දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සිතේ ඇතිවන ක්‍රෝධය නිවා ගන්නට නම්

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බෝහෝ දෙනෙකුගේ හිතට තරහ ඇතිවුණාම ඒ තරහ හිත තුළ පිහිටුවා ගන්නවා. සාමාන්‍යයෙන් තරහක් ඇතිවුණාට පස්සේ ඒ තරහ හිතේ පිහිටන්නේ නැත්නම් දියේ ඇඳපු ඉරක් වගේ සැණින් අතුරුදහන් වෙලා යනවා නම් ඔහුට හිත දියුණු කරන්න පුළුවන්. හිතට තරහක් ඇතිවුණාට පස්සේ ඒ තරහා දවස් දෙක තුනක් යද්දී අමතක වෙලා යනවා නම් ඒ කියන්නේ වැල්ලේ ඇඳපු ඉරක් වගේ නම් ඒ කෙනාටත් උත්සහායක්, වීරියක් ගත්තොත් හිත දියුණු කරන්න පුළුවන්. සමහරු ඉන්නවා තරහා ඇතිවුණාට පස්සේ ඒ තරහ හරියට ගලේ කොටපු ඉරක් වගේ. ඒක නැති කරගන්නේ නැතුව පවත්වනවා නම්, ඒ කෙනා හිත දියුණු කිරීම පිණිස බලවත් මහන්සියකින්, උත්සාහයකින් වීර්ය කළ යුතු වෙනවා.
මනුස්සයින්ගේ සිත්වල උපදින ක්‍රෝධය නිසා ඇතිවෙන විපත් ගැන විස්තරාත්මක කරු සමුදායක් කෝධන සූත්‍රයේ ඇතුළත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා තරහ සිතක් ඇතිරගෙන ක්‍රෝධ කරනවානම් ඒ ක්‍රෝධ කිරීම මුල් කරගෙන පීඩාකාරී කරුණු හතක් ක්‍රෝධ කරන පුද්ගලයා කරාම පැමිණෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ක්‍රෝධ කරන යම් ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා තමන්ගේ තරහකාරයෝ දෙස බලලා හිතනවා
1. මොවුන් විරූපි වෙන්න ඕන
2. මොවුන් දුකසේමයි නිදන්න ඕන
3. මොවුන් ටදැන උගත්කමක් ඇතිවෙන්න එපා
4. මේ තැනැත්තාට හරියන්න නම් එපා
5. මොවුන්ට කීර්ති ප්‍රශංසාවක් නම් ලැබෙන්න එපා
6. මොවුන්ට කාත් කවුරුවත් නැතිව තනිවෙන්න ඕන
7. මේ තරහාකාරයින් මරණයෙන් මතු අපායේමයි උපදින්ට ඕන සුගතියක් නම් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

එනිසා ඔබ සිතන්න සිතේ ඇතිවූ වෛරය නැති කරන්න බොහෝම හොඳයි අපාය භය සිහිකිරීම. හිතේ ක්‍රෝධයක් වෛරයක් ඇතිවුණාට පස්සේ කල්පනා කරන්න ඕන ක්‍රෝධ කිරීම මුල්කරගෙන මම කොතරම් නම් නිරයේ ඉපදිලා ඇද්ද? ක්‍රෝධ කිරීම මුල්කරගෙන මම කොතරම් නම් තිරිසන් ලෝකයේ, පේ‍්‍රත ලෝකයේ, ඉන්න ඇද්ද? කියලා. මේ ආකාරයට අපාය භය ගැන නුවණින් කල්පනා කරද්දී ක්‍රෝධයේ ආදීනව දකින්න පුළුවන්කම ලැබෙනවා. ක්‍රෝධ කිරීම නිසා බුද්ධ ශාසනයයේ, මනුස්ස ජීවිතය එකතු වූ මේ දුර්ලභ මොහොතේ ධර්මය අවබෝධ කරගැනීමේ අවස්ථාව මගෙන් දුරස්වෙලා යනවා නේද? කියමින් නිතර සිහි කරන්න ඕන. එවිට ක්‍රෝධයෙන් නිදහස් වෙන්න පුළුවන් හැකියාවක් ක්‍රෝධයට එරෙහිව ශක්තියක් තමන්ගේ ජීවිතය තුළ ගොඩ නැඟෙනවා.
ඒ වගේම මේ සිතේ හටගන්න ක්‍රෝධය ඉවත් කරගන්න තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ නිහතමානි වීම. මාන්නයෙන් තොරව, නිතහමානීව කටයුතු කරනවානම් ඔහු කවදාවත් අනුන් එක්ක ක්‍රෝධ කර කර වෛර කර කර කල් ගෙවන්නේ නැහැ. ඔහු ඉක්මනට එය අමතක කර දානවා. “මම මොකටද මේ කවුරුවත් ගැන වෛර බැඳ ගන්නේ?, කියා. අප නිතරම නූපන් වෛරය නූපදවා ගැනීමටත්, උපන් වෛරය තවදුරටත් වර්ධනය නො කිරීමටත් නිහතමානි වීම තුළින් කළහැකි වෙනවා. ඊළඟට තරහ නැති කරන්න තවත් ක්‍රමයක් තමයි මරණසති භාවනාව වැඩිම. කෙනෙක් කල්පනා කරනවානම් “මම මේ අනුන් එක්ක වෛර බැඳගෙන ඉඳලා වෛර සිතින් මැරුණොත් ඕනෑම වෙලාවක අපායේ උපදින්න පුළුවන් නේද? ඒ නිසා අනුන් කෙරෙහි වෛර සිතක් පැවැත්වීම මට අලාභයක්මයි. මම මේ තරහ සිත නැති කරගන්නවා. අපට වඩා බලසම්පන්න අය, ධනවත් අය අපට වඩා කීර්තිමත් අය මරණයට පත්වුණා. මමත් ඕනෑම වෙලාවක මරණයේ ගොදුරක් වෙන්න පුළුවන්. තරහ සිතක් පවත්වමින් මම මැරුණොත් ඒක මට අනතුරක්මයි. එනිසා මම මේ තරහ සිත නැති කරගෙන මෛත්‍රි සිතක් ඇතිකර ගන්නවා”. කියා මරණය ගැන සිහි කරලා ක්‍රෝධය දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා.
ඊළඟට තරහව ක්‍රෝධය දුරු කරගන්න තවත් ක්‍රමයක් තමා අනිත්‍ය සිහිකිරීම මේ සියලු දේවල්ම අනිත්‍යයි. මේ හැමදෙයක්ම නැසී වැනසී යන දේවල් අනිත්‍ය දේවල් මුල් කරගෙන නේද මම මේ එකිනෙකා කෙරෙහි වෛරය ඇතිකරගෙන ඉන්නේ. අනිත්‍ය ලෝකයේ මමත් අනිත්‍ය වූ සංස්කාර ගොඩක් විතරයි. බාහිර ලෝකයේ ජීවත්වෙන අනිත් අයත් මම වගේම අනිත්‍ය වූ සංස්කාර ගොඩක් පමණයි. ඒ නිසා මම අනිත් අය කෙරෙහි තිබෙන ක්‍රෝධය තරහව දුරු කර ගන්නවා” කියා අනිත්‍ය අනුව බලමින් තමන්ගේ හිතේ ඇතිවෙන ක්‍රෝධය තරහව දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා.
මෙහෙමත් තරහ දුරුකර ගන්න බැරිනම් ඔබ හිතන්න බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා මේ ලෝකයට පහළ වුණා. ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා තමන්ගේ හිතේ හටගත්ත ක්‍රෝධය දිහා බලලා නින්දා කළා. ගර්හා කළා. ක්‍රෝධය නමැති අකුසලය ප්‍රහාණය කළා. ඒ නිසා තරහව ක්‍රෝධය දුරුකර ගැනීමය යි උතුම්. ක්‍රෝධය දුරු කිරීම ආර්යයන් වහන්සේලා අගය කළ යහපත් ගුණ ධර්මයක්. එබඳු ධර්මයක් අනුගමනය කරන මට තරහ සිතක් පැවැත්වීම ගැළපෙන දෙයක් නොවේ. ඒ නිසා මම තරහව ක්‍රෝධය බැහැර කළ යුතුයි කියා ක්‍රෝධය දුරු කිරීමට උත්සහා කරනවා.
එහෙමත් අපහසුනම් මේ ආකාරයෙන් කල්පනා කළයුතු වෙනවා. මේ තරහවට ක්‍රෝධයට ඉඩදීම නිසා මේ ලෝකයේ මිනිස්සු සියලු ගුණධර්මවලින් පිරිහිලා පහත් මිනිසුන්ගේ ගණයට වැටුණා. මේ ක්‍රෝධය මුල්කරගෙන බොහෝ දෙනා ධන සම්පත්වලින් පිරිහිලා ගියා. ක්‍රෝධයට ඉඩ දුන්නට පස්සේ කිසිම කෙනෙකුට සැප නින්දක් ලබන්න බැහැ. ක්‍රෝධය මුල් කරගෙනම මේ මිනිස්සු අවලස්සන වෙලා ඉන්නවා. යම් කීර්තියක් අත්පත් කරගෙන තිබුණා නම් ක්‍රෝධයෙන් කටයුතු කිරීම නිසා මිනිසුන් තුළ ඔවුන් ගැන අපකීර්තියක් පැතිරී යනවා. බෝග සම්පත්වලින් පිරිහෙනවා. ක්‍රෝධ සිතින් වෛර බැඳගෙන මරණයට පත්වූ බොහෝ අය දුක් සහිත නිරයේ ඉපදුණා. ඒ නිසා මම නම් මේ ක්‍රෝධයට, තරහවට ඉඩ දෙන්නේ නැහැ. මගේ ජීවිතය තුළ මම තරහාව ක්‍රෝධය පවත්වන්නේ නැහැ සම්පූර්ණයෙන්ම බැහැර කරනවා කියා සිතන්න.
ඊළඟට ඔබ ජීවිතය තුළ දියුණුවක් කරා යන්න කැමැතිනම් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් ඇතිවුණාට පස්සේ අමනාපකම් ඇතිවෙන දේවල් සිදුවුණාට පස්සේ ඒවා හිතේ තබාගෙන පැසව පැසව ඉන්නේ නැතුව ඒ සැණින් අමතක කර දාන්න දක්ෂ වෙන්න ඕනේ. තරහ ඇතිවෙන දේවල් හිත්වල තිබාගෙන දිගින් දිගටම ගෙනආවොත් සතර අපායේ වැටි වැටී උපනුපන් ආත්මවල පවා තරහකාරයන්ගෙන් පළිගනිමින් දිගින් දිගටම මේ ක්‍රෝධය මුල්කරගෙන සංසාර ගමන සකස් වෙනවා. අපේ තරහකාරයෝ නැවත නැවතත් අපට සංසාරේදී මුණ ගැහෙනවා. එහින් මිදෙන්න නම් කරන්න තිබෙන්නේ තරහකාරයන් යන්නේ නැති පාරක ගමන් කරන එකයි. ඒ පාර වෙන එකක් නොවේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා මේ නිවන් මාර්ගයයි. මේ නිවන් මාර්ගයේ එහෙමත් නැත්නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන කෙනා තුළ මෛත්‍රිය, කරුණාව ආදි ගුණධර්ම දියුණු වෙනවා. නිහතමානිකම ගොඩ නැඟෙනවා. මේ ගුණධර්ම දියුණු වෙන්න දියුණු වෙන්න ඔහු කවදාවත් ක්‍රෝධයට යටවෙන්නේ නැහැ. ඔහු ක්‍රෝධය ප්‍රහාණය කරලා සංසාරයෙන් මිදෙන කෙනෙක් බවට පත්වෙනවා.
නයනා නිල්මිණි