දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයාට පෙන්වමින් ඇවිදින අය නොවෙයි


රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් උසස් මාර්ග ඵලයකට පත්වූයේය යන්න උන්වහන්සේ පිළිබඳව දන්නා වූ සියලූදෙනා හිස් මුදුනින් පිළිගන්නා දෙයකි. පැවිදි ජීවිතයේ වැඩි කාලයක් භාවනාවෙන් හා ගැඹුරු දහම් පොත් ලිවීමට උන්වහන්සේ වෙහෙසුණහ.
”මං පොත් ලිව්වේ පොදු ජනතාවට මේ උතුම් ධර්මය බෙදා දීමටත් වඩා මගේ සම්මෝහය දුරු කර ගැනීමටයි. ධර්මය ඉගෙන ගැනීමෙනුත්, පොත් ලිවීම සඳහා කරුණු රැුස් කිරීමෙනුත් ඒ සම්මෝහය දුරු වෙනවා කියලා කියන්න පුළුවන්.” එක් අවස්ථාවකදී රේරුකානේ මහ නාහිමියෝ ප‍්‍රකාශ කළහ.

රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්, ඉත්තෑපාන නාහිමියන් සමඟ කළ සාකච්ඡාවක්



වත්මන් සමාජයේ බොහෝ දෙනා වෙහෙසෙන්නේ පොහෝ දිනයකට සිල් සමාදන් වී, දාන මානාදී පින්කම් සිදුකොට නිර්වානය පසක් කොට ගැනීමටය. පසුගිය කාලය පුරාම තමන් මාර්ගඵල ලබාගත් බව කියවමින් ඇවිද්ද ගිහියෝ පමණක් නොව පැවිද්දෝ ද  ඕනෑ තරම් සිටියහ. ඇතැම්හු මාර්ග ඵල ලබාගත් බවට සමහර භාවනා පන්තිවලින් සහතික පත් ද නිකුත් කළ ඇතැයි කියති. එනිසාම රේරුකානේ මහ නා හිමියන් නිවන හා ඒ අයගේ ස්වභාවය පිළිබඳව ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමියන් සමග කළ ධර්ම සාකච්ඡාවක් සංක්ෂිප්තව ඔබට ඉදිරිපත් කරමු.
එම ධර්ම සාකච්ඡාවේ එක් ප‍්‍රශ්නයක් වන්නේ සිල් රැකීමෙන් පමණක් නිවන් ලබා ගත හැකි ද යන්නයි. ඒ සඳහා රේරුකානේ මහ නාහිමියෝ මෙසේ පිළිතුරු සපයති.
”ඇතැම් පැවිද්දන් පමණක් නොව ඇතැම් ගිහියන් ද ශීලය ගැනම කතා කරමින් ශීලයම උසස් කොට ගනිමින් ශීලයෙන්ම සියල්ල සිදුකර ගන්නා බලාපොරොත්තුවෙන් සිල් පිරිසිදු කර ගැනීමෙහිම යෙදී සිටිනවා. ඒ, ඒ ඇත්තන්ගේ වැරදි හැඟීමක් සිල් රැකීමෙන් පමණක් නැවතී සිටීම, වැට බැඳ කුඹුර නොවපුරා සිටීමක් වගෙයි.”
සමාජයේ ජීවත්වන බොහෝදෙනා මෙලොව සැප ගැන සිතා කටයුතු කරන පිරිසකි. ඒ අතර තවත් කොටසක් පරලොව පිළිබඳව ද සිතා කටයුතු කරති. මෙලොව පිළිබඳව සිතන අය කෙසේ කටයුතු කළ යුතු ද යන්නත්, පරලොව ගැන සිතන අය කුමන ආකාරයේ පිරිසක් ද යන්න ගැනත් මහ නාහිමියන් දක්වන්නේ මෙවැනි අදහසකි.
මිනිසුන් ආගම් පිහිට කොට ගන්නේ පරලොව සැපත, යහපත ප‍්‍රාර්ථනා කර ගෙනයි. මෙලොව සඳහා ආගම්වලින් පිහිට ඇත්තේ ස්වල්ප වශයෙන් යැයි සිතනවා. මනුෂ්‍යයකු මේ ලෝකයේ ජීවත්වන කාලය අවුරුදු සියයකටත් අඩු ඉතාම ස්වල්ප කාලයක්. නමුත් ඉන් එහා තියෙන පරලොව පිළිබඳ කාලය කල්ප ගණනාවකින්වත් ප‍්‍රමාණ කළ නොහැකි දීර්ඝ එකක්. එනිසා නුවණැති අය මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කරනවා. මෙලොව කොපමණ ලාභයක් ලැබෙන, සැපයක් ලැබෙන කාරණයක් වුණත් ඒක මරණින් මතු දුගතියට යෑමට කරුණක් වනවා නම් එබඳු වැඩවලින් වැළකීමට උත්සාහ දරනවා. එබඳු අය ජීවිත ආරක්ෂාව සඳහා වුවත් පාපයක් කරන්නේ නැහැ.”
උතුම් ආර්ය මාර්ගයකට පත්වූ උතුමකුගේ ලක්ෂණ පිළිබඳව තවත් අවස්ථාවක රේරුකානේ මහ නා හිමියෝ මෙසේ ප‍්‍රකාශ කරති. තමා සෝවාන් බව කියා ගන්නා අයටත්, එමගින් වාසි ප‍්‍රයෝජන ලබන්නට උත්සාහ කරන අයටත් මේ පිළිතුර සිතන්නට කල්පනා කරන්නට ගැඹුරු අදහසක් මතු කොට දෙයි.
රහත්වීමේ මග දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් කල් ලෝකයෙහි රහතුන් වහන්සේලා, මාර්ග ඵල ලාභීන් නැතැයි ඒවා ලැබිය නොහැකි යැයි නොකිය හැකියි. මේ කාලයේ අතීතයේ මෙන් රහතුන්, මාර්ගඵල ලාභීන් සුලබ නැති බව පමණක් කියන්න පුළුවන්. රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයට පෙන්වමින් ඇවිදින අය නොවේ. දුටුවාම රහත් බව අඳුනා ගැනීමේ ලකුණක් ද උන්වහන්සේලා තුළ නැහැ. ඒ නිසා රහත් කෙනකුන් දුටුවත් හඳුනා ගත නොහැකියි. රහත් වීමට පිරිය යුතු ප‍්‍රතිපත්ති පුරා අවසන් කළහොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අර්හත්වය ලබා ගත්තෙක් වෙනවා. රහත්වීමේ ප‍්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කලක දී රහත් බවට නොපැමිණිය හැකි යැයි කීම යුක්ති යුක්ත නොවන කතාවක්. එසේ කීම තථාගතයන් වහන්සේගේ ධර්මයත් ශාසනික ප‍්‍රතිපත්තියත් කලකට අවලංගු කර දැමීමක් වෙනවා.
”රහත් වීමට උත්සාහ කරන පින්වතුන්ගෙන් ඇතැමෙක් ඉතාම කෙටි ධර්ම දේශනාවක් ඇසීමෙනුත් රහත් වෙනවා. ඇතැමෙක් පැවිදි වීමට හිසකේ කපන අතරතුර දී රහත් වෙනවා. ඇතැමෙක් පැවිදි වී දින ගණනකින් රහත් වෙනවා. ඇතැමෙක් මාස ගණනකින් රහත් වෙනවා. ඇතැමෙක් වර්ෂ ගණනකින් උත්සාහ කරලා රහත් වෙනවා. ඇතැමෙක් මුළු ජීවිත කාලයේම දුක් විඳලත් රහත් වෙන්නේ නැහැ.”
ලෝකයේ සිටින බොහෝ දෙනකුට නිර්වානය හෝ ධර්ම මාර්ගය ප‍්‍රිය නැත. ඔවුන්ට සසර තුළ විඳින තාවකාලික සැපයන් ප‍්‍රිය වේ. පුංචි පුංචි දෙයින් සතුටට පත්වේ. ලෝකයේ පොදු ධර්මතා ඉදිරියේ මොවුහු දුකට පත්වෙති. මේ අතරේ ධර්ම මාර්ගයේ යන සුළුතර කොටසක් ජීවිතය තුළ ලබන ලාභ, ප‍්‍රශංසා, සැප ආදියට නොඇදී ඒ ඔස්සේ සතුටු වීමට ද නොයා දුක් කටයුතු දෙයෙහි යථාර්ථය තේරුම්ගෙන නිවන් අරමුණු කොට ධර්මානුකූල පෙවෙතක් ගත කරති. ඇතැම් පිරිසක් සසරේ විමුක්තිය අරමුණු කිරීමටත් වැඩි දෙනෙක් සසරට ප‍්‍රිය කිරීමටත් හේතුව රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් ප‍්‍රකාශ කරන්නේ මේ අයුරිනි.
ඒ, ඒ ඇත්තන්ගේ අදහස් අනුවයි. මේ ලෝකයේ හෝ අන් තැනක හෝ ස්ථිර තත්ත්වයක් ඇති තැනක් නම් නැහැ. ඇත්තේ සංසාර චක‍්‍රයාගේ පැවැත්මය, නැවැත්මය යන දෙක පමණයි. පැවැත්ම කැමති නම් පැවැත්ම ගත හැකිය. නැවැත්ම කැමති නම් නැවැත්ම වූ නිවන් සුවය ගත හැකිය.
ප‍්‍රිය වස්තූන් ඇත්තේ ද, ප‍්‍රිය පුද්ගලයන් ඇත්තේ ද, සැප, සොම්නස, ප‍්‍රීතිය ඇත්තේ ද සංසාර චක‍්‍රයෙහිය. ජරාව, ව්‍යාධිය, මරණය, අප‍්‍රිය සම්ප‍්‍රයෝගය, ප‍්‍රිය විප‍්‍රයෝගය, ශෝකය, පරිදේවය, දුක දොම්නස, උපායාසය ඇත්තේ ද, පණු උකුණු මකුණු, බලූ, බළල්, ඌරු, කුකුළු ආදී තිරිසන් සතුන් වීම ඇත්තේ ද යක්ෂ පේ‍්‍රත වීම ඇත්තේ ද, ගින්නෙන් දැවි දැවී ලෝහ ගුලි ගිලින ලෝදිය නිරි සතුන් වීම ඇත්තේ ද සංසාර චක‍්‍රයෙහිය.
නිවනෙහි ප‍්‍රිය වස්තු ප‍්‍රිය පුද්ගලයෝද නැත. ප‍්‍රීතිය, සුඛ, සොම්නස ද නැත. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ ද නැත. එහි පැමිණි පසු නැවත අපායට යාමකුත් නැත. එහි ඇත්තේ ශාන්ත ස්වභාවයක් පමණි. ටිකක් කල්පනා කොට වඩා හොඳ දෙය තෝරා ගන්න.
අවිද්‍යාව සත්වයාගේ සිත කිළිටි කරන බොරු කරන අඳුරු කරන චෛතසික ධර්මයක්. එය එක්තරා මානසික රෝගයක්. ඒ රෝගයෙන් දුර්වල වූ, අඳුරු වූ සිතට පරම්පරා වශයෙන් ඉපිද ඉපිද, බිඳි බිඳී යාම, නාම රූපයන් ගේ සැබෑ තත්ත්වය පේන්නේ නැහැ. නොයෙක් විට නාම රූපයන් සත්වයන් හැටියට මිස නාම රූප හැටියට පේන්නේ නැහැ. එයින් සක්කාය දිෂ්ඨිය ද ඇති වෙනවා. නැවත නැවත සක්කාය දිෂ්ඨිය ඇති වෙන විට එය වැඞී තහවුරු වී දෘෂ්ටිධ්‍යාශය ඇති වෙනවා. එයත් එක්තරා මානසික රෝගයක්.
සක්කාය දිෂ්ඨිය සමගම ආත්ම වශයෙන් සලකන පංචස්කන්ධය ලොව ඇති ඉතාම හොඳ දෙය, ඉතාම උසස් දෙය හැටියට ගන්නා තෘෂ්ණාවත්, තණ්හාව හා පංචස්කන්ධයට අයත්ව ඇති වන සුඛ සෝමනස්සයන් හා බාහිර රූපාදියත්, හොඳ හැටියට ගන්නා වූ තණ්හාවත් ඇති වෙනවා. ඒවා වැඞී තහවුරු වී තෘෂ්ණාධ්‍යාංශය ඇති වෙනවා. එයත් එක්තරා මානසික රෝගයක්.
ධර්මය සේවනය නොකරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ජනයා කෙරෙහි අවිද්‍යා තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත රෝග තුන තදින්ම පවතිනවා.
කෙලෙස් රෝග ඇති අයට පංචස්කන්ධය ප‍්‍රිය වෙනවා. පංචස්කන්ධය සංඛ්‍යාත දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වූ නිවන අප‍්‍රිය වෙනවා. එයට බිය වෙනවා. එසේ වන්නේ නිරෝධය නරක නිසා නොව කෙලෙස් රෝගය නිසයි.
”ධර්මය නමැති බෙහෙත සේවනය කොට, කෙලෙස් රෝගය සුව කරගෙන සිත පිරිසුදු කරගෙන, වාසය කරන සත්පුරුෂයන්ට පංචස්කන්ධය තරම් නපුරක්, බිය යුත්තක් වෙනත් නැහැ. නිවන තරමට උසස්ව පෙනෙන අනික් සැපයකුත් නැහැ.”
යමකුට ධර්මය නොදැන භාවනාවෙන් පමණක් ප‍්‍රතිඵල ලැබීමට හැකි ද යන්න ඉත්තෑපානේ නාහිමියන්ගෙන් තවත් ප‍්‍රශ්නයකි.
-බුදු, පසේ බුදු, උතුමන් විසින් මේ ධර්මය තම තමන් විසින්ම අවබෝධ කරගනු ලබනවා. නමුත් සැරියුත් මහ රහතන් වහන්සේ වැනි මහ තියුණු නුවණක් ඇති උතුමකුට වුණත් සද්ධර්ම ශ‍්‍රවණය, ධර්මතාවබෝධය සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා ධර්මය ඇසීම, ධර්මය දැන ගැනීමටත්, ධර්මය අවබෝධ කර ගැනීමටත් අවශ්‍ය බවයි මට කියන්නට තියෙන්නේ.
අද මේ රටේ කෙරෙන භාවනා වැඩපිළිවෙළ ගැන නම් මා සතුටු වෙන්නේ නැහැ. මට නම් හිතෙන්නේ හුඟ දෙනෙක් මුලා වෙලා කියලා. ධර්මය නොදැන කොහොමද භාවනා වඩන්නේ. ධර්මය ගැන හොඳ දැනුමක් මුලින් ඇති කර ගන්න  ඕනෑ. ඒ වගේම භාවනාව ගැනත් තරමක හෝ දැනුමක් ඇති කර ගන්න  ඕනෑ. අද භාවනාව හුඟාක් අසාර්ථක වෙලා තියෙන්නේ ඒ ගැන දැනුමක්, තේරුමක් නැති නිසයි. මුලින්ම කෙනකුට භාවනා ක‍්‍රමයක් කියා දීම වැරදියි. භාවනාව ගැන දැනුමක්, තේරුමක් මුලින් ලබා දෙන්නම  ඕනෑ. අද නම් ගිය හැටියේම දෙන්නේ භාවනාවක්. නමුත් ඒ භාවනාව ගන්න එක්කෙනාට ඒ ගැන කිසිම තේරුමක් නැහැ. මේ රටේ භාවනාව දෙන බොහෝ දෙනාට (භාවනා ආචාර්යවරුන්ටත්) ඒ පිළිබඳ තියෙන දැනුම ඉතාම ස්වල්පයි. එහෙම තියෙනකොට කොහොමද භාවනාවෙන් ප‍්‍රතිඵල ලබාගන්නේ...?”
භාවනාව සමථ හා විදර්ශනා යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකකි. බොහෝදෙනා සමථ භාවනාවට අයත් අනාපානසති ආදී භාවනා ක‍්‍රම කරන අතර ගැඹුරු විදර්ශනා භාවනා සඳහා යොමුවීම අඩුය. සමථ භාවනාවෙන් සමාධියක් නොලබා විදර්ශනා භාවනා වැඞීමෙන් පමණක් ප‍්‍රතිඵලයක් ලැබිය හැකිද යන්නට රේරුකානේ මහ නාහිමි ලබා දෙන්නේ මෙවැනි අදහසකි.
සමථ භාවනාවලින් සමාධි උපදවා ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට සිටියහොත් විදර්ශනා වඩන්නට නොලැබී ජීවිතය කෙළවර වෙනවා ඇති. ඒ නිසා බුද්ධෝත්පාදයෙන් ලැබිය හැකි උසස් ඵලය නොලැබී යන්නේය. භාවනා කිරීමට පටන් ගන්නා අයගෙන් ධ්‍යානයක්, මාර්ගයක්, ඵලයක් ලැබීම දක්වා භාවනාව ගෙන යාම තබා තරමක සමාධියක්, තරමක විදර්ශනා ඥානයක් ලැබෙන තෙක් වුව ද භාවනාව කරගෙන යා හැක්කේ ඉතාම ටික දෙනකුට පමණයි. එයට හේතුව නීවරණයන් විසින් ඒ අය පරදවනු ලැබීමයි. භාවනාව දියුණු කළ හැකි වීමට නම් යෝගාවචරයා නීවරණ පැරදවිය යුතුයි. ඇත්ත වශයෙන්ම යෝගාවචරයාට භාවනා කරමිනුයි ක‍්‍රියා කරන්නට ඇත්තේ නීවරණ සටනයි.
මෙකල භාවනා කරමියි කියා සමහර අවස්ථාවල යම් කිසිවක් මෙනෙහි කරන අය නීවරණ ප‍්‍රහානය නමැති බර වැඩක් තමන්ට කරන්නට ඇති බව පවා දන්නේ නැහැ. ඒ අය නොයෙක් ආකාරයෙන් තමන් කෙරෙහි ඇදී එන නීවරණයන් හඳුනන්නෙත් නැහැ. එබැවින් ඔවුන් නීවරණයන් විසින් පරදවනු ලැබ භාවනා කරමියි කියමින් හැම කල්හිම එකම තත්ත්වයෙන් සිටිනවා. නීවරණ ප‍්‍රහානය කිරීමට වීර්යය නොකරන ඔවුන්ට කිසි කලෙක භාවනාවෙන් උසස් ඵලයක් ලැබිය නොහැකියි. නීවරණයන් හඳුනන්නන්ට නීවරණ ප‍්‍රහානය කළ හැකියි.
(මතු සම්බන්ධයි)
සටහන ඡායාරූප -  අසංක ආටිගල
2012 සැප්තැම්බර් මස 23 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


රේරුකානේ චන්දවිමල මහ නාහිමි


පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා

ඌව වෙල්ලස්‌ස හා මාතලේ ජාතික නිදහස්‌ සටන් වලින් පරාජය වී සිටි ජාතිය ආගමික, සංස්‌කෘතික පුනර්ජීවනය මගින් පුබුදු කළ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි හා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ හඬ ලංකාව පුරා පැතිරවූ අසහාය ජාතික වීරයා අනාගාරික ධර්මපාලතුමා බව මුළු රටම දන්නා සත්‍යයකි. එසේ වුවත් පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බලවේගයක්‌ ගොඩනැගූ වීරයා ධර්මපාලතුමන් බව දන්නේ සුළු පිරිසකි. එක්‌දහස්‌ අටසිය අනූතුන්වැනි වසරේ (1893) ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවැත්වුණු ලෝක දෘෂ්ටි සම්මේලනයේ දී ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාව නියෝජනය කළ අනගාරික ධර්මපාලතුමා විසිනම වැනි වියේදී ධර්මකාමී ලෝක බුද්ධිමතුන් අතර අසහාය වීරයකු ලෙස පිළිගැනුණු බව ඒ පිළිබඳ එදවස පළවූ ඇමෙරිකානු පුවත්පත්, සඟරාවල සටහන් වී ඇත. චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ මුලසුන ඉසිලූ මහාචාර්ය බැරෝස්‌ ප්‍රකාශකර ඇත්තේ ධර්මපාලතුමාගේ විමුක්‌තිකාමී දේශන විලාශය බටහිර ජනතාවට පෙනුණේ කසාවතින් සැරසුණු ක්‍රිස්‌තුස්‌වහන්සේගේ ප්‍රතිරූපයක්‌ ලෙසින් බවයි.

චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ බොදු හඬ පතුරා ලෝක ධර්ම චාරිකාවක්‌ ආරම්භ කළ ධර්මපාලතුමා හොනලුලු දූපතේ දී පිළිගත් මේරි පෝස්‌ටර් මැතිනිය එතුමාගේ අග්‍රදායිකාව වූවාය. ලන්ඩන් බෞද්ධ විහාරය ඇරඹීමේ මූලික සැලසුම් සැකසූ ධර්මපාලතුමා ප්‍රංශය, ජර්මනිය හරහා යමින් ආසියාවේ චීන, ජපන්, කොරියා, තායි, බුරුම ආදී එකල බෞද්ධ වූ රටවල ජනතාවන් පුබුදුවමින් දේශන කළහ. ධර්මපාලතුමා චීනයේ ශැංහයි නගරයට පැමිණි අවස්‌ථාවේ එතුමන්ට සවන් දෙන්නට එක්‌වූ පිරිස විසිපන් දහසකට වැඩිවී යෑයි වාර්තා වී ඇත. එය පුදුමයට හේතුවක්‌ නොවෙන්නේ ඒ වනවිට චීනයේ කොමියුනිස්‌ට්‌ විප්ලවය තබා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය පවා ආරම්භ වී නොතිබුණු හෙයිනි. 1921 දී චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂය ආරම්භ වන්නට දසක දෙකකට කලින් බහුතර ජනතාව බෞද්ධ වූ චීනයේ හොංකොං නගරයේදී පවා ධර්මපාලතුමන්ගේ දේශන අසන්නට දසදහස්‌ ගණන් සෙනඟ රැස්‌වී ඇත.

කොරියාවේ සිඕල් නගරයේදීත් ජපානයේ ටෝකියෝ නගරයේදීත් ධර්මපාලතුමාගේ දේශන අසන්නට බෞද්ධ ප්‍රජාව රැස්‌වී ඇත්තේ දහදහස්‌ ගණනිනි. ධර්මපාලතුමන් නැගූ හඬ ආසියාව පුබුදු කළ අධිරාජ්‍ය විරෝධී හඬක්‌ බවට පත්විය. තායිලන්තය හා බුරුමය වැනි අතිමහත් බහුතර ජනතාව බෞද්ධවූ රටවලදී ධර්මපාලතුමන් පැවැත්වූ දේශනාවන් ඒ රටවල බෞද්ධයන් ඉන්දියාවේ ඓතිහාසික බෞද්ධ මධ්‍යස්‌ථාන හින්දු ආධිපත්‍යයෙන් බේරාගැනීමේ හඬක්‌ බවට පත්විය. ශ්‍රී ලංකාවේදී සිංහලයනි, නැගිටිව්· බුද්ධගයාව බේරාගනිව්· යනුවෙන් ධර්මපාලතුමන් යොදාගත් උද්යෝග පාඨය සිංහලයින් ලෝක බෞද්ධ ජනතාවගේ නායකත්වය කරා ඔසවා තැබීමේ උපායික සැලැස්‌මක අංගයක්‌ වූ බව නිසැකය. බුද්ධගයා හා කුසිනාරා ආදී ඓතිහාසික බෞද්ධ මධ්‍යස්‌ථාන හින්දු ආධිපත්‍යයෙන් බේරාගැනීම සඳහා සිංහලයින් අවධිකරමින් ධර්මපාලතුමා ගෙනගිය ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ලෝක බෞද්ධ ප්‍රජාවගේ පුරෝගාමී බලවේගය බවට පත්වීමයි.

ශ්‍රී ලංකාව පුරා සංචාරය කරමින් ජාතිය අවදි කිරීම සඳහා ධර්මපාලතුමන් විසින් දියත් කරන ලද ක්‍රියාමාර්ගය නිසා ලංකාවේදී එතුමන් අත්අඩංගුවට ගන්නට පසුබටවූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු ඒ ශ්‍රේෂ්ඨ අධිරාජ්‍ය විරෝධී වීරයා බෙංගාලයේ දී අත්අඩංගුවට ගත්හ. බෙංගාලයේ නිවාස අඩස්‌සියේ සිටියදී පවා ලියුම් ලියමින් ලෝක බෞද්ධ ප්‍රජාව පුබුදුවා ගනිමින් කල්කටා විශ්වවිද්‍යාල භූමිය තුළ ධර්මරාජික විහාරය කරවන්නට තරම් ධර්මපාලතුමා සුවිශේෂ හැකියාවන්ගෙන් යුතු වීරයකු වීම විශ්මයජනකය. 

පැවිදි බිමට පත් ධර්මපාලතුමන් ලංකාවට නිදහස ලැබෙන්නට අවුරුදු දාහතරකට පෙර සිරිදේවමිත්ත හිමියන් ලෙසින් ඉන්දියාවේදී අපවත් වුවද ධර්මපාලතුමන් විසින් ලෝක බෞද්ධ නායකත්වයට ඔසවා තබන ලද ලක්‌වැසි බෞද්ධයන්ට ඉන්දියාවේ මෙන් මහා ජනතා උද්ඝෝෂණ වලින් තොරව නිදහස දිනාගන්නටත් පනස්‌හයේදී තවත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්‌ ලබා කටුනායක හා ත්‍රිකුණාමල අධිරාජ්‍යවාදී ගුවන් හා නාවුක කඳවුරු ඉවත්කර ගන්නටත් හැකිවිය. ත්‍රිකුණාමලේ හා කටුනායක අධිරාජ්‍යවාදී කඳවුරු ඉවත්කර ගන්නට තරම් බෞද්ධ බලවේගය ශක්‌තිමත් වූයේ ලංකාව ලෝක බෞද්ධ නායකත්වයට ගෙනඑන්නට සමත්වූ ධර්මපාලතුමාගේ ක්‍රියාමාර්ගය නිසාය. ඉන්දියන් සාගරයේ මර්මස්‌ථානයක පිහිටි ලංකාවේ අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය කඳවුරු සාමකාමී ලෙසම ඉවත්කර ගන්නට ධර්මපාලතුමන් විසින් ලෝක බෞද්ධ නායකත්වයට ඔසවා තබන ලද ලංකාවට හැකිවුවද විප්ලවවාදී කියුබාවට තම භූමියේ කොටසක පවත්වාගෙන යන අධිරාජ්‍යවාදී "ගුවන්තනාමෝබේ" කඳවුර ඉවත්කරගත නොහැකි විය. ක්‍රිස්‌තියානි ආර්ජන්ටිනාවට ක්‍රිස්‌තියානි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් සාමයෙන් පෝක්‌ලන්තය මුදාගත නොහැකි විය.

ලෝක බෞද්ධ සම්මේලනයේ පළමුවැනි සභාපතිධුරයට මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා පත්වූයේ ධර්මපාලතුමන් විසින් ඉටුකරන ලද ඓතිහාසික මෙහෙවරෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බව නිසැකය. චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ දී ධර්මපාලතුමන්ගේ දේශනයට සවන් දුන් එම සභාවේ මුලසුනේ සිටි මහාචාර්ය බැරෝස්‌ ධර්මපාලතුමන්ගේ විමුක්‌තිකාමී විලාශය අගය කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් කුඩා යටත් විජිත රටක මෙවන් වීරයකු බිහිවී සිටින දකින්නට ලැබීම ලෝදනන් සිත් පුබුදුවන්නක්‌ බව කියමිනි. ලොව පුරාවූ කෝටි සංඛ්‍යාත ධර්මකාමී යුක්‌තිගරුක ජනකොටස්‌වල අනුබලය ලක්‌වැසි ජනතාවට ලැබීමේ ප්‍රතිඵලය වූයේ, ඉන්දියාවේ මෙන් මහා උද්ඝෝෂණ වලින් තොරවම ජාතික නිදහස සඳහාවූ ප්‍රබල පියවරයන් තැබීමට ශ්‍රී ලාංකිකයන්ට හැකිවීමයි. බ්‍රිතාන්‍ය කඳවුරු ඉවත්කරන ලද්දේ පෙඩරල් පක්‍ෂයේ විරෝධය මධ්‍යයේය. අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රයත්නයේ පලනෙළා ගන්නට බණ්‌ඩාරනායක මහතාට හැකිවූයේ, මහසඟරුවන මුල්කරගත් පංචමහා බලවේග පිළිවෙත නිසා බව රහසක්‌ නොවේ.

පෙරදිගට සීමාවූ බුදුදහම ලෝක ව්‍යාප්ත දහමක්‌ බවට පත්කරන්නට ධර්මපාලතුමන් දැරූ ප්‍රයත්නය නිසාම අතීතයේ ආසියාවේ ධර්ම භාණ්‌ඩාගාරය වූ ශ්‍රී ලංකාව සමස්‌ත ලෝකයේ ධර්මද්වීපය බවට පත්වූ බව නිසැකය. අශෝක අධිරාජ්‍යයා බුදුදහම ආසියාව පුරා පතුරුවන්නට දැරූ ප්‍රයත්නය ලෝක මට්‌ටමට ගෙන ජාත්‍යන්තර බෞද්ධ වීරයා වූයේ ධර්මපාලතුමන්ය. මලලසේකර මහතාට ලෝක බෞද්ධ සම්මේලනයේ පළමුවැනි සභාපති ධුරයට පවත්වන්නට හැකිවූයේත් බණ්‌ඩාරනායක මැතිනියට නොබැඳි ජාතීන්ගේ නායකත්වයට පත්වන්නට හැකිවූයේත් අනාගාරික ධර්මපාලතුමන් විසින් ඉටුකරන ලද පුරෝගාමී මෙහෙවර නිසාය. අනගාරික ධර්මපාලතුමන් විසින් ඉටුකරන ලද ලෝක සේවාව බල අරගලයේ ගිනිදැල්වලට හා නව යටත් විජිතවාදී සොබා සම්පත් කොල්ලයට මුහුණපා සිටින ආසියා, අප්‍රිකා, ලතින් අමෙරිකා ජනතාවට සෙතක්‌ ශාන්තියක්‌ වී තිබේ. ධර්මපාලතුමන් ගෙනගිය ජාත්‍යන්තර ව්‍යාපාරය සියලු ජාත්‍යන්තරවාද ඉක්‌මවන විශ්වාන්තර වාදයක්‌ බවට පත්කළ යුතු තීරණාත්මක අවදියකට ලෝක ප්‍රජාවත් ජීවලෝකයත් මුහුණපා සිටින බව තේරුම් ගන්නා සැමට ධර්මපාලතුමන් ඉදිරිමග පෙන්වන පහන් ටැඹක්‌ වේ.

අනගාරික ධර්මසේකරතුමා
2012 සැප්තැම්බර් 16 ඉරිදා දිවයින