දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදුරජාණන් වහන්සේගේ පිය පස උරුමය සිරිලකට වැඩි සේක!

1. මේ දිල්ලි කෞතුකාගාරයේ ආරක්‍ෂිත කුටියක්‌ තුළ තැන්පත් කර ඇති කපිලවස්‌තුපුර මහා ස්‌තූපයෙන් හමු වූ සර්වඥ අස්‌ථි ධාතූන් වහන්සේලාය.



කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් වනයේ දී පිරිනිවන් පෑ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පුරා දින සතක්‌ මුළුල්ලේ මල්ල රජදරුවෝ මහා සත්කාර කළහ. සත්කාර කර උන් වහන්සේගේ ශ්‍රී ශරීරය මල්ල රජදරුවන්ගේ "මකුටබන්ධන" නම් වු චෛත්‍යස්‌ථානයට මහ පෙරහැරින් වැඩම කරවා ගෙන ගියහ. වැඩම කරවා ගෙන ගොසින් සක්‌විති රජකුගේ ශරීරයට මෙන් මහා සත්කාර දක්‌වා සියලු වර්ගයේ සඳුන් දරවලින් කළ චිතකයට සර්වඥයන් වහන්සේගේ ශ්‍රී ශරීරය සහිත රන් දෙණ නංවා ආදාහනය කළහ.


2. කපිලවස්‌තු ධාතු ස්‌තූපය තුළ තිබී හමු වූ 
සර්වඥ අස්‌ථි ධාතු සහිත මෘදු ගල් කරඬුව.


බුදුරජාණන් වහන්සේගේ අදිටනට අනුව ආදාහනයෙන් පසුව ශ්‍රී ශරීරයේ ලලාට ධාතුවය, අකු ධාතු දෙනමය, සතර දළදා ය යන මේ මහා ධාතු සත නොවිසිරී, නොබිඳී එලෙසින් ම ඉතිරි විය. අනෙක්‌ සියලු අස්‌ථි ධාතු මුං, පියලි, කඩසහල්, අබ ඇට යන මේ ප්‍රමාණයන්ට විසිරී ගියේය. විසිරී ගිය ධාතු ප්‍රමාණය ද්‍රෝණ අටකි. මගධ නැළියෙන් නැළි දහසයකි. මේ විස්‌තර දීඝ නිකාය අටුවාවේ සඳහන් වේ.

රැස්‌ව සිටි රජදරුවන්ගේ ඉල්ලීමට අනුව ධාතු බෙදීම සිදු කළේ ද්‍රෝණ බමුණා ය. හෙතෙම රන් නැළියක්‌ ගෙන ධාතු සමසේ කොටස්‌ අටකට බෙදුවේය. බෙදා ඉන් එක්‌ කොටසක්‌ මගධයේ අජාසත්ත මහ රජතුමාටත් එක්‌ කොටසක්‌ විශාලා මහනුවර ලිච්ඡවි රජ දරුවන්ටත් එක්‌ කොටසක්‌ කිඹුල්වත්පුර ශාක්‍යයින්ටත් එක්‌ කොටසක්‌ අල්ලකප්ප රට බුලී රජ දරුවන්ටත් එක්‌ කොටසක්‌ රාම ග්‍රාමයේ කෝලිය රජ දරුවන්ටත් එක්‌ කොටසක්‌ වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයාටත් එක්‌ කොටසක්‌ පාවා නුවරවැසි මල්ල රජදරුවන්ටත් දුන්නේය. පසුව ඒ රජවරු ධාතු ගෙන තම තමන්ගේ නුවරවල්වලට ගොසින් ධාතු නිධන් කර මහා ස්‌තූප අටක්‌ තනා ධාතු වන්දනා කළහ.

3. කපිලවස්‌තු ධාතු ස්‌තූපය පෙරහැරකින් බොල්ලැගල මානෙල්වත්ත විහාරයට වැඩම කරවමින්.
ධාතු බෙදා අවසන් වූ පසුව පැමිණි පිප්ඵලී නුවරවැසි මෞර්ය රජදරුවෝ ධාතු කිසිවක්‌ නොලැබ බුදු සිරුර දැවූ තැනින් අඟුරු කොටසක්‌ ගෙන තම නුවරට ගොස්‌ එය නිධන් කර ස්‌තූපයක්‌ කළහ. එය "අංගාර ස්‌තූපය" නම් විය. ද්‍රෝණ බමුණා ධාතු බෙදූ නැළිය ගෙන එය නිධන් කර ස්‌තූපයක්‌ තැනුවේය. එය "තුම්බ ස්‌තූපය" නම් විය. මෙසේ ලොව මුල්වරට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා දාගැබ් දහයක්‌ දඹදිව තුළ ඉදි විය.


සර්වඥ ධාතු නිඳන් කර තැනූ ඒ මහා ධාතු ස්‌තූප අටෙන් කුසිනාරා නුවර මල්ල රජදරුවන් කර වූ මහා ධාතු ස්‌තූපයත් විශාලා මහනුවර ලිච්ඡවි රජ දරුවන් කර වූ මහා ධාතු ස්‌තූපයත් කපිලවස්‌තු පුර ශාක්‍යයින් කර වූ මහා ධාතු ස්‌තූපයත් යන මේ ධාතු ස්‌තූප ඉන්දීය පුරාවිද්‍යාඥයින්ගේ ගවේෂණ හා කැණීම් මගින් පැහැදිලිව හඳුනාගෙන තිබේ. මෙහි දී ලෝක ප්‍රකට මහා පුරාවිද්‍යාඥයකු වූ ජෙනරාල් ඇලෙක්‌සැන්ඩර් කනිංහැම් මහතා මුල් වී ක්‍රියා කළේය.

මෙහි දී අපගේ විශේෂ අවධානයට යොමු වන්නේ බුදුරජාණන් වහන්සේගේ පියාණන්ගේ පරපුරේ ඥාතීන් වූ ශාක්‍යයන්ට ලැබුණු අස්‌ථි ධාතු කොටස නිධන් කර කපිලවස්‌තු පුරයේ තැනූ ධාතු ස්‌තූපය වෙත යි. ක්‍රි. පූ. 6 වැනි සියවසේ පටන් දඹදිවින් බුදුදහම නැති වී යන තුරුම දඹදිව බෞද්ධයින්ගේ මහත් වූ වන්දනාවටත් ගෞරවාදරයටත් පත් වූ මේ ධාතු ස්‌තූපය කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී, වල් බිහි වී ජරාවාස වී තිබිණි. මේ ධාතු ස්‌තූපය වෙත මෑත කාලයේ අවධානය යොමු වූයේ 19 වැනි සියවස අගභාගයේ දී ය. කෙසේ හෝ මේවා ඉන්දීය පුරා විද්‍යාඥයින්ගේ ගවේෂණ මගින් මේ ධාතු ස්‌තූපය ශාක්‍යයින් විසින් කර වූ ධාතු ස්‌තූපය බව ඉතා පැහැදිලිවම හඳුනා ගත්තේය. ස්‌තූපය අවට සංඝාරාමයන්හි නටබුන් දක්‌නට ලැබේ.

කපිලවස්‌තු ධාතු ස්‌තූපය ප්‍රමාණයෙන් තරමක්‌ විශාල ය. අවස්‌ථා කිහිපයක දී විශාල කර තිබේ. මේ ස්‌තූපය "කපිලවස්‌තු ධාතු ස්‌තූපය "පිප්හ්රාවා ධාතු ස්‌තූපය", ශාක්‍යයින්ගේ ධාතු ස්‌තූපය" යන නම්වලින් ප්‍රකට ය. ශාක්‍ය දේශයේ භූමියේ විශාල ප්‍රමාණයක්‌ අද නේපාල රාජ්‍යයට අයත් ව තිබේ. කොටසක්‌ ඉන්දියාවට අයත්ව තිබේ. මේ ධාතු ස්‌තූපය අයත් වන්නේ ඉන්දියාවටය. ස්‌තූපය ගඩොලින් බැඳ තිබේ. මෙහි කළ කැණීම්වලින් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු හමු විය. කපිලවස්‌තුවේ පිප්හ්රාවා මහා ස්‌තූපයෙන් හමු වූ එක්‌ මෘදු කරඬුවක පියනේ "ඉයං සලිල නිධනෙ බුධස භගවත සකියානං සුකිති භතිනංස භගිනිකනංස පුතදලනං" යන පාඨය බ්‍රාහ්මීය අක්‍ෂරවලින් සටහන් කර තිබිණි.

මේ සටහනට අනුව කරඬුව තුළ වූ අස්‌ථි කොටස්‌ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ අස්‌ථි ධාතුම බව සැකයකින් තොරව තහවුරු විය. තව කරඬුවක ද තිබී සර්වඥ ධාතු හමු වී ඇත. මේ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ විශේෂ ආරක්‍ෂිත කුටියක්‌ තුළ ඉතා ගෞරවනීය ලෙසින් තැන්පත් කර තිබේ. මේ අස්‌ථි ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් තරමක්‌ විශාල ය. අස්‌ථිමය ස්‌වරූපය මැනවින් පෙනේ. මේ අස්‌ථි ධාතු බුදුරජාණන් වහන්සේගේ හිස්‌ කබලේ අස්‌ථි ධාතු යෑයි විශ්වාස කෙරේ. මේ සර්වඥ ධාතූන් වහන්සේලා 1978 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකාවට වැඩම කරවා ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවල දී මහජනයාට ප්‍රදර්ශනය කර තිබේ. කපිලවස්‌තු පුරයේ මේ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් අවස්‌ථා කිහිපයක දී බුද්ධ රශ්මිය විහිදුණු බව එය සියෑසින් දුටු සැදැහැතියෝ සඳහන් කරති.

ප්‍රවරනේරුත්තිකාචරිය, මහාවිභාවී, රාජගුරු අතිපූජ්‍ය වස්‌කඩුවේ ශ්‍රී සුභූති නායක හිමියන්ගේ ඉල්ලීමකට අනුව කපිලවස්‌තු මහා ස්‌තූපයෙන් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් ධාතු විසිඑක්‌ නමක්‌ උන් වහන්සේට ලැබී ඇත. මේ බව ඇන්. වී. පෙප්පේ මහතා විසින් 1898 සැප්තැම්බර් මාසයේ සුභූති හිමියන්ට එවූ එක්‌ ලිපියකින් තහවුරු වේ. ශ්‍රී සුභූති හිමියන්ට ලැබුණු එම ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ වැල්ලවත්ත බෝධිරුක්‌ඛාරාම මහා විහාරයේ ස්‌තූපය තුළ ද කළුතර මහා සෑය, සිතුල්පව්ව නව සෑය යන ස්‌තූපයන්හි නිධන් කර ඇත. ඉතිරි ධාතූන් වහන්සේලා මේ දක්‌වා ශ්‍රී සුභූතී නාහිමියන් වැඩ සිටි කළුතර වස්‌කඩුව ශ්‍රී අභිනවාරාමයේ තැන්පත් කර ඇත.

වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්‌වාමින් වහන්සේ වැඩ සිටි කොටහේන දිපදුත්තමාරාම මහා විහාරයේ "රතන ෙච්තිය" නමින් ප්‍රකට මහා ස්‌තූපය තුළ ද කපිලවස්‌තුවෙන් හමු වූ ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ නිධන් කර ඇත. කපිලවස්‌තු මහා ස්‌තූපයෙන් හමු වී තායිලන්තයට දී තිබූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් තුන් නමක්‌ 1899 වසරේ දී ලංකාවේ සියම්, අමරපුර, රාමඤ්ඤ යන තුන් නිකායට ලැබිණි. රාමඤ්ඤ නිකායට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේ ගාල්ල වැලිවත්තේ විජයානන්ද පිරිවෙන් මහා විහාරයේ ස්‌තූපය තුළ තැන්පත් කර ඇත.

1978 වසරේ දී ප්‍රථම වතාවට ලක්‌දිවට වැඩම කර වූ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මේ කපිලවස්‌තු ධාතූන් වහන්සේලා මේ මස 19 වැනි දින දෙවැනි වතාවට ලක්‌දිවට වැඩම කර වූහ. මෙය ලක්‌වැසි සියලු සැදැහැතියන්ගේ මහත් වූ ප්‍රීති ප්‍රමෝදයට හේතු වේ. එසේ ලක්‌දිවට වැඩම කර වූ කපිලවස්‌තු පුර සර්වඥ ධාතූන් වහන්සේලා ලක්‌දිව විහාරස්‌ථාන කිහිපයක දී සැදැහැතියන් හට සියෑසින් ම දැක බලා ගෙන වැඳ පුදා ගැනීමට අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කර ඇත.

ලක්‌වැසියන් වන අප සැමට ඉතා දුර්ලභ වූ මේ අවස්‌ථාව හිමි වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිසාය. එතුමා ඉන්දියාවේ අගමැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ කපිලවස්‌තු පුර සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක්‌ දින කිහිපයකට පමණක්‌ ප්‍රදර්ශනය කිරීම සඳහා ලක්‌දිවට ලබා දීමට ඉන්දීය රජය කැමැත්ත පළ කිරීම ලක්‌වැසි සැමට ශුභාරංචියකි. 

සියලු සත්වයෝ දේවාතිදේව වූ අප සර්වඥයන් වහන්සේගේ උතුම් වූ ශාරීරික ධාතු සියෑසින්ම දැක බලා ගෙන වැඳ පුදා ගෙන දෙව්මිනිස්‌ සැප සම්පත් ළඟා කර ගනිත්වාෘ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගෙන මේ ඝෝර භයංකාර සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා!


4. කපිලවස්‌තු ධාතු වැද පුදාගැනීමට පැමිණී ජනතාව.

ගයාන් චානුක විදානපතිරණ

2012 අගෝස්‌තු  26 ඉරිදා දිවයින