දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

අර්ථවත් කරගත යුතු මිනිසත් බව

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ජීවිතයට සැබෑවට ම යහපත ඇති කරදෙන සාරවත් දේ, අර්ථවත් දේ තෝරා බේරා ගැනීමේ හැකියාව, දක්ෂතාවය මෙලොව බොහෝ දෙනකුට නැතිතරම්. එනිසාම ලොව බොහෝ දෙනෙක් මිථ්‍යා සංකල්පනාවේ යෙදෙනවා. සිත ඇදී යන නොයෙක් කාම අරමුණු ගැන සිතනවා. සිතෙහි ඇතිවන තරහව තව තවත් පෝෂණය කරනවා. අනුන්ගේ දෙයට ආශා කරනවා. අනුන්ට හිංසා පීඩා කරන ආකාරය ගැන සිතමින් ජීවිතාර්ථයෙන් ඈතට යන බව පෙනෙන්නට තිබෙනවා. මේ මිථ්‍යා සංකල්පනාවේ එල්බ සිටින තාක් ජීවිතයට යහපත උපදවන හරවත් දේ කරා ඔවුන්ට යාමට පුළුවන්කමක් නැහැ.
පෙර සසරේ කළ මහා පිනක විපාකයක් නිසයි ඉතාමත් සුළු කලකට අප මේ මිනිස් ලොවට පැමිණ තිබෙන්නේ. ඉතාම දුර්ලභව ලද මිනිස් දිවිය අර්ථවත් යැයි සිතමින් අප කොතරම් දේ සිදු කරනවාද?

ඔබ මොහොතක් සිතුවාද? අපට පෙර මේ මනුලොව සිටි බොහෝ දෙනා භෞතික දේ වෙනුවෙන් අද අප ගන්නා වෙහෙස ම කැපවී ම ම සිදුකළා. අවසානයේ ඔවුන් උගත්කම්, තානාන්තර, නම්බුනාම ගේදොර, ඉඩකඩම් ආදී සියල්ල තබා හිස් අතින් ම මිය පරලොව ගියා. දිවා රෑ වෙහෙස වී ඉපයූ කිසිවකින් පරලොවට යහපතක් වූයේ නැහැ. ඉතින් වත්මන් ලෝකයේ සිටින අපමණ වෙහෙසෙන අපගේ අනාගතයත් මෙයම නොවේද? අප මේ සොයන දේහි සැබෑ හරය කුමක්ද? මෙලොව, පරලොව දෙකම සැපවත් කරන මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේදී ලැබිය හැකි සැබෑම හරය, වටිනාකම පිළිබඳව මෙයට වඩා දැනුවත් විය යුතුව ඇත. ජීවිතයට උදාකරගත හැකි උත්තම හරය, අරටුව, සාරය සාක්ෂාත් කොට දේශනා කළ අපගේ අසහාය ශාස්තෘන් වහන්සේ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයට වඩා දෙයක් මෙලොව හෝ, පරලොව දී මුණ ගැසෙන්නේ නැහැ. ඒ ගැන “අග්ගඥ්ඥ” සූත්‍රයේ මේ ආකාරයට සඳහන් වෙනවා. “ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේ ච” වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත් පරලොවෙහිත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.
එනිසා තථාගත ශ්‍රී සද්ධර්මය තුළින් ජීවිතයකට උදා කරගත හැකි උතුම් ම අර්ථය නම් අමා මහ නිවනයි. ඒ වනාහි පරම සැපයයි. ඒ කරා යන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය තථාගත ශ්‍රී සද්ධර්මයෙහි දී “සෝත” යන නමින්ද හඳුන්වනවා. “සෝත” යන්නෙහි අර්ථය සැඩපහර යන්නයි. සැඩපහරකට හසු වූ කෙනෙක් මුහුද කරාම ගසාගෙන යෑම එහි ස්වභාවයයි. ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි කෙනක් අමා මහ නිවන නම් වූ සාරය කරාම ඇදීියන බැවින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් අමා මහා නිවනින් කෙළවර වන සැඩ පහර යන අර්ථයෙන් “සෝත” ලෙස හඳුන්වනවා. බුද්ධ ශාසනය තුළ දී යමෙකුට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කරා පැමිණිය හැකිනම් ඔහු සැඩපහරට පැමිණි කෙනා යන අර්ථයෙන් සෝතාපන්න පුද්ගලයා හඳුන්වනවා.
මේ ජීවිතයේ සාරය කරා යාමට යමෙක් අපේක්ෂා කරත් නම්, ඔහු කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමයි. එනම් සෝතාපන්න වීමයි. සෝතාපන්න වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා සදහටම සතර අපායෙන් මිදුණ කෙනෙක්. නියත වශයෙන්ම භව සතක් ඇතුළත අමා නිවන පසක් කර ගන්නෙක්. ඒ අමා නිවන පිහිට කොට ඇති සෝතාපන්න ශ්‍රාවකයා තුළ ඒකාන්ත වශයෙන්ම ධර්මයන් සතරක් පිහිටයි.ඒවානම්,
1. ඔහු බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් හැඳින නිසැක බවට පත්ව, නොසෙල්වන ප්‍රසාදයකින් යුක්ත වේ.
2. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උතුම් ශී‍්‍ර සද්ධර්මය ගැන ගුණ වශයෙන් හැඳින නිසැක බවට පත්ව නො සෙල්වෙන පැහැදීමකින් යුක්ත වේ.
3. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක වූ උතුම් රහතන් වහන්සේ ප්‍රමුඛ මාර්ගඵලලාභී ආර්ය මහා සංඝරත්නය ගැන ගුණ වශයෙන් හැඳින නිසැක බවට පත්ව නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වේ.
4. නොකැඩුණු, සිදුරු නොමැති, පැල්ලම් නැති, තෘෂ්ණාවට දාස නොවූ, නැණවතුන් විසින් පසසන, බාහිර දෘෂ්ඨි ආදියට ගැති නොවූ සමාධිය පිණිස පවතින ආර්යකාන්ත සීලයකින් යුක්ත වේ.
මේ උතුම් සතර ධර්මයන්ගේ වටිනාකම ගැන අප ගෘස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් සතර මහා දිවයිනට ම අධිපති බවක් ඇද්ද, මේ උතුම් සතර ධර්මයන්ගේ ලැබීමක් ඇද්ද, සතර මහා දිවයින් ම අධිපති බව ලැබීම, සතර ධර්මයන් ලැබීම හා සසඳා බලද්දී සෙළොස් කලාවෙන් එක් කලාවක් එනම් දාසයෙන් පංගුවක් තරම්වත් එය නො වටින්නේය. (රාජ සූත්‍රය - සංයුක්ත නිකාය)
දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් මෙසේ අසා වදාළා. “පින්වත් මහණෙනි, පුරුෂයෙක් මහා සාගරයෙන් ජල බිංදු දෙක තුනක් උඩට ගත්තා කියා හිතමු. ඉතින්, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? වඩාත් වැඩි මොනවාද? සාගර දියෙන් උඩට ගත් ජල බිංදු දෙක තුනද? මහ සයුරේ දිය කඳද?” ඒ වෙලාවේ දී භික්ෂූන් වහන්සේ කියා සිටිනවා “ස්වාමීනි, මහ සයුරේ දියමයි වැඩි. උඩට ගත් ජල බිංදු දෙක තුන නම් ඉතාමත්ම ස්වල්පයයි. මහ සයුරේ දිය කඳ සමඟ උඩට ගත් ජල බිංදු දෙක තුන සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බැහැ. දහස්වන කලාවටත් සසඳන්න බැහැ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බැහැ”.
එවෙලෙහි භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සලසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභය අතිවිශාල යහපතක් සලසා දෙනවා, ඔය ආකාරයට චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ අවසන් කළ දුක ඉතාමත්ම වැඩියි. ඔහුට විඳින්නට ඉතිරි වී ඇති දුක නම් ඉතාමත්ම ස්වල්පයකි. ගෙවී ගිය අවසන් කළ ඒ පළමු දුක හා ආත්ම භාව හතක් උපරිම කොට උපත ලැබීම සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බැහැ. දහස්වන කලාවටත් සසඳන්න බැහැ, ලක්ෂයේ කලාවටත් සසඳන්න බැහැ. (සමුද්ද සූත්‍රය - සංයුක්ත නිකාය 2)
එසේ නම් ඔබට පෙනෙනවා ඇති සෝතාපන්න වීම තුළින් ජීවිතයට කොයිතරම් නම් අර්ථයක් ලැබෙනවාද කියලා.
පථව්‍යා ඒකරජ්ජේන - සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන -සෝතාපත්තිඵලං වරං

(මුළු පෘථිවියම ජයගෙන, චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා සකල ලෝකයටම අධිපති වෙනවාටත් වඩා සෝවාන් ඵලයට පත්වීමම උතුම්) (ධම්මපදය - ලෝක වර්ගය)
මෙබඳු වටිනාකමක් අප මේ ලෝකයේ මහත් සේ වෙහෙස වී සොයන අන් කිසිවෙකින්වත් නොලැබෙයි. එනිසා බුද්ධිමත් වීර්යවන්ත කෙනෙක් මහත් කැපවී අත්පත් කර ගත යුතු දේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීමයි. ඒ තුළින් ලැබෙන රැකවරණය මෙතැකයි වචනයෙන් කිව නොහැකි තරම්.
ඒ නිසා දුර්ලභ පුණ්‍ය විපාකයකින් ලද මනුෂ්‍ය ජීවිතයෙන් සැබෑම අර්ථය, හරය, රැකවරණය උදා කරගන්නට අප සැම අදිටන් කර ගත යුතු වෙයි.