දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ස්‌පර්ශය මිස කය විඳින්නට පුළුවන්කමක්‌ නෑ


ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති
රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති 
පූජ්‍ය කොත්මලේ කුමාරකස්‌සප හිමි

මදුරුව විදින කොට එන වේදනාවත් අපි විඳිනව. මදුරුව අත කනව කියල ප්‍රපංච මට්‌ටමේ වේදනාවත් අපි විඳිනව. අපට අත ගැන දැනුමක්‌ ආවෙ කොහොම ද? මදුරුව කන කොට අපට වුණේ ස්‌පර්ශ මාත්‍රයක්‌ විතර මයි. ස්‌පර්ශය කියන දේට මදුරුවෙක්‌ වත්, මදුරුවට ස්‌පර්ශය කියල දෙයක්‌ වත් තිබුණෙ නැහැ. ස්‌පර්ශයට අත තිබුණ ද? ස්‌පර්ශයට අත තිබුණෙ නැහැ.

ඇහෙන් යම් රූපායතනයක්‌ දකිනව නම්, වර්ණ සටහනක්‌ කියල දෙයක්‌ දකිනව නම් මේ දකින පැහැය කියන මට්‌ටමින් දකිනව, මෙන්න මේකයි අත කියල. අපි රැස්‌ කරගත්ත අතයි මදුරුව කෑවෙ කියල අපි හදාගෙන තියෙනව. නැත්නම් අපි කාට වත් අපේ කය විඳින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. අපිට පුළුවන් ද අපේ කය විඳින්න? කය විඳින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ කාට වත්. අපිට පුළුවන් ස්‌පර්ශය විඳින්න විතරයි. ස්‌පර්ශය ඇති කල්හි මයි කය පනවන්නෙ. ස්‌පර්ශය නැති වෙනවත් එක්‌ක ම කය නැති වෙනව.

කය තියෙනව කියල ප්‍රකට වෙන්නෙ යමක ගැටීමත් එක්‌ක මයි. යම ධර්මතාවක ගැටෙන කොට තමයි අපට ප්‍රකට වෙන්නෙ කය තියෙනව කියල. ගැටීම නැති ව කය ප්‍රකට වෙන්නේ නැහැ. ඇහැට කය ප්‍රකට වෙන්නෙ නැහැ. චක්‌ඛු විඤ්ඤාණයට කාය විඤ්ඤාණය ප්‍රකට වෙනව ද? නැහැ. චක්‌ඛු විඤ්ඤාණයට කාය විඤ්ඤාණය ප්‍රකට වුණොත් එහෙම තුවාලයක්‌ තියන මනුස්‌සයෙක්‌ ව බලනවා වෙනුවට ඒ තුවාලය අපිටත් විඳින්න වෙයි. ඒ නිසා චක්‌ඛු විඤ්ඤාණයට කාය විඤ්ඤාණය ප්‍රකට වෙන්නෙ නැහැ. චක්‌ඛු විඤ්ඤාණයට වර්ණ සටහනක්‌ විතර මයි ප්‍රකට වෙන්නෙ.

වර්ණ සටහනක්‌ විතරක්‌ ප්‍රකට වන චක්‌ඛු විඤ්ඤාණ කියන මට්‌ටමක දි හැම වෙලාවක දි ම අපි රූපය දිහා බලන කොට වර්ණ සටහන පිරිසිඳ නො දන්නාකම නිසා මේ හම්බ වෙන අතත්, කයට ගැටෙන වේදනාව කියන එකත් එකතු කරල අපිට අද අතේ ඇති වන වේදනාව විඳින්න පුළුවන් වෙලා තියෙනව.

එතකොට මේ ඇති වන වේදනාවට මදුරුවෙක්‌ වත්, මදුරුවට වේදනාවක්‌ වත් තිබුණෙ නැහැ. ඒ වගේ ම වේදනාවට අතක්‌ වත්, අතට වේදනාවක්‌ වත් තිබුණෙ නැහැ. වේදනාව කියන එක, ස්‌පර්ශය කියන එක ස්‌පර්ශ මාත්‍රයක්‌ විතර මයි. අත කියන එක පිළිබඳ දැනුමක්‌ තිබුණ නම් ඒක මනෝමයෙන් උපද්දපු, අපිට ධම්මායතනයෙ පරියාපන්න වුණු රූපයක්‌, හිතේ ම හදාගත්ත එකක්‌ විතරයි.

එතකොට අත කියන දේ හදාගත්තෙ හිතේ ම නම් දැන් අපි අත අරගෙන යයි ද මදුරුවට ගහන්න? නැහැ. ඇයි? අපිට මදුරුවෙක්‌ හම්බ වෙන්නෙ වත් එළියෙන් තව අතක්‌ හම්බ වෙන්නෙ වත් නැහැ.

එයා නුවණින් පාණාතිපාතා කියන ශික්‌ෂාපදය කැඩෙන්න තියෙන හේතුවයි නැති කරගෙන තියෙන්නෙ. පාණාතිපාතා කියන ශික්‌ෂාපදය කැඩෙන්න හේතුවක්‌ තිබුණ නම් ඒ හේතුවයි නැති කරගෙන තියෙන්නෙ. දැන් එයාට බලෙන්a රකින්න දෙයක්‌ නැහැ. මදුරුව කන කොටත් කන්න කියල ඉවසගෙන ඉන්න තරම් එයාට රකින්න දෙයක්‌ ඇත්තෙ නැහැ. මොකද එයාට ස්‌පර්ශ ප්‍රත්‍යයෙන් එන වේදනාවක්‌ විතර මයි දැනෙන්නෙ. එයාට ඒක මදුරුව කෑමෙ වේදනාව වෙලා වත්, අතේ වේදනාව වෙලා වත් නැහැ. මොකද ස්‌පර්ශයට එයාට කයක්‌ හම්බ වෙන්නෙ නැති නිසා. එයා ගෙ මුළු කය ම ප්‍රකට වෙලා තියෙන්නෙ ස්‌පර්ශ මාත්‍රයෙන් විතරක්‌ වන නිසා. එයාට වේදනාව අල්ලන්න හේතුව නැහැ.

කය තියෙන අපියි, වේදනාව කය වුණු, කය වේදනාව වුණු අපියි අත ගිහිල්ල වේදනාව එන තැන අල්ලන්න යන්නෙ. වේදනාව කියන එක දැනෙන ස්‌වභාවයක්‌ මිස අල්ලන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි.

රහතන්වහන්සෙ කියන මට්‌ටමේ දි කය පරිහරණයෙන් එන යම් වේදනාවක්‌ තියෙනව නම ඒ වේදනාව ම විඳිනව. නමුත් ඒ වේදනාවට කයක්‌ ඇත්තෙ නැහැ. කය තියෙන්නෙ රූපායතනය සහ ස්‌පර්ශය කියන දෙක ම එකතු කරල ගත්ත අපිට. විඳින්න පුළුවන් කයක්‌ අද හම්බ වෙල තියෙනව.

එතකොට විඳින්න පුළුවන් කය හම්බ වෙල තියෙන්නෙ අපේ කෙළෙස්‌ ධර්මතා නිසා ම උපද්දපු මට්‌ටමකින්. 

ඉතින් මෙන්න මේ වගේ ස්‌වභාවයකට, මෙන්න මේ වගේ දර්ශනයකට තමයි අපිට වඩන්න තියෙන්නෙ, ප්‍රතිපදාව කියන එක. ඒ ප්‍රතිපදාව වඩන අපි සීලය කියන එකත් ඔන්න ඔය විදියට ම සම්මා දිට්‌ඨ§යෙන් උත්සාහවත් කරපු, සම්මා දිට්‌ඨ§යෙන් ඇත්ත ඇති හැටියට පෙන්නන සීලයක්‌ විය යුතුයි. 

ඊට පස්‌සෙ අපි සමාධිය, හිතේ ඒකාග්‍රතාව කියන එකත් ඔන්න ඔය ඇත්ත පෙන්නන, ඔතන සඳහා යන ප්‍රතිපදාවක්‌ විය යුතුයි. එහෙම නැත්නම් ඒකට කියන්නෙ නැහැ සම්මා සමාධිය කියල. අද ආනාපාන සති භාවනාව හෝ මොකක්‌ හරි භාවනාවක්‌ වඩන අය ගෙන් අපිට නොයෙක්‌ කාරණා අහන්න හම්බ වෙනවා. ඇයි? භාවනාවෙන් නිවන් දකින්න ගියාට මේ ඥාන දර්ශනය ඇත්තෙ නෑ. සම්මා දිට්‌ඨ§ය යෙදිල නෑ සමාධියට. සම්මා සමාධිය වෙලත් නෑ. සම්මා සමාධිය නො වෙනව නම් ඒක මිච්ඡා සමාධිය විදියටයි අපිට නම් කරන්න වෙන්නෙ.

ඒ නිසා අපිට යම් භාවනාවක්‌ වඩනව නම් ඒ භාවනාව තුළ සම්මා දිට්‌ඨ§ය යෙදිල තියෙන්න ඕන. මෙතන මේ මට්‌ටමේ නාම රූප දෙක එකතු කරල අපිට ලෝකෙ විඳින්න පුළුවන් මට්‌ටමකින් ගෙදර විඳින්න පුළුවන් නම්, ශාලාව විඳින්න පුළුවන් මට්‌ටමේ යම් ක්‌ලේශයක්‌ තියෙනව නම්, ලෝකෙ විඳින්න පුළුවන් කියල විඳින මට්‌ටමේ ක්‌ලේශයක්‌ තියෙනව නම් අන්න ඒ ක්‌ලේශය දුරු කරගන්න මට්‌ටමට අපේ සමාධිය වැඩෙන්න ඕන. අපිට පෙනෙන්න ඕන, අපිට තේරෙන්න ඕන මේ ක්‌ලේශ දුරු වෙන බව, අපි වඩන භාවනා ප්‍රතිපදාව තුළ.

එහෙම ප්‍රකට වෙන්නෙ නැත්නම් ඒක සම්මා දිට්‌ඨ§යෙන් උණුසුම් කරපු, සම්මා දිට්‌ඨ§ය යෙදුණු භාවනාවක්‌ වෙන්නෙ නැහැ. 

ඒක නිසා සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ දර්ශනය, ප්‍රඥාව මූලික කරගත්ත, ඇත්ත ඇති හැටියට දැකීම මූලික කරගත්ත දෙයක්‌ වෙන්න ඕන. ඇත්ත ඇති හැටියට දකින්න වෙන්නෙ අර අපි කතා කරපු දුකයි කියල කතා කරපු, දුක පිරිසිඳ දැකිය යුතුයි කියල කතා කරපු, ස්‌කන්ධ නාම රූප දෙක පිරිසිඳ නො දන්නා මට්‌ටමේ දුකක්‌ ආව නම් ඒ දුක කියන තැන මයි ඇත්ත ඇති හැටියට දැකිය යුතු වෙන්නෙ.

එතකොට නාම රූප දෙක පිරිසිඳ දකින බව ම, නාම රූප දෙක වෙන් කරන බව මයි අපි අවබෝධ කරගත යුතු වෙන්නෙ. ඒක නිසා අද දවසෙ දි අපේ ප්‍රතිපදාව අපේ භාවනාව සකස්‌ කරගත යුතු වෙන්නෙ අන්න ඒ මට්‌ටමට යන්න ඇති කරගත්ත අපේ ජීවිතය තුළ. 

දේශනාවට අදාළ වැඩිදුර පැහැදිලි කිරීම් ;

පොට්‌ඨබ්බය කියල කියන්නෙ, පොට්‌ඨබ්බයෙන් නියෝජනය වෙන්නෙ හැම වෙලාවෙ ම පඨවි, තේජෝ, වායො කියන කියන ධාතු තුන. අපිට ඇ`ගට දැනෙන්නෙ තද ගතියක්‌, තද ස්‌වභාවයක්‌. එහෙම නැතිනම් උණුසුමක්‌, සීතලක්‌. එහෙම නැතිනම් හුළං හමා යන ගතියක්‌, හමා යන බවක්‌ වගේ දෙයක්‌ තමයි අපිට හැම වෙලාවෙ ම ප්‍රකට වෙන්නෙ. එතකොට කයට ප්‍රකට වෙන්නෙ පඨවි, තේජෝ, වායෝ කියන ධාතු කොටස්‌ ටික විතරයි.

ආපො ධාතුව පොට්‌ඨබ්බයට අයිති වෙන්නෙ නැහැ මොකද ආපො ධාතුවෙ ලක්‌ෂණය කෘත්‍යය තමයි හැම වෙලාවක ම අනෙක්‌ ධාතු තුන එකට බැඳල එකට පවත්වන බව. එතකොට ඒක මනෝ විඤ්ඤාණයෙන් විඤ්ඤෙය්‍ය වෙනව මිසක පෙට්‌ඨබ්බයෙන් විඤ්ඤෙය්‍ය වෙන්නෙ නැහැ. (දැනගන්න බැහැ).

අර ධාතු තුන විතරයි ඇ`ගට ගැටෙන්නෙ. වතුර ටිකකට අපි ගැහුවොත් දැනෙන තද ගතිය, තද ස්‌වභාවය කියන එක එතන පඨවි ධාතුව. ඒ තුළ යම් උණුසුමක්‌ සිසිල් බවක්‌ දැනෙනව නම් ඒක තේජෝ ධාතුව. යම් හුළ`ගක්‌, වාතයක්‌ හමා යන බවක්‌ වගේ දෙයක්‌ දැනෙනව නම ඒක වායෝ ධාතුව කියන තැනින් කයට යමක්‌ ස්‌පර්ශ වෙනව නම් ස්‌පර්ශ වෙන්නෙ ඔය ස්‌වභාව තුනෙන් විතර මයි. 

එතකොට මේ පොට්‌ඨබ්බය කියන එක ස්‌පර්ශ වෙලා තියෙන්නෙ හැම වෙලාවක දි ම ඔන්න ඔය ස්‌වභාව ධර්මතා තුනෙන්. එතකොට ඒ පොට්‌ඨබ්බය කියන තැන විදර්ශනා කරන කොට අපිට පොට්‌ඨබ්බයට හම්බ වෙලා තියෙන්න බැහැ පුටු, මේස, ඇඳන්, ගෙවල්, දොරවල්. පුටුව විඳිනව කියන මට්‌ටමින් පුටුව විඳින්න පුළුවන්කමක්‌ ඇත්තෙ නැහැ. මොකද අපි පුටුව විඳල නැති නිසා. අපිට ස්‌පර්ශය කියන කොට පුටුවෙ ස්‌පර්ශ, මේසෙ ස්‌පර්ශ තිබුණෙ නැහැ. තද ගතියෙ වෙනස්‌කමක්‌ තිබුණ නම් තද ගතිය තද ගතිය ම වුණා මිසක තද ගතිය 'මේසෙ තද ගතිය' 'පුටුවෙ තද ගතිය' තිබුqණෙ නැහැ. 

මේසෙ කියන එක පැනෙව්වෙ, ඇස පිරිසිඳ නො දන්නා අපි, ඇහැ කියන ධර්මතාවෙන් දැකපු වර්ණ සටහනත් එක්‌ක ම මේසෙ අල්ලනව කියන, මේ දෙක ම එකතු කරගත්ත මට්‌ටමකින්. පුටුව කියන එක පැනෙව්වෙ, පුටුව විඳිනව කියන්නෙ, ඇහැ, රූප, චක්‌ඛු විඤ්ඤාණ පිරිසිඳ නො දන්නාකම නිසා පුටුව ගැන යම් වර්ණ සටහනක්‌ තිබුණ නම් ඒකත් එක්‌ක එකතු කරලයි. මේ ස්‌පර්ශය පුටුවට බැඳලයි පුටුව විඳින්න පුළුවන් වුණේ. 

නැතිනම් අපිට පුටුව කියන එක විඳීම් මාත්‍රයක්‌ විතර මයි. ඒක හැබැයි පුටුවෙ ස්‌පර්ශය වෙලා නැහැ. ස්‌පර්ශය කියන කාරණාවට පුටු තිබුණෙත් නැහැ, පුටුවට ස්‌පර්ශය තිබුණෙත් නැහැ. අපිට කයයි පුටුවයි දෙක ම පනවන්න වුණේ මේ ස්‌පර්ශ වෙන ගතියට විතරයි. 

එතකොට හැම වෙලාවක දි ම අපිට විදර්ශනා කරන කොට, විදර්ශනාව තුළ අපිට ස්‌පර්ශ වෙන කොට, ස්‌පර්ශයට නිමිති තියල තියෙන්න බැහැ, පුටු මේස ගෙවල් දොරවල් කියල. අපි අර සක්‌මන් කරන කොට 'පඨවි' 'පඨවි' කියල දකින්න කියන්නෙ. මොකද එක කකුලක්‌ උස්‌සල තව කකුලක්‌ තියන කොට ස්‌පර්ශ වෙන තද ගතිය ම ප්‍රකට විය යුතුයි මිසක පෙනෙන රූපය උඩ ඇවිදිනව, පෙනෙන පොළොව උඩ අඩිය තියෙනව කියන සංඥාව එතන දි දුරු විය යුතුයි. ඇහැට පෙනෙන වර්ණ සටහනයි මේ ඇවිදින්නෙ කියන මටේටම, පොළොවයි ඇවිදින්නෙ කියන මට්‌ටම, පොළොවයි ස්‌පර්ශයයි එකතු කරල විඳින මට්‌ටම නැති වෙන්න ඕන.

අපිට ස්‌පර්ශය ස්‌පර්ශ අන්තයෙන් සහ ඇහැට පෙනීම පෙනීම් අන්තයෙන් ය කියන දෙකක්‌ වෙලා තියෙන්න ඕන. මේ දෙක එකක්‌ වෙලා අපිට ප්‍රකට වෙන්න බැහැ. ඒ විදියට පොට්‌ඨබ්බය කියන එක හැම වෙලාවෙ ම නිමිති නැති, නැතිනම් නිමිත්තක්‌ විදියට මෙනෙහි කරන්න බැරි ධර්මයක්‌. රූපය අනාරම්මණයි කියල කිවවෙ මේසෙ, පොට්‌ඨබ්බ, පුටුවෙ පෙට්‌ඨබබ තිබුණෙ නැහැ කියන එකයි. මේසෙ ස්‌පර්ශ වුණේ ඒක අපි හිතින් ම උපද්දවගත්ත දෙයක්‌ වුණු නිසා. බාහිර මේසෙ අපිට ස්‌පර්ශ කරන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ මයි. ඒ මට්‌ටමින් පොට්‌ඨබ්බය කියන එක අපි හැම දා ම විදර්ශනා කළ යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෝකය විග්‍රහ කළ බුදුරජාණන් වහන්සේ

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

මීට වසර 2561කට පමණ පෙර ඉන්දියාවේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ ඔක්කාක රජ පරපුරේ රාජකීය පුත්‍රයෙකු ලෙස උපන් සිද්ධාර්ථ නම් වූ අතිවිශේෂ මිනිස් චරිතය ලෝකයෙහි පූජනීයභාවයට පත්වුණේ ශාස්තෘවරයෙකු වශයෙන්.කෙසේ වුවත්,සැබෑ ලෙසම ක්‍රි.පූ. 6 වන සියවසේ භාරත දේශයෙහි තිබූ දාර්ශනික විප්ලවයට, දාර්ශනික සාකච්ඡාවට එක්වූ එක්තරා දාර්ශනික යෞවනයෙකු ලෙස ගෞතම ගෝත්‍රීය විශිෂ්ට මිනිසා හඳුනාගත යුතුයි.
බුදුපියාණන් වහන්සේ නමින් ,අමාමෑණියන් වහන්සේ නමින්, භාග්‍යවතුන් වහන්සේ නමින් හා තථාගතයන් වහන්සේ නමින් සුවිශේෂී ගුණපද රාශියකින් සම්භාවනාවටද , වන්දනාවටද, පූජනාවටද,ලක්කරන මෙකී විශිෂ්ට මිනිසා සැබවින්ම ලෝකය මැනවින් විග්‍රහ කළා. ලෝකය මැනවින් විග්‍රහ කිරීම, සත්ත්වයා මැනවින් විග්‍රහ කිරීම, ලෝකයේ යථාව පිළිබඳව දාර්ශනික ප්‍රපංච ,දාර්ශනික අදහස් හා මත ඉදිරිපත් කිරීම ආගමක් නිර්මාණය කිරීමක් ලෙස අප පසු කාලයකදී හඳුනාගත් බව සඳහන් කළ යුතුයි.

ගුරුත්වාකර්ෂණ නියාමය ලෝකයෙහි ස්වභාවයක් මිස ආගමික මතයක් නොවෙයි.එය ලෝක ස්වභාවයයි. එකී මතය ආගමික මතයක්ද?එකී මතය ලෝකය විග්‍රහ කිරීමක්ද?නිවුටෝනියානු තර්කනයෙහි එන ක්‍රියාවක් ෙවි නම් එයට විරුද්ධ ප්‍රතික්‍රියාවක් ලෙස සාපේක්ෂ ප්‍රතික්‍රියාවක් ඇත යන්න ආගමික ප්‍රකාශයක්ද? එය ආගමික ප්‍රකාශයක් නොවෙයි. එය ලෝකයෙහි ස්වභාවයයි. කරුණු එසේ නම්, බුදුපියාණන් වහන්සේ සබ්බේ සත්ථා ආහාරට්ඨිකා නමින් කළ දේශනාවට අනුව සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන්නෝ වෙති, යන ප්‍රකාශය ආගමික ප්‍රකාශයක්ද? නැතහොත් එය ලෝක ස්වභාවයක්ද?
සබ්බේ සත්ථා මරිස්සන්ති සියලු සත්වයෝ මිය යති, යන ප්‍රකාශය ආගමික ප්‍රකාශයක්ද?එය ලෝක ස්වභාවය නොවේද?අනිච්චා වත සංඛාරා ලෝකයෙහි පවතින්නාවු සංස්කාරයෝ සියල්ල නැති වන්නේය. යන්න ආගමික ප්‍රකාශයක්ද?එසේ වන්නේ බෞද්ධයන්ට පමණක්ද?සියල්ල වෙනස්වන්නේ යන්න අදාළ වන්නේ ලාංකේයයන්ට පමණක්ද?එහෙයින් ආගමික ප්‍රකාශයක්ද? එසේ නොවේ නම්, එය ලෝක ස්වභාවයද?එසේම පේමතෝ ජායතී සෝකෝ ශෝකය ඇතිවන්නේ ප්‍රේමයේ සාපේක්ෂ ඝනත්වයට අනුවය, යන්න ආගමික ප්‍රකාශයක්ද? එය බෞද්ධයන්ට පමණක් අදාළ වන ප්‍රකාශයක්ද? එසේ නැතහොත් එය සාමාන්‍ය පොදු කාරණාවක්ද?පොදු මිනිස් චර්යාවෙහි සැබෑව ප්‍රකාශ කරන්නාවු යථාරූපී ප්‍රකාශයක්ද?එසේම පරිපටිබද්ධ මාගේ ජීවිකාව සියලු දෙනා හා බැ¼දී පවතී.යන්න බෞද්ධයන්ට අදාළ ප්‍රකාශයක්ද?එසේ නැත හොත් සාමාන්‍ය පොදු ලෝකය විග්‍රහ කිරීමක්ද? තවත් අයුරකින් විග්‍රහ කරන්නේ නම්,සංතුට්ඨි පරමං ධනං සතුට පරම ධනය වන්නේය, යන ප්‍රකාශය ආගමික ප්‍රකාශ යක්ද ? නැත හොත් ජීවිතය ප්‍රකාශ කිරීමක්ද?විස්සාසා පරමා ඥාාති සැබෑ ඥාාතිත්වය වනාහි , විශ්වසනීයත්වය හෙවත්,හිතවත්කමය යන්න ආගමික ප්‍රකාශයක්ද ? එසේ නැතහොත් ලෝක ස්වභාවයද? එබැවින් සෑම කාරණාවක් දෙස දිගින් දිගටම සාකච්ජා කරමින් අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ තථාගතයන් වහන්සේ ලෙස පසු කලෙක අපගේ පූජාවට ලක්වන්නාවූ මේ විශිෂ්ට මිනිසාට වුවමනා වූයේ ලෝකය විග්‍රහ කිරීම බවයි. බොහෝ දාර්ශනිකයන් විසින් ලෝකය විග්‍රහ කළ කාලවකවානුවකදී අවුරුදු දහඅටක් විසි පහත් අතර යෞවනය පසුකරමින් සිටි අඩි හයක් පමණ උස වූ ආරෝහපරිණාහ දේහසම්පත්තියකින් යුක්ත වූත් , සර්වාභරණ විිභූෂිතව ඔටුන්න හිමි කුමාරයා ලෙස බිහිව රාජ්‍ය පාලනය සඳහා සියල්ල සූදානමින් සිටියාවූත්, මේ විශිෂ්ටතම මිනිසාට සැබෑ ලෙසම ඕනෑ වූයේ එකී රජ සැප විඳීම හෝ රාජ්‍ය පාලනය , ජනතා පාලනය සියතට නතුකරගෙන සිටිනවාට වඩා ලෝකය විග්‍රහ කිරීමේ වුවමනාව නොවේ දැයි සිතා බැලීම වටී . ඒ අනුව ලෝකය විග්‍රහකිරීම සිදුකළ බුදුපියාණන් වහන්සේ නොහොත් ගෞතම ගෝත්‍රීය සිද්ධාර්ථ නම් දාර්ශනික උතුමාගේ අදහස් පසු කලෙක ආගමක් වශයෙන් සංස්ථාපිත වීම සඳහා සියලු කරුණු සූදානම් කරනු ලැබුවේ පසුකාලයෙහි ප්‍රඥාාවන්ත දූරදර්ශී මහරහතන් වහන්සේලා සහ ශ්‍රමණ සම්ප්‍රදාය ඇතුළු කොට ඇති බෞද්ධ සම්ප්‍රදායයි. මේ අවස්ථාවෙහි එකී මහා දර්ශනය , හෙවත් ලෝක විග්‍රහක න්‍යායන් ලෝකය සහ සත්වයා පිළිබඳව වූ සැබෑව න්‍යාය ධර්ම දේශනාවන් සැමදාටම පවත්නා ලෙස සංරක්ෂණය කර තබාගැනීම පිළිබඳ ක්‍රමවේද නිසි අයුරින් ඇති කරමින් මෙකී විශිෂ්ට දැක්ම අනාගත ලෝකය සඳහා ඉතිරි කර තැබීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ ධර්ම සංග්‍රාහකයන් වහන්සේලායි. තථාගතයන් වහන්සේ විසින්ම නිර්මාණය කරනු ලැබු නීති රීති රෙගුලාසි ව්‍යවස්ථා නීති අතුරුනීති ඇතුළත් විනය පිටකයද උපකාරී කරගනිමින් සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා සංස්ථාපිත ආයතනයක් ස්ථාපිත කිරීම භික්ෂූණ් වහන්සේලාගේ දැවැන්ත කාර්යභාරයෙහි තවත් එක් කොටසක් බවට පත්ව තිබුණා. එකී කොටසෙහි වුවමනාව යථාවක් කරමින් බුදුපියාණන් වහන්සේගේ මෙකී දැක්ම ඉතිරිකර තැබීමට මහා සංඝ රත්නය ඇතුළු බෞද්ධ පිරිස උත්සුක වුණා.
කිසියම් ආකාරයක අනාගතය උදෙසා දැක්ම ඉතිරිකිරීමක් ලෙස හැඳින්විය හැකියි. තවත් අයුරකින් විස්තර කරන්නේ නම්, බුදුපියාණන් ්වහන්සේගේ දේශනාව කසායක් ලෙසද, එය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වූ මෙකී ක්‍රමෙවිදය මුට්ටියක් වශයෙන්ද, නිදර්ශන කළ හැකියි. විසිතුරු ලෙස කැටයම් කරමින් අලංකාර කළ මුට්ටියෙහි කසාය දමාගැනීම ආගමක් නිර්මාණය කොට එහි දේශනාව සංරක්ෂණ කිරීම හා සමාන වෙයි. කාල්මාක්ස්ගේ දේශපාලන දැක්ම රැකගැනීම උදෙසා ලෙනින් හා පශ්චාත් කාලීනයන් විසින් කොමිනියුනිස්ට් පක්ෂය නිර්මාණය කිරීමත්, රතුපාට වර්ණය ලෙස යොදා ගැනීමත් ,දෑ කැත්ත හා මිටිය එහි ලාංඡනය ලෙස සැළකීමත් එම වර්ණ හා සංවිධිත බවක් සහිත පක්ෂයක් නිර්මාණය කරගැනීම නිසා කාල්මාක්ස්ගේ දේශපාලන දැක්ම ආරක්ෂා වුණා. බුදුපියාණන් වහන්සේගේ දේශනාව ආරක්ෂා වී තිබුණේ එබඳු ආකාරයෙන්ම පාටක් ලාංඡනයක් සංවිධිත ව්‍යුහයක් භික්ෂුණ් වහන්සේලා නමින් හඳුන්වනු ලබන පූර්ණකාලීන සාමාජිකයන් පිරිසක් හා එයට අනුග්‍රාහක වන සාමාජික බෞද්ධ සම්ප්‍රදායක් වන බෞද්ධ සම්ප්‍රදාය විසින්. මෙකී ව්‍යුහගත වූ සංවිධිත ආයතනයක් සංස්ථාපිත කිරීම ඉහතකී කසාය ආරක්ෂා කරගැනීම සඳහා වන මුට්ටිය නිර්මාණය කිරීමක් ලෙස හඳුන්වා දිය හැකියි. වර්තමානය වන විට තථාගත දර්ශනය ඉතිරිව පවතින්නේ මෙකී ආගමික සම්ප්‍රදාය තුළ බව අප විසින් සැළකිය යුතුයි. ඒ අනුව වැඩියෙන් අවශ්‍ය වන්නේ මුට්ටියද ? කසායද යන ප්‍රශ්නයට පිළිතුරක් ලබාදිය නොහැකියි. මක්නිසාද යත්, කසාය නැතිව මුට්ටිය නිෂ්ප්‍රයෝජන වන නිසා සහ මුට්ටිය නැතිව කසාය සංරක්ෂණය නොවන නිසයි.
බුදුපියාණන් වහන්සේගේ දේශනාවත් එය ආරක්ෂා වන බෞද්ධ සම්ප්‍රදායත් දෙස අප බැලිය යුත්තේ ඉහත සඳහන් ආකාරයටයිි. මේ අනුව දිගින් දිගටම බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා විය යුතුයි.එකී බෞද්ධ ආගමික සම්ප්‍රදායට පුද පූජා සම්ප්‍රදායන් වන්දනාමාන අලංකරන සම්ප්‍රදායන් භික්ෂු සම්ප්‍රදාය හා විහාර සම්ප්‍රදායන් රැකිය යුතුයි. මක් නිසාද , යත් කසාය සඳහා මුට්ට්ය අත්‍යවශ්‍ය නිසා . එහෙත් එකී සම්ප්‍රදාය පමණක් ආරක්ෂා කොට යමෙක් දහම භාවිත නොකරන්නේ නම්, හා දහම අධ්‍යයනය නොකරන්නේ නම්, හා දහම තම ජීවිතයට එකතු කර නොගන්නේ නම්,එම පුද්ගලයා මුට්ටියට වන්දනා කර කසාය නොබොන තැනැත්තෙක් ලෙස නිදර්ශන ගත කළ හැකියි. මේ අනුව භික්ෂු සම්ප්‍රදාය ඇතුළු කොට ඇති විහාර සම්ප්‍රදායත්,ආගමික බෞද්ධ සම්ප්‍රදායන්ද, බුදුපියාණන් වහන්සේගේ දේශනාද මැනවින් සංරක්ෂණය විය යුතුයි. බුදුපියාණන් වහන්සේගේ දේශනාව පසුකාලීනව සංරක්ෂණය උදෙසා ආගමක් ලෙසද සංවර්ධනය වූයේ ඒ ආකාරයට අනුවයි.

සමාජය සරු කරන බෞද්ධ ආචාර ධර්ම

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති, 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

සාමාන්‍ය සරල අදහස අනුව බලන විට “ආචාර” යනු හැසිරීම යි. ඒ වුණත් “ආචාර ධර්ම” යන වචනයෙන් අදහස් කරන්නේ ඊට වඩා පුළුල් වූ අර්ථයක්. එනම් යහපත් හැසිරීමට අවශ්‍ය කරන ගුණාංග මොනවා ද යන්න ආචාර ධර්මවලින් අදහස් කරනවා. මේ අදහසට විරුද්ධ වචනාර්ථය විමසූවිට එහි අර්ථය වඩාත් තේරුම් ගන්නට පුළුවනි. එනම් “අනාචාර ධර්ම” යන වචනය යි. මේ වචනය කියන විට ම අපට වැටහෙනවා අයහපත් අසාර්ථක, විෂමාචාර, විලිබිය නැති හැසිරීම එයින් අදහස් කරන බව.

“ආචාර” යන වචනයේ අර්ථය තවදුරටත් වැඩි දියුණු කරන වචනයකි. “සදාචාර” යන්න මිනිසාට උසස් මනසක් තිබෙනවා. ඒ නිසා ම “මනුස්ස” යන වචනය නිර්මාණය වී තිබෙනවා. මනසේ උසස් බවක් තිබීම මිනිසා ට ඇති මූලික ම ලක්ෂණයක්. ඉතින් මේ මනස උසස් බවට පත් කරන්නේ මිනිසාට වෙනත් සතුන්ට වඩා උසස් ලෙස මනස මෙහෙයවීමට ඇති හැකියාව නිසයි. තිරිසන්ගත සතුන්ට ඔවුන් සතු මනස උසස් බවට පත් කරගැනීමට හැකියාවක් නැහැ. මිනිසාට ඒ ශක්තිය තිබෙනවා.
මව්පියන් “මුල්ගුරුවරුන්” වශයෙන් සලකා ඔවුන්ගෙන් ලබා ගන්නා දැනමුතුකම්වලින් වගේ ම ගමේ පන්සලෙන්, පාසලෙන්, පසුව සමාජයෙන්, ඇසුරට පත්වන කල්‍යාණමිත්‍රයන්ගෙන් තමන් අදහන ආගම ධර්මයෙන් ලබා ගන්නා දැනුමෙන් ශක්තියෙන් ඒ මනස උසස් තත්වයට පත් කර ගැනීමේ අපූරු ශක්තිය උරුම වී තිබෙනවා. ඒ නිසා මව්පියන්, වැඩිහිටියන්, පවුලේ දෙටු සහෝදර සහෝදරියන්, වෙතින්, ගමේ පන්සලෙන් මේ ආචාරධර්ම දරුවන්ට හුරු කරවීමේ වගකිම මැනවින් ඉටු කිරීම අවශ්‍ය වෙනවා.
මිනිසාට උරුම වී ඇති “ආචාර ධර්ම“ ශක්තිමත් කරන ප්‍රධානම බලවේගය ලෙස ”හිරි හා ඔත්තප්ප” යන චෛතසික දෙක පෙන්වා දෙන්නට පුළුවනි. “හිරි” කියලා කියන්නේ අයහපත්, අසත්පුරුෂ, ලජ්ජාව, සමාජයේ පිළිකුල ඇති කරන යමක් කිරීමට ඇති අකැමැත්ත යි. ඔත්තප්ප කියන්නේ එවැන්නක් කිරීමට ඇති භයයි. මේ හිරි ඔතප් යන දෙක “ලෝකපාලක” ධර්ම ලෙසත් අපේ ධර්මයෙහි සඳහන් වෙනවා.
අද ලෝකයේ සම්මත හැසිරීම් රටා පහක් වශයෙන් පන්සිල් මගින් කියවෙන ගුණධර්ම පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්. මේ පන්සිල්වලින් කියවෙන ගුණධර්ම යම් සමාජයක ක්‍රියාත්මක වෙනවා නම් ඒ සමාජයේ මනා ආචාර ධර්ම රාශියක් ගොඩ නැගී තිබීමේ ඉඩකඩ තිබෙන්නට පුළුවනි. කෙසේ වුවත් මූලික වශයෙන් මේ ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් ඕනෑම අයෙකු විසින් මුලින් ම ලබා ගන්නේ අපේ මව්පියන්ගෙන්. ඒ අය දරුවාට මුලින් කියලා දෙනවා සමාජයේ ශිෂ්ට සම්මත ලෙස අප ජිවත් විය යුත්තේ කොහොම ද? කියලා. බුදුදහමේ මව්පියන් දරුවාගේ “ මුල්ගුරු” නාමයෙන් බුහුමන් ලබන්නේ පාසැලේ දී මෙන් පොත පත ශබ්ද ශාස්ත්‍රය කියාදීමෙන් නොව ජීවත් වෙන කලාව පිළිබඳ මුල් පාඩම් කීපය කියා දෙනවා කියන අර්ථයෙනු යි. ඒ අනුව බෞද්ධ සමාජ පරිසරයන්ඇති ගෙදරක නම් දරුවාට වැඩිහිටියන් කවු ද? වැඩි හිටි සහෝදරයන්, සහෝදරියන් කෙබඳු අය ද? අම්මා, තාත්තා කියන්නේ කෙබඳු දෙදෙනෙක් ද? ඒ අයට කථාබහ කරන විධිය කෙසේ ද? ඒ වගේ ම ඒ වැඩිහිටි ගුරුවර දෙමාපියන් ඉදිරියෙහි කථාබහ කරන පිළිවෙල, ඉරියව් පැවැත්විය යුතු පිළිවෙළ යන මේ ආදි හැම දෙයක්මත් දරුවාට කියලා, වටහලා දෙන්නේ මේ මුල්ගුරුවරු කියන මව්පියන් විසිනු යි.
ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව මේ ආචාර ධර්ම පිළිබඳව අවබෝධයක් ලැබීමට අපි මෙතැන් සිට උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි අප හැම දෙනාට ම පැහැදිලි කර දී තියෙන “වත්” කියන කොටසට තමා මේ ආචාර ධර්ම අයත් වන්නේ. මේ වත් පිළිබඳව අප තේරුම්ගත යුතු වන්නේ භික්ෂූන් වහන්සේගේ පැත්තෙන් ගත්තහම අද දවසේ පැවිදි බවට පත්වන අයගේ සිට ආචාර්ය උපාධ්‍යාය වශයෙන් ශාසනයේ ඉහළම තනතුරු දරන භික්ෂූන් වහන්සේ කියන මේ හැම දෙනාම මේ වත් අනුගමනය කළයුතු වෙනවා.
අපේ විනයෙහි සඳහන් වත් සම්පූර්ණ නො කරන භික්ෂුව ශිලය සම්පූර්ණ කරන්නේ නැහැ. ශීලවන්ත භාවයෙන් ගිලිහුණු පුද්ගලයා නුවණ ඇති අයෙකු බවට පත් වන්නේ නැහැ. ඒ නුවණ නැති තැනැත්තා ට සිත එකඟ කර ගැනීමේ ශක්තියක් නැහැ.
මේ නිසා ආචාර ධර්ම කියන්නේ සීලය ශක්තිමත් කරන පොදු දෛනික පැවැත්ම පිළිබඳ සිරිත් සමුදායක් කියා කීවොත් නිවැරැදියි. බුදුරජාණන් වහන්සේ මහාවග්ගපාලියේ දී විශේෂයෙන් භික්ෂූන් වහන්සේගේ මනා පැවැත්ම අරමුණු කොට ගෙන පෙන්වා දී ඇති වත් සමූහයක් තිබෙනවා. මේවා ආගන්තුක වත, ආවාසික වත, පිණ්ඩචාරික වත, සේනාසන වත, ආරඤ්ඤක වත, අනුමෝදනා වත, භත්තග්ග වත, ජන්තාගර වත, වච්චකුටි වත, ආචරිය වත, උපජ්ඣාය වත, සද්ධිවිහාරික වත, අන්තේවාසික වත කියා 14 ක් වෙනවා. මේ වත් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දේශනා කර ඇතත් මෙහි එන බොහෝ වත්සිරිත් ගිහි ජීවිතය ගත කරන අයට වුව ද අතිශයින් වැදගත් වේ. නිදසුනක් වශයෙන් ආගන්තුකයෙක් තමන්ගේ නිවසකට පැමිණි විට ඒ ආගන්තුකයා විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම එයින් විස්තර වෙනවා. ආගන්තුකයා පාවහන් පැළඳ ආවේ නම් ඒවා ඉවත් කර, කුඩ ඉහළාගෙන ආවේ නම් ඒවා හකුලා හිස්වැසුමක් දරා ආවේ නම් එය ඉවත ලා සන්සුන් ව ඒ නිවසට පිවිසීම මෙහි මූලික වශයෙන් අනුගමනය කළ යුතු පිළිවෙල යි. දැන් මේ පිළිවෙල භික්ෂූන් වහන්සේ නමක් කිසියම් පන්සලකට පැමිණෙන විට අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙල වුණත් එය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට වුව කෙතරම් ආචාරශීලි වෙනවා ද? යන්න අපට අවබෝධ කර ගැනිම අපහසු වන්නේ නැහැ.
මේ අතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ යම් යම් චර්යාවන් පවත්වන විට හික්මවිය යුතු ආකාරය කෙලෙස ද? යන්න පිළිබඳව විස්තර කරන තවත් වත් සමූහයක් “සේඛියා” යනුවෙන් ධර්මයෙහි විස්තර කර තිබෙනවා. මෙහි භික්ෂූන් වහන්සේ විසින් දන් වළඳන අවස්ථාවේ අනුගමනය කළ යුතු ආචාර ධර්ම 30 ක් දක්වා තිබෙනවා.
ආහාර ගනිමින් කථාබස් හි යෙදීම, ආහාර කටට විසිකරමින් ආහාර ගැනීම, වානරයා වාගේ ආහාර හක්කේ පුරවා ගනිමින් ආහාර ගැනීම, බත්සුළු අවට විසුරුවමින් ආහාර ගැනීම ආදී මේ කරුණු භික්ෂූන් වහන්සේ සඳහා දේශනා කර තිබුණත් ගිහි සමාජයේ මනා පැවැත්මට කොතරම් දුරට වටිනා ආචාර ධර්ම පද්ධතියක් ද? යන්න සිතා ගත හැකිය. මෙහි එන මළමූත්‍ර පහ කිරීම පිළිබඳ නියමයන් දෙස බලන විට වැඩෙන තණකොළ මත මළමූත්‍ර පහකිරීම, ගහක් මතට වුව ද කෙළ ගැසීම, පරිභෝගයට සුදුසු ජලයෙහි මළමුත්‍ර පහ කිරීම, කෙළ ගැසීම නො කළ යුතු බව, ආදි කරුණු දෙස බලන විට මෙවැනි ආචාර ධර්ම මගින් ස්වාභාවික පරිසරයට හානියක් නොවන පරිදි, වටිනා සම්පතක් වන ජල සම්පතට හානියක් නො වන පරිදි අප ක්‍රියා කළ යුතු ආකාරය ගිහි සමාජයේ වුව ද මනා පැවැත්මට කෙතරම් හේතුවනවා ද යන්න පැහැදිලි වේ. මේ සේඛියා මගින් භික්ෂුන් වහන්සේගේ ආචාරාත්මක පැවැත්ම ශක්තිමත් වන්නා සේ ගිහි ජනයා වුව ද තමන්ට ගැලපෙන ආකාරයෙන් එම නියමයන් භාවිත කිරීම ශිෂ්ට සම්මත සමාජයේ යහ පැවැත්මට මහෝපකාරි වෙනවා යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.
මේ අතර බුදු රජාණන් වහන්සේ “සිඟාලෝවාද සූත්‍රයේ”සදිසා නමස්කාරය අර්ථවත් කරමින් දේශනා කර ඇති කරුණුවල දී ගිහි විනය පිළිබඳ වැදගත් ආචාර ධර්ම රාශියක් ම ඉදිරිපත් වේ. ඒවා හි ඇත්තේ බොහොමයක් ආචාර ධර්ම යි. එහි දී නැගෙනහිර දිසාවට වැටෙන මව්පියන්ට, මව්පියන් විසින් දරුවන්ට, ශිෂ්‍යයන් විසින් දකුණු දිසාවට වැටෙන ගුරුවරුන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍ය දරුවන්ට, ස්වාමියා විසින් බටහිර දිසාවට වැටෙන භාර්යාවට, කුලපුත්‍රයන් විසින් උතුරු දිසාවට වැටෙන මිත්‍රාමාත්‍යවරුන්ට, ස්වාමියා විසින් යට දිසාවට වැටෙන දැසි දස් කම්කරුවන්ට, දැසි දස් කම්කරුවන් විසින් ස්වාමිවරුන්ට, කුලපුත්‍රයා විසින් උඩ සිටින ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආදි වශයෙන් කළයුතු යුතුකම් හා වගකීම් රැසක් විස්තර වෙනවා.
මේවාත් බොහොමයක් සමාජයේ පැවැත්ම සරු කරන ආචාරධර්ම ගණයට යි වැටෙන්නේ. කොහොම වුණත් මේ ආචාර නිසා සමාජය සරු වෙනවා. සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකිමින් අසාර දෙයින් සාර දේ වෙන් කර ගෙන තමන්ගේ ජිවිත සරුසාර කර ගැනීමේ වෑයමේ දී මේ සාර කොටසට වැටෙන ආචාර ධර්ම පුද්ගලයාගේ ජීවන පැවැත්ම ඔප් නංවන සැරසිල්ලක් හා සමාන වෙනවා. මංගල, පරාභව, වසල, කරණියමෙත්ත සූත්ත වැනි බෞද්ධ ඉගැන්වීම් රාශියකම මේ ආචාර ධර්ම ගණයට වැටෙන කරුණු විස්තර වෙන බව පෙන්වා දෙන්නට පුළුවනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සුරාපානය මදයට ප්‍රමාදයට හේතුවෙයි

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 

තලල්ලේ චන්දකිත්ති හිමි

මදයට ප්‍රමාදයට හේතුවන්නා වූ රහමෙර හෙවත් මද්‍යසාර භාවිතා කිරීම සුරාපාන අකුසල කර්ම වෙයි. එය සිදුවන්නේ කය මුල්කර ගෙනයි. මෙය ප්‍රධාන වශයෙන්ම කාය මිථ්‍යාචාරයට උපකාරි වන අතර, එය ගිහි පැවිදි ඛේදයකින් තොරව සැමටම අහිත ක්‍රියාවක් සේ සළකා ඉන් වැළැක්වීමට කටයුතු කර ඇත.
ගිහියන්ට පන්සිල්, අටසිල් සහ ගිහි දස සිල්වලින්ද, සාමණේර ස්වාමින් වහන්සේට සාමණේර දසසිල් වලින්ද, උපසම්පදා භික්ෂූන්ට පනස් එක් වැනි පාචිත්තිය සිල් පදයෙන්ද සුරාපානය තහනම් කොට ඇත. පාචිත්තිය යනු ප්‍රබල සිල් පදයක් නොවූවත්, එවන් සිල්පදයකින් හෝ භික්ෂූන්ට සුරාපානය තහනම් වෙයි. මෙම තහනම බෞද්ධ සමාජයේ පමණක් ක්‍රියාත්මක වූවක් නොවේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළද සුරාපානය තහනම් ක්‍රියාවකි. බ්‍රාහ්මණ දහමට අනුව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය වෛශ්‍ය යන අයට සුරාපානය කළ නොහැකිය. එය ශුද්‍රයන්ට පමණක් සීමා වූ පහත් ක්‍රියාවක් ලෙස බමුණු දහම පවා සලකයි. එය සියලු ආගම්වලින් ප්‍රතික්ෂේප කර ඇත.
පන්සිල් අතර පස්වැනි සිල්පදය “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී” සිල්පදය යි. මෙහි මජ්ජපමාදට්ඨානා යනුවෙන් විශේෂ වචන දෙකක් එකතු වී ඇත. මජ්ජ නම් මදයයි. පමා නම් ප්‍රමාදයයි. ඨාන නම් එයට හේතු වන කාරණාවයි. මදයට හා ප්‍රමාදයට හේතුවන සකල විධ මද්‍යසාරයෙන් වැළැකෙමි යන්න එම සිල් පදයෙහි අරුතයි. ඒ වගේමයි තමන් මත්වතුර නොබොන්නා සේම අන් අයට එය නොදීම ද කළයුතු වෙයි. තමා සුරා පානයෙන් වැළැකී තම නිවසට පැමිණෙන හිතවතුන්ට මත්පැන් වලින් සංග්‍රහ කිරීම බොහෝ නිවෙස් තුළ සිදු වන්නෙකි. නමුත් සිදුවිය යුත්තේ තමා මත්පැන් පානය නොකරන්නා සේ අන් අයටත් නොදී සිටීමයි. එවිට ඒ සිල්පදය රැකේ. යම් විශේෂ දිනකදී සුරාව දීමෙන් තම නෑදෑ හිතවතුන් වෙරිමතින් විකාර නැටුම්, ගැයුම් ආදියෙන් යුතුව විකෘති වූ මානසිකත්වයකින් කරන ආශිර්වාදයෙහි ඵලය කුමක්ද? මෙසේ අන් අයට මත්වතුර දීමෙන් වන්නේ සංසාරයේ කෙදිනක හෝ තමාටත් ලෝදිය උගුර උගුර හෝ බීමට සිදුවීමයි. තමන් වැරැද්දක් නො කරන්නේ නම් මම නොකරන වැරැදි දේ අන් අය ලවා හෝ නොකරමි යන දැඩි ප්‍රතිපත්තියෙන් සිටීමට වගබලා ගතයුතු වන්නේ ඒ නිසාය. එයින් විදහා පාන්නේ ඔහුගේ පෞරුෂත්වයයි.
ඒ වගේම මේ සිල්පදය බිඳගන්නා තවත් අවස්ථාවක් තිබේ. ඒ වෙරිමතින් නටන පුද්ගලයන් දැක සිනාසෙමින් එය ඒ කි‍්‍රයාව ආශ්වාදයෙන් වැළඳ ගැනීමයි. ඒ වගේම සැබෑ ලෝකයේ පමණක් නොව මාධ්‍ය වලින් පෙන්වන බීමත් රැඟුම් දැක අපි එය සතුටින් වින්දනය කරමු. ඒ ආශ්වාදය තුළින් සිදුවන්නේ ද මෙම සිල්පදයට හානි වීමයි. මෙම සිල්පදය පරිපුර්ණත්වයට නො පැමිණීමයි. බීමතින් දොඩවන මිනිසුන්ගේ විකාර කථා ඇසීමට ඇති ආශාව නිසා ඔවුන් තවත් දිරි ගන්වන අයද සිටියි. එයින් සිදුවන්නේ ද අර පුද්ගලයන් තව තවත් මත්වතුර පානය කිරීමයි. මෙවැනි දේ දැක සිනාසෙමින් ආශ්වාදයෙන් ඉවසා සිටීමද හොඳ දෙයක් නොවේ. මත්වීමට එක් වචනයකින් හෝ සහයෝගය දෙන, අනුමත කරන හෝ ඒවා ආශ්වාදයෙන් වැළඳගන්නා අය කවුරුත් සිල්පදය පරිපූර්ණත්වයට පත් කර ගන්නෝ නොවති.
මද්‍යසාර භාවිතයෙන් වැළකිය යුත්තේ එය ප්‍රධාන වශයෙන් මදයට හා ප්‍රමාදයට හේතුවන නිසාය. සාමාන්‍යයෙන් පන්සිල් විස්තර කරන විට සිල්පද හතරකට එය කඩ කළහොත් එයින් සිදුවන හානිය සිල් පදය තුළින්ම විස්තර කර නැත. උදාහරණයක් ලෙස පාණාතිපාතා සිල්පදය කඩ කිරීමෙන් සිදුවන හානිය පිළිබඳව එම සිල්පදය තුළින් දක්වා නැත. නමුත් සුරාපානයෙන් වැළකීමට බුදුදහම මිනිසුන්ට උපදෙස් දෙනුයේ එය කඩ කළහොත් සිදුවන හානිය පිළිබඳව අවධාරණය කරමිනි.
මදය යනු කායික මත්වීම හෙවත් කායික දුර්වලතාවය යි. ප්‍රමාදය යනු මානසිකව ඇතිවන දුර්වලතාවයයි. මද්‍යසාර භාවිතයෙන් සිත සහ කය යන දෙකම දුර්වල වෙනවා පමණක් නොව මොළයේ ඇති ශෛල විශාල ලෙස අඩපණ කිරීමට හේතු වෙයි. සුරාපානය නොකර සිටීමෙන් මිතුරන් අතරේ කොන් වෙයි, එය තමන්ට මදිපුංචිකමක් යැයි සිතන අයද සිටී. බේබදු මිතුරන් අතරේ තමන් කලක් රැක ගත් අභිමානය, පෞරුෂය මෙලෙස පාවා දෙන්නට සිදුවන්නේ තමන් තුළ එයට විරුද්ධව නැඟී සිටීමේ දක්ෂතාවය නැති බැවිනි. එය කිසිම අයුරකින් සාධාරණීකරණය කළ නොහැක. සතිය යනු සිහිය යි. සිහිය විකෘති කරන, එය මැඬ පවත්වන, සිහිය දුර්වල කරන, ප්‍රධානම බලවේගය සුරාපානයයි. ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අවශ්‍ය ප්‍රධාන ධර්මතාවය වන්නේ සතිය නොහොත් සිහියයි. ධර්ම මාර්ගයේ ගමන් කර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට යමෙක් කැමැති නම් දියුණු කළ යුතු ප්‍රධාන ධර්මතාවය වන්නේ සතිය නොහොත් සති සම්බෝජ්ජඣංගයයි. සුරාපානය පහර එල්ල කරනුයේ එබඳු වූ සතියටයි. එවැන්නෝ නිවන් මාර්ගයෙන් බොහෝ ඈත් වූවෝ වෙති.
මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ අනෙක් අකුසල කර්ම කිරීමේදී සිහිය නො පිරිහෙන බවයි. ඒවා මනාව දියුණු කිරීමට සිහිය අවශ්‍ය වෙයි. මෙහිදී සිහිය යනු සම්මා සතිය නොව සාමාන්‍ය සිහිය බව අප දැනගත යුතුය. සතිය තිබීම සාමාන්‍ය දෙයකි. සම්මා සතිය නම් කුසලය පිළිබඳව ඇති සිහිය වන අතර, අකුසලය පිළිබඳ දියුණු වන සිහිය මිච්ඡා සතිය වෙයි. සතෙකු මරණ විටද, කාමයේ වරදවා හැසිරෙන විට හෝ බොරු කියන විටද සිහිය තිබිය යුතු වේ. අකුසල් කර්ම කරනවිට සිහිය පිරිහෙන්නේ නැත. ඒවා සිදු කිරීමට මිච්ඡා සතියයි අවශ්‍ය වන්නේ. සම්මා සතිය සම්පූර්ණයෙන් නැතිකර දමා එක් විටම සිත සහ කය සහමුලින්ම දුර්වල කරන එකම අකුසල කර්මය සුරාපානය යි. සුරා ලෝලීත්වය අවසන් වන්නේ උන්මත්තක භාවයෙන් බව දැන එම කාර්යයෙහි වැළකීමට උත්සාහ කළයුතු බව බුද්ධ දේශනාවලදී අපට ඉගැන්වෙයි.
සුරාපානය හෙළා දැකීමට බුදුදහම උත්සුක වන ප්‍රධාන හේතු දෙකකි. තථාගතයන් වහන්සේ විසින් සුරාපානයෙන් වළකින ලෙස දක්වා ඇත්තේ එයින් ලෙඩ රෝග වැළඳෙන නිසාම නොව එය නිවන් මඟට බාධාවන් වන බැවිනි. එය බුදුදහමේ ඉගැන්වෙන විමුක්ති මාර්ගයෙහි ගමන් කිරීමට බෙහෙවින් ඉවහල් වන ජාගරියානුයෝගය (සිහිය දියුණු වන පරිදි නිදිවරා කටයුතු කිරීම) ප්‍රතික්ෂේප වේ. ත්‍රිවිද්‍යාවන් උපදවා ගැනීමට පුහුණු කළ යුතු චර්යාවන්, අනුගමනය කළ යුතු ධර්ම පසළොස්චරණ ධර්ම ලෙස හැඳින්වේ. ඒ පසළොස්චරණ ධර්ම අතරින් ජාගරියානු යෝගයට සහ භෝජනේමත්තංඤ්ඤුතා (ආහාරයේ පමණ දැන ගැනීම) යන කරුණු දෙකම සුරාපානය මඟින් දුර්වල වෙයි.
සුරාපානය කරන්නා මෙලොවදී යම් යම් විපත් කරදර වලට මුහුණ දී මරණින් මතු නරකයෙහි ඉපිද අනේක විධ වර්ෂ කෝටි සහස්‍රාදියක් පැසී එයින් මිදී කලාතුරකින් මිනිසත් බවක් ලබා ගත්තද, ඒ තැනැත්තා උප්පත්තියෙන්ම මන්ද බුද්ධිකයෙකු වෙයි. ජන්මයෙන්ම මන්ද බුද්ධිකයෙක් වූ විවිධ හේතුන් නිසා උන්මත්තකයෙකුගේ තත්ත්වයට පත්වේ. ගුණ හීනයෙකු වෙයි. ලජ්ජා නැති මිනිසෙක් වෙයි. දිළින්දෙක් වෙයි. හැම විටම ඤාාති ව්‍යසනාදි දුක්වලට මුහුණ දෙන්නෙක් වෙයි. ඤාතීන් භේද වී රණ්ඩු සරුවල්වලට ලක්ව පවුලේ සමගිය විනාශ වෙන තත්ත්වයට පත්වෙයි. විරූපී ශරීරයක් ඇත්තෙක් බවට පත්වෙයි. මේවා සුරාපානයේ ආදීනව වෙයි.