දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සසල කරන අරමුණු හමුවේ නිසලව සිටීම උතුම්ය

අප කවුරුත් උපත ලබන මොහොතේ දී අපගේ සිත පිවිතුරු ය .පැහැපත්ය. බිලිඳු දරුවකුගේ සුන්දර බව,අව්‍යාජ බව දක්නට ලැබෙන්නේ ඔහුගේ සිතෙහි පවතින එම පවිත්‍රතාවය හේතුවෙනි. එහෙත් වයසින් වැඩෙන විට ඉඳුරන් මෝරන විට එම ස්වභාවය ක්‍රමයෙන් වෙනස් වෙයි. ඇස්, කන්, නාසය ආදී පසිඳුරන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු මුල්කරගෙන හැසිරෙන ආකාරය අනුව සිත අපිරිසුදු වෙයි. බුදුරදුන් එය හැඳින්වූයේ සිත කෙලෙස් කහටින් කිළුටු වීමක් වශයෙනි. මහණෙනි,උපදින තැනැත්තාගේ සිත ඉතා පැහැපත් එකකි. (පභස්සරමිදං භික්ඛවේ චිත්තං) එය බාහිර වශයෙන් පැමිණෙන කෙලෙස්වලින් කිළිටි බවට පත් වෙයි. (ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨං)
පසිඳුරන් හා අරමුණු ගැටීමෙන් මනස තුළ සිදුවෙන ක්‍රියාදාමය ඉස්මතු වන්නේ ප්‍රධාන වශයෙන් ලෝභය, ද්වේෂය හා මෝහය මුල්කරගෙනයි. ඉරිසියාව, ,වෛරය, මාන්නය, වංචාව ආදී කායික හා මානසික ක්‍රියාකාරකම් ඒවාට බද්ධව පවතියි. පසිඳුරන් හා ගැටෙන අරමුණු සැපදායක , පි‍්‍රය දේවල් ලෙස සැලකීමෙන් ඒවා පසුපස ලුහුබඳින රාගයද, පසිඳුරන් අපි‍්‍රය දේවල් ලෙස සලකන අරමුණුවලට එරෙහිව ක්‍රියාකිරීමෙන් ද්වේෂයද සිතෙහි මතුවෙයි. එය සිදුවන්නේ ලෝකයේ නැතිනම් ජීවිතයේ සැබෑ ස්වභාවය නුවණින් වටහාගන්නට නොහැකි බැවිනි. එබඳු තත්ත්වය ඇතිවන්නේ මෝහයෙන් මනස ආවරණය කර තිබීම හේතුවෙනි. මෝහය නිසා මිනිස්සු කලහ විවාද ඇතිකරගනිති. නොයෙකුත් දුක් දොම්නස් වේදනාවන්ට ගොදුරුවෙති. තමන් පි‍්‍රය කරන ගැහැනිය හෝ පුරුෂයා නෙැලැබීම් හේතුවෙන් සියදිවි හානි කරගන්නට තරම් මෝඩකමෙන් ක්‍රියා කරන අය සමාජයේ සිටිති. තමන් අකැමැති දේවල් හා පුද්ගලයන් කෙරෙහි ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රියා කරන අයද බහුලව දක්නට ලැබේ. ජීවිතය හා ලෝක ස්වභාවයන් ගැන නිරවුල්ව වටහා ගන්නවා නම්, පුද්ගලයන් එලෙස හැසිරෙන්නේ නැත.
ජීවිතය ගැන නිවැරැදිව තේරුම් ගැනීමේ නුවණ ආවරණයට හේතුවන කාරණා පහක් පංච නීවරණ ධර්ම යනුවෙන් බුදුරදුන් පෙන්වා දී තිබේ. 1.කාමච්ඡන්ද (තණ්හාව) 2. ව්‍යාපාද (ද්වේෂය) 3.ථීනමිද්ධ (කම්මැලිකම) 4.උද්ධච්චකුක්කුච්ච (මනසෙහි නොසන්සුන් බව) 5.විචිකිච්ඡා (සැකය හෙවත් මෝහය) යන එම පංචනීවරණ ධර්මවලින් වැසුණ නුවණ පිරිසුදු කර ගත හැක්කේ භාවනාවෙහි යෙදීමෙනි. භාවනාවෙන් මනස යහපත්ව හසුරුවා ගත්විට අප ජීවිතයේ මුහුණපාන දුක් දොම්නස්වලින් මිදෙන්නට මාර්ගය පැහැදිලි වෙයි.
සිත පිරිසුදු කරගැනීමෙන් සසර දුක්වලින් මිදෙන්නට වෑයම්’ කරන භික්ෂුවක් විසින් කලින් කලට අවධානය යොමුකළ යතු කරුණු පහක් මජ්ක්‍ධිම නිකායේ විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙහි බුදුරදුන් සඳහන් කොට ඇත. එය භික්ෂූන්ට දේශනා කළත්, පැවිද්දන්ට පමණක් නොව ගිහියන්ටද ප්‍රයෝජනවත් වූවකි.
කිසියම් අරමුණක් මුල්කරගෙන සිතෙහි රාගයක් හෝ ද්වේෂයක් හෝ මුළාවක් හටගන්නවා නම් , ඒ අවස්ථාවෙහි කළ යුත්තේ වෙනත් දෙයකට සිත යොමු කිරීමෙන් සිතෙහි ඇතිවූ රාග, ද්වේෂ,මෝහ තත්ත්වය වෙනස් කිරීමයි. ස්ත්‍රියකගේ රූපය නෙත ගැටීමෙන් පිරිමියකුගේ සිතෙහි රාගය පහළවීම ස්වභාවික දෙයකි. සිත සංවර කරගැනීමෙන් තොරව එම රාගික හැඟීම ඔස්සේ ක්‍රියා කිරීම තුළින් පෞද්ගලික ජීවිතයට පමණක් නොව සමාජයට ද බලපාන විවිධ අර්බුද හා ආරවුල් ඇතිවෙයි. සෙසු ඉඳුරන් සම්බන්ධ අරමුණු කෙරෙහි ද මානසික බලපෑම එබඳුය. රාගය, ද්වේෂය හා මෝහය ඇතිවීමට ඒවා පදනම් වෙයි. තමන් අකැමැති පුද්ගලයකු දැකීමෙන් තරහ, වෛරය, මතුවෙයි. ඔහුට එරෙහිව සතුරුකම් කිරීමට පෙළෙඹෙයි. මෙම මානසික හැසිරීම් ගැන මනා අවදියෙන් සිටීම විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කෙරේ. සිත පාපකාරි දේවලට යොමු නොවී යහපත්ව පවත්වා ගැනීම සඳහා මුල්ම උපාය මාර්ගය වශයෙන් බුදුරදුන් පෙන්වා දෙන්නේ වෙනත් අරමුණක් කෙරෙහි සිත යොමුකිරීමයි. එනම්, ඉඳුරන්, හා ගැටෙන අරමුණ පසුපස නොගොස් වෙනත් දෙයක් කෙරෙහි මනස යොමුකිරීමයි. එය සඳහන් කොට තිබෙන්නේ 1.අඤ්ඤනිමිත්තං මනසිකාතබ්බං (වෙනත් කරුණක් කෙරෙහි සිත යොමුකරන්න) යනුවෙනි. එය සිදුකරන ආකාරය ගැන නිදසුන්ද එම සූත්‍රයෙහි දැක්වෙයි.
මහණෙනි, දක්ෂ වඩුවෙක් සියුම් ඇණයක් යොදාගෙන පුවරුවක රැඳුන ලොකු ඇණයට පහර ගැසීමෙන් එය පුවරුවෙන් ඉවත් කරන ආකාරයට ලෝභය, ද්වේෂය හා මෝහය පදනම් කරගත් ලාමක වූ පාප සිතිවිලි වෙයි නම්, ඒවා යහපත් සිතිවිලි මඟින් සිතෙන් ඉවත් කරගන්න. යම් කෙනෙකු පිළිබඳව තම සිත රාගයෙන් මුසපත් වන්නේ නම්, මිනිස් සිැරුරෙහි අසුබ, පිළිකුල් ස්වභාවය ගැන මෙනෙහි කරන්න. සිරුර සෑදී ආකාරය ගැන කල්පනා කොට එහි තිබෙන අප්‍රසන්න බව සිතට ගන්න. කිසියම් අචේතනික වස්තුවක් කෙරෙහි සිත අශාවෙන් මැඩගන්නවා නම් එහි කැඩෙන බිඳෙන වෙනස්වන ස්වභාවය ගැන සිතන්න.ඒ අසුබ බව මෙනෙහි කිරීම තුළින් රාගයට. තණ්හාවට මූලික වූ අරමුණ කෙරෙහි බැඳීම ඉවත් වෙයි.
සිතෙහි ක්‍රෝධය තරහ මතුවන අරමුණක් ඉඳුරන් සමඟ ගැටෙන විට වුවද කළ යුත්තේ එයින් බාහිර දෙයක් කෙරෙහි සිත යොමුකිරීමයි. ද්වේෂයට වි්රුද්ධ දෙය මෛත්‍රියයි. එම නිසා මෙත් සිතිවිලි පහළ කරගන්නට වෑයම්’ කළ යුතුයි. පුද්ගලයකු පිළිබඳව ද්වේෂයක් ඇතිවනවා නම්, මම මොහුට ද්වේෂ කරන්නේ කුමටද? මෛත්‍රියෙහි තිබෙන වටිනාකම ගැන සිතන්න.
දෙවන උපදේශය ලෙස බුදුරදුන් පෙන්වා දෙන්නේ අරමුණු කෙරෙහි බැඳීමෙන් ඇතිවන දුක් සහිත ආදීනව ගැන මෙනෙහි කිරීමෙන් හා පරීක්ෂා කිරීමෙන් ඒවායෙන් සිත මුදවා ගැනීමයි.ආශාව, තරහ, ක්‍රෝධය නිසා පුද්ගලයන්ගේ කායික හා මානසික පරිහානිය සිදුවෙයි. මානසික ආතතිය නිසා තමන් කරන දෙය පවා සිතා ගන්නට අපහසු මෝඩයන් බවට ඇතැම්හු පත්වෙති. එම නිසා බාල හෝ තරුණ කාන්තාවක් හෝ පුරුෂයෙක් ගෙලෙහි සර්ප කුණක්,බලුකුණක් දැවටුන විට පිළිකුළෙන් එය ඉවත් කරන්නා සේ, පසිඳුරන් හා බැඳුන ලෝභය, ද්වේෂය හා මෝහය මුල්කරගත් පාපී අකුශලයන් සිතෙන් වහා ඉවත් කළ යුතු යැයි බුදුරදුන් විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙහි පැහැදිලි කර ඇත. එම උපදේශය දැක්වෙන්නේ (ආදීනවෝ උපපරික්ඛිතබ්බෝ) විපාක පරීක්ෂා කර බලන්න යනුවෙනි.
රාගය,ද්වේෂය, මෝහය වැඩෙන අරමුණු කෙරෙහි බැඳී ඒවා ගැන මෙනෙහි කිරීමෙන් වළකින්න යනු (අසති,අමනසිකරෝ ආපප්ජිතබ්බෝ) තුන්වන උපදේශය සිතෙහි රාගය, තරහ වැනි නපුරු සිතිවිලි මුල් බැසගත් විට ඒවා නැවත නැවතත් සිහියට ගනිමින් පීඩාවට පත්වීම මනුෂ්‍ය ස්වභාවයයි. බොහෝ විට ගැහැණු පිරිමි දෙපිරිසම එකිනෙකා දැකීමෙන් ඇතිකරගන්නා මානසික බැඳීම හේතුවෙන් රාගයෙන් මුසපත් වෙති. ඔවුනොවුන් නොදැකීම විරහ වේදනාවන්ට මෙන්ම, අමනාපයෙන් වෙන්වීම වෛරයට හේතුවෙයි. ඒ හේතුවෙන් ජීවිත තෝරා කර ගන්නා අවස්ථා ද ඇත.අරමුණු කෙරෙහි මනසින් දැඩිව නොබැඳී, නොගැලී කටයුතු කළොත් එවැනි ස්වභාවයන් ඇති නොවේ. එය පහසු දෙයක් නොවන බව සත්‍යයකි. වෙනත් දෙයක සිත යොමුකිරීමට සිතා පොතක් කියවන්නට වෙහෙසුනත් ඒ තුලින් මතුවන්නේ තම පෙම්වතාගේ පෙම්වතියගේ රූපයයි. එය තම දියුණුවට මෙන්ම එදිනෙදා ජීවිතයේ කටයුතුවලටද බාධාවකි. මෙවැනි මානසික ආකූලතාවයන් තුරන් කරගැනීමට නම් කළ යුත්තේ මනසට නැඟෙන අරමුණු ගැන කල්පනා නොකිරීමයි.
පසිඳුරන් සමඟ ගැටෙන අරමුණූ හේතුවෙන් ලෝභය, ද්වේෂය,මෝහය මූලික කරගත් අකුසල් සිතිවිලි මතුවන විට මෙවැනි නපුරු සිතිවිලි ඇත්වන්නේ ඇයි දැයි ඒවායේ මූලය ගැන අවධානය යොමුකරන්න. (විතක්ක සංඛාර ඝණ්ඨානං මනසිකාතබ්බං) යනු සිව්වන උපදේශයයි. වේගයෙන් ගමන් කරන කෙනෙකු වෙහෙසට පත්ව, මා වේගයෙන් යන්නේ ඇයි? හෙමින් යාම හොඳ යැයි සිතා ඔහු සෙමින් යයි. කෙනෙකු සිටගෙන හිඳින විට මා මෙලෙස අමාරුවෙන් සිටින්නේ ඇයි? වාඩිවීම සුදුසු යැයි සිතා වාඩි වෙයි. මෙලෙස තමන් පීඩාවට පත්කරන ඉරියව්’ ගැන සියුම් විග්‍රහ කර බලා එයින් මිදෙන මාර්ගය සොයා ගනියි. ඒ අයුරින් නරක මානසික ආතතින් විග්‍රහ කර බලා එයින් මිදෙන්නට සුදුසු මාර්ගයක් සොයා ගත යුතුය. අප සමාජයේ කටයුතු කරන විට එහි මූලය ගැන සොයා නොබලා තීරණවලට එළඹෙන අවස්ථා තිබේ. පුද්ගලයකුගේ බැල්ම හෝ කතාව නිසා ඇතිකරගන්නා සැකයෙන්, වැරැදි වැටහීමෙන්, තරහෙන් ඇතැම්හු ක්‍රියා කරන්නට පෙළඹෙති. ඔහු මෙලෙස මා දිහා බැලුවේ ඇයි? මට කතා කළේ ඇයි ? යන කාරණා විග්‍රහ කරන විට එහි සැබෑ හේතු පෙනී යයි. එයින් තරහ වෛරය ඇතිකරගැනීම සුදුසු නැති බව තමන්ට වැටහෙයි.
අරමුණු පෙරදැරිව පවිටු සිතිවිලි සිතෙහි මතුවන විට ඒවා මර්දනය කළ යුතුයි. දිව එළියට නොඑන ලෙස දත් තදින් විකාගෙන සිටින්නාක් මෙන්ද බලවත් පුරුෂයෙක් දුර්වල පුද්ගලයකු අල්ලා පෙළන්නා සේද අරමුණු හමුවේ මතුවන නරක සිතිවිල මැඬළිය යුතුයි. මෙම සිව්වන උපදේශය හැඳින්වෙන්නේ අකුසල චේතනා මතු නොවන ලෙස පීඩනයට පත්කිරීම (අභිනිග්ගණ්හිතබ්බං) ලෙසිනි. මෙයින් අදහස් වෙන්නේ සිත දැඩිව පාලනය කිරීමයි.
බුදුරදුන් විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙහි පෙන්වා දී ඇති මෙම කරුණු උපදේශන කටයුතු වල දී ඉතා වැදගත්ය. විවිධ හේතු නිසා මානසික පීඩාවලින් පෙළෙන, වරදට පෙළෙඹෙන දරුවන් යහමඟට ගැනීමේදී මෙම උපදේශන ක්‍රම භාවිතයට ගත හැකිය. ලෝකයේ ජීවත් වන විට බාහිර වශයෙන් පැමිණෙන විවිධාකාර අරමුණු, දුක්ගැහැට වේදනාවන් හමුවෙහි මනස ශක්තිමත් කරගත යුතු බව බුදුරදුන් මෙයින් අපට පැහැදිලි කොට ඇත.

නිදා නොවැටී බණ අහන්න බුදුරදුන් දුන් උපදෙස්‌

ධර්ම දේශනයකට සවන් දෙන පින්වතුන් පිරිසක්‌ දෙස විමසිල්ලෙන් ටික වේලාවක්‌ බලාගෙන සිටිය හොත අපට දකින්න ලැබෙන සුලභ දර්ශනයක්‌ වන්නේ සෑහෙන පිරිසක්‌ දේශනයට සවන් දෙන අතර නිදාවැටෙන බවය. පොහොය දිනට අටසිල් සමාදන්වෙන අපේ උපාසක අම්මලා අතර මෙය බහුලව දක්‌නට ලැබේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ එම නිදිමත ගැනය. නිදා වැටීම නැතහොත් නිදිමත ඇති වන්නේ කෙසේද? කියා අපේ බුදුරජාණන් වහන්සේ විවිධ අවස්‌ථාවලදී දේශනාකර ඇති අතර අංගුත්තර නිකායේ 'පචාලයන' සූත්‍රයෙන් නිදිමත නැතිකර ගන්නා ආකාරයද දේශනා කර තිබේ.

බුදුදහමේ මෙම අසාමාන්‍ය නින්ද හැඳින්වෙන්නේ මිද්ධය ලෙසය. (මිද්ධය අසාමාන්‍ය නින්ද ලෙස හැඳින්වූයේ අප රාත්‍රියේදී හෝ දහවලට කෙටි වේලාවක්‌ ගන්නා නින්ද සාමාන්‍ය නින්ද ලෙස සලකන නිසාය.) බුදුරජාණන් වහන්සේ මිද්ධය යන වචනය භාවිත කරන සෑම අවස්‌ථාවකම ථිනය යන වචනයද භාවිත කළේය. ථිනය යනු අළසකමයි. මිද්ධය චෛතසිකයකයන්ගේ අකර්මණ්‍යතාවයක්‌ ලෙස අභිධර්මයේ හැඳින්වේ. චෛතසික යනු සිතක්‌ ඇතිවීම සඳහා අවශ්‍යවන්නාවු ක්‍රියාවන් ලෙස ඉතාම සරලව හැඳින්විය හැක. මෙම චෛතසිකයන් 52 ක්‌ ඇත. මේවා සිත සමගම එකට ඉපදී සිත ගන්නා අරමුණුමගෙන සිතට නි(ශ්‍රය වු වස්‌තුවම නි(ශ්‍රය කරගෙනම සිතත් සමගම නැතිවේ. සිතට චෛතසික නොමැතිව සිතක්‌ ඇතිකළ නොහැකිවාක්‌ මෙන්ම චෛතසිකවලටද තනිවම සිතක්‌ ඇතිකළ නොහැක. ඒ අනුව මිද්ධය ඇති වන්නේ සිතට මිද්ධය නම් වෛතසිකයද එකතු වීමෙන්ය මිද්ධය ථිනය නම් චෛතසිකයද සමගම සෑම විටම එකට සිටින නිසා ථිනයද (අලස බව) නිදිමත ඇතිවීමට එකතුවේ. මිද්ධය අකුසල වෛතසිකයකි. ඒ අනුව ධර්මය ශ්‍රවණය කිරීමේදී නිදි කිරන්නේ නම් ඒ කරන්නනේ පවේ මල්ලක්‌ පුරවා ගැනීම බව කිව යුතුමය. 

මෙම ථීනය හා මිද්ධය දෙක එකවිට ඇතිවෙනවා මිස කිසිවටෙක වෙන වෙනම ඇති නොවන නිසා බුදුරජාණන් වහන්සේ ථීන මිද්ධය එකම නීවරණයක්‌ ලෙස දේශනාකර තිබේ. නීවරන යනු කුසලයට ඇති බාධකය. ඒවා ගනනින් පහකි. කමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්දච්ච කුක්‌කුච්ච හා විචිකිච්චාවයි. මේවා අකුසල චිත්තයෙහි මිස කුසල චිත්තයක කිසිවිටෙක ඇති නොවේ. සිත, කය දෙක නිශ්චලච එක ඉරියව්වක තබා ගැනීමට පුරුද්දක්‌ නැති පුද්ගලයාට එසේ සිටිමට උත්සාහ ගැනිමේදී නදිමත ඇතිවේ. එවිට චිත්තය දුර්වල වේ. 

මුලිsන් සඳහන් කළාක්‌ මෙන් මිද්ධය නිතරම ථීනය හා බැඳී පවතී. එම නිසා ථිනමිද්ධය ඉපදීමට හේතු පහක්‌ බුදුදහමෙහි සඳහන්වේ. 

1. අරති - අරති යනු කුසලයෙහි නොඇලෙන ගතියයි. එනම්, කුසලයට ඇති අකමැත්තය. කුසලය ගැන ඇති අතෘප්තිමත්භාවයයි. 

2. තන්ධි - තන්ධි යනු ආගන්තුක අලසතාවයයි. එනම් වෙහෙස මහන්සිය නිසා ඇතිවන නිදිමතයි.

3. විජම්භිකා - විජම්භිකා යනු කායික අලසතාවයයි. විජම්භිකා යනුවෙන් හැඳින්වෙන්නේ ඈනුම් ඇරීමයි. 

4. භත්ත සම්මද - භත්ත සම්මද යනු බත් මතයයි. එනම් ආහාර ගත් පසු ඇතිවන නිදිමත ගතියය. 

5. චිත්තලින්තා - චිත්තලින්තා යනු සිතේ කුසීතතාවයයි. සිතට එන කම්මැලිකමයි.

දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනයෙහි ථින මිද්ධය උපමාකර ඇත්තේ හිරගෙයි වැටීමකට සමානවය. ප්‍රීති උත්සවයක්‌ පැවැත්වෙන අවස්‌ථාවක කිසියම් පුද්ගලයෙක්‌ සිරගතකර ඇත්නම් ඔහුට එම උත්සවයේ ප්‍රීතිමත් අවස්‌ථා කිසිවක්‌ දැක ගැනීමට හෝ වින්දනය කිරීමට නොලැබේ. පසු දින ඔහු නිදහස්‌ කළ විට උත්සවයට සහභාගිවූවකු උත්සව අවස්‌ථාව ගැන විස්‌තර කරන්නේ නම් ඔහුට කීමට කිසිවක්‌ නැත. යම්කිසි අවස්‌ථාවක ථීනමිද්ධයට නැතිනම් නිදිමතට ලක්‌වූවකුද එසේමය. ධර්මය අසන්නකුද එසේමය ඔහු ධර්ම දේශනාව අතර නිදන්නේ නම් දෙසූ ධර්මය ගැන කිසිවක්‌ ඔහු නොදන්නේය. ඒ ධර්මය ඔහු නොඇසූ නිසාය. එමනිසා ධර්ම දේශනාව සිහි බුද්ධියෙන් අසාගෙන සිටිය යුතුමය. 

නිදිමත නැතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ උපදෙස්‌ කුමක්‌දැයි බලමු. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ හත්වැනි කාණ්‌ඩයේ පචලායන සූත්‍රයෙහි නිදිමත නැතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති කරුණු අඩංගුවේ. 

අප බුදුරජාණන් වහන්සේ භග්ග ඡනපදයේ සුංසුමාර නම් ග්‍රාමයේ භේෂකලා වනයේ වැඩ වාසය කරන සමයේ සුපුරුදු පරිදි දිවසින් බලද්දී මොග්ගල්ලාන තෙරණුවෝ මගධ ඡනපදයේ කල්ලවාලමුත්ත නම් ගමේ භාවනා කරමින් සිටියදී නිදිකිරා වැටෙනු දුටුවේය. බුදුරජාණන් වහන්සේ එකෙණිහිම සෘද්ධි බලයෙන් එම ස්‌ථානයට වැඩම කර මොග්ගල්ලාන නිදා වැටෙනවා දැයි ඇසීය. උන්වහන්සේද එසේය ස්‌වාමීනියි පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ පචලායන සූත්‍රය දේශනා කරමින් නිදිමත නැතිකර ගන්නා අයුරු දේශනා කළේය. එම සූත්‍රයට අනුව නිදිමත නැතිකර ගන්නා ආකාරය මෙසේය.

1.මොගගල්යානය ඔබට කුමන සිතිවිල්ලකදී නිදිබර ගතිය පැමිණියේද එම සිතිවිල්ල මත ඔබ අවධානය යොමු නොකළ යුතුය. ඔබ එය ගැන නිතර මෙනෙහි නොකළ යුතුය. (ඔබ යම්කිසි කාර්යක නියලී සිටියදී විශේෂයෙන්ම පාඩම් කරමින් හෝ නැතිනම් භාවනා කරමින් සිටී නම් වහාම එම කාර්යය නවත්වන්න. නිදිමත නම් නිදා වැටි වැටී එම කාර්යය කිරීම අල්ප මාත්‍රයක ප්‍රයෝජනයක්‌ නැත.)

2.මොග්ගල්යානය එසේ කිරීමෙනුත් නිදිමත පහව නොයන්නේ නම් ඔබ විසින් අසා ඉගෙන ඇති පරිදි ධර්මය ගැන සිතා, සිත තුළ ඒ ගැන මෙනෙහි කළ යුතුය. ඔබ මනසින් එය විමර්ශනය කළ යුතුය. (දැන් ඹබ දන්නා ධර්මයක්‌ බණ පදයක්‌ හෝ ගාථාවක්‌ සිහියට නගාගන්න. එ් ගැන සිත යොමු කරන්න. එය මෙනෙහි කරන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.)

3.මොග්ගල්යානය, එසේ කිරීමෙනුත් නිදිබර ගතිය පහව යන්නේ නැති නම් ඔබ අසා ඉගෙන ඇති පරිදි ධර්මය කට පාඩම් කළ යුතුය. (එම ක්‍රමයෙන් නිදිමත නැතිවුණෙ නැතිනම් එම ගාථාව හඬනඟා කියන්න. දෙතුන් වරක්‌ කියන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.) 

4.මොග්ගල්යානය, එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැතිනම් ඔබ ඔබේ දෑතින් කන් පෙති දෙක දෙපැත්තට ඇද දෙඅතලෙන් දෙඅත පිරිමැද ගන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.

5.මොග්ගලයානය, එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැතිනම් ඔබ අසුනෙන් නගිටින්න. මුහුණ සෝදා ගන්න. හාත්පස සෑම පැත්තක්‌ම බලා අහසේ තාරකා දෙස උඩ බලන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.

6.මොග්ගල්යානය, එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැතිනම් ඔබ නැගිට වටපිටාව බලන්න. දහවල් කාලයේ නම් ඉර හා ආලොකයත් රාත්‍රියේ නම් සඳ හා තරුත් බලන්න. එවිට ඔබට නිදිමත නැතිවේවි.

7.මොග්ගල්යානය, එම ක්‍රමයෙනුත් නිදිමත නැතිවුනේ නැතිනම් ඔබ ඉදිරියේත් පසුපසත් ඇතිදේ ගැන සිහියෙන් යුතුව සක්‌මනෙහි යෙදෙන්න.

8.මොග්ගල්යානය, ඔබ දකුනු ඇලයට හැරී මොහොතක්‌ නිදාගන්න. නැවත ක්‍රමයෙනුත් ඔබට නිදිමත නැතිවූයේ නොමැති නම් ඔබ දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් එක පයක්‌ උඩ අනෙක්‌ පය තබා පැහැදිලි සිහියෙන් යුක්‌තව යලි පිබිදීමේ සිතැතිව වැතිර ගන්න. යළි නැගිටිවිට ඔබ කළ කාර්යයේ යෙදෙන්න. ඔබට නිදිමත නැතිවේවි.

මේ මොග්ගල්ලාන හාමුදුරුවන්ට අප බුදුරජාණන් වහන්සේ 'පචලායන' සූත්‍රයෙන් නිදිමත නැතිකර ගැනීම සඳහා දේශනා කළ උපදෙස්‌ මාලාවයි. මෙය අනුගමනය කිරීමෙන් ඔබටද නිදිමත මග හරවා ගත හැක.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් ෙසෘඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ