දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ....

තලල්ලේ චන්දකිත්ති හිමි
සමාජයේ බොහෝ දෙනෙක බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසායි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය පිළිබඳව. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් සංසාර දුකෙන් නිදහස් වී සැපත ළඟාකර ගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේදී අපේ ජීවිතවලට පුරුදුකළයුතු බොහෝ ගුණාංග තිබෙනවා. ඒ එක් ගුණාංගයක් සඳහන් සූත්‍ර දේශනාවක් අපි අද කථා කරනවා.
ඒ සූත්‍රයේ නම තමයි ආඝාතපටිවිනය සූත්‍රය. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මෙය සඳහන්ව තිබෙනවා. ආඝාතපටිවිනය නමින් සූත්‍ර දේශනා දෙකක් තිබෙනවා. පඨම ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ භාග්‍යවතුන් වහන්සේ. දුතිය ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ සැරියුත් මහ රහතන් වහන්සේ. ආඝාත කියන්නේ තරහ කියන එක. පටි කියන්නේ නැවත නැවත කියන එක. විනය කියන්නේ හික්මවීමයි. හට ගත් තරහ නැවත නැවත නොකර හික්මවා ගැනීමයි මෙහි සරල තේරුම. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය තමයි මෙම සූත්‍රයේ සඳහන්ව තිබෙන්නේ.
අප සමාජයේ බොහෝ දෙනෙක් බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා. අප සිතනවා මේ පුද්ගලයාට මෙතරම් උදව් උපකාර කර තිබියදීත් මා ගැන හොඳක් කිව්වේ නැහැනේ යැයි සිතා දොම්නසට පත්වෙනවා. ඒ තමයි කැමැති දේ නො ලැබීම.
ඊළඟ කාරණය තමයි අකැමැති දේ ලැබීම. අප කවුරුවත් කැමැති නැහැ බැනුම් අහන්න. ඒ වගේම අපේ නරකක් කියනවා නම් අපේ දෙයක් බලෙන් ගන්නවානම් අපිට තරහ යනවා. ඉතින් මේ හේතු දෙකම මුල් වෙලා තරහ යන ආකාර නමයක් මේ දේශනාවේ සඳහන්. එය නවාඝාත වශයෙන් සඳහන් වෙනවා. නවාඝාතය කොටස් තුන තුන වශයෙන් තේරුම් ගත යුතුයි.
පළමු කොටස් තුන තමයි යම් කෙනෙක් මට අතීතයේ දී අනර්ථය කළායැයි සිතමින් තරහ ගන්නවා. එය කයින්, වචනයෙන් සහ සිතින් කරන්න පුළුවන්. සමහර විට අවුරුදු ගණනකට පෙර කළ දේ සිතමින් ඒ තරහ පෝෂණය කරමින් ජීවත් වෙනවා. ඊළඟ එක තමයි වර්තමානයේ සිදුවීම් සිහි කරමින් තරහ පෝෂණය කරනවා. ඊළගට අනාගතයේදීත් මේ අය මට ඊර්ෂ්‍යා කරයි, මගේ දේ පැහැර ගනියි කියා අනාගතය උපකල්පනය කරමින් තරහ සිතක් ඇතිකර ගනු ලබනවා.
සමහර පුද්ගලයන් ඉන්නවා තමන්ට බනින එකත්, අම්මට තාත්තට බනින එකත්, රටට ජාතියට ආගමට බනින එකත් ඉවසන්න පුළුවන්. ඉවසන්න බැරිම දේ තමා තමා අමනාප තමාට අප්‍රසන්න පුද්ගලයකුගේ ගුණ අහන්න ලැබීම. සාමාන්‍ය පෘතග්ජන ගතියට අපි කවුරුත් අකැමැතියි අමනාප පුද්ගලයෙකුගේ ගුණ අහන්න. ඒ පුද්ගලයාගේ වැරැද්දක් කිවුවොත් ඇත්ත තමයි මාත් දැක්කා, එයා එහෙමම තමයි කියමින් අඩුපාඩු එකතු කරන්න කැමැතියි. ගුණයක් කිවුවොත් ඒක අනුමෝදන් වෙන්න කැමැති නැහැ. අප උත්සාහ කරන්නේ අප අමනාප පුද්ගලයාගේ වැරැදි සාධාරණීය කරලා ඒක හරියි කියලා ලෝකයාට හේත්තු ගන්වන්න. අපේ සිත කැමැති තරහ පුද්ගලයාගේ වරදම දකින්නයි. නරකම දකින්නයි. එහෙම අවස්ථාවක එයාගේ හොඳක් අසන්නට ලැබුණොත් අපට කේන්ති යනවා. සිතේ අමනාපයක් ඇතිවෙනවා. එතැනදී අපි කැමැති දේ ලැබුණේ නැහැ. අකැමැති දේ ලැබුණා. එයින් අපගේ සිතට තරහවක් ඇතිවෙනවා. වර්තමානයේදීත් අනාගතයේදීත් ඒ ඒ ආකාරයට ගලපමින් තරහ සිතක් ඇතිකර කර ගන්නවා. මේ විවිධාකාරයට තරහ යාම් නැත්නම් ද්වේෂය අපේ සිතේ හට ගන්නවා. මොන ආකාරයට තරහ ගියත් එය සාධාරණීය කරන්න පුළුවන් කාරණයක් නම් නොවේ. එය පාපතර අකුසල සිතිවිල්ලක්. සිත දුර්වල කරන, සිත කෙළෙසන, සිතේ වටිනාකම නැති කරන ප්‍රභාශ්වරය නැති කරන දුර්වර්ණ කරන අපවිත්‍ර කරන සිතිවිල්ලක්.
සිතට එන නරක සිතිවිලි නවත්වා ගන්න නම් අප කරන්න ඕන ඒ සිතට එන අකුසලයට වටිනාකමක් නොදී සිටීමයි. ඕනෑම සිතිවිල්ලකට වටිනාකමක් දුන්විට ඒ සිතුවිල්ල සිතේ ස්ථාවර වෙනවා. සිතිවිලිවලට වටිනාකමක් ලැබෙන්නේ නැවත නැවත එයම සිතන්නට පටන්ගත් විටයි. ද්වේෂය හටගත් අවස්ථාවක එයම සිතුවොත් එය සිතේ තහවුරු වෙනවා. ස්ථාවර වෙනවා. ඒ ස්ථාවර සිතිවිල්ල ආවේගයක් බවට පත්වෙනවා. ආවේගය කියන්නේ වේගයෙන් අප කරා එන සිතිවිල්ලයි. වේගය වැඩිවුනාම අභ්‍යන්තර පාලනයෙන් තොරයි. සිතුවිලි වලට පානයක් නැතිවුණාම තමයි ඒවා පරුෂ වචන වශයෙන් එළියට එන්නේ. සිතුවිලිවල පාලනයක් නැතිවුණාම වැරැදි ක්‍රියා වශයෙන් එළියට එනවා. ඒ නිසා පාලනය කරන්න බැරි විදිහට සිතුවිලිවලට වටිනාකම් දෙන්න හොඳ නැහැ. නරක සිතිවිල්ල මෙනෙහි කරන්න හොඳ නැහැ. එහි ආදීනවය දැකිය යුතුයි. තමාට තමා වටා සිටින අයට, සමාජයට වන හානිය පිළිබඳව සිහිනුවණින් සිතා තමාගේ් සිතිවිල්ල පාලනය කර ගෙන වලක්වා ගත යුතුයි.
පළමු ආඝාතපටිවිනය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළා සිත පාලනය කරන ක්‍රමවේද පහක්. දෙවැනි සූත්‍රයේදී සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා තරහ ගන්නට හේතු රැස්කරන මිනිසුන් කොට්ඨාස පහක්එහි පළමු පුද්ගලයා තමයි ඔහුගේ කායික වැඩ අපිරිසුදුයි. නමුත් වචනය පිරිසුදුයි. දෙවැනි තැනැත්තා කායික ක්‍රියා පිරිසුදුයි, වචනය අපිරිසුදුයි. තුන්වැනි පුද්ගලයා කායික ක්‍රියාත්, වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. නමුත් ඉඳහිට යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනු ලබනවා. හතරවැනි පුද්ගලයාගේ කායික වාචසික ක්‍රියා මෙන්ම සිතිවිලිත් යහපත් නැහැ. පස්වැනි පුද්ගලයාගේ කායික, වාචසික මෙන්ම සිතිවිලිත් ඉතා හොඳයි.
මෙහි සඳහන් පළමු, දෙවැනි, තුන්වැනි පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබුණාම අපට තරහ යනවා. ඔවුන්ගේ ඇසුරේදී අපේ සිතේ නිතරම ද්වේෂයක් හට ගන්නවා. ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ වදාළා අර පුද්ගලයන්ගේ තිබෙන සියලු වැරැදි නොසිතා තිබෙන එක හොඳ පමණක් සිහි කරන්න කියා. අනුන්ගේ නරක සිතන්නට සිතන්නට නරක් වෙන්නේ අපේ සිත. අනුන්ගේ හොඳ සිතන්නට සිතන්නට හොඳ වෙන්නෙත් අපේ සිත. අනෙක් කෙනාගේ නරක දකිමින් අපේ සිතට කේන්තියක් ඇතිකර ගන්නවා නම් එහි හානියක් අපටමයි.
මේ ආකාරයට අපට තරහ යනවා නම් ඒ තරහ පාලනය කර ගන්න භාග්‍යවතුන් වහන්සේත් අපට දේශනා කළා ක්‍රම පහක්. පළමු ක්‍රමය තමයි මෛත්‍රීය උපදවා ගැනීම. මෛත්‍රීය කියන්නේ මිතුරුකමයි. යාලුකම. කෙනෙකුගේ නරක ගැන සිතන්නේ නැතිව හොඳ පමණක් සිතනවා නම්, තරහ සිතිවිලි නැතිවෙලා යනවා. යම් පුද්ගලයෙක් පිළිබඳව තරහක් එනවානම් ඔහුගේ් හොඳක්ම දකින්න පුරුදු වෙන්න ඕනෑ.
දෙවැනි කාරණය තමයි කරුණාව පුරුදු කිරීම. කරුණාව කියන්නේ කෙනෙක් අසරණ වුණාම පිහිටවීම. කෙනෙක් අපට දොස් කිව්වාම අපේ සිතේ කේන්තියක් ඇති වෙනවා. එය පාලනය කරගන්න ඔහුට කරුණාව දක්වන්න ඕන.
මම නිසා මොහුගේ සිතේ තරහක් ඇතිවෙනවා නම් ඒ තුළින් ඉවත්වෙලා ඉන්න ඕනෑ කියා කරුණාව ඇතිකර ගන්න ඕන.
ඒ වගේම තුන්වෙනි කාරණය තමයි කා සමඟ හරි තරහවක් ඇති වූ විට තමාගේ සිතේ උපේක්ෂාවක් ඇතිකර ගන්න උත්සාහ කරන්න ඕනෑ. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථව සිටීම. ඕනෑම දුකක් අපට වැඩිවෙන්නේ ඒ දුක පුද්ගලික කර ගැනීමෙන්. අනේ අපටමයි මේ කරදර. හැමදාම අපට දුක පමණයි කියා හිතන්නට හිතන්නට දුක වැඩියි. දුක කියන්නේ පොදු ධර්මතාවයක් කියා සිතූවිට දුක වෙනවා.
හතරවැනි කාරණය තරහ ඇතිවන විට අරමුණ මාරු කිරීම. කෙනෙක් දොස් කියපු අවස්ථාවක එයම නො සිතා වෙන දෙයක් සිතිය යුතුයි. එහෙම නැත්නම් පොතක් කියවන්න, ගීතයක් අහන්න වැනි දෙයක් කරන්නට පුළුවන්. අවධානය වෙනතකට යොමු කළවිට වේදනාව අඩු වෙනවා. එනිසා අප ද්වේෂය ඇවිස්සී එන අරමුණට වටිනාකමක් නොදී වෙනත් අරමුණක් සිතීමට පුරුදු කරන්නට මහන්සි වෙන්න ඕනෑ.
ඊළඟ කාරණය තමයි කා සමඟ හෝ තරහවක් ඇතිවූ විට භාග්‍යවතුන් වහන්සේ වදාළා කර්මයේ ස්වකීයත්වය ගැන සිතන්න කියලා. යම් කර්මයක් තමා විසින් කළ විට එය තමාට දායාද ලෙස ලැබෙනවා කියා විශ්වාසයක් ඇතිකර ගෙන මේ පුද්ගලයා මට දොස් කියලා බැනලා අකුසල් සිදුකර ගත්තා. එහි විපාක ඔහුට ලැබෙයි. මමත් එකටෙක කළොත් මටත් විපාක විඳීන්නට සිදුවෙයි කියා කර්මය පිහිට කරගෙන අකුසල් සිත බැහැර කරන්න ඕනෑ.
එනිසා ඉවසීම පුරුදු කළ යුත්තේ ද්වේෂය ඇවිස්සී එන විටයි. මෛත්‍රීය පුරුදු කරන්න ඕනෑ එතනැදීයි. එහෙම කරනවිට ද්වේෂය පාලනය කර ගන්න අපට පුළුවන්කම තිබෙනවා. එසේ කළවිට නිරෝගී මනසකින් එදිනෙදා ජීවිතයේ සුවසේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබටත් අවස්ථාව උදා වෙනවා.
තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නුදුන් දේ ගැනීම


පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි,
ආර්ය නිකේතනය, කන්නිමහර-වතුරුගම. 

සම්මුති ජීවිතය තුළ අනුන්ට අයත් වස්‌තුවක්‌, අයිතිකරුට හොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදානය ලෙස හැඳින්වේ. අදත්තාදානය හෙවත් සොරකම් කිරීම, කර්ම පථයක්‌ බවට පත්වීමට කාරණා පහක්‌ සම්පූර්ණ විය යුතුය. එනම් අන්සතු වස්‌තුවක්‌ වීම, අන්සතු වස්‌තුවක්‌ බව දැනීම, පැහැරගනු ලබන සිත, පැහැර ගැනීමට උපක්‍රම කිරීම සහ වස්‌තුව ගැනීම යන අංග පහයි. 

අදත්තාදානය සිදුකරන ආකාර පොතපතේ පහත ලෙස පෙන්වයි. මෙම ක්‍රමයන් පිළිබඳව ව්‍යතිරේඛයන් ද පවතී.

අනුන් අයිති වස්‌තුවක්‌/සත්වයෙක්‌ නඩු කියා තමන් සතුකර ගැනීම, තමන් ගෙනයන අනුන්ගේ වස්‌තුවක්‌/සත්වයෙක්‌ සොර සිතින් ගැනීම, තමන් ළඟ පරිස්‌සමට තැබූ වස්‌තුවක්‌/සත්වයෙක්‌ නොදී සිටීම, වෙනත් අයකු වෙත ගෙන යන වස්‌තුවක්‌/සත්වයෙක්‌ එම ගෙනියන පුද්ගලයා ලවාම සොර සිතින් තමන්ට අවශ්‍ය තැනකට ගෙන්වා ගැනීම, යම් වස්‌තුවක්‌ සොර සිතින් තුබූ තැනින් එසවීම (සත්වයෙක්‌ නම් සිටිය තැනින් සොරකම් කිරීම), සියතින් ම සොරකම් කිරීම, අනුන් ලවා සොරකම් කරවීම, ගෙන යන බඩු හෝ ගෙදරක බඩු සොර සිතින් එලියට විසිකර පසුව අහුලා ගැනීම, අනුන්ගේ වස්‌තුවක්‌ සොරකම් කරවීමට නියම කිරීම, අන්සතු වස්‌තුවක හිමියාට ඇති ආශාව නැතිකර රවටා තමා සතුකර ගැනීම, පූර්ව ප්‍රයෝගයෙන් හෝ ප්‍රයෝගය සමඟ ම සොරකම් කිරීම, කීප දෙනෙකු එකතු වී සොරකම් කිරීම, වේලාව නිමකර සොරකම් කිරීම, සංඥා නියම කොට සොරකම් කිරීම, හොරට කිරුම් මිනුම් කිරීම, අන් සතු වස්‌තුව හිමියාට නොපෙනෙන ලෙස ගැනීම, අනුන් තළා පෙළා බිය ගන්වා අන්සතු වස්‌තුව ඉල්ලා ගැනීම, භාණ්‌ඩය පිළිබඳ ව ද සහ ප්‍රදේශය පිළිබඳව ද නිශ්චයක්‌ නැතිව අන්සතු වස්‌තුව සොරා ගැනීම, අන්සතු දේ වැලි ආදියෙන් වසා දමා පසුව ගැනීම, අන්සතු දේ තමා නමින් ලේබල් කර සොරා ගැනීම යනා දී ක්‍රම විධි අදත්තාදානයට අයත් වේ.

මෙසේ සොරකම් කිරීම, මෙලොවදී ත් පල දෙයි. එසේ සොරකම් කිරීමෙන් රජයේ වධ බන්ධනවලට ලක්‌වීමට සිදුවේ. එමෙන්ම සමාජයෙන් ගැරහුම් ලබයි. තවද පහර කෑම් ලක්‌වී මරණයට පවා පත්විය හැකිය. මරණෙන් මතු නිරයේ ඉපිද බොහෝ කලක්‌ දුක්‌ විදියි. ප්‍රේතව ඉපිද සා පිපාසයෙන් පෙලේ. තිරිසන්ව ඉපිද වස්‌තු හිමියන්ට බර අඳිමින් දුක්‌ විදී. සතර අපායෙන් මිදී මිනිසත් බව ලැබු කල්හි දුගීව උපදියි. බැල මෙහෙවරකම් කරයි. කෙසඟ සිරුර සහිතව කුණු තවරාගෙන උකුණන් පිරුණ හිස්‌ ඇතිව මහා දුකක්‌ විදියි.

කෙසේ වෙතත් අදත්තාදානය ආර්ය ජීවිතය තුළ විග්‍රහ කිරීම, නිර්වාණය කරා යන අයට මහත් උපකාරයක්‌ වනු ඇත.

ආර්ය විනයේ අංගයක්‌ ලෙස අදත්තාදානයෙන් වෙන්වීම, දින්නාදානං නිස්‌සාය අදින්නාදානං පහාතබ්බා - දුන් දේ ගැනීම නිසා නොදුන් දේ ගැනීම හළයුතුය" ලෙස පෝතලිය සූත්‍රයේ සඳහන් වෙයි. ආර්ය ජීවිතය යනු නිවන පමණක්‌ තෝරාගත් ජීවිතයයි. භික්‌ෂුව යනු ආර්ය ජීවිතයක්‌ ගතකිරීමට සිවුර දරාගත් උත්තමයෙකි. ගිහි අයෙකු සෘජුවම නිවන අරමුණු නොකරන අතර තමන්ගේ අවිද්‍යාව නිසා සංසාරය හොඳයි මැනවයි කියා සිතන අයෙකි. නමුත් ගිහියෙකුට වුවත් ආර්ය ජීවිතයකට එක්‌තරා ප්‍රමාණයකට හෝ ඇතුල්විය හැකිය. මෙය කියවන ඔබ මෙම කාරණය පටලවා නොගෙන අවබෝධ කරගන්න. 

නිවන් දකින කෙනාට අවශ්‍යතා ප්‍රධාන හතරකි. සිව්පසය ලෙස පෙන්වා දෙන්නේ මෙම අවශ්‍යතා වේ. මෙම සිව්පසය ලබාගත යුත්තේ දුන් දෙයක්‌ ලෙසිනි. නුදුන් දෙයක්‌ ලෙස නොවේ. ඊට හේතුව වන්නේ තණ්‌හාව ඇතිකර නොගැනීමයි. භික්‌ෂුව පරිහරණය කරන චීවරය දුන් දෙයකි. එනම් කවුරු හෝ පූජා කල දෙයකි. කැමති ලෙස මිල දී ගත් දෙයක්‌ නොවේ. එමෙන්ම එම චීවරය පරිහරණය කරන්නේ ආරක්‌ෂාවටත්, විලිවසා ගැනීමටත් කියන කාරණා සදහාය. මෙලෙස භික්‌ෂුවක්‌ පූජාකල චීවරයක්‌ ප්‍රත්‍යවේක්‌ෂා කොට පරිහරණය කරන්නේ නම් ඒ තුළ තෘෂ්ණාවක්‌ ඇති නොවේ. නමුත් චිවරවලට කෑදරකමින් පරිහරණය කරනවා නම් එහි දී තෘෂ්ණාව ඇති වේ. නමුත් සාමාන්‍ය ගිහි පුද්ගලයා ඇදුම් කැමති ලෙස මිල දී ගෙන, ඒවා ලස්‌සනයි හොඳයි මැනවයි කියා ඒවා පරිහරණය කරන බැවින් එහි තෘෂ්ණාව ඇත. එනම් භික්‌ෂුවට චීවරය දුන් දෙයි. සාමාන්‍ය ගිහියාගේ ඇදුම ගත් එකකි. එනම් පූජා නොකල නුදුන් දෙයකි.

භික්‌ෂුවකට දානය දුන් දෙයකි. එනම් පූජා කළ දෙයකි. එම දානය වළඳනුයේ මදයට, ජවයට, අලංකාරයට රසවිඳීම පිණිස නොවන බව ප්‍රත්‍යවේක්‌ෂා කරයි. එහිදී ආහාරය නිසා තෘෂ්ණාවක්‌ ඇති නොවේ. එසේ නොකරන්නේ නම් තෘෂ්ණාව ඇති වේ. නමුත් සාමාන්‍ය ගිහි අයෙක්‌ කැමති දේ මිලදී ගෙන, තමන් කැමති ලෙස ආහාර පිළියල කරගෙන, රස තෘෂ්ණාවෙන් අනුභව කරයි. එහිදී ඔහුට තෘෂ්ණාව ඇති වේ. මේ අනුව භික්‌ෂුවට දානය දුන් දෙයකි. මන්ද පූජා කළ දෙයක්‌ වන බැවිනි. එමෙන්ම කැමති ලෙස ආහාර මිලදී ගත්තානම් එය ගත් දෙයකි. එනම් එය නුදුන් දෙයකි.

භික්‌ෂුව පරිහරණය කරන කුටිය, පංසල, ආරාමය, සේනාසනය කවුරු හෝ පූජා කළ දෙයකි. එනම් එය දුන් දෙයකි. එය පරිහරණය කරනවිට භික්‌ෂුව, ආරක්‌ෂාව සඳහා භාවිතා කරන බවට ප්‍රත්‍යවේක්‌ෂා කර පරිහරණය කරන නිසා එහි තෘෂ්ණාවක්‌ ඇති නොවේ. නමුත් සාමන්‍ය ගිහි පුද්ගලයා තමන් කැමති ලෙස සැලසුම්කර නිවසක්‌ සාදාගෙන එහි ඇලීගැලී වාසය කරයි. එනම් එහි තෘෂ්ණාව හටගනී. එනම් භික්‌ෂුවට වාසස්‌ථානය දුන් දෙයකි. නමුත් ගිහි පුද්ගලයාට වාසස්‌ථානය, කැමති ලෙස සාදාගත් නුදුන් දෙයකි.

භික්‌ෂුවට බෙහෙත් හේත් පූජා කරයි. එනම් එය ද දුන් දෙයකි. බෙහෙත් වළඳන විටත් ප්‍රත්‍යවේක්‌ෂාකර වළඳන නිසා එහි තෘෂ්ණාවක්‌ හට නොගනී. නමුත් සාමාන්‍ය ගිහි පුද්ගලයා බෙහෙත් මිලදී ගන්නේ නම් එය නොදුන් දෙයකි. 

භාග්‍යවතුන් වහන්සේ අත්‍යාවශ්‍ය දේ ඉල්ලීම සඳහා යම් අවස්‌ථාවන්හී දී භික්‌ෂුවට අවසර ලබා දී ඇත. නමුත් බුදු පියාණන් වහන්සේ භික්‌ෂුවට අනුදැන වදාලේ පෙර කුසලය මත විවිධ ආකාරයෙන් දානය ලැබුණොත් වළඳන ලෙසත්, එසේ නොමැතිනම් පිණ්‌ඩපාතෙන් යෑපෙන ලෙසත් ය. එමෙන්ම තමාට ලැබුන දානය ජීවිතයේ අවසන් ආහාරය ලෙස සලකා විදසුන් වැඩිය යුතු බවත්ය. එමෙන්ම පෙර කුසලය මත යම් සේනාසනයක්‌ භික්‌ෂුවට ලැබුණේ නම් එහි නො ඇලී වාසය කරන ලෙසත්, නැතිනම් ගසක්‌ මුල වාසය කරන ලෙසත් අනුදැන වදාරා ඇත. තවද චීවරය පෙර කුසලය මත ලැබුණොත් එය නො ඇලී පරිහරණය කරන ලෙසත් නැතිනම් මළමිනිය ඔතා දමන ලද පාංශුකූල චීවරය පරිහරණය කරන ලෙසත් වදාරා ඇත. එමෙන්ම බෙහෙත්හේත් පෙර කුසලය මත ලැබුණොත් නොඇලී වළඳන ලෙසත්, එසේ නොමැතිනම් තමන්ගේම මුත්‍රා බෙහෙත් වශයෙන් ගන්නා ලෙසත් වදාරා ඇත. මේ අනුව නිවන් අරමුණු කරන කෙනා යනු ජීවිතයට ඇති ආශාවද අතහැර දමමින්, මමත්වය අතහැර දමමින් කටයුතු කරන පුද්ගලයායි. ඔහු ක්‍රමයෙන් නිවෙන කෙනෙකි. සිතේ කෙලෙස්‌ ගති නැති වී අභ්‍යන්තරය පිරිසිදු කරගන්නා කෙනෙකි. විවේකීව සතුටින් සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතය ගතකරන කෙනෙකි. සියලු පව් අතහරින කෙනෙකි. සසර බැඳීම් වලින් නිදහස්‌ වන කෙනෙකි. ප්‍රශ්න සියල්ලෙන් නිදහස්‌ වන කෙනෙකි.

මගේ කියා ගත නොහැකි දේවල් මගේ කියා සිතෙන් අත්පත්කර ගැනීමත්, ගැඹුරින් සලකා බැලූවිට නුදුන් දෙයක්‌ අත්පත්කර ගැනීමකි. පාරේ යන විට යම් අයෙක්‌, වාහනයක්‌, මල් ගසක්‌ හෝ වෙනයම් රූපයක්‌ ලස්‌සනයි, හොඳයි මැනවයි, අත්පත් කරගන්න ඇතිනම් හොඳයි ලෙස සිතයි නම්, එය තමන්ට නුදුන් දෙයක්‌ මගේ කරගැනීමකි. මෙසේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ෂ යන පංචකාමයන් මගේ කියා ගැනීම නුදුන් දෙයක්‌ මගේ කර ගැනීමකි. මේ තුළින් රජයේ බන්ධනාගාර වලට යාමක්‌ සිදු නොවන නමුත්, සංසාර හිරකූඩුවේ සිරවීමක්‌ වී අප්‍රමාණ දුකක්‌ විඳී. ස්‌වභාව ධර්මයේ ධාතු හතරකින් සාදන මව හා පියා නිසා බිහිවන ආහාර නැමති සතර මහ ධාතුන්ගෙන් පෝෂණය වන රූපය හෙවත් තමන්ගේ කය සෑම මෙහොතකම වෙනස්‌ වෙමින් ජරාවටත්, මරණයටත් පත් වේ. මෙම රූපය ද තමන්ට නොදුන් දෙයකි. තමන්ගේ අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා නිත්‍යයි, සුඛයි, ආත්මයි කියා ස්‌වභාව ධර්මයට අයිති රූපය සහ රූපය හා බැදුන සියල්ල මගේ කරගෙන අප්‍රමාණ දුකක්‌ විදී. තමන් අයිති නැති, තමන්ගේ වසඟයේ පත්වාගෙන යා නොහැකි රූප නිසා හටගන්නා සියලු සිත් ද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ක්‍රියාවලියකි. මෙම සිත සහ කය මගේ කරගැනීම නිසා බොහෝ දුකට පත්වේ. මෙය නුදුන් දේ ගැනීමේ ආදීනවයයි. 

පඨවි, ආපෝ, තේජෝ, වයෝ, ආකාස සහ විඤ්ඤාණ ස්‌වභාව ධර්මයේ ශක්‌තීන් සමූහයකි. මෙම කිසිදු ශක්‌තියක්‌ මගේ නොවේ. මට අයිති නැති මට පාලනය කළ නොහැකි මෙම ස්‌වභාව ධර්මයේ ශක්‌තීන් මගේ කියා ගැනීමම නුදුන් දේ ගැනීමකි. එබැවින් බුදු පියාණන් වහන්සේ මේවා මගේ කියාගත්ත කෙනා දුක්‌ විඳින බව පෙන්වා දී ඇත. 

තමන්ගේ ජීවිතය දිහා බලන්න, තමන් කොතරම් තමන්ට අයිති නැති දේ මගේ කරගෙන දුක්‌ විඳිනවාද කියලා. අම්මා තාත්තා හදපු කළලය මගේ කරගත්තා. ඊට පස්‌සේ සෙල්ලම් බඩු මගේ කරගත්තා. ඊට පස්‌සෙ පොත්පත්, ඇඳුම් පැළඳුම් මගේ කරගත්තා, ඊට පස්‌සේ ස්‌වාමියා, භාර්යාව, දරු මුණුපුරන්, ඥාතීන් මගේ කරගත්තා. දේපල ඉඩකඩම් මගේ කරගත්තා. යානවාහන මගේ කරගත්තා. හිතවතුන්, අසල්වාසීන් මගේ කරගත්තා. බලන්න තමන්නට අයිති නැති නුදුන් දේ මගේ කරගැනීම නිසා දුක එන්න එන්නම වැඩිවුනාද? අඩුවුනාද? කියලා. කවුරුත් බලකලේ නෑ, ඒවා තමන්ගේ කරගෙන දුක්‌විඳින්න කියලා. තමන්මයි එම දුක හදා ගත්තේ. එහෙනම් තමන්මයි මේ අවුල ලිහාගත යුත්තේ. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න අවශ්‍යම ස්‌වභාව ධර්මයේ දේවල් ටිකක්‌ පමණක්‌, මගේ කරගන්නේ නැතිව පාවිච්චි කරලා සංසාරයෙන් එතෙර වෙන්න කියලා. වස්‌තු දාහකි දුක්‌ දාහකි, වස්‌තු නැත්තාට දුකක්‌ නැත ලෙස ප්‍රකාශ කරනුයේ මෙම ගැඹුරු ධර්මය නිසාය. එනම් වහාම නුදුන් දේ අතහැර සංසාර දුකින් මිදෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුදුරදුන් අනිත්‍ය දෙසුවේ ඇයි?


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික වේ. කල් නොයවාම ප්‍රතිඵල ගෙනදේ. එය හැම කාලයටම ගැළපෙන සනාතනික ධර්මයකි. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයකු වීමය. මනුෂ්‍යයකුට කළ නොහැකි කිසිවක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළහ. ඒ නිසා බුදුදහමට අනුව හැසිරීම, ඉන් පල ප්‍රයෝජන ලබාගැනීම, මනුෂ්‍යයන් වන අපට දුෂ්කර කාර්යයක්‌ නොවේ. දෙවියන් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක්‌ හෝ සම්බන්ධ දෙයක්‌ නම් ඒවා කළ හැකිද යන්න ගැටලුවක්‌ විය හැකිය. නමුත් බුදුරජාණන් වහන්සේගේ තත්ත්වය ඉඳුරාම වෙනස්‌ විය.
බුදුරජාණන් වහන්සේ සීතලට උණුසුමට සංවේදී වූහ. පරිසර සාධකවලින් ආරක්‌ෂාවීම සඳහා සිවුරු දැරූය. මනුෂ්‍ය සිතිවිලි උන්වහන්සේටද විය. මනුෂ්‍යයන් වශයෙන් අපට දැනෙන කායික වද වේදනා බුදුරජාණන් වහන්සේටද දැනුණි. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යකු වශයෙන් එසේ සමාන්‍යයද වන විට මිනිසුන්ට වෙනත් බලවේග හා සමකර සලකන්නට අවශ්‍යතාවක්‌ නොවීය. තමන් වන්සේත් මනුෂ්‍යයකු වශයෙන් සිත දියුණු කර, මිනිස්‌ සිතක පහළ කරගන්නා ඉහළම ස්‌වභාවයට හෙවත් සසර නිමා කිරීමට සමත් වූ බව වදාළහ. උන්වහන්සේ සෑම දුර්ගුණයක්‌ම දුරුකළේ යහපත් ධර්මතා මානසිකව, වාචිකව, කායිකව උත්පාදනය කරගනිමිනි. 
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සිය ජීවිතය තුළදී පිළිපැද ලත් අත්දැකීම් සම්බාරයකි. අත්දැකීම්වලින් බැහැරවූ කිසිවක්‌ උන්වහන්සේ සාමාන්‍ය මිනිසාට දේශනා නොකළහ. අත්දැකීම්වලින් ලද යහපත් දේ පිළිපදින ලෙසත් අයහපත් අවැඩම සලසන දේ නොකරන ලෙසත් ජනතාවට දැනුම් දුන්හ. බුදුසිරිතේ එය තවත් යහපත් ගුණධර්මයක්‌ වේ. ඒ බෝධිසත්ව අවධියේ පටන් සසර ගමනේ පෙරුම්පුරන විට තමන්ට ලැබුණු නරකම අත්දැකීම් මිනිසුන්ට විඳින්නට ඉඩ නොතැබීමය. ලැබීමට උනන්දු කළේ යහපත් වූ ප්‍රතිපත්තීන්ය. මෙය ගුණබර මවකගේ සහ පියකුගේ ක්‍රියාකලාපයට සමානය. බුදුරජාණන් වහන්සේ බුදු අම්මා, බුදු තාත්තා යනුවෙන් හඳුන්වන්නේ ද මේ නිසාය.
කටුක අමිහිරි දුක්‌වේදනා දරුවන් ලබනවාට කිසිදු මවක්‌ හෝ පියෙක්‌ කැමැති නොවෙති. තමන් ලද සියලු සැපසම්පත් තමන්ටත් වඩා දරුවන්ට ලබාදීමට ඔවුහු උත්සාහ කරති. බුදුරජාණන් වහන්සේද එසේ ක්‍රියාකළහ. වසර හයක්‌ දුෂ්කර ක්‍රියාකිරීමෙන් පසු එය නිරර්ථක උත්සාහයක්‌ බව උන්වහන්සේම ප්‍රත්‍යක්‍ෂ කරගත්හ. ශරීරයට අධික දුක්‌දීම හෙවත් අත්ථකිලමථානු යෝගයෙහි හෝ ශරීරයටඅධික සැප ගෙනදීම හෙවත් කාලමුඛල්ලිකානු යෝගයෙහි නියෑළීමෙන් ලද හැකි දෙයක්‌ නොවන බව තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ තම පළමු ධර්ම දේශනාවේදීම පැහැදිලි කරන්නේ එම අන්ත දෙකෙන්ම බැහැර විය යුතු බවය. මම දුක්‌විඳි නිසා නුඹලාත් දුක්‌විඳිය යුතු යෑයි බුදුරජාණන්වහන්සේ කිසිදු විටෙක දේශනා නොකළහ.
මෙයින් පසු උන්වහන්සේ ලද සම්බුද්ධත්වය ලබන ආකාරය පිළිබඳව අනුශාසනා කළහ. වෙනත් දර්ශනවල කිසිම අවස්‌ථාවක ශාස්‌තෘවරයාගේ තත්ත්වයට පත්වන ලෙස කියා නැත. එහෙත් ඕනෑම පුද්ගලයකුට පාරමිතා පිරීම මගින් බුද්ධත්වයට පත්විය හැකි බව දේශනා කළහ. මේතුළින් ප්‍රකට වන්නේ සැබෑ මනුෂ්‍යයකුගේ අත්දැකීම් මගින් දිනාගත් චරිතයක්‌ බවය. 'දිනාගත්' යන්නෙන් අදහස්‌ වන්නේ ලෞකික ලෝකය පරදවා දිනාගත් දෙයක්‌ නොවේ. මිනිස්‌ සිතක පහළ වන රාග, දොaෂ, මෝහ මුල්කරගත් දුක්‌ ගෙන දෙන කෙළෙස්‌ ඉවත් කිරීමෙන් තමා තුළම ලද දිනුමයි.
බුද්ධ ධර්මය දේශනා කර අද වනවිට වසර දෙදහස්‌ පන්සියය හැටද ඉක්‌මවා තිබේ. මෙය එදා මෙන්ම අදටත් මතුවටත් ලෝකයේ ඕනෑම රටක ඕනෑම සංස්‌කෘතියක ජීවත්වන පිරිසකට ගැළපෙන්නේ මිනිස්‌ සිත මුල්කරගෙන දේශනා කළ දහමක්‌ නිසාය. මිනිස්‌ සිතක පහළ විය හැකි බරපතළම දුර්ගුණ වචන තුනකින් උන්වහන්සේ සඳහන් කළා. ඒ ලෝභ, දොaෂ, මෝහ යනාදී වශයෙනි. මේ ධර්මතා සෑම මිනිස්‌ සිතකම පහළවිය හැකිය. ඉතිහාසය අනුව ලෝකයේ ආරම්භයෙත් වර්තමානයේත් සියලුම කායික මා මානසික ගැටලුවලට මුල ලෝභය හෙවත් තෘෂ්ණාව බව පැහැදිළිය. ලෝභය හටගන්නේ සිතෙහිය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් අනුශාසනා කළේ 'මම' කියන වචනයෙන් විග්‍රහ කරන මමත්වය හෙවත් සිතින් අල්ලා ගැනීම දුරුකිරීමටය. මමත්වය දුරු කළහොත් ලෝකය පිළිබඳව ඉන්ද්‍රියන් තුළින් ලබන සතුට හෙවත් පිනවීම ලබන්නට අපහසු බව යමකුගේ සිතට ගැටලුවක්‌ මතුවිය හැකිය.
එය එසේ නොවන බව ධර්මය විමසා බලන විට පැහැදිළි වේ. මේ පවත්නා සාමාන්‍ය ලෝකයෙන් පළා යැමට බුදුරජාණන් වහන්සේ කවර අවස්‌ථාවක හෝ දේශනා නොකහළ. ලෝකයෙන් පළා යාමටවත් ස්‌වභාවධර්මයට විරුද්ධව කටයුතු කිරීමටවත් පහසු නැත. උන්වහන්සේ වදාළේ ලෝකය දකින ආකාරයෙහි වෙනසක්‌ ඇති කළ යුතු බවයි. ඉන්ද්‍රියන් තුළින් හසුකරගන්නා සියලු දැ සම්මුතියට අනුව ලස්‌සනයි.,සුඛයි කියමින් ඒවා පරිහරණය කිරීම වරදක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ලස්‌සනයි සුඛයි යනුවෙන් ඉන්ද්‍රියන් තුළින් හසුකරගන්නා සෑම වස්‌තුවක්‌ම වෙනස්‌වන බව දිරාගෙන යන බව එකම ආකාරයකින් නොපවතින බව තේරුම්ගත යුතු බවය.
සරල වචනයෙන් සඳහන් කරන්නේ නම් මම කියා තමන්ට කතා කරමින් විසිතුරු ඇඳුමකින් සැරසී එහි හැඩය ගැන සතුටු වුවත් මෙය වෙනස්‌වීමට ගොදුරුවන බව දිරායන බව අමතක නොකළ යුතුය. දිරායැම, වෙනස්‌වීම යම් වස්‌තුවක අනිත්‍ය බව සිහිපත් කිරීම සිනාවට කරුණක්‌ නොවේ. මෙලොව පවත්නා පණ ඇති පණ නැති හැම වස්‌තුවකම ඇති අනිත්‍ය බව බුදුරජාණන් වහන්සේ ඇති කළ දෙයක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේ විසින් සිදුකළේ විද්‍යාඥයකු මෙන් ලොව ස්‌වභාවයෙන් පවත්නා දෙයක්‌ මතුකොට පෙන්වාදීම පමණි.
බුදුරජාණන් වහන්සේ විසින් අනිත්‍ය බව දේශනා කළේ ඇයිදැයි කෙනකු විමසිය හැකිය. ලෙඩ දුක්‌වලට හේතුවන විෂබීජ පිළිබඳව හෝ වෛරස්‌ පිළිබඳව යමෙක්‌ සොයාගෙන ඒ රෝගයෙන් වැළකෙන මග කියාදීම වරදක්‌ද? හැබෑවටම එය උතුම් ක්‍රියාවකි. බුදුරජාණන් වහන්සේ ද සිදුකළේ සෑම මනුෂ්‍යයකුම අකැමැති හැම, වැළපීම, දුක-වේදනා ඇතිවීමට හේතුවත්, ඒ හේතුව නැතිකරන ආකාරයත්, නැති කරන්නට ක්‍රියා කළ යුතු මාර්ගය දේශනා කිරීමයි.
සදාතනික වූ අකාලික වූ බෞද්ධ දර්ශනය සෑම තැනටම එක සේ ගැළපුනාක්‌ මෙන්ම ඒ මගින් ප්‍රතිඵලද ලැබිය හැකි බව අපට පැහැදිළි වේ. වර්තමානයේ ඇතිවී ඇති පොදුවේ සමාජය පිළිගත් සදාචාරයෙහි පිරිහීම කුමන හේතුවක්‌ නිසාදැයි බෞද්ධ දර්ශනය තුළින් විමසා බැලිය යුතුය. එනම් බුදුන්වහන්සේ දේශනා කළ මිනිස්‌ සිතක ස්‌වභාවයෙන් පහළ වන රාග, දොaෂ, මෝහ වැඩීම එසේම පවතිද්දී ඒවා පාලනය කිරීමට හා සන්සිඳීමට උත්සාහ නොගැනීමයි. වර්තමානයේ මිනිස්‌ සිත අද වගේම අවුරුදු දහස්‌ ගණනකට පෙරාතුවත් එක්‌ ආකාරයකින් බල පැවැත්විණි.අ තීතයේ බහුභාර්යා, බහුපුරුෂ සේවනය වැනි සිත මහත් සේ රාගයට බැඳුණු අවස්‌ථා පැවතුණ බව ත්‍රිපිටකයට අනුවත් ලෝක ඉතිහාසයට අනුවත් පෙනේ. එවැනි ගැඹුරු ස්‌වභාවයක්‌ වර්තමානයේ දක්‌නට නැත. එයින් අදහස්‌ කළේ නායකත්වයේ පටන් අන්තඃපුරය වැනි අවස්‌ථා සලසා ගැනීම පිළිබඳවය.
එදා සදාචාරය ලෙස සැලකුවේ මංගල සූත්‍රයේ සඳහන් කරුණු 38ක්‌ පෙන්වාදෙන යහපත් කරුණු ආදිය ඇතුළත් කරගත් ගුණාංගය. එනම් හොඳ මගට පැමිණි වැඩි පිරිසක්‌ ඒවාට උනන්දු කරවීමත්, ඒ මග යැමට මාර්ගය කියාදීමත්ය. වර්තමානයේදීද එදා පැවැති යහපත් දෙයට යහපත් දේ ලෙස එනම් සදාචාරාත්මක දැ ලෙස පිළිගත්තත් ඒවා පිළිපදින හා ඒ මග යන්නට උනන්දු කරවන පිරිසත් අවස්‌ථාත් අඩුවී ඇත. සදාචාරාත්මක පිරිහීම ලෙස අප දකින්නේ මේ ටිකය.
සතුන් මැරීම, සොරකම, කාමමිච්ඡාචාරය, බොරුකීම, මත් මතුර භාවිතය මේවා අදත් පවතී. එහෙත් එහි වැඩි පාලනයක්‌ තිබිණි. අද පාලනයකින් තොරව ඒවා වේගයෙන් ක්‍රියාත්මක වන බවක්‌ දක්‌නට ලැබේ. මෙයට හේතුව බාහිර වස්‌තුවල ඇති මායාකාරී ස්‌වභාවය යෑයි කෙනකුට සිතිය හැකිය. සැබෑවටම සිදුවන්නේ සිත පාලනයකින් තොරව අයාලේ ගමන් කරන්නට ඉඩ හැරීමය. මේ නිසා බුදුදහම එදා වගේම අදත් මනාව පිළිපැද්දේ නම් සදාචාරාත්මක පැවතුම් අප අතර පවත්වාගත හැකිය.
වර්තමානයේ බෞද්ධ දර්ශනය පමණක්‌ නොව අනෙකුත් ආගම්වලද ඉගැන්වීම් දැනුමටත් පොතපටත් හා කතා කිරීමටත් සීමාවේගෙන යන බව කිව හැකිය. මින් අදහස්‌ කරන්නේ සියලු දෙනා ධර්මය නොඅදහන බවක්‌ නොවේ. වැඩි පිරිසක්‌ ධර්මයෙන් ඈත්වන බවය. අද ඇති එක්‌ පිළිගැනීමක්‌ නම් පන්සිල් රකින අයට වඩා පන්සිල් කියන අය පමණක්‌ දහස්‌ ගණනින් වැඩි බවය. බුදුරජාණන් වහන්සේ වදාළේ පර්යාප්ති එනම් ඉගෙනගන්න, ප්‍රතිපත්ති ඉගෙනගත් දේ විමසා බලා නිවැරැදි යෑයි තේරුම්ගත් දේ අනුගමනය කරන්නට කියාය. අවසානයේ ඵලය ලැබෙන තුරු අත් නොහැර ක්‍රියා කළ යුතු බවත්ය.
බෞද්ධ දර්ශනය වැනි සදාතනික ධර්මයක්‌ අප අනුගමනය කළත් සදාචාරාත්මක වෙනස්‌ වීමක්‌ද ඇතිවී යෑයි පෙනෙන්නේ ප්‍රතිපත්තිය හා ප්‍රතිවේදය බොහෝ අය තුළ නොමැති නිසාය. බුදුන් දවස යම් යම් සදාචාරාත්මක පිරිහීම් ඇතිවන විට බුදුරජාණන්වහන්සේ විවිධ ධර්ම කරුණු හා විනය නීති පැනවූහ. කාලය වෙනස්‌ වෙද්දී වර්තමානයට අනුව ධර්මය ගැළපීමක්‌ යම් විනය නීති හෙවත් ශික්‍ෂා පද නොපැනවීමත් මෙම සදාචාරාත්මක වෙනස්‌වීමටඑක්‌ හේතුවක්‌ විය හැකිය.
මේනිසා බෞද්ධ දර්ශනයේ නාමයෙන් ත්‍රිපිටක දහම ගැනත් ගිහි පැවිදි උතුමන්ට කාලයට අනුව ධර්මය ගළපා හා පහදා බෙදා දීමත් යම් යම් විනය නීති බෞද්ධ දර්ශනයට අනුව ඇතුළත් කිරීමත් හඳුන්වාදීමට පැවරී ඇති කාර්යයකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දුසිරිත් දනන්ගේ සදා උරුමය; සතර අපාය

පූජ්‍ය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති
මාවනානේ සෝමින්ද හි

යාදිසං වපතෙ බීජං තාදිසං හරතේ ඵලං
(වපුල බිජුවට අනුව අස්‌වනු ලැබෙනු ඇත)

සත්වයෝ උපදිති. මැරෙති. යළි උපදිති. දිගු ගමනක නිරත වෙති. ඔවුහු සැපයට කැමැති වෙති. සැපවත්හු ඇති සැපය තර කර ගැනීමටද දුක්‌පත්හු ඉන් මිදීමටද වෙර දරති. මේ සසර ස්‌වභාවයයි.

කෙලෙස්‌ බර සත්ත්වයෝ කැමැති වුවත් නොවූවත් සසරින් මිදෙන තෙක්‌ මෙම අනුල්ලංඝනීය තත්ත්වයට මුහුණ දිය යුත්තාහ. එනිසාම නුවණැතියන්ගේ අවධානය යොමු විය යුතු කරුණු දෙකක්‌ වෙයි. ඒ දුක්‌ඛ දොaමනස්‌සයන්ගෙන් මිදී සැනසිල්ලේ ජීවත්වීම හා මරණින් මතු දුගතිගාමී නොවී සුගතියෙහි ඉපදී සුවසේ කල් ගෙවීමත්ය. මේ කරුණු ඉබේම හෝ දේව කැමැත්තකින් සිදුනොවන හෙයින් ඊට අදාළ දේ තමා විසින් සපයාගත යුතුය.

මනුෂ්‍යයෝ ජීවත්වන්නේ අවුරුදු සියයකට අඩුකාලයකි. ඉන් ඔබ්බට සසරදී ජීවත්වන කාල කල්ප ගණනින් ගිනිය යුතු දීර්ඝ කාලයකි. එබැවින් නුවණැත්තන් විසින් මෙලොව ගැන කල්පනා කරනවාට වැඩියෙන් පරලොව ගැන සිතිය යුතුය. 'මරණං ධම්මිකං සෙයේ‍යා - යං චෙ ජීවේ අධම්මිකං' යෑයි අධාර්මික ජීවත්වීමට වඩා ධාර්මික මරණය වටනේ යෑයි වදාළෝ ඒ දීර්ඝ සංසාරයේ සැනසිල්ල ජීවත්වන කෙටි කාලයේ කරනු, කියනු සිතනු ලබන දෙයින් තීරණය වන හෙයිනි.

අනවරාග්‍ර සංසාරයේ සැරිසරන සත්වයන්ට ඉපදීම සඳහා භූමි තුනක්‌ වෙයි. කාම භූමිය, රූපභූමිය, අරූප භූමිය වශයෙනි. තපසින් සිත වඩා කෙලෙස්‌ තාවකාලිකව යටපත් කළ ධ්‍යානලාභීහු රූප භූමි හා අරූප භූමිවල උපදිති. කෙලෙස්‌ සහිත සතවයෝ කාම භූමියෙහි උපදිති. පසිඳුරන් පිනවමින් ආශාවන් සතපමින් සසර සැරිසන්නන් හට වෙන්වූ කාම භූමි සුගති දුගති යෑයි දෙකොටසකට වැටේ. මිනිස්‌ ලොවත් දෙව්ලෝ සයත් සුගති වෙයි. සතර අපාය දුගති යයි.

අපි මිනිස්‌ ලොව ස්‌වභාවය දනිමු. මව් කුසදී මහා දුකක්‌ විඳ මෙලොවට බිහිවී ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සිවු බියෙන් පීඩිතව අවුරුදු සියයකටත් වඩා අඩුප්‍රමාණයක්‌ ආයුෂ විඳින සත්ව කොට්‌ඨාසයකි මිනිස්‌ ලොව වසනුයේ. සිරුර රැකීමට පෝෂණය කිරීමට ජාති, ජරා, ව්‍යාධි මරණ යන සිවු බියෙන් මිදීමට මෙන්ම ඉගෙනීමට රැකියා කිරීමට අඹු දරුවන් ලබාගැනීමට ගොවිතැන ඉඩකඩම් රැකීමට වශයෙන් දුක්‌ ගොඩක්‌ මැද දිවි ගෙවුනද සුඛ සහගත අනුභූතීන්ගෙන් පසිඳුරන් පිනවමින් තාවකාලික වූ හෝ සැනසිල්ලක්‌ සහිත තැනක්‌ නිසාත් උසස්‌ වූ මනසකින් යුක්‌තව උභයාර්ථ සාධනයටත් ලොව්තුරා තත්ත්වයන් සාධනයට තෝතැන්නක්‌a වන නිසාත් මිනිස්‌ ලොව සුගති සංඛ්‍යාවෙහිලා ගැනේ. 

කරන ලද දානාදී පුණ්‍ය කර්මයන්ගේ මහිමයෙන් දිව්‍ය ආත්ම භාවයන් ලද පිරිස්‌ උපත ලබන ස්‌ථාන දිව්‍ය ලෝaකයෝ වෙති. ඒවා චාතුර්මහාරාජිකාදී සයක්‌ වේ. දෙවියෝ මිනිසුන් විසින් ස්‌පර්ශ කළ නොහැක්‌කෝ වෙති. දැකිය නොහැක්‌කෝය. මරණ බිය පවා නොහැඟෙන තරමේ සැපසම්පතින් ආඪ්‍යව දිවි ගෙවති. මව් කුස වාසය කර හඬ හඬා නොඉපදෙති. අංග සම්පූර්ණව පහළවෙති. (ඕපපාතිකව). ඔවුන්ට ජරාවක්‌ නැත. සිරුර හෝ වස්‌ත්‍රාභරණ කිළිටි නොවේ. ඩහදිය නොදමයි. ආයුෂ දීර්ඝය. ආහාර සැපයීමට වෙහෙසවීමක්‌ නොවේ. ප්‍රීතිය ආහාර කොට නැටුමෙන්, ගැයුමෙන් සිත් පිනවමින් වාසය කිරීමට දෙවියන්ට අවස්‌ථාව ඇත. ඒ පුණ්‍ය විපාක වශයෙනි. 

සැපතින් සැනසිල්ලෙන් තොරවූ තැන අපාය වේ. කරන ලද දුසිරිත්හි පාපකර්මයන්හි විපාක විඳීමට නියමිත පාපකාරීහු මේවායේ උපදිති. දුෂ්ට කර්කශ අනිෂ්ට ස්‌වභාවයෙන් යුක්‌ත හෙයින් ඒවා දුගති නමින්ද හැඳින්වේ. එවැනි භූමි සතරකි. නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය හා අසුර නිකාය යනු ඒවාය.

නරකය - අතිශයෙන් කටුක වූ වේදනාවන්ගෙන් පිරි 'නරකය' සංජීව කාල සූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචිය යෑයි මහා නරක අටකි. සතරැස්‌ වූ මහා නරකය එක්‌ පසෙකින් සතරක්‌ බැගින් වූ ඔසුපත් නමින් හැඳින්වෙන කුඩා නරකයෝ වෙති. ඒ අනුව එක්‌ මහා නරකය කුඩා නරක දහසයක්‌ වේ. මහා නරක අටක්‌ ඒවා සතර පස එක්‌ පැත්තකින් සතරක්‌ බැගින් කුඩා නරකයන් වන හෙයින් එක්‌ නරකයක්‌ වටා කුඩා නරක දහසයකි. ඒ අනුව නරකයන් එකසිය තිස්‌ හයක්‌ වේ. 

උපන් නිරි සතුන් යම පල්ලන් විසින් රත්වූ පොළවෙහි පෙරළඹින් කැබලිවලට කපද්දීත් තවදුරටත් ජීවත්වීම නිසා සංජීව නරකය නම් වේ. අපාගත වූවන් ගිනිගත් පොළොවෙහි හොවා වෑයෙන් ලී සසින්නා සේ පිසින්නා වූ ස්‌ථානය කාලසූත්‍ර වේ. රත්වූ පොළොවෙහි ගිලී ඇති අපාසතුන් මඩිමින් තලමින් පර්වතයන් පෙරළෙන ස්‌ථානය සංඝාත නම් වේ. සිරුර ඇතුළත හා පිටත දැඩිව දවනු ලැබීමෙන් මහා විලාප නැගෙන ස්‌ථානය රෞරවය වේ. දැවෙන සිරුරින් අතිශය දුකට පත්ව මහත්ව වූ විලාපයන්ගෙන් පිරිනරකය මහා රෞරව වන අතර ගිනියම්වූ යපොළොවෙහි ගින්නෙන් දැවෙමින් යකඩ උල්වලින් අමුණා තබන නිරිසතුන් ඇති තැන තාප නරකය වේ. තාප නරකයේ මෙන්ම අතිශය කුරිරු අයුරින් දීර්ඝ කාලයක්‌ පැසෙන තැන ප්‍රතාප වේ. සදිසාවෙන් මතුවන ගිනිදැල්වලින් වෙලී අතොරක්‌ නැතිව දැවෙමින් අනන්ත දුක්‌ ඇති නරකය අවිචීය වේ.

ඒ හැර අතිශයින් පිළිකුල් සහගතවූ පණුවන්ගෙන් පිරි අසූචියෙන් පිරි ගූථ නරකය. අළුයෙන් සැඟවුණු ගිනි අඟුරුවලින් පිරි කුකුක්‌කල නරකය, තියුණු කඩුද, දැලිපිහියා වැනි කොළ ඇති වෘක්‌ෂ ලතායෙන් යුත් අසිපත් නරකය හා තියුණු කටුවලින් පිරි ඉඹුල්ගස්‌ ඇති සිම්බලිවන නරකය යෑයි තවත් නරකයන් සතරක්‌ ඇත්තේය. ගනදුරින් හා සීතලෙන් පිරි ලෝකන්තරික නම් වූ නරකයක්‌ද වන්නේය.

මේ නරයන්හිදී නිරි සතුන් අසීමාන්තික වධ වේදනාවන්ට ගොදුරු වන්නේ නමුදු ඔවුන් කළ පාප කර්මයන්ගේ දුර්විපාකයන් කෙළවරක්‌ වනතුරු ඔවුන්ගේ මරණයත් (චුත වීමක්‌) සිදුනොවේ.

ආනන්තරීය පාප කර්මයන් ප්‍රමුඛ වූ පස්‌ පව් දස අකුසල් හා සමාජ විරෝධී පරපීඩක ක්‍රියාවන් මෙන්ම ඊර්ෂ්‍යා, ක්‍රෝධ, නපුරු සිතුවිලිවලින් මඩනා ලදුව සමාජය පීඩාවට පත් කිරීම, දිළින්දන් පෙලීම, සොර මැර කම් කිරීම, ගුණවතුන්ට හා සිල්වතුනට අපරාධ කිරීම, මිත්‍ර ෙද්‍රdaහී වීම, සතුන්ට වද හිංසා දීමෙන් උන්ගෙන් වැඩ ගැනීම, තුණුරුවන්ට නිග්‍රහ කිරීම, තුණුරුවන් සතු හෝ දැහැමියන් සතු වස්‌තුව පැහැර ගැනීම, අන්‍යයන්ගේ නිවෙස්‌ ගිනි තැබීම, පණ පිටින් සතුන් පිsලිස්‌සීම, කාමුක අපරාධ කිරීම, මිසදිටු ගැනීම ආදී පාප කර්මයන්හි ප්‍රතිපල ලෙස නරකයන්හි උපත ලැබෙනු ඇත.

තිරිසන් අපාය 

අපා, දෙපා, බහුපා සත්වයන් හා විවිධ ස්‌වරූප ගත් තිරිසන් සත්ව සමූහයාම තිරිසන් අපාය වේ. උපනූපන් තැන්වල නිරතුරු බියෙන් යුතුව පිළිසරණයක්‌ නැතිව දුක්‌ත ජීවිත ගත කිරීම තිරිසන් අපායේ උරුමයයි. තිරිසන් අපායට නියමිත නිශ්චිත ස්‌ථානයක්‌ නැත.

ප්‍රේත අපාය

අතිශයින් විරූපී, පිළිකුල් සහගත දුටුවන්ට අප්‍රිය වූ ශරීර ඇත්තෝ ප්‍රේතයෝය. දුක පමණක්‌ම උරුමය කරගත් ප්‍රේතයෝ කුසගිනි නිවෙන්නට ආහාරයක්‌ පවස නිවන්නට වතුරක්‌ කිසිදා නොලබති. කොතෙක්‌ ආහාර ජලය නොලදත් අකුසල බලය නිසා නොමියෙති. බොහෝ කල් ජීවත්වෙති. අතිශය අපිරිසිදු දේ වන සෙම්, සොටු, අසූචි, ලේ, සැරව, මළකුණු, ඉවතලන බත් සුළු ආදිය ආහාර වශයෙන් ගනිති. ප්‍රේතයන්ටද නියමිත භූමියක්‌ නැත.

අසුර නිකාය

අසුරයෝ දේව ගණයට අයත් වූවෝ හා ප්‍රේත ගණයට අයත් වූවෝ යෑයි දෙකොටසකි. ෙච්පචිත්තී, සුචිත්තී, පහාරාද වැන්නෝ දේව ගනයට අයත් අසුරයෝය. ඔවුහු වරින් වර දුකසැපවලට මාරු වෙති. ප්‍රේතයන් මෙන් සදහටම දුක්‌ විඳින අසුරයෝ ප්‍රේත කොට්‌ඨාසයට අයත් වෙති.

කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක්‌ දැඩිවෙයි ගිනි සේ

පිනෙන් පොහොසත් වූවෝ සුවපත්වෙති. දුසිරිතෙහි නිරත වූවෝ දුකට පත්වෙති. සත්වයෝ කෙලෙස්‌ ඇති තෙක්‌ සසරේ ඇවිදිති. ඒ අතරතුර රැස්‌ කරන කර්මයන්ගේ මහිමයෙන් තමාගේ උරුමය තමා විසින්ම නිශ්චය කර ගනිති. සුගතියට හෝ දුගතියට හිමිකම් කියනුයේ ඒ අනුවය. මිනිසත් බව ලැබූවකු යම් හෙයකින් දුගතියට (අපායට) පත්වුවහොත් එය බරපතළ වරදවා ගැනීමකි. එනිසාම දේශකයෝ පවෙහි, අකුසලයෙහි බිහිසුණු බව අවධාරණය කරමින් දුගතියෙන් මිදීමට සුගතිය පත්වීමට මගපෙන්වා දෙති.

ඕවිටිගල ශ්‍රී සුනන්දාරාමාධිපති කළුතර දිස්‌ත්‍රික්‌කයේ උප ප්‍රධාන සංඝනායක රාජකීය පණ්‌ඩිත ඕවිටිගල සුමේධ හිමියන් ස්‌ව විහාරස්‌ථානයට තවත් විහාරාංගයක්‌ එක්‌ කරලමින් සතර අපාය මූර්තිමත් කරවන්නට යෙදුනහ. නිර්මාණ ශිල්පී බෝපිටියේ ටී.එම්.ඩී. අමිල ප්‍රදීප් සැදැහැතියන්ගේ සන්තානයෙහි සංවේගය දනවන අයුරින් එය නිමවා එම සතර අපායේ ඡායාරූපයකි මෙම ලිපියේ දැක්‌වෙන්නේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

දුක්ඛ නිරෝධගාමිනී ආර්ය සත්‍යය විස්තර කෙරෙන සූත්‍ර දේශනාවල මෙසේ සඳහන් වේ.
නිවැරදි දැකීම, නිවැරදි සංකල්පනා,නිවැරදි වචන කතා කිරීම, නිවැරදි වැඩ කිරීම, නිවැරදි දිවිපැවැත්ම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යනුවෙනි. සියලු දුක් නැති කිරීමෙන් නිර්වාණාවබෝධයට ඒකායන මාර්ගය වන්නේ මේ අරි අටඟි මඟයි. එහි පළමු වැන්න සම්මා දිට්ඨිය හෙවත් ලෝකය සහ සත්වයා පිළිබඳ ව ඇති කරගන්නා වූ නිවැරදි අවබෝධයයි.
වැරදි දැකීමක් ඇති තැනැත්තා දස වැදෑරුම් වූ මිච්ඡා දිට්ඨියකට පත්වන්නේය. එය දසවත්ථුක මිච්ඡාදිට්ඨිය නමින් හැඳින්වෙයි.
දන්දීමෙන් යහපත් විපාක නැත
ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගීමගී යාචකාදීන්ට පිං සලකා දන් දීමෙන් කුසලයක් සිදුවන්නේ නැතැ’යි කියන අය සිතන්නේ දන්දීම වස්තුව විනාශ වෙන නිශ්ඵල වැඩක් වශයෙනි. ඔවුහු දැඩි ආත්මාර්ථකාමී, වංචනික ජීවිත ගතකරති. අනුන් ගැන නොසිතන අයට වෙනත් කෙනෙකුගේ දුක තේරුම්ගත නොහැකිය. ඔවුන්ගේ සිත් ද රළුය. දරුණුය. මෙවැනි මිථ්‍යා අදහස්වලින් ඉවත් වී දන්දීමෙන් කුසල් සිදුවෙන බවත් එය සසර සුගතිගාමී වීමට හේතු වන බවත් පිළිගැනීම, සම්මා දිට්ඨියකි.
මහාපූජා පැවැත්වීමෙන් ප්‍රයෝජනයක් නැත
මහා ධනයක් වියදම් කර විශාල පුද පූජා පැවැත්වීමෙන් සිදුවන්නේ ධනය විනාශ කිරීමක් ය. ධනය විනාශ කිරීම සමාජයේ ප්‍රගතිය අඩාල වීමට හේතු වන්නේය. එනිසා මහා පුද පූජා සඳහා ධනය වැය කිරීම නිශ්ඵල ක්‍රියාවක් යැයි කියන්නේ මිථ්‍යා මත ගත් අයයි.
පිං සලකා ගුණවතුන්ට ආහාරපාන දීමෙන් යහපත් විපාක නැත.
ගුණධර්ම ආරක්ෂා කරන යහපත් පුද්ගලයන්ගේ පැවැත්ම සඳහා ආහාරපාන ආදියෙන් උපකාර කිරීමෙන් ප්‍රයෝජනයක් නැතැ’යි කියන්නේ නිවැරදි අවබෝධයක් නැති අයයි.
හොඳ සහ නරක ක්‍රියාවල විපාක නැත.
යහපත් වැඩ කිරීමෙන් යහපත් විපාකත් අයහපත් වැඩ කිරීමෙන් අයහපත් විපාකත් නැත. එනිසා මවුපියන්ට උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට සැලකීම, ගිලනුන්ට සැලකීම. දිළිඳුන්ට උපකාර කිරීම, විහාරපන්සල් සෑදීම, මංමාවත් ළිංපොකුණු සෑදීම, සිල් රැකීම, බණ ඇසීම ආදී වැඩවලින් ප්‍රයෝජනයක් නැත. ඒවා කරන අයට පිනක් සිදුනොවේ. පරලෝකයේ දී ද ලැබිය හැකි දෙයක් ද නැත. සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් අකුසල කර්ම සිදුවීමක් හෝ සිල් රැකීමෙන්, දන්දීමෙන් කුසල කර්ම සිදුවීමක් වන්නේ නැත. මෙසේ අකිරීයවාදී හා අහේතු අප්පච්චයවාදී අදහස් දරන්නෝ මිථ්‍යා මතවලින් වැසී සිටිති. සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා කුසලාකුසල කර්ම සහ ඒවායේ විපාක විශ්වාස කරයි.
කර්මානුකූල ව මෙලොව සතුන්ගේ ඉපදීමක් හෝ වෙනත් ලෝකවලින් මෙලොවට සත්වයන්ගේ පැමිණීමක් නැත
මේ මනුස්ස ලෝකය හැර වෙනත් ලෝක නැත. සියලු ම සත්තු මේ ලෝකයේ ම සිටිති. දිව්‍යලෝකයත් අපායත් ඇත්තේ මේ මිනිස් ලොවමය. වෙනත් ලෝකවලින් මෙලොවට එන සතුන් හෝ මෙලොවින් වෙනත් ලෝකවලට යන සතුන් නැතැ’යි කියමින් සමහරු මිථ්‍යාමත දරති. එහෙත් නිවැරදි දැක්මක් ඇති තැනැත්තා බොහෝ ලෝක ඇති බවත් එම ලෝකවලත් විවිධ සත්වයන් සිටින බවත් ඒ ලෝකවලින් මේ ලෝකයටත් මේ ලෝකයෙන් ඒ ලෝකවලටත් සත්වයන් ගමන් කර බවත් විශ්වාස කරයි.
පරලෝකයක් කියා දෙයක් නැත
සත්වයන් සිටින වෙනත් ලෝක නැත. දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, සතර අපාය ආදී පරලෝකවලින් මෙලොවට එන සත්වයන් ද නැත. සියලු ම සත්වයන් සිටින්නේ මෙලොවමය. අපායත් මෙලොව මය. දිව්‍ය ලෝකයත් මෙහි ම ඇත. මෙවැනි මිථ්‍යා අදහස් දරන අයට සම්මා දිට්ඨියක් නැත. ඔවුහු පරලොවක් ගැන විශ්වාස නොකරති.
මවට සැලකීමෙන් පිනක් නැත
සත්වයන්ගේ ප්‍රජනන ක්‍රියාවන්ට අනුකූලව උපදින කෙනෙකුට මව වන්නේ කාන්තාවක්මය. ඒ මවට ගරු සැලකිලි කිරීමෙන් විශේෂ පිනක් නැත. මෙවැනි මිථ්‍යාමත ගත් අය මවට සැලකීම හෝ උපකාර කිරීම උසස් ක්‍රියාවක් සේ නොසලකති. මවටවත් නොසලකන තැනැත්තා වෙනත් කාන්තාවකට ගරු කරන්නේ නැත. එහෙත් නිවැරදි දැකීමක් ඇති තැනැත්තා මවට සලකන්නේ උසස් පිංකමක් වශයෙනි.
පියාට සැලකීමෙන් පිනක් නැත.
‘පියායැයි’ කෙනෙකුට විශේෂයෙන් සැලකිලි කළ යුතුවන්නේ නැත. සමාජයේ අනික් පිරිමින් සේ පියාත් තවත් පුද්ගලයෙකි. පියාට විශේෂ සැලකිලි කළත් පිනක් නැතැ’යි විශ්වාස කරන අය, මිථ්‍යා මතයකට අසු වී සිටිති. එය මෙලොව පරලොව දෙකට ම අහිත පිණිස හේතු වන්නේ ය. සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා පියාට සැලකිලි කරන්නේ පින් රැස්කරගැනීමේ අපේක්ෂාවෙන් ය.
ඕපපාතික සත්වයෝ නැත
මවුපියන් නැතිව කර්මානුරූප ව ඉබේ පහළ වෙන සත්වයෝ නැත. සියලු ම සතුන් ඇති වන්නේ ප්‍රජනන ක්‍රියාවලියට අනුකූලවය. කිසි ම සතෙක් ඉබේ පහළ නොවේ. වෙනත් ලෝකවලත් දෙවිබඹුන් වශයෙන්වත් සත්තු ඉබේ පහළ නොවෙති. මෙවැනි වැරදි අදහස් දරණ අය දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත ලෝකවල සත්වයන්ගේ පහළවීම විශ්වාස නොකරති. එහෙත් සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා ඕපපාතික ව දෙවිබඹුන්, නිරිසතුන් ආදීන්ගේ පහළ වීම පිළිගන්නේය.
විශේෂ ඤාණයෙන් මෙලොව සහ පරලොව ගැන අවබෝධයක් ලබාගත්, යහපත් මාර්ගවලට පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත.
සමහර උසස් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කර ධ්‍යාන ලබා විවිධ ලෝක පිළිබඳ ව අවබෝධයක් ලබාගෙන සිටිති. ඔවුන්ගේ එම ධ්‍යාන හෝ ඔවුන් ලබාගෙන ඇති දැණුම නොපිළිගැනීම මිථ්‍යා මතයකි. එහෙත් නිවැරදි අවබෝධයක් ඇති අය තමාට වඩා උසස් දැනුමක් ඇති ධ්‍යානලාභී ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන විශ්වාස කරති. මිනිසාගේ ප්‍රකෘති ඇසින් නොදැකිය හැකි රූප, කනින් නොඇසිය හැකි ශබ්ද ලෝකයේ ඇති බවත් ඒවා දිව කනින් ඇසීමටත් දිව ඇසින් දැකීමටත් හැකි බව පිළිගන්නේ සම්මාදිට්ඨිකයෝය.
මෙම දසවැදෑරුම් වූ මිථ්‍යා දෘෂ්ටියෙන් වෙන්වීමත්, දසවැදෑරුම් වූ සම්මා දිට්ඨියට පැමිණීමත් නිවැරදි දැකීමයි. එපමණකින් පමණක් සම්මා දිට්ඨියට පත් අය නොයෙක් ආගම්වල සිටිති. එය ලෞකික සම්මා දිට්ඨියකි. ඒ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් සුගතියකට ද යා හැකිය.
එහෙත් ලෞකික සම්මා දිට්ඨියෙන් සත්වයා නිවන් මඟට යොමු නොකරේ. නිවන් මඟට යොමුවීමට නම් තෙරුවන් සරණ සහිතව දසවස්තුක සම්මා දිට්ඨියෙන් සමන්විත විය යුතුය. ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගිය තැනැත්තා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ උවමනාව ඇතිව අරි අටගිමඟ ප්‍රගුණ කිරීමට ප්‍රයත්න දරයි. එය සම්මා දිට්ඨියේ පළමු පියවරයි. නිවැරදි අවබෝධයකින් යුක්තව ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම, ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ලෝකය සහ සත්වයා පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබාගත් සම්මා දිට්ඨිකයා කම්මස්සකතා සද්ධාවෙන් යුක්තය. ඔහු කුසලාකුසල මූලයන් හොඳින් තේරුම්ගෙන කටයුතු කරයි. ලෝභය, ද්වේශය, මෝහය මුල් වී සිදුවෙන අකුසල ක්‍රියාවලින් දුරු වීමටත් අලෝභ, අද්වේෂ, අමෝහ මුල් වී සිදුවෙන ක්‍රියා උත්සාහවත් වන තැනැත්තා තුළ ඇති වන්නේ කරුණු සහිතව පිළිගත් අදහසකි. එය ආකාරවතී සද්ධා නමින් ද හැඳින්වේ. එවැනි සද්ධාවක් ඇති තැනැත්තා තුළ සසර දුකට බියක් ඇති වී එයින් මිදීමට උත්සාහවත් වෙයි. සියලු ම සතුන් සසරට බැඳී ඇත්තේ තණ්හාව නිසා බව ඔහු අවබෝධ කරගනී. එනිසා සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා, සතුන්ගේ සසර දුකට හේතුව වන්නා වූ තෘෂ්ණාව නැති කිරීම ට ක්‍රියා කරයි. එවැනි අය ලෝකෝත්තර සම්මා දිට්ඨි හෙවත් චතුස්සච්ච සම්මා දිට්ඨියෙන් යුක්ත වෙති.
ලෝකය සහ සත්වයා පිළිබඳව යථාර්ථවාදී දර්ශනයක් ඉදිරිපත් කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පමණි. එබැවින් දසවස්තුක සම්මා දිට්ඨියට පත් වූ අය විසින් නිවන් අවබෝධ කරගැනීම සඳහා ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහි පිහිටිය යුතුය. එය සම්මා දිට්ඨියෙන් දෙවන පියවරයි.
සම්මාදිට්ඨියෙහි පිහිටි තැනැත්තාට, නිවැරදි සිතිවිලි (සම්මා සංකප්ප) ඇති කරගැනීම පහසුය. ඔහු කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප යන අකුසල මූලයන්ගෙන් ඇති වන්නේ, අකුසල් සිතිවිලි බවත් ඒවායේ විපාක නපුරු බවත් දැන නෙක්කම්ම සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප ඇති කර ගැනීමට උත්සාහ වත් වෙයි. කුසලාකුසල මූලයන් පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ඇති. යහපත් සිතිවිලිවලින් පිරුණු මිනිසුන්ගේ මුවින් පිට වන්නේ සත්‍ය වූ වචනයි. (සම්මා වාචා) සත්‍යවාදී වූ පුද්ගලයෙක් බොරුකීම්, කේලාම් කීම්, හිස් වචන කීම, පරුෂ වචන කීම නොකරයි. මෙසේ වචනයේ සංවරයක් ඇති තැනැත්තාගෙන් තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කිරීම, අන්සතු වස්තු පැහැර ගැනීම, දුරාචාරය වැනි කායික වැරදි නොකෙරේ. (සම්මා කම්මන්ත) කය සහ වචනයේ සංවරයක් ඇති තැනැත්තාගේ දිවිපැවැත්ම නිවැරදි (සම්මා ආජීව) වෙයි. යහපත් ජීවිතයක් ගතකරන්නාට ආත්ම අභිමානයක් ඇති වෙයි. ඔහුගේ දිවිපැවැත්ම, තමාටත් අනුන්ටත් ප්‍රයෝජනවත් එකක් වන නිසා සියලු දෙනාගේ ම සැලකිල්ලට සහ සම්භාවනාවටත් පාත්‍රවෙයි. එබැවින් යහපත් දිවිපැවැත්ම නිසා සමාජයේ ගෞරවයට පත් තැනැත්තාට, තව තවත් නිවැරදි කෙනෙක් වීමට සිතේ. මෙසේ වඩාත් යහපත් දිවියක් ගෙවන්න උත්සාවත් වන්නේ, තමාගේ ආධ්‍යාත්මක ගුණ සංවර්ධනය කර ගැනීමටයි. ගුණයට ගරු කරන තැනැත්තා, තමා තුළ ඇති වැරදි නැති කර ගැනීමටත් අලුත් වැරදි නොකිරීමටත්, තමා තුළ ඇති ගුණ ධර්ම දියුණු කරගැනීමටත්, තමා ළඟ නැති ගුණ ධර්ම ඇති කරගැනීමටත් උත්සාහවත් වෙයි. (සම්මා වායාම) මෙසේ ඇති කර ගන්නා වූ නිවැරදි උත්සාහය නිසා වඩාත් යහපත් කෙනෙක් වන තැන්ත්තා, ධර්මයෙහි ඇති රසය දැන ධර්මචාරී වෙයි. මෙසේ දැනුමෙන් සහ ගුණයෙන් පිරිපුන් අය තුළ සතිය දියුණු වන්නේය. (සම්මා සතිය) එනිසා බලවත් වූ සතිය ඇති අයට චිත්ත සමාධියක් (සම්මා සමාධි) ලබාගත හැකි වන්නේ ය. එය සම්මා ඤාණපටිපදාවයි. මෙසේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙන්, ලෝකය සහ සත්වයා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ ‘චතුසච්ච සම්මා දිට්ඨියෙන්ය. එය සම්මා දිට්ඨි සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. දුකත්, දුකට හේතුවත්, දුක් නැති කිරීමත්, දුක් නැති කිරීමේ මාර්ගයත් පිළිබඳව නිවැරදි ව අවබෝධ කර ගැනීම, සම්මා දිට්ඨිය බවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිවැරැදි දැක්ම

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අනු නායක 
මහාචාර්ය 
වරාගොඩ පේමරතන නා හිමි

අනන්ත වූ සංසාර දුකින් පෙළෙන සකලවිධ සත්ත්ව සමූහයාගේ හිතසුව පිණිස ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් ගවේෂණය කොට එළිදරව් කරන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හෙවත් මධ්‍යම ප්‍රතිපදාවේ පළමු අංගය සම්මාදිට්ඨියයි. නිවැරැදි දැක්ම ලෙස සිංහලයට නැගිය හැකි එම අංගය එතරම් උච්චස්ථානයක් ලබන්නේ කවර හේතු නිසාද ප්‍රධාන වශයෙන් එය අනාර්ය (උසස් යැයි සම්භාවනාවට පාත්‍ර නො වූ) ප්‍රතිපදාවන්ට ප්‍රතිපක්ෂ වීම එක් හේතුවකි. බුදුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි භාවිතා වෙමින් පැවති අනාර්ය ප්‍රතිපදා දෙකක් උන්වහන්සේගේ මංගල ධර්මදේශනාවෙහි සඳහන්වේ.
කාමසුඛල්ලිකානුයෝගය යනු ඉන් එකකි. කම් සැපතට ගිජුව එහි ම ඇලී – ගැලී දිවිමග හැසිරවීම එයින් අදහස් වේ. කාමාවචර ලෝකයෙහි උපන් සියලු සත්ත්වයන්ගේ, විශේෂයෙන් මනුෂ්‍යයන්ගේ පැවැත්මෙහි මුඛ්‍ය ලක්ෂණය සහ ඒකාන්ත අරමුණ එයයි. ඒ ප්‍රතිපදාව පිළිගත් ප්‍රද්ගලයෝ ඉඳුරන් පිනවීම, වෙනත් ලෙසකින් කියතොත් උපරිම වශයෙන් පස්කම් සැප භුක්තිවිඳීම නිවැරැදි පිළිවෙතක් ලෙස පිළිගනිති. තම පුත් කුමරු සක්විති රජෙකු වනු දැකීමේ දැඩි අභිලාෂයෙන් පෙළුණු සුද්ධෝදන රජතුමාගේ අපරිමිත පිය සෙනෙහස ලත් බෝසතුන් වහන්සේ ජීවිතය ගෙවන ලද්දේ ඒ ප්‍රතිපදාව ඔස්සේ ය. අනික අත්තකිලමථානුයෝගය යි. ඉන් ප්‍රකාශ වන්නේ ශීල සහ ව්‍රත ආදී කටුක ආගමික ඇවතුම් පැවතුම් මගින් තමන්ගේ ම සිරුර සිතාමතා අනේකවිධ දුක් පීඩාවලට ගොදුරු කිරීමයි. බෝසතුන් වහන්සේ වර්ෂ හයක් පුරා වල් වැදී අත්හදා බලන ලද්දේ ඒ ප්‍රතිපදාවයි. උන්වහන්සේ එහි ද කෙළවර දක්වා ප්‍රගුණ කළහ. එය කෙසේවත් සංසාර විමුක්තිය කෙරෙහි යොමු නොවන්නක් බව වටහා ගන්නට උන්වහන්සේට ගත වූයේ සුළු කලකි. මේ ප්‍රතිපදා දෙක ම අන්ත හෙවත් ලෞකික ජීවිතයේ දෙපැත්ත ලෙසත් පැවිද්දන් විසින් අනුගමනය නොකළ යුතු මාර්ග ලෙසත් කටුක අත්දැකීම් ලබන පිළිවෙතක් ලෙසත් විස්තර වේ. මේ අනුව ඒවා සම්මාදිට්ඨිය පදනම් කොට ගත් චර්යාමාර්ග නොවෙතැයි නිගමනය කළ යුතුවෙයි.

සම්මාදිට්ඨි හෙවත් නිවැරැදි දැක්ම නිර්වචනය වන්නේ කෙසේද සූත්‍රපිටකය තුළින් මීට ධර්මානුකූල පිළිතුරු සෙවීම දුෂ්කර නො වේ. අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් දෙසා වදාළ සම්මාදිට්ඨි නම් සූත්‍රයක් මජ්ක්‍ධිමනිකායේ මූලපණ්ණාසකයෙහි අන්තර්ගත වෙයි. සුන්දර වූ (සෝභනා) පැසසිය යුතු (පසත්ථා) වූ දැක්ම නිවැරදි දැක්මයි යනුවෙන් ඊට අටුවා සපයන පපඤ්චසූදනිය සම්මාදිට්ඨිය නිර්වචනය කරයි. දැක්මේ ගුණයත් ස්වභාවයත් මෙම නිරුක්තිය මගින් අපූරුවට වටහා ගත හැකිය. සූත්‍රයෙහි විස්තර වන අයුරින්, කවර චර්යාමය විෂයයක් වූවත් චතුරාර්යසත්‍ය න්‍යායානුකූලව විග්‍රහ කිරීමෙන් ලැබෙන නුවණ සම්මාදිට්ඨිය ලෙස ඉහත කී සූත්‍රය ඇසුරෙන් හැඳිනගත හැකිවේ. එසේ සාක්ෂාත් කර ලන්නා නිවැරැදි දැක්ම ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වෙතැයි අටුවාව සඳහන් කරයි. එයින් කෙලෙස් සහිත වූ නිවැරැදි දැක්ම ලෞකික ය. ආර්ය වූ මාර්ග සහ ඵල සමඟ පහළ වන දැක්ම ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වෙතැයි අටුවාව සඳහන් කරයි. එයින් කෙලෙස් සහිත වූ නිවැරැදි දැක්ම ලෞකිකය. ආර්ය වූ මාර්ග සහ ඵල සමග පහළ වන දැක්ම ලෝකෝත්තර ය. පෘථග්ජන, ශෛක්ෂ (ආර්ය මාර්ගය පුහුණු කරන පුද්ගලයා) සහ අශෛක්ෂ (එම පුහුණුව නිම කළ පුද්ගලයා) ආදී වශයෙන් සම්මාදිට්ඨිය ලබන පුද්ගලයන් පිළිබඳව ද කෙටි සටහනක් අටුවාවේ ඇතුළත් ය.
සූත්‍රයෙහි නිවැරැදි දැක්ම පිළිබඳ නිරුක්ති සමූහයක් ඉදිරිපත් කර ඇත. 1. අකුසල සහ ඒවායේ හේතු ද කුසල සහ ඒවායේ හේතු ද මැනවින් දැන ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්මය. 2. ආහාරය, ආහාරයේ පහළවීම, ආහාරයේ නිරෝධය සහ ආහාරය නිරුද්ධ වන ප්‍රතිපදාව මැනවින් දැන ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්ම ය. 3. දුක, දුක හටගැනීම, දුක වැළැක්වීම සහ දුක වළක්වා ගන්නා මාර්ගය පිළිබඳ ව මැනවින් දැන ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්ම ය. මේ අයුරින් ම 4. ජරාමරණ 5. ජාති 6. භව 7. උපාදාන 8. වේදනා 9. තණ්හා 10. ඵස්ස 11. සළායතන 12. නාමරූප 13. විඤ්ඤාණ 14. සංඛාර 15. අවිඡ්ජා 16. ආසව වන කරුණු සම්බන්ධයෙන් මැනවින් දැක ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්ම ය. මෙලෙසින් ගත් කල, බුදු දහමේ පරම නිෂ්ටාව වූ ඤාණයේ අග්‍රප්‍රාප්තියට පත් කරවන්නේ නිවැරැදි දැක්ම මගින් බව පැහැදිලි වෙයි. නිර්වාණ සාක්ෂාත්කරණයේ ආරම්භයේ සිට අවසානය දක්වා ම අනිවාර්ය වූ අවශ්‍යතාවය වන්නේ සම්මා දිට්ඨිය යි. එය චතුරාර්යසත්‍යය මත පදනම් වූවකි. සූත්‍රයේ විස්තර වන කරුණු ඇසුරෙන් මේ කාරණය පහසුවෙන් වටහා ගත හැකිය.
බෞද්ධ සදාචාරයෙහි මූලස්ථම්භ ලෙස සැළකෙන දශ කුසල කර්ම සහ ඊට ප්‍රතිපක්ෂ වූ දශ අකුසල කර්ම ගැන සඳහන් කිරීමෙන් ඉහත උද්ධෘත කළ සූත්‍රයේ නිවැරදි දැක්ම පිළිබඳව නිර්වචන සමාරම්භ වෙයි. පර පණ නැසීම සහ අනුන්ට හිංසා කිරීම, කැමැත්තෙන් නුදුන් දේ ගැනීම, පරඹුවන් හෝ පරපුරුෂයන් සමඟ හාදකම් පැවැත්වීම, බොරුකීම, කේලාම් කීම, අසභ්‍ය සහ සැර-පරුෂ වචන භාවිතය, හිස් වචන භාවිතය, දැඩි ලෝභය, හිංසාව සහ වැරදි දැක්ම (මිත්‍යාදෘෂ්ඨි) අකුසල කර්මයෝ ය. ඒ සියල්ලෙන් වැළකී ක්‍රියා කිරීම කුසල කර්මයෝ ය. ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසලමූල යන අතර අලෝභ, අද්වේෂ, අමෝහ යනු කුසල මූල වේ. අකුසල කර්ම සහ ඒවායේ හේතු නිවාරණය වන අයුරින් සහ කුසලකර්ම සහ ඒවායේ හේතු වර්ධනය වන අයුරින් ජීවිතය පවත්වා ගෙන යාම නිවැරදි දැකීම උදා කර ගන්නා මාර්ගය බව මේ විවරණයෙන් පළ වෙයි. එසේ ම ඒ නිවැරදි දැක්ම මගින් රාග, පටිඝ, දිට්ඨි, අවිඡ්ජා යන අනුශයයන් (සිතේ පතුලේ ම තැන්පත් වී පවතින කෙලෙසුන්) මුළුමනින් ම බැහැර කිරීම පිණිසත් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් විමුක්ති සාක්ෂාත්කරණය පිණිසත් නිවැරදි දැක්ම ඉවහල් වන බව මෙයින් අවධාරණය කෙරෙයි.
සංසාරගත සත්ත්වයාගේ පැවැත්ම කබලිංකාර ස්පර්ශ, මනෝසංචේතනා සහ විඤ්ඤාණ යන චතුර්විධ ආහාරය මත රඳා පවතී. මේ ආහාර වර්ග හතර පිළිබඳව චතුරාර්ය සත්‍ය න්‍යායානුකූල වූ ගැඹුරු වැටහීමක් ලබා ගත් පසු ආර්ය ශ්‍රාවකයා විසින් ඉන් මතුවට කළ යුතු යමක් නැත. ඒ පරිසමාප්ත වශයෙන් චතුරාර්ය සත්‍යය සාක්ෂාත් කර ගැනීමක් වන හෙයිනි.
ඉහත විස්තර කළ කරුණු සියල්ලෙන් ප්‍රකට වන ප්‍රධාන සිද්ධාන්තය නම් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම චතුරාර්ය සත්‍යය සමග එකිනෙකින් වෙන් කළ නොහැකි වන සේ බද්ධ වී පවතී. යම් තැනෙක නිවැරදි දැක්ම පවතී නම් එතැන අනිවාර්යයෙන් ම චතුරාර්ය සත්‍යය පවතී.
මෙයින් අවධාරණය කරනු ලබන්නේ සංසාර විමුක්තිය අරමුණු කොට ගත් බෞද්ධ ශික්ෂණ ප්‍රතිපදාවෙහි මිථ්‍යාදෘෂ්ටිය හෙවත් සාවද්‍ය දැක්ම කෙතෙක් නිගරු කොට සැළකේ ද යන්න යි. අංගුත්තරනිකායයෙහි මිථ්‍යාදෘෂ්ටිය (මිච්ඡාදිට්ඨි - සාවධ්‍ය දැක්ම) විවරණය යන්නේ මෙසේය. ‘යම් දැක්මක් මෙතෙක් පහළ නොවූ අකුසල් පහළ වීමට හේතු වේ නම්, පහළ වූ අකුසල් තවදුරට වර්ධනය කිරීමට හේතු වේ නම්, මෙතෙක් පහළ නොවූ කුසල් පහළවීම වළකාලීමට හේතු වේ නම් සහ පහළ වූ කුසල් දුර්වල කොට අතුරුදහන් කිරීමට හේතු වේ නම් ඒ මිථ්‍යාදෘෂ්ටියයි.’ ආර්ය මාර්ගය මෙන් අනාර්ය මාර්ගය ද අෂ්ටාංගික වෙයි. බුදු දහම විසින් කිසිසේත් ම අනුමත නොකරන ආත්මවාදය, ශාස්වතවාදය, උච්ඡේදවාදය, සක්කායදිට්ඨිය වැනි සාවද්‍ය දෘෂ්ටි වැළඳ ගැනීම මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රතිඵලයෝ ය. ඒ දර්ශන ඔස්සේ ජීවිතය ගෙවන පුද්ගලයා දශ අකුසල කර්මපථ ඉතා අගය කොට සළකයි. දශ කුසල කර්මපථ හෙළා දකියි. ලොවෙහි සද්පුරුෂයන්ගේ පැවැත්ම නොපිළිගනියි. පින් පව් වෙනස නොදකියි. එවැනි පුද්ගලයන් පොදු ජනයා අතරේ අපකීර්තිය, අයස, අපහාස, නින්දා ලබයි. මෙලොවදීත් පරලොවදීත් දුකට ම, විපතට ම පත්වෙයි.
සත්‍යය ම, පරම සත්‍යය ම සොයා යන බුදු දහම උභය ලෝකාර්ථසිද්ධිය පිණිස ශ්‍රාවක ජනයාට මග පෙන්වන අයුරු නිවැරදි දැක්ම සම්බන්ධයෙන් ඉහත කළ විස්තරය ඇසුරෙන් වටහා ගැනීම දුෂ්කර නො වේ. කවදත් ලෝකයාගේ දැඩි අවධානය යොමු කර ගන්නා බලය හා ධනය පුද්ගලයන් තුළ ද්වේෂය හා රාගය දියුණු තියුණු කරන ශක්තිමත් බලවේග දෙකකි. බොහෝ විට සාවධ්‍ය ධර්ම සහ දර්ශන පහළ වන්නේ පැතිර යන්නේ මෙම සංකල්ප දෙක පසුබිම් කර ගෙන ය. ඒවායේ අහිතකර බලපෑම් හේතු කොට ගෙන පොදුවේ පීඩාවට, දුකට පත්වන්නෝ ඒවා වැළඳ ගත් පුද්ගලයෝ පමණක් නොවෙති. රටවල් සහ මහාද්වීප පවා කල්පවත්නා බරපතල ඛේදාන්තවලට ගොදුරු වෙති. සදේවක ලෝක සත්ත්වයාගේ හිතසුව පතන බුදුදහම නිවැරදි දැක්ම අතින් සියල්ලට වඩා වටිනා සම්පත්තියක් ලෙස, ආරම්භයේ සිට අවසානය දක්වා ම ක්‍රියාත්මක විය යුතු ගුණාංගයක් ලෙස පොදු මිනිසාගේ ආධ්‍යාත්මික හා බාහිර සංවර්ධනය කෙරෙහි දැඩිව බලපාන ශක්තියක් ලෙස අගය කරන්නේ කවර හේතු නිසාදැයි මේ නයින් සිතා බලන කෙනෙකුට පැහැදිලි වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දහම තුළින් පිළිබිඹු වන ශාස්තෘත්වය

මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති,
කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත,
ඇත්කඳුරේ සුමනසාර හිමි

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි. භව කතරේ අතරමංව භයානකව දුක් පීඩා කරදර බාධකවලින් වෙලී මහත් සේ දුකට පත් සත්ත්වයාට නො වරදින ඉතා පැහැදිලි ධර්ම මාර්ගයක් වදාළේ තථාගතයන් වහන්සේ යි. උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට සිත යොමු කිරීමටත්, ඒ ධර්ම කරුණු යෝනිසෝමනසිකාරයෙන් විමසීමත් සසර තරණයට උපකාරි වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්ම ශ්‍රවනය කරන විට අපේ සිත නිවී යනවා. සිත තුළට පැමිණෙන අපේ ජීවිතය, සසර ගමන අඳුරු කරන පාපී සිතිවිලි මනසින් ඈත් වීමට පටන් ගන්නවා. පාපි සිතිවිලි වලින් පුණ්‍යමය සිතිවිලි මැකී යන්න පුළුවනි. නමුත් පුණ්‍යමය සිතිවිල්ල වඩාත් බලවත්නම් ඒ පාපී සිතිවිල්ල මකන්නට ද පුළුවනි. ඒ සිතිවිල්ල වහා යට කරන්නට පුළුවනි. විටෙක අපේ ජීවිතය බලවත් වෙනවා. විටෙක ජීවිතය කඩා වැටෙනවා. ජීවිතය තුළ පින බලවත් වනවිට ජීවිතය ප්‍රබල වෙන්නට පටන් ගන්නා අතර, ජීවිතය තුළ සංසාරික කර්ම ශක්තිය තුළින් පුණ්‍ය ශක්තිය දුර්වල වනවිට ජීවිතය තුළ අඳුර, හැඬිම, වැළපීම, ශෝක කිරීම, දුක දොම්නස වැඩි වැඩියෙන් අපව ලුහුබැඳීමට පටන් ගනී. ඒ නිසා සද්ධර්මය ශ්‍රවණය තුළින් ජීවිතය හොඳින් අවබෝධ කර දෙන ජීවන අඳුර නසන ප්‍රභාශ්වර සිතක් මෝදුකරන පුන්සඳක් සේ සිත පිරිසුදු කරන, වටිනා කටයුත්තක් ලෙස ධර්ම ශ්‍රවණය, පොතපත කියවීම, ධර්මයට අනුගතවීම ආදිය ගැන දැනගැනීම වටිනවා.
ධර්මයේ අසිරිය මතුකර ගැනීමට අවශ්‍යනම්, අසිරිමත් සිතක් අවශ්‍යනම් මේ සද්ධර්මය අප ශ්‍රවණය කළ යුතුම යි. එළැඹි සිහියෙන් ඉන්න පුද්ගලයා සතියෙන්, සති සම්පජඤ්ඤයෙන්, සති ඉන්ද්‍රියෙන්, සති බලයෙන්, කටයුතු කිරීම අවශ්‍යයි. එවිට පුද්ගලයා ධර්මය තුළ අසිරිමත් ආශ්චර්යවත් ගමනක් යන කෙනෙකු බවට පත්වෙනවා. මොට වූ සිහියෙන් සිටින පුද්ගලයාට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එනිසා ඔබත් සම්මා සතියෙන්, එළැඹි නුවණින් සිටිය යුතු වෙනවා.

අපේ සිත තුළ පැන නඟින අකුසල ධර්ම, අකුසල මූල, සොලවලා කඩා බිඳ දමා අකුසල් මනසින් ඈත් කරන්නට පුළුවන් වන්නේ පින්වත් කුසල සිතිවිලි නිසා යි. එළඹුන මනස තුළ පැන නැඟුන සිහිය කඩා, බිඳ, සොලවා සිතින් එය ඈත්කර දමන්නට පුළුවන්නම් එය බලවත් කුසලයක් වෙනවා. එනිසා නිරන්තරයෙන් ධර්මයට සිත යොමන්නාගේ පාපී සිතිවිල්ලට වඩා හැම මොහොතකම පුන්‍යමය සිතිවිල්ල බලවත් වෙනවා.
තථාගතයන් වහන්සේ සත්ත්වයාට අනුශාසනා කරන බැවින් “සත්ථා” හෙවත් “ශාස්තෘ” නම් වන බව වදාළා. තවත් තැනක පැහැදිලි කළේ ශාස්තෘ ධර්මය නමැති පිරිසුදු වතුරෙන් කෙලෙස් නමැති මඩ සෝදා හරින හෝ දේශිත ධර්මයන් ඇසීමට සත්ත්වයා කැමැතිය යන අදහසින්ද “ශාස්තෘ” වන බවයි. අධ්‍යාත්මක සංවර්ධනයේ ඉහළම තලයේ සිටියා වූ ගුරුවරයකු වශයෙන් එකී ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිලි කරන්නා වූ තැනත්තාට “ශාස්තෘ” නාමය භාවිත කරයි. මෙකී ලක්ෂණ සහිත ලොව පහළ වූ හැම ආගමික සම්ප්‍රදායකම නිර්මාතෘ ‘ශාස්තෘ’ ලෙස හඳුන්වයි.
"මධුපිණ්ඩික" සූත්‍රයේදී දණ්ඩපාණී ශාක්‍යයා පැමිණ අසන්නේ, ස්වාමිනී, ඔබවහන්සේ කුමන වාදියෙක්ද එයට උන්වහන්සේ පිළිතුරු දෙන්නේ යථාවාදී ඛෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය න කේනචි ලෝකේ විගහ්යහ තිට්ඨති ශ්‍රමණ, බ්‍රාහ්මණයන්ගෙන් හා දෙව් මිනිසුන්ගේද දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද කිසිවකු සමඟ ගැටුමක් ඇති නොකොට සිටිමි යන්නයි.
ඒ වගේම උන්වහන්සේ වදාළා තථාගතයන් වහන්සේ විසින් නො දන්නා ලද්දක්, ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දක්, ඥනයෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත කියා. අතීත, වර්තමාන, අනාගත සකල ධර්මයන් සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානයට අරමුණු වන බව. ඒ වගේම අන් අයට නොමැති බුදුවරුන්ට පමණක් ඇති දසබල ඥනයන් ගැන උන්වහන්සේ මෙසේ වදාළා.
1. තථාගතයන් වහන්සේ හැකි දෙය හැකි ලෙසත්, නොහැකි දෙය නොහැකි ලෙසත් දන්නා සේක.
2. අතීත,වර්තමාන, අනාගත කාලයන්හි කර්ම විපාකය දන්නා සේක.
3. සියලු හැසිරීමෙහි මාර්ගයන් අවසන් වන තැන දන්නා සේක.
4. ලෝකයෙහි බොහෝ වූ නොයෙක් ධාතු නොයෙක් කාරණාවන් දන්නා සේක.
5. පුද්ගලයන්ගේ නොයෙක් අදහස් දන්නා සේක
6. අනෙක් සතුන්ගේ ඉන්ද්‍රියන් ක්ෂණික බවද, ප්‍රමාද බවද දන්නා සේක.
7. බුද්ධි සෘර්ධිය, ධ්‍යානයන් වැඩීම, විමුක්තිය, සමාධි හා සමාප්ති දන්නා සේක.
8. පූර්ව භවයන් දන්නා සේක.
9. කර්මානුරූප ව චුතවන හා නැවත ඉපදෙන සතුන් ගැන දන්නා සේක.
10. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් මේ ජීවිතයේදීම චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කොට වෙසෙන සේක (ම.නි. ධම්මසංගනී සූත්‍රය)
මෙම දසබල ඤාණයන් අන් සියලු ශාස්තෘවරුන් මැඬ පැවැත්වීමට හේතු විය. මෙසේ අපගේ ශාස්තෘන් වහන්සේගේ සුවිශේෂ ඥාන සම්භාරය ගැන පොතපතේ සඳහන් වෙයි. එනිසාම අප උන්වහන්සේගේ නව අරහාදි ගුණයන් ඉගෙනගෙන ඒ කෙරෙහි සිත පහදවා ගැනීම ශ්‍රාවකයා ශාස්තෘන් වහන්සේට කරන ගරු සැලකිල්ලක්ද වනු ඇත.
ලෝකයේ ප්‍රථම වරට මහජන මතයකින් මත පාලන ක්‍රමයක් ලොවට විදහා පෙන් වූ එක ම උත්තමයා බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදයේද නිර්මාතෘවරයා ද වෙයි. ස්ත්‍රී කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ඔවුන්ට විමුක්තිය ලබා දුන්නේද භාග්‍යවතුන් වහන්සේ යි. ඒ වගේම ලොව ප්‍රථම වරට ධර්මදූත පිරිසක් මෙහෙයවා ඇත්තේද උන්වහන්සේ යි.
මෙසේ සුවිශේෂ සමාජීය චරිතයක් වශයෙන්ද උන්වහන්ස්ගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝය. තථාගතයන් වහන්සේගේ නිහතමානි බව හා උදාර නායකත්වය ද සුවිශේෂයි. “මම සංඝයා පරිහරණය කරමි. සංඝයා මා උදෙසා බැඳී සිටිය යුතුය යන හැඟීමක් මට නැත” යැයි උන්වහන්සේ වදාළේ එහෙයිනි. ඒ වගේම උන්වහන්සේ වදාළ ධර්මය නිදහසේ සිතා බලා පරිශීලනය කිරීමට නිදහස ලබාදුන් වෙනත් ශාස්තෘවරයෙක් අපට හමු නොවේ. මෙය බුද්ධ චරිතය පුරාම දක්නට තිබෙනවා. නොයෙක් රජවරු, සිටුවරු, ධනවතුන්, විද්වතුන්, සමහර ශාස්තෘවරුන් පවා තමන් වහන්සේ සරණ යන බව පැවසූ විට උන්වහන්සේ ඔවුන්ට වදාළේ නැවත සිතා බලා තීරණයක් ගන්නා ලෙසයි. උපාලි ගෘහපතියාට පවසන්නේ බුදු දහම වැළඳ ගත්තද, නිගණ්ඨනාථ පුත්තයන්ට සහ ඔහුගේ අනුගාමිකයන්ට කලින් දක්වන ලද අනුග්‍රහයද නො වෙනස්ව පවත්වාගෙන යන ලෙසයි.
දිනක් සේල බමුණාට තමන් වහන්සේ කවරෙක්දැයි විවරණය කරන අවස්ථාව ගැන ධර්මයේ මෙසේ සඳහන් වෙයි.
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවේ තබ්බඤ්ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ

අවබෝධ කළ යුතු දේ අවබෝධ කළ වැඩිය යුතු දේ වඩන ලද අත්හළ යුතු දේ අත්හළ බැවින්ද, බ්‍රාහ්මණය, මම බුද්ධ නම් වෙමියිි යනුවෙන් වදාළ සේක.
ඒ වගේම උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂත්වය පිළිබඳව මෙසේ ද වදාළ සේක.
සබ්බාභිභූ සබ්බවිදූහමස්මි
සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ
සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං 
(අරියපරියේසන සූත්‍රය)

මම සියල්ල අභිබවා සිටියෙමි. දත යුතු සියල්ල දන්නේ වෙමි. සියලු ධර්මයේ ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාව ක්ෂය සංඛ්‍යාත නිර්මාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි. එසේ වූ මට අන් කවරෙක් ආචාර්ය ලෙස දහම් දෙසයි ද
මම රහත් වෙමි. නිරුත්තර වූ ශාස්තෘ වෙමි. එකම ම සම්මා සම්බුදු වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල් වූයෙමි. එහෙයින් නිවුණෙමි, ද වදාළ සේක.
මේ අයුරින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පවතින විවිධ ගුණයන් හකුළ ඉදිරිපත් කරමින් උන්වහන්සේ විසින්ම සාර්ථක විවරණයක් කර තිබෙනවා. එනිසා අපත්, අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ කෙරෙහි බලවත් ලෙස සිත පහදවාගෙන උන්වහන්සේ වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කොට සසර දුකින් නිදහස් වීමට අදිටන් කර ගනිමු.

තථාගතයන් වහන්සේ සහ කේශී

තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන අයුරු අංගුත්තර චතුෂ්ක නිපාතයේ කේශී සූත්‍රය අනුව කිව යුතුය. දිනක් කේශී නම් අශ්ව දමකයා බුදුරදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ ගත්තේ ය. එකල්හි තථාගතයන් වහන්සේ වාදාරන සේක්, කේශී නුඹ අශ්වයන් පුරුදු කිරිමෙහි ප්‍රසිද්ධ ය. නුඹ අශ්වයන් දමනය කරන්නේ කෙසේ දැ’යි වදාළ සේක. “ස්වාමීනි, මම මෙලෙකින්ද රළුයෙන් ද ඒ දෙකින්ම ද අශ්වයන් දමනය කරමි’යි ඔහු කීය. “කේශී, ඉදින් අශ්වයන් මෙළෙකින්ද රළුයෙන් ද ඒ දෙකින්ම ද කීකරු නොකළ හැකි වී නම් එකල්හි නුඹ කුමක් කරන්නෙහිදැ’යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ඒ තුන් ආකාරයෙන් නොදැමිය හැකි අශ්වයන් අපගේ ඇදුරු පරපුරට අවමානයක් ඇති නොවනු පිණිස මරා දමමි’යි කේශී කීය.
“ස්වාමීනි, භග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී වන සේක. නුඹ වහන්සේ දමනය කළ යුතු පුද්ගලයන් කෙසේ හික්මවන සේක් දැ’යි කේශී විචාළේ ය. “කේශී, මම ද දමනය කළ යුතු පුද්ගලයන් මෙළෙකින් ද හික්මවමි. රළුයෙන් ද හික්මවමි. ඒ දෙකින්ම ද හික්මවමි. මේ කායසුචරිතය ය, මේ කායසුචරිතයේ විපාකය, මේ වාක් සුචරිතය ය, මේ වාක් සුචරිතයේ විපාකය ය, මේ මනෝ සුචරිතය ය, මේ මනෝසුචරිතයේ විපාක ය, සුචරිතයේ විපාක වශයෙන් මිනිස් ලොව උපදනාහ. දෙව්ලොව උපදනාහ. මෙසේ අනුශාසනා කොට පුද්ගලයන් හික්මවීම මාගේ මෙළෙකින් හික්මවීම ය. මේ කාය දුශ්චරිතය ය. මේ කාය දුශ්චරිතයේ විපාකය ය. මේ වාක් දුශ්චරිතය ය. මේ වාක් දුෂ්චරිතයේ විපාකය ය. මේ මනෝදුශ්චරිතය ය. මේ මනෝදුශ්චරිතයේ විපාකය ය. දුශ්චරිතයෙන් නරකයෙහි උපදනාහ, තිරිසන් වන්නාහ. ප්‍රේත වන්නාහ. මෙසේ අනුශාසනය කොට හික්මවිම මාගේ රළුයෙන් හික්මවිම ය. ඒ දෙයාකාරයෙන්ම අනුශාසනය කොට හික්මවිම මාගේ මෙළෙකින් හා රළුයෙන් හික්මවීම ය’යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කේශී “ස්වාමීනි, “දමනය කළ යුත්තෙක් ඒ තුන් ආකාරයෙන් ම නොහික්මේ නම් ඔහුට නුඹ වහන්සේ කුමක් කරන සේක් දැ”යි කීය. තථාගතයන් වහන්සේ වදාරන සේක් “කේශී, දමනය කළ යුතු පුද්ගලයා ඒ තුන් ක්‍රමයන් ම නොහික්මෙන්නේ නම් මම ද ඔහු මරමි යි’යි වදාළ සේක. එකල්හි කේශී, “ස්වාමීනි, නුඹ වහන්සේට ප්‍රණඝාතය ඇකැප ය. එහෙත් නුඔ වහන්සේ මරමියි කියන සේකැ”යි කීය. සැබැව කේශී, තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතනය කැප නැත. යමෙක් මෙළෙකින් අනුශාසනා කිරිමෙන් ද තදින් අනුශාසනා කිරිමෙන් ද, ඒ දෙයාකාරයෙන් ම අනුශාසනා කිරිමෙන් ද නො හික්මේ නම් තථාගතයන් වහන්සේ ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. මගේ නුවණැති ශ්‍රවකයෝ ද ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. කේශී, එසේ අනුශාසනා නොකළ යුත්තකු ලෙස සැලකිම මේ ආර්‍ය්‍යවිනයෙහි මරණයට පැමිණවීමය’යි වදාළ සේක. කේශී තථාගතයන් වහන්සේට ස්තුති කොට තෙරුවන් සරණ ගොස් උපාසකයෙක් වූයේ ය.
බුදුරදුන් විසින් දමනය කරන්නේ පුරුෂයන් පමණක් නො වේ. උන් වහන්සේ ස්ත්‍රීන් ද දමනය කෙරෙති. සරණ ශීලාදියෙහි පිහිටවමින් හික්මවෙති. පුරිසදම්මසාරථී යන මෙහි පුරුෂයන් පමණක් ගෙන තිබෙන්නේ “දමනය කළ යුත්තන් අතර පුරුෂයන් ප්‍රධාන නිසාය’යි කියා තිබේ. එහි පුරිස යන වචනය ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම ගත හැකි පුද්ගලවාචී වචනයක් ද ලෙස සැලකිය හැකි ය. වචනය කෙසේ වුව ද තථාගතයන් වහන්සේ ස්ත්‍රී පුරුෂ සැමදෙන ම දමනය කරන බව කිය යුතු ය.
තථාගතයන් වහන්සේ ගේ පුද්ගල දමනය අංගුලිමාල, නාළාගිරි ආදි ප්‍රචණ්ඩයන් මෙල්ල කිරිම ම නො වේ. උන්වහන්සේ අතින් එවැන්නක් සිදුවන්නේ කළාතුරකිනි. උන්වහන්සේ විසින් බෙහෙවින් කරන, නිතර කරන දමනය නම්, කෙළෙසුන්ට වසඟව මෝහයෙන් මුළා ව මානයෙන් මත් ව සුසිරිතෙන් බැහැරව පව්කම්හි ද පඤ්චකාමයෙහි ද ඇලී අපාය මාර්ගයේ ගමන් ගෙන ඇති, නිවන් මඟට විරුද්ධ මාර්ගයෙහි ගමන් ගෙන ඇති සත්ත්වයන්සරණ ශීලාදීයෙහි පිහිටවා ස්වර්ගමෝක්ෂමාර්ගයන්හි ගමන් කරනවුන් කිරිම ය. අප තථාගතයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් පන්සාළිස් වසක් මුළුල්ලෙහි කළේ එය ය.
අනුන් දමනය කිරිමය, තමාගේ සිත දමනය කර ගැනීමය යන මේ දෙකින් වඩා වැදගත් වන්නේ තමාගේ සන්තානය තමාගේ සිත දමනය කර ගැනිමය. දුෂ්කර දෙයත් එය ය. එබැවින් “අත්තාහි කිර දුද්දමො” යනු වදාරන ලදි. අනුන් දමනය කිරිම සුදුසු වන්නේ තමාගේ සන්තානය - තමාගේ සිත දමනය කරගත් පුද්ගලයා ය. භාග්‍යවතුන් වහන්සේ වනාහි අතිදීර්ඝකාලයක් දානාදි පෙරුම් දහම් සපුරා ඒවායේ බලයෙන් බෝධිමූලයේ වැඩහිඳ සිත නොසන්සුන් කරන, කය වචන දෙක නො සන්සුන් කරන සකළක්ලේශයන් අර්හන්මාර්ගඥනනමැති ගින්නෙන් දවා පියා සර්වාකාරයෙන් පාරිශුද්ධත්වයට පැමිණ තමන් වහන්සේගේ සන්තානය දමනය කර ගත් සේක. ලෝකයේ කොපමණ බලවතකු සෘඬිමතකු වුව ද දමනයට සමත් වන ඥාණබල සෘඬිබල ලබා ගත් සේක. එබැවින් උන්වහන්සේ අන්‍යයන් දමනය කිරිමට අතිශයින් සුදුසු වු සේක. ඒ භාග්‍යයවතුන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණ වැඩ විසු පන්සාළිස් වස් කාලය තුළ අපමණ සත්වයන් දමනය කළහ.
උන් වහන්සේ ලොව්තුරා බුදුබවට පැමිණ සත්සතියක් ඉක්මගිය පසු සහම්පති බ්‍රාහ්මරාජයා පැමිණ “දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතෝ ධම්මං” යි දහම් දෙසුමට අරාධනා කළ පසු බරණැස ඉසිපතනයට වැඩ වඳාරා එහිදි කරන ලද ප්‍රථම ධර්ම දේශනයෙන් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන් ඇතුළු අටලොස් කෝටියක් බ්‍රහ්මයෝ ධර්මචක්ෂුස ලැබ දමිත වුහ. මේ ධර්මදේශනය කළේ ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනයේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ අවපෑළවිය දිනයේ ආයුෂ්මත් වප්ප ස්ථවීරයන් වහන්සේට අවවාද කොට ධර්මචක්ෂුස ලබා දී සෝවහන් ඵලයට පැමිණ වූ සේක. එසේම දෙවන දිනයෙහි භද්දිය තවුසන්ට ද තුන්වන දිනයෙහි මහානාම තවුසන්ට ද සතරවන දිනයෙහි අස්සජි තවුසන්ටද අවවාද කොට ධර්ම චක්ෂුස ලබා දී ඔවුන් දමනය කළ සේක. පුද්ගලයකුගේ දමනය අවසන් වන්නේ අර්හත්වයෙනි. කොණ්ඩඤ්ඤාදි පස්නම සෝවහන් ඵලයට පැමිණ ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද හා උපදම්පාව ලබා ඇත ද ඉදිරියට ද හික්මවිය යුත්තෝ ය. එබැවින් තථාගතයන් වහන්සේ පක්ෂයේ පස්වන දිනයෙහි ඔවුන් පස්දෙනම එකතු කොට ඉදිරියට හික්මවනු සඳහා “රූපං හික්ඛවෙ අනත්තා රූපඤ්ච හිදං හික්ඛවෙ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය ” යනාදි අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළ සේක. ඒ දේශනය අසා පඤ්චවර්ගිය භික්ෂුහු සව්කෙළෙසුන් නසා අර්හත්වයට පැමිණියෝ ය. තථාගතයන් වහන්සේ ඒ දේශනයෙන් පඤ්චවර්ගිය භික්ෂුන් දමනය කිරිම අවසන් කළ සේක.
Path to Nirvana
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අධ්‍යාත්මික දියුණුව නිවන් සුව පිණිසම උපකාරි වනු ඇත

මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

"ගුණයට කැමැති අය ගුණයටද, පාපයට, අකුසලයට, අධර්මයට කැමැති අය අධර්මය පිළිගන්නා අය සමඟ එක්වේ. මැණිකක් අසල තැබිය යුත්තේ මැණිකක්ම පමණයි. ගල්කැට, තිරුවානා කැට, බොරළු කැට, මැණික් ළඟට ගැලපෙන්නේ නැහැ. ගුණවතුන් ළඟට ධර්මයට, සීලයට, සමාධියට, ප්‍රඥාවට කැමැති අය එකතු වෙනවා. ඒ වගේම ගල් කැට සමඟ මැණික් තබන්නෙත් නැහැ. කුණුවලට කුණුද, මැණික් වලට මැණික්ද ලෙස ගුණවතුන්ට ගුණවතුන්, පාපීන්ට පාපීන් එකතුවන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් වදාළා."
බුදුරජාණන් වහන්සේ වදාළා මේ මනස හදා ගැනීමෙන් පමණයි ජීවිත ශාන්තිය උදාකර ගත හැක්කේ කියා. මනස හික්මවා ගැනීම තුළිනුයි අපේ නිවැරැදි ගමන මෝදු වන්නේ. සිත පිරිසුදු වන්නේ ධර්මය හරහායි. එනිසා යම්කිසි අයෙක් එක බුදු බණ පදයක් සිහියෙන් යුතුව ශ්‍රවණය කරනවා නම් මේ ඝෝර මරු සසරේ මේ භයානකත්වයෙන් ඈත්වී ආර්ය භූමියට එකතු වන්නට එය හේතු වෙනවා.
අප සෝතාපන්න වීමට කරුණු හතරක් සම්පූර්ණ කළයුතු වෙයි. ඒ 1. සද්ධර්ම ශ්‍රවණය , 2. යෝනිසෝමනසිකාරය (සිහිනුවණ) 3. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය 4. ධම්මානුධම්ම පටිපන්න (ධර්මය ටික ටික හෝ පුහුණු කිරීම) බවයි. ධර්මයට කැමැති මනසක් අපට ඇත්නම් මෙලොව පරලොව දෙලොවෙහිම යහපත කරා ගමන් කරනවා. නමුත් ධර්මය ප්‍රතික්ෂේප කරන, මේවා අපට කරන්න බැහැ කියන විවේචනය කරන අයට අභිවෘද්ධියක් කරා ගමන් කරන්න අපහසුයි.
තථාගතයන් වහන්සේ මේ ලෝකයේ සිටින මිනිසුන් කොටස් තුනකට බෙදනවා. ඒ සමහර මිනිසුන්ගේ දෑසම පෙනෙන්නේ නැහැ. දෑසම අන්ධයි. තව සමහර අය ඉන්නවා එක ඇසක් පමණක් අන්ධයි. මේ දෙදෙනාම ආශ්‍රය නොකළ යුතු බවත්, දෑසම පෙනෙන පුද්ගලයා පමණක් ආශ්‍රය කළයුතු බවත් වදාළා. ඔබ සිතයි ඇයි තථාගතයන් වහන්සේ අන්ධ කෙනා ආශ්‍රය කරන්න එපා කිව්වේ කියා. බැලූ බැල්මට අපට වෙනත් ආකාරයකට පෙනුණාට මෙහි ගැඹුරු අර්ථයක් තිබෙනවා. මෙහි ඇස් දෙකම හොඳින් පෙනුණත් අවසානයේ ඇස් දෙකම නො පෙනෙන කොටස ඒ අයම වෙන්නත් පුළුවනි. ධර්මානුකූලව ඇස් දෙකම අන්ධයි. සමහර අයගේ එක් ඇසක් අන්ධයි. ඒ වගේම උඩින් ඇරුණු ඇස් දෙක ගැඹුරින් ඇත්තටම ඇරී තිබෙනවා. එසේම ඇස් ඇරී ඇති අය මේ සමාජයේ ජීවත් වෙනවා.

ඇස් දෙකම අන්ධයි කියන්නේ මොකක්ද සමහර අය මේ ජීවිතය ගත කරන ආකාරය ඉතාමත්ම පහත්. කුසලය, අකුසලය අඳුනන්නේ නැහැ. ධර්මය අධර්මය, ගුණය අගුණය, අම්මා, තාත්තා හඳුනන්නේ නැහැ. බුදුගුණ,දම්ගුණ හඳුනන්නේ නැහැ. ඒ අයගේ භෞතික පැත්තත් පිරිහිලා. වචනය බොහෝ සැරයි. ක්‍රියාවත් සැරයි. බාහිර සියල්ල අපිරිසුදු මෙන්ම භෞතික දියුණුවකුත් නැහැ. මෙලොව මෙන්ම පරලොවදීත් ආලෝකයට ගමන් කිරීමක් නැහැ. ඒ නිසා අධ්‍යාත්මික මෙන්ම බාහිර දියුණුවකුත් නැති අයට ඇස් දෙකම අන්ධයි කියනවා. ඔවුන් මේ ලබාගත් වටිනා මනුස්ස ජීවිතයත් අඳුරු කර ගන්නවා. ඒ වගේම පරලොවදීත් අඳුරෙන් අඳුරටම යනවා.
එක ඇස් ඇත්තා කවුද ඔහු මේ උඩින් පෙනෙන ජීවිතය ටිකක් ගුණ ගරුකයි. භෞතිකව ගෙවල් දොරවල් හදාගෙන යානවාහන අරගෙන අන් අයටත් උදව් කරගෙන ජීවත් වෙනවා. නමුත් ඔහුගේ ඇතුළාන්තය එහෙම නැහැ. අධාර්මිකව සල්ලි හම්බ කරනවා. භෞතික දියුණුවක් නැහැ. බැලූ බැල්මට මෙලොව ජීවිතය සාර්ථක ලෙස පෙනුනත් පරලොව ජීවිතය අසාර්ථකයි. මෙලොව පමණක් සාර්ථක පුද්ගලයාගේ සසර සුවපත් වන්නේ නැහැ. බැලූ බැල්මට ඉඩමක්, යාන වාහනයක් මෙන්ම යම් තනතුරක් හිමිවුවත් අධර්මවාදීනම් ඔහුගේ ජීවිතය අන්ධයි. ඒ නිසා ඇස් දෙකම සහ එක ඇසක් අන්ධ පුද්ගලයා සමඟ ඇසුරක් අනවශ්‍ය බව තථාගතයන් වහන්සේ වදාළා.
ඇස් දෙකම හොඳට පෙනෙන පුද්ගලයාගේ භෞතික ජීවිතය හොඳයි. ඒ වගේම ඇතුළාන්ත ජීවිතයත් සැබැවින්ම හොඳයි. ලස්සන ගැඹුරු විලක් වගේ. ලස්සනට මල් පිපී තිබෙන සුවඳ හමන වතුර පෑදී තිබෙන ජලජ ජීවින් වසන, හරිත වර්ණ පරිසරයක තිබෙන විලක සුන්දරත්වයක් ඒ ජීවිතයේ තිබෙනවා. මේ ඇස් දෙකම පෙනෙන පුද්ගලයා ඒ වගේ. ගුණ සුවඳ තමා මල් සුවඳ.
අද අප කථා කරන්නේ සංයුක්ත නිකායේ සඳහන් “චංකම සූත්‍රය” යි. චංකම කියන්නේ සක්මනයි. දිනක් බුදුරජාණන් වහන්සේ ගිජිකුලු පව්වේ ස්වාමින්වහන්සේ පිරිසක් සමඟ වැඩ සිටි සේක. උන්වහන්සේ දුටුවා ඈත තැන තැන තවත් ස්වාමින් වහන්සේ පිරිස් වශයෙන් සක්මනේ යෙදෙනවා. මහණෙනි, අර ඈත සක්මනේ යෙදෙන පිරිස කවුද ස්වාමිනි, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ යි. මහණෙනි, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමඟ සක්මන් කරන භික්ෂූන්ගේ ප්‍රාර්ථනාව ප්‍රඥාව දියුණු කර ගැනීමයි.
මහණෙනි, අර පැත්තේ සක්මන් කරන්නේ කවුද ස්වාමිනි, මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ. මහණෙනි, සෘර්ධිය දියුණු කරන්නට කැමැති අය මොග්ගල්ලානයන් සමඟ එකතු වී සිටිනවා.
මහණෙනි, තුන්වෙනි කණ්ඩායම කවුද ස්වාමිනි, ඒ මහාකස්සපයන් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන්. මහණෙනි ඒ භික්ෂුන් වහන්සේ ධුතාංග රැකීමට කැමැති පිරිසයි.
මහණෙනි, අනෙක් කණ්ඩායම කවුද ස්වාමිනි , ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ. දිවැස් ඇති අය අතර අග්‍රස්ථානය ගත් අනුරුද්ධයන්ගේ ගෝලයන් පුහුණු කරන්නේ දිබ්බචක්ඛු ඤාණය යි.
පුණ්ණමන්තානි පුත්ත ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ගෝලයන් පිටුපසින් සක්මන් කරනවා. මහණෙනි, මේ පිරිස බුදු බණ මිහිරි හඬින් කියන්න පුළුවන් අය අතරට ප්‍රමුඛ වන පුණ්ණමන්තානි භික්ෂුව සමඟ එක් වී සක්මන් කරනවා.
මහණෙනි, මේ පැත්තේ සක්මන් කරන්නේ කවුද ස්වාමිනි විනයට අගතනතුරු දරන උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසයි. මහණෙනි විනයට කැමැති අය උපාලි තෙරුන් සමඟ එකතුව සක්මනේ යෙදෙනවා.
අර හත්වැනි කණ්ඩායම කවුද ස්වාමිනි, ධෛර්වන්තයන් අතර අග්‍ර වූ ආනන්ද හිමියන් ඇතුලු පිරිසයි එසේ සක්මනේ යෙදෙන්නේ. මේ හත් කණ්ඩායම හැරුණු විට මේ මැදින් සක්මන් කරමින් සිටින්නේ කවුද ස්වාමිනි, ඒ දෙවිදත්තර සහ ගෝල පිරිසයි. මහණෙනි බලන්න ප්‍රඥාවට කැමැති අය සාරිපුත්තයන් සමඟ, සෘර්ධියට කැමැති අය මොග්ගල්ලානයන්ටද, ධුතාංග රැකීමට කැමැති අය මහකස්සපයන්ටද, දිවැසට කැමැති අය අනුරුද්ධයන් සමඟද, මිහිරි ලෙස බණ දේශනාවට කැමැති අය පුණ්ණමන්තානිපුත්තයන් සමඟද, විනයට කැමැති අය උපාලි සමඟද, ධර්මය මතක තබාගෙන පුහුණු කිරීමට කැමැති අය ආනන්දයන් සමඟ ද, එක් වී සිටියි. දේවදත්තට කැමැති වූයේ පාපයට කැමැති අයයි.
මහණෙනි, සමාජයේ මිනිසුන් එකතු වන්නේ ඒ ඒ ආකාරයටයි. ගුණයට කැමැති අය ගුණයටද, පාපයට, අකුසලට, අධර්මයට කැමැති අය අධර්මය පිළිගන්නා අය සමඟ එක්වේ. මැණිකක් අසල තැබිය යුත්තේ මැණිකක්ම පමණයි. ගල්කැට, තිරුවානා කැට, බොරළු කැට, මැණික් ළඟට ගැලපෙන්නේ නැහැ. ගුණවතුන් ළඟට ධර්මයට, සීලයට, සමාධියට, ප්‍රඥාවට කැමැති අය එකතු වෙනවා. ඒ වගේම ගල් කැට සමඟ මැණික් තබන්නෙත් නැහැ. කුණුවලට කුණුද, මැණික් වලට මැණික්ද ලෙස ගුණවතුන්ට ගුණවතුන්, පාපීන්ට පාපීන් එකතුවන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් වදාළා.
එනිසා අපටත් කල්‍යාණ මිත්‍රයෙකු මුණ ගැසුණහොත් ආධ්‍යාත්මික මාර්ගය දියුණු කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කර සසර තරණය කළ හැකිය.