දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

දුසිරිත් දනන්ගේ සදා උරුමය; සතර අපාය

පූජ්‍ය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති
මාවනානේ සෝමින්ද හි

යාදිසං වපතෙ බීජං තාදිසං හරතේ ඵලං
(වපුල බිජුවට අනුව අස්‌වනු ලැබෙනු ඇත)

සත්වයෝ උපදිති. මැරෙති. යළි උපදිති. දිගු ගමනක නිරත වෙති. ඔවුහු සැපයට කැමැති වෙති. සැපවත්හු ඇති සැපය තර කර ගැනීමටද දුක්‌පත්හු ඉන් මිදීමටද වෙර දරති. මේ සසර ස්‌වභාවයයි.

කෙලෙස්‌ බර සත්ත්වයෝ කැමැති වුවත් නොවූවත් සසරින් මිදෙන තෙක්‌ මෙම අනුල්ලංඝනීය තත්ත්වයට මුහුණ දිය යුත්තාහ. එනිසාම නුවණැතියන්ගේ අවධානය යොමු විය යුතු කරුණු දෙකක්‌ වෙයි. ඒ දුක්‌ඛ දොaමනස්‌සයන්ගෙන් මිදී සැනසිල්ලේ ජීවත්වීම හා මරණින් මතු දුගතිගාමී නොවී සුගතියෙහි ඉපදී සුවසේ කල් ගෙවීමත්ය. මේ කරුණු ඉබේම හෝ දේව කැමැත්තකින් සිදුනොවන හෙයින් ඊට අදාළ දේ තමා විසින් සපයාගත යුතුය.

මනුෂ්‍යයෝ ජීවත්වන්නේ අවුරුදු සියයකට අඩුකාලයකි. ඉන් ඔබ්බට සසරදී ජීවත්වන කාල කල්ප ගණනින් ගිනිය යුතු දීර්ඝ කාලයකි. එබැවින් නුවණැත්තන් විසින් මෙලොව ගැන කල්පනා කරනවාට වැඩියෙන් පරලොව ගැන සිතිය යුතුය. 'මරණං ධම්මිකං සෙයේ‍යා - යං චෙ ජීවේ අධම්මිකං' යෑයි අධාර්මික ජීවත්වීමට වඩා ධාර්මික මරණය වටනේ යෑයි වදාළෝ ඒ දීර්ඝ සංසාරයේ සැනසිල්ල ජීවත්වන කෙටි කාලයේ කරනු, කියනු සිතනු ලබන දෙයින් තීරණය වන හෙයිනි.

අනවරාග්‍ර සංසාරයේ සැරිසරන සත්වයන්ට ඉපදීම සඳහා භූමි තුනක්‌ වෙයි. කාම භූමිය, රූපභූමිය, අරූප භූමිය වශයෙනි. තපසින් සිත වඩා කෙලෙස්‌ තාවකාලිකව යටපත් කළ ධ්‍යානලාභීහු රූප භූමි හා අරූප භූමිවල උපදිති. කෙලෙස්‌ සහිත සතවයෝ කාම භූමියෙහි උපදිති. පසිඳුරන් පිනවමින් ආශාවන් සතපමින් සසර සැරිසන්නන් හට වෙන්වූ කාම භූමි සුගති දුගති යෑයි දෙකොටසකට වැටේ. මිනිස්‌ ලොවත් දෙව්ලෝ සයත් සුගති වෙයි. සතර අපාය දුගති යයි.

අපි මිනිස්‌ ලොව ස්‌වභාවය දනිමු. මව් කුසදී මහා දුකක්‌ විඳ මෙලොවට බිහිවී ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සිවු බියෙන් පීඩිතව අවුරුදු සියයකටත් වඩා අඩුප්‍රමාණයක්‌ ආයුෂ විඳින සත්ව කොට්‌ඨාසයකි මිනිස්‌ ලොව වසනුයේ. සිරුර රැකීමට පෝෂණය කිරීමට ජාති, ජරා, ව්‍යාධි මරණ යන සිවු බියෙන් මිදීමට මෙන්ම ඉගෙනීමට රැකියා කිරීමට අඹු දරුවන් ලබාගැනීමට ගොවිතැන ඉඩකඩම් රැකීමට වශයෙන් දුක්‌ ගොඩක්‌ මැද දිවි ගෙවුනද සුඛ සහගත අනුභූතීන්ගෙන් පසිඳුරන් පිනවමින් තාවකාලික වූ හෝ සැනසිල්ලක්‌ සහිත තැනක්‌ නිසාත් උසස්‌ වූ මනසකින් යුක්‌තව උභයාර්ථ සාධනයටත් ලොව්තුරා තත්ත්වයන් සාධනයට තෝතැන්නක්‌a වන නිසාත් මිනිස්‌ ලොව සුගති සංඛ්‍යාවෙහිලා ගැනේ. 

කරන ලද දානාදී පුණ්‍ය කර්මයන්ගේ මහිමයෙන් දිව්‍ය ආත්ම භාවයන් ලද පිරිස්‌ උපත ලබන ස්‌ථාන දිව්‍ය ලෝaකයෝ වෙති. ඒවා චාතුර්මහාරාජිකාදී සයක්‌ වේ. දෙවියෝ මිනිසුන් විසින් ස්‌පර්ශ කළ නොහැක්‌කෝ වෙති. දැකිය නොහැක්‌කෝය. මරණ බිය පවා නොහැඟෙන තරමේ සැපසම්පතින් ආඪ්‍යව දිවි ගෙවති. මව් කුස වාසය කර හඬ හඬා නොඉපදෙති. අංග සම්පූර්ණව පහළවෙති. (ඕපපාතිකව). ඔවුන්ට ජරාවක්‌ නැත. සිරුර හෝ වස්‌ත්‍රාභරණ කිළිටි නොවේ. ඩහදිය නොදමයි. ආයුෂ දීර්ඝය. ආහාර සැපයීමට වෙහෙසවීමක්‌ නොවේ. ප්‍රීතිය ආහාර කොට නැටුමෙන්, ගැයුමෙන් සිත් පිනවමින් වාසය කිරීමට දෙවියන්ට අවස්‌ථාව ඇත. ඒ පුණ්‍ය විපාක වශයෙනි. 

සැපතින් සැනසිල්ලෙන් තොරවූ තැන අපාය වේ. කරන ලද දුසිරිත්හි පාපකර්මයන්හි විපාක විඳීමට නියමිත පාපකාරීහු මේවායේ උපදිති. දුෂ්ට කර්කශ අනිෂ්ට ස්‌වභාවයෙන් යුක්‌ත හෙයින් ඒවා දුගති නමින්ද හැඳින්වේ. එවැනි භූමි සතරකි. නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය හා අසුර නිකාය යනු ඒවාය.

නරකය - අතිශයෙන් කටුක වූ වේදනාවන්ගෙන් පිරි 'නරකය' සංජීව කාල සූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචිය යෑයි මහා නරක අටකි. සතරැස්‌ වූ මහා නරකය එක්‌ පසෙකින් සතරක්‌ බැගින් වූ ඔසුපත් නමින් හැඳින්වෙන කුඩා නරකයෝ වෙති. ඒ අනුව එක්‌ මහා නරකය කුඩා නරක දහසයක්‌ වේ. මහා නරක අටක්‌ ඒවා සතර පස එක්‌ පැත්තකින් සතරක්‌ බැගින් කුඩා නරකයන් වන හෙයින් එක්‌ නරකයක්‌ වටා කුඩා නරක දහසයකි. ඒ අනුව නරකයන් එකසිය තිස්‌ හයක්‌ වේ. 

උපන් නිරි සතුන් යම පල්ලන් විසින් රත්වූ පොළවෙහි පෙරළඹින් කැබලිවලට කපද්දීත් තවදුරටත් ජීවත්වීම නිසා සංජීව නරකය නම් වේ. අපාගත වූවන් ගිනිගත් පොළොවෙහි හොවා වෑයෙන් ලී සසින්නා සේ පිසින්නා වූ ස්‌ථානය කාලසූත්‍ර වේ. රත්වූ පොළොවෙහි ගිලී ඇති අපාසතුන් මඩිමින් තලමින් පර්වතයන් පෙරළෙන ස්‌ථානය සංඝාත නම් වේ. සිරුර ඇතුළත හා පිටත දැඩිව දවනු ලැබීමෙන් මහා විලාප නැගෙන ස්‌ථානය රෞරවය වේ. දැවෙන සිරුරින් අතිශය දුකට පත්ව මහත්ව වූ විලාපයන්ගෙන් පිරිනරකය මහා රෞරව වන අතර ගිනියම්වූ යපොළොවෙහි ගින්නෙන් දැවෙමින් යකඩ උල්වලින් අමුණා තබන නිරිසතුන් ඇති තැන තාප නරකය වේ. තාප නරකයේ මෙන්ම අතිශය කුරිරු අයුරින් දීර්ඝ කාලයක්‌ පැසෙන තැන ප්‍රතාප වේ. සදිසාවෙන් මතුවන ගිනිදැල්වලින් වෙලී අතොරක්‌ නැතිව දැවෙමින් අනන්ත දුක්‌ ඇති නරකය අවිචීය වේ.

ඒ හැර අතිශයින් පිළිකුල් සහගතවූ පණුවන්ගෙන් පිරි අසූචියෙන් පිරි ගූථ නරකය. අළුයෙන් සැඟවුණු ගිනි අඟුරුවලින් පිරි කුකුක්‌කල නරකය, තියුණු කඩුද, දැලිපිහියා වැනි කොළ ඇති වෘක්‌ෂ ලතායෙන් යුත් අසිපත් නරකය හා තියුණු කටුවලින් පිරි ඉඹුල්ගස්‌ ඇති සිම්බලිවන නරකය යෑයි තවත් නරකයන් සතරක්‌ ඇත්තේය. ගනදුරින් හා සීතලෙන් පිරි ලෝකන්තරික නම් වූ නරකයක්‌ද වන්නේය.

මේ නරයන්හිදී නිරි සතුන් අසීමාන්තික වධ වේදනාවන්ට ගොදුරු වන්නේ නමුදු ඔවුන් කළ පාප කර්මයන්ගේ දුර්විපාකයන් කෙළවරක්‌ වනතුරු ඔවුන්ගේ මරණයත් (චුත වීමක්‌) සිදුනොවේ.

ආනන්තරීය පාප කර්මයන් ප්‍රමුඛ වූ පස්‌ පව් දස අකුසල් හා සමාජ විරෝධී පරපීඩක ක්‍රියාවන් මෙන්ම ඊර්ෂ්‍යා, ක්‍රෝධ, නපුරු සිතුවිලිවලින් මඩනා ලදුව සමාජය පීඩාවට පත් කිරීම, දිළින්දන් පෙලීම, සොර මැර කම් කිරීම, ගුණවතුන්ට හා සිල්වතුනට අපරාධ කිරීම, මිත්‍ර ෙද්‍රdaහී වීම, සතුන්ට වද හිංසා දීමෙන් උන්ගෙන් වැඩ ගැනීම, තුණුරුවන්ට නිග්‍රහ කිරීම, තුණුරුවන් සතු හෝ දැහැමියන් සතු වස්‌තුව පැහැර ගැනීම, අන්‍යයන්ගේ නිවෙස්‌ ගිනි තැබීම, පණ පිටින් සතුන් පිsලිස්‌සීම, කාමුක අපරාධ කිරීම, මිසදිටු ගැනීම ආදී පාප කර්මයන්හි ප්‍රතිපල ලෙස නරකයන්හි උපත ලැබෙනු ඇත.

තිරිසන් අපාය 

අපා, දෙපා, බහුපා සත්වයන් හා විවිධ ස්‌වරූප ගත් තිරිසන් සත්ව සමූහයාම තිරිසන් අපාය වේ. උපනූපන් තැන්වල නිරතුරු බියෙන් යුතුව පිළිසරණයක්‌ නැතිව දුක්‌ත ජීවිත ගත කිරීම තිරිසන් අපායේ උරුමයයි. තිරිසන් අපායට නියමිත නිශ්චිත ස්‌ථානයක්‌ නැත.

ප්‍රේත අපාය

අතිශයින් විරූපී, පිළිකුල් සහගත දුටුවන්ට අප්‍රිය වූ ශරීර ඇත්තෝ ප්‍රේතයෝය. දුක පමණක්‌ම උරුමය කරගත් ප්‍රේතයෝ කුසගිනි නිවෙන්නට ආහාරයක්‌ පවස නිවන්නට වතුරක්‌ කිසිදා නොලබති. කොතෙක්‌ ආහාර ජලය නොලදත් අකුසල බලය නිසා නොමියෙති. බොහෝ කල් ජීවත්වෙති. අතිශය අපිරිසිදු දේ වන සෙම්, සොටු, අසූචි, ලේ, සැරව, මළකුණු, ඉවතලන බත් සුළු ආදිය ආහාර වශයෙන් ගනිති. ප්‍රේතයන්ටද නියමිත භූමියක්‌ නැත.

අසුර නිකාය

අසුරයෝ දේව ගණයට අයත් වූවෝ හා ප්‍රේත ගණයට අයත් වූවෝ යෑයි දෙකොටසකි. ෙච්පචිත්තී, සුචිත්තී, පහාරාද වැන්නෝ දේව ගනයට අයත් අසුරයෝය. ඔවුහු වරින් වර දුකසැපවලට මාරු වෙති. ප්‍රේතයන් මෙන් සදහටම දුක්‌ විඳින අසුරයෝ ප්‍රේත කොට්‌ඨාසයට අයත් වෙති.

කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක්‌ දැඩිවෙයි ගිනි සේ

පිනෙන් පොහොසත් වූවෝ සුවපත්වෙති. දුසිරිතෙහි නිරත වූවෝ දුකට පත්වෙති. සත්වයෝ කෙලෙස්‌ ඇති තෙක්‌ සසරේ ඇවිදිති. ඒ අතරතුර රැස්‌ කරන කර්මයන්ගේ මහිමයෙන් තමාගේ උරුමය තමා විසින්ම නිශ්චය කර ගනිති. සුගතියට හෝ දුගතියට හිමිකම් කියනුයේ ඒ අනුවය. මිනිසත් බව ලැබූවකු යම් හෙයකින් දුගතියට (අපායට) පත්වුවහොත් එය බරපතළ වරදවා ගැනීමකි. එනිසාම දේශකයෝ පවෙහි, අකුසලයෙහි බිහිසුණු බව අවධාරණය කරමින් දුගතියෙන් මිදීමට සුගතිය පත්වීමට මගපෙන්වා දෙති.

ඕවිටිගල ශ්‍රී සුනන්දාරාමාධිපති කළුතර දිස්‌ත්‍රික්‌කයේ උප ප්‍රධාන සංඝනායක රාජකීය පණ්‌ඩිත ඕවිටිගල සුමේධ හිමියන් ස්‌ව විහාරස්‌ථානයට තවත් විහාරාංගයක්‌ එක්‌ කරලමින් සතර අපාය මූර්තිමත් කරවන්නට යෙදුනහ. නිර්මාණ ශිල්පී බෝපිටියේ ටී.එම්.ඩී. අමිල ප්‍රදීප් සැදැහැතියන්ගේ සන්තානයෙහි සංවේගය දනවන අයුරින් එය නිමවා එම සතර අපායේ ඡායාරූපයකි මෙම ලිපියේ දැක්‌වෙන්නේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

දුක්ඛ නිරෝධගාමිනී ආර්ය සත්‍යය විස්තර කෙරෙන සූත්‍ර දේශනාවල මෙසේ සඳහන් වේ.
නිවැරදි දැකීම, නිවැරදි සංකල්පනා,නිවැරදි වචන කතා කිරීම, නිවැරදි වැඩ කිරීම, නිවැරදි දිවිපැවැත්ම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යනුවෙනි. සියලු දුක් නැති කිරීමෙන් නිර්වාණාවබෝධයට ඒකායන මාර්ගය වන්නේ මේ අරි අටඟි මඟයි. එහි පළමු වැන්න සම්මා දිට්ඨිය හෙවත් ලෝකය සහ සත්වයා පිළිබඳ ව ඇති කරගන්නා වූ නිවැරදි අවබෝධයයි.
වැරදි දැකීමක් ඇති තැනැත්තා දස වැදෑරුම් වූ මිච්ඡා දිට්ඨියකට පත්වන්නේය. එය දසවත්ථුක මිච්ඡාදිට්ඨිය නමින් හැඳින්වෙයි.
දන්දීමෙන් යහපත් විපාක නැත
ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගීමගී යාචකාදීන්ට පිං සලකා දන් දීමෙන් කුසලයක් සිදුවන්නේ නැතැ’යි කියන අය සිතන්නේ දන්දීම වස්තුව විනාශ වෙන නිශ්ඵල වැඩක් වශයෙනි. ඔවුහු දැඩි ආත්මාර්ථකාමී, වංචනික ජීවිත ගතකරති. අනුන් ගැන නොසිතන අයට වෙනත් කෙනෙකුගේ දුක තේරුම්ගත නොහැකිය. ඔවුන්ගේ සිත් ද රළුය. දරුණුය. මෙවැනි මිථ්‍යා අදහස්වලින් ඉවත් වී දන්දීමෙන් කුසල් සිදුවෙන බවත් එය සසර සුගතිගාමී වීමට හේතු වන බවත් පිළිගැනීම, සම්මා දිට්ඨියකි.
මහාපූජා පැවැත්වීමෙන් ප්‍රයෝජනයක් නැත
මහා ධනයක් වියදම් කර විශාල පුද පූජා පැවැත්වීමෙන් සිදුවන්නේ ධනය විනාශ කිරීමක් ය. ධනය විනාශ කිරීම සමාජයේ ප්‍රගතිය අඩාල වීමට හේතු වන්නේය. එනිසා මහා පුද පූජා සඳහා ධනය වැය කිරීම නිශ්ඵල ක්‍රියාවක් යැයි කියන්නේ මිථ්‍යා මත ගත් අයයි.
පිං සලකා ගුණවතුන්ට ආහාරපාන දීමෙන් යහපත් විපාක නැත.
ගුණධර්ම ආරක්ෂා කරන යහපත් පුද්ගලයන්ගේ පැවැත්ම සඳහා ආහාරපාන ආදියෙන් උපකාර කිරීමෙන් ප්‍රයෝජනයක් නැතැ’යි කියන්නේ නිවැරදි අවබෝධයක් නැති අයයි.
හොඳ සහ නරක ක්‍රියාවල විපාක නැත.
යහපත් වැඩ කිරීමෙන් යහපත් විපාකත් අයහපත් වැඩ කිරීමෙන් අයහපත් විපාකත් නැත. එනිසා මවුපියන්ට උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට සැලකීම, ගිලනුන්ට සැලකීම. දිළිඳුන්ට උපකාර කිරීම, විහාරපන්සල් සෑදීම, මංමාවත් ළිංපොකුණු සෑදීම, සිල් රැකීම, බණ ඇසීම ආදී වැඩවලින් ප්‍රයෝජනයක් නැත. ඒවා කරන අයට පිනක් සිදුනොවේ. පරලෝකයේ දී ද ලැබිය හැකි දෙයක් ද නැත. සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් අකුසල කර්ම සිදුවීමක් හෝ සිල් රැකීමෙන්, දන්දීමෙන් කුසල කර්ම සිදුවීමක් වන්නේ නැත. මෙසේ අකිරීයවාදී හා අහේතු අප්පච්චයවාදී අදහස් දරන්නෝ මිථ්‍යා මතවලින් වැසී සිටිති. සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා කුසලාකුසල කර්ම සහ ඒවායේ විපාක විශ්වාස කරයි.
කර්මානුකූල ව මෙලොව සතුන්ගේ ඉපදීමක් හෝ වෙනත් ලෝකවලින් මෙලොවට සත්වයන්ගේ පැමිණීමක් නැත
මේ මනුස්ස ලෝකය හැර වෙනත් ලෝක නැත. සියලු ම සත්තු මේ ලෝකයේ ම සිටිති. දිව්‍යලෝකයත් අපායත් ඇත්තේ මේ මිනිස් ලොවමය. වෙනත් ලෝකවලින් මෙලොවට එන සතුන් හෝ මෙලොවින් වෙනත් ලෝකවලට යන සතුන් නැතැ’යි කියමින් සමහරු මිථ්‍යාමත දරති. එහෙත් නිවැරදි දැක්මක් ඇති තැනැත්තා බොහෝ ලෝක ඇති බවත් එම ලෝකවලත් විවිධ සත්වයන් සිටින බවත් ඒ ලෝකවලින් මේ ලෝකයටත් මේ ලෝකයෙන් ඒ ලෝකවලටත් සත්වයන් ගමන් කර බවත් විශ්වාස කරයි.
පරලෝකයක් කියා දෙයක් නැත
සත්වයන් සිටින වෙනත් ලෝක නැත. දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, සතර අපාය ආදී පරලෝකවලින් මෙලොවට එන සත්වයන් ද නැත. සියලු ම සත්වයන් සිටින්නේ මෙලොවමය. අපායත් මෙලොව මය. දිව්‍ය ලෝකයත් මෙහි ම ඇත. මෙවැනි මිථ්‍යා අදහස් දරන අයට සම්මා දිට්ඨියක් නැත. ඔවුහු පරලොවක් ගැන විශ්වාස නොකරති.
මවට සැලකීමෙන් පිනක් නැත
සත්වයන්ගේ ප්‍රජනන ක්‍රියාවන්ට අනුකූලව උපදින කෙනෙකුට මව වන්නේ කාන්තාවක්මය. ඒ මවට ගරු සැලකිලි කිරීමෙන් විශේෂ පිනක් නැත. මෙවැනි මිථ්‍යාමත ගත් අය මවට සැලකීම හෝ උපකාර කිරීම උසස් ක්‍රියාවක් සේ නොසලකති. මවටවත් නොසලකන තැනැත්තා වෙනත් කාන්තාවකට ගරු කරන්නේ නැත. එහෙත් නිවැරදි දැකීමක් ඇති තැනැත්තා මවට සලකන්නේ උසස් පිංකමක් වශයෙනි.
පියාට සැලකීමෙන් පිනක් නැත.
‘පියායැයි’ කෙනෙකුට විශේෂයෙන් සැලකිලි කළ යුතුවන්නේ නැත. සමාජයේ අනික් පිරිමින් සේ පියාත් තවත් පුද්ගලයෙකි. පියාට විශේෂ සැලකිලි කළත් පිනක් නැතැ’යි විශ්වාස කරන අය, මිථ්‍යා මතයකට අසු වී සිටිති. එය මෙලොව පරලොව දෙකට ම අහිත පිණිස හේතු වන්නේ ය. සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා පියාට සැලකිලි කරන්නේ පින් රැස්කරගැනීමේ අපේක්ෂාවෙන් ය.
ඕපපාතික සත්වයෝ නැත
මවුපියන් නැතිව කර්මානුරූප ව ඉබේ පහළ වෙන සත්වයෝ නැත. සියලු ම සතුන් ඇති වන්නේ ප්‍රජනන ක්‍රියාවලියට අනුකූලවය. කිසි ම සතෙක් ඉබේ පහළ නොවේ. වෙනත් ලෝකවලත් දෙවිබඹුන් වශයෙන්වත් සත්තු ඉබේ පහළ නොවෙති. මෙවැනි වැරදි අදහස් දරණ අය දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත ලෝකවල සත්වයන්ගේ පහළවීම විශ්වාස නොකරති. එහෙත් සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා ඕපපාතික ව දෙවිබඹුන්, නිරිසතුන් ආදීන්ගේ පහළ වීම පිළිගන්නේය.
විශේෂ ඤාණයෙන් මෙලොව සහ පරලොව ගැන අවබෝධයක් ලබාගත්, යහපත් මාර්ගවලට පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත.
සමහර උසස් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කර ධ්‍යාන ලබා විවිධ ලෝක පිළිබඳ ව අවබෝධයක් ලබාගෙන සිටිති. ඔවුන්ගේ එම ධ්‍යාන හෝ ඔවුන් ලබාගෙන ඇති දැණුම නොපිළිගැනීම මිථ්‍යා මතයකි. එහෙත් නිවැරදි අවබෝධයක් ඇති අය තමාට වඩා උසස් දැනුමක් ඇති ධ්‍යානලාභී ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන විශ්වාස කරති. මිනිසාගේ ප්‍රකෘති ඇසින් නොදැකිය හැකි රූප, කනින් නොඇසිය හැකි ශබ්ද ලෝකයේ ඇති බවත් ඒවා දිව කනින් ඇසීමටත් දිව ඇසින් දැකීමටත් හැකි බව පිළිගන්නේ සම්මාදිට්ඨිකයෝය.
මෙම දසවැදෑරුම් වූ මිථ්‍යා දෘෂ්ටියෙන් වෙන්වීමත්, දසවැදෑරුම් වූ සම්මා දිට්ඨියට පැමිණීමත් නිවැරදි දැකීමයි. එපමණකින් පමණක් සම්මා දිට්ඨියට පත් අය නොයෙක් ආගම්වල සිටිති. එය ලෞකික සම්මා දිට්ඨියකි. ඒ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් සුගතියකට ද යා හැකිය.
එහෙත් ලෞකික සම්මා දිට්ඨියෙන් සත්වයා නිවන් මඟට යොමු නොකරේ. නිවන් මඟට යොමුවීමට නම් තෙරුවන් සරණ සහිතව දසවස්තුක සම්මා දිට්ඨියෙන් සමන්විත විය යුතුය. ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගිය තැනැත්තා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ උවමනාව ඇතිව අරි අටගිමඟ ප්‍රගුණ කිරීමට ප්‍රයත්න දරයි. එය සම්මා දිට්ඨියේ පළමු පියවරයි. නිවැරදි අවබෝධයකින් යුක්තව ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම, ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ලෝකය සහ සත්වයා පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබාගත් සම්මා දිට්ඨිකයා කම්මස්සකතා සද්ධාවෙන් යුක්තය. ඔහු කුසලාකුසල මූලයන් හොඳින් තේරුම්ගෙන කටයුතු කරයි. ලෝභය, ද්වේශය, මෝහය මුල් වී සිදුවෙන අකුසල ක්‍රියාවලින් දුරු වීමටත් අලෝභ, අද්වේෂ, අමෝහ මුල් වී සිදුවෙන ක්‍රියා උත්සාහවත් වන තැනැත්තා තුළ ඇති වන්නේ කරුණු සහිතව පිළිගත් අදහසකි. එය ආකාරවතී සද්ධා නමින් ද හැඳින්වේ. එවැනි සද්ධාවක් ඇති තැනැත්තා තුළ සසර දුකට බියක් ඇති වී එයින් මිදීමට උත්සාහවත් වෙයි. සියලු ම සතුන් සසරට බැඳී ඇත්තේ තණ්හාව නිසා බව ඔහු අවබෝධ කරගනී. එනිසා සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා, සතුන්ගේ සසර දුකට හේතුව වන්නා වූ තෘෂ්ණාව නැති කිරීම ට ක්‍රියා කරයි. එවැනි අය ලෝකෝත්තර සම්මා දිට්ඨි හෙවත් චතුස්සච්ච සම්මා දිට්ඨියෙන් යුක්ත වෙති.
ලෝකය සහ සත්වයා පිළිබඳව යථාර්ථවාදී දර්ශනයක් ඉදිරිපත් කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පමණි. එබැවින් දසවස්තුක සම්මා දිට්ඨියට පත් වූ අය විසින් නිවන් අවබෝධ කරගැනීම සඳහා ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහි පිහිටිය යුතුය. එය සම්මා දිට්ඨියෙන් දෙවන පියවරයි.
සම්මාදිට්ඨියෙහි පිහිටි තැනැත්තාට, නිවැරදි සිතිවිලි (සම්මා සංකප්ප) ඇති කරගැනීම පහසුය. ඔහු කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප යන අකුසල මූලයන්ගෙන් ඇති වන්නේ, අකුසල් සිතිවිලි බවත් ඒවායේ විපාක නපුරු බවත් දැන නෙක්කම්ම සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප ඇති කර ගැනීමට උත්සාහ වත් වෙයි. කුසලාකුසල මූලයන් පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ඇති. යහපත් සිතිවිලිවලින් පිරුණු මිනිසුන්ගේ මුවින් පිට වන්නේ සත්‍ය වූ වචනයි. (සම්මා වාචා) සත්‍යවාදී වූ පුද්ගලයෙක් බොරුකීම්, කේලාම් කීම්, හිස් වචන කීම, පරුෂ වචන කීම නොකරයි. මෙසේ වචනයේ සංවරයක් ඇති තැනැත්තාගෙන් තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කිරීම, අන්සතු වස්තු පැහැර ගැනීම, දුරාචාරය වැනි කායික වැරදි නොකෙරේ. (සම්මා කම්මන්ත) කය සහ වචනයේ සංවරයක් ඇති තැනැත්තාගේ දිවිපැවැත්ම නිවැරදි (සම්මා ආජීව) වෙයි. යහපත් ජීවිතයක් ගතකරන්නාට ආත්ම අභිමානයක් ඇති වෙයි. ඔහුගේ දිවිපැවැත්ම, තමාටත් අනුන්ටත් ප්‍රයෝජනවත් එකක් වන නිසා සියලු දෙනාගේ ම සැලකිල්ලට සහ සම්භාවනාවටත් පාත්‍රවෙයි. එබැවින් යහපත් දිවිපැවැත්ම නිසා සමාජයේ ගෞරවයට පත් තැනැත්තාට, තව තවත් නිවැරදි කෙනෙක් වීමට සිතේ. මෙසේ වඩාත් යහපත් දිවියක් ගෙවන්න උත්සාවත් වන්නේ, තමාගේ ආධ්‍යාත්මක ගුණ සංවර්ධනය කර ගැනීමටයි. ගුණයට ගරු කරන තැනැත්තා, තමා තුළ ඇති වැරදි නැති කර ගැනීමටත් අලුත් වැරදි නොකිරීමටත්, තමා තුළ ඇති ගුණ ධර්ම දියුණු කරගැනීමටත්, තමා ළඟ නැති ගුණ ධර්ම ඇති කරගැනීමටත් උත්සාහවත් වෙයි. (සම්මා වායාම) මෙසේ ඇති කර ගන්නා වූ නිවැරදි උත්සාහය නිසා වඩාත් යහපත් කෙනෙක් වන තැන්ත්තා, ධර්මයෙහි ඇති රසය දැන ධර්මචාරී වෙයි. මෙසේ දැනුමෙන් සහ ගුණයෙන් පිරිපුන් අය තුළ සතිය දියුණු වන්නේය. (සම්මා සතිය) එනිසා බලවත් වූ සතිය ඇති අයට චිත්ත සමාධියක් (සම්මා සමාධි) ලබාගත හැකි වන්නේ ය. එය සම්මා ඤාණපටිපදාවයි. මෙසේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙන්, ලෝකය සහ සත්වයා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ ‘චතුසච්ච සම්මා දිට්ඨියෙන්ය. එය සම්මා දිට්ඨි සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. දුකත්, දුකට හේතුවත්, දුක් නැති කිරීමත්, දුක් නැති කිරීමේ මාර්ගයත් පිළිබඳව නිවැරදි ව අවබෝධ කර ගැනීම, සම්මා දිට්ඨිය බවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිවැරැදි දැක්ම

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අනු නායක 
මහාචාර්ය 
වරාගොඩ පේමරතන නා හිමි

අනන්ත වූ සංසාර දුකින් පෙළෙන සකලවිධ සත්ත්ව සමූහයාගේ හිතසුව පිණිස ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් ගවේෂණය කොට එළිදරව් කරන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හෙවත් මධ්‍යම ප්‍රතිපදාවේ පළමු අංගය සම්මාදිට්ඨියයි. නිවැරැදි දැක්ම ලෙස සිංහලයට නැගිය හැකි එම අංගය එතරම් උච්චස්ථානයක් ලබන්නේ කවර හේතු නිසාද ප්‍රධාන වශයෙන් එය අනාර්ය (උසස් යැයි සම්භාවනාවට පාත්‍ර නො වූ) ප්‍රතිපදාවන්ට ප්‍රතිපක්ෂ වීම එක් හේතුවකි. බුදුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි භාවිතා වෙමින් පැවති අනාර්ය ප්‍රතිපදා දෙකක් උන්වහන්සේගේ මංගල ධර්මදේශනාවෙහි සඳහන්වේ.
කාමසුඛල්ලිකානුයෝගය යනු ඉන් එකකි. කම් සැපතට ගිජුව එහි ම ඇලී – ගැලී දිවිමග හැසිරවීම එයින් අදහස් වේ. කාමාවචර ලෝකයෙහි උපන් සියලු සත්ත්වයන්ගේ, විශේෂයෙන් මනුෂ්‍යයන්ගේ පැවැත්මෙහි මුඛ්‍ය ලක්ෂණය සහ ඒකාන්ත අරමුණ එයයි. ඒ ප්‍රතිපදාව පිළිගත් ප්‍රද්ගලයෝ ඉඳුරන් පිනවීම, වෙනත් ලෙසකින් කියතොත් උපරිම වශයෙන් පස්කම් සැප භුක්තිවිඳීම නිවැරැදි පිළිවෙතක් ලෙස පිළිගනිති. තම පුත් කුමරු සක්විති රජෙකු වනු දැකීමේ දැඩි අභිලාෂයෙන් පෙළුණු සුද්ධෝදන රජතුමාගේ අපරිමිත පිය සෙනෙහස ලත් බෝසතුන් වහන්සේ ජීවිතය ගෙවන ලද්දේ ඒ ප්‍රතිපදාව ඔස්සේ ය. අනික අත්තකිලමථානුයෝගය යි. ඉන් ප්‍රකාශ වන්නේ ශීල සහ ව්‍රත ආදී කටුක ආගමික ඇවතුම් පැවතුම් මගින් තමන්ගේ ම සිරුර සිතාමතා අනේකවිධ දුක් පීඩාවලට ගොදුරු කිරීමයි. බෝසතුන් වහන්සේ වර්ෂ හයක් පුරා වල් වැදී අත්හදා බලන ලද්දේ ඒ ප්‍රතිපදාවයි. උන්වහන්සේ එහි ද කෙළවර දක්වා ප්‍රගුණ කළහ. එය කෙසේවත් සංසාර විමුක්තිය කෙරෙහි යොමු නොවන්නක් බව වටහා ගන්නට උන්වහන්සේට ගත වූයේ සුළු කලකි. මේ ප්‍රතිපදා දෙක ම අන්ත හෙවත් ලෞකික ජීවිතයේ දෙපැත්ත ලෙසත් පැවිද්දන් විසින් අනුගමනය නොකළ යුතු මාර්ග ලෙසත් කටුක අත්දැකීම් ලබන පිළිවෙතක් ලෙසත් විස්තර වේ. මේ අනුව ඒවා සම්මාදිට්ඨිය පදනම් කොට ගත් චර්යාමාර්ග නොවෙතැයි නිගමනය කළ යුතුවෙයි.

සම්මාදිට්ඨි හෙවත් නිවැරැදි දැක්ම නිර්වචනය වන්නේ කෙසේද සූත්‍රපිටකය තුළින් මීට ධර්මානුකූල පිළිතුරු සෙවීම දුෂ්කර නො වේ. අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් දෙසා වදාළ සම්මාදිට්ඨි නම් සූත්‍රයක් මජ්ක්‍ධිමනිකායේ මූලපණ්ණාසකයෙහි අන්තර්ගත වෙයි. සුන්දර වූ (සෝභනා) පැසසිය යුතු (පසත්ථා) වූ දැක්ම නිවැරදි දැක්මයි යනුවෙන් ඊට අටුවා සපයන පපඤ්චසූදනිය සම්මාදිට්ඨිය නිර්වචනය කරයි. දැක්මේ ගුණයත් ස්වභාවයත් මෙම නිරුක්තිය මගින් අපූරුවට වටහා ගත හැකිය. සූත්‍රයෙහි විස්තර වන අයුරින්, කවර චර්යාමය විෂයයක් වූවත් චතුරාර්යසත්‍ය න්‍යායානුකූලව විග්‍රහ කිරීමෙන් ලැබෙන නුවණ සම්මාදිට්ඨිය ලෙස ඉහත කී සූත්‍රය ඇසුරෙන් හැඳිනගත හැකිවේ. එසේ සාක්ෂාත් කර ලන්නා නිවැරැදි දැක්ම ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වෙතැයි අටුවාව සඳහන් කරයි. එයින් කෙලෙස් සහිත වූ නිවැරැදි දැක්ම ලෞකික ය. ආර්ය වූ මාර්ග සහ ඵල සමඟ පහළ වන දැක්ම ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වෙතැයි අටුවාව සඳහන් කරයි. එයින් කෙලෙස් සහිත වූ නිවැරැදි දැක්ම ලෞකිකය. ආර්ය වූ මාර්ග සහ ඵල සමග පහළ වන දැක්ම ලෝකෝත්තර ය. පෘථග්ජන, ශෛක්ෂ (ආර්ය මාර්ගය පුහුණු කරන පුද්ගලයා) සහ අශෛක්ෂ (එම පුහුණුව නිම කළ පුද්ගලයා) ආදී වශයෙන් සම්මාදිට්ඨිය ලබන පුද්ගලයන් පිළිබඳව ද කෙටි සටහනක් අටුවාවේ ඇතුළත් ය.
සූත්‍රයෙහි නිවැරැදි දැක්ම පිළිබඳ නිරුක්ති සමූහයක් ඉදිරිපත් කර ඇත. 1. අකුසල සහ ඒවායේ හේතු ද කුසල සහ ඒවායේ හේතු ද මැනවින් දැන ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්මය. 2. ආහාරය, ආහාරයේ පහළවීම, ආහාරයේ නිරෝධය සහ ආහාරය නිරුද්ධ වන ප්‍රතිපදාව මැනවින් දැන ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්ම ය. 3. දුක, දුක හටගැනීම, දුක වැළැක්වීම සහ දුක වළක්වා ගන්නා මාර්ගය පිළිබඳ ව මැනවින් දැන ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්ම ය. මේ අයුරින් ම 4. ජරාමරණ 5. ජාති 6. භව 7. උපාදාන 8. වේදනා 9. තණ්හා 10. ඵස්ස 11. සළායතන 12. නාමරූප 13. විඤ්ඤාණ 14. සංඛාර 15. අවිඡ්ජා 16. ආසව වන කරුණු සම්බන්ධයෙන් මැනවින් දැක ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්ම ය. මෙලෙසින් ගත් කල, බුදු දහමේ පරම නිෂ්ටාව වූ ඤාණයේ අග්‍රප්‍රාප්තියට පත් කරවන්නේ නිවැරැදි දැක්ම මගින් බව පැහැදිලි වෙයි. නිර්වාණ සාක්ෂාත්කරණයේ ආරම්භයේ සිට අවසානය දක්වා ම අනිවාර්ය වූ අවශ්‍යතාවය වන්නේ සම්මා දිට්ඨිය යි. එය චතුරාර්යසත්‍යය මත පදනම් වූවකි. සූත්‍රයේ විස්තර වන කරුණු ඇසුරෙන් මේ කාරණය පහසුවෙන් වටහා ගත හැකිය.
බෞද්ධ සදාචාරයෙහි මූලස්ථම්භ ලෙස සැළකෙන දශ කුසල කර්ම සහ ඊට ප්‍රතිපක්ෂ වූ දශ අකුසල කර්ම ගැන සඳහන් කිරීමෙන් ඉහත උද්ධෘත කළ සූත්‍රයේ නිවැරදි දැක්ම පිළිබඳව නිර්වචන සමාරම්භ වෙයි. පර පණ නැසීම සහ අනුන්ට හිංසා කිරීම, කැමැත්තෙන් නුදුන් දේ ගැනීම, පරඹුවන් හෝ පරපුරුෂයන් සමඟ හාදකම් පැවැත්වීම, බොරුකීම, කේලාම් කීම, අසභ්‍ය සහ සැර-පරුෂ වචන භාවිතය, හිස් වචන භාවිතය, දැඩි ලෝභය, හිංසාව සහ වැරදි දැක්ම (මිත්‍යාදෘෂ්ඨි) අකුසල කර්මයෝ ය. ඒ සියල්ලෙන් වැළකී ක්‍රියා කිරීම කුසල කර්මයෝ ය. ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසලමූල යන අතර අලෝභ, අද්වේෂ, අමෝහ යනු කුසල මූල වේ. අකුසල කර්ම සහ ඒවායේ හේතු නිවාරණය වන අයුරින් සහ කුසලකර්ම සහ ඒවායේ හේතු වර්ධනය වන අයුරින් ජීවිතය පවත්වා ගෙන යාම නිවැරදි දැකීම උදා කර ගන්නා මාර්ගය බව මේ විවරණයෙන් පළ වෙයි. එසේ ම ඒ නිවැරදි දැක්ම මගින් රාග, පටිඝ, දිට්ඨි, අවිඡ්ජා යන අනුශයයන් (සිතේ පතුලේ ම තැන්පත් වී පවතින කෙලෙසුන්) මුළුමනින් ම බැහැර කිරීම පිණිසත් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් විමුක්ති සාක්ෂාත්කරණය පිණිසත් නිවැරදි දැක්ම ඉවහල් වන බව මෙයින් අවධාරණය කෙරෙයි.
සංසාරගත සත්ත්වයාගේ පැවැත්ම කබලිංකාර ස්පර්ශ, මනෝසංචේතනා සහ විඤ්ඤාණ යන චතුර්විධ ආහාරය මත රඳා පවතී. මේ ආහාර වර්ග හතර පිළිබඳව චතුරාර්ය සත්‍ය න්‍යායානුකූල වූ ගැඹුරු වැටහීමක් ලබා ගත් පසු ආර්ය ශ්‍රාවකයා විසින් ඉන් මතුවට කළ යුතු යමක් නැත. ඒ පරිසමාප්ත වශයෙන් චතුරාර්ය සත්‍යය සාක්ෂාත් කර ගැනීමක් වන හෙයිනි.
ඉහත විස්තර කළ කරුණු සියල්ලෙන් ප්‍රකට වන ප්‍රධාන සිද්ධාන්තය නම් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම චතුරාර්ය සත්‍යය සමග එකිනෙකින් වෙන් කළ නොහැකි වන සේ බද්ධ වී පවතී. යම් තැනෙක නිවැරදි දැක්ම පවතී නම් එතැන අනිවාර්යයෙන් ම චතුරාර්ය සත්‍යය පවතී.
මෙයින් අවධාරණය කරනු ලබන්නේ සංසාර විමුක්තිය අරමුණු කොට ගත් බෞද්ධ ශික්ෂණ ප්‍රතිපදාවෙහි මිථ්‍යාදෘෂ්ටිය හෙවත් සාවද්‍ය දැක්ම කෙතෙක් නිගරු කොට සැළකේ ද යන්න යි. අංගුත්තරනිකායයෙහි මිථ්‍යාදෘෂ්ටිය (මිච්ඡාදිට්ඨි - සාවධ්‍ය දැක්ම) විවරණය යන්නේ මෙසේය. ‘යම් දැක්මක් මෙතෙක් පහළ නොවූ අකුසල් පහළ වීමට හේතු වේ නම්, පහළ වූ අකුසල් තවදුරට වර්ධනය කිරීමට හේතු වේ නම්, මෙතෙක් පහළ නොවූ කුසල් පහළවීම වළකාලීමට හේතු වේ නම් සහ පහළ වූ කුසල් දුර්වල කොට අතුරුදහන් කිරීමට හේතු වේ නම් ඒ මිථ්‍යාදෘෂ්ටියයි.’ ආර්ය මාර්ගය මෙන් අනාර්ය මාර්ගය ද අෂ්ටාංගික වෙයි. බුදු දහම විසින් කිසිසේත් ම අනුමත නොකරන ආත්මවාදය, ශාස්වතවාදය, උච්ඡේදවාදය, සක්කායදිට්ඨිය වැනි සාවද්‍ය දෘෂ්ටි වැළඳ ගැනීම මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රතිඵලයෝ ය. ඒ දර්ශන ඔස්සේ ජීවිතය ගෙවන පුද්ගලයා දශ අකුසල කර්මපථ ඉතා අගය කොට සළකයි. දශ කුසල කර්මපථ හෙළා දකියි. ලොවෙහි සද්පුරුෂයන්ගේ පැවැත්ම නොපිළිගනියි. පින් පව් වෙනස නොදකියි. එවැනි පුද්ගලයන් පොදු ජනයා අතරේ අපකීර්තිය, අයස, අපහාස, නින්දා ලබයි. මෙලොවදීත් පරලොවදීත් දුකට ම, විපතට ම පත්වෙයි.
සත්‍යය ම, පරම සත්‍යය ම සොයා යන බුදු දහම උභය ලෝකාර්ථසිද්ධිය පිණිස ශ්‍රාවක ජනයාට මග පෙන්වන අයුරු නිවැරදි දැක්ම සම්බන්ධයෙන් ඉහත කළ විස්තරය ඇසුරෙන් වටහා ගැනීම දුෂ්කර නො වේ. කවදත් ලෝකයාගේ දැඩි අවධානය යොමු කර ගන්නා බලය හා ධනය පුද්ගලයන් තුළ ද්වේෂය හා රාගය දියුණු තියුණු කරන ශක්තිමත් බලවේග දෙකකි. බොහෝ විට සාවධ්‍ය ධර්ම සහ දර්ශන පහළ වන්නේ පැතිර යන්නේ මෙම සංකල්ප දෙක පසුබිම් කර ගෙන ය. ඒවායේ අහිතකර බලපෑම් හේතු කොට ගෙන පොදුවේ පීඩාවට, දුකට පත්වන්නෝ ඒවා වැළඳ ගත් පුද්ගලයෝ පමණක් නොවෙති. රටවල් සහ මහාද්වීප පවා කල්පවත්නා බරපතල ඛේදාන්තවලට ගොදුරු වෙති. සදේවක ලෝක සත්ත්වයාගේ හිතසුව පතන බුදුදහම නිවැරදි දැක්ම අතින් සියල්ලට වඩා වටිනා සම්පත්තියක් ලෙස, ආරම්භයේ සිට අවසානය දක්වා ම ක්‍රියාත්මක විය යුතු ගුණාංගයක් ලෙස පොදු මිනිසාගේ ආධ්‍යාත්මික හා බාහිර සංවර්ධනය කෙරෙහි දැඩිව බලපාන ශක්තියක් ලෙස අගය කරන්නේ කවර හේතු නිසාදැයි මේ නයින් සිතා බලන කෙනෙකුට පැහැදිලි වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දහම තුළින් පිළිබිඹු වන ශාස්තෘත්වය

මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති,
කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත,
ඇත්කඳුරේ සුමනසාර හිමි

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි. භව කතරේ අතරමංව භයානකව දුක් පීඩා කරදර බාධකවලින් වෙලී මහත් සේ දුකට පත් සත්ත්වයාට නො වරදින ඉතා පැහැදිලි ධර්ම මාර්ගයක් වදාළේ තථාගතයන් වහන්සේ යි. උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට සිත යොමු කිරීමටත්, ඒ ධර්ම කරුණු යෝනිසෝමනසිකාරයෙන් විමසීමත් සසර තරණයට උපකාරි වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්ම ශ්‍රවනය කරන විට අපේ සිත නිවී යනවා. සිත තුළට පැමිණෙන අපේ ජීවිතය, සසර ගමන අඳුරු කරන පාපී සිතිවිලි මනසින් ඈත් වීමට පටන් ගන්නවා. පාපි සිතිවිලි වලින් පුණ්‍යමය සිතිවිලි මැකී යන්න පුළුවනි. නමුත් පුණ්‍යමය සිතිවිල්ල වඩාත් බලවත්නම් ඒ පාපී සිතිවිල්ල මකන්නට ද පුළුවනි. ඒ සිතිවිල්ල වහා යට කරන්නට පුළුවනි. විටෙක අපේ ජීවිතය බලවත් වෙනවා. විටෙක ජීවිතය කඩා වැටෙනවා. ජීවිතය තුළ පින බලවත් වනවිට ජීවිතය ප්‍රබල වෙන්නට පටන් ගන්නා අතර, ජීවිතය තුළ සංසාරික කර්ම ශක්තිය තුළින් පුණ්‍ය ශක්තිය දුර්වල වනවිට ජීවිතය තුළ අඳුර, හැඬිම, වැළපීම, ශෝක කිරීම, දුක දොම්නස වැඩි වැඩියෙන් අපව ලුහුබැඳීමට පටන් ගනී. ඒ නිසා සද්ධර්මය ශ්‍රවණය තුළින් ජීවිතය හොඳින් අවබෝධ කර දෙන ජීවන අඳුර නසන ප්‍රභාශ්වර සිතක් මෝදුකරන පුන්සඳක් සේ සිත පිරිසුදු කරන, වටිනා කටයුත්තක් ලෙස ධර්ම ශ්‍රවණය, පොතපත කියවීම, ධර්මයට අනුගතවීම ආදිය ගැන දැනගැනීම වටිනවා.
ධර්මයේ අසිරිය මතුකර ගැනීමට අවශ්‍යනම්, අසිරිමත් සිතක් අවශ්‍යනම් මේ සද්ධර්මය අප ශ්‍රවණය කළ යුතුම යි. එළැඹි සිහියෙන් ඉන්න පුද්ගලයා සතියෙන්, සති සම්පජඤ්ඤයෙන්, සති ඉන්ද්‍රියෙන්, සති බලයෙන්, කටයුතු කිරීම අවශ්‍යයි. එවිට පුද්ගලයා ධර්මය තුළ අසිරිමත් ආශ්චර්යවත් ගමනක් යන කෙනෙකු බවට පත්වෙනවා. මොට වූ සිහියෙන් සිටින පුද්ගලයාට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එනිසා ඔබත් සම්මා සතියෙන්, එළැඹි නුවණින් සිටිය යුතු වෙනවා.

අපේ සිත තුළ පැන නඟින අකුසල ධර්ම, අකුසල මූල, සොලවලා කඩා බිඳ දමා අකුසල් මනසින් ඈත් කරන්නට පුළුවන් වන්නේ පින්වත් කුසල සිතිවිලි නිසා යි. එළඹුන මනස තුළ පැන නැඟුන සිහිය කඩා, බිඳ, සොලවා සිතින් එය ඈත්කර දමන්නට පුළුවන්නම් එය බලවත් කුසලයක් වෙනවා. එනිසා නිරන්තරයෙන් ධර්මයට සිත යොමන්නාගේ පාපී සිතිවිල්ලට වඩා හැම මොහොතකම පුන්‍යමය සිතිවිල්ල බලවත් වෙනවා.
තථාගතයන් වහන්සේ සත්ත්වයාට අනුශාසනා කරන බැවින් “සත්ථා” හෙවත් “ශාස්තෘ” නම් වන බව වදාළා. තවත් තැනක පැහැදිලි කළේ ශාස්තෘ ධර්මය නමැති පිරිසුදු වතුරෙන් කෙලෙස් නමැති මඩ සෝදා හරින හෝ දේශිත ධර්මයන් ඇසීමට සත්ත්වයා කැමැතිය යන අදහසින්ද “ශාස්තෘ” වන බවයි. අධ්‍යාත්මක සංවර්ධනයේ ඉහළම තලයේ සිටියා වූ ගුරුවරයකු වශයෙන් එකී ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිලි කරන්නා වූ තැනත්තාට “ශාස්තෘ” නාමය භාවිත කරයි. මෙකී ලක්ෂණ සහිත ලොව පහළ වූ හැම ආගමික සම්ප්‍රදායකම නිර්මාතෘ ‘ශාස්තෘ’ ලෙස හඳුන්වයි.
"මධුපිණ්ඩික" සූත්‍රයේදී දණ්ඩපාණී ශාක්‍යයා පැමිණ අසන්නේ, ස්වාමිනී, ඔබවහන්සේ කුමන වාදියෙක්ද එයට උන්වහන්සේ පිළිතුරු දෙන්නේ යථාවාදී ඛෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය න කේනචි ලෝකේ විගහ්යහ තිට්ඨති ශ්‍රමණ, බ්‍රාහ්මණයන්ගෙන් හා දෙව් මිනිසුන්ගේද දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද කිසිවකු සමඟ ගැටුමක් ඇති නොකොට සිටිමි යන්නයි.
ඒ වගේම උන්වහන්සේ වදාළා තථාගතයන් වහන්සේ විසින් නො දන්නා ලද්දක්, ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දක්, ඥනයෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත කියා. අතීත, වර්තමාන, අනාගත සකල ධර්මයන් සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානයට අරමුණු වන බව. ඒ වගේම අන් අයට නොමැති බුදුවරුන්ට පමණක් ඇති දසබල ඥනයන් ගැන උන්වහන්සේ මෙසේ වදාළා.
1. තථාගතයන් වහන්සේ හැකි දෙය හැකි ලෙසත්, නොහැකි දෙය නොහැකි ලෙසත් දන්නා සේක.
2. අතීත,වර්තමාන, අනාගත කාලයන්හි කර්ම විපාකය දන්නා සේක.
3. සියලු හැසිරීමෙහි මාර්ගයන් අවසන් වන තැන දන්නා සේක.
4. ලෝකයෙහි බොහෝ වූ නොයෙක් ධාතු නොයෙක් කාරණාවන් දන්නා සේක.
5. පුද්ගලයන්ගේ නොයෙක් අදහස් දන්නා සේක
6. අනෙක් සතුන්ගේ ඉන්ද්‍රියන් ක්ෂණික බවද, ප්‍රමාද බවද දන්නා සේක.
7. බුද්ධි සෘර්ධිය, ධ්‍යානයන් වැඩීම, විමුක්තිය, සමාධි හා සමාප්ති දන්නා සේක.
8. පූර්ව භවයන් දන්නා සේක.
9. කර්මානුරූප ව චුතවන හා නැවත ඉපදෙන සතුන් ගැන දන්නා සේක.
10. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් මේ ජීවිතයේදීම චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කොට වෙසෙන සේක (ම.නි. ධම්මසංගනී සූත්‍රය)
මෙම දසබල ඤාණයන් අන් සියලු ශාස්තෘවරුන් මැඬ පැවැත්වීමට හේතු විය. මෙසේ අපගේ ශාස්තෘන් වහන්සේගේ සුවිශේෂ ඥාන සම්භාරය ගැන පොතපතේ සඳහන් වෙයි. එනිසාම අප උන්වහන්සේගේ නව අරහාදි ගුණයන් ඉගෙනගෙන ඒ කෙරෙහි සිත පහදවා ගැනීම ශ්‍රාවකයා ශාස්තෘන් වහන්සේට කරන ගරු සැලකිල්ලක්ද වනු ඇත.
ලෝකයේ ප්‍රථම වරට මහජන මතයකින් මත පාලන ක්‍රමයක් ලොවට විදහා පෙන් වූ එක ම උත්තමයා බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදයේද නිර්මාතෘවරයා ද වෙයි. ස්ත්‍රී කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ඔවුන්ට විමුක්තිය ලබා දුන්නේද භාග්‍යවතුන් වහන්සේ යි. ඒ වගේම ලොව ප්‍රථම වරට ධර්මදූත පිරිසක් මෙහෙයවා ඇත්තේද උන්වහන්සේ යි.
මෙසේ සුවිශේෂ සමාජීය චරිතයක් වශයෙන්ද උන්වහන්ස්ගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝය. තථාගතයන් වහන්සේගේ නිහතමානි බව හා උදාර නායකත්වය ද සුවිශේෂයි. “මම සංඝයා පරිහරණය කරමි. සංඝයා මා උදෙසා බැඳී සිටිය යුතුය යන හැඟීමක් මට නැත” යැයි උන්වහන්සේ වදාළේ එහෙයිනි. ඒ වගේම උන්වහන්සේ වදාළ ධර්මය නිදහසේ සිතා බලා පරිශීලනය කිරීමට නිදහස ලබාදුන් වෙනත් ශාස්තෘවරයෙක් අපට හමු නොවේ. මෙය බුද්ධ චරිතය පුරාම දක්නට තිබෙනවා. නොයෙක් රජවරු, සිටුවරු, ධනවතුන්, විද්වතුන්, සමහර ශාස්තෘවරුන් පවා තමන් වහන්සේ සරණ යන බව පැවසූ විට උන්වහන්සේ ඔවුන්ට වදාළේ නැවත සිතා බලා තීරණයක් ගන්නා ලෙසයි. උපාලි ගෘහපතියාට පවසන්නේ බුදු දහම වැළඳ ගත්තද, නිගණ්ඨනාථ පුත්තයන්ට සහ ඔහුගේ අනුගාමිකයන්ට කලින් දක්වන ලද අනුග්‍රහයද නො වෙනස්ව පවත්වාගෙන යන ලෙසයි.
දිනක් සේල බමුණාට තමන් වහන්සේ කවරෙක්දැයි විවරණය කරන අවස්ථාව ගැන ධර්මයේ මෙසේ සඳහන් වෙයි.
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවේ තබ්බඤ්ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ

අවබෝධ කළ යුතු දේ අවබෝධ කළ වැඩිය යුතු දේ වඩන ලද අත්හළ යුතු දේ අත්හළ බැවින්ද, බ්‍රාහ්මණය, මම බුද්ධ නම් වෙමියිි යනුවෙන් වදාළ සේක.
ඒ වගේම උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂත්වය පිළිබඳව මෙසේ ද වදාළ සේක.
සබ්බාභිභූ සබ්බවිදූහමස්මි
සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ
සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං 
(අරියපරියේසන සූත්‍රය)

මම සියල්ල අභිබවා සිටියෙමි. දත යුතු සියල්ල දන්නේ වෙමි. සියලු ධර්මයේ ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාව ක්ෂය සංඛ්‍යාත නිර්මාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි. එසේ වූ මට අන් කවරෙක් ආචාර්ය ලෙස දහම් දෙසයි ද
මම රහත් වෙමි. නිරුත්තර වූ ශාස්තෘ වෙමි. එකම ම සම්මා සම්බුදු වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල් වූයෙමි. එහෙයින් නිවුණෙමි, ද වදාළ සේක.
මේ අයුරින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පවතින විවිධ ගුණයන් හකුළ ඉදිරිපත් කරමින් උන්වහන්සේ විසින්ම සාර්ථක විවරණයක් කර තිබෙනවා. එනිසා අපත්, අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ කෙරෙහි බලවත් ලෙස සිත පහදවාගෙන උන්වහන්සේ වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කොට සසර දුකින් නිදහස් වීමට අදිටන් කර ගනිමු.