දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

අනාගතවංස දේශනාවෙන්...

ගෞතම බුදුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට අනාගතවංස දේශනාවේ දී කළ පැහැදිලි කිරීමකි මේ.

මේ ගෞතම බුද්ධ ශාසනය කාලයක් යනකොට අධර්මය බහුල වීම නිසා පිරිහෙන්නට පටන් ගන්නවා. එතකොට නිර්මල බුද්ධ ධර්මයත් පිරිහිලා විනාශ වෙන්න පටන්ගන්නවා. එහෙම වෙන්න හේතු හතරක් බලපානවා.
1. රත්තඤ්ඤු මහත්තතා
2. වේපුල්ල මහත්තතා
3. ලාභග්ග මහත්තතා
4. බාහුසච්ච මහත්තතා
රත්තඤ්ඤු මහත්තතා කියන්නේ කාලයක් යන කොට අනිත්‍යභාවය සනාථ කරමින් බුද්ධ ශාසනයේ විනාශය ආරම්භ වීමයි. වේපුල්ල මහත්තතා කියන්නේ කාලයක් යනකොට මේ පිරිසිදු බුදුදහම ලෝකයේ හැම තැනකටම විහිදිලා පැතිරිලා ගිහිල්ලා අනෙකුත් ආගම්වල තිබෙන දේව විශ්වාස දේව ඇදිහිලි – නොයෙකුත් විධියේ මතිමතාන්තර එක්ක මිශ්‍ර වෙනවා. එහෙම වුණාම අනාගතයේ ලොව පහළ වෙන ලෝක සත්ත්වයන්ට පිරිසිදු බුදු දහම නිවැරැදිව තෝරා-බේරාගෙන අවබෝධ කරගන්න අපහසු වෙනවා. ලාභග්ග මහත්තතා කියන්නේ කාලයක් යන කොට බුදුදහම ලෝකයේ ප්‍රචලිත වීම නිසා වෙහෙර-විහාරස්ථානවලට, පන්සල්වලට, මහා සංඝරත්නයට අධික ලෙස ධනය ගලාගෙන එන්න පටන්ගන්නවා. එතකොට භික්ෂූන් වහන්සේලාට පැවිදි බව, සාංඝික ක්‍රමය අමතක වෙනවා. බාහුසච්ච මහත්තතා කියන්නේ විද්‍යාවේ දියුණුවත් සමඟම විවිධ ශබ්ද ශාස්ත්‍ර කර්මාන්ත ශිල්පයන්ට ඇබ්බැහි වීම නිසා පිරිසිදු තථාගත ධර්මය පරිහානියට පත් වෙනවා.
මෙන්න මේ හේතු නිසාත් පංච ශීලය තදින්ම කඩ කිරීම නිසාත් මිනිස්සු පාපයටම ඇබ්බැහි වෙනවා. අම්මා, නංගී, දියණිය, පියා, සහෝදරයා කියා හඳුනන්නේ නැහැ. සතුන් වගේ ඔවුනොවුන් කාම සංසර්ගයේ යෙදෙනවා. නිතරම පහළ වන්නේ කාමරාගි සිතිවිලි පමණයි. වැඩිහිටියන්ට ගුරුවරුන්ට දෙමාපියන්ට නොසලකා හරිමින් තිරිසන් සතුන් විධියට හැසිරෙනවා. එහෙම කාලයක් ගත වෙලා යන කොට දැනට තිබෙන පරම ආයුෂ ටිකින් ටික අඩු වෙලා අඩු වෙලා ගිහින් පරම ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. ලෝකයේ සියලු රස අතුරුදන් වෙනවා. කෑම-බීම පලතුරුවල රසත් එන්න එන්නම අඩු වෙලා යනවා. ‘පින්, කුසල්’ කියන වචනයක් වත් අහන්න ලැබෙන්නේ නැහැ.
කරුණාව මෛත්‍රිය දයාව සමාජයෙන් සදහටම මැකිලා ගිහින්, ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව තමයි රජ කරන්නේ. බොරුව හැම තැනකදීම පෙරමුණ ගන්නවා. එතකොට දෙවියන්ගේ බැල්ම නැති වෙලා ගිිහින්, ගහකොළ සතා සිව්පාවාත් විනාශ වෙලා යනවා. මැරෙන අය ක්‍රෝධ සිතින් වෛර සිතින් මැරෙන හින්දා ඒ අය නරකාදියේම උපදිනවා. මේ අතරතුර කෑම–බීම නැතිකමින් මැරෙන අය තුළ ප්‍රේත බැල්ම බහුලවම පවතිනවා. කොටින්ම කියතොත් කෙනෙකුට තව කෙනෙකු දුටු විට මරණ කැමැත්තම පහළ වෙන්නේ පාපයේ බරපතළකම එතරම්ම වැඩි නිසායි. අවි ආයුධ අතිනුත් දියුණු නිසා එකිනෙකා මරාගෙන මැරෙන තත්ත්වයට පත් වීම හින්දා මුළු ලෝකයම විනාශ වෙන්න පටන් ගන්නවා.
මේ විධියට මිනිස් සංහතියේ පිරිහීම හා විනාශ වීමේ උච්චතම අවස්ථාවට පත් වෙන කාලයේදී ‘ලෝක ව්‍යවහාර’ කියන කාමාවචර දෙවි කෙනෙක් අවමඟුල් වේශයකින් මනුෂ්‍ය ලෝකයට ඇවිත් මෙහෙම කියාගෙන යනවා:
උඹලා පව් කරනවා වැඩියි වහාම නවත්වන්න. එයින් මිදිලා පිනට දහමට නැඹුරු වෙන්න. තව දින හතකින් අධික වැස්සක් වහිනවා. කිසිම කෙනෙක් ඒ වැස්සට තෙමෙන්න එපා. යම් කෙනෙක් තෙමුණොත් තෙමුණ කෙනාව අනෙක් කෙනාට පේන්නේ මුවෙක් වගෙයි. එතකොට මුවාව මරන්න ඒ කෙනා පෙලඹවෙනවා. එතකොට දෙන්නම ඇනකොටාගෙන ජීවිතක්ෂයට පත් වෙනවා. තම තමන්ගේ ජීවිත බේරාගන්න වැස්සෙන් ආරක්ෂා වෙලා හිටපල්ලා” කියලා කියමින් ලෝකය වටේටම යනවා.
මේ පණිවිඩය ඇහුණ සමහර අය සති කීපයකට ආහාරපාන සූදානම් කරගෙන ඈත කැලෑවල ගල්ගුහාවල කදුශිඛරවලට ගිහින් හැංගෙනවා. තවත් සමහර අය “ඔය මොන බොරු කථාද? අපි අපේ ජීවිත මේ යන විධියටම ගෙන යමු” කියමින් සුපුරුදු විධියට කාලය ගත කරනවා. දින හත ගිය ගමන් අර කාමාවචර දෙවියන් කියපු විදිහට මෘගසන් වර්ෂාව වහිනවා. තෙමෙන අය එකිනෙකා කපාකොටාගෙන මැරෙනවා.
හැංගුණ අය සති කිහිපයකින් එළියට ඇවිත් බලන කොට මුළු ලෝකයෙම අත-පය කපා කොටාගෙන මැරුණු මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලා අපායක් වගේ පෙනෙන්නේ. දැන් ඉතුරු වෙලා ඉන්න ටික දෙනා එකට එකතු වෙලා කථා කරගන්නවා “අපේ මිනිස්සු පස්පව් කළ නිසා තමයි මෙහෙම වුණේ. ඊට පස්සේ අපි ටිකවත් පස්පව්වලින් ඈත් වෙලා ජීවත් වෙමු.” කියලා යහපත් ජීවිත ගමනක් ආරම්භ කරනවා. මෙන්න මේ විධියට යහපත් ජීවිත ගත කරන කොට අර අවුරුදු 10ක්ව තිබුණ ආයුෂ ක්‍රමක්‍රමයෙන් 20-30-40-50 යනාදි වශයෙන් වැඩිවෙන්න පටන් ගන්නවා. මෙහෙම මිනිසුන් පින් කරන්න පින් කරන්න, ආයුෂත් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ විධියට වැඩි වෙලා වැඩි වෙලා ආයුෂ අවුරුදු 200 දක්වාම වැඩි වෙනවා.
ගෞතම බුද්ධ රාජ්‍යය කාලය අවසන් වී මෘගසන් වර්ෂාවද අවසන් වීමෙන් අනතුරුව ඉතිරි වූ ටික දෙනා යහපත් කල්ක්‍රියාවෙන් යුතු වීම හා කුසලයට නැඹුරු වීම නිසා මිනිසුන්ගේ පරම ආයුෂ කාලයක් යෑමෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. මේ කාලය වන විට බරණැස් නුවර ඇතුළු මුළු ජම්බු ද්වීපයම උණ වනාන්තරයක් බවට පත් වෙලා ජනගහනයෙන් පිරිල ඉතිරිලා යනවා. ගම්නියම්ගම් සමෘද්ධිමත් වෙන්න පටන් ගෙන කාලයක් ගත වෙලා දැන් මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු දහසක් දක්වා වර්ධනය වෙලා. මෙහෙම තවත් බොහෝ කාලයක් ගත වෙන කොට (අවුරුදු දසදහස – තිස් දහස – පනස් දහස විධියට) තව තවත් වැඩි වෙලා වසර අනූ දහසක් දක්වා වර්ධනය වෙනවා. ඒ කාලය වෙනකොට බරණැස් නුවර නමත් වෙනස් වෙලා උත්පල කියන නුවර බවට පත් වෙනවා.
දැන් මිනිස්සු පස්පවින් වැළකිලා ධාර්මිකව ජීවත් වෙනවා. මෙහෙම කාලයක් ගත වෙන කොට ආයුෂ තව තවත් වර්ධනය වෙලා අවුරුදු ලක්ෂයක් බවට පත් වෙනවා. දැන් හොඳටම සශ්‍රීක වෙලා ඉතාම සෞභාග්‍ය සම්පන්නයි. ඒ වෙන කොට මේ උත්පල නගරයේ නමත් වෙනස් වෙලා පදුම නගරය නමින් හඳුන්වනවා.
මෙන්න මේ විධියට කාලය ගත වීගෙන යද්දී තවතවත් පුණ්‍ය ක්‍රියාවල යෙදිලා ඉතාම ධාර්මික විධියට මිනිස්සු ජීවත් වෙනවා. එහෙම වෙන්න වෙන්න ආයුෂත් වර්ධනය වෙලා වයස පරම ආයුෂ අසංඛෙය්‍ය දක්වාම වැඩි වෙනවා. මේ කාලය වෙන කොට පදුම නගරයේ නමත් වෙනස් වෙලා මන්දාර නුවර බවට පත් වෙනවා. ඉතාම ලස්සන නගරයක් බවට පත් වෙලා දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ශරීර ලක්ෂණත් දෙවියන් දෙවඟනත් වගේ රූප සොබාවෙන් යුක්ත වෙලා හරිම ලස්සනයි. හරියටම දිව්‍ය ලෝකයක් වගෙයි. පුදුම විධියේ සතුටකින් තමයි මිනිස්සු ජීවත් වන්නේ. දැන් මිනිස්සු ඉපදුණු දවසක් දන්නේ නෑ; ලෙඩරෝග දකින්න නෑ; ජරාවට පත් වෙනවා දකින්න නැහැ; මරණයට පත් වෙනවා, දුක් වෙනවා දකින්නත් නැහැ. මෙහෙම කාලයක් ගත වෙන කොට මිනිසුන්ගේ සිත්වල කුසල ධර්ම හොඳ සිතිවිලි ටිකෙන් ටික ඈත් වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර උපරිම තත්ත්වයට පත් වුණු පරමආයුෂත් ක්‍රමයෙන් අඩු වෙන්න පටන්ගෙන ආයුෂ ලක්ෂය අනූදහස දක්වා අඩු වෙනවා. මේකට හේතුව තමයි මිනිසා ටිකෙන් ටික පාපයට නැඹුරු වීම.
මේ කාලය වෙන කොට මන්දාර නුවර නමත් වෙනස් වෙලා යොදුන් 12ක් දිග යොදුන් 7ක් පළල සියලු සැපසම්පත්වලින් පිරුණ කේතුමතී කියන පුරවරය බවට පත් වෙලා. මුළු ලෝකයෙන්ම ජම්බු ද්වීපය ඉතාම ලස්සන ඒ වාගේම සශ්‍රීක රටක් බවට පත් වෙනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලොව පහළ වෙන්න සුදුසුම කාලයක් බවට ජම්බු ද්වීපයම පත් වෙලා සැදී පැහැදී බලා සිටිනවා.
දැන් චක්‍රවර්ති කෝලාහලය ඇති වෙන්න පටන්ගෙන ඒ කියන්නේ ලෝක පාලන දේවතාවෝ මිනිස් ලෝකයට ඇවිත් කියනවා තව අවු 100කින් චක්‍රවර්ති රජකෙනෙක් පහළ වෙනවා ඒ රජතුමා දසරාජ ධර්මයෙන් මුළු ලෝකයම පාලනය කරනවා. එහෙම කියාගෙන යෑමට කියනවා ‘චක්‍රවර්ති කෝලාහලය’ කියලා. දෙවිවරු ප්‍රකාශ කරපු ඒ චක්‍රවර්ති රජ්ජුරුවන්ව දැක බලාගන්න බොහෝ මිනිස්සු ඉතා ආශාවෙන් බලා සිටිනවා. කාලයත් සමඟම සංඛ කියන චක්‍රවර්ති රජ්ජුරුවෝ ලොවට පහළ වෙනවා.
මේ කේතුමතී රාජධානියේ රජ කරන සංඛ කියන චක්‍රවර්ති රජතුමාට වාසය කරන්න පහළ වෙනවා පෙර කරන ලද මහා කුසලානුභාවය නිසා දිව්‍ය මාලිගාවක් බඳු රත්නමය ප්‍රසාදයක්. ඒ ප්‍රසාදය සත්රුවනින් විසිතුරු වුණු මුතු පබළු රන් රිදී මැණික්වලින් සමන්විතයි. උත්තම සත්ත්වයන්ට පහළ වන දැකුම්කලු මන්දිරයක් නිසා බලන්නෙකුට ඇස් අදහාගැනීමට බැරිතරම් විසිතුරුයි. පෙර භවයකදි මහාපනාද රජතුමා වාසය කළ මන්දිරය තමයි මතුමත්තෙදි සංඛ චක්‍රවර්ති රජතුමාට පහළ වෙන්නේත. මේ රත්නප්‍රසාදය ගැන ඉතාම රසවත් අතීතයක් තිබෙනවා. ඒ ගැනත් දැන් සඳහන් කරන්නම්.
මීට කල්ප ගණනට ඉහතදි බරණැස් නුවර හිටියා කුළුපොතු කර්මාන්තයෙන් ජීවත් වුණු පියෙක් හා පුතෙක්. දවසක් මේ දෙදෙනා රැකියාවට යද්දි නගරයේදී මුණගැසුණා හිමාලයේ ඉඳන් ඍද්ධියෙන් නගරයට ඇවිත් පිණ්ඩපාතයේ යන පසේ බුදුන් වහන්සේ නමක්. මේ දෙන්නා පසේ බුදු හිමියන්ට දානයෙන් සංග්‍රහ කරලා ඇහැව්වා “ඉදිරියට වර්ෂා කාලයක් එනවා, ඔබ වහන්සේ වඩින්නේ කොහාටද? ඔබ වහන්සේ ඉන්නේ කොහෙද?” කියලා උන්වහන්සේ කීවා “මමත් මේ ඉන්න තැනක් සොයමිනුයි යන්නේ” කියලා. ඊට පස්සේ මේ පියපුතු දෙන්නා එකතු වෙලා දිඹුල් ලී උණ ලී සිටුවලා, මැටිගහලා, වහලට තණකොළ දාලා කුඩා කුටියක් හදලා පූජා කළා. වස් සමාදන් කරවලා වස් තුන් මාසේම තාත්තයි පුතයි මේ පසේ බුදු හිමියන්ට සිව්පසයෙන් සංග්‍රහ කළා. අන්න ඒ කුසලකර්ම ආනිසංසයේ මහිමයෙන් මේ දෙන්නා මරණින් මත්තේ දිව්‍යලෝක හයේම අනුලෝම–ප්‍රතිලෝම වශයෙන් දිව්‍ය සැප සම්පත් වින්දා.
මෙහෙම දිව්‍යසැප වින්ද පියතුමා මහාපනාද කුමාරයා නමින් පස්සේ කාලෙක මනුෂ්‍ය ලෝකයේ ඉපදුණා. ඉතින් මේ කුමාරයා තරුණ වයස පැමිණිලා ශිල්ප ශාස්ත්‍රයත් හදාරලා අවසන් වුණාම පියරජතුමා ඇමතිවරුන්ට කීවා කුමාරයාට වාසය කරන්න සුදුසු බිමක් සොයලා මාළිගාවක් හදන්න කියලා. ඒ මොහොතේදී පෙර ආත්ම භවයකට පසේ බුදු පියාණන්ට සංග්‍රහ කිරීමේ කුසලමහිමයේ ආනිසංස බලයෙන් ශක්‍රදේවේන්ද්‍රයාගේ අණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මාණය කරපු මේ රත්නමය මහල් ප්‍රාසාදය ඒ මොහොතේදීම පහළ වුණා. යොදුන් විසිපහක් පමණ උසැති මේ මන්දිරයේ තමයි මහාපනාද රජතුමා වාසය කළේ.
මෙහෙම ඉඳලා රජතුමා මරණින් පසුව දිව්‍ය සැප විඳලා නැවතත් ගෞතම බුදු පියාණන් වහන්සේගේ කාලයේදී අඟුරටේ භද්දිය නුවර අසූකෝටියක් ධනය තිබුණ සිටුවරයෙකුගේ පුතෙක් වෙලා ඉපදුණා. මේ කුමාරයාගේ නම භද්දිය කුමාරයා. මේ භද්දිය කුමාරයා දවසක් පිරිවරත් සමඟ බුදු පියාණන් බැහැදකින්න පැමිණිලා බණ අහලා පැහැදිලා භද්දිය ස්ථවිර නමින් පැවිදි උපසම්පදාව ලබා රහත්භාවයට පැමිණුණා. මෙම් විදිහට බුදුපියාණන් වහන්සේ සමඟ අඟුලක නැගිලා ගංගා නම් ගඟෙන් එතෙර වෙන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විධියට ඇහැව්වා “භද්දිය, ඔබ මහාපනාද රජු වෙලා හිටිය කාලේ වාසය කරපු රත්න ප්‍රසාදය දැන් කොහෙද?” කියල. ඒ අවස්ථාවේදී භද්දිය ස්ථවිරයෝ කියනවා ඒ ප්‍රාසාදය මේ ගං පතුලේ ගිලී තිබෙනවා කියලා.
“එහෙනම් භද්දිය, මේ මා සමඟ ඉන්න තෙරුන් වහන්සේලාට පෙන්වන්න” කියලා. ඒ මොහොතේදී භද්දිය ස්ථවිරයෝ බුදු පියාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා අවසර අරගෙන අහසට පැනනැගල දිය දෙබෑ කරලා ප්‍රාසාදයේ කොත් කැරැල්ල පයේ ඇඟිලි මගින් රඳවාගෙන ඔසවා පෙන්නුවා. යොදුන් විසිපහක් පමණ විශාල මන්දිරයක් පෙන්වලා නැවත තිබුණ විධියටම තැම්පත් කළා. භද්දිය මහරහතන් වහන්සේ ආයු කෙළවර සසර දුක හැරලා නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා.
ඒත් කුළුපොතු කර්මාන්තයේ යෙදුණ පුතා තවමත් සදෙව් ලෝකවල අප්‍රමාණ දිව්‍ය සැපසම්පත් විඳිමින් සිටිනවා. මෛත්‍රී බුදුපියාණන් වහන්සේ ලොව පහළ වෙන කාලයේදී කේතුමතී රාජධානියේ සංඛ චක්‍රවර්ති රජු විධියට උපදින්නේ මේ පුතා තමයි. තම පියා මහාපනාද රජු වෙලා හිටපු කාලයේ වාසය කළ ඒ රත්න මහා ප්‍රාසාදය නැවතත් ගංගා නම් ගං පතුලෙන් මතු වී විත් මෛත්‍රීය බුදුපියාණන් දවස කේතුමතී රාජධානියේ පහළ වෙනවා. සංඛ චක්‍රවර්ති රජතුමා වාසය කරන්නේ මෙන්න මෙ රත්න මහා ප්‍රාසාදයේ තමයි. සංඛ චක්‍රවර්ති රජතුමා මෛත්‍රිය බුදුපියාණන් වහන්සේට මෙම රත්න ප්‍රසාදය පූජා කරලා රජතුමාත් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. මෛත්‍රී බුදුපියාණන් වහන්සේ ගඳකිළිය හැටියට වාසය කරන්න තෝරාගන්නේ මෙන්න මේ රත්න ප්‍රාසාදයයි.
පාලිත එස්. හෙට්ටිආරච්චි

මරණ බිය නැතිකිරීම

පූජා උත්තම පූජා 

ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
සභාපති, ශ්‍රී ලංකා අවිහිංසාවාදී භික්‌ෂු මහ සභාව

මාංශ භක්‌ෂණය කරන්නෝ අනුන්ගේ දුක මරණ භය නොදන්නෝය. මරණය කරා යන සතුන් මෙන්ම කවදා හෝ තමන්ද මරණය කරා යන බව නොදන්නෝය. තම මරණය අභිමුව බියෙන් මුසපත්වන බව නොසිතන්නෝය. වේදනාභරිතව මිය යෑවූ මළ කුණක්‌ අනුසාරයෙන් තෘෂ්ණාවක්‌ හෙවත් වානයක්‌ මුදුන්පත් කරගන්නෝය. සම්බුදුදහමට සම්පූර්ණයෙන් එකඟ අප මහා සම්බුදුපියාණන්ටද යටත්වන්නට සිදුවූ විශ්වයේ සදාතනිකව පවතින විශ්ව න්‍යාය වන කුසල් අකුසල් ඵලදීම ගැන සිතාමතාම නොතකා, අඳුරින් අඳුරට යන්නෝය. අවසන්දානය මද්දාව එනම් ද්‍රව්‍යයක්‌ නොව ද්‍රවයක්‌ බව තේරුම් නොගෙන එය ඌරුමස්‌ම යෑයි කෙස්‌පලන තර්ක ගෙනහැරපාමින් තම මාංශ තෘෂ්ණාව බුදුපියාණන් වහන්සේද උකසට තබන්නෝය.

සම්බුදුපියාණන් වහන්සේ මරණය පිළිබඳව නිරන්තරයෙන්ම මෙනෙහි කිරීමට උපදෙස්‌ දුන්නේ මිනිසාට ඇතිවන ආත්මවාදය හෙවත් අනුන් මියගොස්‌ හෝ තමන් සහ තමන්ගේ පරම්පරාව ජීවත්විය යුතු යෑයි දැඩිසේ අල්වා ගැනීමෙන් ඇතිවන ක්‌ලේෂ මාරයන් තුරන් කරවීමටය. මෙලොව කොතැනක හෝ කිසිදු නොමැරෙන මිනිසකු හෝ සත්වයකු සිටීනම් එම අයට පමණක්‌ අන් අය මැරිය හැක. මරාගෙන අනුභව කළ හැක. ඒ සඳහා අනුබලද දිය හැක.

එහෙත් එවන් න්‍යාය ධර්මතාවක්‌ මෙතුන්ලොව ජීවත්වන කිසිවකුට අයත් නැත. මක්‌නිසාද ඒ සියල්ල අනිත්‍ය ධර්මතාවයට ගොදුරුවී මියයන නිසාය. පුන් පොහොය දිනවලදී ගුවන් විදුලි නාලිකාවලින්, රූපවානියෙන්, පිරිවෙන් පන්සල්වලින් මෛත්‍රිය, මහාකරුණාව ඔප මට්‌ටම් කෙරෙනු, තුනට හතරට ඇඹරෙනු, බෙහෙත් ගුලි මෙන් දියකර පොවනු, දෙඇසට කඳුළු උනන්න, හදවත හඬවන්න කරුණු කාරනා පෙන්වා දෙනු අප කොතෙ=ක්‌ අසනු දකිනු ලැබ ඇත. 

ඒත් එදිනම දහවල් ආහාරයට, දානයට ලැබෙන උම්බලකඩයාට (ලොව වැඩිම වේදනාවක්‌ විඳ මැරෙන බල මාලුවා) මෛත්‍රියක්‌ නැත. හාල්මැස්‌සාට මෛත්‍රියක්‌ නැත. කරවලයාට කරුණාවක්‌ නැත. කුණු කරවල හොද්දක්‌ උම්බලකඩ සම්බෝලයක්‌, මාලු කෑල්ලක්‌ නැතිව බත්ටික බඩට බහින්නේ නැත. සුදනනි, කරවල, මස්‌, මාලු ගස්‌වැල්වලින් කඩාගන්නා දේවල් නොවේ. ඒවා ආහාර සඳහා පැමිණෙන්නේ ඉමහත් දුකකිනි. වේදනාවකිනි. මෛත්‍රිය කෙසේ වෙතත් සදාතනික වෛරයක්‌ එම ශරීර ලේ ධාරාව තුළ ගැබ්ව ඇත. ඒ බව දන්නේ කීයෙන් කීදෙනාද?

මෙකී සඳහන් කරුණ තුළ අප දකින එක්‌ විශේෂිත එක්‌ හේතුවක්‌ අන්තර්ගතව ඇත. සියලු දේශනාවලදී පුන පුනා කියෑවෙන්නේ තමන් ප්‍රාණඝාතය නොකිරීමට ප්‍රථම සිල්පදයෙන් පොරොන්දුවන බවකි. එහෙත් අපගේ දැනුමේ හැටියට, එම භයන්කර වරදට පෙළඹවීම, අනුබල දීම සිත,කය, වචනයෙන් අනුමත කිරීම බොහෝ දේශකයන්ගේ මුවින් පිට නොවේ. එය එක්‌තරා අකාරයකින් තමන් නොකර අන් අය ලවා කරවීම සහ එකහෙලා අනුමත කිරීමක්‌ බව අසරණ සැදැහවතුන්ට එත්තු ගැන්වීමට සහ එම ක්‍රියාව අනුමත, අනුබල දීමක්‌ බව නොපෙන්වන්නේ කුමන අහේතුක හේතුවක්‌ නිසාදැයි අපට තේරුම්ගත නොහැක.

මම නොමරමි. එහෙත් එම පව අනුන් ලවා කරවමි. අනුමතද කරමි. අනුබලද දෙමි. පවට සම්බන්ධ නැත යනුවෙන් සහ මා පවෙන් මිදිලාය යන මිථ්‍යාව බොහෝ බෞද්ධ හදවත් තුළ දැනට ලැගුම් ගෙන හමාරය. එවන් සටකපට සිල්පද සම්බුදු දර්ශනය තුළ කිසිසේත් නොමැති බව නොබියවම අප මෙසේ ප්‍රකාශ කරමු. සුධනනි, සර්පයා අල්ලා ගතයුත්තේ වලිගයෙන් නොව හිස පැත්තෙනි. අප මනුෂ්‍යයන් ඇතුළු සියලු සතුන් මරණයට නොකැමැති බව තමන්ට අනුරූපව සිතීමට උපදෙස්‌ දුන්නෝ බුදුරජාණන් වහන්සේමය.

නිර්මාංශිකව ජීවත්වන තැනැත්තාගේ මොලය පිරිසිදුය. සිත පිරිසිදුය. සිත ජීවත්න්නේ ශරීරය ආශ්‍රිතවය. පොළවෙහි භූමදාන කළ යුතු මිනියක්‌ කුස තුළ භූමදාන කරගනිමින් මළකුණු ඕජස්‌වලින් පෝෂිත වූ මොළයකින් කුමන ආශ්චර්යයක්‌ ලබාගන්නද? මලකුණු පෝෂණයෙන් ජීවත්වන්නා තරාතිරම කෙසේ වෙතත් මන්දගාමියෙකි. අඩි දහයක්‌ ඉදිරියට යනවිට අඩි අටක්‌ ආපසු ඇදෙන්නෙකි. ලොව පහළවූ සහ පහළව සිටින සියලු නිර්මාංශික උතුමන් අඩි දහයක්‌ ඉදිරියට ගමන් කරන විට නොසිතූ විලස තවත් අඩි දහයක්‌ ඉදිරියට තල්ලු වේ. මෙලොව ගුප්ත වශයෙන් සැඟවී තිබූ විශ්ව රහස්‌ සොයාගත් සියල්ලෝම නිර්මාංශික තැනැත්තන්ය. සමහරු පාරම්පරික නිර්මාංශිකයන්ය.

සමහරු පවසන්නේ තමන් කුරා කුහුඹුවකුවටත් වරදක්‌ කරලා නැහැ යනුවෙනි. ඒත් ඔවුන් සිය ජීවිත කාලය පුරාම මූලික සිල්පදය නිර්දය ලෙස කඩාගනිමින්,ජීවිත යදින, අනන්ත අසරණ සතුන්ගේ මෘත ශරීර හොණ්‌ඩර, ටොන්වලින් කොතෙක්‌ තම ශරීරයේ භූමදාන කරගෙන ඇත්ද? කුරා කුහුඹුවකුටවත් වරදක්‌ නොකළායෑයි පවසන අයගේ අවිද්‍යාවේ මෝහන්ධකාරයේ තරම කෙතරම්ද යන්න ඔවුන්ට කවදා, කොතැනදී වැටෙහ්ද? 

සම්බුදුරදුන් දෙසූ උසස්‌ම දානයක්‌ වශයෙන් සැලකෙන එනම් ජීවමාන සම්බුදුවරයකුට ලබාදෙන උසස්‌ සිවුපස දානයක්‌ හා සමාන අභයදානය වර්ග බේදයකින් තොරව සත්වයන්ට ලබාදී, සතුන්ට සදා සතුට ලබාදෙන මා හට සදා සතුට ලැබේවාෘ සතුන්ගේ මර අෙ¹aනාව පිරි මෘත ශරීර ආමාංශගත නොකරන මාහට සියලු සතුන්ගේ ආශිර්වාදය නොමඳව ලැබේවාෘ සතුන්ගේ මෘත ශරීර මිනිසා අනුභව කරන්නේ කුසගින්නට නොව හුදෙක්‌ දිව තුළ ඇති තෘෂ්ණාවට හෙවත් වානයටය. තදබල ශෝකයක්‌ තුළ ලබාගන්නා මාංශවල ඇත්තේද තදබල ශෝකයකි. එම කුණු රුධිරය හදවත් තුළින් ගමන් ගන්නා විට එම රුධිරය නියමාකාරයෙන් පිරිසිදු නොවන අතර එයින් නොඅඩුව තදබල ශෝකය උපදී. බොහෝ අයවලුන් හේතුවක්‌ නොමැතිවද නිරතුරු ශෝකයෙන්ම කල්ගෙවන බව අප විසින් නිරීක්‌ෂණය කර ඇත. නියම හේතුව කිසිදා නොවැටහෙනු ඇත.

මෙසේ සිතීමට පුරුදුවන්න. අප ජීවත්වන මොහොතක්‌ මොහොතක්‌ පාසා අපගේ නිරතුරු ප්‍රාර්ථනය වී ඇත්තේ සතුටක්‌ ලැබීමය. එම තාවකාලික සතුට පතා අප සිදුකරන්නේ ඉමහත් අසතුටට පත්කොට සතුන් මරවා එම මරණ තම සිතෙන් අනුමතකොට ආහාරයට ගැනුමය. එසේ අනුගතවීම ලෝක ධර්මතාවට හා විශ්ව න්‍යායට එකඟ දෙයක්‌ නොවේමය. තමන් වපුරන දෑ වැඩි වැඩියෙන් අස්‌වනු වශයෙන් ආපසු ලැබෙන විශ්ව දර්ශනයක්‌ තුළය අප සියල්ල ජීවත්වනුයේ.

සුධනනිෘ සුධන සාධුනිෘෘෘ අප නැවත නැවත පවසන්නක්‌ මැදහත් සිතින් අසනු මැනවි. දෙවියන්ට බුදුන්ට (දළදා පූජාව) පූජා කරනුයේ බෙහෙවින් පිරිසිදු මාංශවලින් තොර දානයන්ය. මාංශ භක්‌ෂකයාට මරණින් මතු දිව්‍ය, බ්‍රහ්ම ලෝකගතවීමට නොහැක. මක්‌නිසාද තමන්ගේ දිවට (ජිව්හා විඤ්ඤාණයට) කැමැති දැ එම ලෝකවල නොමැති නිසාය. ස්‌වර්ගයට යාමට නිතර යාඥකරන අන්‍ය ලබ්ධිකයකුගෙන් අප ඇසුවේ ස්‌වර්ගයේ සත්ව ගොවිපල සහ සතුන් මරණ ස්‌ථාන බෙහෙවින් තිබේද කියාය. ඔහු නිරුත්තර විය. දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල සැප විඳීමට තෙපරබාන අප සැදැහැවතුන්ගෙන් අපට ඇසීමට සිදුව ඇත්තේද එම කරුණමය.

මාංශ යනු වානයකි. (තෘෂ්ණාව) එසේ නම් නිර්මාශ නොවී නිර්වානයට අනුගතවන්නේ කෙසේදැයි සුධනනිෘ සුධන සාධුනිෘෘෘ අපට පවසන්න. නැතිනම් තෙරුම්ගන්න.

තෙරුවන් සරණයි!

සංස්කාර

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ 
කිරිබත්ගොඩ 
ඤාණානන්ද හිමි

අප ඔබට පැහැදිලි කරදීමට බලාපොරොත්තු වන්නේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං’ යනුවෙන් පටිච්ච සමුප්පාදයේ සඳහන් වන සංස්කාර පිළිබඳවයි.
පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවාද? පින්වත් මහණෙනි, සංස්කාර තුනක් තිබේ. එනම් කාය සංස්කාර, වචි සංස්කාර, චිත්ත සංස්කාර වශයෙනි.
කාය සංස්කාර කියා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකටයි. මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට කාය සංස්කාර කියල කියන්නේ කය හා බැඳිල තිබෙන නිසා.
අප වචන කතා කරන විට වචන හා බැඳී තිබෙන දෙයට කියනවා වචී සංස්කාර කියා. වචනයක් කතා කරන්න කලින් ඒ වචනය අපේ මනස ඇතුළේ හැදෙන්න ඕන. එහෙම හැදුනේ නැත්තම් අපට කතා කරන්න බැහැ. අප මෙහෙම හිතමු. අප ළඟ ඉන්නවා හින්දි කතා කරන කෙනෙක්, අපට හින්දි කතා කරන්න බැහැ. කෙනෙක් සිංහලෙන් කතා කරනවා. අන්න ඒ වෙලාවට අපට සිංහල වචන එනවා. වචි සංස්කාර ගොනු කරලා තියෙන හැටියට තමයි සකස් වෙන්නේ.
චිත්ත සංස්කාර කියා කියන්නේ සංඥා, වේදනා දෙකට, මේ ඔක්කොම අවිද්‍යා සහගතයි. කය පිළිබඳව අපට අවිද්‍යාවක් තියෙනවා. කය පිළිබඳ අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ කායානුපස්සනාවෙන්. කායානුපස්සනා භාවනාව නො කළොත් කය පිළිබඳව තිබෙන අවිද්‍යාව ප්‍රහාණය වෙන්නෙ නැහැ. එවිට කය පිළිබඳව අපිට අවිද්‍යාවක් තියෙනව නම්, අවිද්‍යාව සහිතව, අවිද්‍යා සහගත කයක් පවත්වන කෙනෙකුට ආශ්වාස, ප්‍රශ්වාසවලට විතරක් විද්‍යාව පහළ වෙනවද? අවිද්‍යා සහගත කයක් පවත්වන කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසයත් ඒ කය හා ප්‍රතිබද්ධයි. ඒ නිසා ඔහුට ඒ ආශ්වාස ප්‍රශ්වාස තියෙන්නෙත් අවිද්‍යා සහගතවම යි.
වචන කතා කරන කෙනෙකුට ඒ වචනයේ අවිද්‍යාව නැත්නම්, වචී සංස්කාරවල අවිද්‍යාව නැත්නම් බොරු කියන්නෙ නැහැ. රහතන් වහන්සේ බොරුව, කේළම, පරුෂ වචනය, හිස් වචනය කියන්නේ නැහැ. හේතුව තමාගේ වචී සංස්කාරවල අවිද්‍යාව නැහැ. වචි සංස්කාර වල අවිද්‍යාව තිබෙන එක්කෙනා අවිද්‍යා සහගතව නම් ඔහුගේ ජීවිතය පවත්වන්නේ ඔහු සිතන විදිහ තුළ බොරුව, කේලම, පරුෂ වචන, හිස් වචන කියැවෙනවා. මේ සිද්ධ වෙන්නේ, සකස් වෙන්නේ අවිද්‍යාවෙන්ම යි.
චිත්ත සංඛාර කෙළින්ම අවිද්‍යාව එක්ක සම්බන්ධයි. සඤ්ඤා විපල්ලාස කියා වචනයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ විපරීත වූ හඳුනා ගැනීම. අසුබ දේ අප හඳුනාගන්නේ සුබ වශයෙන්. ඒ වගේම දුක් දේ හඳුනාගෙන ඉන්නේ සැප වශයෙන්. අනිත්‍ය දේ නිත්‍ය විදිහටයි හඳුනා ගන්නේ. ඒ වගේම තමාගේ වසඟයෙහි පැවැත්විය නොහැකි අනාත්ම දේ අපි හඳුනාගෙන ඉන්නේ මම, මගේ, මගේ ආත්මය වශයෙන් ඒක තමයි අවිද්‍යාව. එබඳු මුලා වූ හඳුනා ගැනීමක් සමඟ යමක් විඳිනවා නම් එතැන මුලා වූ විඳීමක් තමා තිබෙන්නේ.
ආශ්වාස– ප්‍රශ්වාස කියන කාය සංඛාරත්, විතක්ක – විචාර කියන වචී සංඛාරත්, සඤ්ඤා –වේදනා කියන චිත්ත සංඛාරත් යන මේ සංස්කාරයන් පෘථග්ජන සත්වයා තුළ ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවෙන් යුක්තවයි. නමුත් කෙනෙක් භාවනා කිරීමේ දී මේ සංස්කාරයන්ගේ යම් යම් සංසිඳීම් ඇතිවෙනවා. එපමණකින් අවිද්‍යාව නැති වෙන්නෙ නැහැ.
අප සිතමු කෙනෙක් සමාධිය දියුණු කරලා පළවෙනි ධ්‍යානය ඇති කර ගන්නවා. එතකොට පංචනීවරණ නැතිවෙන ආකාරයට විතක්ක විචාර පවත්වනවා. ඒ ආකාරයට සඤ්ඤාවක් පුරුදු කරනවා. එවිට ඔහු ඊට අදාළ පිළිවෙළට තමයි විතක්ක විචාරය හසුරුවන්නේ. ඊට ගැළපෙන වචන තමයි මනසිකාර කරන්නේ.
ඒ පුද්ගලයා අර වචන ඇසුරෙන් තමා අරමුණු ගන්නේ. එතකොට විතක්ක විචාර තිබෙනවා. ඒ නිසාම හිත යම් යම් අවස්ථාවලදී බාහිර අරමුණු වල හැසිරෙන්න පුළුවන්. එතකොට විතක්ක විචාරවල ආදීනව සලකලා දෙවන ධ්‍යානය දියුණු කරනවා. දෙවන ධ්‍යානය දියුණු කරන විට ඒ දෙවන ධ්‍යානය තුළ විතක්ක විචාර සංසිඳුවාගෙන ඉන්න පුළුවන්. නමුත් අවිද්‍යාව නැතිවෙන්නෙ නෑහැ. තුන් වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය දියුණු කරනවා. සතරවෙනි ධ්‍යානයේ දී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳෙනවා. ඒත් අවිද්‍යාව නැති වෙන්නේ නැහැ.
ඊට පස්සේ අරූප ධ්‍යාන දියුණු කරල විදර්ශනා ප්‍රඥාව දියුණු කරන අයට පුළුවන්කම තියෙනවා. සඤ්ඤා වේදනා දෙක නිරුද්ධ කර නිරෝධ සමාපත්තියට සමවදින්න. මේ නිරෝධ සමාපත්තියට සමවදින්නෙ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ උත්තමයින්. මේ නිසා මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් තමයි ඒ සංස්කාර සහමුලින්ම නැති වෙන්නේ.
ඒ නිසා චතුරාර්ය සත්‍යාවබෝධයකින් තොරව තමයි කෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තොරව කයත් පවත්වනවා කියන එක තමයි එහි තේරුම. චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තොරව වචන පාවිච්චි කරන කෙනා තුළත්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව හඳුනා ගැනීම, විඳීම සිදුකරන එක්කෙනා තුළත් අවිද්‍යා සහගත විඤ්ඤාණයක්මයි හටගන්නේ.
එවිට ඇසෙන් රූපයක් බලන විට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා මේ ඇසේ හටගන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා කණේ හටගන්නේ. නාසයෙන් ආඝ්‍රාහණය කරනකොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් හට ගන්නේ. දිවෙන් රස විඳිනකොට, කයෙන් පහස ලබන කොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා හටගන්නේ. එහෙම නම් අවිද්‍යා සහගත විඤ්ඤාණයක් අවිද්‍යා සහගත විඤ්ඤාණයක් හටගත්ත ගමන් එතැන ඇතිවෙන ස්පර්ශය, අවිද්‍යා සහගතයි. ඇසයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි. නාසයයි, ගඳ සුවඳයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි. දිවය, රසයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි, කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි.
අප දන්නවා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හැදී තියෙන්නෙ නාමරූපවලින්. මේ විඤ්ඤාණය අවිද්‍යා සහගතවීම නිසාම විඤ්ඤාණය එකතු වෙලා හටගන්න නාමරූප සියල්ල අවිද්‍යා සහගතයි. එතකොට අවිද්‍යා සහගත සංස්කාර, අවිද්‍යා සහගත විඤ්ඤාණ, අවිද්‍යාවෙන් යුක්ත ආයතන හයක්, අවිද්‍යා සහගත ස්පර්ශයක් තිබෙනවා. අවිද්‍යා සහගත විඳීමක් හටගන්න කොට අවබෝධයක් නැති නිසා ඇලෙනවා. ඇලුන ගමන් බැඳෙනවා. කාමයන්ට බැඳෙනවා. දෘෂ්ටිවලට, මතවාද වලට බැඳෙනවා. මම, මාගේ, මාගේ ආත්මය කියන හැඟීමකට බැදෙනවා.ඒ තණ්හාවෙන් යුක්ත බැඳීම තුළ යම් චේතනාවක් පහළ කරනවද, චේතනාවක් පහළ කරල යම් කර්මයක් කරනවාද? එතකොට විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒකට තමයි භවය කියලා කියන්නේ.
භවය හැදුන විට එක්කෝ ඔහුට කාම භවය තුළ විපාක විඳින්න තියෙන්නෙ නිරයේ නම්, තිරිසන් ලෝකයේ නම්, මිනිස් ලෝකයේ නම් ඒ විදිහට හැදෙනවා. රූප භවය තුළ ඒ ඒ ලෝකවල විඳින්න නම් විපාක තියෙන්නේ ඒ විදිහට හැදෙනවා. අරූප භවය තුළ විපාක විඳින්න තියෙන්නේ ඒ විදිහට නම් ඒ විදිහටත් හැදෙනවා. ආයෙත් උපතක් කරා යනවා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා විඤ්ඤාණය හටගන්නවා. විඤ්ඤාණය නිසා නාමරූප හටගන්නවා, නාමරූප නිසා සළායතන හටගන්නවා, සළායතන නිසා ස්පර්ශය හටගන්නවා, ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා, වේදනාව නියා තණ්හාව හටගන්නවා, තණ්හාව නිසා උපාදාන හටගන්නවා, උපාදාන නිසා භවය හටගන්නවා, භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක වැළපීම්, දුක, දොම්නස් හට ගන්නවා කියා.
මේ නිසා සංස්කාර කියන වචනය යෙදෙන ඕනෑම තැනක් ගත්තොත් ඒවා පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභි සංඛාර, හෝ අනෙඤ්ජාභි සංඛාර වේවා අවිද්‍යා සහගතයි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර, අවිද්‍යා සහගතයි, රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ද සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා ගත්තත් අවිද්‍යා සහගතයි. එහෙම නම් අවිද්‍යා සහගත බව නැතිවෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නම ඕන.
රහතන් වහන්සේ නමක් ආශ්වාස ප්‍රශ්වාස කරනවා නමුත් අවිද්‍යාව නැති නිසා අවිද්‍යාව සහගත කාය සංස්කාරයක් නැහැ. උන්වහන්සේ විතක්ක විචාර කරනවා. නමුත් අවිද්‍යාව නැති නිසා වචනයෙන් කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමකට සඤ්ඤා. වේදනා. චිත්ත සංඛාර ඇතිවෙනවා. අවිද්‍යා සහගත සඤ්ඤාව කෙරෙහි මුලාවෙලත් නැහැ. විඳීම කෙරෙහි මුලාවෙලත් නැහැ. ඒ කියන්නේ කාය ප්‍රතිබද්ධ වූ අවිද්‍යාවක් නැහැ රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදය නිරුද්ධයි.
ඒ නිසා අපට වුවමනා කරන්නේ අවිද්‍යාවෙන් තොර වූ කයක් පවත්වන්න නම් එදාට අපේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් අවිද්‍යාව නැහැ. අපට ඕනෙ අවිද්‍යාවෙන් තොර වචන පවත්වන්න නම් එදාට අපේ විතක්ක විචාර වල අවිද්‍යාව ඇතිවෙන්නෙ නැහැ. අපිට වුවමනා වෙන්නෙ අවිද්‍යාවෙන් තොර සිතක් පවත්වන්න නම් එදාට අපිට අවිද්‍යා සහගත සඤ්ඤා, වේදනා ඇති වෙන්නේ නැහැ. අවිද්‍යා සහගත සිතක් නැතිනම් මොකද වෙන්නේ? ඒ සිත සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. අවිද්‍යාව දුරු වූ ගමන් ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා.
පැහැදිලිව තේරුම් ගත්තොත් ඔබට තේරුම් යාවි නියම විදිහට ධර්මයේ හැසිරෙද්දී මේ අවිද්‍යාව වචී සංස්කාරවල ක්‍රියාත්මක වෙන හැටි. ඔබට ධර්මයේ හැසිරෙද්දී තේරුම් යාවි කය කෙරෙහි කොච්චර අවිද්‍යාව තියෙනවද කියල. ඊළඟට ඔබ තේරුම් ගනීවි මේ ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යාව හා සම්බන්ධයි කියල ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යා සහගතයි. ඒ වගේම විතක්ක විචාර අවිද්‍යා සහගතයි.
මේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙනකොට මේ කය පිළිබඳව අවිද්‍යාවෙන් නිදහස් වෙනකොට ඔබේ විඤ්ඤාණය අවිද්‍යා සහගත වෙන්නෙ නැහැ කියා ඔබ තේරුම් ගනීවි. එවිට විඤ්ඤාණය උපතක් කරා සකස් වෙන්නේ නැතිව පිරිනිවන් පානවා.

පින්බර වස්සානය හා භික්ෂූන් වහන්සේ

කොළඹ 07
ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
භාෂා අධ්‍යයන පීඨයේ,
පීඨාධිපති 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

උතුරාවල ධම්මරතන හිමි

ධෛර්ය සම්පන්න භික්ෂු සංඝයා ද නිවන් මඟ සාක්ෂාත් කර ගනිමින් හා එය අත් දකිමින් අන්‍යයන්ට ද අත්දකින්නට මඟ පෙන්වමින් තුරිත අතුරිත චාරිකාවන්හි යොදමින් දහම් දෙසමින් චාරිකාවෙහි හැසිරුණාහ. කාලය ගැන නොසිතූහ. මාර්ගයන්හි ඇති අපහසුතා නොතැකූහ. සෑම විටම පරාර්ථය, බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මූලික කොට සැලකූහ
සොබා දහම තුළ වස්සාන ඍතුවට අමතරව හේමන්ත, ගිම්හාන ආදි වශයෙන් ඍතු දක්නට ලැබේ. ඈත අතීතයේ සිටම ඍතු වෙනස්වීම පැවැතුණි. සිදුහත් කුමාරයාට ඍතු තුනකට රම්‍ය, සුරම්‍ය,හා සුබ යනුවෙන් මාලිගා තුනක් සාදා දීමෙන් ඍතුවල පැවැත්ම හඳුනාගත හැකිය.
සංස්කෘත සාහිත්‍යයේ දීප්තිමත් ප්‍රතිභාපූර්ණ කවියකු වූ කාලිදාස ඍතු ගණනාවක්ම ඍතු සංහාර කාව්‍යයේ වර්ණනා කර ඇත. 1.ඒ අනුව ගිම්හාන සමය දැඩි අව් රශ්මියෙන් යුතු වූ හිරු රශ්මියෙන් ගහකොළ මැළවෙන ජලය වියළී යන කාලයකි. මේ නිසා මිනිසා පමණක් නොව සතා සිව්පාවුන් ද විවිධ පීඩාවන්ට ලක්වීම පොදු ලක්ෂණයකි. 2.ගිම්හාන සමයෙන් අනතුරුව වැසි සමය උදාවෙයි. දැවෙන ගහකොළවල ප්‍රබෝධයක් එක්කරමින් වැසි දිය කඩා වැටෙයි. සිව්පාවුන්ද පක්ෂීන් ද සතුටින් කල්ගෙවමින් වැසිකාලයෙහි දැනෙන ශීතලෙන් ආරක්ෂා වීමට උණුසුම් නිවහන් ඉදිකර ගනිති. මිනිස්සු ද කපා රැස් කළ ධාන්‍ය ප්‍රයෝජනයට ගනිමින් සතුටින් විවේක ගනිති. ධනිය ගෝපාලගේ කථා පුවත මෙයට කදිම නිදසුනකි.
සියලුම සතුන් විවේක ගනිමින් කල්ගෙවන අතර ශ්‍රමණ සම්ප්‍රදාවලට අයත් පිරිසුදු මිනිස්සු ද තම නිවහනට වී කල් ගෙවති. එහෙත් භික්ෂුව පමණක් ගමින් ගමට යමින් දහම් දෙසමින් කල් ගෙවයි. එයට බලපෑ මූලික හේතුව බුදුන් වහන්සේගේ අවවාදයයි.
“මහණෙනි , ඔබලා බොහෝ ජනයාට යහපත සඳහා දෙවියන්ට යහපත සඳහා තිරිසන් ගත සතුන්ට යහපත සඳහා දහම් දෙසමින් ගමින් ගමට යන්න, ධර්ම දේශනාවේ මුල,මැද, අග හොඳින් වටහා දෙන්න යනුවෙනි.
මේනිසා ධෛර්ය සම්පන්න භික්ෂු සංඝයා ද නිවන් මඟ සාක්ෂාත් කර ගනිමින් හා එය අත් දකිමින් අන්‍යයන්ට ද අත්දකින්නට මඟ පෙන්වමින් තුරිත අතුරිත චාරිකාවන්හි යොදමින් දහම් දෙසමින් චාරිකාවෙහි හැසිරුණාහ. කාලය ගැන නොසිතූහ. මාර්ගයන්හි ඇති අපහසුතා නොතැකූහ. සෑම විටම පරාර්ථය, බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මූලික කොට සැලකූහ .
මේ අතර අහිංසාවාදය ප්‍රමුඛත්වය වශයෙන් සැලකූ ආගමික සම්ප්‍රදා අතර ජෛන සම්ප්‍රදාය ප්‍රධානය. ඔවුහු ප්‍රාණින්ට හානි කිරීම, ගහකොළ වල පීඩා කිරීම බරපතල වරදක් ලෙස දුටුහ. ඒ නිසා අහිංසාවාදය අගය කළ විවිධ කණ්ඩායම් භික්ෂු සංඝයාගේ හැසිරීම හෙළා දැක්හ. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ නිරන්තරයෙන් ඇද වැටෙන ධාරානිපාත වැසි ගැන නොතකා ධර්මයේ නව පණිවුඩය ජනතාව අතර ව්‍යාප්ත කිරීමට උත්සුක වූහ. භික්ෂු සංඝයා පිණ්ඩපාත චාරිකාවේද ධර්ම ප්‍රචාර චාරිකාවේද වශයෙන් දෙයාකර චාරිකාවක යෙදුණාහ. මෙය දුටු වැසියෝ සිය අප්‍රසාදය මෙසේ පළකළහ. “වැසි සමයෙහි කුරුල්ලන් පවා ගස් මුදුන්හි කූඩු සාදාගෙන නොතෙමී ආහාර ගැන පවා අමතක කොට උණුසුම්ව එක තැනක වාසය කරති. එහෙත් ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වූ ශාක්‍ය පුත්‍රයෝ ළා තණනිල්ල වඩිමින් ආහාර පිණිස සිඟායති. ඒ අනුව වස්විසීම බුදුන් වහන්සේ වැසි සමය තුළ එක් ස්ථානයකට වී කල් ගෙවීමට අවශ්‍ය උපදෙස් ශික්ෂා පදයක් ලෙස පනවන ලදී.
“අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං දේව මා භික්ඛවෙ වස්සුපනායිකා – පුරිමාපච්ඡටිකාච, අපරජ්ජුගනාය ආසාළ්හියා පුරිටිකා උගනතබ්බා මාසගනාය ආසාළ්හියා පචඡිටිකා උපගනතබ්බා, ඉමා ඛො භික්ඛවෙ දෙව වස්සුපනායිකා ති
ඒ අනුව වස්විසීම් දෙකකි. පෙරවස හා පසුවස වශයෙනි. පෙරවස ඇසළ පොහොය දිනට පසුදින ද පසුවස නිකිණි පොහොය දිනට පසු දිනද විසිය යුතුය. යම් උපසම්පන්න භික්ෂුවක් වස් වසන දිනට සුදුසු තැනක වස් නොඑළඹුණොත් දුක්කටාපත්ති වන බව පවසමින් පහත ශික්ෂාපද පනවා ඇත.
“වස් වැස පළමු මාස තුනේදී පෙර පසු මාස තුනේදි නොසිට දහම් දෙසමින් චාරිකාවේ නොයා යුතුයි. වස් වසන දිනයෙහි සිතා මතාම ආවාසයෙන් මඟ නොහැරිය යුතුයි (ම) වස් විසීමට මුල් යුගයේ සුදුසු තැනක් නොවීය. ඒ නිසා එක් හාමුදුරු නමක් විශාල ගස් බෙනයක ද තව අයෙක් විහිදී ගිය විශාල ගස් කරුවක ද තව භික්ෂුවක් සොහොනෙහි මිණි තබන කුටියෙහි ද තව අයෙක් විශාල කුඩයක් යටද තව අයෙක් විශාල සැලියක ද වැඩ විසුවේය. තැන් තැන්වල භික්ෂූන් වහන්සේලා එළිමහනේ ස්ථානයක වස් විසූ අතර වැස්ස ඇතිවිට ගෙවල්වල පිලට විත් සිටියහ. රජගහ නුවර සිටුවරයා භික්ෂූන් වහන්සේලාට වස්විසීමට විහාරයක් සාදා දීමෙන් පසු වස්විසීමට අනුමත කළ විහාර හා විහාර අංග විය.
විහාරය ,සෙවිළි කළ ගෙය, සඳලු තල සහිත ගෙය, දිග් පහය, ගුහාව, පිරිවෙන, උපස්ථාන ශාලාව, ගිනිහල්ගෙය, ඒ සඳහා ශාලාවක්, ශික්ෂා පද නොඉක්මවූ ශාලාව, වැසිකිළි, සක්මන් කරන මළුවක්, එම මළුව සඳහා ශාලාව, ළිඳක්, ළිඳ සඳහා ශාලාව, පොකුණක්,මණ්ඩපයක් ,ආරාමයක්, වැවීමට යෝග්‍ය ඉඩමක්,
මෙයට අමතරව වස් වැසිය හැකි ස්ථාන තුනක් දැක්වේ.
ගොපල්ලන් වසන තැන, වෙළෙන්දන් වසන තැන, ගැල් පදවන්නන් වසන තැන,
ඔවුන් සමඟ වස් සමාදන්ව සිටිය දී ඔවුන් වෙන ස්ථානයකට ගිය ද එතනට යා හැකිය. ඔවුන් සමඟ වස් සාරමාසය ගතකළ හැකිය. යම් හෙයකින් ගොඩබිමෙහි යාමට හෝ මුහුදේදි නැව් ආදියෙන් යාමට හෝ සිදුවුවහොත් එසේ ගියාට කිසිදු ශික්ෂාපදයක් නොබිඳෙයි.
වස් විසීම ශාසන තුළ ප්‍රමුඛම කාරණයක් වූයේ භික්ෂූන් වහන්සේලා පිළිබඳව වැරැදි ප්‍රතිරූපයක් ගොඩනැගීම වැළැක්වීමටය. එසේම ඒ හා සමගාමීව ධර්මප්‍රචාරක කටයුතුවල බාධාවක් නොවන්නට ද කටයුතු කරන ලදී. මේ නිසා ගිහිපිරිසට මෙන්ම පැවිදි පිරිසට ද ප්‍රතිඵලදායක අයුරින් වස්විසීමේ කාරිය සිදු කිරීමට බුදුන් වහන්සේ උපදෙස් සැපයූහ.
1. සෙනසුන් සකසා ගැනීම
වස් විසීම භික්ෂූන්ට බෙහෙවින් ප්‍රතිඵලදායක කාරණයකි. එසේම ගිහි ජනයාට ද අපමණ පින්සිදු කරගත හැකිවේ. සෙනසුන් සොයාගැනීම ඉතාම දුෂ්කර කාර්යයකි. ඒ අනුව පස් ආකාර සෙවෙනි කළ දොර බා පියසිවලින් යුත් තැනක් වස් විසීමට සුදුසුය.
1.ඉට්ඨිකාච්ඡාදන –උළු සෙවෙනි කළ,
2.ශිලාච්ඡාදන – ගල් සෙවෙනි කළ,
3.සුධාච්ඡාදන – ගඩොල් සෙවෙනි කළ,
4.තෘණච්ඡාදන –තෘණ සෙවෙනි කළ
5.පණිච්ඡාදන – පිදුරු අතු කොළ ලෑලි සෙවෙනි කළ

මෙවැනි සෙනෙසුනක් යම් ගිහියෙක් සාදා දෙන්නේ නම් ඔහුට අපමණ පින් ජනිත වන අතර ඔවුන්ට දෙලොව දියුණුව උදාවේ. එසේම භික්ෂූන්ට ද එම සෙනසුනේ ඇසුරු කරගෙන පිළිවෙත් පුරමින් ශ්‍රමණ භාවයේ ඵල ලැබිය හැකිවේ.
2. වත් පිළිවෙත් පිරීම
වත්පිළිවෙත්වලට පැවිදි දිවියේ මූලිකත්වයෙක් හිමිවේ. වත්පිළිවෙත් නොපුරන්නා මහණ දම් ද නොපුරයි. එහෙයින් පැවිදි දිවියේ සඵලත්වය වත්පිළිවෙත් මත රඳා පවතියි.
1. විහාරය පිළදැගුම් කිරීම
2. මළු පෙත්මං ඇමදීම
3. පානීය –පරිභෝජනීය ජලය පුරවා තැබීම
4. වච්ඡිකුටිවත් පිරීම
5. ආචාර්ය උපාධ්‍යායාදී වත් පිරීම
6. සෑ බෝ ආදිය වන්දනා කිරීම
7. ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීම
8. භාවනා කිරීම
9. ගිහියනට දහම් දෙසීම

මෙසේ වස් එළඹීම පැවිදි දිවියේ ඵලය වීමට හේතු වේ. එසේම වස් විසීම නිසා ගිහියනට ද වත් පිළිවෙළින් ඉටු කිරීමෙන් හා ධර්ම ශ්‍රවණයෙන් ලෞකික ලෝකෝත්තර ඵල ලැබිය හැකි වේ. ඒ අනුව
1. දන් දීම
2. සිල් රැකීම
3. භාවනා කිරීම
4. වත්පිළිවෙත් සපුරාලීම
5. තෙරුවන නැමදීම
6. ධර්ම ශ්‍රවණය කිරීම

වැනි පින් ජනිත වන ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව ලැබේ. වස් එළඹීම නිසා ගිහිජනයාට ධර්මය යෙදීමට හැසිරීමට ලැබෙන අවස්ථාව සම් බහුල වේ.
3.මහණදම් පිරීම
තෙරුවන් පිළිබඳ සැදැහැයෙන් යුතුවන ශාසනයට එළඹෙන පැවිද්දාගේ මූලික අරමුණ සියලු දුක්වලින් මිදී නිවන පසක්කිරීමයි . එම අභිප්‍රාය සඵල කර ගැනීමට හුදකලා වාසය මහත් පිටිවහලකි. වස්කාල හුදකලා වාසයටත් සිව්පස ලැබීමටත් සුදුසුම අවධියයි. ඒ අනුව මහණදම් පුරණ භික්ෂූන් වහන්සේලාට වස් කාලය තුළ ස්වාර්ථය සාදාගත හැකිය.ඒනිසා පුරාණ තෙරවරු සියලු කරදර දුරු කර ඒකචාරිකාවත (හුදෙකලා විසීම) පිරූහ. එසේම දසකථාවෙන් හා දසඅනුස්සති, දස අසුබ හා අටනිස අරමුණු ඇතිව විසූහ. වැසි සමය තුළ භික්ෂූන් වහන්සේලා මෙම දස කථාවෙන් යුක්තව වාසය කර තම අභිමතාර්ථය ඉටු කරගත්හ.
1.අප්පිච්ඡකථා – අපිස්බව පිළිබඳ කතාව
2.සන්තුට්ඨිකථා – ලද දෙයින් තුටු වීම පිළිබඳ කතාව
3.පවිචිත්ත කථා – පිවිතුරු බව පිළිබඳ කථාව
4.අසංසට්ඨකථා – නොගැටීම පිළිබඳ කථාව
5.විරියාරම්භ කථා – වීර්ය ඇරඹීම පිළිබඳ කථාව
6.සීලසම්පදා කථා – සීල සම්පත්තිය පිළිබඳ කථාව
7. සමාධිසම්පදා කථා – සමාධි සම්පත්තිය පිළිබඳ කථාව
8.පඤ්ඤාසම්පදා කථා – ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාව
9.විමුත්තිසම්පදා කථා – විමුක්ති සම්පත්ති පිළිබඳ කථාව
10. විමුත්තිඤාණ දස්සන සම්පදා කථා – විමුක්ති ඤාණදස්සනය පිළිබඳ යනුවෙනි.

මෙබඳු කථාවෙන් යුක්තවන භික්ෂූන් වහන්සේ පහත දැක්වෙන කථාවන්ගෙන් දුරස් වේ.
විරුද්ධවාද කථා, නින්දා පරිභව කරන කථා, මානය පිළිබඳ කථා, දෝෂාරෝපණය පිළිබඳකථා, අනුන්ගේ ලාභ ප්‍රයෝජන පිළිබඳ ඊර්ෂ්‍යා පරවශ කථා, ඊර්ෂ්‍යා පරවශ කථාව බොරුකීම, පරුෂ වචන , ප්‍රලාප වලින් බැහැරවීම, සිදුවේ. මේ නිසා වැසි සමය භික්ෂූන් වහන්සේ ශ්‍රවණාකාරක ධර්ම වන මෙම වත් පිළිවෙත් පිළිපදියි. ආරාමිකවත්, වච්චකුටිවත්, ගිලන්වත්, දන්තකට්ඨවත්, භික්ෂුචාරාවත්, පිළිබඳ භික්ෂූන් වහන්සේලා දැනුවත් වේ. එසේම දායකයන් හා සිව්පස ලාභය පිණිස නොව නෛයාණික කථාවක්ම කරයි.
මේ අනුව ගිහිපිරිසට වැසි සමයේ තිදොරින් බොහෝ පින් රැස් කළ හැකිය.
“යං භික්ඛවේ සිලවෙනකතා පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිසපාය විහරන්ති නන්ථ මනුස්සා නීහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති කායෙන වාචාය මනසා
මෙසේ සිල්වත් පැවිදි කෙනෙක් යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කෙරේද එහි මිනිස්සු තුන් තැනකින් බොහෝ පින් රැස් කෙරෙත්. එනම් කයින් වචනයෙන් සිතින් යන තිදොරිනි. මෙබඳු අවස්ථාවක් ධම්මපදට්ඨ කථාවේ එන චක්ඛුපාල තෙරණුවන්ගේ පුවතින් හෙළිවේ වස් සමයේ ආරම්භයේම පුහුදුන් භික්ෂූ පිරිසක වූ චක්ඛූපාල තෙරුන් වහන්සේ ඇතුළු පිරිස් වස් අවසානයේ මාර්ගඵල ලාභීහු වූහ. දායකයෝද උන්වහන්සේලාට වැඳ පුදා දන් දී උපස්ථාන කර බණ අසා පන්සිල් රැක, ඒවා සමාදන්ව දස පුණ්‍යක්‍රියා සිදුකර අවසානයේ ලෝකෝත්තර සැප සලසා ගත්හ.
අතීතයෙහි කම්කරු පුරුෂයන් පන්සියයක් හා ස්ත්‍රීන් පන්සීයයක් දැයි මෙසේ දහසක් එකම වැඩපලක සමගියෙන් කර්මාන්ත කොට ජීවිකාව කෙරෙති. මන්ද ස්ථවිරයන් වහන්සේ එකල්හි ඒ පිරිසෙහි ප්‍රධාන කම්කරුවා වූහ. මහා ප්‍රජාපතී ගෝතමි ප්‍රධාන කම්කරු ස්ත්‍රීය විය. ඤාණවන්ත විචක්ෂණශීලි කාන්තාවක් විය. මේ දහස්දෙනා පින්කම් කරන කල්හි සමඟියෙන් යුතුව කල් ගෙවයි. එක් වස්කාලයක පසේ බුදුරජාණන් වහන්සේලා පස්නමක් සෙනහුනක් සොයා යන්නේ බරණැස සිටාණන්ගේ මාලිගයට වැඩියහ. සිටු භාර්යාව උන්වහන්සේලා පැමිණි කරුණ විමසුවත් සෙනහුනක් ඉදි කිරීමට අකමැතැත්ත පළකළාය. ආපසු වඩින පසේ බුදුන් වහන්සේලා දුටු කම්කරු නායිකාව සෙනසුන ඉදිකර දීමට ඉදිරිපත් වූවාය. සෙනසුනක් ඉදිකිරීම දුප්පත්, පොහොසත් භේදයකින් තොරව ඕනෑම අයෙකුට කළ හැකිය. එබැවින් කාටත් පොදුවේ. අනුසස් උපදවා ගත හැකි කටයුත්තක් වශයෙන් වැසි සමයේ සෙනසුන් ඉදිකිරීම හඳුනාගත හැකිය. ඒ අනුව සිය කම්කරු පිරිසගේ ශ්‍රම දායකත්වය ඇතිව ප්‍රධාන කම්කරු නායිකාවගෙ මඟ පෙන්වීම හා උපදෙස් මත කුටි පහක් හා සුදුසු සක්මන් මලුද, වැසිකිළිද සෙනසුන් ද ජලය රැස් කර තබා ගත හැකි ස්ථානද සහිතව සියලු පහසුකම් සපිරි සෙනසුන් සාදා පුජා කර වස්තුන්මාසය පුරා සිවුපසයෙන් උපස්ථාන කළහ. චීවර මාසයේදි සියලු දෙනා එක්ව සිවුරු පූජා කළහ. එම පිරිස එම ආනිසංසයෙන් ලෞකික ලෝකෝත්තර අනුසස් ලැබ රහත් වූ බව කියවේ. මෙසේ වස් කාලය උභය ලෝකාර්ථ සුබසිද්ධීය ඇති කරන සද් ක්‍රියාවක් බව පැහැදිලිය.
මේ අනුව වැසි සමය ලෞකික ලෝකෝත්තර වශයෙන් දියුණුව ඇති කරලයි. ඒ සඳහා මඟ පෙන්වන අවස්ථා ඇත. ඒවා මෙසේ පෙළ ගැස්විය හැකිය.
වැසි වසන භික්ෂූන්ට සෙනසුන් ඉදිකිරීම,
සෙනසුන්වල මූලික පහසුකම් සැපයීම,
වස්කාලය තුළ සිවුපසයෙන් සංග්‍රහ කිරීම,
දිනපතා උදේ සවස තෙරුවන් නැමදීම,

ධර්මශ්‍රවණය කිරීම, භාවනා කටයුතු වැනි ලෝකෝත්තර දියුණුවට මඟ පාදන ක්‍රියාවල නිරත වීම වැසි සමයෙන් අනතුරුව චීවර පුජාව
එසේම වැසි වසනා භික්ෂූන්ට ද තම ලෝකෝත්තර ප්‍රගතිය ඇති කරගත හැකි අවධියක් වශයෙන් වැසි සමය සැළකිය හැකිය. ඒ අනුව එක් ස්ථානයක් ඇසුරු කරගෙන භාවනා කටයුතුවල නිරතව යථාර්ථාවබෝධය තුළින් නිවන ප්‍රත්‍යක්ෂ කළ හැකිය. බුදුරදුන් දවස භික්ෂූන් වහන්සේලා වැසි ආරම්භයේදී කමටහන් රැගෙන යන අතර වැසි සමය අවසානයේදි රහතන් වහන්සේලා බවට පැමිණ බුදුන් වහන්සේ බැහැ දකියි. මෙසේ ගිහිපැවිදි දෙපිරිසට ලෞකික ලෝකෝත්තර දියුණුව සාදාලන කාලයක් වශයෙන් වස් කාලය සැලකිය හැකිය.