් සක්‍රදේවේන්ද්‍ර නමින් හැඳින්වෙන අතර, ඔහු නගර, රාජ්‍ය දන්දුන් කෙනෙක් බැවින් පුරන්ධර නම් විය.
සක්දෙව් රජුන් නම් කිහිපයකින් පිටක ග්‍රන්ථයන්හි හඳුන්වා ඇත. සුජා දෙව්දුවගේ සැමියා වූ නිසා සුජම්පති යනුවෙන්ද පෙර මඝ නම් මානවකයකුව ඉපිද විවිධ දානාදී පිංකම් කොට ඉමහත් සමාජ සේවාවක් කොට සක්‍ර දිව්‍ය රාජයා බවට පත්වූ නිසා මඝවා යන නමින්ද හඳුන්වනු ලැබේ. තවද සකසා දන් දුන් කෙනෙක් බැවින් ‘සකක නම් ලැබූ සක්දෙවිඳුන් සහස්සක හෙවත් දහසක් ඇස් ඇති දෙව් රදුන් ලෙස හඳුන්වනු ලැබුයේ එක් මොහොතකින් දහසක් දෙස දහසක් කරුණු වටහාගැනීමට හැකියාවක් තිබූ දෙවි කෙනෙකු නිසාය.
සරභංග ජාතකයට අනුව සක් දෙවිඳුව ආසා හිරී ශ්‍රද්ධා සහ සිරී නම්වු දියණිවරු සතර දෙනෙක් සිටි බවද සඳහන් වේ. සක් දෙවිඳුගේ රියදුරු මාතලි නම් වූ අතර කුළුපග මිතුරා වෙස්සවක දෙව් රජු විය. සක්දෙවිදුගේ සංගීතඥයා පංචසික නම් විය.
බුදුරදුන් හා සක්දෙවිඳුන් අතර ඇති වූ ධර්ම සාකච්ඡා හෙවත් ධර්ම දේශනාවන් විසිපහක් පමණ සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේ සඳහන් වේ. බුදුරදුන් සමඟ සක්දෙවියන් අතර තිබු සම්බන්ධය බුදුවීමට පෙර පටන් පැවැතියකි. බුදුරදුන් පරිනිබ්බාන මංචකයේදි සක් දෙවි රජුන් සමඟ දේව ගණයා විශාල පිරිසක් රැස්ව සිටි බවත් උන්වහන්සේ සක්දෙවි රජුන් අමතා සම්බුදු සසුනත්, ලංකාද්වීපයත් ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරූ බව මහාවංශයේ සත්වෙනි පරිච්ඡේදයේ සඳහන් වේ. සක්දෙවි රජුන් විසින් තමා වෙනුවෙන් ඒ වගකීම ඉටුකරන ලෙස උපුල්වන් දෙවියන්ට පැවරූ බවද සඳහන් වේ.
මහාවංශයට අනුව ආශ්චර්යකට මෙන් බුද්ධ පරිනිර්වාණයත් සමඟ ලංකාවට ගොඩ බසින සිහල පරපුරේ විජය රජතුමා ඇතුළු කණ්ඩායමට ආරක්ෂාව සපයන ලෙසද බුදුරදුන්ගේ ඉල්ලීමක් විය. ඒ අනුව සක්දෙව් රජතුමා පරිබ්‍රාජක වේශයෙන් ලක්බිමට ගොඩ බැස්ස විජය රජතුමා ඇතුළු පිරිසට කිසිදා විපතක් නොවී ආරක්ෂාව සඳහා පිරිත්පැන් ද ලබා දී පිරිත් නූල් ගැටගසා ආශිර්වාද කළ බවද මහාවංශය තවදුරටත් විස්තර කරයි.

සක්දෙව් රජු විසින් සම්බුද්ධ සාහිත්‍යයත්, ලංකාදීපයත් සුරක්ෂිත කළ ආකාරය දෙදහස් පන්සියයක අඛණ්ඩ ඉතිහාසයෙන් සාක්ෂි දරයි. භාරතයෙන් බුදු දහම අතුරුදහන් වෙද්දී සම්බුද්ධ ශාසනය ලක්දිව ආරක්ෂා වීමට මෙහි පවත්නා භූගෝලීය සාධක හා සක්දෙවි රජුන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබුණු බව සිතිය හැක. වරින්වර දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේත් පෘතුගිසී ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආක්‍රමණයන්ගේත් ගොදුරක් බවට පත්වූ ලාංකීය සම්බුද්ධ ශාසනය මෑත යුගයේ භයානක කුරිරු යුද්ධය මැඩපවත්වමින් ආරක්ෂා වීමට මෙම සක්දෙවි රජුන් හා උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණාට සැකයක් නැත. වසර පන්දහසක් ගෙවෙන තුරු ලක්දිවෙහි ස්වාධීනත්වයත් සම්බුදු සසුනේ ආරක්ෂාවත් පිළිබඳ බෞද්ධයා තුළ ඇති විශ්වාසය සක්දෙවි රජු ප්‍රමුඛ සම්‍යග් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයත් සිදු වූ බවට නිසැකය. එසේම ඇතැම් අවස්ථාවන්හි බ්‍රිතාන්‍ය ආක්‍රමණයන් පවා සම්බුද්ධ ශාසනයේ සංවර්ධනයට වෙස්වලාගත් ආශිර්වාදයක් බවට ද පත්විය. මේ අනුව සක්දෙව් රජුත් පිළිබඳ මහාවංශය පළකරෙන දෑ සත්‍යයක් බව 2500 ශාසන ඉතිහාසයෙන් ප්‍රකට වෙයි.
ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්ම දූත සේවාව සිදුවන අතරතුර ධර්මයේ පණිවිඩය ලංකාද්වීපයට ගෙනයාමේ සුදුසු කාලය මහින්ද මහ රහතන් වහන්සේට සක්දෙවි රජුන් දැනුම් දුන් බව මහාවංශයේ අටවෙනි පරිච්ඡේදයෙහි දැක්වේ. ලක්දිව සම්බුද්ධ ශාසනය ප්‍රතිසංවිධානයේ දී බොහෝ වැදගත් සිද්ධියකදීම සක් දෙවි රජුන් සම්බන්ධ වී ඇත. දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාමය ගොඩනගද්දි එහි නිදන් කිරීම සුමන සාමණේරයාණන් මගින් සක්දෙවි රජුගෙන් ඉල්ලීම් කොට බුදුරදුන්ගේ දක්ෂිණ අකුධාතුව ලබාගෙන ථූපාරාමයේ නිදන් කෙරුණි. එසේම දුටුගැමුණු රජතුමා වෙත මහසෑයට අවශ්‍ය ද්‍රව්‍යමය උපකාරයන්ද ධාතු තැන්පත් කිරීමේ දී අවශ්‍ය රන් කරඬුව ද සක් දෙවි රජුන් පූජා කළ බව මහාවංශය සඳහන් කරයි.
බුදුරදුන් හා සක්දෙවියන් අතර වු සම්බන්ධය තථාගතයන් වහන්සේට බුදුවීමට පෙර සිට පැවැතියකි. සක්දෙවි රජු බෝසතාණන්ට පාරමිතා පිරීමටත් වරින්වර උපකාරි වූ අවස්ථා රැසක් ජාතක පාලියෙහි හමුවේ. එසේම සක්දෙවි රජතුමාගේ ආයු ගෙවී යන මොහොතේ බුදුරදුන්ගේ උපදෙස් පරිදි නැවත සක්‍ර ආත්ම භවය පුනර්භවයක් බවට පත්කරගැනීමේ සුවිශේෂ අවස්ථාවක් සක්දෙව් රජුට ලැබුණි. අටුවාව එය විස්තර කරන්නේ සක්දෙවි රජුන් අනාගාමි භවයට පත්වූ බවකි. බුදුරදුන්ගේ යමක ප්‍රාතිහාර්ය පෑ අවස්ථාවන්හි දී සක් දෙව් රජු සුවිශේෂ කාර්යයක් කළ බව දැක්වේ.
වරක් අප බුදුරජාණන් වහන්සේ වෛශාලියෙහි කූඨාගාර ශාලාවේ වැඩ වසන අවස්ථාවෙක සීවලී මහ රහතන් වහන්සේගේ පියා වූ මහාලී නම් ලිච්ඡවී ගෘහපති බුදුරදුන් හමුවේ මෙබඳු ප්‍රශ්නයක් ඇසීය. භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සක්දෙවි රජු දැක තිබේද එවිට බුදුරජාණන් වහන්සේ මහාල,ී මම සක්දෙවියන් දුටුවෙමියි පිළිතුරු දුන්නාහ. භාග්‍යවතුන් වහන්ස ඒ ඔබ වහන්සේ දුටුවේ ඇත්තම සක්දෙවියන්ද නැත්නම් ඒවගේ පිළිරුවක්ද එවිට බුදුන් වහන්සේ සක් දෙවිඳුට පැහැදිලි කළෝ, මහාලී මා සක්දෙවියන් දැක්කා පමණක් නොවේ. ඒ සක්දෙවියන් සක් දෙවි පදවිය ලබාගත් හැටිත් බව දනිමියි පැවසූහ.
සක් දෙවියන් මඝවා යන නමින් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. කුලාවක ජාතකයෙන් පැහැදිලි කරන්නේ පෙර සක් දෙවි රජ මඝ නම් තරුණයෙක්ව සිටිය දී ඔහු මිනිස් වගට කළ අප්‍රමාණ සමාජ සේවයේ ප්‍රතිපලයක් වශයෙන් යනු මරණින් මතු ද සක්දෙවි පදවිය ලැබු වගයි. උන්වහන්සේ මහාලී ලිච්ඡවී කෙනෙක් සක්දෙවි පදවිය ලැබීම සඳහා ප්‍රතිපත්ති සතක් ආරක්ෂා කළ යුතු බවද පැවසූහ. සංයුක්ත නිකායේ සත්තවතපාද සූත්‍රයෙන් විස්තර කෙරෙන්නේ එම ප්‍රතිපත්ති සතයි. එම ප්‍රතිපත්ති මෙසේයි.
1.දිවිහිමියෙන් මව්පියන් පෝෂණය කිරීම
2. දිවිහිමියෙන් වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම
3. දිවි හිමියෙන් පි‍්‍රය වචනම කථා කිරීම
4.දිවි හිමියෙන් කේලාම් නොකීම
5. දිවිහිමියෙන් මසුරකු නොවී පරිත්‍යාගශීලි වීම
6. දිවි හිමියෙන් සත්‍ය වචනයම ප්‍රකාශ කිරීම
7. දිවි හිමියෙන් කිසිවකුට ක්‍රෝධ නොකොට සිටීම
සක්දෙවිඳුන් පිළිබඳ මේ පෙර අනුගමනය කළ ප්‍රතිපත්ති කෙනෙකුගේ ජීවිතයට සමීප කර ගැනීම
කොතරම් ප්‍රතිඵලදායක ද සක් දෙවි පදවිය පමණක් නොව විශිෂ්ටතම නායකත්වයක් සඳහා මෙම ප්‍රතිපත්ති සතර සැමදාටම ප්‍රායෝගික වනු ඇත.
සක් දෙවි රජු තාවතිසංයේ පමණක් නොව චාතුම්මහා රාජික දෙව් ලොවට ද පුම්‍රඛයකු ලෙස පිළිගැනේ. ඒ සියලු දෙයින් අතර ආයු, වර්ණ, සැප, බල හා ප්‍රඥාවෙන් ද කීර්තියෙන්ද සක්දෙවි රජ කැපී පෙනෙයි. සක් දෙවියන් රූප, ශබ්ද, ගන්ධ. රස, ස්වාර්ථ ඉන්ද්‍රිය පහෙන් ලබන සංවේදී බව අතින් සියුම් කෙනෙකු බව සංයුක්ත නිකායෙහි සඳහන් වේ.
සක්දෙවි රදුන්ගේ චරිතයෙන් හෙළිවන ගුණාංග යන් තවදුරටත් සූත්‍රයන්හි විස්තර වේ. ඒ අතර 1.සක් දෙවි රජු විසින් උසස් කොට සැලකූ කෙනෙකි. 2.බිය සුළු බව හෙළා දකින සක්දෙවි රජු තමාට කොතරම් බලය තිබුණත් සතුරා කෙරෙහි ඉවසිලිමත් වේ. 3. සක්දෙවි රජ මෛත්‍රියෙන් හා කරුණාවෙන් කෝපය පාලනය කරණ කෙනෙකි. 4. විශේෂයෙන් ඔහු සතුරා කෙරෙහි කරුණාව දැක්වූ කෙනෙකි. 5.සතුරා පැරදවූයේ ප්‍රචණ්ඩත්වයෙන් නොව උපාය උපක්‍රමවලිනි. 6. සක්දෙවි රජ බුද්ධිමතුන් කෙරෙහි අතිශය ගෞරවාදරයක් දැක්වූ අතර මුලින් කී සප්ත ප්‍රතිපත්ති ජීවිතය පුරාම ආරක්ෂා කරන කෙනෙකි.
සක්දෙවි රජුන්ගේ ඉවසීම පරීක්ෂා කෙරෙන අපූරු අවස්ථාවක් ත්‍රිපිටකයේ හමුවෙයි. වරක් විරූපී අප්‍රසන්න පෙනුමැති යක්ෂයෙක් සක් දෙවිඳුන් නැති අවස්ථාවක එතුමාගේ ආසනයේ අසුන් ගත්තේය. දෙවියො මේ දැක යක්ෂයාට නින්දා කරමින් අසුනෙන් නෙරපීමට උත්සාහ ගත්හ. මේ යක්ෂයාට දෙවියෝ නින්දා කරත්ම වඩ වඩාත් රූමත් විය. විශාල විය . මේ පුදුම සහගත සිද්ධිය සක් දෙවියන්ට පැමිණිලි කළහ. සක්දෙවියන් බුද්ධිමතකු වූ නිසා යක්ෂයාගේ කෝපය බුදින කෝපය ආහාර කොටගත් කෙනෙක් බව වටහාගත්හ. සක්දෙවි පැමිණ යක්ෂයා ඉදිරියෙහි දණ නමා “නිදුකාණෙනි, මම සක් දෙවිඳු වෙමි. ඔබතුමාට අවශ්‍ය මොනවාද” ඉතා පි‍්‍රය වචනයෙන් යක්ෂයා අමතන විට ක්‍රමයෙන් යක්ෂයා දුර්වර්ණ වෙමින් ප්‍රකෘති තත්ත්වයට පත්වී අසුනින් බැස ගියේය. මේ කරණු දුබ්බණ්නී සූත්‍රයෙහි සඳහන් වේ.
සම්බුදු සසුනත් ලංකාද්වීපයත් සත්වයාටත් ආශිර්වාද කරන සක්දෙවි රජුන් අප කෘතවේදීව සිහිපත් කළ යුතුය. අවසාන වශයෙන් සක් දෙවියන්ට පින් දෙන ගාථාවන් මෙහි සටහන් කරනු කැමැත්තෙමි.
මඝ මානව ජිතම්හි –අකතං සුභ සාධනං 
තෙනෙව පුඤ්ඤමෙවන –පතෙතාසි සග්ග නායකං

සකෙකා පුරින්දෝදොරවා - උභො සුගති නායකො 
සීහල දීපං පාලෙකි සම්මා සම්බුද්ධ මාමකො

සහනවය චක්ඛු දෙවින්ද්‍ර– සම්බුද්ධ සායනෙ රතො 
පුඤ්ඤති පතිගත්නකත්වාන රක්ඛතුමං සාධවො

සම්බුදු සසුනත් ලංකා භූමියත් රකින සක්දෙවි රජාණන් වෙත කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අනුත්තරීය වූ උතුම් බඹසර

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

'සික්‌ඛානිසංස මිදං භිකඛවේ 
බ්‍රහ්මචරියං වුස්‌සති - පඤ්ඤුත්තරං විමුත්ති 
සාරං සතාධිපතේය්‍යං'


'මහණෙනි, ශික්‌ෂා අනුසස්‌කොට ඇති ප්‍රඥ උතුම්කොට ඇති විමුක්‌තිය සාරකොට ඇති සිහිය ආධිපත්‍යයකොට ඇති මේ බඹසර වාසය කරනු ලබන්නේ වෙයි.''
බඹසර පිළිබඳ උතුම් දේශනාවක්‌ අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ සික්‌ඛානිසංස සූත්‍රයෙහි දැක්‌වෙයි. එම සූත්‍රය ඇසුරුකරගෙන, ධර්ම විවරණයක්‌ සකස්‌ කරගනිමු. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.
'මහණෙනි, මේ බඹසර කෙසේ ශික්‌ෂා ආනිසංස කොට ඇත්තේද? මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට මා විසින් අපහැදවූ අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත, උතුම්වත් පිsළිබඳ වූ ආභිසමාචාරික ශික්‌ෂා පනවන ලද්දේය. යම් ආකාරයකින් මා විසින් පැහැදුනු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුනු අයගේ වැඩි පැහැදීම පිණිසත් ආභිසමාචාරික ශික්‌ෂා පනවන ලද ,ඒ ඒ සැටියෙන් හෙතෙම ඒ ශික්‌ෂාවන්හි අඛණ්‌ඩකාරී වෙයි. (මුලින් හෝ අගින් සිල් නොකැඩුණේ වෙයි). අච්äද්දකාරී වේ. (මැද එක ශික්‌ෂා පදයක්‌ද නොකැඩුණේ වෙයි). අසබලකාරී වෙයි. (පිළිවෙළින් ශික්‌ෂාපද දෙක තුන නොකැඩුණේ වෙයි), අකල්මාෂකාරීවෙයි. (එකක්‌ හැර එකක්‌ ලෙස ශික්‌ෂාපද නොකැඩුණේ වෙයි). ඉතා හොඳින් සමාදන්ව ශිකෂා පදයන්හි හික්‌මෙයි. තවද මහණෙනි, මා විසින් සර්ව ප්‍රකාරයෙන් මොනවට දුක්‌ නස්‌නා පිණිස ශ්‍රාවකයන්ට ආදි බ්‍රහ්මචර්ය (මාර්ග බ්‍රහ්මචර්යාවට මුල වූ සංවරය) ශික්‌ෂා පද පනවන ලද්දේය. මහණෙනි, යම් යම් ආකාරයකින් මා විසින් සර්වප්‍රකාරයෙන් මනාකොට දුක්‌ නැසීම පිණිස ශ්‍රාවකයන්ට ආදී බ්‍රහ්මචර්යා ශික්‌ෂා පනවනලදද, ඒ ඒ ආකාරයෙන්ම ඒ ශික්‌ෂාවන්හි අඛන්ඩකාරී වෙයි. අච්äද්දකාරී වෙයි. අශබලකාරී වෙයි. අකල්මාෂකාරී වෙයි. මනාකොට සමාදන්ව ශික්‌ෂා පදයන්හි හික්‌මෙයි. මහණෙනි, මේ ආකාරයෙන් මේ බඹසර අනුසස්‌කොට ඇතිවෙයි'.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ධර්ම රසයෙන් මිහිරි වූ ශ්‍රී සද්ධර්මය මුල, මැද, අග නම් තුන් තැනින්ම පිරිසිදුවූයේ වෙයි. එනම් රාග, දොaස, මෝහයෙන් බැහැර වූයේ වෙයි. අර්ථ රසයෙන් සදහම් මිහිරි රසයෙන් යුක්‌තව, සියලු ආකාරයෙන් පරිපූර්ණව, පිරිසිදුවූ බ්‍රහ්මචර්යාවෙන් යුක්‌ත වෙයි. ඒ නම් මේ පවසන බඹසරයි. 'අභිවිසිට්‌ඨෝ උත්තමෝ සාමාචාරො ආභිසමාචාරො' එනම් උත්කෘෂ්ට වූ හැසිරීම හෙවත් ආචාරය ආභිසමාචාර නම් වෙයි. මෙයින් අදහස්‌ වනනේ උතුම් හැසිරීමයි. මේ අනුව, ෂේය ශික්‌ෂා පද 75 ක්‌ ඇතුළු සියලු කුඩා අනුකුඩා ශිකෂා පද මනාකොට ආරක්‌ෂා කිරීම උතුම් හැසිරීමට අයත් වෙයි. එනම් සිවුරු පෙරවීම, ගමන් කිරීම, ආහාරපාන වැළඳීම ආදී වත් පිළිවෙත් මෙයට ඇතුළත් වෙයි. එමෙන්ම වත්තක්‌ ඛන්ධකයේ සඳහන් අයුරින් පහත සඳහන් වත් පිළිවෙත් සැපිරීමද ආභිසමාචාරික සීලයෙන් බඹසර සමන්නාගත වෙයි. සෑ මළු වත, බෝමළුවත, උපාධ්‍යායවත, ආචරියවත, ගිනිහල්ගේ වත, පොහොයගෙයිවත වශයෙනි.
එමෙන්ම ආගන්තුක වත, ආවාසික වත, ගමක වත, අනුමෝදන වත, භත්තග්ගවත, පිණ්‌ඩචාරික වත, ආරඤ්ඤක වත, සේනාසන වත, වැසිකිලිs වත, සද්ධිවිහාරික වත, අන්තේවාසිකවත ආදියද මෙම උතුම් ශීලයටම අයත් වෙයි. සීලයෙන් අනුසස්‌ වන උතුම් බඹසරෙහි, උතුම් හැසිරීම සංකේතවත් කිරීම පිණිස, සේයා ශික්‌ෂාවන්ට අයත් ශික්‌ෂාපද කීපයක්‌ මෙහි දැක්‌විය හැකිය. 
'පරිමණ්‌ඩලං නිවාසෙස්‌සාමීති සික්‌ඛා කරණීය' (හාත්පසින් වටකොට අඳනය අඳින්නෙමි). 'පරිමණ්‌ඩලං පාරුපිස්‌සාමීති සික්‌ඛා කරණීයා' (හාත්පසින් වටකොට සිවුරු පොරවන්නෙමි), 'න සුරු සුරු කරකං භුඤ්ජිඝසාමීති සික්‌ඛා කරණීය' (සුරු සුරු යන හඬ ඇතිකොට නොවළඳන්නෙමි), 'න හFථ නිල්ලෙහකං භුඤ්ජිස්‌සාමිති සික්‌ඛා කරණීයා' (අත ලෙව කමින් නොවළඳන්නෙමි) මේ ආදී වශයෙනි.
එමෙන්ම ආදීබ්‍රහ්මචරියා සීලයන් (මාර්ග බ්‍රහ්මචරියාවට මුල් වූ සංවර බව) බඹසරට එකතුවෙයි. සතර මාර්ගයට උපකාරී වන ආජීවය අටවෙනි කොට ඇති, මෙම සීලයෙන් පාරිශුද්ධ වූ ආජීවයක්‌ හෙවත් පිරිසිදු දිවි පැවැත්මක්‌ බලාපොරොත්තු වෙයි. මිච්ඡා ආජීවයට යොමු වූවොත් ගිහි වුවත්, පැවිදි වුවත් නිවන් මඟ අරමුණු කරගත් මාර්ග බ්‍රහ්මචරියාවෙන් බැහැර වෙයි. භාග්‍යවතුන් වහන්සේ, පෙන්වා දෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය. මේ ලාබ සත්කාර කීර්ති. ප්‍රශංසා දරුණුය. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මිනිසාගේ සමේ සිවියසිඳී, සිවි සිඳ, හම සිඳී හම සිඳ, මස්‌ සිඳී, නහරසිඳ, ඇට පැදී ඇට සිඳ, ඇට මිදුළු පසාරුකරගෙන ගොස්‌ සිටී යනුවෙනි. (ලාබ සත්කාර සූත්‍රය). ආදී බ්‍රහ්මචාරියා සීලයෙන් පරිපූර්ණ වූ පැවිද්දා විසින් ප්‍රාතිමෝක්‌ෂ සංවරසීලයෙන් යුතුව බඹසරද පරිපූර්ණ කරගනී. ගෘහස්‌ත ජීවිතයක්‌ ගත කරන උපාසක- උපාසිකාවද ආර්ය මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙන් ශ්‍රාවිකාවක්‌ වී මාර්ග බ්‍රහ්මචරියාවටම අනුයුක්‌ත වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. මහණෙනි, බඹසර කෙසේ ප්‍රඥව උතුම්කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට මා විසින් සියලු ආකාරයෙන් මනාකොට දුක්‌ නසනු පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයෝ දේශනා කරන ලදහ. යම් ආකාරයකින් මා විසින් සියලු ආකාරයෙන් මනාකොට දුක්‌ නසනු පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසන ලදද, ඒ ඒ ආකාරයෙන් ඔවුන් විසින් ඒ ධර්මයෝ මනාකොට අවබෝධ කරන ලද්දාහු වෙත්. මහණෙනි, මෙසේ මේ බඹසර ප්‍රඥව ශ්‍රේෂ්ඨ කොට ඇතිවෙයි'. එසේ නම් බ්‍රහ්මචරියාවෙහි අත්‍යන්ත වූ නිශ්ඨාව විය යුත්තේ බඹසර ප්‍රඥවමයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ නැවතත් දේශනා කරති. 'මහණෙනි, බඹසර කෙසේ විමුක්‌තිය සාර කොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මා විසින් සියලු ආකාරයෙන් දුක්‌නසනු පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසන ලදී. මහණෙනි, යම් යම් ආකාරයකින් මා විසින් සියලු ආකාරයෙන් මනාකොට දුක්‌ නසනු පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසන ලදද, ඒ ඒ ආකාරයෙන්ම ඒ ධර්මයෝ විමුක්‌ති ඥනයෙන් ස්‌පර්ශ ලද්දාහු වෙති. මහණෙනි, මෙසේ බඹසර විමුක්‌තිය සාරකොට ඇත්තේ වෙයි' භාග්‍යවතුන් වහන්සේ මෙහි දේශනා කළ උතුම්වූ දහම් පෙළ අපට මෙසේ පැහැදිලිකරගත හැකිය. 
සීල, සමාධි, ප්‍රඥ, විමුක්‌ති, විමුක්‌ති ඥන දර්ශන ඔස්‌සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරන රහතුන් වහන්සේ මෙසේ නිකෙලෙස්‌ වූ උදානයක්‌ ප්‍රකාශ කරති. '‚ණා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති'. 'ජාතිය හෙවත් ඉපදීම නැතිකරන ලදී. බඹසර හැසුරුණේ වෙයි. ඒ වෙනුවෙන් කළ යුතු සියල්ල කරන ලද්දේ වෙයි. කළයුතු අන් කිසිවක්‌ ඉතිරිව නැත' යනුවෙනි.
නැවතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. 'මහණෙනි, කෙසේ බඹසර සතිය හෙවත් සිහිය ආධිපත්‍ය කොට ඇත්තේද? මෙසේ සම්පූර්ණ නොවූ ආභිසමාචාරික ශික්‌ෂා පුරයිද, පරිපූර්ණ වූ ආභිසමාචාරික ශික්‌ෂා ඒ ඒ තැන විදර්ශනා ප්‍රඥවෙන් ලුහුබැඳ ගනිමියි, තම සිත්හි 'සිහිය මනාකොට පවත්වා ගන්නේ වෙයි. මෙසේ සම්පූර්ණ නොවූ ආදි බ්‍රහ්මචර්යා ශික්‌ෂා පුරමියි හෝ පරිපූර්ණ ආදී බ්‍රහ්මචරියා ශික්‌ෂා ඒ ඒ තැන විදර්ශනා ප්‍රඥයෙන් ලුහු බැඳ ගනිමියි ආධ්‍යාත්මයෙහි 'සිහිය' මනාකොට පවත්වා ගන්නේ වෙයි. මෙසේ මාර්ග ප්‍රඥයෙන් නොදක්‌නා ලද චතුරාර්ය සත්‍ය ධර්මය මාර්ග ප්‍රඥයෙන් දකිමියි, හෝ මාර්ග ප්‍රඥයෙන් දක්‌නා ලද චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ඒ තැන මාර්ග ප්‍රඥයෙන් ලුහුබැඳ ගනිමියි ආධ්‍යත්මයෙහි සතිය හෙවත් 'සිහිය' නොකොට පිහිටුවා ගන්නේ වෙයි. මෙසේ ඥන ස්‌පර්ශයෙන් ස්‌පර්ශ නොකරන ලද ධර්මය අරහත් ඵල විමුක්‌තියෙන් ස්‌පර්ශ කරන්නෙමියි හෝ ස්‌පර්ශ කරන ලද ධර්මය, ඒ ඒ තැන ලුහුබැඳ ගනිමියි, ආධ්‍යාත්මයෙහි සිහිය මනාකොට පිහිටවන්නේ වෙයි. 
මෙසේ බඹසර සතිය අධිපතිකොට ඇතිවෙයි. ආභිසමාචාරික හෝ ආදි බ්‍රහ්මචරියක ශීලයන්හි නොපිරුණු බවක්‌ වේ නම් සිහියෙන් යුතුව එහි පරිපූර්ණත්වයට පැමිණෙයි. පරිපූර්ණත්වයෙහි සිටින්නේ නම් විදර්ශනා ප්‍රඥවෙන් යුතුව ශික්‌ෂා මාර්ගයෙහි ගමන් කරයි. මාර්ග ප්‍රඥවත්, බඹසර විමුක්‌තියත් ඒ ලෙසින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබොධය පිණිසම පිහිට පත්වන්නේ වෙයි. අර්හත් ඵල විමුක්‌තිය පිණිස සිහිය පිහිටුවන ශ්‍රාවකයාට 'යං කිඤචි සමුදය ධම්මං සබ්බාං තං නිරෝධ ධම්මං' 'යමක්‌ හටගන්නා සුළුද, ඒ හැම නැසෙන සුළුය' නම්වූ විමුක්‌ති ඥන දර්ශනය ප්‍රකට වෙයි. මින් ප්‍රකට වන්නේ 'සබ්බේ සංඛාරා අනිච්චාති, සියලු සංස්‌කාර ධර්මයො අනිත්‍යයි. 'සබ්බේ සංඛාර දුක්‌ඛාති - සියලු සංස්‌කාර ධර්මයෝ දුක්‌ඛහය. 'සබ්බේ ධම්මා අනත්තාති' සියලු ධර්මයෝ අනන්තයහ. එනම් මා වසඟයෙහි නොපවන්නේය' යනුවෙන් මාර්ග ඵලාවබෝධය පිණිස හේතුවන විදර්ශනා මාර්ගයමයි. උදයවය ඥනය, භාග ඥනය (උදයFථ ගාමිනියා පඤ්Æ) ආදී වශයෙන් මතු කරන්නාවූ නව මහා විදර්ශනාවම මෙහි එකතු කර ගැනීමට හැකිය. උතුම් බඹසර මෙසේ අනුත්තරීය වෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තිදොර සංවර කර ගත යුත්තේ ඇයි

හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති 

මාවරලේ භද්දිය හිමි

බුදු දහම සම්මුති සංවරය තුළින් පමණක් නැවතිය යුතු යැයි ප්‍රකාශ කරන දහමක් නොවේ. බුද්ධ ශ්‍රාවකයන් වන අපගේ අරමුණ වනුයේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් අවබෝධ කරගැනීමයි. ලස්සනට සංවරව ඇඳ පැළඳ අනෙකුත් පිරිසගේ සිත කලබල කරන්නේ නැතිව සිටීම පමණක් අපගේ ජීවිතයේ අරමුණ නොවේ. මිනිස් ජීව්තයක ප්‍රධානම අරමුණ නිවන් දැකීමයි. නිවන් දැකීමට නම්, අප තුළ තිබිය යුත්තේ කුමන ආකාරයේ සංවරකමක්ද කයෙන් වැරැදි තුනක් නොකර සිටීම පළමු කාරණාවයි.
කායේන සංවරෝ සාධු 
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු 
සාධු සබ්බත්ත සංවරෝ
කය සංවර කරගත යුතුවා සේම සියලුම ආකාරයෙන් සෑම පැත්තකින්ම සංවර විය යුතු බව බුදුරජාණන් වහන්සේ අපට උගන්වා ඇත. සම්මුති ලෝකය තුළ , සංවරකම සහ අපගේ පරමාර්ථ සම්පූර්ණ කරගැනීම සදහා කටයුතු කළ යුතුයි. සම්මුති ලෝකයේ සංවරකම යනු පාරේ ගමන් කිරීම සඳහා කහ ඉරක් ලකුණු කර තිබේ නම් එම කහ ඉරෙන් පමණක් පාර මාරුවීම සංවරකම වේ. මිනිසුන් ට ගමන් කිරීම සදහා පදික වේදිකාවක් ගොඩනගා තිබෙනවා නම් එම පදික වේදිකාවෙහි නිවැරැදි පැත්ත තුළ ගමන් කිරීම සංවරකම වේ. පඩි පෙළක ඉහළට නගින විට එය බැසයන පිරිසට ඉඩ තබමින් පඩි පෙළ නගින පිරිස එක පැත්තකින් පමණක් පඩිපෙල දිගේ ඉදිරියට ගමන් කිරීම අපගේ සංවර කමයි. සමිමුති ලෝකය තුළ සංවරව ජීවත් නොවුන හොත් ලෝකය තුළත් හරිම අපිළිවෙළක් ඇතිවෙයි. මිනිසුන් අසංවරව පාරේ ගමන් කරනවා නම්, අසංවරව යම් ස්ථානයකට ඇතුළු වනවා නම්, හෝ පිට වී යනවා නම්, එම රට ඉදිරියට ගමන් කරන්නේ නැහැ.
බටහිර රටවල ජයග්‍රහණය සඳහා එක් හේතුවක් වනුයේ ඔවුන් සම්මුති පැවැත්ම සඳහා අවශ්‍ය සංවරය ඔවුන් විසින් නිවැරැදිව ගොඩනගා ගෙන තිබීමයි. ඔවුන්ට ගමනක් යාමට තිබෙනවා නම් එම පිරිස බසය නියමිත වේලාවට පැමිණෙන නිසා එම වේලාව ප්‍රමාද නොකර නියමිත වේලාවට පෙර අදාළ බස් නැවතුම වෙත පැමිණ රැඳී සිටීමට තරම් ඔවුන් තුළ සංවරකම සහ ඉවසීම ගොඩනගා ගෙන තිබීම ඔවුනගේ අනාගත අභිවෘර්ධියට එක හේතු සාධකයක් වෙයි. එම බසය පිටත්වීමට තිබෙන නියමිත ෙවිලාව පැමිණි විගසම දොරටු වසාගෙසන බසය ගමන ආරම්භ කරයි. විනාඩි දහයක් මෝ ප්‍රමාද වූ මඟියකු ඇත්නම් ඔහු හෝ ඇය ඊළඟට පැමිණෙන බසයේ ගමන් කළ යුතුයි. අප හැඩ ගැසී තිබෙන්නේ අප ගෙදර සිට එනකම් හෝ බසය නවත්වාගෙන සිටිය යුතුය යන මානසිකත්වය වන අතර රියදුරු මහත්වරුද නියමිත වේලාවට අප රැගෙන යන්නේද නැත. අප ප්‍රමාද වී බසයට ගොඩ වුවද අපගේ අවශ්‍යතාව වනුයේ නියමිත වේලාවට අපට අදාල ස්ථානයට රුගෙන යා යතු බවට අප සිතනු ලබයි. අප සම්බන්ධව ගනු ලැබුවාවූ තීරණයම පාරේ ගමන් කරන හැම පුද්ගලයා කෙරෙහිම ක්‍රියාත්ක කිරීම නිසා සම්ුපූර්ණයෙන්ම මිනිසුන් පනහකගේ හැටකගේ සම්පූර්ණ වැඩ කටයුතු අඩාල වෙයි. නියමිත වේලාවට යා යුතු නම් නියමිත වේලාවට බසය පිටත් විය යුතු අතර මඟියාද නියමිත වේලාවට බස් නැවතුම වෙත පැමිණිය යුතුªයි. මඟීන් බසයෙන් බසිද්දීම අනෙක් පැත්තෙන් රිංගීමට හෝ උත්සාහ කිරීම නිසා වන ප්‍රමාදයෙන් අපගේ සියලුම කටයතු ප්‍රමාද වී යයි. බසය තුළ සිටින අන්තිම මඟියා බසයෙන් බසින තෙක් බලා සිට බසයට නැඟීමට තරම් අප කාරුණික වන්නේ හෝ සංවර වන්නේ නැත. රටවල් දියුණු වී ඇත්තේ එම සංවරකම නිසයි. අපගේ පිළිවෙළක් නැතිකම නිසාම අප අසාර්ථක මිනිසුන් බවට පත්වනු ඇත. අප තුළ සංවරයක් ගොඩනගා ගැනීමට කටයුතු කළ යුතුය.
ඇඳුම පැළඳුම, ආහාර පාන ගැනීම, බුදුන් වැඳීම, මෙන්ම තමන් කරන ක්‍රියාවන් සඳහා එයට අදාළ විනයක් තිබිය යුතුය. එසේ නොවුන හොත් සම්මුති ජීව්තය අවුල් සහගත වනු ඇත. සාමාන්‍ය ලෝකය තුළ පවතින සංවරකම ආගමකට අයත් වන කාරණාවක් නොවේ. කහ ඉර පැනීම නිවැරැදිව පාර මාරුවීම සඳහා නීතිය පමණක් අදාළ වන අතර එය වෙනත් ආගමකටද යන්න ආගමකට ඇතුළත් කාරණාවක් නොවේ. බස් නැවතුම ආගමකට අදාළ වන්නේ නැත. සංවරකම සෑම විටම ආගමික කාරණාවක් ලෙස නොගත යුතුය. සංවරවීම රටේ පොදු සම්ප්‍රදායක් වෙයි. බොහොම හෙමින් කතාකරන, සෙමින් වැඩකටයුතු කරන , දඟලන්නේ නැතිව සිටීන පිරිස් සංවර වුවන් ලෙස අප සැළකුවද එහි වරදක් නැතත් සෙමින් කතා කිරීම වාචසික සංවරය ලෙස බුදු දහම හඳුන්වන්නේ නැත. 'දිවීම' කායික අසංවරය ලෙස බුදුදහම සළකන්නේ නැත.
ස්වාමීන් වහන්සේ නමක් දිව්වා කියා අපායගාමීවන්නේ නැත.ස්වාමීන් වහන්සේගේ සීලය පිළිබඳ ප්‍රශ්නයක් ඒ තුළ නොමැති වුවද, එසේ දිවීම ස්වාමීන් වහන්සේ නමකට ගැලපෙන්නේ නැත. දිවීම තුළින් ස්වාමීන් වහන්සේ නමක් දුසිල්වත් බව තීරණය කළ නොහැකිය. එය ස්වාමීන් වහන්සේගේ නිවන් මඟ සමඟ සම්බන්ධ ප්‍රශ්නයක් නොවන නිසාම පූර්ණ අවබෝධය කරා යන ගමනට එය කිසිදු සම්බන්ධයක් නැති බව ඔබ වටහාගත යුතුයි. ස්වාමීන්වහන්සේලා සිල්වත්ද දුසිල්වත්ද යන්න මැනීම සඳහා මිනිසුන් එවැනි ක්‍රියාවන් යොදා ගනු ලබයි. වචන උච්චාරණය කිරීම , අතපය හැසීරවීම බුදුහාමුදුරුවන් දේශනා කරනු ලැබූ ආගමික ශික්ෂාවට හෙවත් ආගමික සංවරකමට අදාළ වන්නේ නැත. සාමාන්‍ය සම්මුති ලෝකය තුළ සිටින මිනිසුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය වනුයේ සිල්වතා කවුද යන්න පිළිබඳව තවකෙනකුගේ සිල්වත් බව සෙවීමට වැඩකට නැති කාරණාවක් ද වෙයි. ගිහි පැවිදි දෙපිරිසම සම්පූර්ණ විශ්වාසය මත පිහිටා වැඩ කටයුතු කරගෙන යනු ලබයි. ස්වාමීන් වහන්සේලා සිල්වත් බවට ගිහියා විශ්වාස කරන අතර ගිහියා ගිහි සිල් ආරක්ෂා කරනු ඇති බවට ස්වාමීන් වහන්සේලා විශ්වාස කරනු ලබයි.
සිල්වත් බවේ ප්‍රමාණය දන්නේ තම තමන් පමණයි. සීලය කෙතරම්ද යන්න සොයාගැනීම ඇතැම් පුද්ගලයන්ට අවශ්‍ය කාරණාවක්. සීලය පිළිබඳව කිසියම් දුරක් බලාගෙන යාම හාමුදුරුවන්ට පමණක් නොවේ, ගිිහියන්ටත් එතරම් හොඳ කාරණාවක් නොවේ. පාරේ ගමන් කරන විට බඹයක් පමණ දුර බැලිය යුතු බව බුදුපියාණන් වහන්සේ ගිහියන්ටත් ස්වාමීන් වහන්සේලාටත් වදාරා ඇත. ඒ ටික දුර හෝ සිහිකල්්පනාවෙන් සොයා බලා ගමන් කළහොත් වළකට හෝ ඇද වැටීමට හැකියි. එය නිවනට සම්බන්ධ කාරණා නොවුනත් බුදුපියාණන් වහන්සේ එවැනි දේ වදාරනු ලැබ ඇත්තේ එය ජීවත් විමට අවශ්‍ය වන කාරණා වූ බැවිනි. මහ හයියෙන් කෑ කෝ ගසන අය බුදු හිමියන්ගේ ශ්‍රාවකයන් නොවන අතර කෑ නොගසන අය බුදුහිමියන්ගේ ශ්‍රාවකයන් වන්නේද නැත. කොක් හඬළා සිනාසෙන්නේ නැතුවා සේම එසේ නොකරන පිරිස බුද්ධ ශ්‍රාවකයන් බව ඒ තුළින් ඇඟවෙන්නේ නැත. බුද්ධ ශ්‍රාවකයකු වීමට කළ යුත්තේ වෙනම කාරණාවන් වේ.
සංවරකමෙහි සම්මුති අර්ථයක් තිබෙන බව අප අවබෝධ කරගත යුතුයි. උපාසිකාවක් තමන්ට ගැලපෙන ඇඳුමින් පැළඳුමින් ද , තරුණ දරුවන් ඔවුන්ට ගැලපෙන සංවර ඇඳුමින්ද පැළඳුමින්ද සැරසී ආගමික ස්ථානවලට පැමිණීම සම්මුතියෙහි පිහිටුවිම වෙයි. සම්මුති ලෝකය තුළ ජීවත් වීමේදී අනික් අයගේ අසංවරකම නිසා අප අසංවර වීම වැළැක්විම පමණක් නොව තමන්ගේ අසංවරකමෙන් අනෙකුත් පිරිස් අසංවර වීම ද වැළැක්විය යුතුයි. අනිත් පිරිස් නිසා අප අසංවර නොවී සිටීමත් සංවරකම වන අතර, අප නිසා අනිත් අය අසංවර තත්වයට පත්නොකර ඉඳීමත්, සංවරකමක් වෙයි. එම සංවරකම් දෙකම අපට අවශ්‍ය කාරණා වන අතර අප කරන ක්‍රියා තුළින් අනෙකුත් පිරිස අසංවර නොවී සිටීමට උත්සාහ කළ යුතුයි. ඇඳුම් පැළඳුම් , කතාබහ හැසීරීම් වැනි කාරණා තුළින් ප්‍රවේසමි විය යුතුය. ස්වාමීන් වහන්සේලා එළියට වැඩම කරනවා නමි,හෝ ගමේ වැඩම කරනවා නම්, හාත්පසින්ම බෙල්ලේ සිට වළලුකර දක්වා සිරුර වටකර සිවුර පෙරවිය යුතු බවට බුදුපියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට වදාරා ඇත. සිරුර වැසෙන සේ දෙවුරම වැසෙන ආකාරයට සිවුර ඇඳිය යුතු බව වදාරා ඇත. ස්වාමීන් වහන්සේලා ගමේ වඩින අවස්ථාවන් තුළ උන්වහන්සේලාගේ ඉන්ද්‍රියන් තුළින් අනෙකුත් පිරිස අසංවර වීම වැළැක්වීමටත්, ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාව තහවුරු වීම සදහා අනෙකුත් පිරිසගේ කරදරකාරී අවධානමකට ලක් විම වැළැක්වීම සදහායි. ඒ තුළින් දෙපාර්ශ්වයේම සංවරය ආරක්ෂා වෙයි. දෙවුර වසා සිවුර පෙරවීම ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාවටත් හොඳයි. කාන්තාවන් සංවර ආකාරයෙන් ඇඳීම තුළින්ම ඔවුන්ගේ ආරක්ෂාව සැළසෙයි. පන්සල ට පැමිණෙන විට සංවර වූ ඇඳුමක් ඇඳ පැමිණිම වඩාත් යෝග්‍ය වූ අතර විළි වසා ගැනීම යන අර්ථයෙන් ගත් විට එලියට යන සෑම අවස්ථාවකදීම කාන්තාව සම්පූර්ණයෙන්ම වැසෙන ආකාරයෙන් සංවර වූ ඇඳුමක් ඇඳගෙන යාම තමාගේ ආරක්ෂාවට බොහෝ හේතු වේ. ඇතැම් අවස්ථාවලදී ළමයින් ඉදිරිපිට ඇඳිය යුත්තේ කුමන ඇඳුමද කියා නොදන්නා අම්මලාත් ලංකාව තුළ ජ,ීවත් වෙනවා. වයස අවුරුදු පනහ හැටක් යන තෙක්ම ඒ අය එක දිගටම කරල තියෙන්නේ වැරැදි පමණයි. තමන්ගේ පුතා තමන්ගේ දුව වැඩිවියට පත් වූ දරුවන් සිටින ස්ථානයට නිවැරැදි ඇඳුමක් නොඇඳ රාත්‍රියට ඇඳ සිටි ඇඳුමින් තමන්ගේ දරුවන් ඉදිරියට පැමිණිම නොහොබිනා ක්‍රියාවක්. රාත්‍රි ඇඳුමින්ම ගෙදර වැඩ කරමින් දවල් වෙනතුරු සිටීම කෙතරම් නොහොබිනා ක්‍රියාවක්ද එසේ ඇඳ සිටීමට ඔවුන්ට ලැජ්ජාවක් නැති වූවිට ඒ අයගේ ගෙවල්වල ජීවත්වන පිරිසටත් එම ලැජ්ජාව නැතිව යයි. ඒනිසා තමන්ගේ නිවස තුළ වැඩිහිටි දරුවන් සිටින නිසාත්, විවිධ වයස් වට්ටම්වල අය සිටින නිසා උදේ අවදිවූ විගසම ශරීරය පිරිසුදු කරගෙන ඇඳුමක් ඇඳගැනීම ශිෂ්ටකම හෙවත් හැදිච්ච කමයි. සංවරව ඇඳුමක් ඇඳ දවස ආරම්භ කළ යුතුය. රාත්‍රියට ඇඳ සිටි ඇඳුමින්ම සැරසිළා උදේ ආහාරය සඳහා පාන් රැගෙන ඒමට කඩයට යාම කෙතරම් විලි ලැජ්ජා නැති ක්‍රියාවක්ද කෙතරම් අසෝභනද ඒ අය ගමන් කරන්නේ අනෙකුත් පිරිස් ගමන් කරන මහ පාරේම බව ඔවුන්ට හැෙඟන්නේ නැතිද ගෙදර මෙතරම් වැඩ කන්දරාවක් තිබියදී ඇඳ ඇඳ සිටිය හැකිද කියලා ඒ අය හිතනවා. කෙතරම් වැඩ තිබුණද, පිරිසුදු ඇඳුමක් ඇඳගෙන සංවරව සිටීම වටිනම වැඩක් වෙයි. සංවරව ඇඳුමක් ඇඳගැනීම තුළින් තමාගේ ගෞරවය ආරක්ෂා වෙනවා වගේම අනෙක් පැත්තෙන් තමන් නිසා තමන්ගේ ආරක්ෂාවත් සැළසෙයි. තමන් නිසා අනෙකුත් පිරිසගේ මනස අවුල් වීම වැළැක්වෙන අතර පිළිකුළක් ඇතිවීම ද වැළකීයයි. අනෙකුත් අයගේ මනසට ආරක්ෂාව හෝ පිළිකුලක් ඇති නොවන ආකාරයෙන් සිටීමට දෙමවිපියන් වන ඔබ සිතිය යුතුය.
බුදු දහම සම්මුති සංවරය තුළින් පමණක් නැවතිය යුතු යැයි ප්‍රකාශ කරන දහමක් නොවේ. බුද්ධ ශ්‍රාවකයන් වන අපගේ අරමුණ වනුයේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් අවබෝධ කරගැනීමයි. ලස්සනට සංවරව ඇඳ පැළඳ අනෙකුත් පිරිසගේ සිත කලබල කරන්නේ නැතිව සිටීම පමණක් අපගේ ජීවිතයේ අරමුණ නොවේ. මිනිස් ජීව්තයක ප්‍රධානම අරමුණ නිවන් දැකීමයි. නිවන් දැකීමට නම්, අප තුළ තිබිය යුත්තේ කුමන ආකාරයේ සංවරකමක්ද කයෙන් වැරැදි තුනක් නොකර සිටීම පළමු කාරණාවයි.
පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි හෙවත් මගේ පණ පාවිච්චි කර කුරා කූඹ්යකුවත් නොමරා සිටීම පළමු පරමාර්ථය විය යුතුයි. එය කායිකව සංවර වීමේ උපරිම තලය එයයි. අදින්නාදාන හෙවත් කය පාවිච්ච් කරමින් සොරකම් නොකර සිටිය යුතුයි. කාමේසුම්ච්ඡාචාරා හෙවත් කය පාවිච්චි කර වැරදි කාමයන් සොයන්නේ නැතිව සිටිය යුතුයි. කාමයම වැරැදි වුවද, වැරැදි කාමය එයටත් වඩා වැරැදි කාරණාවක් වෙයි. කාමයම වැරැදි වුවද, කාම මිත්‍යාචාරයෙන් ඉවත් වූ නිදහස් වූ විනිර්මුක්ත වූ ජීවිතයක් ගත කිරීමට ගිහියන්ට පැමිණිය නොහැකියි.නිවන් මඟ පුහුණු කරන්නාවූ අතර තුරේ ගිහියන්ගේ පැවැත්ම සඳහා කාමමිත්‍යාචාරයෙන් ඉවත් ව නිදහස් වූ ජීවිතයක් ගිහියන්ට කළ නොහැකියි. පැවැත්ම සම්ුපූර්ණයෙන්ම සහතික වූ පැවිද්දකු බවට ගිහියාට පත්විය නොහැකියි. එවැනි අතහැරීමකට සියලුම ආකාරයේ ගිහියන්ට පැමිණිය නොහැකියි.
පැවිදි ජීවිතය සදහා පෙර සංසාර පුහුණුවක් තිබිය යුතුයි. කෝටි දෙකක් ජනගහණය අතරින් පැවිදි පිරිස තිස් දහසක් පමණ සුළු ප්‍රමාණයක් කැප වී සිටින්නේ සියලුම ගිහියන්ට එය කළ නොහැකිවූ දුෂ්කර කාර්යභාරයක් නිසයි. එය විශාල අතහැරීමක් මෙන්ම විශාල සංයමයක් තිබිය යුතුය. එතරම් කැප කිරීමකට ගිහිපිරිසට කළ නොහැකි නිසා ගිහියන්ට වැරැදි නොකළ යුතු බවට දේශනා කොට ඇත. ප්‍රාණඝාත, සොරකම, කාමමිත්‍යාචාරය යනුවෙන් කායික වැරැදි තුනක් වෙයි. මෙම කාරණා තුන තමන්ට කරගන්නා වැරැදි වගේම අනුන්ට කරන වැරැදි ද වෙයි. ප්‍රාණඝාත කරන විට තමන්ගේ ද්වේෂය වර්ධනය වීම තමන්ට කරගන්නා වැරැදි යි. නරක චෛතසිකයන් නිතරම බලවත් වන්නේ සතුන් මරණ පුද්ගලයන් තුළයි. අනෙකාට ජීවත්වීීමට තිබෙන අයිතිය නැති කිරීම අනුන්ට කරන වැරුද්දක් වෙයි. පළමු වරද තමන්ට කරගන්නා අතරම දෙවන වරද අනුන්ට කරනු ලබයි. දෙපාර්ශ්වයම අනතුරකට ලක්වේ. සොරකම් කිරීම තුළින් අනුන්ගේ දේවලට විෂම ලෝභයක් ඇතිකර ගනී, ඒ තුළින් සොරකම් කරන්නාගේ තණ්හාව ටික ටික වර්ධනය වෙයි. අනුන්ගේ දේ වලට තිබෙන තණ්හාව විෂම ලෝභය යි. විෂම ලෝභය නිසා සොරකම් කිරීම තුළින් විෂම ලෝභය වර්ධනය වේ. අනුන්ගේ දේවලට අනවශ්‍ය ලෝලත්වයක් ඇතිකර ගැනීම තමන්ට කර ගනු ලබන හානියයි. සොරකම් කරගැනීමට නොහැකි නම්, අනුන්ගේ දේවලට ඊර්ෂ්‍යා කිරීමට හෝ පටන් ගනී. අනුන්ගේ දෙය සොරකම් කරනවාය යනු , අනුන්ගේ දේ වංචා කරනවාය යනු අනෙක් අයගේ දේපළ පිළිබද අයිතියට හානිකිරීමයි.තමන් දහඩිය මහන්සියෙන් හම්බකරගත් දෙය තවකෙනකු සොරකම් කරනවාට අකැමැති නමි, තමන් ගේ දේ නැතිවෙනවාට තමන් තුළ අකැමැත්තක් තබාගෙන අනුන්ගේ දේ සොරකම් කිරීම වංචාවට ලක්කිරීම අදින්නා දානා වෙයි. අදින්නා දාන යනු සොරකම් කිරීම පමණක් නොවෙයි. නීත්‍යානුකූලව තමන්ට නොදුන් දෙයක්, ධර්මාකූලව තමන්ට අයිති නැති , තමන් විසින් උපයාගන්නේ නැති දෙයක් ගැනීම සදහා වංචාව, කපටිකම, සොරකම, මංකොල්ලකෑම බලහත්කාරය යන සිතිවිලි අදින්නාදානා වෙයි. ඇතැම් දරුවන් අම්මාගෙන් මුදල් ඉල්ලමින් අඩි පොළොවේ ගසමින් කෑ කෝ ගසා මුදල් ලබාගන්නවාය යනු අදින්නාදානා වෙයි. නොදුන් දේ බලහත්කාරයෙන් ලබාගැනීම තුළින් ඔහු අදින්නාදානා සිල් පදය බිඳ දමයි. අනුන්ගේ ඉඩ කඩමි වංචාකරමින් ලබාගැනීම අදින්නාදානා වන අතර ඇතැමි විට ඉහළින් වර්ණනා කරමින් ඔහු රැවටීමේ චේතනාවේන් යමක් ලබා ගැනීමද අන්සතු දෙය වංචාවෙන් ලබාගැනීම වේ.
ඔබගේ නිවැරැදි කායික සංවරය නම්, දිගට ඇඳුම් ඇඳීම නොවේ. එය සම්මුති කායික සංවරය පමණයි. පරමාර්ථ වශයෙන් කායික සංවරය යනු ඔබ කය පාවිච්ච් කරමින් එක වරදක් හෝ නොකළ යුතුයි. ප්‍රාණඝාතය , අදත්තාදානය කාමමිත්‍යාචාරය යන කායිකව සිදුවන වැරැදි පරමාර්ථ වශයෙන් නොකළ යුතුයි.
වාචසික සංවරය තුළ හෙමින් කතා කිරීම සම්මුති සංවරය වේ. නිශ්ශබ්ද වන්න යන්න යම් ස්ථානයක ප්‍රකාශ කර ඇත්නම් එයට අනුකූලව කටයුතු කිරීම සම්මුති ලෝකය තුළ වාචසික සංවරවුවකු වෙයි හෙමින් කතා කිරීම, නිශ්ශබ්දව සිටීම, සම්මුතියේ සංවර කම මිස ඒවා පරමාර්ථමය සංවරකම නොවේ. පරමාර්ථ වශයෙන් සංවර විම යනු බොරු නොකීම, කේලාම් නොකීම පරුෂ වචන හිස් වචන නොකියා සත්‍ය කතාකරන කේළාම් නොකියා සමඟියට හේතු වන කාරණා කතාකිරීම තුළ පරමාර්ථ වශයෙන් වාචසිකව ඉතාම සංවර වූබව කිව හැකියි. හෙමින් කතා කරමින් හෙමින් කේලාම් කියමින් ඔපාදූප කියවීම වාචසික සංවරය නොවේ. සංවරවීම අවශ්‍ය දේ පමණක් කතාකර අනෙක් වේලාවට සිහිණුවනින් සිටීම වාචසික සංවරකම වේ. වාචසික තමන්ගේ වචන සම්බන්ධව තමන්ගේ නිරවද්‍යතාව පවත්වාගෙන යනවා නම්, තමා ඉතාම සංවර වූවකු බව ඔහුට ප්‍රකාශ කළ හැකියි. කයයි, වචනයයි දෙකම සංවර වනුයේ මනසින් සංවර නම්, පමණයි. අපගේ ඇතුළාන්තය අසංවර නම්, කුමන අවස්ථාවකදී හෝ එය එලියට පැමිණිය හැකියි. අපගේ ඇතුළාන්තය බොහෝ සෙයින් සංවර කරගත යුතුයි. විෂම ලෝභයෙන් ඉවත්ව, ව්‍යාපාද හෙවත් අනුන් නැසිය යුතුය යන සිතිවිලි වලින් ඈත්වීම,මිත්‍යා දෘෂ්ටි හෙවත් කර්මය, කර්ම ඵලය විශ්වාස නොකිරීම හෙවත් වැරැදි දර්ශන වලින් ඉවත්වීම තුළින් අපගේ ඇතුළාන්තය සංවර කරගත හැකියි. ඇතුළාන්තය සංවර වූ තැනැත්තා තුළ කය සහ වචනය දෙකම සංවර වේ.

යහපත් ශිෂ්‍යයා තමන්ගේ ගුරු ගෞරවය අමතක නොකරයි

මහාචාර්ය 
පාතේගම ඤාණිස්සර හිමි
රජගහ නුවර උපතිස්ස හා කෝලිත නමින් මිත්‍රයන් දෙදෙනකු ජීවත් වූ අතර එම මිත්‍රයන් දෙදෙනාටම පන්සියය බැගින් පරිවාර පිරිසක් සිටියහ.
එදා දඹදිව පැවතුණ සමාජය තුළ පිරිසක් හසුරුවාගෙන ආගමික සහ අධ්‍යාත්මික පක්ෂයට බරවුන පිරිසක් ආකාරයෙන් උපතිස්ස කෝලිත යන මිත්‍රයන් දෙදෙනා ජීවත් වුණා. ඒ නිසාම මෙම යහළුවන් දෙදෙනාටම විශාල පිරිවරක් එක්ව සිටියා. එදා සමාජය තුළ පැවතුණ නාට්‍ය උත්සවයක් නැරඹීමට දවසක් මෙම ම්ත්‍රයන් දෙදෙනාත් සහභාගි වී සිටියා. කඳු මුදුණකට නඟිමින් එම කඳු මුඳුන සිට උත්සවය පැවැත්වීම එම නාට්‍යයේ ස්වභාවය වු අතර එය ගිරග්ග සමජ්ජ නම්න් හැදින්වූවා.
එම උත්සවය නැටුම් උත්සවයක් වූ අතර කවුරුත් එකට එක්කාසුවී නැටීම එහි ස්වභාවයයි. නැටුම් ,උත්සවයකදී නැටුම් නටන පිරිස සුළු පිරිසක් වන අතර එම නාට්‍ය නරඹන පිරිස විශාල පිරිසක් වීම නාට්‍යයක සාමාන්‍ය ස්වභාවයක් වුවද, ගිරග්ග සමජ්ජ උත්සවය සදහා සහභාගි වන සියලුම පිරිස ඔවුන්ට සිතෙන සිතෙන ආකාරයට නැටුම් නැටීම එහි ස්වභාවයක්ව පැවතුණා. විවිධ ආකාරයට විවිධ ඉරියව් අනුව එය ගොඩනගාගෙන තිබූ අතර භාරත සමාජය තුළ පැවති නාට්‍ය උත්සවවල ගිරග්ග සමජ්ජ නාට්‍ය උත්සවය ඉතාම ප්‍රබල ප්‍රකට නාට්‍ය උත්සවයක් ද වුණා.
කෝලිතත් ඔහුගේ පිරිවරත් උපතිස්සත් ඔහුගේ පිරිවරත් නර්තන උළෙල නැරඹීම සදහා කඳු මුදුනට නැගිනු ලැබුවා. එම නරතන උළෙල නැරඹීමට පුදුම ආසාවකින් සහභාගි වුවත්, එම උත්සවයේ ස්වභාවය තේරුම් ගත් උපතිස්ස, කෝලිත මිතුරන් දෙදෙනාම එම උත්සවය එතරම්ම වැදගත් නොවන එකක් බව නර්තනය නරඹන අතරතුර දෙදෙනාම වටහාගනු ලැබුවා. මනුෂ්‍යයාගේ සිතේ දියුණුවටත් , අධ්‍යාත්මික දියුණුවටත්, දැනුුමේ වර්ධනයටත් කිසිදු අංගයක් මෙම උත්සවය තුළ නොමැති වීමම එයට හේතු වුණා. සිතූ සිතූ ආකාරයට ඔවුන්ගේ මනාපයට අනුව නර්තනයක යෙදී සිතේ සතුටක් ඇති කර ගැනීම මෙම නාට්‍ය උළෙලෙහි ස්වභාවයයි. ජීවිතයට හරයක් නැති දැනුුමට අර්ථයක් නැති අවබෝධය සඳහා අර්ථයක් නැති නාට්‍ය උළෙලක් හැටියට ඔවුන් එය අවබෝධ කරගත්තා. බොහෝ පිරිස විවිධ නැටුමට සහභාගිව සතුටු වන අතරේ උපතිස්ස, කෝලිත දෙදෙනා නැටුමට සහභාගි නොවී නර්තනයේ යෙදෙන පිරිසගේ නර්තනයන් දෙස බලා සිතේ අසතුටක් ඇතිකර ගත්තා.
එම අසතුට සිත තුළ දැඩි ලෙසට පැළපඳියම් වුණා. අපට සිතට සතුටක් ලැබෙන්න, දැනුුමක් ලැබෙන්න, අධ්‍යාත්මික වශයෙන් දියුණු පැත්තට බරවීම සදහා හොඳ ගුරුවරයකු හමුවට ගොස් දැනුමක් අවබෝධයක් ලබාගැනීමට හැකිනම් යහපත් බවට දෙදෙනාම කල්පනා කරන්නට යෙදුණා. මෙම එකම අදහස පිළිබඳව දෙදෙනාම සාකච්ජා කරන අවස්ථාව තුළ දෙදෙනාගේම අදහස් එකම ආකාරයෙන් ගැලපෙන බවට වැටහුණා. එම නිසා භාරත සමාජය තුළ හොද ආචාර්යවරයකු සිටින්නේ කොහේ්ද? යන්න සොයාගෙන යන අතර මඟදී, එක ගුරුවරයකු ළඟ මෙම දෙදෙනාට නතර වීමට සිදු වුණා. එම ගුරුවරයා නමින් සංජය ස්වාමීන් වහන්සේයි. ඒ කාලය තුළ පැවති විවිධ ආගම් අතර කිසියම් සමාජ මතයක් සමාජය තුළ පැළපැදියම් කිරීමට උත්සාහ දරන ගුරුවරයකු වූ සංජය ගුරුවරයා හමුවුණා. සිතට සැනසුමක් , සැනසිල්ලක් ලැබෙන යහපත් අර්ථයක් ලැබෙන දෙයක් සංජය ගුරුවරයා සමීපයෙහි ඇති බවට විශ්වාස කළ යහළුවන් දෙදෙනා එහි නතර වෙලා ඉගෙන ගත්තා. සංජය ගුරුවරයා උගන්වන සියලු පාඨමාලාවන්, සියලුම විෂයයන් ඉගෙන ගත් අතර, කාලය ගතවීමත් සමඟ ගුරුවරයා සතු සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගෙන අවසන් නිසා ගුරුවරයා හා සමාන දැනුමක් ඔවුන් සතුව ඇති බවටත් තව දුරටත් ඉගෙන ගැනීමට අවශ්‍ය වුවත් ගුරුවරයා සතු සියලු දැනුම හදාරා අවසන් බව කල්පනා කළා. උපතිස්ස, කෝලිත ඇමතූ සංජය ගුරුවරයා ඔවුන්ට ප්‍රකාශ කරනු ලැබුවේ, ඔබ දෙදෙනාම මම හා සමානව ඉගෙන ගෙන තිබෙනවා. ඒ නිසා මම වගේ ගුරුවරයකු වන්න. මාත් සමඟ ගුරු සේවයෙහි යෙදෙමින් අනෙක් ශිෂ්‍ය පිරිසට ඉගැන්වීය හැකියි.
කෝලිතට තිබූ දැනුම පිපාසාව නිසා තව තවත් ඉගෙන ගැනීමට අවශ්‍ය වූ අතර උපතිස්සට ත් එවැනි ම අවශ්‍යතාවයක් තිබිණි. තමන් දන්න දැනුමෙන් ගුරුවරයකු ආකාරයට හිටියාට ඵලක් වන්නේ නැති බවත් තමාගේ මානසික අවශ්‍යතාවය ඉටුවන්නේ නැති බව සිතූ මිත්‍රයන් දෙදෙනාම සංජය ගුරුවරයාගේ ඉල්ලීමට එතරම් එකඟතාවයක් දැක්වූයේ නැහැ. තමාගේ දැනුම වැඩිකර ගැනීමේ අවස්ථාවන් ඒ තුළ නොමැති නිසා ඔවුන් දෙදෙනා එම අදහසට එකඟ වුනේ නැහැ. උපතිස්ස තරුණයා පාරේ ඇවිදගෙන යන විට ඉඳුරන් සන්සුන්, තැන්පත් ගමනින් ඉදිරියට ගමන් කරන කිසියම් කෙනකු හමුවුණා.
තමන් දන්නා දැනුමටත් වඩා තමාගේ ගුරුවරයාගේ දැනුමටත් වඩා දැනුමක් හාමුදුරුවන් තුළ ඇතිබවට උපතිස්ස තරුණයා කල්පනා කරනු ලැබුවා. හාමුදුරුවන් පසුපස ඇවිදගෙන ගොස් එම ස්වාමීන් වහන්සේ නතර වූ ස්ථානයක නැවතී කතාබහ කිරීමට පටන් ගත්තා.ඔබ කවුද? යනුවෙන් විමසූවිට මම අස්සජී යනුවෙන් අස්සජී හිමියන් පිළිතුරු ලබාදුන්නා. නැවතත් ඔබගේ ගුරුවරයා කවුද ? යනුවෙන් විචාරණ විට මගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ බව අස්සජී හිමියන් වදාරණු ලැබුවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට උගන්වන දර්ශනය කුමක්ද? ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් අස්සජී ස්වාමීන් වහන්සේ , එම දර්ශනය ටිකක් ගැඹුරුයි. එම දර්ශනය පිළිබඳව එතරම් වැටහීමක් මටත් නැහැ. මම අලුත පැවිදි වූ අයෙක් කිසියම් වූ සිද්ධියක් ඇතිවීමට බලපානු ලබන්නේ කිසියම් වූ හේතුවක් තවත් හේතුවක් නිසා කිසියම් ඵලයක් ඇතිවෙනවා. එය නැවතත් හේතුවක් වෙලා වෙනත් ඵලයක් ඇතිවෙන බවත් එම ගුරුවරයා උගන්වන්නේ මෙවැනි දහමක් යනුවෙන් අස්සජී හිමියන් වදාළාට පසු දැනුම පිපාසාවෙන් හිටි උපතිස්සගේ මනසෙහි කිසියම් පිරීමක් ඇතිවුණා.
මෙම ප්‍රකාශ කරන අදහස් තුළ කිසියම් දර්ශනයක් තිබෙන බව උපති්ස්ස ප්‍රකාශ කරනු ලැබූ අතර එම සිතිවිලිවලට උපති්ස්ස එම සිතිවිලිවලට උපතිස්ස සෝවාන් ඵලය දක්වා රැගෙන යනු ලැබුවා. මෙතන තිබෙන අලුත් ඤාණය මගේ යහළුවටත් දැනුවත් කළහොත් හොඳ බව උපතිස්ස කල්පනා කරනු ලැබුවා. තම මිත්‍ර කෝලිත හමුවී මම අද දවසේ අලුත් කාරණාවක් අසන්න ලැබුණා යැයි ප්‍රකාශ කළ විට එම කාරණාව කුමක්ද? යනුවෙන් කෝලිත විමසනු ලැබු විට මට අද අස්සජී හාමුදුරුවන් හමු වූ බව උපතිස්ස ප්‍රකාශ කරනු ලැබුවා.
අස්සජී හාමුදුරුවන්ගේ ගුරුවරයාත් බුදුහාමුදුරුවන් . බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ හේතුව සියල්ලට පලපාන බවලු. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. එම ඵලය නැවතත් හේතුවක් වෙන තැනදී වෙනත් ඵලයක් ඇති වෙනවා කියලා. එය හරිම අලුත් දර්ශනයක් වගේම නව සොයාගැනීමක් අපේ සිතිවිලි ගමන් කළ මාර්ගයට වඩා වෙනස් මාර්ගයක් මේ තුළ විශාල ගැඹුරක් තිබෙන බවට පේනවා වගේ යනුවෙන් උපතිස්ස පැහැදිළි කරන විට උපතිස්ස ප්‍රකාශ කළ කරුණු කාරණා අසා කෝලිත තමන්ගේ යහළුවන් ධර්මය පිළිබදව වැටහීමක් ඇති වුණා. දැනුම සොයාගෙන යන පිරිසට කුඩා කාරණාවක් ප්‍රකාශ කරනු ලැබුවත් ඉක්මනින් අවබෝධ වෙනවා. කෝලිතත් යහළුවාගෙන් බණ අහල සෝවාන් වුණා. කෝලිතත් උපතිස්සත් යන දෙදෙනාම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද? කියලා සොයාගෙන ගොස් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා.
උපතිස්ස පැවිදි වූවාට පසුව ශාරිපුත්ත නමින්ද, කෝලිත මිතුරා පැවිදි වූවාට පසු මොග්ගල්ලාන යන ශාසනික නාමයන් ලැබුණා. සැරියුත් හාමුදුරුවන්ටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබු ධර්මය ඉතාම ඉක්මනින් වැටහීම නිසා සැරියුත් හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා රහත් භාවයට පත්වුණා. මුගලන් හාමුදුරුවොත් පිළිවෙත් පුරල බුදුරජාණන් වහන්සේගෙන් බණ අහල රහත් භාවයට පත්වුණා. සංසාරිකව පූුරණය කරන ලද පාරම්තා සලකා බැලූ බුදුරජාණන් වහන්සේ එම දෙනමට ශාසනය තුළ අගතනතුරු ලබාදුන්නා. දකුණත් සව් සැරියුත් හාමුදුරුවන් වූ අතර වමත් සව් මුගලන් හාමුදුරුවන් වුණා.
අස්සජී ස්වාමීන් වහන්සේ ්එතරම් ඉහළට ගිය ස්වාමීන් වහන්සේ නමක් නොවේ. සැරියුත් හාමුදුරුවන් තම ගෝලයා වූවාට තම ගුරුවරයා අභිබවාගෙන ඉතාමත් ඉහළ තලයකටම නැගි උතුමෙකු වුවද, සැරියුත් හැමුදුරුවන් සැතපීමට පෙර හැමදාම වගේ අස්සජී ස්වාමීන් වහන්සේට නමස්කාර කිරීමේ පුරුද්දක් පැවතුණා. අස්සජී ස්වාමීන් වහන්සේ ලඟ වැඩ නොසිටියත් උන්වහන්සේ වැඩ සිටින දිශාවට වැඳීම සැරියුත් හාමුදුරුවන්ගේ සිරිත වුණා. සැරියුත් හාමුදුරුවන් කරන ක්‍රියාව දකින ඇතැම් ස්වාමීන් වහන්සේලා පුදුමයට පත්වුණා පමණක් නොවේ ව්මතියටත් පත්වුණා. ධර්ම මාර්ගයේ මෙතරම් දුරට ඉහළට ගිය සැරිියුත් හාමුදුරුවොත් ඊට පහළින් සිටින මුගලන් හාමුදුරුවන්ට වඳින්නේ මොකටද කියලා. එම කාරණාව බුදුරජාණන් වහන්සේටත් දැනගන්නට ලැබුණා.
තමන් කොපමණ ඉහළ තලයකට ගියත් ඒ ඉහළ තලයේ ඉඳගෙන බලන විට තමන්ට මුලින්ම ඉගැන්වූු ගුරුවරයා සිටින්නේ කෙතරම් පහළ තලයක වුවත් යහපත් ශිෂ්‍යයා තමන්ගේ ගුරු ගෞරවය අමතක නොකරන බවත්, තමන් ලබපු තත්වතානාන්තර පිළිබඳව සිතල තමන්ගේ ගුරුවරයා අමතක කරන්නේ නෑ. සැරියුත් මහ රහතන් වහන්සේත් ගුරුවරයාට සලකන මහ රහතන් වහන්සේ නමක් යනුවෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා.
වර්තමාන සමාජය තුළ සිටින බොහෝ පිරිසකට එම කතාම බොහොම වැදගත්වන පාඩමක් . තමන් ඉදිරියට ගිය විට ඉහළට ගිය විට පහළින් සිටි තමන්ට උදවු උපකාර කළ ඥාතීන් තමන්ට උදවු කළ ගුරුවරු තමන්ට උපස්ථාන කළ සමීප පිරිස අමතක කර ඉහළ සමාජයේ පිරිස සමඟ ජීවත් වීමට පටන් ගන්නවා. එය එතරම් යහපත් ක්‍රියාවක් නොවන බව සැරියුත් මහ රහතන් වහන්සේ ගේ කතාවෙන් පැහැදිළි වෙනවා.

තෘප්තිමත් හා සංතෘප්තිමත් ජීවිතය

කැලණිය විශ්ව විද්‍ර්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

බුදුපියාණන් වහන්සේගේ දේශනාවට අනුව තෘප්තිමත් ජීවිතය යනු,
ඌණෝ ලෝකෝ
අතිත්තෝ තණ්හා දාසෝ

ලෝකය සැම විටම අඩුවක්ව,අතෘප්තිකරව තණ්හාවට දාසයකු වී ලෝකවාසී සත්ත්වයන් ජීවත්වන බව එයින් පැහැදිළි වේ. සෑම අවස්ථාවකදීම ලෝකය තුළ ජීවත්වන මිනිසුන් තෘප්තිමත් වීමට උත්සාහ කරනු ලබන්නේ කවර ආකාරයෙන්ද? යන්න පිළිබඳව අද දවසට ඉතාමත්ම වැදගත් කාරණාවක්. එහි අර්්ථය වශයෙන් ගත් විට මිනිසුන් තෘප්තිමත් වන්නේ මුදල් හම්බකරමින්. ගේ දොර නිර්මාණය කරමින්, එසේ නැතහොත් ඉඩකඩම් මිළදී ගනිමිනුයි. එම පිරිස තෘප්තිමත් ජීවිතය මේ යැයි කියා සිතනු ලබනවා. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ මඟින් නිරන්තරවම සිදුකරනු ලබන්නාවූ කාරණාවක් වනුයේ, මිසිසා තෘප්තිමත් විය යුත්තේ මෙම කාරණා මඟින් යැයි හඳුන්වා දීම තුළයි. 
වාණිජමය පරමාර්ථයන්ගෙන් යුක්ත සංවිධාන හා ආයතන විසින් තෘප්තිමත් ජීවිතයක් හදුන්වා දෙමින් ඒ සඳහා මිනිසුන් උසිගන්වමින් පෙළඹවීම් සිදුකරනු ලැබ තිබෙනවා. තෘප්තිමත් වීමට නම් ඉහළ අධ්‍යාපනයක්, මෝටර් රථයක්, ඉඩමක්, තට්ටු දෙක තුනක නිවාසයක්,ගුවන් ගමන්, විදේශ චාරිකා විශාල මුදල් ප්‍රමාණයක් තිබීම අවශ්‍යය යනුවෙන් මෙවැනි දේ ච්ත්‍රණය කරමින් ප්‍රදර්ශනය කරමින් පෙළඹවීම් කරනු ලබන්නේ සැබෑ ජීවිතය තුළ තෘප්තිමත් විමට නම් මෙවැනි දේ හිමිකර ගත යුතුයි යන්න දන්වමිනි. හිමිකරගෙන තෘප්තිමත් වීම යන කාරණාවට තලු්ලු කිරීම නිසාම සාමාන්‍ය ජනතාව එකී කැරට් අලය පසුපස වේගයෙන් දිවයනු ලබන්නේ තෘප්තිමත් වීම උදෙසායි.

ඒ අනුව තෘප්තිමත් ජීවිිතයක් සදහා වන නිර්ණායන් වන්නේ හොඳ රැකියාවක්, විශාල වැටුපක් ලබාගත හැකි රැකියාවක් නැතහොත් ආයෝජනයක් , ව්‍යාපාරයක්, විශාල මුදලක්, එම මුදල් තුළින් විවාහයක් කරගැනීම ආදී ද්‍රව්‍යාත්මක කාරණාවන්ය. මෙහිදී හොඳ රැකියාවක් යනු සේවය කළ හැකි රැකියාවක් ද යන්න නොවේ. මේ තුළ තෘප්තිමත් වීමේ සීමාව කොතැනක හෝ රැඳී පැවත ඇත්නම්, එම තෘප්තිමත්වීමේ සීමාව කොතනද? යන්න හඳුනාගත හැකි නම්, එකී සීමාව ඉක්මවා යා හැකි නම්, එම අවස්ථාවන් තුළ මෙම නිර්ණායක ඉතා වැදගත් වෙයි. එහෙත් ලෝකයේ මිනිසුන් එකී තෘප්තියේ සීමාවෙහි රඳන බවක් ෙමි වන විට පෙනෙන්නට නැහැ.
බුදුපියාණන් වහන්සේගේ චරිතයයි, බෝසතාණන් වහන්සේගේ චරිතයයි යන චරිත දෙකෙන් තෘප්තිමත්ම චරිතය වන්නේ බුද්ධ චරිතයයි. තෘප්තිමත් නොවන චරිතය වන්නේ බෝසත් චරිතයයි. බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව තෘප්තිමත්ව සිටියේ නැහැ. තමන් වහන්සේට තිබුණු දේපල, ඉඩකඩම්, රාජ්‍යත්වය පිළිබඳව උන්වහන්සේ තුළ තෘප්තිමත් බවක් තිබුණේ නැහැ. ඒ වගේම බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ සමීපයෙහි තිබුණු රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගා තුළින් තෘප්තියක් ලැබුවේ නැහැ. බෝසත් චරිතය සෑහීමකට පත්විය හැකි චරිතයක්ව තිබුණේ නැහැ. ඒ නිසාමයි උන්වහන්සේ බෝසත් ජීවිතය අළුයම ලූ කෙළ පිඬක් සේ අත්හරිනු ලැබ තිබෙන්නේ, එම අතෘප්තිකර ජීවිතයයි. සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරනවා නම්, සන්තෝෂයෙන් නොපිරුණු ජීවිතයයි. එම අතෘප්තිකර ජීවිතය අතහරිමින් බෝසතාණන් වහන්සේ බුදුපියාණන් වහන්සේ බවට පත්වුවාට පසුව උන්වහන්සේට බොහොම තෘප්තිමත් ජීවිතයක් ලැබුණා. මෙම තෘප්තිමත් ජීවිතය තුළ කිසිඳු ආකාරයක ද්‍රව්‍යාත්මක දෙයක් නැහැ. එක් පැත්තකින් පවතින තෘප්තිමත්භාවයත් සමඟ ගේ දොර ඉඩකඩම් යාන වාහන දැසි දසුන් ඇත්, අස්, රිය, පා බල මහසේනාව නැහැ. තව පැත්තකින් එම සියලු දේ තිබුණත් තෘප්තිමත් බවක් පැවතියේ නැහැ. මිනිසා ද්‍රව්‍යාත්මකව තෘප්තිමත් කළ නොහැකියි යන කාරණාව මේ තුළින් ගම්‍යමාන වෙයි. ඒ නිසාම පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා නම්, ද්‍රව්‍යාත්මක සන්තකයේ සීමා මායිම් සටහන් කරගත යුතුයි. ද්‍රව්‍යාත්මක ජීව්තයක් නැති බව ඒ තුළින් අදහස් වන්නේ නැත. ද්‍රව්‍යාත්මක ජීවිතයේ මායිමක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. එම ද්‍රව්‍යාත්මක ජීවිතයේ මායිම යනුවෙන් අදහස් කරනු ලබන්නේ, මට මෙවැනි ප්‍රමාණයක ගෙදරක් ඇති. මට මෙම ප්‍රමාණයේ රැකියාවක් ඇති. මට මෙම ප්‍රමාණයේ කිසියම් ආකාරයක ආදායමක් ඇති. මට මෙම ප්‍රමාණයේ වාහනයක් ඇති. මෙම අතෘප්තිකර හා ආසාවන්ගේ සීමාවන් නැති, මායිමක් නැති දෝරගලාගෙන යන ආසාවන්ගෙන් තෘප්තිමත් කරගන්න බැරි මිනිසුන් මහා ඛේදජනක ආකාරයට තමන්ගේ පවුල් ජීවිතද නඩත්තු කරගත නොහැකිව නාස්තිකර ගනිමින්, සල්ලි පසුපස හඹායන ඔද්දල් ජීවිතය වෙනුවට, තෘප්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට නම්, සෑහීමකට පත්විමේ මායිමක් සලකුණු කරගත යුතුමයි. තෘප්තිමත් වීමේ සීමා මායිම සලකුණු කරගත යුතු වන්නේ මෙයින් එහාට මට බැරිය. එම බැරි නිසාම මට එපාය. යනුවෙන් ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. එයින් එහාටත් මට හැකි වුවද මෙම ප්‍රමාණය මට ප්‍රමාණවත්ය යන්නයි. බැරි නිසා අතහැරීම තෘප්තිමත් වීම නොවේ. එය තමාට බැරි නිසා අතහැරීමක් පමණයි. එය අතෘප්තියෙන් අතහැරීමක් වෙයි. ඒක නිසා මිනිසුන්ට ආර්ථිකමය වශයෙන්, භෞතික සම්පත් වශයෙන් තෘප්තිමත් වීමට නම්, තෘප්තිමත් වීමේ මායිම සළකුණු කරගත යුතුයි. තෘප්තිය යනුවෙන් හඳුන්වන්නේ සංතෘප්තිය බව වැදගත් කාරණාවක් වෙයි. සංතෘප්තිය යනු මානසික වශයෙන් ලබන තෘප්තිමත් භාවයයි. එකී මානසික තෘප්තිමත් භාවය ලබාගැනීමට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ වාහන, ගේදොර, ඉඩකඩම්, වැනි අතට හසුවන මායිමේ හෝ ඇසට හසුවන මායිමේ හෝ තිබෙන්නාවූ කාරණාද? එසේ නැතහොත් සහෝදරකම, ලෙන්ගතුකම, දරුකම, මවිකම හා පියකම, අසල්වාසීකම, ස්නේහවන්තකම, විශ්වාසවන්තකම, දයාලූභාවය වැනි කාරණා ද?
මිනිසෙක් ගැහැනියක් සමඟ තෘප්තිමත්ව නිවසක ජීවත් වූ ඉතිහාසය දෙස බලන විට මේ සඳහා පිළිතුරු සොයාගැනීම එතරම්ම අපහසු කාරණාවක් නොවේ. සාමාන්‍යයෙන් පෙර ලංකාව තුළ මිනිසුන් ජීවත්වුයේ අතෘප්තියෙන්ය යන්න කවදාවත්වම අසා නැහැ. ඒ පිරිසට විශාල ගේ් දොර, යාන වාහන, ඉඩකඩම්, තිබුණාම නොවේ. එහෙත් ඒ පිරිස බොහොම සහයෝගයෙන් ජීවත් වූ ආකාරය පිළිබඳව අසන්නට ලැබෙනවා.
අද වන විට එවැනි අවස්ථාවන් දක්නට නැතුවා නොවේ. එසේ බලාගෙන යන විට තෘප්තියෙන් යුතුව මිනිසුන්ට ජීවත් වීමට නම්, සීමා සහිත ද්‍රව්‍යාත්මක එකතුකරගැනීමක් හෝ එසේ නැතහොත් තථාගත දේශනාවට අනුව ඇඳුම් පැළඳුම්, ආහාර පාන , ඉඳුම් හිටුම් බේත් හේත් (චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය) යන එකී කාරණා මූලික වශයෙන් තෘප්තිමත් මට්ටමකට තබාගෙන එතැන් සිට ජීවිතයේ වැඩිපුර අවධානය යොමුකර ගත යුත්තේ පවුලේ එකමුතුව, සංහිඳියාව, විශ්වාසය සහ සන්තෝෂය නොබ්ඳී නොසිඳී ආරක්ෂා කරගත හැක්කේ කෙසේද? යන කාරණාවයි. එතැනදී ස්වාමී භාර්යා දෙපොළ අතරත පැවතිය යුතු ව්ශ්වසනීය භාවය, සෑම හැන්දෑවක්ම සිනා සපිරි හැන්දෑවක් බවට පත්කර ගැනීම. ආදරණීය දරුවන් සමඟ ලෙන්ගතු කතාබහක නියුක්ත වීම, සෑම රාත්‍රියක්ම දිගු කතාබහක සාකච්ජාවකින් අනතුරුව සිදුකිරීම, හිමිදිරි පාන්දර අවදිව දෙන්නා දෙමහල්ලන් හා දරුවන් සමඟ එකතු වී සාකච්ජා කරමින් දවසේ කටයුතු සූදානම් කිරීම, එක නිවසක් තුළ ඔවුනොවුන් ට හිමි රාජකාරීන් බාරගැනීම, පුංච් දූ පුතුන්ගේ පවා තමන්ට හිමි කොටස බාරදීම, පවුලේ සෑම සාමාජිකයකුටම ඔවුනට හිමි ආවේණික ලක්ෂණ, ආවේණික රාජකාරී කොටසක් වෙන්කර තැබීම, සතිපතා හෝ විනෝද චාරිකා හෝ වන්දනා ගමන්වල නියුක්ත වීම එකිනෙකාගේ අදහස් නොගැටෙන සේ පෙළගස්වා ගැනීම, මාසිකව හෝ වාර්ෂිකව කිසියම් උත්තේජනාත්මකව ප්‍රහර්ෂපූර්ණ කටයුත්තක් ගෙදර සංවිධානය කිරීම, වැනි පවුල සී සී කඩ විසිරී නොයන සේ එකට ඒකාබද්ධතාවයෙන් යුක්තව, කටයුතු කිරීම උදෙසා වන ක්‍රමෝපායන් භාවිතය මඟින් පවුල ඒකරාශීව තබාගැනීම. ඒ සමඟම අම්මා, තාත්තා වැනි වැඩිහිටියන් නිරන්තරව ආශ්‍රය කරමින් ඔවුන් පිළිබඳව තමන්ගේ වගකීම් හා යුතුකම් කොටස ඉෂ්ට කරමින්, නිරන්තර ඥාතීන් බලන්නට යාම, සුහද සබඳකම් පවත්වාගෙන යාම, අසල්වාසීන් සමඟ ප්‍රමාණාත්මක සබඳතා ගොඩනගාගැනීම, තමාගෙන් අනෙකාට හානියක් නොවන සේ අසල්වාසීන් සමඟ ම්ත්‍රශීලිව කටයුතු කිරීම, තමන්ගේ ආර්ථිකය පරිපාලනය කරගත යුතු ආකාරය පිළිබඳව නිරන්තර අවධානය යොමුවීම, ශාරීරික වශයෙන් නිරෝගීකම පවත්වා ගැනීම උදෙසා සෑම අවස්ථාවකම සෑම කෙනෙක්ම කටයුතු කිරීම වැනි පවුල එකට ඒකරාශීව කටයුතු කරන තැනක තෘප්තිමත් ජීවිතය රැඳී පවතියි.
තෘප්තිමත් ජීවිතය යන්නෙන් අදහස් කරනු ලබන්නේ භෞතිකව මිළඳී ගත යුතු, මිළඳී ගතහැකි නඩු හබ ආදීයෙන් සතුකරගත හැකි සන්තකයක් පවත්වාගැනීම පිළිබඳ දැවැන්ත ව්‍යායාමයක නියුක්ත වෙමින් සතුට පලවා හරින තැනකට වඩා අත්‍යවශ්‍යවන්නේ නිරන්තරවම සන්තෝෂයෙන් ගෙදර රැඳෙන පවුල කේන්ද්‍රකරගත්ත , එකී කේන්ද්‍රකරගත්ත පවුල මත ඉඳගෙන ධරමානුකූලව කටයුතු, සාහිත්‍ය කටයුතු, කලා හා විනෝද කටයුතු පිළිබඳව පවුලේ වැඩි අවධානය යොමුවීම මඟින් තෘප්තිමත් ජීළුිතය නිර්මාණය වේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යැයි කී අත්‍යවශ්‍යතා හතර නිර්මාණය කරගැනීමත් එකී අත්‍යවශ්‍යතා හතර මඟින් තෘප්තිමත්ව ජීවිතය ගත කිරීම උදෙසාවන වින්දනීය කලාවක් හුරුකර ගැනීම, ධර්මානුකූලව හා වෙනත් කටයුතුවල නිරත වීමත්, අත්‍යවශ්‍ය කාරණා වෙයි.
විශේෂයෙන්ම පොත්පත් කියවීම, කියවීමට හුරුකිරීම, කියවීමට හුරුවීම කියවන ලද පොතපත පිළිබඳව සාකච්ජා කිරීම , වගේම ගායනා කිර්මාණ කටයුතු කිරීම, ගායනා නිර්මාණ පිළිබඳව ඇගයිම, ච්ත්‍ර ප්‍රතිබිම්බ කලා වැනි කලා මාධ්‍යයන්හි නියුක්ත වීම, සමඟියෙන් ජීවත් වීම උදෙසා රැහැන් වගේ වැදගත්වෙයි. නිරන්තර මානව සබඳකම් ගොඩ නගා ගත හැකි ක්‍රමෝපායන් මඟින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකිවන්නේ තෘප්තිමත් ජීවිතයක් සදහා භෞතික සම්පත් ගොඩගසා ගැනීමට වඩා සුහද මානව සබඳතා ඉතාම වටිනා කාරණාවේ.

පෙනෙන ඇසෙන හැම දෙයක්ම අයිති කරගත හැකි ද?

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

භාග්‍යවතුන් වහන්සේ එසේ ලොල්ගති ඇති වානරයාගේ කතාව උපමාවට දක්වමින් මෙහෙම දේශනා කරනවා මහණෙනි, අසතියෙන් යුක්තව ලොල්ගති පවත්වාගත් වානරයාට වැදි පුද්ගලයා විසින් කැමැති පරිදි යමක් කළ හැකි වූයේ අසතියෙන් කටයුතු කිරීම නිසායි. තමාගේ ස්වභාවයෙන් පැවතුණ සිහියවත් නොපවත්වාගත් නිසායි. එයට හේතුව කුමක්ද? ඒ අර බාල ගති යැයි සඳහන් කළ අසංවරය, අශික්ෂණය ඒ වගේ ම මනා සේ සිහිය පිහිටුවා නොගත් නිසාය.
මහණෙනි, එමෙන් ම යමෙක් නුඹලාට ගෝචර නොවන අන්සතු තැනක අන්සතු විෂයක හැසිරෙනවා නම් ලොල් ගති පැවතුණ වානරයාට සිදුවුණ දෙයටම නුඹලාට මුහුණපාන්නට සිදුවෙනවා. ඒ නිසා නුඹලා, නුඹලාට ස්වභාවයෙන් ඇති වී තිබෙන සතියත්, ශික්ෂණයත් මනා සේ පවත්වා ගත යුතුයි. ඇතිකරගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා.
“තස්මා තිහ භික්ඛවෙ, මා අගෝචරෙ චරිත්ථ පරවිසයෙ.
අගෝචරෙ භික්ඛවෙ, චරථං පරවිසයෙ
ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං”
මහණෙනි, එහෙයින් මෙහිලා අගෝචර වූ අන් සතු විෂයෙහි හැසිරෙන්නට එපා. අගෝචර වූ අන්සතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම නම් මාරයාට හසුවීමයි. මාරයා අරමුණක් කොට පවත්වා ගැනීමයි.
මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් අගෝචර අන්සතු විෂය යැයි කුමක් අදහස් කරන්නේ දැයි අප විසින් මනා සේ තේරුම් ගත යුතුයි. අගෝචර ස්ථානය නම්, විෂය නම් මාරයාට අයිති මාරාවේෂ වෙන ස්ථානයයි. ඒ විෂයයි.
භාග්‍යවතුවන් වහන්සේ මෙසේ දේශනා කරනවා. ඒ අගෝචර ස්ථානය හා විෂය නම් පංචකාම ගුණයයි. කුමක් ද? පංචකාම ගුණය යැයි සඳහන් කරන්නේ එනම්,
“චක්ඛුවිඤේඤය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමුපසංහිතා රජනීයා”
එනම් ඉටු කැමැති, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසෙන් දත යුතු රූපයයි.
නැවතත්, ඒ පංචකාම ගුණය මෙසේ පැහැදිලි කළහැකියි. ඉටු කැමැති එනම් සිතේ පවතින දේවල් ඉටු කර ගන්න කැමැති, මන වඩන, සිත සතුටු කරන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඒ වගේ ම නැවත නැවතත් ඇලුම් කරන ඇසින් දැකගත යුතු රූප, ඒ වගේ ම කනෙන් අසා දැන ගත යුතු ශබ්ද, නාසයෙන් ආඝ්‍රණය ලබන්ට කැමැති සුගන්ඳය නැතිනම් අඝ්‍රාහණය, දිවෙන් ප්‍රිය ස්වභාවයෙන් ලබන්න කැමැති රසය, ඒ වගේ ම ඉටුවඩන, මනවඩන ආදී වශයෙන් කයින් ලබන්නට කැමැති ස්පර්ශය, මෙන්න මේවා පංච කාම ගුණ හැටියට දක්වා තිබෙනවා. මහණෙනි, මේවා අගෝචර වූ අන්සතු විෂය හැටියට දකින්නට යැයි ආරාධනා කරනවා.
මේ දහම් කොටස භික්ෂුවක් වුවත්, භික්ෂුණියක් වුවත් අප විසින් මනා සේ පැහැදිලි කරගත යුතුයි. එපමණකුත් නොවෙයි ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඔබ වැනි උපාසක උපාසිකා හෝ එසේ නොමැති වුවත් සාමාන්‍ය වචනයෙන් සඳහන් කළොත් මවෙක්, පියෙක්, ස්වාමියෙක්, බිරිඳක්, දුවෙක්, පුතෙක් හෝ කාර්ය බහුල ජීවිතයක් ගත කරන යම් වූ ද අයෙක් වුවත් මේ දහම් පෙළ පිළිබඳව මනා වූ අවබෝධයක් ඇති කර ගත යුතුමයි.
එසේ නොමැති වුවොත් මනා සේ සිහිය පවත්වන්නට තරම් පුරුදු නොකරන ලද චරිතයක් හා චර්යාවක් තිබුණු හැඳින් වූ පරිදි ලොල් ගති තිබුණ බාලගති ඇති වානරයා තමාට සිදුවන අනතුර පිළිබඳව අවධානයෙන් නොසිට, තමාට පත් වූ විපත පිළිබඳව උදාහරණයක් ලෙස අපට ගත හැකියි. වානරයාට සිදු වූ ව්‍යසනය, විපත පිළිබඳව මොහොතක් සිහිපත් කොට බලන්න. ඔහුගේ තිබුණ අර දැඩි ආශාවන් ලොල් ගති නිසා ඔහුට හොඳ නරක ආරක්ෂාවට හා අනතුර පිළිබඳව අවධානයක් යොමු කරන්නට තරම් මනස පැවැතී තිබුණේ නැහැ. ඒ නිසා ම ලොල් ගති නැති, බාල ගති නැති වානරයන් ලහටු ඇති තැන් මඟහරමින් ජීවිත ආරක්ෂාව ඇතිකරගෙන ගමන් කළත්, ලොල්ගතියෙන් සිතන්නට පුළුවන් ශක්තිය වැසී තිබුණු වානරයා එයට හසු වුණා.
පා හතරත්, හිසත් එක විටම ඇලුණු නැති බව පැහැදිලියි. පළමුවෙන් ම එක අතක් පමණයි ලහටුවේ ඇලුනේ. ඒ එක අතක් ඇලුණු වෙලාවේ වානරයා වානර මනසකට ඇති සිහියට අනුව සිතුවා නම් මම අනිත් පා අලවා නොගෙන ගැළවෙන ක්‍රමයක් සෙවිය යුතුයි කියා බොහෝවිටක ඔහුට ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවස්ථාව තිබුණා. එයට හේතුව ඉතිරි පා තුනෙන් වෙනත් අත්තක එල්ලී හෝ කුමන හෝ ආකාරයකින් ඇලී තිබුණ අත, ඇද ගනිමින් බේරී යෑමට අවස්ථාවක් තිබුණු නිසායි.
එහෙත් හොඳ නරක පිළිබඳව සිතන්නට තරම් සිහියක් නොතිබුණ වානරයා ඊළඟට කළ යුත්තේ කුමක්දැයි සිතන්නට තරම් සිහියක් නොතිබුණු වානරයා තමන්ට සිද්ධවෙන්ට යන අනතුර පිළිබඳව තමාගේ ස්වභාවය අනුව සිතන්නට තරම් සිහියක් ඇති කරගන්න තරම් පුරුද්දක් නොතිබුණු වානරයා එකින් එක එකින් එක පා සතරත් තම හිසත් එහි අලවාගෙන මහත්සේ ව්‍යසනයට පත් වුණා.
එසේ නම් මනුෂ්‍යයන්ට අස්‍රැතවත් පෘතග්ජන ස්වභාවය නිසා යම් විටක විපතකට පත්විය හැකියි. එයට හේතුව අභාවිත සිත් ඇතිව එනම් මේ සංඛත ලෝකය තුළ සියලු සංස්කාර වස්තූන් අනිච්ච, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව වටහා නොගැනීමයි. අවබෝධයට නොපැමිණීමයි.
එවැනි අභාවිත සිත් ඇති මනුෂ්‍යයෙක් අතින් යම් විටක ඉහත සඳහන් කළා සේ එනම් වානරයාට සිදු වූ සේ වැරැද්දකට හසුවීමක් සිදුවිය හැකියි. එනම් ඇසෙන් රූපයක් බලන විට එහි දැඩි ඇලීමකට පත්වීමේ අවස්ථාවක් සැලසිය හැකියි. සප්පාය සම්පජඤ්ඤය නම් වූ තමාගේ සීලය, වයස, ස්වභාවය, සමාධිය ආදී වශයෙන් පවත්නා වූ ඒ සිහිය නැතිවී යා හැකියි. එනම් සප්පාය සම්පජඤ්ඤයෙන් බැහැර වී යා හැකියි. තමා කවුරුන්ද යන්න අමතක වී යා හැකියි. අර රුව කෙරෙහි ඇලිය හැකියි. බැඳිය හැකියි. මමය මාගේය කියා උපකල්පනයට පැමිණිය හැකියි. ඇසෙන් එය සිදු වූවානම් භාවිත සිතක් ඇති යම් කෙනෙක් හැටියයට එහි සිදුවෙන්ට යන විපත වහා තේරුම් ගැනීම අවශ්‍යයයි.
අපි නිදසුනක් ගනිමු, ගෘහස්ථ ජීවිතයක දෛනික සීලය හැටියට පංච සීලය හඳුන්වා. අම්මා, කෙනෙක්, පියාණන් කෙනෙක්, ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක්, සහෝදරියක්, සහෝදරයෙක් හෝ පැවිදි උතුමෙක් වැඩිහිටියෙක් හෝ ගුරු උතුමෙක් ආදී වශයෙන් හෝ අවසානයේ අඩුම තරමේ මනුෂ්‍යයෙක් වශයෙන් මා කෙසේ ක්‍රියා කළ යුතු දැයි සිහිය පැවැත්වීම අවශ්‍යයයි.
අභාවිත සිතකට ඔය ඇස්වලින් රූප දකින විට යම් විටක යම් පුද්ගලයෙක් විය හැකියි. යම් දෙයක් විය හැකියි. එහෙත් දකින, දකින, පෙනෙන, පෙනෙන හැම දෙයක් කෙරෙහි සිතින් ආශාවක්, හැඟීමක් ඇති වුණත් ඒවා ලබා ගන්නට යාම හෝ පරිහරණය කරන්නට යාම හෝ තමා සතුකරගන්න යාම හෝ තමාගේ ඉන්ද්‍රියන්ට ගොදුරු කරගන්නට යාම හෝ කළ නොහැකි බව පැහැදිලියි. ලෝකයේ සම්මතයක්, සදාචාරයක්, ශිෂ්ටසම්පන්න බවක්, විනයක් ශික්ෂණයක් තිබෙන බව පැහැදිලියි. අස්‍රැතවත් පෘතග්ජන සිත්වලට දකින දකින දේ ඇසෙන ඇසෙන දේ තමා සතු කරගන්න ගියොත් ඇතිවන විනාශය කුමක් දැයි ඔබට පැහැදිලියි.
දීපා පෙරේරා
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤