දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ඔබ හොඳ තැනක උපදින්න කැමති ද ?

උහන නන්දරතන හිමි
“කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයොනි – කම්මබන්ධු කම්ම පටිසරණා කම්මංසතේත විභජති යදිදං හීනප්පණීත තායාති...”
පින්වතුනි, අද ඔබ සැමට මම කියාදෙන්න හදන්නේ සූත්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ විභංග වග්ගයේ චුල්ලකම්මවිභංග සූත්‍රයට අයත් කොටසින් ටිකක්.
භෞතිකවාදී චින්තනය ඉක්මවූ අතින්ද්‍රිය විෂය ක්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින බව පෙන්වාදීමයි මෙම සූත්‍රයේ මූලික ලක්ෂණය. මිනිසා විසින් කරනු ලබන සෑම ක්‍රියාවකම ආචාර විද්‍යාත්මක වැදගත්කමක් පවතිනවා. අප කරන සෑම ක්‍රියාවක්ම කුසල් ගණයට හෝ අකුසල් ගණයට අයිති වෙනවා. පාරලෞකික වශයෙන් සුගතිගාමී වීම හෝ දුගතිගාමී වීම අවසන් ප්‍රතිඵලය වශයෙන් හඳුන්වන්න පුළුවනි.
මොවුන් ඒ කාලය තුළ හැඳින්වූයේ අකිරියවාදීන් යනුවෙනි. චාර්වාකයින්ගේ ඉගැන්වීම වූයේ ක්‍රියාවේ බලපෑමක් සත්ත්වයාට පාරලෞකික වශයෙන් නොමැති බවයි. එම නිසා ඔවුන් මිනිසා විසින් දිවි ඇති තාක් සුවසේ සිටිය යුතු බවත්, ණයවී හෝ ගිතෙල් අනුභව කිරීම සුදුසු බවත්, නැවත ඉපදීමක් නොමැති බවත් ඔවුන් නිතර පැවැසුවා. මෙම ඉගැන්වීම සමාජයට මහත් සේ අහිතකර බැවින් බුදුරජාණන් වහන්සේ මෙම ඉගැන්වීම් විවේචනය කොට බැහැර කළා.
මෙම චුල්ලකම්ම විභංග සූත්‍රයද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත් සුභ නම් තරුණයා බුදුන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දැක්වීමක් වශයෙනි. මෙම තරුණයා බුදුන්වහන්සේට වැඳ එකත්පස්ව හිඳ මෙහෙම අහනවා, ගෞතමයන් වහන්ස, මිනිසත් බව ලබා ඇති මිනිසුන් අතුරෙහි උසස් පහත් බවක් දක්නට ලැබෙනවා. ඒ වගේම අඩු ආයුෂ ඇත්තෝද, දීර්ඝ අයුෂ ඇත්තෝද දක්නට ලැබෙනවා. එපමණක් නොව බොහෝ ආබාධ ඇත්තෝද අඩු ආබාධ ඇත්තෝද දක්නට ලැබෙනවා. ඇතැම් විට අල්පේශාක්‍ය (තේජස් අඩු) මහේශාක්‍ය (මහත් තේජස් ඇති) අයද,සම්පත් ඇත්තෝද, සම්පත් නැත්තෝද, පහත් කුල ඇත්තෝද, උසස් කුල ඇත්තෝද, අනුවණයෝද. නුවණැත්තෝද දක්නට ලැබෙනවා. ගෞතමයෙනි, මෙසේ මිනිසත් බව ලබාගෙනම මිනිසුන් අතුරෙහිම උසස් පහත් බවක් ඇති වීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ මා මුලින් මාතෘකා වශයෙන් දේශනා කළ පාඨය දේශනා කරනවා.
එනම් කම්මස්සකා මානව සත්තා... සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ගෙන කර්මය උරුම කොටගෙන කර්ම උත්පත්තිය ස්ථාන කොටගෙන, කර්මය සදාතනික කොටගෙන කර්මය පිළිසරණ කොටගෙන ඇති බවත්, එම නිසා කර්මය සත්ත්වයන් උසස් පහත් ලෙසත් බෙදෙන්නේ යැයි පවසනවා. එම අවස්ථාවේ තරුණයා විමසනවා පින්වත් ගෞතමයෙනි, කෙටියෙන් දෙසන ලද මේ දහමෙහි විස්තර මා දන්නේ නැහැ. විස්තර වශයෙන් තේරුම්ගත හැකි පරිදි දේශනා කරන්නැයි ඉල්ලීමක් කළා. එවිට බුදුරජාණන් වහන්සේ එක් එක් කරුණ විස්තර වශයෙන් දේශනා කළා. තාරුණය මේ ලෝකයේ රුදුරු වූ ලේ තැවැරුණු අත්ඇතිව සතුන් නැසීමේ වැනසීමේ යෙදුණු සියලු සතුන් කෙරෙහි අකාරුණිකව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සතුන් මැරීමෙහි නිරතවනවා නම්, උන්වහන්සේ දේශනා කරනවා ඔහුගේ ක්‍රියාවේ හේතුවෙන් කය බිඳී යෑමෙන් මරණින් පසු සුවයක් නැති දුක් සහිත වූ පහතට වැටෙන නිරයෙහි උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලබන්නේ නම් උපනූපන් ආත්මයන්හි අඩු ආයුෂ ඇතිව උත්පත්තිය ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
එපමණක් නොවෙයි පින්වත්නි, යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සතුන් මැරීමෙන් වැලකී, දඬු මුගුරු බහා තබා අවි ආයුධ බිම තබා, පවට ලැජ්ජාවක් ඇතිව දයාවෙන් යුතුව සියලු ප්‍රාණීන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ජීවත්වනවා නම් ඔහු එක්රැස් කළ ක්‍රියාව හේතුකොටගෙන මරණින් පසු දෙව්ලොව උපදින බවත්, මිනිසත් බවක් ලැබුවහොත් උපනූපන් තැන රෝගාබාධ අඩුම උප්පත්තිය ලබන බව දේශනා කළා. අද අප සමාජයේද මෙවන් පුද්ගලයන් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා.
යම් කිසිවෙක් පවින් වැලකී, සතුන්ට හිංසා නොකොට ජීවත්වෙනවා නම් ඔහු හෝ ඇය මරණින් පසු දෙව්ලොව උපදින බවත්, දෙව්ලොව නූපදී මිනිසත් බවක් ලැබුවහොත් උපනූපන් තැන රෝගාබාධ අඩුව සියලු අඟපසඟ සම්පූර්ණව උප්පත්තිය ලබන බවත් දේශනා කළා.
ඒ වගේම යම් කිසිවෙක් කිපෙනසුළු වූයේ දැඩි සේ කැළඹුණු ස්වභාවයෙන් යුක්ත වූයේ, සුළු වදනකින් හෝ ගැටෙනවා නම්, කිපෙනවා නම්, විරුද්ධව ග්‍රහණය කරනවා නම්, කෝපයත්, ද්වේශයත් නොසතුටත් පහළ කරනවා නම් ඔහු ඒ එක්රැස් කළ කර්මයෙන් නිරයෙහි උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලද හොත් උපනූපන් තැන දුර්වර්ණව අවලස්සනව ඉපදෙන බවත් දේශනා කළා.
යමෙක් කිපෙන්නේ නැතිව, නොකැළඹුණු ස්වභාවයෙන් යුක්තව ක්‍රෝධයෙන්, නොගැටෙනවා නම්, විරුද්ධව නොගෙන, දැඩිව නොගෙන කෝපය, ද්වේෂය, නොසතුට පහළ නොකර ජීවත්වනවා නම් එම තැනැත්තා මරණින් පසු දෙව්ලොව උපදින බවත් දෙව්ලොව නූපදී මිනිසත් බවත් ලැබුවහොත් උපනූපන් තැන ප්‍රසන්න බව ඇත්තෙක්ව උපදින බව දේශනා කළා.
එපමණක් නොවෙයි,යම් කිසිවෙක් ඊර්ෂ්‍යා සහගතව අනුනට ලැබෙන ලාබ සත්කාර, ගරු බුහුමන්, වැඳුම් පිදුම් ආදියෙහිදී ඊර්ෂ්‍යා කරනවා නම්, දැඩි ඊර්ෂ්‍යාවෙන් සිත කිලිටි කර ගන්නවා නම්, වෙළාගන්නවා නම් එම තැනැත්තා ඒ එක් රැස්කරගත් කර්මයෙන් නිරයෙහි උපදින බවත්, නිරයෙහි නොඉපද මිනිසත් බවක් ලබන්නේ නම් උපනූපන් තැන අල්පේශාක්‍ය අයකු බවට පත්වන බවත් දේශනා කළා.
මෙසේ නොකර ඊර්ෂ්‍යා සහගත සිත් නැතිව, අනුනට ලැබෙන සත්කාර ගරු බුහුමන් වැඳුම් පිදුම් ආදියෙහිදී ඊර්ෂ්‍යා නොකරනව නම්, සිත කෙළෙසා නොගනී නම්, ඊර්ෂ්‍යාවෙන් වෙළා නොගනී නම් එම පුද්ගලයා මරණින් මතු දෙව්ලොව උපදින බවත්, දෙව්ලොව නොඉපදී මිනිසත් බවක් ලබන්නේ නම් උපනූපන් තැන මහේශාක්‍ය තැනැත්තකු බවට පත්වන බවත් දේශනා කළා.
එමෙන්ම යම් කිසිවෙක් මහණකුට හෝ බමුණකුට ආහාර – පාන, වස්ත්‍ර ආදිය දන් නොදෙනවා නම් එම පුද්ගලයා එම කර්මයෙන් නිරයෙහි උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලදහොත් සම්පත් අඩුව උපදින බවත් දේශනා කළා.
යම් කෙනෙක් දන් දෙනවා නම් කිසිවකුට හෝ වේවා ඔහු මරණින් මතු දෙව් ලොව උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලදහොත් මහත් සම්පත් ඇතිව උප්පත්තිය ලැබීමේ වාසනාව ලැබෙන බවත් දේශනා කළා.
මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෝ ඉන්නවා පින්වත්නි, රළු ගති ඇතිව, උඩඟුව, වැඳිය යුත්තන්ට නොවැඳ, නැගී සිටිය යුත්තන් ඉදිරියේ නොනැගිට, අසුනක් දීමට සුදුස්සාට අසුනක් නොදී, මඟ ඉඩදිය යුත්තාට මඟ ඉඩනොදී, සත්කාර කළ යුත්තාට සත්කාර නොකර, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකර, පිදිය යුත්තා පුදන්නැතිනම් එම පුද්ගලයා නිරයෙහි උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බව ලබන්නේ නම් උපනූපන්තැන පහත් කුල ඇත්තෙක්ව උපදින බවත් දේශනා කළා.
ඒ වගේම ඇතැම් පුද්ගලයන් ඉන්නවා රළු ගති නැතිව, උඩඟු නොවී, වැඳිය යුත්තාට වැඳ, නැගී සිටි යුත්තා ඉදිරියේ නැගී සිට, අසුනක් දීමට සුදුස්සාට අසුනක් දී, මඟ ඉඩදිය යුත්තාට මඟ ඉඩදී, සත්කාර කළ යුත්තාට සත්කාර කර, බුහුමන් කළ යුත්තාට බුහුමන් කර, පිදිය යුත්තන් පුදමින් ජීවත් වෙනවා නම් එම තැනැත්තා මරණින් මතු දෙව්ලොව උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවත් ලද හොත් උසස් කුලවල උපදින බවත් දේශනා කළා.
යම් කිසිවෙක් පැවිද්දකු වෙත හෝ බමුණකු වෙත ගොස් කුසල් කවරේද, අකුසල් කවරේද, වරද කුමක්ද? නිවරද කුමක්ද? කවරකු ඇසුරු කළ යුතුද? කවරකු ඇසුරු නොකළ යුතුද? කුමක් කළහොත් දීර්ඝ කාලයක් අවැඩ පිණිස හේතුවේද? යනුවෙන් විමසන්නේ නැතිනම් ගුරුවරුන්ගෙන් හෝ දැන උගතුන්ගෙන් අසා නොගන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු නිරයෙහි උපදින බවත්, එසේ නොඉපිද මිනිසත් බවක් ලද හොත් අනුවණයෙක් වී ඉපදෙන බවත් දේශනා කළා.
මෙසේ නොවී පැවිද්දකු වෙත හෝ බමුණකු වෙත, දැනඋගත් කෙනකු වෙත ගොස් කුසල් කවරේද, අකුසල් කවරේද, හොඳ මොකක්ද? නරක මොනවාදැයි ආදී වශයෙන් ඇතැමෙක් අසා දැනගන්නවා නම් එම පුද්ගලයා මරණින් පසු දෙව් ලොව උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලබන්නේ නම් මහා නුවණැත්තකුව උපදින බවත් දේශනා කළා.
මේ අයුරින් අඩු ආයුෂ පිණිස පවත්නා මඟ, අඩු ආයුෂ පමුණුවන බවත්, දීර්ඝායුෂ පිණිස පවත්නා මඟ දීර්ඝායුෂ පිණිස හේතු වන බවත්, බොහෝ ආබාධ පිණිස පවත්නා මඟ බොහෝ ආබාධ පමුණුවන බවත්, අල්ප ආබාධ පිණිස පවත්නා මඟ අල්ප ආබාධ පමුණුවන බවත්, දුර්වර්ණ අයකු වීම පිණිස පවත්නා මඟ දුර්වර්ණ කෙනකු වන බවත්, ප්‍රසන්න අයකු වීම පිණිස පවත්නා මඟ ප්‍රසන්න බව ඇතිවීමට බලපාන බවත්, අල්පේශාක්‍ය වීම පිණිස පවත්නා මඟ අල්පේශාක්‍ය බවට හේතු වන බවත්, මහේශාක්‍ය බවට පමුණුවන මඟ මහත් සම්පත් ඇති බවට පමුණුවන බවත්, පහත් කුල ඇතිවීම සඳහා පවත්නා මඟ පහත් කුල ඇතිබව වෙතට පමුණුවන බවත්, උසස් කුල ඇතිවීම සඳහා පවත්නා මඟ උසස් කුල ඇති බවට පමුණුවන්නක් බවත්, අනුවණ බව පිණිස පවත්නා මඟ අනුවණ බව වෙතට පමුණුවන බවත්, මහා නුවණැති බව පිණිස පවත්නා මඟ මහා නුවණැති බව වෙතට පමුණුවන බවත් බුදුරජාණන් වහන්සේ සුබ නමැති තරුණයාට දේශනා කළා.
මෙසේ දේශනා කළ පසු මේ සුභ තරුණයා ගෞතමයෙනි, ශ්‍රේෂ්ඨයි, ගෞතමයෙනි ශ්‍රේෂ්ඨයි. යටිකුරු කළ දෙයක් උඩුකුරු කරන ලෙසින්, මංමුලා වූවකුට මඟ කියාදෙන ලෙසින්, ඇස් ඇතියන්ට ‘රූසටහන් දැක්ම සඳහා අඳුරෙහි තෙල් පහනක් දල්වන ලෙසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කළා. ඒ දහම් ඇසූ මම තෙරුවන් සරණ යන බවත්, ගෞතමයන් වහන්ස අද පටන් දිවි හිමි කොට සරණ ගිය උවසුවකු ලෙසින් සලකන සේක්වා යි පවසා සිටියා.