දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

මහා සමය – දස දහසක් සක්වලින් රැස් වූ දෙවියන්ගේ සමාගමය

මහා සමය – දස දහසක් සක්වලින් රැස් වූ දෙවියන්ගේ සමාගමය නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!…!!!. 
 මහා සමය – දස දහසක් සක්වලින් රැස් වූ දෙවියන්ගේ සමාගමය 
 (දෙවියෝ දෙවි පිහිට සහ දෙවියන්ට පිහිට – II) 

පෙර ලිපියෙන් කියන ලද පරිදි දස දහසක් සක්වලයන්හි දෙවියන් බඹුන් අනන්ත ප්‍රමාණයක් රැස් වන විශාලතම දේව සන්නිපාතය හෙවත් “මහා සමය” පිළිබඳවත් එම දේව සමාගමයට පැමිණි දෙවියන් පිළිබඳවත් මෙම ලිපියෙන් කරුණු දක්වනු ලැබේ. මෙම ලිපි පෙළෙහි අරමුණ නිවන් අරමුණු කරන බෞද්ධයන් ලෙස නිවනට උපකාර වන පින් දහම් කිරීමට අවශ්‍ය දහම් කරුණු දැක්වීමත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකොට ධර්මයෙහි තහවුරු වීම සඳහා උනන්දු කරවීමත්ය. එනිසා මුල් ලිපි වලින් උතුම් වූ තිසරණය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණීම විෂයෙහි උපකාර වන කරුණු දැක්වීම සිදු කරන ලද අතර පසුගිය ලිපි කිහිපයක පටන් අප විසින් සාකච්ඡා කරන්නේ දානය සහ ශීලය යන විශේෂ ගුණ දහම් දියුණු තියුණු කිරීම පිලිබඳ කරුණුය. දානය සහ ශීලය පිලිබඳ කරුණු දැක්වීම අත්‍යන්තයෙන්ම සුගතිය පිලිබඳ කරුණු හා සම්බන්ධ වී තිබෙන බැවින් දානයේ සහ ශීලයේ ආනිසංස පක්ෂය දැක්වීම උදෙසා දෙවියන් පිලිබඳ නිරවුල් කරුණු දැක්වීමක් ධර්මය ඇසුරින් සිදුකිරීම අප විසින් ආරම්භ කරන ලදී. එනිසා “මහා සමය” සූත්‍ර වර්ණනාවට පෙර දානය පිළිබඳව කරුණු ස්වල්පයක් නමුත් දැක්වීම සුදුසු යයි සිතමි. බෞද්ධයාට “දානය” කිසිසේත්ම ආගන්තුක සංකල්පයක් නොවේ. දස පාරමිතා, ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා ආදී ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් වල ප්‍රථමයට එන්නේ දානයයි. ශාසනයේ මුල ශ්‍රද්ධාව වන්න සේ සත්පුරුෂ පුණ්‍ය ක්‍රියාවන්හි මුල දානයයි. නමුත් අප බොහෝ දෙනා සිතනවාට වඩා “දානය” අතිශය ගැඹුරු සහ පුළුල් වපසරියක් කරා දිවෙන පුණ්‍යක්‍රියාවකි. දානයේ ඉහල මට්ටම් වලට යොමු වීම අනෙකුත් ශාසන ගුණධර්ම පිරීම උදෙසා පූර්ව කෘත්‍යයක් මෙන්ද, උපකාරක ශක්තියක් මෙන්ද ක්‍රියාත්මක වෙයි. දානය පිළිබඳව විශේෂ ලිපි ගණනාවකින් සාකච්ඡා කල යුතු නමුත් නිසි පරිදි දන් දී මහත් ඵල මහානිසංස ලබා ගැනීම උදෙසා උපකාර වන උතුම් සූත්‍ර දේශනාවක් සහ තවත් කරුණු කිහිපයක් මෙහි මුලින් දක්වනු ලැබේ. 

සත්පුරුෂ දාන සූත්‍රය - 
(අංගුත්තර නිකාය – පංචක නිපාතය – තිකණ්ඩකී වර්ගය) 

භාග්‍යවත් අරහත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන සේක. මහණෙනි, මේ සත්පුරුෂ දාන පහකි. කවර පහක් ද යත්, ශ්‍රද්ධාවෙන් දන් දෙයි. සකසා දන් දෙයි. නිසි කල්හි දන් දෙයි. දාන වස්තුවෙහි ලෝභ සිතින් නොබැඳී දන් දෙයි. තමාගේද අන්‍යයන් ගේද ගුණ නොනසා ගුණ නොපෙළා දන් දෙයි. මහණෙනි ශ්‍රද්ධාවෙන් දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද, මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, ආඪ්‍ය වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වෙයි. දැකුම්කළු වෙයි. ප්‍රසන්න වෙයි. උසස් රූප සම්පත්තියෙන් යුක්ත වෙයි. මහණෙනි සකසා (මැනවින් සකස්කොට) දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද, එහි මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, ආඪ්‍ය වෙයි. පුත්‍ර භාර්යාවෝද, කම්කරුවෝද, දාසයෝද ඇතුළු සිය පිරිවර මැනවින් කීකරු වූයේද, විශ්වසනීය වූයේද, උපදෙස් පතන්නේද, උපදෙස් පිළිපදිනසුළු වූයේද වෙයි. මහණෙනි නිසිකල්හි දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද, එහි මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, ආඪ්‍ය වෙයි. ප්‍රමාද රහිතව, නිසි කල්හිම සම්පත් ලබන්නේද වර්ධනය වන්නේද වෙයි. නිසි කල්හි ප්‍රාර්ථනා සිද්ධ වන්නේ වෙයි. මහණෙනි දාන වස්තුවෙහි ලෝභ සිත රහිතව, නොබැඳි සිතින්ම දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද, එහි මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, ආඪ්‍ය වෙයි. උසස් වූ උදාර වූ පස් කම් සුව ලබන්නේ වෙයි. මහණෙනි තමාගේත් අන්‍යයන්ගේත් ගුණ නොනසා, නොඝටා, අන්‍යයන් නොපෙළා, දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද, එහි මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, ආඪ්‍ය වෙයි. ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ තනම්න්ට අප්‍රිය වූවන්ගෙන් හෝ කිසිවකුගෙන් ඔහුගේ ධනයට හානි නොවෙයි. මහණෙනි, මේ සත්පුරුෂ දාන පසයි. 

දන් දීමට හුරු සිතක් ඇතිකොට ගෙන මනා පුරුද්දෙන් යුතුව නිතර දන්දෙන සිල්වත් බෞද්ධයාට සුගතිය නොහොත් දෙව් මිනිස් සැප නිතැතින්ම හිමි වන බවට ධර්මයේ බොහෝ උදාහරණ දැක්විය හැකිය. දානය පිළිබඳව මෙම කරුණු දැක්වීම කරන අතර තවත් වැදගත් කරුණක් මෙහි සටහන් තබනු කැමැත්තෙමි. ඒ ඔබ අප කුරුත් සිදු කරන “බුද්ධ පූජා” පින්කම් පිළිබඳවයි. බුද්ධපූජා පිළිබඳව බෞද්ධ අපේ මුතුන් මිත්තන් තුල තිබුණු නිරවුල් අවබෝධය ක්‍රමයෙන් මැකී ගිය බැවින්දෝ විවිධ විෂම මත සමහර පින්වතුන් තුල පවතිනු පෙනෙන්නට තිබේ. භාග්‍යවතුන් වහන්සේට විශේහ්ෂ පූජාවන් මැනවින් සකස් කොට පූජා කිරීමේදී “භාග්‍යවතුන් වහන්සේ වැඩ නොසිටින නිසා එම පූජා කිරීමේ පලක් නැත” , “එවන් පූජාවන්ට වඩා දුගී මගී ආදීන්ට දන් දීම සුදුසුය”, “පූජා කරන ද්‍රව්‍ය අපතේ යන්නේය” ආදී මිත්‍යා මත සමහරෙක් තුක පවතී. මෙම බොහෝ මිත්‍යා මත වලට ප්‍රධානම හේතුව පෙරද කියන ලබා පරිදි භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේගේ මහා බලය, මහා ප්‍රඥාව, මහා කරුණාව, උන්වහන්සේගේ ගුණ මහත්වය, උන්වහන්සේගේ අග්‍ර බව, ජ්‍යෙෂ්ඨ බව, ශ්‍රේෂ්ටත්වය, උන්වහන්සේගේ ගුණයෙන් අනන්ත බව පිලිබඳ වචන වලින් එහාට ගිය විස්තර සහිත නිරවුල් අවබෝධයක් නැති නිසාය. මැනවින් සිත පිහිටුවා, ඥාන සම්ප්‍රයුක්ත සිතකින්, “ජීවමාන භාග්‍යවතුන් වහන්සේ උදෙසාම පූජා කරමි” යන අදහසින් යුතුව භාග්‍යවතුන් වහන්සේ උදෙසා දෙහි ගෙඩියක පමණ දෙයක් සකසා පූජා කිරීමෙන් සමස්ත පෘථිවි රාජ්‍යය තරම් හෝ ඊටත් වැඩි දෙව් මිනිස් සැප සම්පත්ද ශ්‍රද්ධාවේ නිසලව පිහිටා පූජා කිරීමෙන් නිවන් මග ඉදිරියට යාමට උපකාරද ලැබේ. බුද්ධ පූජා විෂයෙහි ඉතා වැදගත් සංවාදයක් භාග්‍යවතුන් වහන්සේ සහ මාතලී දිව්‍ය පුත්‍රයා අතර සිදුවී ඇති ආකාරය විමානවත්ථු පාලියෙහි දක්නට ලැබේ. එහිදී “ජීවමාන භාග්‍යවතුන් වහන්සේට කරන පූජාවක ආනිසංස සහ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ උදෙසා කරන පූජාවක ආනිසංස පිලිබඳ වෙනසක් තිබේද?” යන්න මාතලී වෙත ඇති ගැටලුවයි. 

 ඛුද්දක නිකාය – විමානවත්ථුපාලි. 
 තිට්ඨතන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ ඵලං චේතෝ පණිධිහේතුහි සත්තා ගච්ඡන්ති සුග්ගතිං 

 ධරමාන(ජීවමාන) සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහිද, පිරිනිවුණු සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහිද කරන පූජාවන්හිදී සිත සම කිරීමෙන් සම විපාක හිමි වෙයි. 

භාග්‍යවතුන් වහන්සේ විසින් අප කෙරෙහි මහා කරුණාවෙන් කරනු ලබන මේ දේශනාවෙහි ආශ්චර්යය දෙස ඔබේ සිත යොමන්න. ඔබ විහාරයෙහි, දාගැබ් වහන්සේට, බුද්ධ මන්දිරයෙහි පිළිම වහන්සේට, බෝධීන් වහන්සේට, ඔබේ නිවසේ බුදුපිළිම වහන්සේට පුදපූජා කරන බවත් වන්දනාමාන කරන බවත් දනිමි. නමුත්, යම් සේ දාගැබ් වහන්සේ පිහිටා ඇති තැන, බුද්ධ මන්දිරයෙහි, බෝධීන් වහන්සේ මුල හෝ ඔබේ නිවසේ ජීවමාන භාග්‍යවත් අරහත් ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේම වැඩසිටින්නේ නම් ඔබ යම් ආකාරයකින් හැසිරෙයිද, කය හසුරුවයිද, වචනය හසුරුවයිද, ප්‍රදක්ෂිණා කරයිද, දොහොත් මුදුන් දේවිද, අහෝ මේ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මා අසල වැඩ සිටී, මම උන්වහන්සේ සුවඳ සුපිපි මලින්, සුවඳ දුමින්, බෙහෙත් ගිලන්පසින්, ආහාරයෙන් පූජා කරමි යන සිතක් වේද, ඒ සිතින්ම සම වූ ශ්‍රද්ධාවෙන්ම පූජා කරන්නේද? ඒ හා සමාන ගෞරව සම්ප්‍රයුක්ත හැසිරීම් පවත්වන්නේද? ඔබ අප එවන් සම සිතක් පිරිනිවී භාග්‍යවතුන් වහන්සේ උදෙසා පවත්වන්නට සමත් වුවහොත් ඔබට ජීවමාන වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද පූජාවකින් ලැබෙන ආනිසංසයම හිමි වන්නේය. 

 අපදාන පාලි- බුද්ධ වග්ගය- බුද්ධ අපදානය 
 එවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හොති අචින්තියා 

 භාග්‍යවත් අරහත් තථාගතසම්මා සම්බුදු රජාණන් වහන්සේලා වනාහි අචින්ත්‍ය වූ ගුණ ඇත්තේ වෙයි. සම්මා සම්බුදුවරුන්ගේ ධර්මයද අචින්ත්‍ය වූ ගුණ ඇත්තේ වෙයි. මෙසේ අචින්ත්‍ය වූ ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේද ධර්මයද කෙරෙහි සිත පහන් කරන්නහුට හිමි වන සැප විපාකයෝද අචින්ත්‍ය වෙයි. අප්‍රමාණ වෙයි. මෙසේ හෙයින් ගුණයෙන් අපරිමිත වූ, අප්‍රමේය වූ, අචින්ත්‍ය වූ, අසම වූ, අසමසම වූ, අප තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව මහත් ශ්‍රද්ධාවෙන් යුතුව, භාග්‍යවතුන් වහන්සේ උදෙසා වන්දනාමාන පුදපූජා කලයුතුය. 

 භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ, දෙවියන් සහිත බඹුන් සහිත මැරුණ සහිත මිනිසුන් සහිත තුන් ලෝකයෙහි සියලු දෙව් මිනිසුන්ට උතුම් මාර්ගෝපදේශකයානන්ද, ගුරුවරයානන් වහන්සේද වන සේක. සසර දුකින් මිදී උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා ඒකායන මාර්ගය දක්වන ලද අසම වුද අසම සම වුද ශාස්තෘන් වහන්සේ වන සේක. අනන්ත අප්‍රමාණ සත්ත්ව සමුහයක් අකුසලින් මුදවා කුසලෙහි පිහිටුවා දුගතියෙන් මුදවා සුගතියට පැමිණවූ මහා කාරුණිකයාණන් වහන්සේ වනසේක. එබැවින්, දෙව් මිනිසුන්ට ශාස්තෘ වූ මාගේ ශාස්තෘ වූ මාගේ ස්වාමි වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සත්ථා දේව මනුස්සානං” නම් වන සේක. මහා සමය සූත්‍ර දේශනාව වනාහි අනෙක් බොහෝ කරුණු අතර අපට භාග්‍යවතුන් වහන්සේ ගේ මෙම “දෙව් මිනිසුන්ට ශාස්තෘ” හෙවත් “සත්ථා දේව මනුස්සානං” යන අනුත්තරීය ගුණය පසක් කරවන්නකි. 

 සූත්‍ර පිටකය- දීඝ නිකාය-මහා සමය සූත්‍රය ඇසුරිනි 

 භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි, මහ වනයෙහි සියලු දෙනා රහත් භික්ෂූන් වහන්සේ පන්සියයක් සමග කල්හි භාග්‍යවතුන් වහන්සේ සහ උතුම් වූ රහත් සංඝයා දැකීම උදෙසා දස දහසක් සක්වලයන්හි දෙව් බඹුන් රැස්වූහ. එවිට, දස දහසක් සක්වලයන්හි දෙව් බඹුන් මෙසේ භාග්‍යවතුන් වහන්සේ දැකීම උදෙසා කිඹුල්වත් පුර මහ වනය මුල්කොටගෙන සියලු සක්වලෙහි රස්වූ බව දත් සුද්ධාවාස බ්‍රහ්මලෝක (ආර්යය භූමි) යන්හි අනාගාමී අරහත් බ්‍රහ්මයෝද භාග්‍යවතුන් වහන්සේ සහ සංඝයා දැකීම උදෙසා පැමිණීම යෙහෙකැයි සිතූහ. ඉක්බිති එම ආර්ය වූ සුද්ධාවාස වාසී බ්‍රහ්මයෝ බලවත් පුරුෂයකු දික් කල අතක වක කරන, වක් කල අතක් දික් කරන ක්ෂණයෙන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි එකත්පස්ව හිද පහළවූහ. 

ඔවුනතර එක් දෙවියෙක් (බ්‍රහ්මයෙක්) මෙසේ ගාථාවක් කීය. 
 “මහ වෙනෙහි මහ මුලුවෙකි දෙව් මුළුහු රැස් වූහ කෙලෙසුන්ගෙන් නොපැරැදුණු සඟන දක්නට මේ දම් සමාම් ආමු” ඉක්බිති තවත් දෙවියෙක්ද, එදහම් සමාම්හි (සමාගමයෙහි) මහණහු, තමන් සිත එකඟ කළහ, සෘජු කළහ, රියසැරියක්හු (රියදුරකු) රැහැන් ගෙන යම්සේ රිය හසුරුවත්ද නැණතියෝ ඉඳුරන් රකිත්” යයි ගාථාවකින් පැවසූහ. තවත් දෙවි කෙනෙක්, “ඒ තරුණ නාගයෝ (රහත්හු), පසැස් ඇති බුදු රජ විසින් මොනවට දැමුණාහු (දමනය කළාහු). කෙලෙස් හුළ සිඳ, කෙලෙස් කණයම සිඳ, රාග ද්වේශ මූහ ඉන්ද්‍රඛීලය උදුරාපියා, තෘෂ්ණා නැතිව, පිරිසිඳුව නිර්මලව හැසිරෙත්.” යි ගාථාවකින් පැවසීය. ඉක්බිති අනෙක් දෙවි කෙනෙකු, “යම් කෙනෙක් බුදුන් සරණ ගියාහුද, ඔහු අපායට නොයන්නාහ, මිනිස් කය හැර දෙව් මුළුපුරවන්නාහ” යි පැවසීය. ඉක්බිති අපතිලොගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ පවසන ලද සේක. “මහණෙනි බොහෝ වූ දස දහසක් ලෝක ධාතුවෙන් දෙවියෝ, තථාගතයන් වහන්සේ සහ සංඝයා දැකීම පිණිස මුළුදෙවුනාහු (ඒකරාශී වූවාහු වෙති). යම්සේ අතීත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විෂයෙහි දෙවියෝ රැස් වූවාහුද මෙපමණක්ම දෙවියෝ රැස්වූහ. අනාගතයෙහි භාග්‍යවත් සම්මා සම්බුදු වරුන් සමයෙහිද දැන් මගේ මෙන් මෙපමණම දෙවියෝ රැස් වන්නාහ.” “මහණෙනි දේව සමූහයන්ගේ නම් හෙළි කරන්නෙමි, පෙහෙළි කරන්නෙමි, පවසන්නෙමි. දෙවියන්ගේ නම් දෙසන්නෙමි. එය අස්වූ, මොනවට මෙනෙහි කරවූ, කියන්නෙමි” යි වදාළ සේක. “එසේය භාග්‍යවතුන් වහන්ස” යි ඒ භික්ෂූන් පිළිවදන් දුන් සේක. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, සිලොවක්(කරුණක්) කියන්නෙමි. යම් තැනෙක භූමාටු දෙවියෝ ඇත්ද, රහත්හු ඒ තැන ඇසුරු කළාහු වෙති. නිවන කරා මෙහෙයූ සිත් ඇති, සමාධිගත සිත් ඇති, ලොමු දැහැගැනුම් මැඩලූ, පිරිසිඳු සිතැති, නොකිලිටි වූ, විශේෂයෙන් ප්‍රසන්න වූ, නොකැලඹුණු ඒ රහත්හු විවික්ත වූ (තනිව හැසිරෙන) සිංහයන් සේ බොහෝ ගිරිගුහා ඇසුරු කළාහු වෙති. කිඹුල්වත්පුර සමීපයෙහි උතුම් වූ තථාගත ශාස්තෘ සාසනයෙහි ඇලුණු පන්සියයකට වැඩි සව්වන් වෙත, මහණෙනි, දේව සමූහයා පැමිණියහ- ඔවුන් දිවැස් නුවණින් දකිව්, දනිව්.! “යි වදාළහ. සංඝයාද භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා දිවැස් ඉපදවීමට උත්සුක වූහ. වහාම රහත්හුට අමනුෂ්‍යයන් (මෙහි දෙවියන්) දක්නා නුවන පහල විය. ඇතැම් මහණෙක් දේවිය සියයක් දුටහ. ඇතැමෙක් දහසක් දුටක. ඇතැම් මහණෙක් හැත්තෑදහසක් දුටහ. ඇතැමෙක සියදහසක් දුටහ. ඇතැම් මහණෙක් අනන්ත අප්‍රමාන දෙව් බඹුන් දුටහ. සියලු දිශාවෝ දෙවියන්ගෙන් පැතිර ගත්තාහුය. “කිඹුල්වත්පුර වැසි, සෘධිමත්, බබලන හැත්තෑ දහසක්භූමාටු දෙවියෝ සතුටු සිත් ඇත්තාහු රහතුන් දැකීමට පැමිණියාහුය.” “හිමවත් වැහි (හිමාලය ඇසුරුකොටගෙන ඇති), නන් ආකාර පහ ඇති, ප්‍රභාමත් සෘද්ධිමත්, බබලන, යසස් ඇති සයදහසක්‌ දෙවියෝ පැමිණියාහුය.” “විශ්වාමිත්‍ර පර්වත වාසී, නන්වැදෑරුම් පහසපුව ඇති, සෘද්ධිමත් බබලන දෙවියෝ පන්සියයක් සතුටු වෙමින් පැමිණියාහුය.” “රජගහ නුවර වාසී ‘කුම්භීර’ නම් බලවත් යක සෙනෙවි සිය දහසක් පිරිවර යසස් සහිත වෙයි. ඔහුද පමිනියාහුය” පෙරදිග පාලනය කරන – ගාන්ධර්වයනට අධිපති – ධ්‍රතරාෂ්ට වරම් දෙව් මහරජ තෙම “ඉන්ද්‍ර” නමින් හඳුන්වන බලවත් වූ සිය පුතුන් බොහෝ දෙනා සමග සතුටු සිතින් පැමිණියාහුය. දකුණුදිග පාලනය කරන – කුම්භාණ්ඩයන්ට අධිපති -විරූඪකැ වරම් දෙව් මහරජ තෙම “ඉන්ද්‍ර” නමින් හඳුන්වන බලවත් වූ සිය පුතුන් බොහෝ දෙනා සමග සතුටු සිතින් පැමිණියාහුය.” බටහිර දිග පාලනය කරන – ගාන්ධර්වයනට අධිපති – විරූපාක්ෂ වරම් දෙව් මහරජ තෙම “ඉන්ද්‍ර” නමින් හඳුන්වන බලවත් වූ සිය පුතුන් බොහෝ දෙනා සමග සතුටු සිතින් පැමිණියාහුය.” උතුරුදිග පාලනය කරන – යක්ෂයනට අධිපති – වෙසමුණි වරම් දෙව් මහ රජ තෙම “ඉන්ද්‍ර” නමින් හඳුන්වන බලවත් වූ සිය පුතුන් බොහෝ දෙනා සමග සතුටු සිතින් පැමිණියාහුය.” දිසා සතර බබළවමින් ඒ ඒ දිශායෙහි කිඹුල්වත් පුර මහ වනය බබළවමින් සතරවරම් දෙව් රජ දරුවන් සිය පිරිස සමග සිටින්නාහ. “ඔවුන්ගේ මායාවී වූ, සටකපට වූ -කුටෙන්ඩු, වේටෙන්ඩු, විටූ, විටූඩ යන දාසයන්ද, චන්දන, කාමසෙට්ඨ, කින්නිඝන්ඩු, නිඝණ්ඩු, පානාද, ඔපමඤඤ, දෙව් රියදුරු මාතලී යන දෙවිඉයෝද, චිත්‍ර,සේන, චිත්‍රසේන යන ගාන්ධර්වයෝ තිදෙනාද, නළ නම් දෙව් රජද, ජනවසභ දෙව්පුත්ද, පන්සිළු දෙව්පුත්ද, තිම්බරු නම් ගාන්ධර්ව රජුද, සූරියවච්චසා දෙව් දුවද, අනෙක් ගාන්ධර්ව රජවරුන සිය රජුන් සමග රහතුන්ගේ සමාගමය දැකීම පිණිස පැමිණියාහුය. තවද, ආකාශස්ථ නාගයෝ, විසාලා නාගපුර වැසි නාගයෝ, තක්ෂක නම් නාගයන්ද කැටිව ආහ. කැම්බල අස්සතර යන කුල දෙකේ නාගයෝ, ප්‍රයාග වාසී නාගයෝද සිය නෑයන් කැටිව ආහ. යශැහැ ඇති, යමුනා නදියෙහි වසන නාගයෝද, ධ්‍රුතරාෂ්ට කුලයට අයත් නාගයෝද, ඓරාවණ නම් මහානාගයාද පැමිණියහ. පිරිසිඳු ඇස ඇති යම් දිව්‍ය “ගරුඬ පක්ෂි” කෙනෙක් නාරජුන් වහා දහගෙන යෙත්ද, ඔවුහු අහසින් වනයට පැමිණියහ. චිත්‍ර, සුපර්ණ ඔවුන්ගේ නාමයන් වෙත්. එදින නාරජුනට අභය විය. බුදුරජුන් නාගයන් ගරුඬයන් කෙරෙන නිරූපද්‍රිත බව කළහ. නාගයෝද, ගරුඬෝද මොලොක් බසින් උනුන් අමතමින් බුදුන් සරණ ගියහ. විදුරත් (සක්දෙව්රජ) විසින් ජයගත්, මුහුද ඇසුරු කල සක්දෙව් රාහුගේ භාතෘ වූ, සෘද්ධිමත්, යශස් ඇති අසුරයෝද කාලකන්ජ දානවේඝස, යන නම් ඇති මහ බියකරු අසුරයෝද, වේපචිත්ති සුචිත්ති යන අසුරයෝද, පහාරාද නම් අසුරයා ද නමුහිචු නම් අසුරයා කැටිව ආහ. සියලු දෙනා “වෙරෝව” යන නාමය ඇති , බලි අසුරයා සිය පුතුන් සිය දෙනාද බල සෙනග සන්නද්ධව “රාහු” අසුරිඳු වෙත එලම්බියාහ. ඔබට සෙත වේවා! දැන් භික්ෂූන්ගේ සමාගමය දැකීමට වනයට යාමට කාලය යි සැල කල දිටියහ. අබ් (ආපෝ) දේවතාවෝ, පඨවි දේවතාවෝ, තේජෝ දේවතාවෝ, වායු දේවතාවෝ පැමිණියහ. වරුණ, වාරුණ යන දෙව්හුද, සෝම නම් දෙවියාද, යශස් නම් දෙවියන් කැටුව ආහ. යශස් ඇති මෙත්තා කායික දෙවියෝද, කරුණා කායික දෙවියෝද ආහ. නන් වැදෑරුම් පති දස ආකාරයකින් සෘද්ධිමත් වූ ධ්‍යුතිමත් වූ වර්ණවත් වූ යශස ඇති “දශ දෙව්” සමූහයාද දස අයුරෙකින් සතුටින් පැමිණියාහුය. විෂ්ණු දේව නිකායේ දෙවියෝද, සහලී නිකායේ දෙවියෝද, අසම නිකායේ දෙවියෝද, “යම” නම් දේව නිකාය දෙකක දෙවියෝද ආහ. සඳමඩල නිසා වසන (චන්ද්‍ර මඩලට අධිපති) දෙවියෝ චන්ද්‍ර දිව්‍ය රාජයා පෙරටුව ආහ. හිරුමඩල නිසා වසන දෙවියෝ (හිරුමදලට අධිපති) හිරු දෙව් පුත් රජුන් පෙරටුව ආහ. නැකත් තරු ආශ්‍රය කොටගෙන වසන දෙවියෝ අධිපති දෙවියන් පෙරටුව ආහ. මන්දවලාහක දෙවියන්ද ආහ. වසු දෙවතාවනට නායක වූ පුරින්දද යන අපර නාමයක් ඇති “සක්දෙව් රජු” ද ආයේය. ඉක්බිති “සහභූ” නම් දෙවියෝ ගිනිසිළු මෙන් දිලියෙනීම් වනයට ආහ. දියබෙරලිය මල පැහැති “අරිට්ඨක” නම් දෙවියෝද, රොජ නම් දෙවියෝද, වරුණ, ධම්ම, අච්චුත, අනොජක යන නම් ඇති දෙවියෝද ආහ. සූලෙය්ය රුචිර යන දෙවියෝද ආහ. වාසවනේසි නම් දෙවියෝද ආහ. සමාන, මහාසමාන මානුස මානුසුත්තම, ඛිඩ්ඩාපදොසික නම් දෙවියෝද, මනොපදොසික, “හරි” නම් දෙවියන්ද ආහ. රතුවත් හඬනා යම් දෙවි කෙනෙක් ඇත්ද ඔහුද, යශස් ඇති පරාග, මහාපරාග, නම් වූ දෙවියෝද පැමිණියාහ. සුක්ක කරුම්හ වරුණ යන දෙවියෝ වෙඛනස යන දෙවියන් සමග ආහ. ඕදාතගය්හැ, පාමොක්ඛ විචාක්ඛණ දෙවියෝද ආහ. යශස් ඇති සදාමත්ත හාරගාජ දෙවියෝද, මිස්සක දෙවියෝද ආහ. යමෙක් දිශාවන් තෙමන්නේද, ඒ පර්ජන්‍ය දෙවියන්ද අහස ගුගුරවමින් ආහ. කීර්තිමත් ඛේමිය නම් දෙවියෝ, තුසිත, යාම, කට්ඨක, ලම්බිත, කාලාම, සෙට්ඨ, ජෝති, ආසාව නම් දෙවියෝද නිම්මනරති නම් දෙවියෝද ආහ. මෙසේ නම් පැහැති හැටක් වූ ඉහත දක්වන ලද දේව නිකයෝ තම තමනට සමාන කම් ඇති යම් අන්‍ය දෙවියෝ වෙත්ද ඔවුන්ද කැටුව නම් පිලිවෙලින් ආහ. “වැසැ නිමවූ ජාති ඇති – කෙලෙස් හුල නැති- සතර කෙලෙස් මහ වතුර(ක්ලේශ ඕඝ සතර) තරණය කල , ආශ්‍රව නැති ආර්ය සංඝයාද, ඕඝයන් දිනු, අගතියට නොයන, පව් නැති, අඳුර ඉක්මවූ, චන්ද්‍රයා බඳු බුදුරජහු දකින්නෙමු” යි ආහ. මහාමුනි, සෘද්ධිමත් බුදුන්ගේ ආර්ය ශ්‍රාවක වූ, සුබ්‍රහ්ම, පරමාත්ම යන දෙවියන්ද “සන්ත්කුමාර” බම්බුහු සමග ආහ. මහාබ්‍රහ්ම තෙම බඹ ලෝ දහසක් අභිබවා සිටී. බඹලොව උපන් දයුතිමත්, බිහිසුණු මහ කයක් ඇති කීර්තිමත් හෙතෙමද ආයේය. වෙන් වෙන්ව තම පිරිස් සිය වශයෙහි පවත්වන ඊශ්වර බඹහු දස දෙනෙක්ද මෙහි ආහ. එවිට, එළඹ සිටි ඉන්ද්‍රයා සහිත, බ්‍රහ්මයා සහිත ඒ සියලු දෙවියන් කරා “මාර සේනාවද” පැමිණියහ. බලව මාරයාගේ මුලාවක සැටි. මාරයා විත්, එවූ, ගනිවු, බඳිව්, මොහු හැම රාගයෙන් වෙලා ගත්තෝ වෙත්වා යි හාත්පසින් මරසෙන් සියලු දෙන වටකොට සිටියහ. කිසිවකු නොමුදා ක්ලේශයෙන් සියලුදෙනා වටකොට සිටිනමෙන් මාරයා බිහිසුණු හඬ නගමින් අත්පොලසන් දෙමින් මාර සේනා එහි යැවීය. වැසි සමයෙහි වසින මේඝය ගර්ජනා කරන කල්හි විදුලිය (එලිය) සහිත වන්නක් මෙන් මාරයාද දෙව් පිරිස තමා විෂයෙහි පවත්වා ගත නොහී හෙළිදරව් වී කිපී පෙරලා පලා ගියහ. පසැස් ඇති ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ සියල්ල වෙසෙසින් දැන ශ්‍රාවකයන් අමතනුයේ, “මහණෙනි, මාරසේනාවෝ ආහ ඔවුන් හඳුනා ගනිව්!” යි වදාළ සේක. සංඝයාද භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය අසා වීර්යය කළහ, පහවූ රාග ඇති ඒ භික්ෂූන් කෙරෙන මාරසේනාවෝ ඉවත්ව ගියහ. ඒ රහතුන්ගේ රෝම කූපයක් හෝ සොලවනු නොහැකි වුහ. ජනයා කෙරෙහි ප්‍රකට වූ, දිනූ මරසෙන් ඇති සියලු බුද්ධ ශ්‍රාවකයෝ බිය ඉක්මවූවෝ වෙත්, එහෙයින්ම දෙවියන් සහිත මිනිසුන් සහිත ලොවෙහි කීර්තිමත් වූවාහු. මෙසේ දෙවියෝද ආර්ය ශ්‍රාවකයන් සමග සතුටු වෙත්. ඉහතින් දක්වන ලද්දේ මහ සමය සුත්‍ර දේශනාවෙහි සංක්ෂිප්ත විස්තරයයි. මෙහි දේව නිකායයන් රාශියක් පිලිබඳ කරුණු එයි. ඒ ඒ දෙවියන් පිලිබඳ විස්තර ඉඩ ලැබෙන පරිදි ඉදිරියට සාකච්ඡා කරමු. 

 තෙරුවන් සරණයි! - 

සසිත් රාජසූරිය..
September 19, 2013 at 12:01 am | lanka C news

ආශ්‍රිත ග්‍රන්ථ
දීඝ නිකාය-(ස.ජ.ත්‍රි.ග්‍ර.මා.)
විමාන වත්ථුපාලි -(ස.ජ.ත්‍රි.ග්‍ර.මා.)
අපදාන පාලි –(ස.ජ.ත්‍රි.ග්‍ර.මා.)