දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සසර අපාගත නොවන්නෝ

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අකටයුතුකම්වල යෙදෙන උදවිය සාංසාරික වශයෙන් නිරයේ හා තිරිසන් ආත්මවල උප්පත්තිය ලබමින් දුක් විඳීමට හේතු වෙනවා වගේම සමාජයේ මෙලොව වශයෙන් ගර්හාවට මෙන්ම අවිශ්වාස කටයුතු අයකු බවටත් පත් වී දෙලොවටම අවැඩ සාදා ගන්නවා.
සත්ත්වයා සසර බැඳ තබන ප්‍රධානතම බලය හා ශක්තිය හිමි වී ඇති කර්මය’යි කියනවිට එය සියයට සියයක්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එකඟ වෙනවා. මෙහිදී චේතනාත්මක කර්මය’යි අප විසින් අදහස් කර තිබෙන්නේ. මේ කරුණ වැඩිදුරටත් පෙළෙහි පෙන්වා දෙන්නේ “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති, කායෙන වාචාය මනසා” මෙයින් පැහැදිලි කර දී තිබෙන්නේ, කර්මය කියලා කියන්නේ චේතනාව” යන අදහසයි. යමක් සිතිවිලි වශයෙන් සිතූ පමණටම එය කර්මයක් විය හැකි බව ඒ විදියෙන් ගත්තහම ඒ කියන කර්ම රැස් කරන ප්‍රධානම මාර්ග තුනක් වෙනවා.
එය තමා කය හෙවත් ශරීරය, වචනය හා මනස කියන මේ මාර්ග තුන එයින් ම කියැවෙනවා. මනසට කර්ම රැස් කිරීමේ හැකියාව පවතින බව. එනම්, කිසිම පෙනෙන යමක් නොකර සිතීමෙන් පවා කර්ම රැස්වෙන බව. මේ නිසා අපට මේ මනස පරිස්සම් කර ගැනීමට මහත් වෙහෙසක් දරන්නට අවශ්‍ය වෙනවා. මොකද? කය, වචනය යන මාර්ග දෙකම විවෘතයි. නැත්නම් කායික ක්‍රියාවක් ලෙස පෙනෙනවා. වාචසික ක්‍රියාවක් නම් ඇසෙනවා. එහෙම වුණත් මේ කියන මානසික ක්‍රිියා පෙනෙන්ට නැහැ. ඒ නිසාම අපේ රැස්වෙන කර්ම ගැන අප වඩ වඩාත් පරෙස්සම් සහගතව ක්‍රියා කළ යුතු වෙනවා.

අපේ බුදුරජාණන් වහන්සේ “අපායසංවත්තනික” නමින් සූත්‍ර දේශනාවක් කර තිබෙනවා. සැවැත්නුවර වැඩවාසය කරන අවස්ථාවක යි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මේ දේශනාව කර තිබෙන්නේ. එහිදී උන්වහන්සේ සත්ත්වයා දුගති අවස්ථාවන්ට පත්වීමට හේතුවන කායික හා වාචසික අකුසල හේතුවන ආකාරය කරුණු අටක් යටතේ පෙන්වා දී තිබෙනවා. මේ ලෝකයේ සත්ත්වයා කර්ම විපාක විඳින ආකාරය විවිධයි. දුක් සහිතවත්, සැප සිහිතවත් සත්ත්වයා මේ කර්ම විපාක භුක්ති විඳිනවා. මෙහිදී අප විසින් ඉලක්ක කර ගන්නේ මේ මිනිසත් බව ලබා ජීවත්වන අප වැනි මනුෂ්‍ය සත්ත්ව ප්‍රජාව පිළිබඳවයි. මෙම විපාක භුක්ති විඳීමේදී ගිහි, පැවිදි, දිව්‍ය, මනුෂ්‍ය හැම සත්ත්ව කොට්ඨාශයකටම මේ කර්ම විපාක එකම ආකාරයෙන් බලපාන බව අප පැහැදිලිව තේරුම් ගතයුතු වෙනවා.
කයින් කෙරෙන පළමුවන අකුසලය ලෙස පැහැදිලි කෙරෙන ප්‍රාණහිංසාව හෙවත් සත්ත්ව ඝාතනය දක්වා ඇති සියලුම සත්ත්ව හිංසක ක්‍රියාවලිය මෙයට ඇතුළත් වෙනවා. මෙයින් අනිවාර්යෙන්ම ලැබිය හැකි ඵල විපාකය බුදුදහමේ පෙන්වා දී තිබෙනවා. අඩු ආයුෂ ඇති අය බවට පත්වීමට ඉඩකඩ ඇති බව, දැන් අප ජීවත්වන මේ මිනිස් සමාජය පමණක් ගත්විට ඇතැම් දරුවන් උපතේමදීම, මවුකුසේදීම ඉපදිලා සුළු කාල සීමාවක් තුළ දින කිහිපයකින් , වයස අවුරුදු හත , අට, දහය, දොළහ වැනි වයස් සීමාවේදී එසේත් නොමැති නම් කෙටි ජීවන කාලයක් තුළ මිය යන ආකාරය අප කොතෙකුත් අත්විඳ ඇති බව මෙහිදී සිහිපත් කර ගැනීම වටිනවා. ඒ වගේම ප්‍රේතාත්ම භවයක් ලැබීමටත් මේ අකුසල හේතු වෙන බව අප අමතක කළ යුතු නැහැ.
දෙවනුව අපේ කයින් කෙරෙන ප්‍රබල අකුසල සහගත ක්‍රියාව වන්නේ අන්සතු දෙය හෙවත් නොදුන් දෙය සොර සිතින් ගැනීමයි. මෙයට විපාක වශයෙන් පෙන්වා දී තිබෙන්නේ තමන්ට කිසිඳු ලැබීමක් නොමැතිව ජීවත් වීමට සිදු වීමයි. ඊටත් වඩා තමන් බොහොම වෙහෙස මහන්සි වී හරිහම්බ කර ගන්නා දේ පවා නොරඳා සිටින ස්වභාවය අප කොතෙකුත් අත් විඳලා තිබෙනවා. සමහර අපේ සමාජයේ ජීවත්වන අයම අපත් සමඟ මේ කාරණය මේ විදියටම පවසනවා” අනේ මං කොපමණ හමබ් කළත් පලක් නැහැ. ඒ හැම එකක්ම සිතන්ටවත් බැරි විදියට විනාශ වෙනවා. නැති වෙනවා” මේ විදියට ඔබ, අප අසා තිබෙනවා නේද? කිසියම් ඉපයීමක් කළත් සියල්ල තමා සතුව සැප විපාක විඳීමට තරම් නොරඳන ස්වරූපය මෙයින් අදහස් වෙනවා. ඒ විතරක් නොවේ තමන් ඉපයීමට ගන්නා උත්සාහයේ තරම දිහා බැලුවහම ඒ උත්සාහය ගන්නා අනිත් කෙනෙකුට වඩා අඩුවෙන් තමන්ට ලැබෙන බවත් අප කථා කරනවා. මෙහි රහස තමන් විවිධ භවයන්හිදී අන්සතු දෙය පැහැරගෙන චේතනාත්මකවම සොරකම් කිරීම කියන මේ අකුසලය සිදු කිරීමෙන් ලබන විපාකයක් බව අප සිහියට ගතයුතු වෙනවා. ඒ වගේම තමා මෙහි විපාක වශයෙන් තිරිසන්ගත සතුන් බවට පත්වීම, ප්‍රේතාත්ම භවයන් උරුමවීම වැනි විපාකත් එම සිදු කරන ලද කර්මයේ බලපෑම අනුව තීරණය වෙනවා.
මීළඟට වර්තමාන සමාජයේ බහුලව අද දවසේ අප දකින කම්සැප වැරැදි විදියට භුක්ති විඳීමේ අකුසලය සඳහන් වෙනවා. එනම් කාමමිථ්‍යාචාරයයි. මෙවැනි ක්‍රියාවන්හි යෙදීමත් මහත් වූ විපාක ලෙස දීමට සමත් වෙනවා. ඒ අනුව නිරයෙහි උපතට හේතු වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට සතුරන් බහුල වෙනවා. ඒ විතරක් නොවෙයි සමාජයේ ජීවත් වනවිට අනිකුත් උදවිය නිරන්තරයෙන් තමන් ගැරහුමට ලක් කරමින් තමන්ට නොයෙක් ආකාරයෙන් සිතන්නට බැරි තරම් එදිරිවාදිකම් කරනවා. ඇයි? මට මෙහෙම කරන්නේ කියා සිතෙන තරමට මේ විරුද්ධකම් ක්‍රියාත්මක වෙනවා. සමාජයේ දෝෂ දර්ශනයට තමා පත් වෙනවා. පවුල් අවුල් වෙනවා. අඹුදරුවන් අසහනයට පත් වෙනවා. මේ කරුණත් අපේ සමාජයේ අප හොඳින්ම අත්විඳින කරුණක්.
මිනිසාගේ මුඛය හෙවත් අප භාවිත කරන මේ කට නිසා සිදුවන අවැඩ අනර්ථ පහක්ම සිදු වෙනවා. “පුරිසස්ස හි ජාතස්ස කූඨාරි ජාතෙ මුඛෙ” යනුවෙන් ධර්මයෙහි සඳහන් වෙනවා. “ මේ කට හරියට කියනවා නම් දෙපැත්ත කැපෙන කෙටේරියකට උපමා කර තිබෙනවා. කටට ඒ තරම් හානිකර වූ විවිධ දේ කරන්නට පුළුවන්. කෙටේරිය දෙපැත්තටම කැපෙනවා. කටත් එහෙමයි. විවිධ පැතිවලට හැරි හැරී මිනිසා පවසන ඇතැම් වචන හොඳට වගේම භයානක අවියක් වශයෙනුත් පාවිච්චි කරලා පුද්ගලයෙක් පමණක් නොවෙයි රටක් ජාතියක් වුවත් විනාශයට ඇඳ දමන්ට පුළුවන්. මෙයින් බොරු කීම හෙවත් මුසාව යන්න ගත්විට එයින් අදහස් කරන්නේ බොරුවක් කිය ලා හෝ අඟවලා තවත් අයකු හෝ පිරිසක් මුළාවට පත් කිරීමයි. ඒ මගින් තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමයි. බොරු කියන පුද්ගලයාට කරන්නට බැරි අපරාධයක් නැහැ කියලත් ධර්මයෙහි සඳහන් වෙනවා. එතරම්ම මේ බොරුව බරපතල’යි යන අදහස’යි එයින් කියැවෙන්නේ. එමෙන්ම ධර්මයට අනුව මෙහි විපාක සොයා බැලුවොත් අපායෙහි ඉපිද දුක් විඳීමට හේතුවන , ප්‍රේතාත්මභාවයන් ලැබීමට හේතුවන අකුසලයක් ලෙසයි ප්‍රකාශවන්නේ. ඒ විතරකුත් නොවෙයි බොරු තෙපලන පුද්ගලයා මොලොවදීම සමාජයේ පිළිකුලට භාජන වෙනවා වගේම සමාජයේ අභූත චෝදනාවන්ට ලක්වී දඬුවම් විඳීමට පවා හේතු වන්නට පුළුවන්කම තිබෙනවා. වෙනත් අය විසින් කරනු ලබන වැරැදි ක්‍රියාවන් තමන් කළ බවට ඔප්පු වී තමා පිට නිරපරාදේ වරද පැටවෙනවා. එයින් නොයෙක් දුක් විපත් කරදරවලට මුහුණ පානවා.
පිසුණු වචන භාවිතය ද මෙවැනිම පරලොව අපායන්හි උපත ලැබීමට හේතු වෙනවා සේම ප්‍රේතාත්මභාවයන්හි උපත ලැබීමටත් හේතු වෙනවා. ඒ වගේම තමන්ට මිතුරු සම්පත්තිය අහිමි වෙනවා. තමන්ට ඇති වෙන මිත්‍රයෝ බොහෝ ඉක්මනින් තමන් කෙරෙන් බිඳී වෙන්ව යනවා. මෙවැනි තත්වයන් පිළිබඳ සමාජයෙන් අපට නිදසුන් කොපමණවත් සපයා ගැනීමට පුළුවන්කම තිබෙනවා.
රළු හෙවත් පරුෂ වචන භාවිතය ද අපේ සමාජයේ සුලබ දෙයකි. රළු වචන නිසා එය අහන අයගේ සිත රිදෙනවා. මහත් වූ දොම්නසට පත් වෙනවා. සැර පරුෂ වචන කථා කරන්නා අපේක්ෂා කරන්නේ ඒ වචන එල්ල කරනු ලබන තැනැත්තා දුකට දොම්නසට හා වේදනාවට පත් කර එයින් සතුටක් භුක්ති විඳීමටයි. එය සැබවින්ම තාවකාලික සතුටකි. ඊළඟ මෙහොතේ සිට තමන්ට පසු තැවෙන්නට සිදු වෙනවා. එය අපායගාමී වීමටත් තිරිසන් ගත ආත්මභාවයන් ලැබීමටත් හේතුවන බලවත් අකුසලයක්, ඒ විතරක් නොවෙයි තමන්ට ද යන යන තැන අහන්ට ලැබෙන්නේ අන් අයගෙන් එල්ල වන රළුපරුෂ වචනයි. තමන්ට ප්‍රිය මනාප වචන අසා සැනසිල්ලේ ජීවත්වන්නට පුළුවන් තත්ත්වයක් ඔහුට පරලොව වශයෙන්ද ලැබෙන්නේ නැහැ. සමාජයේ බොහෝ දෙනා තමන්ගේ සිතට ප්‍රිය වචන තමන් සමඟ කථා නොකරන තත්ත්වයක් ඇති වෙනවා. මෙලොව වශයෙනුත් තමන් නොයෙක් පරිහානිකර තත්වයන්ට මුහුණ දෙනවා
හිස් වචන කථා කිරීම ද මුඛයෙන් සිදුවන තවත් අකුසලයක්. අවැඩක්., හිස් වචන කථා කරන උදවිය මරණින් මතු තිරිසන් ගත ජීවිත ගතකරන්ට වගේම ප්‍රේතාත්මභාවයන් ලැබීමට ඇති ඉඩ වැඩියි. හිස් වචන සමාජයේ කිසිවෙකු විසින් විශ්වාස නොකරන තත්ත්වයකට තමා පත් වෙනවා. එය සමාජයේ ජීවත් වන අයකුට හරිම අවාසි සහගත තත්ත්වයක් . මොකද? එයින් සමාජයේ තමන්ට සාමාජිකයෙකු වශයෙන් කිසිවක් කරකියා ගන්නට බැරිව යනවා. තමන් හිස් අයෙකු ලෙස’යි තමා දෙස සමාජයේ අනෙකුත් අය බලන්නේ. එය ගිහි ජීවිත ගත කරන අයගේ අඹු දරුවන්ට පවා අහිතකර වෙනවා.
මිනිසාගේ කට නිසා, දිව නිසා සිදුවන තවත් අකුසල ක්‍රියාවක් නම් රහමෙර පානයයි. සාමාන්‍යයෙන් වචනයෙන් සිදුවන අකුසල හතරක් ලෙස අප ධර්මයෙහි දැක තිබුණත් මෙම සූත්‍රයේ දී කට නිසා සිදුවන්නට පුළුවන් අවැඩ පිළිබඳ සඳහන් කරුණු දැක්වීමේදී අවසාන කාරණය ලෙස මෙය ඉදිරිපත් වෙනවා. මෙම රහමෙර පානය කී විට අද අප කථා කරන මත්පෙති, මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්වතුර යන සියලුම ක්‍රම මගින් ඇති කරන මත් ගතිය මෙහිදී අදහස් වෙනවා. මේ නිසා අද වර්තමානයේ සිදුවී ඇති මහා ව්‍යසනය මිනිසාගේ ශාරීරික බරපතල රෝගකාරක තත්ත්වයක් ඇති කරනවා පමණක් නොව ගෘහ ජීවිතය කාබාසිීනියා කොට පවුල් අවුල්වී ජාතික වශයෙනුත් මහා ව්‍යසනකාරී තත්ත්වයක් ඇති කරනවා. මෙවැනි අකටයුතුකම්වල යෙදෙන උදවිය සාංසාරික වශයෙන් නිරයේ හා තිරිසන් ආත්මවල උප්පත්තිය ලබමින් දුක් විඳීමට හේතු වෙනවා වගේම සමාජයේ මෙලොව වශයෙන් ගර්හාවට මෙන්ම අවිශ්වාස කටයුතු අයකු බවටත් පත් වී දෙලොවටම අවැඩ සාදා ගන්නවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සාරය අසාරය පිළිබඳබෞද්ධ විග්‍රහය

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

අප විසින් යමි කිසි දෙයක් තෝරා ගැනීමේදී සරුදෙය සහ නිසරු දෙය කුමක්ද, යනුවෙන් වෙන්කරගතයුත්තේ කෙසේද? යන කාරණාව පිළිබඳව බුදුදහමට අනුව අවබෝධ කරගත යුතුයි. සාරය සහ අසාරය සම්බන්ධ බෞද්ධ විවරණය කුමක්ද? සාරය සහ අසාරය කුමක්ද? යනුවෙන් තෝරාගැනීීමේ දී එය කෙසේ නම් කළ යුතුද? යන අවබෝධය තුළ අපගේ වර්තමාන ජීවිතය වඩාත් වාසනාවත්ත සහ වඩාත් සතුටුදායක ආකාරයෙන් ජීවත් වීමට අවස්ථාව ලැබෙයි.
අපගේ සංසාරික ගමන වඩාත් යහපත් ධර්මානුකූල ගමනක් ලෙස පරිවර්තනය වනුයේද , යමි දවසක පූර්ණ අවබෝධය සඳහා යන ගමනේදී නිර්වාණය සාක්ශාත් කරගැනීම සඳහා සාරය සහ අසාරය තෝරාගන්නා ක්‍රමය අනුවයි.අප සියලු දෙනාම වාසනාවට මිනිසුන් ලෙස ඉපදිලා තිබෙන අතර බෞද්ධයන් ලෙස ද ඉපදි තිබීම ඉතාම දුර්ලබ අවස්ථාවක්. අප ඉපදිලා තිබෙන්නේත් බුද්ධ ශූන්‍ය කල්පයක් නොවන, බුද්ධ දේශනාව තිබෙන බුද්ධෝ්ත්පාද කාලයකය. මිනිස් භවය ලැබීමත් වාසනාවක්.බුද්ධෝත්පාද කාලයක මිනිස් භවයක් ලැබීමත් , කල්‍යාණ මිත්‍ර සේවනය සඳහා අවස්ථාව ලැබීමත්, සිදුවන අතර බුද්ධ ශූන්‍ය කාල තුළ කල්‍යාණ මිත්‍ර ඇසුරත් හමුවන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රයන් හමුවන්නේම බුද්ධෝත්පාද කාලවල පමණයි. සද්පුරුෂ ඇසුර කල්‍යාණ මිත්‍ර ඇසුර මෙම භවය තුළ ලැබී තිබෙන නිසාම සද්පුරුෂ ධර්මයට කල්‍යාණ මිත්‍ර ධර්මයට ඇහුම්කන් දීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. පෙර සංසාරය පුරා කළ පින් අනුව වටිනා මිනිස් භවයක් මෙම ආත්මය තුළ ලැබී තිබෙන අතර අන්‍ය ආගමකට සම්බන්ධ නොවී බෞද්ධ පියෙකුට දාව බෞද්ධ මව්කුසක ඉපදීමට පුබ්බෙච කත පුඤ්ඤතා හෙවත් පෙර කළ පින් හේතුවෙලා තිබෙනවා.එතුළින් අන්‍ය ආගම්වල ඉපදිලා සිටින පිරිස් පව්කාරයන් ලෙස කිසිදු ආකාරයෙන් අදහස් වන්නේ නැහැ.බෞද්ධයන් ලෙස මේ ලෝකය තුළ ඉපදිලා බෞද්ධ ආගම අදහන පිරිසක් නිසා පවට ලජ්ජාවක් සහ බියක් කුඩා කල සිටම ලැබී තිබීම වාසනාවක්.බුදුදහම තුළ ප්‍රාණඝාතය තුළින් පව් සිදුවන බව හඳුන්වා ඇතත් ඇතැම් ආගම තුළ ප්‍රාණඝාතය පවක් ලෙස හඳුන්වා නැහැ. සොරකම, ප්‍රාණඝාතය, කාමමිත්‍යාචාරය ධර්මයට අනුව අකුසල සිදුවන කාරණා ලෙස දක්වා ඇති අතර අනෙකුත් ආගම් තුළත් අඩු වැඩි වශයෙන් එකී කාරණා පිළි්බඳව පවතින අයහපත් බව සඳහන් කර තිබෙන අතර කුමන ආකාරයෙන් විමර්ෂණය කර බැලුවත් බුදුදහම කිසිදු සත්වයෙකුට කරදරයක් නොවන ආකාරයෙන් ජීවත් වීමට යෝජනා කර ඇත. සැම විටම අපගේ සංකල්ප ක්‍රියාත්මක විය යුත්තේ සබ්බේ සත්ථා භවන්තු සුඛ්තත්වා යනුවෙන් සියලූම සත්ත්වයෝ සුවපත් වෙත්වා යන්නයි.බුදුදහම මිනිසුන් පමණක් කේන්ද්‍ර කරගනිමින් කතාකරන දහමක් නොවන අතර එය මේ ලෝකය තුළ ජීවත් වන සියලුම සත්ත්වයන් පිළිබඳව සමාන අයිතිවාසිකම් සහිත ආගමක් වෙයි. සියලුම සත්වයන්ගේ අයිතිවාසිකම් 
බුදුදහම පිළිගන්නා කාරණාවක් වෙයි. සියලු සත්වයන් පිළිබඳව සිතා කල්පනා කළ ධර්මයක් ලෙස බුදුදහම හඳුනාගත හැකියි.සියලු ආගම් සඳහා ගරුකරන බුද්ධ ධර්මය අදහන බෞද්ධ පිරිසක් වීම පිළිබඳව සතුටු විය යුතුයි. ඊළඟ ආත්මය සිංහලයෙකු නොවුනත් බෞද්ධයකු විය යුතුයි. නිවන් දැකීමට අවශ්‍ය කටයුතු කාරණා ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙන්නේ බෞද්ධයකු ලෙස ඉපදුනොත් පමණයි. නිවනට අදාළ වන කාරණා සිංහලයන් විසින් කරගන්නේ නැහැ.සබ්බ පා පස්ස අකරණං හෙවත් පවින් මුදවමින් කුසලස්ස උපසම්පදා හෙවත් කුසලයෙහි පිහිටවමින් සද්ධර්මයට අනුව ජීවත් වීමට අවස්ථාව ලැබෙන්නේම බෞද්ධකම තුළ පමණයි. ලැබී තිබෙන අවස්ථාව වටිනා අවස්ථාවක් වුවත් දිගු ආයුෂක් ලබා නොතිබිම ගැටළුවක් වෙයි.කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලය තුළ මිනිස් අයුෂ හතළිස් දහසක් පැවතුණ බවද, කෝනාගම බුදුරජාණන් වහන්සේගේ යුගය වන විට මිනිස් අයුෂ අවුරුදු තිස් දහසක්ද , කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලය තුළ පරම අයුෂ අවුරුදු විසි දහසක් ද, ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය තුළ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු එකසිය විස්සක් ද වෙයි. වර්තමානය වන විට පිරිමියෙකුගේ පරම ආයුෂ අවුරුදු හැටක් හැත්තෑවක් වන අතර අපේ රට තුළ කාන්තාවන් තවම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී නොමැති නිසා කාන්තාවකගේ වයස අවුරුදු හැත්තෑවක් හැත්තෑ පහක් අතර ප්‍රමාණයක රැඳී තිබෙයි.

කල්ප විනාශය ළඟා වීමත් සමඟ මිනිසාගේ ආයුෂ කාලය අඩුවෙයි. අවුරුද්දට දින තුන්සිය හැටපහක් තිබෙනවා නම් ,අවුරුදු අසූවක් ජීවත් වුවහොත් දින විසිනවදහස් දෙසියක් වෙයිි. තමන්ගේ වර්තමාන වයස හැත්තෑව නම් හැත්තෑව තුන්සිය හැටපහෙන් ගණනය කළ විට ජීවත්ව සිටින දින ගණන ලැබෙන අතර එම ලැබෙන ගණනෙන් දැනට ජීවත් සිටි දවස් ගණන අඩු කළ විට ඉදිරියට ජීවත් වීීමට තිබෙන දින ගණන ලැබෙයි. අවුරුදු අසූවක් ජීවත් වුණා යනු දින විසිනවදහස් දෙසියක් පමණයි. ‘අච්න්ත්‍ය තම්පි භවතේ’ නොසිතපු ආකාරයේ සිදුවීමක් මෙම අතර තුර සිදුවිය හැකියි. සිතාගෙන සිටි අකාරයේ දෙයක් විනාශ වෙලා යාමේ හැකියාව තිබෙන්නත් පුළුවන්.බුද්ධොත්පාද කාලයක් තුළ දුර්ලභ මිනිස් භවයක් ලැබී තිබෙන අතර සද්ධර්මය ද ලැබී තිබෙනවා කල්‍යාණ මිත්‍රයන් ගේ ඇසුර ලැබීමේ අවස්ථාව ලැබී තිබෙනවා. සද්පුරුෂ ඇසුර ලැබී තිබෙනවා. ලැබී තිබෙන මිනිස් ආත්මභාවය දීර්ඝ අයුෂයක් සහිත මිනිස් භවයක් නොවි අල්ප ආයුෂ සහිත වීම ගැටලුවක් වෙයි. අල්ප ආයුෂ සහිත වූ මිනිස් භවය ලැබුණ අවස්ථාව තුළ අප විසින් කරනු ලබන්නාවූ තෝරා ගැනීම් ඉතාම නිවැරැදි ආකාරයෙන් සිදුකර නොගත හොත් , සාරය සාරය ආකාරයට හඳුනානොගත හොත් අසාරය අසාරයඅකාරයට හඳුනානොගත හොත් ඊළඟ භවය මිනිස් භවයක් හෝ බුද්ධ ධර්මය අදහන ආත්ම භාවයක් නොවී තිරිසන් ආත්මයක් ලැබී සතෙක් අකාරයට ජීවත් වීමට ද සිදු විය හැකියි.තිරිසන් අපායක නිරිසත්වයෙකු ද විය හැකියි .ප්‍රේත විෂයෙහි ඉපදුන නිරිසත්වයෙකු ද විය හැකියි. නිරි සත්වයෙකු වනවාසේම අසුර කොටස් අතරද ඉපදුන ගව් දහස් ගණන් දිගු ශරීර තිබෙන ඉදිකටු තුඩක් අකාරයේ හිසක් තිබෙන ආකාරයෙන් ඉපදුන හොත් නැවත සද්ධර්මයක් හෝ කුසලයක් වැඩීම පිළිබඳව සිහිනයකින් වත් සිතීම අපහසුවෙයි. කුසල් කරගැනීමට අවශ්‍ය පින හෝ අවබෝධයක් ඔවුනට නොමැති නිසාම සංසාරය පුරා ගමන් කරනවා විනා දුකෙන් නිදහස් වීමට හෝ සංසාරයෙන් නිදහන් වීමට සිතීමේ අවස්ථාවක් වත් ලැබෙන්නේ නැහැ.
දේවදත්ත කල්ප සියගණනාවක කාලයකට අවිචියට වැටී ඇත. කල්පයක කාලය අවුරුදු මාස සති, දින, පැය තත්පර වශයෙන් ගණනය කළ නොහැකිය. කල්පයට අදාල වන වර්ෂ ප්‍රමාණය ගණනය කළ නොහැකිය. මෙම උපමා තුළින් එය අවබෝධ කරගත යුතුයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස , ඔබ වහන්සේ කල්පය පිළිබඳව නිතරම තොරතුරු සඳහන් කරනවා. කල්පය ලෙස සඳහන් කරනු ලබන්නේ කෙතරම් පුමාණයක් ද? යනුවෙන් ස්වාමීන්වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විචාරනු ලැබුවා. පින්වත් භික්ෂුව, ඔබට එය තේරුම් ගැනීම අපහසුයි.ඒ වගේම දුෂ්කරයි. ඔබට එය තෝරාදීම මටත් දුෂ්කරයි. එම ස්වාමීන් වහන්සේත් බුද්ධ්මත් නිසාම බුදුරජාණන් වහන්සේ කල්පය පිළිබඳව තෝරාදීම දුෂ්කරයි කියනවා මිස බැහැයි යනුවෙන් දේශනා කරන්නේ නැහැ. අවසානයේදී නැවත වතාවක් එම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අමතමින්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වදාරනු ලබන්නේ දූෂ්කර බවයි.එය තේරුම් ගැනීමට පහසු ආකාරයට උපමාවක් ගෙන තෝරා දෙන ලෙස ඉල්ලීමක්ද, කරනු ලැබුවා. පින්වත් භික්ෂුව, සැතපුම් හතක් උස සැතපුම් හතක් දිග සැතපුම් හතක් පළල යෝධ කළු ගල් තලාවක් පිළිබඳව සිතන්න. එම කළු ගල් තලාව අවුරුදු සියයකට වතාවක් ඉතාම සිනිඳු රෙදි කඩකින් කවුරුන් හෝ පිස දමනවා නම්, එම ආකාරයෙන් පිස දැමීම නිසා එම කළු ගල ගෙවී අවසන් වනවාද, පින්වත් භික්ෂුව, එදාටත් කල්පය අවසන් වන්නේ නැහැ. එවැනි සංසාර ගමනක් පිළිබඳව බුදුදහම පමණක් විශ්වස කරයි.එක නිරයකට වැටුණහොත් කල්ප ගණන් ගෙවන් කරන්න වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. දේවදත්ත එවැනි කල්ප සිය ගණනාවක නිරයක වැටුණා. සද්ධර්මයක් ඇසෙන්නනේ නැහැ වගේම සද්ධර්මයක් අවබෝධ කරගැනීමේ අවස්ථාවක් නැහැ. විශාල කර්ම ශක්තින් ලෙස දුක්විඳිමින් කර්ම ගෙවයි. ඔබ සහ අප හදිස්සියේ හෝ හෙට උදෑසන මියගොස් එවැනි ආකාරයේ අවීචි නිරයක උප්පත්තිය ලැබුවහොත් බුද්ධෝත්පාද ගණනාවකට නැවත පැමිණෙන්න ලැබෙන්නේ නැහැ.තිරිසන් අපාය තුළ ඉපදුන සතෙකුට නැවත මිනිස් ලෝකයට පැමිණීමට තිබෙන අවස්ථාව කෙතරම් දුුර්ලභද? යන කාරණාව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. පින්වත් මහණෙනි, තිරිසන් අපාය තුළ ඉපදුන පුද්ගලයෙකු නැවත ෙමි ලෝකය තුළ ඉපදීමට තිබෙන අවස්ථාව පැහැදිළි කරනවා නම්, මිනිස් භවය සමානයි කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලීම. එය ඒතරම්ම දුර්ලභ අවස්ථාවක් වෙයි. සාරය සාරය ලෙස තෝරාගත යුත්තේද එම නිසයි. අසාරය අසාරය ලෙස තෝරාගත යුත්තේද? එම නිසයි. දුර්ලභ මිනිස් භවයක් සමඟ සද්ධර්මයත් ලැබුණ අවස්ථාවක හරය අතහැර දමා නිසරු දෙය වැළඳගනු ලැබුවහොත් අපගේ ඊළඟ භවය කොතනැට ගමන් කරාවිද?යන්න කිව නොහැකියි. ඊළඟ භවය ගමන් කරන්නේ කොතැනටද? යන්න තීරණය වන්නේම දිගු කාලයක සිට මනස කුමන ආකාරයකට පුරුදු පුහුණු කර තිබෙනවාද? යන කාරණාව මතයි.
බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරමය තුළ වැඩ සිටින කාලය තුළ මහානාම ශාක්‍ය රජතුමා නිතරම විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරනු ලැබුවා. ස්වාමීනී , භාග්‍යවතුන් වහන්ස,කිඹුල්වත් නුවර හරහා පැමිණෙන විට හරිම ජනාකීර්ණයි. සිවුරඟ සේනාවම සිටිනවා. එම සේනාව නිසා හෝ රථයක් නිසා හෝ මම කිඹුල්වත් නුවර හරහා පැමිණෙද්දී හදිස්සියේම මරණයට පත්වුවහොත් මගේ ගතිය කුමන ආකාරයේ ද? මගේ චුතිය කුමන ආකාරයේ ෙවිවිද? යනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් මහානාම රජතුමා ප්‍රශ්නයක් විමසා සිටි අතර එයට පිළිතුරු නොදී සිටි බුදුපියාණන් වහන්සේ පෙරලා මහානාම රජතුමා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.රජතුමනි, ඔබතුමාගේ ගෙවත්ත තුළ ගස් තිබෙනවාද?එම ගස් නැමී තිබෙන්නේ කුමන දිශාවටද?
ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස , එම ගස් පෙර දිගටම හැරී, නැමී, බරවී තිබෙනවාට රජතුමනි, එම ගස් බොහෝ කාලයක සිට එසේ බරවී නැමී තිබෙනවාද?ස්වාමීනී ,මම දන්න කාලයේ සිටම එම ගස් පෙරදිගටම නැමි තිබෙනවා. නැගෙනහිරටම නැමුන, නැගෙනහිරටම හැරුන නැගෙනහිරටම බරවෙලා තිබෙන ගස් සුළඟට වැටුණත්, දිරාගොස් වැටුණත්, හදිස්සියේ වැටුණත්, ගස කපද්දී වැටුණත්, එම ගස් වැටෙන්න පුළුවන් කුමන පැත්තටද? යනුවෙන් රජතුමාගෙන් ඇසූ ප්‍රශ්නයට පෙරලා රජතුමා ලබාදුන් පිළිතුර වූයේ බොහෝ කාලයක් හැරිල , බරවී නැමී තිබුනේ පෙරදිගට නිසා වැටෙනවා නම් වැටෙන්නෙත් පෙරදිගටමයි. අපගේ සිතත් බොහෝ කාලයක් හැරිලා නැමීලා බරවෙලා තිබෙන්නේ කුමන පැත්තටද?අන්තිම හුස්ම පොද යනවිට විඤ්ඤාණය වැටෙන්නෙත් එම පැත්තටමයි. අප වැටෙන පැත්ත තම තමන්ටම සිතාගත හැකියි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤