දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

දිවි නසා ගැනීම ප්‍රාණඝාත කර්‍මය.......


01. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශලය සිදුවේ ද?

තමාගෙන් අන්‍ය වූ සත්ත්වයකු ගේ ජීවිතය නැසීමෙන් මිස සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත කර්‍මය සිදු නොවේ. බුදුරජාණන් වහන්සේ විනයෙහි තිරිසන් සතුන් මැරීම ගැන භික්ෂූන්ට පනවා තිබෙන්නේ “යො පන භික්ඛු සංචිච්ච පාණං ජීවිතා චොරොපෙය්‍ය පාචිත්තියං” යන සිකපදය ය. ‘දැන දැන තිරිසන් සතකු මැරුව හොත් පචිති ඇවතක් වේය’ යනු එහි තේරුම ය. මනුෂ්‍ය ඝාතනය මහා පාපයෙකි. එබැවින් එය ගැන විනයෙහි පනවා ඇත්තේ පරිජි ඇවතකි. යම් කිසි භික්ෂුවක් විසින් මිනිසකු මැරුව හොත් පාරාජිකා වේ.

ආත්මඝාතනය ගැන විනයෙහි පනවා ඇත්තේ “න ච භික්ඛවෙ, අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය, ආපත්ති දුක්කටස්ස” යන සිකපදය ය. එහි තේරුම, “මහණෙනි! ආත්මය නො නැසිය යුතු ය. යමෙක් සිය දිවි නසා ගන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය” යනුයි. දුකුළා ඇවත පචිති ඇවතට ද කුඩා ඇවතකි. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය සිදු වේ නම්, තථාගතයන් වහන්සේ එයින් ද පාරාජිකා වන බව වදාරන්නාහ. සිය දිවි නසා ගැනීම ගැන පනවා ඇත්තේ තිරිසනුන් මැරීමෙන් වන ඇවතට ද කුඩා ඇවතකි. එයින් තේරුම් ගන්නට ඇත්තේ එය ප්‍රාණඝාත කර්මයක් නො වන බව හා තිරිසන් සතකු මැරීමෙන් වන පාපය තරම් බරපතළ පවකුත් නො වන බව ය. සියදිවි හානි කර ගැනීම ගැන දුකුළා ඇවතක් පනවා ඇතත් එය කර ගැනීමට සුදුසු අවස්ථා ඇති බවත් විනය අටුවාවෙහි දක්වා තිබේ.

“යස්ස පන මහා ආබාධො චිරානුබද්ධො, භික්ඛු උපට්ඨහන්තා කිලමන්ති, ජිගුච්ඡන්ති, කදා නු ඛො ගිලානතො මුඤ්චිස්සාමාති අට්ඨියන්ති. සචෙ සො අයං අත්තභාවො පටිජග්ගියමානොපි න තිට්ඨති භික්ඛු ච කිලමන්තීති ආහාරං උපච්ඡින්දති, භෙසජ්ජං න සෙවති වට්ටති. අයං රොගො ඛරො ආයුසංඛාරා න තිට්ඨති. අයඤ්ච මෙ විසෙසාධිගමො හත්ථප්පත්තො විය දිස්සතීති උපච්ඡින්දති වට්ටති. අගිලානස්සා පි උප්පන්නසංවෙගස්ස ආහාර පරියෙසනං නාම පපඤ්චො, කම්මට්ඨාන මෙව අනුයුඤ්ජිස්සාමී ති කම්මට්ඨානසීසෙන උපච්ඡින්දන්තස්ස වට්ටති.”

(සමන්තපාසාදිකා 334)

මේ පාඨයේ අදහස; “බොහෝ කල් පවත්නා වූ මහා ආබාධයක් ඇති භික්ෂුවකට උපස්ථාන කරන භික්ෂූන්ට බොහෝ වෙහෙසෙන්නට සිදු වේ නම්, රෝගියාත් පිළිකුල් නම්, ඒ රෝගී භික්ෂුව ‘මේ ආත්ම භාවය ප්‍ර‍තිකර්ම කළත් නො පැවැත්විය හැකි ය. මා නිසා සෙසු භික්ෂූහු ද බොහෝ වෙහෙසෙතියි සලකා බෙහෙත් ආහාර වර්ජනය කරනවා නම් වටනේය. යම් භික්ෂුවක් මට ඇතිවී ඇති මේ රෝගය නපුරු ය. මට විශේෂාධිගමයක් ද අතට පත්වූවාක් සේ පෙනෙන්නේ ය. මම ශරීර පෝෂණය හැර විශේෂාධිගමය පිණිස ද වීර්‍ය්‍ය කරමි යි ආහාර අතහරී නම් වටනේය. රෝගයක් නැති භික්ෂුවක් විසින් තමාට උපන් සංවේගය නිසා ආහාර සෙවීමත් ප්‍ර‍මාදයක් ය, මම භාවනාව ම කරමි යි, භාවනා පිණිස ආහාර ගැනීම අත හරී නම් එය ද වටීය” යනුයි. මේ පාඨයෙහි ‘වට්ටති’ යන වචනයෙන් කියන්නේ ඇවැත් නො වන බව ය. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය වේ නම් කිනම් කරුණක් නිසාවත් එය නො වන්නේ ය. කියන ලද කරුණුවල දී ආහාරෝපච්ඡේදය වටනා බව විනය අටුවාවෙහි කියා තිබීමෙන් ද එය ප්‍රාණඝාත කර්මයට අයත් නො වන බව දත යුතු ය.

02. දිවි නසා ගැනීම ප්‍රාණඝාත කර්‍මය නුවූව ද අපායෝත්පත්තියට හේතු වන අකුශලයක් නො වේ ද?

මෙය විභජ්ජවාදය අනුව විසඳිය යුතු ප්‍ර‍ශ්නයෙකි. සාවද්‍ය වූ දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. නිරවද්‍ය දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. ඇතැම් අඥයෝ තමන්ට වූ අලාභ හානි නිසා හෝ ප්‍ර‍සිද්ධ වුවහොත් මහත් ලජ්ජාවට පැමිණිය හැකි වරදවල් තමන් අතින් සිදු වීම නිසා හෝ ඇතැම් අදහස් ඉටුකර ගන්නට ඉඩ නැතිකම නිසා හෝ අනුන්ගෙන් ඇති කරදර නිසා හෝ ජීවත්වීමට මඟක් නැති නිසා හෝ සිත දූෂණය කරගෙන සිය දිවි නසා ගනිති. ඇතැම් මෝඩයෝ අනුන්ට රිදවීම පිණිස ද දිවි නසා ගනිති. ඒවා සාවද්‍ය දිවි නසා ගැනීම් ය. එසේ දිවි නසා ගන්නවුන්ට දෙවන ජාතියේ සුගතියේ ඉපදීමට ද දුෂ්කර ය. දූෂිත වූ සිතින් කාලක්‍රියා කරන පුද්ගලයා ගේ දෙවන උපත ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.

“ඉමම්හි වායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො;

නිරයං උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පදූසිතං.

යථා හරිත්වා නික්ඛිපෙය්‍ය එව මෙව තථා විධො;

චෙතො පදොස හෙතූ හි සත්තා ගච්ඡන්ති දුග්ගතිං”

(ඉති වුත්තක පාලි)

“සිත දූෂ්‍ය වී ඇති මේ වේලාවේ දී මේ තැනැත්තා කාලක්‍රියා කෙළේ නම් ඔහු නරකයෙහි උපදනේ ය. මක් නිසා ද? ඔහු ගේ සිත දූෂ්‍ය වී ඇති බැවිනි.

එබඳු පුද්ගලයා මළ පසු ගෙන ගොස් දැමුවාක් මෙන් නරකයට වැටෙන්නේ ය. සිත දූෂ්‍ය වීම හේතු කොට සත්ත්වයෝ දුර්ගතියට යෙති” මේ ගාථා දෙක්හි තේරුම ය.

මේ දේශනාව අනුව කිය යුත්තේ පැමිණි අලාභ හානි ආදිය නිසා සිත දූෂ්‍ය කර ගැනීමෙන් දිවි නසා ගන්නා අය මරණින් මතු නරකයෙහි උපදනා බව ය. මෙය සාමාන්‍ය දේශනාවෙකි. එබැවින් දූෂ්‍ය වූ සිතින් මැරෙන අය ප්‍රේත බවටත්, තිරිසන් බවටත් පැමිණිය හැකි බව කිය යුතු ය. දිවි නසා ගැනීම තමාට වූ පාඩුවක් පිරිමසා ගැනීමට කළ යුතු ප්‍ර‍තික්‍රියාවක් නොවේ. එය අනුවණකමෙකි. තමන් ගේ දෙලොව ම නසා ගැනීමකි.

යම් කිසි උසස් අර්ථයක් සඳහා ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට සමත් වන තරමට නුවණ දියුණු කර ගෙන ඇත්තා වූ වීර පුරුෂයෝ සමහර විට උසස් අර්ථයන් සඳහා තමන් ගේ ජීවිතයත් පරිත්‍යාග කෙරෙති. බ්‍ර‍හ්මසෘෂි නම් තාපස කාලයේ දී අප මහ බෝසතාණන් වහන්සේ අන් අහරක් නො ලැබීමෙන් සිය දරුවන් කා දමන්නට තැත් කරන ව්‍යාඝ්‍රධේනුව ගේ ඉදිරියට පිනූහ. සිරිසඟබෝ රජතුමා තමා ගේ හිස සියතින් ම සිඳ දුගියෙකුට දුන්නේ ය. උසස් අර්ථයක් සඳහා කරන එබඳු දිවි නසා ගැනීම් නිරවද්‍ය දිවි නසා ගැනීම් ය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ගෝධික තෙරුන් වහන්සේ සියතින් බොටුව සිඳ දිවි නසා ගත්හ. එයත් උසස් අර්ථයක් උදෙසා කළ නිරවද්‍ය දිවි නසා ගැනීමකි.

ආයුෂ්මත් ගෝධික ස්ථවිරයන් වහන්සේ ඉසගිලි පර්‍වතයේ එක් පසෙක විසූහ. උන් වහන්සේ බොහෝ උත්සාහ කොට ලෞකික ධ්‍යානයක් උපදවා ගත්හ. ලෞකික ධ්‍යානය වනාහි ලැබූ තැනැත්තා විසින් එය අත් නො හැර නැවත නැවත සමවැදීම් වශයෙන් ආරක්‍ෂා කර ගත යුතු ය. එසේ නො කොට අන් කටයුතුවල යෙදුන හොත් ධ්‍යානය නැති වන්නේ ය. ධ්‍යානයෙන් පිරිහෙන්නේ ය. ගෝධික තෙරුන් වහන්සේ රෝග බහුල කෙනෙක. එබැවින් උන්වහන්සේට ධ්‍යානය පවත්වා ගත නො හැකි විය. ධ්‍යානයෙන් පිරිහුණාහ. උන් වහන්සේ දෙවන වරද උත්සාහ කොට නැවත ධ්‍යානය උපදවා ගත්හ. එහෙත් රෝග නිසා දෙවන වරත් ධ්‍යානයෙන් පිරිහුණහ. මෙසේ තුනවන සතරවන පස්වන වරද උපදවා ගත් ධ්‍යානයෙන් පිරිහුණහ. සවන වාරයේ ධ්‍යානය ලබාගත් පසු උන්වහන්සේ සිතන්නාහු ධ්‍යානයෙන් පිරිහී ඉන්නා අවස්ථාවක මරණය වුවහොත් මතු උපත අනියත ය. ධ්‍යානය තිබිය දී මරණය වුවහොත් බඹලොව ඉපදීම නියත ය. එබැවින් දැන් ධ්‍යානය තිබෙන වේලාවේ දී දිවි නසා ගනිමි යි සිතූහ. උන්වහන්සේ කරන්නට යන දෙය දුටු මාරයා සිතනුයේ ගෙළ සිඳ ගැනීම ශරීරය කෙරෙහිත් ජීවිතය කෙරෙහිත් ආශාව නැතියකුට මිස අනිකකුට නො කළ හැකි දෙයක. කාය ජීවිත දෙක්හි ආලය නැති මුන් වහන්සේ එසේ කිරීමේ දී කමටහන සිහිකොට රහත් වන්නට ද බැරි නැත. මෙය මා විසින් වැළැක්විය යුතුය යි සිතා මෙය බුදුන් වහන්සේට සැලකර උන් වහන්සේ ලවා වළක්වමි යි ඒ බව බුදුන් වහන්සේට සැල කළේ ය. එකෙණෙහි ම ගෝධික තෙරුන් වහන්සේ සිය ගෙළ සිඳ ගත්හ. එයින් උන්වහන්සේට බොහෝ වේදනා ඇති විය. උන්වහන්සේ වේදනා යටපත් කොට සිහියෙන් යුක්ත වී ඒ වේදනාව ම අනිත්‍යා දී වශයෙන් මෙනෙහි කොට සියලු කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන් පා වදාළ සේක. මාරයාට පිළිතුරු වශයෙන් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“එවං හි ධීරා කුබ්බන්ති නාවකංඛන්ති ජීවිතං,

සමූලං තණ්හං අබ්බුය්හ ගෝධිකො පරිනිබ්බුතො”

එහි තේරුම “නුවණැත්තෝ මෙසේ කෙරෙත්. ජීවිතයට ඇළුම් නො කෙරෙත්. මුල්සහිත තණ්හාව උපුටා දමා ගෝධිය පිරිනිවීය” යනුයි. ඡන්නතෙරුන් වහන්සේ ද දිවි නසා ගෙන රහත් ව පිරිනිවන් පෑ කෙනෙකි. මේ කථා දෙක ම සංයුක්ත නිකායේ සඳහන් වී ඇත්තේ ය. යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගැනීම පාපක්‍රියාවක් නම් දිවි නසා ගන්නා වේලාවේ දී ඒ ඒ තෙරුන් වහන්සේලාට රහත් විය නො හැකි ය. මේ කරුණු අනුව යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගන්නවුන්ට එයින් පාපයක් නො වන බව පිළිගත යුතු ය.

03. මතු ජාතියේ එක්ව විසීමට පතා දිවි නසා ගන්නා පෙම්වතුන්ට පෙම්වතියන්ට ඒ පැතීම නිසා අනාගත භවයේ එක්ව වාසය කරන්නට ලැබේ ද?

නිකම්ම කරන ප්‍රාර්ථනාවල් සිදු වෙත හොත් ලොව හැම දෙනාට ම ලෙහෙසියෙන් ම සුඛිත විය හැකි ය. ලෝකයේ දුඃඛිතයෝ ඉතිරි නො වන්නාහ. නිකම් ප්‍රාර්‍ථනා කළාට යම් කිසිවක් සිදු වන්නේ නො වේ. නිකම්ම යම් යම් දේ අනාගතයෙහි ලබේවා යි පැතීම මුදල් නැතිව බඩු ගන්නට සිතීම වැනි මෝඩ වැඩකි. අනාගතයෙහි යම් කිසිවක් ලැබීමට පතනවා නම් එය කළ යුත්තේ එය ලැබීමට හෝ සිදුවීමට සෑහෙන පිනක් කොටය. පෙම්වතුන්ට ද සෑහෙන පින්කම් කොට “මේ පින් බලයෙන් අපට අනාගත භවයන්හි එක්ව සුවසේ වාසය කරන්නට ලැබේවා” යි පැතුව හොත් එය සිදුවිය හැකි ය. පින් කොට කරන පැතුම් වුව ද නො වැරදී ම සිදුවනවාය යන නියමයක් නැත. සමහර විට එයත් සිදු නොවී යා හැකි ය. “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ සිල්වතුන් ගේ ප්‍රාර්ථනා සිදු වන බව ය. “තඤ්ච ඛො සීලවතො වදාමි නො තථා දුස්සීලෙ” යි ඒ ප්‍රාර්ථනා සිද්ධිය දුශ්ශීලයන් ගැන කියන්නක් නොව සිල්වතුන් ගැන ම කියන්නක් බව ද වදාරා ඇත්තේ ය. ඇතැම් පෙම්වතුන් දිවි නසා ගැනීමේ දී කිසිම පිනක් නො කොට අනාගතයේ එක්ව විසීමට කරන ප්‍රාර්ථනාව කිසි කලෙක සිදුවිය නොහෙන මෝඩ ප්‍රාර්ථනාවෙකි. පිනක් කොට එසේ කරන ප්‍රාර්ථනාව වුව ද නො වරදවා සිදුවීමට නම් සිල්වත්ව වාසය කළ යුතු ය. සිල්වත්ව විසීමය කියන්නේ ප්‍රාණඝාතාදි දුශ්චරිත පසින් වැළකී සිටීම ය. ඒවායින් කවරක් හෝ කරනවා නම් ඒ තැනැත්තා දුශ්ශීලයා ය. ඒ පව්කම්වලින් ඔහුට අපායට යන්නට සිදු වුව හොත් ප්‍රාර්ථනාව සිදු වන්නට ඉඩ නො ලැබේ. පින් කොට වුව ද කරන දුශ්ශීලයන් ගේ ප්‍රාර්ථනා සිද්ධිය අනියත වන්නේ එහෙයිනි. මතු ජාතිවල එක්ව විසීමේ ප්‍රාර්ථනාව නො වරදවා ම ඉටු කර ගන්නට නම් පින් කොට එසේ පතා පවින් වැළකෙමින් සිල්වත්ව විසිය යුතු ය.

නවකතා කරුවන් විසින් කිවීන් විසින් දිව්‍යමය ගුණයක් කොට වර්ණනා කරන්නා වූ ද, තවත් බොහෝ දෙනකුන් විසින් උසස් ගුණයක් කොට සලකන්නා වූ ද ප්‍රේමය බුදු දහමේ දැක්වෙන සැටියට නම් සත්ත්වයා සුගතියට පමුණුවන පිනක් නොව අවිද්‍යාව හෙවත් මෝඩකම වැඩි වැඩි තරමට වඩ වඩා තියුණුව වඩ වඩා මහත්ව ඇති වන ක්ලේශයෙකි. අවිද්‍යාව නිසා ඇතිවන ප්‍රේමයෙන් අවිද්‍යාව තව දුරටත් වැඩෙන්නේ ය. අවිද්‍යාව වැඩීම නිසා ප්‍රේමය ද තව දුරටත් වැඩෙන්නේ ය. මෙසේ වැඩීම ඒ කෙලෙස් වල සැටියකි. ප්‍රේමය නමැති මේ ක්ලේශය බුදු දහමෙහි බොහෝ තැන්වල දැක්වෙන්නේ රාගය යන නාමයෙනි.

තරුණ තරුණියන් විසින් ඉමහත් මිහිරක් වශයෙන් සලකන මේ රාගය මිහිරක් නොව සත්ත්ව සන්තානය දවන ගින්නකි. එබැවින් තථාගතයන් වහන්සේ“රාගග්ගි දහති මච්චේ රත්තේ කාමෙසු මුච්ඡතෙ” යනුවෙන් රාග නමැති ගින්නෙන් කාමයන්හි ඇලුණු මුළා වූ සත්ත්වයෝ දවනු ලබන්නාහු යි වදාළ සේක. ඇතැම් තරුණ තරුණියන් අපට මතු සංසාරයේ දී වත් එක්ව වාසය කරන්නට ලැබේවා යි පතා, ගඟට මුහුදට පනින්නේ - ඇසිඩ් බොන්නේ රාගයේ දැවීම ඉවසිය නොහෙන තරමට බලවත් වූ විටය. රාගය පුද්ගල සන්තානය දවන ක්ලේශයකි. එහි දවන ස්වභාවය දැනෙන්නට වන්නේ එය බලවත් වූ විටය. සත්ත්වයනට ඉෂ්ටවිපාක ඇති වන්නේ චිත්ත සන්තානය පිනවන අලෝභ මෛත්‍රී ශ්‍ර‍ද්ධා ප්‍රඥාදි ධර්‍මයන්ගෙනි. චිත්ත සන්තානය දවන රාග ද්වේෂාදීන්ගෙන් අනාගතයෙහි ඇති කරන්නේ ද අනිෂ්ඨ විපාකයෙකි. අකුශල්ය කියනුයේ අනිෂ්ට විපාක ඇති කරන ධර්මයන්ට ය. දවන ස්වභාවය ඇතියක් බැවින් රාගය ද අනාගතයෙහි අනිෂ්ට විපාක ඇති කරන පාප ධර්මයෙකි. මරණාසන්නයේ දී එය බල පැවැත්වුව හොත් ප්‍රේත ලෝකයෙහි ඉපදිය හැකි ය.

රාගය විශේෂයෙන් ප්‍රේතව ඉපදීමටත් ද්වේෂය නරකයෙහි ඉපදීමටත් මෝහය තිරිසන් යෝනියෙහි ඉපදීමටත් හේතු වන බව දහම් පොත්වල කියා ඇත්තේ ය. මෙලොව සිය අදහස් පරිදි එක්ව විසීමට ඉඩ නො ලැබීමෙන් මතු ජාතියේ දී එක් වන්නට බලාපොරොත්තුවෙන් දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගේ සන්තානවල මරණාසන්නයේ දී අන්‍යොන්‍ය ප්‍රේමය හෙවත් රාගය හෝ මතු වී පවතී. නැතහොත් බලාපොරොත්තු ඉටු කර ගන්නට නො ලැබීමෙන් වන කෝපය හෝ මතු වී සිටී. නැතහොත් මෝහය මතු වී සිටී. ඒ අවස්ථාවෙහි දී දෙදෙනා කෙරෙහි ම සමානව රාගය මතු වී සිටිය හොත් ඔවුනට සමහර විට ප්‍රේතලෝකයේ එක්ව විසිය හැකි වනු ඇත. එකකු ගේ සන්තානයෙහි රාගයත් අනිකා ගේ සන්තානයෙහි ද්වේෂයත් නැඟ සිටිය හොත් දෙදෙනාට දෙපලකට යන්නට සිදු විය හැකි ය. දුර්ගතියෙහි වුව ද දිවි නසා ගන්නා යුවළකට එක් වන්නට ලැබෙනවා නම් එය කලාතුරකින් සිදුවන කරුණකි. එබැවින් මතු එක්ව කම් සැප විඳීමේ බලාපොරොත්තුවෙන් දිවි නසා ගැනීම මෝඩකම්වලින් ලොකු ම මෝඩකමක් බව කිය යුතු ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මස්‌මාංශ අනුභවය පිළිබඳව....

මස්‌මාංශ අනුභවය පිළිබඳව සමාජයේ විවිධ මත පවතී. කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය පවට අනුබල දීමක්‌ යෑයිද ඒ නිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ යෑයි ද තර්ක කරති. කෙසේ හෝ වේවා මේ තත්ත්වය හමුවේ අසරණ වන බෞද්ධ පින්වතුන්ට මෙහි සැබෑ තත්ත්වය පහදා දීම මෙම ලිපියේ අරමුණයි.
උභතෝකෝටික ප්‍රශ්නයක්‌ යනු කෙළවරවල් දෙකක්‌ ඇති ප්‍රශ්නයකි. මස්‌ මාංශ අනුභවය පිළිබඳවද බෞද්ධ පින්වතුන් අද මුහුණ දී සිටිනුයේ උභතෝකෝටික ප්‍රශ්නයකට යෑයි කීවොත් නිවැරැදිය.
කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය අකුසල කර්මයක්‌ යෑයි පවසති. තවත් කෙනෙක්‌ පවසනුයේ මස්‌ මාංශ අනුභවය වරදක්‌ නොවන බවයි. මස්‌මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් ඇතැම්හු ආවේගශීලීව කටයුතු කරන ආකාරයක්‌ ද දක්‌නට ලැබේ. මෙම පිsරිස විනය පිටකය බුද්ධ දේශනාවක්‌ නොවන බවට ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට පත්වී සිටිනවා. මෙය කනගාටුවට කරුණකි.
මෙම ප්‍රශ්නයේදී තවත් සමහරෙක්‌ බුදුරජාණන් වහන්සේගේ දේශනා තමන්ට රුචි ආකාරයෙන් අර්ථ දක්‌වන ආකාරයක්‌ දැකිය හැකියි.
කෙසේ හෝ වේවා මස්‌ මාංශ අනුභවය පිළිබඳව කෙනෙක්‌ අපගෙන් හොඳද නරකද කියා සෘජු ලෙස විමසීමක්‌ කළහොත් බරපතල ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එහිදී අපට දීමට ඇති උත්තරය වනුයේ මස්‌ කෑම නරක බවයි. එහෙත් මස්‌ මාංශ අනුභවය ප්‍රාණඝාත අකුසලයත් සමඟ පටලවා ගත යුතු නැහැ
කෙනෙක්‌ අපගෙන් මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුද්ධ දේශනාව කුමක්‌ද කියා විමසන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයන්ට මෛත්‍රිය කරන ලෙසයි. ඒ පිළිබඳව සංවාදයක්‌ නැහැ. එයයි අපට ඊට දීමට ඇති උත්තරය. කුරා කූඹියාට පවා මෛත්‍රිය කරන ලෙසයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ පිළිබඳව අපට කිසිදු විවාදයක්‌ නැහැ.
නමුත් අපට ප්‍රශ්නයක්‌ තියෙනවා. මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් එය සමාජගත කරන්න උත්සාහ දරන පිරිස්‌ අතර ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කිසිදු සිද්ධාන්තයක්‌ නැති පුහු තර්ක නිසා බෞද්ධයා නොමඟට යනවා. අතරමං වෙනවා. එයයි අපට තියෙන ප්‍රශ්නය.
මාංශ භක්‍ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක්‌ කරුණු සඳහන් වෙනවා. මCධිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධියක්‌ පිළිබඳව. ඉන් අදහස්‌ කළේ කොන් තුනක්‌ පිරිසිදු මාංශයන් අනුභව කළාට කමක්‌ නැති බවයි.
දිට්‌ඨං. සූතං පරිසංකිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කාරණයයි.
තමන් සතකු මරණවා දුටුවා නම්, සැක සිතුණා නම් එසේම එම සතා මැරුවේ ඔබ නිසා නම් එම මස්‌ වැළඳීමෙන් වළකින ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේනම් මෙතැනදී ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එසේ නොවන මසක්‌ අනුභව කළාට වරදක්‌ නැත්ද කියා. ඇත්ත වශයෙන් ඒ පදනමින් නොවෙයි, බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ.. තමන් යම් මාංශයක්‌ අනුභව කිරීමෙන් පසුව සැකයක්‌ ඇති වී මානසික බිඳවැටීමක්‌ ඇති වුවහොත් මානසිකව පීඩාවට ලක්‌විය හැකියි. තමන් එම මාංශය අනුභව කිරීමෙන් පවක්‌ සිදු වුණාද යන පසුතැවීමකට වුවද ලක්‌විය හැකිය. එම තත්ත්වයෙන් මිදීම සඳහායි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක්‌ කළේ. මේ තත්ත්වය පදනම් කරගෙන කෙනෙක්‌ කියනවා නම් මේකෙන් තොර යමක්‌ අනුභව කිරීම වරදක්‌ නැහැ කියලා………. එයත් නොවෙයි මින් අදහස්‌ කරන්නේ…. සාමාන්‍ය ජීවන පැවැත්මට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමයි. මින් අදහස්‌ කරන්නේ. අප එය අර්ථ දක්‌වන්නේ සම චර්යාව කියලයි.
බුදු දහමෙහි සඳහන් ප්‍රධාන වචන දෙකක්‌ තියෙනවා. එකක්‌ තමයි අපි ඉහතින් සඳහන් කළ සම චර්යාව අනෙක්‌ වචනය තමයි ධර්ම චර්යාව. මෙම වචන දෙක පිළිබඳව කිසිවෙක්‌ නිසි පර්යේෂණයක්‌ කර කරුණු ඉදිරිපත් කරලා නැහැ. අපි ඒ පිළිබඳව යම් යම් කරුණු එකතු කරගෙන යනවා.
සම චර්යාව යනු සමාජයේ යහපතට, පැවැත්මට හේතුවන කරුණුයි. අංගුත්තර නිකායේ සීහ සේනාපති සූත්‍රයේ සඳහන් වෙනවා පවත්ත මාංශය පිළිබඳව.
සීහ සේනාපතියා යනු සෝවාන් වූ අයෙක්‌. දිනක්‌ ඔහු බුදුරජාණන් වහන්සේට සංඝයා වහන්සේ පන්සිය නමක්‌ සමඟ තමන්ගේ ගෙදර දනට වඩින ලෙස ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ එම ආරාධනාව පිළිගන්නවා. සීහ සේනාපතියා නිවසේ සිටින සේවක පිරිසකට දානය පිළියෙල කරන්න උපදෙස්‌ දුන්නා.
එක්‌කෙනෙක්‌ යෑව්වා මස්‌ ගේන්න කියලා. වෙළෙඳපොළේ තියෙන මස්‌ (පවත්ත මාංශ) ගේන්න කියලයි ඔහු උපදෙස්‌ දුන්නේ. මසුත් පිළියෙල කරලා ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දානය පිළිගැන්වූවා. මෙවැනි දේවල් සඳහන් සූත්‍ර ගණනාවක්‌ බුදුදහමේ දැක්‌වෙනවා. නමුත් අපි මේ අවස්‌ථාවේදී ඒ සියලු දේවල් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද සමහරුන් මේ දේවල් දෘෂ්ටි වශයෙන් ගත හැකි නිසා මහාවග්ග පාලියේ භික්‍ෂූන් වහන්සේලා බණ භාවනා කරන කොට නොවැළඳිය යුතු මස්‌ වර්ග ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම ආමගන්ධ සූත්‍රයේද සුත්ත නිපාතයේ ද මේ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම අටුවා සහ ටීකාවල මේ පිළිබඳව දීර්ඝ විස්‌තර සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ අධ්‍යයනයක යෙදී ඇති බැවින් මස්‌ කෑමට පක්‍ෂව හෝ විපක්‍ෂව ඇති තරම් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.
නමුත් අපට මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුදු දහමේ සඳහන් කරුණු විකෘති කර දැක්‌වීමේ අයිතියක්‌ නැහැ. එය සාධාරණ වන්නේත් නැහැ.
බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දැඩි අන්තගාමී බවක්‌ කිසිවිටෙකත් දක්‌නට නැහැ. යම් භික්‌ෂුවකට වේවා පුද්ගලයකුට වේවා මානසික පීඩාවක්‌ ඇති වන්නේ නම් එය සමනය වන ආකාරයට ක්‍රියා කිරිම වරදක්‌ නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. විනයෙහි සඳහන් වන අන්දමට භික්‌ෂූන් වහන්සේ නමකට අමනුෂ්‍ය දෝෂයක්‌ ඇතිවී මස්‌ කෑමට සිදු වුණා. කෙතරම් බෙහෙත් කළත් අමනුස්‌සයන්ගේ මෙහෙයවීම නිසා එම භික්‌ෂුවට සුව වුණේ නැහැ. අවසානයේදී උන්වහන්සේට ඌරන් මරණ ස්‌ථානයකට ගොස්‌ අමු ඌරු මස්‌ කා උන්ගේ ලේ බීමට සිදුවුණා. ඉන්පසුව උන්වහන්සේට සුව වුණු බවයි විනයේ සඳහන් වන්නේ. අමනුස්‌සයන්ගේ ක්‍රියාකාරීත්වය නිසයි, උන්වහන්සේ එම තත්ත්වයට පත්වුණේ. එහිදී උන්වහන්සේ කළේ වැරදි ක්‍රියාවක්‌ කියා පිළිගැනුණේ නැහැ.
තමන් විසින් සත්ත්වයකු නොමරා කවුරුන් හෝ මරපු සතුන්ගේ මස්‌ අනුභව කිරීම නිසා ප්‍රාණඝාතය කියන අකුසල කර්මය නම් සිදුවන්නේ නැහැ. එය ඉතා පැහැදිලියි. ප්‍රාණඝාත අකුසල කර්මය, සිදුවීමට නම් කරුණු පහක්‌ සම්පූර්ණ විය යුතුයි. සතෙකුවීම, පණ ඇති බව දැන ගැනීම, මැරීමේ ෙච්තනාව, උපක්‍රම යෙදීම සහ අවසානයේදී එම සතා මැරීම යන කරුණු පහ සම්පූර්ණ වූ විටයි ප්‍රාණඝාත අකුසලය සිදු වන්නේ.
මෙය අපි සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සාහ කරමු. යම්කිසි කෙනෙක්‌ යම් සතෙක්‌ මරන්න උත්සාහ කරනවා. සතෙක්‌ බව දැනගෙන උගුලක්‌ද අටවනවා. එම අවස්‌ථාවේදී සතා උගුලෙන් බේරී පලා යනවා. එතැනදී ප්‍රාණඝාත අකුසලයක්‌ සිදු වන්නේ නැහැ. එම පුද්ගලයාගේ සිත ඒ අවස්‌ථාවේ ද්වේශසහගතව ක්‍රියාකිරීම පමණයි සිදුවුණේ. එය ඔහුව වෙහෙසට පත්කරනවා විනා ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවන්නේ නැහැ
වෙළෙඳ පොළේ පවතින මස්‌ (පවත්තමාංශ) ගෙනැවිත් අනුභව කළාට ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. නමුත් මීට එරෙහි වන අය පවසන්නේ මස්‌මාංශ අනුභව කිරීමෙන් සතුන් මැරීමට අනුබල දීමක්‌ සිදු කරන බවයි
ඔවුන් නඟන මේ තර්කය සාධාරණද? අපි ඒ ගැන විමසා බැලිය යුතුයි
මනුස්‌සයා ඇතිවී තිබෙන්නේ ජීව විද්‍යාත්මක සාධක මතයි. එනිසා මේ දේවල් ලෝකයේ සහමුලින්ම නැතිකරන්න පුළුවන්ද? කෙනෙක්‌ හිතනවා නම් මස්‌මාංශ අනුභවය පවක්‌ කියා ඔහුට පුළුවන් ඉන් වැළකී සිටීමට. එහි වරදක්‌ නැහැ. නමුත් එම තත්ත්වය මුළු සමාජයේම ක්‍රියාත්මක කළ හැකිද? එය ප්‍රායෝගිකද? එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සතුන් මරණ මිනිසුන් සිටියා. අදත් සිටිනවා. ඉදිරියේදීත් සිටීවි. එය වෙළෙඳ ව්‍යාපාරයක්‌ වශයෙන් පවතිනවා.
හොඳයි අපි මොහොතකට හිතමුකෝ මස්‌මාංශ අනුභවය පවක්‌ කියා තර්ක කරන අය නිසා සමස්‌ත සමාජයම මස්‌, මාළු කෑම නතර කරයි කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ රටේ ධීවර අමාත්‍යාංශයක්‌ පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. හෘද සැත්කම් සඳහා මෝරා නමැති මත්ස්‍යයාගේ විශේෂ කොටසක්‌ පාවිච්චියට ගනු ලබනවා. මේ තත්ත්වය යටතේ එයත් වැළකී යනවා. එනිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ නිසා අප මේ සඳහා ඉදිරිපත් කරන විකල්ප මොනවාද?
මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සාකච්ඡා කරලා තිබුණා. දෙව්දත් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වර පහක්‌ ඉල්ලුවා. ඉන් එක්‌ වරයක්‌ වුණේ මාංශ භක්‌ෂණයෙන් තොර විය යුතුයි යන කාරණය. එය බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. ඕනෑ කෙනෙක්‌ එය පිළිගත්තාට වරදක්‌ නැති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. මේ ප්‍රශ්නය මින් එහාට ගෙන ගියොත් පරම අවිහිංසාවාදී තත්ත්වයක්‌ යටතේ අපි කොහොමද ජීවත් වන්නේ. බුදුදහම කියන්නේ නිගණ්‌ඨයන්ගේ දහමක්‌ නොවේ. එවැනි අන්තවාදී අදහස්‌වලින් සමාජයට හානියක්‌ මිසක්‌ වාසියක්‌ වන්නේ නැහැ. මෙම මිථ්‍යා මත දරන්නන් නිසා යම් කෙනෙක්‌ මාංශ භක්‌ෂණයෙන් ඉවත් වුණා කියමුකෝ, මෙහි තව ටිකක්‌ දුරට ගමන් කළාම මොකද වෙන්නේ. ඒ අයට හිතෙන්න පුළුවන් නිවෙස්‌වල මකුළු දැල් කැඩීමත් වරදක්‌ කියලා. නිවෙස්‌ අතුපතුගාන එකත් වරදක්‌ කියලා. මොකද අතපතුගාන කොට ඒ ස්‌ථානවල පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන්නේ. ගොවිතැන් කිරීමත් නුසුදුසුයි කියලා මේ අය හිතන්න පුළුවන්. පොළොව කොටනකොට පොළවේ සිටින සතුන් මැරෙනවනේ. ගොවිතැනට කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීමත් වරදක්‌ විදිහට පෙනෙන්න පුළුවන්. එවිට ගොවිතැනට හානිකරන සතුන් මැරෙනවානේ. වතුර ටිකක්‌ උණු කර බොන තත්ත්වයකුත් නැතිවෙයි. මොකද ඒවායේ ක්‌ෂුද්‍ර ජීවීන් සිටිනවනේ. අවසානයේදී හුස්‌ම ගැනීම, පොළොවේ ඇවිදීම පවා පවක්‌ කියල හිතන්න පුළුවන්. අප මේ මිථ්‍යාදෘෂ්ටික මත දරන්නන්ගේ හඬට ඇහුම්කන් දුන්නොත් අවසානයේදී අප කොහේටද ගමන් කරන්නේ. මේ තත්ත්වය යටතේ අපට සිදු වන්නේ ශ්‍රි ලංකාවෙන් බුදුදහම ඉවත් කිරීමටයි. මොකද ජීවත්වෙන්න බැරි පරිසරයක්‌ අර මිථ්‍යා මත දරන්නන් නිසා බිහිවනවානේ. අප ඊට ඉඩ දිය යුතුද?
මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කර ගැනීම වැදගත්.
පුංචි දරුවකුට පණු අමාරුවක්‌ හැදුනා කියමුකෝ. පණුවන් විනාශ කිරීමට බෙහෙත් කිරීම පවක්‌ කියලා හිතුවොත් මොකද වෙන්නේ. ප්‍රතිකාර නොලැබීම නිසා ඒ දරුවා මියයන්න පුළුවන්. එතකොට දරුවා මියයැමට සැලැස්‌වීම පාපයක්‌ නොවෙයිද?
එනිසා එක එක්‌කෙනාගේ ඔළුගෙඩි තුළ තිබෙන පුහු මත සමාජගත කිරීමට අවස්‌ථාවක්‌ නොදිය යුතුයි. අප ඊට අවස්‌ථාවක්‌ ලබාදුනහොත් සිදුවන්නේ විශාල විපතක්‌. මේ අය ඉදිරිපත් කරන කිසිකෙනකුට පදනමක්‌ නැහැ. පදනමක්‌ නැති කිසිදු සිද්ධාන්තයක්‌ නැති මත ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ සමාජ සංස්‌ථාව බිඳවැටීම පමණයි. සමාජයේ පැවැත්මට බාධා පැමිණවීම පමණයි. අද මේ ප්‍රශ්නය නිසා බොහෝ මිනිසුන් අසරණ වෙලයි සිටින්නේ.
සමාජයේ පැවැත්මට හානිකර ප්‍රශ්නයක්‌ අල්ලාගෙන සිටින මෙම පිරිසට අප රටේ සංවිධානය විය යුතු කොතරම් ප්‍රශ්න තියෙනවාද? ඇයි මේ පිරිසට බැරි මනුෂ්‍ය ඝාතන නොකරන සමාජයක්‌ වෙනුවෙන් හඬනගන්න. අද අවුරුදු තුනේ හතරේ පුංචි දරුවොත් අතවරයට ලක්‌වෙනවා. ඇයි ඒ වෙනුවෙන් මේ අය හඬ නගන්නේ නැත්තේ. අද මේ සමාජයේ හොරකම වැඩිවෙලා. ඇයි මේ පිරිසට ඒ වෙනුවෙන් හඬක්‌ නගන්න බැරි. ඒ වෙනුවෙන් සංවිධාන හදාගන්න.
සමාජ සහජීවනය බිඳ දමන මතිමතාන්තර හැදීමෙන් මේ අය සිදු කරන්නේ සමාජය තුළ විශාල හානියක්‌ ඇති කිරීමයි. මස්‌ මාංශ අනුභවය ඒ කාලයේදීත් තිබුණා. නමුත් ඒ පිළිබඳව මිනිසුන්ගේ ඔළුවලට මේ අදහස්‌ දැමීමක්‌ සිදුවුණේ නැහැ. අපි නොදැනුවත්ව සතුන් මැරීමක්‌ සිදුවීම ප්‍රාණඝාත අකුසලයට වැටෙන්නේ නැහැනේ. නමුත් ලෝභ දේවේශ මෝහ යන කාරණා අඩුවී අප මාර්ගඵල ලාභී තත්ත්වයට පත්වන විට මේ තත්ත්වය වෙනස්‌ වෙන්න පුළුවන්. වෙළෙඳ පොළෙන් මස්‌ අරගෙන පරිභෝජනය කරන කෙනෙකුට පවක්‌ සිදුවන්නේ නැහැ. නමුත් එම සතුන් පොළව මත සිටින බව ඔහු දන්නවනේ. සාමාන්‍ය ජීවිතයේදී නොවෙයි මාර්ගඵල ලාභී උත්තරීතර අවස්‌ථාවකදී එම තත්ත්වයෙන් පවා (මස්‌ කෑමෙන් පවා) වැළකෙන අවස්‌ථාවන් ඒවි. එවැනි තත්ත්වයකදී මස්‌ මාංශ අනුභවය ඉබේම වැළකෙන තත්ත්වයකුයි නිර්මාණය වන්නේ. එහෙත් යෑපීම් සඳහා මේ දේවල් සමාජයේ තියෙනවා. මෙයින් අපි අදහස්‌ කරන්නේ නැහැ සතුන් මැරිය යුතුයි කියා. නමුත් පවතින සමාජ යථාර්ථය අප තේරුම් ගත යුතුයි. අප කලින් සඳහන් කළ ආකාරයට සමචර්යාවට ඉඩදීම විනා ඊට එහා ගොස්‌ සමාජය විකෘති කිරීමේ අයිතියක්‌ අපට නැහැ. තමන්ගේ ආවේගශීලී අදහස්‌ ඉදිරිපත් කිරීමට, බොරු සිල් පෙන්වීමට මිත්‍යා මත දරන්නන් කරන දේවල්වලින් සිදුවන්නේ මහා සමාජ විනාශයක්‌ පමණයි. මේ අයගේ ක්‍රියා කලාපය බලවත් වුවහොත් බුදුදහම සමඟ රැඳී ඉන්න බැහැ කියලා සමාජයේ මතයක්‌ ඇතිවිය හැකියි. බෞද්ධ පින්වතුන් බෞද්ධකමින් ඉවත්වී වෙනත් අදහස්‌ වැළඳ ගන්න තත්ත්වයක්‌ මේ නිසා නිර්මාණය විය හැකියි. මස්‌මාංශ අනුභවයට එරෙහිව මිත්‍යා මත වපුරන මේ අය සියුම් ලෙස මේ කරන්නේ බෞද්ධ ජනතාව ඉන් ඈත් කිරීමක්‌ද යන්න ඔබ අපට සැකසහිතයි. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන්නේ ප්‍රයෝගික ලෙස ජීවත්වෙමින් බෞද්ධයන් ගෙවන ආගමික සහජීවනය බිඳ දැමීමයි.
මස්‌ මාංශ අනුභවය පිළිබඳව පුහු මත ඉදිරිපත් කරන මේ අයට බෞද්ධ විඥනයක්‌ නැහැ. බෞද්ධ චින්තනයක්‌ නැහැ. තමන්ට කටට ආපු දේ කියනවා. ඔවුන් සිදු කරන්නේ ජනප්‍රිය ලාභ සත්කාර ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීම පමණයි. මේ සම්බන්ධයෙන් සමහර මිත්‍යා මත ඉදිරිපත් කරන්නේ නිසි ලෙස පැවිදි උපසම්පදාවක්‌ ලැබූ භික්‌ෂුන් නොවේ. අපි ඒ අයට අභියෝග කරනවා යම් දවසක මේ පිළිබඳව අප සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා.
අද මේ ගැන කතා කරන අය සතුන් මරණ ආකාරය දක්‌වන වීඩියෝ පට පාසල්වල පවා දර්ශනය කරනවා. මේ හින්දා පුංචි දරුවන්ගේ පමණක්‌ නොව වැඩිහිටියන්ගේ ද මනස අවුල් වෙනවා. මෙවැනි වීඩියෝ පාසල්වල ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතුයි. ඊට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි. නිරෝගී දරුවන්ගේ මානසික තත්ත්වය බිඳ දැමීමට මෙම මිත්‍යා මත දරන්නන්ට ඉඩනොදිය යුතුයි
මස්‌ මාංශ අනුභවයට එරෙහිව පොතපත ලියන අය හෝ වේවා දේශන පවත්වන අය වේවා බුදු දහම ගැඹුරින් දකින්නැයිද ඒ ගැන අධ්‍යයනය කරන්න යෑයිද අපි ඔවුන් වෙත දැන්වීමට කැමැතියි. ධර්ම සන්නිවේදනයේදී ධර්ම සන්නිවේදකයා ඉතාමත් පරිස්‌සම් විය යුතුයි. අප සැත්කමක්‌ කරන අයුරින් ධර්ම සන්නිවේදනය කළ යුතුයි.
ත්‍රිපිටකයේම තියෙන මාංශ අනුභවය සම්බන්ධ තොරතුරු අප සොයා බැලුවා. අටුවාවේ සඳහන් කරුණුත් සොයා බැලුවා. ඒවගේම අපට වඩා තලතුනා ධර්මධර, විනයධර භික්‌ෂුන් වහන්සේලාගෙනුත් මේ ගැන විමසා බැලුවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස තමයි අප මේ කරුණු අනාවරණය කරන්නේ. මස්‌ මාංශ අනුභවයට එරෙහිව මත ඉදිරිපත් කරන්නන් පසු විපරමක්‌ කරලා නැහැ. ඉන් සමාජයට වී ඇති හානිය පිළිබඳව ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ අපිටයි. පුංචි දරුවන් ඇතුළු වැඩිහිටියන් මේ ගැන ඇති කරගෙන තිබෙන අනියත බිය නිසා අපට ඊට ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙනවා. ඔවුනගේ අනියත බිය නැති කරන්න වෙලා තියෙන්නේ බුදුදහම පිළිබඳව ගැඹුරින් අදහස්‌ දක්‌වන්න පුළුවන් ස්‌වාමීන් වහන්සේලාට පමණයි. අප ඒ කාර්යය කළ යුතුයි. නැතිනම් සමස්‌ත සමාජයටම වෙන්නේ හානියක්‌.
මෙම මිත්‍යා ඉදිරිපත් කරන්නන් එය සමාජගත කිරීම සඳහා විශාල මුදලක්‌ වැයකර තිබෙනවා. මේ අයට මේ මුදල් කොයින්ද? මේක ජාවාරමක්‌. මෙම ජාවාරම කරන පිරිස කියන කතා, ප්‍රකාශ කර ඇති දේවල්වලින් බෞද්ධාගමට වන්නේ විශාල හානියක්‌. ඇතැම් අය භික්‌ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් පවා ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. මේ අය ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා නොවේ. අප සමාජයේ මිනිසුන් මස්‌ මාංශ අනුභව කළා තමයි. නමුත් එහි ඇලුනේ නැහැ. ඔවුන්ගේ සුන්දර පවුල් ජීවිත අවුල් කරන මේ මිත්‍යා මත අප පරාජය කළ යුතුයි.

Life Rahas

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤