දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදුසසුනේ දියුණුවට විශිෂ්ට දායකත්වයක්‌ පිරිනැමූ

සිරිල් ද සොයිසා සිරිමතාණෝ









බුද්ධ ශාසනයේ මෑත අවධියේ ප්‍රගමනය සඳහා විශිෂ්ට දායකත්ව අනුග්‍රහයක්‌ සැලැසූ සිරිල් ද සොයිසා සිරිමතාණන්ගේ 116 වැනි ජන්ම දිනය හෙටට (26 වැනිදාට) යෙදේ. මේ ගුණ සමරු ලිපිය ඒ නිමිත්තෙනි.

දුල්ලභෝ පුරිසාජඤ්ඤො
න සො සම්බත්ථ ජායති
යත්ථ සො ජායති ධීරෝ
තං කුලං සුඛමේධති

ආජානේය (විශිෂ්ට ගුණ ස්‌වභාවයෙන් පිරිපුන්) මනුෂ්‍යයෝ ඉතා දුර්ලභ ය. එබඳු පුරුෂයෙක්‌ යම් පරපුරක, යම් සමාජයක උපදී නම් ඒ පරපුර, ඒ සමාජය සැපතට පැමිණේ යනු යට කී බුද්ධ වචනයේ අදහසයි. සර් සිරිල් ද සොයිසා නම් දානපතියාණෝ ඒ දේශනා පාඨයෙන් වෙසෙසින් ම වෙසෙසිය හැකි සත්පුරුෂයෙකි.

ප්‍රතාපවත් පෞරුෂයෙන් ද, සම්භාවනීය විද්වත් භාවයෙන් ද, අප්‍රතිහත ආත්ම ශක්‌තියෙන් ද, ආයෝජනීය ධන සම්පත්තියෙන් ද, දූරදර්ශී ඥානයෙන් පරිපෝෂිත වූ දේශවාත්සල්‍යයෙන්ද, ප්‍රගතිගමනීය වූ සූර ව්‍යාපාරික බුද්ධියෙන් ද, ඒ හැමට වඩා පෞරුෂවත් බෞද්ධ මහෝපාසක භාවයෙන් ද විශිෂ්ට ව බැබළුණු මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා මෙලොව උපත ලදුයේ 1896 ඔක්‌තෝබර් 26 දාය. බළපිටිය වැලිතර තොටමුණේ කංකානම්ගෙදර වත්තේ විසූ සොලමන් ද සොයිසා නොතාරිස්‌තුමා හා හැරියට්‌ ද සොයිසා මාතාව මෙතුමාගේ මවුපියෝ වූහ.

මාතර සාන්ත තෝමස්‌ විද්‍යාලයේත් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේත් කොළඹ රාජකීය විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබූ මේ තෙමේ 1916 කේම්බ්‍රිඡ් සීනියර් විභාගයෙන් සමත්ව නීති විද්‍යාලයට ඇතුළත් ව නීතිවේදියකු ව නීතිඥ වෘත්තියට බැස ගත්තේය. සිය ගම් පියසින් ම නීතිඥ වෘත්තිය ආරම්භ කළ ද ඔහුට වැඩිකල් යන්නට පෙර කළුතර උසාවියේ රජයේ නීතිඥයකු ලෙස සේවය කරන්නට සිදු විය. මෙම ස්‌ථාන මාරුව සිරිල් ද සොයිසා තරුණ නීතිඥවරයා ගේ ජීවන මාර්ගයේද විශිෂ්ට වෙනසක්‌ ඇති කළේය.

එකල ඓතිහාසික කළුතර බෝධීන් වහන්සේ පැවැතුණේ ඉතා අනාරක්‍ෂිත නොදියුණු තත්ත්වයකිනි. සැදැහැවතකුට නිදහසේ වන්දනා කිරීමේ පරිසරයක්‌ ද එහි නොවී ය. කළුතර සුදු ඒජන්තවරයා බෝධීන් වහන්සේට මලක්‌ පහනක්‌ පුදන්නට එන සැදැහැවතුන් පන්නා දැමීමට පොලිසියට අණකර තිබිණි. තුණුරුවනට, ආගම දහමට ඉමහත් භක්‌ත්‍යාදරයක්‌ දැක්‌ වූ තරුණ නීතිඥතුමා එබඳු අවස්‌ථාවන් දෙස බලාසිටියේ බලවත් සංවේගයකිනි. විරෝධතා නොතකා බෝධිය අබියස මල් ආසනයක්‌ හැදූ එතුමා පසු ව මල් ආසන හතරක්‌ ම බැන්දවීය. බියෙන් පසුබා ගිය සැදැහැවතුනට කෙමෙන් කෙමෙන් බෝධීන් වහන්සේට නොබිය ව මලක්‌ පහනක්‌ පුදන්නට අවස්‌ථාව ලැබුණේ ඉන් පසුය.

ප්‍රසිද්ධ දක්‍ෂ නීතිඥයකු වශයෙන් ක්‍රියා කරන අතරතුර වාණිජ ව්‍යාපාර අංශයට එතුමාගේ අවධානය යොමු වන්නට ඇත්තේ කළුතර බෝධීන් වහන්සේත් සංවර්ධනය කිරීමේ අදහස ද පෙරදැරි කරගෙන යෑයි හැඟේ. එතුමන් විසින් ස්‌වර්ණපාලී නමින් ආරම්භ කරන ලද බස්‌ සමාගම පසුව "සවුත් වෙස්‌ටන් සමාගම" නමින් වෙනස්‌ කර බස්‌ 300 කට හිමිකම් කියන පුළුල් ආයතනයක්‌ බවට පත් කරනු ලැබිණ. හැම බස්‌ ගමනක දීම කළුතර බෝධීන් වහන්සේට පඬුරු දමා යන පුරුද්දක්‌ ඇති කළ සිරිල් ද සොයිසා මහතා ඒ හැම මුදලක්‌ ම බෝධීන් වහන්සේගේ සංවර්ධනයට යෙදවීය.

බෝධීන් වහන්සේට ඉදිරිපස කඳු ගැටය මත පිහිටි සුදු ඒජන්ත නිල නිවස සහ ඊට දකුණු පස පිහිටි කච්ෙච්රිය සහිත භූමිය ද මිල දී ගත් එතුමා කඳු ගැටය මුදුනෙහි විස්‌මිත දර්ශනීය චෛත්‍යරාජයන් වහන්සේ නමක්‌ නිර්මාණය කරවා එම සාවිය ම පූජා භූමියක්‌ බවට පත් කළේය. "බෝධිරාජාරාමයෙහි සුන්දර දර්ශනය - ශාන්ත පරිසරය - විපුල ප්‍රයෝජනය - පුණ්‍ය ෙච්තනා ප්‍රවාහය දෙස බලන විට සර් සිරිල් ද සොයිසා මැතිතුමා සමාන කළ හැක්‌කේ අනේපිඬු සිටාණන්ටය. දූරදර්ශී සර් සිරිල් මේ "බෝධිරාජාරාමය" තමන් ගෙන් පසු ව ද ශාසනයටත් සමාජයටත් මහෝපකාර වෙමින් පවත්වාගෙන යන්නට බෝධි භාරකාර මණ්‌ඩලය පත් කිරීම කොතරම් ඥානවන්ත ක්‍රියාවක්‌ දැයි හැමදෙනාටම වැටහෙනවා ඇතැයි වරෙක සඳහන් කළෝ සිරිල් සිරිමතාණන්ගේ උතුම් සේවාව නිරතුරුවම අගය කළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමිපාණෝය. 

1958 ජනවාරි 01 වැනිදා සවුත් වෙස්‌ටන් බස්‌ සමාගම රජය සතු කැරැ ගැනිණි. එය ද සිරිල් ද සොයිසා සිරිමතාණන්ගේ පෞරුෂ මහාත්මතාව මැනැවින් ප්‍රදර්ශනය වුණු එක්‌ අවස්‌ථාවකි. එතුමා තමාගේ සියලු බස්‌ රථ සංඛ්‍යාව රජයට පවරා දුන්නේ සියලු ඩිපෝ, උප ඩිපෝ හා ඒවාට අදාළ සියලු අංගෝපාංග සහිතව ම, සියලු බස්‌ රථ අලුත්වැඩියා කොට, අලුත් ටයර් යොදා ඉන්ධන ද සම්පූර්ණයෙන් පුරවා අනතුරුවය. එතුමා රටටත් ජනතාවටත් දැක්‌ වූ ආදරය මෙයින් නිරූපණය වේ.

සිරිල් ද සොයිසා මහතා පහර ලැබෙන්න ලැබෙන්න නොසැලී තමාගේ ආත්ම ශක්‌තිය හා චිත්ත ධෛර්යය තව තවත් තර කැර ගත්තේය. සියලු අලාභ තමා වෙත වෙස්‌ වලාගෙන පැමිණි ආශිර්වාද ලෙස කල්පනා කෙළේය. "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නො නඟ" යන පඬි වදන සනාථ කෙරෙමින් පසුව මහා පරිමාණයේ කර්මාන්ත ශාලා පහක අයිතිකරුවා වන්නට එතුමා භාග්‍යසම්පන්න විය.

1941 දී කළුතර නගරාධිපති ධුරයට පත් වූ එතුමා පසු කලෙක උත්තර මන්ත්‍රී මණ්‌ඩලය නමින් ප්‍රකට වූ සෙනෙට්‌ සභාවට පත් කැර ගනු ලැබිණි. වසර 6 ක්‌ එහි උපසභාපතිවරයා ලෙස ද වසර අටක්‌ සභාපතිවරයා ලෙස ද ක්‍රියා කළ එතුමා එහි දී ද තමාගේ දූරදර්ශී දේශපාලන පරිණත භාවය හා තීක්‍ෂණ ඥානය මැනැවින් පෙන්නුම් කළේය.

කොළඹ බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධුරයට පත් වූ සිරිල් ද සොයිසා මහතා එහි ප්‍රගති ගමනකට ප්‍රාණ වායුව පිම්බේ ය. සිය වියදමින් ම එහි ශාලාව තැනූ හෙතෙමේ කොටුවේ තරුණ බෞද්ධ සමිතිය ද සුවිසල් මන්දිරයක්‌ බවට පත් කළේය. ඒ මතු නොව මහාබෝධි සමාගම, සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, පරමවිඥානාර්ථ සංගමය, බාලදක්‍ෂ සංගමය, ලංකා ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරය, ලංකා ජාතික අඳගොළු බිහිරි සංගමය, නීති සංගමය, සිංහල ක්‍රීඩා සමාජය, කළුතර නාගරික සමාජය, ළමා ආරක්‍ෂක සංගමය ආදී විවිධ සමාජ සේවා ආයතන තුළ එතුමන්ගේ නියෝජනය මගින් ජාතික හා සමාජීය වශයෙන් පරහිත සාධන සේවා රැසක්‌ මල්පල ගැන්විණ. එතුමා ශ්‍රී ලංකා නීති සංගමයේ ද වසර නවයක්‌ සභාපතිවරයා වී ය. තම නිවහන වූ "බෲක්‌ලීන් මන්දිරය" කළුතර බාලිකා විද්‍යාලය බවට පරිවර්තනය කළ එතුමා කළුතර විද්‍යාලය නම් වූ බෞද්ධ විද්‍යාලය ආරම්භ කිරීමට ද පුරෝගාමී විය.

කතරගම කිsරි වෙහෙර චෛත්‍යරාජයන් වහන්සේ ප්‍රතිසංස්‌කරණය කරවා අඳුරු වන ළැහැබින් ගැවසුණු අවට ප්‍රදේශය පූජා භූමියක්‌ ලෙස කලඑළි ගැන්වී දීප්තියට පත් වූයේ සිරිල් ද සොයිසා සිරිමතාණන් ගේ දෘඪ උත්සාහයේ හා වීර්යයේ ද ධන පරිත්‍යාගයේ ද ප්‍රතිඵලයක්‌ වශයෙනි. විශාල විදුලිබල ජනක යන්ත්‍රයක්‌ සවි කොට මුළු කතරගම පූජා භූමිය ම ආලෝකවත් කළා පමණක්‌ නොව එහි යන එන වන්දනාකරුවනට විවේකාගාර පහසුකම් ද එතුමන් විසින් සපයනු ලැබිණි. මෙපමණක්‌ නොව අලුත්ගම කන්දේ විහාරය, බම්බලපිටියේ සිරි වජිරාරාමය, පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන, හුණුපිsටියේ ගංගාරාමය, කුප්පියාවත්තේ ජයශේඛරාරාමය, බෙල්ලන්විල රාජමහා විහාරය ආදී බොහෝ විහාරස්‌ථානවල ප්‍රතිසංස්‌කරණ හා සංවර්ධන කටයුතුවලට මේ අර්ථපතියාගෙන් ලැබුණු දායකත්වය සුවිශාල විය.

සිරිල් ද සොයිසා සිරිමතාණෝ ලක්‌දිව ශාසන ඉතිහාසයේ එක්‌ ඓතිහාසික සංසිද්ධියකට උපස්‌තම්භක වූ කෙනකු ලෙස ද ඉතිහාසගත වෙති. ඒ නම් කොටස්‌ විසි දෙකකට විසිරී පැවැති අමරපුර නිකායික භික්‍ෂු සංඝයා එක්‌ සංඝ සභාවකට ගෙන ඒමයි. අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් 1956 වසරෙහි දී අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ මහානායක පදවියට පත් වී දින දෙක තුනක්‌ ඇතුළත එවක සෙනෙට්‌ මන්ත්‍රී මණ්‌ඩලයේ සභාපති ව සිටි සිරිල් ද සොයිසා මහතා අභිනව මහනාහිමියන් මුණගැසී නිකාය 23 කට විසිරී පවතින අමරපුර නිකායේ සියලු කොටස්‌ ඒකාබද්ධ කැර දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ සඳහා සියලු විහාරස්‌ථානවලට ගොස්‌ සාකච්ඡා කිරීම පිණිස ප්‍රවාහන පහසුකම්ද සලසන ලදී. අප මහ හිමිපානෝ පූජ්‍ය කපුගම සුමනවංශ, පූජ්‍ය වැලිගම ඤාණරතන යන මාහිමිවරුන් සමග වගකිව යුතු සියලු ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා සමග සාකච්ඡා ඇරැඹූහ. තදාසන්න කාලයෙහි පූජ්‍ය අකුරල සීලවංශ, පූජ්‍ය කොස්‌ගොඩ පඤ්ඤාසීහ යන මාහිමියන් වහන්සේලා ඊට පසුබිම සකස්‌ කැර තිබුණු හෙයින් එම කටයුත්ත තරමක්‌ ලිහිල් විය. වැඩි කල් යන්නට පෙර අමරපුර නිකායික සියලු කොටස්‌ ඒකාබද්ධ ව එක්‌සත් අමරපුර මහාසංඝ සභාව පිහිටුවා ගැනිණි.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ඉතිහාසය තුළ අග්‍රගණ්‍ය කීර්ති නාමයක්‌ හිමි කැර ගත් යුග පුරුෂයෙකි. සිය පෙර පින් මහිමයෙන් ද, විශාරද ඥානයෙන් ද, ව්‍යාපාර කළමනාකාරීත්ව කුශලතාවෙන් ද ධාර්මික ව විශාල ධන සම්භාරයක්‌ ඉපැයූ මේ විශිෂ්ට දානපතියා ඒ සියල්ල බුද්ධ ශාසනයේ උන්නතිය හා සමාජයේ සුබසාධනය වෙනුවෙන් වැය කොට නිසි ධන ආයෝජනයේ හා පරිභෝජනයේ උත්කෘෂ්ට පල නෙළා ගෙන 1978 ජනවාරි 02 වැනි දා පරලෝ සැපත් විය.

මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා ජීවිතය තේරුම් ගත්තේය. ධනයෙහි තාවකාලික වටිනාකම වටහා ගත්තේය. ධර්මයේ සදාතනික අගය අවබෝධ කැර ගත්තේය. ජීවිතයේ සැඳෑ සමයේ එතුමන් පළ කළ පහත සඳහන් ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ බුදුනු මහෝපාසක කෙනකුන්ගේ උදාර උදාන භාෂණයකි.

" දැන් මම නිදහස්‌. කොච්චර වස්‌තුව තිබුණත් වැඩක්‌ නැහැ. ඒ ඔක්‌කෝම නිකම් පුහු දේවල්. මම උපන්නේ කිසිම ධනයක්‌ නැතිව. මම මැරෙන්නෙත් කිසිත් ධනයක්‌ නැතිව. මගේ සතුට, මගේ සැනසිල්ල, "මගේ ශක්‌තිය බුද්ධ ධර්මය යි. මා ජීවත් වන තුරු දෙවියන් ගේ රැකවරණ මට ලැබේවි."

තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි

2012 ඔක්තෝබර් 25 බ්‍රහස්‌පතින්දා දිවයින