දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ලොව්තුරා සුවයෙන් සැනසීමට මඟ කියා දුන් මානව දයාවේ අපරිමිත ස්වභාවය

කැලණිය විශ්ව විද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුමනපාල ගල්මංගොඩ

මානව ඉතිහාසයේ සඳහන් වී ඇති ආකාරයට අනුව අධ්‍යාත්මික දියුණුවේ හිනිපෙත්තටම ගමන් කළ බුදුපියාණෝ මනුෂ්‍යයෙකුම විය. මනුෂ්‍යයකුට ජීවිතයේ මුහුණපෑමට සිදුවන විවිධ බාධක අභියෝග උන්වහන්සේ හමුවේද විය.
මානුෂික ස්වභාවය
එම සියලු අභියෝග හමුවේ උන්වහන්සේ සතුවු ආධ්‍යාත්මික ශක්තියෙන් ජය ගත්හ. “ආනන්දය, මට ක්ලාන්තය, හිඳගැනීමට අසුනක් පනවන්න. ආනන්දය,මට පිපාසයි. පානය සඳහා පැන් ස්වල්පයක් රැගෙන එන්න. මා වයස ගත වී ඇත. මාගේ ජීවිතය තවත් ඇත්තේ ඉතා ටිකය. ආනන්දය, මම දැන් දිරාගිය මහල්ලෙක්මි. මාගේ වයස අසූවකි. දිරාගිය කරත්තයක්. එහෙන් මෙහෙන් පිළිසකර කර පවත්වන්නක් මෙන් මාගේ ශරීරයද පවතින්නේ යැයි සිතමි. ආනන්ද,අතිමිත්තචෙතො සමාධියට පැමිණ වාසය කරන කල්හි මාගේ ශරීරයේ වේදනාවන් දුරුවී ඉතා පහසුවක් දැනෙයි.මේ බුදුපියාණන් වහන්සේගේ මානුෂික ස්වභාවය පිළිබිඹු කෙරෙන ප්‍රකාශයන්ගෙන් එකකි.
ශාරීරික වශයෙන් කෘෂ වුවද, ආසාවකින් ලෝලත්වයකින් තොරව අල්ප ආහාර ප්‍රමාණයක් වළඳන්නා වූත් ඉතා අධික වීර්යයකින් යුක්ත වූත් වනයෙහි ධ්‍යාන වඩන ගෞතම බුදුපියාණන් වහන්සේ දැකීමට යමු යැයි සාතාගිර නම් පුද්ගලයකු තම මිත්‍රයාට ප්‍රකාශ කර ඇත. ඒ බුදුපියාණන් වහන්සේ ශරීරයෙහි ස්වභාවය එක්තරා අවධියක පැවති ආකාරය විය හැකිය.
බුදුරජාණන් වහන්සේ ස්වකීය ජීවිතය කැප කරනු ලැබුවේ සකල ලෝකවාසී සත්වයාගේ මෙලොව පරලොව හිත සුව පිණිසය. බොහෝ අවස්ථාවල පරාර්ථය ආත්මාර්ථය පිණිස පවතින බව ලෝක ඉතිහාසයෙන් පැහැදිලි වන අවස්ථා තිබුණද, බුදුපියාණන් වහන්සේ තම කාලය, ශ්‍රමය, කැප කරනු ලැබුවේ ලෝකයාගෙන් කිසිවක් බලාපොරෙත්තුව නොවේ.
අපේක්ෂා රහිතවය. බුදුපියාණන් වහන්සේ නිතරම දේශනා කරනු ලැබුවේ ධර්මය නමැති දායාදය පිණිසම ධර්මයෙහි හැසිරෙන ලෙසය. පින පිළිබඳව හෝ අපේක්ෂා නොතැබූ බුදුරජාණන් වහන්සේ අනුමාත්‍ර වූ හෝ පිනකින් තමනට අනර්ථයක් නොමැති බව වදාළහ. ආරම්භයේදීම යම් යම් පුද්ගලයන්ගේ නින්දා අපහාස දෝෂාරෝපණවලට මුහුණ දී පසුව ගාථා තුළින් ධර්මය දේශනා කළ විට ඔවුන්ගේ ප්‍රසාදය බුදුපියාණන් වහන්සේ කෙරෙහි මතු වී දන් පිළිගැන්වූ අවස්ථාවලදී සිය සේවාව අනුන්ගෙන් ලැබෙන ආහාරය නමැති වැටුප සඳහා නොවන බව පෙන්වමින් ගාථා කියා ලද දෙය තමාට අකැප බව පැවසූහ. අම්බපාලිගේ ආරාධනය පිළිගෙන තිබියදී බලවත් වජ්ජීහු බුදුපියාණන් වහන්සේට තවත් ආරාධනයක් කළද රාජ්‍යත්වය නිසා ලැබිය හැකි වාසි නොතකා බුදුපියාණන් වහන්සේ එම ආරාධනය ප්‍රතික්ෂේප කළහ.අවම වශයෙන් උන්වහන්සේගේ කැපවීම නිසාම බිහිවූ අති විශාල භික්ෂූ පිරිසවත් මමත්වයෙන් නොගෙන ඒ පිරිස තමා උදෙසා ජීවත් වන බව මා නොසිතන්නේ යැයි’ ඍජුවම දේශනා කළහ. සමකාලීන සමාජය තුළ ගිහි තත්ත්වය අනුව තමනට හිමිව තිබූ උසස් තත්වය ප්‍රකාශ කිරීමට පවා අකැමැති ස්වභාවයක් පෙන්වූ බුදුපියාණන් වහන්සේ වරක් තමා බමුණෙක් ,වෛශ්‍යයෙක්, රාජ පුත්‍රයෙක්, හෝ වෙන යම් කෙනකු නොවන බව වදාළහ. ධනයෙන්, කුලයෙන්, බලයෙන් එම සමාජය තුළ අගතැන්පත්ව සිටි ඇතැම් පුද්ගලයන් ධර්මය ශ්‍රවණය කර ප්‍රසාදයට පත්ව බුදුපියාණන් වහන්සේ සරණ යන බව ප්‍රකාශ කළ විට ඔවුන්ගේ ගරු සැළකිලි කිසිවක් බලාපොරොත්තු නොවූ බුදුපියාණන් වහන්සේ තවදුරටත් සිතා බලා එම තීරණය ගන්නා ලෙස බුදුපියාණන් වහන්සේ දේශනා කළහ. ඔවුන් එම තීරණය වෙනස් නොකරන ලෙස ප්‍රකාශ කළ විට, බුදුරජාණන් වහන්සේ ලබාදුන් අවවාදය වූයේ, බුදුදහම පිළිගැනීමට පෙර වෙනත් ආගමිකයන්ට නිතිපතා පැවැත්වූ පුද පූජාවන් නොකඩවා තවදුරටත් පවත්වාගෙන යන ලෙසයි.අවසාන වශයෙන්, බුදුපියාණන් වහන්සේ තුළ පැවැති අපේක්ෂා විරහිත බව නිස්සරණාධ්‍යාශය කෙතරම්ද, යත් තම ශ්‍රාවකයන් උන්වහන්සේගේ ආදාහන කටයුතුවලට නිරතවීමටත් බලාපොරොත්තු නොවූහ.ආනන්දය, ඔබලා තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි නිරත නොවන්න. උන්වහන්සේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කළ සේක. විරාගී දර්ශනයෙහි හා හැසිරීමෙහි වටිනාකම පැහැදිලි කළ සේක. සකල ක්ලේෂයන් කෙලෙසුන් දුරුකොට බුද්ධත්වය අවබෝධ කළ සේක. සකල පඤ්ඤා සූත්‍රයේ දැක්වෙන පරිදි ලෞකික ගීතය හා ඒ හා බැදුණු සංගීතය ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව ඇගයීමට ලක් කළ සේක. ඒ තුළින් පෙන්නුම් කරණු ලබන්නේ ලෝකයේ උන්වහන්සේ විරාගී දර්ශනයෙහි හා හැසිරීමෙහි අගය පැහැදලි කරමින් උන්වහන්සේගේ ලෝකය තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කළ සේක. සියලු ක්ලේශයන් මුලසුන් කොට බුද්ධත්වයව අවබෝධ කළ සේක.
සංවේදී මනුෂ්‍යත්වය
සක්කපඤ්භ සූත්‍රයේ සඳහන් වන ලෞකික ගීත හා ඒ හා බැඳුණු සංගීතය ශ්‍රවණය කිරීම තුළින් හා එය ඇගයීමට ලක්කිරීම තුළින් හා බුදුරජාණන් වහන්සේ තුළ පැවැති ලෝකයේ සෞන්දර්යයට සංවේදී වන මනුෂ්‍යත්වයකින්ද යුක්ත වු බවය.
සොඳුරිය, සූරියවච්ඡසාවෙනි, 
මා හද පිනවීමට ඔබව මෙලොවට බිහි කළ 
ඔබ දයාබර පියාණන් තිබ්බරු 
මම බැතියෙන් වඳීමි.

දහදියෙන් තෙමුනෙකුට මඳපවනක් සෙයින්ද? පිපාසාවෙන් පෙළුනකුට දිය පොදක් මෙන්ද මහරහතුන්ට ධර්මය මෙන්ද
සොඳුරිය ඔබ මට පි‍්‍රයය.
රෝගියකුට බෙහෙතක් මෙන්ද 
බඩසයින් පීඩිතයකුට අහරක් සෙයින්ද 
ජලයට ගින්න මෙන්ද 
සොඳුර මා හද ගිනි නිවන්න 
මල් පෙති රොන්සුණු අතුළ 
සිහිල් දියෙන් යුතු පොකුණක 
ගී‍්‍රෂ්මයෙන් පෙළුණ ඇතෙකු ගිලෙන සේ 
ඔබ පියයුරු අතර ගිලෙමි මම 
ඔබ වටොරින් මුළා වූ මම 
මත් වූ ඇතෙකු මෙන් 
හසරක් නොදකිමි 
ඔබ කෙරෙහි බැඳුමෙන් 
මසිත විපිළිසර විය 
මසකු මෙන් ඇම ගිලින ලද 
යා නොහැක්කෙමි ආපසු 
සොඳුර, මා වැළදගන්න 
මියුලැසිය, මා වැළඳගන්න 
කල්‍යාණිය , මා වැළඳගන්න 
ඒ මා පැතුමයි 
අක්බමරු කෙස් ඇති තැනැත්තිය 
ඔබ පි‍්‍රය දසුනින් 
මා හද තුළ පැවැති කාමය 
දහයකි නයින් ඔද වැඩී ගියේ 
රහතුන් විෂයෙහි 
දුන් දානයක් මෙනි 
රහතුන් කෙරෙහි යම් 
පිනක්වේ නම් මා කළ 
සුපුන් සොඳුරිය, ඒ හැම 
පලදෙවා ඔබට ම 
මේ මිහිමඬල මත 
මා තුළ සියලු පින්කම් 
සොඳුරිය ඔබට හිමි වී 
පිනකය ඔබ වෙතම ඒවා 
දැහැනට සම වැදුණු 
දිරියෙන් තවුස් දම් වඩනා 
මුනිතුමෙක් පතනු මෙන් අමා සුව

සූරියවච්ඡ්‍යාවෙනි 
මද ඔබ පතමි 
මුනිවරයෙක් දිනක 
උතුම් සම්බුදු පදවි ලැබ

තුටු වන විලසින් 
ඔබ මා එක් ව මම 
සතුටු වන්නෙමි සැමදා 
සක්දෙව්රද දිනෙක

දෙතොත් වරයක් මා හට 
පතනුයේ අනෙකක් නොව 
ඔබමය පි‍්‍රය සොඳුර 
ඔබ වැනි දියණියකට

හිමිකම් කියත ඒ 
සුපිපි සලරුකක් වන් 
පින්වත් පියාණන් 
නමදින් දෑත් එක්කොට

ආනන්දය, විශාලා නුවර රමණීයය. උදේන චේතිය රමණීයය. ගෞතමක චේතිය රමණීයය,සත්තම්බචේතීය රමණියය. ආදි වශයෙන් ස්වාභාවික සෞන්දර්යයේ අගය වදාළ සේක. එක් කාලයක් තුළ බුදුරජාණන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර මහාමොග්ගල්ලාන , මහාකාශ්‍යප අනුරුද්ධ,රේවත,ආනන්ද යන භික්ෂූන් වහන්සේලා සමඟ ගොසිංග සාල වනයෙහි වැඩ වාසය කළහ. දවසක් මෙම ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කොට ධර්මය ඇසීම සඳහා ශාරිපුත්‍ර හිමියන් වෙත වැඩියහ. දුර සිටම ස්වාමීන් වහන්සේලා වඩිනු දුටු සැරියුත් හිමියෝ අනඳ හිමියන් අමතා මෙහි වැඩම්වීම ආදරයෙන් පිළිගෙන ආනන්ද හිමියන්ගෙන් මෙසේ විචාරන ලදී. ආනන්ද, ගොසිංග සල්වනය රමණීයයි. රාත්‍රිය සඳරැසින් යුක්තය. සල්ගස්වල මුලුමනින්ම සල්මල් පිපී ඇත. හමන සුවඳ දිව්‍යමය සුගන්ධයක් මෙනි. ආනන්දය, කෙබඳු ස්වරූප ඇති භික්ෂුවක් නිසා මේ ගෝසිංග සාලවනය ශෝභමාන වන්නේද? ආනන්ද හිමියන්ගේ පිළිතුරු වුයේ
බොහෝ ඇසු පිරූ තැන් ඇති ඒවා ධාරණය කොට ගත් ධර්මය දේශනා කරන භික්ෂුවක් නිසා සල්වනය ශෝභමාන වෙයි. එම පැනයම රේවත හිමියන්ගෙන් ඇසු විට උන්වහන්සේ වදාළේද විවේකය පි‍්‍රය කරන භාවනා පුරුදු කරන ශූන්‍යාගාර රුචි කරන භික්ෂුවක් නිසා සල්වනය ශෝභමාන වන බවයි. දිවැසින් ලෝකයක් දකින භික්ෂුවක් නිසා එය ශෝභමාන වන බව අනුරුද්ධ හිමියන්ගේ අදහස විය. මහා කාශ්‍යප හිමියන්ගේ පිළිතුර වූයේද ධූතාංගධාරි විමුක්තිලාභි භික්ෂුවක නිසා එය ශෝභමාන වන බවයි. මුගලන් හිමියන්ගේ පිළිතුර වූයේ අභිධර්මය පිළිබඳ ප්‍රශ්නෝත්තර සාකච්ඡා පවත්වන භික්ෂුවක නිසා එය ශෝභමාන වන බවය. පසුව මුගලන් හිමියන් ශාරිපුත්‍ර හිමියන්ගේ අදහස විමසන විට උන්වහන්සේ වදාළ පිළිතුරු වූයේ අධ්‍යාත්මික වශයෙනි. සිය මනස තමාට රැව් පරිදි පාලනය කිරීමට සමත් භික්ෂුවක් නිසා එම සාලවනය ශෝභමාන වන බවයි. ඉන් පසුව සැරියුත් හිමියන්ගේ යෝජනාවකට අනුව සියලුම ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරන ලදුව තමන් වහන්සේලා විසින් වෙන් වෙන් වශයෙන් කරන ලද ප්‍රකාශ සැල කළහ. ඔබ සියලු දෙනා වහන්සේලාගේ ප්‍රකාශන මනා වූ ප්‍රකාශනයන් බවට වදාළ බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවටද සවන්දෙන ලෙසට වදාළහ. ඒ අනුව යම් භික්ෂුවක් පිණ්ඩපාතය කොට වළඳා සවස් වේලෙහි මෙම උයනට පැමිණ පළඟක් බැඳ කය ඍජුව තබාගෙන සිහිය පිහිටුවා මෙබඳු අධිෂ්ඨානයක් කරයි. ක්ලේශයන්ගෙන් මාගේ සිත නිදහස් වන තුරු මෙම පළඟ අත්නොරින්නෙමි. මෙබඳු භික්ෂුවක් නිසා ගොසිංග සාල වනය ශෝභමාන වන්නේය”.
බුදුපියාණන්වහන්සෙගේ මානව සංවේදනය පිළිබඳව සඳහන් වන මෙම නිදසුන් කිහිපයද ප්‍රමාණවත් වනු ඇත.

මිහිරි වූ සම්බුද්ධ ශාසනය

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී 
අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් 
බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ, දැන් දිය ඉස ඉස මැටි ටිකක් ඇනුවොත්, දියවෙලා වැක්කෙරෙන්නෙත් නැහැ. ඒ පස් පිෙ`ඞ් දියෙන් නොතෙමුන තැනකුත් නැහැ. ඒ වගේ ශ‍්‍රැතවත් ආය්‍යර් ශ‍්‍රාවකයාගේ හිතත් කයත් දෙක පී‍්‍රතියෙන් සැපයෙන් නොතෙමුන තැනක් නැහැ කියනවා. මේ කයම සැප පිණ්ඩයක් වෙනවා. කයම සැප සහගතයි. ආයේ හිතෙන් නෙමෙයි මුළු කයම සැප සහගතයි. කයේ පැවැත්ම සැප සහගතයි. බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් සුඛ සහගත කායගතා සතිය නොවඩන්නේ නම් එයා මේ ශාසනයේ පානය දන්නෙ නැහැ. මේ ශාසනයේ පානය, පානය කරල නැහැ. ඔක්කොම ශාසනය මිහිරියි, සැපයි කියන්නේ පානය නොකර නොබී යම්කිසි කෙනෙක් සුඛ සහගත කායගතා සතිය වැඩුවොත් විතරයි එයා මේ ශාසනය දන්නෙ. එයා විතරයි මේ ශාසනයේ පානය, පානය කරල තියෙන්නේ. ඔන්න ඔතෙන්ට එනවා.
ඊට පස්සෙ හිත කය දෙක සැපසහගත කෙනාගේ හිත සමාධි වෙනවා ඉබේම. ඒ සමාධිය මේ කාම සංඥාවම ඉක්මවා සිටින සමාධියක්. ඒ සමාධියට ප‍්‍රාර්ථනා ඕනේ නැහැ. මෙච්චරකල් අපි බැලූව නම්, රූපය අනාත්මයි. ඒ අරභයා ආත්ම සංඥාවක් පහළ වෙන්නේ කියල අපි උත්සාහයෙන් නෙ හිතුවෙ. හිතපු දේ හිතන්න ඕනෙ නැහැ. පෙනෙන මට්ටමට එනවා. අකෝප්‍යයි ඒ චේතෝ විමුක්තිය. එතකොට පුද්ගල භාවයෙන් මිදෙනවා. මිදීම අකෝප්‍යයි කියන්නෙ, හම් මස් ටික පුද්ගලයෙක් කියල කොච්චර කිව්වත් එයාට පුද්ගලයෙක් නෙමෙයිමයි. ඒ ඥාණදර්ශනය වෙනස් වෙන්නෙම නැහැ. ස්පර්ශ ආයතන හය සැපයි කියල කිව්වොත් එයා දන්නවා ස්පර්ශ ආයතන හය නිසා ම තමයි යම්තාක් ලෝකෙ ජරාමරණ විද්‍යමාන වුනා නම්, විද්‍යමාන වුනේ, ලෝකයා අ`ඩන්නේ විලාප දෙන්නේ ශෝක කරන්නෙ, පපුවෙ අත් ගගහ අ`ඩන්නෙ මේ ස්පර්ශ ආයතන හය නිසාමයි කියල දකිනවා. ස්පර්ශ ආයතන හය කියන්නේ දුකක්.
දුකම උපදිනවා, දුකම පවතිනවා, දුකම නිරුද්ධ වෙනවා. කියලා පේනවා මිසක ඇහැ උපදිනවා, ඇහැ පවතිනවා. ඇහැ නිරුද්ධ වෙනවා. රූපය උපදිනවා, රූපය පවතිනවා. රූපය නිරුද්ධ වෙනවා කියල පේන්නෙ නැහැ. එච්චරට ඇත්ත පේනවා ඒ සමාධියට. එදාට මේ ස්පර්ශ ආයතන හයේ කලකිරෙනවා. කියන එක අමුතුවෙන් ප‍්‍රාර්ථනා කරන්නට ඕන නෑ වෙනවා. ස්පර්ශ ආයතන හයේ කුමන ස්පර්ශ ආයතනයක් හටගත්තත් ඒකෙ නොඇලිච්ච මනසක්මයි තියෙන්නෙ. ඒ කයත් පස්සට කරගෙන, හිතත් පස්සට කරගෙනමයි ඉන්නෙ. විෂඝෝර සර්පයෙක් ළ`ගට ගියොත් කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙන නෙමෙයි ද ඌව අල්ලන්න හෝ යන්නෙ. ඒ සර්පයා අතින් අල්ලයි. මේ පින්වතුන් මේ ඇහැ රූපේ අල්ලන්නෙ නැතිවෙයි. ඇයි? මේ පින්වතුන් දන්නවා. සර්පයා කෑවොත් මැරෙයි, මරණය හා සමාන දුකට පත්වෙයි. ඒ හේතුවෙන් කල්ප ගණන් පැහෙන අවීචියට යන්නෙ නැහැ.
නමුත් මේ ඇහැ සර්පයාට වඩා විෂයි කියලා මේ පින්වතුන්ට තේරුනොත්, අද නොදන්න නිසානේ. ඒ විදිහට ම තේරුනොත්, මේ පින්වතුන්ට ඇස් පනා පිට ම විෂඝෝර සර්පයා, පොළ`ගා, මෙච්චර විෂයි කියල තේරෙන හින්ද නේද යන්නෙ නැත්තෙ. එච්චරට තේරි, තේරි යනවද මේ පින්වතුන් පොඩි ළමයෙක් යන්නෙ නොතේරෙන කම හින්දනෙ. තේරෙන මට්ටමට ආවොතින් යනවද? වැඩිහිටි කෙනෙකුට පොළෙ`ගක්, නයෙක්, යම්සේද, එයිටත් වඩා උග‍්‍ර විෂයි කියලා තේරුනොත් මේ රූපය, මේ පින්වතුන් නැඹුරු වෙයිද මේ රූපෙට? වෙන්නෙ නැහැ. මේ ඇහැට? මේ චක්ඛු විඤ්ඤාණයට? තාම බාල කාලෙ හින්දා ළදරු කාලෙ හින්දා සර්පයා ගාවට යනවා. සර්පයා මගෙ කියලා ඌව කරේ දාගන්නවා. නමුත් අර හිතේ සමාධියට ප‍්‍රාර්ථනා ඕනෙ නැහැ. මේ ස්පර්ශ ආයතන හය කියන්නේ විෂඝෝර සර්පයෙක් කියන එක පෙන්නනවා. පෙනෙනවා. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ කලකිරෙනවා කියන එක ඇතිකරගන්න ප‍්‍රාර්ථනා ඕනෙ නැහැ. ස්පර්ශ ආයතන හයේ නොඇලෙනවා කියන එකට. ප‍්‍රාර්ථනා ඕනෙ නැහැ. එතකොට මිදෙනවා. ඇහැට පෙනෙනකොට පෙනෙන දේ දැනගන්න සිත් උපදිනවා. නිරායාසයෙන් ම ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවීමයි හටගන්නෙ. උපදින ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුනු මනෝවිඤ්ඤාණ මට්ටමක් අන්තිමට හදාගෙන තියෙන්නෙ. එතකොට කියනවා, ඇහැ උපාදාන නොකොට, රූපය උපාදාන නොකොට, චක්ඛු විඤ්ඤාණය උපාදාන නොකොට මිදිලා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුනු හිතක් තියෙන්නෙ එයාට. ‘විප්ප මුත්තස්ස සබ්බධි’ සියළු තැනින් ම මිදිලා ඒ මනස.
ඔන්න ඔය තැන දක්වා එන්ඩයි මේ ටික කළේ. එන්නෙ ඔය ක‍්‍රමයට ඒ ඇත්ත දකින කොට, ස්පර්ශ ආයතන හයේ නොඇලිලා මිදෙනවා. මිදුනහම, ආශ‍්‍රවයන්ගෙන් හිත මිදුනා, කෙලෙසුන්ගෙන් හිත මිදුනා, කියන ඥාණ දර්ශනය පහළ වෙනවා. ඒක අකෝප්‍යයයි. අකෝප්‍යයයි කියන්නේ ඇයි? පොළ`ගගෙ විෂ නැහැ කියල ඒක කරේ දාගන්නවා කියන එකක් වැඩිහිටි කෙනෙකුට වෙනව ද? නෑ. ඌ විෂමයි කියන එක කොයි විදියකට හිටියත්, හතර ඉරියව්වේ කොයි විදියකට හිටියත් විෂමයි කියන එක එළඹ සිටිනවා. ඒ වගේ ස්පර්ශ ආයතන හය කියන්නේ විෂකුරු සර්පයෙක් වගේ කියන නුවණ එළඹ සිටිනවා. ඒ හින්දා ඒක මම, මගේ කියල, ගන්නවා කියල එකක් යෙදෙන්නෙ නැහැ. ඒ තණ්හාවෙන් මිදිලා කියන කාරණාව, ඒ විමුක්තිය අකෝප්‍යයි කියන්නේ ඒ නිසා.
ස්පර්ශ ආයතන හයෙන් මිදුනු මනසක් පවතිනවා, ස්පර්ශ ආයතන හය උපාදාන නොකොට. අන්න ඒ වගේ මනසක් හදාගත්තහම එතෙන්ට ‘දිට්ඨෙ දිට්ඨ මත්තං සුතේ සුත මත්තං - මුතේ මුත මත්තං විඤ්ඤාතෙ විඤ්ඤාත මත්තං’ කියනව. දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බවත් එළඹ සිටිනවා. මේ පැත්ත බලල අනිත් පැත්ත බලන කොට ඉස්සෙල්ල දැකපු එක තියෙනවා කියන හැ`ගීම නැහැ. නිරුද්ධයි. දැන් අපිට වෙන්නේ වටපිටාවත් බලලා එකක් බලනකොට, අනික් ඔක්කොම තියෙනවනේ. එතකොට ඒ ඔක්කොම මැද්දෙ ඉන්නෙ. විමුක්ති මනසක් තියෙන කෙනාට එක පැත්තක් බලලා, අනික් පැත්ත බලන කොට අර දැකපු දේ නිරුද්ධයි.
ඔය විදිහට ගත්තහම හටගන්න ස්කන්ධ ටික හැරෙන්න අනික් හැම පැත්තකම ශුන්‍යතාවය කියන තැන එළඹ සිටිනවා. ඒ හටගත්ත ස්කන්ධය ද හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ‘යං කිංචි සමුදය ධම්මං - සබ්බංතං නිරෝධ ධම්මං’ කියන තැන එළඹ සිටිනවා ස්පර්ශ ආයතන හයම. මෙන්න මේකට කියනව සෝපදිශේෂ නිබ්බාන. ඒ ටික උපකාරයි. අනුපදිශේෂ පරිනිවානය සඳහා.
ඉතින් මෙන්න මෙහෙමයි නිවන් දකිනවා කියන එක වෙන්නෙ. ඒ සඳහායි අපි භාවනා කරන්නෙ. කියන දැනුම තියාගන්න. තියාගෙන ආශ‍්‍රවයන්ගෙන් මිදෙන. කෙලෙසුන්ගෙන් මිදෙන විදිහට නුවණින් මෙනෙහි කරන්න.
ඒක ගන්ඩ මේ කායගතා සතියේ ඉඳලා, ඉස්සෙල්ල රූපෙන් පටන් ගන්න. සීලයක පිහිටලා. සමථ කමටහනක් හුරු කරන්න. මේ සති නිමිත්තෙම හිත තබාගෙන. සමථ කමටහනක් හුරුකරමින්, සමථ කමටහනක හිත තබාගෙන හිත වඩමින්, නිතරම ආධ්‍යාත්මික බාහිර සවිඤ්ඤාණක රූප ගැන, ඇහැට පෙනෙන මට්ටම ඉක්මවා ගිය නුවණකින් මෙනෙහි කිරීම හුරු කරන්න. ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින, රෙදිපිළි ටික හෝදන, වළං පි`ගන් ටික හෝදන, හැම මොහොතක ම. භාවනාවට වෙලාවක් නැහැ. මේ වගේ පන්තිවලට ඒමෙන් වෙන්නෙ ගෙදර දොරේදි වුනත් කරන්න යමක් අළුතෙන් ඉගෙන ගන්නවා. අපි පුරුදු පුහුණුවක් වෙනවා.
අද මේ මොහොතෙ දි මේ ස්ථානයට ඇවිල්ල මේ කරන ටික, ඉගෙන ගත්ත ටික, එතනින් නතර කරන්න නෙමෙයි. මේ ඉගෙන ගත්ත ටිකක්, මෙහෙමයි භාවනා කරන්නෙ කියල දැන් ගෙදර ගිහිල්ල ඒක කටයුතුයි. මෙතන දී කරල අපි හුරුවක් ගන්නෙ. එතන දැන් භාවනා පන්ති ඉවරයි කියලා ආයෙත් දැන් ගෙදර ගිහිල්ල පුහුණු නොවී ඉන්න නෙමෙයි. මෙතනදී දැන් අපි හුරුවුනා. මේ විදිහට එහෙනම් ටික ටික හරි ප‍්‍රායෝගික විය යුතුයි ගෙදරදී කියන එක දැන ගන්නයි, මෙතනින් අවසන් කරන්න නෙමෙයි කියන කාරණාව මතක තියාගන්න. ඊට පස්සෙ එක කාරණාවක් පින්වතුනි, මේක මම හැමදාම මතක් කරන එකක්. මේ සෙල්ලමක් කරනව නම් නෙමෙයි. ටිකක් හිතන්න. ‘තත‍්‍ර තත‍්‍රාභි නන්දිනි’ ඒ ඒ තැන ඇලෙනවා මේ හිතේ ස්වභාවය.
අද අපි මෙතන උපන්නහම බලන්න මේ පින්වතුන්ගේ හිත මොනතරම් අමාරුද කියල බාහිරෙන් ඇදල ගන්න. දුව කෙරෙහි, පුතා කෙරෙහි, අම්ම කෙරෙහි, තාත්තා කෙරෙහි ගෙවල් දොරවල් කෙරෙහි මොන තරම් බැ`දිල ද කියලා මේ හිතෙන්. ඒ වස්තු හින්දා නෙමෙයි. මේ හිතේ තියෙන ගතියෙ ස්වභාවය. ඊගාවට තියෙන දේ තමයි ආයෙත් ප‍්‍රතිසන්ධි වශයෙන් ගියොත් මේවා ඔක්කොම අතහැරලා, එතනත් ඒ විදිහට ම ඒ අම්ම අම්මම වෙනවා. තාත්තා තාත්තම වෙනවා. දරුවො දරුවො ම වෙනවා. මුළු ජීවිතේ ම තමන් ඇලිච්ච දේ වෙනුවෙන් කැප කරන්න හරි පුළුවන් වෙනවා. මේ හිතේ තියෙන කෙලේසෙ ගතිය.
මෙන්න මේකමයි භයානක. ඉතින් හැම තැනම දුක් දෙන්නෙ, ඒ කියන්නෙ අම්ම මැරුණහම, තාත්ත මැරුණහම, දුව මැරුණහම, පුතා මැරුණහම, ඒ වස්තුව නැති වුනාම, ස්වල්ප වෙහෙසක් දුකක් නෙමෙයි එන්නෙ. ඉතින් අන්තිමට ගත්තහම දැන් දරුවා ඉන්නව. දරුව හින්ද දාල යන්න බැරිනම් තව ඒක සාධාරණයි. නමුත් දරුව කියන කමත් පෙන්නල, දරුවට හොඳයි කියන කමත් පෙන්නල මේ හිතේ ඇතිවන කෙලේසෙමයි. මේ ඔක්කොම ටික කරලා තියෙන්නෙ. මේ ගතියමයි පින්වතුනි, ඊගාව ජීවිතේටත් ඇතිවෙන්නේ, ඊගාව ජීවිතේටත් ඇති වෙන්නෙ.
මේ සිතක ඇති බන්දවන කාන්දම් ගතිය. අඩුවෙන්න අද අද පුරුදු පුහුණු නොකළොත් මේ ගතිය අඩුවෙනව කියන එකක් නැහැ. එන්ඩ එන්ඩ දලූ දානවා. රූපය එන්න එන්න දිරනවා. තණ්හාව එන්න එන්න තරුණ වෙනවා. වෙනස ඔච්චරයි. ඒ හින්දා නුවණින් කටයුතු කරන්න. මේ හිත මගේ දේවල්, මගේ අය, මමම කටයුතුයි කියලා පෙන්නුවට මේ හිතේ තියෙන ගතියෙම ස්වභාවය කියල දකින්න. දැකලා අප‍්‍රමාදීව සිතේ තියෙන මේ කෙලේසය අයින් කරගන්න කටයුතු කරන්න. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ හිතේ තියෙන එක එක දේවල් වලට තදින් ඇලෙනකම අඩුවෙන්නයි ඕනේ. ඒක අඩු කරගන්න බැහැ. ඇත්ත ඇති සැටියෙ දැකීම නිසා වෙන්ඩ ඕනෙ එකක්. ඒකයි කෙලෙසුන්ගෙන් මිදීම කියන එක මේ සීල සමාධි ප‍්‍රඥා කියන ධර්මතාවය නිසා කෙලෙසුන්ගෙන් මිදෙන්ඩ ඕනේ. ඒ ආශ‍්‍රවයන්ගෙන් මිදෙන්න, කෙලෙසුන්ගෙන් මිදෙන්න. මේ තදින් එක එක දේවල් අල්ලන ගතියෙන් මිදෙන්ඩ හිත මුදවගන්න තියෙන ක‍්‍රමයක් මේ සීල සමාධි ප‍්‍රඥා. අද මේ පින්වතුන්ට මොන විදිහකටවත් මිදෙන්ඩ බැරි දරු සෙනෙහස, ආදරය, ආලය, ඕනෑකම, සෙනෙහස ගෙවල් දොරවල්වලට ඇති කැමැත්ත, බැ`දීම කියන ටිකක් තියෙනවනෙ. මේක මේ පින්වතුන්ට හිතන්නවත් බැහැ. දරුවො නෙමෙයි කියල හිතන්නවත් බැහැ. කියන තැනකින් බැ`දිලා. ඔය හිතේ තියෙන ගති. ඔය ගතියයි මිදෙන්නෙ. ඔය ගතිය අතහැරවා ගන්න පුද්ගල භාවයෙන් කරන්න බැහැ. ඒ හින්ද ඒ ගතිය කපන්න, ඒ ගතියෙන් මිදෙන්න, මේ සීල සමාධි ප‍්‍රඥා තියෙන්නෙ කියල දකින්න. වෙන ක‍්‍රමයක් නැහැ. ඒ නිසා අප‍්‍රමාදීව සීල සමාධි ප‍්‍රඥා කියන ටික ඇසුරු කරන්න. ඇසුරු කරනකොට මේ හිතේ තියෙන මේ ගතිය ටික ටික ටික ටික අඩුවෙලා මේ කෙලේසයෙන් මිදෙයි. එහෙම වුනොත් පිරිනිවෙනවා කියන එක ධර්මතාවයක්. ඒ නිසා හැම දෙනාම නිවන් දකිනවා කියන්නේ මෙන්න මේ කෙලේසයෙන් තණ්හාවෙන් මිදෙන්න. තණ්හා නිරෝධය නිවනයි කියල බුදු රජාණන්වහන්සේ පෙන්නන්නේ ඒ නිසයි.
තණ්හක්‍ඛයෝ නිරෝධො නිබ්බාණං කියල පෙන්වන්නේ ඒ නිසයි. රාගක්‍ඛයෝ, දොෂක්‍ඛයො, මොහක්‍ඛයෝ නිබ්බාණං කියල පෙන්වන්නේ ඒ නිසයි. මේ ගතිය තමයි මේවා උපාදානය කරන්නේ. ඒ නිසයි නැවතත් යන්නෙ. ඒ ගතිය මේ එක එක දේවල්වලට තදින් බැ`දිලා. ජීවිතය පසාරු කරගෙන යන්න. හරියට මහ විශාල ගහක් හාත්පස වෙලාගෙන ඉන්න වැලක් වගේ. තෘෂ්ණාව නමැති ලතාව මුළු ආත්ම භාවයම වෙලාගෙන තියෙන්නෙ. ඒක හමද, මස් ද, නහර ද, ඇට ද, ඇට මිදුලූ ද, විනිවිද පසාකරගෙන ගිහිල්ල තියෙන්නෙ. එතකොට ජීවිතයෙන් හිතල නම් අයින් කරනව කියන එකක් සිතිමේ පරාසය තුල ඉඳගෙන අයින් කරනව කියන එකක් හිතන්ඩ වත් බෑ. අයින් කරන දේකිනුත් වෙලිලා සිටින නිසා., එයාවත් වෙලාගෙන ඉන්නෙ. එකම උපායයි තියෙන්නෙ. මේ සීල සමාධි ප‍්‍රඥා කියන සීලයක පිහිටලා. සමථ කමටහනකින් සිත වඩමින් නුවණින් මෙනෙහි කරන්න.
තමන්ගේ පිහිට තමන්මයි. ධර්මයෙන් ම පිහිටයි. තමන්ගෙම පිහිටයි. තමන්ගෙම කියල පෙන්නන්නෙ ඒකයි. වෙන පිහිටක් නැහැ කියල. ඔය ටික කරනකොට මේ කෙලේසයෙන් මිදෙනවා. ඔය ගතියෙන් මිදෙනවා. සසර හැමදාම අපිව මෙතැනට ගෙනාවෙ ඔය ගතිය. ඔන්න ඔය ගතිය අත හැරෙන්න තමයි, මේ හිතේ තියෙන්නෙ ඔය බෙහෙත. වෙන එකම ක‍්‍රමයක්වත් නැහැ. යම්තාක් දරු සෙනෙහසින් බැ`දිලා දුක් වි`දීනම්, පීඩා වි`දීනම්, කුමන දෙයක් අරභයා හරි ඒ හිතේ තියෙන තද කහට වගේ තද ඇල්ම, තද ගෙතීම, තද බැ`දීම කියන එක අත හැරෙනවා. අතහැරුනාම අතහැරුනා කියන නුවණක් එනවා. එතකොට දැනෙන පහසුව කොච්චර නම් වෙයිද? එදාට ඒක දුකක් වෙන්නෙ නැහැ. එයා දන්නවා අද අපි සැපයි කියල හිතාගෙන ඉන්න තැන තිබුන රළුකම කොච්චර ද කියල තේරෙයි එයාට. මෙන්න මේ වගේ තැනකට යන්නයි මේ ටික තියෙන්නෙ. සසරෙදි හැමදාම අපිට ඒ ස්වභාවය තේරුම් කරගෙන ඒ කෙලේසය ගෙවාගන්න බැරිවෙච්ච නිසයි ආවේ.
අද දවසෙදිත් මේ බුද්ධෝත්පාද කාලෙ මනුස්ස ජීවිතය ලැබිල තියෙනවා. මේ තණ්හාවෙන් හිත මුදවගන්න හැම වටපිටාවක් ම ලැබිල තියෙනවා. හැම දෙනාම අප‍්‍රමාදීව උත්සාහවත් වෙන්න. මේ අර්ථය පැත්තකින් තබාගෙන තමන් කරන භාවනාවක් කරන්න. කරන කමටහන්වල දෝෂයක් නැහැ. නමුත් මම කියන්නේ කමටහනක් වඩද්දී කුමක් සඳහා ද කියන ටික පැහැදිලි කර නොගැනීමයි තියෙන දෝෂය කියන එකයි හැමදාම මතක් කරන්නෙ. ඒ නිසා අපි භාවනා කරනව කියල කියන්නෙ මෙන්න මේ වගේ අර්ථයක් සම්පාදනය කරගන්නයි යන්නෙ කියන කාරණාව තේරුම් කරගෙන භාවනා කරන්න.
දැන් මම ඔය කියල දුන්න ටිකත් මෙනෙහි කරන්න. තම තමන් ඉගෙන ගත්ත කමටහනක් උදව් කරගන්න. ඒවායේ දෝෂ නැහැ. හැබැයි මේ දහම් පරියායේ කියල දුන්න න්‍යාය අමතක කරන්ඩ හොඳ නැහැ. භාවනාව මේ සඳහායි කියන කාරණාව මතක තියාගන්න.
හැමදෙනාට ම තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අතට ගත් හැමදේම දාලා හිතට ගත් දේ සසරට අරගෙන යනවා

 ඇඹිලිපිටියේ ආනන්ද හිමි 
ධර්මයට ඇති කැමැත්ත සමඟ මේ ආත්ම බවයේදී ම මාර්ග ඵල අවබෝධයක් ලබන්න කැමැතියි කියන ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඊළඟට අවශ්‍ය වන කාරණය තමයි “වීර්ය” කියන්නේ. වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාව තිබුණත් එය කර ගැනීමට නොහැකි නම් එයට හේතුව එවැනි පුද්ගලයින් තුළ එතැනින් එහාට යෑමට අවශ්‍ය කරන වීර්ය නොමැති කමයි. ධර්මය ශ්‍රවණය කළත් සමහර පුද්ගලයින්ට ධර්මය පිළිබඳව මනසිකාරය කරන්නට වීර්යය මදි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප හැමදෙනාටම දෙලොවම යහපත පිණිස පවතින උතුම් සද්ධර්මයක් “ධම්මං විනානන්ති සුඛා තන්තා” ධර්මය හැරෙන්න මනුස්සයෙකුට ඉතිරි වන දෙයක් අවසානයේ නැහැ. අතට ගත්ත හැමදෙයක්ම දාලා යද්දී හිතට ගත්ත දේවල් සසරට අරන් යද්දී ඒ සසර ගමන රැකගන්න යහපත් කර ගන්න නිවන් දකින්න තියෙන්නේ බුදු මඟ නැතිනම් බුදුරජාණන් වහන්සේ ගත් මඟ පමණයි. අප සියලු දෙනාම ඒ බුදු මග ගමන් කරන පිරිසක් ලෙස “බුද්ධං සරණං ගච්ඡාමි” මම බුදු හාමුදුරුවෝ ගිය මග යන කෙනෙක් කියන ප්‍රකාශය නිරන්තරයෙන් පවසනවා.බුදුරජාණන් වහන්සේගේ බුදු මග ගමන් කිරීම කියලා කියන්නේ ලෞකික ජීවිතයට වත් හානියක් සිදුවන දෙයක් නොවෙයි. සියලුම ජීවන ප්‍රතිපත්තිවල සිටිමින්ම වඩා සුවපත් වූද, දැහැමි වූද, සරල වූද, ක්‍රමවත් වූද මානසික සුවතාවයෙන් යුක්තව ගමන් කිරීමට අවශ්‍ය කරන ඥානය හික්මීම ලබා දෙන ධර්මයක්. ඒ නිසා අප වඩ වඩාත් ගැඹුරින් දහම තේරුම් කර ගන්න ඕනේ.
බුදුහාමුදුරුවන් අපට මතක් කළේ හැමදේම නැසෙනවාය , මැරෙනවාය කියන කාරණය පමණක් නෙමෙයි. එය ඉතාම ගාම්භීර ධර්මයක් අපේ සිත පිළිබඳව, අප අපේ සිත මැනවින් අවබෝධ කරගත් විට අපට පුළුවන්කම තිබෙනවා මානසික ගැටලු වලින් තොරව ජීවත් වන්නට වඩාත් පී‍්‍රතියෙන් සතුටින් ජීවත්වෙන්න. “යමක් දුක නම් මහණෙනි "එය අතහරින්න" මෙතනදී මහණෙනි නැත්නම් “භික්ඛවේ” කියන වචනයෙන් අදහස් කරන්නේ සසර භය දකින ඕනෑම කෙනෙක්. එකල බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම අමතලා තියෙන්නේ භික්ඛවේ කියලා. ඒ සියලු දෙනාම මේ සසර ගමනේ ගැටලු දකින අය, පැවැත්මේ ගැටලු දකින අය, සසර බය දකින අය, ඒවායින් නිදහස් වෙන්න උත්සාහ කරන අය, එනිසයි භික්ඛවේ යනුවෙන් හඳුන්වලා තියෙන්නේ. “යංඛෝ භික්ඛවේ දුක්ඛං තත්‍රතේ චන්දෝ පහාතබ්බෝති” යමක් දුක නම් මහණෙනි,’ එය අතහරින්න, සාමාන්‍යයෙන් මානව ලක්ෂණයත් එයයි. විදුලි සරක් වැදුනොත් වයර් එක ඉක්මනින් අතහරිනවා, අත පිච්චුනොත් එතනින් අත ඉවතට ගන්නවා. කටුවක් ඇනුනොත් වේගයෙන් කකුල එතනින් ඉවත් කර ගන්නවා. අන්න ඒ වගේ තමයි යමක් දුක බව දැණුන සැණින් එතනින් ඉවත් වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ අපේ මනස දෙසත් බලන්න. බලන්න ගැටලුකාරි මානසික ස්වභාවයන් වල අප වෙළිලා ඉන්නවා. ඒ මානසික ස්වභාවයන්ගෙනුත් අප ඉවත් වෙන්න ඕනේ.අන්න ඒ වගේ. මේ මානසික සොභාවය හඳුනා ගන්නවා. වගේ ඉන් ඉවත්වීම සඳහාත් ක්‍රමවත් ගමන් මගක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දොරක් අරින්න යතුරක් වුවමනා කරනවා වගේම නිවන් දකින්නත් ක්‍රමවේදයක් තියෙනවා. එයට ප්‍රතිපදාවක් තියනවා. ඒ තමයි එය ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් හඳුනාගත් කෙනෙකුගෙන් සද්ධර්මය ශ්‍රවණය කිරීම හා උපදෙස් ආදිය ලැබීම එය තමන්ට ශක්තිමත් බලයක් බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට පෙන්වලා දීලා තියෙනවා. එහිදී අපට පෙන්වා දෙනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිළිබඳව. මෙය නිවන් මඟට ඉතාම වැදගත් කාරණයක් බව, ශ්‍රද්ධාව කියන එක එක් එක් කාරණා ඔස්සේ මිනිසුන් යොදාගෙන තිබෙනවා. නමුත් එහි වැදගත් දේ තමයි නිර්වාණය කරා යොමුවූ ශ්‍රද්ධාව, එය හුදෙක් පුද්ගලයෙක් කරා ඇති වූ ශ්‍රද්ධාවක් නෙමෙයි. එය නිර්වාණ ධර්මය කරා ඇතිවුණ ශ්‍රද්ධාවක් . එය තමයි වඩාත් වටින්නේ, සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිවෙන්න නම් යම් පමණක හෝ ධර්මය පිළිබදව අවබෝධයක් තියෙන්න ඕනේ. එනම් ධර්මය අවබෝධ කර ගැනීමටය, මට දුකෙන් නිදහස් වීමට අවශ්‍ය කරනවයි කියන කාරණයත් සමඟම ධර්මයට ඇති කැමැත්ත නැතිනම් ශ්‍රද්ධාව ඇතිවන්න ඕනේ. ධර්මයට ඇති කැමැත්ත සමඟ මේ ආත්ම බවයේදී ම මාර්ග ඵල අවබෝධයක් ලබන්න කැමැතියි කියන ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඊළඟට අවශ්‍ය වන කාරණය තමයි “වීර්ය” කියන්නේ. වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාව තිබුණත් එය කර ගැනීමට නොහැකි නම් එයට හේතුව එවැනි පුද්ගලයින් තුළ එතැනින් එහාට යෑමට අවශ්‍ය කරන වීර්ය නොමැති කමයි. ධර්මය ශ්‍රවණය කළත් සමහර පුද්ගලයින්ට ධර්මය පිළිබඳව මනසිකාරය කරන්නට වීර්යය මදි. එවැනි අයත් අප අතරේ ඉන්නවා. සමහර පින්වතුන්ට නිවන කරා යන්න ශ්‍රද්ධාව වගේම වීර්යයත් තියෙනවා. එවැනි අයට ධර්මය කරා තමන්ගේ සිත යොමු කරවන්න පුළුවන්. එයට තමන්ගේ ඥානය මෙහෙය වීමේ හැකියාව තියෙනවා. 
ඒවගේම ඒ ලබන ධර්මය ඔස්සේ ප්‍රතිලාභයක් ලැබෙන තෙක්ම මනැස මෙහෙය වීමේ ශක්තියක් නොඅඩුව තියෙනවා. ඒක තමයි වීර්යය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අප හැම දෙනාටම පෙන්නලා දුන්නා විර්යවන්ත වෙන්න ඕනේ කියන කාරණය මේ හිත ජය ගන්න, හිත තේරුම් කරගන්න එයට බුදුරජාණන් වහන්සේ උදාහරණ ලෙස දක්වලා තියෙන්නේ යුද බිමට පිවිසි යුද ඇතෙක් වගේ වීර්ය වන්ත වෙන්න කියලා මේ ධර්මය අවබෝධ කරගත්ත නම්. එදා බුදුරජාණන් වහන්සේ අතිශය දුෂ්කර ක්‍රියාවක යෙදී තේරුම් කරගත්ත මේ අසිරිමත් ධර්මය අද අපට පුළුවන් ඉතාම පහසුකම් සහිතව තේරුම් කරගන්න, සද්ධර්මය අහන්න, නිවසේ සිට වුවද අන්තර්ජාලය ඔස්සේ වුනත් පහසුවෙන් ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන්. මෙම ධර්මයට ආගමක්,ජාතියක්, වර්ගයක් නැහැ. මෙය මානව ධර්මයක්. අප සියලු දෙනාම මේ මානව ධර්මය අවබෝධ කරගත යුතුයි. ඒක තමයි තමන්ගේ ජීවිතය සනහන ධර්මය, ජීවිතය සැපවත් කරන, සුවපත් කරන ධර්මය නිර්වාණය කියන්නෙ පරම සුවයක්, එය මැරුණාට පස්සෙ ලැබෙන දෙයක් නෙමෙයි. ජීවත්ව සිටියදී මනුෂ්‍යයෙකු ලබන දෙයක්. නිවන කරා යෑමේදී තවත් සුවිශේෂී බලයක් තමයි සමාධී ඉන්ද්‍රිය කියලා කියන්නේ. සිතේ හටගන්නා ඒකාග්‍රතාවය සමාධිය කියලා අපට හඳුන්වා දෙන්න පුළුවන්. බෞද්ධයකු තුළ නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්න සමාධියක් ඇතිවෙන්න ඕනේ. ඉගෙන ගන්නා ළමයෙකුට අධ්‍යාපන කරුණු පිළිබඳව සමාධියක් ඇති කරගත් විට විභාගය ජයගන්න පහසු වෙනවා වගේම ධර්මය කෙරෙහි සමාධියක් ඇති කරගත් විට එය අවබෝධ කර ගැනීමට පහසු වෙනවා. ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවක්, වීර්යයක් සමාධි බලයක් ගොඩ නඟා ගැනීම කෙනෙකුට ඉතාම වැදගත්. ඊළඟට සුවිශේෂීම කාරණය හැටියට අපට පෙන්නලා දීලා තියෙන්නේ මේ ප්‍රඥා ඉන්ද්‍රිය. මෙය බුදුරජාණන් වහන්සේ ඉතාම අගය කළ ඉන්ද්‍රියක්. ප්‍රඥාව නමැති ඉන්ද්‍රිය හරිම වැදගත් මනුස්සයෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ නිසා මේ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මය ගොඩ නඟා ගන්න ඕනේ. ලෞකික ජීවිතය ගොඩ නඟා ගැනීමටත් ලෝකෝත්තර ජීවිතය ගොඩ නඟා ගැනීමටත් කුමක්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව යම් ස්ථානවලදී හඳුන්වලා දීලා තියෙන්නේ. ආලෝකයක් හැටියට ආලෝකයක් කියන්නේ යම්කිසි කාරණයක් පැහැදිලිව දැකීමේ ගුණයටය. තමන්ට ප්‍රත්‍ය වනදේ, ඇති දේ, වෙනස් වන දේ ආදියෙහි ස්වභාවය තමන්ට හඳුනාගැනීමට ඇති හැකියාවයි. උදාහරණයක් විදිහට තමන්ට තරහ ගිහින් නම් තියෙන්නේ එය අඳුනගන්න පුලුවන් වෙන්න ඕනේ. තරහා අඩු වෙනවා නම් මට තරහා අඩුවෙමින් යන්නේ කියලා පැහැදිලිව දැනගන්න ඕනේ. මගේ හිතට දැඩි ලෝභයක් ඇවිත් නම් ලෝභය ඇති වෙලා තියෙන්නේ ආදි කොට ගෙන ඇති මේ ස්වභාවික තත්ත්වයන් මනා කොට හඳුනා ගන්න පුළුවන් නම් එය තමයි ප්‍රඥාව කියන්නේ. එවැනි ප්‍රඥා ගුණයක් තියෙන අය සිතේ ඇතිවන ස්වභාවයන්ට මුලා වෙන්නෙ නැහැ. 
 යම් යම් කරුණු කාරණා පිළිබඳව තමන්ටම ස්වයං අධ්‍යයනයකින් වටහා ගැනීමට අවකාශයක් දෙමින් තමයි කෙනෙකු තුළ මේ ප්‍රඥාව කියන දෙය වඩන්න ඕනේ. උදාහරණයක් ලෙස බුදුහාමුදුරුවෝ චූලපන්ථක හාමුදුරුවන්ට සුදු රෙදි කඩක් ලබා දීලා පිරිසුදු වේවා කියමින් පිරිමදින්න කිවුවා.තමා පිටින් බැලුවිට මෙහි ඇති ධර්මයක් නැහැ. නමුත් යම් අධ්‍යයනයකින් පහළ වෙන ධර්මය හරි විශිෂ්ටයි. එම ක්‍රියාව රහතන් වහන්සේ නමක් බිහි කළා. ඒ නිසා ඉගෙන ගන්නවට වැඩිය මේ උගන්වන්න බැරි ධර්මය දකින්න අපිත් උත්සාහවත් වෙන්න ඕනේ. ඥානවන්ත වෙන්න ඕනේ. එවිටයි ප්‍රඥාව කියන උත්තරීතර ගුණය අප තුළ පහළ වෙන්නේ. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය තමයි ඕනෑම ගැටලුවක් ඇති වූ විට ගැටලුව හටගන්නේ කොතනින්ද ගැටලුව පවතින්නේ කුමක් නිසාද? ඒ වගේම එය සංසිදින්නේ කොහොමද? සංසිදීමේ මාර්ගය කුමක්ද කියලා නිවැරදිව තේරුම් ගැනීම ඒක හරියට දුක්ඛ, සමුදය, නිරෝධ ,මාර්ග වගේ. ප්‍රඥාවන්තයට තමයි චතුරාර්ය සත්‍ය මනාකොට වැටහෙන්නේ. අන්න ඒ ආකාරයෙන් ධර්මය තම ජීවිතය තුළ ගොඩ නඟා ගන්නා කෙනෙකුට, දියුණු කරගන්නා කෙනෙකුට තමයි මේ සද්ධර්මය කියන දෙය බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන්නේ. මිනිසුන් සතුට සොයන්නේ භෞතික දෙයින්, නමුත් භෞතික දේ තුළ සතුට නැහැ. සතුට පවතින්නේ ධර්මය තුළයි. ධර්මයෙන් සෙවූ විටයි කෙනෙකුට සතුට ලැබෙන්නේ. ආත්ම සංවේදී පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ ධර්මය තමා තුළින් මතුකර ගන්න. ඒ ආත්ම සංවේදී ධර්මය තුළින් හුදෙක් කරුණාව, මෛත්‍රිය, දයාව පමණක් නෙමෙයි කුමක්ද මේ සිත? කුමන ආකාරයකින්ද මේ සිත පවතින්නේ? කුමන ආකාරයකින්ද මේ ලෝභ, දෝෂ, මෝහ ආදී අකුසල ධර්ම, කුසල ධර්ම හටගන්නේ. හිතේ ස්වභාවය කුමක්ද? හිතෙන් නේද සැනසිලිදායක තැනක් කියලා කල්පනා වෙන්නේ. බුදු හාමුදුරුවෝ සොයා ගත්තා සිතේ සැනසිලිදායක තැන. අපට ඒක මතුකර ගන්න බැරිවුනා. අප මතුකර ගන්නේ බිය, සෝකය මසුරුකම, තරහව ආදී දේවල්. නමුත් මේ නිවීම කියන දෙය මතුකර ගන්නේ නැහැ. මාර්ග ඵල ඥානයක් උදා කර ගත්ත ඒ අෂ්ඨ ආර්ය පුද්ගලිකත්වය මතුකර ගන්නේ නැහැ. සැමදෙනාගේම සිත තුළ සැඟවී රහතන් වහන්සේ නමක් රහත් මෙහෙණින් වහන්සේ නමක් ඉන්නවා. නමුත් කෙලෙස් වලට යට වෙලා ඉන්නේ මතුවෙන්න විදිහක් නැහැ. ඒ රහත් ගුණය ඔබේ හිතෙත් තියෙනවා. මතුවෙන්නෙ නැත්තේ කෙලෙස් බර නිසා. ඔබේ හිතෙන් කෙලෙස් දියකර හැරියා නම් ඒ නිවන මතුකර ගන්න පුළුවන් වෙනවා. කොහොමද මේ කෙලෙස් දියකර හරින්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන්නේ තත්තාකාර ධර්මය කියලා. මනසේ ඇති ස්වභාවය එමගින් පෙන්වා දෙනවා. ඒ නිසා තත්තාකාරය කියලා කියන්නේ මේ මනෝභාවයන් තුළින් සාදාගත්තා වූ අවිද්‍යා සහගත ස්වභාවයන් මනා කොට පෙන්වා දීමයි. එය තේරුම් ගැනීම සඳහා මනා කොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කර ගනිමින්, වීර්ය ඉන්ද්‍රිය දියුණු කර ගනිමින්, සමාධි ඉන්ද්‍රිය දියුණු කර ගනිමින්, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කර ගනිමින් සද්ධර්මය ශ්‍රවණය කරනවා නම් ධර්මය ගැඹුරින් සිතා බලා අධ්‍යයනය කරමින් තම ජීවිතයට ගලපා ගන්නවා නම් සද්ධර්මයේ ප්‍රතිලාභය අප සියලු දෙනාටම භුක්ති විඳින්න පුළුවන් වේවි!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මේ ජීවිතයේදීම නිවන් සැප අත් විඳීන්න පුළුවන්

දන්කන්දේ ධම්මරතන හිමි

පංචස්කන්ධය නිරන්තරයෙන්ම අනිත්‍යයට යන හැටිත්, අනිත්‍යයට යාම නිසාම නිරුද්ධ වී යන හැටිත් නිරුද්ධ වී ගිය කිසිම දෙයක ආත්මයක්, මමෙක්, මගේ බවක් ඉතිරි නොවන හැටිත් ප්‍රත්‍යක්ෂ ලෙසම භාවනාවෙන් පෙනී ගියහොත් මේ ජීවිතයේදීම නිවන අත්දකින්නට පුළුවන්.
සතර සම්මප්පධාන – සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වා ඇති සම්මා වායාමය පිළිබඳ කරුණුමයි. සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නෙත්,
සතර ඍධිපාද :– නිවන් දැකීම අනුව කියනවා නම් ඍධිපාද ධර්ම කියන්නේ ධ්‍යාන මාර්ගඵල හා නිවන අවබෝධ කිරීමට අනිවාර්යයෙන්ම ඇතිකර ගත යුතු ධර්ම වලට. ඒවා ඡන්ද ඍධිපාද, චිත්ත ඍධිපාද , විරිය ඍධිපාද , වීමංසා ඍධිපාද කියා හතරක් තිබෙනවා. මේවා අතුරෙන් අඩු වශයෙන් එකක්වත් අනිවාර්යයෙන් ම ඇතිකරගත යුතුමයි. මේවා ඍධිපාද ධර්ම වීමට නම්,කවර බාධකයක් ආවත්, මොන මොන පීඩා ආවත්, ඒ සැම එකක්ම මැඩගෙන මම බලාපොරොත්තු වන දෙය ලබාගෙන මිස නවතින්නේ නැහැ. නො වරදවාම ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වන තෙක්ම මම මේ භාවනාව කරන එක කරනවා මයි. ආදී වශයෙන් ඉතා දැඩි සේ, බා නොතබන ලද ඡන්ද ආදි ඍද්ධිපාද ධර්මයන් ඇතිකර ගන්නට ඕනෑ. එහෙම නැතිව එක පාරටම ඡන්දයක් සිතක්, වීර්යයක්, ප්‍රඥාවක් ඇතිවු පමණින් ඒවා ඍද්ධිපාද වන්නේ නැහැ.
ඡන්ද ඍද්ධිපාද – ඡන්ද කියන්නේ තමන් ප්‍රාර්ථනා කරන, බලාපොරොත්තු වන ධ්‍යාන, සෝවාන් ආදී මාර්ග ඵල හා නිවන කොහොම හරි ලබා ගැනීමට ඇති කැමැත්තට.
චිත්ත ඍද්ධිපාද – ධ්‍යාන මාර්ගඵල නිර්වාණය අත්දැකීමට ඇතිකර ගත යුතු බලවත් සිතක් ඇතිකර ගැනීමටයි චිත්ත කියා කියන්නේ.
විරිය ඍද්ධිපාද :– ඍද්ධිපාද ධර්මයක් සේ ඇතිකර ගත යුතු වීර්යයක් නිවන් දැකීමට අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි.
වීමංසා ඍද්ධිපාද :– වීමංසා කියන්නේ ප්‍රඥාවට , සසරේ විඳින ලද දුකක්, සසරෙහි රැඳී සිටීමේ ඇති භයානකකමත්, නිවන් අවබෝධ කිරීමේ ඇති වටිනාකමත් ආදී කරුණු නුවණින් අවබෝධවීම නිසා ඇතිවන ප්‍රඥාවට
පඤ්චේන්ද්‍රිය :– ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියා ඉන්ද්‍රිය ධර්ම පහක් තිබෙනවා. මෙම ඉන්ද්‍රිය පහ සම්පූර්ණයෙන්ම දියුණු කළහොත් රහත් විය හැකි බවත්, ඊට වඩා අඩුවෙන් දියුණු කළොත් අනාගාමි විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් සකදාගාමී විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළහොත් සෝවාන් වීමටත් ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් ධම්මානුසාරි කෙනකු වීමට හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළ කෙනෙකුට සද්ධානුසාරි පුද්ගලයකු විය හැකි බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා. එම නිසා මෙම ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීමේ ඇති වටිනාකම තේරුම් ගන්න.
අනෙක් අයට වඩා අධිපති බවක්, ඉසුරු බවක් යම් ස්ථානයක අධිපතියෙක් උසුලනවා වගේ, වෙනත් කරුණු අභිභවා ශ්‍රද්ධා ආදි ධර්ම අධිපති බවක් උසුලන නිසයි ඉන්ද්‍රිය කියන්නේ. උදාහරණ වශයෙන් ශ්‍රද්ධාව විනාශ වී යන කරුණු එන අවස්ථාවක හරි ශ්‍රද්ධාව නො සැලී පවතිනවා නම් ඒක ඉන්ද්‍රිය ධර්මයක්. ශාරීරික අසනීපගති හරි, වෙනත් නොයෙකුත් කරුණු නිසා හරි ශරීරයේ වීර්යය නැතිවී ගියත්, සිතේ වීර්ය පවතිනවා නම් ඒකත් ඉන්ද්‍රිය ධර්මයක් සම්මා සතිය නැතිවී යන රාගය තරහව ආදී කෙලෙස් පැන නගින වේලාවක වුණත් ඒ ක්ලේශ යට කරගෙන සතිය සිහිවී කෙලෙස් වලින් සිත මුදවා ගෙන සම්මා සතියෙන් කටයුතු කරන්නට හැකි නම්, ඒ වගේම සමාධිය පවත්වා ගෙන යා නොහැකි ශබ්ද වලින් පිරුණු විශාල ජනකායක් මැද හරි සමාධියෙන් ඉන්නට පුළුවන් නම් ඒවත් ඉන්ද්‍රිය ධර්ම,ඇසුරු කිරීමට ලැබෙන්නේ ලෞකික දේ වලම පැටලී සිටින, ප්‍රඥාව නැතිවී යන දේම කියන අය මධ්‍යයේ වුණත් විදර්ශනාමය ප්‍රඥාවකින් සිටිය හැකි නම් එයත් ඉන්ද්‍රිය ධර්මයක්.
ශ්‍රද්ධාව – බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ දකිමින්, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අදහා ගෙන,උන්වහන්සේ කෙරෙහි ඇතිකර ගත යුතු බලවත් ශ්‍රද්ධාවක් නිවන් දැකීමට බලාපොරොත්තු වන කෙනකු විසින් ඇතිකර ගත යුතුමයි. ධර්මයේ පවත්නා මේ ජීවිතයේදීම අත්දැකිය හැකි සාන්දිට්ඨික ආදි ගුණ දකිමින් ධර්මය කෙරෙහි ඇති කරගනු ලබන ශ්‍රද්ධාවත්, නිර්වාණය අවබෝධ කරගත් සංඝයා ළඟ පවත්නා සුපටිපන්න ආදී ගුණ දකිමින් සංඝයා කෙරෙහි ඇති කරගත යුතු ශ්‍රද්ධාවත් තිබීම නිවන් අත්දැකීමට අවශ්‍ය දෙයක්.
වීර්යය – ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම අංගයේ දක්වා ඇති සතර ආකාරයෙන් ඇතිකර ගත යුතු වීර්යයක් නිවන් දැකීමට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
සතිය :– සතින්ද්‍රිය කුමක්ද කියා විමසා, බුදුරජාණන් වහන්සේ එය විස්තර කර ඇත්තේ “බොහෝ ඈත සිදුවු දෙයක් හෝ කරන ලද හෝ කියන ලද දෙයක් සිහි කිරීමට හැකි බලවත් සිහියකින් යුතුව, කායානුපස්සනා ආදී සතර සතිපට්ඨානය ධර්ම දියුණු කරමින් වාසය කරයි” කියලයි. මේ විධියට සතින්ද්‍රිය දියුණු කිරීමට උත්සාහ ගැනීම කළ හැකි නම් ඒක ඉතා හොඳයි. එහෙම කරන්නට නො හැකි නම් කලින් සම්මා සතිය දියුණු කිරීමට කියා ඇති ආකාරයෙන් හරි සතිය දියුණු කර ගැනීමට උත්සාහ ගන්න.
සමාධිය :– සියල්ල අතහැර ලබන නිර්වාණය අරමුණු කොට සිතේ එකඟබවක් සමාධියක් ඇතිකරගෙන, 1-2-3-4 රූපාවචර ධ්‍යාන වලට සමවැදී සිටීම සමාධින්ද්‍රිය බවයි බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ. කවර ආකාරයකින් හරි සමාධිය දියුණු කර ගැනීම නිවන් දැකීමට ඉතාමත්ම අවශ්‍ය දෙයක්.
ප්‍රඥාව – පංචස්කන්ධයන් ගේ ඇතිවීම නැතිවීම අත්දැකිය හැකි, නිවනට පත්කරනු ලබන ප්‍රඥාවකින් යුතුව, දුක්ඛ, සමුදය, , නිරෝධ, මාර්ග කියන චතුරාර්ය සත්‍යයන් යථා පරිදි අත්දකින ප්‍රඥාව පංචේන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ විධියට අප පංචේන්ද්‍රිය දියුණු කර ගත යුතුමයි නිවන අත්දැකීමට.
පඤ්චබල – ශ්‍රද්ධා, විරිය, සති, සමාධි , ප්‍රඥා කියන කොටස් පහම බල ධර්ම වශයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවන් තිබෙනවා. හරියට බලවන්තයෙක් දුබලයන් යටකරගෙන නැගී සිටිනවා වගේ. අශ්‍රද්ධාව මතුවී එන බොහෝ කරුණු මධ්‍යයේ වුණත්, ශ්‍රද්ධාව නො සැලී තිබෙනවා නම් ඒක ශ්‍රද්ධා බලයක්, මේ වගේම අනෙක් බල ධර්ම හතරක් තේරුම් ගන්න.
සත්ත බොජ්ඣංග හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය – මීට කලින් මේවා විස්තර කර තිබෙන නිසා නැවත ඒ ගැන විස්තරයක් අවශ්‍ය වන්නේ නැහැ.
මේ දක්වා කීවේ නිවන් දැකීමට දියුණු කරගත යුතු ත්‍රිශික්ෂාව , ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන කරුණු පිළිබඳව කෙටි විස්තරයක් පමණයි .

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලස්සනවී ඉපදීම සඳහා බලපාන කර්මය

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් - පහත් භාවයට) කරුණු විමසීය.
“කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”?
එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් - පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි.
“කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං - හීනප්පණීතතායාතී”
යමෙක් ලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ නොගැනීම හෙවන් අද්වේශය නැමති කුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.
== සුරූපී වීමට හෙවත් ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය ==
ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න ඛ්‍යාපජ්ජති න පතිටඨියති න කොපඤ්ච දොසඤ්ච අප්පච චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකො හොති. පාසාදිකසංවත් තනිකා එසා, මාණව, පටිපදා යදිදං - අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි චුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න බයාපජ්ජති න පතිට්ඨීයති න කොපඤ්ච දොසඤ්ච අප්පචයඤ්ච පාතුකරොති.
මානවයක, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට නැත්තේ වෙයි ද, බොහෝ දෙයක් කීවේ නමුත් නො කිපෙන සුළු වෙයිද, නොගැටෙයි ද, විරුද්ධ බවට නොපැමිණෙයි ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නොකරයි ද, මෙසේ ඔහු හෝ ඇය අන්‍යයන් සමඟ සුහදව සිටීමේ විපාක වශයෙන්, ශරීරයේ බිඳීමෙන් හෙටත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් සුරූපී තැනැත්තෙක් බවට පත් වෙයි. මෙය සුරූපී බව ඇතිවීම සදහා බලපාන ප්‍රතිපදාවයි..
ඉතින් ඔබත් නුවණින් කරුණු විමසා බලන්න ,,අද කාලයේ බොහෝ දෙනෙක් තම රූපය ලස්සන කරගැනීමට කොපමණ වෙහෙසක් දරනවාද?
විශාල මුදලක් වියදම් කරමින් මෙන්ම තම වටිනා කාලය නාස්ති කරමින් ලබා ගන්නා ලස්සන තාවකාලික බව ඔබ පැහැදිලිව දැකගත හැක.
එම ලස්සන බාහිර හේතු නිසා ඉතා ඉක්මණින් වෙන්ව් වීමකට ලක්වෙයි.
නමුත් කුසල කර්මයේ විපාක වශයෙන් ලැබෙන සුරූපී බව ඉක්මණින් විනාශ නොවන බවත් අමතර වෙහෙසකින් තොරව ලැබෙන බවත් පැහැදිලි වේ..
සෑම හටගත් දෙයක්ම හේතුව නැති වීමෙන් විනාශ වන්නේය .සුරූපී බවද සැමදාම එකලෙස නොපවතින බව ඔබ නුවණින් වටහා ගත යුතුය.

ඉතින් ඔබත් අසිරිමත් අවබෝධ ඥාණයක් වූ සර්වතඥාණයෙන් නිරවුල්ව අවබෝද කලාවූ ඉහත ප්‍රතිපදාව අනුගමනය කර නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ජාතියකම සුරූපීව ඉපදීමට හැකිබව ඉතා විශ්වාස යෙන් යුතුව මතක් කර සිටිමු.
== අවලස්සනව ඉපදීම සඳහා බලපාන කර්ම ==
යමෙක් අවලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ ගැනීම හෙවත් ද්වේශය නැමති අකුසල කර්මයයි. එම කාරණය ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.
ඉධ, මාණව, එකච්වො ඉත්ථි වා පුරිසො වා කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති ඛ්‍යාපප්ජති පතිට්ඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤච පාතුකරොති. සො තෙන කම්මෙන ඒවං සමත්තෙන ඒවං සමාදින්තෙන කායස්ස හෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, කො වෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, දුක්ඛණ්ණො හොති, දුක්ඛණ්ණසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති බයාපජ්ජති පතිටඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.
මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ සුළු දෙයකට වුව ද, නිතර නිතර කිපෙන සුළු වෙයි ද, ගැටෙයි ද, විරුද්ධ බවට පැමිණෙයි ද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයිද, මෙසේ ඔහු හෝ ඇය නිතර කිපී අන්‍යයන් සමඟ නිතර ගැටුම් ඇතිකර ගැනීමේ විපාක වශයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ තම විරූපී ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. මෙය විරූපීවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.
ඔබත් නුවණින් කරුණු විමසා බලන්න.අද සමාජයේ කෙතරම් පිරිසක් තරහව හෙවත් ද්වේශය නැමති මනෝ භාවයෙන් පෙලෙන බව ඔබට දැක ,දැන ,,අත්විද ඇතිබව ඔබම මෙනෙහි කර බලන්න.රූපලාවන්‍ය කටයුතුවලට බොහෝ මහන්සි වී මුදල් වියදම් කරත් ,තමන්ට ඇතිවන ද්වේශ සහගත සිතුවිලි පාලනය කර ගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වෙති.
ඔබත් කෝපයෙන් ද්වේශයෙන් අන් අය සමග ගැටුම් ඇතිකර ගන්න යනවාද?
එම කෝපය තුල හටගන්නා වූ කර්ම විපාකය විදිය යුතුවන්නේ ඔබමය එබැවින් ද්වේශයෙන් වැලකී මෛත්‍රී සිතුවිලි වලින් සිත පුරවා ගෙන විරූපී බවින් මිදී නිවන් දක්නා ජාතිදක්වා සුරූපී ශරීර ඇතිව ඉපදිමට අවශ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරන්න....

මහරැඹෑවැවේ පාලිත හිමි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤