දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ගල්විහාර ඔත් පිළිමයේ අප නොදුටු ආශ්චර්යය....


කීර්ති අමරසේකර මහතා


රාත්‍රි කාලයේ ගන්නා ලද ඡායාරූපය පහළින් ද
දිවා කාලයේ ගත් ඡායාරූපය ඉහළින් දැක්‌වේ.


රළු-පරළු කළුගල් පර්වත වෙඬරු මෙන් මෘදු-මොළොක්‌ බවට පත්කර ඒ මත සුසිනිඳු විසල් හැඩ-රුව තනන්නට හෙළ කලාකරුවා දැරූ කුසලතාව ගැන අටුවා ටීකා ලියෑවෙන්නට උවමනාය. එහෙත්, අද මෙන්ම එදත් මහා පැරකුම්, නිශ්ශංකමල්ල, ගජබා, ධාතුසේන, මහසෙන් වැනි රාජ-රාජ මහා මාත්‍යාදීන්ගේම නම් ගම් මේ විශ්මිත කලාකෘති ඉදිරියේ ලියෑවුණා මිස අදහාගත නොහැකි සේ කළුගල් පිළිරූන්ට පණපොවා ඒ අබියස අප දණින් වැටෙන්නට තරම් විශ්වීය ශක්‌තියක්‌ මේ තුළ ගැබ්කළ හෙළ කලාකරුවා (ගල්වඩුවා) ගැන කෙටියෙන් හෝ සඳහනක්‌ ඇත්තේ කොතැනද?

ලියනාඩෝ ඩාවින්සි, මයිකල් ආන්ජලෝ, පැබ්ලෝ පිකාසෝ වැනි කලාකරුවන්a ගැන ලෝකයක්‌ කතාකරද්දී අවුකන, ගල්විහාරය, සමාධි බුදුන්ටත් දැස්‌ දුන් මිනිසා සොයා කලාවැව හෝ පැරකුම් සමුදුර ඉස්‌මත්තේ කැලෑව පීරන්නට අද අපට සිදුව තිබේ. ගතින් දුබල වුවත් සිතින් තවමත් තුරුණු වියේ ඇති මේ මිනිසා ඉළුක්‌ හෙවිලූ, කටුමැටි පැලක, වැල් ඇඳක, පිල් කණ්‌ඩියක සැඳෑ සමය ගෙවනු පෙනේ. මේ අතර අවුකන හෝ ගල්විහාරේ බුදුන් දැක, කාගේවත් හව්හරණක්‌ නැතිව ජීවිතය අද තනිකඩව අසරණව ගෙවන ඒ විශ්වීය නිර්මාණයේ සැබෑ "හිමිකරුවා" දකින්නට ඉඳහිට හෝ ඔහුගේ පැල්පතට එබිකම්කරන මිනිසුන්ද අප අතර නැතිවා නොවේ. සුනිල් එදිරිසිංහයන් ගයන "මේ තරම් සියුමැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා....


මම ගියා අවුකන බුදුන්ටත් දැස්‌ දුන් මිනිසා සොයා...."

නමැති අප හදවත් තුළ මෑත වකවානුවේදී පහන් සංවේගය දැන වූ ගීතය රචනා කළ නව පරපුරේ ගීත රචක රජී වෙල්ගම එවන් එක්‌ කලාකරුවෙකි. හෙළ කලාකරුවාගේ අසරණ බව හා අල්පේච්ඡ දිවිය ගැන කතා කළ මෙවන් ගීතයක්‌ තවත් නම් ලියෑවී නැත. එහෙත් ඒ තුළවත් සෙල්මුවා බුදුන්ටත් පණ පෙවූ හෙළ කලාකරුවා නාම මාත්‍රයෙන් හඳුනාගත හැකි වේදැයි මම ඒ තුළට එබී බැලුවෙමි. නැත· ගීපද රචකයාද මේ හෙළ කලාකරුවාගේ අල්පේච්ඡ දිවිය පරදා ඔහුගේ උත්කෘෂ්ඨ කුසලතාවයම වර්ණනා කර තිබෙනමුත් එවැන්නක්‌ සිදුකර නැත. කෙසේ හෝ කෙතරම් මේ කලාකෘති ගැන වර්ණනා සිදුවුණද වර්තමානයේ දිවිගෙවන කවරකුද හෙළ කලාකරුවාගේ විශ්මිත, විශ්වීය කලා හැකියාව මැනවින් හඳුනාගෙන ඇත්දැයි මට තාමත් සැකයක්‌ තිබේ. ඒ අන්කිසිවක්‌ නිසා නොව ඉකුත් දා මා අතට පත්වූ තවත් එක්‌ නූතන කලාකරුවකුගේ අපූරු කලා කෘතියක්‌ කියවූ පසුවය. ඒ නම් රූප කාව්‍යයකි. ඡායාරූපයකි. මෙම ඡායාරූපය ගත් ශිල්පියා ගැන පළමුව යමක්‌ සඳහන් කිරීම වටී යෑයි මම කල්පනා කරමි. විශිෂ්ට ගණයේ පාරිසරික හා මංගල ඡායාරූප ශිල්පියකු වන ඔහු කලක්‌ පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු සේද කටයුතු කළේය. එහෙත් අද ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග ජය ගනිමින් පරිසර ගවේෂණයට ළැදියාවක්‌ දක්‌වන මොහු බොදු සංස්‌කෘතියට ළබැඳිව පුරාවිදු ස්‌මාරක යනාදියද තම ඡායාරූප කලාවේ නිර්මාණ අතරට ගොනු කරමින් සිටී. කීර්ති අමරසේකර නම් වූ හේ සුදු කෙස්‌ - රැවුලට අමතරව ශ්වේත වර්ණයෙන්ම ගත වසාගන්නෙකි. ඡායාරූපකරණයට සමාධි ගතවන ඔහුගේ තෙනෙත පරිසරයේ අපූරු හැඩතල සොයා පියමං කරනු පෙනේ. මේ දුලබ කලාකෘතිය බිහිවන්නේ ඡායාරූප කරණයේ එවන් නවමං සොයායන ගමනේදීය.

කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඔහු රාත්‍රී ඡායාරූප වැඩමුළුවක්‌ සංවිධානය කළේය. ඊට උචිත ස්‌ථානය කරගත්තේ පොළොන්නරුව පුද බිමේ ගල් විහාරයයි. මෙතෙක්‌ රාත්‍රී ගණ අඳුරේ සැඟව ගිය ගල් විහාරයේ පිළිමවහන්සේ එදා කැමරාකරුවන්ගේ තාක්‍ෂණික මෙවලම් අතර ගෞරවනීය සිත්තමක්‌ බවට පත්වෙමින් තිබිණි. ත්‍රීපාද අටවා ඒ මත රැඳවූ කැමරා කාචයේ මුව සම්පූර්ණයෙන්ම විවරව පවතිත්දී මේ කලාකරුවා තම සගයන්ගේ උදව්වෙන් විදුලි පන්දමක්‌ භාවිත කරමින් ගල් විහාරයේ ඒ අසම සම සැතපෙන සම්බුද්ධ පිළිමවහන්සේ ආලෝකයෙන් ආලේපනය කළේය. කැමරා තාක්‍ෂණයේදී භාවිත කරන "ආලෝක ආලේපනය" (Brush and Painting) ක්‍රමවේදය මෙහිදී භාවිතකළ කැමරාකරු නිශ්චිත කාල වේලාවකදී තම කැමරාවේ කාච විවරය (Shutter) වසා දැමුවේ මේ සෙල්මුවා ප්‍රතිමාවේ සියුම් කලාංග විමර්ශනය කිරීමේ අරමුණිනි. සැබෑමය· ඔහු හෙළ කලාකරුවාගේ නිර්මාණ හැකියාව මොනවාට අපට පසක්‌කර දෙන්නේ එසේ ඝන අඳුරේ ආලෝකය ක්‍රමානුකූලව හැසිරීමෙන් ග්‍රහණය කරගන්නා ලද මෙහි දැක්‌වෙන ඡායාරූපයෙනි. ගල්විහාරයේ මෙවන් සැතපෙන පිළිරුවක්‌ ඔබ මින් පෙර දැක නැති බව මාගේ විශ්වාසයයි. හෙළ ගල්වඩුවාගේ සියුම් නිර්මාණ හැකියාව ඉදිරියේ රළු-පරළු කළුගල් පරාද වී ඇති බව තව තවත් අපට මේ රූප කාව්‍යයෙන් නොකියයිද? "මේ තරම් සියුමැලිද කළුගල්" සිතන්නටවත් බැරි තරමට... දෙවියනේ ඔහු කෙලෙසද මෙසේ පණ පිහිටවූ පිළිමවහන්සේ කළුගල් තලාවක මූර්තිමත් කරන ලද්දේ. ගල්කටුවක්‌ද, මිටියක්‌ද තිබූ පමණින් මෙවන් විශ්මිත නිර්මාණයන් බිහි කළ හැකිවේද? ඒ සඳහා භාවිත කළ තාක්‍ෂණයක්‌ වේද? ඒ කවරකටත් වඩා කළුගලක්‌ මත චිත්‍රණය කෙරෙන ඒ මහා කලාකරුවාගේ මනඃකල්පිතය දෙස සමාධිගතවනු හැරෙන්නට ඒ පිළිබඳ වචනයකුදු කතාකරන්නට අපි සුදුස්‌සෝ වෙත්ද?

බලන්න! මේ විශේෂිත පිළිරුවේ වීදුරු තරම් විනිවිද පෙනෙන සිවුරු පටට මෑතින් දකින අප මහා තථාගතයාණන් වහන්සේගේ මස්‌ පිඬුවක පවා සජීවී බව හෙළ කලාකරුවා මේ පිළිමවහන්සේ වෙත කැඳවා ඇති අපූරුව. උදරයේ මස්‌පිඬු, නාභිය, දෙතන් වැනි සියුම් බාහිර රූපකාය පවා සලකා නොවේද මෙවන් විශ්මිත නිර්මාණ බිහිකර ඇත්තේ. ලියනාඩෝ ඩාවින්සි වැන්නවුන් අතර අපගේ හෙළ කලාකරුවා තැබිය යුත්තේ කොතැනද යන්න අපේ හිත දැන් අපෙන්ම ප්‍රශ්න කරනවා නොවේද?

දහවලේදී අප දකින ගල් විහාරයේ පිළිමවහන්සේ ගෙන්ද, අවුකන හෝ සමාධි පිළිමය හෝ මාලිගාවිල වැනි පිළිමයක අප මෙවන් සියුම් නිර්මාණ කාර්යයක්‌ මින් පෙර දැක තිබේද? ගල්විහාරයේදී සිදුකළ සියුම් ආලෝක පරීක්‍ෂාවේදී කීර්ති අමරසේකර නම් වූ කලාකරු තම කැමරාවට ග්‍රහණය කරගනු ලැබුවේ අඳුර විනිවිද ආලෝකයේ හරඹයෙන් ඔහු පිටපත් කරගත් සියුම් නිර්මාණ යථාර්ථයයි. අද අප එසේ කීවත් ගල් විහාරය පිදූ අතීත හෙළයා බොහෝ විට තම පියවි නෙතින්ම මේ නිර්මාණයන් දැකගන්නට ඇත. ඒ, රෑ රාත්‍රියේ පවා වන්දනාමානයන්ට විවරවූ මෙවන් විහාරවල පන්දම් එළියෙනි. එහෙත් අද අපි ගද්‍ය, පද්‍ය, රූප රචනාවලින් විස්‌තර කරන්නේ මහ දහවලේ ගිනි කාෂ්ඨකයේදී දකින පිළිම වහන්සේය. එනමුදු ආලෝකයේ උදව්වෙන් මෙවන් පිළිම පිරික්‌සීමේදී තවත් වටිනාකම් මේ තුළින් මතු කරගන්නටද අපට හැකිවනු නොඅනුමානය.

ඒ ගැන මේ ඡායාරූපයේ නිර්මාණ ශිල්පියා කීර්ති කියන කතාව මෙවැන්නකි.

"මම විශ්වාස කරන්නේ අතීත කලාකරුවා (ගල් වඩුවා) මේ නිර්මාණය කරන්න ඇත්තේ පන්දම් එළියක්‌ භාවිතයට අරගෙන කියලයි. තමාගේ කලා කෘතිය නරඹන්නන් විශ්මයට පත්කරවන දෙයක්‌ බවට පත්කිරීම සඳහා ඒ, ඒ තැන්වල රැඳවූ පන්දම් ආලෝකය භාවිත කරන්නට ඇති. ඒත් අද රාත්‍රියේදී මේ පිළිම වහන්සේලා බැතිමතුන්ට විවර වෙන්නේ නැති නිසා මෙසේ කැමරාවෙන් දුටු දර්ශන දකින්න ලැබෙන්නේ නෑ. දහවලේදී වැටෙන සෘජු, රළු ආලෝක ධාරාවන්ටත් මේ සියුම් නිර්මාණ දර්ශනය වෙන්නේ නෑ. කොහොමහරි අපි මේ පරීක්‍ෂාවට බඳුන් කළේ ගල්විහාරයේ සැතපෙන පිළිම වහන්සේ පමණයි. හිටි පිළිමය, හිඳි පිළිමය හා අවුකන පිළිමවලත් මේ වගේ විශේෂතා ඇති. අපි ඒවා අඳුනා ගත යුතුයි.

මේ ඡායාරූප ගන්නත් අපි විශේෂ අවසරයක්‌ ලබාගත්තා. මොකද පුරාවිද්‍යා භූමියට රාත්‍රී ඇතුළුවීම තහනම් නිසා" කීර්ති පවසයි.

සැබැවින්ම හෙළ කලාකරුවාගේ විශිෂ්ටත්වය ගැන කතාකළ කීර්තිගේ රූප කාව්‍යද ඇගයීමට ලක්‌විය යුත්තකි. මන්ද, මේ සියලු කලාකරුවන් නව නිර්මාණ කාර්යයේ සංවේදී මිනිසුන් වන නිසාම නොවේ. ඔවුන් හුදෙක්‌ දෑසින් දකින කලා නිර්මාණයෙන් නොනැවතී මේ විශ්වීය නිර්මාණවල සැබෑ නිර්මාණකරුවාද ඒ තුළ හඳුනාගැනීමට වෙර දරනා නිසාය.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප - කීර්ති අමරසේකර
2012 ජුලි 08 ඉරිදා දිවයින

අසිරිමත් ඇසළ පොහොය


බුදු මුවින් ගලා ගිය අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්‌වර රැඳි තුන් ලොව සනසා පෙරළා වදාහළ දම්සක කැරකුණු

ඇසළ මාසය යනු උත්සව මාසයයි. බුද්ධ කාලයට ඉහත පවා ඉන්දියාවේ ඇසළ උත්සවය පැවැත් වූ බවට සාක්‍ෂි තිබේ. අස්‌වැන්න වැඩිකර ගැනීම සඳහා දේව ස්‌තෝත්‍ර කිරීමටත්, ලබාගත් අස්‌වැන්නෙන් දෙවියන් පිදීම සඳහාත්, කප් සිටුවා ඒ ඒ දෙවිවරුන්ට ඇප කැප කිරීම සඳහාත් ඉන්දියාවේ ඇසළ පෝය තෝරාගෙන තිබූ බව පෙනේ.

සද්ධර්මරත්නාවලියේ අගසව් කතාවේ එන "ගිරග්ග සමඡ්ජ" නම් උත්සවයත්, ගුත්තිල කාව්‍යයේ වෙළෙඳුන්ට දක්‌නට ලැබුණු උත්සවයත්, පණ්‌ඩුකාභය රජතුමාගේ කාලයේ පැවැතුණ "කාර්තික" නම් කාමෝත්සවයත් දඹදිව පැවැති උත්සවවලින් බිඳී ආ ඒවා බවට සිතිය හැකිය.

ඇසළ සමය ලෝකයේ ම බුද්ධි ප්‍රබෝධයක්‌ ඇති කළ කාල පරිච්ඡේදයක්‌ ලෙස සැලකිය හැකිය. ග්‍රීසියේ සොක්‍රටීස්‌ නව දර්ශනයක්‌ බිහි කළේය. පර්සියාවේ සාසේටර් අභිනව ආගමක්‌ ඇරැඹීය. ලාඕසයේ සහ චීනයේ කොන්µsයුසියස්‌ අලුත් දර්ශනවාදයක්‌ පැතිරවීය. ක්‍රි. පූ. 543 දී ගංගා නිම්නයේ බරණැස ඉසිපතනාරාමයේදී බුදුරජාණන් වහන්සේ දම්සක්‌පැවැතුම් සූත්‍රය දේශනා කොට සත්‍ය හා යුක්‌තියේ ප්‍රභූත්වය මුළු විශ්වය පුරා පැතිරවූහ. ඇසළ පෝය බුදු සමයට සම්බන්ධ පුරාවෘත රාශියකගෙන් සමන්විතය. තුසිත පුරයෙන් නික්‌මුණ බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳගත්තේ ඇසළ පෝයදාකය. සුව නින්දේ පසු වූ දේවිය අපූරූ සිහිනයක්‌ දුටුවාය. සුදු ඇත්පැටවකු තෙවරක්‌ පැදකුණු කොට තම කුස තුළට ඇතුළු වූ අන්දම ඇය සිහිනෙන් දුටුවේ එම පිළිසිඳ ගැනීමයි.

මෙලොව බිහිවූ සිද්ධාර්ථ කුමරුවා තම පියාණන් විසින් සපයා තිබූ සියලු සම්පත් අනුභව කරමින් හැදී වැඩී විවාහ දිවියට ද පා තබා පසුව ගිහිගෙය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණය සිදු වූයේ ද ඇසළ පොහෝ දිනකය. තම මෙහෙසියට රාහුල කුමරු උපන්නේත්, ගිහිගෙය හැරගොස්‌ කෙස්‌ සිඳ පැවිදි වූයේත් එම ඇසළ පුන් පොහෝදාමය.

පැවිදි බවට පත්ව ගුරුවරුන් ඇසුරේ තමා සොයන මග වෙත ළඟා විය නොහැකි වූ නිසා තමා ම උත්සාහ කොට බෝමැඩ දී බුද්ධත්වයට පත් වූ සේක. පසුව කිරිපලු නුග රුක මුලට වැඩම කොට තමා සොයාගත් දහමේ ගැඹුර මෙනෙහි කරමින් අන් අයට එය වටහා ගැනීම අපහසු නිසා දේශනා පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු යෑයි සිතමින් සිටින අවස්‌ථාවේ සහම්පතී මහා බ්‍රහ්ම තෙමේ ශක්‍ර, සුයාම, සන්තු, සිතාදී පිරිවරාගත් දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ, 

"නස්‌සති වත භො ලොකො, විනස්‌සති වත භො ලොකො දෙසේතු භන්තේ භගවා ධම්මං දෙස්‌තු සුගතෝ ධම්මං" යනුවෙන් දහම් දෙසන ලෙස ආරාධනා කොට සිටින ලදී.

ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් කා හට දහම් දෙසිය යුතු දැයි සිතා බැලූහ. ආලාර කාලාම හා උද්දකරාම පුත්ත නම් තවුසන් දෙදෙනා සුදුසු යෑයි පෙනී ගියත් ඔවුන් දෙදෙනාම මේ වන විට මිය පරලොව ගොස්‌ සිටි නිසා ඊළඟට වඩාත් සුදුසු කොණ්‌ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්‌සජී යන පස්‌වග තවුසන් තමා දුෂ්කර ක්‍රියා කරන අවධියේ උපකාර කළ බැවින් ඔවුනට දහම් දෙසිය යුතු යෑයි සිතා ඔවුන් සිටින්නේ කොහේ දැයි දිවැසින් බැලූ විට බරණැස මිගදාස නම් වූ ඉසිපතනාරාමයේ සිටින බව දැන හුදෙකලාවම එහි වැඩම කළහ.

පස්‌වග තවුසන් උන් වහන්සේ වඩිනු දැක සිදුහත් තවුසාට තමා සොයන දේ හමු වී නැති බැවින් අප සොයා එන බවත්, අපි ඔහු පිළිගතයුතු නැති බවත්, ක්‍ෂත්‍රීය ගෝත්‍රය නිසා වාඩිවීමට ස්‌ථානයක්‌ පමණක්‌ සකස්‌ කොට දෙමු යෑයි කතිකා කරගත්තත් උන් වහන්සේ ළං ළංව වඩින විට නිසොල්මන් ව සිටිය නොහැකි විය. කෙනෙක්‌ ළඟට ගොස්‌ පා සිවුරු පිළිගත්හ. තව කෙනෙක්‌ අසුන් පැනවූහ. තවත් කෙනෙක්‌ මුව හා පා දෝනා පැන් තැබූහ. අනිත් අය පා පුටු තැබූහ.

පැන වූ අසුනෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ධම්මචක්‌කපවත්තන සූත්‍රය දේශනා කළ සේක. ධම්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම යනු ධම් සක්‌ පෙරළීමයි. පරම ප්‍රඥාධිගමන සඳහා පිහිට වන්නා වූ, නිර්වාණාවබෝධය සඳහා උපකාරී වන්නා වූ, තථාගතයන් වහන්සේ විසින් ම සොයාගන්නා ලද්දා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් යහපත් අවබෝධය, යහපත් කල්පනාවන්, යහපත් වදන්, යහපත් කර්මාන්ත, යහපත් දිවි පැවැත්ම, යහපත් ව්‍යායාම, යහපත් සිහිය, යහපත් සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ දේශනා කොට වදාළ සේක.

බුදු දහමේ සම්පිණ්‌ඩනයක්‌ ලෙස සැලකෙන තමන් විසින්ම සොයා ගනු ලැබූ සත්‍යයේ යුක්‌තියේ විශ්වාධිපත්‍යය පිළිබඳ ධර්ම චක්‍රය ඒ ඇසළ පුන් පොහෝදා මුළු විශ්වය පුරා ප්‍රවර්ධන කළහ. ධර්ම දේශනාව අවසානයේ දහ අට කෝටියක්‌ පමණ වූ බ්‍රහ්ම සමූහයා නිවන් දුටහ. පස්‌වහ මහණුන් පිළිවෙළින් රහත් ඵලයෙහි පිහිට වූහ.

ඉක්‌බිතිව යසකුල පුත්‍රයා ප්‍රධාන සිව් පනස්‌ දෙනකුටත් නිවන් අවබෝධ කරවූ බුදුරජාණන් වහන්සේ එය වර්ෂාධික කාලයක්‌ වූ නිසා එහිම වස්‌ විසූහ. එය උන්වහන්සේගේ ප්‍රථම වස්‌ විසීම විය. භික්‍ෂූන් වහන්සේ වර්ෂා දිනයන් හිදී චාරිකාවේ යෙදීම නුසුදුසු බවට කරුණු සැලවීමෙන් පසු "අනුජානාමි භිCඛවේ වස්‌සධිං උපගන්තුං" යනුවෙන් ඇසළ මස පුර පෑළවිය දිනයන්හී වස්‌ වැසීම අනුදැන වදාළේය.

බුදුරජාණන් වහන්සේට ලැබුණු පුද සැලකිලි හා ගරු සත්කාර කෙරෙහි ගිජු වූ තීර්ථකයන් ද තමා ද සෘද්ධි බලයෙන් හා ශීල ගුණයෙන් අනූන බැවින් පෙළහර පෑමට සූදානම් නිසා තමාට ද එම සැලකිලි ලැබීය යුතුයෑයි පවසා සිටියෙන් ඔහුගේ මානය බිඳීම සඳහා සැවැත් නුවර ගණ්‌ඩබ්බ නම් අඹ රුක අසලදී යමා මහ පෙළහර පෑවේ ද ඇසළ පොහෝ දිනකදීය.

තුසිත දෙව්ලොව සිටි මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම සඳහා බුදුන් වහන්සේ එහි වැඩම කළේත් ඇසළ පොහොය දිනකදීය. සුභද්‍රd නම් දුසිල් භික්‍ෂුවක්‌ බුදු සසුනට විරුද්ධ කතා පැතිරවීම නිසා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට අදිටන් කරගත්තේත් ඇසළ පොහොය දිනකදීය.

බෞද්ධාගම ලෝකයේ ප්‍රථමවරට ධර්ම දූත ව්‍යාපාරයක්‌ මෙහෙය වූ ආගමකි. දේශපාලන හා වාර්ගික සීමාවන් කිසිවක්‌ නොමැතිව යෙදුණ ධර්ම දූත මෙහෙවරේ දී එක දු ලේ බිඳක්‌ නොසෙල් වූ ආගම වන්නේ ද බුද්ධාගමයි. අනෙකුත් ආගම් ඒවා පැතිරවීමේ දී ලේ ගංගා ගලා යැමට සැලැස්‌වීය.

බෞද්ධ ධර්මය ලොව පැතිරවීමේදී උත්තරීතර කේන්ද්‍රස්‌ථානය ලෙස වැජඹුණ ඉසිපතනාරාමය විනාශ වුයේ ද ඉතාමත් ඛෙදජනක අන්දමිනි. ඒ 1191 නොවැම්බර් මස 11 වැනිදායි. දානය සකස්‌ වෙමින් තිබිණ. සංඝයා වහන්සේලා කුටිය තුළ දානය සුදානම් කරමින් වැඩ සිටියහ. මහම්මද් භක්‌තියාර් - ඊ බල්ඡ් ප්‍රමුඛ මුස්‌ලිම් ආක්‍රමණිකයින් ආරාමය වටකොට ගිනි තබා විනාශ කරන ලදී. තදින් දුම් වැදී ගිය නටබුන්, භික්‍ෂූන්ගේ පිළිස්‌සුණ ඇට සැකිලි, ළිප තැබූ බඳුන් ඒවායේ තිබූ ආහාර සමග දක්‌නට ඇත. මේවා සාරානාත් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. දම්සක්‌පැවතුම් සුත්‍රය දේශනා කළ මේ ඓතිහාසික ශුද්ධ භූමිය මෙසේ විනාශයට පත්විය.

බොදු සිරිතක්‌ එක ලෙස සබඳතාවක්‌ ඇති පොසොන් පෝය මේ රටේ ද බොහෝ කාලයක සිටම සුවිශේෂී තැනක්‌ ගනු ලැබුයේ දෙවි දේවතාවුන් සිහි කිරීම සඳහාය. දෙවි දේවතාවන්ට පුද සත්කාර කිරීමේ දී පෙරහැරට විශේෂ තැනක්‌ හිමි වේ. පෙර රජවරුන්ගේ කාලයේ සිටම පවත්වාගෙන එන ඇසළ සැණකෙළි ජාතික සැණකෙළියක්‌ හා ආගමික සංදර්ශනයක්‌ වශයෙන් පවත්වාගෙන එනු ලැබීය. මේ අතර මහනුවර ඇසළ සැණකෙළියට හිමි වන්නේ අද්විතීය ස්‌ථානයකි. මෙම පෙරහැරේ ආරම්භය පිළිබඳව ද විවිධ මත පළ වී තිබේ.

සුර - අසුර යුද්ධයේ අවසානය සිහි කිරීම සඳහා පෙරහැර පැවැත් වූ බවත්, ගජබා රජු සොළී රටට ගොස්‌ මේ රටෙන් රැගෙන ගිය පාත්‍රා ධාතුවත්, සිංහලුන් 12,000 වෙනුවට සොළීන් 24,000 කුත්, පත්තිනි සලඹත් ගෙන ආ බවත්, එම ජයග්‍රහණය සඳහා උපකාරී වූ විෂ්ණු, කතරගම, නාථ සහ පත්තිනි දෙවිවරුන්ට භක්‌තිය පුද කිරීම සඳහා පෙරහැර පැවැත්වීම ආරම්භ වූ බවත් මතයකි.

මහනුවර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මහ උපාලි සහ දෙවෙනි අරියමුණි ප්‍රමුඛ ස්‌වාමීන් වහන්සේලා සියම් දේශයෙන් මෙහි කැඳවා ඇසළ පුන් පොහෝදා උපසම්පදා කර්මය සිදු කරන ලදී. උපසම්පදා මංගල්‍යය සඳහා වැඩම කළ උපාලි මහ ස්‌ථවිරයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ඇසළ පෙරහැර පවත්වන අදහස හා ගෙනයන දේවාභරණ පිළිබඳ විස්‌තර දැන නිර්මල බුද්ධාගම පවත්නා මෙවැනි රටක වෛදික, හින්දු දෙවිවරුන් උදෙසා දේව පූජාවනට ප්‍රමුඛස්‌ථානයක්‌ දී ක්‍රියා කිරීම ගැන නොසතුට පළ කළ විට දළදා වහන්සේ කෙරෙහි අපිරිමිත භක්‌තියකින් හා ගෞරවයකින් කටයුතු කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බලවත් සේ සංවේගයට පත්ව දළදා පෙරහැර සකස්‌ කොට මංගල හස්‌තිරාජයා සකලාභරණයෙන් සරසා ධාතු කරඬුව පිටමත වඩා හිඳුවා දළදා පෙරහැර පළමුවෙන් ද, දේවාල පෙරහැර ඉන් පසුවත් ගමන් කිරීමට සලස්‌වා එය ශ්‍රේෂ්ඨ ජාතික, ආගමික හා සංස්‌කෘතික පූඤජයක්‌ ලෙස "දළදා පෙරහැර" ඉදිරිපත් කරන ලදී.

කතරගම ඇසළ සැණකෙළිය ද දෙවැනි වන්නේ මහනුවර දළදා පෙරහැරට පමණි. කතරගම පෙරහැරේ ඉතිහාසය ද කතරගම පුරාවෘත්තය තරතම නොපැහැදිලි ඉතිහාසයට සැඟවී ගොසින්ය. කඳකුමරුට කැප වූ මහා දේවාලයට අමතරව හින්දු භක්‌තිකයන් විසින් ගොඩනගන ලද තවත් දේවාල මෙහි ඇත. කතරගම දේවාල පෙරහැර ද අති විශාල ජනකායකගේ මනදොළ පුරවන්නකි.

ඇසළ සමයේ බොහෝ දෙනකුගේ සිත් සතන් සනසන තවත් කලා මංගල්‍යයක්‌ නම් රත්නපුර මහා සමන් දේවාල පෙරහැරයි. මෙය දඹදෙණියේ රජ කළ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ආර්ය කාමදේව නම් ඇමැති අතින් රජතුමා වෙනුවෙන් බාරයක්‌ ඔප්පු කිරීම සඳහා කරවා සුමන සමන් දෙවියන් වෙත කැපකරවන ලද්දක්‌ බව වංශ කතාවල සඳහන් වේ.

අරිට්‌ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනකු මහණ උපසම්පදාව ලැබීමත්, දුටුගැමුණු මහ රජතුමා රුවන් මහා චෛත්‍යය ගොඩනැගීම සඳහා ප්‍රථම ගඩොල තැන්පත් කිරීමත් ඇසළ පුන් පොහෝදා සිදු වූ තවත් සිදුවීම් දෙකකි.

ඇසළ පුන් පොහෝ දා ලෝ සතට හඳුන්වා දුන් මැදුම් පිළිවෙත හා ආර්යෂ්ටාංගික මාර්ගය පිළිබඳව මනා අවබෝධයක්‌ ලබාගෙන ඊට අනුකූලව ජීවත් වන්නේ නම් මෙලොව, පරලොව ජය ගෙන අවසාන ප්‍රාර්ථනය සාක්‌ෂාත් කරගත හැකි වනු නොඅනුමානය.

"පසළොස්‌වක පොහොය දොළහ" ග්‍රන්ථයේ කාරුණික අනුග්‍රහයෙනි.


කේ. ඩබ්ලිව්. බී. ජයවර්ධන