දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ලොව්තුරා සුවයෙන් සැනසීමට මඟ කියා දුන් මානව දයාවේ අපරිමිත ස්වභාවය

කැලණිය විශ්ව විද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුමනපාල ගල්මංගොඩ

මානව ඉතිහාසයේ සඳහන් වී ඇති ආකාරයට අනුව අධ්‍යාත්මික දියුණුවේ හිනිපෙත්තටම ගමන් කළ බුදුපියාණෝ මනුෂ්‍යයෙකුම විය. මනුෂ්‍යයකුට ජීවිතයේ මුහුණපෑමට සිදුවන විවිධ බාධක අභියෝග උන්වහන්සේ හමුවේද විය.
මානුෂික ස්වභාවය
එම සියලු අභියෝග හමුවේ උන්වහන්සේ සතුවු ආධ්‍යාත්මික ශක්තියෙන් ජය ගත්හ. “ආනන්දය, මට ක්ලාන්තය, හිඳගැනීමට අසුනක් පනවන්න. ආනන්දය,මට පිපාසයි. පානය සඳහා පැන් ස්වල්පයක් රැගෙන එන්න. මා වයස ගත වී ඇත. මාගේ ජීවිතය තවත් ඇත්තේ ඉතා ටිකය. ආනන්දය, මම දැන් දිරාගිය මහල්ලෙක්මි. මාගේ වයස අසූවකි. දිරාගිය කරත්තයක්. එහෙන් මෙහෙන් පිළිසකර කර පවත්වන්නක් මෙන් මාගේ ශරීරයද පවතින්නේ යැයි සිතමි. ආනන්ද,අතිමිත්තචෙතො සමාධියට පැමිණ වාසය කරන කල්හි මාගේ ශරීරයේ වේදනාවන් දුරුවී ඉතා පහසුවක් දැනෙයි.මේ බුදුපියාණන් වහන්සේගේ මානුෂික ස්වභාවය පිළිබිඹු කෙරෙන ප්‍රකාශයන්ගෙන් එකකි.
ශාරීරික වශයෙන් කෘෂ වුවද, ආසාවකින් ලෝලත්වයකින් තොරව අල්ප ආහාර ප්‍රමාණයක් වළඳන්නා වූත් ඉතා අධික වීර්යයකින් යුක්ත වූත් වනයෙහි ධ්‍යාන වඩන ගෞතම බුදුපියාණන් වහන්සේ දැකීමට යමු යැයි සාතාගිර නම් පුද්ගලයකු තම මිත්‍රයාට ප්‍රකාශ කර ඇත. ඒ බුදුපියාණන් වහන්සේ ශරීරයෙහි ස්වභාවය එක්තරා අවධියක පැවති ආකාරය විය හැකිය.
බුදුරජාණන් වහන්සේ ස්වකීය ජීවිතය කැප කරනු ලැබුවේ සකල ලෝකවාසී සත්වයාගේ මෙලොව පරලොව හිත සුව පිණිසය. බොහෝ අවස්ථාවල පරාර්ථය ආත්මාර්ථය පිණිස පවතින බව ලෝක ඉතිහාසයෙන් පැහැදිලි වන අවස්ථා තිබුණද, බුදුපියාණන් වහන්සේ තම කාලය, ශ්‍රමය, කැප කරනු ලැබුවේ ලෝකයාගෙන් කිසිවක් බලාපොරෙත්තුව නොවේ.
අපේක්ෂා රහිතවය. බුදුපියාණන් වහන්සේ නිතරම දේශනා කරනු ලැබුවේ ධර්මය නමැති දායාදය පිණිසම ධර්මයෙහි හැසිරෙන ලෙසය. පින පිළිබඳව හෝ අපේක්ෂා නොතැබූ බුදුරජාණන් වහන්සේ අනුමාත්‍ර වූ හෝ පිනකින් තමනට අනර්ථයක් නොමැති බව වදාළහ. ආරම්භයේදීම යම් යම් පුද්ගලයන්ගේ නින්දා අපහාස දෝෂාරෝපණවලට මුහුණ දී පසුව ගාථා තුළින් ධර්මය දේශනා කළ විට ඔවුන්ගේ ප්‍රසාදය බුදුපියාණන් වහන්සේ කෙරෙහි මතු වී දන් පිළිගැන්වූ අවස්ථාවලදී සිය සේවාව අනුන්ගෙන් ලැබෙන ආහාරය නමැති වැටුප සඳහා නොවන බව පෙන්වමින් ගාථා කියා ලද දෙය තමාට අකැප බව පැවසූහ. අම්බපාලිගේ ආරාධනය පිළිගෙන තිබියදී බලවත් වජ්ජීහු බුදුපියාණන් වහන්සේට තවත් ආරාධනයක් කළද රාජ්‍යත්වය නිසා ලැබිය හැකි වාසි නොතකා බුදුපියාණන් වහන්සේ එම ආරාධනය ප්‍රතික්ෂේප කළහ.අවම වශයෙන් උන්වහන්සේගේ කැපවීම නිසාම බිහිවූ අති විශාල භික්ෂූ පිරිසවත් මමත්වයෙන් නොගෙන ඒ පිරිස තමා උදෙසා ජීවත් වන බව මා නොසිතන්නේ යැයි’ ඍජුවම දේශනා කළහ. සමකාලීන සමාජය තුළ ගිහි තත්ත්වය අනුව තමනට හිමිව තිබූ උසස් තත්වය ප්‍රකාශ කිරීමට පවා අකැමැති ස්වභාවයක් පෙන්වූ බුදුපියාණන් වහන්සේ වරක් තමා බමුණෙක් ,වෛශ්‍යයෙක්, රාජ පුත්‍රයෙක්, හෝ වෙන යම් කෙනකු නොවන බව වදාළහ. ධනයෙන්, කුලයෙන්, බලයෙන් එම සමාජය තුළ අගතැන්පත්ව සිටි ඇතැම් පුද්ගලයන් ධර්මය ශ්‍රවණය කර ප්‍රසාදයට පත්ව බුදුපියාණන් වහන්සේ සරණ යන බව ප්‍රකාශ කළ විට ඔවුන්ගේ ගරු සැළකිලි කිසිවක් බලාපොරොත්තු නොවූ බුදුපියාණන් වහන්සේ තවදුරටත් සිතා බලා එම තීරණය ගන්නා ලෙස බුදුපියාණන් වහන්සේ දේශනා කළහ. ඔවුන් එම තීරණය වෙනස් නොකරන ලෙස ප්‍රකාශ කළ විට, බුදුරජාණන් වහන්සේ ලබාදුන් අවවාදය වූයේ, බුදුදහම පිළිගැනීමට පෙර වෙනත් ආගමිකයන්ට නිතිපතා පැවැත්වූ පුද පූජාවන් නොකඩවා තවදුරටත් පවත්වාගෙන යන ලෙසයි.අවසාන වශයෙන්, බුදුපියාණන් වහන්සේ තුළ පැවැති අපේක්ෂා විරහිත බව නිස්සරණාධ්‍යාශය කෙතරම්ද, යත් තම ශ්‍රාවකයන් උන්වහන්සේගේ ආදාහන කටයුතුවලට නිරතවීමටත් බලාපොරොත්තු නොවූහ.ආනන්දය, ඔබලා තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි නිරත නොවන්න. උන්වහන්සේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කළ සේක. විරාගී දර්ශනයෙහි හා හැසිරීමෙහි වටිනාකම පැහැදිලි කළ සේක. සකල ක්ලේෂයන් කෙලෙසුන් දුරුකොට බුද්ධත්වය අවබෝධ කළ සේක. සකල පඤ්ඤා සූත්‍රයේ දැක්වෙන පරිදි ලෞකික ගීතය හා ඒ හා බැදුණු සංගීතය ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව ඇගයීමට ලක් කළ සේක. ඒ තුළින් පෙන්නුම් කරණු ලබන්නේ ලෝකයේ උන්වහන්සේ විරාගී දර්ශනයෙහි හා හැසිරීමෙහි අගය පැහැදලි කරමින් උන්වහන්සේගේ ලෝකය තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කළ සේක. සියලු ක්ලේශයන් මුලසුන් කොට බුද්ධත්වයව අවබෝධ කළ සේක.
සංවේදී මනුෂ්‍යත්වය
සක්කපඤ්භ සූත්‍රයේ සඳහන් වන ලෞකික ගීත හා ඒ හා බැඳුණු සංගීතය ශ්‍රවණය කිරීම තුළින් හා එය ඇගයීමට ලක්කිරීම තුළින් හා බුදුරජාණන් වහන්සේ තුළ පැවැති ලෝකයේ සෞන්දර්යයට සංවේදී වන මනුෂ්‍යත්වයකින්ද යුක්ත වු බවය.
සොඳුරිය, සූරියවච්ඡසාවෙනි, 
මා හද පිනවීමට ඔබව මෙලොවට බිහි කළ 
ඔබ දයාබර පියාණන් තිබ්බරු 
මම බැතියෙන් වඳීමි.

දහදියෙන් තෙමුනෙකුට මඳපවනක් සෙයින්ද? පිපාසාවෙන් පෙළුනකුට දිය පොදක් මෙන්ද මහරහතුන්ට ධර්මය මෙන්ද
සොඳුරිය ඔබ මට පි‍්‍රයය.
රෝගියකුට බෙහෙතක් මෙන්ද 
බඩසයින් පීඩිතයකුට අහරක් සෙයින්ද 
ජලයට ගින්න මෙන්ද 
සොඳුර මා හද ගිනි නිවන්න 
මල් පෙති රොන්සුණු අතුළ 
සිහිල් දියෙන් යුතු පොකුණක 
ගී‍්‍රෂ්මයෙන් පෙළුණ ඇතෙකු ගිලෙන සේ 
ඔබ පියයුරු අතර ගිලෙමි මම 
ඔබ වටොරින් මුළා වූ මම 
මත් වූ ඇතෙකු මෙන් 
හසරක් නොදකිමි 
ඔබ කෙරෙහි බැඳුමෙන් 
මසිත විපිළිසර විය 
මසකු මෙන් ඇම ගිලින ලද 
යා නොහැක්කෙමි ආපසු 
සොඳුර, මා වැළදගන්න 
මියුලැසිය, මා වැළඳගන්න 
කල්‍යාණිය , මා වැළඳගන්න 
ඒ මා පැතුමයි 
අක්බමරු කෙස් ඇති තැනැත්තිය 
ඔබ පි‍්‍රය දසුනින් 
මා හද තුළ පැවැති කාමය 
දහයකි නයින් ඔද වැඩී ගියේ 
රහතුන් විෂයෙහි 
දුන් දානයක් මෙනි 
රහතුන් කෙරෙහි යම් 
පිනක්වේ නම් මා කළ 
සුපුන් සොඳුරිය, ඒ හැම 
පලදෙවා ඔබට ම 
මේ මිහිමඬල මත 
මා තුළ සියලු පින්කම් 
සොඳුරිය ඔබට හිමි වී 
පිනකය ඔබ වෙතම ඒවා 
දැහැනට සම වැදුණු 
දිරියෙන් තවුස් දම් වඩනා 
මුනිතුමෙක් පතනු මෙන් අමා සුව

සූරියවච්ඡ්‍යාවෙනි 
මද ඔබ පතමි 
මුනිවරයෙක් දිනක 
උතුම් සම්බුදු පදවි ලැබ

තුටු වන විලසින් 
ඔබ මා එක් ව මම 
සතුටු වන්නෙමි සැමදා 
සක්දෙව්රද දිනෙක

දෙතොත් වරයක් මා හට 
පතනුයේ අනෙකක් නොව 
ඔබමය පි‍්‍රය සොඳුර 
ඔබ වැනි දියණියකට

හිමිකම් කියත ඒ 
සුපිපි සලරුකක් වන් 
පින්වත් පියාණන් 
නමදින් දෑත් එක්කොට

ආනන්දය, විශාලා නුවර රමණීයය. උදේන චේතිය රමණීයය. ගෞතමක චේතිය රමණීයය,සත්තම්බචේතීය රමණියය. ආදි වශයෙන් ස්වාභාවික සෞන්දර්යයේ අගය වදාළ සේක. එක් කාලයක් තුළ බුදුරජාණන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර මහාමොග්ගල්ලාන , මහාකාශ්‍යප අනුරුද්ධ,රේවත,ආනන්ද යන භික්ෂූන් වහන්සේලා සමඟ ගොසිංග සාල වනයෙහි වැඩ වාසය කළහ. දවසක් මෙම ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කොට ධර්මය ඇසීම සඳහා ශාරිපුත්‍ර හිමියන් වෙත වැඩියහ. දුර සිටම ස්වාමීන් වහන්සේලා වඩිනු දුටු සැරියුත් හිමියෝ අනඳ හිමියන් අමතා මෙහි වැඩම්වීම ආදරයෙන් පිළිගෙන ආනන්ද හිමියන්ගෙන් මෙසේ විචාරන ලදී. ආනන්ද, ගොසිංග සල්වනය රමණීයයි. රාත්‍රිය සඳරැසින් යුක්තය. සල්ගස්වල මුලුමනින්ම සල්මල් පිපී ඇත. හමන සුවඳ දිව්‍යමය සුගන්ධයක් මෙනි. ආනන්දය, කෙබඳු ස්වරූප ඇති භික්ෂුවක් නිසා මේ ගෝසිංග සාලවනය ශෝභමාන වන්නේද? ආනන්ද හිමියන්ගේ පිළිතුරු වුයේ
බොහෝ ඇසු පිරූ තැන් ඇති ඒවා ධාරණය කොට ගත් ධර්මය දේශනා කරන භික්ෂුවක් නිසා සල්වනය ශෝභමාන වෙයි. එම පැනයම රේවත හිමියන්ගෙන් ඇසු විට උන්වහන්සේ වදාළේද විවේකය පි‍්‍රය කරන භාවනා පුරුදු කරන ශූන්‍යාගාර රුචි කරන භික්ෂුවක් නිසා සල්වනය ශෝභමාන වන බවයි. දිවැසින් ලෝකයක් දකින භික්ෂුවක් නිසා එය ශෝභමාන වන බව අනුරුද්ධ හිමියන්ගේ අදහස විය. මහා කාශ්‍යප හිමියන්ගේ පිළිතුර වූයේද ධූතාංගධාරි විමුක්තිලාභි භික්ෂුවක නිසා එය ශෝභමාන වන බවයි. මුගලන් හිමියන්ගේ පිළිතුර වූයේ අභිධර්මය පිළිබඳ ප්‍රශ්නෝත්තර සාකච්ඡා පවත්වන භික්ෂුවක නිසා එය ශෝභමාන වන බවය. පසුව මුගලන් හිමියන් ශාරිපුත්‍ර හිමියන්ගේ අදහස විමසන විට උන්වහන්සේ වදාළ පිළිතුරු වූයේ අධ්‍යාත්මික වශයෙනි. සිය මනස තමාට රැව් පරිදි පාලනය කිරීමට සමත් භික්ෂුවක් නිසා එම සාලවනය ශෝභමාන වන බවයි. ඉන් පසුව සැරියුත් හිමියන්ගේ යෝජනාවකට අනුව සියලුම ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරන ලදුව තමන් වහන්සේලා විසින් වෙන් වෙන් වශයෙන් කරන ලද ප්‍රකාශ සැල කළහ. ඔබ සියලු දෙනා වහන්සේලාගේ ප්‍රකාශන මනා වූ ප්‍රකාශනයන් බවට වදාළ බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවටද සවන්දෙන ලෙසට වදාළහ. ඒ අනුව යම් භික්ෂුවක් පිණ්ඩපාතය කොට වළඳා සවස් වේලෙහි මෙම උයනට පැමිණ පළඟක් බැඳ කය ඍජුව තබාගෙන සිහිය පිහිටුවා මෙබඳු අධිෂ්ඨානයක් කරයි. ක්ලේශයන්ගෙන් මාගේ සිත නිදහස් වන තුරු මෙම පළඟ අත්නොරින්නෙමි. මෙබඳු භික්ෂුවක් නිසා ගොසිංග සාල වනය ශෝභමාන වන්නේය”.
බුදුපියාණන්වහන්සෙගේ මානව සංවේදනය පිළිබඳව සඳහන් වන මෙම නිදසුන් කිහිපයද ප්‍රමාණවත් වනු ඇත.