දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

වැරැදි හා සම්බන්ධ තෙපිරිස

වැරදි කිරීම මිනිස් ස්වභාවයකි. තමන් කරනුයේ වරදක් බව දැන හෝ නො දැන වැරදි කරන්නෝ සමාජයෙහි සුලභ වෙති. එසේ ම මිනිසුන් වැරදි කරන විට එම වැරදි දැක දැන පසක් කොටගෙන නිවැරදි කරන්නෝ ද වැරදි නිවැරදි කළවිට තම වැරදි, වැරදි වශයෙන් අවබෝධ කොටගෙන මත්තෙහි යහපතෙහි යෙදෙන්නෝ ද වෙති. ඒ අනුව වැරදි කරන්නෝ, වැරදි පෙන්වා දෙන්නෝ සහ වැරදි සකසා ගන්නෝ යැයි තෙපිරිසක් සමාජයෙහි වෙසෙති. ඒ පිළිබඳ ව ධර්මානුකූල විවරණයක් කිරීම මෙහි අරමුණ ය.
වැරදි කරන්නෝ
මිනිස්සු දැන හෝ නො දැන වරදි කරති. ලාභ ලෝභ මුල් කොටගෙන මෙන් ම ද්වේෂය මුල් කොටගෙන ද වැරදි කරති. මෙසේ ඇලීම් ගැටීම් මුල් කොටගෙන වැරදි කරන්නෝ එසේ කිරීමට මත්තෙන් හෝ පසු ව හෝ තම තමන් කරන කියන, සිතන පතන දෑ පිළිබඳ ව ඥානාන්විත ව විමසා බැලීමක් හෙවත් ප්‍රත්‍යවේක්ෂාවක් නො කරති. එබැවින් ඔවුහු නැවත නැවතත් සුපුරුදු වැරදි ම සිදු කරති. වර්තමාන සමාජයෙහි තුමූ නිවැරදි යැයි සිතා වැරදි කරන්නෝ ද වෙති. ‘මී අඹ හා එක සැටි හෙයින් ඒ යැයි සලකා කිම්ඵල නම් වූ ඵලජාතිය අනුභව කළවුන්ට මරණ මූත් මී අඹයෙන් වන ප්‍රයෝජන නැත්තා සේ තුමූ නිවැරදි යැයි සිතා වැරදි කළ ද එහි විපාක විඳීමට එම පුද්ගලයාට සිදු වේ. තමන්ගේ ජීවිතය මෙන් ම අනුන්ගේ ජීවිත ද පිරිහෙළන සාවද්‍ය ක්‍රියාවන්හි යෙදෙන්නෝ ස්වකීය ක්‍රියා කලාපයන් නිවැරැදි භාවයට පත්කර ගන්නවා වෙනුවට තම වැරදි වසා ගැනීමට කටයුතු කරති. ඒ සඳහා ඔවුහු ක්‍රම දෙකක් අනුගමනය කරති. සමහරු යම් යම් හේතු සාධක, උපහැරණ ඈ ගෙනහැර පාමින් තම වැරදි සාධාරණීකරණය කරති. තවත් සමහරෙක් තමන් විසින් කරනු ලබන වැරදිවලට ඔරොත්තු දෙන පරිදි පරිසරය සකස් කරති. එසේ කිරීමේ දී ඔවුහු තම නිලය, බලය, හැකියාව යොදා ගනිමින් වැරදිවලට විරුද්ධ වන, වැරදි දේ නිග්‍රහ කරන, ඒවාට අනුකූල නො වන, නිවැරැදි මග පෙන්වන පිරිස් මර්දනය කිරීමට පෙළඹෙති. වැරදි කරන්නෝ මෙම ක්‍රම දෙක ම හෝ දෙකෙන් එකක් හෝ අනුගමනය කරමින් ස්වකීය වැරදි වසා ගැනීිමට තැත් කරති.
කුමන ක්‍රමයකින් හෝ වැරදි යටපත් කළ ද එහි විපාක යටපත් කළ නො හැකි ය. යම් සේ දෙනකගෙන් දොවා ගත් උණුසුම් කිරි ඒ මොහොතෙ දී ම නො මිදෙයි ද යම් විටෙක මෝරු ආදිය යෙදීමෙන් පසු ව ම මිදෙයි ද එපරිද්දෙන් පව් කළ ක්ෂණයෙහි ම ඒවා විපාක නො දේ. කුසල කර්ම ශක්තීන්ගෙන් උපන් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, වශයෙන් දැක්වෙන ස්කන්ධ උසුලන තාක් පාපී පුද්ගලයා රැකේ. කුසල කර්ම ශක්තීන්ගෙන් උපන් ස්කන්ධ බිඳීමෙන් අකුසල කර්ම ශක්තීන්ගෙන් උපන් ස්කන්ධ ඇති කල්හි හෙවත් අපාගත වූ කල්හි කළ පව් පළ දේ. අළුවලින් වැසුණු, පහ වූ ගිනිදැල් ඇති, ගිනි අඟුරු ගින්නට දමන ලද දේ මැඬගෙන සිට පසු ව ම දවාලයි ද එපරිද්දෙන් පව් කළ දනෝ මෙලොව වශයෙන් කායික මානසික දුක් වේදනා නොවිඳිතුදු දෙවැනි හෝ තෙවැනි ආත්මභාවයක දී නරකාදියෙහි වැටී අපමණ දුක් විඳිති.
එබැවින් බුදුන් වහන්සේගේ දේශනාවට අනුව ‘යමෙක් වරදක් නැතහොත් ඇවතක්, දෝෂයක් සඟවයි ද ඔහුගේ එම දෝෂයන් මෙන් ම කෙලෙස් ද නැවත නැවතත් බෙහෙවින් ම වර්ධනය වෙයි. යමෙක් වැරදි දෝෂ නො සඟවයි ද ඔහු වරද නිවැරැදි කර ගනියි. පිරිසුදුභාවයට පත්වෙයි. මෙයින් පැහැදිලි වන කරුණ නම් දැන හෝ නො දැන වැරදි දේ සිදුකිරීම හෝ සිදුවීම මිනිස් ගති ස්වභාවයක් වුවත් ඒවා සාධාරණීකරණය කිරීම, ඒවාට ඔරොත්තු දෙන පරිදි පරිසරය සකස් කිරීම හෝ වැරදි වසා ගැනීම නො තරම් වන බව යි. එබැවින් දැන දැන වැරදි දේ කිරීමෙන් වැළකිය යුතු අතර නො දැන කෙරෙණ වැරදි අඩුපාඩු ද නො සඟවා ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කළ යුතු ම ය.
වැරදි පෙන්වා දෙන්නෝ
යම් සේ යම් බඳු වූ ගීතිකා, යාදිනි ගයමින් විවිධ රැඟුම් රඟ දක්වමින් ඉදිරියට ඇදෙන පෙරහරක ගමන් කරන්නෝ පෙරහරෙහි ඇති කිසිදු දොසක් වරදක් අඩුලුහුඬුකමක් නො දකිත් ද එපරිද්දෙන් සමහර විටෙක වරැදි කරන්නෝ ස්වකීය වැරදිවල බරපතළකම් හෝ තමන් කරනුයේ වරදක් බව හෝ නො දකිති. පෙරහරක ඇති ගුණදොස් විවේචනය කළ හැක්කේ එය නරඹන්නෙකුට මිසක් එහි ගමන් කරන්නෙකුට නො වේ. එබැවින් මිනිසුන් යම් යම් දේ කරන විට ඒ පිළිබඳ ව සැලකිලිමත් ව නිවරැදි අගය කොට අනුමත කරන්නෝ ද වරද නිග්‍රහ කොට නිවැරැදි මග පෙන්වා දෙන්නෝ ද වෙති. වැරදි දේ සොය සොයා කියා දී යහමඟ පෙන්වන්නෝ සුදුර්ලභ ය. ධම්මපදට්ඨ කථාවෙහි දැක්වෙන පරිදි වැරදි පෙන්වා දෙන පුද්ගලයෝ දෙදෙනෙක් වෙති. එයින් පළමුවැන්නා නම් ‘මේ නො ගැළපෙන දෙයින්, වරදෙන් වරදි කරන්නාට පිරිස මැද නිග්‍රහ කරන්නෙමි’ යි වැරදි අඩුපාඩු, සිදුරු හිඩැස් සොයන්නා ය. සමස්තයක් වශයෙන් ගත් කල මනුෂ්‍යයෝ වූ කලී සිතින් අනෙකක් සිතා අනෙකක් ම කියන්නෝ සහ කරන්නෝ වෙති. එබැවින් අනුන්ගේ වැරදි සොයන එබඳු පුද්ගලයෝ ද සමාජයෙහි වෙසෙති. එනැනි මිනිසුන්ට වඩා තිරිසන් ගත සත්ත්වයෝ ඇද නැති, අවංක ගති පැවතුම් ඇතියෝ ය. ‘ගහනං හෙතං භන්තෙ යදිදං මනුස්සා, උත්තානකං හෙතං භන්තෙ යදිදං පසවො’ යනුවෙන් මජ්ජිම නිකායේ මජ්ජිම පණ්ණාසකයේ කන්දරක සූත්‍රයෙහි දැක්වෙන්නේ එම අදහස යි.
අනුන්ගේ වැරදි පෙන්වා දෙන දෙවැනි පුද්ගලයා නම් ‘නො දත් දෙය අවබෝධ කරවීම පිණිසත්, දත් දෙය දැඩි ව ගැන්වීම පිණිසත්, වැරදි කරන්නාගේ සීලාදී ගුණදම් දියුණු කරනු පිණිසත්, ඒ ඒ වරදින් නගා සිටුවීම පිණිසත් බලාපොරොත්තු වන්නා’ ය. එබඳු උතුමෝ ම මාර්ගෝපදේශනයට සුදුස්සෝ ද ඇසුරු කළ යුත්තෝ ද වෙති. යමෙක් තමා සමඟ වෙසෙන තවෙකෙකුගේ වරදක් දැක ‘මෙතෙමේ මට බොහෝ සෙයින් උපකාර කරන්නෙකි. මම මොහුගේ වැරැදි පෙන්වා දෙන්නෙම් ද මෙතෙමේ මට මතු උපකාර නො කරන්නේ ය. එවිට මට බලවත් පාඩුවක් ම වන්නේ ය’ යනාදී වශයෙන් සලකා කරුණු මැනවින් තේරුම් නො ගෙන කටයුතු කරයි ද එම පුද්ගලයා බුදු සසුනෙහි කුණු කසළ විසුරුවන්නෙකි. එබඳු පුද්ගලයෝ නිවැරැදි මග පෙන්වන්නෝ නො වෙති. එබැවින් යමෙකුගේ වරදක්, දොසක්, අඩුලුහුඬුකමක් දුටු විට එය පෙන්වා දීමේ දී ඔහු හෝ ඇය කෙරෙහි කරුණාවෙන් ම යුතු මතු වැඩ පිණිස ම කිසිදු ලාභාපේක්ෂාවක් රහිතව ම එය කළ යුතු ය.
එසේ ම පරෝපදේශනයෙහි යෙදෙන්නෝ පිරිසුදු වූ සිතින් යුතු යහපත් වූ වදන් ඇති, නිවැරැදි කටයුතු ඇති පුද්ගලයෝ විය යුත්තාහ. ඒ සඳහා උත්සාහවත් ව කටයුතු කරන්නෝ ද විය යුත්තාහ. මඩෙහි එරී සිටින්නෙකුට ඒ අයුරින් ම මඩෙහි එරුණු අයෙකු මඩින් එගොඩ කළ නො හැකි ය. එසේ කිරීමට වැයම් කිරීමෙන් වන්නේ දෙදෙනා ම තව තවත් මඩෙහි එරීම පමණකි. එම නිසා අනුන්ගේ වැරදි පෙන්වා දෙන්නන් විසින් එම කරුණ ද මැනවින් සිතට ගත යුතු ව ඇත.
වැරදි සකසා ගන්නෝ
මිනිසා ස්වභාවයෙන් ම පවිටු ගති පැවතුම් ඇති වරදෙහි අනායාශයෙන් ම යෙදෙන කුණු රසයෙහි ගිජු වූ සත්ත්වයෙකි. ඔහු විසින් උතුම් ගති පැවතුම් ඇති කර ගැනීම, දම් රසයෙහි ඇලීම මෙන් ම වරදින් ඈත්වීම ආයාශයෙන් ම කළ යුතු ය. එසේ ආයාශයෙන් යහපත, සුසිරිත පුරුදු කිරීම තුළින් ස්වභාවික මිනිස් ගති ඉක්මවා දෙව්මිනිස් සැපත් කෙළවර උතුම් නිවනින් සැනසිය හැකි ය .සියලු බුදුවරුන්ගේ අනුශාසනය ද ඒ සඳහා ම ය. එනිසා නුවණැති මිනිසා විසින් ටිකෙන් ටික මොහොතින් මොහොත තමන්ගේ මොලොව-පරලොව ජීවිතය පිරිහෙළීමට සමත්, තමන් තුළ ඇති නරක, පවිටු, අධම ගති පැවතුම් අවබෝධ කොටගෙන ඒවා නැවත ඇති නො වන පරිදි ම නැති කර දැමීමට ක්‍රියා කළ යුතු ය.
වැරදි සකසා ගත හැක්කේ වැරදි, වැරදි වශයෙන් අවබෝධ කොටගෙන එම වැරදි, නිවැරදි කර ගැනීමට සූදානමින් පසුවන පුද්ගලයන්ට පමණි. නිරතුරු තමන් කරන කියන, සිතන පතන දෑ හරි යැයි සිතා සිටින්නෝ වැරදි දේ කළ ද ඒවා නිවැරැදි කර ගැනීමට සූදානම් නො වෙති. ඔවුහු නිවැරැදි දේ යමෙකු විසින් පෙන්වා දුන්න ද නැවත නැවතත් එබඳු දෑම තම සිතැඟි පරිදි ම කෙරෙති. මකන කෑල්ලක් අවශ්‍ය වන්නේ යමක් ලිවීමේ දී වරදින පුද්ලයන්ට නො ව, ලිවීමේ දී යමක් වැරදුණු විට එය නිවැරැදි කර ගැනීමට සූදානමින් පසුවන පුද්ගලයන්ට ය. එබැවින් අපගේ ක්‍රියාවන් නිරතුරුවම ඥානාන්විත ව විමසා බැලීමෙන් යුක්තවම කළ යුතු අතර වැරදුණු විටෙක එය අවබෝධ කරගෙන හෝ එසේ අවබෝධ නො වුනු විටෙක යමෙකු විසින් අවබෝධ කරවීමක දී නිවැරදි කර ගැනීමට සූදානමින් ම ඒවා කළ යුතු ය.
එසේ ම යමෙකු විසින් වැරදි අඩුපාඩු දැන පෙන්වා දෙන කල්හි ඔහු කෙරෙහි කෝප නො කළ යුතු අතර එසේ කිරීම පිළිබඳ ව සතුටු විය යුතු ය. තව ද ‘ ඔබ මා වැන්නෙකුට යහපතක් ම කළෙහි ය. මාගේ ගුරුවරයෙකු වශයෙන් සිට මා හට නැවත නැවතත් මග පෙන්වනු මැනව යැයි ඔහුට තමා ව භාර කළ යුතු ය. එසේ කරන්නෝ තම වැරදි සකසා ගන්නෝ වෙති. එපමණක් ද නො ව උසස් මනසක් ඇති මිනිසා තුළ බාහිර සමාජය හා කටයුතු කිරීමේ දී අනිවාර්යයෙන් ම තිබිය යුතු ගුණාංග දෙකක් පිළිබඳ ව වන සඳහනක් පැරණි උපහාසාත්මක කථාවක අන්තර්ගත ය. එම ගුණාංග දෙක නම්,
01. මිනිසෙකු නම් හිතා මතා, සොයා බලා කටයුතු කළ යුතු ය.
02. එසේ කළ නො හැකි නම් අනුන් කියන දේ අසා කටයුතු කළ යුතු ය .
මේ ගුණාංග දෙකෙන් එකක් හෝ නො මැති පුද්ගලයා මිනිස්කමට නො ගැළපෙන අතර ඔහු ජීවත් විය යුතු බැවින් ම ජීවත් වන උදර පෝෂිතයෙක් ම පමණකි. මේ තුළින් වැරදි අඩුපාඩු සකසා ගනිමින් ජීවත්වීමේ අගය මොනවට පැහැදිලි වේ. වරක් බුදුන් වහන්සේ ‘වුද්ධි හෙසා මහාරාජ, අරියස්ස විනයෙ, යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං, පටිකරොති, ආයතිං සංවරං ආප–ජති’ යනුවෙන් අජාසත් රජතුමාට වදාළ පරිදි බුදු සසුනෙහි අභිවෘද්ධිය නම් යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මානුකූල ව එයට පිළියම් කරයි ද මතු එවැනි වරදක් නො කරන සේ සංවරයට පැමිණෙයි ද එය යි. එබැවින් වැරදි අවබෝධ කර ගැනීම මෙන් ම ඒවා නිවැරදි කර ගැනීම උතුම් ක්‍රියාවක් සේ ම පළමු කළ වරද දෙවනුව නො කිරීම ද උත්තරීතර ගුණාංගයකි.
කරුණු මෙසේ හෙයින් ඥානාන්විත ව බුදුමග තෝරාගෙන කටයුතු කිරීම බොදුනුවන්ගේ වගකීමකි. ඒ සඳහා අවශ්‍ය කෙරෙන නිවැරදි මග පෙන්වීම පැවිදි පක්ෂය විසින් මෙන් ම වර්තමානයේ බොහෝ ප්‍රාමාණික ගිහි බුද්ධිමතුන් විසින් ද සිදුකරනු පෙනේ. කෙසේ වෙතත් තම තමන්ගේ පිරිසුදුභාවය තම තමන් විසින් ම ඇතිකර ගත යුතු ය. යමෙකුහට යහමග පෙන්වීම පමණක් ම කළ හැකි වුවත් ඔහු ව පිරිසුදු කළ නො හැකි ය. අවසාන වශයෙන් මේ ධර්ම කරුණ අවබෝධ කොටගෙන මෙලොව ජීවිතය සුවදායක ව ගත කිරීමට අදිටන් කර ගත යුතු ය. අමා නිවනින් සැනසීමට සැමට ශක්තිය උදාවේවා. තෙරුවන් සරණ යි.

එකම පිනෙන් ලැබෙන විපාක එක සමානද ?

බුදුරජාණන් වහන්සේගේ සමයේ එක්‌තරා රජතුමෙකුට බුදුරජාණන් වහන්සේට දානයක්‌ පූජා කිරීමට සිතා එම දානය තම සේවකයින් ලවා දානයක්‌ පිලියෙල කර බුදුරජාණන් වහන්සේට පූජා කළේය. එම පිනින් රජතුමා මියගිය පසු දිව්‍යමය සම්පත්වලින් අඩුම සම්sපත් ඇති චාතූරර්මහා රාජිකයේ ඉපදුණේaය. එහෙත් එම දානයම තම දෑතින්ම පිළියෙළ කොට බුදුරජාණන් වහන්සේට පූජාකළ රජුගේ ඇමැතියා එම පිනින් වඩාත් දිව්‍යමය සම්පත් ඇති ඉහළ දිව්‍ය ලෝකයක්‌ වූ තව්තිසා දෙව්ලොව ඉපදුණේය. එකම දානය පූජාකළ දෙදෙනාට ආකාර දෙකක විපාක ලැබීමට හෙතුව භික්‌ෂුන්වහන්සේලා හේතු විමසන ලදී. එය පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ තමාම පිළියෙළ කර බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙයින් වඩාත් පින්සිඳු වන බවය. මෙයින් අවබෝධකර ගතයුත්තේ එකම පුණ්‍යකර්මය කරන සියලු දෙනාටම එකම ඵල විපාක හා ආනිශංස නොලැබෙන බවය. එසේ වීමට හේතු රාශියක්‌ බුදුදහමේ දක්‌වා ඇත.

උදාහරණයක්‌ ලෙස නිවසක දෙන සාංඝික දානයක්‌ ගනිමු. ගෙහිමියා, බිරිඳ, දූ දරුවන් ඥාතීන් සහ සේවක සේවිකාවන් සාමාන්‍යයෙන් මෙම මහඟු පුණ්‍යකර්මයට සහභාගි වේ. දානය එකම වුවද මේ එකිනෙකාට ලැබෙන ඵල විපාක හා ආනිශංස එකසමාන නොවේ. ඒ ඔවුන්ගේ සහභාගිත්වය විවිධවනවා සේම ඇතිවන කුසල් සිත්ද වෙනස්‌ වන නිසාය. දානමය කුසලයක නම් එහි ඵල විපාක හා ආනිශංස දානයට පෙර සංවිධානයේදී ඇතිවන පූර්ව ෙච්තනාද දානය පිරිනමන අවස්‌ථාවේදී ඇතිවන මුඤ්චන ෙච්තනාවද දානයට පසුව දක්‌වන අපර ෙච්තනාවද මත රඳා පවතී. දානය දීමේ මූලික අදහස්‌ ඉදිරිපත්කර තමාගේම වුවමනාවෙන් ඉදිරිපත්වී වෙහෙස මහන්සි වී තම මුදල්ද වැයකොට දානය දීමේ කටයුතු කරන ගෙහිමියාට ලැබෙන දානමය ආනිශංස හා පල විපාක වැඩිය. දානය යනු තමන් සතු දෙය නිර්ලෝභිව පූජා කිරීමය. මෙහි කුසල් ගෙහිමියාට වැඩිවන්නේ එම නිසාය. එයට හොඳම උදාහරණය වන්නේ කොසොල් රජතුමා දුන් අසදෘශ දානයයි. මෙම දානය දීමේ මූලික අදහස ඇතිවූයේ කොසොල් රජතුමාටය. කෝටි සංඛ්‍යාත ධනයක්‌ වැය කළේ කොසොල් රජතුමාය. එහෙත් එම දානයේ සියලු කටයුතු කළේ මල්ලිකා දේවියයි. එහෙත් ඇයට වඩා වැඩි පිනක්‌ කොසොල් රජතුමාට ලැබිණි. ආමිශ දානයක වැඩිම පින ලැබෙන්නේ තම ධනය නිර්ලෝභිව වියදම් කරන පුද්ගලයාටය. මේ බව හොඳින් දැන සිටි දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී එම සෑයට ගඩොලක්‌ තැබූ භික්‌ෂුන් වහන්සේ නමකට පිරිකරක්‌ යවා ගඩොල අස්‌කර තමාගේම ගඩොලක්‌ තැබීsමට කටයුතු කළේ එම නිසාය.

දානය සැලසුම් කර සංවිධානය කරන අයටත් අමතර කුසලයක්‌ ලැබේ. ඒ සංවිධානයේදී කය, වචනය හා සිත යන තුන් දොරින්ම කුසල් සිදුවන නිසාය. දානය ගැන සිත සිතා සැලසුම් කිරීම විශාල පිනක්‌වේ. දානය පිළියෙල කිරීම දානය බෙදීම ආදී අවස්‌ථාවලදී මුඤ්චන ෙච්තනා නිසා අමතර කුසළ් ඇතිවීමට හේතු කාරක වේ. දානය දීමෙන් පසුව ඒ ගැන පසුතැවිලි නොවී කුසසය ගැනම සිතීමෙන් තව තවත් කුසල් සිදුවේ. එහෙත් ඒ වියදම ගැන ශෝක වුවහොත් පසුතැවිලි වුවහොත් අකුසල් සිදුවේ. මේ අනුව එකම දානයමය පුණ්‍ය කර්මයකට සහභාගි වන පුද්ගලයින්ගේ තුන් දොරින් සිදුවන ක්‍රියාදාමය එකිනෙකට වෙනස්‌ බැවින් ඔවුන් එකිනෙකාට ලැබෙන ඵල හා ආනිශංස ප්‍රමාණයද එකිනෙකට වෙනස්‌ වේ.

යම්කිසිවෙක්‌ යම් කුසල කර්මයක්‌ සිදුකරනවිට එහි විපාක ඇති වන්නේ එම පුද්ගලයාට ඇතිවන කුසල් සිත් අනුවය. කාමාචර පුද්ගලයින් වු අපට ඇතිවන කුසල් සිත් ප්‍රමාණය අටකි. මෙම කුසල් සිත් අට ඇතිවන්නේ දාන, ශීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්ම දේශණා සහ දිට්‌ඨිඡ්ජුකම්මය යන දස පුණ්‍ය ක්‍රියාවන්ට අනුවය. මෙම කුසල් සිත් අට එම කුසලය කරනු ලබන්නේ සිතේ ඇතිවන සතුටකින්ද (සෝමනස්‌ස සහගත) නැතහොත් උපේක්‌ෂා සහගතවද යන කාරණය උඩ හතට බැගින් යුත් කොටස්‌ දෙකකට බෙදේ. මෙම කොටසක්‌ද කුසලයේ ආනිසංස දන්නේ නම් ඥණ සම්ප්‍රයුක්‌ත ලෙසද ආනිශංස ඵල විපාක නොදන්නේ නම් ඥාන විප්‍රයුක්‌ත යනුවෙන් නැවත කොටස්‌ දෙකකට බෙදේ. ඒ එක කොටසක්‌ද තමාගේ කැමැත්තෙන්ම හෝ අනුන්ගේ බලපෑමකින් තොරව කරන්නේ නම් අසංකාරික ලෙසද වෙනකුගේ ඉල්ලීම හෝ බලකිරීමක්‌ මත සිදුකරන්නේ නම් සසංකාරී ලෙසද යනුවෙන් කොටස්‌ දෙකකට බෙදේ.

මේ අනුව කුසල් සිත් අටකි. දසකුසලය සඳහාම ඇතිවන බැවින් සිත් සංඛාව අසූවකි. මෙසේ විවිධ අයුරින් හටගන්නා කුසල් සිත්වල ප්‍රබල දුබලභාවය ඒ ඒ සිත් සෑදීමට එකතුවන්නාවූ චෛතසික හෙවත් සිතිවිලි අනුව වෙනස්‌ වේ. මෙවැනි චෛතසික පනස්‌දෙකක්‌ ඇති අතර කුසල් සිත් සඳහාම උපයෝගි වන්නාවූ චෛතසික විසිහතරකි. ඒවා ශෝබන චෛතසික ලෙස හැඳින්වේ. මේ විසිහතරම සෑම කුසල් සිතක්‌ම සඳහාම උපයෝගි නොවන අතර ඒ ඒ ප්‍රමාණයන් මත ගුණාත්මකභාවය අනුව කුසල් සිතේ ප්‍රබලත්වය රඳා පවතී. එම නිසා එකම පුණ්‍යකර්මයට සහභාගිවන එක්‌ පුද්ගලයාගේ කුසල්සිත් සිත්වල ප්‍රබලතාවය එකිනෙක හාත්පසින්ම වෙනස්‌ නිසා ඵල විපාක හා ආනිශංස එකිනෙකෙට වෙනස්‌ වීමට මෙයද හේතු කාරක වේ. 

එකම පුණ්‍යකර්මයෙන් සමාන ඵල විපාක නොලැබෙන තවත් එක හේතුවක්‌ වන්නේ පුද්ගලයා සතු ප්‍රඥාවයි. මෙයට දැක්‌විය හැකි හොඳම උදාහරණයක්‌ වන්නේ අග්‍රශාවක සාරිපුත්ත මහතෙරුන් වහන්සේ සහ මුගලන් මහතෙරුන් වහන්සේය. මේ දෙදෙනාම ගිහිගෙයි වාසය කරද්දී අඹයාළුවෝය. දෙදෙනාම සංජය නම් පිරිවැජියා ළඟ තපස්‌ රැකියේ එකටය. සාරිපුත්ත සංජය පිරිවැජියාගේ ධර්මයෙන් නිවන් අවබෝධ කළ නොහැකි බව තේරුම්ගෙන විමුක්‌තිය සොයා යන විට අස්‌සජී මහරහතන් වහන්සේ හමුවිය. උන්වහන්සේගේ සංවර පෙනුම ගැන පැහැදී ඔහුගේ ශාස්‌තෘවරයා කවුරුන්දැයි ඇසූවිට අස්‌සජී තෙරුන් පහත සඳහන් ගාථාව කීය.

යේ ධම්මා හේතුප්පභවා 

තේසං හේතු තතාගතෝ හේතු

තේසං චයෝ නිරධෝ ආහ 

ඒවං වාදි මහා සමණෝ

මෙම ගාථාවෙන් අර්ධයක්‌ අසත්ම සැරියුත් හමි සෝවාන් විය. එම ගාථාවම සෝවාන්වූ සැරියුත් රහතන් වහන්සේම සිය හිතමිත්‍ර කෝලිතට දේශනා කරනවිට ඔහු සෝවාන්වූයේ සම්පූර්ණ ගාථාවම ඇසුවිටය. සැරියුත් මහතෙරුන් මුල්පදය ඇසීමෙන්ම සෝවාන්වූයේ උන්වහන්සේ තුළවු මහා ප්‍රඥාව නිසාය. බුදුරජාණන් වහන්සේ හැරුනවිට මෙලොව බිහිsවූ මහා ප්‍රඥාවන්තයා වූයේ සැරියුත් මහරහතන් වහන්සේය. කෝලිය - උපතිස්‌ස දෙදෙනාම කළේ එකම පුණ්‍යකර්මයය. සවන් දුන්නේ එකම ගාථාවකටය. විපාක ලැබුවේ දෙවිදියකටය. ඒ ප්‍රඥාවද පුණකර්මයේ ඵල විපාක වලට බලපාන බවට සාධකයකි.

ප්‍රඥාව යනු යම් ධර්මයක ස්‌වරූපය අවබෝධකර ගන්නා නුවණයි. ප්‍රඥාව 

අමෝහය සහ ඥානය යනු මෙයට සමාන අර්ථයන් සේ දෑක්‌විය හැක. මෙය කුසල් සිත් ඇතිකිරීමට සිතට උදව්වන චෛතසිකයකි. ප්‍රඥාවන්තයාට ප්‍රබල කුසලයන් ලැබෙනුයේ ඔවුන්ගේ අමෝහය සහ ඥාණ සම්ප්‍රයුක්‌තභාවය නිසාය. කුසලයන් උත්පාදනය වනුයේ කුසල මූලයන් තුනක්‌ මූලික කරගෙනය. එනම් අලෝභය, අද්වේෂය හා අමෝහයයි. යම්කිසි අරමුණක්‌ ගන්නාවිට එම අරමුණ තත්ත්වාකාරයෙන් දැන ගැනීමට නොපිළිවන්වන අයුරින් සිත අපැහැදිලි කරන අඳුරුකරන ස්‌වභාවයට මෝහය යයි කියනු ලැබේ. මෙහි ප්‍රතිවිරුද්ධ අරමුණ පැහැදිලි කර යථාවබෝධයෙන් අරමුණ කරා යොමුකර සිත පිරිසිදුකර ඒකාලෝකකර සිත පහන්කරන තත්ත්වය අමෝහයයි. එම නිසා අමෝහය හෙවත් ප්‍රඥාවෙන් ඇතිකරගන්නා සිත් ප්‍රබලය. ඒවා සෑම විටම අසංකාරීය. අසංකාරී කුසල් සිත් සසංකාරී කුසල් සිත්වලට වඩා ප්‍රබලය. එසේම අමෝහයෙන් යුක්‌ත තැනැත්තාගේ ප්‍රඥාවන්තභාවය නිසා ඔවුන්ගේ ඥාණ සමුප්‍රයුක්‌තයෙන් යුක්‌තය. ඥාණ සම්ප්‍රයුක්‌ත කුසල්ද ඥාණවිප්‍රයුක්‌ත කුසල්වලට වඩා ප්‍රබල බැවින් ප්‍රඥාවන්තයා කරන කුසල්වල ඵල විපාක හා ආනිශංස වැඩිය. ඒ අනුව එකම පුණ්‍යකර්මය කරන පුද්ගලයන්ගෙන් ප්‍රඥවන්තයාට ලැබෙන කුසලය ප්‍රබලවේ.

එකම පූණ්‍යකර්මය වුවද කැප කිරීම වැඩි පුද්ගලයාට වැඩි ඵල විපාක ලැබීමට හේතුවේ. උදාහරණයක්‌ ලෙස මල් පූජා කිරීම ගනිමු. මල් පූජා කිරීමෙන් මහා ආනිසංස ලැබෙන බව බුදුදහමේ සඳහන් සුමන මාලාකාරයාගේ කථාවෙන් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයේ දිනක්‌ භික්‌ෂුන් වහන්සේලා පිරිවරාගෙන පිඬුසිඟා වඩිමින් සිටිසේක. එකල බිම්බිසාර රජතුමාට මල් සපයන සුමන නම් මාලාකාරයා රජතුමා වෙත මල් ගෙන යන අතරමගදී පිඬුසිඟා වඩින බුදුරජාණනන් වහන්සේ දැක සිත පිනාගොස්‌ බුදුන්ට පිදීමට දෙයක්‌ නොමැතිව රජතුමා දෙන දඬුවමක්‌ දුන්නාවේ යෑයි සිතා රජතුමාගේ මල්වලින් මිටක්‌ බුදුන්ට පිදීය. එම මල් බුදුරජාණන් වහන්සේ වටා වියනක්‌ මෙන් පිහිටියේය. මෙම ආශ්චර්යයෙන් පුදුමයට පත් සුමන ඉතිරි මල් ටිකද බුදුන්ට පූජා කළේය. පෙර මෙන්ම ඒ මල් සියල්ලම බුදුන් වටා වියනක්‌ මෙන් පිහිටියේය. මෙම ආශ්චර්යය දුටු ජනයා සාදු නද දෙමින් ඝෝෂා කරන්නට වූහ. 

එම පුවත දැනගත් බිම්බිසාර රජතුමාද එම ස්‌ථානයට පැමිණ ඒ ආශ්චර්ය දැක ප්‍රීතියට පත්ව සුමන මාලකාරයාට දඩුවම් කරනු වෙනුවට ඇතුන් අට දෙනෙක්‌ද, අශ්වයින් අට දෙනෙක්‌ද, දාසයින් අට දෙනෙක්‌ද, දාසියන් අට දෙනෙක්‌ද, මහාර්ග පළඳනා අටක්‌ද, කහවනු අට දහසක්‌ද, ඉතා රූමත් කාන්තාවන් අට දෙනෙක්‌ද යනුවෙන් ස්‌වර්ෂඨක පරිත්‍යාග කළේය. මෙය දුටු ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ අමතා සුමන මාලාකාරයාගේ මෙම ක්‍රියාවේ විපාක විමසීය. එවිට උන්වහන්සේ බුදුරජුන් මලින් පිදීම මහා පුණ්‍යකර්මයක්‌ බවත් එහි විපාක වශයෙන් සුමන මාලාකාරයා කල්ප ලක්‌ෂයක්‌ කිසිදු දුර්ගතියකට පත්නොවී සුගතියේ ඉපදී සැප සම්පත් විඳ අවසානයේ සුමන නම් පසේබුදු වන බවත් වදාළ සේක.

එවන් මහා ආනිශංස ලැබෙන මල් පූජා කිරීමේදී තම ගෙවත්තේම හදන මල් නෙළාගෙන ගොස්‌ බදුහාමුදුරුවන්ට පූජා කිරීම මල් කඩෙන් මල් මිලදීගෙන ගොස්‌ හෝ වෙනත් කෙනකුගෙන් ඉල්ලාගත් මල් පූජා කිරීමට වඩා වැඩි පිනක්‌ ලැබේ. එසේ වන්නේ කෙසේදැයි විමසා බලමු.

බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති අංගුත්තර නිකායේ එන වනරෝපන සූත්‍රය මෙයට පිළිතුරු ලබාදේ. බුදුරජාණන් වහන්සේ ගස්‌ වැවීමේ ආනිශංස වදාරා ඇත. එය මහා කුසල කර්මයකි. ඒ අනුව මල් ගසක්‌ වැවීමද කුසල කර්මයකි. තමාව වවා පෝෂණය කළ ගසකින් මලක්‌ කඩා පූජා කිරීම නිසා පූජාකරන්නාට තව කුසල් ප්‍රමාණයක්‌ද ලැබේ. එසේම මෙම මල් ගස සිටවන පොහොර දාන, වතුර දාන, වල්පැල ගලවා සැප සාත්තු කරන සෑම මෙහොතකම බුදුගුණ සිහිකර කවදා හෝ එහි මල් මල් බුදුන්ට පූජා කරන්නේ යෑයි සිහිකරමින් මල් ගස හදා වඩා ගැනිමේදී තව තවත් කුසල් සිත් රාශියක්‌ ඇතිවේ. එම නිසා ඔහුට ලැබෙන අමතර කුසල් ප්‍රමාණය අති මහත්වේ. මල් කඩයකින් මල් ගන්නා කෙනකුට හෝ අනුන්ගෙන් මල් ඉල්ලාගෙන පුජා කරන කෙනකුට මෙම අමතර කුසල කර්ම නොලැබේ. මල් පූජා කිරීම එකම පුණ්‍යකර්මය වුවද පල විපාක ආනිශංස එකම නොවන්නේ පුණ්‍ය කර්මයට කරන මේ කැප කිරීම මතය.

මේ සියල්ලටම අමතරව කුසලය කරන අවස්‌ථාවේ ඇතිවන කුසල් සිත මතද පල විපාක හා ආනිශංස වෙනස්‌වේ. කමාවර අපට කුසල් සිත් අටක්‌ ඇතිවිය හැකිය. එහි පළමුවැනි කුසල් සිත සෝමනස්‌සසහගත ඥාණසම්ප්‍රයුක්‌ත අසංකාරික සිතය. එහි අසංකාරික බව හා ඥාන සම්ප්‍රයුක්‌ත භාවය ඉහතින් විස්‌aතර කරන ලදී. සෝමනස්‌ස සහගත යනු කුමක්‌ද? මෙය කුසල් සිතක ඇති ඉතා වැදගත් කොටසකි. බොහෝ විට මෙය සතුටු සිතින් කරන පින ලෙස සරලව හඳුන්වනු ලැබේ. එහෙත් එය ඊට වඩා ගැඹුරු දහමක්‌ කියා පායි සෝමනස්‌ස සිතක ප්‍රධානම ලක්‌ෂණය වන්නේ අධික ශ්‍රද්ධාවයි. ඒ අනුව සෝමනස්‌ස පුද්ගලයා කුසලයක්‌ කිරීමට අරඹන්නේ මහත් ශ්‍රද්ධාසමපන්නවය. ඊළගට දර්ශණ සම්පත්තියයි. එනම් දර්ශනය නිසා සිතෙහි ඇතිවන සතුටයි. විහාරස්‌ථානයට යනවි විහාරස්‌ථානය පිරිසිදු නම් පරිසරය ලස්‌සන නම් හිතෙහි ඇතිවන සතුටයි. තෙවැන්න සිල්වත් ප්‍රතිග්‍රාහකයින් දැකීමේ සතුටයි. එනම් ගෞරවණීය මහා සංඝරත්නය විහාරස්‌ථානයේ වැඩසිටී නම් ඇතිවන සතුටයි. සිව්වැන්න නිවරැදි ධර්මය දැනගැනීමෙන් ඇතිවන සතුටයි. පස්‌වැන්න කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීමේ සතුටයි. සයවැන්න කාල සම්පත්තියයි. සත්වැන්න පීඩා හිරිහැර කරදර නැති බවය. මේ අනුව සෝමනස්‌ස සහගත සතුට යන් නිකම්ම නිකම් සිතේ ඇතිවන සතුට නොවේ. සෝමනස්‌ස කුසල් සිතක්‌ ඇතිවීමට මේ සියල්ල සම්පූර්ණ විය යුතුය.

මේ අනුව පුණ්‍යකර්මයක්‌ කිරීමේදී එහි ඵල හා ආනිශංස පුණ්‍යකර්මය කරන පුද්ගලයාගේ ප්‍රඥාව ඇතිවන කුසල් සිත් ප්‍රමානය ඒ සිත්වල ප්‍රබලත්වය කුසලය කර්මයට දරන වීර්යය කැපකිරීම ආමිෂය තමාගේද නැද්ද යන්න ආදී කරුණු රාශියක්‌ මත රඳා පවතින බව පෙනේ.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ 
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ

ඔබ හොඳ තැනක උපදින්න කැමති ද ?

උහන නන්දරතන හිමි
“කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයොනි – කම්මබන්ධු කම්ම පටිසරණා කම්මංසතේත විභජති යදිදං හීනප්පණීත තායාති...”
පින්වතුනි, අද ඔබ සැමට මම කියාදෙන්න හදන්නේ සූත්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ විභංග වග්ගයේ චුල්ලකම්මවිභංග සූත්‍රයට අයත් කොටසින් ටිකක්.
භෞතිකවාදී චින්තනය ඉක්මවූ අතින්ද්‍රිය විෂය ක්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින බව පෙන්වාදීමයි මෙම සූත්‍රයේ මූලික ලක්ෂණය. මිනිසා විසින් කරනු ලබන සෑම ක්‍රියාවකම ආචාර විද්‍යාත්මක වැදගත්කමක් පවතිනවා. අප කරන සෑම ක්‍රියාවක්ම කුසල් ගණයට හෝ අකුසල් ගණයට අයිති වෙනවා. පාරලෞකික වශයෙන් සුගතිගාමී වීම හෝ දුගතිගාමී වීම අවසන් ප්‍රතිඵලය වශයෙන් හඳුන්වන්න පුළුවනි.
මොවුන් ඒ කාලය තුළ හැඳින්වූයේ අකිරියවාදීන් යනුවෙනි. චාර්වාකයින්ගේ ඉගැන්වීම වූයේ ක්‍රියාවේ බලපෑමක් සත්ත්වයාට පාරලෞකික වශයෙන් නොමැති බවයි. එම නිසා ඔවුන් මිනිසා විසින් දිවි ඇති තාක් සුවසේ සිටිය යුතු බවත්, ණයවී හෝ ගිතෙල් අනුභව කිරීම සුදුසු බවත්, නැවත ඉපදීමක් නොමැති බවත් ඔවුන් නිතර පැවැසුවා. මෙම ඉගැන්වීම සමාජයට මහත් සේ අහිතකර බැවින් බුදුරජාණන් වහන්සේ මෙම ඉගැන්වීම් විවේචනය කොට බැහැර කළා.
මෙම චුල්ලකම්ම විභංග සූත්‍රයද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත් සුභ නම් තරුණයා බුදුන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දැක්වීමක් වශයෙනි. මෙම තරුණයා බුදුන්වහන්සේට වැඳ එකත්පස්ව හිඳ මෙහෙම අහනවා, ගෞතමයන් වහන්ස, මිනිසත් බව ලබා ඇති මිනිසුන් අතුරෙහි උසස් පහත් බවක් දක්නට ලැබෙනවා. ඒ වගේම අඩු ආයුෂ ඇත්තෝද, දීර්ඝ අයුෂ ඇත්තෝද දක්නට ලැබෙනවා. එපමණක් නොව බොහෝ ආබාධ ඇත්තෝද අඩු ආබාධ ඇත්තෝද දක්නට ලැබෙනවා. ඇතැම් විට අල්පේශාක්‍ය (තේජස් අඩු) මහේශාක්‍ය (මහත් තේජස් ඇති) අයද,සම්පත් ඇත්තෝද, සම්පත් නැත්තෝද, පහත් කුල ඇත්තෝද, උසස් කුල ඇත්තෝද, අනුවණයෝද. නුවණැත්තෝද දක්නට ලැබෙනවා. ගෞතමයෙනි, මෙසේ මිනිසත් බව ලබාගෙනම මිනිසුන් අතුරෙහිම උසස් පහත් බවක් ඇති වීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ මා මුලින් මාතෘකා වශයෙන් දේශනා කළ පාඨය දේශනා කරනවා.
එනම් කම්මස්සකා මානව සත්තා... සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ගෙන කර්මය උරුම කොටගෙන කර්ම උත්පත්තිය ස්ථාන කොටගෙන, කර්මය සදාතනික කොටගෙන කර්මය පිළිසරණ කොටගෙන ඇති බවත්, එම නිසා කර්මය සත්ත්වයන් උසස් පහත් ලෙසත් බෙදෙන්නේ යැයි පවසනවා. එම අවස්ථාවේ තරුණයා විමසනවා පින්වත් ගෞතමයෙනි, කෙටියෙන් දෙසන ලද මේ දහමෙහි විස්තර මා දන්නේ නැහැ. විස්තර වශයෙන් තේරුම්ගත හැකි පරිදි දේශනා කරන්නැයි ඉල්ලීමක් කළා. එවිට බුදුරජාණන් වහන්සේ එක් එක් කරුණ විස්තර වශයෙන් දේශනා කළා. තාරුණය මේ ලෝකයේ රුදුරු වූ ලේ තැවැරුණු අත්ඇතිව සතුන් නැසීමේ වැනසීමේ යෙදුණු සියලු සතුන් කෙරෙහි අකාරුණිකව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සතුන් මැරීමෙහි නිරතවනවා නම්, උන්වහන්සේ දේශනා කරනවා ඔහුගේ ක්‍රියාවේ හේතුවෙන් කය බිඳී යෑමෙන් මරණින් පසු සුවයක් නැති දුක් සහිත වූ පහතට වැටෙන නිරයෙහි උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලබන්නේ නම් උපනූපන් ආත්මයන්හි අඩු ආයුෂ ඇතිව උත්පත්තිය ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
එපමණක් නොවෙයි පින්වත්නි, යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සතුන් මැරීමෙන් වැලකී, දඬු මුගුරු බහා තබා අවි ආයුධ බිම තබා, පවට ලැජ්ජාවක් ඇතිව දයාවෙන් යුතුව සියලු ප්‍රාණීන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ජීවත්වනවා නම් ඔහු එක්රැස් කළ ක්‍රියාව හේතුකොටගෙන මරණින් පසු දෙව්ලොව උපදින බවත්, මිනිසත් බවක් ලැබුවහොත් උපනූපන් තැන රෝගාබාධ අඩුම උප්පත්තිය ලබන බව දේශනා කළා. අද අප සමාජයේද මෙවන් පුද්ගලයන් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා.
යම් කිසිවෙක් පවින් වැලකී, සතුන්ට හිංසා නොකොට ජීවත්වෙනවා නම් ඔහු හෝ ඇය මරණින් පසු දෙව්ලොව උපදින බවත්, දෙව්ලොව නූපදී මිනිසත් බවක් ලැබුවහොත් උපනූපන් තැන රෝගාබාධ අඩුව සියලු අඟපසඟ සම්පූර්ණව උප්පත්තිය ලබන බවත් දේශනා කළා.
ඒ වගේම යම් කිසිවෙක් කිපෙනසුළු වූයේ දැඩි සේ කැළඹුණු ස්වභාවයෙන් යුක්ත වූයේ, සුළු වදනකින් හෝ ගැටෙනවා නම්, කිපෙනවා නම්, විරුද්ධව ග්‍රහණය කරනවා නම්, කෝපයත්, ද්වේශයත් නොසතුටත් පහළ කරනවා නම් ඔහු ඒ එක්රැස් කළ කර්මයෙන් නිරයෙහි උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලද හොත් උපනූපන් තැන දුර්වර්ණව අවලස්සනව ඉපදෙන බවත් දේශනා කළා.
යමෙක් කිපෙන්නේ නැතිව, නොකැළඹුණු ස්වභාවයෙන් යුක්තව ක්‍රෝධයෙන්, නොගැටෙනවා නම්, විරුද්ධව නොගෙන, දැඩිව නොගෙන කෝපය, ද්වේෂය, නොසතුට පහළ නොකර ජීවත්වනවා නම් එම තැනැත්තා මරණින් පසු දෙව්ලොව උපදින බවත් දෙව්ලොව නූපදී මිනිසත් බවත් ලැබුවහොත් උපනූපන් තැන ප්‍රසන්න බව ඇත්තෙක්ව උපදින බව දේශනා කළා.
එපමණක් නොවෙයි,යම් කිසිවෙක් ඊර්ෂ්‍යා සහගතව අනුනට ලැබෙන ලාබ සත්කාර, ගරු බුහුමන්, වැඳුම් පිදුම් ආදියෙහිදී ඊර්ෂ්‍යා කරනවා නම්, දැඩි ඊර්ෂ්‍යාවෙන් සිත කිලිටි කර ගන්නවා නම්, වෙළාගන්නවා නම් එම තැනැත්තා ඒ එක් රැස්කරගත් කර්මයෙන් නිරයෙහි උපදින බවත්, නිරයෙහි නොඉපද මිනිසත් බවක් ලබන්නේ නම් උපනූපන් තැන අල්පේශාක්‍ය අයකු බවට පත්වන බවත් දේශනා කළා.
මෙසේ නොකර ඊර්ෂ්‍යා සහගත සිත් නැතිව, අනුනට ලැබෙන සත්කාර ගරු බුහුමන් වැඳුම් පිදුම් ආදියෙහිදී ඊර්ෂ්‍යා නොකරනව නම්, සිත කෙළෙසා නොගනී නම්, ඊර්ෂ්‍යාවෙන් වෙළා නොගනී නම් එම පුද්ගලයා මරණින් මතු දෙව්ලොව උපදින බවත්, දෙව්ලොව නොඉපදී මිනිසත් බවක් ලබන්නේ නම් උපනූපන් තැන මහේශාක්‍ය තැනැත්තකු බවට පත්වන බවත් දේශනා කළා.
එමෙන්ම යම් කිසිවෙක් මහණකුට හෝ බමුණකුට ආහාර – පාන, වස්ත්‍ර ආදිය දන් නොදෙනවා නම් එම පුද්ගලයා එම කර්මයෙන් නිරයෙහි උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලදහොත් සම්පත් අඩුව උපදින බවත් දේශනා කළා.
යම් කෙනෙක් දන් දෙනවා නම් කිසිවකුට හෝ වේවා ඔහු මරණින් මතු දෙව් ලොව උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලදහොත් මහත් සම්පත් ඇතිව උප්පත්තිය ලැබීමේ වාසනාව ලැබෙන බවත් දේශනා කළා.
මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෝ ඉන්නවා පින්වත්නි, රළු ගති ඇතිව, උඩඟුව, වැඳිය යුත්තන්ට නොවැඳ, නැගී සිටිය යුත්තන් ඉදිරියේ නොනැගිට, අසුනක් දීමට සුදුස්සාට අසුනක් නොදී, මඟ ඉඩදිය යුත්තාට මඟ ඉඩනොදී, සත්කාර කළ යුත්තාට සත්කාර නොකර, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකර, පිදිය යුත්තා පුදන්නැතිනම් එම පුද්ගලයා නිරයෙහි උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බව ලබන්නේ නම් උපනූපන්තැන පහත් කුල ඇත්තෙක්ව උපදින බවත් දේශනා කළා.
ඒ වගේම ඇතැම් පුද්ගලයන් ඉන්නවා රළු ගති නැතිව, උඩඟු නොවී, වැඳිය යුත්තාට වැඳ, නැගී සිටි යුත්තා ඉදිරියේ නැගී සිට, අසුනක් දීමට සුදුස්සාට අසුනක් දී, මඟ ඉඩදිය යුත්තාට මඟ ඉඩදී, සත්කාර කළ යුත්තාට සත්කාර කර, බුහුමන් කළ යුත්තාට බුහුමන් කර, පිදිය යුත්තන් පුදමින් ජීවත් වෙනවා නම් එම තැනැත්තා මරණින් මතු දෙව්ලොව උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවත් ලද හොත් උසස් කුලවල උපදින බවත් දේශනා කළා.
යම් කිසිවෙක් පැවිද්දකු වෙත හෝ බමුණකු වෙත ගොස් කුසල් කවරේද, අකුසල් කවරේද, වරද කුමක්ද? නිවරද කුමක්ද? කවරකු ඇසුරු කළ යුතුද? කවරකු ඇසුරු නොකළ යුතුද? කුමක් කළහොත් දීර්ඝ කාලයක් අවැඩ පිණිස හේතුවේද? යනුවෙන් විමසන්නේ නැතිනම් ගුරුවරුන්ගෙන් හෝ දැන උගතුන්ගෙන් අසා නොගන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු නිරයෙහි උපදින බවත්, එසේ නොඉපිද මිනිසත් බවක් ලද හොත් අනුවණයෙක් වී ඉපදෙන බවත් දේශනා කළා.
මෙසේ නොවී පැවිද්දකු වෙත හෝ බමුණකු වෙත, දැනඋගත් කෙනකු වෙත ගොස් කුසල් කවරේද, අකුසල් කවරේද, හොඳ මොකක්ද? නරක මොනවාදැයි ආදී වශයෙන් ඇතැමෙක් අසා දැනගන්නවා නම් එම පුද්ගලයා මරණින් පසු දෙව් ලොව උපදින බවත්, එසේ නොඉපදී මිනිසත් බවක් ලබන්නේ නම් මහා නුවණැත්තකුව උපදින බවත් දේශනා කළා.
මේ අයුරින් අඩු ආයුෂ පිණිස පවත්නා මඟ, අඩු ආයුෂ පමුණුවන බවත්, දීර්ඝායුෂ පිණිස පවත්නා මඟ දීර්ඝායුෂ පිණිස හේතු වන බවත්, බොහෝ ආබාධ පිණිස පවත්නා මඟ බොහෝ ආබාධ පමුණුවන බවත්, අල්ප ආබාධ පිණිස පවත්නා මඟ අල්ප ආබාධ පමුණුවන බවත්, දුර්වර්ණ අයකු වීම පිණිස පවත්නා මඟ දුර්වර්ණ කෙනකු වන බවත්, ප්‍රසන්න අයකු වීම පිණිස පවත්නා මඟ ප්‍රසන්න බව ඇතිවීමට බලපාන බවත්, අල්පේශාක්‍ය වීම පිණිස පවත්නා මඟ අල්පේශාක්‍ය බවට හේතු වන බවත්, මහේශාක්‍ය බවට පමුණුවන මඟ මහත් සම්පත් ඇති බවට පමුණුවන බවත්, පහත් කුල ඇතිවීම සඳහා පවත්නා මඟ පහත් කුල ඇතිබව වෙතට පමුණුවන බවත්, උසස් කුල ඇතිවීම සඳහා පවත්නා මඟ උසස් කුල ඇති බවට පමුණුවන්නක් බවත්, අනුවණ බව පිණිස පවත්නා මඟ අනුවණ බව වෙතට පමුණුවන බවත්, මහා නුවණැති බව පිණිස පවත්නා මඟ මහා නුවණැති බව වෙතට පමුණුවන බවත් බුදුරජාණන් වහන්සේ සුබ නමැති තරුණයාට දේශනා කළා.
මෙසේ දේශනා කළ පසු මේ සුභ තරුණයා ගෞතමයෙනි, ශ්‍රේෂ්ඨයි, ගෞතමයෙනි ශ්‍රේෂ්ඨයි. යටිකුරු කළ දෙයක් උඩුකුරු කරන ලෙසින්, මංමුලා වූවකුට මඟ කියාදෙන ලෙසින්, ඇස් ඇතියන්ට ‘රූසටහන් දැක්ම සඳහා අඳුරෙහි තෙල් පහනක් දල්වන ලෙසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කළා. ඒ දහම් ඇසූ මම තෙරුවන් සරණ යන බවත්, ගෞතමයන් වහන්ස අද පටන් දිවි හිමි කොට සරණ ගිය උවසුවකු ලෙසින් සලකන සේක්වා යි පවසා සිටියා.

බෞද්ධයකු වීම...

වත්මන් වහරේ විදිහට බොහෝ විට කිසිවකු බෞද්ධයකු වන්නේ තම දෙමාපියන් බෞද්ධයකු වූ නිසාය. මෙලෙස ඉබේ බෞද්ධයකුවීම සැබෑ බෞද්ධකම නොවූවද එය අද පිළිගත් ක්‍රමවේදය වේ.

'බෞද්ධ' යන පදයේ තේරුම 'බුදුන් වහන්සේට අයත්' යන්නයි. (ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය). කිසිවකු බුදුන් වහන්සේට අයත් වන්නේ උන්වහන්සේ සරණයාමෙනි. උපාසකයකු වීමෙනි.

බුදුන්වහන්සේ හෝ තෙරුවන් සරණ යැම 'බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි' යෑයි කී පමණින් සිදුවන්නක්‌ නොවේ. ඒ සඳහා බුදුගුණ නවය හෝ පොදුවේග ගත් කල තෙරුවන්හි සූවිසි ගුණය දත යුතුය.

බුදුගුණ අතර මුලින්ම කියෑවෙන 'අහරං' ගුණය යනු සකල ක්‌ලේෂයන් ප්‍රහීන කළ නිසා උන්වන්සේ පුදනු ලැබීමට සුදුසුය යන්නයි. බුදුන් පිහිට කොට යාම හෙවත් බුදුන් අනුව යාම වනාහි අනෙකක්‌ නොව කෙලෙස්‌ ප්‍රහීන කිරීමට බුදුන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව අවංක ප්‍රයන්තයක යෙදීමයි.

කෙලෙසුන්ගේ ගණන යෙල දහසක්‌ - 1500 ක්‌ යෑයි කියනු ලැබේ. (කෙලෙස්‌ 1500 මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමි). මේ අතර රාග, දෝෂ, මෝහ යන කෙලෙස්‌ තුන ප්‍රධානය. මේ ක්‌ලේෂයන් තුන වෙනත් නොයෙක්‌ කෙලෙසුන් ජනිත කිරීමට හේතුභූත වෙයි.

'සබ්බ පාපස්‌ස අකරණං' යන ගාථාවෙන් කියෑවෙන පරිදි සියලු බුදුවරුන් ගේ අනුශාසනය වන්නේ සියලු පව් නොකිරීමද, කුසල් දියුණු කර ගැනීමද, සිය සිත පිරිසිදු කිරීමද වේ. (ධම්ම පදය - බුද්ධ වග්ගය, පස්‌වන ගාථාව). මේ වනාහි සැබෑ බෞද්ධ ක්‍රියාමාර්ගය වේ.

පාපයන් දුගතිගාමී වීමට, දුක්‌ විපාක ගෙන දීමට, සැපයෙන් පහවීමට හේතුවන ක්‍රියාය. (පාඨශාලීය සද්ධර්ම කෝෂය, පිටුව 168) පාපයන්ට අකුසල් හෙවත් අදක්‌ෂ ක්‍රියා යෑයිද කියනු ලැබේ. අදක්‌ෂ වන්නේ නැණවත් නොවන නිසාය. නිවන් ලැබීමට සත්‍ය අවබෝධයට හේතු නොවන නිසාය.

පව් හෙවත් අකුසල් ක්‍රියා වන්නේ, ප්‍රාණඝාතය, සොරකම, කාමයන්හි වැරැදි ලෙස හැසිරීම, බොරුකීම, කේලාම් කීම, පරුෂ බස්‌ කීම, නිෂ්ඵල වචන කීම, අන් අයකු සතු වස්‌තුව ලබාගැනීමට ආශා කිරීම, අන්‍යයන්ට අයහපතක්‌ වේවා යි සිතීම හා වැරැදි දැකීම යන කරුණු දහය වේ.

මිච්ඡා දිට්‌ඨි හෙවත් වැරැදි දැකීම යනු යමක්‌ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් නොදැකීමය. සියල්ල වෙනස්‌ වන බව නොදන්නා බවය. කුසල් යනු දක්‌ෂ, නැණවත් සිතිවිලි හෝ ක්‍රියාවේ. ඕනෑම ක්‍රියාවක්‌ විරාග, අදොේශ සහ අමෝහ යන සිතුවිලිවලින් (චේතනාවන්ගෙන්) යුක්‌ත නොවේ නම් ඒ සැම කුසල ක්‍රියාය. නිවන් මඟ පාදන්නේ කුසල් ක්‍රියාවන්මය.

බුදුදහම අනුදක්‌නා විමුක්‌තිය වන්නේ, දේවානුකම්පාව නිසා උදාකර ගන්නක්‌ නොව තම සිතේ පවත්නා කිලිටි (අකුසල්) තමා විසින්ම ප්‍රහීනකර ගැනීමෙන් ලබන මානසික නිවීමයි. ශාන්තියයි. සිත කිලිටි කරන මානසික තත්ත්වයන් පහකට පංච නීවරණ යෑයි කියනු ලැබේ. නිවන් මඟ අවුරාලන නිසා එයට ඒ නම ලැබී ඇත. මිනිසා සසරට බැඳ තබන අරුතින් දස සංයෝජන යෑයි නම්වන තවත් කෙලෙස්‌ දහයක්‌ ද වේ. (ධර්ම සංග්‍රහය - පූජ්‍ය නාරද හිමි )

මිනිසාගේ එදිනෙදා ජීවිතයේදී ඉතා සුලභව අත්විඳින කෙලෙස්‌ සොළසක්‌ මඡ්ධිම නිකායේ වත්ථූපම සූත්‍රයේ මෙසේ දැක්‌වේ.

1. අභිඡ්ධාව 2. ව්‍යාපාදය 3. ක්‍රෝධය 4. බද්ධ වෛරය 5. ගුණමකුකම 6 පලාසය 7. ඊර්ෂ්‍යාව 8. මසුරුකම 9. මායාව 10. ශඨබව 11. තම්භය 12. සාරම්භය 13. මානය 14. අතිමානය 15. මදය 16. පමාදය 

ඉහත දැක්‌වූ මානසික කිලිටි අප දැනුවත්ව සිටිනවාට වඩා අපට නොදැනී සිතේ සැඟවී සිට අපගේ ක්‍රියාකාරකම් මෙහෙයවයි. ඇතැම් අකුසල් සිතුවිලි යහපත් සිතුවිලි ලෙස එළියට බසී. ප්‍රබල ක්‌ලේෂයක්‌ වන රාගය, ආශාව, ස්‌නේහය, ආදරය වශයෙන් පමණක්‌ නොව ඇතැම් විට කරුණාව, අනුකම්පාව, දයාව ආදී ලෙසින් වංචනිකව ක්‍රියාත්මක වේ. දන්, සිල්, භාවනා ආදී දස පුණ්‍ය ක්‍රියා කුසල් බවට පත්වන්නේ ඒ හා අලෝබ, අදෝෂ, අමෝහ, සිතුවිලි (චේතනා) පවතින්නේ නම් පමණි. දස පුණ්‍ය ක්‍රියා ආත්ම විමුක්‌තියට මෙන්ම සමාජ සංවර්ධනය ද ඉමහත් පිටිවහලකි.

කුසල් ජීවිතයටබද්ධ කරගන්නේ ලබා ගන්නේ (කුසලස්‌ස උපසම්පදා යන තත්ත්වයට පත් වන්නේ) කෙසේද? බුදුදහමේ ඉගැන්වීම් මග අනුව අපිරිසිදු දේ ඉවත් කිරීමෙන් පවිත්‍රත්වයට පැමිණිය හැකිය. (සබ්බ පාපස්‌ස අකරණං) කුසල් සිතුවිලි හෝ කුසල ක්‍රියා ජනිත කරවිය හැකිවන්නේ ඒවායේ මූල හේතුව හෙවත් ලක්‌ෂණ (අලෝභය, අදෝෂය හා අමෝහය) යන තත්ත්වයක පවතින්නේ නම් පමණි. මෙවන් තත්ත්වයක්‌ තම සිතුවිලිවල අත්දැක දැනගත හැක්‌කේ භාවනාවෙන් හෙවත් සිත දෙස නිරපේක්‌ෂකව බැලීමෙනි. ඒ සඳහා අවංකව දැඩි අවධානයක්‌ තිබිය යුතුය. සම්භාව්‍ය හෝ පාරම්පරික භාවනාක්‍රම කොතෙක්‌ හදාළ ද නිරපේක්‌ෂක ක්‌ෂණික අවධානය, කෙලෙස්‌ සොරුන් හඳුනාගත හැකි හොඳම මාර්ගය වේ. අප අවදිව සිටින විට සොරු අප වෙත නොඑති. 

මානසික අවධි බව හෙවත් එළඹ සිටි සිහිය සාර්ථකම භාවනාව වන්නේ ය. කුසලයන් හෙවත් දක්‌ෂ සිතිවිලි හා දක්‌ෂ ක්‍රියාවන් ජීවිතයට එක්‌කරගත හැක්‌කේ සැබෑ අවදියෙන් කරනු ලබන ක්‍රියා මගිනි.

'සචිත්ත පරියෝදපනං' හෙවත් තම සිත පිරිසිදු කර ගැනීම වඩා සාර්ථක වන්නේ සියල්ල වෙනස්‌ වන බව, අනිත්‍ය බව, අවබෝධ කර ගැනීමෙන් මම ය මගේ ය යන වැරැදි ග්‍රහණයෙන් මිදීමෙනි. ඒ වනාහි විශේෂ දැකීමක, විදර්ශනාවක ප්‍රතිඵලය වේ.

යථෝක්‌ත ක්‍රියාවලිය සාමාන්‍ය පුද්ගලයකුට, කෙලෙසුන් කෙරෙන් මිදීමට කැමැත්තක්‌ නැත්තකුට, නුරුස්‌සනා වැඩකි. ඔහු ආශා කරන්නේ සුව පහසුව, සිටිමින් බෞද්ධයකු ලෙස ජීවත්වීමටය. ඒ සඳහා ඔහුට ජනප්‍රිය බුදුදහම මහෝපකාරී වේ.

බෞද්ධයකු වීමේ පහසුම හා දැනට ක්‍රියාත්මක වන ප්‍රධානම ක්‍රමය වන්නේ ජනප්‍රිය බුදුදහමට අනුගතවීමය. දහමේ හරය වටහා ගැනීමෙන් තොරව වුවද ආගමික පුද පූජා හා වතාවත්වලට කවර අවස්‌ථාවකදී වුව සහභාගිවී, තමා එසේ කරන්නේ බෞද්ධයකු වීම නිසා යෑයි සිතා සැනසීමට පත්විය හැකිය. තම බෞද්ධකම ඔප්පු කළ හැකිය.

සැබෑ බෞද්ධයා ඉතා පුළුල් වූ නිදහස්‌ මානසික වාතාවරණයක ජීවත්වන අවිහිංසාවාදී හා සදාචාර සම්පන්න මිනිසෙකි. මිනිසා මිනිසකුගෙන් බෙදනු ලබන විවිධ වූ ජාති, භාෂා, ආගම් ආදී විවිධ දෘෂ්ටීන්ගෙන් මිදෙන ඔහු විශ්ව මිනිසකුගේ තත්ත්වයට පත්වූවෙකි. නැතහොත් පත්වීමට අවංක වෑයමක යෙදෙන්නෙකි. කාලය විසින් කොතෙක්‌ දුරස්‌ථ වුවද ඔහු බුදුරදුන් ඇසුරේ වෙසෙන්නෙකි.
ශාස්‌ත්‍රපති ප්‍රේමචන්ද්‍ර දිසානායක

සියලු සත්වයන්ට අනුකම්පා කළ තථාගතයන් වහන්සේ

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ගම්භීර බ්‍රහ්මස්වරයෙන් මේ දහම් අර්ථ අසද්දී ඒ දෙවිවරු තැතිගත්තා. මහා ගුණවන්තයෙකුට අප අපහාස කළා නේද? කියලා බියට පත්වුණා. ඉතින් එතකොට ඒ දෙවිවරු පොළොවට බැහැල භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම කියන්නේ ලෝකයේ ඉතාමත් ම දුර්ලභව සිදුවෙන සිදුවීමක්. ඒ දුර්ලභ වූ සම්බුදුවරයෙකුගේ උතුම් බුද්ධ විෂයය අචින්තනීය යි සිතා ගැනීමට නොහැකි තරම් අනන්ත අප්‍රමාණ ගුණකඳක් දරාගෙනයි බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටින්නේ. ඒ පමණ කළ නොහැකි සම්බුදු ගුණකඳ ගැන අපට මේ ගාථාවෙන් තේරුම් ගන්නට පුළුවනි.
බුද්ධෝ පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චේ අඤ්ඤමභාසමානෝ
බියේථ කප්පෝ චිරදිඝමන්තරේ
වණ්ණෝ න ඛියේථ තථාගතස්ස

බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් ගුණස්කන්ධය තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් කල්පයක් පුරා පැවසුවද, ඒ සම්බුදුගුණ පවසා අවසන් කළ නොහැකි බවයි ඒ උතුම් ගාථා රත්නයෙන් කියවෙන්නේ. නුවණැතියන්ට නම් ඒ උතුම් සම්බුදු ගුණයන් ගැන සිත පහදා ගැනීමේ හැකියාව තිබුණා.
එනමුත් මෙපමණ ගුණ තිබිලත් උන්වහන්සේ හඳුනා ගන්නට බැරිවුණ පිරිසක් මිනිසුන් අතරත් හිටියා. දෙවියන් අතරත් හිටියා. අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි හටගත් පහන් සිතින් උන්වහන්සේ ඇසුරු කළ බොහෝ දෙවිවරු ගැන අප මේ ලිපි මාලාවෙන් දැනටමත් ඉගෙන ගත්තා. අද අප ඉගෙන ගන්නේ දෙවිවරු පිරිසක් නිසා අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක්. හැබැයි මේ දෙව් පිරිස බුදුරජුන් කෙරෙහි පැහැදීමක් තිබුණ පිරිසක් නොවෙයි.
ඒ අපැහැදීමට හේතුව ඔවුන් තුළ ඇති වූ වැරදි වැටහිමක් තථාගතයන් වහන්සේගේ ප්‍රත්‍ය පරිභෝග කිරීම සම්බන්ධයෙන් ඒ දෙවිවරු සිතා සිටියේ මේ විදියටයි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂුන් හට මේ විදියට නීති දානවාලු. පාංශකූල චීවර පරිහරණ කළ යුතුයි. පිණ්ඩපාතයෙන් යැපිය යුතුයි. රුක්මුල්හි වාසය කළ යුතුයි. පූතිමුත්ත භේසජ්ජයෙන් සතුටු විය යුතුයි කියලා. ඒත් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔය අගේට ගෘහපති චීවර පොරවනව නෙව. රජ සිටුවරුන්ගේ දානවලට වඩිනව නෙව. කුටි සෙනසුන් පාවිච්චි කරනව නෙව. බෙහෙත්හේත් ඉවසනව නෙව. මේක ගැළපෙන දෙයක් නම් නොවේ කියලා.
එදා සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ හමුවීමට මේ දිව්‍ය පිරිස පැමිණියේ චෝදනා කරන අදහසින්. එනිසාම ධර්ම සංඝායනා කළ රහතන් වහන්සේලා ඒ දෙවියන් උජ්ඣාන සඤ්ඤී යන නමින් හඳුන්වා තිබෙනවා. එදා ඒ උජ්ඣාන සඤ්ඤීක දෙවිවරු රැය පහන් වෙන වෙලාවේ මුළුමහත් ජේතවන ආරාමයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිත් අහසෙහි සිටියා. අහසෙහි සිටිය එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ චෝදනා කරන අදහසින් මේ ගාථාව පැවසුවා.
යම් පැවිද්දෙක් තමන් වෙන අයුුරකින් ජීවත් වෙමින් ඊට හාත්පසින්ම වෙනස් විදිහට කතාබස් කරනවා නම්, ඒක ලිහිණි වැද්දාගේ ලිහිණි මස් කෑම වගේ දෙයක්. එයා සිව්පසය පාවිච්චි කරද්දී හොරකමට අහුවෙනවා.
මේ ප්‍රකාශය කළේ නින්දා කිරීමටයි. අතීතයේ ලිහිණි දඩයම් කරන වැද්දෝ කොළ අතුවලින් ඇඟ වසාගෙන ඒ ලිහිණි කුරුල්ලන් රවටා ගොදුරු කරගෙන තම අඹුදරුවන් පෝෂණය කළා. ඒ අයුරින්ම භාග්‍යතුන් වහන්සේත් මිනිසුන් රවටා ප්‍රත්‍යලාභ ලබන්නෙක් කියලයි මේ දෙවිවරු උන්වහන්සේට චෝදනා කළේ. සම්බුදුරජාණන් වහන්සේ ඉවසීමෙන් යුතුව ධර්මයම ඉස්මතු කරදෙමින් මේ උතුම් ගාථාවන් දේශනා කොට වදාළා.
යං හි කයිරා තං හි වදේ 
යං න කයිරා න තංවදේ
අකරොන්තං භාසමානානං 
පටිජානන්ති පණ්ඩිතා

යමක් කරනවානම්, ඒ දේ තමයි කිවයුත්තේ. යමක් කරන්නේ නැත්නම් ඒ නොකරන දේ කියන්න ඕන නැහැ. කියන අය අතරින් නොකරන අය ගැන නුවණැත්තෝ දන්නවා.
නයිදං භාසිතමත්තේන 
ඒරන්ත සවණේන වා
අනුක්කමිතවේ සක්කා 
යායං පටිපදා දළ්හා
යාය ධීරා පමුච්චන්ති
ඣායිනෝ මාරබන්ධනා

යම් ප්‍රතිපදාවකින් ප්‍රඥාවන්ත උදවිය ධ්‍යාන වඩමින් මාර බන්ධනයෙන් නිදහස් වෙනවාද, ක්‍රමානුකූලව දැඩි වූ ප්‍රතිපදාවකිනුයි ඒක කළ යුත්තෙ. එහෙම නැතුව මේ ප්‍රතිපදාව හුදෙක් කතාබස් කළ පමණකින් හෝ ශ්‍රවණය කළ පමණින් හෝ පිළිපදින්න බැහැ.
න වේ ධීරා පකුබ්බන්ති 
විදිත්වා ලෝක පරියායං
අඤ්ඤාය නිබ්බුතා ධීරා
තිණ්ණං ලෝකේ විසත්තිකන්ති

ලෝක ස්වභාවය දන්න, ආර්ය සත්‍ය අවබෝධ කළ ලෝකයේ ඇති තණ්හාවෙන් එතෙර වුන නිවනට පත් වූ නුවණැත්තෝ කවදාවත් ඔය ආකාරයට නම් කරන්නේ නැහැ.
ගම්භීර බ්‍රහ්මස්වරයෙන් මේ දහම් අර්ථ අසද්දී ඒ දෙවිවරු තැතිගත්තා. මහා ගුණවන්තයෙකුට අප අපහාස කළා නේද කියලා බියට පත්වුණා. ඉතින් එතකොට ඒ දෙවිවරු පොළොවට බැහැල භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
ස්වාමිනි, අපටයි වරදක් සිදු වුණේ. අඥානයෙක් වගේ, මෝඩයෙක් වගේ, පව්කාරයෙක් වගේ අපත් භාග්‍යවතුන් වහන්සේ සමඟ හැප්පෙන්න කල්පනා කළා. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අපට ආයෙමත් සංවරවීම පිණිස මේ සිදු වූ වරද වරදක් ලෙස පිළිගන්නා සේක්වා!
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සිනහවක් පහළ කළා. ඒ මෙතරම් ඉක්මට ඔවුන්ගේ සිත් තුළ හටගත් අප්‍රසාදය දුරුවීම ගැන හටගත් නිරාමිස සතුටට යි. ඒකත් මේ දිව්‍ය පිරිස කල්පනා කළේ වැරදියටම යි. බුදුරජාණන් වහන්සේ අපේ සමාව ගණන් ගත්තේ නැහැ කියල මෝඩ විදියට හිතුවා. ඉතින් ඒ දෙවිවරු බොහෝ දොස් කියමින් අහසට පැන නැග්ගා. එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව පැවසුවා.
තමන්ගේ වදර ගැන කියද්දීත්, යමෙක් ඉතින් ඒක පිළිගන්නේ නැත්නම්, ඔහුගේ සිත ඇතුළේ කේන්තිය තියෙනවා. ඔහු ද්වේෂයට ගරු කරන කෙනෙක්. ඔහු වෛර බඳින කෙනෙක්.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔවුන්ව සංසිඳුවාලීම පිණිස මෙසේ වදාළා. ‘ ඇත්තෙන්ම මෙතන වරදක් සිදුවෙලා නැහැ. වෙන අපරාධයක් සිදුවෙලත් නැහැ. වෛර ඔක්කෝම සංසිඳිල තියෙන්නේ. ඒ කාරණයෙන් මෙතනදී දක්ෂ වෙන්නයි ඕන’.
එය අසා සිටි එක් දෙවියෙක් අර්ථවත් ප්‍රශ්නයක් විමසා සිටියා.
වැරැදි නැත්තේ කාගෙද? අපරාධ නැත්තේ කාගෙද? මුලාවට පත්වෙන්නේ නැත්තේ කවුද? හැම වෙලාවේම සිහියෙන් සිටින ඤාණවන්තයා කියන්නේ කවුද?
ඊට පිළිතුරු ලෙස අපගේ ශාස්තෘන් වහන්සේ මිහිරි ගාථාවන් දෙකක් දේශනා කොට වදාළා.
තථාගතස්ස බුද්ධස්ස 
සබ්බභූතානුකම්පියෝ
තස්සච්චයා න දිස්සන්ති 
තස්ස තත්ථි අපාගතං
සෝ න සම්මෝහමාපාදි 
සෝව ධීරෝ සදා සතෝ

සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරන සම්බුදු වූ තථාගතයන් වහන්සේ තුළ වැරැදි නැහැ. උන්වහන්සේ තුළ අපරාධ නැහැ. උන්වහන්සේ මුළා වෙලා නැහැ. හැම වෙලාවෙම සිහියෙන්ම ජීවත් වෙන උන්වහන්සේ ඤාණවන්තයි.
අච්චයං දේසයන්තීනං 
යෝ චේ න පටිගණ්හති
කෝපන්තරෝ දෝසගරු
ස වේරං පටිමුච්චති
තං වේරං නාභිනන්දාමි 
පතිගණ්හාමි චෝ අච්චයන්ති

කෙනෙකුගේ වරද පවසද්දීත් ඒක පිළිගන්නේ නැත්නම්, ඔහුගේ සිතේ කෝපය තියෙනවා. ඔහු ද්වේෂයට ගරු කරනවා. ඔහු වෛර බඳින කෙනෙක්. නමුත් මම වෛර පිළිගන්න කෙනෙක් නොවෙයි. ඒ නිසා මම ඔබේ වරද පිළිගන්නවා.
අවසානයේ ඒදෙවිවරුන්ටත් තිලෝගුරු බුදුවරුන් ගැන සිත පහදවා ගන්නට අවස්ථාව උදාවුණා. අනුත්තර පුරිසදම්ම සාරථි වූ සත්ථා දේවමනුස්සානං වූ යථාවාදී තථාකාරී වූ යථාකාරී තථාවාදී ඒ බුදුරජාණන් වහන්සේට අප වන්දනා කරමු.

සමාධිගත සිත

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම්
සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය 

මිරිස්සේ ධම්මික හිමි

මේ මිහිපිට දෙපයින් නැගී සිටින සෑම මනුෂ්‍යයෙක් ම බාහිර පාට සුදු, කළු නම් හා ඉපදුනේ අතුපැළක, මහ මැදුරක වූවත් සිතෙහි හික්මීමක් සීලයක් ඇති කර ගත්තොත් මනුෂ්‍යයන් අතර යහපත් වූ ම චරිතයක් ඇති මනුෂ්‍යයෙක් ලෙස ජීවිතය පවත්වාගත හැකියි.
මේ හික්මීම මනසෙහි ඇති වුණාම සීලයෙන් පැහැදිලි කරන කායික, වාචසික සංවරයෙන් ද යුක්ත වෙනවා. මේ සිතෙහි හික්මීම ඇතිවන විට ජීවිතය ගැන මැනවින් නිවැරැදි බව තේරුම් ගන්නට තරම් ශක්තියක් සැකසෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෙස ජීවිතයේ දියුණුවට හේතුවන සිතෙහි හික්මීම පිළිබඳව හෝ සිත හික්මවාගෙන කටයුතු කිරීම පිළිබඳව යුතුකම් නමින් සිඟාලෝවාද සූත්‍රයේ, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ, මංගල, පරාභව, වසල සූත්‍රවල දේශනා කළා සේම ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් මේ සිතේ ඇතිවන හික්මීම සමාධිය, ප්‍රඥාව හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. මේ නිසයි භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් මෙහි දී පැහැදිලි කළේ. හික්මීම පිළිබඳව සඳහන් කරන විට කායික, වාචසික, සංවරයත්, ඉන් අනතුරුව සිතේ ඇතිවන හික්මීමත් පැහැදිලි කළා. මේ සිතයි, කයයි, වචනයයි තිදොරම මනා කොට හික්මීම නිසා ඇතිවන්නේ සමාධියයි. භාවනාව මේ හික්මීමේ උපරිම අවස්ථාව සලසා දෙන ගමන් මාර්ගයයි.
‘ භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒතායති’ කුසල ධර්ම සිතේ වැඩීම තමයි භාවනාව කියල කියන්නෙ. කුසල ධර්ම සිතේ වැඩෙනවා කියල කියන්නෙ මේ සිත සංසුන් වෙනවා කියන එකයි. සිත නොසන්සුන් කරන ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් හටගන්නා පස් පව් දස අකුසල් බැහැරවීම යනුයි කුසල ධර්ම සිතේ වඩා ගැනීම යනුවෙන් අදහස් කරන්නෙ.
කුච්ජිතේ පාපකෙ අකුසලෙ ධම්මෙ
චලෙන්ති, කම්පෙන්ති, විද්වංසෙන්’
සිතේ හටගන්නා පාපී ලාමක අකුසල ධර්ම සොලවා කම්පාකොට මුළුමනින් ම බැහැර කිරීම කුසල නම් වේ.
එහෙම නම් අන්න එවැනි කුසල් මේ සිතේ සකස්වීම භාවනාව යැයි සඳහන් කළා. එනම් සිත සංවරවීමට පැමිණෙනවා. කායික වාචසික සංවර වීමට පැමිණෙනවා. මේ සංවර බව නිසා කුසලය නිසා සංවර බව ඇතිවීමෙන් ‘ආරොග්‍යට්ඨෙන කුසලං’ ඒ කුසලය නිසා සිත නීරෝගී බවට පත්වෙනවා. එනම් සිත සුපසන් වීමයි. හික්මීමයි. සංවර බවට පත්වීමයි. දැඩි ආශාවන් නිසා ද්වේෂය නිසා තරහව නිසා රාගය නිසා හෝ වේවා සිත ගිලන් වුණොත් කුමක් ද වෙන්නෙ? සිතා ගන්න බැරි දේවල් ඔය සිතෙන් සිතාවි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කියන්න බැරි දේවල් පවා ඔය වචනයෙන් පිට කරාවි. සද්පුරුෂ මනුෂ්‍යයෙකුට කරන්නට බැරි හෝ නොකළ යුතු දේවල් ඔය අත්දෙකෙන් කරන්නට පටන් ගනී. ඒ විතරක් නොවේ ගිලන් වූ සිතෙන් බලාගත් අත බලාගෙන සිටියි. සා පිපා සා කුසගින්න දැනෙන්නෙ නැහැ යැයි තමා ම දුක්විඳිනවා පමණක් නොවෙයි තම ජීවිතය නසා ගන්නටත් උත්සාහ කරාවි.
සමාධියෙන් කායික, වාචසික, මානසික සංවරය සකස්වන විට මේ සිත නීරෝගී බවට පත්වෙන විට දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය යහපත් ලෙස තමන්ටත් ප්‍රීතිමත් ලෙස දැනෙන්නට පටන් ගනී. බාහිර ලෝකයා දැඩි ආශාවන්ගෙන් වස්තු අල්ලගන්න දුවනකොට, අල්ලාගෙන ඒවා රැක ගන්න දුක්විඳින කොට, වෙහෙසෙනකොට සිතේ හික්මීමක් තිබෙන සිත නීරෝගී මනුෂ්‍යයෝ සතුටින් නිදාගන්න හැටි සතුටින් නැගිටින හැටි තුන්වේලක් නොව එක වේලක් ලැබුණු ආහාර වේල සතුටින් භුක්තිවිද කායික නීරෝගීව සිතේ සතුටින් ජීවත්වන හැටි ඔබටත් දැක ගන්නට පුළුවනි.
මේ නිසයි ධර්මයේ පැහැදිලි කරන්නෙ ස්වභාවයෙන් අපට ලැබුණු මේ කය ගිලන් වෙන්නට පුළුවනි. හැබැයි සිතේ සංවරය, හික්මීම සමාධිය උගන්වන තැන භාවනාවෙන් උගන්වන ආකාරයෙන් ඇති කර ගත්තොත් කය ගිලන් වුණත් සිත ගිලන් කර ගන්නෙ නැතුව සතුටින් ම ජීවිත් වෙන්නට පුළුවනි. ‘අනවජ්ජට්ඨෙන කුසලං’ මේ සිත නිවැරැදි කරනවා යන අදහසයි. මේ සිත නොහික්මුණාම සිත වැරැදි දේට පෙළඹෙනවා. සිත හික්මුණාම සිත නිවැරැදි වෙනවා.
සාමාන්‍ය ලෝකයා කියන මිල මුදල් කෝටියක් දෙනවා කිව්වත් තමන්ට මුදල් නැති වුණත් පැළක හිටියත් ඔය වැරැදි දේ මම කරන්නෙ නැහැ. මේ ලෝකයේ කිසිවක් සාදාකාලික, ස්ථිර නැහැ. ඔය කිසිවක් අරගෙන යන්නෙ නැහැ. තාවකාලික කෙටි කාලයකට පස් පව් කරල මොනවා ලැබුවත්, සංසාර ගමනෙ සතර අපායේ ඉපදිලා කල්ප ගණනාවක් දුක් විඳින බවයි. නෑ නෑ ඔය වැරැද්ද මම කරන්නෙ නැහැ. හොඳ නරක තේරුම් ගන්න තරම් සිතේ නිවැරැදි භාවයක් ඇති කර ගන්නට පුළුවනි. කෙලවර බලවත් වූ කුසලයක් නිසා ලැබූ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ උතුම් බව මනුෂ්‍යත්වයක් ලැබූ මනුෂ්‍යයෙකුට කිසි විටකවත් අමතක වෙන්නෙ නැහැ.
අවසානයේ දක්වනවා භාවනාවෙන් සමාධිය හොඳින් වැඩෙනකොට කයයි, වචනයයි, සිත හික්මිල ‘කෝසල්ල සම්භූතට්ඨේන කුසලං’ එනම් මේ සිත ඉතාම දක්ෂ බවට පත්වෙල පාපයෙන් වැළකී කුසල් මාර්ග අනුගමනය කරන්න තරම් ශක්තියක් ඇතිවෙනවා.
දැන් ඔබට පැහැදිලි ඇති හික්මුණු කයක්, වචන හා සිත් ඇති මනුෂ්‍යයෝමයි දියුණුවට පත්වන්නෙ කියා. ඒ හික්මුණු සිත තමාට අවශ්‍ය මාර්ගය සකසා ගන්නවා. ස්වභාවයෙන් නමුත් සිතට ගලාගෙන ආවත් වැරැදි වූ කෙලෙස්, වැරැදි වූ සිතිවිලි ඒවා බලවත් ලෙස මැඩපවත්වාගෙන මේ හික්මුණු සිත කෙලෙස්වලින් බැහැරව තමාට ඕන ආකාරයෙන් යහපතට අනුව මේ සිත හසුරුවා ගන්නවා.
ලෞකික ජීවිතයේ දියුණුව පිණිසම කටයුතු කරන්න මේ සිත දක්ෂයි. නොහික්මුණු සිතට මගක් නැහැ. අරමුණක් නැහැ. ස්වභාවයෙන් ලැබුණු ආශාවන්ට තරහවට අසුවෙලා විනාශයට යනවා. හික්මුණු සිත හොඳ නරක තේරුම් ගන්නා විට ධෛර්යයෙන් තමාගේ අරමුණට යනවා. මනාසේ ඉගෙනගත්, උගත් චරිතවල ලක්ෂණ හොයල බලන්න. ලෝකයේ දියුණුවට පත් ජීවිත ගැන සොයා බලන්න. ඔවුන්ගෙ කතාව ඔවුන්ට වැටහෙන ආකාරයෙන් පැවසුවහොත් මේ ආකාරයි. ‘මට එක අරමුණක් තිබුණ පුංචි තැනකින් පටන්ගෙන ලොකු තැනකට එන්න ඕනෙ කියල. ඒ නිසා සමහර විට නොකානොබී සිටියා. කිසිම හේතුවක් නිසා මගේ සිත කලබල වුණේ නැහැ. ප්‍රශංසා ඉදිරියේ වගේ ම අනුන්ගේ ඇනුම්, බැනුම් ඉදිරියේ මම කම්පා වුණේ නැහැ. මගේ සිතේ හික්මීම නිසා කලබල නොවී අෂ්ඨ ලෝක ධර්මයෙන් කම්පා නොවී මම අරමුණට ආවා. මට ඕන වුණේ යහපත් වූ මනුෂ්‍යයෙක් වෙලා යම් වූ ද සේවාවක්, යහපතක් කරන්නයි. හික්මුණු සිතක් ලෞකික ජීවිතයේ වගේ ම ලෝකෝත්තර වශයෙනුත් මහත් වූ දියුණුවකට පත්කරන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා ලෝකෝත්තර දියුණුවකට ගමන් කළ සමාධියට නම් මෙන්න මේ ඔස්සේ දර්ම මාර්ගයේ ගමන් කරන්නත් චතුරංග වීර්යයෙන් ඇට මස් නහර වියලී සිදී ගියත් මගේ අරමුණ වෙත මම ගමන් කරනවා කියන තැනට පැමිණීමට හික්මුණු බවක් ශාන්ත බවක්, සංවර බවක් අවශ්‍යමයි.
ඔබට සඳහන් කළොත් මේ හික්මීම කියන්නෙ ජීවිතය අකර්මන්‍ය වීමක් නෙමෙයි. දුර්වල මනුෂ්‍යයෙකුගෙ ස්වභාවයක් ද නොවෙයි. යහපත් වූ දක්ෂ වූ මනුෂ්‍යයකුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන හොඳ නරක තේරුම් ගන්නා වූ මනුෂ්‍යයෙකුගේ ස්වභාවයයි. හික්මුණු මනුෂ්‍යයෝ ලෝකය සුපසන් කරනවා නිවන් මඟ ඒ කෙළවර අරමුණ දක්වා ම ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ නිසා භාවනාවේ ඉදිරියට යන කොට පරිකර්ම, උපචාර, අර්පණ වශයෙන් කාමාධි අකුසල ධර්ම යටපත් කරගෙන ඒ කුසලයට ම බැස ගෙන කුසලයම විමසා බලමින් කායික හා මානසික ප්‍රීතිය සුඛය මනා කොට විදිමින් ඔවුන් ඔවුන්ගේ ජීවිතය සුපසන් කරගන්නෙ ධ්‍යාන අවස්ථාවක් යැයි සඳහන් කළේ මේ අවස්ථාවයි. ඒ නිසා ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් දියුණුවට මේ හික්මීම අවශ්‍යයයි.
ලෞකික වශයෙන් කල්පනා කරමින් වර්තමාන පරිසරයෙහි හික්මීම සංවරය අපි හැම කෙනෙකුට ම අවශ්‍යයයි. මුලින් ම සඳහන් කළා වගේ බුදු දහමින් බලාපොරොත්තු විය යුතු උතුම්ම ප්‍රයෝජනය ලැබිය හැක්කේ එවැනි හික්මීමක් ඇති වූ විටයි.
භික්ෂූන් වහන්සේ නමක් වූවත් සතර ඉරියව්වේදී ම පැවිදිවීමට හිතාගත්, අරගත්, අරමුණ, පැවිදි වූ අරමුණ අමතක නොකොට හැසිරීම, කතාබහ, ඉරියව් ඇවතුම් පැවතුම් සියල්ල ම මනා වූ හික්මීමකින් යුතුව කටයුතු කළ යුතුමයි. ශාසනික ඇවතුම් පැවතුම්වලට ගැලපිය යුතුමයි. වර්තමාන පරිසරය මොන හේතු දැක්වූවත් එහෙත් තමා පැවිද්දෙක් නොවේ දැයි යන අරමුණ දස ධර්ම සූත්‍රයේ දී පැහැදිලි කළ ආකාරයෙන් ‘ අඤ්ඤො මේ ආකප්පෝ කරණීයෝ හෝති’ ගෘහස්ථ අයට වඩා පැවිදි වූ ජීවිතයක ආකල්ප, සිතුම් පැතුම්, ඇවතුම් සංවරබවෙන්, විනයෙන්, හික්මීමෙන් යුතුව සිදුවිය යුතු යැයි ගිහි අයට වඩා වෙනස් වීමක් සිදුවිය යුතුයැයි දැන ඒ පැවිදි ජීවිත ගත කළ යුතුමයි.
ගෘහස්ථ ජීවිතවලත් හැම මොහොතක් පාසාම අපේ ජීවිතවලින් ආයුෂ, ජීවත්වීමේ කාලය අඩුවේගෙන යන බව දැන ලෙඩදුක්වලට උරුම වූ මරණය සොයාගෙන යන මේ ජීවිතයේ හැබෑවට ම සංතෘෂ්ටිය, සැනසිල්ල, හික්මීම, සමාධිය අවශ්‍යයයි.

සිතේ ඇතිවන ක්‍රෝධය නිවා ගන්නට නම්

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බෝහෝ දෙනෙකුගේ හිතට තරහ ඇතිවුණාම ඒ තරහ හිත තුළ පිහිටුවා ගන්නවා. සාමාන්‍යයෙන් තරහක් ඇතිවුණාට පස්සේ ඒ තරහ හිතේ පිහිටන්නේ නැත්නම් දියේ ඇඳපු ඉරක් වගේ සැණින් අතුරුදහන් වෙලා යනවා නම් ඔහුට හිත දියුණු කරන්න පුළුවන්. හිතට තරහක් ඇතිවුණාට පස්සේ ඒ තරහා දවස් දෙක තුනක් යද්දී අමතක වෙලා යනවා නම් ඒ කියන්නේ වැල්ලේ ඇඳපු ඉරක් වගේ නම් ඒ කෙනාටත් උත්සහායක්, වීරියක් ගත්තොත් හිත දියුණු කරන්න පුළුවන්. සමහරු ඉන්නවා තරහා ඇතිවුණාට පස්සේ ඒ තරහ හරියට ගලේ කොටපු ඉරක් වගේ. ඒක නැති කරගන්නේ නැතුව පවත්වනවා නම්, ඒ කෙනා හිත දියුණු කිරීම පිණිස බලවත් මහන්සියකින්, උත්සාහයකින් වීර්ය කළ යුතු වෙනවා.
මනුස්සයින්ගේ සිත්වල උපදින ක්‍රෝධය නිසා ඇතිවෙන විපත් ගැන විස්තරාත්මක කරු සමුදායක් කෝධන සූත්‍රයේ ඇතුළත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා තරහ සිතක් ඇතිරගෙන ක්‍රෝධ කරනවානම් ඒ ක්‍රෝධ කිරීම මුල් කරගෙන පීඩාකාරී කරුණු හතක් ක්‍රෝධ කරන පුද්ගලයා කරාම පැමිණෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ක්‍රෝධ කරන යම් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා තමන්ගේ තරහකාරයෝ දෙස බලලා හිතනවා
1. මොවුන් විරූපි වෙන්න ඕන
2. මොවුන් දුකසේමයි නිදන්න ඕන
3. මොවුන් ටදැන උගත්කමක් ඇතිවෙන්න එපා
4. මේ තැනැත්තාට හරියන්න නම් එපා
5. මොවුන්ට කීර්ති ප්‍රශංසාවක් නම් ලැබෙන්න එපා
6. මොවුන්ට කාත් කවුරුවත් නැතිව තනිවෙන්න ඕන
7. මේ තරහාකාරයින් මරණයෙන් මතු අපායේමයි උපදින්ට ඕන සුගතියක් නම් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

එනිසා ඔබ සිතන්න සිතේ ඇතිවූ වෛරය නැති කරන්න බොහෝම හොඳයි අපාය භය සිහිකිරීම. හිතේ ක්‍රෝධයක් වෛරයක් ඇතිවුණාට පස්සේ කල්පනා කරන්න ඕන ක්‍රෝධ කිරීම මුල්කරගෙන මම කොතරම් නම් නිරයේ ඉපදිලා ඇද්ද? ක්‍රෝධ කිරීම මුල්කරගෙන මම කොතරම් නම් තිරිසන් ලෝකයේ, පේ‍්‍රත ලෝකයේ, ඉන්න ඇද්ද? කියලා. මේ ආකාරයට අපාය භය ගැන නුවණින් කල්පනා කරද්දී ක්‍රෝධයේ ආදීනව දකින්න පුළුවන්කම ලැබෙනවා. ක්‍රෝධ කිරීම නිසා බුද්ධ ශාසනයයේ, මනුස්ස ජීවිතය එකතු වූ මේ දුර්ලභ මොහොතේ ධර්මය අවබෝධ කරගැනීමේ අවස්ථාව මගෙන් දුරස්වෙලා යනවා නේද? කියමින් නිතර සිහි කරන්න ඕන. එවිට ක්‍රෝධයෙන් නිදහස් වෙන්න පුළුවන් හැකියාවක් ක්‍රෝධයට එරෙහිව ශක්තියක් තමන්ගේ ජීවිතය තුළ ගොඩ නැඟෙනවා.
ඒ වගේම මේ සිතේ හටගන්න ක්‍රෝධය ඉවත් කරගන්න තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ නිහතමානි වීම. මාන්නයෙන් තොරව, නිතහමානීව කටයුතු කරනවානම් ඔහු කවදාවත් අනුන් එක්ක ක්‍රෝධ කර කර වෛර කර කර කල් ගෙවන්නේ නැහැ. ඔහු ඉක්මනට එය අමතක කර දානවා. “මම මොකටද මේ කවුරුවත් ගැන වෛර බැඳ ගන්නේ?, කියා. අප නිතරම නූපන් වෛරය නූපදවා ගැනීමටත්, උපන් වෛරය තවදුරටත් වර්ධනය නො කිරීමටත් නිහතමානි වීම තුළින් කළහැකි වෙනවා. ඊළඟට තරහ නැති කරන්න තවත් ක්‍රමයක් තමයි මරණසති භාවනාව වැඩිම. කෙනෙක් කල්පනා කරනවානම් “මම මේ අනුන් එක්ක වෛර බැඳගෙන ඉඳලා වෛර සිතින් මැරුණොත් ඕනෑම වෙලාවක අපායේ උපදින්න පුළුවන් නේද? ඒ නිසා අනුන් කෙරෙහි වෛර සිතක් පැවැත්වීම මට අලාභයක්මයි. මම මේ තරහ සිත නැති කරගන්නවා. අපට වඩා බලසම්පන්න අය, ධනවත් අය අපට වඩා කීර්තිමත් අය මරණයට පත්වුණා. මමත් ඕනෑම වෙලාවක මරණයේ ගොදුරක් වෙන්න පුළුවන්. තරහ සිතක් පවත්වමින් මම මැරුණොත් ඒක මට අනතුරක්මයි. එනිසා මම මේ තරහ සිත නැති කරගෙන මෛත්‍රි සිතක් ඇතිකර ගන්නවා”. කියා මරණය ගැන සිහි කරලා ක්‍රෝධය දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා.
ඊළඟට තරහව ක්‍රෝධය දුරු කරගන්න තවත් ක්‍රමයක් තමා අනිත්‍ය සිහිකිරීම මේ සියලු දේවල්ම අනිත්‍යයි. මේ හැමදෙයක්ම නැසී වැනසී යන දේවල් අනිත්‍ය දේවල් මුල් කරගෙන නේද මම මේ එකිනෙකා කෙරෙහි වෛරය ඇතිකරගෙන ඉන්නේ. අනිත්‍ය ලෝකයේ මමත් අනිත්‍ය වූ සංස්කාර ගොඩක් විතරයි. බාහිර ලෝකයේ ජීවත්වෙන අනිත් අයත් මම වගේම අනිත්‍ය වූ සංස්කාර ගොඩක් පමණයි. ඒ නිසා මම අනිත් අය කෙරෙහි තිබෙන ක්‍රෝධය තරහව දුරු කර ගන්නවා” කියා අනිත්‍ය අනුව බලමින් තමන්ගේ හිතේ ඇතිවෙන ක්‍රෝධය තරහව දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා.
මෙහෙමත් තරහ දුරුකර ගන්න බැරිනම් ඔබ හිතන්න බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා මේ ලෝකයට පහළ වුණා. ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා තමන්ගේ හිතේ හටගත්ත ක්‍රෝධය දිහා බලලා නින්දා කළා. ගර්හා කළා. ක්‍රෝධය නමැති අකුසලය ප්‍රහාණය කළා. ඒ නිසා තරහව ක්‍රෝධය දුරුකර ගැනීමය යි උතුම්. ක්‍රෝධය දුරු කිරීම ආර්යයන් වහන්සේලා අගය කළ යහපත් ගුණ ධර්මයක්. එබඳු ධර්මයක් අනුගමනය කරන මට තරහ සිතක් පැවැත්වීම ගැළපෙන දෙයක් නොවේ. ඒ නිසා මම තරහව ක්‍රෝධය බැහැර කළ යුතුයි කියා ක්‍රෝධය දුරු කිරීමට උත්සහා කරනවා.
එහෙමත් අපහසුනම් මේ ආකාරයෙන් කල්පනා කළයුතු වෙනවා. මේ තරහවට ක්‍රෝධයට ඉඩදීම නිසා මේ ලෝකයේ මිනිස්සු සියලු ගුණධර්මවලින් පිරිහිලා පහත් මිනිසුන්ගේ ගණයට වැටුණා. මේ ක්‍රෝධය මුල්කරගෙන බොහෝ දෙනා ධන සම්පත්වලින් පිරිහිලා ගියා. ක්‍රෝධයට ඉඩ දුන්නට පස්සේ කිසිම කෙනෙකුට සැප නින්දක් ලබන්න බැහැ. ක්‍රෝධය මුල් කරගෙනම මේ මිනිස්සු අවලස්සන වෙලා ඉන්නවා. යම් කීර්තියක් අත්පත් කරගෙන තිබුණා නම් ක්‍රෝධයෙන් කටයුතු කිරීම නිසා මිනිසුන් තුළ ඔවුන් ගැන අපකීර්තියක් පැතිරී යනවා. බෝග සම්පත්වලින් පිරිහෙනවා. ක්‍රෝධ සිතින් වෛර බැඳගෙන මරණයට පත්වූ බොහෝ අය දුක් සහිත නිරයේ ඉපදුණා. ඒ නිසා මම නම් මේ ක්‍රෝධයට, තරහවට ඉඩ දෙන්නේ නැහැ. මගේ ජීවිතය තුළ මම තරහාව ක්‍රෝධය පවත්වන්නේ නැහැ සම්පූර්ණයෙන්ම බැහැර කරනවා කියා සිතන්න.
ඊළඟට ඔබ ජීවිතය තුළ දියුණුවක් කරා යන්න කැමැතිනම් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් ඇතිවුණාට පස්සේ අමනාපකම් ඇතිවෙන දේවල් සිදුවුණාට පස්සේ ඒවා හිතේ තබාගෙන පැසව පැසව ඉන්නේ නැතුව ඒ සැණින් අමතක කර දාන්න දක්ෂ වෙන්න ඕනේ. තරහ ඇතිවෙන දේවල් හිත්වල තිබාගෙන දිගින් දිගටම ගෙනආවොත් සතර අපායේ වැටි වැටී උපනුපන් ආත්මවල පවා තරහකාරයන්ගෙන් පළිගනිමින් දිගින් දිගටම මේ ක්‍රෝධය මුල්කරගෙන සංසාර ගමන සකස් වෙනවා. අපේ තරහකාරයෝ නැවත නැවතත් අපට සංසාරේදී මුණ ගැහෙනවා. එහින් මිදෙන්න නම් කරන්න තිබෙන්නේ තරහකාරයන් යන්නේ නැති පාරක ගමන් කරන එකයි. ඒ පාර වෙන එකක් නොවේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා මේ නිවන් මාර්ගයයි. මේ නිවන් මාර්ගයේ එහෙමත් නැත්නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන කෙනා තුළ මෛත්‍රිය, කරුණාව ආදි ගුණධර්ම දියුණු වෙනවා. නිහතමානිකම ගොඩ නැඟෙනවා. මේ ගුණධර්ම දියුණු වෙන්න දියුණු වෙන්න ඔහු කවදාවත් ක්‍රෝධයට යටවෙන්නේ නැහැ. ඔහු ක්‍රෝධය ප්‍රහාණය කරලා සංසාරයෙන් මිදෙන කෙනෙක් බවට පත්වෙනවා.
නයනා නිල්මිණි

අධි පුර පසළොස්‌වක පොහොයක්‌ උදාවේ වන්නේ මෙහෙමයි


වර්තමානයේ භාවිත වන ග්‍රෙගරියානු දින දර්ශනය ආරම්භ වී ඇත්තේ 16 වෙනි ශත වර්ෂයේ දී පමණ ය. එය ලෝකය පිළිගත් සම්මතයකි. එකී සම්මත දින දර්ශනයට අනුව වසරකට පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ උදාවේ. ඇතැම් වසරවල දී පුර පසළොස්‌වක පොහොය දහතුනක්‌ උදාවේ. එසේ පුර පසළොස්‌වක පොහොය දහතුනක්‌ උදාවූ වසරවල දී ඉන් එක්‌ පොහොයක්‌, අධි පුර පසළොස්‌වක පොහොය ලෙස හඳුන්වයි. අධි යන වචනයෙන් වැඩි යන අර්ථය ගෙනදෙයි. එසේ වැඩිවන පොහොය අධි පුර පසළොස්‌වක පොහොය ලෙස නම් කරයි. මෙම වසරේ (2015) අද දිනට (ජූලි 01 බදාදා) යෙදී ඇත්තේ අධි ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනයයි. 

සාමාන්‍යයෙන් වසරකට උදාවන පුර පසළොස්‌වක පොහොය දොළහ දුරුතු, නවම්, මැදින්, බක්‌, වෙසක්‌, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් ආදී ලෙසින් වෙයි. බුද්ධ චරිතය මෙන්ම සම්බුද්ධ ශාසනයේ වූ ඓතිහාසික සුවිශේෂී සිදුවීම් මෙම පුර පසළොස්‌වක පොහොය දිනයන් හා සම්බන්ධව පවතී. උදාහරණයක්‌ ලෙස ඇසළ පුර පසළොස්‌වක පොහොය දින බෝසතාණන්වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසි`ද ගැනීම, සතර පෙරනිමිති දැක අභිනිෂ්ක්‍රමණය සිදුකිරීම, රාහුල කුමරුගේ උපත සිදුවීම, බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීමෙන් පසු බරණැස ඉසිපතනාරාමයේ දී පස්‌වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම ආදී සිදුවීම්, සිදු වූ බව ශාසන ඉතිහාසයේ දැක්‌වේ. ඉහත දැක්‌වූ පුර පසළොස්‌වක පොහොය දිනයන්ට අමතරව ඇතැම් වසරවල දී අධි පුර පසළොස්‌වක පොහොය දිනයක්‌ ද උදාවෙයි. නමුත් අධි පුර පසළොස්‌වක පොහොය කිසිදු ඓතිහාසික ශාසනික සිදුවීමකට සම්බන්ධ නොවේ. මේ ආකාරයට වසර කීපයකට වරක්‌ අධි පුර පසළොස්‌වක පොහොයක්‌ උදාවන්නේ ඇයි ද යන්න විමසා බලමු. 

පසළොස්‌වක, අව අටවක, අමාවක, පුර අටවක ආදී පොහොය දිනයන් චන්ද්‍රයාගේ ගමන නිසා ඇති වේ. චන්ද්‍රයා, පෘථිවියේ උපග්‍රහයෙකි. අනිකුත් ග්‍රහලෝකවලට මෙන් චන්ද්‍රයාට ද ස්‌වයං ආලෝකයක්‌ නැත. චන්ද්‍රයා, සූර්යාලෝකය පරාවර්තනය කරමින් බැබළෙයි. චන්ද්‍රයාට තම අක්‍ෂය වටා එක්‌වරක්‌ භ්‍රමණය වීමටත්, පෘථිවිය වටා එක්‌වරක්‌ පරිභ්‍රමණය වීමටත් ආසන්න වශයෙන් දින 29 ක්‌ ගත වෙයි. මේ හේතුව නිසා සෑමවිට ම චන්ද්‍රයාගේ එකම පැත්තක්‌ පෘථිවිය දෙසට මුහුණ ලා සිටියි. 

පුරාතන සමාජය චන්ද්‍රයාගේ ගමන, කාලය මැනීම සඳහා යොදා ගෙන ඇත. පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවීම වසරක්‌ ලෙස පැරැන්නෝ හැඳින්වූහ. චන්ද්‍රයා, සූර්යයාගෙන් ඈත්වෙමින් ගමන් කරද්දී ක්‍රමයෙන් පූර්ණත්වයට පත්වන අයුරු අපට පෙනෙයි. මෙසේ අංශක 180 ක්‌ ගමන් කිරීම පුර පක්‍ෂය ලෙස හඳුන්වයි. එතැන් සිට චන්ද්‍රයා නැවත සූර්යයා දෙසට ගමන් කිරීම අරඹයි. එය අවපක්‍ෂය නම් වෙයි. අව පක්‍ෂයේ දී අපට පෙනෙන චන්ද්‍රයාගේ පූර්ණ බව ක්‍රමයෙන් අඩුවී නොපෙනී යයි.

චන්ද්‍රයාගේa මේ ගමන අනුව පෘථිවියේ සිටින අපට එය, දර්ශනය වන ක්‍රමය (පෙනෙන හැඩය) වෙනස්‌ වේ. අපට චන්ද්‍රයාගේ පෙනෙන හැඩය වෙනස්‌වීමට හේතුව වන්නේ, පෘථිවියටත් සූර්යාලෝක කිරණයන්ටත් සාපේක්‍ෂව චන්ද්‍රයාගේ පිහිටීම වෙනස්‌ වීම ය. අපට චන්ද්‍රයාව පෙනෙන්නේ වක්‍ර ආකාරයටයි. මෙම වක්‍ර හෙවත් ''වක'' වෙනස්‌වීම පෑලවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක, දසවක, එකොළොස්‌වක, දොළොස්‌වක, තෙළෙස්‌වක, තුදුස්‌වක, පසළොස්‌වක හෝ අමාවක ආදී වශයෙන් හැ`දින්වේ. චන්ද්‍රයාගේ ගමන අනුව සෑදෙන මෙම ''වකයන්'' තිථි හැටියට හඳුන්වයි. ඒවා චන්ද්‍ර ගමන අනුව සෑදෙන තිථි වෙයි. 

චන්ද්‍රයා අපට නොපෙනෙන දිනය අමාවක පොහොය දිනය වෙයි. අමාවක පොහොය දින සිට චන්ද්‍රයා ක්‍රමයෙන් පූර්ණත්වයට පත් වන අයුරු අපට දිස්‌වෙයි. මෙසේ චන්ද්‍රයා අඩක්‌ පූර්ණ වූ දිනය පුර අටවක පොහොය දිනය ලෙස සැලකෙයි. චන්ද්‍රයා පූර්ණව පෙනෙන දිනය පුර පසළොස්‌වක පොහොය දිනයයි. පුර පසළොස්‌වක පොහොය දින සිට චන්ද්‍රයාගේ පූර්ණ බව ක්‍රමයෙන් අඩුවන අයුරු අපට දිස්‌වෙයි. මේ ආකාරයට චන්ද්‍රයාගේ පූර්ණත්වය අඩකින් අඩු වී දිස්‌වෙන දිනය, අව අටවක පොහොය දිනය වෙයි. පූර්ණ බව අඩුවී චන්ද්‍රයා අපට නොපෙනෙන දිනයක්‌ උදා වෙයි. එදින අමාවක පොහොය දිනය වෙයි. මේ චන්ද්‍රයා ගමන් කරන එක්‌ වටයකි. අමාවක පොහොය දිනට පසු දින (පෑලවිය) සිට පසළොස්‌වක පොහොය දිනටත් (පුර පක්‍ෂයත්), පසළොස්‌වක පොහොය දින සිට අමාවක පොහොය දිනටත් (අව පක්‍ෂයත්) වන්නා වූ මේ කාලයේ කොටස්‌ දෙක එක්‌ කොට මාසයක්‌ ලෙසින් ව්‍යවහාර කෙරිණි. එයට චන්ද්‍ර මාසය යෑයි කියයි. එනම්, චන්ද්‍රයාට තම අක්‍ෂය වටා එක්‌වරක්‌ භ්‍රමණය වීමටත්, පෘථිවිය වටා එක්‌වරක්‌ පරිභ්‍රමණය වීමටත් ගත වන කාලය යි. එකී කාලය දින 29 කි. මේ අනුව පොහොය දිනයක්‌ (අමාවක හෝ පුර අටවක හෝ පුර පසළොස්‌වක හෝ අව අටවක හෝ) උදාවන්නේ දින 29 කට පසුවය. මේ ආකාරයට පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවීම (චන්ද්‍ර මාස දොළහක්‌) වසරක්‌ ලෙස සැලකිණි. ඒ අනුව පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවීමට දින 354 ක්‌ යයි.

සූර්යයාගේ ගමන අනුව වර්ෂයක්‌ පූර්ණ වීම යනු, සූර්යයා මේෂ රාශියේ සිට රාශි 12ක්‌ හෙවත් අංශක 360ක්‌ ගමන් කර නැවතත් මේෂ රාශියේ අංශක බිංදුවට සංක්‍රමණය වීමයි.

නමුත් අද ලෝක සම්මතය ලෙසින් පිළිගන්නා දින දර්ශනයේ පැවැත්ම ස`දහා චන්ද්‍රයා, සූර්යයා ආදී ස්‌වභාවික වස්‌තූන්ගේ චලනයන් සැලකිල්ලට ගෙන නැත. මේ අනුව අප භාවිත කරන දින දර්ශනය ''හිතළුවක්‌'' පමණි. එම දින දර්ශනයට ඇත්තේ දින 365 කි. දින 365 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්‌තු, සැප්තැම්බර්, ඔක්‌තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස 12 අතරේ බෙදී යයි.

අප භාවිත කරන දින දර්ශනයට පාදකවන්නෙය, පෘථිවියට සූර්යයා වටා එක්‌වරක්‌ ගමන් කිරීමට (පරිභ්‍රමණයවීමට) ගත වන කාලය යි. සත්‍ය වශයෙන්ම පරිභ්‍රමණයට ගත වන කාලය දින 365 කි. විචල්‍යයන් බොහොමයක්‌ පදනම් කරගෙන නිවැරදි දින දර්ශනයක්‌ නිර්මාණය කිරීම ඉතාම අසීරු කටයුත්තකි. එනිසා අප භාවිත කරන දින දර්ශනයට දින 365 ක්‌ යොදාගෙන ඇත. වාර්ෂිකව ඇතිවන අඩුව එනම් දින (පැය 6) මග හැරීමට වසර හතරකට වරක්‌ එක්‌ දිනයක්‌ (පැය 6<<4 = පැය 24 = දින 1) වසරකට එකතු කරනු ලබයි. එවිට එම වසරට දින 366 ක්‌ වන අතර එය අධික වසරක්‌ ලෙස හඳුන්වයි. ඒ අනුව සෑම වසර හතරකට වරක්‌, අධික වසරක්‌ උදාවීම (සම්මතයට අනුව) සිදුවේ. මෙකී සම්මත දින දර්ශනයේ මාස සටහන් වන්නේ ද විවිධ අයුරිනි. ඇතැම් මාසවලට දින 30 කි. තවත් මාස කීපයකට දින 31 කි. දින 28 කින් යුක්‌ත මාසයක්‌ ද වන අතර එය පෙබරවාරි මාසයයි. (අධික වසරක දී වැඩි වන දිනය එකතු වන්නේ පෙබරවාරි මාසයටයි. ඒ අනුව එහි දින 29 ක්‌ වෙයි.) මෙකී දින දර්ශනය සමස්‌ත ලෝකය ම පිළිගත් එකකි. එකී සම්මතයට පිටුපා ක්‍රියා කිරීමට අපට නොහැකිය.

පුර පසළොස්‌වක පොහොය දොළහක්‌ ගතවන (චන්ද්‍ර මාස දොළහ) වසරකට දින 354 ක්‌ වුවත්, සම්මත දින දර්ශනයට දින 365 ක්‌ / 366 ක්‌ වේ. ඒ අනුව දින 11 ක / 12 ක වැඩිවීමක්‌ පෙන්නුම් කරයි. දින 29 කට වරක්‌ යෙදෙන පොහොය දිනය, දින 28, 29, 30, 31 මාසවලින් සටහන් කිරීමට යාමේ දී ඇතිවන දින අතිරික්‌තය වසර කිහිපයක දී අධි පුර පසළොස්‌වක පොහොයක්‌ ලෙසට ගෙන දක්‌වනු ලැබේ.

වෙනත් විදියකින් කියන්නේ නම්, ස්‌වභාව ධර්මයත්, මිනිසාගේ නිර්මාණයක්‌ වන දින දර්ශනයත් අතර වන ''නොගැලපීම'' අධි පුර පසළොස්‌වක පොහොයක්‌ ලෙසින් මතුව ඒමයි. ස්‌වභාව ධර්මයේ ක්‍රියාවලිය රිද්මයකට, රීතියකට අනුව සිදු වෙයි. චන්ද්‍රයාගේ පුර පක්‍ෂයත්, අව පක්‍ෂයත් අප දකින්නේ එකී ස්‌වභාව ධර්මයේ රිද්මයට අනුවය. එකී ධර්මතාව කාටවත් වළකාලිය නොහැකිය. පූර්ණ චන්ද්‍රයා අහසේ දුටු විට, එදින පුර පසළොස්‌වක පොහොය දිනයක්‌ නොවේ යෑයි කිව හැකිද?

සාමාන්‍යයෙන් වසර 3 කට වරක්‌ අධි පුර පසළොස්‌වක පොහොයක්‌ ලබයි. එය ස්‌වභාව ධර්මයට අනුව අධි පුර පසළොස්‌වක පොහොයක්‌ නොවේ. අප භාවිත කරන දින දර්ශනයට අනුව අධි පුර පසළොස්‌වක පොහොයකි. සම්මුති වශයෙන් ද ලොව ධර්මතා පවතින බව අමතක නොකළ යුතුය. 
ආර්. ඒ. නයනානන්ද

අතිදීර්ඝ සසරේ ආරම්භයක් නොපෙනෙන තරම්. . .

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
පින්වත් මහණෙනි, මේ ඉපදෙමින්, මැරෙමින් යන සංසාර ගමන වනාහී අති දීර්ඝ ගමනකි. ආරම්භක කෙළවරක් නො පෙනෙන තරම් දීර්ඝ ගමනකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්ත්වයින්ගේ සසර ගමන අවසන් නොවන දෙයකි. පින්වත් මහණෙනි, මේ සසර ගමනේ දී ඔබ බොහෝ දරුණු දුක් අනුභව කළා. තියුණු දුක් අනුභව කළා. කටුක දුක් අනුභව කළා. නොයෙක් ව්‍යසනයන්ට පත් වුණා. මේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේ ඔබ කළේ මහපොළොව නම් අමූ සොහොන් පිටිය පුරවපු එකයි.
“ශාස්තෘ” කියන වචනයේ අර්ථය නම් මාර්ගය පෙන්වා දෙන උත්තමයා කියන එකයි. අතරමං වූ විටෙකයි තමාට මාර්ගය පෙන්වා දෙන කෙනෙකු අවශ්‍ය වන්නේ. ඉමක් නො පෙනෙන දුක්ඛිත ගමනක අවිද්‍යා අඳුරේ අතරමං වෙලයි මේ සියලු සත්ත්වයෝම සිටින්නේ. ඒ බිහිසුණු සසර ගමනින් අත්විඳීමේ සදාකාලික සැනසිලි මාර්ගය අවබෝධ කළේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි. අවිද්‍යා අඳුරෙන් මිඳී අමා නිවනට යන සුන්දර මාර්ගය බුද්ධිමත් දෙවියන්ටත්, මිනිසුන්ටත් වැටහෙන පරිදි පෙන්වා දී වදාළේත් ඒ බුදුරජාණන් වහන්සේ විසින්ම යි. එනිසයි ඒ උතුම් සම්බුදුරජාණෝ දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ ලෙස ගෞරවයෙන් හඳුන්වනු ලබන්නේ.
ප්‍රඥාවන්ත දෙවිවරුන් , මනුෂ්‍යයින් ඒ සම්බුදු ගුණ කඳ මැනැවින් හඳුනා ගන්නට වාසනාවන්ත වුණා. ඔවුන් සත්‍යය ලෙස පැහැදුණු සිතින් දරා ගන්නේ ඒ සම්බුදු රජුන්ගේ විශ්මිත අවබෝධය පමණයි. වර්තමානයේ වුණත් ශ්‍රාවකයෙකු තුළ ආකාරවතී ශ්‍රද්ධාව ඇති වන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය පමණක් අදහාගෙන ජීවිතය ගතකළහොත් පමණයි. ඒක නුවණැත්තෙකු හට අසීරු කරුණක් නොවෙයි. එලෙස තම ජීවිතයේ එකම පිළිසරණ බවට බුදුරජුන් සරණ කරගත් ශ්‍රාවකයා අභීත ලෙස සම්බුදු ගුණයම ඉස්මතු කරමින් කථා කරනවා. ඔවුන් හට තම ශාස්තෘන් වහන්සේ ගැන තිබෙන්නේ විශාරද වූ පැහැදීමක්.
ඒ බුද්ධිමත් ශ්‍රාවකයාගේ චිත්ත අභ්‍යන්තරයේ තිබෙන ශ්‍රද්ධාව ඔහුගේ වදන් වලින් පවා තේරුම් ගන්නට පුළුවනි. සංයුක්ත නිකායේ සගාථ වර්ගයේ ‘ඒකමුල’ සූත්‍රයේදී ඒ සැදැහැවත් දෙවියා තම ශාස්තෘන් වහන්සේ ආමන්ත්‍රණය කරන අයුරු බලන්න.
කවදාවත් පිරෙන්නේ නැති මහ සයුරක් තිබෙනවා. ඒ සයුර පටන් ගන්නේ අවිද්‍යාවෙන්. ඇත, නැත කියන අන්ත දෙකෙන් හැදුණ ලොකු ගෙවල් දෙකක් තිබෙනවා. රාග, ද්වේෂ, මෝහයෙන් හැදුණ කුණු ගොඩවල් තුනක් තිබෙනවා. පංචකාම ගුණයෙන් හැදුණ ගල්ගෙඩි පහක් තිබෙනවා. ආධ්‍යාත්මික බාහිර කියන ආයතනවලින් හැදුණ වලවල් දොළහක් තිබෙනවා. පාතාලය වගේ ගැඹුරුයි. මහ ඉසිවර බුදුසමිඳුන් අන්න ඒ මහ සමුදුර තරණය කළා.
තමන් සරණගිය ශාස්තෘන් වහන්සේගේ අවබෝධය ගැන මෙබඳු පැහැදිලි ශ්‍රද්ධාවක් උපදවා ගන්නට ලැබුණොත් ඔහු වාසනාවන්තයෙක්. මොකද මේ ලෝකයේ සාමාන්‍ය සත්ත්වයාට පෙනෙනවාට වඩා ජීවිතය කියන්නේ හාත්පසින්ම වෙනස් එකක්. හැබැයි සාමාන්‍ය ඇසකින් දකින්නට බැරි ජීවිතයේ ඇත්ත ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්මිත ප්‍රඥා ඇසින් දැක වදාළා. ඒ ජීවිතයේ සත්‍ය ස්වභාවය දුටු නිසයි මහා කරුණාවෙන් උන්වහන්සේ ජීවිතාවබෝධය පිණිස ධර්මය දේශනා කළේ.
සම්බුද්ධත්වයට පත් වූ ඒ රාත්‍රියේ බෝධි මූලයේදී අපගේ බුදුරජාණන් වහන්සේට උපදවා ගත හැකි වුණා විද්‍යාවන් තුනක්. ඒවාට තමා ත්‍රිවිද්‍යාව කියා කියන්නේ. ඉන් පළමු විද්‍යාව තමා ‘පුබ්බේනිවාසානුස්සති ඤාණය’. මේ සත්ත්වයන් තමන්ගේ අතීත ජීවිතය ගතකළ අයුරු සිහිකිරීමේ නුවණ උන්වහන්සේ ලබා ගත්තා. ගමකින් තවත් ගමකට යන මනුස්සයෙක් තමන් පළමු යාමේදී දිවි ගෙවූ ආකාරය සිහිකරනවා වගේ ඉතාමත්ම පහසුවෙන් අපගේ බුදුරජාණන් වහන්සේ මේ සත්ත්වයන්ගේ අතීත ජීවිත සිහිකිරීමේ හැකියාව ලැබුවා. ඒ ඤාණයෙන් ලොව බලද්දී බිහිසුණු සසර ගමනක මේ ලෝ සතුන් උරුම කරගත් ඛේදවාචකය උන්වහන්සේ දැක වදාළා. පසුකලෙක ඒ සසර ගමන ගැන අප ශාස්තෘන් වහන්සේ පහදා දුන්නේ මේ අයුරිනුයි.
පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන වනාහී අති දීර්ඝ ගමනකි. ආරම්භක කෙළවරක නො පෙනෙන තරම් දීර්ඝ ගමනකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්ත්වයින්ගේ සසර ගමන අවසන් නොවන දෙයකි. පින්වත් මහණෙනි, මේ සසර ගමනේ දී ඔබ බොහෝ දරුණු දුක් අනුභව කළා. තියුණු දුක් අනුභව කළා. කටුක දුක් අනුභව කළා. නොයෙක් ව්‍යසනයන්ට පත් වුණා. මේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේ ඔබ කළේ මහපොළොව නම් අමූ සොහොන් පිටිය පුුරවපු එකයි.
මීට අමතරව තමන් වහන්සේ උපදවා ගත් ‘චුතූපපාත ඤාණය’ හෙවත් සත්ත්වයන් කර්මානුරූපව උපදින අයුරුත් චුතවන අයුරුත් දකිනා නුවණින් ජීවිතය ගැන විශ්මිත හෙළිදරව්වක් බුදුරජාණන් වහන්සේ උපදවා ගනු ලැබුවා. සසර ගමන නැවැත්වීමට බාධකය වූ අවිද්‍යාව ප්‍රමුඛ කරගත් සියලු අකුසල් මේ චිත්ත අභ්‍යන්තරයෙන් ඉවත් කළ හැකි බවත් තෙවැනි විද්‍යාව ලෙස ‘ආසවක්ඛය ඤාණය’ ලබා ගනිමින් උන්වහන්සේ අවබෝධ කොට වදාළා.
බුදුරජාණන් වහන්සේගේ ඒ විශ්මිත ප්‍රඥාවට හසුවුණේ සසර ගමනේ සැබෑ ස්වභාවයත්, ජීවිතයේ යථාර්ථයත් පමණක් නොවේ. බුද්ධිමතුන් හට තම නුවණ මෙහෙයවා ප්‍රත්‍යක්ෂ කරගත හැකි සදාකාලික සැනසීමකුත් අප ශාස්තෘන් වහන්සේගේ ප්‍රඥා මහිමයෙන් අවබෝධ කොට වදාළා. එමපණක් ද නොවේ. ඒ සැනසීම වූ අමා මහ නිවන ගැනත්, ඒ නිවනට යන මාර්ගය ගැනත් වටහාගත හැකි අයුරින් පැහැදිලි කර දීමට අපගේ ශාස්තෘන් වහන්සේ තුළ වූයේ විශ්මිත හැකියාවක්.
අද අප මාතෘකා කොට කරගෙත් උතුම් සූත්‍ර දේශනාවේ දී සුන්දර නිවනේ ස්වභාවය ගැන පහදා දෙන්නට බුදුරජාණන් වහන්සේ තුළ වූ හැකියාව ඉතා මැනවින් ඉස්මතු වී පෙනෙනවා. කෙනෙක් විමසන ප්‍රශ්නයකට පැහැදිලි ඉලක්කයටම පිළිතුරු ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ තුළ කොයිතරම් පුදුමාකාර දක්ෂතාවයක්ද තිබුණේ කියා. මේ සිදුවීම වුණේ ජේතවනාරමායේ දීම යි. අපගේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි ඒ දෙවියා එකත් පසෙක සිටිමින් මේ ගාථාවකින් ප්‍රශ්නයක් විමසුවා.
මේ වේගයෙන් ගලාගෙන යන සංසාරය නවතින්නේ කොතැන ද? ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින්නේ කො තැනද? නාමයත් රූපයත් ඉතිරිනැතිව නිරුද්ධ වන්නේ කොතැන ද?
ඒ ප්‍රශ්නයට සියල්ල දන්නා වූ සියල්ල දකින්නා වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් දේශනා කොට වදාළේ මේ ගාථාවයි.
යම් තැනක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් පිහිටන්නේ නැත්නම් අන්න එතැන තමයි වේගයෙන් ගලා යන සංසාරය නවතින තැන. අන්න එතැන තමයි ඇවිද ඇවිද යන සසර ගමන නවතින තැන. එතැන තමා නාමයත් රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වන්නේ.
මේ පිළිතුරෙන් වදාළ සතර මහා ධාතු නො පිහිටන තැන කුමක් ද? මෙබඳු තැනක් තිබේ ද? අප එය භාග්‍යවතුන් වහන්සේ වදාළ නිබ්බාණ සූත්‍ර කරුණ ඇසුරෙන් පැහැදිලි කර ගනිමු.
පින්වත් මහණෙනි, අමා මහා නිවන නම් වූ දෙයක් තිබෙන්නේම ය. යම් තැනක පඨවි ධාතුව නැත්ද? ආපෝ ධාතුව නැත්ද? වායෝ ධාතුව, තේජෝ ධාතුව නැත්ද ආකිඤ්නාඤ්ඤායතනය නැත්ද? නේවසඤ්ඤායතනය නැත්ද, මේ ලෝකය නැත්ද? පරලොවක් නැත්ද? හිරු සඳු නැත්ද? පින්වත් මහණෙනි, ඒ අමා මහා නිවන තුළ සත්ත්වයාගේ පැමිණීමක් නැත්තේය. පිට වී යාමත් නැත්තේ ය. සිටීමක් නැත්තේය. චුතියක් නැත්තේය. උපතක් නැත්තේය. එය නො පිහිටා තිබෙන තැනකි. නො පවතින තැනකි. අරමුණු රහිත තැනකි. එය වනාහි දුකෙන් නිදහස් වූ තැන වේ.
ඒ අමා මහ නිවන අවබෝධ කළ ඒ නිවනට යන මාවත පෙන්වා දුන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
නයනා නිල්මිණි