දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බොදු පිළිවෙත නම් කිම?


පූජ්‍ය වැල්ලයාවේ සුමනබෝධි හිමි

බුදුරජාණන් වහන්සේ යනු අසම වූ අසම සම වූ මහා කාරුණික වූ ශාස්‌තෘන් වහන්සේ නමකි. ඒ මහා උතුමාණන් වහන්සේ සියලු සත්වයින් කෙරෙහි සම සිතින් වාසය කළ සේක. සියලු සත්වයන් සුවපත් වේවා යන මහා කරුණා ආධ්‍යාශය නිසාවෙන්ම උතුම් ධර්මය දේශනා කරන සේක. ඒ උතුම් ධර්මය පිළිපදින්නා වූ අනේක අප්‍රමාණ සත්ත්වයෝ සසරින් මිදෙන්නේය.

එසේ ධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ සැබෑම කාරුණික බව ශ්‍රාවක සංඝරත්නයට පිළිපැදීම උදෙසා දේශනා කරන දේශනා මඟින් මොනවට පිළිබිඹු වේ. එය ලොව අන් කිසිදු ශාස්‌තෘවරයකුට නැති ගුණයකි. එසේ වූ ඒ ධර්ම රාජයාණන් වහන්සේ සරණ යැමට තරම් භාග්‍යවන්තයෝ වූ අපි සැබෑ ශ්‍රාවකයෝ ලෙසින් ඒ අමාමෑණි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට සැබෑම පූජාවෙන් පූජා පවත්වමින් ප්‍රතිපත්ති ගරුක විය යුතුමය. සැබෑම සරණාගමනය එයමය.

ඒ ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කරනු පිණිස දේශනා කරන ලද එක්‌ ධර්ම දේශනාවක්‌ වත්මන් බෞද්ධ ජනතාවට අතිශය ප්‍රයෝජනවත් වන්නකි. කිමද යත් වැටත් නියරත් ගොයම කන කල අසරණ වූ බෞද්ධයාට තෙරුවන් සරණ හැර අන් සරණක්‌ නොමැති බව මනාව පසක්‌ වන බැවිනි.

ඒ සූත්‍ර දේශනාව නම් බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවයි. දීඝ නිකායෙහි පළමු වැනි සූත්‍ර දේශනාවයි.

එහි දක්‌වන්නේ තෙරුවන අරමුණු කර සිදු කරන බාලයන්ගේ කෲර ක්‍රියා හමුවේ බෞද්ධයා කටයුතු කළ යුතු අකාරයයි. ඒ මෙසේයි.

"මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි න ආඝාතෝ න අප්පච්චයෝ න ෙච්තසෝ අනභිරද්ධි කරයා. මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර ෙච් තුම්හේ අස්‌සථ කුපිතා වා අනත්තමනා වා තුම්හං යේවස්‌ස තේන අන්තරායෝ. මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර ෙච් තුම්හේ අස්‌සථ කුපිතා වා අනත්තමනා වා අපි නු පරේසං සුභාසිතං දුරීභාසිතං තුම්හේ ආජානෙයයථාර් ති."

මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද එහි ඔබලා විසින් කෝපය, නොසතුටක්‌, සිත් අමනාපකමක්‌ නොඉපදවිය යුතුය. මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද ඉදින් එහි ඔබලා කිපීමක්‌ හෝ නොසතුටු බවක්‌ හෝ වන්නේ නම් ඔබලාටම එයින් අන්තරාවක්‌ වන්නේය. මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද ඉදින් එහි ඔබලා කිපීමක්‌ හෝ නොසතුටු බවක්‌ හෝ වන්නේ නම් ඒ අනුන්ගේ කීම සත්‍යයක්‌ ද අසත්‍යයක්‌ ද යෑයි ඔබලා දැනගන්නේ ද?

පසුගිය කාලයෙහි ඇතැම් පාප පුද්ගලයන් විසින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනී මස්‌ අනුභව කළා යෑයි කියමින් අප ලොව්තුරා ශාන්තිනායක දසබලධාරී සර්වඥරාජෝත්තම සුගත තථාගත සම්මා සම්බුදුරජාණන්ට අපහාස කළේය. එය සැදැහැතියනට ඉමහත් වේදනා ගෙනෙන හීන ග්‍රාම්‍ය නින්දිත ප්‍රකාශයකි. එනමුත් සැබෑවටම සරණ ගියා වූ අපට බුදුරජාණන්වහන්සේ ඉහත ධර්ම මාර්ගය වදාරන සේක. කෙසේද යත් බුදුරජාණන් වහන්සේ වූ තමාට යමෙකු අපහාස කරන්නේ නම් එහිලා ශ්‍රාවක වූ අප නොකිපිය යුතුය. කීම? එයින් අනර්ථයක්‌ වන්නේ කිපෙන්නෙහුටමය.

ඒ කෙසේද?

ද්වේශය යනු අකුසලයකි. සිත දූෂ්‍ය වන කරුණක දුෂ්‍ය වනවා යනු දෝමනස්‌ස සහගත පටිඝ සම්පයුක්‌ත අසංසාරික සසංසාරික අකුසල සිත් පහළ වන්නේය. ඒ හේතුවෙන් කාය කර්ම ලෙස හෝ වචී කර්ම ලෙස හෝ මනෝ කර්ම ලෙස හෝ අකුසල සංස්‌ඛාරයෝ රැස්‌ වන්නේය. එහි විපාක ලෙස දුගති පීඩා එන්නේය. එබැවින් අරමුණ කුමක්‌ වුවද හටගන්නේ ද්වේශයක්‌ නම් ඒ හේතුවෙන් දුකට පත්වන්නේ එකී අකුසල් රැස්‌කර ගන්නහුමය. එබැවින් තමන් වහන්සේ කෙරෙහි හෝ නැත්තාවූ නුගුණ කියන කල නොකිපිය යුතුබව, සිත දූෂ්‍ය කර නොගත යුතු බව තථාගතයාණන් වහන්සේ දේශනා කළ සේක.

අහෝ ආශ්චර්යයකි. 

මාගේ මෑණි වූ ලොව්තුරා බුදු වූ උතුමාණන් වහන්සේ හැර අන් කවරෙකුට මෙබඳු වදනක්‌ පැවසිය හැකිද? කිසිවකුටත් නොහැකිමය. කිසිවකුත් පවසා ද නැත්තේමය. තමා සරණ ගියා වූ ශ්‍රාවකයකු හට අබමල් රේණුවක තරමේ වත් අහිතක්‌ නොවීමට මග සකසන මා බුදු පියාණන් කෙතරම් කාරුණිකද? ඔබ වහන්සේ සරණ යාමට තරම් මා පුණ්‍යවන්තයකු වීම වාසනාවකි.

තමාට ගරු නොකරන්නේ නම් මරා දමන ලෙස අණ කරන නාමික ශාස්‌තෘවරයෙකුට වඩා මා පියාණන් වූ බුදු රජාණන්වහන්සේ ශේ්‍රෂ්ඨය. එබැවින් ඒ ධර්ම පර්යාය පිළිපැදීම පිළිබඳ මා හට කිසිදු නොහැකියාවක්‌ නොමැත. කිසිදු චකිතයක්‌ නැත. කිසිදු සැකයක්‌ නොමැත. නැත්තේමය.

එසේ නොකිපෙන මා කුමක්‌ කරම්ද?

නිවටව සිටිම්ද?

නැත. ලොව ශ්‍රේෂ්ඨ වූ අනුත්තර වූ උත්තරීතර වූ බුදුරජාණන්වහන්සේ සරණ ගිය මම කුමට නිවටයෙක්‌ වම්ද? කුමට දීන වම්ද? එසේ විය යුතු යෑයි මා ශාස්‌තෘන් වහන්සේද දේශනා කර නැත.

ඉදින් මම් කුමක්‌ කරම්ද?

මෙසේ කළ යුතුය. කෙසේද යත්?

"මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි අභූතං අභූතතෝ නිබ්බේඨෙතබ්බං ඉතිපේතං අභූතං. ඉතිපේතං අතච්ඡං. නත්සෙච්ච්තං අම්හේසු. න ච පනේතං අම්හේසු සංවිඡ්ජධන්ති

මහණෙනි අනුන් මාගේ හෝ දොස්‌ කියයි ද ධර්මයෙහි හෝ දොස්‌ කියයි ද සංඝයාගේ හෝ දොස්‌ කියයි ද එහි ඔබලා විසින් මෙය මෙසේ අභූතයකි. මෙය මෙසේ අසත්‍යයකි. මෙය අප කෙරෙහි නැත. මෙය අප තුළ විද්‍යමාන වන්නේ නැත යෑයි අසත්‍යය අසත්‍ය බව කරුණු දක්‌වා පෙන්විය යුතුය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ නුගුණ කියන කල නිහඩව නොසිටිය යුතුය. කියන්නේ කුමක්‌ දැයි අසා දැහැමින් කරුණු දැක්‌විය යුතුය. මේ මේ කාරණා හේතුවෙන් මේ ප්‍රකාශ සාවද්‍යය. මේ මේ හේතුවෙන් මුසාවකි. යනුවෙන් දැහැමින් කරුණු දැක්‌විය යුතුය. අන් කිසිවකටත් නොව ශාස්‌තෘ ගෞරවය සුරැකීම පිණිසය. ධර්ම ගෞරවය සුරැකීම පිණිසය. සංඝ ගෞරවය සුරැකීම පිණිසය. බොහෝ සත්වයන්ගේ හිත සුව පිණිසය. ලොවට අනුකම්පා පිණිසය. 

කිමද යත්? යමෙකු තෙරුවන් සරණ යයි ද ඒ හේතුවෙන් ඔහු සසර දුකින් මිදෙන්නේය. යමෙකු දුකින් මිදීමට තෙරුවන් සරණ යා යුතුය. තෙරුවන් සරණ යාමට තෙරුවන ආරක්‌ෂා විය යුතුය. එබැවින් අන්තවාදී පහත් ක්‍රියාවන්ගෙන් සම්බුදු සසුන සුරැකීම සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස වන්නේය.

එපමණකින් නොනැවතණු අප මහා ශාස්‌තෘන් වහන්සේ මෙසේද දේශනා කරන සේක.

"මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි න ආනන්දෝ න සෝමනස්‌සං න ෙච්තසෝ උබ්බිලාවිතත්තං කරයං. මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං තත්‍රවේ තුම්හේ අස්‌සථ ආනන්දිනෝ සුමනා උබ්බිලාවිනෝ තුම්හං යේවස්‌ස තේන අන්තරායෝ.

මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙයයයුං ධම්මස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙයයයුං තත්‍ර තුම්හේහි භූතං භූතතෝ පටිජානිතබ්බං. ඉතිපේතං භූතං. ඉතිපේතං තච්ඡං. අත්සෙච්ච්තං අම්හේසු. සංවිඡ්ධජති ච පනේතං අම්හේසුර්ති."

මහණෙනි අනුන් මාගේ හෝ ගුණ කියයි ද ධර්මයෙහි හෝ ගුණ කියයි ද සංඝයාගේ හෝ ගුණ කියයි ද එහි ඔබලා විසින් ප්‍රීතිය සොම්නස සිතෙහි ඉපිලීම නොඉපදවිය යුතුය. මහණෙනි අනුන් මාගේ හෝ ගුණ කියයි ද ධර්මයෙහි හෝ ගුණ කියයි ද සංඝයාගේ හෝ ගුණ කියයි ද ඉදින් එහි ඔබලාට ප්‍රීතිය සොම්නස සිතෙහි ඉපිලීම වන්නේ නම් එයින් ඔබලාටම අන්තරාය වන්නේය. මහණෙනි අනුන් මාගේ හෝ ගුණ කියයි ද ධර්මයෙහි හෝ ගුණ කියයි ද සංඝයාගේ හෝ ගුණ කියයි ද එහි ඔබලා විසින් මෙය මෙසේ ඇත්තකි. මෙය මෙසේ සත්‍යයකි. මෙය අපට ඇත. මෙය අප කෙරෙහි විද්‍යමාන වන්නේ යෑයි ඇති දේ ඇති සැටියෙන් ප්‍රතිඥා කළ යුතුය. 

ඇතැම් පුද්ගලයන් බුද්ධ රත්නයේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, සංඝ රත්නයේ ගුණ නිසි ලෙස නොදැන බුදු දහම වර්ණනා කරනු ලබයි. බොහෝවිට බටහිර විද්‍යාව හදාරන පුද්ගලයින් බටහිර විද්‍යාව ද නිවැරදිව නොදැන බුදු දහම ද නිවැරදිව නොදැන බුදු දහම වර්ණනා කරනු යෑයි සිතා නොදැනුවත්කමින් අගෞරව කරන අවස්‌ථා තිබේ. එබඳු අවස්‌ථාවන් හි අප සතුටු වන්නේ නම් අපට පහළ වන්නේ ලෝභ මෝහ අකුසල සිත්ය. එය අපටම අහිත පිණිස පවතින්නකි.

එසේම ඇත්තා වූ ගුණ ද පවසන කල ඒ කෙරෙහි ඇලීම නුසුදුසුය. 

එබැවින් එබඳු අවස්‌ථාවන්හිදී සතුටු නොවී හරි දේ හරි කීමටත් වැරදි දේ වැරදි බව කීමටත් ප්‍රඥාවන්ත විය යුතුය.

එයම සැබෑ ශ්‍රාවක ප්‍රතිපත්තිය වේ. එයම නිවන කරා පවතින්නේ වේ.

ඉදින් මෙසේ ශ්‍රාවක අපහට, ශාස්‌තෘ වූ තමන් වහන්සේ නිසාවෙන් හෝ අකුසලයකට ඉඩක්‌ නොතබන ඒ උතුම් මහා කාරුණිකයාණන් වහන්සේ සරණ යාමට ලැබීම අප ලද භාග්‍යයක්‌ නොවන්නේද?

ඒ උතුමාණන් සරණ ගිය අප සැවොම ඒ මහා උත්තමයාණන් වහන්සේට ගෞරව අත්කර දෙන පරිදි හැසිරීම කළ යුතුම නොවන්නේද? එසේ හැසිරීම අපගේ වගකීම නොවන්නේද?

එබැවින් පින්වතුනි,

යම් මුග්ධ මුද්ගලයන් තෙරුවනට අගෞරව කරන කල්හි නොකිපෙනු මැන. නොකිපී දැහැමින් ඒ අධර්ම ක්‍රියා වලකනු මැන.

ගුණ වර්ණනා කරන කල සැබෑ ගුණ ප්‍රකට කරමින් නැති අගුණ බැහැර කරමින් ධර්මයම ඉදිරිපත් කරනු මැන.

එය ශාස්‌තෘ ගෞරවයක්‌ මෙන්ම ඔබ අප සැමටම නිවන් පිණිස ප්‍රතිපදාව වන්නේය. එබැවින් සියලු

තැන නුවණැති වන්න. දැහැමින් ජය ලබන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි..!!!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජීවන ගමන ගැන කියා දෙන පාරිච්ඡත්තක සූත්‍රය

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය, 
දර්ශනපති රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

කලාතුරකින් කෙනෙකුට ලැබෙන සුවිශේෂි කරුණු තුනක් දැන් අපට ලැබී තිබෙනවා. එනම් උතුම් මිනිසත් බවත්, ගෞතම බුදු සසුනත්, ධර්මාවබෝධය පිණිස ඇති කරගත් ශ්‍රද්ධාවත් ය. යම් කෙනෙක් තුළ මෙකී කරුණු තුන ඒකරාශී වූයේ නම් එය හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය නමිනි. ක්ෂණ සම්පත්තිය නම් වූ අතිශයින් ම දුර්ලභව ලද මෙම මොහොත ගෙවී යන්නට පෙර මෙයින් අත්පත් කරගත හැකි උතුම් පිළිසරණ සලසා ගත යුතුය.

බුද්ධ දේශනා තුළින් දාන්ත භාවයට

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. භව කතරේ අතරමංව සසර ගින්නෙන් දැවෙන බොහෝ දුක් විඳින සත්ත්වයාට මේ භයානක දුකෙන් අත මිදෙන්නට උත්තම ශාන්තියක් කරා පිය නැඟීමට හැකිවන පරිදි මේ ලෝකයට අසිරිමත් ධර්ම මාර්ගයක් හෙළිපෙහෙළි කොට වදාළේ අංගීරස තථාගත බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නම් එයින් සැමට සැපතක් සැනසිල්ලක් ලැබෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සිත යොමු කරනවිට අපේ ජීවිතය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම මර උගුලකට අප පටලවන ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රිය දාන්ත භාවයට හුරුපුරුදු වෙනවා. සිත සුවපත් කරගෙන ශාන්තියක් අත්විඳීමට යෝනිසෝමනසිකාරයෙන් බුද්ධ දේශනා ශ්‍රවණය කරන විට අවස්ථාව උදා වෙනවා. කාම භෝග, භව භෝග, දිට්ඨි භෝග, අවිද්‍යා භෝග කියන මේ භයානක සැඬ පහරවල් කපා සිඳ බිඳ සුණුවිසුණු කොට ගෙන මේ භයානක භව සයුරින් එතෙර වන්නට බුදුබණ ශ්‍රවණයෙන් අවස්ථාව උදාවෙනවා. අග්‍ර උතුම් වූ නිවනට උතුම් වූ ශක්තියකින් පැමිණීම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න අමාරුයි. නමුත් පාපී දේවල් ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මාරයා නිරන්තරයෙන් අප ඇදගෙන යන්නේ පාපී ක්‍රියාවට සහ පාපී අරමුණු වලටයි.

පරසතු මදාරා මල්ගස

අද අප කථා කරන්නේ “පාරිච්ඡත්තක” සූත්‍රය යි. පාරිච්ඡත්තක ලෙස පරසතු මදාරා මල් ගස පිළිබඳව විස්තර වෙනවා.
දිව්‍ය ලෝකයේ තිබෙනවා “නන්දන” කියා ලස්සන උයනක්. මේ උයන තිබෙන්නේ දෙවියන්ට සතුටු වෙන්න. දෙවියන් සතුටින් සතුටට පත් වෙන්න මේ නන්දන උයන වෙත ගමන් කරන්නේ. මේ නන්දන උයනේ පාරිච්ඡත්තක කියා වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ් ආවාට ගියා මල්, ගෙඩි, හට ගන්නේ නැහැ. දළුලන්නේ නැහැ. කොළ හැලෙන්නේ නැහැ. දළු මේරීමක් වන්නේත් නැහැ. ඒ නිසා දෙවියන් නිරන්තයෙන් ගොස් මේ නන්දන උයනේ ඇති පාරිච්ඡත්තක ගස වටා ගමන් කරමින් පරීක්ෂා කරනවා. දිනක් දෙවියන් දකිනවා පාරිච්ඡත්තක වෘක්ෂයේ කොළ පඬු පාට,ගුරුපාට වෙලා. ඔවුන් බොහෝ සතුටට පත්වෙනවා. දැන් මේ ගස අලුත් වෙන්නයි හදන්නේ කියා. පැරැණි කොළ හැලෙන්නයි හදන්නේ කියා දැනගත්තාම ගස වටේ ගිහින් ප්‍රදක්ෂිණා කරමින් ඔවුන් විශාල සතුටට පත්වෙනවා.
දෙවැනි අවස්ථාව නම් පඬුවන් පාට වූ කොළවලට මොකද වෙලා තිබෙන්නේ? කොළ ටික හැළෙන්න පටන් අරගෙන. කලින් සැරේ පඬුවන් පාට වුණා පමණයි. දෙවැනි අවස්ථාවේදී කොළ හැලෙන්න පටන් අරගෙන. දැන් දෙවියන්ට හරි සතුටුයි. මේ පාරිච්ඡත්තක වෘක්ෂය අලුත්වෙනවා කියා.

තුන්වැනි අවස්ථාව ගසේ කොළ බිමට හැලිලා. අලුතින් දළු දාන්නට පටන් අරගෙන. හරිම සතුටුයි. ටික ටික ගස අලුත් වෙලා නැවුම් භාවයට පත්වෙනවා දෙවියන් සතුටු කරමින්.
හතරවැනි අවස්ථාව පුංචියට දාපු දළු දැන් ලපලු වෙලා. පොකුරු පොකුරු ලෙස දලු දාන්නට පටන් අරගෙන. දෙවියන් ඇවිත් ෙමි නන්දන උයනේ පරසතු මදාරා ගස අසල විශාල ලෙස සතුටු වෙනවා.
දැන් මාස ගණනාවක් ගතවෙලා. පස්වෙනි අවස්ථාව නම් දැන් මල් පිපෙන්න පුංචි පුංචි පොහොට්ටු පීදීලා. දෙවියන්ට විශාල සතුටක්. සතුටු ගීත ගායනා කරමින් දෙවියන් පිරිවරාගෙන සතුටු වෙනවා.
හය වෙනි අවස්ථාව නම් මේ ගසේ පොහොට්ටු ටිකක් මෝරලා. ඒත් තවම මල් පිපිලා නැහැ. දැන් දෙවියන් බලාගෙන ඉන්නේ මල් පිපෙන තෙක්. නැවත මාසයකට පසු බලන විට මුළු ගසේම මල් පොහොට්ටු පිපිලා දසත සුවඳ කරමින් තිබුණා. දැන් සියලුම දෙවි දේවතාවියන් ඇවිත් ගසයට පී‍්‍රති ප්‍රමෝදයෙන් ගීතිකා ගායනා කරමින් සිතුටු වුණා.
අප ඉහත ඉගෙන ගත්තා පාරිච්ඡත්තක සූත්‍රයේදී විවිධ අවස්ථා හතක් පිළිබඳව. මුල් අවස්ථාවේදී කොළ පඬුවන් පාට වුණා. දෙවැනි අවස්ථාව කොළ හැලෙන්න පටන් ගත්තා. තුන් වැනි අවස්ථාවේදී පුංචි දළු දාන්න පටන් ගත්තා. හතරවැනි අවස්ථාවේදී දළු ලපලු බවට පත්වුණා, පස්වැනි අවස්ථාව පුංචි පොහොට්ටු වුණා. හයවැනි අවස්ථාව පොහොට්ටු මේරුවා. හත්වැනි අවස්ථාවේදී ඒ පොහොට්ටු පිපිලා මුළු දිව්‍ය ලෝකයම සුවඳවත් වුණා.

අපේ ජීවිතයත් මදාරා මල්ගස වගේ

මේ පාරිච්චත්ත වෘක්ෂය උපයෝගි කොටගෙන තථාගතයන් වහන්සේ අපට ගැඹුරු දේශනාවක් වදාළා. මේ ආධ්‍යාත්මික මාවතේ යන අපත් හරියට පාරිච්ඡත්තක වෘක්ෂය වගේලු. අපේ ජීවිතය නමැති පරසතු මල් ගස ගැනයි මේ කථා කරන්නේ. අපේ ජීවිතයේ ගසේ කොළ වගේ කාලයකදී පඬුවන් පාට දුඹුරුපාට වෙනවා. මේ දුඹුරුපාට වෙනවා කියන්නේ මොකක් ද? අපට ඇතිවෙනවා සිතිවිල්ලක් මේ ගිහි ගෙයින් ඈත් වුණානම් හොඳයි. මේ පැටලි පැටලි සිටින ජීවිතය ටිකක් හුදකලා කරගත්තා නම් හොඳයි කියා මනසින් සිතනවා. ඒ සිතිවිල්ලට තමා ගසේ කොළ පඬුවන් පාට වුණා කියන්නේ. ගුරුපාට වූ කොළ ටික ටික හැලෙනවා. කොහොමද හැලෙන්නේ? ඒ වෙනුවෙන් කැපවෙලා වෙන්වෙලා සිත දියුණු කිරීමයි. තුන්වැනි අවස්ථාව දළු දෑම. අපේ ජීවිතයේ දළු දෑම කුමක්ද? සිත බලවත් ලෙස අධිෂ්ඨාන කර භාවනාට යොමු වෙද්දී ප්‍රථම ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හතරවැනි අවස්ථාව ප්‍රථම ධාන්‍ය සිත දෙවැනි ධ්‍යානය ස්පර්ෂ කරනවා. පස්වැනි අවස්ථාවේදී තුන්වැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හයවෙනි අවස්ථාව නම් ගසේ පුංචි පොහොට්ටුව මහා පොහොට්ටුවක් බවට පත්වෙනවා වගේ හතරවැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. අන්තිමට අර පාරිච්ඡත්තක වෘක්ෂයේ මල් සියල්ල පිපිලා පළාතම සුවඳ කරනවා වගේ සමථ භාවනාව තුළින් විපස්සනා භාවනාවට සිත යොමු කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව හොඳින් දකිනවා. මම, මගේ, මගේ ආත්මය නොවේ කියා හොඳින් දකිනවා. එය දියුණුවෙනවාත් සමඟ ඔහුට අරහත් භාවයට සිත දියුණු කරනවා. අපේ සිත නමැති ජීවිතය හරියට පාරිච්ඡත්තක ගස වගේ වෙනවා.
පරසතු මදාරා මල් ගස දිව්‍ය ලෝකය සුවඳවත් කළා. ඒ වගේ අපේ ජීවිතය නමැති ලෝකය සිත නමැති ආධ්‍යාත්මික පාරිච්චතක වෘක්ෂයේ සුවඳ විහිදෙනවා. මල් පිපුණා කියන්නේ මනසේ ඇති සියලු රාග, ද්වේෂ, මෝහ ගිනි සියල්ල නැතිකරගෙන මනසේ විරාගි ශෛල අවදිකරගෙන මනස උපරිම පාරිශුද්ධභාවයට පත්කර ගැනීමයි. උපාධාන බැම්ම කඩා ගත්තා වෙනවා. පංච උපාධානස්කන්ධය ඇති උතුමන් පංචස්කන්ධය පමණක් ඇති අය බවට පත්වුණා. මේ සසරට අප අලවන්නේ, බැඳ තබන්නේ, ගට්ටනය කරන්නේ මේ පංචස්කන්ධය තුළ තිබෙන උපාදාන ශක්තියයි. ඒ උපාධානය කඩා බිඳ සුණු විසුණු කරගෙන පරසතු මදාරා ගසේ දිව්‍යමය මල් පිපුණා වගේ අපට සැනසෙන්න, සුවපවත් වෙන්න, සිහිල් වෙන්න අවස්ථාව ලැබුණේ උතුම් අරහත් භාවයෙන්.

සතුට කරා යන මඟ

ඒ නිසා තථාගතයන් වහන්සේ අපට අවවාද කරනවා මේ පාරිච්ඡත්තක වාක්ෂය වගේ ඔබත් පියවරෙන් පියවර ඉදිරියට යන්න. මල් පොහොට්ටු ගස පුරා පිපුණා සේ මේ භයානක සසරෙන් එතෙර වන්න. දුකෙන් පෙළෙන අපට සතුට කරා යන්න, පී‍්‍රතිය නැති අපට පී‍්‍රතිමත් වන්නට මේ පාරිච්ඡත්තක වෘක්ෂය මඟ කියා දෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මරණාසන්නයේ සිතෙහි පහළ වන දසුන් ඊළඟ භවයට බලපානවාද?


නිරයෙ අග්ගික්ඛත්ඨ ච
පෙතලොකං ච අත්ධකං
තිරච්ඡානයො නිං ච
මං සක්ඛඣං ච මානුසං
විමා නං දෙව ලො කම්හි
නිමිත්තං ච පංච දිස්රරෙ

මෙම ගාථා ධර්මයෙන් තමන් අදහන්නා වූ ආගම කුමක් වුවද මරණය සිදුවන මොහොතේදී දර්ශනය වන්නා වූ නිමිති පහක් ගැන සඳහන් වේ. එම නිමිත්තට අනුව ඊළග ප්‍රතිසන්ධි තලයේ පුනර්භවය ඇතිවන බැව් පැවසේ.

1.අග්නි ජාලාවක් දර්ශනය වේ නම් – නිරයේ පුනර්භවය සිදුවේ

2.අන්ධකාරයක් දර්ශන වේ නම් - ප්‍රේත යෝනියක පුනර්භවය සිදුවේ

3.වන සතුන් හා වනාන්තර දර්ශනය වේ නම් තිරිසන් යෝනියක පුනර්භවය සිදුවේ

4.මියගිය ඥාතීන් හෝ මිනිසුන් දර්ශනය වේ නම් – මිනිසත් භවයේම පුනර්භවය සිදුවේ

5.දිව්‍ය විමාන දර්ශනය වේ නම් – දිව්‍ය ලෝකයක පුනර්භවය සිදුවේ

මියයමින් සිටින කෙනකුට දර්ශනය වන මෙම පංච නිමිති ගැන පර්යේෂණය කර විමසා බලා අත්දැකීම් ලබාගත් විට මෙකී නිමිතිවල ඇති සත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකිවේ. බුදුරජාණන් වහන්සේ ප්‍රේතවත්තු, විමානවත්තු වැනි සූත්‍ර දේශනා කොට වදාළේ මිනිසුන් අතින් සිදුවන්නා වූ අකුසල්වලින් වළක්වා කුසල් රැස්කර ගැනීමට උනන්දු කරවීමට හා ඒතුළින් මිනිසාගේ මෙලොව පරලොව දෙකෙහිම යහපත සලසාදීමටය.

අපාය ගැන දේශනා කොට මිනිසුන් බිය ගන්වා හෝ දිව්‍යලෝක ගැන දේශනාකොට මිනිසුන්ට සුරංගනා ලෝක මවා පා බුදුදහමට මිනිසුන් පොළඹා ගැනීමට ක්‍රියානොකළ ආගමික ශාස්තෘවරයකු වී නම් ඒ බුදුපියාණන් වහන්සේමය. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන්ම දැන වදාළ බැවින් ලෝකවිදූ නම් වන සේක. එවන් දහමක් ගැන සැක නොකොට මැරෙන මොහොත දර්ශනය වන පංච නිමිති ගැන විමසිලිමත්ව කරුණු අධ්‍යනය කර බලා සත්‍ය තේරුම් ගත හැකිය. ¼

අග්නි ජාලාවක් දර්ශනය වන්නෝ හඳුනාගත හැකි ලක්ෂණ – මියයන මොහොතේ ගිනි ගොඩක් පේනවා යැයි කියන අය මෙන්ම ඒ බව නොකියා දනවා දනවා යැයි කියමින් කෑ ගසන අයද සිටිති. තවත් සමහරු කිසිවක් නොකියා අභිනයන් මගින් (පිළිස්සෙන විට පළකරන ඉරියව්) පළ කරති. ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දමන්නට හදන ලෙස හුළං පිඹින අය සිටිති. වතුර වතුර කියා ජලය හොයන අය සිටිති. එවන් අය නිරයේ යන්නෝ වෙති.

අන්ධකාරය දර්ශනය වන්නෝ හඳුනා ගැනීම – ‘මට මොකවත් පේන්නෙ නෑ. ලාම්පු පත්තු කරන්න. ලයිට් දමන්න. හරිම කළුවරයි. මොකවත් පේන්නෙ නෑ’ යැයි මරණ මොහොතේ කියන අය සිටිති. එළියක් අරගෙන එන ලෙස කෑගසන අය සිටිති. ඇස්පිල්ලන් ගසමින් ඇස් පොඩි කරමින් ඇස් නොපෙනෙන අය ඇස්වලින් පලකරන ඉරියව් පළ කරන අය සිටිති. එවන් අය කිසියම් ප්‍රේත යෝනියක පුනර්භවයක් ලබන්නෝ වෙති.

වන සතුන් හා වනාන්තර දර්ශනය වන්නෝ හඳුනා ගැනීම

අලි එනවා හරක් එනවා යැයි සතුන්ගේ නම් කියමින් කෑ ගසන අය මෙන්ම එසේ නොකියා සතුන් එලවන ශරීර පිට කරන්නෝ වෙති. එසේම නොයෙක් සතුන්ගේ කෑගසන හඬට සමාන හඬ පිටකරමින් මියයන්නෝ සිටිති. වනාන්තර ගැන තොරතුරු කියන්නෝ වෙති. එසේම කැලේ යන අය මෙන් විපරමින් වටපිට බලන ඉරියව් පල කරන අය සිටී. එසේ වන සතුන් හා කැලෑවන් දර්ශනය වන්නෝ මරණයෙන් පසු තිරිසන්ගත යෝනිවල පුනර්භවය ලබන්නෝ වෙති.

ඥාතීන් හා මිනිසුන් දර්ශනය වන්නන් හඳුනා ගැනීම

මියයන මොහොතේ තම මියගිය ඥාතීන් දර්ශනය වන අය මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම් කියමින් කතා කරන අය එම අයගේ තොරතුරු කියන අය ඒ අය සිහියට එන අය මරණයෙන් මතු මිනිසත් භවයේම පුනර්භවය ලබන්නෝ වෙති.

දෙවියන් හා දිව්‍ය විමාන දර්ශනය වන අය

මරණාසන්න මොහොතේ ප්‍රසන්න මුහුණින් යුතුව මල් සුවඳ හා මල් ගැන කතාකරන එසේම බියකරු ඉරියව් කිසිවක් පළ නොකර අහස දෙස බලා සිටින්නාක් මෙන් උඩ සිටින දෙවිවරු ගැන කියන අය සිටී. එවන් අයගේ මුවින් දිව්‍ය විමාන දිව්‍ය රථ ගැන ප්‍රකාශ වේ. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැන්නවුන්ට මෙවන් දර්ශන පෙනුන බැව් බෞද්ධ පතපොතේ සඳහන්ව ඇත. වර්තමානයේද එවැන්නෝ ගැන අසන්නට ලැබෙන අවස්ථා ඇත. එසේ දිව්‍ය විමාන, දිව්‍ය රථ මල්මාලා, මල්වට්ටි ආදී දර්ශනය වන්නෝ මරණයෙන් මතු සුගතිගාමී දිව්‍ය ලෝකවල පුනර්භවයන් ලබන්නෝ වෙති.

මේ නිසාම මරණාසන්නව සිටින අය වෙත භික්ෂුන් වහන්සේ වැඩම කරවා ධර්ම දේශනා කරවීම, පිං පොත කියවීම ආදී සිරිත, චාරිත්‍ර අදත් බෞද්ධ සමාජයේ පවතී. බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇති ධම්මික උපාසකතුමාගේ කථාව තුළින්ද දිව්‍ය ලෝකවල උපදින අයට දිව්‍ය රථ හා දිව්‍ය විමාන දර්ශනය වන බව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කර දී ඇත.

හදිසි අනතුරුවලින් ඉතාමත් කෙටි කාලයක් තුළදී මරණයට පත්වන අය තුළ ඉහත පංච නිමිති දර්ශනය වේද යන්න සිත පිළිබඳව නොදත් කෙනකුට ගැටලුවක් විය හැක. එහෙත් මෙකී දර්ශනයක් පහළවීමට චිත්තක්ෂණයක් ප්‍රමාණවත්ය.

විශුද්ධි මාර්ගයෙන් පෙන්වාදී ඇති ආකාරයට ජීවියකුගේ පරම ජීවිත කාලය ඉතා කෙටි මොහොතක් වන අතර එය එක් සිතිවිල්ලක් පවතින තෙක් පමණක් වේ. රථ රෝදයක් කැරකෙමින් යන විට රෝදය එක් මොහොතක් පොළව හා බද්ධ වී පවතින්නේ එක් ස්ථානයකින් පමණක් වන සේම ජීවියාගේ පැවැත්ම පවතින්නේ එක් සිතිවිල්ලක් පවතින තරම් සුළු මොහොතක් බව පෙන්වා දෙයි. ඒ අනුව යම් සිතිවිල්ලක් සත්ත්වයාගේ සිත තුළ පහළවීද ඊට අදාළ ගති ස්වභාවයන් ඇත. ඒ ගති ස්වභාවය දේවගතියක් විය හැක. මනුෂ්‍ය ගතියක් විය හැක. ප්‍රේත ගතියක් විය හැක. තිරිසන් ගතියක් විය හැක. දුගති සත්ත්ව ගතියක් විය හැක. එම ගති නිමිති ස්වභාවය අනුව පංච නිමිති දර්ශන පහළවීම චිත්ත නියාමය වේ.

මේ නිසා බුදුමඟ ගමන් කරන බෞද්ධයන් වශයෙන් තම තමාගේ චිත්තසන්තානයක් තුළ නිරන්තරයෙන් මනුෂ්‍ය ගතිගුණ හා දේවගති ගුණ පවත්වාගෙන ්‍යෑමට සිහිබුද්ධියෙන් කටයුතු කිරීමට පුරුදු පුහුණු වන්නේ නම් මරණාසන්න මොහොතේ සුගතිගාමී නිමිති දැකගැනීමට හැකියාව ලැබේ.

කොබ්බෑවල සුමනදාස වීරසිංහ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු

පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී 
දර්ශනපති 
පුස්සැල්ලයායේ චන්දිම හිමි

සම්බුද්ධ දේශනාවේ හරය වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයයි. මෙයට හේතුඵල දහම කියලත් කියනවා. නිවන හැර ලෝකයේ සිදුවන සෑම දෙයක්ම සිදුවන්නෙ හේතුවක් නිසාය. කිසිම දෙයක් ඉබේ ඇතිවන්නෙ නැත. අපිට ඇතිවෙන හිසේ කැක්කුමේ ඉඳලා කයේ සහ හිතේ ඇතිවන සියලුම ආබාධ ඇතුළු ලෝකයේ ඇතිවෙන නැතිවන සියල්ලක්ම සිදුවන්නේ මෙම ධර්මතාවයට අනුවයි. ‘හෙතුං පටිච්ච සම්භූථා හෙතු භංගා නිරුජ්ඣති’ යනුවෙන් එය පැහැදිලි කරයි. එවගේම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිවෙමින් නැතිවෙමින් පවතින ක්‍රියාවලියක් මේ විශ්වය පුරාම දකින්නට පුළුවන්. ඉතින් ක්ෂණය කියන්නේ තප්පරයටත් වඩා ඉතාම අඩුම කාලයක්. ඒක වචනවලින් විස්තර කරන්න බෑ. එය තේරුම් ගන්න පුළුවන් වන්නෙ නිතරම ඔබගේ සිත භාවනාවේ පිහිටුවා ගැනීමෙන් ය.
පෙර බුදුවරු වගේම අප වඳින පුදන මේ භද්‍රකල්පයේ පහළ වූ ගෞතම බුදුන් වහන්සේත් උතුම් වූ බුද්ධත්වයට පත්වූයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙනයි. ධර්මය දේශනා කිරීමට පෙරාතුව එම උතුම් චතුරාර්ය සත්‍යය හේතුඵල ධර්මයට අනුව කෙසේ සිදුවන්නේද කියා තේරුම් ගෙනයි උන්වහන්සේ ධර්මය දේශනා කළේ. ‘එතෙ තෙ උභො අන්තෙ අනුපගම්ම මජෙඣන තථාගතො ධම්මං දෙසෙති. යදිදං අවිජ්ජා පච්චයා සංකාරා.....’ ආදී වශයෙන් එය දක්වා තිබේ. එසේම උන්වහන්සේගෙ බුද්ධත්වයෙන් පළවෙනි බෝමැඩ ගතකළ සතියේම පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන්ද මෙනෙහි කළ සේක. අනුලෝම සහ පටිලෝම වශයෙන් යනු මුල ඉඳලා අගට අංග දොළහ මෙනෙහි කිරීමයි. පටිලෝම කියන්නෙ අග ඉඳලා මුලට අංග දොළහ මෙනෙහි කිරීමය. එය විනය පිටකයේ දෙවන පොතවන මහා වග්ග පාලියේ පළමු කොටස වන මහා ඛන්ධකයේදි සඳහන් කර තිබේ. ‘තෙන සමයේන බුදේධා භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙඤෙජාය තීරෙ බොධිරුක්ඛමුලෙ...... පටිච්ච සමුප්පාදං අනුලොමං පටිලොම මනසාකාසි’ මෙම ලිපිය කියවන පින්වත් ඔබ පටිට්ච සමුප්පාදයේදී විස්තර කරන අංග දොළහ හොඳින් දන්නවා ඇතැයි සිතමි. ඒවා නම් අවිද්‍යාව, සංස්කාර, විඥානය, නාමරූප, සලායතන, ස්පර්ශය වේදනාව, උපාදාන, භවය, ජාති සහ ජරාව මරණය, සෝකය පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස යනුවෙනි. මෙහි ජරාවේ සිට උපායාසය දක්වා වූ කොටස දොළොස්වන අංගය ලෙස විස්තර කරයි.

විශේෂයෙන්ම ඔබ මා ඇතුළු සියලු සත්වයාගේ ඉපදීම සිට මරණය දක්වා වූ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද? කියන බොහෝ කාරණාවලට පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීමෙන් පිළිතුරු සොයාගත හැකියි. ඒ නිසා තමයි මජ්ක්‍ධිම නිකායේ 28 වන සූත්‍ර දේශනාව වන මහා හත්ථි පදෝපම සූත්‍ර දේශනාවේදි බුදුන් වහන්සේ දේශනා කළේ ‘චුත්තං ඛො පනේතං භගවතා යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති’ යො ධම්මං පස්සති යො පටිච්චසමුප්පාදං පස්සති’ යනුවෙනි. පින්වත්නි මෙම ගාථාවේ එන තේරුමෙන් කියවෙන්නෙ යම්කිසි කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මය දකීද ඔහු ධර්මය දකින බවත්, යමෙක් ධර්මය දකිනව නම් ඔහු පටිච්චසමුප්පාදය දකින බවත්ය. ඔබ දන්නවා බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනමවන සැරියුත්, මුගලන් දෙනමද පැවිදිවීමට පෙර ගිහිකලදී උපතිස්ස සහ කෝලිත නමින් සිටියදී ගිරග්ග සමජ්ජ කියන නාට්‍යය නරඹලා කළකිරී එම දෙපළ ධර්මය හොයමින් ඇවිදිමින් සිටි වෙලාවෙ පළමුවෙන්ම ධර්මය තේරුම් ගන්නෙ අස්සජි මහරහත් වහන්සේ දේශනා කළ පටිච්චසමුප්පාද ධර්මය අඩංගු දේශනාව ශ්‍රවණය කිරීමෙන්. ‘යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ, තෙසංච යො නිරොධො එවං වාදිමහාසමණො’ යනුවෙනි.
එසේම බුදුන්වහන්සේගේ පළමු දේශනය වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන්ට දහම් ඇස පහළ වූයේ හේතුඵල ධර්මතාවයට අනුව තේරුම් ගැනීමෙනි. ‘... ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි. යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මංති’ යනුවෙනි. පින්වත් ඔබට මෙම අංග දොළහ තේරුම් ගැනීමට නම් සන්සුන් මනසක් හදාගන්න ඕන. එවගේම පිනට, කුසලයට නිතරම ඔබගේ සිත යොමුවුන කෙනෙක් වෙන්න ඕන. ඒකට තමා සම්මාදිට්ඨිය කියලා කියන්නෙ. එවැනි යහපත් සම්මාදිට්ඨික සමාජයක් තිබෙනවා නම් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසලයන් ඇතිවන දේවල්වලින් අයින් වෙන්න අප උත්සාහ කරනවා. ටිකෙන් ටික දාන, සීල, භාවනා පැත්තට යොමුවෙනවා. අපට අකුසල් සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම අප අනවශ්‍ය විදියට නොයෙක් දේවල් සමඟ සිතින් බැඳෙන නිසාය. අපගෙන් අනිත් අයට වියයුතු යුතුකම් හරියාකාරව අවබෝධයෙන් යුතුව කරනවා නම් අපට සිතේ අනවශ්‍ය බැඳීම් ඇතිවන්නේ නැහැ. ඒක අකුසලයක් එයට ලෝභය කියනවා. ලෝභය නිසා කේන්තිය හටගන්නවා. කේන්ති යෑම නිසා මෝහය හටගන්නවා. මෝහය කියන්නෙ අපට හරියැයි හිතෙන අපේ හිතේ හටගන්නාවූ වැරදි සිතුවිලියි. මුලින්ම හිතින් හැදෙන එක නවත්වාගන්න පුළුවනී නම් ඉතුරු අකුසලයත් නැති කරලන්න පුළුවන්. ඒ සඳහා දානය ප්‍රගුණ කරන්න ඕන.
අපගේ ගෞතම බුදුන්වහන්සේ බෝසත් අවධියේ දී පළමුවෙන්ම පූරණය කළේ ද දාන පාරමිතාවයි. ඒකට හේතුව දානය තුළින් තමා අපට ලෝභය නමැති අකුසලය නැති කරගන්න පුළුවන් වෙන්නෙ. දානය කියන්නෙ ධර්මදාන, ආමිෂ දාන, අභය දාන වලට. දානයෙන් අපට ශීලය ඇතිවෙනවා. ශීලයෙන් අපට භාවනාව වඩන්න පුළුවනි. ශීලයෙන් ද්වේෂය යටපත් වෙන අතර භාවනාවෙන් මෝහය හෙවත් අවිජ්ජාව නැතිකර ගැනීමට පුළුවන් වෙනවා. ලිපි මාලාවකින් පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගන්නෙ කොහොමද? ඒ සඳහා ප්‍රගුණ කළයුතු භාවනා මොනවාද? එදිනෙදා ජීවිතයට ඒවා කොහොමද සම්බන්ධ කරගන්නෙ? සසර පැවැත්ම නවතාලීමට පටිච්ච සමුප්පාද ධර්මය ඉවහල් කරගන්නෙ කෙසේද? කියන ගැටලු සඳහා මෙම ලිපි මාලාවෙන් පින්වත් ඔබට උත්තර ලබාගත හැකිය.
පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ දී ඉතාම වැදගත්ම කොටස තේරුම් ගැනීමට උත්සාහ කරමු.
“අස්මිං සති ඉදං හොති 
ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති 
අස්මිං අසති ඉදං න හොති 
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති

“මෙය ඇති කල්හි මෙය වේ. මෙය හටගැනීමෙන් මෙය හටගනී.
මෙය නැති කල්හි මෙය නැත. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. යන එහි අර්ථයයි. ඊට පසුව එන ‘යදිදං’ (එනම්) කියන පදයෙන් කියවෙන්නේ මුලින් දැක්වූ අංග දොළහ එම ගාථාවට ඇතුළත් කළයුතුය යන්නයි. එයට සිද්ධාන්ත කොටස කියලා කියනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ විස්තර කරන එම අංග දොළහ ඉහත දැක්වූ පද හතරෙන් සමන්විත වූ ‘ඉමස්මිං සති’ කියන ගාථාවට සම්බන්ධ කළයුතුවෙනවා. පින්වතුන් ට තේරුම් ගැනීමට ජාති කියන අංගය අර මුලින් දැක්වූ ගාථාවට සම්බන්ධ කර බලමු. ‘ඉමස්මිං සති ඉදං හොති’ කියනවා වෙනුවට ජාති කියන පදය සම්බන්ධ කිරීමේ දී මෙසේ සාදාගත හැකිය.
“ජාතිය සති ජරා මරණං හොති, ජාතිය උප්පාද ජරා මරණං උප්ජ්ජති, ජාතියා නිරෝධා ජරා මරණං නිරුජ්ජති” යනුවෙන් ගළපා ගනිමු. සෙසු අංග එකොළහද පද දෙක බැගින් මෙසේ සම්බන්ධ කර ගත හැකිය. මෙහි අර්ථය මෙසේද දැක්විය හැකිය. “උපත ඇති කල්හි ජරා මරණය වේ. ඉපදීමෙන් ජරාමරණය හටගනී. උපත නැති කල්හි ජරාමරණය නොවෙයි. උපත නිරුද්ධවීමෙන් ජරාමණ නිරුද්ධ වෙයි. මෙම අදහස කියවීමේදී උපත සහ ජරාමරණය දෙකෙහි ස්වභාවය ඉතා හොඳින් තේරුම් ගත හැකිය. අපට උපත සදාකාලිකව නවතා දැමීමට පුළුවන්නම් එවිට ජරාවට පත්වෙන ස්වභාවය මරණයට පත්වෙන ස්වභාවයෙන් මිදීමට හැකිවේ. එසේම පින්වත් ඔබ කුමන හෝ අංගයකින් මෙය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔබට අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා වැටහෙනවා නම් එය මෙම ගාථාවට සම්බන්ධ කරගෙන අවබෝධ ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න. තමන් කැමති යුගලයක් මෙසේ ගාථාවට සම්බන්ධ කරගෙන නුවණින් විමසීමට උත්සාහ කරන්න.
පටිච්ච සමුප්පාදය ධර්මයෙහි කියවෙන පළමු අංගය අවිජ්ජාවයි. අවිද්‍යාව කියලා සාමාන්‍යයෙන් අප හැමදෙනාම තේරුම් ගෙන ඉන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ අප තුළ ඇති අනවබෝධයට කියලයි. ඇත්තෙන්ම ඒක සත්‍යයයි. නමුත් අවිද්‍යාව කියන්නේ ඒකටම විරතක් නොවේ. සංසාරගත සත්වයා තුළ අඳුර පි‍්‍රයකරන ආලෝකයට අපි‍්‍රය කරන ස්වභාවයත් අවිද්‍යාවයි. මෙහි අඳුර කියන්නේ, පිනට කුසලයට අපේ හිත බර නොවෙන එකටයි. ඒකට හේතුව දාන, ශීල, භාවනා කියන ධර්මයන් වැඩීමට උත්සාහ නොකිරීම. එවිට නිවරණ ධර්ම වන,
කාමචඡන්ද , ව්‍යාපාදය , ථිනමිද්ධය 
උද්ධච්ච කුක්කුච්ච , විචිකිච්චා

කියන නීවරණ පහ බලවත් වෙනවා. මේවා බලවත් වෙන්නේ මුලින් සඳහන් කළ අකුසල මූලයන්වල ලෝභ, ද්වේශ, මෝහ බලවත්වීමයි. ලෝහ, ද්වේශ, මෝහ බලවත් වෙන්නේ සංසාරගත ස්වභාවයන් නිසා මෙන්ම මේ ජීවිතයේ අප ෂඩ් ඉන්ද්‍රියන්ගෙන් එනම් ඇස කන නාසය දිව සහ මනසින් අප ගන්නා අරමුණු පිළිබඳ අවදියෙන් එසේ නැතිනම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකිරීමෙනුයි. පින්වත්නි අවිද්‍යාව ආශ්‍රවයක් හැටියටත් දක්වා තිබෙන්නේ මේක මොන තරම් ප්‍රබල අකුසල චෛතසිකයක් නිසාය. ඒ නිසා තමා පටිච්ච සමුප්පාද දේශනාවේ මුලින්ම මෙය දක්වා තිබෙන්නේ. මෙම කාරණ තේරුම් ගත්තොත් අනිත් කාරණා එකොළහ ඉතා සරලව තේරුම් ගත හැකිය. මොන තරම් මහා තීක්ෂණ ප්‍රාඥායින්ට පවා එකසැරේට රහත්භාවයට පත්වන්නට නොහැකි වන්නේද අවිජ්ජා ආශ්‍රවය ආදී ආශ්‍රවයන්ගේ ප්‍රබල බලපෑම නිසාය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

චේතනාව සහ කර්මය

මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශය

තුන්ලෝකාග්‍ර වූ අමා මෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ නියාම ධර්මයන් අතර සම්බුද්ධ නියාමයක ලෙසට “චේතනාවම” “කර්මය” ලෙස වදාරා ඇත.
.
ඉතාමත්ම සැදැහැ සිතින් අප පන්සිල් අටසිල් සමාදන් වෙනවා. බුදුපියාණන් වහන්සේගේ සීලය, උන්වහන්සේ අපට වදාළ සීලය සහ සීලය නමින් අප හඳුන්වාගෙන සමාදන් වන්නා වූ සීල සම්පන්නභාවය ගළපාගන්නේ කොහොමද? අප සමාදන් වන පන්සිල් වලින් එක නිදර්ශනයක් ලෙස “සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ යන සිල් පදය විශ්ලේෂණය කරමු. රහමෙර පානය කිරීමෙන් වැළකී සිටිමි යන්නයි. සුරාපානය කළ විට සිල් කැඩීමෙන් පව් සිදුවෙනවා නම්, ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ යන සිල් පදය කැඩෙන කෙතරම් ප්‍රමාණයක් සුරාපානය කළ යුතුද? සුළු ප්‍රමාණයක් බිව් විට පව් සිදුවෙනවාද? නැද්ද? සුළු ප්‍රමාණයක් බිව්වත්, පවම තමයි කියා ඔබ ප්‍රකාශ කරාවි. වැඩි ප්‍රමාණයක් බිව්වත් පව් සුළු ප්‍රමාණයක් බිව්වත් පව් නොදැනුණවත්ම බිව්වත් පව් දැනුවත්ව බිව්වත් නොදැණුවත්ව බිව්වත් පව් යන්න ඔබ ප්‍රකාශ කරාවිය. යම් කිසි කෙනෙක් ඇල්කොහොල් බීපු විට පව් සිදු වෙනවා නම්, ඇල්කොහොල් නොවන දෙයක් ගත් විට පව් සිදුවන්නේ නැත්නම්, මේ දෙකේදීම ශ්‍රද්ධාව සමගම ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු කරුණු බොහොමයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ වදාළේ.
“අත්තවියාභාධති සංවත්තති
පරවිව්‍යාභාධායිති පිස්සං වත්තති
උභයවිව්‍යා භාධායති පිස්සං වත්තති
තං අකුසළං“
.
තමන්ට අහිත පිණිස පවතින අනුන්ට අහිත පිණිස පවතින දෙපාර්ශ්වයටම අහිත පිණිස පවතින දීම, ගැනීම, කිරීම එයට අදාළ කටයුතු කිරීම අකුසලයකි. යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරයට ඉතාමත්ම අහිතකර සුරානොවන දෙයක්, ගතහොත් එයින් යහපතක් වන්නේ නැහැ .අර අකුසලයයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු සමහර විට ඉතාම රසවත් මත්වන්නෙක් නැති හොඳ ලේබලයක් ද සහිත ඉතාම ජනපි‍්‍රය කිසියම් බීම වර්ගයකින්ම අපට ලැබෙනවා නම් එයත් සුරාපානය කිරීමක් වැන්නක් නොවන්නේද? ඇල්කොහොල් නමින් විද්‍යාඥයන් විසින් වෙන්කර ගන්නට පුළුවන්කම තියෙන්නා වූ කිසියම් සංඝටකයක් භාවිත කිරීමමද පව? ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය සහිත මද්‍යසාර සහිත තව බොහෝ නිෂ්පාදන තිබෙන්නට පුළුවන. මද්‍යසාර ආශි‍්‍රතව නිෂ්පාදනය කළ කේක් වර්ගයක් අනුභව කළා නම් එයින් මද්‍යසාර ශරීරගත වීම පව්ද? මද්‍යසාර මිශ්‍රකොට දෙන ලද යම් යම් කේක් විශේෂ ආහාරයට ගන්නේ කේක් කෑමේ බලාපොරොත්තුවෙන් මිස මද්‍යසාර ගැනීමේ බලාපොරෙත්තුවෙන් නොවේ. ඒ මද්‍යසාර භාවිත කරමින් නිෂ්පාදනය කරන යම් යම් ඖෂධ විශේෂ භාවිත කිරීම පව්ද? බෙහෙත් භාවිත කරයි. භාවිත කරන ලද බෙහෙත්වල මද්‍යසාර අඩංගුයි. ඒ අනුව බෙහෙත් පාවිච්චි කිරීමේදි මද්‍යසාර ශරීර ගතවෙයි. මද්‍යසාර ශරීර ගතවීම පාපයක් නම්, එයද පාපයක් වෙයි. බෙහෙතක් වශයෙන් මද්‍යසාර සහිත සාදන ගලි විශේෂයක්, අරිෂ්ට වර්ග බී විට පව්. සුළු ප්‍රමාණයක් හෝ ඇල්කොහොල් ශරීර ගතවීම, පාපයකි කියන තර්කය අප පැහැදිලි කරගත යුත්තේ කොහොමද?
.
බොරුකීම, හොරකම් කිරීම පාපයක් නම් අපට එහි විදි විරෝධතා හෝ අතුරු ව්‍යවස්ථා හෝ විශේෂතා හෝ දකින්නට ලැබෙන්නේ නැහැ. යම් කිසි ගෙදරක මිනිස් ඝාතනයක් කළ හැකි ආයුධයක් තිබෙනවා යැයි සිතමු. එම ගෙදර කෙනෙකුම මෙම ආයුධය සොරකම් කළා යැයි සිතමු.ගෙදර ආරවුලක්,අර්බුදයක් ඇති වූ විට භාවිත කළ හොත් මිනිස් ඝාතනයක් සිදු වුවහොත්, ඝාතනයක් සිදුවීමේදී ඝාතනය වන්නාගේ් ජීවිතය නැති විය හැකි සේම, ඝාතකයාද සිරගත විය හැකි යැයි කල්පනා කර යමෙකු මෙම ආයුධය සොරකම් කරයි.සොරකම් කිරීම පාපයක් නම්, මෙම ආයුධය සොරකම් කිරීමද පාපයක් නොවන්නේ ද? මෙය පාපයක් නොවේය යන්න අප කෙසේ තර්ක කළ යුතුද? මෙය පාපයක් කියා කෙසේ සිත හදාගත හැකිද?
.
යහපත් සොරකම සහ අයහපත් සොරකම ලෙස වර්ග දෙකක් තිබේද? යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා නමින් හඳුන්වනු ලබන ක්‍රියාවන් පිළිබඳ අපට නැවත වතාවක් ආපසු බැලිය යුතු වන්නේ එම යහපත් සහ අයහපත් ක්‍රියා මොනවාද යන්නයි.
.
බොරුකීම ඉතාමත් අයහපත් දෙයක්. යම්කිසි කෙනකු බොරුවක් කී විට එය අසන්නා රැවටෙනවා. අසන්නා රැවටෙනවා නම්, රැවටෙන්නේ බොරුවට නම් බොරුව කියන්නා කරන්නේ රැවටීම නම් කොහොමද බොරුකීම යහපත් වන්නේ ? බොරු කීමට අනුබලයක් කෙසේ ලබාදිය හැකිද? එම බොරුවල යහපත් බොරු සහ අයහපත් බොරු වශයෙන් බොරු දෙවර්ගයක් අප අසා නැහැ.
.
ඔබ ඔබේ ආදරණීය පුංචි දරුවා වඩාගෙන ගෙදර වටේ ඇවිදිමින්, විවිධ දේවල් පෙන්වමින්, පුංචි දරුවාට බත් කවන්නේ ඇතැම් ප්‍රකාශ කරමින්ද? ශරීරයේ වර්ධනයට අවශ්‍ය පෝෂණීය ප්‍රමාණයන් පිළිබඳව එහි වැදගත්කම නිරෝගී ආහාර පද්ධතියක ඇති අවශ්‍යතාවය කියාදෙමින් සත්‍ය වටහා දෙමින් ආහාර ලබාදෙනවාද?
.
කුඩා දරුවාගේ කුස පුරවාගැනීමට එක කෑම කටක් ගානේ් බොරු කියන එම ආදරණීය අම්මාට දරුවාගේ කුස පිරෙන වේගයට සමාන්තරවම පව් පිරෙනවාද? එහෙම වෙන්න පුළුවන්ද? දරුවාගේ කුස පිරෙන සාපේක්‍ෂ වේගයට අම්මාට පව් පිරෙනවා නම්,එය ආගමිකව නිර්වචනය කිරීමේදි මහත් ගැටලුවක් වෙනවානේ.
.
ජනපද කල්‍යාණිය සුන්දරිය විවාහ ප්‍රාප්ත වන්නට බලාපොරෙත්තුවූයේ නන්ද කුමාරයා සමඟ බව ඔබ අසා ඇති . එම සුන්දරිය විවාහ කරගැනීමට ගිය නන්ද කුමාරයාට බුදුපියාණන් වහන්සේ දිව්‍ය අප්සරාවන් ලබාදීමට පොරොන්දු වීම ඔබ හොඳට අසා ඇති. එම පොරොන්දුව සත්‍යයක්ද? එහිදි නන්ද කුමාරයාට සැබවින්ම දිව්‍ය අප්සරාවන් පෙනුනාද? පෙන්නුවාද? ලැබුවාද? ලබාදුන්නාද? කතන්දර ය ඉහත කී බොරුකීම “පව්” යැයි කියන පොදු ප්‍රකාශය” දෙස බලාගෙන මෙය නිගමනය කළහොත් බුදුපියාණන් වහන්සේ බොරුවක් ප්‍රකාශ කළ යැයි අපට වැරැදියට පෙනෙයි.
.
යම් කිසි ක්‍රියාවක හොඳ නරක මනින්නේ කුමන නිර්ණායක මත සිටද? යන්න ඔබ තීරණය කළ යුතුයි.මෙම නිර්ණායකයන් විය යුත්තේ මොනවාද? වඩාත් තේරුම් ගත හැකිය.
.
මෙම කාරණාව පැහැදිලි කරගැනීම සඳහා සොරකම් කිරීම, සුරාපානය කිරීම, බොරුකීම, නන්ද- සුන්දරී කතා ප්‍රවෘත්තිය යන හැම නිදර්ශනයකින්ම අප වටහාගත්තා ඉතාමත්ම හොඳ හිතින් කරන වැඩ විය හැකි වුණත් අපි සාමාන්‍ය පොදු ඥානයේදි දන්නා දේ අනුව නිර්ණය කිරීමේදි අයහපත් යැයි සම්මත බොහෝ ක්‍රියාවන් එසේ නොවිය හැකිය. මෙම කරුණ තවදුරටත් උද්දීපනය කළහොත් රෝහල් ගත කර සිටින රෝගීන් දෙදෙනෙක් අතරින් ඉතාමත් දරුණු ලෙස කපා කොටා තිබූ රෝගීන් දෙදෙනෙක් සිටියා. ඔවුන්ගෙන් එක් අයෙකු කිසියම් ආරවුලකින් කපා කොටා රෝහල් ගත කර සිටී. අනෙක් රෝගියා දරුණු ලෙස ශල්‍යකර්ම කර ඇත්තේ වෛද්‍යවරයා විසිනි. ඉතාමත් සාහසික ලෙස ඝාතනය කිරීමට භාජනය වූ එම රෝගියාත් අසාධ්‍ය තත්ත්වයේ සිටියා. මෙම පුද්ගලයන් දෙන්නාම කපා අත්තේ තියුණු අවිවලින් වුවත් වෙද්‍යෙවරයකු රෝගියකු ගේ ශරීරය ශල්‍යකර්මයක් සඳහා කපා කොටා දමන ලදදේ ඉතාමත් යහපත් චේතනාවෙනි. හිත හොඳින් ලේ හලන්න හැකි නම්, “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි “ යන්න චේතනාවම කර්මය යන්න අප අවබෝධ කර ගත යුතුය.
.
“චේතනා හං භික්ඛවේ කම්මං වදාමි “ සුරාපානය කළ අයගෙන් සමහර අයකු සුරාපානය කළේ සුරාපානය කිරීම සඳහාමයි. චේතනාව සුරාපානයයි. අරිෂ්ට බීපු පුද්ගලයකු එය පානය කරන ලැබුවේ, සුරාපානය කිරීමේ චේතනාවෙන් නොවන අතරම එය යම් ශාරිරික රෝගයකට ඖෂධයක් සඳහාම වශයෙන් පමණයි “ චේතනාව කර්මය “නම් මද්‍යසාර සහිත බෙහෙතක් රෝගයක් සඳහා පාවිච්ච කිරීම පාපයක් නොවේ. මත්වීම සඳහාම පමණක් බෙහෙතක් පාවිච්ච කරනවා නම් එයද පාපයකි. ආදරණීය මවක් දරුවාට කෑම කවන්නේ බොරු කියමින් වුණත්, එහි අපේක්‍ෂණය වන්නේ දරුවාට ආදරය පෙන්වමින් ආහාර ලබාදීම “චේතනාව“ නම් එය පාපයක් වන්නේ නැහැ සොරකම් කිරීම වරදක් වුවත්, අනතුර ක් හෝ ඝාතනයක් සිදුවිය හැකි යැයි සිතන ආයුධද සොරකම් කිරීම පවක් නොවන්නේ එහිද “චේතනාව “ ඉතාම පිරිසුදු නිසාය.
.
ලෝක ස්වාමි බුදුපියාණන් වහන්සේ සුන්දරී නන්ද ප්‍රවෘත්තියේදි නන්ද කුමාරයා ට දිව්‍ය අප්සරාවන් පෙන්වා දෙනු ලැබුවේ ඉතාමත්ම හොඳ යහපත් චේතනාවෙනි. “චේතනාව“ කර්මය වන අවසථාවේදී අවබෝධ කරගත යුතු වැදගත් දෙය සුන්දරී කතා ප්‍රවෘත්තියේදී බුදුපියාණන් වහන්සේගේ ක්‍රියා කලාපය ඉතාමත් යහපත් දෙයක් ලෙස මිස එය වැරැදි දෙයක් ලෙස අපට අර්ථකථනය කළ නොහැකිය. ශරීරයක ලේ සෙලවීම පිළිබඳ නිදර්ශනයේදී ඉතාම අයහපත් දෙයක් වුණද, ඉන් වෛද්‍යවරයා ලේ සෙලවනු ලැබුවේ ඉතාමත් යහපත් චේතනාවෙන් බව තේරුම් ගත යුතු සේම අනෙකුත් සාහසික පුද්ගලයා පව්කාරයකු ද ලෙසය.
.
‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි “ චේතනාවට අනුවයි කර්මය හෙවත් ක්‍රියාව සිදු කරනු ලබන්නේ. යම් ක්‍රියාවක් යහපත හෝ අයහපත තීරණය කරනු ලබන්නේ චේතනාව මතයි. යම් කෙනෙකුට හැකියාව තිබෙනව ආශිර්වාද පූර්වකව හිස අතගාන්න. සිත ඇතුළෙන් අයහපතක් වේවායි යමෙකුට ආශිර්වාද කළ හැකිය. ඒ තැනැත්තාට යහපතක් හෝ අයහපතක් සිතේ තබා නොගෙන නරක සිතින් ආශිර්වාද කිරීමටත් හොඳ සිතින් දොස් කීමටත් හැකි බව අමතක නොකරන්න. ඔබේ දරුවන්ට ඔබ පහරදීමට ඔබ කැමති නෑ. ඔබේ දරුවාට ඔබ පහර දෙනවා නම් එය නූතන යම් යම් අත්තනෝමතිකව අන්තගාමී නිර්වචනයන් සමග නොගළපා දරුවන්ට දඩුවම් කරන්නේ කෙතරම් ආදරයෙන්ද යන්න බැලිය යුතුයි.
.
දෙමාපියන් හා ගුරුවරුන් දරුවන්ට දඬුවම් කරන්නේ ඇත්ත වශයෙන්ම අයහපත් චේතනාවකින් නොවේ. මෙම දරුවන්ට දඬුවම් කරන්නේද වැරැදි කරුවන්ට දඬුවම් කරන්නේද? ඉතාම ආදරයෙන්. ඒ අනුව බැලූ විට කොයිතරම් නම්, රිද්දවන්න නරක වැඩක් ලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද හොඳ හිතකින්.
.
අයහපත්ම චේතනාවක් හිතේ තබාගෙන මුව සරසාගත් සිනහවකින් ආසිරි පැතිය හැකි බවත්, රුදුරු වූ මුවකින් රුදුරු වූ පෙනුමකින්, යහපත් සිතකින් දඬුවම් කළ හැකි බවත් අමතක නොකරන්න. යමක් යහපත් හෝ අයහපත් ලෙස නිශ්චය නිර්ණය කිරීමේදි නිර්ණායකය විය යුත්තේ ක්‍රියාව නොවේ. ක්‍රියාවට පාදක වූ සිත බවයි . එනිසා යම් ආකාරයක ක්‍රියාවක් යහපත් ක්‍රියාවක් ලෙස හෝ අයහපත් ක්‍රියාවක් ලෙස තීරණය කරනු ලබන්නේ ක්‍රියාවට නොව ක්‍රියාවට මුල් වුණ සිත අනුවයි. යහපත් පෙනුම සහිත නරක වැඩ අයහපත් පෙනුම සහිත හොඳ ක්‍රියා අයහපත් සිතින් කරන හොද වැඩ, යහපත් සිතින් කරන අයහපත් වැඩ තේරුම් ගැනීම යහපත් හිතින් කරන යහපත් ක්‍රියා හා අයහපත් සිතින් කරන අයහපත් ක්‍රියා දැන් වඩාත් පැහැදිලියි. බුදුපියාණන් වහන්සේගේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන ප්‍රකාශය අවබෝධයෙන් තේරුම් ගත යුතුයි.මින් මතුවට එසේ ක්‍රියා කිරීමට ඔබට හැකියාව ලැබේවාය ප්‍රාර්ථනා කරමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ....

තලල්ලේ චන්දකිත්ති හිමි
සමාජයේ බොහෝ දෙනෙක බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසායි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය පිළිබඳව. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් සංසාර දුකෙන් නිදහස් වී සැපත ළඟාකර ගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේදී අපේ ජීවිතවලට පුරුදුකළයුතු බොහෝ ගුණාංග තිබෙනවා. ඒ එක් ගුණාංගයක් සඳහන් සූත්‍ර දේශනාවක් අපි අද කථා කරනවා.
ඒ සූත්‍රයේ නම තමයි ආඝාතපටිවිනය සූත්‍රය. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මෙය සඳහන්ව තිබෙනවා. ආඝාතපටිවිනය නමින් සූත්‍ර දේශනා දෙකක් තිබෙනවා. පඨම ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ භාග්‍යවතුන් වහන්සේ. දුතිය ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ සැරියුත් මහ රහතන් වහන්සේ. ආඝාත කියන්නේ තරහ කියන එක. පටි කියන්නේ නැවත නැවත කියන එක. විනය කියන්නේ හික්මවීමයි. හට ගත් තරහ නැවත නැවත නොකර හික්මවා ගැනීමයි මෙහි සරල තේරුම. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය තමයි මෙම සූත්‍රයේ සඳහන්ව තිබෙන්නේ.
අප සමාජයේ බොහෝ දෙනෙක් බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා. අප සිතනවා මේ පුද්ගලයාට මෙතරම් උදව් උපකාර කර තිබියදීත් මා ගැන හොඳක් කිව්වේ නැහැනේ යැයි සිතා දොම්නසට පත්වෙනවා. ඒ තමයි කැමැති දේ නො ලැබීම.
ඊළඟ කාරණය තමයි අකැමැති දේ ලැබීම. අප කවුරුවත් කැමැති නැහැ බැනුම් අහන්න. ඒ වගේම අපේ නරකක් කියනවා නම් අපේ දෙයක් බලෙන් ගන්නවානම් අපිට තරහ යනවා. ඉතින් මේ හේතු දෙකම මුල් වෙලා තරහ යන ආකාර නමයක් මේ දේශනාවේ සඳහන්. එය නවාඝාත වශයෙන් සඳහන් වෙනවා. නවාඝාතය කොටස් තුන තුන වශයෙන් තේරුම් ගත යුතුයි.
පළමු කොටස් තුන තමයි යම් කෙනෙක් මට අතීතයේ දී අනර්ථය කළායැයි සිතමින් තරහ ගන්නවා. එය කයින්, වචනයෙන් සහ සිතින් කරන්න පුළුවන්. සමහර විට අවුරුදු ගණනකට පෙර කළ දේ සිතමින් ඒ තරහ පෝෂණය කරමින් ජීවත් වෙනවා. ඊළඟ එක තමයි වර්තමානයේ සිදුවීම් සිහි කරමින් තරහ පෝෂණය කරනවා. ඊළගට අනාගතයේදීත් මේ අය මට ඊර්ෂ්‍යා කරයි, මගේ දේ පැහැර ගනියි කියා අනාගතය උපකල්පනය කරමින් තරහ සිතක් ඇතිකර ගනු ලබනවා.
සමහර පුද්ගලයන් ඉන්නවා තමන්ට බනින එකත්, අම්මට තාත්තට බනින එකත්, රටට ජාතියට ආගමට බනින එකත් ඉවසන්න පුළුවන්. ඉවසන්න බැරිම දේ තමා තමා අමනාප තමාට අප්‍රසන්න පුද්ගලයකුගේ ගුණ අහන්න ලැබීම. සාමාන්‍ය පෘතග්ජන ගතියට අපි කවුරුත් අකැමැතියි අමනාප පුද්ගලයෙකුගේ ගුණ අහන්න. ඒ පුද්ගලයාගේ වැරැද්දක් කිවුවොත් ඇත්ත තමයි මාත් දැක්කා, එයා එහෙමම තමයි කියමින් අඩුපාඩු එකතු කරන්න කැමැතියි. ගුණයක් කිවුවොත් ඒක අනුමෝදන් වෙන්න කැමැති නැහැ. අප උත්සාහ කරන්නේ අප අමනාප පුද්ගලයාගේ වැරැදි සාධාරණීය කරලා ඒක හරියි කියලා ලෝකයාට හේත්තු ගන්වන්න. අපේ සිත කැමැති තරහ පුද්ගලයාගේ වරදම දකින්නයි. නරකම දකින්නයි. එහෙම අවස්ථාවක එයාගේ හොඳක් අසන්නට ලැබුණොත් අපට කේන්ති යනවා. සිතේ අමනාපයක් ඇතිවෙනවා. එතැනදී අපි කැමැති දේ ලැබුණේ නැහැ. අකැමැති දේ ලැබුණා. එයින් අපගේ සිතට තරහවක් ඇතිවෙනවා. වර්තමානයේදීත් අනාගතයේදීත් ඒ ඒ ආකාරයට ගලපමින් තරහ සිතක් ඇතිකර කර ගන්නවා. මේ විවිධාකාරයට තරහ යාම් නැත්නම් ද්වේෂය අපේ සිතේ හට ගන්නවා. මොන ආකාරයට තරහ ගියත් එය සාධාරණීය කරන්න පුළුවන් කාරණයක් නම් නොවේ. එය පාපතර අකුසල සිතිවිල්ලක්. සිත දුර්වල කරන, සිත කෙළෙසන, සිතේ වටිනාකම නැති කරන ප්‍රභාශ්වරය නැති කරන දුර්වර්ණ කරන අපවිත්‍ර කරන සිතිවිල්ලක්.
සිතට එන නරක සිතිවිලි නවත්වා ගන්න නම් අප කරන්න ඕන ඒ සිතට එන අකුසලයට වටිනාකමක් නොදී සිටීමයි. ඕනෑම සිතිවිල්ලකට වටිනාකමක් දුන්විට ඒ සිතුවිල්ල සිතේ ස්ථාවර වෙනවා. සිතිවිලිවලට වටිනාකමක් ලැබෙන්නේ නැවත නැවත එයම සිතන්නට පටන්ගත් විටයි. ද්වේෂය හටගත් අවස්ථාවක එයම සිතුවොත් එය සිතේ තහවුරු වෙනවා. ස්ථාවර වෙනවා. ඒ ස්ථාවර සිතිවිල්ල ආවේගයක් බවට පත්වෙනවා. ආවේගය කියන්නේ වේගයෙන් අප කරා එන සිතිවිල්ලයි. වේගය වැඩිවුනාම අභ්‍යන්තර පාලනයෙන් තොරයි. සිතුවිලි වලට පානයක් නැතිවුණාම තමයි ඒවා පරුෂ වචන වශයෙන් එළියට එන්නේ. සිතුවිලිවල පාලනයක් නැතිවුණාම වැරැදි ක්‍රියා වශයෙන් එළියට එනවා. ඒ නිසා පාලනය කරන්න බැරි විදිහට සිතුවිලිවලට වටිනාකම් දෙන්න හොඳ නැහැ. නරක සිතිවිල්ල මෙනෙහි කරන්න හොඳ නැහැ. එහි ආදීනවය දැකිය යුතුයි. තමාට තමා වටා සිටින අයට, සමාජයට වන හානිය පිළිබඳව සිහිනුවණින් සිතා තමාගේ් සිතිවිල්ල පාලනය කර ගෙන වලක්වා ගත යුතුයි.
පළමු ආඝාතපටිවිනය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළා සිත පාලනය කරන ක්‍රමවේද පහක්. දෙවැනි සූත්‍රයේදී සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා තරහ ගන්නට හේතු රැස්කරන මිනිසුන් කොට්ඨාස පහක්එහි පළමු පුද්ගලයා තමයි ඔහුගේ කායික වැඩ අපිරිසුදුයි. නමුත් වචනය පිරිසුදුයි. දෙවැනි තැනැත්තා කායික ක්‍රියා පිරිසුදුයි, වචනය අපිරිසුදුයි. තුන්වැනි පුද්ගලයා කායික ක්‍රියාත්, වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. නමුත් ඉඳහිට යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනු ලබනවා. හතරවැනි පුද්ගලයාගේ කායික වාචසික ක්‍රියා මෙන්ම සිතිවිලිත් යහපත් නැහැ. පස්වැනි පුද්ගලයාගේ කායික, වාචසික මෙන්ම සිතිවිලිත් ඉතා හොඳයි.
මෙහි සඳහන් පළමු, දෙවැනි, තුන්වැනි පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබුණාම අපට තරහ යනවා. ඔවුන්ගේ ඇසුරේදී අපේ සිතේ නිතරම ද්වේෂයක් හට ගන්නවා. ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ වදාළා අර පුද්ගලයන්ගේ තිබෙන සියලු වැරැදි නොසිතා තිබෙන එක හොඳ පමණක් සිහි කරන්න කියා. අනුන්ගේ නරක සිතන්නට සිතන්නට නරක් වෙන්නේ අපේ සිත. අනුන්ගේ හොඳ සිතන්නට සිතන්නට හොඳ වෙන්නෙත් අපේ සිත. අනෙක් කෙනාගේ නරක දකිමින් අපේ සිතට කේන්තියක් ඇතිකර ගන්නවා නම් එහි හානියක් අපටමයි.
මේ ආකාරයට අපට තරහ යනවා නම් ඒ තරහ පාලනය කර ගන්න භාග්‍යවතුන් වහන්සේත් අපට දේශනා කළා ක්‍රම පහක්. පළමු ක්‍රමය තමයි මෛත්‍රීය උපදවා ගැනීම. මෛත්‍රීය කියන්නේ මිතුරුකමයි. යාලුකම. කෙනෙකුගේ නරක ගැන සිතන්නේ නැතිව හොඳ පමණක් සිතනවා නම්, තරහ සිතිවිලි නැතිවෙලා යනවා. යම් පුද්ගලයෙක් පිළිබඳව තරහක් එනවානම් ඔහුගේ් හොඳක්ම දකින්න පුරුදු වෙන්න ඕනෑ.
දෙවැනි කාරණය තමයි කරුණාව පුරුදු කිරීම. කරුණාව කියන්නේ කෙනෙක් අසරණ වුණාම පිහිටවීම. කෙනෙක් අපට දොස් කිව්වාම අපේ සිතේ කේන්තියක් ඇති වෙනවා. එය පාලනය කරගන්න ඔහුට කරුණාව දක්වන්න ඕන.
මම නිසා මොහුගේ සිතේ තරහක් ඇතිවෙනවා නම් ඒ තුළින් ඉවත්වෙලා ඉන්න ඕනෑ කියා කරුණාව ඇතිකර ගන්න ඕන.
ඒ වගේම තුන්වෙනි කාරණය තමයි කා සමඟ හරි තරහවක් ඇති වූ විට තමාගේ සිතේ උපේක්ෂාවක් ඇතිකර ගන්න උත්සාහ කරන්න ඕනෑ. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථව සිටීම. ඕනෑම දුකක් අපට වැඩිවෙන්නේ ඒ දුක පුද්ගලික කර ගැනීමෙන්. අනේ අපටමයි මේ කරදර. හැමදාම අපට දුක පමණයි කියා හිතන්නට හිතන්නට දුක වැඩියි. දුක කියන්නේ පොදු ධර්මතාවයක් කියා සිතූවිට දුක වෙනවා.
හතරවැනි කාරණය තරහ ඇතිවන විට අරමුණ මාරු කිරීම. කෙනෙක් දොස් කියපු අවස්ථාවක එයම නො සිතා වෙන දෙයක් සිතිය යුතුයි. එහෙම නැත්නම් පොතක් කියවන්න, ගීතයක් අහන්න වැනි දෙයක් කරන්නට පුළුවන්. අවධානය වෙනතකට යොමු කළවිට වේදනාව අඩු වෙනවා. එනිසා අප ද්වේෂය ඇවිස්සී එන අරමුණට වටිනාකමක් නොදී වෙනත් අරමුණක් සිතීමට පුරුදු කරන්නට මහන්සි වෙන්න ඕනෑ.
ඊළඟ කාරණය තමයි කා සමඟ හෝ තරහවක් ඇතිවූ විට භාග්‍යවතුන් වහන්සේ වදාළා කර්මයේ ස්වකීයත්වය ගැන සිතන්න කියලා. යම් කර්මයක් තමා විසින් කළ විට එය තමාට දායාද ලෙස ලැබෙනවා කියා විශ්වාසයක් ඇතිකර ගෙන මේ පුද්ගලයා මට දොස් කියලා බැනලා අකුසල් සිදුකර ගත්තා. එහි විපාක ඔහුට ලැබෙයි. මමත් එකටෙක කළොත් මටත් විපාක විඳීන්නට සිදුවෙයි කියා කර්මය පිහිට කරගෙන අකුසල් සිත බැහැර කරන්න ඕනෑ.
එනිසා ඉවසීම පුරුදු කළ යුත්තේ ද්වේෂය ඇවිස්සී එන විටයි. මෛත්‍රීය පුරුදු කරන්න ඕනෑ එතනැදීයි. එහෙම කරනවිට ද්වේෂය පාලනය කර ගන්න අපට පුළුවන්කම තිබෙනවා. එසේ කළවිට නිරෝගී මනසකින් එදිනෙදා ජීවිතයේ සුවසේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබටත් අවස්ථාව උදා වෙනවා.
තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නුදුන් දේ ගැනීම


පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි,
ආර්ය නිකේතනය, කන්නිමහර-වතුරුගම. 

සම්මුති ජීවිතය තුළ අනුන්ට අයත් වස්‌තුවක්‌, අයිතිකරුට හොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදානය ලෙස හැඳින්වේ. අදත්තාදානය හෙවත් සොරකම් කිරීම, කර්ම පථයක්‌ බවට පත්වීමට කාරණා පහක්‌ සම්පූර්ණ විය යුතුය. එනම් අන්සතු වස්‌තුවක්‌ වීම, අන්සතු වස්‌තුවක්‌ බව දැනීම, පැහැරගනු ලබන සිත, පැහැර ගැනීමට උපක්‍රම කිරීම සහ වස්‌තුව ගැනීම යන අංග පහයි. 

අදත්තාදානය සිදුකරන ආකාර පොතපතේ පහත ලෙස පෙන්වයි. මෙම ක්‍රමයන් පිළිබඳව ව්‍යතිරේඛයන් ද පවතී.

අනුන් අයිති වස්‌තුවක්‌/සත්වයෙක්‌ නඩු කියා තමන් සතුකර ගැනීම, තමන් ගෙනයන අනුන්ගේ වස්‌තුවක්‌/සත්වයෙක්‌ සොර සිතින් ගැනීම, තමන් ළඟ පරිස්‌සමට තැබූ වස්‌තුවක්‌/සත්වයෙක්‌ නොදී සිටීම, වෙනත් අයකු වෙත ගෙන යන වස්‌තුවක්‌/සත්වයෙක්‌ එම ගෙනියන පුද්ගලයා ලවාම සොර සිතින් තමන්ට අවශ්‍ය තැනකට ගෙන්වා ගැනීම, යම් වස්‌තුවක්‌ සොර සිතින් තුබූ තැනින් එසවීම (සත්වයෙක්‌ නම් සිටිය තැනින් සොරකම් කිරීම), සියතින් ම සොරකම් කිරීම, අනුන් ලවා සොරකම් කරවීම, ගෙන යන බඩු හෝ ගෙදරක බඩු සොර සිතින් එලියට විසිකර පසුව අහුලා ගැනීම, අනුන්ගේ වස්‌තුවක්‌ සොරකම් කරවීමට නියම කිරීම, අන්සතු වස්‌තුවක හිමියාට ඇති ආශාව නැතිකර රවටා තමා සතුකර ගැනීම, පූර්ව ප්‍රයෝගයෙන් හෝ ප්‍රයෝගය සමඟ ම සොරකම් කිරීම, කීප දෙනෙකු එකතු වී සොරකම් කිරීම, වේලාව නිමකර සොරකම් කිරීම, සංඥා නියම කොට සොරකම් කිරීම, හොරට කිරුම් මිනුම් කිරීම, අන් සතු වස්‌තුව හිමියාට නොපෙනෙන ලෙස ගැනීම, අනුන් තළා පෙළා බිය ගන්වා අන්සතු වස්‌තුව ඉල්ලා ගැනීම, භාණ්‌ඩය පිළිබඳ ව ද සහ ප්‍රදේශය පිළිබඳව ද නිශ්චයක්‌ නැතිව අන්සතු වස්‌තුව සොරා ගැනීම, අන්සතු දේ වැලි ආදියෙන් වසා දමා පසුව ගැනීම, අන්සතු දේ තමා නමින් ලේබල් කර සොරා ගැනීම යනා දී ක්‍රම විධි අදත්තාදානයට අයත් වේ.

මෙසේ සොරකම් කිරීම, මෙලොවදී ත් පල දෙයි. එසේ සොරකම් කිරීමෙන් රජයේ වධ බන්ධනවලට ලක්‌වීමට සිදුවේ. එමෙන්ම සමාජයෙන් ගැරහුම් ලබයි. තවද පහර කෑම් ලක්‌වී මරණයට පවා පත්විය හැකිය. මරණෙන් මතු නිරයේ ඉපිද බොහෝ කලක්‌ දුක්‌ විදියි. ප්‍රේතව ඉපිද සා පිපාසයෙන් පෙලේ. තිරිසන්ව ඉපිද වස්‌තු හිමියන්ට බර අඳිමින් දුක්‌ විදී. සතර අපායෙන් මිදී මිනිසත් බව ලැබු කල්හි දුගීව උපදියි. බැල මෙහෙවරකම් කරයි. කෙසඟ සිරුර සහිතව කුණු තවරාගෙන උකුණන් පිරුණ හිස්‌ ඇතිව මහා දුකක්‌ විදියි.

කෙසේ වෙතත් අදත්තාදානය ආර්ය ජීවිතය තුළ විග්‍රහ කිරීම, නිර්වාණය කරා යන අයට මහත් උපකාරයක්‌ වනු ඇත.

ආර්ය විනයේ අංගයක්‌ ලෙස අදත්තාදානයෙන් වෙන්වීම, දින්නාදානං නිස්‌සාය අදින්නාදානං පහාතබ්බා - දුන් දේ ගැනීම නිසා නොදුන් දේ ගැනීම හළයුතුය" ලෙස පෝතලිය සූත්‍රයේ සඳහන් වෙයි. ආර්ය ජීවිතය යනු නිවන පමණක්‌ තෝරාගත් ජීවිතයයි. භික්‌ෂුව යනු ආර්ය ජීවිතයක්‌ ගතකිරීමට සිවුර දරාගත් උත්තමයෙකි. ගිහි අයෙකු සෘජුවම නිවන අරමුණු නොකරන අතර තමන්ගේ අවිද්‍යාව නිසා සංසාරය හොඳයි මැනවයි කියා සිතන අයෙකි. නමුත් ගිහියෙකුට වුවත් ආර්ය ජීවිතයකට එක්‌තරා ප්‍රමාණයකට හෝ ඇතුල්විය හැකිය. මෙය කියවන ඔබ මෙම කාරණය පටලවා නොගෙන අවබෝධ කරගන්න. 

නිවන් දකින කෙනාට අවශ්‍යතා ප්‍රධාන හතරකි. සිව්පසය ලෙස පෙන්වා දෙන්නේ මෙම අවශ්‍යතා වේ. මෙම සිව්පසය ලබාගත යුත්තේ දුන් දෙයක්‌ ලෙසිනි. නුදුන් දෙයක්‌ ලෙස නොවේ. ඊට හේතුව වන්නේ තණ්‌හාව ඇතිකර නොගැනීමයි. භික්‌ෂුව පරිහරණය කරන චීවරය දුන් දෙයකි. එනම් කවුරු හෝ පූජා කල දෙයකි. කැමති ලෙස මිල දී ගත් දෙයක්‌ නොවේ. එමෙන්ම එම චීවරය පරිහරණය කරන්නේ ආරක්‌ෂාවටත්, විලිවසා ගැනීමටත් කියන කාරණා සදහාය. මෙලෙස භික්‌ෂුවක්‌ පූජාකල චීවරයක්‌ ප්‍රත්‍යවේක්‌ෂා කොට පරිහරණය කරන්නේ නම් ඒ තුළ තෘෂ්ණාවක්‌ ඇති නොවේ. නමුත් චිවරවලට කෑදරකමින් පරිහරණය කරනවා නම් එහි දී තෘෂ්ණාව ඇති වේ. නමුත් සාමාන්‍ය ගිහි පුද්ගලයා ඇදුම් කැමති ලෙස මිල දී ගෙන, ඒවා ලස්‌සනයි හොඳයි මැනවයි කියා ඒවා පරිහරණය කරන බැවින් එහි තෘෂ්ණාව ඇත. එනම් භික්‌ෂුවට චීවරය දුන් දෙයි. සාමාන්‍ය ගිහියාගේ ඇදුම ගත් එකකි. එනම් පූජා නොකල නුදුන් දෙයකි.

භික්‌ෂුවකට දානය දුන් දෙයකි. එනම් පූජා කළ දෙයකි. එම දානය වළඳනුයේ මදයට, ජවයට, අලංකාරයට රසවිඳීම පිණිස නොවන බව ප්‍රත්‍යවේක්‌ෂා කරයි. එහිදී ආහාරය නිසා තෘෂ්ණාවක්‌ ඇති නොවේ. එසේ නොකරන්නේ නම් තෘෂ්ණාව ඇති වේ. නමුත් සාමාන්‍ය ගිහි අයෙක්‌ කැමති දේ මිලදී ගෙන, තමන් කැමති ලෙස ආහාර පිළියල කරගෙන, රස තෘෂ්ණාවෙන් අනුභව කරයි. එහිදී ඔහුට තෘෂ්ණාව ඇති වේ. මේ අනුව භික්‌ෂුවට දානය දුන් දෙයකි. මන්ද පූජා කළ දෙයක්‌ වන බැවිනි. එමෙන්ම කැමති ලෙස ආහාර මිලදී ගත්තානම් එය ගත් දෙයකි. එනම් එය නුදුන් දෙයකි.

භික්‌ෂුව පරිහරණය කරන කුටිය, පංසල, ආරාමය, සේනාසනය කවුරු හෝ පූජා කළ දෙයකි. එනම් එය දුන් දෙයකි. එය පරිහරණය කරනවිට භික්‌ෂුව, ආරක්‌ෂාව සඳහා භාවිතා කරන බවට ප්‍රත්‍යවේක්‌ෂා කර පරිහරණය කරන නිසා එහි තෘෂ්ණාවක්‌ ඇති නොවේ. නමුත් සාමන්‍ය ගිහි පුද්ගලයා තමන් කැමති ලෙස සැලසුම්කර නිවසක්‌ සාදාගෙන එහි ඇලීගැලී වාසය කරයි. එනම් එහි තෘෂ්ණාව හටගනී. එනම් භික්‌ෂුවට වාසස්‌ථානය දුන් දෙයකි. නමුත් ගිහි පුද්ගලයාට වාසස්‌ථානය, කැමති ලෙස සාදාගත් නුදුන් දෙයකි.

භික්‌ෂුවට බෙහෙත් හේත් පූජා කරයි. එනම් එය ද දුන් දෙයකි. බෙහෙත් වළඳන විටත් ප්‍රත්‍යවේක්‌ෂාකර වළඳන නිසා එහි තෘෂ්ණාවක්‌ හට නොගනී. නමුත් සාමාන්‍ය ගිහි පුද්ගලයා බෙහෙත් මිලදී ගන්නේ නම් එය නොදුන් දෙයකි. 

භාග්‍යවතුන් වහන්සේ අත්‍යාවශ්‍ය දේ ඉල්ලීම සඳහා යම් අවස්‌ථාවන්හී දී භික්‌ෂුවට අවසර ලබා දී ඇත. නමුත් බුදු පියාණන් වහන්සේ භික්‌ෂුවට අනුදැන වදාලේ පෙර කුසලය මත විවිධ ආකාරයෙන් දානය ලැබුණොත් වළඳන ලෙසත්, එසේ නොමැතිනම් පිණ්‌ඩපාතෙන් යෑපෙන ලෙසත් ය. එමෙන්ම තමාට ලැබුන දානය ජීවිතයේ අවසන් ආහාරය ලෙස සලකා විදසුන් වැඩිය යුතු බවත්ය. එමෙන්ම පෙර කුසලය මත යම් සේනාසනයක්‌ භික්‌ෂුවට ලැබුණේ නම් එහි නො ඇලී වාසය කරන ලෙසත්, නැතිනම් ගසක්‌ මුල වාසය කරන ලෙසත් අනුදැන වදාරා ඇත. තවද චීවරය පෙර කුසලය මත ලැබුණොත් එය නො ඇලී පරිහරණය කරන ලෙසත් නැතිනම් මළමිනිය ඔතා දමන ලද පාංශුකූල චීවරය පරිහරණය කරන ලෙසත් වදාරා ඇත. එමෙන්ම බෙහෙත්හේත් පෙර කුසලය මත ලැබුණොත් නොඇලී වළඳන ලෙසත්, එසේ නොමැතිනම් තමන්ගේම මුත්‍රා බෙහෙත් වශයෙන් ගන්නා ලෙසත් වදාරා ඇත. මේ අනුව නිවන් අරමුණු කරන කෙනා යනු ජීවිතයට ඇති ආශාවද අතහැර දමමින්, මමත්වය අතහැර දමමින් කටයුතු කරන පුද්ගලයායි. ඔහු ක්‍රමයෙන් නිවෙන කෙනෙකි. සිතේ කෙලෙස්‌ ගති නැති වී අභ්‍යන්තරය පිරිසිදු කරගන්නා කෙනෙකි. විවේකීව සතුටින් සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතය ගතකරන කෙනෙකි. සියලු පව් අතහරින කෙනෙකි. සසර බැඳීම් වලින් නිදහස්‌ වන කෙනෙකි. ප්‍රශ්න සියල්ලෙන් නිදහස්‌ වන කෙනෙකි.

මගේ කියා ගත නොහැකි දේවල් මගේ කියා සිතෙන් අත්පත්කර ගැනීමත්, ගැඹුරින් සලකා බැලූවිට නුදුන් දෙයක්‌ අත්පත්කර ගැනීමකි. පාරේ යන විට යම් අයෙක්‌, වාහනයක්‌, මල් ගසක්‌ හෝ වෙනයම් රූපයක්‌ ලස්‌සනයි, හොඳයි මැනවයි, අත්පත් කරගන්න ඇතිනම් හොඳයි ලෙස සිතයි නම්, එය තමන්ට නුදුන් දෙයක්‌ මගේ කරගැනීමකි. මෙසේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ෂ යන පංචකාමයන් මගේ කියා ගැනීම නුදුන් දෙයක්‌ මගේ කර ගැනීමකි. මේ තුළින් රජයේ බන්ධනාගාර වලට යාමක්‌ සිදු නොවන නමුත්, සංසාර හිරකූඩුවේ සිරවීමක්‌ වී අප්‍රමාණ දුකක්‌ විඳී. ස්‌වභාව ධර්මයේ ධාතු හතරකින් සාදන මව හා පියා නිසා බිහිවන ආහාර නැමති සතර මහ ධාතුන්ගෙන් පෝෂණය වන රූපය හෙවත් තමන්ගේ කය සෑම මෙහොතකම වෙනස්‌ වෙමින් ජරාවටත්, මරණයටත් පත් වේ. මෙම රූපය ද තමන්ට නොදුන් දෙයකි. තමන්ගේ අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා නිත්‍යයි, සුඛයි, ආත්මයි කියා ස්‌වභාව ධර්මයට අයිති රූපය සහ රූපය හා බැදුන සියල්ල මගේ කරගෙන අප්‍රමාණ දුකක්‌ විදී. තමන් අයිති නැති, තමන්ගේ වසඟයේ පත්වාගෙන යා නොහැකි රූප නිසා හටගන්නා සියලු සිත් ද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ක්‍රියාවලියකි. මෙම සිත සහ කය මගේ කරගැනීම නිසා බොහෝ දුකට පත්වේ. මෙය නුදුන් දේ ගැනීමේ ආදීනවයයි. 

පඨවි, ආපෝ, තේජෝ, වයෝ, ආකාස සහ විඤ්ඤාණ ස්‌වභාව ධර්මයේ ශක්‌තීන් සමූහයකි. මෙම කිසිදු ශක්‌තියක්‌ මගේ නොවේ. මට අයිති නැති මට පාලනය කළ නොහැකි මෙම ස්‌වභාව ධර්මයේ ශක්‌තීන් මගේ කියා ගැනීමම නුදුන් දේ ගැනීමකි. එබැවින් බුදු පියාණන් වහන්සේ මේවා මගේ කියාගත්ත කෙනා දුක්‌ විඳින බව පෙන්වා දී ඇත. 

තමන්ගේ ජීවිතය දිහා බලන්න, තමන් කොතරම් තමන්ට අයිති නැති දේ මගේ කරගෙන දුක්‌ විඳිනවාද කියලා. අම්මා තාත්තා හදපු කළලය මගේ කරගත්තා. ඊට පස්‌සේ සෙල්ලම් බඩු මගේ කරගත්තා. ඊට පස්‌සෙ පොත්පත්, ඇඳුම් පැළඳුම් මගේ කරගත්තා, ඊට පස්‌සේ ස්‌වාමියා, භාර්යාව, දරු මුණුපුරන්, ඥාතීන් මගේ කරගත්තා. දේපල ඉඩකඩම් මගේ කරගත්තා. යානවාහන මගේ කරගත්තා. හිතවතුන්, අසල්වාසීන් මගේ කරගත්තා. බලන්න තමන්නට අයිති නැති නුදුන් දේ මගේ කරගැනීම නිසා දුක එන්න එන්නම වැඩිවුනාද? අඩුවුනාද? කියලා. කවුරුත් බලකලේ නෑ, ඒවා තමන්ගේ කරගෙන දුක්‌විඳින්න කියලා. තමන්මයි එම දුක හදා ගත්තේ. එහෙනම් තමන්මයි මේ අවුල ලිහාගත යුත්තේ. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න අවශ්‍යම ස්‌වභාව ධර්මයේ දේවල් ටිකක්‌ පමණක්‌, මගේ කරගන්නේ නැතිව පාවිච්චි කරලා සංසාරයෙන් එතෙර වෙන්න කියලා. වස්‌තු දාහකි දුක්‌ දාහකි, වස්‌තු නැත්තාට දුකක්‌ නැත ලෙස ප්‍රකාශ කරනුයේ මෙම ගැඹුරු ධර්මය නිසාය. එනම් වහාම නුදුන් දේ අතහැර සංසාර දුකින් මිදෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුදුරදුන් අනිත්‍ය දෙසුවේ ඇයි?


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික වේ. කල් නොයවාම ප්‍රතිඵල ගෙනදේ. එය හැම කාලයටම ගැළපෙන සනාතනික ධර්මයකි. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයකු වීමය. මනුෂ්‍යයකුට කළ නොහැකි කිසිවක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළහ. ඒ නිසා බුදුදහමට අනුව හැසිරීම, ඉන් පල ප්‍රයෝජන ලබාගැනීම, මනුෂ්‍යයන් වන අපට දුෂ්කර කාර්යයක්‌ නොවේ. දෙවියන් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක්‌ හෝ සම්බන්ධ දෙයක්‌ නම් ඒවා කළ හැකිද යන්න ගැටලුවක්‌ විය හැකිය. නමුත් බුදුරජාණන් වහන්සේගේ තත්ත්වය ඉඳුරාම වෙනස්‌ විය.
බුදුරජාණන් වහන්සේ සීතලට උණුසුමට සංවේදී වූහ. පරිසර සාධකවලින් ආරක්‌ෂාවීම සඳහා සිවුරු දැරූය. මනුෂ්‍ය සිතිවිලි උන්වහන්සේටද විය. මනුෂ්‍යයන් වශයෙන් අපට දැනෙන කායික වද වේදනා බුදුරජාණන් වහන්සේටද දැනුණි. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යකු වශයෙන් එසේ සමාන්‍යයද වන විට මිනිසුන්ට වෙනත් බලවේග හා සමකර සලකන්නට අවශ්‍යතාවක්‌ නොවීය. තමන් වන්සේත් මනුෂ්‍යයකු වශයෙන් සිත දියුණු කර, මිනිස්‌ සිතක පහළ කරගන්නා ඉහළම ස්‌වභාවයට හෙවත් සසර නිමා කිරීමට සමත් වූ බව වදාළහ. උන්වහන්සේ සෑම දුර්ගුණයක්‌ම දුරුකළේ යහපත් ධර්මතා මානසිකව, වාචිකව, කායිකව උත්පාදනය කරගනිමිනි. 
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සිය ජීවිතය තුළදී පිළිපැද ලත් අත්දැකීම් සම්බාරයකි. අත්දැකීම්වලින් බැහැරවූ කිසිවක්‌ උන්වහන්සේ සාමාන්‍ය මිනිසාට දේශනා නොකළහ. අත්දැකීම්වලින් ලද යහපත් දේ පිළිපදින ලෙසත් අයහපත් අවැඩම සලසන දේ නොකරන ලෙසත් ජනතාවට දැනුම් දුන්හ. බුදුසිරිතේ එය තවත් යහපත් ගුණධර්මයක්‌ වේ. ඒ බෝධිසත්ව අවධියේ පටන් සසර ගමනේ පෙරුම්පුරන විට තමන්ට ලැබුණු නරකම අත්දැකීම් මිනිසුන්ට විඳින්නට ඉඩ නොතැබීමය. ලැබීමට උනන්දු කළේ යහපත් වූ ප්‍රතිපත්තීන්ය. මෙය ගුණබර මවකගේ සහ පියකුගේ ක්‍රියාකලාපයට සමානය. බුදුරජාණන් වහන්සේ බුදු අම්මා, බුදු තාත්තා යනුවෙන් හඳුන්වන්නේ ද මේ නිසාය.
කටුක අමිහිරි දුක්‌වේදනා දරුවන් ලබනවාට කිසිදු මවක්‌ හෝ පියෙක්‌ කැමැති නොවෙති. තමන් ලද සියලු සැපසම්පත් තමන්ටත් වඩා දරුවන්ට ලබාදීමට ඔවුහු උත්සාහ කරති. බුදුරජාණන් වහන්සේද එසේ ක්‍රියාකළහ. වසර හයක්‌ දුෂ්කර ක්‍රියාකිරීමෙන් පසු එය නිරර්ථක උත්සාහයක්‌ බව උන්වහන්සේම ප්‍රත්‍යක්‍ෂ කරගත්හ. ශරීරයට අධික දුක්‌දීම හෙවත් අත්ථකිලමථානු යෝගයෙහි හෝ ශරීරයටඅධික සැප ගෙනදීම හෙවත් කාලමුඛල්ලිකානු යෝගයෙහි නියෑළීමෙන් ලද හැකි දෙයක්‌ නොවන බව තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ තම පළමු ධර්ම දේශනාවේදීම පැහැදිලි කරන්නේ එම අන්ත දෙකෙන්ම බැහැර විය යුතු බවය. මම දුක්‌විඳි නිසා නුඹලාත් දුක්‌විඳිය යුතු යෑයි බුදුරජාණන්වහන්සේ කිසිදු විටෙක දේශනා නොකළහ.
මෙයින් පසු උන්වහන්සේ ලද සම්බුද්ධත්වය ලබන ආකාරය පිළිබඳව අනුශාසනා කළහ. වෙනත් දර්ශනවල කිසිම අවස්‌ථාවක ශාස්‌තෘවරයාගේ තත්ත්වයට පත්වන ලෙස කියා නැත. එහෙත් ඕනෑම පුද්ගලයකුට පාරමිතා පිරීම මගින් බුද්ධත්වයට පත්විය හැකි බව දේශනා කළහ. මේතුළින් ප්‍රකට වන්නේ සැබෑ මනුෂ්‍යයකුගේ අත්දැකීම් මගින් දිනාගත් චරිතයක්‌ බවය. 'දිනාගත්' යන්නෙන් අදහස්‌ වන්නේ ලෞකික ලෝකය පරදවා දිනාගත් දෙයක්‌ නොවේ. මිනිස්‌ සිතක පහළ වන රාග, දොaෂ, මෝහ මුල්කරගත් දුක්‌ ගෙන දෙන කෙළෙස්‌ ඉවත් කිරීමෙන් තමා තුළම ලද දිනුමයි.
බුද්ධ ධර්මය දේශනා කර අද වනවිට වසර දෙදහස්‌ පන්සියය හැටද ඉක්‌මවා තිබේ. මෙය එදා මෙන්ම අදටත් මතුවටත් ලෝකයේ ඕනෑම රටක ඕනෑම සංස්‌කෘතියක ජීවත්වන පිරිසකට ගැළපෙන්නේ මිනිස්‌ සිත මුල්කරගෙන දේශනා කළ දහමක්‌ නිසාය. මිනිස්‌ සිතක පහළ විය හැකි බරපතළම දුර්ගුණ වචන තුනකින් උන්වහන්සේ සඳහන් කළා. ඒ ලෝභ, දොaෂ, මෝහ යනාදී වශයෙනි. මේ ධර්මතා සෑම මිනිස්‌ සිතකම පහළවිය හැකිය. ඉතිහාසය අනුව ලෝකයේ ආරම්භයෙත් වර්තමානයේත් සියලුම කායික මා මානසික ගැටලුවලට මුල ලෝභය හෙවත් තෘෂ්ණාව බව පැහැදිළිය. ලෝභය හටගන්නේ සිතෙහිය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් අනුශාසනා කළේ 'මම' කියන වචනයෙන් විග්‍රහ කරන මමත්වය හෙවත් සිතින් අල්ලා ගැනීම දුරුකිරීමටය. මමත්වය දුරු කළහොත් ලෝකය පිළිබඳව ඉන්ද්‍රියන් තුළින් ලබන සතුට හෙවත් පිනවීම ලබන්නට අපහසු බව යමකුගේ සිතට ගැටලුවක්‌ මතුවිය හැකිය.
එය එසේ නොවන බව ධර්මය විමසා බලන විට පැහැදිළි වේ. මේ පවත්නා සාමාන්‍ය ලෝකයෙන් පළා යැමට බුදුරජාණන් වහන්සේ කවර අවස්‌ථාවක හෝ දේශනා නොකහළ. ලෝකයෙන් පළා යාමටවත් ස්‌වභාවධර්මයට විරුද්ධව කටයුතු කිරීමටවත් පහසු නැත. උන්වහන්සේ වදාළේ ලෝකය දකින ආකාරයෙහි වෙනසක්‌ ඇති කළ යුතු බවයි. ඉන්ද්‍රියන් තුළින් හසුකරගන්නා සියලු දැ සම්මුතියට අනුව ලස්‌සනයි.,සුඛයි කියමින් ඒවා පරිහරණය කිරීම වරදක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ලස්‌සනයි සුඛයි යනුවෙන් ඉන්ද්‍රියන් තුළින් හසුකරගන්නා සෑම වස්‌තුවක්‌ම වෙනස්‌වන බව දිරාගෙන යන බව එකම ආකාරයකින් නොපවතින බව තේරුම්ගත යුතු බවය.
සරල වචනයෙන් සඳහන් කරන්නේ නම් මම කියා තමන්ට කතා කරමින් විසිතුරු ඇඳුමකින් සැරසී එහි හැඩය ගැන සතුටු වුවත් මෙය වෙනස්‌වීමට ගොදුරුවන බව දිරායන බව අමතක නොකළ යුතුය. දිරායැම, වෙනස්‌වීම යම් වස්‌තුවක අනිත්‍ය බව සිහිපත් කිරීම සිනාවට කරුණක්‌ නොවේ. මෙලොව පවත්නා පණ ඇති පණ නැති හැම වස්‌තුවකම ඇති අනිත්‍ය බව බුදුරජාණන් වහන්සේ ඇති කළ දෙයක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේ විසින් සිදුකළේ විද්‍යාඥයකු මෙන් ලොව ස්‌වභාවයෙන් පවත්නා දෙයක්‌ මතුකොට පෙන්වාදීම පමණි.
බුදුරජාණන් වහන්සේ විසින් අනිත්‍ය බව දේශනා කළේ ඇයිදැයි කෙනකු විමසිය හැකිය. ලෙඩ දුක්‌වලට හේතුවන විෂබීජ පිළිබඳව හෝ වෛරස්‌ පිළිබඳව යමෙක්‌ සොයාගෙන ඒ රෝගයෙන් වැළකෙන මග කියාදීම වරදක්‌ද? හැබෑවටම එය උතුම් ක්‍රියාවකි. බුදුරජාණන් වහන්සේ ද සිදුකළේ සෑම මනුෂ්‍යයකුම අකැමැති හැම, වැළපීම, දුක-වේදනා ඇතිවීමට හේතුවත්, ඒ හේතුව නැතිකරන ආකාරයත්, නැති කරන්නට ක්‍රියා කළ යුතු මාර්ගය දේශනා කිරීමයි.
සදාතනික වූ අකාලික වූ බෞද්ධ දර්ශනය සෑම තැනටම එක සේ ගැළපුනාක්‌ මෙන්ම ඒ මගින් ප්‍රතිඵලද ලැබිය හැකි බව අපට පැහැදිළි වේ. වර්තමානයේ ඇතිවී ඇති පොදුවේ සමාජය පිළිගත් සදාචාරයෙහි පිරිහීම කුමන හේතුවක්‌ නිසාදැයි බෞද්ධ දර්ශනය තුළින් විමසා බැලිය යුතුය. එනම් බුදුන්වහන්සේ දේශනා කළ මිනිස්‌ සිතක ස්‌වභාවයෙන් පහළ වන රාග, දොaෂ, මෝහ වැඩීම එසේම පවතිද්දී ඒවා පාලනය කිරීමට හා සන්සිඳීමට උත්සාහ නොගැනීමයි. වර්තමානයේ මිනිස්‌ සිත අද වගේම අවුරුදු දහස්‌ ගණනකට පෙරාතුවත් එක්‌ ආකාරයකින් බල පැවැත්විණි.අ තීතයේ බහුභාර්යා, බහුපුරුෂ සේවනය වැනි සිත මහත් සේ රාගයට බැඳුණු අවස්‌ථා පැවතුණ බව ත්‍රිපිටකයට අනුවත් ලෝක ඉතිහාසයට අනුවත් පෙනේ. එවැනි ගැඹුරු ස්‌වභාවයක්‌ වර්තමානයේ දක්‌නට නැත. එයින් අදහස්‌ කළේ නායකත්වයේ පටන් අන්තඃපුරය වැනි අවස්‌ථා සලසා ගැනීම පිළිබඳවය.
එදා සදාචාරය ලෙස සැලකුවේ මංගල සූත්‍රයේ සඳහන් කරුණු 38ක්‌ පෙන්වාදෙන යහපත් කරුණු ආදිය ඇතුළත් කරගත් ගුණාංගය. එනම් හොඳ මගට පැමිණි වැඩි පිරිසක්‌ ඒවාට උනන්දු කරවීමත්, ඒ මග යැමට මාර්ගය කියාදීමත්ය. වර්තමානයේදීද එදා පැවැති යහපත් දෙයට යහපත් දේ ලෙස එනම් සදාචාරාත්මක දැ ලෙස පිළිගත්තත් ඒවා පිළිපදින හා ඒ මග යන්නට උනන්දු කරවන පිරිසත් අවස්‌ථාත් අඩුවී ඇත. සදාචාරාත්මක පිරිහීම ලෙස අප දකින්නේ මේ ටිකය.
සතුන් මැරීම, සොරකම, කාමමිච්ඡාචාරය, බොරුකීම, මත් මතුර භාවිතය මේවා අදත් පවතී. එහෙත් එහි වැඩි පාලනයක්‌ තිබිණි. අද පාලනයකින් තොරව ඒවා වේගයෙන් ක්‍රියාත්මක වන බවක්‌ දක්‌නට ලැබේ. මෙයට හේතුව බාහිර වස්‌තුවල ඇති මායාකාරී ස්‌වභාවය යෑයි කෙනකුට සිතිය හැකිය. සැබෑවටම සිදුවන්නේ සිත පාලනයකින් තොරව අයාලේ ගමන් කරන්නට ඉඩ හැරීමය. මේ නිසා බුදුදහම එදා වගේම අදත් මනාව පිළිපැද්දේ නම් සදාචාරාත්මක පැවතුම් අප අතර පවත්වාගත හැකිය.
වර්තමානයේ බෞද්ධ දර්ශනය පමණක්‌ නොව අනෙකුත් ආගම්වලද ඉගැන්වීම් දැනුමටත් පොතපටත් හා කතා කිරීමටත් සීමාවේගෙන යන බව කිව හැකිය. මින් අදහස්‌ කරන්නේ සියලු දෙනා ධර්මය නොඅදහන බවක්‌ නොවේ. වැඩි පිරිසක්‌ ධර්මයෙන් ඈත්වන බවය. අද ඇති එක්‌ පිළිගැනීමක්‌ නම් පන්සිල් රකින අයට වඩා පන්සිල් කියන අය පමණක්‌ දහස්‌ ගණනින් වැඩි බවය. බුදුරජාණන් වහන්සේ වදාළේ පර්යාප්ති එනම් ඉගෙනගන්න, ප්‍රතිපත්ති ඉගෙනගත් දේ විමසා බලා නිවැරැදි යෑයි තේරුම්ගත් දේ අනුගමනය කරන්නට කියාය. අවසානයේ ඵලය ලැබෙන තුරු අත් නොහැර ක්‍රියා කළ යුතු බවත්ය.
බෞද්ධ දර්ශනය වැනි සදාතනික ධර්මයක්‌ අප අනුගමනය කළත් සදාචාරාත්මක වෙනස්‌ වීමක්‌ද ඇතිවී යෑයි පෙනෙන්නේ ප්‍රතිපත්තිය හා ප්‍රතිවේදය බොහෝ අය තුළ නොමැති නිසාය. බුදුන් දවස යම් යම් සදාචාරාත්මක පිරිහීම් ඇතිවන විට බුදුරජාණන්වහන්සේ විවිධ ධර්ම කරුණු හා විනය නීති පැනවූහ. කාලය වෙනස්‌ වෙද්දී වර්තමානයට අනුව ධර්මය ගැළපීමක්‌ යම් විනය නීති හෙවත් ශික්‍ෂා පද නොපැනවීමත් මෙම සදාචාරාත්මක වෙනස්‌වීමටඑක්‌ හේතුවක්‌ විය හැකිය.
මේනිසා බෞද්ධ දර්ශනයේ නාමයෙන් ත්‍රිපිටක දහම ගැනත් ගිහි පැවිදි උතුමන්ට කාලයට අනුව ධර්මය ගළපා හා පහදා බෙදා දීමත් යම් යම් විනය නීති බෞද්ධ දර්ශනයට අනුව ඇතුළත් කිරීමත් හඳුන්වාදීමට පැවරී ඇති කාර්යයකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දුසිරිත් දනන්ගේ සදා උරුමය; සතර අපාය

පූජ්‍ය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති
මාවනානේ සෝමින්ද හි

යාදිසං වපතෙ බීජං තාදිසං හරතේ ඵලං
(වපුල බිජුවට අනුව අස්‌වනු ලැබෙනු ඇත)

සත්වයෝ උපදිති. මැරෙති. යළි උපදිති. දිගු ගමනක නිරත වෙති. ඔවුහු සැපයට කැමැති වෙති. සැපවත්හු ඇති සැපය තර කර ගැනීමටද දුක්‌පත්හු ඉන් මිදීමටද වෙර දරති. මේ සසර ස්‌වභාවයයි.

කෙලෙස්‌ බර සත්ත්වයෝ කැමැති වුවත් නොවූවත් සසරින් මිදෙන තෙක්‌ මෙම අනුල්ලංඝනීය තත්ත්වයට මුහුණ දිය යුත්තාහ. එනිසාම නුවණැතියන්ගේ අවධානය යොමු විය යුතු කරුණු දෙකක්‌ වෙයි. ඒ දුක්‌ඛ දොaමනස්‌සයන්ගෙන් මිදී සැනසිල්ලේ ජීවත්වීම හා මරණින් මතු දුගතිගාමී නොවී සුගතියෙහි ඉපදී සුවසේ කල් ගෙවීමත්ය. මේ කරුණු ඉබේම හෝ දේව කැමැත්තකින් සිදුනොවන හෙයින් ඊට අදාළ දේ තමා විසින් සපයාගත යුතුය.

මනුෂ්‍යයෝ ජීවත්වන්නේ අවුරුදු සියයකට අඩුකාලයකි. ඉන් ඔබ්බට සසරදී ජීවත්වන කාල කල්ප ගණනින් ගිනිය යුතු දීර්ඝ කාලයකි. එබැවින් නුවණැත්තන් විසින් මෙලොව ගැන කල්පනා කරනවාට වැඩියෙන් පරලොව ගැන සිතිය යුතුය. 'මරණං ධම්මිකං සෙයේ‍යා - යං චෙ ජීවේ අධම්මිකං' යෑයි අධාර්මික ජීවත්වීමට වඩා ධාර්මික මරණය වටනේ යෑයි වදාළෝ ඒ දීර්ඝ සංසාරයේ සැනසිල්ල ජීවත්වන කෙටි කාලයේ කරනු, කියනු සිතනු ලබන දෙයින් තීරණය වන හෙයිනි.

අනවරාග්‍ර සංසාරයේ සැරිසරන සත්වයන්ට ඉපදීම සඳහා භූමි තුනක්‌ වෙයි. කාම භූමිය, රූපභූමිය, අරූප භූමිය වශයෙනි. තපසින් සිත වඩා කෙලෙස්‌ තාවකාලිකව යටපත් කළ ධ්‍යානලාභීහු රූප භූමි හා අරූප භූමිවල උපදිති. කෙලෙස්‌ සහිත සතවයෝ කාම භූමියෙහි උපදිති. පසිඳුරන් පිනවමින් ආශාවන් සතපමින් සසර සැරිසන්නන් හට වෙන්වූ කාම භූමි සුගති දුගති යෑයි දෙකොටසකට වැටේ. මිනිස්‌ ලොවත් දෙව්ලෝ සයත් සුගති වෙයි. සතර අපාය දුගති යයි.

අපි මිනිස්‌ ලොව ස්‌වභාවය දනිමු. මව් කුසදී මහා දුකක්‌ විඳ මෙලොවට බිහිවී ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සිවු බියෙන් පීඩිතව අවුරුදු සියයකටත් වඩා අඩුප්‍රමාණයක්‌ ආයුෂ විඳින සත්ව කොට්‌ඨාසයකි මිනිස්‌ ලොව වසනුයේ. සිරුර රැකීමට පෝෂණය කිරීමට ජාති, ජරා, ව්‍යාධි මරණ යන සිවු බියෙන් මිදීමට මෙන්ම ඉගෙනීමට රැකියා කිරීමට අඹු දරුවන් ලබාගැනීමට ගොවිතැන ඉඩකඩම් රැකීමට වශයෙන් දුක්‌ ගොඩක්‌ මැද දිවි ගෙවුනද සුඛ සහගත අනුභූතීන්ගෙන් පසිඳුරන් පිනවමින් තාවකාලික වූ හෝ සැනසිල්ලක්‌ සහිත තැනක්‌ නිසාත් උසස්‌ වූ මනසකින් යුක්‌තව උභයාර්ථ සාධනයටත් ලොව්තුරා තත්ත්වයන් සාධනයට තෝතැන්නක්‌a වන නිසාත් මිනිස්‌ ලොව සුගති සංඛ්‍යාවෙහිලා ගැනේ. 

කරන ලද දානාදී පුණ්‍ය කර්මයන්ගේ මහිමයෙන් දිව්‍ය ආත්ම භාවයන් ලද පිරිස්‌ උපත ලබන ස්‌ථාන දිව්‍ය ලෝaකයෝ වෙති. ඒවා චාතුර්මහාරාජිකාදී සයක්‌ වේ. දෙවියෝ මිනිසුන් විසින් ස්‌පර්ශ කළ නොහැක්‌කෝ වෙති. දැකිය නොහැක්‌කෝය. මරණ බිය පවා නොහැඟෙන තරමේ සැපසම්පතින් ආඪ්‍යව දිවි ගෙවති. මව් කුස වාසය කර හඬ හඬා නොඉපදෙති. අංග සම්පූර්ණව පහළවෙති. (ඕපපාතිකව). ඔවුන්ට ජරාවක්‌ නැත. සිරුර හෝ වස්‌ත්‍රාභරණ කිළිටි නොවේ. ඩහදිය නොදමයි. ආයුෂ දීර්ඝය. ආහාර සැපයීමට වෙහෙසවීමක්‌ නොවේ. ප්‍රීතිය ආහාර කොට නැටුමෙන්, ගැයුමෙන් සිත් පිනවමින් වාසය කිරීමට දෙවියන්ට අවස්‌ථාව ඇත. ඒ පුණ්‍ය විපාක වශයෙනි. 

සැපතින් සැනසිල්ලෙන් තොරවූ තැන අපාය වේ. කරන ලද දුසිරිත්හි පාපකර්මයන්හි විපාක විඳීමට නියමිත පාපකාරීහු මේවායේ උපදිති. දුෂ්ට කර්කශ අනිෂ්ට ස්‌වභාවයෙන් යුක්‌ත හෙයින් ඒවා දුගති නමින්ද හැඳින්වේ. එවැනි භූමි සතරකි. නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය හා අසුර නිකාය යනු ඒවාය.

නරකය - අතිශයෙන් කටුක වූ වේදනාවන්ගෙන් පිරි 'නරකය' සංජීව කාල සූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචිය යෑයි මහා නරක අටකි. සතරැස්‌ වූ මහා නරකය එක්‌ පසෙකින් සතරක්‌ බැගින් වූ ඔසුපත් නමින් හැඳින්වෙන කුඩා නරකයෝ වෙති. ඒ අනුව එක්‌ මහා නරකය කුඩා නරක දහසයක්‌ වේ. මහා නරක අටක්‌ ඒවා සතර පස එක්‌ පැත්තකින් සතරක්‌ බැගින් කුඩා නරකයන් වන හෙයින් එක්‌ නරකයක්‌ වටා කුඩා නරක දහසයකි. ඒ අනුව නරකයන් එකසිය තිස්‌ හයක්‌ වේ. 

උපන් නිරි සතුන් යම පල්ලන් විසින් රත්වූ පොළවෙහි පෙරළඹින් කැබලිවලට කපද්දීත් තවදුරටත් ජීවත්වීම නිසා සංජීව නරකය නම් වේ. අපාගත වූවන් ගිනිගත් පොළොවෙහි හොවා වෑයෙන් ලී සසින්නා සේ පිසින්නා වූ ස්‌ථානය කාලසූත්‍ර වේ. රත්වූ පොළොවෙහි ගිලී ඇති අපාසතුන් මඩිමින් තලමින් පර්වතයන් පෙරළෙන ස්‌ථානය සංඝාත නම් වේ. සිරුර ඇතුළත හා පිටත දැඩිව දවනු ලැබීමෙන් මහා විලාප නැගෙන ස්‌ථානය රෞරවය වේ. දැවෙන සිරුරින් අතිශය දුකට පත්ව මහත්ව වූ විලාපයන්ගෙන් පිරිනරකය මහා රෞරව වන අතර ගිනියම්වූ යපොළොවෙහි ගින්නෙන් දැවෙමින් යකඩ උල්වලින් අමුණා තබන නිරිසතුන් ඇති තැන තාප නරකය වේ. තාප නරකයේ මෙන්ම අතිශය කුරිරු අයුරින් දීර්ඝ කාලයක්‌ පැසෙන තැන ප්‍රතාප වේ. සදිසාවෙන් මතුවන ගිනිදැල්වලින් වෙලී අතොරක්‌ නැතිව දැවෙමින් අනන්ත දුක්‌ ඇති නරකය අවිචීය වේ.

ඒ හැර අතිශයින් පිළිකුල් සහගතවූ පණුවන්ගෙන් පිරි අසූචියෙන් පිරි ගූථ නරකය. අළුයෙන් සැඟවුණු ගිනි අඟුරුවලින් පිරි කුකුක්‌කල නරකය, තියුණු කඩුද, දැලිපිහියා වැනි කොළ ඇති වෘක්‌ෂ ලතායෙන් යුත් අසිපත් නරකය හා තියුණු කටුවලින් පිරි ඉඹුල්ගස්‌ ඇති සිම්බලිවන නරකය යෑයි තවත් නරකයන් සතරක්‌ ඇත්තේය. ගනදුරින් හා සීතලෙන් පිරි ලෝකන්තරික නම් වූ නරකයක්‌ද වන්නේය.

මේ නරයන්හිදී නිරි සතුන් අසීමාන්තික වධ වේදනාවන්ට ගොදුරු වන්නේ නමුදු ඔවුන් කළ පාප කර්මයන්ගේ දුර්විපාකයන් කෙළවරක්‌ වනතුරු ඔවුන්ගේ මරණයත් (චුත වීමක්‌) සිදුනොවේ.

ආනන්තරීය පාප කර්මයන් ප්‍රමුඛ වූ පස්‌ පව් දස අකුසල් හා සමාජ විරෝධී පරපීඩක ක්‍රියාවන් මෙන්ම ඊර්ෂ්‍යා, ක්‍රෝධ, නපුරු සිතුවිලිවලින් මඩනා ලදුව සමාජය පීඩාවට පත් කිරීම, දිළින්දන් පෙලීම, සොර මැර කම් කිරීම, ගුණවතුන්ට හා සිල්වතුනට අපරාධ කිරීම, මිත්‍ර ෙද්‍රdaහී වීම, සතුන්ට වද හිංසා දීමෙන් උන්ගෙන් වැඩ ගැනීම, තුණුරුවන්ට නිග්‍රහ කිරීම, තුණුරුවන් සතු හෝ දැහැමියන් සතු වස්‌තුව පැහැර ගැනීම, අන්‍යයන්ගේ නිවෙස්‌ ගිනි තැබීම, පණ පිටින් සතුන් පිsලිස්‌සීම, කාමුක අපරාධ කිරීම, මිසදිටු ගැනීම ආදී පාප කර්මයන්හි ප්‍රතිපල ලෙස නරකයන්හි උපත ලැබෙනු ඇත.

තිරිසන් අපාය 

අපා, දෙපා, බහුපා සත්වයන් හා විවිධ ස්‌වරූප ගත් තිරිසන් සත්ව සමූහයාම තිරිසන් අපාය වේ. උපනූපන් තැන්වල නිරතුරු බියෙන් යුතුව පිළිසරණයක්‌ නැතිව දුක්‌ත ජීවිත ගත කිරීම තිරිසන් අපායේ උරුමයයි. තිරිසන් අපායට නියමිත නිශ්චිත ස්‌ථානයක්‌ නැත.

ප්‍රේත අපාය

අතිශයින් විරූපී, පිළිකුල් සහගත දුටුවන්ට අප්‍රිය වූ ශරීර ඇත්තෝ ප්‍රේතයෝය. දුක පමණක්‌ම උරුමය කරගත් ප්‍රේතයෝ කුසගිනි නිවෙන්නට ආහාරයක්‌ පවස නිවන්නට වතුරක්‌ කිසිදා නොලබති. කොතෙක්‌ ආහාර ජලය නොලදත් අකුසල බලය නිසා නොමියෙති. බොහෝ කල් ජීවත්වෙති. අතිශය අපිරිසිදු දේ වන සෙම්, සොටු, අසූචි, ලේ, සැරව, මළකුණු, ඉවතලන බත් සුළු ආදිය ආහාර වශයෙන් ගනිති. ප්‍රේතයන්ටද නියමිත භූමියක්‌ නැත.

අසුර නිකාය

අසුරයෝ දේව ගණයට අයත් වූවෝ හා ප්‍රේත ගණයට අයත් වූවෝ යෑයි දෙකොටසකි. ෙච්පචිත්තී, සුචිත්තී, පහාරාද වැන්නෝ දේව ගනයට අයත් අසුරයෝය. ඔවුහු වරින් වර දුකසැපවලට මාරු වෙති. ප්‍රේතයන් මෙන් සදහටම දුක්‌ විඳින අසුරයෝ ප්‍රේත කොට්‌ඨාසයට අයත් වෙති.

කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක්‌ දැඩිවෙයි ගිනි සේ

පිනෙන් පොහොසත් වූවෝ සුවපත්වෙති. දුසිරිතෙහි නිරත වූවෝ දුකට පත්වෙති. සත්වයෝ කෙලෙස්‌ ඇති තෙක්‌ සසරේ ඇවිදිති. ඒ අතරතුර රැස්‌ කරන කර්මයන්ගේ මහිමයෙන් තමාගේ උරුමය තමා විසින්ම නිශ්චය කර ගනිති. සුගතියට හෝ දුගතියට හිමිකම් කියනුයේ ඒ අනුවය. මිනිසත් බව ලැබූවකු යම් හෙයකින් දුගතියට (අපායට) පත්වුවහොත් එය බරපතළ වරදවා ගැනීමකි. එනිසාම දේශකයෝ පවෙහි, අකුසලයෙහි බිහිසුණු බව අවධාරණය කරමින් දුගතියෙන් මිදීමට සුගතිය පත්වීමට මගපෙන්වා දෙති.

ඕවිටිගල ශ්‍රී සුනන්දාරාමාධිපති කළුතර දිස්‌ත්‍රික්‌කයේ උප ප්‍රධාන සංඝනායක රාජකීය පණ්‌ඩිත ඕවිටිගල සුමේධ හිමියන් ස්‌ව විහාරස්‌ථානයට තවත් විහාරාංගයක්‌ එක්‌ කරලමින් සතර අපාය මූර්තිමත් කරවන්නට යෙදුනහ. නිර්මාණ ශිල්පී බෝපිටියේ ටී.එම්.ඩී. අමිල ප්‍රදීප් සැදැහැතියන්ගේ සන්තානයෙහි සංවේගය දනවන අයුරින් එය නිමවා එම සතර අපායේ ඡායාරූපයකි මෙම ලිපියේ දැක්‌වෙන්නේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤