දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

නිවැරැදි දැක්ම

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අනු නායක 
මහාචාර්ය 
වරාගොඩ පේමරතන නා හිමි

අනන්ත වූ සංසාර දුකින් පෙළෙන සකලවිධ සත්ත්ව සමූහයාගේ හිතසුව පිණිස ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් ගවේෂණය කොට එළිදරව් කරන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හෙවත් මධ්‍යම ප්‍රතිපදාවේ පළමු අංගය සම්මාදිට්ඨියයි. නිවැරැදි දැක්ම ලෙස සිංහලයට නැගිය හැකි එම අංගය එතරම් උච්චස්ථානයක් ලබන්නේ කවර හේතු නිසාද ප්‍රධාන වශයෙන් එය අනාර්ය (උසස් යැයි සම්භාවනාවට පාත්‍ර නො වූ) ප්‍රතිපදාවන්ට ප්‍රතිපක්ෂ වීම එක් හේතුවකි. බුදුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි භාවිතා වෙමින් පැවති අනාර්ය ප්‍රතිපදා දෙකක් උන්වහන්සේගේ මංගල ධර්මදේශනාවෙහි සඳහන්වේ.
කාමසුඛල්ලිකානුයෝගය යනු ඉන් එකකි. කම් සැපතට ගිජුව එහි ම ඇලී – ගැලී දිවිමග හැසිරවීම එයින් අදහස් වේ. කාමාවචර ලෝකයෙහි උපන් සියලු සත්ත්වයන්ගේ, විශේෂයෙන් මනුෂ්‍යයන්ගේ පැවැත්මෙහි මුඛ්‍ය ලක්ෂණය සහ ඒකාන්ත අරමුණ එයයි. ඒ ප්‍රතිපදාව පිළිගත් ප්‍රද්ගලයෝ ඉඳුරන් පිනවීම, වෙනත් ලෙසකින් කියතොත් උපරිම වශයෙන් පස්කම් සැප භුක්තිවිඳීම නිවැරැදි පිළිවෙතක් ලෙස පිළිගනිති. තම පුත් කුමරු සක්විති රජෙකු වනු දැකීමේ දැඩි අභිලාෂයෙන් පෙළුණු සුද්ධෝදන රජතුමාගේ අපරිමිත පිය සෙනෙහස ලත් බෝසතුන් වහන්සේ ජීවිතය ගෙවන ලද්දේ ඒ ප්‍රතිපදාව ඔස්සේ ය. අනික අත්තකිලමථානුයෝගය යි. ඉන් ප්‍රකාශ වන්නේ ශීල සහ ව්‍රත ආදී කටුක ආගමික ඇවතුම් පැවතුම් මගින් තමන්ගේ ම සිරුර සිතාමතා අනේකවිධ දුක් පීඩාවලට ගොදුරු කිරීමයි. බෝසතුන් වහන්සේ වර්ෂ හයක් පුරා වල් වැදී අත්හදා බලන ලද්දේ ඒ ප්‍රතිපදාවයි. උන්වහන්සේ එහි ද කෙළවර දක්වා ප්‍රගුණ කළහ. එය කෙසේවත් සංසාර විමුක්තිය කෙරෙහි යොමු නොවන්නක් බව වටහා ගන්නට උන්වහන්සේට ගත වූයේ සුළු කලකි. මේ ප්‍රතිපදා දෙක ම අන්ත හෙවත් ලෞකික ජීවිතයේ දෙපැත්ත ලෙසත් පැවිද්දන් විසින් අනුගමනය නොකළ යුතු මාර්ග ලෙසත් කටුක අත්දැකීම් ලබන පිළිවෙතක් ලෙසත් විස්තර වේ. මේ අනුව ඒවා සම්මාදිට්ඨිය පදනම් කොට ගත් චර්යාමාර්ග නොවෙතැයි නිගමනය කළ යුතුවෙයි.

සම්මාදිට්ඨි හෙවත් නිවැරැදි දැක්ම නිර්වචනය වන්නේ කෙසේද සූත්‍රපිටකය තුළින් මීට ධර්මානුකූල පිළිතුරු සෙවීම දුෂ්කර නො වේ. අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් දෙසා වදාළ සම්මාදිට්ඨි නම් සූත්‍රයක් මජ්ක්‍ධිමනිකායේ මූලපණ්ණාසකයෙහි අන්තර්ගත වෙයි. සුන්දර වූ (සෝභනා) පැසසිය යුතු (පසත්ථා) වූ දැක්ම නිවැරදි දැක්මයි යනුවෙන් ඊට අටුවා සපයන පපඤ්චසූදනිය සම්මාදිට්ඨිය නිර්වචනය කරයි. දැක්මේ ගුණයත් ස්වභාවයත් මෙම නිරුක්තිය මගින් අපූරුවට වටහා ගත හැකිය. සූත්‍රයෙහි විස්තර වන අයුරින්, කවර චර්යාමය විෂයයක් වූවත් චතුරාර්යසත්‍ය න්‍යායානුකූලව විග්‍රහ කිරීමෙන් ලැබෙන නුවණ සම්මාදිට්ඨිය ලෙස ඉහත කී සූත්‍රය ඇසුරෙන් හැඳිනගත හැකිවේ. එසේ සාක්ෂාත් කර ලන්නා නිවැරැදි දැක්ම ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වෙතැයි අටුවාව සඳහන් කරයි. එයින් කෙලෙස් සහිත වූ නිවැරැදි දැක්ම ලෞකික ය. ආර්ය වූ මාර්ග සහ ඵල සමඟ පහළ වන දැක්ම ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වෙතැයි අටුවාව සඳහන් කරයි. එයින් කෙලෙස් සහිත වූ නිවැරැදි දැක්ම ලෞකිකය. ආර්ය වූ මාර්ග සහ ඵල සමග පහළ වන දැක්ම ලෝකෝත්තර ය. පෘථග්ජන, ශෛක්ෂ (ආර්ය මාර්ගය පුහුණු කරන පුද්ගලයා) සහ අශෛක්ෂ (එම පුහුණුව නිම කළ පුද්ගලයා) ආදී වශයෙන් සම්මාදිට්ඨිය ලබන පුද්ගලයන් පිළිබඳව ද කෙටි සටහනක් අටුවාවේ ඇතුළත් ය.
සූත්‍රයෙහි නිවැරැදි දැක්ම පිළිබඳ නිරුක්ති සමූහයක් ඉදිරිපත් කර ඇත. 1. අකුසල සහ ඒවායේ හේතු ද කුසල සහ ඒවායේ හේතු ද මැනවින් දැන ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්මය. 2. ආහාරය, ආහාරයේ පහළවීම, ආහාරයේ නිරෝධය සහ ආහාරය නිරුද්ධ වන ප්‍රතිපදාව මැනවින් දැන ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්ම ය. 3. දුක, දුක හටගැනීම, දුක වැළැක්වීම සහ දුක වළක්වා ගන්නා මාර්ගය පිළිබඳ ව මැනවින් දැන ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්ම ය. මේ අයුරින් ම 4. ජරාමරණ 5. ජාති 6. භව 7. උපාදාන 8. වේදනා 9. තණ්හා 10. ඵස්ස 11. සළායතන 12. නාමරූප 13. විඤ්ඤාණ 14. සංඛාර 15. අවිඡ්ජා 16. ආසව වන කරුණු සම්බන්ධයෙන් මැනවින් දැක ගැනීමෙන් ලබන නුවණ නිවැරැදි දැක්ම ය. මෙලෙසින් ගත් කල, බුදු දහමේ පරම නිෂ්ටාව වූ ඤාණයේ අග්‍රප්‍රාප්තියට පත් කරවන්නේ නිවැරැදි දැක්ම මගින් බව පැහැදිලි වෙයි. නිර්වාණ සාක්ෂාත්කරණයේ ආරම්භයේ සිට අවසානය දක්වා ම අනිවාර්ය වූ අවශ්‍යතාවය වන්නේ සම්මා දිට්ඨිය යි. එය චතුරාර්යසත්‍යය මත පදනම් වූවකි. සූත්‍රයේ විස්තර වන කරුණු ඇසුරෙන් මේ කාරණය පහසුවෙන් වටහා ගත හැකිය.
බෞද්ධ සදාචාරයෙහි මූලස්ථම්භ ලෙස සැළකෙන දශ කුසල කර්ම සහ ඊට ප්‍රතිපක්ෂ වූ දශ අකුසල කර්ම ගැන සඳහන් කිරීමෙන් ඉහත උද්ධෘත කළ සූත්‍රයේ නිවැරදි දැක්ම පිළිබඳව නිර්වචන සමාරම්භ වෙයි. පර පණ නැසීම සහ අනුන්ට හිංසා කිරීම, කැමැත්තෙන් නුදුන් දේ ගැනීම, පරඹුවන් හෝ පරපුරුෂයන් සමඟ හාදකම් පැවැත්වීම, බොරුකීම, කේලාම් කීම, අසභ්‍ය සහ සැර-පරුෂ වචන භාවිතය, හිස් වචන භාවිතය, දැඩි ලෝභය, හිංසාව සහ වැරදි දැක්ම (මිත්‍යාදෘෂ්ඨි) අකුසල කර්මයෝ ය. ඒ සියල්ලෙන් වැළකී ක්‍රියා කිරීම කුසල කර්මයෝ ය. ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසලමූල යන අතර අලෝභ, අද්වේෂ, අමෝහ යනු කුසල මූල වේ. අකුසල කර්ම සහ ඒවායේ හේතු නිවාරණය වන අයුරින් සහ කුසලකර්ම සහ ඒවායේ හේතු වර්ධනය වන අයුරින් ජීවිතය පවත්වා ගෙන යාම නිවැරදි දැකීම උදා කර ගන්නා මාර්ගය බව මේ විවරණයෙන් පළ වෙයි. එසේ ම ඒ නිවැරදි දැක්ම මගින් රාග, පටිඝ, දිට්ඨි, අවිඡ්ජා යන අනුශයයන් (සිතේ පතුලේ ම තැන්පත් වී පවතින කෙලෙසුන්) මුළුමනින් ම බැහැර කිරීම පිණිසත් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් විමුක්ති සාක්ෂාත්කරණය පිණිසත් නිවැරදි දැක්ම ඉවහල් වන බව මෙයින් අවධාරණය කෙරෙයි.
සංසාරගත සත්ත්වයාගේ පැවැත්ම කබලිංකාර ස්පර්ශ, මනෝසංචේතනා සහ විඤ්ඤාණ යන චතුර්විධ ආහාරය මත රඳා පවතී. මේ ආහාර වර්ග හතර පිළිබඳව චතුරාර්ය සත්‍ය න්‍යායානුකූල වූ ගැඹුරු වැටහීමක් ලබා ගත් පසු ආර්ය ශ්‍රාවකයා විසින් ඉන් මතුවට කළ යුතු යමක් නැත. ඒ පරිසමාප්ත වශයෙන් චතුරාර්ය සත්‍යය සාක්ෂාත් කර ගැනීමක් වන හෙයිනි.
ඉහත විස්තර කළ කරුණු සියල්ලෙන් ප්‍රකට වන ප්‍රධාන සිද්ධාන්තය නම් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම චතුරාර්ය සත්‍යය සමග එකිනෙකින් වෙන් කළ නොහැකි වන සේ බද්ධ වී පවතී. යම් තැනෙක නිවැරදි දැක්ම පවතී නම් එතැන අනිවාර්යයෙන් ම චතුරාර්ය සත්‍යය පවතී.
මෙයින් අවධාරණය කරනු ලබන්නේ සංසාර විමුක්තිය අරමුණු කොට ගත් බෞද්ධ ශික්ෂණ ප්‍රතිපදාවෙහි මිථ්‍යාදෘෂ්ටිය හෙවත් සාවද්‍ය දැක්ම කෙතෙක් නිගරු කොට සැළකේ ද යන්න යි. අංගුත්තරනිකායයෙහි මිථ්‍යාදෘෂ්ටිය (මිච්ඡාදිට්ඨි - සාවධ්‍ය දැක්ම) විවරණය යන්නේ මෙසේය. ‘යම් දැක්මක් මෙතෙක් පහළ නොවූ අකුසල් පහළ වීමට හේතු වේ නම්, පහළ වූ අකුසල් තවදුරට වර්ධනය කිරීමට හේතු වේ නම්, මෙතෙක් පහළ නොවූ කුසල් පහළවීම වළකාලීමට හේතු වේ නම් සහ පහළ වූ කුසල් දුර්වල කොට අතුරුදහන් කිරීමට හේතු වේ නම් ඒ මිථ්‍යාදෘෂ්ටියයි.’ ආර්ය මාර්ගය මෙන් අනාර්ය මාර්ගය ද අෂ්ටාංගික වෙයි. බුදු දහම විසින් කිසිසේත් ම අනුමත නොකරන ආත්මවාදය, ශාස්වතවාදය, උච්ඡේදවාදය, සක්කායදිට්ඨිය වැනි සාවද්‍ය දෘෂ්ටි වැළඳ ගැනීම මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රතිඵලයෝ ය. ඒ දර්ශන ඔස්සේ ජීවිතය ගෙවන පුද්ගලයා දශ අකුසල කර්මපථ ඉතා අගය කොට සළකයි. දශ කුසල කර්මපථ හෙළා දකියි. ලොවෙහි සද්පුරුෂයන්ගේ පැවැත්ම නොපිළිගනියි. පින් පව් වෙනස නොදකියි. එවැනි පුද්ගලයන් පොදු ජනයා අතරේ අපකීර්තිය, අයස, අපහාස, නින්දා ලබයි. මෙලොවදීත් පරලොවදීත් දුකට ම, විපතට ම පත්වෙයි.
සත්‍යය ම, පරම සත්‍යය ම සොයා යන බුදු දහම උභය ලෝකාර්ථසිද්ධිය පිණිස ශ්‍රාවක ජනයාට මග පෙන්වන අයුරු නිවැරදි දැක්ම සම්බන්ධයෙන් ඉහත කළ විස්තරය ඇසුරෙන් වටහා ගැනීම දුෂ්කර නො වේ. කවදත් ලෝකයාගේ දැඩි අවධානය යොමු කර ගන්නා බලය හා ධනය පුද්ගලයන් තුළ ද්වේෂය හා රාගය දියුණු තියුණු කරන ශක්තිමත් බලවේග දෙකකි. බොහෝ විට සාවධ්‍ය ධර්ම සහ දර්ශන පහළ වන්නේ පැතිර යන්නේ මෙම සංකල්ප දෙක පසුබිම් කර ගෙන ය. ඒවායේ අහිතකර බලපෑම් හේතු කොට ගෙන පොදුවේ පීඩාවට, දුකට පත්වන්නෝ ඒවා වැළඳ ගත් පුද්ගලයෝ පමණක් නොවෙති. රටවල් සහ මහාද්වීප පවා කල්පවත්නා බරපතල ඛේදාන්තවලට ගොදුරු වෙති. සදේවක ලෝක සත්ත්වයාගේ හිතසුව පතන බුදුදහම නිවැරදි දැක්ම අතින් සියල්ලට වඩා වටිනා සම්පත්තියක් ලෙස, ආරම්භයේ සිට අවසානය දක්වා ම ක්‍රියාත්මක විය යුතු ගුණාංගයක් ලෙස පොදු මිනිසාගේ ආධ්‍යාත්මික හා බාහිර සංවර්ධනය කෙරෙහි දැඩිව බලපාන ශක්තියක් ලෙස අගය කරන්නේ කවර හේතු නිසාදැයි මේ නයින් සිතා බලන කෙනෙකුට පැහැදිලි වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤