දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදු දහම ගෙනා ඉන්දියාවට ජාතියේ ණය ගෙවූ අනගාරික ධර්මපාලතුමා

පිරිබාහරන් අප රටේ පමණක් නොව      අසල්වැසි ඉන්දියාවේද සතුරෙකු බව      අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවේ. සතුරා වුවත් ඔහු අප ගැන අප රටේ මිනිස්සුන්ගේ (දේශපාලනඥයන්ද ඇතුළුව) මතකය ගැන ප්‍රකාශ කළ කරුණ සත්‍යයකි. එනම් සිංහලයාට විශේෂයෙන්ම කිසියම් සිදුවීමක් හෝ වැදගත් දෙයක් හෝ විනාශයක් හෝ මතක තිබෙන්නේ දවස් පහළොවක් බවය. මෙය කොතරම් සත්‍යයක්ද යන්න ගැන අමුතු අටුවාටීකා අවශ්‍ය නැත. සම්බුදු තෙමඟුල සැමරීම උදෙසා අද අප රටේ පමණක් නොව බොහෝ බෞද්ධ රටවල ඉන්දියාව, ලාඕස්, භූතානය, තායිලන්තය, ටිබෙට්, චීනය, සියමය හා මියන්මාර් (බුරුමය) ආදී රටවල් රැසකම විවිධ වැඩසටහන් සිදුකෙරේ. මේ එකදු රටකට වඩා එදා භාරත දේශයේ අද (ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය ආදී රටවල) බෞද්ධ පුදබිම් සුරැකී පවතින්නේ කවුරුන් නිසාද ඒ සඳහා දිවි හිමියෙන් කැපවී කටයුතු කළේ කවුරුන්ද යන්න ගැන අපට අමතකවී ඇත. මේ මොහොතේදීවත්, මේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය මතු නොව එකල භාරත දේශයේ බුද්ධගයාව මහන්තා නම් හින්දු පූජකවරයාගෙන් බේරාගැනීමට අභීතව සටන් කළ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයා අද අප රටේ නායකකාරකාදීන්ට පමණක් නොව මහාසංඝරත්නයට පවා අමතකවී ඇති බව දැන් නිර්භයවම කිව හැක්කේ පසුගිය මාස 11 තුළ අනගාරික ධර්මපාලතුමා පිළිබඳව කිසිදු අවස්ථාවක විමර්ශනයක් කිරීමට  කළගුණ නොදත් සිංහල බෞද්ධයින්ට හැකියාවක් නොතිබිම නිසාය.
අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයන්ට ලබාදීම සඳහා ගත් ප්‍රයත්නයයි. බුද්ධගයාව බේරාගනිව් යන පාඨයෙන් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේද නායකයන්ගේද සිත් මෙම ප්‍රශ්නය දෙසට යොමුකළ මහා බෞද්ධ හඬ නැගුණේ අනගාරික ධර්මපාලතුමාගෙන් හා එතුමාගේ මූලිකත්වයෙන් 1891දී බිහිකළ මහාබෝධි සමාගමෙනි. දඹදිව නැවත බුදු සමය ප්‍රචාරය කිරීම එතුමාගේ ජීවිතය අතිශයින්ම සාර්ථක කළ වැදගත් කාර්යයකි. අසෝක රජතුමාගේ කාලයේ සිට ලංකාව ඉන්දියාවට ණයගැතිව සිටියේ බුදු සමය හා බෞද්ධ සංස්කෘතිය මෙහි එවුණු නිසාය. අනගාරික ධර්මපාලතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා ඒ ණය ගෙවා දැමීමට සිංහලයන්ට ඉඩ ලැබුණු බව ඉතා ප්‍රකට බෞද්ධ නායකයෙකුගේ ‍ලේඛනයකින් ප්‍රකාශයට පත්වී ඇත.
සාරානාත්හි පිහිටුවන ලද මූලගන්ධකුටි විහාරය මෙතුමාගේ තවත් වික්‍රමයකි. මෙය දඹදිව බුදු සසුන පිහිටුවාලීමට ගත් උත්සාහය මූර්තිමත් කොට දක්වන්නකි.
ඒ කාලයේදී (19 වන සියවසේ මුල් භාගයේදී) ඉන්දියාව, පාකිස්ථානය සහ නේපාලයද එකම රටක් ලෙසින් පැවතුණි. උපන් කිසිම බෞද්ධ නායකයෙකුට (ඒ රටවල) හෝ දේශපාලනඥයකුට කළ නොහැකිවූ සුවිශේෂ ක්‍රියාදාමයක් මගින් අනගාරික ධර්මපාලතුමා ඉටුකළ මෙහෙය තවමත් මේ රටේ පාසල් - දූ දරුවන්ගේ සිත් තුළට කිඳාබැස නැත.
අප රටේ ඉතිහාසය පිළිබඳ ‍පොතේද අනගාරික ධර්මපාලතුමා පිළිබඳව ඉතා දීර්ඝ පරිච්ජේදයක් වෙන් කළ යුතුව ඇත. ආචාර්ය ආනන්ද ගුරුගේ, ඩේවිඩ් කරුණාරත්න, කේ. බි. සුගතදාස, පාලිත වීරමන්, ලක්ෂ්මන් ජයවර්ධන වැනි විද්වතුන්  මෙතුමා ගැන ග්‍රන්ථ රැසක්ම ලියා ඇති බවද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. ධර්මපාල ලිපි නමින් 1991 වර්ෂයේදී අනගාරික ධර්මපාලතුමාගේ සිංහල ලිපි සංග්‍රහයක්ද ආචාර්ය  ආනන්ද  ගුරුගේ   විසින් සම්පාදනය කර ඇත. මීට අමතරව එතුමාගේ ඉංග්‍රීසි ලිපි ඇතුළත් ග්‍රන්ථ ද ඇත.  පරගැති භාවයෙන් හිස් ඔද්දල් කරගෙන සිටි සිංහලයන්ට සිංහල බෞද්ධකම ගැන මතක් කරදීමේදී ඇතැම්විට ආවේගශීලීව කතාබහ කළ බවද ඉතා ප්‍රකටය. ඒ පිළිබඳව අනගාරික ධර්මපාලතුමාගේ සඳහනක් මෙසේය.
මම අපේ සිංහලයන්ට බණින්නේ මගේ සහෝදර දොස්තර හේවාවිතාරණට බණින්නාක් මෙන් සහෝදර ප්‍රේමයෙනි. ලෝකයේ බොහෝ රටවල සංචාරය කළ මම පිටරටවල් දියුණුවන සැටිත් අපේ රට පමණක් පිරිහෙන හැටිත් දැක ඉවසාගන්න බැරි වේදනාවෙනුයි බණින්නේ. තරහකින් නොවේ. ජාතික වේදනාවකිනි.
(මගේ ජීවිත කතාව - අනගාරික ධර්මපාල ස්වයං ලිඛිත චරිතාපදානය සංස්කාරක ලක්ෂ්මන් ජයවර්ධන) 
අද දවසේ අප රට සාරධර්මවලින් අන්තයටම පරිහානියට පත්වී ඇති බව දිනපතා හා සති අන්ත ප්‍රවෘත්ති පත්‍රවල පළවන වාර්තාවලින් මනාව පැහැදිලිවේ. තව වරක් අප රටේ අනගාරික ධර්මපාල-තුමා උපත ලබන්නේ නම් මේ සුදුසුම කාලය බව සඳහන් කළ යුතුය. එහෙත් එතුමාට මේ රටේ සමහරුන් විසින් කරන ලද කුහකකම් හා ඊර්ෂ්‍යාවන් නිසා මේ රටේ යළි උපත නොලැබිමට පවා පැතුවේය. ඉන්දියාවේ උපත ලැබිමට පැතුවේය.
ධාර්මික පියාණන්ගේ ධනයෙන් මට නිර්භීත සිතක් ඇතිවිය. පුතා නුඹ බුදු බව ප්‍රාර්ථනා කරපන් කියා මාපියාණන් ගෙන් 1895දී කල්කටාවේ සිටින කාලයේදී මට ලිපියක් ලැබුණි. අන්තිම කැමති පත්‍රය ලියන කාලයේ මාපියාණන් මෙසේ ඇසූහ. උඹට කුසල් කිරීමට මසකට කොපමණ ඕනෑද. රුපියල් 400 ලැබුණොත් ඇතැයි කීවෙමි. නමුත් පියාණන්ගේ අන්තිම කැමති පත්‍රයෙන් මට රුපියල් 500 (පන්සීය) බැගින් වෙන්කර තිබුණි. (මගේ ජීවිත කතාව ස්වයං ලිඛිත චරිතාපදානය පි. 98-100)
අනගාරික ධර්මපාලතුමාට උපතින් පසු දෙමාපියන් තැබූ නාමය වූයේ ඩේවිඩ් හේවාවිතාරණ යන නාමයයි. එය ඉවත  දැමූ එතුමා ධර්මපාල යන නාමය භාවිතයට ගත්තේය. බුද්ධගයාව පිළිබඳ සෝචනීය තත්ත්වය එතුමාට දකින්නට ලැබුණේ ඉංග්‍රීසි බසින් ලියැවුණු සඟරාවකිනි. ඉංග්‍රීසි සිංහල පාළි හා ක්‍රිස්තු දහම ගැනද නිසි අවබෝධයක් තිබූ එතුමාට බුද්ධගයාව ගැන දැනගත් ආකාරය මෙසේ සටහන්වී ඇත.
ආසියාවේ ආලෝකය ග්‍රන්ථය ලියූ කතුවර ශ්‍රීමත් එඩ්වින් ආනල්ඩ් විද්වතා  නම් ලන්ඩනයේ සඟරාවේද කතුවරයා වූ නිසා ඔහු විසින් බුද්ධගයාව සහ ඒ අවට සිදුවී ඇති විනාශය ගැන අවධානය යොමුකරමින් ලිපි රැසක්ම පළ කළේය. මෙම ලිපි දුටු අනගාරික ධර්මපාලතුමාගේ සිත ඉමහත් කම්පනයකට පත් කළේය. බුදුසමය උපත ලද භාරත දේශයෙහි නැවත බුදුසමය ගොඩනැගීමට අධිෂ්ඨාන කළ එතුමා 1891 ජනවාරි මස බුද්ධගයාවට ගියේය. බුද්ධගයාවට සිදු වී ඇති විනාශය සියැසින් දැක ආපසු කොළඹට පැමිණි අනගාරික ධර්මපාලතුමා විසින් 1891 වර්ෂයේ මැයි මස මහාබෝධි සමාගම පිහිටුවන ලදී. එහිදී අපේක්ෂිත කාර්යයන් දෙකක් වූයේය. බෞද්ධ රටවල් නියෝජනය වන අයුරින් භික්ෂුන් වහන්සේලා ගෙන් යුක්ත මණ්ඩලයක් බුද්ධගයාවේ පිහිටුවීම සහ බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ඉංග්‍රීසි සහ ඉන්දියානු භාෂාවලින් ප්‍රකාශන පළ කිරීමයි. 
වර්ෂ 1884දී එක්තරා සිදුවීමක් අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් වූ බව සනිටුහන් කර ඇත්තේ ලංකාවේ ප්‍රකට ‍ලේඛකයෙකු වූ ඩේවිඩ් කරුණාරත්න මහතා විසිනි.
1884  අවසානයේදී මදුරාසියේ පැවති සමස්ත ඉන්දියා පරම විඥානාර්ථ සමාගමයේ සංවත්සර උත්සවයට සහභාගි වූ බ්ලැවැට්ස්කි මැතිනියත් සමග ස්වකීය ඉන්දියා ගමනෙහි යෙදෙන්නට මොහුට අවස්ථාව සැලසුණි. එම චාරිකාවෙනුත් එහිදී අසන්නට දකින්නට ලැබුණු නොයෙක් තොරතුරුවලිනුත් අප තරුණයා ගේ සිත වැඩි වැඩියෙන් ආධ්‍යාත්මික සටන කෙරෙහි යොමු වූයේය. ඉන්දියාවේ සිට පෙරළා පැමිණීමෙන් පසු වර්ෂ 1885දී බ්‍රහ්මචාරි වී ලෝකාර්ථ චරියාවේ යෙදෙන්නට ඔහු සිය පියාගෙන් අවසර පැතුවේ එහෙයිනි.
තමාගේ මුළු මහත් ජීවිත කාලය බුද්ධ ශාසනයේ දියුණුව සඳහා ඇප-කැප කොට ක්‍රියා කරන්නට අවශ්‍ය වූ අඩිතාලම දමා ගැනීම සඳහා බ්ලැවැට්ස්කි මාතාව සමග ඉන්දියාවට යන්නට තරුණ හේවාවිතාරණ සිය පියාගෙන් අවසර පැතීය. නමුත් පවු‍ලේ දෙටු පුතු එසේ නන්නත්තාරේ යෑම පියා කොහොමටවත් අනුමත නොකළේය. පුතා නැවත නැවතත් කන්නලව් කළේය. පියා නැවත නැවතත් ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.
පිය පුතු දෙදෙනාගේ මේ කතාබහ සිදුවන විට අසල කුටියක සිට එයට සවන් දුන් බ්ලැවැට්ස්කි මැතිනිය මේ වාදය මැදට පැන මෙතරම් ඕනෑකමින් ඉල්ලා සිටින මේ ඉල්ලීමට ඉඩ නොලැබුණහොත් තරුණයා ශෝකයෙන් සංකාවෙන් රෝගී වීමට වුවත් බැරි නැතැයි පැවසීමෙන් එතෙක් මතෛක් කොහෙත්ම ලබාගන්නට බැරිවූ අවසරය ලැබුණේය.
(අනගාරික ධර්මපාලතුමා - ඩේවිඩ් කරුණාරත්න පි. 49 1964 ප්‍රථම මුද්‍රණය ගුණසේන සහ සමාගම)
බුද්ධගයාව මහන්තා නම් අන්‍ය ආගමිකයෙකුට අයත්ව තිබි විවිධ ඇනුම් බැණුම් අපහාස මැද අවසානයේ නඩු මගට බැස එම පුදබිම බෞද්ධ ජනතාවට ලබාදීම ඉතා ප්‍රසිද්ධ කරුණක් නිසා විස්තර කිරීමට අපේක්ෂා නොකෙරේ.
පරම විඥානාර්ථ සමාගමෙන් ඉවත්වීමෙන් පසුව ධර්මපාලතුමාගේ ක්‍රියාමාර්ගය වඩාත් ප්‍රබල වූ බවට සාක්ෂිය සිංහල බෞද්ධයා පත්‍රය ඇරඹීම පමණක් නොවේ. තමන්ගේ ජාතික ශාසනික ව්‍යාපාරයන්හිදී අසදෘශ දානපතිනිය වූ ඩේරි ෆෝස්ටර් මැතිනිය පිරිනැමූ ආධාර මුදලින් ඒ වර්ෂයේදීම රාජගිරියෙන් ඉඩමක් මිලයට ගන්නා ලද භූමිභාගයෙහි නව පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමද තවත් සාක්ෂියකි.
ධර්මපාලතුමාගේ ධර්මදූත ව්‍යාපාරයටත් ලංකාවේ බෞද්ධ කටයුතු සඳහා ස්වාධීන ප්‍රචාරයටත් මහෝපකාරී වූ සිංහල බෞද්ධයා පත්‍රය පසුව රටේ මහජන මතය නංවාලීමේ අසහාය මාධ්‍යය බවට පත්වූයේය. පත්‍රය ඇරඹීමේ අරමුණ දක්වමින් එසමයේ ධර්මපාලතුමා ප්‍රකාශ කර සිටියේ මෙසේය.
සුද්දන්ට දාසකම් නොකොට සිංහලයන්ට නිදහසේ මග පෙන්වීම සඳහා පරාර්ථ සිතින් වැඩ කිරීමේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වීම සඳහා සිංහල බෞද්ධයා පත්‍රය පටන් ගනිමි. අප රටේ ජාතික ප්‍රවෘත්ති පත්‍රයක් නැත. මහජනතාවගේ අදහස් කියන්නට පත්‍රයක් නැත. ජාතිය දියුණු කිරීමට හෝ බුද්ධ ශාසනය රැකගැනීමට පත්‍රයක් නැත. සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්
තම අනුගාමික වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන යන තරුණ මහතුන් පත්‍රයේ සංස්කරණයට යොදවා ඔවුන්ට අවකාශ ඇතිවූ විට තමන්ම කතුවැකි ලියා වර්ණ සංයෝජක ඌනතාවලදී තමන්ම අකුරු අමුණා සේවකයෙකු නැති විට මුද්‍රණ යන්ත්‍රයේ රෝදය තමන්ම කරකවා සිංහල බෞද්ධයා පත්‍රය ආරම්භ සමයේ ධර්මපාලතුමන් නිකුත් කළේ නොපසුබස්නා අධිෂ්ඨානයත් පුරුෂ ධෛර්යයත් ඇතොත් කළ නොහැකි සත්කෘත්‍යයයක් නැති බවට ආදර්ශයක් සපයමිනි. අනුක්‍රමයෙන් අභිවෘද්ධියටත් ජනප්‍රියත්වයටත් පත්වුණු මේ පුවත්පත පණ්ඩිත තෝමස් කරුණාරත්න යූ. පී. ඒකනායක, ඩබ්ලිව්. ඩබ්ලිව්. කරුණාරත්න, ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ජුලියස් ද ලැනරෝල්, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල, හේමපාල මුනිදාස, ඩේවිඩ් කරුණාරත්න යනාදී වියත් ‍ලේඛකයන්ගේ කර්තෘත්වයෙන් රටටත් දැයටත් සසුනටත් සැලසූ සේවය විසිවැනි සියවසින් අඩසිය වසර පිළිබඳ ලංකා ඉතිහාසයෙහි රන් අකුරෙන් සටහන් විය යුතුය. (අනගාරික ධර්මපාල අපදානය කේ. බි. සුගතදාස - පිටු 92 - 93 (1986) අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලය)
කෘතහස්ත ‍ලේඛකයෙකු මෙන්ම ගැඹුරු හඬකින් යුක්ත කථිකයෙකු ද වූ කේ. බි. සුගතදාස විද්වතාණන් ද ඔහුගේ තරුණ කාලයේ සිට ධර්මපාලතුමා ආශ්‍රය කිරීමේ භාග්‍යය ලත් ආදර්ශවත් මහත්මයෙකු බව සඳහන් කළ යුතුව ඇත.
පණ්ඩිත ගනේගම සරණංකර මහනාහිමිපාණන් වහන්සේ විසින් ලියන ලද පහත සඳහන් කරුණු තුළ අනගාරික ධර්මපාලතුමාගේ සේවාව හා අගය සංක්ෂිප්ත කර ඇති අන්දම මෙසේය.
අපේ රටත් ජාතියත් ආගමත් සංස්කෘතියත් හදන්නට ධර්පාලතුමා තරම් මහන්සි වූ කැපවූ පරිත්‍යාග කළ වෙන කිසිවෙක් නැත. එතුමා නූපන්නේ නම් දඹදිව බුද්ධගයාව ශ්‍රී මහා බෝධිය තවමත් හින්දූන් අතේය. එතුමාගේ චරිත කතාව සෑම සිංහලයෙකු විසින්ම කියවිය යුතුය. එය එක් කෙනෙකු දෙන්නෙකු විසින් නොව නොයෙක් ‍ලේඛකයන් විසින් නොයෙක් දෘෂ්ටිකෝණ අනුව ලිවිය යුතුය. එතුමා ජනනායකයෙකි. අනගාරිකයෙකි, භික්ෂුවරයෙකි, කථිකයෙකි, දේශකයෙකි, ධර්ම දූතයෙකි, ජාත්‍යාලය ඇති නායකයෙකි. සර්ධාවත් බෞද්ධයෙකි, මහා දානපතියෙකි, ජාත්‍යන්තර කීර්තිමත් සිංහලයෙකි. සංස්කෘතික විප්ලවයක් ඇති කළ කෙනෙකි. ත්‍රිපිටකධාරියෙකි උප සම්පදා භික්ෂුවරයෙකි.
මා ප්‍රිය කළේ ඉතා ශාන්ත දාන්ත උපසම්පදා භික්ෂුවක්ව සිටි සිරිදේවමිත්ත ධම්මපාල රූපයට වඩා එඩිතර නිර්භීත පේ‍රෟඪ අනගාරික ධර්මපාල රූපයටයි. අහෝ ධර්මපාලතුමනි. මේ නැවතත් ඔබතුමා සිටිය යුතු කාලයයි.
අනගාරික ධර්මපාල චරිතාපදානය (කේ.බි.සුගතදාස මහතා විසින් ලියන ලද ග්‍රන්ථයට පණ්ඩිත පූජ්‍ය ගනේගම සරණංකර නාහිමියන් ලියූ හැඳින්වීමෙනි)
1933 වර්ෂයේ අප්‍රේල් මස 29 වැනිදා එනම් වසර 79කට පෙර සිරිදේවමිත්ත ධම්මපාල නමින් මහණ වූයේ ඉන්දියාවේ බරණැස සාරානාත් හිදීය. උන්වහන්සේගේ අවසන් වචන වූයේ මට නැවත උපදින්නට ලැබේවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ව්‍යාප්ත කිරීමට විසිපස් වරක් උපදින්නට ලැබේවා යනුවෙනි.
අද වර්තමාන ලංකාවේ සමාජ ආර්ථික හා සංස්කෘතික පරිහානිය දෙස බලන විට අනගාරික ධර්මපාලතුමන්ලා එක් අයෙක් නොව දහස් ගණනින් බිහිවිය යුතු යුගයක් බව මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි.

2012 මැයි 05 වෙනි සෙනසුරාදා, ලංකාදීප 
සිරි සමන් විජේතුංග