දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

‘විඤ්ඤූන්’ පිලිබඳ ප‍්‍රශ්ණය


පසුගිය දින දෙකකදී ස්වාධින රුපවාහිනී සේවයෙහි “සත්‍ය මිත්‍යාව සහ ලෝක විනාශය” සහ “සත්‍ය මිත්‍යාව සහ ලෝක ස්වභාවය” යන මැයින් විකාශය කෙරුණු “දොරමඩලාව” සංවාදාත්මක වැඩසටහන මෙම ලිපියට නිමිති වෙයි. එම වැඩසටහනට සහභාගී වූවන් අතර පුජනිය සංඝයා වහන්සේ දෙනම සහ විශේෂයෙන් මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමා විසින් මතුකරන ලද “විඤ්ඤූන්” පිළිබඳ වන ප්‍රශ්නය මගේ අවධානයට යොමු වෙයි. තවද නලින් ද සිල්වා ගුරුතුමා විසින්ම අපට දායාද කෙරුණු “නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය” ට හැකිතාක් අනුගතව මේ පිළිබඳව කරුණු කිහිපයක් ගොනු කිරීමට මම අදහස් කරමි. එකිනෙකට ඉතා සමීප නමුත් අතිශය පුළුල් දාර්ශනික පසුතලයක් සහිත මාතෘකාවන් දෙකක් මෙසේ රුපවාහිනී වැඩසටහනකින් සාකච්ඡාවට ගැනීමේදී සහභාගී වූ ගරුතර ස්වාමීන්වහන්සේ විසින් අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් “කාලාමයන්”ට දේශනා කරන්නට යෙදුනු, සුත්‍ර පිටකයේ, අංගුත්තර නිකාය, තික නිපාතය, දෙවන පණ්නාසකය, මහා වග්ගයෙහි පස් වන සුත්‍රය හෙවත් කේසපුත්ත (කාලාම) සුත්‍රය උපුටා දක්වන ලදී. කාලාම සුත්‍රය බෙහෙවින් සාකච්ඡාවට බඳුන් වූද, විශේෂයෙන් බොහෝ බටහිර සහ බටහිර ලැදි විද්වතුන්ගේ අවධානය දිනාගත්තතාවූද සුත්‍රයකි. අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මනුෂ්‍යයෝ වෙත ලබා දී ඇති විශ්මිත නිදහස් චින්තනය පිළිබඳව මනා නිදර්ශනයක් ලෙස මෙම සුත්‍රය බෙහෙවින් උපුටා දක්වනු ලබයි. කෙසේ වෙතත් භාග්‍යවතුන් වහන්සේ ගේ මෙම උතුම් සම්බුද්ධ දේශනාව උපුටා දැක්වීමේදී සහ එය ඉදිරිපත් කිරීමේදී සිදුවන සැලකිය යුතු අඩුපාඩු රැසක්‌ ඇති බව තිසරණ සරණ ගිය ශ්‍රද්ධා සිතින් යුතුව, දහම් ගෞරවයෙන් ඒ ගැන සිත යොමු කරන කෙනෙකුට පෙනී යයි. කෙසේ වෙතත් කාලාම සුත්‍රය විග්‍රහ කිරීමේදී මතු වී ඇති මෙම ගැටළුව සාකච්ඡා කිරීම ඊළඟ ලිපිය තෙක් කල තබා “විඤ්ඤූන්” පිලිබඳ ප්‍රශ්නය දැන් සාකච්ඡා කරමු. මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමා විසින් එහිදී ඉදිරිපත් කරන්නට යෙදුනු කරුණ වූයේ, පළමුව සමාජයක්, සංස්කෘතියක්‌ සහ ජාතියක් ලෙස අපටත් දෙවනුව පොදුවේ ලෝකයටත් නිසි මග පෙන්වීමක් සිදු කල හැකි “විඤ්ඤූන්” පිරිසක් පසුගිය සියවස් පහක පමණ කාලය තුල අපට අහිමි වී ඇති බව යයි සිතමි. දෙවනුව ඉහත කී හේතුවත් ඊට අමතරව පසුගිය සියවස් පහක පමණ කාලය තුල බටහිර සංස්කෘතීන්, විශේෂයෙන් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය සහ චින්තනය විසින්ද බටහිර විද්‍යාව යයි අප කියනු ලබන්න විසින්ද බිහි කරන ලද එම සංස්කෘතියෙහි ප්‍රමුඛ දාර්ශනිකයන්, විද්‍යාඥයින් සහ චින්තකයන් අප (අපි යනුවෙන් මා මෙහිදී අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධයන්, දෙවනුව ලෝකයේ ථෙරවාද බෞද්ධ සංස්කෘතීන් සහ අවසන් වශයෙන් සමස්ත මානව සමාජය සහ සත්ත්ව ලෝකයත්ය) ඇතුළු සමස්ත මානව ලෝකයේම “විඥඥූන්” ගේ ස්ථානයට පත්වීම නිසා ලෝකය ගමන කරමින් ඇති විනාශකාරී අඳුරු යුගය මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමාගේ අවධානයට යොමු වෙයි. එතුමාගේම වචන වලින් සඳහන් කරන්නේ නම් “නිව්ටන්”, “අයින්ස්ටයින්”, “මාක්ස්” , “ඇඩම් ස්මිත්” , ආදීන් අපගේද “විඤ්ඤූන්” බවට , නැතහොත් අපගේ “විඤ්ඤූන්” සිටි ස්ථානයට පත්ව තිබීම මහත් අවාසනාවකි. එය විනාශකාරී සහ ඒකාන්තයෙන්ම අන්තරායකරය. අප ඉන් මිදිය යුතුය. වහ වහා ඒ සඳහා ක්‍රියා කල යුතුය. අපේ ආහාර, සෞඛ්‍ය පිලිබඳ ප්‍රශ්න වල සිට, යටත් විජිත කරණය, ගෝලීය උණුසුම, න්‍යෂ්ඨික අර්බුද ආදී මෙකී නොකී දහසක් ප්‍රශ්න ඉහත කී “විඤ්ඤූන්” පිලිබඳ ප්‍රශ්නය සමග ගැඹුරින් බැදී පවතී. එසේ නම් මූලික ප්‍රශ්නය අපේ “විඤ්ඤූන්” නම් කවරහුද ? යන්නය. අතීතයේ අපට “විඤ්ඤූන්” සිටියේද? ඔවුන් අපේම “විඤ්ඤූන්” වීද? ඔවුන් කල කී දෑ මොනවාද? අපට අපේම වූ “විඤ්ඤූන්” අද නැත්තේමද ? සුළුවෙන් හෝ එවැන්නන් සිටීද? නැතහොත් අපට නැවත අපේම වූ “විඥඥූන්” පරපුරක් නිර්මාණය කරගත හැකිද? එයින් ඇති ප්‍රයෝජන කිම? එසේ “විඤ්ඤූන්” නිර්මාණය කරගත් යුත්තේ කෙසේද? යනාදී මෙකි නොකී දහසකුත් එකක් ප්‍රශ්න අපට විසඳා ගැනීමට තිබේ. නමුත් සියල්ලටම කලින් අපි “විඤ්ඤූන්” යනු කවරහුද? ඒ අනුව අපේ “විඤ්ඤූන්” කවරහුද? යන්න විමසා බලමු. සරලව කිවහොත් “විඤ්ඤූන්” සමාජයක ඉදිරිදැක්ම තීරණය කිරීමේදී පුළුල්ව බලපායි. ක්ෂේත්‍රය කවරක් වුවද පොදුවේ සමාජයක මිනිසුන් සිතන පතන ආකාරය ක්‍රියා කරන සහ ක්‍රියා කල යුතු ආකාරය කෙරෙහි පුළුල් බලපෑමක් ඔවුහු එල්ල කරති. බොහෝ විට ලෞකික තලයෙහි දී “විඤ්ඤූන්” දැනුමෙහි හා සංකල්ප වල නිර්මාපකයන් වෙති. නැතහොත් ප්‍රධාන ස්ථාපිත දැනුම් ප්‍රවාහයක් පවත්වාගෙන යන නියෝජිතයෝ වෙති. සමාජය ඔවුන්ගෙන් උගනී. ඔවුන් සංස්කෘතියක් පවත්වයි. එය සකස් කරයි. වෙනස් කරයි. බොහෝ විට “විඤ්ඤූන්” විසින් පවතින සංස්කෘතීන් තුලම සංකල්ප සහ දැනුම නිර්මාණය කෙරෙයි. කලාතුරකින් ඔවුන්ගෙන්ද සමහරෙක් නව චින්තනයක් සහ ඒ මත නව සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහි මුලික වෙයි. මට වැටහෙන පරිදි ඉහතින් කියන ලද්දේ “විඤ්ඤූන්” හඳුනා ගැනීමට උපකාර වන කරුණු කිහිපයකි. දැන් “අපි” ගැන කතා කරමු. මම සිංහල බෞද්ධයෙක්මි. මේ ලිපිය පළමුව අරමුණු කරන්නේ සිංහල බෞද්ධයන්ය. එබැවින් “අපි” සිංහල බෞද්ධයන් වෙමු. වඩා නිවැරදිව කියන්නේ නම් “සිංහල ථෙරවාදී බෞද්ධයන්” වෙමු. අපට ශාස්තෘන් වහන්සේ නමක් සිටිති. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේය. උන්වහන්සේ අපේ, එනම් සිංහල බෞද්ධයන්ගේ ශාස්තෘන් වහන්සේ මෙන්ම නුවණැති සියලු දෙව් මිනිසුන්ගේමද ශාස්තෘන් වහන්සේ බව අපි අමතක නොකරමු. අපි තිසරණ ගියෝ වෙමු. බුදු පියාණන් වහන්සේ සරණ ගිය අපි එහෙයින්ම උන්වහන්සේගේ ධර්මයේද සරණ ගියෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නයේද සරණ ගියෝ වෙමු. මහා සංඝ රුවන, රහතන් වහන්සේලාගෙන් සමන්විත වෙයි. ආර්ය වූ මාර්ග ඵල ලාභීන් වහන්සේලාගෙන්ද සමන්විත වෙයි. එහි භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය “සද්ධානුසාරී”, “ධම්මානුසාරී” කල්‍යාණ මිත්‍ර වූ සංඝයා වහන්සේද වෙති. එසේම මහත් ගුණ ඇති මග ඵල ලාභී උපාසක උපාසිකාවෝද සිටිති. ගිහිව සිටියදීම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මග ඵල ලත් උපාසක උපාසිකාවන් වූ බව අපි දනිමු. එපමණක් නොව, දෙව් ලොවද බඹ ලොවද භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය, මග ඵල ලාභී වූද, මග ඵල නොලත් මුත් තිසරණයෙහි පිහිටි කල්‍යාණ වූ සත්පුරුෂ වූද දෙවියන් බඹුන් සිටී. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව විමසන මට පෙනී යන්නේ අපේ “විඤ්ඤූන්” පළමුව අන් කවරකු හෝ නොව රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලාම බවය. තෙරුවන් සරණ ගිය අපි නිසැකයෙන්ම ඒ පිළිගනිමු. මග ඵල ලත් සතර අපායට නොවැටෙන සුළු ධර්මයෙහි විශාරද, ආර්යයන්ද රහතන් වහන්සේලාට පසුව අපේ “විඤ්ඤූන්” ය. ඉන් අනතුරුව “සද්ධානුසාරී” , “ධම්මානුසාරී” කල්‍යාණ වූ පුණ්‍ය ශක්ති ඇති, පුරන ලද පාරමී ඇති සත්පුරුෂයන් අපේ “විඤ්ඤූන්” වෙති. මෙහිදී අපි දෙවියන් අමතක නොකරමු. ආර්යන් වහන්සේලාත් කල්‍යාණ පෘථග්ජන වූත් තිසරණයෙහි පිහිටියා වූත් දිව්‍ය බ්‍රහ්මයන් අපේ “විඤ්ඤූන්” විය යුතුය. දැන් මදක් ගැඹුරට මෙම කරුණු විග්‍රහ කරමු. ඉහත සඳහන් කරන ලද අපේ සියලුම “විඤ්ඤූන්” අඩුවැඩි වශයෙන් ගත කල එක් පොදු ලකුණකින් අපට විග්‍රහ කල හැකිය. ඒ අන කිසිවක් නොව තිසරණයෙහි පිහිටීමයි. වඩාත් තීක්ෂණ ලෙස ඒ විග්‍රහ කළහොත් මේ සියලු දෙනා අඩු වැඩි වශයෙන් “සම්‍යග් දෘෂ්ඨිකයෝ” වෙති. සම්‍යග්දෘෂ්ඨිය පිලිබඳ විග්‍රහය ඇරඹෙන්නේ ම අප තිලෝගුරු තථාගත භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙනි. අපේ යුගයෙහි පළමු රහතන් වහන්සේද උන් වහන්සේ බව අපි අමතක නොකරමු. උන්වහන්සේ “විඤ්ඤූන්” අතර අනන්ත වුත්, අප්‍රමේය වූත්, ප්‍රතිමූර්තියයි. අග්‍රස්ථානයයි. සිංහල බෞද්ධ අප විෂයෙහි පමණක් නොව, දෙවියන් සහිත බඹුන් සහිත, මැරුන් සහිත දස දහසක් සක්වල සම්මා සම්බුද්ධ ආඥාව වෙයි. බලය වෙයි. උන්වහන්සේගේ ප්‍රඥාව විශ්මිතද පරිපුර්ණද වෙයි. එම නිසා අපි බිය නොවිය යුතුය. උන්වහන්සේ ප්‍රමුඛව උන්වහන්සේ අනුදැන වදාළ ධර්ම විනය පිළිගත් පිරිස, අපද අපේ සමාජයද අපේ ශිෂ්ටාචාරයද වෙයි. “විඤ්ඤූන්” විග්‍රහ කර ගැනීමෙහි අපේ “ප්‍රමාණය” ද ආදර්ශයද භාග්‍යවතුන් වහන්සේත් උන්වහන්සේ සතු වූ සර්වඥතා ඥානයත් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ එම උතුම් ප්‍රඥා ගුණ සයුරෙහි විවිධ මට්ටමින් හැසිරෙන තවත් උතුමෝ වෙත්. උතුම් සර්වඥතා ඥානය නමැති අනන්ත අහසෙහි පෙදෙසක හැසිරුණු ලොකු කුඩා පක්ෂීන් වන බුද්ධ ශ්‍රාවකයෝ වෙත්. මහා රහතන් වහන්සේ ලා අතරින්ද, අතිඋතුම් වූ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමද ඒ ඒ තනතුරු වලින් අග්‍ර යයි පුදන ලද අසූ මහා ශ්‍රාවකශ්‍රාවිකාවෝද මෙහිදී වැදගත් වෙයි. දැන් තවත් වැදගත් ප්‍රශ්නයක් මතු වෙයි. නිවන් මග පමණක් අරමුණු කරගෙන ඒ සඳහා පිළිවෙත් පුරන සමාජයක් නොවන කල, වර්තමානයට සහ වර්තමානයේ ගොඩ නැගී ඇති ලෝකාධිපත්‍යයට, බටහිර විද්‍යාවට සහ ඒ ආශ්‍රිත දැනුම පද්ධතීන්ට (ඉහත කී අපේ “පළමු පෙළ විඥඥූන්” පරපුර අදට විද්‍යාමාන නොවන බැවින්) අපට කෙසේ නම් මුහුණ දිය හැකිද ? යන්නය. මෙයට පිළිතුරද සිංහල බෞද්ධ අපට භාග්‍යවතුන් වහන්සේගේ දහම විමසීමෙන්ම ලබා ගත හැකිය යන්න මාගේ හැඟීමයි. පළමුව භාග්‍යවතුන් වහන්සේත් රහතන් වහන්සේලාත් අප්‍රමේය, අනාදේශක “විඤ්ඤූන්” යයි පිළිගන්නා අප ඒ මත පිහිටා කල යුතු විමසුම් සහගත කටයුතු කිහිපයක් වෙයි. පළමුව කලයුත්තේ ශ්‍රද්ධාවෙන්ද වීර්යයෙන්ද යුතුව ධර්මය හැදෑරීමයි. එහිදී අප සමාජය සහ අනාගත පරපුර මුලික වශයෙන්, සුත්‍ර, විනය, අභිධර්මය සහිත උතුම් වූ ත්‍රිපිටකයත්, ඊට අදාළ පිළිගත් අට්ටකථා(අටුවා), සහ ටීකා සාහිත්‍යයත් ඒ මත තවදුරටත් පැනනැගුණු අනෙකුත් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයනුත් බාධක මැද වුවද හැදෑරිය යුතුමය. නැවතත් සඳහන් කල යුත්තේ එය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්ද, නුවණ මෙහෙයවීමෙන්ද මිස අන් කවර පදනමක වුවද පිහිටා කිරීමෙන් පලක් නොවන බවය. ධර්මධර, පුජනීය මහා සංඝ රත්නය ප්‍රධාන කොට ගෙන ධර්මය අර්ථ සහිතව විග්‍රහ කර විස්තර කර දිය හැකි වැඩිහිටි පරපුරක් බිහි කර ගැනීමට හැකි සෑම උපාය මාර්ගයක්ම ගැනීම ඉහත කී අපේ “විඤ්ඤූන්” පරපුර ගත මාර්ගය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේද අපේම වූ නව “විඥඥූන්” බිහි කර ගැනීමේද පළමු පියවර වෙයි. දෙවනුව, විශේෂයෙන් කිව යුත්තේ ධ්‍යාන භාවනා කරන, සිත සමාධිමත් කිරීමෙහි දක්ෂ පිරිසක් සංඝයා වහන්සේ මෙන්ම ගිහි සමාජය අතුරින්ද ගොඩ නගා ගැනීමට අප උත්සුක විය යුතු බවයි. මින් මා අදහස් කරන්නේ “නිවන් දැකීම උදෙසා බවුන් වැඩීම” පමණක් නොවන බව කිව යුතුය. නිවන් උදෙසා පින් දහම් කිරීම, කුසල් රැස් කිරීම, ශීල සමාධි ප්‍රඥා වැඩීම මුල් තන්හිද, ප්‍රමුඛතා වශයෙන්ද ලා සලකන අතර වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙහි දැනුම උකහා ගැනීම උදෙසා වය කෙරෙන කාලය,ශ්‍රමය හා වෙහෙස , පංච ශීලය මත පිහිටියවුන් අතරින් සැදුම්ලත් සමාධි වඩන පිරිසක් එසේ සමාධි වැඩීමට යොමු කිරීම අත්‍යාවශ්‍ය සහ වැදගත් කරුණක් ලෙස අපේ අවධානය යොමු විය යුතුය. වියුක්ත ප්‍රවාද සහ හුදු තාර්කික දැනුම පැරදවීම. බටහිරයන් අතරින් සමහරෙක් ඔවුන්ගේ සංස්කෘතිය සහ චින්තනය මත පදනම්ව අති දක්ෂ සහ ඒත්තු ගන්වන සුළු ලෙස න්‍යාය හෝ කතන්දර ගොතා ඒ අප ඇතුළු සියලු දෙනා මත බලෙන් පටවති. වියුක්ත දැනුමෙහි එතරම් දක්ෂයන් නොවන අපිද අපේ සංස්කෘතීන්ද එම බටහිර දැනුමේ ආධිපත්‍යයට නිරායාසයෙන් ගොදුරුව ඇත්තේ එවැන්නක් සිදුවන බවද නොදැනම මෙනි. නමුත් මා විශේෂයෙන් සඳහන් කරනු කැමති කරුණක් නම් වියුක්ත ප්‍රවාද වලට එරෙහිව, විශේෂයෙන් වියුක්ත ප්‍රවාදයන්හි ක්‍රියාකාරී ශක්‍යතාවන්ට (applications) එරෙහිව අපට විශේෂයෙන් යොදා ගත හැකි ශක්තියක් වන්නේ “සමථය” නොහොත් “චිත්ත ඒකාග්‍රතා බලය” බවයි. මෙය උතුම් වූ ත්‍රිශික්ෂාවෙහි (ශීල,සමාධි,ප්‍රඥා යන) සමාධිම අංගය යොදා ගැනීමක් බව වරදවා වටහා නොගත යුතුය. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ත්‍රී ශික්ෂා සංඛ්‍යාත අනුත්තරීය ධර්ම චක්‍රය පෙරලීමට පෙරද විශේෂයෙන් චිත්ත සමාධිය (විදර්ශනා සමාධිය නොවෙයි) යම් යම් මට්ටම් වලින් දියුණු කරන ලද, ඒ ඇසුරින් අතිශය විශ්මිත හැකියාවන් සහිත මිනිසුන් බිහිකරනලද සුවිශේෂ දැනුම සම්ප්‍රදායන් ගණනාවක් තිබු බව බොහෝ දෙනා අමතක කරති. සෘද්ධි ප්‍රාතිහාර්ය ආදී අධ්‍යාත්මික වර්ධනය හා සෘජුව බැඳුනු කාරණා හැරුණු කොටගෙන චූල ගාන්ධාර විද්‍යා/ මහා ගාන්ධාර විද්‍යා/ මණිකා ශාස්ත්‍ර ආදී අනෙක විධ දැනුම පද්ධතීන්ද තිබී ඇති බව අප අමතක නොකළ යුතුය. (මේ දැනුම් පද්ධතීන් ගැන පසුවට විස්තර කතා කරමු). මීට අමතරව ලෞකික ධ්‍යාන විෂයද අතිශය ප්‍රබල ක්‍රියාකාරීත්වයන්ගෙන් යුතුව මානව සමාජයේ යම් යම් කාල වකවානු වලදී භවිතා වූ බවට සාක්ෂි ඒ බැව් සොයන්නන්ට ධර්මය සාහිත්‍යය ඇසුරින්ම බොහෝ දුරට ලබා ගත හැකිය. එබැවින් “සමථ සමාධි” වඩන (මුලිකව තෙරුවන් සරණෙහි පිහිටි) පිරිසක් බිහි කර ගැනීමත් ඒ අය හරහා ලෞකික සමාජයේ යහ පැවැත්මට උපකාර වන සහ විශේෂයෙන් අභියෝගාත්මක අවශ්‍යතා ජයගැනීමට දිරි දෙන යම් යම් ශිල්ප ශාස්ත්‍ර වර්ධනය කර ගැනීම හරහා ධර්මයට හා බුද්ධ දේශනාවට “අනනුගත නොවන” ලෞකික දැනුම පද්ධතීන් ගොඩ නගා ගැනීමටත්, අප ක්‍රියා කල යුතුය. දෙවියන්, යක්ෂයන්, ගාන්ධර්වයන් ආදී යම් යම් විශේෂ ශක්තීන් ඇති දියුණු සත්ත්ව කොටස් සමග වසර සිය ගණනකට පෙර අප සතුව තිබුණු සෘජු සහ වක්‍ර සන්නිවේදන ක්‍රම බොහෝ සෙයින් අභාවයට යාමද අපගේ දැඩි අවධානයට යොමු විය යුතු තවත් කරුණකි. ඒ අනුව මෙම හැකියාවන් දියුණු කරන සහ පවත්වාගෙන යන “දෙවන පෙළ විඤ්ඤූන්” පරපුරක් ගැනද වහ වහා අපේ අවධානය යොමු කල යුතුය. තෙවනුව විමසිය යුතු තවත් ප්‍රශ්නයක් වෙයි. සෘජුවම අපේ සංස්කෘතියට සහ චින්තනයට අනුගත නොවන නමුත් පොදු සමාජයේ සහජීවනය සහ යහපැවැත්ම උදෙසා වන අප සතු මූලික මූලධර්ම වලට අනුකුල වූත්, විරුද්ධ නොවූත්, සුවිශේෂ නිර්මාණත්මක ශක්තීන් විදහා දැක්වෙන සංකල්ප හා නිර්මාණ ඉදිරිපත් කරන්නවුන් “විඤ්ඤූන්” ලෙස අප පිළිගන්නේද? නැද්ද? එසේ පිළිගන්නේ නම් කවර නිර්ණායකයන් මත පිහිටාද? යන්නයි. මේ අප වඩාත් පරෙස්ස්සම් විය යුතු අවස්ථාවකි. මා අදහස් කරන පරිදි ලෝකය බොහෝ විවිධ විෂමතාවන්ගෙන් ගහන බැවින් එක් වරම ආගන්තුක විශිෂ්ටයන් සහ ඔවුන්ගේ සංකල්ප, නිර්මාණ, දැනුම පද්ධති, පිළිගැනීම හෝ ඉවත් කිරීම නුවණට හුරු නැති බවයි. එනමුත් එවැනි අවසථාවකදී අප විසින් විශේෂයෙන් විමසා බැලිය යුතු නිර්ණායකයක් මෙහි දක්වනු කැමැත්තෙමි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ ධර්මය නොමැති, නිවීම හෝ නිවන ගැන, නිරෝධය ගැන අදහසක් නොමැති යුගයන්ද ලොවෙහි තිබු බව අපි උගෙන ඇත්තෙමු. තවද කවර හේතුවක් නිසා හෝ මේ යුගයේදීද භාග්‍යවතුන් වහ්සේ ගේ දහම් ස්පර්ශය නොලද සංස්කෘතීන් සහ මිනිස් කොට්ඨාශ වෙයි. ඒ අතර පළමුව තිබූ බුදුසසුන පිරිහී අතුරුදන් වූ ජාතීන් හා සමාජයන්ද වෙයි. නමුත් ඉහත කී අවස්ථා දෙකෙහි දීම එවන් සමාජයන්හිද “නුවණැති” යම් මිනිසුන් පිරිසක් වුවද සිටිති. ඔවුහු උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය සඳහා වන පිළිවෙත් නොපුරති. තවද ඔවුහු තෙරුවන් සරණ ගියෝද නොවෙති. නමුත් ඔවුන් සතු පොදු ගුණයක් ඇත. ඒ සිංහල බෞද්ධ අපටද පොදුය. එනම් ඔවුන් අවම වශයෙන් “දශ වස්තුක සම්මා දිට්ඨියෙහි” පිහිටා සිටීමයි. ඔවුන්ද නුවණැතියන් යයි අපේ නිර්ණායක අනුව අපි කියන්නේ එබැවිනි. මෙම නුවණැත්තන් පරලොවක් විශ්වාස කරති. කර්ම කර්ම ඵල අදහති. පින් පව් විශ්වාස කරති. අවම වශයෙන් පංචශීලයෙහි ගුණ දකිති, ඒ පිළිගනිති. ඔවුන් “මව” සහ “පියා” යනුවෙන් විශේෂ වූත් මහෝපකාරී වූත් ආරක්ෂා ගරු කටයුතු වූත් දෙදෙනකු සිටින බව පිළිගනිති. තවද යම් කලෙක ලෝකයේ සත්‍යය අවබෝධ කරන ලද, යථාවබෝධය ඇති , ඇත්ත ඇති සැටියෙන් දැන එය ලොවට කියන උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, රහත්හු පහල වෙතැයිද විශ්වාස කරති. (දශ වස්තුක සම්මා දිට්ඨිය ගැන විස්තර වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කල හැකිය) අපේ “විඤ්ඤූන්” තීරණය කිරීමේදී අවම සහ අවසාන වශයෙන් සලකා බැලියයුතු පිරිස ලෙස මා දකින්නේ මේ නුවණැති පිරිසය. වෙනත් සංස්කෘතීන්හි පැනනැගුණු විශිෂ්ට ඵලදායී සංකල්ප නිර්මාණ සහ දැනුම අවශෝෂණය කර ගැනීමේදී අපට මේ පිළිබඳව සලකා බැලීමට සිදුවෙයි. කෙසේ වෙතත්, කාලය, දීපය, දේශය, සංස්කෘතිය කුමක් වුවද අවම වශයෙන් “දශ වස්තුක සම්මා දිට්ඨිය” නොහොත් ලෞකික සම්මා දිට්ඨිය වත් නොමැති කවරකු හෝ දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මේ තුන් ලෝකයෙහි අපේ “විඤ්ඤූන්” අතරට කිසිලෙසකින්වත් වැද්ද නොගැනීමට සිංහල බෞද්ධ අප වග බලා ගත යුතුය. තවත් පැහැදිලිව කිවහොත්, බෞද්ධ සංකල්ප සහ චින්තනයන්ට ආගන්තුක වන විටෙක අවම වශයෙන් දශ වස්තුක සම්මා දිට්ඨියට වත අනුකූල වීම අපට අනිවාර්ය වෙයි. මේ අනුව අවසාන වශයෙන් හා අවම වශයෙන් දශ වස්තුක මිත්‍යා දෘෂ්ඨියෙන් බැහැර වූ, වැඩදායක නුවණැත්තන් සහ නිර්මාණ කරුවන්ගේ සිට භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දක්වා අපිට “විඤ්ඤූන්” පරපුරක් සිටී. සැබවින්ම එහි අයින්ස්ටින් ලා නිව්ටන් ලා මාක්ස් ලා හෝ එවැනි අන්‍යයෝ නොසිටිති. නමුත් එහි අවශ්‍ය පමණ උතුම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාද, ආර්යයන් වහන්සේලාද, සම්යග්දෘෂ්ඨික දිවය බ්‍රහ්මයන්ද සිල්වත් ගුණවත් තිසරණ සහිත (මහා සංඝ රුවන ප්‍රධාන කොටගෙන) මනුෂ්‍යයෝද , ඊට අමතරව අප විසින් උත්සහ ගතහොත් ධ්‍යාන ලාභී සමාධි ලාභීන්ද සිටිති. ඔවුන් අතර පරිසරය සුරා නොකන, තණ්හාවෙන් වියරු වැටී මුළු මහත් ගහ කොළ සතා සීපාවුන් ඇතුළු මිහිකත පරිසරයම විනාශ නොකර, හැකි පමණද නිසි පමණද පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වන ක්‍රමවේද, සංකල්ප නිර්මාණ ඉදිරිපත් කරන, අභියෝග ජය ගැනීමට උපකාර වන ඉන්ද්‍රිය සංවරය ගරු කරන අපේම වූ “දෙවන පෙළ විඤ්ඤූන්” පරපුරක්ද සිටිති. තෙවනුව, අඩු වශයෙන් “දශ වස්තුක සම්මා දිට්ඨියෙහි” වත් පිහිටි, බාහිර සංස්කෘතීන්හි උපන් ඒවායින් පැනනැගුණු අපේම නොවුවත් අපේ කරගත හැකි, අපේ කරගත් “තෙවන පෙළ විඤ්ඤූන්” පරපුරක්ද සිටිති. මේ පිරිස් ගැන ඉඩ ලැබෙන පරිදි ඉදිරියේදී තවදුරටත් සාකච්චා කරමු. එතෙක් ඔබේ “විඤ්ඤූන්” තෝරා ගැනීමේදී නුවණැති වීම ඔබට බාරය. තෙරුවන් සරණයි..!!! 
සසිත් රාජසූරිය

August 31, 2012 at 12:04 am | Lanka C News.



බුදුරජාණන් වහන්සේගේ පිය පස උරුමය සිරිලකට වැඩි සේක!

1. මේ දිල්ලි කෞතුකාගාරයේ ආරක්‍ෂිත කුටියක්‌ තුළ තැන්පත් කර ඇති කපිලවස්‌තුපුර මහා ස්‌තූපයෙන් හමු වූ සර්වඥ අස්‌ථි ධාතූන් වහන්සේලාය.



කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් වනයේ දී පිරිනිවන් පෑ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පුරා දින සතක්‌ මුළුල්ලේ මල්ල රජදරුවෝ මහා සත්කාර කළහ. සත්කාර කර උන් වහන්සේගේ ශ්‍රී ශරීරය මල්ල රජදරුවන්ගේ "මකුටබන්ධන" නම් වු චෛත්‍යස්‌ථානයට මහ පෙරහැරින් වැඩම කරවා ගෙන ගියහ. වැඩම කරවා ගෙන ගොසින් සක්‌විති රජකුගේ ශරීරයට මෙන් මහා සත්කාර දක්‌වා සියලු වර්ගයේ සඳුන් දරවලින් කළ චිතකයට සර්වඥයන් වහන්සේගේ ශ්‍රී ශරීරය සහිත රන් දෙණ නංවා ආදාහනය කළහ.


2. කපිලවස්‌තු ධාතු ස්‌තූපය තුළ තිබී හමු වූ 
සර්වඥ අස්‌ථි ධාතු සහිත මෘදු ගල් කරඬුව.


බුදුරජාණන් වහන්සේගේ අදිටනට අනුව ආදාහනයෙන් පසුව ශ්‍රී ශරීරයේ ලලාට ධාතුවය, අකු ධාතු දෙනමය, සතර දළදා ය යන මේ මහා ධාතු සත නොවිසිරී, නොබිඳී එලෙසින් ම ඉතිරි විය. අනෙක්‌ සියලු අස්‌ථි ධාතු මුං, පියලි, කඩසහල්, අබ ඇට යන මේ ප්‍රමාණයන්ට විසිරී ගියේය. විසිරී ගිය ධාතු ප්‍රමාණය ද්‍රෝණ අටකි. මගධ නැළියෙන් නැළි දහසයකි. මේ විස්‌තර දීඝ නිකාය අටුවාවේ සඳහන් වේ.

රැස්‌ව සිටි රජදරුවන්ගේ ඉල්ලීමට අනුව ධාතු බෙදීම සිදු කළේ ද්‍රෝණ බමුණා ය. හෙතෙම රන් නැළියක්‌ ගෙන ධාතු සමසේ කොටස්‌ අටකට බෙදුවේය. බෙදා ඉන් එක්‌ කොටසක්‌ මගධයේ අජාසත්ත මහ රජතුමාටත් එක්‌ කොටසක්‌ විශාලා මහනුවර ලිච්ඡවි රජ දරුවන්ටත් එක්‌ කොටසක්‌ කිඹුල්වත්පුර ශාක්‍යයින්ටත් එක්‌ කොටසක්‌ අල්ලකප්ප රට බුලී රජ දරුවන්ටත් එක්‌ කොටසක්‌ රාම ග්‍රාමයේ කෝලිය රජ දරුවන්ටත් එක්‌ කොටසක්‌ වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයාටත් එක්‌ කොටසක්‌ පාවා නුවරවැසි මල්ල රජදරුවන්ටත් දුන්නේය. පසුව ඒ රජවරු ධාතු ගෙන තම තමන්ගේ නුවරවල්වලට ගොසින් ධාතු නිධන් කර මහා ස්‌තූප අටක්‌ තනා ධාතු වන්දනා කළහ.

3. කපිලවස්‌තු ධාතු ස්‌තූපය පෙරහැරකින් බොල්ලැගල මානෙල්වත්ත විහාරයට වැඩම කරවමින්.
ධාතු බෙදා අවසන් වූ පසුව පැමිණි පිප්ඵලී නුවරවැසි මෞර්ය රජදරුවෝ ධාතු කිසිවක්‌ නොලැබ බුදු සිරුර දැවූ තැනින් අඟුරු කොටසක්‌ ගෙන තම නුවරට ගොස්‌ එය නිධන් කර ස්‌තූපයක්‌ කළහ. එය "අංගාර ස්‌තූපය" නම් විය. ද්‍රෝණ බමුණා ධාතු බෙදූ නැළිය ගෙන එය නිධන් කර ස්‌තූපයක්‌ තැනුවේය. එය "තුම්බ ස්‌තූපය" නම් විය. මෙසේ ලොව මුල්වරට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා දාගැබ් දහයක්‌ දඹදිව තුළ ඉදි විය.


සර්වඥ ධාතු නිඳන් කර තැනූ ඒ මහා ධාතු ස්‌තූප අටෙන් කුසිනාරා නුවර මල්ල රජදරුවන් කර වූ මහා ධාතු ස්‌තූපයත් විශාලා මහනුවර ලිච්ඡවි රජ දරුවන් කර වූ මහා ධාතු ස්‌තූපයත් කපිලවස්‌තු පුර ශාක්‍යයින් කර වූ මහා ධාතු ස්‌තූපයත් යන මේ ධාතු ස්‌තූප ඉන්දීය පුරාවිද්‍යාඥයින්ගේ ගවේෂණ හා කැණීම් මගින් පැහැදිලිව හඳුනාගෙන තිබේ. මෙහි දී ලෝක ප්‍රකට මහා පුරාවිද්‍යාඥයකු වූ ජෙනරාල් ඇලෙක්‌සැන්ඩර් කනිංහැම් මහතා මුල් වී ක්‍රියා කළේය.

මෙහි දී අපගේ විශේෂ අවධානයට යොමු වන්නේ බුදුරජාණන් වහන්සේගේ පියාණන්ගේ පරපුරේ ඥාතීන් වූ ශාක්‍යයන්ට ලැබුණු අස්‌ථි ධාතු කොටස නිධන් කර කපිලවස්‌තු පුරයේ තැනූ ධාතු ස්‌තූපය වෙත යි. ක්‍රි. පූ. 6 වැනි සියවසේ පටන් දඹදිවින් බුදුදහම නැති වී යන තුරුම දඹදිව බෞද්ධයින්ගේ මහත් වූ වන්දනාවටත් ගෞරවාදරයටත් පත් වූ මේ ධාතු ස්‌තූපය කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී, වල් බිහි වී ජරාවාස වී තිබිණි. මේ ධාතු ස්‌තූපය වෙත මෑත කාලයේ අවධානය යොමු වූයේ 19 වැනි සියවස අගභාගයේ දී ය. කෙසේ හෝ මේවා ඉන්දීය පුරා විද්‍යාඥයින්ගේ ගවේෂණ මගින් මේ ධාතු ස්‌තූපය ශාක්‍යයින් විසින් කර වූ ධාතු ස්‌තූපය බව ඉතා පැහැදිලිවම හඳුනා ගත්තේය. ස්‌තූපය අවට සංඝාරාමයන්හි නටබුන් දක්‌නට ලැබේ.

කපිලවස්‌තු ධාතු ස්‌තූපය ප්‍රමාණයෙන් තරමක්‌ විශාල ය. අවස්‌ථා කිහිපයක දී විශාල කර තිබේ. මේ ස්‌තූපය "කපිලවස්‌තු ධාතු ස්‌තූපය "පිප්හ්රාවා ධාතු ස්‌තූපය", ශාක්‍යයින්ගේ ධාතු ස්‌තූපය" යන නම්වලින් ප්‍රකට ය. ශාක්‍ය දේශයේ භූමියේ විශාල ප්‍රමාණයක්‌ අද නේපාල රාජ්‍යයට අයත් ව තිබේ. කොටසක්‌ ඉන්දියාවට අයත්ව තිබේ. මේ ධාතු ස්‌තූපය අයත් වන්නේ ඉන්දියාවටය. ස්‌තූපය ගඩොලින් බැඳ තිබේ. මෙහි කළ කැණීම්වලින් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු හමු විය. කපිලවස්‌තුවේ පිප්හ්රාවා මහා ස්‌තූපයෙන් හමු වූ එක්‌ මෘදු කරඬුවක පියනේ "ඉයං සලිල නිධනෙ බුධස භගවත සකියානං සුකිති භතිනංස භගිනිකනංස පුතදලනං" යන පාඨය බ්‍රාහ්මීය අක්‍ෂරවලින් සටහන් කර තිබිණි.

මේ සටහනට අනුව කරඬුව තුළ වූ අස්‌ථි කොටස්‌ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ අස්‌ථි ධාතුම බව සැකයකින් තොරව තහවුරු විය. තව කරඬුවක ද තිබී සර්වඥ ධාතු හමු වී ඇත. මේ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ විශේෂ ආරක්‍ෂිත කුටියක්‌ තුළ ඉතා ගෞරවනීය ලෙසින් තැන්පත් කර තිබේ. මේ අස්‌ථි ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් තරමක්‌ විශාල ය. අස්‌ථිමය ස්‌වරූපය මැනවින් පෙනේ. මේ අස්‌ථි ධාතු බුදුරජාණන් වහන්සේගේ හිස්‌ කබලේ අස්‌ථි ධාතු යෑයි විශ්වාස කෙරේ. මේ සර්වඥ ධාතූන් වහන්සේලා 1978 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකාවට වැඩම කරවා ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවල දී මහජනයාට ප්‍රදර්ශනය කර තිබේ. කපිලවස්‌තු පුරයේ මේ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් අවස්‌ථා කිහිපයක දී බුද්ධ රශ්මිය විහිදුණු බව එය සියෑසින් දුටු සැදැහැතියෝ සඳහන් කරති.

ප්‍රවරනේරුත්තිකාචරිය, මහාවිභාවී, රාජගුරු අතිපූජ්‍ය වස්‌කඩුවේ ශ්‍රී සුභූති නායක හිමියන්ගේ ඉල්ලීමකට අනුව කපිලවස්‌තු මහා ස්‌තූපයෙන් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් ධාතු විසිඑක්‌ නමක්‌ උන් වහන්සේට ලැබී ඇත. මේ බව ඇන්. වී. පෙප්පේ මහතා විසින් 1898 සැප්තැම්බර් මාසයේ සුභූති හිමියන්ට එවූ එක්‌ ලිපියකින් තහවුරු වේ. ශ්‍රී සුභූති හිමියන්ට ලැබුණු එම ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ වැල්ලවත්ත බෝධිරුක්‌ඛාරාම මහා විහාරයේ ස්‌තූපය තුළ ද කළුතර මහා සෑය, සිතුල්පව්ව නව සෑය යන ස්‌තූපයන්හි නිධන් කර ඇත. ඉතිරි ධාතූන් වහන්සේලා මේ දක්‌වා ශ්‍රී සුභූතී නාහිමියන් වැඩ සිටි කළුතර වස්‌කඩුව ශ්‍රී අභිනවාරාමයේ තැන්පත් කර ඇත.

වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්‌වාමින් වහන්සේ වැඩ සිටි කොටහේන දිපදුත්තමාරාම මහා විහාරයේ "රතන ෙච්තිය" නමින් ප්‍රකට මහා ස්‌තූපය තුළ ද කපිලවස්‌තුවෙන් හමු වූ ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ නිධන් කර ඇත. කපිලවස්‌තු මහා ස්‌තූපයෙන් හමු වී තායිලන්තයට දී තිබූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් තුන් නමක්‌ 1899 වසරේ දී ලංකාවේ සියම්, අමරපුර, රාමඤ්ඤ යන තුන් නිකායට ලැබිණි. රාමඤ්ඤ නිකායට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේ ගාල්ල වැලිවත්තේ විජයානන්ද පිරිවෙන් මහා විහාරයේ ස්‌තූපය තුළ තැන්පත් කර ඇත.

1978 වසරේ දී ප්‍රථම වතාවට ලක්‌දිවට වැඩම කර වූ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මේ කපිලවස්‌තු ධාතූන් වහන්සේලා මේ මස 19 වැනි දින දෙවැනි වතාවට ලක්‌දිවට වැඩම කර වූහ. මෙය ලක්‌වැසි සියලු සැදැහැතියන්ගේ මහත් වූ ප්‍රීති ප්‍රමෝදයට හේතු වේ. එසේ ලක්‌දිවට වැඩම කර වූ කපිලවස්‌තු පුර සර්වඥ ධාතූන් වහන්සේලා ලක්‌දිව විහාරස්‌ථාන කිහිපයක දී සැදැහැතියන් හට සියෑසින් ම දැක බලා ගෙන වැඳ පුදා ගැනීමට අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කර ඇත.

ලක්‌වැසියන් වන අප සැමට ඉතා දුර්ලභ වූ මේ අවස්‌ථාව හිමි වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිසාය. එතුමා ඉන්දියාවේ අගමැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ කපිලවස්‌තු පුර සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ දින කිහිපයකට පමණක්‌ ප්‍රදර්ශනය කිරීම සඳහා ලක්‌දිවට ලබා දීමට ඉන්දීය රජය කැමැත්ත පළ කිරීම ලක්‌වැසි සැමට ශුභාරංචියකි. 

සියලු සත්වයෝ දේවාතිදේව වූ අප සර්වඥයන් වහන්සේගේ උතුම් වූ ශාරීරික ධාතු සියෑසින්ම දැක බලා ගෙන වැඳ පුදා ගෙන දෙව්මිනිස්‌ සැප සම්පත් ළඟා කර ගනිත්වාෘ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගෙන මේ ඝෝර භයංකාර සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා!


4. කපිලවස්‌තු ධාතු වැද පුදාගැනීමට පැමිණී ජනතාව.

ගයාන් චානුක විදානපතිරණ

2012 අගෝස්‌තු  26 ඉරිදා දිවයින

කපිල වස්තු සර්වඥ ධාතු ඉතිහාසය


සම්බුදු රාජාණන් වහන්සේ පුරා වර්ෂ 45 ක් ලෝ සතුන් හිත සුව පිණිස සදා සැනසිල්ලකට පත්විය හැකි උතුම් ශ්‍රී සද්ධර්මයක් දේශනා කොට 80 වැනි වියේ දී දෙව් මිනිසුන්ගේ මහත් ගෞරව සත්කාර මධ්‍යයෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් වනයෙහි සල් ගස් දෙකක් අතර උතුරු දිසාවට හිසලා සිංහ සෙයියාවෙන් සැතපී වදාරා පිරිවන් පා වදාල සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සුදුසු පරිදි අන්තර්ගත කොට සකසන ලද ත‍්‍රිපිටකය සූත‍්‍ර, විනය හා අභිධර්මය නමින් වර්තමානයෙහි ව්‍යවහාරයේ පවතියි.
සූත‍්‍ර පිටකයේ මහා පරිනිම්බාන සූත‍්‍රයෙහි ඒ අසිරිමත් සම්බුදු රජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඇතුළත්ව පවතියි. මෙම මහා පරිනිර්වාණය සිදු වීමෙන් අනතුරුව එකල දඹදිව් තලය පුරා විසිරී සිටි පාලකයන් විසින් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දහනය කොට ශේෂ වූ ධාතු බෙදා ගැනීම සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගන්නා ලදී. මෙසේ සර්වඥධාතු පිණිස ගැටුම් ඇතිකර ගැනීමට සූදානම් වූහ.
මොවුන් සියලූ දෙනාම ධාතු තමන්ට අයිති කර ගැනීමට සුදුසු කමක් ලෙස ඉදිරිපත් කර සිටියේ ‘‘භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්‍ෂත‍්‍රිවම්හ. එබැවින් ධාතුවල හිමිකාරිත්වය අපට හිමි විය යුතුය’’ යන්නය. මේ අවස්ථාවේදී කුසිනාරාවේ මල්ල රජවරුන් කියා සිටියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ තමන්ගේ ග‍්‍රාමයේ බැවින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දහනය කර ශේෂ වූ ධාතුන් වහන්සේලා අන් අයට දීමට නොහැකි බවත් ඒවා තමන්ට අයිති බවත්ය.
‘‘ භාගයවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ අපගේ පාලන ප‍්‍රදේශය තුළය. එබැවින් උන්වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් අපි අන් අයට නොදෙමු’’.
(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)
මෙම අර්බුදකාරී පිරිස් අතර තවත් සුවිශේෂී පිරිසක් සිටියහ. ඔවුන් නම් කපිලවස්තු ජනපදයෙහි ශාක්‍යයෝය. ඔවුහු තමන් ක්‍ෂත‍්‍රියෝ පමණක් නොව බුදුන්ට ලේ ඥාතිකමක් ද ඇති පිරිසක් බව තරයේ ප‍්‍රකාශ කර සිටියහ.
 ‘‘භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෙකි. අපි ද උන් වහන්සේගේ ශාරීරික ධාතුවලින් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුන් උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සව ද කරන්නෙමු.’’
(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)
මෙම ව්‍යසනකාරී මොහොතේ වහා ඉදිරිපත් වූ ද්‍රෝණ නමැති බමුණා ඉතා වැදගත් ප‍්‍රකාශයක් කර ඇත. එය නම් -
‘‘පින්වත් රජවරුන් මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණෝ ක්‍ෂාන්තිවාදියෙක් වූහ. (සාමය අගය කල පුද්ගලයෙක් වූහ) ඒ උතුම් බුදුරදුන්ගේ ශරීර කොටස් වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේමය.’’යන්නය.
මේ ආදී වශයෙන් අවවාද කොට එම රජ දරුවන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව ධාතු ඉල්ලූ අට පිරිසට සමසේ ඒවා බෙදා දීමෙන් හා බෙදා ගැනීමෙන් සම්මුතියකට එළඹීමට හැකි විය. ඒ අනුව ධාතු අට කොටසකට බෙදා දී එම ධාතු පුරවා තිබූ නැලිය ද්‍රෝණ බමුණා විසින් ලබා ගෙන ථූපයක් කරවා පුද සත්කාර ද කරන ලද බව සඳහන් වේ. උක්ත රජදරුවෝ ද තම තමන්ට ලැබුණු ධාතු කොටස් ඒ ඒ පාලන ප‍්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළ බව ථේරවාදී බෞද්ධ ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ අතරින් කිඹුල්වත්පුර - කපිලවස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට හිමි වූ ධාතු කොටස තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ.
 ‘‘කපිලවස්තුවේ (වර්තමාන කිඹුල්වත්පුර නමින් හැඳින්වෙන නේපාලයේ) ශාක්‍යයෝ ද භාග්‍යවතුන්ගේ ශරීර කෙටස් තැන්පත් කොට චෛත්‍යයක් කරවා මහා පූජා සත්කාර ද කළහ’’
(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීඝ නිකාය)
 ඉන්දීය පුරාවිද්‍යා කැණීම් මගින් අනාවරණය කර ගැනුණු පුරාවස්තු අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අයත් අස්ථි කොටස් ඉතා විද්‍යාත්මකව සොයා ගැනීම අතිශය ප‍්‍රසාදය දනවන සිත්ගන්නා සුළු කාරණයකි. එරට කැණීම් මගින් සොයා ගැනුණු මෙම අස්ථි කොටස් ලෝකවාසී බෞද්ධයෝ පූජනීය හා වන්දනාමය අර්ථයෙන් ‘‘ධාතු’’ යැයි ව්‍යවහාර කරති. කපිල වස්තු ධාතු නමින් මෙකල හඳුන්වනුයේ ඉහත විස්තර කළ පරිදි බුදු හිමියන්ගේ ශ්‍රී ශරීරය දහනය කොට ශේෂ වූ අස්ථි වලින් එක් කොටසක් ලබාගත් කපිල වස්තුවේ ශාක්‍ය රජ දරුවන් විසින් අදින් වසර 2400 කට පමණ පෙර ඉදි කරන ලද චෛත්‍යය කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබුණු සම්බුද්ධ ධාතූන් වහන්සේලාය.
මෙම පූජනීය ධාතු සොයා ගැනීමේ ගෞරවය හිමි වනුයේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාටය. ඒ අදින් වසර 113 කට පමණ පෙර මොහුගේ මූලිකත්වයෙන් සිදු කළ පුරාවිද්‍යා කැණීම් මගින් මෙම ධාතු හමු වූ නිසාය. ඒවා හමු වූයේ වර්තමාන බිහාරයේ (උත්තර් ප‍්‍රදේශය) පිප‍්‍රාවා නමැති ස්ථානය කැණීම් කිරීමෙනි. පැරණි ඉන්දීය ඉතිහාසයේ දී ‘‘කපිලවස්තු’’ යන්න වර්තමානයේ නාමය හඳුන්වනු ලබනුයේ ‘‘පිප‍්‍රාවා’’යන  නාමයෙනි.
මැදගම ධම්මානන්ද හිමි
2012 අගෝස්තු මස 19 | ලංකාදීප කර්තෘ මණ්ඩලය