දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බෞද්ධයකු වීම...

වත්මන් වහරේ විදිහට බොහෝ විට කිසිවකු බෞද්ධයකු වන්නේ තම දෙමාපියන් බෞද්ධයකු වූ නිසාය. මෙලෙස ඉබේ බෞද්ධයකුවීම සැබෑ බෞද්ධකම නොවූවද එය අද පිළිගත් ක්‍රමවේදය වේ.

'බෞද්ධ' යන පදයේ තේරුම 'බුදුන් වහන්සේට අයත්' යන්නයි. (ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය). කිසිවකු බුදුන් වහන්සේට අයත් වන්නේ උන්වහන්සේ සරණයාමෙනි. උපාසකයකු වීමෙනි.

බුදුන්වහන්සේ හෝ තෙරුවන් සරණ යැම 'බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි' යෑයි කී පමණින් සිදුවන්නක්‌ නොවේ. ඒ සඳහා බුදුගුණ නවය හෝ පොදුවේග ගත් කල තෙරුවන්හි සූවිසි ගුණය දත යුතුය.

බුදුගුණ අතර මුලින්ම කියෑවෙන 'අහරං' ගුණය යනු සකල ක්‌ලේෂයන් ප්‍රහීන කළ නිසා උන්වන්සේ පුදනු ලැබීමට සුදුසුය යන්නයි. බුදුන් පිහිට කොට යාම හෙවත් බුදුන් අනුව යාම වනාහි අනෙකක්‌ නොව කෙලෙස්‌ ප්‍රහීන කිරීමට බුදුන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව අවංක ප්‍රයන්තයක යෙදීමයි.

කෙලෙසුන්ගේ ගණන යෙල දහසක්‌ - 1500 ක්‌ යෑයි කියනු ලැබේ. (කෙලෙස්‌ 1500 මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමි). මේ අතර රාග, දෝෂ, මෝහ යන කෙලෙස්‌ තුන ප්‍රධානය. මේ ක්‌ලේෂයන් තුන වෙනත් නොයෙක්‌ කෙලෙසුන් ජනිත කිරීමට හේතුභූත වෙයි.

'සබ්බ පාපස්‌ස අකරණං' යන ගාථාවෙන් කියෑවෙන පරිදි සියලු බුදුවරුන් ගේ අනුශාසනය වන්නේ සියලු පව් නොකිරීමද, කුසල් දියුණු කර ගැනීමද, සිය සිත පිරිසිදු කිරීමද වේ. (ධම්ම පදය - බුද්ධ වග්ගය, පස්‌වන ගාථාව). මේ වනාහි සැබෑ බෞද්ධ ක්‍රියාමාර්ගය වේ.

පාපයන් දුගතිගාමී වීමට, දුක්‌ විපාක ගෙන දීමට, සැපයෙන් පහවීමට හේතුවන ක්‍රියාය. (පාඨශාලීය සද්ධර්ම කෝෂය, පිටුව 168) පාපයන්ට අකුසල් හෙවත් අදක්‌ෂ ක්‍රියා යෑයිද කියනු ලැබේ. අදක්‌ෂ වන්නේ නැණවත් නොවන නිසාය. නිවන් ලැබීමට සත්‍ය අවබෝධයට හේතු නොවන නිසාය.

පව් හෙවත් අකුසල් ක්‍රියා වන්නේ, ප්‍රාණඝාතය, සොරකම, කාමයන්හි වැරැදි ලෙස හැසිරීම, බොරුකීම, කේලාම් කීම, පරුෂ බස්‌ කීම, නිෂ්ඵල වචන කීම, අන් අයකු සතු වස්‌තුව ලබාගැනීමට ආශා කිරීම, අන්‍යයන්ට අයහපතක්‌ වේවා යි සිතීම හා වැරැදි දැකීම යන කරුණු දහය වේ.

මිච්ඡා දිට්‌ඨි හෙවත් වැරැදි දැකීම යනු යමක්‌ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් නොදැකීමය. සියල්ල වෙනස්‌ වන බව නොදන්නා බවය. කුසල් යනු දක්‌ෂ, නැණවත් සිතිවිලි හෝ ක්‍රියාවේ. ඕනෑම ක්‍රියාවක්‌ විරාග, අදොේශ සහ අමෝහ යන සිතුවිලිවලින් (චේතනාවන්ගෙන්) යුක්‌ත නොවේ නම් ඒ සැම කුසල ක්‍රියාය. නිවන් මඟ පාදන්නේ කුසල් ක්‍රියාවන්මය.

බුදුදහම අනුදක්‌නා විමුක්‌තිය වන්නේ, දේවානුකම්පාව නිසා උදාකර ගන්නක්‌ නොව තම සිතේ පවත්නා කිලිටි (අකුසල්) තමා විසින්ම ප්‍රහීනකර ගැනීමෙන් ලබන මානසික නිවීමයි. ශාන්තියයි. සිත කිලිටි කරන මානසික තත්ත්වයන් පහකට පංච නීවරණ යෑයි කියනු ලැබේ. නිවන් මඟ අවුරාලන නිසා එයට ඒ නම ලැබී ඇත. මිනිසා සසරට බැඳ තබන අරුතින් දස සංයෝජන යෑයි නම්වන තවත් කෙලෙස්‌ දහයක්‌ ද වේ. (ධර්ම සංග්‍රහය - පූජ්‍ය නාරද හිමි )

මිනිසාගේ එදිනෙදා ජීවිතයේදී ඉතා සුලභව අත්විඳින කෙලෙස්‌ සොළසක්‌ මඡ්ධිම නිකායේ වත්ථූපම සූත්‍රයේ මෙසේ දැක්‌වේ.

1. අභිඡ්ධාව 2. ව්‍යාපාදය 3. ක්‍රෝධය 4. බද්ධ වෛරය 5. ගුණමකුකම 6 පලාසය 7. ඊර්ෂ්‍යාව 8. මසුරුකම 9. මායාව 10. ශඨබව 11. තම්භය 12. සාරම්භය 13. මානය 14. අතිමානය 15. මදය 16. පමාදය 

ඉහත දැක්‌වූ මානසික කිලිටි අප දැනුවත්ව සිටිනවාට වඩා අපට නොදැනී සිතේ සැඟවී සිට අපගේ ක්‍රියාකාරකම් මෙහෙයවයි. ඇතැම් අකුසල් සිතුවිලි යහපත් සිතුවිලි ලෙස එළියට බසී. ප්‍රබල ක්‌ලේෂයක්‌ වන රාගය, ආශාව, ස්‌නේහය, ආදරය වශයෙන් පමණක්‌ නොව ඇතැම් විට කරුණාව, අනුකම්පාව, දයාව ආදී ලෙසින් වංචනිකව ක්‍රියාත්මක වේ. දන්, සිල්, භාවනා ආදී දස පුණ්‍ය ක්‍රියා කුසල් බවට පත්වන්නේ ඒ හා අලෝබ, අදෝෂ, අමෝහ, සිතුවිලි (චේතනා) පවතින්නේ නම් පමණි. දස පුණ්‍ය ක්‍රියා ආත්ම විමුක්‌තියට මෙන්ම සමාජ සංවර්ධනය ද ඉමහත් පිටිවහලකි.

කුසල් ජීවිතයටබද්ධ කරගන්නේ ලබා ගන්නේ (කුසලස්‌ස උපසම්පදා යන තත්ත්වයට පත් වන්නේ) කෙසේද? බුදුදහමේ ඉගැන්වීම් මග අනුව අපිරිසිදු දේ ඉවත් කිරීමෙන් පවිත්‍රත්වයට පැමිණිය හැකිය. (සබ්බ පාපස්‌ස අකරණං) කුසල් සිතුවිලි හෝ කුසල ක්‍රියා ජනිත කරවිය හැකිවන්නේ ඒවායේ මූල හේතුව හෙවත් ලක්‌ෂණ (අලෝභය, අදෝෂය හා අමෝහය) යන තත්ත්වයක පවතින්නේ නම් පමණි. මෙවන් තත්ත්වයක්‌ තම සිතුවිලිවල අත්දැක දැනගත හැක්‌කේ භාවනාවෙන් හෙවත් සිත දෙස නිරපේක්‌ෂකව බැලීමෙනි. ඒ සඳහා අවංකව දැඩි අවධානයක්‌ තිබිය යුතුය. සම්භාව්‍ය හෝ පාරම්පරික භාවනාක්‍රම කොතෙක්‌ හදාළ ද නිරපේක්‌ෂක ක්‌ෂණික අවධානය, කෙලෙස්‌ සොරුන් හඳුනාගත හැකි හොඳම මාර්ගය වේ. අප අවදිව සිටින විට සොරු අප වෙත නොඑති. 

මානසික අවධි බව හෙවත් එළඹ සිටි සිහිය සාර්ථකම භාවනාව වන්නේ ය. කුසලයන් හෙවත් දක්‌ෂ සිතිවිලි හා දක්‌ෂ ක්‍රියාවන් ජීවිතයට එක්‌කරගත හැක්‌කේ සැබෑ අවදියෙන් කරනු ලබන ක්‍රියා මගිනි.

'සචිත්ත පරියෝදපනං' හෙවත් තම සිත පිරිසිදු කර ගැනීම වඩා සාර්ථක වන්නේ සියල්ල වෙනස්‌ වන බව, අනිත්‍ය බව, අවබෝධ කර ගැනීමෙන් මම ය මගේ ය යන වැරැදි ග්‍රහණයෙන් මිදීමෙනි. ඒ වනාහි විශේෂ දැකීමක, විදර්ශනාවක ප්‍රතිඵලය වේ.

යථෝක්‌ත ක්‍රියාවලිය සාමාන්‍ය පුද්ගලයකුට, කෙලෙසුන් කෙරෙන් මිදීමට කැමැත්තක්‌ නැත්තකුට, නුරුස්‌සනා වැඩකි. ඔහු ආශා කරන්නේ සුව පහසුව, සිටිමින් බෞද්ධයකු ලෙස ජීවත්වීමටය. ඒ සඳහා ඔහුට ජනප්‍රිය බුදුදහම මහෝපකාරී වේ.

බෞද්ධයකු වීමේ පහසුම හා දැනට ක්‍රියාත්මක වන ප්‍රධානම ක්‍රමය වන්නේ ජනප්‍රිය බුදුදහමට අනුගතවීමය. දහමේ හරය වටහා ගැනීමෙන් තොරව වුවද ආගමික පුද පූජා හා වතාවත්වලට කවර අවස්‌ථාවකදී වුව සහභාගිවී, තමා එසේ කරන්නේ බෞද්ධයකු වීම නිසා යෑයි සිතා සැනසීමට පත්විය හැකිය. තම බෞද්ධකම ඔප්පු කළ හැකිය.

සැබෑ බෞද්ධයා ඉතා පුළුල් වූ නිදහස්‌ මානසික වාතාවරණයක ජීවත්වන අවිහිංසාවාදී හා සදාචාර සම්පන්න මිනිසෙකි. මිනිසා මිනිසකුගෙන් බෙදනු ලබන විවිධ වූ ජාති, භාෂා, ආගම් ආදී විවිධ දෘෂ්ටීන්ගෙන් මිදෙන ඔහු විශ්ව මිනිසකුගේ තත්ත්වයට පත්වූවෙකි. නැතහොත් පත්වීමට අවංක වෑයමක යෙදෙන්නෙකි. කාලය විසින් කොතෙක්‌ දුරස්‌ථ වුවද ඔහු බුදුරදුන් ඇසුරේ වෙසෙන්නෙකි.
ශාස්‌ත්‍රපති ප්‍රේමචන්ද්‍ර දිසානායක