දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

අද ශ්‍රී ලංකාවේදී මුළුදෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය

අපේ ශාසන ඉතිහාසය දෙස අවධානය යොමු කරන විට පැහැදිලි වෙන්නේ ශාසනික වශයෙන් එළඹෙන අභියෝගවලට මුහුණ දීම භික්ෂු මහා සංඝරත්නය සංවිධානාත්මකව කටයුතු කර ඇති ආකාරයයි. 

සැබැවින්ම සඟ සමාජය සංවිධානාත්මක  වීමට පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ ධරමාන වැඩ විසූ සමයේදීමය. මුල් යුගයේදී භික්ෂු සංඝ සමාජයෙහි එතරම්  විනය ප්‍රශ්න උද්ගත නොවීය. එහෙත් පසුව විවිධාකාර අරමුණු ද පසුබිම්ද සහිත පුද්ගලයෝ ශාසනයට එක්වීම නිසා නොයෙක් අර්බුද උද්ගත වූ අයුරු අපට පෙනේ. මෙනිසා මුල් වටයේදී විනය ප්‍රඥප්ති නොපැණ වූ බුදුරජාණන්වහන්සේ පසුව විනය නීති පැණවීමට යොමු වූහ. කෙසේ වුවද මෙසේ විනය නීති පැණවීම නිසා සංඝ සමාජයට යම් සංවිධානාත්මක හැඩයක් ලැබිණි. මහ සඟ සමාජයේ ඒකායන සෘජු අරමුණ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමය. ගිහි සමාජයට තිබෙන බාහිර සම්බාධක උන්වහන්සේලාට නොමැත. උන්වහන්සේලාට තිබෙන එකම කාරිය සංඝ වේශයෙන් නිවන් මඟට යොමු වීමය.
විනය ප්‍රඥප්ති පැණවීමෙන් ඒ ගමනට යම් පිටුබලයක් ලැබුණු බව පෙනේ.
එසේම සීමා මාලකයට රැස්ව විනය භික්ෂු කර්මවල නිරතවීමද සංඝයා අතර සංවිධානාත්මක භාවය ප්‍රවර්ධනයට ඉවහල් විය. නිතර භික්ෂුන් ඇමතු බුදුරජාණන් වහන්සේ වදාළේ “භික්ෂුන්ට ඔවුනොවුන්ගේ පිහිට හැර වෙන පිහිටක් නොමැති බවය.” ඊට හේතුව උන්වහන්සේලා මාපිය දූ දරුවන් සහෝදර සහෝදරියන්  ආදි ගිහි නෑ හිතමිතුරන් අතහැර උතුම් පැවිදි බිමට පත්වීමය.
එසේ බුදුරජාණන් වහන්සේ නිතර සඟ සමගිය අවධාරණය කළ හෙයින් භික්ෂුහු සමගියෙන් යුක්තව පෙරට පැමිණියහ.
ශාසන ඉතිහාසය දෙස බලනවිට අපට පැහැදිලිවෙන්නේ ශාසනයෙහි  පැවැත් වූ පළමු මහ සඟ සමුළුව ලොවුතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ මූලිකත්වයෙන් රජගහනුවර වේළුවනාරාමයේදී පැවැත් වූ බවය. එම මහා සඟ සමුළුවට එදා දඹදිව විවිධ තැන්වල වැඩවිසූ මහා සඟරුවන වැඩම කළහ. භික්ෂු සංඝයාගේ මහා සාමග්‍රිය ලොවට පෙන් වූ එම පළමු මහ සඟ සමුළුවේදී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අගසව් තනතුරු ලැබූහ. ඉන්පසු ඉතිහාසයේ විවිධ අභියෝග හමුවේ භික්ෂුහු රැස්වූහ. සංවිධානාත්මක වූහ.
ලෝකයේ නොයෙක් රටවල බෞද්ධ ඉතිහාසය විමසා බැලීමෙන් අපට එසේ පැහැදිලිවේ.
මෑත යුගයේ අන්තර්ජාතික වශයෙන් ලෝක ශාසනික අරමුණු රැසක් මුල්කරගෙන භික්ෂු සංඝයා සංවිධානාත්මක වීමට දැරූ උත්කෘෂ්ට ප්‍රයත්නයක් සේ ශ්‍රී ලංකාවේදී ලෝක බෞද්ධ සඟ සමුළුව ස්ථාපිත කිරීම දැක්විය හැකිය. අන්තර් ජාතික වශයෙන් වැදගත් වන සංඝ සම්මේලනයක් ඇරඹිය යුතුයැයි 1964දී මිහින්ත‍ලේ පැවැති රැස්වීමකදී තීරණය කර එය සැලසුම් කිරීම සඳහා විදේ‍යා්දය පරිවේනාධිපති කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහානාහිමිපාණන් වහන්සේගේ සභාපතිත්වයෙන් කෘත්‍ය සම්පාදක කොමිටියක් පත්කර ගන්නා ලදී.
මෙම සම්මේලනය 1966දී කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පැවැත්වීමට තීරණය කෙරිණි. එම සම්මේලනයේ උපස්ථාන කටයුතු සඳහා ගිහි ප්‍රධානත්වය දරන ලද්දේ රාජනීතිඥ සිරි පෙරේරා මහතාය. 
මෙම මහ සඟ සමුළුවේ සුවිශේෂත්වය වෙන්නේ ඊට ථෙරවාද මහායාන සියලුම සම්ප්‍රදායන්වලට අයත් භික්ෂු නියෝජිතයන්  සහභාගි වීමය.
කොළඹදී එකල සිලෝන් නමින් හැඳින් වූ මේ මහා සඟ සමුළුවට ශ්‍රී ලංකාව සේම කාම්බෝජය, චීන ජනරජය, එංගලන්තය, හොංකොං දේශය, ඉන්දියාව, කොරියාව, ලාඕසය, මැ‍ලේසියාව, නේපාලය, පාකිස්තානය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය, යන රටවල් නියෝජනය කරමින් නියෝජිතයෝ  135 ක්ද නිරීක්ෂකයෝ 60ක්ද සහභාගි වූහ. මෙම සඟ සමුළුවේ සුවිශේෂතාව අතිපූජ්‍ය ශුද්ධෝත්තම දලයිලාමා තුමාණන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමය. චීනයේ බලපෑම නිසා ඉන්පසු දලයි ලාමාතුමාට මෙරටට වැඩම කිරීමට අවස්ථාවක් නොලැබිණි. 1966 මැයි 8 දා සිට 11 දා දක්වා දින හතරක් තිස්සේ පැවැත්වූ මේ මහා සංඝ සම්මේලනයේදී මූලික පදනම වූයේ ධර්මය පදනම් කරගෙන සාමය සහ සතුට පිරි ලෝකයක් ගොඩනැගීමය. මේ කාලයේදි සම්මේලන ව්‍යවස්ථාවක්ද සම්මත කර ගනු ලැබිණි. එසේම සමුළුවේ ඒකමතික සම්මතයෙන් පහත නම් දැක්වෙන නියෝජිතයන්ගෙන් යුක්ත  ඔවුනොවුන්ගේ රටවල් නියෝජිතයන් කිරීමට කොටසක් පත් කර ගනු ලැබිය.
1. ආචාර්ය තිචි තාම් චූ හිමි - වියට්නාමය (සභාපති)
2. ආචාර්ය එල්ලාවල - නන්දීශ්වර හිමි - ඉන්දියාව  ‍ලේකම්
3. පායිසෙන්ග් හිමි - මහජන චීනය
4. කේ .කේ. පියසීල හිමි -   කාම්බෝජය
5. පාර්ක්ලු ඵලදානය  කවතාන හිමි - මැ‍ලේසියාව
6. ධම්ම වීර්ය කිම් සැන්ග් හිමි  - වියට්නාමය.
7. පාරා මහා පත් ආනන්ද හිමි - ලාඕසය
මෙම සමුළුව දෙවනවර පැවැත්වූයේ වියට්නාමයේ සයිගොන් නුවරදීය.
වර්ෂ 1969 ජුනි මාසයේදී වියට්නාමයේදී පැවැත්වූ මෙම ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සභාපති ධුරයට පත්කර ගැනීමට එහි කෘත්‍ය විධායක කමිටුව කල් තියාම තීරණය කර තිබුණේ ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන් හි පතල කීර්තිධර ප¾ඩිරුවනක් වූ විදේ‍යා්දය පරිවේනාධිපති හා ශ්‍රී කල්‍යාණි සාම ග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහානාහිමියන්ය. ඒ අනුව කළුකොඳයාවේ මහානාහිමියන් වියට්නාමයට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ විශාල පිළිගැනීමකට ලක්වී ඇත. උන්වහන්සේ නිසා මෙම සමුළුවට විශාල කීර්තියක් අත්වී ඇත. එම වියට්නාම සමුළුව විවෘත කරන ලද්දේ එවකට වියට්නාම ජනාධිපතිතුමා විසිනි.
පිඹුරේ සෝරත නාහිමි, මාපලගම විපුලසාර නාහිමි, මෙම සමුළුවේ ‍ලේකම් ධුරය හෙබවූහ. වර්තමානයේ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ මෙම ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (ඉංගිරිසි අංශයේ) ‍ලේකම් ධුරය හොබවති.
මෙසේ යහපත් ආරම්භයකින් ගමනට යොමු වූ ලෝක බෞද්ධ  සංඝ සභාව මුලදීම පනවා ගත් ව්‍යවස්ථාව අනුව කටයුතු කළ අතර කිසිම විටෙක එය කඩ නොකළේය. එහි නිල ධජය සේ සම්මත වූයේ ෂඩ්වර්ණ බෞද්ධ  ධජයයි. එසේම මහ ‍ලේකම් කාර්යාලය සහ තොරතුරු මධ්‍යස්ථාන  (මූලස්ථානය)  මහා සම්මේලනයේ අනුමැතිය පරිදි කවර හෝ රටෙක ස්ථාපිත කළ හැකිය. වර්තමානයේ එහි ‍ලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබෙන්නේ තායිවානයේ තායිපේ නුවරය. 
සංවිධානමය සහ පෞද්ගලික වශයෙන්  සාමාජිකත්වය දෙයාකාරය. සංවිධාන  සාමාජිකත්වය සංඝ සම්මේලනයේ රෙගුලාසිවලට ගැලපෙන කවර හෝ බෞද්ධ සංවිධානයකට භික්ෂුන් වහන්සේ නමක් ප්‍රධානත්වය දරන විහාරස්ථානයකට විවෘතය. සංඝ සම්මේලනයේ රෙගුලාසිවලට එකඟ විනයගරුක භික්ෂු භික්ෂුණීන්ට පෞද්ගලික  සාමාජිකත්වය විවෘතය. මහා සම්මේලනයේ පූර්ණ එකඟතාව අනුව සභාපති ධුරය  තීරණය වේ. එසේම එම එකඟතාවය පරිදි උපසභාපති ධුර දෙකක් ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා සුදුස්සන් පත්කරගත හැකිය. ‍ලේඛකාධිකාරී ධුරය චීන සහ ඉංග්‍රීසි අංශ සඳහා පත් කර ගත යුත්තේ සභාපතිවරයාගේ සේම මහා සම්මේලනයේ අනුමැතිය අනුවය. චීන සහ ඉංග්‍රීසි  අංශ සඳහා සහය ‍ලේඛකාධිකාරි ධුර  දෙකක්  පත් කරගත හැකිය. ඒ පෙර සේ සභාපතිවරයාගේ සහ මහා සම්මේලනයේ එකඟතාව පරිදිය. භාණ්ඩාගාරික ධුරයද පූර්ණත්වය පත් කරනුයේ  ඉහත දැක්වූ පිළිවෙළටය.
ධර්මදූත සේවාව අධ්‍යාපනය, සමාජ සුබසාධනය, තරුණ කටයුතු, සංස්කෘතික පුදපූජා, සන්නිවේදන, මූල්‍ය පර්යේෂණ සහ සංවර්ධන භික්ෂුණී කටයුතු  යනාදී ක්‍රියාකාරකම් සඳහා ලෝක බෞද්ධ සංඝ  සම්මේලනය විධායක කමිටු දහයකින් යුක්තය. මුලදී සඳහන් කළ පරිදි 1966 දී ශ්‍රී ලංකාවේ කොළඹදී ආරම්භ වු ලෝක බෞද්ධ සංඝ සම්මේලනය වියට්නාමය (ෂේයිගොං) (1969 දී) තායිවානය (තායිපේහි) දී 1981 (දෙසැම්බර්) තායිලන්තය (බැංකොක්)  (1986) තායිවානය (තායිපේ) (1989) මැ‍ලේසියාව (පිනෑන්ග්) මැ‍ලේසියාව (ක්වාලාලම්පූර්) (2005) යනාදී රටවලද රැස් විය.
මේ වසරේදී ශ්‍රී ලංකාවේදී මැයි 8 වැනිදා (අද) නෙළුම් ‍පොකුණේදී  රැස්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ඒ අනුව අපේ රටේදී පවත්වනුයේ  දෙවැනි වරටය. එමගින් ‍පොදුවේ භික්ෂු  සමාජයටත් සමස්ත බෞද්ධ  සමාජයටත් යම් යහපත් පෙළඹවීමක් ලැබෙන්නේනම් එය ශාසනකාමීන්ගේ ඉමහත් තෘෂ්ටි වර්ධනයට  හේතුවේ. ලෝක මට්ටමෙන් සංඝ සමාජය සංවර්ධනය කිරීම ලෝක බෞද්ධ ධර්ම දූත සේවාව ප්‍රවර්ධනය, විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර සංවාදයන් හා සබඳතාවන් ගොඩ නැගීම, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ලෝක භාවිතයට යොදාගැනීම යනාදී මූලික අරමුණු හතරක් මුල් කරගත් ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පිළිබඳ රාජ්‍ය හා සමාජයීය  මට්ටමින් අප අපේ පූර්ණ අවධානය යොමු කර එය බෞද්ධ ප්‍රබෝධයට යොදාගත යුතුය.


2012 මැයි 07 වෙනි සදුදා, ලක්බිම 
ධර්ම ශ්‍රී තිලකවර්ධන, වරුණ අබේසේකර

දෙවියන් ගැන ඔබ නොදත් තොරතුරු

May 13, 2012 at 12:09 am | Lanka C News.

දෙවියන් පිළිබඳ නානා විධ මති මතාන්තර දුරාතීතයේ සිට පැවත එයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මිනිසුන් අතර දෙවියන් පිළිබඳ ගැටලු තිබූ බවට ත්‍රිපිටක තොරතුරුවලින් යම් යම් කරුණු අනාවරණය වෙයි. කොසොල් රජතුමා බුදුන් වහන්සේ බැහැදැක “කිමෙක්‌ද ස්‌වාමීනි දෙවියෝ ඇත්තාහුද? යනුවෙන් විමසා සිටි විට බුදුන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. “ඇයි මහරජ නුඹ කුමක්‌ හෙයින් දෙවියෝ ඇත්දැයි අසන්නෙහිද? යනුවෙනි. රජුගේ පැනයට නිසි පිළිතුර නොලැබුණද, රජු එයින් සෑහීමකට පත් වී පසුව වෙනත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් රජුගේ ප්‍රශ්නය නිරාකරණය නොවීම නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියෝ සැකය දුරු කරනු සඳහා බුදුන් වහන්සේගේ “පාඨය” මෙසේ විස්‌තර කරන ලද බව මඡ්ජිම නිකායේ “කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන්” එළි දැක්‌වෙයි. “මහරජ ඹබ කුමක්‌ නිසා දෙවියන් ඇත්දැයි අසන්නෙහිද?” යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ චාතුර් මහා රාජික දෙවියෝ ඇත්තාහ. තාවතිංශ, දෙවියෝ ඇත්තාහ, පරහිම්මිත වසවත්ති දෙවියෝ ඇත්තාහ. ඒ දේව විමාන වලට එහායින්ද (උඩින්) දෙවියෝ ඇත්තාහ. යනුවෙන් අර්ථ විවරණය කරමිණි.
මඡ්ජිම නිකායේ සංගාරව සූත්‍රයට අනුව, සංගාරව බමුණා දෙවියන් ඇත්ද, නැද්ද යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසා සිටි අතර, බුදුන්වහන්සේ ඊට පිළිතුරු දී ඇත්තේ භාරද්වාජය ” මා විසින් දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී යනුවෙනි.” මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ සංගාරව බ්‍රාහ්මණයා යළි මෙසේ විමසීය. භගවත් ගෞතමයන් වහන්ස, ඔබ දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැයි කීයෙහිය. මෙසේ ඇති කල්හි ඒ කීම හිස්‌ වූ බොරු කථාවක්‌ නොවන්නේද? ඊටද පිළිතුරු දුන් බුදුන්වහන්සේ භාරද්වාජය, දෙවියෝ ඇත්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක්‌ කියන්නේද එකල්හි නුවණැති පුද්ගලයා දෙවියෝ ඇතැයි ඒකාන්ත වශයෙන් නිශ්චයකට පැමිණිය යුතුයි.” දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට සම්මතයේ පවත්නා දෙයක්‌ වගද බුදුන්වහන්සේ අවධාරණය කළහ. මින් ගම්‍ය වන්නේ බුදුවරු ලෝක සම්මතය වෙනස්‌ කිරීමට කටයුතු නොකරන වගකි.
දෙවියන් පිළිබඳව අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි මෙසේ කියයි. දෙවියන් සම්මුති උප්පත්ති හා විසුද්ධි යනුවෙන් වර්ග තුනකට වෙන්වෙයි. සම්මුති දෙවියෝ යනු රජවරු බිසෝවරු හා රාජකුමාරයන් වෙති. උප්පත්ති දෙවියෝ ලෙස සැලකෙන්නේ චාතුම් මහාරාජික, දෙවියන්ගේ සිට එයින් උඩ සිටින දෙව්ලොව දෙවියන්ය. විසුද්ධි දෙවියෝ නම් රහත් ඵලයට පැමිණි වූවෝය.
මඡ්ජිම නිකායෙහි මහාසීහ නාද සූත්‍රයට අනුව දෙවියන්ද ඕපපාතික කොටසට වැටෙන්නේය. චාතුර් මහාරාජික දෙවියන්ගේ පටන් ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ඕපපාතිකව උපදින වගට අටුවාචාරීන් වහන්සේලා කියති. පොළවේ වාසය කරන “භූම්මා දේවා” නමින් හැඳින්වෙන දෙවිවරු චතුයෝනිකව (අණඩජ, ජලාඹුජ, සංසේඋජ, හා ඕපපාතික) උපදින වගද මඡ්ජිම නිකායේ අට්‌ඨ කථාවලින් ගම්‍ය වෙයි.
අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයට අනුව, ආර්යශ්‍රාවක තෙම පටන් ගත් උත්සාහය ඇත්තේ අත්දෙකහි මහන්සියෙන්, දාඩිය මහන්සියෙන්, ධාර්මිකව ලද්දා වූ වස්‌තුව වියදම් කොට සංග්‍රහ පසක්‌ දිය යුතුය. ඒ සංග්‍රහ පහ නම් ඥානිබලි සංග්‍රහය, ආගන්තුක බලි සංග්‍රහය, පේනබලි සංග්‍රහය, රාජබලි සහ දේවතාබලි සංග්‍රයන්ය. මෙහිදී දෙවියන්ට දිය යුතු සංග්‍රහය දේවතා බලිය වන්නේය. මින් ගම්‍ය වන්නේ දෙවියන් උදෙසා කරනු ලබන පුද සත්කාරයන්ය. අතීත ලෝක සමාජයේ වාසය කළ සෘෂීන්, මනුෂ්‍යයන්, ක්‍ෂේත්‍රියයන්, බ්‍රාහ්මණයන් දෙවියන් වෙනුවෙන් යාග හෝම පැවැත් වූ බවත්,ඒ මගින් තමන් අපේක්‍ෂා කළ අභිමතාර්ථයන් ප්‍රාර්ථනයක්‌, සඵල කර ගත් වගද සුත්ත නිපාතයෙන් දැක්‌වෙයි. බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව මිනිස්‌ ලොව මිනිසුන් කුසල් කර ඉන් උපදනා පිං දෙවියන්ට ද අනුමෝදනා කළ යුතු බව පිළිගත යුතු සත්‍යයක්‌ වන්නේය. දෙවියන්ට පිං පැමිණවීමෙන්, එසේ පිට දෙන තැනැත්තා දෙවියන්ගේ අනුකම්පාවට හා සැලකිල්ලට භාජනයවී ඔහුට සෙතක්‌ ශාන්තියක්‌, යහපතක්‌ සලසා දෙනවග මහාවග්ග පාලිය, දීඝ නිකාය, මහා පරිනිබ්බාන සූත්‍රය යනාදියෙන් කියෑවෙයි.
බුදුන්වහන්සේගේ දේශනා වන්හිදී ඇතැම් කරුණු අනුව දෙවියන් බොහෝ මිට මනුෂයයන්ගේ ජීවිත කෙරෙහි අසීමිත බලයක්‌ දක්‌වන වග නිර්මාණය වෙයි. මිනිස්‌ ලෝකයේ රජවරුන්ගේ ධර්මිෂ්ට, අධර්මිෂ්ට කම් අනුව ලොවට යහපත/ අයහපත් සිදු කරලීමටද ඔවුන් වග බලාගනී. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙන් ඒ බව හෙළිකරන්නේ මෙසේය.
මහණෙනි යම් කළක රජවරු ධාර්මික වෙත්ද, එකල රජයෙහි නියුක්‌ත යෝද ධාර්මික වෙත් පෙ. සමවු වාතය හමත්, එකල දෙවියෝ පැහැදෙත්. දෙවියන් පැහැදුන කළ වර්ෂාව මනාකොට වසිත් එකල ශෂ්‍ය මනාව වැඩෙත් එලවැලඳීමෙන් මනුෂ්‍යයෝ වර්ණවත්ව, බලවත්ව නිරෝගීව ජීවත්වෙති.
ඇතැම් අවස්‌ථාවලදී දෙවිවරු දෙව්ලොව සිට මිනිස්‌ ලෝකයට පැමිණෙති. සුත්‍රවල දැක්‌වෙන පරිදි ඔවුන් මිසින් ලොවට එන්නේ බුදුන් වහන්සේගෙන් ධර්ම දේශනා අසා දැන ගැනීමටත්, උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග සාකච්ඡා පැවැත්වීමටත්ය. අංගුත්තර නිකායෙහි තික නිපාතයට අනුව එසේ පැමිණෙන දෙවිවරු තම නියම රූපයෙන් පොළවේ සිට ගත නොහැක්‌කේය. සියුම් ආත්ම මවා ගැනීමක්‌ මෙහිදී සිදු කෙරේ.
මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් එරෙහිව කටයුතු කළ අයෙකි. බුද්ධත්වය ලැබීමට පෙර පවා සිදුහත් සමයේ සිට මොහුගෙන් කරදර ඇති විය.
දෙවියන්ගේ තතු, දිව්‍ය සම්පත්තිය කෙරෙහි තතු “විමාන වත්ථු” ප්‍රකරණයෙන්” දැක්‌වෙයි.
දෙවියන්ගේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සක්‍ර දෙවියන්ය. සක්‌දෙව් බුදුන් වහන්සේ සමග ඉතා කුළු පගව සිටි අයෙකි. අසුරයන්ගේ ප්‍රධානියෙකු වූ රෝවන අසුරයා සක්‍රයා සමග නිතර යුද්ධ කරන වගක්‌, නමුත් දෙදෙනා මිත්‍රයක්‌ ලෙස හැසිරෙන වගත් සංයුක්‌ත නිකායෙන් දැක්‌වෙයි.
වත්මන් සමාජයේ දෙවියන් ගැන සුවිශේෂ පිළිගැනීමක්‌ ඇතිව කටයුතු කරන අය බොහෝ වෙති. දෙවියන්ගේ සිත් සතුටු කිරීමෙන් ඔවුන්ට දානමාන පුද සත්කාර කිරීමෙන් තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට හැකි බව ඔවුන් තුළ විශ්වාසයක්‌ පවතී. තවත් සුළු පිරිසක්‌ සිතන්නේ දෙවියන් කියා පිරිසක්‌ නොසිටින වග හා එය හුදු මන(කල්පිත විශ්වාසයක්‌ බවත්ය. එහෙත් බුදුදහමට අනුව කලින් සදහන් කළ කෙටි තොරතුරුවලින් දෙවියන් කියා පිරිසක්‌ සිටින වග නම් පැහැදිලිය බුදුන් දවස භාරතීය සමාජයෙන් බුහුමන් ලැබූ බ්‍රහ්ම හා ඉන්ද්‍ර යන දෙන්නාට බුදුන් වහන්සේද ඉහළ තැනක්‌ දුන්හ. වේදයේ ගරු බහුමාන ලැබූ ඉන්ද්‍ර බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු විය. අනාගත බුද්ධ ශාසනය පවතින ශ්‍රී ලංකාව රැක ගැනීමේ වගකීමද ඉන්ද්‍ර ලබා සිටී. ශ්‍රී විෂ්ණු යනුවෙන්ද ඉන්ද්‍ර හඳුන්වනු ඇත.
කඳකුමරු (කතරගම දෙවියන්) මිනිස්‌ ලොව ඉපිද දහම් පොත් පත් ආශ්‍රයේදී ශ්‍රී විෂ්ණු නීල කසිනය භාවනා වඩන යතිවරයෙකු ලෙස සිටියේය. කඳ කුමරුද විෂ්ණුගෙන් භාවනා ඉගන ගත් බව කියෑවේ. අපේ සැදැහැවත් බොහෝමයක්‌ උපුල්වන් මහා විෂ්ණු කඳ කුමරු වැන්නවුන්ගේ සරණ පතති. ජ්‍යෙතිෂයට අනුව කුජ (අඟහරුගේ) අපලයට කතරගම දෙවියන්ගේ පිහිට පැතීම කරනු ලබයි. ගුරුගේ රාහුගේ අපලයට ද ශිව කතරගම දෙවි පිහිට පතන්නේය. කේතුගේ, ශනිගේ, බුධගේ අපල වලට විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම සිදු කෙරේ.
බුද්ධ දේශනාවන්ට අනුව දෙවියන් කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමත් දෙවියන්ට පිං දීමත් නිසා එසේ කරන්නාට යහපතක්‌ම සැලසේ.

මෙම ලිපිය සකස්‌ කිරීමේදී රාජකීය පණ්‌ඩිත නිවන්දම ශ්‍රී ධර්ම කීර්ති නාහිමියන්ගේ බුදු සමය හා දෙවියෝ” යන ග්‍රන්ථයද උපයෝගී කර ගතිමි.
- මීරිගම , ආර්. ඇම්. ටී. බී. රත්නායක

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු.
ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්. මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්.
බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?)
බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් වන කාලය, දීපය දේශය, කුලය හා මව යන්නේ දීපය යන්නේ සමාන පදය දුපතක් නම් ඉන්දියාව දුපතක්ද? නැති නම් පස්මහා බැලමු කාලය, අර්ධද්වීපය, දේශය, කුලය හා මව යන්නද?
දඹ යන පදය හෙළ යන්නට සමානද?
මෙම කරුණු හා තවත් සාක්ෂි එකතුව බුදුන් උපන් හෙළදිව පිළිබදව ඉදිරියේදි සාකච්චා කරමු. දැන් ආටානාටියේ පළමු කොටස සලකා බලමු.
1.  මා විසින් මෙසේ අසන ලදි.    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත් වූ යක්‍ෂ සේනාවෙන් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවෙන් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවෙන් ද, මහත් වූ නාග සේනාවෙන් ද,සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනඟ පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝ ද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී වැඳ එකපැත්තකට වී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ වෛශ්‍රවණ නම් වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.
මෙම පරිච්ජේදයෙන් කියැවෙන්නේ බුදුන් හමුවට පැමිණ සතරවරම් රජදරුවන් පිළිබදවයි. එසේනම් වර්තමානයේ සතරවරම් දෙවිවරුන් නමින් හැදින්වෙන වෛශ්‍රවණ, ධ්‍රතරාෂ්ඨ, විරූඪ, හා විරූපාක්ෂ යන එදා සිව් හෙළය නියෝජනය කරාන ලද වූ සිව්හෙළයේ පාලක වරුන්ය. වර්තමානයේ පවා මේලෙස සතරවරම් දෙවිවරු ලෙස වන්දනාමානයට ලක්වන්නේ ඒ එදා අපේම රටේ සිටි ශ්‍රේෂ්ඨ පාලකයන් පිරිසකි. සූත්‍රය පුරාවටම මේ හමුවන සතරවරම් රජවරු හෙවත් පාලකයන් හතරදෙනා නියෝජනය කරනලද්දෙ වර්තමානයේ සිංහල බවට පත්ව ඇති සිව්හෙලයයි. ඒ අනුව සිංහලය යනු සිංහබාහුගේ සිංහ රුධිරය හෝ පණ්ඩුකාභය රජු සිංහයන් මැරීම නිසා ඇති වූ සිංහ ලේ යන්න නොව, සිව් හෙලය සතරම් වරම් රජදරුවන් ප්‍රමුඛ හෙල අධිරාජ්‍යෙය් තිබුණ
යක්ඛ හෙළය
කුම්භාණ්ඩ හෙළය
නාග හෙළය
ගාන්ධාර්ව හෙළය
යන ගෝත්‍ර හෙවත් ජන කොඨ්ඨාශ හතර නිසා ඇති වුවකි. සමස්ථ අධිරාජ්‍යම හෙළ අධිරාජ්‍ය හෙවත් අසුර අධිරාජ්‍ය වූ අතර එය සිව්හෙළයින් සමන් වී ඇත. ආටා නාටිය සුත්‍රය මගින් සිංහලය හෙවත් සිව් හෙළය ගැන හෙළි වන්නේ එලෙසිනි. පසුකාලයක යක්ඛ, රාක්ඛ, දේව හා නාග ලෙස හදුනාගෙන ඇත්තේද මේ යක්ඛ හෙළය, කුම්භාණ්ඩ හෙලය , නාග හෙළය හා දේව හෙළයමද යන්න මා හට හිතෙන මුත් නිවැරැදිව අධ්‍යනයකින් තොරව මේ පිළිබද කිව නොහැක. මෙලෙස පළමුවන කොටසේ බුදුන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර ගිජ්ඣකූඨ බබලවා බුදුන්වහන්සේ දැකිමට පැමිණියේ විමාන වලින් විය හැක. මන්ද බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට අහසින් වැඩි සතාගිර හා හෙමවත යක්ඛ සෙන්පතින් පවා ගමන් කලේ විමාන වලින් නිසා මෙලෙස විමාන වලින් පැමිණිම නිසා ගිජ්ඣ කූඨ පර්වතය පෙදෙස අලෝකමත් වීම මෙලෙස දක්වන්නට ඇත. මන්ද යත් අතීතයේ තිබුණ, මනඃකල්පිතයක් වූ දඬුමොණරය යනු අතීත ගුවන් තාක්ෂණයේ තිබුණා වූ විමාන අතුරින් එකක් බව හෙළිකොට ඇති අතරම අතීතයේ සිටි මෙම සතරවරම් රජවරු ඇතුළු මුතුන් මිත්තන් පවා මේ විමාන පාවිච්චි කර ඇති බවට ජනප්‍රවාද වලින්ම අපට තහවුරු කරගත හැකි බැවිනි.
(උදා: යකාගේ හැටියටනේ විමානේ යන පිරුළ ගත හැක. අපගේ ගුවන් යානා තාක්ෂණය පිළිබදව ලිපි පෙළ කියවූ අයට නම් දුතකයාට අවැසි පරිදි මෙම විමානය නිපදවීම පිළිබදව මතක ඇති. මේ පිරුලෙන් කියැවෙන්නේ ඒ පිළිබදවම නේද?)
බුදුන් වහන්සේ තමන්ගේ කාලය පෙරබත් කිස, පසුබත් කිස ආදී ලෙස යාමයන් පහකට තමන්වහන්සේගේ කාලය බෙදා තම ශ්‍රාවකයන් වෙනුවෙන් කාලය වෙන් කරදී තිබුණි. මෙලෙස සතරවරම් රජදරුවන්ට රාත්‍රියේ ප්‍රථම භාගයෙන් පසුව කාලය වෙන්කොට තබන්නට ඇත. නියමිත කාලයේ බුදුන් වහන්සේ දැකීමට පැමිණි සතරවරම් රජවරු අතරින් යක්ඛ සේනාවට අධිපති වෛශ්‍රවණ රජු භාග්‍යවතුන් වහන්සේට ප්‍රථමයෙන් කරුණු දක්වු බව සඳහන්වේ. සතර වරම් දෙවිවරු අතරේද සිටින මේ වෛශ්‍රවණ දෙවියන් විශ්ණු ලෙස බහුතරය වරදවා වටහාගත්තද වෛශ්‍රවණ යනු වෙසමුණි යන්නයි. නමුත් මෙතන සඳහන් වන වෙසමුණි රජතුමා රාවණ රජුගේ පියා වූ වෙසමුණි විය නොහැක. පරාක්‍රම බාහූ, විජයබාහූ වැනි රජවරු එකකට වැඩිය සිටි හෙයින් මෙයත් එවැනි අවස්ථාවක් විය හැක.
2. ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූ හෝ සතුටු වූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝ ද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝ ද පහත් යක්‍ෂයෝ ද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හා ප්‍රමාදයට කාරණා වූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූ ද ගම් සීමාව ඉක්ම වූ වන සේනාසන වූ ද (කැලෑවෙහි) ඉතා දුර වූ ද නිශ්ශබ්ද වූ ද කලබල නැත්තා වූ ද මිනිසුන්ගෙන් තොර වූ සුලභ ඇත්තා වූ ද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ ද හිත එකඟකර ගැනීමට සුදුසු වූ ද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති.´
බුදුදහම පහළ වූ ගමන්ම සියළු දෙනා බුදුදහම වැළද ගත්තෙ නැති අතර සියළු රජවරු, සහ වැසියන්ද බුදු සරණ නොගිය අතර හෙළ අධිරාජ්‍යෙය් එක් කොටසක බිහි වූ ගෞතම බුද්ධ ශාසනය එක වර හෙළදිව පුරා පැතිර ගියේ නැත. ඒ නිසා බුදුදහම පහල වීමට පෙර තිබූ ආගම්, දර්ශන අදහමින් සිටි විවිධ තරාතිරමේ යක්ඛ ගොත්‍රිකයන් සිටි අතර ඔවුන් බුදුදහම පැතිරෙනවාට නොසතුටුව සිටින්නට ඇත. මෙලස ඔවුන්ගෙන් බුදුදහමට එල්ල විය හැකි තර්ජන පිළිබදව වෙසමුණි මහ රජු භාග්‍යවතුන් සමඟ සාකච්චා කර ඇති බව පෙනේ. පසුකාලීනව මෙම යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව කොටස් පිළිබද සටහන් වූ මෙම කරුණු ග්‍රන්ථකරනයේදී, වෙනත් භාෂාවලට පර්වර්තනයේදී මෙම කොටස හිතා මතම අමනුෂ්‍ය කොටසක් කල ඇති නිසා අදටත් අටානාටිය බාවිතා කරන්නේ යකුන් එලවීමටය. මෙම කරුණු නිසාම පසුකාලෙක අටානාටිය පිරිතේ සාමාන්‍ය බෞද්ධ වැසියන් මෙලෙස මනුෂ්‍ය ලෙස ලියැවෙන්නට ඇති බව මාගේ විශ්වාසයයි. බෞද්ධ නොවන මිනිසුන් පස්පව් ගැන නොදන්නා අතර බුදුදහමට අකැමැතිය, අදට නොව එය එදාටත් වලංගු වූ බව ආටානාටිය පෙන්වා දේ.
3. ඒ තන්හී නිතර වාසය කරන්නා වූ මහා බලසම්පන්න වූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහු ද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේ ද භික්‍ෂුණියන්ගේ ද උපාසකවරුන්ගේ ද උපාසිකාවන්ගේ ද පාලනය පිණිස ද ආරක්‍ෂාව පිණිස ද, වෙහෙස නොවන පිණිස ද පහසු හැසිරීම පිණිස ද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම් වූ) පිරිත පිළිගත මැනව´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.
බුදුදහම පැතිරි පවත්නා වු ප්‍රෙද්ශ වල වසන්නා වූ වෙනත් ආගමික යක්ඛ ගොත්‍රිකයන් බුදුදහමට අකැමැති හෙයින්ද, ඔවුන්ගේ අකැමැත්ත දුරුකිරීමටද, බෞද්ධ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාවද, මෙම අබෞද්ධ, බෞද්ධ කොටස් අතර මතුවටත් ගැටළු ඇති නොවන පිරිසද මෙම අටානාටිය පිරිත පිළිගනු මැනව යනුවෙන් මෙම පිරිත බුදුන්වහන්සේට වෙසමුණි යක්ඛ රජු විසින් පිළිගැන්වූ බව සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු සම්බුද්ධ දේශානාවක් නොවන බව ආටානාටිය පිරිතේම සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු බෞද්ධ, අබෞද්ධ කොටස් අතර ගැටුම් ඇති නොවිම පිණිසද, බුදුසසුනේ ආරක්ෂාව පිණිස සතරවරම් රජවරු ප්‍රමුඛ සිව් හෙළය ගෞතම බුදුන්වහන්සේ ඉදිරියේ ඇතිකරගත්තා වූ සම්මුතියකි. එය ගෞතම බුදුන් හමුවේ තබන ලද්දෙ වෙසමුණි මහ රජතුමාය. වර්තමානයේ සතරවරම් දෙවියෙක් ලෙස හැදින්වෙන මේ වෛශ්‍රවණ යක්ඛ රජුය. නැත හොත් හෙළ අධිරාජ්‍යට සැමදා සතුරුකම් කල විශ්ණු නොවේ.
04. ´පසැස් ඇත්තා වූ, ශෝභාමත් වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට ද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්ත වූ සිඛී නම් සර්වඥයන් වහන්සේට ද කෙලෙස් විනාශ කලා වූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට ද මාරයන් යටත් කලා වූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට ද සියලු පව් අහක් කලා වූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කෝනාගමන නම් සර්වඥයන් වහන්සේට ද සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට ද ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට ද නමස්කාර වේවා.´´ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිණියහ. භය නැති කලහ. (උන්වහන්සේට නමස්කාර වේවා.)
´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්ත වූ මහත් බවට පැමිණියා වූ භය නැතිකලා වූ දෙව් මිනිසුන්ට හිත වූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේට ද නමස්කාර වේවා.´´
මෙලෙස ආටානාටිය සම්මුතිය කියවීමට පෙර සියළු බුදුන් වහන්සේලාට හා නමස්කාර කරමින් හා ගෞතම බුදුන් වහන්සේට නමස්කාර කිරීමෙන් අනතුරුව අරහත්භාවයට පැමිණි රහතන් වහන්සේලාට නමස්කාර කරමින් වෙසමුණි රජු විසින් මෙලෙස සම්මුතිය කියවීම ආරම්භ කර ඇත.
5. ගාන්ධර්වයන්ට අධිපති වූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.
´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
´´ඔව්හු ද මහත් බවට පැමිණියා වූ විශාරද වූ බුද්ධ නම් වූ ආදිච්ච බන්ධු නම් වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.
 ´´දක්‍ෂ වූ සර්වඥතා ඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුශ්‍යයෝ ද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.
´´ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්ත වූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).
හෙළ අධිරාජ්‍යෙය් නැගෙනහිරින් පිහිටි ගාන්ධර්ව හෙළය(දේව හෙළය විය හැක) ආරක්ෂා කරන, ගාන්ධාර්ව හෙළයේ පාලකයා ධ්‍රතරාෂ්ඨ වේ. එම රජු ප්‍රමුඛ ගාන්ධාරව කොටස් බෞද්ධයෝ වේ. මෙලෙස සිව්හෙළයෙන් ගාන්ධාර්ව හෙළයේ බුදුදහම පැතිරි ඇති බව මෙලෙස දක්වා ඇති අතර එය වෙසමුණි රජු විසින් ගාන්ධාර්ව හෙළය පිළිබදව ඔහු දන්නා පරිදි විස්තරකර ඇත.
6. ´´යම් දිශාවකින් මළමිනී ගෙන යනු ලැබෙත් ද? පිසුණු (කේළාම්) කියන්නා වූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නා වූ ප්‍රාණාඝාතය කරන ගති ඇති රෞද්‍ර වූ සොර සිත් ඇත්තා වූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත් ද, ඒ දිශාව දකුණු දිශාව වේ.´´
´´කුම්භාණ්ඩයන්ට අධිපති වූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූපය යන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.
´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
මෙලෙස හෙළ දිවයිනේ දකුණින් පිහිටි කුම්භාණ්ඩ හෙළයේ පාලක විරූපය නැමැති සතරවරම් රජු පිළිබදවද
7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයි ද, සූර්ය්‍ය බැස ගිය කල්හි දවල් කාලය නැතිවේ ද? ඒ දිශාව බස්නාහිරයි.´´
´´යස පිරිවර ඇත්තා වූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේ ද, නාගයන්ට අධිපති වූ විරූපාක්‍ෂ නම් වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි. ´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.
බස්නාහිරින් පිහිටි නාග හෙළයේ පාලක විරූපාක්ෂ නම් රජු පිළිබදවද කෙටියෙන් විස්තරයක් බුදුන් වහන්සේ හමුවේ කර ඇති ආකාරයක් මෙම කොටසින් හදුනාගත හැක.
ඕනෑම පුද්ගලයෙක් වඩාත් හොදින් දැනගත යුත්තේ තමා පිළිබදවය. වෙනත් අයෙක් ගැන විස්තරකිරීමට, වෙනත් ප්‍රදේශයක් ගැන විස්තර කරීමට වඩා තමන්ගේ ප්‍රදේශය ගැන විස්තර කිරීම පහසුය. එබැවින් වෙසමුණි රජු තමන්ගේ රාජධානිය හා දිශාව පිළිබදව පහත පරිදි විස්තර කර ඇත.
8. ‘යම් දිශාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින පිහිටියේ ද, දැකුම් කටයුතු වූ මහාමේරු පර්වතය වන්නේ ද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තා වූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ  මනුෂ්‍යයෝ උපදිත්.
ඒ අනුව හෙළ අධිරාජ්‍යෙය් යක්ඛ හෙළය පිහිටියේ උතුරින් බව හිතාගත හැක. බෞද්ධ සාහිත්‍යෙය්ම එන තුන්ලෝකය යැයි හැදින්වෙන ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින යනුවෙන් ලෝක තුනක් බව කීවද එය යම් ප්‍රාදේශිය පාලන ප්‍රෙද්ශයක් බව පෙනේ. ජම්බුද්වීපය පිහිටියේ හෙළ දිවයිනේම පිහිටියා යන්න මෙම කරුණින්ම අදහසක් ගත හැක. ජම්බුද්වීපයට උතුරින් පිහිටි උතුරුකුරු දිවයින යක්ඛ හෙළය නම් ජම්බුද්වීපය එයට දකුණින් හෝ මෙම සිව් හෙළය මධ්‍යෙය් පිහිටි බවක් සිතිය හැක.
´ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භුමියෙහි හටගෙන පැසුනා වූ ඇල් සාල් බත් අනුභව කරත්.´
අපේ පසුගිය ලිපිවලින්ද කතාකල පරිදි යක්ඛ යනු යකඩ භාවිතාකල හෙයින් පටබැදුන බව සදහන්කලෙමු. මෙමගින් මෙම යක්ඛ ගෝත්‍රිකයන් යකඩ ආශ්‍රිත යන්ත්‍ර සුත්‍ර බාවිතාවෙන් ගොවිතැන් කලා විය හැක. නැතිනම් ගොවිතැන් නොකට මේ යකඩ කර්මාන්තය ඇසුරෙන් දිවි පැවත්ම සිදුකලා විය හැක. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත් මගින් ඔවුන් ගොවිතැන් නොකල බවක් සදහන් වන්නේ නැත. මනුෂ්‍යයෝ නොසානා ලද භුමියේ හටගෙන පැසුනා වු ඇල් සාල් බත් අනුභව කරත්,  එසේ නම් මොවුන් ගොවිතැන් කටයුතු සදහා දියුණු වූ තාක්ෂණික ක්‍රම භාවිතා කලා විය යුතුය. තම ගමන් කටයුතු සඳහා විමාන සෑදු හෙළ වැසියන් හට ගොවිතැනට තාක්ෂණික ක්‍රම බාවිතා නොකලා යැයි කිව නොහැක. කෙසේ වුවද සිව්හෙළයන් අතුරින් යක්ඛ හෙළය ඉතා දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කලා යැයි කිව හැක.
ආටා නාටිය විමසීමේදි මතකයට නැගෙන්නා වූ තවත් කාරණයක් මෙතනට සම්බන්ධ වන බවක් දැනේ. බුදුන් වහන්සේ සමනළ කන්දට නොව නමුණුකුල කන්දට තම සිරිපතුල පිහිට වීමට වැඩි අතර සැන්දෑ සමයේදී පවා හරකුන් යොදාගෙන බදුළු වෙලේ සීසාමින් සිටි මිනිසුන් දැක බුදුන් වහන්සේගේ දෑසීන් කඳුළු බිංදු වැටුන අතර එම කඳුළු බිංඳු මුතු ඇට වී එක් රැස් වූ තැන සොලොස්මස්ථාන වලින් එකක් වන මුතියංගණයට නම පබැඳුන බව අසා ඇත්තෙමි. මෙතනදී නමුණුකුල කන්දේ ශ්‍රි පාදය නොතිබුණද, හරකුන් යොදාගෙන සී සාන මිනිසුන් පිළිබදව බුදුන් වහන්සේ සංවේග උපදවන්නට ඇත්තේ හෙළ දිවයිනේම උතුරු කොටසේ සිටි මිනිස් කොඨ්ඨාශයක් විසින් දියුණු තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ගොවිතැන් කිරීම පිළිබදව උන්වහන්සේ දැන සිටි නිසා දෝ යැයි සිතේ.
‘කුඩු නැත්තා වූ ද පොතු නැත්තා වූ ද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.
ඔවුන් ඉන්ධන වශයෙන් දර පාවිචිචි නොකර මෙම ජෝති පාසාණ නැමැති ගල් භාවිතයෙන් ආහාර පිසුවා නම් ඒ ගල් අඟුරු විය හැක.
‘ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’
‘ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’
මෙලෙස ඔවුන් අශ්වකරත්ත හෝ ගොන් කරත්තද බාවිතා කල බවද, දෝලාවන් බාවිතයෙන් ගමන් කල බවද හදුනාගත හැක.
‘ඒ රජහුගේ පිරිවර වූ ඔව්හු වාහනවල නැඟ සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තා වූ වෙසවුණු මහ රජ හට ඇත් යානා ද, අශ්ව යානා ද, දිව්‍ය යානා ද,ප්‍රාසාදද , සිව් ගෙවල් ද, උඩුමහල් ගෙවල් ද රන්සිවි ගෙවල් ද වන්නාහ.’
‘ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට,නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය.’
‘උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානිය ද වන්නාහුය.’
මෙහි සඳහන් වන නගර දෙස බැලූ කල බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාටාව හෙවත් කුසිනාරාවද මෙම උතුරු කුරු දිවයින තුල හෙවත් යක්ඛ හෙලය තුලම පිහිටා ඇති තවත් නගරයක් බවත්, ආලකමන්දාව නමින් හැදින්වෙන රාජධානියද යක්ඛ හෙලට බස්නාහිරින් පිහිටි බවත් පැහැදිලි වේ. මෙම ආලකමන්දා රාජධානිය සීගිරිය යැයි උපකල්පනය කිරීමෙන් අපට මේ පිළිබදව දළ සිතියමක් මවා ගත හැක.
‘නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක් ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.
වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නා වූ තතොලාය, තත්තලාය, තතොතලාය,ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති.
වෙසමුණි රජු කුවේර නමින්ද හැදින් වූ බවත්, එහි සිටි ප්‍රාදේශිය නායකන් පිළිබදවද සදහන්ව ඇති අතර රාවණ රජු සම්බන්ධව සෙවීමේදි විශ්‍රවස්‍ර මුණි හෙවත් වෙසමුණි රජුගේ දෙටුපුත් වූ කුවේර නම් ආලකමන්දාවේ සිටි රජකෙනෙක් ගැන අසන්නට ලැබේ. නමුත් ආටානාටියේ සඳහන් වන වෙසමුණි රජු යනු ඒ දෙදෙනාම නොවිය යුතුය. නමුත් එම පරපුරෙන් පැවැත එන පෙර සදහන් කලාක් මෙන් පෙළපත් නාමය විය හැක. ඒ නිසා කුවේර හා වෙසමුණි යන නම් දෙකම බාවිතා කලා විය හැක.
යමකින් ජලය ගෙන වර්ෂාව වසී ද, වර්ෂාව යමකින් පැතිරේ ද, ඒ රාජධානියෙහි වූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.
ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තා වූ ද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනා වූ ද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින් ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.
‘තව ද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝ ද, වන කුකුළෝ ද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝ ද, තල් රෙහෙරු ද හැසිරෙන්නාහ.’
‘මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහු ද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබළන්නීය.’
‘යස පිරිවර ඇත්තා වූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාව යයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය.’
යක්‍ෂයන්ට අධිපති වූ කුවෙර යන නමක් ඇත්තා වූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය.
ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
මෙලෙස උතුරු කුරු දිවයින හෙවත් යක්ඛ හෙලය පිළිබදව හා තමන් පිළිබදව හදුන්වාදෙන වෙසමුණි රජු මෙලෙස ආටානාටිය නැමැති සම්මුතිය ප්‍රකාශ කර ඇත.
9. ‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ට ද, භික්‍ෂුනියන්ට ද,උපසකවරුන්ට ද, උපසිකාවරුන්ට ද ආරක්‍ෂාව පිණිස ද සැපසේ විසීම පිණිස ද නොවෙහෙසීම පිණිස ද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දී ද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දී ද, ඉදින් යම් අමනුෂ්‍ය වූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම් වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම් වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්නට ද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකු ද කරන්නාහුය. නිදුකාණන් වහන්ස,තව ද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් ද මුනින් නමන්නාහුය. තව ද ඔහුගේ හිස ද සත් කඩක් කොට පළන්නාහුය.’
වර්තමානයේ වුවද සමාජයේ රුදුරු ගති සහිත, තිරිසන් ගති සහිත,පාපකාරී මිනිසුන් දක්නට ඇති අතර අතීතයේදිද එසේවන්නට ඇත. අමනුෂ්‍ය යනුවෙන් මෙතනදී අදහස් කර ඇත්තේ ලබාගන්නට අමාරුවූ මිනිස් ආත්ම බාවයක් ලබාගෙන මනුෂ්‍ය නොවන ගති ලක්ෂණයන්ගෙන් සමන්විත වූ මිනිසුන් පිළිබදවය. එවැන් වූ මිනිසුන් සිව්හෙළයේ යක්ඛ, කුම්භාණ්ඩ,නාග හා ගාන්ධාර්ව යන කොට්ඨාශ සියල්ලෙම සිටින්නට ඇත. මෙය වූ කලි එවන් වූ මිනිසුන්ගෙන් බුදුදහම හා එහි ශ්‍රාවකයන් රැකීමටද, එවැන් වූ මිනිසුන් නැවතත් මනුෂ්‍ය ගති ඇතතන් බවට පත්කිරීම උදෙසා සතරවරම් රජවරු ඇතුළු සිව්හෙළයම ඇතිකරගත් සම්මුතියක් මිස යකුන් එළවීමට කියනා මන්තරයක් නොවන බව වටහාගත යුතුය.
10.’නිදුකාණන් වහන්ස, රෞද්‍ර වූ නපුරු ගති ඇති එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ ද, සතරවරම් මහරජ දරුවන්ගේ ද, අමාත්‍යයන්ගේ ද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ ද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’
‘නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍ර වූ එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’
මෙම සම්මුතියෙන් බැහැර වන්නා වූ එවැන් වූ රෞද්‍ර නපුරු ගති වලින් යුක්ත, අමනුෂ්‍යන් මෙන් හැසිරෙන්නා වූ ගාන්ධාරව,යක්ඛ, කුම්භාණ්ඩ හා නාග යන කොටස් වලට අයත් වූවන්ද, එකට එක කරන්නා වූ මෙම කොටස් සතරවරම් රජවරුන්ට අකීකරු වූවන් යැයි සලකුණු ලැබේ.
‘නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමඟ (පසුපස්සේ) යන්නේ හෝ වේ ද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේ ද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේ ද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂ වූ යක්‍ෂ සේනාවට අධිපති වූ එහෙයින්ම මහා සේනාපති වූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ඝෝෂා කොට දැන්විය යුතුය. ශබ්ද නඟා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?’
මේ ආකරයෙන් සම්මුතියක් පනවා තිබියදී පවා, බෞද්ධ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්නා වූ මෙම කොඨ්ටාශවලට  මෙම ක්‍රියා නැවැත්වීම උදෙසා පත්කර ඇති සිව්හෙළයෙන්ම සමන්විත සේනාධිපති වරුන්ට පැමිණිලි කල යුතුබව සදහන් කර ඇත. ඒ සෙන් පතියන්ගේ නම් පහතින් දැක්වේ.
‘ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය.’ 
‘පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය,  පුණ්ණකය,  කර්තීයය,  ගුලය, සීවකය,  මුචලින්දය, විශ්වාමිත්‍රය,  යුගන්ධරය.’
‘ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහු ද) තව ද,  මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.’
මෙ අතරින් පැහැදිලිවම ඉන්ද්‍රය, මාතලීය යන සෙන්පතීන් දේව හෙළය හෙවත් ගාන්ධරව හෙළයෙන්ද, සතාගිරය, හෙමවත, ආලවකවය යන සෙන්පතින් යක්ඛ ළෙයෙන්ද, මුචලින්ද යන යන සෙන්පති නාග හෙළයෙන් බව බෞද්ධ සාහිතයේදී, හා ඉතිහාසයේ එක් එක් ස්ථාන වලදී හමු වීමෙන් පැහැදිලිව හදුනාගත හැක. කුම්භාණ්ඩ හෙළයෙන් සෙන්පතින්ද මේ තුල සිටිනා නමුත් කවරෙක්ද යැයි නිසි ලෙස පැවසීමට තරම් මා දැනට ඉගෙන ගත් ප්‍රමාණය ප්‍රමාණවත් නොව්.
‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේ ද භික්‍ෂුණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, (යක්‍ෂොපද්‍රව වලින්) නොවෙහෙසීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද පවත්නේය.
ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැඟිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.’
ඒ (අනිකුත්) යක්‍ෂයෝ ද, උන් ආසන වලින නැඟිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය, සතුටුවිය යුතු වූ සිහිකටයුතු වූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.’
සම්මුතිය පිහිටුවීමෙන් අනතුරුව සතරවරම් රජවරු මෙලෙස තමන්ගේ රාජධානි කරා නැත පිටත්ව ගිය බවදැක්වේ. එහිම අතුරුදහන් වූවා යැයි සදහන් කරන්නේ ඔවුන් තමන්ගේ රාජධානි කරා විමාන වලින් හෝ වෙනත් දියුණු ගමන් ක්‍රම මගින් පිටත්ව ගිය ආකාරය විය හැක.
(පළමුවන මණවර නිමි.)
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේ ද එසේම භික්‍ෂූන්ට ද වදාළ සේක.
‘මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේ ද භික්‍ෂණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, පීඩානොවීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද වන්නේය’යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තා වූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.
තිස්දෙවෙනි වූ ආටානාටිය සූත්‍රය නිමියේය.
බෞද්ධයාගේ ආරක්ෂාව, බුදුදහමේ ආරක්ෂාව පිරිස බුදුන් වහන්සේ ඉදිරයේම සිව්හෙළයේ අධිපතිවරුන් විසින් ඇතිකරගත්තා වූ සම්මුතිය බුදු සසුනේ හා බෞද්ධයන්ගේ ආරක්ෂාව පිණිස සියළු මහණුන් වහන්සේලාට නිතර පුහුණු කිරීමට බුදුන්වහන්සේ උපදෙස් දෙන ලද්දේ මතුවටත් එම සම්මුතීන් එලෙසම පැවීතීමටය. නමුත් වර්තමානයේ අපේ සමාජය මෙලෙස අපේ මුතුන්මිත්තන් බුදුදහම රැකීමට ඇති කරගත් සම්මුතිය, අපේ මුතුන් මිත්තන් අමනුෂ්‍ය කොඨ්ටාශ වලට හරවා ඔවුන් එලැවීමට ගායනා කරන්නෙමු. ආටානාටිය කියවන්න, ඒ වගේම විමසන්න එවිට සත්‍ය වටහා ගත හැක.
අද සතාගිර, හෙමවත, ආලවක හෝ මුචලින්ද, විශ්වමිත්‍ර, යුගන්දර හෝ මාතලීය, ඉන්ද්‍ර, වරුණ සෙන්පති වරු නැත. නමුත් බුදුදහමට ඇති වන්නා වූ තාඩන පීඩන, බෞද්ධයන්ට ඇතිවන්නා වූ හිරිහැර එසේම පවතී. මේ නැවතත් ආටානාටිය සම්මුතියක් ඇතිකරගැනීමට කාලයයි. බුදුදහම හා බෞද්ධයන් රැකගැනීමට කාලයයි.

අනුවාදය - seuslsla.blogspot

බුදු දහම ගෙනා ඉන්දියාවට ජාතියේ ණය ගෙවූ අනගාරික ධර්මපාලතුමා

පිරිබාහරන් අප රටේ පමණක් නොව      අසල්වැසි ඉන්දියාවේද සතුරෙකු බව      අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවේ. සතුරා වුවත් ඔහු අප ගැන අප රටේ මිනිස්සුන්ගේ (දේශපාලනඥයන්ද ඇතුළුව) මතකය ගැන ප්‍රකාශ කළ කරුණ සත්‍යයකි. එනම් සිංහලයාට විශේෂයෙන්ම කිසියම් සිදුවීමක් හෝ වැදගත් දෙයක් හෝ විනාශයක් හෝ මතක තිබෙන්නේ දවස් පහළොවක් බවය. මෙය කොතරම් සත්‍යයක්ද යන්න ගැන අමුතු අටුවාටීකා අවශ්‍ය නැත. සම්බුදු තෙමඟුල සැමරීම උදෙසා අද අප රටේ පමණක් නොව බොහෝ බෞද්ධ රටවල ඉන්දියාව, ලාඕස්, භූතානය, තායිලන්තය, ටිබෙට්, චීනය, සියමය හා මියන්මාර් (බුරුමය) ආදී රටවල් රැසකම විවිධ වැඩසටහන් සිදුකෙරේ. මේ එකදු රටකට වඩා එදා භාරත දේශයේ අද (ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය ආදී රටවල) බෞද්ධ පුදබිම් සුරැකී පවතින්නේ කවුරුන් නිසාද ඒ සඳහා දිවි හිමියෙන් කැපවී කටයුතු කළේ කවුරුන්ද යන්න ගැන අපට අමතකවී ඇත. මේ මොහොතේදීවත්, මේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය මතු නොව එකල භාරත දේශයේ බුද්ධගයාව මහන්තා නම් හින්දු පූජකවරයාගෙන් බේරාගැනීමට අභීතව සටන් කළ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයා අද අප රටේ නායකකාරකාදීන්ට පමණක් නොව මහාසංඝරත්නයට පවා අමතකවී ඇති බව දැන් නිර්භයවම කිව හැක්කේ පසුගිය මාස 11 තුළ අනගාරික ධර්මපාලතුමා පිළිබඳව කිසිදු අවස්ථාවක විමර්ශනයක් කිරීමට  කළගුණ නොදත් සිංහල බෞද්ධයින්ට හැකියාවක් නොතිබිම නිසාය.
අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයන්ට ලබාදීම සඳහා ගත් ප්‍රයත්නයයි. බුද්ධගයාව බේරාගනිව් යන පාඨයෙන් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේද නායකයන්ගේද සිත් මෙම ප්‍රශ්නය දෙසට යොමුකළ මහා බෞද්ධ හඬ නැගුණේ අනගාරික ධර්මපාලතුමාගෙන් හා එතුමාගේ මූලිකත්වයෙන් 1891දී බිහිකළ මහාබෝධි සමාගමෙනි. දඹදිව නැවත බුදු සමය ප්‍රචාරය කිරීම එතුමාගේ ජීවිතය අතිශයින්ම සාර්ථක කළ වැදගත් කාර්යයකි. අසෝක රජතුමාගේ කාලයේ සිට ලංකාව ඉන්දියාවට ණයගැතිව සිටියේ බුදු සමය හා බෞද්ධ සංස්කෘතිය මෙහි එවුණු නිසාය. අනගාරික ධර්මපාලතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා ඒ ණය ගෙවා දැමීමට සිංහලයන්ට ඉඩ ලැබුණු බව ඉතා ප්‍රකට බෞද්ධ නායකයෙකුගේ ‍ලේඛනයකින් ප්‍රකාශයට පත්වී ඇත.
සාරානාත්හි පිහිටුවන ලද මූලගන්ධකුටි විහාරය මෙතුමාගේ තවත් වික්‍රමයකි. මෙය දඹදිව බුදු සසුන පිහිටුවාලීමට ගත් උත්සාහය මූර්තිමත් කොට දක්වන්නකි.
ඒ කාලයේදී (19 වන සියවසේ මුල් භාගයේදී) ඉන්දියාව, පාකිස්ථානය සහ නේපාලයද එකම රටක් ලෙසින් පැවතුණි. උපන් කිසිම බෞද්ධ නායකයෙකුට (ඒ රටවල) හෝ දේශපාලනඥයකුට කළ නොහැකිවූ සුවිශේෂ ක්‍රියාදාමයක් මගින් අනගාරික ධර්මපාලතුමා ඉටුකළ මෙහෙය තවමත් මේ රටේ පාසල් - දූ දරුවන්ගේ සිත් තුළට කිඳාබැස නැත.
අප රටේ ඉතිහාසය පිළිබඳ ‍පොතේද අනගාරික ධර්මපාලතුමා පිළිබඳව ඉතා දීර්ඝ පරිච්ජේදයක් වෙන් කළ යුතුව ඇත. ආචාර්ය ආනන්ද ගුරුගේ, ඩේවිඩ් කරුණාරත්න, කේ. බි. සුගතදාස, පාලිත වීරමන්, ලක්ෂ්මන් ජයවර්ධන වැනි විද්වතුන්  මෙතුමා ගැන ග්‍රන්ථ රැසක්ම ලියා ඇති බවද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. ධර්මපාල ලිපි නමින් 1991 වර්ෂයේදී අනගාරික ධර්මපාලතුමාගේ සිංහල ලිපි සංග්‍රහයක්ද ආචාර්ය  ආනන්ද  ගුරුගේ   විසින් සම්පාදනය කර ඇත. මීට අමතරව එතුමාගේ ඉංග්‍රීසි ලිපි ඇතුළත් ග්‍රන්ථ ද ඇත.  පරගැති භාවයෙන් හිස් ඔද්දල් කරගෙන සිටි සිංහලයන්ට සිංහල බෞද්ධකම ගැන මතක් කරදීමේදී ඇතැම්විට ආවේගශීලීව කතාබහ කළ බවද ඉතා ප්‍රකටය. ඒ පිළිබඳව අනගාරික ධර්මපාලතුමාගේ සඳහනක් මෙසේය.
මම අපේ සිංහලයන්ට බණින්නේ මගේ සහෝදර දොස්තර හේවාවිතාරණට බණින්නාක් මෙන් සහෝදර ප්‍රේමයෙනි. ලෝකයේ බොහෝ රටවල සංචාරය කළ මම පිටරටවල් දියුණුවන සැටිත් අපේ රට පමණක් පිරිහෙන හැටිත් දැක ඉවසාගන්න බැරි වේදනාවෙනුයි බණින්නේ. තරහකින් නොවේ. ජාතික වේදනාවකිනි.
(මගේ ජීවිත කතාව - අනගාරික ධර්මපාල ස්වයං ලිඛිත චරිතාපදානය සංස්කාරක ලක්ෂ්මන් ජයවර්ධන) 
අද දවසේ අප රට සාරධර්මවලින් අන්තයටම පරිහානියට පත්වී ඇති බව දිනපතා හා සති අන්ත ප්‍රවෘත්ති පත්‍රවල පළවන වාර්තාවලින් මනාව පැහැදිලිවේ. තව වරක් අප රටේ අනගාරික ධර්මපාල-තුමා උපත ලබන්නේ නම් මේ සුදුසුම කාලය බව සඳහන් කළ යුතුය. එහෙත් එතුමාට මේ රටේ සමහරුන් විසින් කරන ලද කුහකකම් හා ඊර්ෂ්‍යාවන් නිසා මේ රටේ යළි උපත නොලැබිමට පවා පැතුවේය. ඉන්දියාවේ උපත ලැබිමට පැතුවේය.
ධාර්මික පියාණන්ගේ ධනයෙන් මට නිර්භීත සිතක් ඇතිවිය. පුතා නුඹ බුදු බව ප්‍රාර්ථනා කරපන් කියා මාපියාණන් ගෙන් 1895දී කල්කටාවේ සිටින කාලයේදී මට ලිපියක් ලැබුණි. අන්තිම කැමති පත්‍රය ලියන කාලයේ මාපියාණන් මෙසේ ඇසූහ. උඹට කුසල් කිරීමට මසකට කොපමණ ඕනෑද. රුපියල් 400 ලැබුණොත් ඇතැයි කීවෙමි. නමුත් පියාණන්ගේ අන්තිම කැමති පත්‍රයෙන් මට රුපියල් 500 (පන්සීය) බැගින් වෙන්කර තිබුණි. (මගේ ජීවිත කතාව ස්වයං ලිඛිත චරිතාපදානය පි. 98-100)
අනගාරික ධර්මපාලතුමාට උපතින් පසු දෙමාපියන් තැබූ නාමය වූයේ ඩේවිඩ් හේවාවිතාරණ යන නාමයයි. එය ඉවත  දැමූ එතුමා ධර්මපාල යන නාමය භාවිතයට ගත්තේය. බුද්ධගයාව පිළිබඳ සෝචනීය තත්ත්වය එතුමාට දකින්නට ලැබුණේ ඉංග්‍රීසි බසින් ලියැවුණු සඟරාවකිනි. ඉංග්‍රීසි සිංහල පාළි හා ක්‍රිස්තු දහම ගැනද නිසි අවබෝධයක් තිබූ එතුමාට බුද්ධගයාව ගැන දැනගත් ආකාරය මෙසේ සටහන්වී ඇත.
ආසියාවේ ආලෝකය ග්‍රන්ථය ලියූ කතුවර ශ්‍රීමත් එඩ්වින් ආනල්ඩ් විද්වතා  නම් ලන්ඩනයේ සඟරාවේද කතුවරයා වූ නිසා ඔහු විසින් බුද්ධගයාව සහ ඒ අවට සිදුවී ඇති විනාශය ගැන අවධානය යොමුකරමින් ලිපි රැසක්ම පළ කළේය. මෙම ලිපි දුටු අනගාරික ධර්මපාලතුමාගේ සිත ඉමහත් කම්පනයකට පත් කළේය. බුදුසමය උපත ලද භාරත දේශයෙහි නැවත බුදුසමය ගොඩනැගීමට අධිෂ්ඨාන කළ එතුමා 1891 ජනවාරි මස බුද්ධගයාවට ගියේය. බුද්ධගයාවට සිදු වී ඇති විනාශය සියැසින් දැක ආපසු කොළඹට පැමිණි අනගාරික ධර්මපාලතුමා විසින් 1891 වර්ෂයේ මැයි මස මහාබෝධි සමාගම පිහිටුවන ලදී. එහිදී අපේක්ෂිත කාර්යයන් දෙකක් වූයේය. බෞද්ධ රටවල් නියෝජනය වන අයුරින් භික්ෂුන් වහන්සේලා ගෙන් යුක්ත මණ්ඩලයක් බුද්ධගයාවේ පිහිටුවීම සහ බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ඉංග්‍රීසි සහ ඉන්දියානු භාෂාවලින් ප්‍රකාශන පළ කිරීමයි. 
වර්ෂ 1884දී එක්තරා සිදුවීමක් අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් වූ බව සනිටුහන් කර ඇත්තේ ලංකාවේ ප්‍රකට ‍ලේඛකයෙකු වූ ඩේවිඩ් කරුණාරත්න මහතා විසිනි.
1884  අවසානයේදී මදුරාසියේ පැවති සමස්ත ඉන්දියා පරම විඥානාර්ථ සමාගමයේ සංවත්සර උත්සවයට සහභාගි වූ බ්ලැවැට්ස්කි මැතිනියත් සමග ස්වකීය ඉන්දියා ගමනෙහි යෙදෙන්නට මොහුට අවස්ථාව සැලසුණි. එම චාරිකාවෙනුත් එහිදී අසන්නට දකින්නට ලැබුණු නොයෙක් තොරතුරුවලිනුත් අප තරුණයා ගේ සිත වැඩි වැඩියෙන් ආධ්‍යාත්මික සටන කෙරෙහි යොමු වූයේය. ඉන්දියාවේ සිට පෙරළා පැමිණීමෙන් පසු වර්ෂ 1885දී බ්‍රහ්මචාරි වී ලෝකාර්ථ චරියාවේ යෙදෙන්නට ඔහු සිය පියාගෙන් අවසර පැතුවේ එහෙයිනි.
තමාගේ මුළු මහත් ජීවිත කාලය බුද්ධ ශාසනයේ දියුණුව සඳහා ඇප-කැප කොට ක්‍රියා කරන්නට අවශ්‍ය වූ අඩිතාලම දමා ගැනීම සඳහා බ්ලැවැට්ස්කි මාතාව සමග ඉන්දියාවට යන්නට තරුණ හේවාවිතාරණ සිය පියාගෙන් අවසර පැතීය. නමුත් පවු‍ලේ දෙටු පුතු එසේ නන්නත්තාරේ යෑම පියා කොහොමටවත් අනුමත නොකළේය. පුතා නැවත නැවතත් කන්නලව් කළේය. පියා නැවත නැවතත් ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.
පිය පුතු දෙදෙනාගේ මේ කතාබහ සිදුවන විට අසල කුටියක සිට එයට සවන් දුන් බ්ලැවැට්ස්කි මැතිනිය මේ වාදය මැදට පැන මෙතරම් ඕනෑකමින් ඉල්ලා සිටින මේ ඉල්ලීමට ඉඩ නොලැබුණහොත් තරුණයා ශෝකයෙන් සංකාවෙන් රෝගී වීමට වුවත් බැරි නැතැයි පැවසීමෙන් එතෙක් මතෛක් කොහෙත්ම ලබාගන්නට බැරිවූ අවසරය ලැබුණේය.
(අනගාරික ධර්මපාලතුමා - ඩේවිඩ් කරුණාරත්න පි. 49 1964 ප්‍රථම මුද්‍රණය ගුණසේන සහ සමාගම)
බුද්ධගයාව මහන්තා නම් අන්‍ය ආගමිකයෙකුට අයත්ව තිබි විවිධ ඇනුම් බැණුම් අපහාස මැද අවසානයේ නඩු මගට බැස එම පුදබිම බෞද්ධ ජනතාවට ලබාදීම ඉතා ප්‍රසිද්ධ කරුණක් නිසා විස්තර කිරීමට අපේක්ෂා නොකෙරේ.
පරම විඥානාර්ථ සමාගමෙන් ඉවත්වීමෙන් පසුව ධර්මපාලතුමාගේ ක්‍රියාමාර්ගය වඩාත් ප්‍රබල වූ බවට සාක්ෂිය සිංහල බෞද්ධයා පත්‍රය ඇරඹීම පමණක් නොවේ. තමන්ගේ ජාතික ශාසනික ව්‍යාපාරයන්හිදී අසදෘශ දානපතිනිය වූ ඩේරි ෆෝස්ටර් මැතිනිය පිරිනැමූ ආධාර මුදලින් ඒ වර්ෂයේදීම රාජගිරියෙන් ඉඩමක් මිලයට ගන්නා ලද භූමිභාගයෙහි නව පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමද තවත් සාක්ෂියකි.
ධර්මපාලතුමාගේ ධර්මදූත ව්‍යාපාරයටත් ලංකාවේ බෞද්ධ කටයුතු සඳහා ස්වාධීන ප්‍රචාරයටත් මහෝපකාරී වූ සිංහල බෞද්ධයා පත්‍රය පසුව රටේ මහජන මතය නංවාලීමේ අසහාය මාධ්‍යය බවට පත්වූයේය. පත්‍රය ඇරඹීමේ අරමුණ දක්වමින් එසමයේ ධර්මපාලතුමා ප්‍රකාශ කර සිටියේ මෙසේය.
සුද්දන්ට දාසකම් නොකොට සිංහලයන්ට නිදහසේ මග පෙන්වීම සඳහා පරාර්ථ සිතින් වැඩ කිරීමේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වීම සඳහා සිංහල බෞද්ධයා පත්‍රය පටන් ගනිමි. අප රටේ ජාතික ප්‍රවෘත්ති පත්‍රයක් නැත. මහජනතාවගේ අදහස් කියන්නට පත්‍රයක් නැත. ජාතිය දියුණු කිරීමට හෝ බුද්ධ ශාසනය රැකගැනීමට පත්‍රයක් නැත. සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්
තම අනුගාමික වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන යන තරුණ මහතුන් පත්‍රයේ සංස්කරණයට යොදවා ඔවුන්ට අවකාශ ඇතිවූ විට තමන්ම කතුවැකි ලියා වර්ණ සංයෝජක ඌනතාවලදී තමන්ම අකුරු අමුණා සේවකයෙකු නැති විට මුද්‍රණ යන්ත්‍රයේ රෝදය තමන්ම කරකවා සිංහල බෞද්ධයා පත්‍රය ආරම්භ සමයේ ධර්මපාලතුමන් නිකුත් කළේ නොපසුබස්නා අධිෂ්ඨානයත් පුරුෂ ධෛර්යයත් ඇතොත් කළ නොහැකි සත්කෘත්‍යයයක් නැති බවට ආදර්ශයක් සපයමිනි. අනුක්‍රමයෙන් අභිවෘද්ධියටත් ජනප්‍රියත්වයටත් පත්වුණු මේ පුවත්පත පණ්ඩිත තෝමස් කරුණාරත්න යූ. පී. ඒකනායක, ඩබ්ලිව්. ඩබ්ලිව්. කරුණාරත්න, ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ජුලියස් ද ලැනරෝල්, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල, හේමපාල මුනිදාස, ඩේවිඩ් කරුණාරත්න යනාදී වියත් ‍ලේඛකයන්ගේ කර්තෘත්වයෙන් රටටත් දැයටත් සසුනටත් සැලසූ සේවය විසිවැනි සියවසින් අඩසිය වසර පිළිබඳ ලංකා ඉතිහාසයෙහි රන් අකුරෙන් සටහන් විය යුතුය. (අනගාරික ධර්මපාල අපදානය කේ. බි. සුගතදාස - පිටු 92 - 93 (1986) අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලය)
කෘතහස්ත ‍ලේඛකයෙකු මෙන්ම ගැඹුරු හඬකින් යුක්ත කථිකයෙකු ද වූ කේ. බි. සුගතදාස විද්වතාණන් ද ඔහුගේ තරුණ කාලයේ සිට ධර්මපාලතුමා ආශ්‍රය කිරීමේ භාග්‍යය ලත් ආදර්ශවත් මහත්මයෙකු බව සඳහන් කළ යුතුව ඇත.
පණ්ඩිත ගනේගම සරණංකර මහනාහිමිපාණන් වහන්සේ විසින් ලියන ලද පහත සඳහන් කරුණු තුළ අනගාරික ධර්මපාලතුමාගේ සේවාව හා අගය සංක්ෂිප්ත කර ඇති අන්දම මෙසේය.
අපේ රටත් ජාතියත් ආගමත් සංස්කෘතියත් හදන්නට ධර්පාලතුමා තරම් මහන්සි වූ කැපවූ පරිත්‍යාග කළ වෙන කිසිවෙක් නැත. එතුමා නූපන්නේ නම් දඹදිව බුද්ධගයාව ශ්‍රී මහා බෝධිය තවමත් හින්දූන් අතේය. එතුමාගේ චරිත කතාව සෑම සිංහලයෙකු විසින්ම කියවිය යුතුය. එය එක් කෙනෙකු දෙන්නෙකු විසින් නොව නොයෙක් ‍ලේඛකයන් විසින් නොයෙක් දෘෂ්ටිකෝණ අනුව ලිවිය යුතුය. එතුමා ජනනායකයෙකි. අනගාරිකයෙකි, භික්ෂුවරයෙකි, කථිකයෙකි, දේශකයෙකි, ධර්ම දූතයෙකි, ජාත්‍යාලය ඇති නායකයෙකි. සර්ධාවත් බෞද්ධයෙකි, මහා දානපතියෙකි, ජාත්‍යන්තර කීර්තිමත් සිංහලයෙකි. සංස්කෘතික විප්ලවයක් ඇති කළ කෙනෙකි. ත්‍රිපිටකධාරියෙකි උප සම්පදා භික්ෂුවරයෙකි.
මා ප්‍රිය කළේ ඉතා ශාන්ත දාන්ත උපසම්පදා භික්ෂුවක්ව සිටි සිරිදේවමිත්ත ධම්මපාල රූපයට වඩා එඩිතර නිර්භීත පේ‍රෟඪ අනගාරික ධර්මපාල රූපයටයි. අහෝ ධර්මපාලතුමනි. මේ නැවතත් ඔබතුමා සිටිය යුතු කාලයයි.
අනගාරික ධර්මපාල චරිතාපදානය (කේ.බි.සුගතදාස මහතා විසින් ලියන ලද ග්‍රන්ථයට පණ්ඩිත පූජ්‍ය ගනේගම සරණංකර නාහිමියන් ලියූ හැඳින්වීමෙනි)
1933 වර්ෂයේ අප්‍රේල් මස 29 වැනිදා එනම් වසර 79කට පෙර සිරිදේවමිත්ත ධම්මපාල නමින් මහණ වූයේ ඉන්දියාවේ බරණැස සාරානාත් හිදීය. උන්වහන්සේගේ අවසන් වචන වූයේ මට නැවත උපදින්නට ලැබේවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ව්‍යාප්ත කිරීමට විසිපස් වරක් උපදින්නට ලැබේවා යනුවෙනි.
අද වර්තමාන ලංකාවේ සමාජ ආර්ථික හා සංස්කෘතික පරිහානිය දෙස බලන විට අනගාරික ධර්මපාලතුමන්ලා එක් අයෙක් නොව දහස් ගණනින් බිහිවිය යුතු යුගයක් බව මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි.

2012 මැයි 05 වෙනි සෙනසුරාදා, ලංකාදීප 
සිරි සමන් විජේතුංග

සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්‌ ද?


පසුගිය වසරේ වෙසක්‌ පොහෝ දිනට මෙතෙක්‌ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යත්වය හා දේවත්වය මෙන්ම බ්‍රහ්මත්වය ද ඉක්‌මවා මනස දියුණු කරගෙන බුද්ධත්වයට පත්වී වසර 2600 ක්‌ සපිරුණි. එය අපි 2600 සම්බුද්ධත්ව ජයන්තිය නමින් හැඳින්වීමු. මේ වසරේ වෙසක්‌ පොහොය දක්‌වා වර්ෂය සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නමින් ද ප්‍රකාශයට පත් කෙරිණි. "2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු" යන පාඨය සහිත තොරණ බැනර් ආදිය රට පුරා ප්‍රදර්ශනය වීමට ද යොදනු ලැබීය. එහෙත් එහි අර්ථය හෝ වැඩි දෙනා නොදනිති. සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සම්මන්ත්‍රණ, සාකච්ඡා, උත්සව, පිංකම් ආදිය ද රට පුරා සිදු කෙරිණි. අදත් සිදු වෙයි. බුදු උපත බුදුවීම හා උන්වහන්සේගේ පිරිනිවීම සිදුවූ වෙසක්‌ පොහෝ දිනය ලෝකයේ සියලුම බෞද්ධයන්ට වැදගත් වන දිනයකි. ඒ අතර ශ්‍රී ලංකාවාසීන්ට එම දිනය මෙන්ම 2600 සම්බුද්ධත්ව ජයන්තිය ද විශේෂ වශයෙන් වැදගත් වන කරුණු කීපයක්‌ ඇත.

මීට වසර 2600 කට පෙර බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවී නව වැනි මාසයෙහි එනම් දුරුතු පුරපසළොස්‌වක පොහොය දා පළමු වරට අපේ රටේ මහියංගනයට වැඩම කළහ. එදා සිටි පිරිසට දහම් දෙසා උන්වහන්සේ ඔවුන්ට හරි මඟ පෙන්වා දුන්හ. එම දහම් හමුවෙහි දී තවත් කොපමණ පිරිසක්‌ ධර්මාවබෝධය ලැබුවාදැයි නොදනිමු. එහෙත් සුමන නම් දේව ගෝත්‍රිකයා බුදු බණ අසා සෝවාන් ඵලයට පැමිණ පසුව සුමන සමන් දෙවි යන නමින් මෙරට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මේ කරුණු සිදු වූයේ මීට වසර 2600 කට පෙර බැවින් මෙම සම්බුද්ධත්ව ජයන්තිය අපට අතිශයින්ම ඓතිහාසික වැදගත් සන්ධිස්‌ථානයකි.

ගෞතම බුදුන් වහන්සේ තුන්වැනි වර ලක්‌දිවට වැඩම කළේ බුද්ධත්වයෙන් අටවැනි අවුරුද්දෙහි කැලණි පුරවරයටයි. පළමු හා දෙවැනි වර අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේගේම කැමැත්තෙන් වැඩම කළ අතර කැලණියට වැඩම කළේ එදා එම ප්‍රදේශයෙහි ප්‍රධානියාව සිටි මණිඅක්‌ක නම් නාග ගෝත්‍රිකයාගේ ආරාධනාවෙනි. අපේ රටේ කෙනෙකුගේ ආරාධනාවෙන් වෙසක්‌ පුන් පෝ දිනක බුදුරජාණන් වහන්සේ අපේ රටට වැඩම කිරීම වෙසක්‌ පොහොය අපට විශේෂ වැදගත් කමක්‌ ඇති දිනයක්‌ බවට පත් වීමට හේතු භූත වූ කරුණකි.

ඓතිහාසික වශයෙන් තවත් වඩාත් වැදගත් වන කරුණක්‌ ද ඇත. එනම් බුද්ධත්වය ලබා සත් සතිය ගත කරද්දී බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තපස්‌සු භල්ලුක යන සහෝදර වෙළෙඳුන්ට පූජා පැවැත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු රැගෙන ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලයට උතුරින් කඳු මුදුනක දාගැබක්‌ හදා එහි නිධන් කර තැබීමයි. එම දාගැබ අද අපි ගිරිහඩු සෑය නමින් හඳුන්වමු. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිය දීම උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර මෙහි මිහිපිට තැනූ එකම දාගැබ මෙන්ම පැරණිතම දාගැබ ගිරිහඩු සෑයයි. එය සිදුවූයේ ද මීට වසර 2600 කට පෙරයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජන්ම භූමියෙන් එනම් දඹදිවින් බැහැර වැඩම කළ එකම රට ශ්‍රී ලංකාව වන අතර උන්වහන්සේ තුන් වතාවක්‌ම මෙරටට වැඩම කිරීමෙන් අප කෙරෙහි දැක්‌වූ අනුකම්පාව අපි හැමදාම සිහි කළ යුතු ඓතිහාසික කරුණකි. බුදු වී 2600 වසරක්‌ ගත වන අවස්‌ථාවෙහි පමණක්‌ නොව එම බුද්ධාගමනයන් අප හැම විටක සිහිකළ යුතු වෙයි. සිහි කරමින් උන්වහන්සේගේ චරිතය හා දෙසූ දහම අනුව යමින් උතුම් වූ බුද්ධාශිර්වාදය ලබා ගැනීම අපට කළ හැකි අප කළ යුතු දෙයකි. බුදු බලය තරම් අපට ආශිර්වාද ලැබෙන වෙනත් කිසිදු බලයක්‌ නොමැති බව ද මෙහි දී කිව යුතුය.

බුද්ධාශිර්වාදය ලැබූ අප මවුබිමෙහි මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හඳුන්වා දුන් බුදුදහමට අනුගතව දිවි මඟ සකසා ගත් අපේ මුතුන් මිත්තෝ මේ බිම ධර්මද්වීපයක්‌ බවට පත් කළහ. එපමණක්‌ නොව පෙරදිග ධාන්‍යාගාරය මෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලිය ලැබීමට සමත් වූයේ ද බුදු දහම නිසාමයි. 2600 වසරක්‌ තිස්‌සේ අප රට වැසියන්ගේ මනස පෝෂණය කළ ඒ බුදු මඟ අපගේ මාතෘ භූමිය ස්‌වයං පෝෂිත රටක්‌ ලෙස පැවතීමට හේතු වූ බව රටවැසි හැම දෙනාම පිළිගත යුතු කරුණකි. මේ සියලු කරුණු නිසා එදා මෙන්ම අදත් මේ රට බෞද්ධ රටක්‌ ලෙස ලෝකය තුළ තහවුරු වී ඇති බව ද සත්‍යයකි. එසේ තහවුරු කළේ සිංහලයන් බව ද පිළිගත යුතු සත්‍යයකි.

අද මේ රට තුළ අසිංහල අබෞද්ධ ජනතාව ද වෙසෙති. ඔවුන්ට ඔවුන්ගේ කටයුතු කරගෙන යැමට සිංහල බෞද්ධයන්ගෙන් කිසිදු බාධාවක්‌ නොමැත. එහෙත් ආක්‍රමණශීලීව බෞද්ධ හා සිංහල උරුමයන්ට එරෙහිව ක්‍රියා කරන විට ඒ අසාධාරණයන් බව පෙන්වා දීමත් ඊට එරෙහිව නැඟී සිටීමත් සිංහල බෞද්ධයන් විසින් කළ යුතු දෙයකි. එසේ ක්‍රියාත්මක වන විට ජාතිවාදීන් හෝ ආගම්වාදීන් ලෙස සිංහල බෞද්ධයන්ට එරෙහිව කරුණු කියන, නැඟී සිටින අය ශීලාචාර මිනිසුන් නොවන බව කිව යුතුය.

2600 වසරක්‌ තිස්‌සේ මෙරට වැදගත් ශිෂ්ටාචාරයක්‌ ආරක්‍ෂා වී තිබේනම් එය එසේ වූයේ බුදු මඟ පදනම් කර ගෙනයි. එම ශිෂ්ටාචාරයට හානි සිදු වූයේ බුදු මඟෙන් ඈත්වීම නිසයි. තවත් පැහැදිලිව කිවතොත් අන්‍යාගමික අන්‍ය සංස්‌කෘතික බලපෑම් තර්ජන හා මර්දන නිසයි. එය මෙරට පුරවැසි මෙන්ම සත්‍ය ගරුක ලෝ වැසි හැම කෙනෙකු විසින්ම පිළිගත යුතු සත්‍යයකි.

ශ්‍රී ලංකාවෙහි ඉපදී ශ්‍රී ලංකා පුරවැසිකම හිමිකරගත් සියලු දෙනා විසින්ම තම මවුබිමේ ඉතිහාසය දැනගත යුතු අතර එම ඓතිහාසික උරුමයන්ට ගරු කළ යුතු ද වෙයි. එහෙත් අද එය දෙමළ හා මුස්‌ලිම් අය විසින් පමණක්‌ නොව ඇතැම් සිංහලයන් විසින් ද ගරු නොකරන දෙයක්‌ බවට පත් වී ඇත. බහුජාතික හා බහුආගමික සංකල්පයක්‌ ඉදිරිපත් කරගෙන මේ රටේ උරුමයන්ට හානි පමුණුවන වැඩ පිළිවෙළක්‌ තදින්ම ක්‍රියාත්මක වෙයි. එය කිසිසේත්ම වැදගත් සංකල්පයක්‌ නොව බහුබූතයක්‌ පමණි. රටක ඉතිහාසය පුරා පැවත එන උරුමයන් පදනම් කරගත් අනන්‍යතාව එම රටේ වැදගත් කමයි. 2600 වසරක්‌ තිස්‌සේ පැවත එන එම උරුමයන්ට ගරු නොකරන විට ඊට එරෙහිව කටයුතු යෙදෙන විට රටේ වැදගත්කම ද නැතිවී යයි.

මෙම සත්‍යය දන්නා ඊට ගරු කරන සිංහල බෞද්ධයන් මෙන්ම කතෝලික මුස්‌ලිම් හා දෙමළ සත්පුරුෂයෝ ද සිටිති. එහෙත් ජාතිවාදය හා ආගමික අන්තවාදය පදනම් කරගෙන සිතන මතන ක්‍රියා කරන ඒ අනුව බලය බෙදීමට වැර වෑයම් කරන මිනිසුන් නිසා 2600 ක උරුමයට බලවත් තර්ජන එල්ල වී ඇත. ඔවුන් අතර අන්‍ය ජාතික අනාගමිකයන් පමණක්‌ නොව සිංහලයෝ ද නරක බෞද්ධයෝ ද සිටිති.

මෙරට අනන්‍යතාව හා උරුමය දැන එය අතිශයින්ම අගය කළ කෙනෙකි මර්සලින් ජයකොඩි පියතුමා. එතුමා ඒ බව කවියෙන් පැවසුවේ මෙසේය.

උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත්

වෙහෙරෙන් සුදු වී ඇත නංවා කොත්

යම් විට යම් කොත් සුන් වී ඇත හොත්

යළි නංවන තුරු කන්න එපා බත්


වෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන්

බැලු බැලු හැම තැනක වෙහෙරක්‌ පෙනීයන්

ඉන් දෙන පණිවිඩය සවනට දැනීයන්

දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්

මෙවැනි උතුම් අදහස්‌ ඇති රටේ අනන්‍යතාව පිළිගත් ඊට ගරු කරන තවත් අය ද නැත්තේ නොවේ.

එහෙත් අද මෙරට පුරවැසි බව ජන්මයෙන්ම ලබා ගත් මුස්‌ලිම්වරු ලෝකයේ වෙනත් මුස්‌ලිම් රටවල් තමන්ගේ රටවල් ලෙස සලකති. පසුගිය දා ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකාවට පක්‍ෂව අරාබි රටවල් ඡන්දය දීම ගැන ඔවුන් හඬ ගා කියන්නේ අපේ රටවල් එසේ ඡන්දය දුන්නාය කියලයි. මෙරට පුරවැසියන් ලෙස සිටිමින් මුස්‌ලිම් ආගමිකයන් සිටින වෙනත් රටවල් තමන්ගේ රටවල් ලෙස සලකා තමන්ට උවමනා දේ කර ගැනීමට එම රටවල බලපෑම් හා සහයෝගය ලබා ගැනීමට ක්‍රියා කිරීම මෙන්ම සිතීම ද බලවත් වරදකි. එවැන්නන් සිටින විට රටක්‌ දියුණු කළ නොහැක. රටේ සමගිය ඇති නොවේ. ඒ බව මුස්‌ලිම් සාමාන්‍ය ජනතාව මෙන්ම විශේෂයෙන් මුස්‌ලිම් දේශපාලකයන් තදින්ම සිතට ගත යුතුය.

මෙහි පුරවැසිකම ඇතිව සිටින දෙමළ ජනයා ද මෙරට වැසියෝය. එම දෙමළ ජනතාව තමන්ගේ ජනතාව ලෙස සලකමින් බහුතර දෙමළ ජනගහනයක්‌ සිටින තමිල්නාඩුවේ දෙමළ නායකයන්ට හෝ ඉන්දීය ආණ්‌ඩුවට ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක්‌ නැත. මෙරට දෙමළ දේශපාලකයන්ට ද දෙමළ ජනයා වෙනුවෙන් වෙනම බලතල හෝ ඊළමක්‌ වෙනුවෙන් කතා කිරීමට ක්‍රියා කිරීමට සදාචාරාත්මක අයිතියක්‌ නැත. එහෙත් ඔවුහු ඒ දේ කරති. එය මෙරට වැසියන්ගේ සමගියට හා දියුණුවට ද බරපතළ බාධාවකි.

මෙම කරුණු ඉතා හොඳින් විමසා බලා සිහි නුවණින් යුතුව රටේ අනන්‍යතාව රැකගැනීමට ක්‍රියා කිරීම රටේ අනන්‍යතාවට ගරු කරන සත්‍ය ගරුක මෙරට වැසි හැම දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය. විශේෂයෙන් සිංහල බෞද්ධ පැවිදි ගිහි නායකයන්ගේත් දේශපාලකයන්ගේත් ප්‍රබල වගකීමක්‌ වන්නේය. එම වගකීම සිතට නොගෙන දේශපාලන බලය අරමුණු කරගෙන හෝ වෙනත් කරුණක්‌ නිසා හෝ විදේශ බලවේග වලට නතු වී ක්‍රියා කළහොත් 2600 වසරක්‌ තිස්‌සේ අප සතුව පැවත එන අපේ උරුමය අපේ ශිෂ්ටාචාරය හා රටේ අනන්‍යතාව වැනසී යන්නේය. ඊට ඉඩදුන්නොත් එම විනාශය සිදු කළ අය ලෙස අනාගතයේ දොස්‌ පැවරෙනු ඇත්තේ විජාතිකයන්ට හා විදේශිකයන්ට පමණක්‌ නොව මෙරට සිංහල බෞද්ධයන්ටත් සමඟයි. රටක්‌ හා ජාතියක්‌ වශයෙන් මෙන්ම උතුම් ශිෂ්ටාචාරයක්‌ දීර්ඝකාලයක්‌ තිස්‌සේම රැකගත් භූමියක්‌ වශයෙන් ද ඉදිරියටත් මැනවින් පැවතීමට නම් 2600 වසරක උරුමය මත පිහිටා අප ක්‍රියා කළ යුතුව ඇත. එයයි අපගේ අනුල්ලංඝනීය වූ කාර්ය භාරය වන්නේ. පිය උරුමය දැන ඒ අනුව ක්‍රියා කිරීම විනාශ නොවී පැවතීමට හේතු වන බව බුදුරජාණන් වහන්සේ ද (චක්‌කවත්ති සීහනාද සූත්‍රයෙහි) දේශනා කළහ.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම්

වෙසක්‌ : සම්මා සම්බුදුවරුන්ගේ දිනයයි


සියලුම අතීත බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වූයේ වෙසක්‌ පොහොය දිනයේය. එහෙයින් වෙසක්‌ යනු බුද්ධත්වයේ දිනයයි. එසේත් නැතිනම් බුදුවරුන්ගේ දිනයයි. බුද්ධත්වය හා බුදු සිරිතේ සෙසු අසිsරිමත් සිදුවීම් දෙක වන උපත හා පිරිනිවීම සිsහිපත් කිරීම සඳහා ලෝකවාසී බෞද්ධයන් විසින් වෙසක්‌ පොහොය දින අතිඋත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබේ. සිද්ධාර්ථ භාරතයේ කපිලවස්‌තුවේ විසූ සුද්ධෝදන මහරජතුමාට දාව මහාමායා දේවියගේ කුසින් උපන් පින්වත් කුමරෙකි. එතුමන්ගේ උපත භාරතයේ ලුම්බිණි සල් උයනේ දී සිදු විය. වයස දහසයේ දී පින්වත් යශෝධරා කුමරිය සමග යුග දිවියට පත්ව රාහුල නමින් පින්වත් පුත් කුමරෙක්‌ ලැබීය. සුද්ධෝදන රජු වැනි ආදරණීය පියකුගේ පුතෙකු වීමේ භාග්‍යය ලද සිද්ධාර්ථ කුමරුට සුඛෝපභෝගවලින් අනූන සැපවත් ජීවිතයක්‌ ලැබුණේය. එහෙත් පෙර පුරන ලද පාරමිතා බලයෙන් ඒ සියලු කාමසුඛල්ලිකානුයෝගයන් තාවකාලික තෘප්තියක්‌ ලබා දුන්නත් ඒවා දුකට හේතු වන බව තේරුම් ගත්තේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ලෞකික සැප හිමිදිරියේ ඉවතලන කෙළපිඬක්‌ සේ ප්‍රතික්‍ෂේප කොට ලෝකෝත්තර සුවය පතා තම වයස විසිනවයේදී මහා අභිනිෂ්ක්‍රමණය කළේය.

ඉන් පසු අතිශයින්ම කඨෝර වූ දුෂ්කර ප්‍රතිපදාවකට තම ගත සිත යොමු කළ සිද්ධාර්ථ තවුසා ශරීරයට අධික දුක්‌ දීමෙන් විමුක්‌තිය ලැබෙන බව තදින්ම විශ්වාස කළ යුගයක එය දුකට හේතු වන බව අවබෝධ කොට ප්‍රතික්‍ෂේප කළේය. එසේම එම අත්තකිලමථානුයෝගය අනාර්ය වූවක්‌ මෙන්ම අනර්ථය පිණිස වූවක්‌ බව ද ප්‍රකට කළේය. (දුක්‌ඛො, අනරියෝ, අනන්ථ සංහිතො) තම ජීවිතයේ ස්‌ව අත්දැකීම් මගින්ම මෙම කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානු යෝගය යන අන්ත දෙකම ප්‍රතික්‍ෂේප කරන සිද්ධාර්ථ බෝසත් යෝගාවචරයා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට මීට වසර 2600 කට පෙර වෙසක්‌ පුන් පොහෝ දිනයක බුද්ධත්වාවබෝධය කළේය. එහෙයින් උන්වහන්සේ දෙව් මිනිසුන් සහිත ලෝකයේ ගුරුවරයා බවට පත් වූ සේක (ලෝකවිදූ) තම වයස තිස්‌පහේදී ලොව්තුරු බුද්ධ රාජ්‍යයට පත් ශාක්‍යමුනි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ එතැන් පටන් වයස අසූව දක්‌වා වූ හතළිස්‌පස්‌ වසරක්‌ සමස්‌ත මිනිස්‌ වර්ගයාට පමණක්‌ නොව සතා සිව්පාවාට පවා යහපත සැලසෙන විශ්ව ව්‍යාප්ත ධර්මයක්‌ දේශනා කළ සේක. සෙසු බුදුරජාණන් වහන්සේලා මෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ ද තම ශාසනය තුළ ව්‍යක්‌ත විනීත විශාරද ධර්මානුධර්ම පටිපන්න ශ්‍රාවක පිරිසක්‌ බිහිකොට වෙසක්‌ පොහෝ දිනයකම විශාලා මහනුවර උපවර්තන සල් උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. 

වෙසක්‌ උත්සවයේ ආරම්භය ක්‍රි. පූ. 3 වැනි සියවසේ විසූ ධර්මාශෝක අධිරාජයාගේ කාලය තෙක්‌ ඈතට දිවයන්නකි. ධර්මාශෝකගේ 15 වැනි ගිරි ලිපියෙහි එතුමා විසින් පවත්වන ලද ඉතාමත් දැකුම්කලු උත්කර්ෂවත් උත්සවයක්‌ වාර්තා කෙරෙන අතර එහි දිව්‍යමය රථවල දිව්‍යමය පිළිම තබා ප්‍රදර්ශනය කෙරුණු බව වාර්තා වේ. ඊට ශතවර්ෂ කීපයකට පසු එනම් ක්‍රි. ව. 5 වැනි ශතවර්ෂයේ පාහියන් නම් චීන දේශාටන භික්‍ෂුව විසින් පාඨලීපුත්‍ර නගරයේ පවත්වන ලද පෙරහැරක්‌ වාර්තා කරයිs. එය වසරේ දෙවැනි මාසයේ අටවැනි දින පැවැත්වූවක්‌ වශයෙන් දැක්‌වේ. එම ආගමික උත්සවය විස්‌තර කරන පාහියන් හිමි රෝද සතරකින් යුත් රථ මත සතරකට බෙදුණු උණ බම්බුවලින් ඉදිකරන ලද සැකිල්ලක්‌ මත ස්‌වර්ණමය හා රිදී දේව පිළිම හා බුදු පිළිම තබා තිබෙන අයුරු මැනවින් ඉදිරිපත් කරයි. එම රන්වන් බුද්ධ ප්‍රතිමාව හිඳි පිළිමයක්‌ වූ අතර එය වටේට එම උණ සැකිල්ලේ හතර කොනේ දේව පිළිම හතරක්‌ ද තැන්පත් කොට තිබුණු බව ද වාර්තා කරයි. එම සෑම බුද්ධ ප්‍රතිමාවකටම උපස්‌ථායක බෝසත් පිළිරුවක්‌ ද තිබිණි. එබඳු රථ විස්‌සක්‌ පමණ පෙරහැරේ ප්‍රදර්ශනය කෙරුණු අතර එම සෑම රථයක්‌ම එකක්‌ අනෙකට වෙනස්‌ අයුරින් විසිතුරුව නිර්මාණය කොට තිබුණු බව දැක්‌වේ. චීන දේශාටන පාහියන් භික්‍ෂුව විසින් විස්‌තර කරන ලද මෙම මනස්‌කාන්ත පෙරහැර අශෝකාධිරාජයා විසින් ආරම්භ කරන ලද පූර්වෝක්‌ත පෙරහැරේම සංවර්ධිත අවස්‌ථාවක්‌ බව සැලකිය හැකිය. මෙය සත්‍යයක්‌ වශයෙන් ගතහොත් ක්‍රි.පූ. 3 වැනි සියවසේ අර්හත් මහා මහින්ද තෙරුන් බුදු සසුන හා වෙසක්‌ උත්සවය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නට ඇතැයි පිළිගත හැකිය. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වෙසක්‌ උත්සවය සැමරීම වාර්තා වන්නේ දුටුගැමුණු රාජ්‍ය සමයේය. (ක්‍රි. පූ. 101-72) දුටුගැමුණු රජතුමා විසින් කරන ලද පින්කම් රචනා කොට තබන ලද එතුමාගේම පිං පොතෙහි වෙසක්‌ පින්කම් (උත්සව) විසිහතරක්‌ පැවැත්වූ බව සඳහන් කර තිබේ. ඒ අනුව එතුමා රාජ්‍යය කළ වසර විසිහතරක කාල සීමාව තුළ වෙසක්‌ උත්සවය වාර්ෂිකව සිදුකරන්නට ඇති බව පිළිගත හැකිය. දුටුගැමුණු මහරජතුමා වෙසක්‌ පූජාවන් 24 ක්‌ කළ බව මහාවංශයද මෙසේ වාර්තා කරයි.

"මහා විසාඛ පූජාව - චතුවීසති කාරයිං 

දීපෙ සංඝස්‌ස තික්‌ඛත්තුං - තිචීචරමදාපයිං"

(පරිච්ඡේදය 32, ගාථාව 35)

භාතිකාභය රජතුමා ද රාජ්‍ය විචාළ විසිඅට අවුරුද්දක කාලය තුළ වෙසක්‌ උත්සව විසිඅටක්‌ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව වාර්තා වේ. වසභ රජතුමා ද පින්කම් රාශියක්‌ සිදුකළ බව වාර්තා වන අතර වෙසක්‌ උත්සවය ද ඉන් එකකි. එතුමා තම විසිඅට වසරක රාජ්‍ය කාලය තුළ වෙසක්‌ උත්සව විසිඅටක්‌ සිදු කළේය. ඒවායේ පරමාර්ථය වූයේ තමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි. එසේම වෝහාරික තිස්‌ස හා ගෝඨාභය (මේඝවර්ණ) යන උභය රජවරු ද වෙසක්‌ උත්සව පැවැත්වූවා පමණක්‌ නොව මහා සංඝරත්නයට සිවුරු ද පූජා කළෝය. ජෙට්‌ඨතිස්‌ස මුගලන්, දෙවැනි සේන, පළමුවැනි පරාක්‍රමබාහු යනාදී ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ රජවරු මෙම පුරුදුතාව අනුගමනය කරමින් වෙසක්‌ උත්සව හා පින්කම් සිදු කළෝය. දෙවැනි සේන රජතුමා මෙම වෙසක්‌ පින්කමට හා උත්සවයට නව අරුතක්‌ එකතු කරමින් දුප්පත් දුගී ජනතාවට ආහාරපාන හා ඇඳුම් පැළඳුම් ලබාදීම ද සිදු කළේය.

මෙලෙස ඓතිහාසිකව සිදු කරමින් ආ ශ්‍රේෂ්ඨ බෞද්ධ වෙසක්‌ උත්සවය කතෝලික හා ක්‍රිස්‌තියානි බටහිර පාලකයන්ගේ ප්‍රාදූර්භූතියත් සමගම අභාවයට ගියේය. ශීS්‍ර ලංකා මුහුදුබඩ ප්‍රදේශයේ පාලන බලය අත්පත් කර ගත් ඕලන්ද ආක්‍රමණිකයෝ ක්‍රි. ව. 1770 නොවැම්බර් 01 වැනිදා සිට පෝය නිවාඩු දිනය තහනම් කළේය. මෙම තහනම ලංකාවේ එතෙක්‌ සිදු කරමින් ආ වෙසක්‌ උත්සවය හා සෙසු සාම්ප්‍රදායික ආගමික උත්සවවල අවසානයට හේතු විය. එසේම 1817 අප්‍රේල් 05 වැනිදා ඉංග්‍රීසි පාලකයන් විසින් ඉරු දින නිවාඩු දිනයක්‌ කිරීම පෝය දිනය වැඩ කළ යුතු දිනයක්‌ බවට තවදුරටත් නම් කිsරීම වෙසක්‌ උත්සවය හා පෝය නිවාඩුව ලක්‌ පොළොවෙන් තුරන් වීමට බලපෑවේය. මෙම බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ සියලුම උරුමයන් විනාශ වී ගියේය. එහෙත් ඔවුන් එබඳු අභාග්‍ය සම්පන්න කාලයක වුවත් තම ආගම වූ බුදු දහම අත් නොහැර සිටීම භාග්‍යයකි. අප්‍රමාණ දුෂ්කරතා මධ්‍යයේ වුවත් දැන උගත් භික්‌ෂූන් විසින් බෞද්ධ ජනතාවගේ අයිතීන් සුරැකීමට ගත් උත්සාහයන් අමරණීය වේ. එබඳු එක්‌ ප්‍රකට අවස්‌ථාවක්‌ වශයෙන් පානදුරේ පඤ්ච මහා වාදය එසේත් නැතිsනම් පානදුරාවාදය සඳහන් කළ හැකිය. මෙය මෑතකාලීන ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ හැරවුම් ලCෂ්‍යය වශයෙන් දැක්‌වීම නිවැරැදි විය හැකිය. වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම වාදය ඇමරිකාවේ සිටි හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා ලංකාවට පැමිණ බෞද්ධයන්ගේ අයිතීන් සුරැකීමට කටයුතු කිරීමට තරම් ප්‍රබල වූයේය. ඕල්කට්‌තුමාගේ සහයෝගයෙන් ලාංකේය බෞද්ධයන් විසින් දිනාගත් එක්‌ උත්කෘෂ්ට ජයග්‍රහණයක්‌ වශයෙන් 1885 මාර්තු 25 වැනිදා වෙසක්‌ පුන් පෝය දිනය නිවාඩු දිනයක්‌ වශයෙන් එවකට සිටි යටත්විජිත ආණ්‌ඩුකාරයා ලවා අනුමත කරවා ගැනීම පෙන්වා දිය හැකිය. 

දර්ශනශූරී විද්‍යා විශාරද ආචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පාලි හා 
බෞද්ධ අධ්‍යයන පීඨය කොළඹ විශ්වවිද්‍යාලය