දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

කාමරාග නීවරණය

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති 
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි

“තත්ථ කතමං දුක්ඛ සමුදයං අරීය සච්චං? යායං තණ්හා පොණො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාහිනන්දිනී. සෙය්‍යථිදං?
කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හා” (ධම්මචක්ක දේශනාව) බුදුරජාණන් වහන්සේ දම්සක් දේශනාව අරඹමින් තණ්හාව තෙවැදෑරුම් බව වදාළේ ඉහත සඳහන් පරිදිය. සියලු සත්ත්වයන්ගේ පුනර්භවය සනිටුහන් ප්‍රධාන ක්ලේශය කාම තණ්හාව හෙවත් කාමච්ඡන්දය බව මෙයින් වදාළහ.
හැම සත්ත්වයෙක් ම තමා උපන් භවය කුමක් වුවත් ඔහු එය පි‍්‍රය කරයි. එම භවයට අයත් රූප, ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු අල්ලාගන්නා ඇස, කන, නාසය, දිව, කය, සිත යන පසිඳුරන්ට ගෝචර වන ඉහත කී රූපාදිය කෙරෙහි ඇල්මක් හටගැනීම ඒවා අල්ලා ගැනීම කාමයෙහි ස්වභාවයයි. මෙසේ උපදින තණ්හාව , කාමතණ්හා, භව තණ්හා , විභව තණ්හා යයි ත්‍රිභේද යි. කාම තණ්හා නම් කැමැති කැමැති අරමුණු කෙරේ සිතේ ඇලීමයි. භව තණ්හා නම් උපන් භවයෙහි ඇලීමයි. විභව තණ්හා නම් උපත් භවය හැර වෙනත් භවයක් නැතැයි යන විශ්වාසයයි. මේ පිළිබඳ විස්තර කරන බුදුරජාණන් වහන්සේ දිව්‍ය, මනුෂ්‍ය අපා යන එකොළොස් භවයන්හි 
ඉපිද ඒ ඒ භවයන්හි තිබෙන රූපාදි අරමුණුවල ඇලීම කාම තණ්හාවයි. රූපී, අරූපී (බ්‍රහ්ම) ලෝකවල ඉපිද එහි වූ සැප සම්පත් විඳීමේ ආශාව භව තණ්හා වයි. (මේවායින් උපන් සත්ත්වයා සදාකල්හි ඒවායින් ම ජීවත් වෙතැයි යන දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටියයි) කිසියම් භවයක උපන් සත්ත්වයා තුළ මේ භවය හැර වෙනත් භවයක් (උපතක්) නැතැයි යන විශ්වාසය විභව තණ්හාවයි. “කාම භව, විභව යන ත්‍රිවිධ තණ්හාව රූපාදී ආරම්මන හයෙන් ගුණ කළාම අටළොසක් වේ. ඒවා ආධ්‍යාත්මික බාහිර (තමා හා අන්‍යයා) වශයෙන් සලකා ගුණ කළාම සතිස් වැදෑරුම් වේ. යළිත් ඒවා අතීත, වර්තමාන, අනාගත වශයෙන් තුන් කල්වලට බෙදා ගුණ කළාම තණ්හා වේ ප්‍රභේද එකසිය අටක් වේ.
සසර ඇලෙන්නා යන අරුත් දෙන සත්ත්වයා යන නාමපදයට අයත් ප්‍රාණියා සසර බැඳ තබා ගන්නේ තණ්හාව විසිනුයි. ඔහු උපන් භවයෙන් තවත් භවයකට පමුණු වන චුතිසිත හා පුනර්භවයෙහි උපත සිදුකරන පටිසන්ධී සිත මෙහෙය වන්නේ තණ්හාව අනුවයි. මේ තණ්හා චෛතසික චුති පටිසන්ධි දෙකින් සත්ත්වයාට මිදෙන්නට ඉඩ නොදෙයි. තණ්හාවට මිසදිටු බව හා මානය ද මේ සඳහා උපස්ථම්භක වේ. මේවා සසර සත්වයා පමා කරන ප්‍රපඤ්ච (කෙලෙස්) තුනෙකි. ඒ නිසා සසරින් මිදෙන්නට උත්සාහ කර ගන්නා තණ්හා, මාන, දිට්ඨි යන ප්‍රපඤ්ච දුරලිය යුතුයි. ඇතැමුන් ඉතා සුළු කොට සලකා සැදැහැවතා අදම නිවන් දක්වන්නට දේශනා කරතත් එසේ නිවන් ගිය කිසිවෙක් ලොව මෑතක කිසිවකුට හමු වී නැත. එබඳු දහම් දෙසන්නෝ ධර්මයෙහි යථාර්ථය යන්තම් හෝ දැනගෙන ශ්‍රාවකයන්ට කිය යුතුයි. අප හැමෝම අනුන් මේ ආත්මයේම නිවන් යවන්නට දේශනා කිරීම පසෙක තබා සිල් රකින සදාචාර සම්පන්න මිනිසුන් කිරීමටවත් උත්සාහ කිරීම ප්‍රාමාණිකය. නිවන් දක්වන්නට හෙවත් අවබෝධ කරවන්නට ශ්‍රාවකයාට පෙර නිවන ගැන දැනීමක් වත් ලබා දීම අපෙන් සිදුවිය යුත්තකි. නොඑසේම පුහුදුන් බවින් මිනිසා නිවනට උඩින් පන්නවන්න නොහැකි බව තමා තමා ගැන සිතා අන්‍යයාට ද කියන්න. බුදුන් වහන්සේ තම ධර්මය දුද්දස දුරනුබෝධ බව වදාළේ ගැඹුරු නිසයි. සත්වයා සසර බැඳ, තබන රාගාදී කෙලෙස්වලට ආශාව කියනව, “ආසවන්තීති ආසවා” යන විග්‍රහය පරිදි කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යන ආශ්‍රවවලින් සත්ත්වයා වැහිල ඉන්නෙ.ඇස්, කන්,නාස ආදි ඉඳුරන්ගෙන් වැහෙන මේ ආශ්‍රවයෝ සත්වයා තිරිසන්, පේ‍්‍රත, මනුෂ්‍ය,දේව යන ගතිවලට පමුණුවති. රූපාදී අරමුණූ රස වින්දනයට ඇති ආශාව නිසා සත්ත්වයා පව් සිදුකරනවා. භවයෙහි ඉපදීමට ඇති ආශාව නිසා දුක්විඳිනව. මිසදිටුකම නිසා සසර දුකට පත්වෙනව. සසර දුකට සත්ත්වයා පත්කරන මේ ක්ලේශ ධර්මදර්ශනයෙහි (දස්සනා) ප්‍රමාණ කළ යුතුයි. එනම් සිවුසස් අවබෝධයෙන් මයි ප්‍රහීණ කළ හැක්කේ. කටවචනවලට එය කරන්න බැහැ. චක්ෂුරාදී ඉන්ද්‍රිය සංවරයෙන්ම එය කළ යුතුයි. පටිසේවනයෙන් (නුවණින් මෙනෙහි කිරීමෙන්) ඒවා දුරලිය යුතුයි. එනම් චීවරාදී සිවු පසය නුවණින් මෙනෙහි කොට පරමාර්ථ වශයෙන් සලකා පරිභෝග කිරීමෙන් දුරලිය යුතුයි.අධ්වාසනයෙන් හෙවත් ඉවසීමෙන් දුරුකළ යුතුයි. පරවජ්ජනයෙන් එනම් ඇත්, අස්, සර්පාදින් දුරලීමෙන් (මඟ හැරීමෙන්) දුරලිය යුතුයි. විනෝදයෙන් එනම් නුවණින් සලකා බලා (කාමාදී ආශාවන්ට ගිජු නොවී) කාම විතර්ක , ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපන්විට ඒවා දුරලීමට ප්‍රයත්න දැරිය යුතුයි. එසේම භාවනාවෙන් හෙවත් බොජ්ඣංග වැඩීමෙන් දුරලිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ කාමාශාව නොයෙක් උපමා මගින් දෝෂ සහගත බව පෙන්නා දී තිබෙනව. ගිනිවළල්ලකට , මස්වැදැල්ලකට , ගිනිහුලකට, සිහිනයකට, ගැරඬිකුණකට ආදී වශයෙන් කාමයෙහි ආදීනව දක්වල තියෙනව. එහි භයානකකම පිළිකුල් සහිත බව, අස්ථීර බව, හිස් බව ඒ තුළින් දක්වා තිබේ. කාමයෙන් වැළකීමෙන් බිය, උවදුරු දාහාදිය නැති වන බව දේශනා කළහ. කාලයෙන් මිදුනහුට සියලු දුක් දුරු කොට සමථ භාවනාවෙන් උපචාර අප්පනාධ්‍යාන ලබා විදර්ශනාවෙන් මග්ග, ඵල නිබ්බාන පසක් කරගෙන ලෝකෝත්තර සැප සාක්ෂාත් කරගත හැකි වේ.
කාමරාගය පඤ්ච නීවරණයන්ගේ පළමු වැන්නයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා නීවරණ දෙක සෝතාපත්තිමාර්ගයේදී ප්‍රහීණ වන අතර කාමරාග හා ව්‍යාපාද දෙකේ ඕලාරික බව සකදාගාමි මාර්ගයේදී සිදු වේ. අනාගාමි මාර්ග යේදී ඒවා සම්පූර්ණයෙන් ප්‍රහීණ වේ. සමථයෙන් මේවා වික්කම්භණ (තාවකාලික යටපත් කර තැබීමක්) වශයෙන් යටපත් වේ. යෝගාවචරයාට ධ්‍යාන, විමොක්ඛ, මග්ග, ඵල යන උත්තරගුණධර්ම උපදවා ගැනීමට බාධා කරන්නේ මෙම නීවරණයි. එසේම කාමුපාදාන, දිට්ඨුපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදුපාදාන, යන මේවා මාර්ගඥානයේදී ක්ෂය වේ. සර්පයකු විසින් මැඩියකු අල්ලාගත්තාක් මෙන් පි‍්‍රයරූපාදී අරමුණු දැඩිව අල්ලා ගැනීමට උපකාර වන නිසා මේවාට උපාදාන යයි කියති. කාමූපාදානය හා දිට්ඨූපාදානය විසින් උපාදානවල යථා තත්ත්වය වනසයි. සීලබ්බත පරාමාස යන වැරදි ශීල හා ව්‍රත විසින් නිවැරදි සීල ව්‍රත, වසයි. ආත්ම දෘෂ්ටිය විසින් අනාත්ම බව වසයි. කාමරාගය වස්තුකාම, ක්ලේශකාම යයි කොටස් දෙකකි. වස්තුකාම නම් ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියන් විසින් අල්ලා ගැනීමට උත්සාහ කරන පි‍්‍රයකරන මනාප වූ රූපාදියයි. ක්ලේශකාම නම් පි‍්‍රය කරන රූපාදිය අරමුණු කරගෙන සිතේ උපදින කාම ක්ලේශයි. මේවා විදර්ශනා වඩන්නාගේ ලෞකික ආර්ය
අෂ්ටාංගික මාර්ගයේදි රූපාදි අරමුණු පිළිබඳව කාමස්වභාවය ධ්‍යාන ශක්තියෙන් විශ්කම්භන (ධ්‍යාන පවතිනතාක්) වශයෙන් යටපත් වේ. යමෙක් ජලාශයක දියසෙවෙල් බැහැර කොට කළයෙන් දිය ගන්නාක් තෙක් දිය සෙවෙල් ඈත්ව තිබෙන්නාක් මෙනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අවස්ථාවේ එනම් මාර්ග ඵල ලබන අවස්ථාවේ සිතේ ඉතිරිව තිබෙන කලේශ කාමයන් සම්චුඡේද (සම්පූර්ණයෙන්) වශයෙන් ප්‍රහීණ වේ.
යෝගාවචරයා සෝතාපත්ති මාර්ගයට පත්වන්නා වූ විට සක්කායදිට්ඨි , විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, යන ත්‍රිවිධ සංයෝජන (සත්ත්වයා සසර බැඳ තබන කෙලෙස්) සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කොට අනතුරුව රූපාදී පඤ්චස්ඛන්ධය හෙවත් පඤ්ච උපාදානක්ඛන්ධ මුල්කරගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන විදර්ශනාව වඩයි. හෙවත් නුවණින් පරීක්ෂා කොට බලයි. දෙවන මාර්ගය වන සකදාගාමී මාර්ගඥානය ලැබීමට විදසුන් වඩන ඔහුගේ සිතේ තිබෙන කාමරාග හා පටිඝ (ක්‍රෝධය) යන සංයෝජන දෙක ඕලාරික බවින් තොරව තුනී වේ. සැහැල්ලු වේ. එසේ වන්නේ ඒ දෙක ඉතා බලවත් නිසයි. මෙහි විශේෂය නම් සෝතාපත්තිඵලස්ථා සත්තක් ඛත්තුපරම හෙවත් මරණින් පසු දෙව්ලොව ඉපිද යළිත් මිනිස් ලොවට එන්නේ නම් හත්වරක් පමණක් වීමයි. නොඑන්නත් පුළුවනි. සකදාගමි පුද්ගලයා දෙව්ලොව උපන් පසු යළිත් මිනිස් ලොවට එන්නේ නම් එක්වරක් පමණයි. අනාගාමී පුද්ගලයා මරණින් පසු දෙව්ලොව ඉපිද භාවනා වඩා ඉහළ ඉහළ ලෝකවල ඉපිද රහත්ව එහි දී පිරිනිවන් පායි. දස සංයෝජනවලින් සක්කායදිට්ඨි , විචිකිච්ඡා , සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද යන ඕරම්භාගීය (යට හෙවත් කාමලෝකවල උපදවන) සංයෝජනවලින් සත්ත්වයා දිව්‍ය මානුෂික යන කාම ලෝකයන්හි උපදවයි. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච ,අවිජ්ජා යන උද්ධම්භාගීය (බ්‍රහ්ම ලෝක වල උපදවන) සංයෝජනවලින් උඩලෝකවල උපදවයි. මේ සංයෝජන පහ නැසුම තැනැත්තා යළිත් කවරදාකවත් උපතක් නොලබයි. ඒ ඒ සත්ත්වයා සසරට පැමිණි දා සිට මේ භවය තෙක් ඔහු තුළ අප්‍රමාණ භවයන්හි හටගත් කාමාශාවන් අතීත කාමයි. මේ භවයෙන් චුතව ගිය පසු අනාගත භවයන්හි දී උපන් කාමාශා අනාගත කාමයයි.
මේ භවයෙන් චුතවීමක් අනතුරු භවයෙහි ප්‍රතිසන්ධියක් අතර කාලය තුළ උපදින කාමාශාවන් පච්චුප්පන්න හෙවත් වර්තමාන කාමයි. මෙකී නාම රූප, අරූප කවර ලෝකයක වුවත් උප්පත්තියට හේතුවන සියලු ධර්ම තෘෂ්ණාවට වස්තුවන බැවින් හා තෘෂ්ණාවට අරමුණු වන බැවින් අපේක්ෂා සහගත වන බැවින්ද ඇලිය යුතු බැවින්ද මද උපදවන බැවින්ද සියල්ලටම කාම යයි ව්‍යවහාර කරති. කාමරාගය, දුරලීම අනාගාමී මර්ගඥානයෙනුත් රූපරාග, අරූපරාග දුරලීම අර්හත් මාර්ගඥානයෙනුත් සිදුවේ. මාර්ග පිළිවෙලින් ගන්නාවිට සකදාගාමී මාර්ගයෙන් කාම රාගය තුනී වී අනාගාමි මාර්ගයෙන් කාමරාග සම්පූර්ණයෙන් ප්‍රහාණය වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිවන් මඟ හෙළි කරන සති සම්බොජ්ඣංගය

මීරිගම, මිණඔලුවේ, විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරන්ධර,
සිරි සරණංකරෝපසේන වංශාලංකාර, ශාසනශෝභන, 
ධර්මකීර්ති ශ්‍රී සරණංකර, ත්‍රිපිට විශාරද, ශාස්ත්‍රපති, 
මකුලෑවේ විමල නා හිමි

“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි
“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි. සතිය යනු කලින් කළ කී දෑ අමතක වන්නට නොදී ඒ වූ සැටියෙන් සිතේ එළඹ සිටීම ස්වභාව කොට ඇති චෛතසිකයෙකි. සති චෛතසිකය සති පට්ඨානය, සතින්ද්‍රීය, සතිබල, සම්මාසති යන තැන්වල දී යෙදී බොජ්ඣංග ගැන විස්තර කිරීමේ දී යොදා ඇත්තේ සති සම්බොජ්ඣංග යනුවෙනි

. සතිය ආරක්ෂක සෙබළෙකුට, කලණ මිතුරකුට, භාණ්ඩාගාරිකවරයෙකුට සමාන කොට ද විස්තර කොට තිබේ. දොරටුපාලයා අනවශ්‍ය කිසිවකුට ඇතුළු වන්නට ඉඩ නොදෙයි. කල්‍යාණ මිත්‍රයා ද තම හිතවතා පාප මිත්‍රයන් ඇසුරට යාමට ඉඩ නොදෙයි. භාණ්ඩාගාරිකවරයා ද තම වගකීම යටතේ ඇති රන් මිණි මුතු ආදී ඉතා වටිනා භාණ්ඩ විනාශ වන්නට ඉඩ නොදී සුරක්ෂිතව රැක බලා ගනී. පොළොවේ රියන් අටක් යට සිට වූ ඉන්ද්‍ර ඛීලයක් නගරයේ දොරටුව ශක්තිමත් කරන්නේ යම් අයුරකින් ද එමෙන්ම සතිය අරමුණ ස්ථිරව පිහිටුවයි. ඇසූ කියූ දෑ සිතේ ස්ථිරව පිහිටුවයි. එහෙයින් සම්මා සතිය සිත සමඟ පහළවන ශෝභන චෛතසිකයක් කොට සැලකෙයි. සුචරිත ධර්මයන් සපුරා ලීමෙන් හා විදර්ශනා මාර්ගයෙන් නිපදවා ගත යුතු නිර්වාණය අවබෝධ කර ගැනීමට සතිය අගනා උපාය මාර්ගයෙකි. සතිය බොජ්ඣංගයක් වශයෙන් ගන්නා විට ද මැනවින් සතිය පිහිටුවා ගැනීමට අවශ්‍යයි. තමන්ගේ කටයතු වලදී, රැකීරක්ෂාවලදී, ගමන් බිමන් වලදී, කතා බහේ දී සිහියෙන් යුතුව කළ යුතු ය. එසේ කිරීමෙන් කටයුතු සාර්ථක කර ගත හැකි ය. එහෙත් ඒවා සති සම්බොජ්ඣංගයට අයත් නොවේ. එසේ වනුයේ බොජ්ඣංග නාමයෙන් ගැනෙන්නේ විශේෂ තේරුමකින් නිසා ය. මේ වචනය සන්ධි විසන්ධි වශයෙන් වෙන්කරගත් විට ‘බෝධි + අංග‘ යි සිටී. එයට සං උපසර්ගය යොදා ගත් විට එයින් විශේෂ අර්ථයක් ද ලැබෙයි. මෙහි යෙදී ඇති බෝධි යන්නෙහි තේරුම කුමක්ද? ‘බෝධි වුච්චති චතුසු මග්ගේසු ඤාණං, චතුමග්ග ඤාණං’ සෝවාන් සකදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ග වල දී ලැබෙන ඤාණය බෝධියයි. අංග යන්නෙහි අරුත ඒ බෝධිය ලබා ගැනීමට උපකාර වන මාර්ග යන්නයි. මෙහිලා සති සම්බොජ්ඣංගය නමින් සැලකෙන්නේ මනා සිහියයි. යහපත් සිහියයි. එනම් නිර්වාණගාමී සිව්මග නුවණයි. එවිට මෙහි අර්ථය වනුයේ නිර්වාණාවබෝධය ලැබීමට හේතුවන මනා ‘සිහිය’ යන්නයි. බොජ්ඣංග වශයෙන් සතිය ගන්නා විට නොකඩවා ලැබෙන සතිය ගත යුතු ය. අතරින් පතර ද සතිය ලැබේ. එය අතරින් පතර කැඩේ. මෙතැන ගත යුත්තේ නොකඩවා පවත්නා වූ සතියයි. මේ සතිය යම් ධර්ම සමූහයක් සම්බන්ධව පාවිච්චි කරනවා නම් ඒ අවස්ථාවේදී මෙයින් ක්‍රියා දෙකක් සිදුවෙයි. සාමාන්‍ය වශයෙන් සිතට පහළ වන ප්‍රමාද පක්ෂයක් ඇත. එනම් සිත ප්‍රමාදයට හෙළන, අවුල් කරන කෙලෙස් සමූහයයි. එනම් අවිද්‍යාව, මිත්‍යාදෘෂ්ටිය, පඤ්ච නීවරණ ආදී කෙලෙස් සමූහයයි. කෙනෙකුගේ සිත පහත හෙළන, වැඩ නවත්වන, ගෙන යන වැඩ පිළිවෙලට බාධා කරන යම්කිසි සිතිවිලි ඇත්නම් ඒ සියලුම සිතිවිලි ගැනෙන්නේ ප්‍රමාද පක්ෂයටය. ඒ අයුරින් ප්‍රමාද පක්ෂයට හේතුවන, ප්‍රමාද පක්ෂයට හේතුවන කෙලෙස් රැසක් ඇත. මේ සති සම්බොජ්ඣංගය නිසා ඒ කෙලෙස් රැස අයින් වෙයි. බැහැර කිරීම සිදුවෙයි.
ඒ අයින් කිරීමත් සමඟම, බැහැර කිරීමත් සමඟ ම තවත් කාර්යයක් ඉටුවෙයි. එනම් පුද්ගලයාගේ අප්‍රමාද ගුණය වර්ධනය වීමය. යම්කිසි භාජනයක අපවිත්‍ර ජලය ඇතොත් එය ඉවත් කර අලුත් පිරිසුදු ජලය දමන්න. අර අපිරිසුදු ජලය අයින් වෙයි. අපිරිසුදු ජලය අයින් වෙනවා වාගේ සිතට සම්බන්ධ වන මේ කෙලෙස් ද මේ සතිය නිසා අයින් වෙයි. ඒ එක්කම අප්‍රමාද පාක්ෂික අප්‍රමාද ගුණ රාශියක් ක්‍රමයෙන් වර්ධනය වෙයි. වටිනා ගුණ රාශියක් සිතේ අභ්‍යන්තරයේ වැඩෙයි. සති සම්බොජ්ඣංග වශයෙන් සිදු වන මේ කාර්යය මැනවින් තේරුම් ගත යුතු ය. සති සම්බොජ්ඣංගය වචනයෙන් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නැත. එම කාර්යයන් දෙක මුදුන් පැමිණෙන ආකාරයෙන් සතිය තමා තුළ වර්ධනය කර ගත යුතු ය. එනම් ප්‍රමාද පාක්ෂික කෙලෙස් විද්වංසනය කිරීම හා අප්‍රමාද පාක්ෂික ගුණ ධර්ම වර්ධනය කර ගැනීමයි. ඒ අයුරින් ක්‍රියාත්මක වන විට ප්‍රමාද පාක්ෂික කෙලෙස් අයින් වෙයි. අප්‍රමාද පාක්ෂික ගුණ දහම් එහි අරක් ගනී. සිත පිරිසුදු වෙයි. මේ තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙමින් ගොස් සතර මගපල ලැබීමට එය මහෝපකාරී වෙයි.
සති සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන ධර්ම හතරක් ඇත. එනම්, 1. සති සම්පජඤ්ඤය 2. මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතාව 3. උපට්ඨින සති පුග්ගල සේවනතාව 4. තදධි මුත්තතාව යන සතරයි.
1. සති සම්පජ්ඤ්ඤය නමින් සැලකෙන්නේ සිහිය සමඟ මනා දැනීමයි. ඒ දැනීම සාත්ථ සම්පජඤ්ඤ, සප්පායථ, සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජ්ඤ්ඤ යනුවෙන් සිවු ආකාර වෙයි. සියලු කටයුතු මනා සිහියෙන් කළ යුත්තේ කෙසේද? ඒ මෙසේ කළ යුතු ය.
01. අභික්කන්තේ පටික්කන්තේ සම්පජාතකාරිහෝති (ඉදිරියට යාමේදීත් ආපසු හැරී බැලීමේදීත් නුවණින් දැන කරයි) 02. ආලෝකිතේ විලෝකිතේ සම්පජාතකාරි හෝනි (ඉදිරිය බැලීමේදීත්, අනුදිසා බැලීමේදීත් නුවණින් දැන බලයි) 03. සම්මඤ්ජිතේ පසාරිතේ සම්පජාතකාරිහෝති (අත්පා හැකි ළිමෙහි දී ද, දිගු කිරීමෙහිදී ද, නුවණින් දැන කරයි.) 04. සංඝාටිපත්ත චීවරධාරණේ සම්පජාත කාරිහෝති (සඟල සිවුර හා පාත්‍ර දැරීම නුවණින් දැන කරයි) 05. අභිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරි හෝතිඅනුභව කිරීමේදීත්, පානය කිරීමේදීත් කෑමෙහිදීත් නුවණින් දැන කරයි)
06. උච්චාර පස්සාව කම්මේ සම්පජාතකාරි හෝති (මළ මුත්‍ර පහ කිරීමේදී නුවණින් දැන කරයි)
07. ගතෙඨිතේ නිසින්නේ සුත්තේ ජාගරීතේ හාසිතේතුන්හී භාවේ සම්පජාතකාරි හෝති (යාමේදී සිටීමේ දී හිඳීමෙහි දී නිඳීමෙහි දී නිදිවැරීමෙහි දී කතා කිරීමේ දී, කතා නොකිරීමේ දී නුවණින් දැන කරයි.)
2. මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතාව
මෙයින් අදහස් කරන්නේ මන්ද බුද්ධික, මුළා වූ සිහි නුවණ ඇති පුද්ගලයන් ඇසුරින් දුරු කිරීමය.
3. උපට්ඨින සති පුග්ගල සේවනතාව
මෙයින් අදහස් කරන්නේ එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමය.
4. තදධිමුත්තතාව සතර ඉරියව් පැවැත්වීමෙහිදී සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට එයට නැමී පැවති චිත්ත වේගයෙන් යුතු බව තදධිමුත්තතාවයි.
මෙය උඨඨාන වීර්යය නොවේ. ඒ සමඟම එකට යැවිය යුතු ඵලාපේක්ෂාවෙන් යොමු විය යුතු කැමැත්ත ය. ඒ කැමැත්ත නොයෙක් ප්‍රභේද සහිතයි. මෙයින් කත්තුකම්‍යතා හා කුසලච්ඡන්දය අපේක්ෂිතය. දාන, සීල, භාවනාදියෙහි යෙදීම පිණිස සිතෙහි හට ගැනෙන කැමැත්ත බලාපොරොත්තුව කුසලච්ඡන්දයයි. මෙහි දැක්වෙන තදධිමුත්තතාව සත්ත බොජ්ඣංගයන්ගේ පහළවීම පිණිස සපුරාගත යුතු අංගයකි. ඒ ඒ තැන්වල දී මේ නයින් කෙසේ නමුත් සත්ත බොජ්ඣංගයන් උපදවා ගැනීමට සතර ඉරියව්වෙහි ක්‍රියා කළ යුතු ය. කුසලච්ඡන්දය වීර්ය සමඟ ගමන් කරවිය යුතු ධර්මතාවක් බව මහාසිව නම් තෙරුන්ගේ අපදානයෙන් ස්ඵුට වෙයි. මහාසීව තෙරුන්වහන්සේගේ අවවාදයෙහි පිහිටි තිස්නමක් පමණ ශිෂ්‍ය භික්ෂූහු රහත් වූහ.
එහෙත් ආචාර්ය මහාසීව ස්ථවිරයන් වහන්සේ පුහුදුන් බිමෙහිම සිටින බව දැනගත් ශිෂ්‍ය රහතන් වහන්සේ නමක් මුන් වහන්සේ සංවේගයට පැමිණ වූහ. එබැවින් කිහිපදිනකින් රහත් වී ශිෂ්‍ය රහතුන් වෙත එන්නෙමියි හුදකලාව වනයට ගොස් භාවනා කරන්නට වූහ. විටින් විට පරික්ෂාකාරී වූ මුන් වහන්සේ විසින් දෙයැසින් කඳුළු වැගිර වූවාහ අනන්තයි. මෙසේ වුවත් බලාපොරොත්තුව අතරමග නතර නොකොට වීර්යයෙන් ඵලය ලැබෙනතෙක්ම දෘඩතර වූ සේක් තිස්වසකට පසු රහත් භූමියට පත් වූ බව එම කතාවේ සඳහන් වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජීවත් වීම ම කමටහනක්‌ කරගන්න


ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය 
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

කාට හරි හිත තැන්පත් කරගන්න බැරි නම්, සති නිමිත්ත හඳුනන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, ආනාපාන සතිය මොන විදිහට වත් බැහැ, හිත එක තැනක තබාගන්න බැහැ කියලා කවුරු හරි කියනවා නම්, ඒ කියන අයට මම මෙහෙම එකක්‌ කියනවා. සති නිමිත්ත පැත්තකින් තියන්න. ආනාපාන සතියත් පැත්තකින් තියන්න. ඒවා එකක්‌ වත් එපා. ඉතිපිසෝ ගාථාව දහ සැරයක්‌ කියන්න, වඩන්න, හිතන්න. කොහොම ද? "දැන දැක ම" ඉතිපි සො භගවා අරහං සමමා සම්බුදෙධා විජජාචරණ සමපනෙනා සුගතො ලෝකවිදු අනුතතරො පුරිසදමම සාරථි සත්ථා දෙවමනුසසානං බුදෙධා භගවා ති - ගාථාවට අරම්භයේ දී යම් තාක්‌ සිහිය තිබුණා නම් ගාථාව කෙරෙහි ම සිහියෙන් මයි පටන්ගන්නේ. ගාථාවේ හැම වචනයක්‌ ගානේ ම ඊට නැඹුරු වෙච්ච සිහියෙන් මයි පවත්වාගෙන ගියේ. ඒ සිහියෙන් මයි අවසන් කළේ. පෙර-පසු මනසට ටිකක්‌ වත් මේ ගාථාවෙන් බැහැරට යන්න දුන්නේ නැහැ. ඔය විදිහට දහ සැරයක්‌ හිතෙන් කියන්න. නමුත් අට සැරයක්‌ හරියට කළා, අටවැනි සැරයේ හිත ටිකක්‌ අහකට ගියොත් අයෙත් මුල ඉ`දලා කියන්න ඕනේ. ඔය විදිහට දහ සැරයක්‌ කියලා මේ සති නිමිත්තට හිත තියන්න. හොඳට සිහිය තියෙයි. ඕනෑ ම කමටහනකට නැඹුරු කරන්න. හිත දුවන්නේ නැති වෙන්න ගත්තහැකි. 

හැම එකකට ම උපාය කියලා එකක්‌ තියෙයි. ඒ නිසා බැහැ කියලා එකක්‌ නැහැ. මේකට උවමනාවක්‌ නැතිකම, ආරම්භක ධාතු පරක්‌කම ධාතු, නික්‌ඛම ධාතු. මේ වීර්යය තුන් ආකාරයකට හරියට නො පවත්වන අපේ ලෝකය - බැරිකම නිසා නො වෙයි, නො කරනකම. ලියුමක්‌ ලියන්න ගත්තොත් මුල් අකුරු ටික හරි ම ලස්‌සනයි. මැදට යන කොට ටික ටික කැත වෙනවා. අගට යන කොට අකුරු හොයන්න ම බැහැ. මොකද මේ වෙලා තියනනේ? ආරම්භයේ දී තිබුණු උද්යෝගය ටිකක්‌ අඩු වෙලා. මැද තියෙන උද්යෝගයත් අන්තිමට නැති වෙලා. ආරම්භයේ දී තිබුණු වීර්යයෙන් පවත්වලා නැහැ. ඒ වීර්යයෙන් ම අවසන් කරලා නැහැ. ආරම්භක ධාතු, පරක්‌කම ධාතු, නික්‌ඛම ධාතු කියන තුන සම ව පිහිටලා නැහැ. බැරිකම නිසා නො වෙයි. අවුරුදු උත්සවයකට ලස්‌සන අකුරු තෝරන තරගයක්‌ තිබුණොත් මුලයි, මැදයි, අගයි ඔක්‌කෝ ම එක ම විදිහට මුතුකැට වගේ ලස්‌සනට ලියයි නේ ද? බැරි නැහැ. එතැන දී පුළුවන් නම්, අනිත් තැනේ දී බැරි වුණේ කොහොම ද? ලියුමේ මුල් අකුරු ටික ලස්‌සන වගේ ම මැදත්, අවසන් කරන කොටත් ලස්‌සන වෙන්න නම් ඒකට තියෙන අවධානය ලිහිල් නො කටයුතුයි. 

ඒ වගේ යමක්‌ කරන කොට ඒකේ මුල වගේ ම මැදත්, අගත් එක ම විදිහට තියෙන්න නම් අවධානය ලිහිල් නො කටයුතුයි. ඉතිපිසෝ ගාථාව ආරම්භයේ දී තබපු අවධානය ඒ විදිහට ම පවත්වාගෙන යන්න, ඒ විදිහට ම අවසන් කරන්න. ඔය ආරම්භක ධාතු, පරක්‌කම දාතු, නික්‌ඛම ධාතු කියන තුන් ධාතුව තමයි මේ පින්වතුන් ගේ චිත්ත සමථයට වේගයෙන් ම බලපාන කාරණාව කියන එක මතක තබාගන්න. ඒක චුට්‌ටක්‌ වත් ලිහිල් කළොත් මේ පින්වතුන් ඉඳගෙන ඉඳියි, බුදුගුණත් හිතයි, රෙදි සෝදන වොෂින් මැෂින් එකට රෙදි දාලා ඉතිපිසෝ ගාථාව කියයි. නමුත් කාලය නාස්‌ති කිරීමක්‌ මිසක අර්ථය වෙලා නැහැ. අර්ථය වෙන්නේ වචන ටික මත නො වෙයි, ඒක කරනකොට ඇති වෙන මානසික පසුබිම මත, අර්ථය මතයි කියන එක මතක්‌ කරනවා. 

ඒ වගේ ම, සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත් වා, නිරෝගි වෙත් වා, සුවපත් වෙත් වා. එහෙම නැත්නම් කරණීයමෙත්ත සූත්‍රය කියන්න ආරම්භයේ ඉඳන් ම අවසානය දක්‌වා. ඔය විදිහට ටික කාලයක්‌ කළොත් ඔය විසිරුණු මනස අපහසුවකින් තොර ව හැදෙයි. මේ පින්වතුන් හැම දා ම භාවනා කරන අය වෙනවා. 

ඊට පස්‌සේ වැඩකටයුතුත් කරන්න භාවනාව තුළින් ම. කොහොම ද වැඩකටයුතු කරන්නේ භාවනාව තුළින්? පෙර පසු මනස අහකට යන්න නො දී කරන කරන වැඩෙත් එක්‌ක මනස තියාගන්න. බුදුගුණ සිහි කිරීමත් එක්‌ක මනස තියාගත්තා වගේ, පිඟන් ගත්ත බවටත් නුවණයි, ඒක අරගෙන වතුර භාජනයට දාපු බවත් නුවණයි. පෙර-පසු මනසට එක එක දේවල් සිතෙන්නට නො දී, කෙරෙන සිද්ධාන්තයත් එක්‌ක ම මනස තබාගන්න. හාල් ටික ගරන කොට ඒ ගරනවා කියන සිද්ධිය තුළ ම අත්විඳින්න. මිදුල අතුගානවා කියන සිද්ධිය දැන දැක ම කරනවා. ගේ අතුගානවා කියන සිද්ධිය දැන දැක ම කරනවා. හැම වේලාවක ම පෙර-පසු මනස ගැන වගබලාගන්න අහකට නො හැර. වර්තමානයේ ජීවත් වීම ම "නිවන් දැකීමේ ම`ගින්" ඉවර වෙන්නේ නැද්ද කියලා බලන්න.

මේ පින්වතුන්ට යම් විදිහකට ජීවත් වෙන කොට නිවන් ලැබෙයි නම් ඒ විදිහට ජීවත් වෙන ක්‍රමය හොයලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ. පෙන්වනවා කුරු රටවාසීන් යටත්පිරිසෙයින් දැසිදස්‌ කම්කරුවෝ වතුර ටිකක්‌ වත් ගේන්න යන්නේ නැහැ ලු කමටහනක්‌ අතහරුලා. වෙන මුකුත් නො වෙයි - කරන කියන දෙයට එළඹ සිටි සිහිය. ඒකයි මම කිව්වේ, සමථය කියන එක අපි ඉගෙනගෙන තියෙන්නේ එක තැනක ඇස්‌ දෙක වහගෙන ඉඳගෙන හිටියොත් කියලා. නමුත් සමථය කියන එක අර්ථයෙන් දකින්න. සක්‌මන් භාවනාව කියලා එකක්‌ අපි දන්නවා. ඒකෙන් කරලා තියන අර්ථය මොකක්‌ ද කියලා බලන්න. අඩිය ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඊළඟ අඩිය ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන එකෙන් කරන්නේ වර්තමාන සිද්ධාන්තයකට සිත තබලා පෙර-පසු මනසට අතීත අනාගත දෙක ඇසුරු වෙන්න නො දී වර්තමානයක හිත තබාගන්න උපායක්‌ කරලා නො වෙයි ද මේ තියෙන්නේ? සමථය කියන්නේ පෙර-පසු මනස කොහාට වත් යන්න නො දී වර්තමානයක හිත තබාගන්න එක ද, නැත්නම් සක්‌මන් කිරීම ද?

මේ පින්වතුන් හිත එක එක තැන්වල දුවමින්, හිතෙන් මොනවා හරි දේවල් කරමින් ඇවිද්දොත්, ඒ ඇවිදින ක්‍රියාව එතකොට භාවනාව නො වෙයි කියනවා. එහෙනම් භාවනාව වුණේ මේ කරන දෙයට ම අනුව හිත තබාගන්න එක නේ ද? එහෙනම් මේ සක්‌මන නො වෙයි සමථය. "සක්‌මන උදව් කරගෙන නිර්මාණය කරගත්තා හිතේ නො දුවනකම. වර්තමානයක ඉන්නකමටයි සමථය කිව්වේ. එහෙනම් සක්‌මන් භාවනාවේ සමථය මෙහෙම පනවන්න ඕනේ. මේකයි හරි, මේකයි වැරදි - ඒකටත් අපි ගහගන්නවා. අනිත් කෙනා මෙහෙම කිව්වේ. නමුත් අපට ප්‍රශ්නයක්‌ නැහැ. කොතැනකින් හරි අර්ථය නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. වර්තමානයක හිත තබාගන්නවා කියනකම, අතීත අනාගත දෙකට දුවන්නේ නැහැ කියනකම නිර්මාණය වෙලා නම්, ඕනේ විදිහකට සක්‌මන් භාවනාව කළාට කමක්‌ නැහැ.

එතැනින් කරලා තියෙන්නේ මොකද්ද? වර්තමානයක ඉන්න හිත හුරු කිරීම. ඒ වගේ හැම කටයුත්තක්‌ ම වර්තමානයක කරන්න හිත හුරු කරනවා නම්, මේකට කිව්වා සමථය කියලා. ආනාපාන සතිය ආදී අරමුණු වශයෙන් සියුම් කමටහන් තියෙයි. ඒවා කරන්න අපහසු කෙනෙක්‌ ඉන්නවා නම් මම අර කිව්ව ක්‍රමය කරන්න. සරලයි කියලා අතහරින්න එපා. සමථය සරල ම තමයි. ඔක්‌කෝ ම සරලයි. ආනාපානසතියෙන් කළ කෙනා ගේ මනසත්, ඉතිපිසෝ ගාථාව දැන දැක ම ආරම්භයයි, මැදයි, අවසනයි කියන තුනේ පවත්වපු කෙනාගේ මනසත්, දෙකෙන් ම නිර්මාණය වේච්ච සමථයේ අර්ථය එකයි. වෙනසක්‌ නැහැ. මේ සමථයට වඩා අර සමථය ශ්‍රේෂ්ඨයි කියලා එකක්‌ නැහැ. නමුත් ආනාපාන සතියෙන් සිත සමාධි වීමේ, එකඟ වීමේ ප්‍රතිශතය වැඩියි. අර්ථය එකයි. 

එතකොට ඕනෑ ම කමටහනක්‌, නැත්නම් ඕනෑ ම දෙයක්‌ කරන කොට පෙර-පසු මනස අතීත අනාගත දෙකට යන්න නො දී, වර්තමානයක්‌ තුළ ඉඳගෙන කරන්න පුළුවන් නම්, කරනවා නම්, ඒ හැම තැනක දී ම සමථය කියනකම නිර්මාණය වෙලා. අකුසලයක්‌ හදිස්‌සියේ කළොත් ඒකටත් සමථය කියන එක උදව් වෙනවා. එතැනත් සමථයක්‌ තිබෙනවා. මිච්ඡාසමාධි කියලා කියනවා ඒකට. නමුත් මම මතක්‌ කළේ සමථ කියනකම දැකිය යුත්තේ වචන ටිකකින් නො වෙයි. අර්ථයකින්. 

ඊට පස්‌සේ, විදර්ශනාවට තියෙන්නේ සත්ත්ව, පුද්ගල, ආත්මභාවය විදියට පෙනෙන මේ නාමරූප මෙනෙහි කිරීම. සත්ත්ව, පුද්ගල ආත්මභාවයට හම්බ වෙන මේ නාමරූප ධර්මයෝ නුවණින් මෙනෙහි කිරීමටයි විදර්ශනා කිරීම කියලා කියන්නේ. 

එතකොට සීලයක පිහිටියා, සමථ කමටහනකින් හිත වඩනවා - මෙන්න මේ ටිකට හම්බ වෙනවා ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. යෝනිසෝමනසිකාරය කියන තැන දී කුමන ධර්මයක්‌ මෙනෙහි කළත් යෝනිසෝමනසිකාරය තමයි. නමුත් එතැන දී සත්ත්ව, පුද්ගලභාවය දුරු වෙන විදිහට, නාමරූප දෙකක්‌ තියෙන්නේ කියන කාරණාව දකින, ප්‍රකට වෙන විදිහට මෙනෙහි කිරීම කටයුතුයි. එයා ගේ යෝනිසෝමනසිකාරය වෙන්නේ නූපන් ආශ්‍රව ධර්ම නූපදවලා, උපන් ආශ්‍රව ධර්ම දුරු කිරීම. මේ කාලයේ දී අපට රළු සතර මහා ධාතු රූපයට සාපේක්‌ෂවයි නූපන් ආශ්‍රව ධර්ම උපදින්නේ. උපන් ආශ්‍රව ධර්ම වැඩෙන්නේ. එහෙනම් මේ කාලයේ දී අපේ ඉලක්‌කය විය යුතුයි මේ ඕදාරික ශරීරය විදර්ශනා කිරීම, නාමරූප දැකීම.

අර ආසිවිසෝපම සූත්‍රයේ තියෙන්නේ මුලින් ම සර්පයෝ හතර දෙනා ගෙන් බේරිලා යන්න ඕනේ කියලා. එහෙම යනකොටයි සතුරු වධකයෝ පස්‌ දෙනා හම්බ වෙන්නේ. ඉස්‌සල්ලා ම සතුරු වධකයෝ පස්‌ දෙනා ඉන්න තැනින් පටන්ගන්න එපා. ඒ කියන්නේ මේ ආයතන හය විදර්ශනා කරන්න පටන් ගන්න එපා. "ඉස්‌සෙල්ලා ම" ගෙඩි පිටින් ම පුද්ගලයෙක්‌ හම්බ වෙන, සත්ත්වයෙක්‌ හම්බ වෙන මේ රළු නාමරූප දෙකේ නො රැවටෙන මට්‌ටම ඇති කරගත යුතුයි. අන්න එතැන ඇත්ත දකින විදිහට විදර්ශනා කළ යුතුයි කියන කාරණාව මතක්‌ කරනවා. 

තමන් ගේ නිවීම, තමන් ගේ මිදීම හදාගන්න මේ ධර්මය ඔබ හැම දෙනාට ම පාරමිතාවක්‌ ම වේවා. !!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සසර අඳුරට ඇද දමන කර්ම විපාක

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය, 
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

ස්වාමින් වහන්ස, සමාජයේ සමහර පිරිස් අධර්මයෙන් මුදල් උපයනවා. ධර්මයට පටහැනි විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ තමන්ගේ අරමුණු ඉටුකරන ගන්න උත්සාහ කරනවා. මෙවැනි අයට අත් විඳින්න සිදුවන ප්‍රතිවිපාක මොනවාද?
අපේ ජීවිතය ගලන ගඟක් වගේ. බොහෝ දෙනා ගලන ගඟේ ගසාගෙන යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ගසාගෙන යන ගඟේ උඬුගං බලා පිහිනන්න ක්ෂේම භූමියක් කරා යන්නට උත්සහ කරන්නේ බොහෝම අල්ප දෙනෙක් පමණක් බව.
සමහර අය ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට, ගැටළුවලට බාධක වලට මුහුණ දෙනවා. බාධක මතින් ජීවිත ගමන නවත්වනවා. දියුණුවට තිබෙන මංමාවත් ඇහිරී යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ ඇරඹුවානම් ගමන යන්න. බලවත් ආරම්භය නො නවත්වා දිගටම කරගෙන යන්න. අපේක්ෂිත අභිමතාර්ථය ඉලක්කය කරා යන ලෙස උන්වහන්සේ අවවාද කරනවා. ඒ නිසා අදාළ කරන අපේක්ෂිත අරමුණු ජය ගන්න තුරුම උත්සාහය අඛණ්ඩව ගෙන යා යුතුමයි. මේ ජීවිතයේදී සමහර අය කෙටි මාර්ග වලින් තමන්ගේ ජීවිතේ තිබෙන ප්‍රශ්න විසඳාගන්න හදනවා. ධර්මයෙන් පිට පැන්න අඳුරු ජීවිත ලැබෙන්න හේතු වෙනවා. එවිට අඳුරු කර්ම, කළු කර්ම කර ගහගන්න වෙනවා. ඇසට රැවටුන නිසා ඇසෙන් වැරැදි කළා. කනට රැවටුන නිසා කනෙන් වැරැදි කළා. නාසයට රැවටුන නිසා නාසයෙන් වැරැදි කළා. දිවට රැවටුන නිසා දිවෙන් වැරැදි කළා. කයට රැවටුන නිසා කයෙන් වැරැදි කළා. මනසට රැවටුන නිසා මනසින් වැරැදි කළා. ඒ පිරිස දන්නේ නැහැ ධර්මයෙන් පිට පැන්න විට තිබෙන්නේ වැනසීමයි. එය බොහෝම ස්වල්ප වූ සැපයක් වුවත් වෙස් වළාගත් මහා දුකක් බව.
මේ සඳහා ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාළා මහ අඳුරක, ඝන රාත්‍රියක විදුලියක් කෙටුවොත් ඒ ආලෝකය තිබෙන්නේ අසුරු සැණක් පමණයි. පුංචි නිමේෂයක් පමණයි. ඒ වගේ මේ සංසාරයම අඳුරු කර ගන්න නරකයි. එවිට අපේ සිතේ ලෝභය වැඩෙනවා. ද්වේශය, මෝහය වර්ධනය වෙනවා. සසරම අඳුරු වෙන්නේ පුංචි සැපයක් නිසායි. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ මහා ඝන අඳුරක පැටලෙන්න පුංචි විදුලියකට රැවටෙන්න එපා කියා. ඒ නිසා ඔබ ස්වල්ප දෙයක් පතා මුළු සසරගත ජීවිතයම අඳුරට පෙරළා ගන්න එපා. පුංචි විදුලි ආලෝකයට ගිජුවෙලා මහ ඝනදුරක පැටලී ඔබේ ප්‍රශ්න ධර්මයෙන් පිට නොගොස් ධර්මය තුළින්ම ලිහාගෙන, සැනහෙන මාර්ගයට පැමිණෙන්න කියා අවවාද කරනවා.
දෙමාපියන්ට ගරු කිරීම, ආදරය කිරීම, ගෞරව කිරීම අපේ සමාජයේතිබෙන ගුණ ධර්මයක්. නමුත් යම් යම් අවස්ථාවල පුංචි පුංචි දේ තුළින් මව්පියන්ට තිබෙන ගෞරවය සැලකීම ඇතැම් අඩුවී යනවා. එකටෙක කියනවා. මේ වගේ කුඩා කුඩා දේ සාංසාරික අඳුරකට හේතු වෙනවාද?
අප කරන සෑම දෙයක්ම කුසල් වැඩෙන දේද? අකුසල් වැඩෙන දේද කියා මුලින්ම තෝරා බේරා ගන්න ඕන. ඒ පිළිබඳව සතිමත් වෙන්න ඕන. රාත්‍රි නින්දට යනවිට අපට පුළුවන්නම් අද දවස පුරාවටම මගේ අතින් වැඩිපුර සිදුකෙරුණේ කළු කර්මද? සුදු කර්මද? කියා විමසා බලනවා නම්, අනෙක් දවස සුළුවෙන් හෝ හොඳ වැඩකට යොමු කරන්න පුළුවන්. ඒ නිසා කළු කර්ම ශීලාචාර සමාජයකට පාර කියන්නේ නැහැ. පොඩි දේ පවා විපාක ගෙන දෙනවා. මේ සඳහා බුද්ධ කාලයේ සිදු වූ උපදේශක කතාවක් මෙසේ සඳහන් කරන්නම්.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ උත්තර නමින් තරුණයෙක් ජීවත් වුණා. ඔහු බුද්ධිමත් තරුණයෙක්. රජතුමාගේ ප්‍රධාන රාජ අනුශාසක වූ වස්සකාර ඇමැතියාගෙන් මේ තරුණයාට තමන්ගේ දියණිය විවාහ කර ගන්නා ලෙස විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණා. නමුත් මේ තරුණයා ඒ විවාහයට අකැමතිව ගොස් පැවිදි වූවා. සාරිපුත්ත මහරහතන් වහන්සේයි ගුරුවරයා වුණේ. කාලයක් යද්දී මේ උත්තර සාමණේරයන් රෝගාතුර වුණා. ප්‍රතිකාර සඳහා ගිතෙල් අවශ්‍ය වුණා. උන්වහන්සේ ගිතෙල් ලබා ගැනීමේ අදහසින් එක ගමකට පිඬුසිඟා වැඩියා. ඒ ගමේදී උන්වහන්සේගේ ලෙඩේ උත්සන්න වූවා. වැව් බැම්මේ පාත්තරය තබා ශරීරයේ තිබූ දැවිල්ල දාහය නිවා ගැනීමට උන්වහන්සේගේ වැවට බැස්සා.
මේ අතර සොරු කණ්ඩායමක් පිටුපස්සේ ගමේ මිනිසුන් එළවාගෙන එමින් සිටියා. සොරුන් කළේ කුමක්ද? ඔවුන් ළඟ තිබු රත්තරන් බඩු සහ මුදල් වැව් බැම්මේ තිබූ පාත්තරයට දමා දිව ගියා. දුවගෙන ආ මිනිසුන් පාත්තරයේ තිබෙන රත්තරං දුටුවා. බැලුවා වැව දෙස. කෙනෙක් නානවා. සිතුවේ මේ සොරා කියායි. රජතුමා ළඟට ඇදගෙන ගියා. රජතුමාගේ ප්‍රධාන අනුශාසක අර වස්සකාර ඇමැතියායි. ඔහුට පෙර සිදුවීම සිහිපත් වුණා. රජතුමා වෙත ඉදිරිපත් කළේ එක දෙක කරමින් රජතුමා උල තබන්න නියෝග කළා. උල තිබ්බේ විශේෂ උලක. ඒ කොහොඹ උලක්. වහා දුකක් උරුම කරන මාරාන්ති ක උලක්. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ සිද්ධිය ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ සමඟ උල උඩ සිටින සාමණේරයන් වහන්සේ වෙත වැඩියා. බුදුරජාණන් වහන්සේ වදාළා. උත්තර, ඔබ මේ ජීවිතයේ කිසිදු සොරකමක් කළේ නැහැ. කිසිම පාපයක් සිදුකරපු කෙනෙක් නොවේ. නමුත් ඔබ පෙර ජීවිතයක කරපු විපාකයක් මේ ගෙවන්නේ. ඔබගේ අම්මා අවවාදයක් සිදුකළ විට ඔබ කියා සිටියේ “මට අවවාද කරන්න එපා. මම දන්නවා කරන්න ඕන දේ. අම්මා උල තියන්න ඕන” කියායි. බැලූ බැල්මට එය විශාල අකුසලයක් නොවේ. කට වචනයකට කිව්වේ. ඒ පුංචි දේ භව ගණනාවක් සැඟ වී තිබුණේ අළු යට තිබෙන ගිනි පුපුරු වගේ.
ඒ වගේම තවත් ජීවිතකදී ඔබ සෙල්ලමට මෙන් ගසක සිටි මැස්සෙක් අල්ලාගෙන උල තබන්නේ මෙන්න මෙහෙමයි කියමින් කොහොඹ ගසක කීරක් අරගෙන මැස්සා උල තබා අනෙක් අයට පෙන්නුවා. එය ප්‍රාණඝාත පාපයක් වුණා. ඒ සාමණේරයන්ට ප්‍රබල පුණ්‍ය කර්ම තිබූ නිසාත් පව පිනෙන් වසන්න පුළුවන් නිසාත් භව ගණනාවක් ඒ කර්ම දෙක සැඟවි තිබුණා. අන්තිම භවයේදී “කටත්තා කර්ම”යක් ලෙස එය විපාක දීමට ඉදිරිපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ උල උඩ සිටි භික්ෂුවට ධර්මය දේශනා කළා. කොහොඹ උල උඩම උන්වහන්සේ අරහත්වයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මගේ ශ්‍රාවකයන් අල්ප වූ පාප කර්මයක්වත් සිදු නොකළ යුතුයි කියා.
ඒනිසා ඔබත් තේරුම් ගන්න අම්මාට, තාත්තාට විහිළුවට හෝ වැරැදි වචන පාවිච්චි කරන්න එපා. ගරහන්න, උපහාස අපහාස කරන්න එපා. කයින් වැරැදි ආකාරයට ඔවුන් කෙරෙහි ක්‍රියා කරන්න එපා. ඒ විපාක පන්න පන්නා අප පසුපස ලුහුබඳිනවා. අපේ ජීවිතවලට අඳුර ගෙන එනවා. දරුවන් කේන්ති ගියාම කියනවා අම්ම තාත්තා මොනවද මට කළේ? අරයටනේ වැඩිපුර දුන්නේ? කියා. නමුත් අම්මා, තාත්තා අපට සුගති ලොවක් වූ මේ මනුස්ස ලෝකයට එන්න අවස්ථාව දීපු එක කෙතරම් දෙයක්ද? අතපය නොකඩා හදා වඩා ලේ කිරි කර පොවා අප උස්මහත් කළ දේට කළගුණ සලකා නිම කළ හැකිද? ඒකයි භාග්‍යවතුන් වහන්සේ මව්පියන් මහ බ්‍රහ්මයාට සමාන කළේ. ආනන්තරීය පාප කර්මයක මුලින්ම සිටින්නේ අම්මා සහ තාත්තා. ඉන්පසුවයි බුදුරජුන් සහ රහතන් වහන්සේට සිදුකරන කර්ම තිබෙන්නේ. ඒ නිසා ඔබත් මේ කෙරෙහි සිහිය නුවණ යොදා තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් සිදුවන සෑම කළු කර්මයක් දෙසම ප්‍රත්‍යවේක්ෂා කරමින් ටිකෙන් ටික එයින් ඈත්වී සංසාර දුකෙන් අත මිදෙන්න උත්දාහ වෙන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤