වැරදි කිරීම මිනිස් ස්වභාවයකි. තමන් කරනුයේ වරදක් බව දැන හෝ නො දැන වැරදි කරන්නෝ
සමාජයෙහි සුලභ වෙති. එසේ ම මිනිසුන් වැරදි කරන විට එම වැරදි දැක දැන පසක් කොටගෙන
නිවැරදි කරන්නෝ ද වැරදි නිවැරදි කළවිට තම වැරදි, වැරදි වශයෙන් අවබෝධ කොටගෙන මත්තෙහි
යහපතෙහි යෙදෙන්නෝ ද වෙති. ඒ අනුව වැරදි කරන්නෝ, වැරදි පෙන්වා දෙන්නෝ සහ වැරදි සකසා
ගන්නෝ යැයි තෙපිරිසක් සමාජයෙහි වෙසෙති. ඒ පිළිබඳ ව ධර්මානුකූල විවරණයක් කිරීම මෙහි
අරමුණ ය.
වැරදි කරන්නෝ
මිනිස්සු දැන හෝ නො දැන වරදි කරති. ලාභ ලෝභ මුල් කොටගෙන මෙන් ම ද්වේෂය මුල් කොටගෙන
ද වැරදි කරති. මෙසේ ඇලීම් ගැටීම් මුල් කොටගෙන වැරදි කරන්නෝ එසේ කිරීමට මත්තෙන් හෝ
පසු ව හෝ තම තමන් කරන කියන, සිතන පතන දෑ පිළිබඳ ව ඥානාන්විත ව විමසා බැලීමක් හෙවත්
ප්‍රත්‍යවේක්ෂාවක් නො කරති. එබැවින් ඔවුහු නැවත නැවතත් සුපුරුදු වැරදි ම සිදු කරති.
වර්තමාන සමාජයෙහි තුමූ නිවැරදි යැයි සිතා වැරදි කරන්නෝ ද වෙති. ‘මී අඹ හා එක සැටි
හෙයින් ඒ යැයි සලකා කිම්ඵල නම් වූ ඵලජාතිය අනුභව කළවුන්ට මරණ මූත් මී අඹයෙන් වන
ප්‍රයෝජන නැත්තා සේ තුමූ නිවැරදි යැයි සිතා වැරදි කළ ද එහි විපාක විඳීමට එම
පුද්ගලයාට සිදු වේ. තමන්ගේ ජීවිතය මෙන් ම අනුන්ගේ ජීවිත ද පිරිහෙළන සාවද්‍ය
ක්‍රියාවන්හි යෙදෙන්නෝ ස්වකීය ක්‍රියා කලාපයන් නිවැරැදි භාවයට පත්කර ගන්නවා වෙනුවට
තම වැරදි වසා ගැනීමට කටයුතු කරති. ඒ සඳහා ඔවුහු ක්‍රම දෙකක් අනුගමනය කරති. සමහරු
යම් යම් හේතු සාධක, උපහැරණ ඈ ගෙනහැර පාමින් තම වැරදි සාධාරණීකරණය කරති. තවත්
සමහරෙක් තමන් විසින් කරනු ලබන වැරදිවලට ඔරොත්තු දෙන පරිදි පරිසරය සකස් කරති. එසේ
කිරීමේ දී ඔවුහු තම නිලය, බලය, හැකියාව යොදා ගනිමින් වැරදිවලට විරුද්ධ වන, වැරදි දේ
නිග්‍රහ කරන, ඒවාට අනුකූල නො වන, නිවැරැදි මග පෙන්වන පිරිස් මර්දනය කිරීමට පෙළඹෙති.
වැරදි කරන්නෝ මෙම ක්‍රම දෙක ම හෝ දෙකෙන් එකක් හෝ අනුගමනය කරමින් ස්වකීය වැරදි වසා
ගැනීිමට තැත් කරති.
කුමන ක්‍රමයකින් හෝ වැරදි යටපත් කළ ද එහි විපාක යටපත් කළ නො හැකි ය. යම් සේ
දෙනකගෙන් දොවා ගත් උණුසුම් කිරි ඒ මොහොතෙ දී ම නො මිදෙයි ද යම් විටෙක මෝරු ආදිය
යෙදීමෙන් පසු ව ම මිදෙයි ද එපරිද්දෙන් පව් කළ ක්ෂණයෙහි ම ඒවා විපාක නො දේ. කුසල
කර්ම ශක්තීන්ගෙන් උපන් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, වශයෙන් දැක්වෙන ස්කන්ධ
උසුලන තාක් පාපී පුද්ගලයා රැකේ. කුසල කර්ම ශක්තීන්ගෙන් උපන් ස්කන්ධ බිඳීමෙන් අකුසල
කර්ම ශක්තීන්ගෙන් උපන් ස්කන්ධ ඇති කල්හි හෙවත් අපාගත වූ කල්හි කළ පව් පළ දේ.
අළුවලින් වැසුණු, පහ වූ ගිනිදැල් ඇති, ගිනි අඟුරු ගින්නට දමන ලද දේ මැඬගෙන සිට පසු
ව ම දවාලයි ද එපරිද්දෙන් පව් කළ දනෝ මෙලොව වශයෙන් කායික මානසික දුක් වේදනා
නොවිඳිතුදු දෙවැනි හෝ තෙවැනි ආත්මභාවයක දී නරකාදියෙහි වැටී අපමණ දුක් විඳිති.
එබැවින් බුදුන් වහන්සේගේ දේශනාවට අනුව ‘යමෙක් වරදක් නැතහොත් ඇවතක්, දෝෂයක් සඟවයි ද
ඔහුගේ එම දෝෂයන් මෙන් ම කෙලෙස් ද නැවත නැවතත් බෙහෙවින් ම වර්ධනය වෙයි. යමෙක් වැරදි
දෝෂ නො සඟවයි ද ඔහු වරද නිවැරැදි කර ගනියි. පිරිසුදුභාවයට පත්වෙයි. මෙයින් පැහැදිලි
වන කරුණ නම් දැන හෝ නො දැන වැරදි දේ සිදුකිරීම හෝ සිදුවීම මිනිස් ගති ස්වභාවයක්
වුවත් ඒවා සාධාරණීකරණය කිරීම, ඒවාට ඔරොත්තු දෙන පරිදි පරිසරය සකස් කිරීම හෝ වැරදි
වසා ගැනීම නො තරම් වන බව යි. එබැවින් දැන දැන වැරදි දේ කිරීමෙන් වැළකිය යුතු අතර නො
දැන කෙරෙණ වැරදි අඩුපාඩු ද නො සඟවා ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කළ යුතු ම ය.
වැරදි පෙන්වා දෙන්නෝ
යම් සේ යම් බඳු වූ ගීතිකා, යාදිනි ගයමින් විවිධ රැඟුම් රඟ දක්වමින් ඉදිරියට ඇදෙන
පෙරහරක ගමන් කරන්නෝ පෙරහරෙහි ඇති කිසිදු දොසක් වරදක් අඩුලුහුඬුකමක් නො දකිත් ද
එපරිද්දෙන් සමහර විටෙක වරැදි කරන්නෝ ස්වකීය වැරදිවල බරපතළකම් හෝ තමන් කරනුයේ වරදක්
බව හෝ නො දකිති. පෙරහරක ඇති ගුණදොස් විවේචනය කළ හැක්කේ එය නරඹන්නෙකුට මිසක් එහි
ගමන් කරන්නෙකුට නො වේ. එබැවින් මිනිසුන් යම් යම් දේ කරන විට ඒ පිළිබඳ ව සැලකිලිමත්
ව නිවරැදි අගය කොට අනුමත කරන්නෝ ද වරද නිග්‍රහ කොට නිවැරැදි මග පෙන්වා දෙන්නෝ ද
වෙති. වැරදි දේ සොය සොයා කියා දී යහමඟ පෙන්වන්නෝ සුදුර්ලභ ය. ධම්මපදට්ඨ කථාවෙහි
දැක්වෙන පරිදි වැරදි පෙන්වා දෙන පුද්ගලයෝ දෙදෙනෙක් වෙති. එයින් පළමුවැන්නා නම් ‘මේ
නො ගැළපෙන දෙයින්, වරදෙන් වරදි කරන්නාට පිරිස මැද නිග්‍රහ කරන්නෙමි’ යි වැරදි
අඩුපාඩු, සිදුරු හිඩැස් සොයන්නා ය. සමස්තයක් වශයෙන් ගත් කල මනුෂ්‍යයෝ වූ කලී සිතින්
අනෙකක් සිතා අනෙකක් ම කියන්නෝ සහ කරන්නෝ වෙති. එබැවින් අනුන්ගේ වැරදි සොයන එබඳු
පුද්ගලයෝ ද සමාජයෙහි වෙසෙති. එනැනි මිනිසුන්ට වඩා තිරිසන් ගත සත්ත්වයෝ ඇද නැති,
අවංක ගති පැවතුම් ඇතියෝ ය. ‘ගහනං හෙතං භන්තෙ යදිදං මනුස්සා, උත්තානකං හෙතං භන්තෙ
යදිදං පසවො’ යනුවෙන් මජ්ජිම නිකායේ මජ්ජිම පණ්ණාසකයේ කන්දරක සූත්‍රයෙහි දැක්වෙන්නේ
එම අදහස යි.
අනුන්ගේ වැරදි පෙන්වා දෙන දෙවැනි පුද්ගලයා නම් ‘නො දත් දෙය අවබෝධ කරවීම පිණිසත්,
දත් දෙය දැඩි ව ගැන්වීම පිණිසත්, වැරදි කරන්නාගේ සීලාදී ගුණදම් දියුණු කරනු
පිණිසත්, ඒ ඒ වරදින් නගා සිටුවීම පිණිසත් බලාපොරොත්තු වන්නා’ ය. එබඳු උතුමෝ ම
මාර්ගෝපදේශනයට සුදුස්සෝ ද ඇසුරු කළ යුත්තෝ ද වෙති. යමෙක් තමා සමඟ වෙසෙන තවෙකෙකුගේ
වරදක් දැක ‘මෙතෙමේ මට බොහෝ සෙයින් උපකාර කරන්නෙකි. මම මොහුගේ වැරැදි පෙන්වා
දෙන්නෙම් ද මෙතෙමේ මට මතු උපකාර නො කරන්නේ ය. එවිට මට බලවත් පාඩුවක් ම වන්නේ ය’
යනාදී වශයෙන් සලකා කරුණු මැනවින් තේරුම් නො ගෙන කටයුතු කරයි ද එම පුද්ගලයා බුදු
සසුනෙහි කුණු කසළ විසුරුවන්නෙකි. එබඳු පුද්ගලයෝ නිවැරැදි මග පෙන්වන්නෝ නො වෙති.
එබැවින් යමෙකුගේ වරදක්, දොසක්, අඩුලුහුඬුකමක් දුටු විට එය පෙන්වා දීමේ දී ඔහු හෝ ඇය
කෙරෙහි කරුණාවෙන් ම යුතු මතු වැඩ පිණිස ම කිසිදු ලාභාපේක්ෂාවක් රහිතව ම එය කළ යුතු
ය.
එසේ ම පරෝපදේශනයෙහි යෙදෙන්නෝ පිරිසුදු වූ සිතින් යුතු යහපත් වූ වදන් ඇති, නිවැරැදි
කටයුතු ඇති පුද්ගලයෝ විය යුත්තාහ. ඒ සඳහා උත්සාහවත් ව කටයුතු කරන්නෝ ද විය යුත්තාහ.
මඩෙහි එරී සිටින්නෙකුට ඒ අයුරින් ම මඩෙහි එරුණු අයෙකු මඩින් එගොඩ කළ නො හැකි ය. එසේ
කිරීමට වැයම් කිරීමෙන් වන්නේ දෙදෙනා ම තව තවත් මඩෙහි එරීම පමණකි. එම නිසා අනුන්ගේ
වැරදි පෙන්වා දෙන්නන් විසින් එම කරුණ ද මැනවින් සිතට ගත යුතු ව ඇත.
වැරදි සකසා ගන්නෝ
මිනිසා ස්වභාවයෙන් ම පවිටු ගති පැවතුම් ඇති වරදෙහි අනායාශයෙන් ම යෙදෙන කුණු රසයෙහි
ගිජු වූ සත්ත්වයෙකි. ඔහු විසින් උතුම් ගති පැවතුම් ඇති කර ගැනීම, දම් රසයෙහි ඇලීම
මෙන් ම වරදින් ඈත්වීම ආයාශයෙන් ම කළ යුතු ය. එසේ ආයාශයෙන් යහපත, සුසිරිත පුරුදු
කිරීම තුළින් ස්වභාවික මිනිස් ගති ඉක්මවා දෙව්මිනිස් සැපත් කෙළවර උතුම් නිවනින්
සැනසිය හැකි ය .සියලු බුදුවරුන්ගේ අනුශාසනය ද ඒ සඳහා ම ය. එනිසා නුවණැති මිනිසා
විසින් ටිකෙන් ටික මොහොතින් මොහොත තමන්ගේ මොලොව-පරලොව ජීවිතය පිරිහෙළීමට සමත්, තමන්
තුළ ඇති නරක, පවිටු, අධම ගති පැවතුම් අවබෝධ කොටගෙන ඒවා නැවත ඇති නො වන පරිදි ම නැති
කර දැමීමට ක්‍රියා කළ යුතු ය.
වැරදි සකසා ගත හැක්කේ වැරදි, වැරදි වශයෙන් අවබෝධ කොටගෙන එම වැරදි, නිවැරදි කර
ගැනීමට සූදානමින් පසුවන පුද්ගලයන්ට පමණි. නිරතුරු තමන් කරන කියන, සිතන පතන දෑ හරි
යැයි සිතා සිටින්නෝ වැරදි දේ කළ ද ඒවා නිවැරැදි කර ගැනීමට සූදානම් නො වෙති. ඔවුහු
නිවැරැදි දේ යමෙකු විසින් පෙන්වා දුන්න ද නැවත නැවතත් එබඳු දෑම තම සිතැඟි පරිදි ම
කෙරෙති. මකන කෑල්ලක් අවශ්‍ය වන්නේ යමක් ලිවීමේ දී වරදින පුද්ලයන්ට නො ව, ලිවීමේ දී
යමක් වැරදුණු විට එය නිවැරැදි කර ගැනීමට සූදානමින් පසුවන පුද්ගලයන්ට ය. එබැවින්
අපගේ ක්‍රියාවන් නිරතුරුවම ඥානාන්විත ව විමසා බැලීමෙන් යුක්තවම කළ යුතු අතර වැරදුණු
විටෙක එය අවබෝධ කරගෙන හෝ එසේ අවබෝධ නො වුනු විටෙක යමෙකු විසින් අවබෝධ කරවීමක දී
නිවැරදි කර ගැනීමට සූදානමින් ම ඒවා කළ යුතු ය.
එසේ ම යමෙකු විසින් වැරදි අඩුපාඩු දැන පෙන්වා දෙන කල්හි ඔහු කෙරෙහි කෝප නො කළ යුතු
අතර එසේ කිරීම පිළිබඳ ව සතුටු විය යුතු ය. තව ද ‘ ඔබ මා වැන්නෙකුට යහපතක් ම කළෙහි
ය. මාගේ ගුරුවරයෙකු වශයෙන් සිට මා හට නැවත නැවතත් මග පෙන්වනු මැනව යැයි ඔහුට තමා ව
භාර කළ යුතු ය. එසේ කරන්නෝ තම වැරදි සකසා ගන්නෝ වෙති. එපමණක් ද නො ව උසස් මනසක් ඇති
මිනිසා තුළ බාහිර සමාජය හා කටයුතු කිරීමේ දී අනිවාර්යයෙන් ම තිබිය යුතු ගුණාංග
දෙකක් පිළිබඳ ව වන සඳහනක් පැරණි උපහාසාත්මක කථාවක අන්තර්ගත ය. එම ගුණාංග දෙක නම්,
01. මිනිසෙකු නම් හිතා මතා, සොයා බලා කටයුතු කළ යුතු ය.
02. එසේ කළ නො හැකි නම් අනුන් කියන දේ අසා කටයුතු කළ යුතු ය .
මේ ගුණාංග දෙකෙන් එකක් හෝ නො මැති පුද්ගලයා මිනිස්කමට නො ගැළපෙන අතර ඔහු ජීවත් විය
යුතු බැවින් ම ජීවත් වන උදර පෝෂිතයෙක් ම පමණකි. මේ තුළින් වැරදි අඩුපාඩු සකසා
ගනිමින් ජීවත්වීමේ අගය මොනවට පැහැදිලි වේ. වරක් බුදුන් වහන්සේ ‘වුද්ධි හෙසා මහාරාජ,
අරියස්ස විනයෙ, යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං, පටිකරොති, ආයතිං සංවරං ආප–ජති’
යනුවෙන් අජාසත් රජතුමාට වදාළ පරිදි බුදු සසුනෙහි අභිවෘද්ධිය නම් යමෙක් වරද වරද
වශයෙන් දැක ධර්මානුකූල ව එයට පිළියම් කරයි ද මතු එවැනි වරදක් නො කරන සේ සංවරයට
පැමිණෙයි ද එය යි. එබැවින් වැරදි අවබෝධ කර ගැනීම මෙන් ම ඒවා නිවැරදි කර ගැනීම උතුම්
ක්‍රියාවක් සේ ම පළමු කළ වරද දෙවනුව නො කිරීම ද උත්තරීතර ගුණාංගයකි.
කරුණු මෙසේ හෙයින් ඥානාන්විත ව බුදුමග තෝරාගෙන කටයුතු කිරීම බොදුනුවන්ගේ වගකීමකි. ඒ
සඳහා අවශ්‍ය කෙරෙන නිවැරදි මග පෙන්වීම පැවිදි පක්ෂය විසින් මෙන් ම වර්තමානයේ බොහෝ
ප්‍රාමාණික ගිහි බුද්ධිමතුන් විසින් ද සිදුකරනු පෙනේ. කෙසේ වෙතත් තම තමන්ගේ
පිරිසුදුභාවය තම තමන් විසින් ම ඇතිකර ගත යුතු ය. යමෙකුහට යහමග පෙන්වීම පමණක් ම කළ
හැකි වුවත් ඔහු ව පිරිසුදු කළ නො හැකි ය. අවසාන වශයෙන් මේ ධර්ම කරුණ අවබෝධ කොටගෙන
මෙලොව ජීවිතය සුවදායක ව ගත කිරීමට අදිටන් කර ගත යුතු ය. අමා නිවනින් සැනසීමට සැමට
ශක්තිය උදාවේවා. තෙරුවන් සරණ යි.
ලේල්වල අරියධම්ම හිමි