දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සුගති දුගති වෙනස

කොබෙයිගනේ පුබ්බිලිය 
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය 
ගලගෙදර රතනවංශ හිමි
මේ ලෝක ධාතුව තුළ ජීවත් වන සත්වයා කෙලෙස්වලින් අනූනය. රාගයෙන් රත් වී, ද්වේශයෙන් දූෂිත වී, මෝහයෙන් මුලා වී වාසය කරති. එහිදී නිවැරැදි දේ නිවැරැදි ආකාරයෙන් දැකීමට තරම් බුද්ධියක් නූපදී. බුදුරදුන් ධර්මය අවබෝධ කොටගෙන පළමුව කෘතගුණ දක්වනු වස් බරණැස් නුවර මිගදායේ ඉසිපතනාරාමයේ එවකට සිටි පස්වග තවුසන්ට දහම් දෙසීමට වැඩම කරන අතර මග හමු වූ උපක නම් ආජිවකයාට මතක් කර දෙන්නේ,
“ධම්ම චක්කං පවත්තේතුං - ගච්ඡාමි කසිනං පුරං 
අන්ධභූතස්මිං ලෝකස්මිං - ආභඤ්ජං අමත දුන්දුභිං”
මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස් නුවරට යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි ආදී වශයෙනි. මේ අනුව බුද්ධ ඤාණයෙන්ම ලෝක සත්වයාගේ ස්වභාවය දේශනා කොට ඇත. සත්වයා සසර සැරිසරන්නේ ද අවිද්‍යාව (නොදැනීම) නිසා ය. එය පටිච්චසමුප්පාද දේශනාවෙන් මනාව දේශනා කොට ඇත.
බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ ලෝක වග්ගය තුළින් මේ සම්බන්ධව වටිනා උපදෙසක් සේම අර්ථ විවරණයක් කර ඇත. එනම්,
අන්ධභුතො අයං ලෝකො 
තනුකෙත්ථ විපස්සති 
සකුන්තෝ ජාල මුත්තෝව 
අප්පෝ සග්ගාය ගච්ඡති
මේ ලෝකයේ අනුවණ පුහුදුන් පුද්ගලයා අන්ධය. ඔවුන් අතුරෙන් ස්වල්ප දෙනෙක් හරි ආකාරයෙන් ලෝකය දකිත්. ඔවුහු දැලෙන් මිදුනු කුරුල්ලන් සේ සුගතියට පැමිණෙත්.
මෙම ගාථා ධර්මය සරලව සේ පෙනුණ ද ගැඹුරු අර්ථයක් අන්තර්ගතව ඇත. මෙහිදී “අන්ධ” යන වචනය භාවිතා කොට ඇත්තේ ප්‍රඥාව නොමැතිකමටය. යථාර්ථය දැකීමට නම් ප්‍රඥාව අත්‍යවශ්‍ය වේ. බුදුහිමි බොහෝ සූත්‍ර අවසානයේ දී “චක්ඛුං උදපාදි පඤ්ඤා උදපාදි” යනුවෙන් නුවණැස නොහොත් ප්‍රඥාව පහළ විය. ආදී වශයෙන් දේශනා කොට ඇත. ලෝකයේ ටික දෙනෙකුට පමණක් නුවණ ඇත. එය ප්‍රඥාවයි.
එමනිසා ප්‍රඥාව ඇති ටික දෙනා යථාර්ථය දැක මෝහය නමැති අන්ධකාරයෙන් මිදීමට උත්සාහවත් වෙති. එය හරියට දැලකට හසු වූ වටකුරුලු රංචුවක් අතරින් වටුකුරුලු කිහිප දෙනෙක් උත්සාහයෙන් දැලෙන් මිදී මරණයට හසු නොවී පලා යන්නාක් බඳු ය. ඔවුනට සුගතියක්ම හිමි වේ.
නමුදු අන්ධ වූවන් අර දැලට හසු වූ වටු කුරුල්ලන් සේ එතනම මරණයට පත් වේ. අන්ධ බව යනු පස්කම් සැපයට හසු වී යථාර්ථය නොදැක මියගොස් නිරයට යෑමයි. අන්ධ බව නිරයට යන මාවතයි.
එනිසා බොහෝ පිරිස් පස්කම් වලටම ගිජුව එහිම ඇලී ගැටී මැරී ගොස් නිරයේ ඉපදෙති. “අප්පෝ සග්ගාය ගච්ඡති” ඒ අන්ධ සත්වයින් අතුරින් ටික දෙනෙක් සුගතියට යති. මරුගේ පස්කම් ගුණ නමැති දැලට වැසුණු සතුන් අතුරෙන් ටික දෙනෙක් සුගතියට සැපයට පැමිණෙති. සත්වයා නිතරම එකළොස් ගින්නකින් තැවෙති. දැවෙති.
රාගෝච දොසෝචමොහෝ චව්‍යාධි 
ජරා ච මරණම්පි ච සෝක මෙව 
පරිදේව දුක්ඛ මපී ච දෝමනස්සං 
පායාස මෙකාදස මග්ගිමාහු
රාගය, ද්වේශය, මෝහය, ව්‍යාධිය, ජරාව, මරණය, දුක්ඛය, දෝමනස්සය, පායාසය යනාදී එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර දැවි දැවී, පිච්ච පිච්චී සිටියද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ පංචකාම නම් වූ දැලට හසු වී සිටින බැවින් එය නොපෙනේ. නොදැනේ. බුදු හිමි පෙන්වා දෙන්නේ මෙවැනි ගිනි වලින් දැවෙනා සත්වයාට කුමන සිනාවක් ද, කුමන සතුටක් ද, යනුවෙනි.
පංචකාම දැලට හසු වූ බොහෝ දෙනෙක් නිරයට යන්නේ අවසන් මොහොතේ දී පවා උපාදානය නොහොත් මගේ, අපේ යන ආත්ම සංකල්පය ඉවත් කර ගැනීමට අපහසු බැවිනි. සෝවාන් වීමේ දී නැතිවෙන දස සංයෝජන වලට අයත් පළමු අංගය වන්නේ ද සක්කාය දිට්ඨිය නොහොත් ආත්ම දෘෂ්ඨියයි. එනම් මමය, මාගේය ආදී සංකල්පයන්ය. ඒවා නැති නොකර ගැනීම නිරයට නොහොත් අභෞව්‍යස්ථාන වල ඉපදීමට හේතු වන්නේ ය.
බුදු කෙනෙක් ලොව පහළ වන්නේ ද මෝහයෙන් මුලා වී අන්ධකාරයේ සිටින සත්වයාට ප්‍රඥාව නමැති ආලෝකය දල්වා ඉන් මුදා ගැනීමටය. හරියට ලිප ගිනි මොලවන තෙක් කකුළුවා සැපයක් සේ සිතා ක්‍රියා කරන්නා සේ සත්වයා ද පංච කාමයෙන් අන්ධව මරණයට හේතු වී ඒ ගැන නොසිතා කටයුතු කරති.
එතුළින් මියගොස් නිරයෙහි උපදී. මේ කරුණු සිහියට ගෙන බුදුන් දෙසූ දහම තම තම නැණ පමණින් හෝ වටහා ගැනීමට උත්සාහවත් විය යුතු ය. සංසාර චක්‍රය බොහෝ දීර්ඝ බැවින් නැවත නැවත ඉපදීමට ද හේතු වේ. එලෙස නැවත නැවත ඉපදීමට ප්‍රාර්ථනා නොකළත් ප්‍රඥා ඇස පහළ වනතුරු හෝ ඉපදීමට සිදුවේ. එම ඉපදෙන ආත්ම වල නිරයනට නොයා සුගතියක ඉපදීමට උත්සාහවත් වීම උසස් මනසක් ලැබූ සත්වයාගේ කාර්යය යුතුකම වන්නේ ය.

බුදුසසුන බොහෝ කල් ලොව පැවතීමට නම්...

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය 
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි
බුදුසව්වන් හෙවත් බුද්ධශ්‍රාවකයන් කොටස් හතරකි. භික්ෂු, භික්ෂුණී උපාසක උපාසිකා යන හතරයි. එදා බුදුරජාණන් වහන්සේ විසින් ඇති කර වදාළ භික්ෂු ශාසනය අද දක්වාත් සමස්ත ලෝකයේ මත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම අද ලෝකයේ මහායාන ථේරවාද වශයෙන් ගත්විට දෙපක්ෂයේම විශාල භික්ෂු පිරිසක් වැඩ වාසය කරනවා. මහායාන රටවල භික්ෂුණීන් වහන්සේලා ද ඉන්නවා. ලංකාව පමණක් ගත්විට භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව 35000 ක් පමණ වෙනවා. තවත් ථේරවාද රටවල් වන බුරුමයේ, තායිලන්තයේ අපේ රටේ වාගේ දස පැවදි බව ලබන අයත් සිටින නිසා වැඩි සංඛ්‍යාවක් භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරනවා. ඒ වුණත් මේ රටවල තාවකාලික ක්‍රමය අනුව පැවිද්ද ලබා භික්ෂු පිරිසත් ගත්තහම ජීවිතයේ ආගමානුකූල හොඳ ශික්ෂණයක් ලබා ගැනීම අරමුණු කර ගෙන එහෙම තාවකාලික ව පැවිද්ද ගන්නවා. ඒ බොහෝ දෙනෙක් පසුව ගිහි ජීවිත අංග සම්පූර්ණව ගත කරනවා. තායිලන්තයේ රජතුමා පවා මේ තාවකාලික පැවිද්ද ලබපු කෙනෙක්. ඉතින් භික්ෂු සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වැඩි වීමත් භික්ෂූන් වහන්සේලාගේ පැවැත්ම පිළිබඳ බොහෝ ගැටලු ඇති කරනවා. බුදුහාමුදුරුවෝ විනය නීති පැනවූවේත් භික්ෂු සංඛ්‍යාව වැඩි වෙන කොට ඇති වූ නොයෙක් විනය කඩකිරීම් නිසයි.
මේ භික්ෂු විනයේ කඩතොලු ඇති වී උන්වහන්සේලා භේදභින්න වීමට පටන් ගත්තේ අද ඊයෙක නොවන බවත් අප මෙහිදී පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ම මේ තත්ත්වය පැහැදිලිව ඇති වන්නට පටන් ගත්තේ එදා දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි බව ලබා භික්ෂුවක් බවට පත් වූයේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ඥාති පරපුරේ ඉතාමත් ආසන්න කිට්ටු ම සාමාජිකයෙකු, ඥාතියෙකු වෙලා ඉඳගෙනයි. මේ දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් වර පහක් ඉල්ලා සිටියේ තමන්ගේ ඥාති බව ද සලකලා බුදුරජාණන් වහන්සේ මේ වර පහ එක්වරම දෙයි කියන විශ්වාසය ඇතිව වෙන්නටත් පුළුවනි. එහෙත් බුදුරජාණන් වහන්සේ එක් වරටම මෙය ප්‍රතික්ෂේප කළේ තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයට එය පටහැනි නිසා. මෙය තේරුම් ගැනීමේ හැකියාවක් මේ අනුවණ භික්ෂුවට තිබුණේ නැහැ. මේ සිදු වීමෙන් මහත් කෝපයට පත් වෙච්ච මේ භික්ෂුව එයට ගත් පියවර වූයේ බුදුසසුනේ ම පැවිදිව සිටි එවැනිම අනුවණ තම පක්ෂය ගත් භික්ෂු පිරිසක් හා එක්ව වෙනත් නායකත්වයක් යටතේ වෙනත් කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් අවසානය දක්වාම බුදුරජාණන් වහන්සේට වෛර කම් කමින් සිට අවාසනාවන්ත ලෙස පරලොව යාමයි.
ඡබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා ද තවත් යම් පමණකට අවිනයවාදී භික්ෂු පිරිසකි. කොසඹෑනුවර ධර්මධර හා විනයධර වශයෙන් බෙදී අවිනය ලෙස හැසිරීමෙන් ඔවුන් සමඟි කරවීමට බුදුරජාණන් වහන්සේ බොහෝ උත්සාහ දැරුවත් එය කළ නොහැකි තත්ත්වයක් පෙනී ගිය විට උන්වහන්සේ මහත් සංවේගයට පත් වූයේ තමන්වහන්සේ වැඩ වාසය කරන කාලයේ දී ම මේ විදියට මේ භික්ෂූන් වහන්සේලා භේද වී ක්‍රියා කරනවා නම් අනාගතයේ එය කෙතරම් දරුණු විය හැකි ද සිතිවිල්ලෙන් යුතුව ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ දුකට, ශෝකයට පත් පෘථග්ජන භික්ෂූන් වහන්සේලා අඬන වැළපෙන ආකාරය දැක්ක සුභද්‍ර නම් භික්ෂුව මහ හඬින් ප්‍රකාශ කළේ පිළිවෙලට අපි දැන් සෝක කරන්නේ මොකටද? එහෙම කරන්නට දෙයක් නැහැ. දැන් අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණු නිසා සතුටු විය යුතු වෙලාවක් නේද? දැන් පැමිණ තිබෙන්නේ යන අදහස් ය. මේ නිසාම පළමුවන ධර්ම සංගායනාව කිරීමට හේතුවුණා. පසුව යම් යම් කාලවල විවිධ නිකාය ඇති වුණේත් භික්ෂූන් වහන්සේලාගේ අධර්මානුකූල පැවැත්ම හේතු වෙලයි. මේ අපේ බෞද්ධ ඉතිහාසය පුරාම මෙම විනය කඩකිරීම්, බුද්ධ දේශනාවට පටහැනිව භික්ෂූන් වහන්සේලා ක්‍රියා කළ ආකාරය අපට පේනවා. එදා බුදුරජාණන් වහන්සේ විසින් විවිධ හේතු සාධක ඇති වූ නිසාම විනය නීති රීති රාශියක් පැන වූවා වාගේම එය කොතරම් විශාල සංඛ්‍යාවක් ද කිවහොත් විනය පිටකය කියා ත්‍රිපිටකයට අයත් වෙනම පිටකයකුත් පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ අතිමානුසික ගුණයක් වන්නේ මෙවැනි තත්ත්වයන් ඇති වීමට හේතු එදා බුදුරජාණන් වහන්සේ දැනගෙන එය පැහැදිලි කොට එය දේශනා කිරීමෙනු යි.

බුදුසසුන බොහෝ කල් නොපැවතීමට හේතු

පළමුවෙන්ම බුදුසසුන කියන්නේ කුමක්ද? යන්න පැහැදිලි කර ගත යුතු වෙනවා. බුදු සසුන යන තැන සසුන කියලා කියන්නේ ශාසනය හෙවත් අනුශාසනය නැතිනම් දේශනා කරන ලද ධර්මයයි. බුදුසසුන කියන්නේ බුදුදහම යි. දවසක් කිම්බිල නුවර කිට්ටුව වේළුවන විහාරයෙහි වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ හමුවට ආවා කිම්බිල නමින් ප්‍රසිද්ධ සිටි හාමුදුරුවෝ. පැමිණිලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ගරු බුහුමන් දක්වලා ප්‍රශ්නයක් අහනවා “තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් කාලයක පිරිනිවන් පානවා. එහෙම පිරිනිවන් පෑවට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය බොහෝ කල් පවතින්නේ නැතිව කෙටි කාලයකින් ලෝකයෙන් අතුරුදහන් වුවහොත් එය සිදු වන්නේ කුමන හේතු බලපෑවොත් ද? ස්වාමීනි,” කියලා . මේ ප්‍රශ්නය ඉතා වැදගත් අර්ථයක් ගෙන දෙන එකක්. මොකද? මේ කාලයෙහි ත් සමාජයේ සිදුවන සංවාදයන් අනුව බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය මේ විදියට පරිහානි ලක්ෂණ ඇති වුවහොත් මේ සසුනට කුමකින් කුමක් වේද? කියා අසන විමසන උදවියත් ඉන්න බවත් අප අමතක කළ යුතු නැහැ කියලයි සිතෙන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් පෙන්වා දුන්නා. එයට හේතුවන කාරණා හතක් මේ කිම්බිල හාමුදුරුවන්ට දේශනා කළා. මේ දේශනාව ඇතුළත් සූත්‍රයට කියන්නෙත් කිම්බිල සූත්‍රය කියලයි. දැන් අපි බලමු මේ කරුණු හත කුමක්ද? කියලා. පළමුවැන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ මේ ජීවමාන කාලයෙහි ඉන්න භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසකවරුන් උපාසිකාවරුන් කියන මේ සිව්වනක් පිරිස යම් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කිසිදු ගෞරවයක් නොමැතිව ක්‍රියා කිරීම. ඇත්තෙන්ම මෙය අප ජීවත්වන සමාජයේ කොතෙකුත් දකින්න පුළුවනි. භික්ෂූන් වහන්සේලා මේ ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් එක් කාලයක මේ රටේ උපසම්පන්න භික්ෂූන් වහන්සේලා එකම අයෙකුවත් සොයා ගත නොහැකිව ශාසනය හිස් වුණා. අධාර්මිකව මේ කියන බුද්ධ ගෞරවයක් නැති වී යාමෙන් ලංකාවෙ ගණින්නාන්සේලා නමින් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටින ශ්‍රමණ ප්‍රතිරූපකයෝ තමයි හිටියේ. ඒ වෙලාවේ ලංකාවේ රජකම් කළ කීර්ති ශ්‍රී මහරජතුමා විසින් වර්ෂ 1747 දී සියම් රටෙන් උපාලි තෙරුන් වහන්සේ ප්‍රධාන උපසම්පන්න භික්ෂූන් වහන්සේලා ලංකාවට වැඩමවල ඒ උපසම්පදාව පිහිටෙව්වා. ඒ අයගෙන් පැවත එන භික්ෂූන් වහන්සේලා තමයි අදත් මේ වැඩ ඉන්නේ. මේ වාගේ පිරිහීමක් නිසාම පොළොන්නරු කාලයේ දී භික්ෂුණී ශාසනය ද නැති වී ගියා. භික්ෂූන් වහන්සේලා අතර නොයෙක් මතවාද ඇති වීමෙන් ශාසනය පිළිබඳ ශුද්ධයකුත් සිදු කළා. ගිහි උපාසක උපාසිකා කියන කොටස තුළත් බුද්ධ ගෞරවයක් නොමැතිව උන්වහන්සේ දේශනා කරන ලද ධර්මයට පටහැනිව නොයෙක් වැරදි ජීවිත ගත කරන අය කොපමණ නම් ඉන්නවාද?
දෙවනුව හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ ධර්මයෙහි සඳහන් ආකාරයෙන් ක්‍රියා නොකර ඊට විරුද්ධ ලෙස බොහෝ ලාමක ක්‍රියාවල යෙදීමයි. තුන්වැනිව දක්වා තිබෙනවා සංඝරත්නය කෙරෙහි ගෞරව සම්පන්න නො වී ජීවත් වීමයි. මෙයත් අපට මේ අද අපේ රටේ සිටින භික්ෂූන් වහන්සේලා ගිහි බෞද්ධ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන්ම සියලුම දෙනා නො වුණත් ඇතැම් අයගේ පැවැත්ම ප්‍රකාශන තුළින් දැක බලා ගන්නට පුළුවනි.
හතරවන කාරණය තමා බුදුරජාණන් වහන්සේ දේශනා කොට පනවා තිබෙන භික්ෂු විනය. ගිහි ශික්ෂාවන් පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරව තමන්ට සිතෙන පිළිවෙල අනුව කටයුතු කිරීම.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ආර්ය මාර්ගයට බසින්නට නම් අප හැම දෙනාම සිත නිවීමෙහි, තවත් ආකාරයකින් කියනවා නම් සිතේ එකඟතාව ඇති කිරීම එසේත් නැත්නම් චිත්ත සමාධිය වැඩි දියුණු කර ගැනීමට ක්‍රියා කළ යුතු වෙනවා. එහෙම වුණත් අපි කීයෙන් කී දෙනා ද මේ නො දැමුණු සිත එකඟ කර ගැනීමේ උත්සාහයක යෙදෙන්නේ? එයින් සිදු වන්නේ කුමක් ද අප භෞතික සැප සම්පත් ලබා ගැනීමට කොපමණ දන් පින්කම් කළත් භාවනාවට යොමු නො වී නිවන් මඟ ඈත් කර ගන්නවා. එය බුදු දහමට එකඟ වූවක් කියලා කියන්නට හැකියාවක් ඇත්තේ ම නැහැ. මේ කරුණ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කර තිබෙනවා. මේ නිවනට තිබෙන එකම මග අන් කිසිවක් නොව චිත්ත ශුද්ධිය ඇති කිරීම යි. ඊට මනස දියුණු කිරීමෙහි සමාධිය වැඩිය යුතු වෙනවා. එය අපෙන් සිදු නොවෙනවා නම් බුදුසසුන රඳා නොපැවතීමට හේතු වෙනවා. මෙය පස් වැනි කාරණාවයි.
හයවැනි කරුණ වෙන්නේ ධර්මානුධර්ම පිරීමෙහි අප්‍රමාද හෙවත් විසුරුණු සිතින් ක්‍රියා කිරීමයි. ඒ පිළිබඳ ඇලීමක් ඇති කර නොගැනීමයි. චිත්ත සමාධිය හරි හැටි වැඩි දියුණු කර ගැනීම තුළින්ම අපට අප්‍රමාදයෙන් හෙවත් සන්සුන් සිතින් යුක්තව ක්‍රියා කිරීමේ හැකියාව ඇති වෙනවා. ඒ නිසාම සමාජයට නො ගැළපෙන තීරණ තැනීමට අධාර්මික කටයුතුවල යෙදීමට පෙළඹෙනවා.
හත්වෙනි කරුණ ලෙස මේ සූත්‍රයෙහි සඳහන් වෙනවා එක්ව ජීවත්වන විට සමඟිය බිඳී භේද භින්න වී නොයෙක් අපවාද නින්දා එක එක්කෙනාට කරමින් කිසිදු එකට එක් වීමක් සාකච්ඡාවක් සමඟියක්, සමාදානයක් නොමැතිව ජීවත් වීම නිසාත් මේ බුද්ධ ශාසනය නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අතුරුදහන් වෙලා යනවා කියලා. මේ විදියට බුදුරජාණන් වහන්සේ කිම්බිල හාමුදුරුවන් වහන්සේ අමතා මේ කරන දේශනාවේ ඇතුළත් වන කාරණා හත හොඳට සම්පූර්ණ කර ගෙන අප ක්‍රියා කළ විට එයින් විශාල යහපතක් මේ සමාජයට පමණක් නොවෙයි. අනාගත පරම්පරාවලටත් අප ජීවත් වන සමාජයෙන් විශාල වැඩක්, අර්ථයක් කරපු පිරිසක් බවට අප පත් වෙනවා. හැම දෙනාටම මේ දහම් කරුණු අවබෝධ වී නිවන් මඟ හෙළි පෙහෙළි වේවා.